රජය දිට්වා මුදල් ආධාර පසුපස දිවීම. රාජ්‍ය මුදල් මුද්‍රණ බලය නොදැනීම ද? නැත්නම්, IMF පිටින් ඇඟ බේරා ගැනීමක් ද?

 



ලිපියේ අරමුණ සහ පසුබිම

දිට්වා සුළං කුණාටුව තුළින් පතිත වී ඇති ආර්ථික කුණාටුවෙන් මහජනයා සහ ආර්ථිකය නැවත ගොඩ නැගීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා රජය ඇතුළු සමස්ත මහජනයා විසින් දේශීය සහ විදේශීය මුදල් ආධාර රැස් කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක නිරත වී ඇති බව මාධ්‍යය පුරා පවතින පුවත්වලින් පැහැදිළි ය. 

ආධාර යනු ආර්ථික විද්‍යාවේ එතරම් ඵලදාවක් හෝ වැදගත්කමක් නොමැති සංක්‍රාම ගනුදෙනුවකි. එනම්, යම් පාර්ශවයක් සතු වත්කමක් හෝ ආදායමක් හෝ ක්‍රය ශක්තියක් කිසිම නව ආර්ථික ඵලදාවක් ජනිත කිරීමකින් තොරව තවත් පාර්ශවයක උපයෝජනය සඳහා ප්‍රදානය කිරීමකි. එනම්, දැනටමත් පවතින ආදායමක් හෝ ඵලදාවක් නැවත බෙදා දීමකි.

දිට්වා සුළං කුණාටුවෙන් හට ගෙන ඇති සෘජු සහ වක්‍ර ආර්ථික හානියේ වපසරිය දෙස බලන විට, සංක්‍රාම මගින් ආර්ථිකය සහ ජන ජීවිතය නැවත ගොඩ නැගීමට වෑයම් කිරීම හුදු මායාවකි. ඒ සඳහා රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණ බලය භාවිතා කළ යුතුය. මෙම විෂය ආශ්‍රිතව මීට පෙර පළ කරන ලද ලිපි තුනෙන් ඒ පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කොට ඇත. ඒ බව, නූතන ආර්ථිකයක් ක්‍රියාත්මක වන හෝ කළමනාකරණය කෙරෙන ද්විත්ව සටහන් ගිණුම් පද්ධතිය මගින් තහවුරු වෙයි. එබැවින්, ආධාර උපයෝජන රාජ්‍ය සැලසුම් හුදෙක් නූතන ආර්ථික කළමනාකරණ ගිණුම් ක්‍රමය පිළිබඳ ව කිසිම දැනුමක් නොමැති වීමේ ප්‍රතිඵලයකි.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, නූතන මුදල් මුද්‍රණ සහ ජාතික ආදායම් ගිණුම් ආවරණය වන ද්විත්ව සටහන් ගිණුම් ක්‍රමය පැහැදිළි කිරීම මගින් මෙම ආධාර ආර්ථික කළමනාකරණයේ අසමත්භාවයත්, ඒ සඳහා රාජ්‍ය වියදම් සහ මුදල් බලය භාවිතා කිරීමේ අවශ්‍යතාවයත් තහවුරු කිරීම යි. 

එබැවින්, මූලික සාර්ව ආර්ථික සහ ගණකාධිකරණ මූලධර්මයන් පිළිබඳ ව දැනුමක් නොමැතිව නම්, මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන අදහස් අවබෝධ කර ගැනීම අපහසු වනු ඇත. එනම්, රටක මුදල් සහ ආර්ථිකය කළමනාකරණය කෙරෙන දේශපාලනික නායකයන්ට හෝ විද්වතුන්ට එම දැනුම නොමැති නම්, එම කළමණාකරණය සාවද්‍ය එකකි. ඉන් පීඩාවට පත් වන්නේ, බහුතර පොදු ජනතාව යි.

මීට පෙර පළ කළ ලිපි තුන මෙන් මෙම ලිපියේ අන්තර්ගතය ද සම්මත ලිබරල් ආර්ථික විද්‍යා මූලධර්මයන්හි ආවරණය නොවන නූතන මුදල් මූලධර්මයන් මත සැකසී ඇත. එබැවින්, එය සම්මත ලිබරල් ආර්ථික විද්‍යා මූලධර්මයන් හෝ විග්‍රහයන් සමඟ සැසඳීම යෝග්‍ය නොවේ. 

 මුදල් ගිණුම් සහ ආර්ථික කළමනාකරණය 

ද්විත්ව සටහන් ගිණුම් තැබීම යනු ගනුදෙනුවල මුදල් වටිනාකම් වාර්තා කිරීම සඳහා ගණකාධිකාරීන් විසින් ප්‍රවර්ධනය කොට ඇති ගිණුම් ශිල්පයකි. මුදල්වල මූලික කාර්යයක් වන්නේ, ගිණුම්  වටිනාකම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යි. එබැවින්, ගණකාධිකරණ විෂය හෝ වෘත්තිය මුදල් මත විකාශය වී ඇත. ද්විත්ව සටහන් ගිණුම් යනු ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක මුදල් ගනුදෙනුවක් හෝ වටිනාකමක් ගිණුම් දෙකක වාර්තා කිරීම හෝ සටහන් කිරීම යි. එසේ සටහන් කිරීම තුළින් ගිණුම් නිවැරදිතාවය රැකේ. එම ගනුදෙනු මූලික වශයෙන් දෙවර්ගයකි. එනම්, වත්කම් සහ වගකීම් ගනුදෙනු සහ ආදායම් සහ වියදම් ගනුදෙනු ය. 

එබැවින්, ඕනෑම ගනුදෙනුවක වත්කම් වටිනාකම තවත් ගිණුමක වගකීම් වටිනාකමක් ලෙස ද, ඕනෑම මුදල් ලැබීමක් තවත් ගිණුමකින් සිදු වූ ගෙවීමක් ලෙස ද සටහන් වනු ඇත. ගනුදෙනුවල ස්වරූපය සහ අවදානම් සැලකිල්ලට ගෙන, එසේ ගිණුම් ගත කළ යුතු වටිනාකම තීරණය කිරීම සඳහා ද විවිධාකාර ගිණුම් ප්‍රමිතීන් භාවිතා කෙරේ. 

එබැවින්, ආර්ථික ගනුදෙනුවල හැසිරීම පිළිබඳ ව ආර්ථික විද්‍යාඥයන් විසින් විවිධ සංකල්පයන් සහ න්‍යායන් ඉදිරිපත් කළ ද, එම ගනුදෙනුවල වටිනාකම් හුදෙක් ගණකාධිකාරීන් විසින් ඉදිරිපත් කොට ඇති සංකල්පයන් සහ න්‍යායන් මත තීරණය වෙයි. මෙහි දී දැකිය හැකි මූලික වෙනස වන්නේ, ආර්ථික විද්‍යාවේ මූර්ත ගනුදෙනු විග්‍රහයත්, ගණකාධිකරණයේ මුදල් ගනුදෙනු වටිනාකම් විග්‍රහයත් සිදු වීම යි.

ඊට හේතුව, ආර්ථික විද්‍යාවේ මුදල් ලෙස නිෂ්පාදන සාධකයක් හෝ අමුද්‍රව්‍යයක් නොමැති අතර මුදල් යනු ආර්ථිකයෙහි මූර්ත ඵලයක් ඇති නොකෙරෙන හුදෙක් මූර්ත ගනුදෙනුවල අතරමැදි හෝ විනිමය හෝ හුවාමාරු මාධ්‍යයක් පමණි. එහෙත්, ගණකාධිකරණයේ දී මුදල් යනු මූලික නිෂ්පාදන සාධකයකි. 

එබැවින්, ආර්ථිකයක මුදල් මුද්‍රණය සහ සංසරණය යනු ද්විත්ව සටහන් ගිණුම්කරණ ව්‍යාපාරයකි. එහෙත්, ආර්ථික විද්‍යා විශ්ලේෂණවල මුදල් යනු නිෂ්පාදන ක්‍රියාකාරකම්වලට පරිබාහිර විචල්‍යයක් වන අතර මුදල්වල එකම කාර්යය ආර්ථිකයෙහි ඉල්ලුම හරහා මිල මට්ටම හෝ උද්ධමනය තීරණය කිරීම යි. එබැවින්, නව ලිබරල් ධනවාදී IMF ආර්ථික විද්‍යාඥයන් විසින් ලෝකය පුරා රාජ්‍ය මුදල් ගිණුම් බලය සහ වපසරිය සීමා කොට, උද්ධමනය හෝ මිල ස්ථායිතාවය සහ මූල්‍ය ස්ථායිතාවය පාලනය සඳහා ආර්ථිකයෙහි මුදල් ගිණුම් අංශ පාලනය රාජ්‍ය මහ බැංකුවට පවරා ඇත. 

එහෙත්, නූතන මුදල් ආර්ථිකයන්හි නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ වෙළෙඳපොළවල් මුදල් ගනුදෙනු හෝ හුවමාරුව හරහා ක්‍රියාත්මක වන බැවින් මුදල් ගනුදෙනු ගිණුම් සහ නිෂ්පාදන හෝ මූර්ත ආර්ථික ගනුදෙනු ගිණුම් අතර අන්‍යෝන්‍ය සබඳතාවයක් පවතී. එබැවින්, රජයන් විසින් නූතන ආර්ථිකයන් කළමනාකරණ කිරීමේ පදනම ලෙස මුදල් ගිණුම් පද්ධතිය භාවිතා කෙරේ. එනම්, රාජ්‍ය මුදල් බලය ආශ්‍රිත ගිණුම් පද්ධතිය භාවිතා කිරීම යි. උදාහරණ ලෙස රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් සහ ඒ පිටුපස ඇති මුදල් මුද්‍රණය සහ මුදල් සැපයුම ආශ්‍රිත ගිණුම් දැක්විය හැකිය.

මෙහි දී, දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ ආර්ථික විද්‍යාඥයන් සතුව ඒ පිළිබඳ ව නිසි තාක්ෂණික හෝ ප්‍රයෝගික දැනුමක් නොමැති බැවින් පොලී අනුපාතය, විනිමය අනුපාතය, උද්ධමනය, විදේශ මුදල් සංචිතය, රාජ්‍ය ණය මට්ටම සහ මුදල් සැපයුම වැනි නව ලිබරල් ධනවාදී මුදල් ගිණුම් ඉලක්කයන් මත ආර්ථිකයන් කළමනාකරණය කිරීමට උත්සාහ කෙරේ. රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය සහ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය යනු මුදල් ගිණුම් මගින් ආර්ථික කළමනාකරණය කිරීමේ උත්සාහයන් ය. එබැවින්, ආර්ථිකයෙහි නිෂ්පාදන හෝ මූර්ත අංශ ගිණුම් කෙරෙහි නොසැලකිල්ල හේතුවෙන් සාර්ව ආර්ථික සංවර්ධනය සහ ජීවන තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපෑම දැකිය හැකිය. 

ඊට හේතුව, මූර්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් ව්‍යුහය, වර්ධනය සහ ව්‍යාප්තිය ආශ්‍රිත ඉලක්කයන් නොමැතිව හුදෙක් සංකල්පීය නව ලිබරල් මුදල් ඉලක්කයන් ලඟා කර ගැනීම පිණිස රාජ්‍ය මුදල් බලය හෝ මුදල් ගිණුම් භාවිතා කිරීම යි. ආර්ථික විද්‍යා පංති කාමරවල ආර්ථික කළමනාකරණ කාර්යසාදනය ලෙස ඉගැන්වෙන්නේ, මෙම මුදල් ඉලක්කයන් ආශ්‍රිත ප්‍රගතිය යි.

එබැවින්, දිට්වා සුළං කුණාටු ආර්ථික හානිය මැඩලීම සඳහා රාජ්‍ය මුදල් බලය භාවිතා නොකොට, රජය විසින් බාහිර මුදල් ආධාර පසුපස යාම යනු මෙම නව ලිබරල් මුදල් ගිණුම් කළමනාකරණ ඉලක්කයන් ආශ්‍රිත මිථ්‍යා උත්සාහයකි.

ද්විත්ව සටහන් මුදල් ගිණුම් පද්ධතිය සහ රාජ්‍ය මුදල් මුද්‍රණය

රටක රාජ්‍ය මුදල් බලය සහ ක්‍රමය ක්‍රියාත්මක වන ද්විත්ව ගිණුම් සටහන් පියවර තුනක් යටතේ දැක්විය හැකිය. එනම්, මහ බැංකුව විසින් රාජ්‍ය මුදල් මුද්‍රණය, බලපත්‍ර ලාභී බැංකු විසින් කෙරෙන අතිරේක මුදල් මුද්‍රණය සහ සමස්ත රාජ්‍ය මුදල් සැපයුම යනාදිය යි. 

මේ අනුව, නූතන මුදල් මුද්‍රණය සිදු වන්නේ, බැංකු ණය හරහා ය. ණය යනු බැංකු වත්කමකි. බැංකු විසින් දෙනු ලබන ණය අදාළ ණය කරුවන්ගේ බැංකු තැන්පතු ගිණුම්වලට නව තැන්පතු ලෙස සටහන් කෙරේ. ඒ අනුව, බැංකු ද්විත්ව සටහන් ගිණුම් යනු දෙනු ලබන ණය මුදල වත්කමක් ලෙසත්, ඊට අදාළ තැන්පතු මුදල වගකීමක් ලෙසත් සටහන් කිරීම යි. මෙය මහ බැංකුව ඇතුළු සියළු බැංකුවලට පොදු ය.

මහ බැංකුව විසින් රාජ්‍ය මුදල් මුද්‍රණය

  • මහ බැංකුව විසින් රජයේ නියෝජිතයා වශයෙන් මුදල් මුද්‍රණය කෙරේ. එම මුදල් සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු සහ මහ බැංකුවේ ඇති රාජ්‍ය සහ බැංකු සංචිත ගිණුම් තැන්පතු හරහා ආර්ථිකයෙහි ගනුදෙනු සඳහා භාවිතා කෙරේ. මෙම මුදල් සංචිත මුදල් ලෙස ද දැක්වෙයි. එම මුදල් මහ බැංකුවේ ගිණුම්වල වගකීම් ලෙස සටහන් වෙයි.

  • එම මුදල්වල මූලය වනුයේ මහ බැංකුව විසින් රාජ්‍ය දේශීය ණය සහ විදේශීය ණය මිල දී ගැනීම යි. ඒවා මහ බැංකුවේ ගිණුම්වල වත්කම් ලෙස සටහන් කෙරේ. එනම්, මහ බැංකුව විසින් මෙම වත්කම් අත්කර ගැනීමේ දී ඊට අදාළ ගෙවීම් කිරීම සඳහා මුදල් මුද්‍රණය කිරීම යි. ප්‍රධාන මහ බැංකු වත්කම් දෙක වනුයේ, රාජ්‍ය දේශීය ණය සුරැකුම්පත් සහ රජයට ලැබෙන විදේශ ණයවලින් මිල දී ගෙන ඇති විදේශ මුදල් ය. මහ බැංකුව විසින් බැංකුවලට එදිනෙදා සංචිත මුදල් ණය සැපයුව ද, එම ණය හුදෙක් මහ බැංකුව විසින් බැංකු සතු රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හරහා සිදු වෙයි. එනම්, එම ණය වක්‍රව රජයට දෙන ලද ණය බවට පත් වෙයි. 

  • රජය විසින් තම වියදම් පියවීම සඳහා දේශීය හෝ විදේශීය ලෙස ගන්නා ණය මුදල් මහ බැංකුව විසින් රාජ්‍ය සංචිත ගිණුමට රැස් කළ යුතු බැවින් ඊට සමානව මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කළ යුතුය. එම මුදල් මුද්‍රණය හුදෙක් පරිඝණක ද්විත්ව සටහන් හරහා මහ බැංකුවට කිසිම වියදමක් නොමැතිව සිදු වෙයි. එබැවින්, මහ බැංකු මුදල් මුද්‍රණය යනු රජයේ වියදම්වල ප්‍රතිඵලයකි. නූතන මුදල් ක්‍රමයන් නිර්මාණය කොට ඇත්තේ එලෙස ය. මහ බැංකු ප්‍රාග්ධනය සහ ස්ථාවර වත්කම් යනු සුළු ගිණුම් වටිනාකම් බැවින් මුදල් මුද්‍රණයට වැදගත් මූලයන් නොවේ.

  • මෙම ද්විත්ව සටහන් මුදල් ගිණුම් අනුව රජයට ලැබෙන බදු ආදායම යනු රාජ්‍ය වියදම් තුළින් දැනට සංසරණයේ පවතින රාජ්‍ය මුදල්වලින් කොටසක් රජය විසින් නැවත උකහා ගැනීමකි. එමගින්, එම මුදල් ප්‍රමාණය අහෝසි වී ඇත. එනම්, මහජනතාව විසින් බදු ගෙවීම සඳහා භාවිතා කළ ව්‍යවහාර මුදල් ප්‍රමාණය යි. ද්විත්ව සටහන් ගිණුම්වල එම ප්‍රමාණයෙන් රාජ්‍ය ණය ප්‍රමාණය පහළ යාමකි. එනම්, එබැවින්, රජයට නව වියදම් සහ මුදල් මුද්‍රණ අවකාශයක් ලැබී ඇත. එසේ නැතිව, බදු හරහා භාණ්ඩාගාරය මුදල්වලින් පිරී යාමක් නොවේ. එබැවින්, රජය විසින් මුදල් මුද්‍රණය කොට, ඉන් කොටසක් භාණ්ඩාගාර ගිණුම්වල තැන්පතු හෝ රාජ්‍ය මුදල් ලෙස සටහන් කිරීමේ හෝ වියදම් කිරීමේ මුදල් ගිණුම් ක්‍රමයක් නොමැත. ඊට හේතුව, මුදල් යනු රජයෙන් පිටත පෞද්ගලික අංශය වෙත ඇති රාජ්‍ය මුදල් වීම යි. 

බලපත්‍ර ලාභී බැංකු විසින් මුදල් මුද්‍රණය

  • බැංකු විසින් රජයට සහ පෞද්ගලික අංශයට ණය දීමේ දී තැන්පතු මුදල් (බැංකු ණය ගැනීම් ඇතුළුව) මැවෙනු ඇත. 
    • එම ණයවලින් කොටසක් මහ බැංකුවට විකිණීම හරහා කාසි සහ නෝට්ටු සහ මහ බැංකු සංචිත තැන්පතු වත්කම් මිල දී ගැනේ. එමගින්, බැංකු ගනුදෙනුවල දී අවශ්‍ය වන රාජ්‍ය මුදල් සපයා ගැනේ. 

    • මහ බැංකුවේ අන්තර් බැංකු ගෙවුම් සහ පියවුම් පද්ධතිය සංචිත තැන්පතු හරහා ක්‍රියාත්මක වන අතර සංචිත මුදල් හිඟ බැංකුවලට මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හරහා සංචිත ණය සැපයෙනු ඇත. එබැවින්, බැංකු අර්බුදයන් හට ගැනීමේ අවදානම ඉතා විරල ය. බැංකු පද්ධතියෙහි ද්‍රවශීලතාවය ලෙස දැක්වෙන්නේ මෙම බැංකු සංචිත තැන්පතු ප්‍රමාණය යි.

    • බැංකු විසින් විදේශ මුදල් මිල දී ගැනීම සහ ණය ගැනීම හරහා විදේශ මුදල් වත්කම් අත්කර ගෙන ඇති අතර එය ද බැංකු විසින් දෙන ලද ණය ලෙස සැලකිය හැකිය. ඊට හේතුව, මහජනයා විසින් බැංකුවලින් විදේශ මුදල් මිල දී ගන්නා විට, විදේශ මුදල් වත්කම පහළ යන බැවිනි.

  • බැංකු විසින් රජයට දෙන ණය යනු තාවකාලික අත්තිකාරම් සහ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම යි. පෞද්ගලික අංශයට දෙන ණය බහුතරය ද රාජ්‍ය වියදම් හෝ රජයට භාණ්ඩ හා සේවා සැපයීම ආශ්‍රිතව ජනිත වෙයි. 

  • එසේම, බැංකු ව්‍යාපාරික ස්ථායිතාවයට හේතුව බැංකු කෙරෙහි රාජ්‍ය නියාමන ආරක්ෂාව යි. එනම්, තම තැන්පතු රාජ්‍ය මුදල්වලින් ආපසු ලබා ගත හැකි බවට තැන්පතු හිමියන් තුළ පවතින විශ්වාසය යි. ඒ සඳහා තැන්පතු රක්ෂණ ක්‍රමය ද ක්‍රියාත්මක වෙයි. එබැවින්, බැංකු අර්බුද අවස්ථාවල බැංකුවලට විවිධාකාරයෙන් රාජ්‍ය මුදල් සහාය ලැබීම සාමාන්‍ය සිද්ධියකි.

  • එබැවින්, බැංකු මුදල් යනු රාජ්‍ය මුදල් ක්‍රමය තුළ ද්විත්ව සටහන් ගිණුම් මගින් මුද්‍රණය වන ඉලක්කම් මුදල් ය. එම මුදල් තැන්පතු වගකීම් හරහා ආර්ථිකයෙහි ගනුදෙනු කෙරේ. මෙහි දී, අන්තර් බැංකු ගනුදෙනු පියවීම මහ බැංකු සංචිත ගිණුම් හරහා සිදු වෙයි. එබැවින්, ඕනෑම බැංකුවක ඇති තැන්පතු මුදලක් බැංකුව පිළිබඳ ව නොසලකා ගනුදෙනු සඳහා භාවිතා කළ හැකිය.

සමස්ත මුදල් මුද්‍රණය සහ සැපයුම

  • ඉහත දැක්වූ මහ බැංකු මුදල් සහ බැංකු මුදල්වල එකතුව ආර්ථිකයෙහි ගනුදෙනු හෝ සංසරණය සඳහා සැපයෙන සමස්ත මුදල් ප්‍රමාණය ලෙස සැලකෙයි. 

  • එය, මහ බැංකුව සහ බැංකුවල ඒකාබද්ධ වත්කම් සහ වගකීම්වලින් ගණනය කෙරේ. එය හුදෙක් ආර්ථිකයෙහි රාජ්‍ය වියදම් සහ ණය ඉල්ලුමෙහි ප්‍රතිඵලයකි.

  • ආර්ථිකයෙහි උද්ධමනය සහ සමස්ත මිල මට්ටම පාලනය පිණිස මූර්ත අංශයේ ප්‍රසාරණයට යෝග්‍ය ලෙස සමස්ත මුදල් සැපයුමේ ප්‍රසාරණය මහ බැංකුව විසින් ස්වාධීනව පාලනය කළ යුතු බවට නව ලිබරල් ආර්ථික විද්‍යාඥයන් විසින් නිර්දේශ කෙරේ. 

  • එහෙත්, ඉහත දැක්වූ පරිදි ද්විත්ව සටහන් මුදල් ගිණුම් පාලනය කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැති බැවින් උද්ධමනය ඉලක්ක කොට මුදල් මුද්‍රණය  පාලනය කිරීමේ හැකියාවක් මහ බැංකුවට නොමැත. එසේම, විවිධ කාලවල උද්ධමනකාරී තත්ත්වයන් ඇති කෙරෙන මුදල් නොවන සාධක පිළිබඳ ව විවිධ විශ්ලේෂණයන් පවතී, උදාහරණ ලෙස ස්වාභාවික ආපදා අවස්ථාවල මූර්ත නිෂ්පාදනය කඩා වැටීමෙන් උද්ධමනය ඉහළ යාම යනු මුදල් මුද්‍රණයේ ප්‍රතිඵලයක් නොවේ. එසේම, ඔපෙක් සංවිධානය විසින් ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යාම හෝ ඉහළ පොලී අනුපාතයන්, විකුණුම් බදු සහ වෙළෙඳපොළ අපේක්ෂණයන් හරහා මිල ගණන් ඉහළ යාම තුළින් හට ගන්නා උද්ධමනය යනු මුදල් මුද්‍රණයේ ප්‍රතිඵලයක් නොවේ.ඒවා පහළ යාම තුළින් ඇති වන අවධමනය ද මුදල්වල ප්‍රතිඵලයක් නොවේ.

රජයට ලැබෙන දිට්වා මුදල් ආධාර සහ මුදල් මුද්‍රණය

  • ඉහත දැක්වූ ද්විත්ව සටහන් මුදල් ගිණුම් අනුව, රජයට ලැබෙන දේශීය මුදල් ආධාර යනු දැනටම ආර්ථිකයෙහි සංසරණය වන මුදල් කොටසක් ප්‍රතිව්‍යාප්ත කිරීමකි.

  • මේ දිනවල පෞද්ගලික අංශය විසින් අවතැන් වූ ජනතාවට ප්‍රදානය කෙරෙන භාණ්ඩ සහ මුදල් ආධාර ද දැනට ආර්ථිකයෙහි පෞද්ගලික අංශය වෙත පවතින රාජ්‍ය මුදල් හරහා සිදු කෙරේ.

  • එහෙත්, විදේශ මුදල් ආධාර ලැබේ නම්, මුදල් මුද්‍රණය ඉහළ යනු ඇත. ඊට හේතුව, රජය විසින් වියදම් කිරීම සඳහා එම විදේශ මුදල් මහ බැංකුවට අළෙවි කොට දේශීය මුදල් ලබා ගන්නා බැවිනි. එබැවින්, සැලකිය යුතු ප්‍රමාණයක විදේශ මුදල් ආධාර ලැබේ නම්, 2004 සුනාමි ව්‍යසන අවස්ථාවේ මෙන්, විදේශ සංචිතය ඉහළ ගොස් විනිමය අනුපාත පීඩනය තාවකාලිකව පාලනය කිරීමට හැකි වනු ඇත.

  • එසේම, මහජනයා සතුව දැනට බැංකුවල ඇති දේශීය මුදල් තැන්පතුවලින් රජයට දේශීය මුදල් ප්‍රදානයන් කෙරෙන විට, එම මුදල් සංචිත මුදල් ලෙස රාජ්‍ය බැංකු ගිණුමට ප්‍රේෂණය කළ යුතු බැවින් ඒ සඳහා අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය තුළ යම් පමණක නව මුදල් මුද්‍රණයක් සිදු වනු ඇත.

  • තව ද, දිට්වා ආර්ථික සංකෝචනය හේතු කොට පෞද්ගලික බැංකු ණය පැහැර හැරීමේ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. එබැවින්, බැංකුවල ද්‍රවශීලතාවය පහළ යාම තුළින් තැන්පතු ආපසු ගෙවීමේ හැකියාව දුර්වල වනු ඇත. බැංකුවල සත්‍ය ණය වත්කම් වටිනාකම පහළ යාම යනු ඊට සමානුපාතිකව බැංකු තැන්පතු වගකීම් ද පහළ යන බව යි.

ද්විත්ව සටහන් ජාතික ආදායම් ගිණුම් ක්‍රමය

ජාතික ආදායම් ද්විත්ව සටහන් ගිණුම් යනු සාර්ව ආර්ථික විද්‍යාඥයන්ගේ නිර්මාණයකි. මෙය මූර්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් නිරූපනය කෙරෙන ද්විත්ව සටහන් ය. ඒ අනුව, භුමිය, ශ්‍රමය සහ ප්‍රග්ධන මෙවලම් වැනි ආර්ථික සම්පත් හෝ නිෂ්පාදන සාධක උපයෝජනය තුළින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමත්, එම නිෂ්පාදනය හුදෙක් ආදායම වශයෙන් නිෂ්පාදන සාධක අතර බෙදී යාමත් සාර්ව ආර්ථිකව නිරූපනය කෙරේ. 

ඒ අනුව, රටක මූර්ත නිෂ්පාදනය මූර්ත ආදායමට සමාන වෙයි. එම මූර්ත ආදායම තුළින් නිෂ්පාදනය සඳහා ඉල්ලුමක් ඇති වෙයි. මෙය ආර්ථිකයෙහි ඉල්ලුම් අංශය යි. ඉල්ලුම සැපිරීම සඳහා නිෂ්පාදනය සැපයෙයි. එය ආර්ථිකයෙහි සැපයුම් අංශය යි. සැපයුම හුදෙක් පරිභෝජනය සහ ඉතුරුම් අතර බෙදී යයි. එසේම, ඉල්ලුම හුදෙක් පරිභෝජනය සහ ආයෝජනය අතර බෙදී යයි. එබැවින්, ආර්ථිකයෙහි මූර්ත ඉතුරුම් සහ මූර්ත ආයෝජනය සමාන වෙයි. එනම්, ආයෝජනය කෙරෙන්නේ, නිෂ්පාදනයෙන් පරිභෝජනය නොකොට ඉතිරි කෙරෙන සම්පත් ය.

මෙම ජාතික ආදායම් ගිණුම් විග්‍රහය මූර්ත විචල්‍යයන් මගින් සිදු කෙරෙයි. එබැවින්, ආර්ථිකයෙහි නිෂ්පාදනය ජාතික ආදායමටත්, ජාතික වියදම හෝ ඉල්ලුමටත්, සමාන වෙයි. එබැවින්, සමස්ත මුදල් මිල මට්ටමක් හෝ උද්ධමනයක් මෙම මූර්ත ජාතික ආදායම් ආකෘතියෙහි නොමැත. එහෙත්, නිෂ්පාදනයන් අතර සාපේක්ෂ මිල ගණන් පවතී. ඊට හේතුව, ආර්ථික විද්‍යාව ආරම්භක සමයේ මුදල් ලෙස ධාන්‍ය, කරවල සහ දුම්කොළ වැනි යම් යම් භාණ්ඩ භාවිතා වීමත්, එම භාණ්ඩයන් සමකාලීන නිෂ්පාදනයෙහිම කොටසක් වීමත් ය.

එහෙත්, ආර්ථිකයට බැංකු නෝට්ටු වැනි නෛසර්ගික වටිනාකමක් නොමැති බාහිර ද්‍රව්‍යයක් මුදල් ලෙස හඳුන්වා දුන් විට, ඉහත දැක්වූ මූර්ත නිෂ්පාදන ප්‍රවාහයන් සඳහා මුදල් වටිනාකම් ප්‍රවාහයන් හට ගනු ඇත. එනම්, නිෂ්පාදන වටිනාකම, ආදායම, ඉල්ලුම සහ වියදම ආශ්‍රිත මුදල් වටිනාකම් ප්‍රවාහයන් හට ගැනීම යි. එබැවින්, මුදලින් ගණනය කෙරෙන නිෂ්පාදන මිල ගණන් සහ සමස්ත මිල මට්ටමක් හට ගනු ඇත. 

ඒ අනුව, ආර්ථිකයෙහි මූර්ත නිෂ්පාදනය හෝ සැපයුමට වඩා මූර්ත ඉල්ලුමක් (පරිභෝජනය සහ ආයෝජනය) මුදල් තුළින් හට ගත හොත්, සමස්ත මිල මට්ටම ඉහළ ගොස්, උද්ධමනයක් හට ගනු ඇත. පැරණි මුදල් න්‍යාය වාදීන්ට අනුව උද්ධමනය යනු සැම දා සැම තැනම මුදල්වල ප්‍රතිඵලයක් වන අතර මුදල්වලින් ආර්ථිකයට කිසිම මූර්ත දායකත්වයක් ඉටු නොකෙරේ. 

එබැවින්, මුදල් යනු උද්ධමනය ඇති කෙරෙන පොදුජන සතුරෙකු බවට මතවාදයක් දේශපාලන නායකයන් අතර බිහි වී ඇත. වත්මන් ශ්‍රී ලංකා රජය විසින් දිට්වා සුළං කුණාටු විනාශයෙන් ආර්ථිකය සහ මහජනයා නැවත ගොඩ නැගීම සඳහා නව රාජ්‍ය මුදල් වියදම් කිරීමට ඉදිරිපත් නොවී, බාහිර මුදල් ආධාර අයැදීමට හේතුව මෙම මුදල් උද්ධමන බිය යි. එය IMF නව ලිබරල් ධනවාදීන් විසින් නිර්මාණය කොට ඇති මිථ්‍යා බියකි.

මුදල් ගිණුම් හරහා ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය

නූතන මුදල් යනු ඉහත දැක්වූ පරිදි බාහිරව සැපයෙන විනිමය මාධ්‍යයක් නොව, ණය මාධ්‍යය හරහා නිෂ්පාදන ක්‍රියාකාරකම් තුළම මුද්‍රණය වී සැපයෙයි. එසේම, රටක නිල ව්‍යවහාර මුදල් (සංචිත මුදල්) යනු රාජ්‍ය වියදම් සහ ණය තුළින් මුද්‍රණය වී, බෙදා හැරෙන කිසිම නෛසර්ගික වටිනාකමක් නොමැති රාජ්‍ය විශ්වාසය මත පිළි  ගැනෙන ද්‍රව්‍යයකි. එසේම, ඊට අතිරේක වූ බැංකු තැන්පතු මුදල් ද රාජ්‍ය මුදල් සහ විශ්වාසය මත ණය හරහා මුද්‍රණය වෙයි. මෙම මුදල්වල කිසිම නෛසර්ගික වටිනාකමක් නොමැති වුව ද, මුදල් සඳහා රජය විසින් නියම කරන මිල ගණන් හෝ පොලී අනුපාතයන් පවතී.

එබැවින්, නූතන මුදල් යනු අනෙක් නිෂ්පාදන සාධක මෙන්, රජය විසින් පාලනය කෙරෙන වෙළෙඳපොළ හරහා ක්‍රියාශීලී වූ නිෂ්පාදන සාධකයකි. එනම්, නූතන මුදල් යනු නිෂ්පාදනයේ දී භාවිතා වන බලශක්තිය වැනි තවත් ශක්ති මූලයකි. එම මුදල් වෙළෙඳපොළ දේශීය මුදල් වෙළෙඳපොළ සහ විදේශීය මුදල් වෙළෙඳපොළ ලෙස කොටස් දෙකකි. ආර්ථිකයෙහි අනෙක් වෙළෙඳපොළවල් ලෙස භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ, භුමි වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ වත්කම් වෙළෙඳපොළ දැකිය හැකිය. මෙම සෑම වෙළෙඳපොළක් ම බොහෝ සේ රාජ්‍ය මැදිහත්වීම හරහා ක්‍රියාත්මක වෙයි.

එබැවින්, ඉල්ලුම සහ සැපයුම යන දෙයන්ශයෙන්ම වෙළෙඳපොළවල ක්‍රියාකාරිත්වයට මුදල් හරහා මැදිහත් වීමට හැකියාව රජයට පවතී. ඊට හේතුව, නූතන විද්‍යුත් මුදල් සහ ගෙවුම් පියවුම් පද්ධතිය හේතු කොට, වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම අතර පවතින කාල පමාව නොවැදගත් මට්ටමකට පහළ යාමත්, ණය හරහා වෙළෙඳපොළවල ඉල්ලුම සහ සැපයුම යන දෙයන්ශයටම මුදල් දායක වීමත් ය. 

ඊට හොඳම උදාහරණය රාජ්‍ය වියදම් සහ මුදල් මුද්‍රණය හරහා දශක ගණනාවක් තුළ ගොඩ නගා ඇති නූතන නිෂ්පාදන ධාරිතාවය යි. එබැවින්, නූතන මුදල් ආර්ථිකයන්හි මුදල් තුළින් සැලකිය යුතු මූර්ත ඵල ජනිත කෙරේ. උද්ධමන පාලනයට අමතරව ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය වැනි අරමුණු මහ බැංකුවලට නියම කිරීම යනු මුදල්වල මූර්ත ඵල පිළි ගැනීමකි.

එබැවින්, ලෝකය පුරා රජයන් විසින් රාජ්‍ය මුදල් සහ මහ බැංකු මුදල් ප්‍රතිපත්ති හරහා ආර්ථිකයෙහි සියළු වෙළෙඳපොළවලට මැදිහත්වීම තුළින් ආර්ථිකයන් කළමනාකරණයේ යෙදීම දැකිය හැකිය. එහෙත්, ආර්ථිකයන් කළමනාකරණය කිරීමේ මූලික මෙවලම වන්නේ, අයවැය (වියදම්, බදු සහ ණය) හරහා රාජ්‍ය මුදල් පාලනය යි. මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය යනු රාජ්‍ය මුදල් ප්‍රතිපත්තියේ මෙහෙයවුම් හෝ පියවුම් අංශය යි.

එහෙත්, මෙම ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය හුදෙක් නවලිබරල් ධනවාදී මුදල් නිර්දේශයන් අනුව වෙළෙඳපොළ මිල ගණන් ඉලක්ක කොට සිදු කිරීම මූලික දුර්වලතාවයකි. මෙහි දී, භාණ්ඩ හා සේවා මිල ගණන්, වැටුප්, බදු කුලිය, පොලී අනුපාත, විනිමය අනුපාත සහ වත්කම් මිල ගණන් ඉලක්ක කිරීම හෝ ස්ථායිකරණය කිරීමේ අරමුණු දැකිය හැකිය. ඊට ගැලපෙන ලෙස  ණය සහ රාජ්‍ය මුදල් මුද්‍රණය පාලනය කිරීම සිදු වෙයි. එබැවින්, වත්මන් ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය හුදෙක් මුදල් උද්ධමන සංකල්පය මත සැකසී ඇත. 

එබැවින්, ආර්ථිකයෙහි මූර්ත අංශ සංවර්ධන ඉලක්කයන් අනුව ණය සහ රාජ්‍ය මුදල් මුද්‍රණය මෙහෙයවීම හෝ තීරණය කිරීම සිදු නොවේ. මෙහි දී, මූර්ත අංශය නියෝජනය සඳහා ආර්ථික වර්ධන අනුපාතය හුවා දැක්වුව ද, එම ඉලක්කම කෙරෙහි විශ්වාසය තැබිය නොහැකිය. ඊට හේතුව, එම ඉලක්කම රජය විසින් බාහිරව සකසන ඉලක්කමක් වීම යි. ඒ අනුව මුදල් ගිණුම් ඉලක්කයන් මත ආර්ථිකය කළමනාකරණය කිරීම පොදුජන සංවර්ධනයට යෝග්‍ය නොවේ. 

මීට හොඳම නිදසුන ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් විසින් අනුගමනය කරන IMF ණය ආර්ථික කළමනාකරණ මොඩලය යි. එබැවින්, දිට්වා සුළං කුණාටුවෙන් මෙතරම් මූර්ත නිෂ්පාදනය සහ ජන ජීවිතය කඩා වැටුන ද, IMF ණය ආර්ථික කළමනාකරණ මොඩලයෙන් පිටතට ගොස්, මූර්ත නිෂ්පාදනය සහ ජන ජීවිතය නැවත ගොඩ නැගීම සඳහා සුපුරුදු පරිදි රාජ්‍ය මුදල් ප්‍රසාරණය කිරීමට රජය ඉදිරිපත් වී නොමැත. ඒ සඳහා රජය විසින් බාහිර ආධාර අයැදීමට හේතුව එය වෙයි.

සමාප්ත සටහන

  • දිට්වා ආර්ථික කුණාටුව තුළින් ආර්ථිකයෙහි මූර්ත නිෂ්පාදන සම්පත්, නිෂ්පාදන ධාරිතාවය, නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ පොදුජන ජීවන මට්ටම සැලකිය යුතු ලෙස සංකෝචනය වී ඇත. එනම්, ආර්ථිකයෙහි සැපයුම් අංශය මෙන්ම ඉල්ලුම් අංශයේ දැඩි සංකෝචනය යි. 2020/2022 කාලය තුළ පතිත වූ කොරෝනා, විදේශ මුදල් සහ දේශපාලනික වසංගතයෙන් සිදු වූයේ ද, මෙවැනි මහා පරිමාණ මූර්ත ආර්ථික සංකෝචනයකි.

  • වත්මන් ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය තුළ, හේතුව කුමක් වුවත්, මෙවැනි ආර්ථික සංකෝචනයන් කළමනාකරණය කිරීමේ එකම ප්‍රතිපත්ති මෙවලම වන්නේ, රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය යි. එය විශේෂයෙන් රාජ්‍ය යටිතල පහසුකම් සහ නිෂ්පාදන ධාරිතාවය නැවත ගොඩ නැගීම සඳහා අවශ්‍ය වෙයි. ඊට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම යි. එය රාජ්‍ය ආයතන සහ නිලධාරී පද්ධතිය හරහා සිදු විය යුතුය. ඊට හේතුව, රාජ්‍ය මුදල් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු පනත් යටතේ පාලනය වන රාජ්‍ය හෝ පොදු දෙපොළක් වන බැවිනි.

  • IMF සහ නව ලිබරල් ආර්ථික කළමනාකරණ සංකල්පයන් යටතේ රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය වැලැක්වෙන ආර්ථික නීති පනවා ඇති බැවින් දිට්වා ආර්ථික කළමනාකරණයට රාජ්‍ය මුදල් බලය භාවිතා කිරීමේ හැකියාවක් රජයට නොමැත. එබැවින්, රටක අනපේක්ෂිත ස්වාභාවික ව්‍යසන අවස්ථාවල ඉන් ආර්ථිකය සහ මහජනයා ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය මුදල් භාවිතා කිරීමට ඉඩ නොදෙන IMF ආර්ථික කළමනාකරණ මොඩලයක ඇති මානව ගුණය කුමක් ද? යන්න ප්‍රශ්න කළ යුතුය.

  • ඒ බව, පසුගිය 5 දින මූඩි ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ණය තත්ත්වය පිළිබඳ ව නිකුත් කොට ඇති විශේෂ වාර්තාවෙන් අනුමාන කොට ඇත. 
    • එනම්, දිට්වා හානිය සඳහා රජයට දැරීමට සිදු වන වියදම් හේතු කොට රජයේ මූල්‍ය ඒකාබද්ධතාව අඩාල වනු ඇති බවත්, ශ්‍රී ලංකාවට ඉදිරියේ දී දරුණුතම ණය ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වන බවත්, එහෙත්, IMF ණය වැඩසටහන සහ ප්‍රතිසංස්කරණයන් පිළිබඳ රජයේ කැපවීම වෙනස් නොවනු ඇති බවත් ය.

    • එසේම, දෙසැම්බර් 15 දිනට පෙර ලැබිය යුතුව තිබූ ඩොලර් මිලියන 347 ක IMF ණය වාරිකය දිට්වා මුදල් පීඩනය හේතු කොට, 2026 මුල් භාගය දක්වා කල් දමා ඇති බවත්, රජය විසින් දිට්වා මුදල් අවශ්‍යතාවන් සපයා ගැනීම සඳහා IMF සීඝ්‍ර මූල්‍යකරන මෙවලම යටතේ ඩොලර් මිලියන 200 ක පමණ හදිසි ණය මුදලක් ඉල්ලා ඇති බවත් එම වාර්තාවේ දක්වා ඇත. 

    • කොරෝනා වසංගතය අවස්ථාවේ දී එවක රජය විසින් සීඝ්‍ර මූල්‍යකරන මෙවලම් ණය මුදලක් ඉල්ලා සිටිය ද, IMF විසින් එවක පැවති ණය නොතිරසරභාවය හේතු කොට එය ප්‍රතික්ෂේප කළ බව ද වාර්තා විය.

    • සමස්තයක් ලෙස මෙම වාර්තාව යනු ජාත්‍යන්තර ඩොලර් ණය දාමය විසින් ශ්‍රී ලංකාව නැවත වින්දිත කිරීමේ සංඥාවකි.

  • එබැවින්, රජය විසින් දේශීය සහ විදේශීය මුදල් ආධාර පසුපස යන අසරණ රජයක් බවට පත් වී ඇත. ඉහත දැක්වූ ද්විත්ව සටහන් මුදල් ගිණුම් ක්‍රමය සහ මූර්ත ආර්ථික සංකෝචනයේ ප්‍රමාණය දෙස බලන විට, මුදල් ආධාර මගින් ශ්‍රී ලංකා ආර්ථිකය සහ ජන ජීවිතය නැවත ගොඩ නැගිය නොහැක.

  • දේශීය මුදල් ආධාර යනු දැනට පවතින රාජ්‍ය මුදල් සැපයුම මහජන ආධාර හරහා ප්‍රතිව්‍යාප්ත කිරීමකි. විශාල ප්‍රමාණයක විදේශ මුදල් ආධාර ලැබුණොත්, රාජ්‍ය මුදල් ප්‍රසාරණයක් මගින් රාජ්‍ය වියදම් ප්‍රසාරණය කිරීමේ හැකියාව ලැබේ. එහෙත්, එපමණ විදේශ මුදල් ආධාර ප්‍රමාණයක් ලැබෙතැයි බලාපොරොත්තු විය නොහැකිය.

  • සමස්තයක් ලෙස විවිධ අර්බුදයන්ගෙන් මහජනයා ආරක්ෂා කිරීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීම සහ යුතුකම යි. එය ඉටු නොවන විට, රජයේ දේශපාලනික සහ පරිපාලන ස්ථායිතාවය බිඳී යනු ඇත.

  • ඕනෑම දේශපාලන පක්ෂයකට පාලන බලය ලබා ගැනීම සඳහා මහජන ඡන්දය රැස් කිරීමේ ව්‍යාපාරයන් කළ හැකි වුව ද, රජය පවත්වා ගැනීම සඳහා මහජන මුදල් ආධාර රැස් කිරීමේ හැකියාවක් නොමැත. ඊට හේතුව, වියදම් කිරීමේ මුදල් බලය රජය සතු වන බැවින් මහජන ආධාර මුදල් මගින් රජයන් පවත්වා ගැනීමට මහජනයා අකැමති වීම යි.

  • සමස්තයක් ලෙස රාජ්‍ය නායකයන් දේශීය සහ විදේශීය ආධාර හෝ සහනාධාර මානසිකත්වයකින් ක්‍රියා කිරීම රටෙහි ආර්ථික සහ පොදුජන සංවර්ධනයට හිතකර නොවන ක්‍රියාවකි.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

IMF දිව බොරු නොකීම. සැඟවුන සත්‍යය සොයමු.

පාර්ලිමේන්තුවේ දී මහ බැංකු උද්ධමන පාලන මිථ්‍යාව එළියට. ආර්ථිකය අවධමන උගුලක? විසඳුම රජය ද? මහ බැංකුව ද?