නව ලිබරල් ධනවාදී මුදල්වලට සමාජවාදීන් බිය ඇයි? කාල් මාක්ස් අමතක ද?
සමාජවාදී දේශපාලනික රජයන් පත් වන සෑම රටකම රජයන් විසින් තම ප්‍රතිපත්ති සඳහා මුදල්, මහ බැංකුව සහ බැංකු ක්‍රමයට අත ගැසීමට බිය වෙයි. ඊට හේතුව, මුදල් පාලනය මහ බැංකුවෙන් ගිලිහී ගිය හොත්, මුදල් පිළිබඳ මහජන විශ්වාසය බිඳී යාම තුළින් උද්ධමනය සහ බැංකු/මූල්‍ය අර්බුදයන් හට ගත හැකි බවට, වත්මන් නව ලිබරල් ධනවාදීන් බිහි කොට ඇති මිථ්‍යා විශ්වාසය යි.
එබැවින්, රාජ්‍ය මුදල් බලය අහිමි වීමෙන් හෝ අවහිර වීමෙන් සමාජවාදී රාජ්‍ය පාලනයන් අසාර්ථක වන බව පැහැදිළි ය. එහෙත්, නව ලිබරල් ධනවාදී රජයන් විසින් පවතින මුදල් ක්‍රමය සහ රාජ්‍ය මූල්‍ය නීති තුළ රජය මූල්‍යකරණය කරමින්, කණ්ඩායමින් කණ්ඩායමට රජය බෙදා ගැනීමත්, රජයට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් රාජ්‍ය මුදල් හරහා තම මුදල් ලාභ අරමුණ මත ආර්ථිකය මෙහෙය වීමත්, දැකිය හැකිය.
එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, සමාජවාදී රාජ්‍ය පාලනයන් අසාර්ථක වීමට නූතන නව ලිබරල් ධනවාදී මුදල් ක්‍රමය බලපාන ආකාරය පිළිබඳ ව කෙටි සටහනක් තැබීම යි. මීට හොඳම උදාහරණය වත්මන් ශ්‍රී ලංකා රජය විසින් දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ මහජනයා සහ ආර්ථිකය නැවත ගොඩ නැගීමට පෞද්ගලික ආධාර අයැදීමත්, ආධාර අරමුදල කළමනාකරණය කිරීම සඳහා ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලත් සභාවක් පත් කිරීමත් ය.
නූතන මුදල් සහ රාජ්‍ය මුදල් බලය
නූතන මුදල් ඇමෙරිකාවේ මුදල් ඉතිහාසය තුළින් විකාශය වී ඇත. 20 වැනි සියවසට පෙර ඇමෙරිකාවේ මුදල් ලෙස පෞද්ගලික බැංකු මුදල් නෝට්ටු දහස් ගණනක් නිදහස් බැංකු ක්‍රමය තුළ ක්‍රියාත්මක විය. රජය ද පෞද්ගලික මුදල්වලින් ණය ගන්නා ලදි. එහෙත්, යුද්ධ කිරීම සහ පොදු පහසුකම් සංවර්ධනය සඳහා එම මුදල් ක්‍රමය ප්‍රමාණවත් නොවූ බැවින් රාජ්‍ය මුදල් නෝට්ටු ක්‍රමය බිහි කොට, පසුව පෞද්ගලික බැංකු මුදල් නෝට්ටු අවලංගු කොට, මහ බැංකුව සහ රාජ්‍ය බලපත්‍ර ලාභී බැංකු ක්‍රමයක් පිහිටුවීම තුළින් වත්මන් රාජ්‍ය නිල ඩොලර් මුදල් ක්‍රමය බිහි කරන ලදි.
මෙහි දී, මුදල් සහ බැංකු ක්‍රමයෙහි පදනම වනුයේ, නිල ගෙවුම් මාධ්‍යය සහ රාජ්‍ය බදු රැස් කිරීමේ මාධ්‍යය ලෙස ඩොලරය නීතියෙන් නියම කිරීමත්, රජය ලබා ගන්නා ණය වෙනුවෙන් මහ බැංකුව විසින් ඩොලර් කාසි සහ නෝට්ටු (ව්‍යවහාර මුදල් හෝ සංචිත මුදල්) නිකුත් කිරීමත් (මුදල් මුද්‍රණය) ය. ඒ අනුව, සියළු බැංකු සහ ආර්ථික ගනුදෙනු නිල ඩොලරය මත ගෙවීම සහ පියවීම සිදු වෙයි.
එබැවින්, ආර්ථිකයට ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ මූලය රාජ්‍ය ණය ප්‍රසාරණය යි. එබැවින්, පෞද්ගලික අංශය මෙන් අයවැය සංරෝධකයක් නොමැතිව රජයට මුදල් මුද්‍රණය හරහා වියදම් කළ හැකිය. මෙහි දී, බදු යනු එසේ මුද්‍රණය කරන ලද මුදල්වලින් කොටසක් නැවත රජය විසින් ආර්ථිකයෙන් හෝ පෞද්ගලික අංශයෙන් තාවකාලිකව උකහා ගැනීම යි. එය, අයවැය හිඟය පියවීම සඳහා නොව, උද්ධමනය පාලනය කිරීම සඳහා පෞද්ගලික වියදම් සංකෝචනය කිරීමේ අරමුණ මත සිදු වෙයි.
එනම්, රාජ්‍ය වියදම් සඳහා මුද්‍රණය කළ මුදල්වලින් කොටසක් බදු මගින් නිෂ්ක්‍රීය කිරීම යි. එබැවින්, බදු හේතු කොට පොදුජන සුබසාදනය සඳහා අවශ්‍ය නව රාජ්‍ය වියදම් සඳහා මුදල් ප්‍රසාරණය කිරීමේ අවකාශයක් ඇති වන බැවින් එය ආදායම් ප්‍රතිව්‍යාප්තියක් ලෙස සැලකෙයි. එබැවින්, බදු රැස් කිරීම හරහා දැනට රාජ්‍ය භාණ්ඩාගාරය සතුව රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් අතිරික්තයක් ගොඩ නැගී ඇති බවත්, එය සුළි කුණාටු ආපදාව වෙනුවෙන් වියදම් කළ හැකි බවත් පැවසීම සාවද්‍ය තොරතුරු ය. රාජ්‍ය මුදල් බලය යනු එසේ නිල ව්‍යවහාර මුදලින් මුදල් මුද්‍රණය හරහා වියදම් කිරීමේ සහ බදු රැස් කිරීමේ බලය යි. එබැවින්, පොදුජන යහපත පිණිස වියදම් ව්‍යපෘති සහ බදු ව්‍යුහය තීරණය කිරීම රජයේ වගකීම යි.
පෞද්ගලික අංශයට මෙම මුදල් බලය නොමැති අතර ඔවුන්ගේ වියදම් පියවීම සඳහා ආදායම් හෝ බැංකු ණය හරහා රාජ්‍ය මුදල් බාහිරව සපයා ගත යුතුය. එබැවින්, රාජ්‍ය අයවැය සහ පෞද්ගලික අයවැය එකිනෙකට සැසඳිය නොහැක.
නූතන ලෝකය පුරා ක්‍රියාත්මක වන්නේ, මෙම රාජ්‍ය මුදල් ක්‍රමය වන අතර ආර්ථිකයේ එන්ජිම රාජ්‍ය මුදල් ක්‍රමය යි. එබැවින්, ආර්ථිකය කළමනාකරණය කිරීම හුදෙක් රාජ්‍ය මුදල් හෝ අයවැය කළමනාකරණය තුළින් සිදු වෙයි. උදාහරණ ලෙස ආර්ථික අවපාතයක් හෝ ස්වාභාවික ව්‍යසනයක් හෝ යුධ අවස්ථාවක් නිරාකරණයට අවශ්‍ය සම්පත් රාශිකරණය සඳහා රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණයක් සිදු කෙරේ. රජය විසින් රටෙහි දැනටම පවතින රාජ්‍ය මුදල්වලින් කොටසක් මහජන ආධාර ලෙස ලබා ගැනීම මගින් එවැනි අවස්ථාවක් නිරාකරණය කළ නොහැකිය.
මුදල් පිළිබඳ ව නව ලිබරල් ධනවාදී මතවාදය
මොවුන් විසින් මුදල් යනු මහජන සතුරකු බවට පත් කොට ඇත. එනම්, අංක එකේ මහජන සතුරා වන උද්ධමනය සැම තැනම සැම විටම මුදල්වල ප්‍රතිඵලයක් බව යි. එබැවින්, මොවුන් විසින් යෝජනා කෙරෙන ආර්ථික යහකළමනාකරණ සංකල්පයෙහි ප්‍රධාන කොටස් හතරකි.
- පළමුව, ආර්ථිකයෙහි පොදු මිල මට්ටම හෝ උද්ධමනය පාලනය කෙරෙන පරිදි මුදල් මුද්‍රණය සහ පාලනය රජයෙන් ස්වාධීන මහ බැංකුවට පැවරිය යුතු බව. මෙය මිල ස්ථායිතා අරමුණ ලෙස නම්පට බැඳී ඇත. මෙහි ඇති විශ්මය ජනක සිද්ධිය වන්නේ, රාජ්‍ය මහ බැංකුව විසින් රජයට ණය දීම නීතිය මගින් තහනම් කිරීම යි. මොවුන්ට අනුව මහ බැංකුව යනු මුදල් දෙවි කෙනෙකි.
- දෙවනුව, මහ බැංකුවට මිල ස්ථායිතාවය පවත්වා ගැනීමට හැකි වන පරිදි මුදල් මුද්‍රණය පවත්වා ගැනීමට ඉඩ දීම පිණිස රජය විසින් වියදම්, අයවැය හිඟය සහ ණය සීමා කළ යුතුය. මේ සඳහා රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ඉවත් වී, බදු හරහා වියදම් පියවා ගත හැකි කුඩා රජයක් බිහි කළ යුතුය. එබැවින්, රාජ්‍ය ණය ද මහජන සතුරකු බවට පත් කොට ඇත. මෙය රාජ්‍ය මූල්‍ය විනය ලෙස නම්පට බැඳී ඇත.
- තෙවනුව, බැංකු නියාමනය හරහා මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීම මහ බැංකුවේ දෙවන අරමුණ යි. එබැවින්, රාජ්‍ය මූල්‍යකරණයට බැංකු පද්ධතිය කෙරෙහි රජය මැදිහත් නොවිය යුතුය.
- සිවුවනුව, අයවැය හිඟය තුළින් ආර්ථිකයෙහි මුදල් ප්‍රසාරණය වීම හේතු කොට ගෙවුම් ශේෂ හිඟයක් හැර ගෙන මහ බැංකුවට විදේශ සංචිතය සහ විනිමය අනුපාතය කළමනාකරණය කිරීම ද අපහසු වන බව දැක්වෙයි. එබැවින්, මහ බැංකුවට විදේශ මුදල් ස්ථායිතාවය රැකීම සඳහා අයවැය හිඟය පහළ දැමිය යුතු බව නිර්දේශ කෙරේ.
මෙම ආර්ථික යහකළමනාකරණ මතවාදය 1980 ගණන්වල ආරම්භයේ සිට ඇමෙරිකානු රජයේ මූලිකත්වයෙන් ප්‍රචලිත වූ වොෂින්ටන් එකඟතාවය ලෙස දැක්වෙයි. මොවුන්ට අනුව ආර්ථිකයේ එන්ජිම පොදුජන සුබසාදන රජය නොව, තරඟකාරී ලාභ සහිත පෞද්ගලික වෙළෙඳපොළ ධනවාදී යාන්ත්‍රණය යි.
IMF සහ ලෝක බැංකුව විසින් මෙය ඔවුන්ගේ ණය කොන්දේසි හරහා දියුණු වන රටවල නායකයන් සහ ආර්ථික විද්‍යාඥයන් අතර ප්‍රචලිත කොට ඇත. වත්මන් රජය ද IMF ණය වැඩසටහනක සිටින බැවින් රටට කුමන වසංගතයක් පතිත වුව ද, රාජ්‍ය වියදම් සහ මුදල් බලය පාවිච්චි නොකරනු ඇත.
සමස්තයක් ලෙස මුදල් යනු නූතන වෙළෙඳපොළ ධනවාදයේ පදනම් අවිය යි. නව ලිබරල් ධනවාදය වාදය හරහා රාජ්‍ය මුදල් බලය සීමා කිරීමෙන්, මෙම මුදල් අවිය මහ බැංකුව ප්‍රමුඛ සමපේක්ෂණ ව්‍යාපාරික කාටලයක් අතට පත් වී, රජය ද ඔවුන්ගේ පාලනයට නතු වී ඇත. ඒ බව, රාජ්‍ය ණය වෙළෙඳපොළ කම්පනයන් සහ රාජ්‍ය ණය අර්බුදයන්ගෙන් පැහැදිළි වෙයි.
තවමත් වසරක් නිම නොවූ, අධිබලවත් ශ්‍රී ලංකා සමාජවාදී රජය ද දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පොදුජනයා සහ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා දේශීය සහ විදේශීය මුදල් ආධාර අයැද සිටීමට හේතුව මෙම රාජ්‍ය මුදල් වින්දිත භාවය යි.
මාක්ස්වාදය සහ ධන සංකේන්ද්‍රණයට එරෙහි සමාජවාදී දේශපාලනය
සමාජවාදී දේශපාලකයන් විසින් හිස මුදුණින් පුදන මාක්ස්වාදයේ හරය වන්නේ, නිෂ්පාදන මාර්ග හෝ ප්‍රාග්ධන හිමි ධනපති සුළුතරය සහ නිෂ්පාදන අගය ජනිත කෙරෙන බහුතර ශ්‍රමික පංතිය අතර පවතින ආදායම් සහ ජීවන පරතරය යි. එය හුදෙක් නිෂ්පාදන මාර්ග හිමියන් විසින් නිෂ්පාදනයේ දී ශ්‍රමය විසින් ජනිත කෙරෙන අතිරික්තය හෙවත් එකතු අගය සූරා කෑමෙන් ධනය අඛණ්ඩව ඔවුන් වෙත සංකේන්ද්‍රණය වීමේ ප්‍රතිඵලයකි. එනම්, නිෂ්පාදනය වෙනුවෙන් ශ්‍රමයට සුළු ගෙවීමක් කොට, බහුතර අතිරික්තය ඔවුන් වෙත රඳවා ගැනීම යි. කොමිනිස්ට් ක්‍රමය යනු මෙම අතිරික්තය ශ්‍රමය වෙත බෙදා හැරෙන නිෂ්පාදන කළමනාකරණ ක්‍රමය යි.
කාල් මාක්ස්ගේ ආර්ථික දර්ශනය බිහි වූයේ, භාණ්ඩ මුදල් ප්‍රචලිත වූ එංගලන්තයේ කාර්මික විප්ලව සමයේ පැවති නිෂ්පාදන පරිසරය තුළ ය. එබැවින්, එකළ ධනවතුන් යනු මූර්ත ප්‍රාග්ධනය හෝ නිෂ්පාදන මාර්ග හිමියන් ය. එහෙත්, නූතන නව ලිබරල් මුදල් ආර්ථිකයන්හි ධනවතුන් යනු ව්‍යාපාරික සහ වෙළෙඳපොළ තරඟය සඳහා රාජ්‍ය මුදල් මාර්ග හිමි කරුවන් ය. රාජ්‍ය කොන්ත්‍රාත් සහ ව්‍යාපාරික බලපත්‍ර ලාභීන් සහ රාජ්‍ය සහ බලපත්‍ර ලාභී බැංකුවල ප්‍රමුඛ ණය කරුවන් ලෙස ඔවුන් වෙත රාජ්‍ය මුදල් බලය හිමි වී ඇත.
කාල් මාක්ස් විසින් දැක්වූ අතිරික්තය සුරා කෑමේ නූතන ධනවාදී පදනම යනු මෙම රාජ්‍ය මුදල් බලය යි. නව ලිබරල් මහ බැංකු මුදල් පාලන ප්‍රතිපත්ති අනුව ආර්ථිකයෙහි සම්පත් උපයෝජන අවශ්‍යතාවන් අනුව මුදල් ව්‍යාප්තියක් සිදු නොවන අතර නූතන මුදල් ව්‍යාප්තිය හුදෙක් රාජ්‍ය මුදල් බලය හිමි ධනවතුන් වෙත සංකේන්ද්‍රණය වී ඇත. වත්මන් සමාජවාදී ශ්‍රී ලංකා රජය විසින් සුළි සුළං ආධාර මුදල් හෝ පොදු දේපොළ ගිණුම කළමනාකරණය සඳහා ධනවත් ව්‍යාපාරික නියෝජිතයන් පත් කිරීම ද එහි ප්‍රතිඵලයකි.
එබැවින්, මාක්ස්වාදය අනුගමනය කරන සමාජවාදී රජයන් විසින් කළ යුත්තේ, නූතන ධනවාදී මුදල් ක්‍රමය තුළින් මුදල් නොලැබෙන ක්ෂුද්‍ර, සුළු සහ මාධ්‍ය පරිමාණ නිෂ්පාදන ව්‍යාපාරයන් සඳහා ප්‍රමාණවත් ලෙස මුදල් ව්‍යාප්ත කෙරෙන මුදල් සහ බැංකු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම යි. වත්මන් දිට්වා සුළු සුළං ව්‍යසනයෙන් පීඩාවට පත් වී ඇති රජය, ආර්ථිකය සහ මහජනයා නැවත ගොඩ නැගීමට අවශ්‍ය මූලික ප්‍රතිපත්ති මෙවලම වන්නේ, ප්‍රමාණවත් ලෙස මෙසේ රාජ්‍ය මුදල් නිෂ්පාදනය සහ ව්‍යාප්තිය යි.
වත්මන් නව ලිබරල් මුදල් ධනවතුන්ගේ මුදල් ආධාරවලින් එය කළ නොහැකි බව අවබෝධ කර ගැනීමට මාක්ස්වාදී දැනුම අවශ්‍ය නොවේ. තව ද, වත්මන් නව ලිබරල් ධනවාදී IMF ණය වැඩසටහන තුළ මෙවැනි ස්වාභාවික ව්‍යසනයන් මැඩලීම ආවරණය නොවන බැවින් දිට්වා ව්‍යසනයෙන් ගොඩ ඒම IMF ණය වැඩසටහන තුළ කළ නොහැකිය.
ස්වාභාවික ව්‍යසන අවස්ථාවල රාජ්‍ය මුදල් බලය භාවිතා කිරීමේ මෑත හොඳම උදාහරණය නව ලිබරල් ධනවාදයේ බලකඳවුර වන ඇමෙරිකාව යි. ඇමෙරිකාව කලින් කලට යුද්ධයන් කිරීම සහ විදේශ යුද්ධයන්ට ආධාර කිරීම ද රාජ්‍ය මුදල් ප්‍රසාරණය හරහා සිදු කෙරේ. එබැවින්, ඇමෙරිකානු රාජ්‍ය ණය තොගය අඛණ්ඩව ඉහළ යන අතර ඉන් සෙසු ලෝකයට විදේශ මුදල් ආදායමක් ලැබේ. පසුගිය කොරෝනා වසංගතයෙන් ආර්ථිකය සහ මහජනතාව ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකානු රජය විසින් 2020 සිට 2022 දක්වා කාලය තුළ කරන ලද රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය කෙටියෙන් පහත දැක්වෙයි.
- අයවැය හිඟය/ද,දේ.නි. ප්‍රතිශතය 2019 දී 4.6% සිට 2020 දී 14.7% ක් ද, 2022 දී 5.3% ක් ද දක්වා ඉහළ නගින ලදි. එනම්, 1950 න් පසු ඉහලම අයවැය හිඟයන් ය. එම මුදල් මගින් මහජනයාට මෙන්ම බංකොලොත් ව්‍යාපාරයන්ට මුදල් බෙදීම කරන ලදි.
- අයවය හිඟය පියවීම සඳහා ණය ගැනීම හේතු කොට, රාජ්‍ය ණය තොගය ඩොලර් ට්‍රිලියන 23.2 සිට 31.4 දක්වා ට්‍රිලියන 8.2 කින් ඉහළ යන ලදි. එනම්, ණය ප්‍රතිශතය 2019 දී 106% සිට 2020 දී 133% දක්වා ද, 2022 දී 118% දක්වා ද ඓතිහාසික ලෙස ඉහළ යන ලදි.
- ඊට අවශ්‍ය ව්‍යවහාර මුදල් සැපයීම සඳහා මහ බැංකුව විසින් පොලී අනුපාතය ශුන්‍යය දක්වා පහත හෙළා, මුදල් මුද්‍රණය ඩොලර් ට්‍රිලියන 4.8 කින් හෙවත් 114% කින් පමණ ප්‍රසාරණය කරන ලදි. එනම්, මහ බැංකුව විසින් 1913 සිට වසර 107 ක කාලයක් තුළ මුද්‍රණය කොට තිබූ සමස්ත මුදල් ප්‍රමාණය වූ ඩොලර් ට්‍රිලියන 4.2 ට ත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් එම වසර තුන තුළ මුද්‍රණය කරන ලදි.
- එම අවස්ථාවේ දී මහ බැංකු අධිපති විසින් දැක්වූයේ, අනාගත උද්ධමන සංකල්පය නොතකා එවක මුහුණ දුන් මානුෂීය අර්බුදය නිරාකරණයට ක්‍රියා කරන බවත්, උද්ධමනකාරී තත්ත්වයක් හට ගත හොත් එය නිරාකරණයට පසුව ක්‍රියා කරන බවත්, කොරෝනා මානව අර්බුදයෙන් ආර්ථිකය සහ මහජනතාව මුදා ගැනීම් සඳහා රජය විසින් තම වියදම් කිරීමේ බලය භාවිතා කළ යුතු බවත්, මහ බැංකුවට ණය දීම හැර එසේ වියදම් කිරීමේ බලය නොමැති බවත් ය. එසේම, රජය විසින් සම්මත කරන ලද නව වියදම් පනත් යටතේ මහ බැංකුව විසින් මහ බැංකු පනතට බහිරව ක්‍රියාත්මක කළ යුතු නව ණය ක්‍රමයන් ද නියම කරන ලදී.
- එහෙත්, එවක සැපයුම් අංශය කඩා වැටීම මත ඉහළ ගිය ගෝලීය උද්ධමනය තුළ ඇමෙරිකාවේ උද්ධමනය ද 2.3% සිට 9.1% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය ද, එය පාලනයක් නොමැතිව ඉහළ ගොස්, සිම්බාබ්වේවක් හෝ වෙනිසියුලාවක් හෝ ග්‍රීසියක් වූයේ නැත.
සමාප්ත සටහන
- නව ලිබරල් ධනවාදය තුළ මිල ස්ථායිතාවය, මූල්‍ය ස්ථායිතාවය සහ විදේශ මුදල් ස්ථායිතාවය රැකීම මහ බැංකුව විසින් කරන බව දැක්වුව ද, උද්ධමනකාරී සහ බැංකු/මූල්‍ය සහ විදේශ මුදල් අර්බුදකාරී අවස්ථාවන් ලෝකය පුරා පැතිරී ඇත. එසේම, ඒවා නිරාකරණය කිරීම ද රාජ්‍ය මුදල් මගින් සිදු වෙයි. ඊට හේතුව, ඒ සඳහා හැකියාවක් මහ බැංකුවට නොමැති බැවිනි.
- උද්ධමනකාරී සහ මූල්‍ය අර්බුදකාරී අවස්ථාවන් ද හුදෙක් නව ලිබරල් ධනවාදීන්ගේ සමපේක්ෂණ සහ අවදානම් හෝ මූල්‍ය වංචාවල ප්‍රතිඵලයකි.
- උද්ධමනකාරී අවස්ථාවන්වල මූලය ධනවාදී සමපේක්ෂණ ව්‍යාපාරිකයන්ට මහා පරිමාණ බැංකු ණය ලැබෙන අවස්ථාවේ සිදු වෙයි. එනම්, ඔවුන් විසින් එම ණය මුදල් වියදම් කිරීමෙන් හට ගන්නා අතිරික්ත ඉල්ලුම යි. ඉන් පසු එම මුදල් මහජනයා අතට වැටුප් සහ වෙනත් ආදායම් ලෙස කාන්දු වන්නේ, ක්‍රය ශක්තිය හීන වී ඇති මුදල් ය. එබැවින්, උද්ධමනය යනු පොදුජන වියදම් හෝ අතිරික්ත ඉල්ලුමෙහි ප්‍රතිඵලයක් නොවේ.
- මූල්‍ය අර්බුදවල මූලය ද හුදෙක් ධනවාදී සමපේක්ෂණ සහ ඡායා බැංකු ව්‍යාපාරය යි. ඊට හේතුව, මුදල් බහුතරය ඔවුන් අතර ණය ලෙස සංකේන්ද්‍රණය වී ඇති බැවිනි. එබැවින්, මූල්‍ය අර්බුදයන් ව්‍යාප්ත වීමේ දී අහිමි වන්නේ, පොදුජන තැන්පතු මුදල් ය.
- විදේශ මුදල් අර්බුදයන්වලට හේතුව හුදෙක් මහ බැංකුව විසින් ලාභ ආනයන හරහා උද්ධමනය පාලනය සහ ආර්ථික වර්ධනය සඳහා විනිමය අනුපාතය රැකීම පිණිස විදේශ මුදල් සංචිතය අවකළමනාකරණය කිරීමේ ප්‍රතිඵලය යි.
- එහෙත්, බොහෝ රටවල දේශපාලනික වශයෙන් සමාජවාදී යැයි දැක්වෙන නායකයන් රාජ්‍ය බලයට පත් වුව ද, සමාජවාදයේ පදනම ලෙස සැලකෙන මාක්ස්වාදී නිෂ්පාදන සහ ආදායම් ව්‍යාප්ති විෂමතාවය පහළ දැමීම සඳහා රාජ්‍ය මුදල් බලය භාවිතා කිරීමට එම රජයන් උනන්දු නොවේ. ඊට හේතුව, රාජ්‍ය මහ බැංකුව ප්‍රමුඛ නව ලිබරල් මුදල් ධනවාදයට ඇති බිය යි.
- එබැවින්, සමාජවාදී රාජ්‍ය නායකයන් විසින් ද තම දේශපාලනික තේමා පාඨයන් වෙනස් කරමින්, නව ලිබරල් ධනවාදී වෙළෙඳපොළ සමඟ අත්වැල් බැඳ ගෙන දේශපාලනික ආරක්ෂාව සොයන බව පැහැදිළි ය. එනම්, නව ලිබරල් ධනවාදීන් යනු ඕනෑම දේශපාලනික රජයකට ඔරොත්තු දීමේ රාජ්‍ය මුදල් බලය හිමි කාටලයකි. ඇමෙරිකානු ධනවාදයට සහ ආධිපත්‍යයට එරෙහිව ලෝකයේ විශාලතම විප්ලවය සහ යුද්ධය වියට්නාමයේ සිදු වුව ද, නව සමාජවාදී වියට්නාම රජය ද, ඩොලරය ප්‍රමුඛ ගෝලීය ධනවාදී මුදල් සහ වෙළෙඳපොළ තුළින් සංවර්ධනය වීමේ මාවත පසුවෙයි.
- මෙහි ශෝක ජනක සිද්ධිය වන්නේ, ශ්‍රී ලංකාවේ මාක්ස්වාදයට නෑකම් කියන පළමු රජය ද ශ්‍රී ලංකාවේ ඓතිහාසික දිට්වා ස්වාභාවික ව්‍යසනයෙන් රජය, ආර්ථිකය සහ මහජනයා නැවත ගොඩ නැගීම සඳහා රාජ්‍ය මුදල් වියදම් සහ ව්‍යාප්ති බලය අමතක කොට, නව ලිබරල් ධනවාදී මුදල් ක්‍රමය තුළ දේශීය සහ විදේශීය මහජන ආධාර මත අන්ධානුකරණ යැපීම යි.
- මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ නව ලිබරල් ධනවාදී රජයක් පැවතියේ නම්, ඔවුන් විසින් කඩිනමින් රාජ්‍ය මුදල් සහ පරිපාලන බලය ඒකරාශී කොට, මෙම ස්වාභාවික ව්‍යසනය කළමනාකරණය කිරීමට ක්‍රියාශීලී වනු ඇත. ඊට හේතුව, නව ලිබරල් ධනවාදයේ සැබෑ වපසරිය සහ ක්‍රමෝපායන් පිළිබඳ ව ඔවුන් දැනුවත් වීම යි.
- දියුණු මෙන්ම දියුණු වන නූතන ආර්ථිකයන්හි නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පදනම මුදල් සහ බැංකු ක්‍රමය වන අතර එය රාජ්‍ය මුදල් මත ගොඩ නැගී ඇත. එබැවින්, සාර්ව ආර්ථික අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස රාජ්‍ය මුදල් හරහා මුදල් සහ බැංකු ක්‍රමය ප්‍රතිසංවිධානය නොකොට, ආර්ථිකයක වර්ධනය, සංවර්ධනය සහ ස්ථායිකරණය අත් කර ගත නොහැකිය.
- රාජ්‍ය අයවැය අතිරික්තයක් ඇති කොට රාජ්‍ය ණය ආපසු ගෙවීමට යෝජනා කිරීම ද රාජ්‍ය මුදල් බලයට බිය වීමකි. නූතන නව ලිබරල් ධනවාදී මුදල් ක්‍රමයන් ගොඩ නගා ඇත්තේ, රාජ්‍ය ඉතුරුම් මගින් රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහ නොව, නව ණය ගැනීම හෝ මුදල් මුද්‍රණය හරහා ණය අඛණ්ඩව පවත්වා ගැනීමේ පදනම මත ආර්ථිකයෙහි මුදල් ප්‍රවාහය ආරක්ෂා කිරීම සඳහා ය. එසේ නොමැතිව, රාජ්‍ය ණය ආපසු ගෙවීම සිදු වුව හොත්, මුදල් පරිමාව සංකෝචනය වී ආර්ථිකය පහළ යනු ඇත.
- සමස්තයක් ලෙස වත්මන් නව ලිබරල් ධනවාදී IMF ණය වැඩසටහන මගින් රාජ්‍ය මුදල් බලය කප්පාදු කොට ඇති බැවින් දිට්වා ව්‍යසනයෙන් රාජ්‍ය, ආර්ථිකය සහ මහජනයා ගොඩ ගත නොහැකිය. එහෙත්, IMF ණය වැඩසටහන අවම වශයෙන් ඩොලර් බිලියන 10 දක්වා ඉහළ නංවා රාජ්‍ය මුදල් කොන්දේසි ළිහිල් කළ හොත්, IMF ණය වැඩසටහන තුළ ආර්ථිකය ගොඩ නැගීමේ ගැටළුවක් පැන නොනගී. යුක්රේනයට යුද්ධ කිරීමටත්, ආජන්ටිනාවට ණය පැහැර හැරීම වැලැක්වීමටත්, IMF ණය වැඩසටහන් ලබා දී ඇති බැවින් මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ජාතියක් ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාවට විශේෂ ණය වැඩසටහන් ලබා දීම IMF ව්‍යවස්ථාපිත අරමුණුවලට පටහැනි නොවේ.
- කොතරම් විද්වත් පුරෝකථනයන් පැවතිය ද, ස්වාභාවික ව්‍යසනයන්ගෙන් බේරීමට නොහැකි වන අවස්ථාවන් ලෝකය පුරා පවතී. ඊට හේතුව, ස්වාභාවික ව්‍යසනයන් මිනිසාගේ පාලනයෙන් බොහෝ තොර වීම යි. විට්වා සුළං කුණාටුව ද එවැනි අවස්ථාවක් බැවින් එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් ඵලක් නොමැත. එහෙත්, එවැනි අවස්ථාවන්ගෙන් හානියට පත් මහජනතාව නැවත කඩිනමින් නගා සිටුවීම සඳහා මිනිසාගේ පාලනය යටතේ ඇති සම්පත් යොදා ගැනීමේ ගැටළුවක් නොමැති විය යුතුය. මහජන ආධාර ඉන් එක් සම්පතකි. එහෙත්, මෙහි දී රජයක් වශයෙන් අත්‍යාවශ්‍ය සම්පත වනුයේ, රජයේ පූර්ණ පාලනය යටතේ පවතින රාජ්‍ය මුදල් ය. නූතන මුදල් ක්‍රමය තුළ එය සෘජු පිරිවැයක් සහ හිඟයක් රහිතව සපයා ගත හැකිය. එනම්, රාජ්‍ය මුදල් බලය යි. ඒ සඳහා රජයට සැලසුම් නොමැති වීම වෙනත් ගැටළුවකි. එබැවින්, මිථ්‍යා ආර්ථික සංකල්පයන්ට බිය වී, රජය විසින් තම රාජ්‍ය මුදල් මුද්‍රණ බලය මෙම අවස්ථාවේ දී භාවිතා නොකිරීම පොදුජන ආර්ථික අපරාධයක් බවට නුදුරේ දී ම චෝදනාවන් එල්ල විය හැකිය.
(මෙම විෂය ආශ්‍රිත මීට පෙර ලිපිය මෙතනින් කියවන්න). (ලිපිය).
(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව
Comments
Post a Comment