පොදුජන ජීවන තත්ත්වය එසවීමට රාජ්‍ය අයවැය අසමත් ඇයි? අයවැය දෝෂය ද? මතවාදයේ දෝෂය ද? විකල්පය කුමක් ද?
ලිපියේ පසුබිම සහ අරමුණ මේ දිනවල රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ඔවුන්ගේ මාධ්‍යය විසින් උදේ සවස දක්වන්නේ, රාජ්‍ය භාණ්ඩාගාරය අතිරික්ත මුදල්වලින් පිරී ඇති බවත්, ප්‍රාථමික අයවැය සහ සමස්ත අයවැය අතිරික්තයක් ජනිත වී ඇති බවත්, එය අයවැය/රාජ්‍ය මූල්‍ය විනයේ ඓතිහාසික ප්‍රගතියක් හෝ ජයග්‍රහණයක් බවත්, ඉන් ආර්ථිකයේ ස්ථායිකරණය විදහා දක්වන බවත් ය. මෙය IMF ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සෘජු ප්‍රතිඵලයක් බවත්, එබැවින්, අඛණ්ඩව IMF වැඩසටහන්වලට අනුගත වීම තුළින් රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගත යුතු බවත්, IMF නියෝජිත ආර්ථික විද්‍යාඥයන්ගේ මතවාදය යි. සමහරුන්ට අනුව මෙම රාජ්‍ය මූල්‍ය විනය වත්මන් රජය විසින් ආර්ථිකය මෙහෙයවීමේ විශේෂ සාර්ථකත්වය යි. එහෙත්, නූතන ආර්ථිකයන් රාජ්‍ය මුදල් මත පදනම් වී ක්‍රියාත්මක වන ආකාරයත්, රජයන් විසින් තම අයවැය මෙවලම් හරහා ආර්ථිකයන් සැබැවින් කළමනාකරණය කෙරෙන ආකාරයත් දෙස බලන විට, ඉහත දැක්වූ රාජ්‍ය මූල්‍ය විනය යනු හුදු පැරණි මිථ්‍යා ආර්ථික මතවාදයකි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පොදුජන ජීවන තත්ත්වය ඉදිරියට නොයාමට ප්‍රධාන හේතුව මෙම මිථ්‍යා මතවාදය අනුව රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කිරීම ය...