IMF ලෝක බැංකු වසන්ත රැස්වීමට යාමෙන් ශ්‍රී ලංකාවට ඵලක් වෙයි ද?



IMF ලෝක බැංකු වසන්ත රැස්වීමට (Spring Meetings)යාමෙන් ලංකාවට ඵලක් වෙයි ද?

(III කොටස)

05.05.2022

සුගිය අප්‍රේල් 18-22 කාලය තුළ මුදල් ඇමති, භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට සීග්‍ර මූල්‍ය උපකරණය යටතේ හදිසි ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා කිරීම සඳහා IMF ගිය බවත්, එම ණය ලබා ගැනීම සඳහා ඉන්දියානු මුදල් ඇමතිනියගේ විශේෂ අනුග්‍රහය ලැබූ බවත් මාධ්‍යය  විසින් පුන පුනා වාර්තා ලදි. සමහර මාධ්‍ය වාර්තාවන් දැක්වූයේ එම ණය සඳහා ඉන්දියාව ඇප වන බවත් ය. 

IMF කළමනාකරණ අධ්‍යක්ෂක තුමිය සහ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක තුමිය සමඟ මුදල් ඇමති විසින් පැවැත් වූ ආචාර කිරීමේ හමුවීම් ද එම ණය ලබා ගැනීම සඳහා පැවැත් වූ රැස්වීම් ලෙස වාර්තා විය. ඒ හැර, ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා ඇගයීම භාරව සිටින IMF නිලධාරී කණ්ඩායම හමු වී ද? යන්න කිසිම වාර්තාවක් පළ වූයේ නැත.

මේ අතර ඉන්දියානු මුදල් අමාත්‍යංශය විසින් අප්‍රේල් මස 19 දින ට්විටර් පණිවිඩයක් හරහා දැක්වුයේ වසන්ත රැස්වීමට සහභාගී වන අතරතුර පැත්තක දී, එදින ඉන්දියානු මුදල් ඇමතිනිය විසින් ශ්‍රී ලංකා මුදල් ඇමති හමු වී, ශ්‍රී ලංකාවේ  වත්මන් ආර්ථික තත්ත්වය සහ පවතින අභියෝගයන්ට මුහුණ දීමේ ක්‍රමෝපාය/එළඹුම පිළිබඳ ව සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ පසමිතුරෙක් සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක් සහ උපකාරයක්  කරන බව යි. ඉන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමේ IMF සමඟ වූ සාකච්ඡාවකට හෝ අනුග්‍රහය දැක්වීමකට ඉන්දියානු මුදල් ඇමතිනිය සහභාගී නොවූ බව යි.

පසුව, IMF මාධ්‍යය විසින් වාර්තා කරනු ලැබුවේ සීග්‍ර මුල්‍යකරණ උපකරණය යටතේ හදිසි ණය මුදලක් සලකා බැලීමට ශ්‍රී ලංකාව නුසුදුසු බවත්, ශ්‍රී ලංකාවට ණය සලකා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ලඟා කර ගැනීම අවශ්‍ය බවත් ය.

අප්‍රේල් 25 දින IMF නිල ප්‍රකාශනයකින් හෙළි කළ තොරතුරු

  • වසන්ත රැස්වීම් කාලය තුළ IMF කළමනාකරණ අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස හමු වී ආර්ථික අභියෝගයන් නිරාකරණයට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සාකච්ඡා කළ බව.

  • ශ්‍රී ලංකාව භාර IMF නිලධාරී කණ්ඩායම විසින් IMF සහයෝගී වැඩපිළිවෙලක් පිළිබඳ ව ආරම්භක ඵලදායි තාක්ෂණික සාකච්ඡාවන් පැවැත් වූ බව.

  • ශ්‍රී ලංකාවේ මෑත කාලීන  ආර්ථික සහ මූල්‍ය උපණතීන්, සාර්ව ආර්ථික ස්ථායීතාවය නැවත ගොඩ නැගීම සඳහා විශ්වාසී සහ සුසංයෝගී ක්‍රමෝපායක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡා කළ බව.

  • වත්මන් ආර්ථික අර්බුදය තුළින් දුප්පත් සහ අවදානමට ලක් වන ජනයා කෙරෙහි ඇති වන අහිතකර බලපෑම පාලනය සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක වැදගත්කම සාකච්ඡා කළ බව.

  • ශ්‍රී ලංකා අධිකාරීන් විසින් ණය හිමියන් සමඟ සහයෝගී සංවාදයක නිරත වීමේ සැලසුම IMF කණ්ඩායම විසින් සාදරයෙන් පිළි ගන්නා බව.

  • ඉදිරියේ දී වත්මන් ආර්ථික අර්බුදය මැඩලීමට ගනු ලබන ශ්‍රී ලංකාවේ උත්සාහයන්ට IMF කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ආර්ථික වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකා අධිකාරීන් සමඟ ආශ්‍රිතව කටයුතු කිරීමෙන් සහ අර්බුදය කාලෝචිතව නිරාකරණයට සහාය වීම සඳහා සියළු පාර්ශව කරුවන් සහභාගී කරවීමෙන් සහය වන බව.

IMF හදිසි ණය මුදලක් ප්‍රදානය කිරීම හෝ IMF ණය වැඩසටහනක් පිළිබඳ ව සාකච්ඡා කළ බවක් එහි වාර්තා නොවීය.

එහෙත්, මෙම IMF නිලධාරී කණ්ඩායම සමඟ පැවැත් වූ සාකච්ඡා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා අධිකාරින්ගේ මාධ්‍ය වාර්තාවල අඩංගු වූයේ නැත.

අප්‍රේල් 29 දින මහ බැංකු අධිපතිගේ විශේෂ පුවත්පත් සාකච්ඡාවේ දී IMF ණය පිළිබඳ ව හෙළි කළ තොරතුරු

  • ඉදිරි මාස දෙක තුළ IMF නිලධාරී මණ්ඩලය සමඟ එකඟතාවයකට පැමිණිය හැකි බව.

  • ඊට පසුව සති 2-3 ක කාලයක් තුළ IMF විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත හැකි බව.

  • ලැබෙන ණය ප්‍රමාණය තීරණය සඳහා සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුවකට එකඟ වීමේ අවශ්‍යතාවය.

  • IMF විසින් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ වාර්තාව සැකසිය යුතු වීම.

මෙම අදහස් අනුව, IMF එකෙන් ලැබෙන ණය ප්‍රමාණය තවම කිව නොහැකි අතර ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය සඳහා මාස 3 ක්  පමණ ගත වනු ඇත.

මුදල් ඇමති විසින් මැයි මස 4 දින පාර්ලිමේන්තුව වෙත කරන ලද ප්‍රකාශයේ තෝරා ගත් අදහස් කිහිපයක්

  • IMF සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට එකඟ වීමට හැකි වුව හොත් IMF ණය වැඩසටහනකට එකඟ වීම සඳහා අඩුම වශයෙන් මාස 6 ක් ගත වනු ඇත. IMF සීග්‍ර මූල්‍යකරණ උපකරණය යටතේ ද ණය මුදලක් ඉල්ලා ඇත. එහෙත්, මුදල් ඇමති විසින් මෙදිනම ජාත්‍යන්තර CNBC ව්‍යාපාරික පුවත් මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබුවේ, IMF නිලධාරී කණ්ඩායම සමඟ එකඟතාවයකට ඉක්මනින් පැමිණිය හැකි බවත්, IMF ප්‍රධාන ණය වැඩසටහන ඇතුළු වීම සඳහා මාස 6-8 ක් ගත විය හැකි බවත්, එය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කොතරම් ඉක්මනින් එකඟ වේ ද? යන්න මත තීරණය වන බවත්, සීග්‍ර මූල්‍යකරණ උපකරණය යටතේ IMF හදිසි ණය මුදලක් ඕනෑම අවස්ථාවක ලැබීමට ඉඩකඩ ඇති බවත්, IMF සමඟ කළ සාකච්ඡා ප්‍රධාන වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ව යොමු වූ බවත් ය.

  • මානුෂීය ආධාර ලෙස ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක් ලැබෙන අතර එය ඩොලර් මිලියන 700 දක්වා වැඩි කිරීමේ සාකච්ඡා කෙරෙනු ඇත. එමගින්, මසකට රුපියල් 7,000 බැගින් දිළිඳු පවුල් මිලියන 3.3 කට පමණ මාස 3 ක කාලයක් සඳහා ආධාර සැපයෙනු ඇත.

  • 2019 අවසානයේ දී ඩොලර් බිලියන 7 ක් පමණ වූ විදේශ සංචිතය දැනට පාවිච්චි කළ හැකි ද්‍රවශීල විදේශ සංචිතය ඩොලර් මිලියන 50 කට වඩා අඩු මට්ටමකට පහළ වැටී ඇත.

  • ණය සහ මූල්‍ය නීති උපදේශකයන් ඉක්මනින් පත් කොට IMF සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කරණයට ඉක්මනින් ක්‍රියා කිරීම.

  • IMF ණය වැඩසටහනකට යාම පිළිබඳ ව මුල දී විරුද්ධ වූ චීනය දැනට ඒ සඳහා සහය පළ කළ බව. එහෙත්, ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවය වාර්තා කළේ IMF හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට යාම පිළිබඳ ව චීනයේ ප්‍රසාදය පළ වූ බව යි.

  • IMF ණය කෙටි කාලීන වන අතර 2022 වර්ෂය සඳහා මැදි කාලීන ඩොලර් බිලියන 3-4 ක පමණ ආවරණ ණය ප්‍රමාණයක් (Bridging Finance) ලබා ගැනීම සඳහා රටවල් සමඟ සාකච්ඡා කිරීම.

  • සංචාරක ව්‍යාපාරය, විදේශ සේවක ප්‍රේෂණ, විදේශ ආයෝජන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් මූල්‍ය වෙළෙඳපොළට නැවත ප්‍රවේශය ලබා ගැනීම හැර රටට විදේශ මුදල් ලබා ගැනීම සඳහා වෙනත් විසඳුමක් හෝ කිරීමට දෙයක් නොමැත.

  • IMF ණය වැඩසටහනක් ලැබුණත් නැතත් 2022 දී ආර්ථිකය ගොඩ නැගීමට 2022 අයවැයේ මුදල් නොමැති බව. 2022 අයවැය යථාර්ථවත් එකක් නොවන බැවින් නව අයවැයක් ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීම.

  • ඉන්දියානු ණය පහසුකම් යටතේ ජුනි මස අවසන් වන තෙල් ලබා ගැනීමට හැකියාව පවතී.  ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියානු ණය පහසුකම් යටතේ මාස 9 ක් සඳහා ඖෂධ  මිල දී ගැනීමට ක්‍රියා කිරීම.

  • ඉන්දියාව 1991/92 ආර්ථික අර්බුදය විසඳා ගත් ආකාරයට මෙම අර්බුදය විසඳා ගැනීමට සැවොම එකතු නොවුව හොත් තව මාස 2-3 කින් විශාල ප්‍රශ්න රැසක් ඇති වනු ඇති අතර රටක් ඉතිරි නොවනු ඇත.

  • බදු පහළ දැමීම, වේලාසනින් IMF වෙත නොයාම, විනිමය අනුපාතය ක්‍රමයෙන් අවප්‍රමාණය වීමට නොදීම සහ ණය ප්‍රතිව්‍යුහගත කරණයට ක්‍රියා නොකිරීම යන මෙම රජයේ වැරදි ප්‍රතිපත්ති හේතු කොට මෙම අර්බුදයට රජය සම්පුර්ණයෙන් වග කිව යුතු බව (පොලී අනුපාතය ක්‍රමයෙන් ඉහළ යාමට ඉඩ නොදී මහ බැංකුව විසින් අප්‍රේල් 8 දින එකවර 7% කින් ඉහළ දැමීමේ වැරදි ප්‍රතිපත්තිය හේතු කොට ආර්ථිකය තවත් කඩා වැටුණ බවට මුදල් ඇමති විසින් ඉදිරියේ දී ප්‍රකාශ කරනු ඇත).

IMF සාකච්ඡා සහ ණය වැඩසටහනක් ලැබීම පිළිබඳ කෙටි සටහන

  • ඉහත තොරතුරු දෙස බලන විට ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් IMF ලෝක බැංකු වසන්ත රැස්වීමට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකාවට IMF ණය වැඩසටහනක් ලබා ගැනීම පිණිස කරන ලද සාකච්ඡාවල සැබෑ තත්ත්වය හෝ ප්‍රගතිය මහජනයා වෙත හෙළි කොට නොමැත. එසේම, දැනට හෙළි කොට ඇති නිල තොරතුරු ද  බොහෝ ගැටෙන සුළු වෙයි.

  • සීග්‍ර මූල්‍යකරණ උපකරණය යටතේ හදිසි IMF ණය මුදලක් ලැබීමේ බලාපොරොත්තුවක් තැබිය නොහැකිය.

  • IMF ප්‍රධාන ණය වැඩසටහනක් ලැබීම ණය ප්‍රතිව්‍යුහගත කරණය, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සහ ආර්ථික අර්බුදය නිරාකරණ සඳහා ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ක්‍රමවේදය මත රඳා පවතින බැවින් එම තොරතුරු IMF වෙත තහවුරු කර ගැනීම සඳහා බොහෝ කලක් ගත වනු ඇත.

  • එබැවින්, IMF ණය  ප්‍රමාණය සහ වැඩසටහනට එකඟ වීමට ගත වන කාලය පිළිබඳ ව කේන්දර සැකසිය නොහැකි අතර එම ණය වැඩසටහනින් අපේක්ෂා කෙරෙන පරිදි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික විශ්වාසය ගොඩ නැගීමට බලාපොරොත්තු  තැබිය නොහැකිය.

මුදල් ඇමති වෙත කෙරෙන ඉල්ලීම

  • විදේශ සංචිතය ඩොලර් මිලියන 50 කට වඩා පහළ යාම, විනිමය අනුපාත ක්‍රමානුකූලව අවප්‍රමාණයට ඉඩ නොදී ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඩොලර් සංචිතය කඩා දැමීම, විනිමය අනුපාතය පාලනයෙන් ගිලිහී යාම, IMF වැඩසටහනකට නොයාම සහ ණය පැහැර හැරීමට සිදු වන ලෙස ණය දුෂ්කළමනාකරණය යනාදිය මුදල් මණ්ඩලය සහ අදාළ මහ බැංකු නිලධාරීන් විසින් මුදල් නීති පනතේ අඩංගු අදාළ ප්‍රතිපාදනයන් උල්ලංඝනය කිරීමකි. එම ව්‍යවාස්ථාපිත ප්‍රතිපාදන තුළ මුදල් ඇමති වෙත ද වගකීම් රාශියක් පවතී. මෙම උල්ලංඝනය හේතු කොට හට ගෙන ඇති වත්මන් ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළින් රජයට සහ පොදුජනතාවට සිදු වී ඇති අලාභය අති විශාල ය.

  • මුදල් ඇමති නීති විශාරදයෙක් වන බැවින් එම මුදල් නීති උල්ලංඝනයන්ට වැරදි කරුවන් විමර්ශනය කොට දඩුවම් දීම කෙරන්නේ නම්, වත්මන් පොදුජන විරෝධතාවන් යම්දුරකට සමනය කිරීමට දායක වනු ඇත.

  • එසේ නොමැතිව, මුදල් ඇමති ආර්ථික විද්‍යාඥයෙකු නොවන බැවින් ඔහු විසින් ප්‍රකාශ කළ පරිදි රොනී ද මැල් මහතාගෙන් පසු සැම මුදල් ඇමතිවරයෙකු විසින් සිදු කළා මෙන් මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් විසින් දෙනු ලබන ඉලක්කම් සහ උපදෙස් මත ප්‍රකාශනයන් නිකුත් කිරීම සහ ප්‍රතිපත්ති යෝජනා කිරීම කළ හොත් ඔහුගේ නීති වෘත්තීය ද නුදුරේ දීම විනාශ වනු නියතය.

 III අවසානය 

IMF ලෝක බැංකු වසන්ත රැස්වීමේ දී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකාවට ණය මුදලක් ඉල්ලා සිටීමේ සාකච්ඡාවල මාධ්‍ය වාර්තාවන්

(පළමු ලිපියට අතිරේකයකි - II කොටස)

20.04.2022


මේ දිනවල IMF ලෝක බැංකු වසන්ත (අප්‍රේල් 18-22) රැස්වීමට (IMF World Bank Spring Meetings) පිටත්ව ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස තමන් විසින් ශ්‍රී ලංකාවට IMF මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ක්‍රියා කරන ආකාරය සමාජ මාධ්‍යය හරහා තම ජාතික වීරත්වය හුවා දැක්වීමට මහජනයා නොමග යැවෙන තොරතුරු සංසරණය කෙරෙන බව පෙනේ.

IMF පුවත් සාරාංශය 

“IMF රැස්වීම්” යනුවෙන් 19 දින මුදල් අමාත්‍යංශ පුවත් නිවේදනයක් ඉන්දියානු මුදල් ඇමතිනිය ඇතුළු නියෝජිත පිරිසක් හමුවීමේ පින්තූරයක් (පහත දැක්වෙන) සහිතව නිකුත් කරන ලදි. ශ්‍රී ලංකා මුදල් ඇමති විසින් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය හමු වී IMF සීග්‍ර මුල්‍යකරණ ණය ක්‍රමය (Rapid Financing Instrument) යටතේ ණය මුදලක් ඉල්ලූ බවත්, ඉන්දියාව විසින් ද ශ්‍රී ලංකාවට එම ණය ක්‍රමය යටතේ ණය මුදලක් ප්‍රදානය කෙරෙන ලෙස ඉල්ලා සිටි බව IMF විසින් පසුව දැන්වූ බවත්, සීග්‍ර මුල්‍යකරණ ණය ක්‍රමය සම්මත ක්‍රමවේදයට පිටත වුව ද ශ්‍රී ලංකාවට විශේෂයක් ලෙස එය සලකා බලන බවට IMF විසින් දැනුම් දී ඇති බවත්, එම පුවත් නිවේදනයේ සඳහන් කොට ඇත. මෙය පුවත්  මාධ්‍යයන්හි ප්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කොට ඇත.

පුවතෙහි ගැටළුකාරී භාවය 

මෙම පුවත් නිවේදනය පිළිබඳ ව කරුණු කිහිපයක් පැහැදිලි කළ හැකිය. 

  • පළමුව, සීග්‍ර මුල්‍යකරණ ණය ක්‍රමය යනු කුමක් ද? යන්න හෝ  IMF ණය ප්‍රදාන අභ්‍යන්තර ක්‍රමවේදය කුමක් ද? යන්න  මුදල් ඇමති දැන සිටියා නම්, IMF වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ණය ප්‍රදාන අභ්‍යන්තර ක්‍රමවේදයන් කඩා ශ්‍රී ලංකාවට ණය ප්‍රදානය කරන ලෙස IMF කළමනාකරණ අධ්‍යක්ෂක තුමියගෙන් නොව ශ්‍රී ලංකාව භාර IMF නිලධාරී මණ්ඩලයෙන් වත් ඉල්ලා නොසිටිනු ඇත. ශ්‍රී ලංකාවේ බැංකුවකින් නම් එවැනි ඉල්ලීමක් කළ හැකිය. සීග්‍ර මුල්‍යකරණ ණය ක්‍රමය යනු IMF පුර්ණ ණය වැඩසටහනක් අවශ්‍ය නොවන හදිසි ගෙවුම් ශේෂ හෝ විදේශ මුදල් අවශ්‍යතාවයකට මුහුණ දෙන සාමාජික රටක ක්ෂණිකව ඇති විය දැඩි ආර්ථික කඩා වැටීමක් වැලැක්වීමේ අරමුණින් හදිසි ණය සැපයෙන ක්‍රමවේදයකි. කොරෝනා වසංගත අර්බුදය සමයේ බොහෝ දියුණුවන රටවලට හදිසි ණය සපයනු ලැබුවේ මෙම ණය ක්‍රමය සහ සීග්‍ර ණය පහසුකම (Rapid Credit Facility) යටතේ ය.

  • දෙවනුව, මුදල් ඇමති ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට IMF කළමනාකාර අධ්‍යක්ෂක තුමිය හමු වීමට අවසර දී ඇත්තේ ආචාරශීලි හමුවීම (Courtesy Call) නැමති සුහද හමුවීමක් සඳහා විය යුතු අතර අතර එම හමුවීම්වල රාජකාරී හෝ ව්‍යාපාරික කරුණු සාමාන්‍යයෙන් සාකච්ඡා කිරීමක් හෝ තීරණ ගැනීමක් සිදූ නොකෙරේ. නව මුදල් ඇමතිවරුන්ට එවැනි කෙටි හමුවීම් ලබා දීම සාමාන්‍යයෙන් දැකිය හැකිය.

  • තෙවනුව, මෙම පුවත් නිවේදනය සත්‍ය නම් IMF ණය ප්‍රදාන ක්‍රමවේදයෙන් පිටත ශ්‍රී ලංකාවට අනවශ්‍ය ලෙස උදවු කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත IMF කළමනාකාර අධ්‍යක්ෂක තුමියගේ තනතුර ද අහිමි වී යාමේ අවදානමක් ඇත. උදාහරණ ලෙස එතුමිය එවැනි අවදානමකින් මෑතදී බේරුනේ අනූ නවයෙනි. එනම්, එතුමිය IMF කළමනාකාර අධ්‍යක්ෂක ලෙස පත් වීමට පෙර ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස සිටිය සමයේ ලෝක බැංකු වර්තාවක කරැනු චීනයට අනුග්‍රාහක ලෙස සකස් කිරීමට එතුමිය විසින් නිලධාරීන්ට උපදෙස් දුන් බවට නැගුණ චෝදනාව, එනම් අභිලාශයන්හි ගැටුම චෝදනාව (Conflict of Interest), බාහිර මණ්ඩලයක් විසින් විමර්ශනය කිරීම යි. එතුමිය එම තනතුරෙන් ඉවත් කරන ලෙස සමහර සාමාජික රටවල් විසින් යෝජනා කරන ලදි.

  • සිවුවනුව, ඉන්දියාව හෝ වෙනත් රටක් විසින් ශ්‍රී ලංකාවට විශේෂයෙන් අනුග්‍රහය දක්වන ලෙස දේශපාලනික ඉල්ලීම් IMF වෙත ඉදිරිපත් කිරීමක් සිදු නොවේ. ඉන්දියානු නියෝජිතයෙකු IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින අතර ඔහු විසින් තම අදහස් දක්වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රදාන වාර්තාව අදාළ IMF නිලධාරීන් විසින් එම මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සාකච්ඡා කෙරෙන අවස්ථාවේ දී ය. එම සාකච්ඡා අවස්ථාවට තවත් මාස කිහිපයක් ගත වනු ඇත. IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්දියානු නියෝජිතයා යටතේ විකල්ප අධ්‍යක්ෂක වරයෙකු ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා නියෝජිතයා ද මෙම රැස්වීම්වල දී ක්‍රියා කරන්නේ IMF පැත්තේ සිට ය.

  • පස්වනුව, පහත පින්තූරයේ දක්වෙන පරිදි තම මිත්‍ර රටවල නියෝජිතයන් සමඟ ඉඩ පහසුකම් ලැබෙන පරිදි මෙම රැස්වීම් සමය තුළ ආගිය තොරතුරු සහ මිතුරුකම බෙදා ගැනීම සඳහා කෙටි රැස්වීම් පැවැත්වීම සිදු වෙයි. එය IMF ලෝක බැංකු වසන්ත රැස්වීම් න්‍යාය පත්‍රයට අයත් වන රැස්වීම් නොවේ.

සත්‍ය වාදීව මහජනයා දැනුවත් කිරීමේ අවශ්‍යතාවය 

එබැවින්, මෙවැනි පුවත් නිකුත් කිරීමෙන් ජනාධිපති තුමා පමණක් රැවටිය හැකිය. එසේම, මෙවැනි පුවත් නිකුත් කිරීමෙන් පසු, පවත්නා සමාජ සහ දේශපාලනික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල මැසිවිලි නැගීමක් සිදු වී, ශ්‍රී ලංකාව වෙත IMF ණය ප්‍රදානය කල් ගත වුව හොත් මුදල් ඇමතිගේ වෘත්තීය චරිතය ද ඝාතනය විය හැකිය.

මෙම ණය මුදල නොලැබී ගිය හොත් පසුගිය 8 වැනි දින පොලී අනුපාතය 7% කින් එකවර ඉහළ දැමීමේ සහ පසුගිය 11 දින රාජ්‍ය විදේශ ණය පැහැර හැරීමේ ඓතිහාසික සිදුවීම් දෙකට වඩා ව්‍යසනකාරී තත්ත්වයක් පොදුජන ආර්ථිකය කෙරෙහි ඇති වනු ඇත.

එබැවින්, ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සමාජීය උද්ඝෝෂණ අවස්ථාවේ දී මීට වඩා සත්‍ය වාදී වීම නුවණට හුරු වෙයි. එසේම, දැනට වර්ෂයකට වඩා එපිට දී සීග්‍ර මුල්‍යකරණ ක්‍රමය යටතේ ඉතා පහසුවෙන් ගත හැකිව තිබූ මෙම IMF ණය මුදල ඉක්මනින් ලබා ගැනීමේ පරම අභිලාෂයෙන් අපි සියළු දෙනා පසු වන බව කිව යුතු නැත. IMF ණය ප්‍රදානය විනිවිද බවකින් සහ අභ්‍යන්තර පාලනයන්ගෙන් පිරි ක්‍රමවේදයක ප්‍රතිඵලයක් මිස විශේෂ පුද්ගලයකුගේ හෝ දෙදෙනෙකුගේ හැකියාවේ සහ ජාත්‍යන්තර සබඳතාවල ප්‍රතිඵලයක් නොවේ.


මුදල් අමාත්‍යංශ “IMF රැස්වීම්” පුවත් පින්තූරය



IMF ලෝක බැංකු වසන්ත රැස්වීම අප්‍රේල් 18-22 - අපිට ආර්ථික වාසියක් ලැබෙයි ද?

19.04.2022

මෙම 18-24 සතිය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් එලියට ඒම සඳහා ශ්‍රී ලංකාවට ණයක් ලබා ගැනීමට අදාළ නිල සාකච්ඡා IMF සමඟ පැවැත් වීම සඳහා ශ්‍රී ලංකා මුදල් ඇමති, මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ඇතුළු නිලධාරී මඩුල්ලක් පිටත්ව ගිය බවත්, ඊට පෙර ඒ සඳහා මාර්ගගත ක්‍රමයට මූලික සාකච්ඡාවන් පැවැත්වූ බවත් මාධ්‍යය විසින් වාර්තා කොට ඇත.

වසන්ත රැස්වීමේ දී සිදු වන්නේ කුමක් ද?

එහෙත්, සත්‍ය කතාන්දරය වනුයේ මෙම  ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදය මැද්දේ ඔවුන් පිටත් වී ගොස් ඇත්තේ IMF ලෝක බැංකු වසන්ත රැස්වීමට සහභාගී වීම සඳහා ය. එය IMF සහ ලෝක බැංකුවේ අධිපති මණ්ඩල වාර්ෂික රැස්වීම සහ ආර්ථික සමන්ත්‍රණ මාලාවකින් සමන්විත වෙයි. IMF සහ ලෝක බැංකු පාලන පද්ධතියේ ඉහළම ඒකකය අධිපති මණ්ඩල වන අතර එයට සාමාජික රටවල මුදල් ඇමති අධිපති වරයෙකු ලෙස ද, මහ බැංකු අධිපති විකල්ප අධිපති වරයෙකු ලෙස ද පත් වී ඇත. මෙම අධිපති මණ්ඩලය ඉහළම තීරණයන් ගැනීමේ අධිකාරිය වුව ද, එම බලතල රැසක් එම ආයතන දෙකේ විධායක අධ්‍යක්ෂක මණ්ඩල වෙත පවරා ඇති බැවින් අධිපති මණ්ඩලය හුදෙක් සම්මානනීය මණ්ඩලයක් ලෙස ක්‍රියා කෙරෙන අතර ඔවුන් වර්ෂයකට වරක් මෙසේ වසන්ත රැස්වීමට සහභාගී වෙයි.

IMF සහ ලෝක බැංකු සාමාජික රටවල් සංඛ්‍යාව 189 ක් පමණ වන බැවින් මෙම වසන්ත රැස්වීමට විශාල නියෝජිත පිරිසක් සහභාගී වෙයි. ඊට අමතරව, ඉල්ලීම සහ ආරාධනාවන් මත වෙනත් පෞද්ගලික නියෝජිත පිරිසක් ද සහභාගී වනු ඇත. මාර්ගගත ක්‍රමයට ද ඊට සහභාගී විය හැකිය.

එබැවින්, මෙම රැස්වීම් කාලය තුළ වෙනත් රටවල නියෝජිතයන්, හිත මිතුරන්, IMF ලෝක බැංකු නිලධාරීන් සහ වෙනත් ගෝලීය ආයතනවල නිලධාරීන් මුණ ගැසීම සඳහා කෙටි කාලයන් ද නියෝජිතයන් විසින් යොදා ගනු ඇත. සමහර රැස්වීම් සම්මන්ත්‍රණ ශාලාවේ කොනක හෝ පිටත එළිමහනේ හෝ යාබද රැස්වීම් කාමරයක හෝ පැවැත් වෙයි. මෙම කාලය තුළ පැවැත්වෙන සම්මන්ත්‍රණයන් වත්මන් ගෝලීය වැදගත්කමක් ඇති ආර්ථික සහ මූල්‍ය විෂයන් ආවරණය කරමින් ගෝලීය විද්වතු විසින් පවත්වන බැවින් එයට සහභාගී වීමෙන් නව තාක්ෂණික ආර්ථික වචන මාලාව ඇතුළු විෂය අවබෝධයට යමක් එකතු කර ගත හැකිය. ඒ හැර රටවල ආර්ථික අර්බුදයන්ට විසඳුම්  සෙවීමට මෙම වසන්ත රැස්වීමෙන් දායකත්වයක් නොලැබේ.

දියුණුවන රටවලින් පැමිණෙන සමහර නියෝජිතයන් විසින් අධිපති රැස්වීමෙන් පසු සම්මන්ත්‍රණයන්ට සහභාගී වීම් මග හැර වොෂින්ටන් නගරය අවට වෙසෙන තම නෑදෑ හිතවතුන් හමුවීමට සහ තමන් ප්‍රිය ඇමෙරිකානු සන්නාම සහිත භාණ්ඩ මිල දී ගැනීමේ සාප්පු සවාරි ද පවත් වනු ඇත. සමහරු මෙයට සහභාගී වන්නේ තමන් විසින් වර්ෂ ගණනාවක් අඛණ්ඩව සහභාගී වීමේ වාර්තාව අළුත් කිරීම සඳහා ය. සමහරුන්ට මෙය පෞද්ගලික වියදම් රහිත තවත් විදේශ සංචාරයකි.

එසේම, නව මහ බැංකු අධිපති විසින් වත්මන් ආර්ථික අර්බුදය විසඳීමේ නව ප්‍රතිපත්ති මෙවලමක් ලෙස විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් දැනටමත් මුදල් ආධාර ඉල්ලා ඇති බැවින් ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික කණ්ඩායම් හමු වී එම ආධාර සංවිධානය කිරීමේ රැස්වීම් පැවැත් වීමට ද මෙම සංචාරයේ දී හොඳ අවස්ථාවක් ලැබේ. එමගින්, ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ මෙම විදේශ ගමන් පිරිවැය පියවා ගැනීමට ද හැකියාව ලැබේ.

IMF ණය පහසුකම් සැපයීමේ ක්‍රමවේදය කුමක් ද?

IMF සහ ලෝක බැංකු මූල්‍ය සහ වෙනත් තාක්ෂණික පහසුකම් සාමාජික රටවලට සැපයීමේ ක්‍රියාවලිය පවතින්නේ අදාළ නිලධාරී කණ්ඩායම් අත ය. උදාහරණ ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති ණය මුදල පිලිබඳ ඇගයීමේ කටයුතු සඳහා අදාල විෂය දැනුම ඇති නිලධාරී කණ්ඩායමක් IMF කළමනාකාරිත්වය විසින් පත් කෙරෙනු ඇත. සාමාජික රටවල් පිළිබඳ ව වාර්ෂික ආර්ටිකල් IV ඇගයීම කෙරෙන බැවින් පසුගිය මාර්තු මස නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ආර්ටිකල් IV ඇගයීම් වාර්තාව තුළින් දැනටමත් ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ව නවතම තොරතුරු පද්ධතියක් එම කණ්ඩායම සතුව ඇත. 

එහෙත්, එම කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය අධිකාරීන්, රාජ්‍ය ආයතන නියෝජිතයන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් හමු වී ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳ ව නව තොරතුරු රැස් කර ගැනීම සිදු කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකාවට ණය ප්‍රදානය කිරීමේ නිලධාරී ඇගයුම් වාර්තාව අදාළ ඉහළ නිලධාරීන් හරහා IMF විධායක අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. නිර්දේශිත ණය මුදලණය කොන්දේසි සහ ණය නිදහස් කිරීමේ සහ පසුවිපරම් ක්‍රමවේදය ද  එම වාර්තාවේ අඩංගු වනු ඇත.

IMF ණය කොන්දේසි

IMF ණය මුදලක් ප්‍රදානය කෙරෙනුයේ ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන ගෙවුම් ශේෂ හෙවත් විදේශ මුදල් අර්බුදය නිරාකරණයට යම් ආධාරකයක් පමණක් ලෙස ය. එම ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආනයන සහ විදේශ ණය ගෙවීම සඳහා අවශ්‍ය මුළු ඩොලර් මුදල් ප්‍රමාණය නොලැබේ. එම ණය මුදල ප්‍රදානය කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදය හට ගැනීමට හේතු වූ කාරකයන් නිරාකරණය කිරීම සඳහා පනවන ලද විවිධ කොන්දේසි ද සමඟ ය. එම කොන්දේසි IMF ආයතනය විසින් පිළි ගන්නා නිදහස් වෙළෙඳපොළ සංකල්පය මත පදනම් වූ සාර්ව ආර්ථික එළඹුම මත පදනම් වන අතර ඒවා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය හරහා ක්‍රියාත්මක කළ යුතු වෙයි. එම සාර්ව ආර්ථික එළඹුම පිළි නොගන්නා අයට එම කොන්දේසි වහ කදුරු ලෙස ද,  එම ආර්ථික එළඹුම පිළි ගන්නා අයට ඒවා දිව්‍ය ආර්ථික ඖෂධයන් ලෙස ද පෙනේ. එබැවින්, IMF කළමනාකරණ අධ්‍යක්ෂක හෝ වෙනත් ඉහළ නිලධාරීන් හමු වීමෙන් හෝ දැන හැඳින ගැනීමෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන ණය සඳහා විශේෂ වාසියක් ලබා ගත නොහැකිය.

ශ්‍රී ලංකාව 16 වරක් IMF ණය පහසුකම් ලබා ගෙන ඇති බැවින් මෙම කොන්දේසිවල ලොකු අමුත්තක් ශ්‍රී ලංකාවට නොමැත. එහෙත්, 2020 වර්ෂයේ ද එම කොන්දේසි පැවතිය ද, ශ්‍රී ලංකාව නැවත ඓතිහාසික විදේශ මුදල් අර්බුදයකට මෙවර මුහුණ දෙයි. ගෝලීය කොරෝනා අර්බුදය හේතු කොට හට ගත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් නිරාකරණය සඳහා දියුණු වන රටවල් 90 ක් ඩොලර් බිලියන 170 ක පමණ ණය IMF වෙතින් මේ දක්වා ලබා ගෙන ඇති අතර මීට සමාන කොන්දේසි එම සියළු රටවලට ද හුරුපුරුදු ය. මෙතෙක් විදේශ මුදල් සහ සංචිත ප්‍රශ්නයක් නොමැති බංගලි දේශය පවා ඩොලර් මිලියන 732 ක පමණ ණය මුදලක් IMF වෙතින් 2020 වර්ෂයේ දී ලබා ගෙන, ඩොලර් මිලියන 200 ක පමණ අවදානම් ණය මුදලක්  ශ්‍රී ලංකාවට ද ප්‍රදානය කොට ඇත.

එබැවින්, ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ලබන 24 දිනෙන් පසුව නැවත පැමිණෙන විට, අප්‍රේල් 18-24 කාලය තුළ තීරණාත්මක දීර්ඝ සාකච්ඡාවන් නිම කොට ඩොලර් බිලියන 4 ක පමණ IMF ණය ද ලබා ගෙන ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජාතික වීරයන් ලෙස පැමිණෙන බවට බලාපොරොත්තු නොවිය යුතුය. එබැවින්සමහර නියෝජිතයන් විසින් සමාජ මාධ්‍යය හරහා සංසරණය කෙරෙන පිංතූරයන්ට සහ කටකතාවලට සිමා නොවී, මෙම නිල සංචාරයේ ප්‍රගතිය පිලිබඳ ව මුදල් ඇමති විසින් පැරණි මූල්‍ය වාදී IMF ආර්ථික සංකල්පවලට හසු නොවී මහජනතාව දැනුවත් කිරීම  සහ IMF සංචාරයෙන් පසු නුදුරේම මහ බැංකු අධිපති විසින් පොලී අනුපාතයන් නැවතත් ඉහළ දමා රජය සහ ආර්ථිකය තවත් බංකොලොත්ම කිරීම වැලැක්වීමට ක්‍රියා කිරීම මෙම  සමාජීය අර්බුදකාරී අවස්ථාවේ සැපයෙන පොදු මහජන සේවයක් වනු ඇත.

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 


 

 

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි