පොදුජන ජීවන තත්ත්වය එසවීමට රාජ්‍ය අයවැය අසමත් ඇයි? අයවැය දෝෂය ද? මතවාදයේ දෝෂය ද? විකල්පය කුමක් ද?

ලිපියේ පසුබිම සහ අරමුණ

මේ දිනවල රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ඔවුන්ගේ මාධ්‍යය විසින් උදේ සවස දක්වන්නේ, රාජ්‍ය භාණ්ඩාගාරය අතිරික්ත මුදල්වලින් පිරී ඇති බවත්, ප්‍රාථමික අයවැය සහ සමස්ත අයවැය අතිරික්තයක් ජනිත වී ඇති බවත්, එය අයවැය/රාජ්‍ය මූල්‍ය විනයේ ඓතිහාසික ප්‍රගතියක් හෝ ජයග්‍රහණයක් බවත්, ඉන් ආර්ථිකයේ ස්ථායිකරණය විදහා දක්වන බවත් ය. 

මෙය IMF ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සෘජු ප්‍රතිඵලයක් බවත්, එබැවින්, අඛණ්ඩව IMF වැඩසටහන්වලට අනුගත වීම තුළින් රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගත යුතු බවත්, IMF නියෝජිත ආර්ථික විද්‍යාඥයන්ගේ මතවාදය යි. සමහරුන්ට අනුව මෙම රාජ්‍ය මූල්‍ය විනය වත්මන් රජය විසින් ආර්ථිකය මෙහෙයවීමේ විශේෂ සාර්ථකත්වය යි.

එහෙත්, නූතන ආර්ථිකයන් රාජ්‍ය මුදල් මත පදනම් වී ක්‍රියාත්මක වන ආකාරයත්, රජයන් විසින් තම අයවැය මෙවලම් හරහා ආර්ථිකයන්  සැබැවින් කළමනාකරණය කෙරෙන ආකාරයත් දෙස බලන විට, ඉහත දැක්වූ රාජ්‍ය මූල්‍ය විනය යනු හුදු පැරණි මිථ්‍යා ආර්ථික මතවාදයකි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පොදුජන ජීවන තත්ත්වය ඉදිරියට නොයාමට ප්‍රධාන හේතුව මෙම මිථ්‍යා මතවාදය අනුව රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කිරීම යි.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, රාජ්‍ය අයවැය මගින් නූතන මුදල් ආර්ථිකයන් සැබැවින් කළමනාකරණය කෙරෙන  සාර්ව ආකෘතිය ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීම යි. එය, නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන සැබෑ ගිණුම් ක්‍රමය මත පදනම් වී ඉදිරිපත් කෙරෙන බැවින් හුදු තවත් ආර්ථික මතවාදයක් නොවේ. එබැවින්, මෙම මුදල් ගිණුම් ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් ඇති මහ බැංකු සහ භාණ්ඩාගාර නිලධාරීන්ට සහ ආර්ථික විද්‍යාඥයන්ට මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන කරුනු පහසුවෙන් අවබෝධ වනු ඇත. එබැවින්, ඉහත දැක්වූ වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය වින ඉලක්කම්වල පසුබිම පිළිබඳ ව කිසිම විග්‍රහයක් මෙහි ඉදිරිපත් නොකෙරේ.

එබැවින්, මෙම ලිපිය මගින් රාජ්‍ය වියදම්, බදු ආදායම, අයවැය හිඟය/අතිරික්තය සහ ණය පිළිබඳ ව දේශපාලනික නායකයන්, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආර්ථික විද්‍යාඥයන් විසින් භක්තියෙන් අනුගමනය කෙරෙන නව ලිබරල් මිථ්‍යා මතවාදය ඉස්මතු කෙරේ.

සමස්තයක් ලෙස රජයන් විසින් ආර්ථිකයන් කළමනාකරණය සඳහා නූතන අයවැය/රාජ්‍ය මූල්‍ය බලය එහි සැබෑ ස්වරුපයෙන් භාවිතා කෙරේ නම්, කලින් කළට ආර්ථික අර්බුදයන් හට ගෙන පොදුජන ජීවන තත්ත්වය දශක ගණන් පසුබෑමට හැකියාවක් නොමැත.

නූතන රටවල නෛතික මුදල් යනු රාජ්‍ය මුදල් ය 

මුදල් යනු විශ්වාසී ගෙවුම් පොරොන්දු පත්‍රය. රටවල නෛතික මුදල් යනු රජය විසින් නිකුත් කොට ඇති ගෙවුම් පොරොන්දු පත්‍ර වෙයි. කාසි සහ නෝට්ටු සහ බැංකු සටහන් හරහා එම මුදල් නිකුත් කිරීම සහ ගනුදෙනු කිරීම සිදු වෙයි. ක්‍රිප්ටෝ මුදල් වැනි පෞද්ගලික පොරොන්දු පත්‍ර ද මුදල් ලෙස භාවිතා කළ ද, ඒවා රාජ්‍ය මුදල් මෙන් පොදු විශ්වාසයක් නොමැත. එබැවින්, රටවල නූතන මුදල් ක්‍රමයන් රාජ්‍ය මුදල් මත සැකසී ක්‍රියාත්මක වෙයි. එබැවින්, මුදල් නිකුතු අධිකාරිය රජය යි. මහ බැංකුව යනු රාජ්‍ය මුදල් නිකුතු ලිපිකරු ය.

එබැවින්, රාජ්‍ය මුදල් යනු පසුගිය සියවසක පමණ කාලය තුළ ආර්ථිකයන් සහ ජන සමාජයන් පාලනය කිරීම සඳහා රජයන් විසින් ගොඩ නගා ගෙන ඇති ප්‍රබලම දේශපාලන අවිය යි. උදාහරණ ලෙස ඇමෙරිකාව විසින් සමස්ත ලෝකයම පාලනය කරන්නේ, තම ඩොලර් මුදල වියදම් කිරීමේ බලය හරහා ය.

රාජ්‍ය වියදම් පියවීම සඳහා මුදල් මුද්‍රණය කිරීම

ආර්ථිකයට නෛතික මුදල් ලැබෙන මූලය රාජ්‍ය වියදම් ය. කුටුම්බයකට හෝ ව්‍යාපාරික ආයතනයකට මෙන් නොව, රජයකට වියදම් කිරීමට පෙර මුදල් අවශ්‍ය නොවේ. ඊට හේතුව, රජය විසින් වියදම් කිරීම සඳහා නිකුත් කෙරෙන ගෙවුම් පොරොන්දු පත්‍ර රටේ මුදල් ලෙස පිළි ගැනීම යි. එබැවින්, රජයට වියදම් කිරීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් මුදල් සපයා ගැනීමක් අවශ්‍ය නොවේ. ඊට හේතුව, මුදල් මුද්‍රණය මගින් වියදම් කිරීමේ රාජ්‍ය බලයත්, රජය විසින් තමන් විසින් නිකුත් කොට ඇති මුදල් පමණක් ගනුදෙනු සඳහා භාවිතා කිරීමත් ය.

එසේ රාජ්‍ය මුදල් මුද්‍රණය පියවර දෙකකින් සිදු වෙයි.

  • වියදම් සඳහා රජය විසින් නිකුත් කෙරෙන ගෙවුම් ඇණවුම් මහ බැංකුව ඇතුළු බැංකු විසින් පිළි ගෙන, අදාළ ගෙවුම් හිමියන්ට නෛතික මුදල් ගෙවනු ලැබේ. එම මුදල් ඔවුන්ට කාසි සහ නෝට්ටු හෝ තැන්පතු ලෙස සැපයෙනු ඇත. 

  • බැංකු විසින් එම ගෙවුම් පොරොන්දු රජයට දුන් ණය ලෙස තම වත්කම්වලට ගිණුම් ගත කෙරේ. ඒ අනුව, රාජ්‍ය මුදල් ද්විත්ව ගිණුම් මගින් ගනුදෙනු කෙරේ. 
මෙසේ මුද්‍රණය කෙරෙන මුදල් ගනුදෙනු කිරීමේ විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව විසින් අන්තර් බැංකු ගෙවුම් සහ පියවුම් ගිණුම් ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. එබැවින්, රාජ්‍ය මුදල් ක්‍රමයන් රජය විසින් ගෙවුම් පැහැර හැරීම හේතු කොට කඩා වැටීමක් සිදු නොවේ. 

බදු මගින් රාජ්‍ය මුදල් කොටසක් ආර්ථිකයෙන් ඉවත් කිරීම 

වියදම් සඳහා රජය මුද්‍රණය කරන මුදල් මහජනයාට ලැබී ඔවුන්ගේ ආදායම් සහ වියදම් සඳහා සංසරණය වනු ඇත. එබැවින්, ආර්ථිකයෙහි සංසරණය වන මුදල් ප්‍රමාණය පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බදු පැනවීම හරහා එම මුදල්වලින් කොටසක් සංසරණයෙන් ඉවත් කෙරේ. එය මූලික අරමුණු දෙකක් මත සිදු කෙරේ. 

  • පළමුව, අහිතකර උද්ධමනකාරී තත්ත්වයන් වැලැක්වීම සඳහා ආර්ථිකයෙහි නිෂ්පාදන ප්‍රවාහයට සරිලන මුදල් ප්‍රමාණයක් පවත්වා ගැනීම. 

  • දෙවනුව, ආර්ථිකයේ සංවර්ධනය සඳහා අවශ්‍ය නව අංශයන්ට වියදම් ප්‍රසාරණයට අවකාශය ලබා ගැනීම හෙවත් ආර්ථිකයෙහි ආදායම් ව්‍යාප්තිය පුළුල් කිරීම.

බදු මුදල් රාජ්‍ය බැංකු ගිණුමට ලැබුණ ද, රටේ මුදල් සැපයුම ගණනය කිරීමේ දී, එම මුදල් ප්‍රමාණය රාජ්‍ය බැංකු ණය ප්‍රමාණයෙන් අඩු කෙරේ. එනම්, එම මුදල් ප්‍රමාණය රාජ්‍ය මුදල් සැපයුමෙන් මකා දැමීම යි. එය මුදල් සොරකමක් නොවේ. එබැවින්, බදු මුදල් යනු ඉදිරියේ දී වියදම් කිරීම සඳහා බැංකුවල රැස් වන රාජ්‍ය තැන්පතු මුදල් නොවේ.

එබැවින්, රාජ්‍ය මූල්‍ය විනය හුවා දක්වමින් රාජ්‍ය වියදම් ප්‍රසාරණය කපා හරිමින් ඉහළ ඉලක්කයන් සඳහා වඩ වඩා බදු රැස්කිරීම යනු පෞද්ගලික අංශය තුළ මුදල් හිඟයක් තුළින් ඉදිරියේ දී ආර්ථිකය පසුබෑමට ලක් කිරීම යි.

එබැවින්, බදු යනු රාජ්‍ය වියදම් පියවීම සඳහා අවශ්‍ය මුදල් ආදායම් මූලය ලෙස හුවා දැක්වීම සාවද්‍යය.

අයවැය හිඟය යනු ශුද්ධ මුදල් මුද්‍රණය බැවින් රාජ්‍ය මුදල් හිඟයක් නොවන බව

රජය විසින් වියදම් සඳහා මුද්‍රණය කෙරෙන මුදල් වලින් කොටසක් රජය විසින් නැවත බදු හරහා සංසරණයෙන් ඉවත් කෙරෙන බැවින් රජයේ ශුද්ධ වියදම හෝ ශුද්ධ මුදල් මුද්‍රණය යනු අයවැය හිඟය යි. අයවැය හිඟය යනු හුදු පෞද්ගලික අයවැය සඳහා භාවිතා වන ගණකාධිකරණ වචනයක් මිස, රජය මුහුණ දෙන මුදල් හිඟයක් නොවේ. ඊට හේතුව, රජය විසින් සියළු වියදම් මුදල් මුද්‍රණය හරහා දැනටමත් පියවා ඇති බැවින් නැවත පියවීමට හිඟයක් නොමැති වීම යි.

එබැවින්, රාජ්‍ය අයවැය හිඟය යනු මිථ්‍යා ගිණුමකි. එය පෞද්ගලික අයවැය සඳහා අදාළ වන්නේ, පෞද්ගලික අංශය විසින් තම වියදම් පියවීම සඳහා බාහිරින් රාජ්‍ය මුදල් සොයා ගත යුතු බැවිනි.

රාජ්‍ය ණය යනු රාජ්‍ය මුදල් කොටසක් වියදම් ප්‍රවාහයෙන් තාවකාලිකව ඉවත් කිරීම සඳහා මුදල් හිමියන්ට සැපයෙන විකල්ප ආයෝජන මුදල් ගිණුමක් බව

රාජ්‍ය ණය මගින් සිදු වන්නේ, රජය විසින් වියදම සඳහා නිකුත් කොට ඇති ශුද්ධ මුදල් ප්‍රමාණයෙන් කොටසක් තාවකාලිකව ආර්ථිකයෙහි පෞද්ගලික වියදම් ප්‍රවාහයෙන් ඉවත් කිරීම යි. මෙහි දී, සැබෑ ලෙස සිදු වන්නේ, කිසිම පොලී ආදායමක් නොලැබෙන රාජ්‍ය මුදල් සඳහා පොලී ආදායමක් ලැබෙන ආයෝජන මුදල් ගිණුමක් රජයෙන් සැපයීම යි. උදාහරණ ලෙස රාජ්‍ය සුරැකුම්පත් දැක්විය හැකිය. එබැවින්, රාජ්‍ය ණය යනු  වියදම් පියවීම සඳහා රජයට මුදල් සපයා ගැනීමක් නොවේ. 

ණය රැස් කිරීමේ දී සිදු වනුයේ, සංසරණයේ පවතින නෝට්ටු මුදල් සහ සංචිත මුදල් කොටසක් එම මුදල් හිමියන්ගෙන් උකහා ගැනීම තුළින් එම මුදල්වල වියදම් කිරීමේ හැකියාව හෙවත් ද්‍රවශීලතාවය පහළ දැමීම යි. ඒ සඳහා, රජය විසින් ඔවුන්ට පොලී ප්‍රතිලාභයක් සපයනු ලැබේ. එහෙත්, එම ආයෝජකයන්ට අවශ්‍ය විට, එම ණය ද්විතීය වෙළෙඳපොළේ අළෙවි කොට, වැය කළ හැකි රාජ්‍ය මුදල් සපයා ගත හැකිය. එබැවින්, රාජ්‍ය ණය ක්‍රමයෙහි ආර්ථික අරමුණු දෙකකි. 

  • පළමුව, පෞද්ගලික අංශයේ වියදම් තාවකාලිකව පාලනය තුළින් උද්ධමනකාරී පීඩනයන් සමනය කිරීම. 

  • දෙවනුව, දැනට පවතින රාජ්‍ය මුදල් සංසරණය සීමා කොට, නව අංශයන් සංවර්ධනය සඳහා රාජ්‍ය වියදම් කිරීමේ අවකාශය ලබා ගැනීම හෙවත් ආර්ථිකයෙහි ආදායම් ප්‍රතිව්‍යාප්තිය.

එබැවින්, රාජ්‍ය ණය මගින් රජයට නව වියදම් කිරීම සඳහා මුදල් රැස් කෙරෙන බවට දැක්වෙන මතවාදය අසත්‍යය. ණය යනු හුදෙක් මුදල් මුද්‍රණ හැකියාව නොමැති පෞද්ගලික අංශයේ අයවැයට අදාළ සිද්ධියකි.

මුදල් පාලන මෙවලම් දෙකක් ලෙස බදු අනුපාතය සහ රාජ්‍ය ණය පොලී අනුපාතය

බදු සහ රාජ්‍ය ණය පොලී අනුපාතයන් යනු මුදල් පාලනය සඳහා රජය භාවිතා කරන මිල ගණන් දෙක යි. ඒවා, රාජ්‍ය වියදම් සහ ඒ සඳහා මුද්‍රණය කෙරෙන මුදල් ව්‍යාප්තිය සාර්ව ආර්ථික අරමුණුවලට ගැලපෙන ලෙස ක්‍රමවත් කිරීම සඳහා භාවිතා කෙරේ. එබැවින්, රජය විසින් ඒවා ආර්ථිකයෙහි උද්ධමනය සහ සේවා නියුක්තිය අතර යම් තුලනයක් මත රාජ්‍ය වියදම් පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි තීරණය කළ යුතුය. 

ඊට හේතුව, ඉහළ අනුපාතයන් හේතු කොට පෞද්ගලික අංශයේ ඉල්ලුම පහළ ගොස්, උද්ධමනකාරී පීඩනය පහළ යාමත්, සේවා වියුක්තිය ඉහළ යාමත් සිදු වන බැවිනි. එසේම, ඉහළ පොලී අනුපාතයන් හේතු කොට රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීමට මුදල් මුද්‍රණය ඉහළ යාමෙන් ඉල්ලුම, උද්ධමනය සහ සේවා නියුක්තිය කෙරෙහි අහිතකර බලපෑමක් ද පසුව හට ගනී.  එම අනුපාතයන් පහළ දැමීමෙන්, ඊට ප්‍රතිවිරුද්ධ බලපෑමක් ආර්ථිකයෙහි සිදු වෙයි. 

එබැවින්, බදු අනුපාතයන් සහ රාජ්‍ය ණය පොලී අනුපාතයන් තීරණය කළ යුත්තේ, හුදෙක් රාජ්‍ය වියදම්වල සාර්ව ආර්ථික ඉලක්කයන් පදනම් කර ගෙන ය. එබැවින්, රාජ්‍ය ආදායම් ඉහළ දැමීම සඳහා බදු අනුපාතයන් ඉහළ දැමීම සහ රාජ්‍ය පොලී වියදම පහළ දැමීම සඳහා පොලී අනුපාතයන් පහළ දැමීම වැනි මතවාදයන් ආර්ථික වශයෙන් පදනම් විරහිත අසත්‍යයන් ය.

එබැවින්, පොලී අනුපාතයන් හරහා ආර්ථිකයෙහි මුදල් සංසරණය සහ ඉල්ලුම පාලනය තුළින් උද්ධමනය සහ සේවා නියුක්තිය ආශ්‍රිත අරමුණු මත ක්‍රියාත්මක කෙරෙන මහ බැංකු මුදල් ප්‍රතිපත්ති පදනම් විරහිත ය.

රජය විසින් කෙරෙන ආර්ථික කළමනාකරණය

ආර්ථිකයෙහි සම්පත් හිමිකම සහ මුදල් මුද්‍රණ බලය රජය සතු වෙයි. ඒවා භාවිතා කිරීමට අවශ්‍ය නීති පැනවීමේ බලය ද රජය සතු වෙයි. එබැවින්, රජයන් විසින් ආර්ථිකයෙහි  සම්පත් ප්‍රවර්ධනය, උපයෝජනය, සාධාරණ ව්‍යාප්තිය සහ නිෂ්පාදනය සහ ධාරිතාවය ඉහළ නැංවීම හරහා ජීවන තත්ත්වය ඉහළ දැමීමේ අරමුණ මත ආර්ථිකයන් කළමනාකරණය කළ යුතුය. හොඳ ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට හැකි සේවා නියුක්තිය සහ ආදායම් ප්‍රසාරණය එහි තේමාව යි. 

එය රජයන් විසින් ඉහත දැක්වූ අයවැය හෝ රාජ්‍ය මූල්‍ය මෙවලම් භාවිතා කිරීම තුළින් සිදු කළ යුතුය. එහෙත්, එහි කාර්යසාදනය තීරණය වන්නේ, සාර්ව ආර්ථික අරමුණු සඳහා එම මෙවලම් ක්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය නිලධාරීන් සතු ප්‍රයෝගික දැනුම, පළපුරුද්ද සහ කාර්යක්ෂමතාව මත ය.

එබැවින්, රටක ආර්ථික අර්බුදයන් හෝ ජීවන තත්ත්වයේ නොදියුණුකමට හේතුව වනුයේ, රාජ්‍ය අයවැය සහ මුදල් බලය භාවිතා කිරීමේ අසමත් භාවය යි. එය බොහෝ විට පැරණි මිථ්‍යා අයවැය හෙවත් රාජ්‍ය මූල්‍ය වින මතවාදය අනුගමනය කිරීමේ සෘජු ප්‍රතිඵලයක් බව බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න දෙස බලන විට පැහැදිළි ය.

එය, මුදල් සහ ආර්ථික කළමනාකරණ බලය පෞද්ගලික වෙළෙඳපොළ පද්ධතියට පැවරීමේ නව ලිබරල් මතවාදය රජයන් විසින් අනුගමනය කිරීමේ සෘජු ප්‍රතිඵලයයි. රාජ්‍ය මූල්‍ය විනය යනු එම මතවාද කාසියේ අනෙක් පැත්ත යි. මුදල් සැපයුම සහ පොලී අනුපාතයන් අත්තනෝමතිකව පාලනය කිරීමේ ස්වාධීන මහ බැංකු පිහිටුවා, රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් කෙරෙහි බාධාවන් හෝ සීමාවන් ඇති කිරීම ද නව ලිබරල් වෙළෙඳපොළ ශක්තිමත් කිරීමේ සැඟවුණ පියවරකි. IMF ණය වැඩසටහන් හරහා බොහෝ දියුණු වන රටවල ක්‍රියාත්මක කෙරෙන්නේ එම මතවාදය යි.

සමාප්ත සටහන

  • වත්මන් රාජ්‍ය අයවැය සංකල්පයන් හුදු පෞද්ගලික අයවැය ගිණුම් මත පදනම් වන බැවින් එය රාජ්‍ය වියදම් කෙරෙහි කිසිම අදාළත්වයක් නොමැත. ඊට හේතුව, රජයන්ට මුදල් මුද්‍රණය මගින් වියදම් කිරීමේ හැකියාව සහ බලය පවතින බැවිනි. එබැවින්, බදු ආදායම, භාණ්ඩාගාර මුදල් අතිරික්තය/හිඟය, ප්‍රාථමික ගිණුම් හිඟය/අතිරික්තය, අයවැය හිඟය/අතිරික්තය සහ ණය තිරසාරභාවය වැනි රාජ්‍ය මූල්‍ය වින දර්ශකයන් හුදු මිථ්‍යාවකි. එහෙත්, සම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ ඉගැන්වෙන රාජ්‍ය මූල්‍ය න්‍යායන් සියල්ලම එම මිථ්‍යාවන් මත පදනම් වී ඇත.

  • එබැවින්, රාජ්‍ය ආර්ථික සම්පාදකයන් විසින් රාජ්‍ය මූල්‍ය මෙවලම්වල සැබෑ ආර්ථික බලය පසෙක ලා, මෙම මිථ්‍යා ආර්ථික මතවාදය මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය වින නීති සහ ඉලක්කම් මත පොදුජන සංවර්ධන වැඩසටහන් සීමා කිරීමත්, මහා පරිමාණ ව්‍යාපාරික සහ වෙළෙඳපොළ ප්‍රවර්ධනයට අවශ්‍ය වියදම් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් තුළින් සෑම රජයක් විසින්ම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව නොරහසකි.

  • ඇමෙරිකානු මහ බැංකුවේ නව සභාපති පත් වීමෙන් පසු පසුගිය 17 දින ඉදිරිපත් කළ ප්‍රථම මුදල් ප්‍රතිපත්ති රැස්වීමේ දී වත්මන් මුදල් ප්‍රතිපත්ති මොඩලය ප්‍රශ්න කොට නව මොඩලයක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යනය කිරීම සඳහා අධ්‍යයන බලකායන් පහක් පත් කිරීමත්, ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් පසුගිය 21 දින තම මුදල් ප්‍රතිපත්ති උද්ධමන ඉලක්කය සහ ඒ ආශ්‍රිත සංඝටකයන් කුමක් ද? යන්න මහජනයාගෙන් විමසීමත් තුළින් පැහැදිළි වන්නේ, වත්මන් මහ බැංකු මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදයේ සහ ඒ ආශ්‍රිත නව ලිබරල් මතවාදයේ අසාර්ථකත්වය යි.

  • ඇමෙරිකානු මහ බැංකුව යනු වසර 110 ක් පමණ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ගෝලීය මුදල් සහ ආර්ථික ක්‍රමය මෙහෙය වන ලෝකයේ බලවත්ම මහ බැංකුව යි. එබැවින්, ලෝකයේ සියළුම මහ බැංකු විසින් අනුගමනය කරන්නේ, ඇමෙරිකානු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මොඩලය යි. ශ්‍රී ලංකා මහ බැංකුව යනු මුදල් නීති පනත යටතේ වසර 73 ක් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට, 2023 සැප්තැම්බර් මස සිට එවක රජයේ පූර්ණ අනුග්‍රහය මත නව පනතක් යටතේ රජයෙන් ස්වාධීන වී, 3%-7% විශේෂිත උද්ධමන ඉලක්කයක් සඳහා නව මුදල් ප්‍රතිපත්ති මොඩලයක් ක්‍රියාත්මක කරන මහ බැංකුව යි. එබැවින්, ඉහත දැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් තුළින් මනාව සනාථ වන්නේ, මෙම මහ බැංකු දෙකටම තමන් වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත මහජන වගකීම් ඉටු කිරීමට දැනුමක් සහ හැකියාවක් නොමැති බව යි.

  • රාජ්‍ය අනුග්‍රහය ලත් නව ලිබරල් ගෝලීය ධනවතුන් විසින් මෙහෙය වන විද්‍යුත් වෙළෙඳ වේදිකාවන් හරහා මිල ගවේෂණය සහ පාලනය කෙරෙන වෙළෙඳපොළවල මිල ගණන් සහ උද්ධමනය තමන් මනාප ඉලක්කම්වල පාලනය කිරීමට මහ බැංකු පොලී අනුපාතයන්ට හැකියාවක් නොමැති බව කිව යුතු නැත. එසේම, නූතන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයන් ද එම වෙළෙඳපොළවල තත්කාලීනව ගවේෂණය වන බැවින් මහ බැංකු ආර්ථික විද්‍යාඥයන්ට පුරාණයේ මෙන් තම කාමරවල සිට ආර්ථිකයේ පැවතිය යුතු පොලී අනුපාතයන් කුමක් ද? යන්න තීරණය කිරීමේ හැකියාවක් නොමැත. එසේම, වසර 76 ක් පුරා ශ්‍රී ලංකා කාසි සහ නෝට්ටු මුද්‍රණය සහ නිකුතුව කළමනාකරණ කළ ද, ඒ සඳහා ජාත්‍යන්තර උපදේශකයන්ගේ සේවය ලබා ගැනීමට ඉල්ලුම් පත්‍ර කැඳවා ඇති බව ද වාර්තා වෙයි. එබැවින්, දැනට ලෝකයේ පවතින උද්ධමන මට්ටම් ද රජයන් විසින් තම රාජ්‍ය මූල්‍ය මෙවලම් මගින් පාලනය කෙරෙන මට්ටම් ය. එසේම, මහ බැංකු විසින් තම පොලී අනුපාතයන් හරහා උද්ධමනය පාලනය කෙරෙන බව සනාථ කිරීමට පැරැණි මිථ්‍යා මූල්‍ය මතවාදය හැර කිසිම ප්‍රයෝගික ආර්ථික පර්යේෂණ දත්ත නොමැත.

  • එබැවින්, රජයන් විසින් රාජ්‍ය මූල්‍ය වින නීති සහ ඉලක්කම් පසෙක ලා, ආර්ථික සහ ජීවන තත්ත්ව සංවර්ධනය සඳහා තම රාජ්‍ය මුදල් බලය නොබියව භාවිතා නොකෙරේ නම්, ඉදිරි දශකයන් තුළ ආර්ථිකයන් සහ රාජ්‍යයන් දැඩි අර්බුදයකට පත් වනු ඇත. එය ඉදිරි මානුෂිකත්ව සංවර්ධනයට මහත් බාධාවකි. විවිධ සංවර්ධන මට්ටම්වල ජීවත් වන බහුතර මහජනයා ඊළඟ සංවර්ධන ස්ථරයන්ට යොමු කිරීමේ එකම මග වන්නේ, නූතන රාජ්‍ය මූල්‍ය මෙවලම් හරහා ජීවන තත්ත්ව ඉලක්කයන් මත ආර්ථිකයන් කළමනාකරණය කිරීම යි. එය නූතන රාජ්‍ය මුදල් ආර්ථිකයන් පවතින සෑම රටකටම පොදු කරුනකි. ඉන්දියාව සහ අප්‍රිකානු රටවල පවතින ජන ජීවිත විෂමතාවන් දෙස බලන විට එහි වැදගත්කම මනාව පැහැදිළි වෙයි.

  • මෙහි දී, වත්මන් මිථ්‍යා රාජ්‍ය අයවැය සංකල්පය ඉවත ලා, ආර්ථික සංවර්ධන වැඩසටහන් සහ ඉලක්ක කළමනාකරණය ලෙස රාජ්‍ය වියදම් ප්‍රසාරණය මත පදනම් වූ නව රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් මොඩලයක් හඳුන්වා දිය යුතුය. මෙහි දී, විදේශීය ආයෝජකයන්ට ආර්ථිකය පාලනය කිරීමට අවස්ථාව පාදමින් රජය විසින් පාලිත විනිමය අනුපාතයකට ආර්ථිකයට ඩොලර් සැපයීමේ මූල්‍ය සේවයෙන් ඉවත් වී, රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් දේශීය රාජ්‍ය මුදල්වලට සීමා කළ යුතුය. මෙහි දී, ආර්ථික ගනුදෙනු සඳහා ඩොලර් අවශ්‍ය නම්, එසේ ඩොලර් අවශ්‍ය පාර්ශවයන් විසින් ඩොලර් සපයා ගත යුතුය. එසේ නොමැති නම්, මෙහි ඉදිරිපත් කෙරෙන සැබෑ රාජ්‍ය මූල්‍ය බලය දේශීය ආර්ථික සංවර්ධනය සඳහා භාවිතා කිරීමේ අවස්ථාව රජයට අහිමි වනු ඇත. ඊට හේතුව, ආර්ථිකයට ඩොලර් සැපයීමේ ගෝලීය නියෝජිතයා ලෙස ක්‍රියා කිරීමට රජයට සිදු වීම යි.

  • මෙම නව රාජ්‍ය මූල්‍ය මොඩලය තුළ බදු, ප්‍රාථමික ගිණුම් ශේෂය, අයවැය හිඟය සහ ණය යන සෘණාත්මක සහ සාවද්‍ය ආර්ථික සංකල්පයන් අභාවයට ගොස්, ඉහතින් දක්වා ඇති සැබෑ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සහ මෙවලම් කෙරෙහි මහජන විශ්වාසයක් සහ පළපුරුද්දක් ගොඩ නැගෙනු ඇත. එමගින්, බොහෝ රටවල් වර්තමානයේ මුහුණ දෙන දේශපාලනික අරාජිකත්වය ක්‍රමයෙන් පහ වී, දේශපාලනික ස්ථාවරත්වයක් හට ගෙන, ජන සමාජයන්ට සංවර්ධනය වීමේ අවස්ථාව උදා වනු ඇත.

  • මෙහි ඉදිරිපත් කෙරෙන සැබෑ රාජ්‍ය මූල්‍ය ක්‍රමය තුළ මහ බැංකුව යනු හුදෙක් රාජ්‍ය මූල්‍ය නියෝජිත බැංකුව වන අතර ඊට ස්වාධීන හෝ විශේෂිත මුදල් ප්‍රතිපත්ති අවකාශයක් හෝ බලයක් නොමැත. ඊට හේතුව, මුදල් ප්‍රතිපත්ති අරමුණු ද රාජ්‍ය මූල්‍ය මෙවලම් තුළ අන්තර්ගත වී ක්‍රියාත්මක වන බැවිනි. 

  • එබැවින්, රජයට තම පොදුජන සංවර්ධන අරමුණු සඳහා රාජ්‍ය මුදල් අවිය භාවිතා කිරීමට නොහැකි නම්, "යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න ද?" යන කියමන වැඩි කලක් නොගොස් රාජ්‍ය මුදල්වලට අදාළ වනු ඇත. එසේම, මහජනයා විසින් තම ආර්ථික ගනුදෙනු සඳහා විකල්ප මුදල් භාවිතා කිරීමට පෙළෙඹීන්, රාජ්‍ය මුදල් සහ පාලන බලය පිරිහී යාමේ අවදානමක් පවතී. එවැනි රටවල් බොහෝ ගණනක් පවතී.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ පළමු මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

 

Comments

Popular posts from this blog

මුදල් මුද්‍රණය නොමැතිව දිට්වාවෙන් ගොඩ ඒම බැරි ඇයි? IMF පිටුදැක, රාජ්‍ය මුදල් බලය සුරැකිමු.

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

ඔබේ මුදල් ආයෝජන සොරුන්ගෙන් රැක ගන්නේ කෙසේ ද? - මූල්‍ය සාක්‍ෂරතාවය VI කොටස