ඔබේ මුදල් ආයෝජන සොරුන්ගෙන් රැක ගන්නේ කෙසේ ද? - මූල්‍ය සාක්‍ෂරතාවය VI කොටස

 


මෙම මූල්‍ය සාක්‍ෂරතා ලිපි කලාපයේ පසුගිය V වන ලිපියෙන් අපගේ මුදල් මුහුණ දෙන උද්ධමන අවදානම පිළිබඳ ව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කෙරින. මෙම ලිපියෙන් අපගේ මුදල් ආයෝජනයේ දී මුහුණ දෙන අවදානම් පිළිබඳ ව කෙටි සටහනක් ඉදිරිපත් කෙරේ.

මේ දිනවල රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතු කොට අපගේ මුදල් ආයෝජනය සඳහා පවතින ආරක්ෂාකාරී ව්‍යාපාරයන් මොනවා ද? සහ දැනටමත් අප සතුව විවිධ ව්‍යාපාරයන් සහ මූලයන්හි සිදු කොට ඇති ආයෝජනවලට කුමක් වෙයි ද? යන්න අප සියළු දෙනා මහත් කුතුහලයෙන් සහ භීතියකින් පසු වන බව නොරහසකි.

මෙවැනි ආර්ථික අර්බුදයන් පවතින කාලවල ආරක්ෂාකාරී ආයෝජනයන් කුමක් ද? යන්න උපදෙස් දීම ඉතා අපහසු කාර්යයකි. එහෙත්, කිසිම ආයෝජනයක් නොකොට සිටීම නූතන ව්‍යාපාරික ලෝකයට යෝග්‍ය ක්‍රියාවක් නොවේ. ඊට හේතුව, ආර්ථික සහ සමාජ අර්බුදයන්ගෙන් ගොඩ ඒම සඳහා ආයෝජනයන් අවශ්‍ය අතර ඒ සඳහා ඉදිරිපත් වන විවිධ පුද්ගලයන් හෝ ආයෝජකයන් සිටින බැවිනි. බිහිසුණු යුද්ධ කාලවල පවා එම කාලයේ දී අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කෙරේ. කොරෝනා වසංගත සමයේ ද සහන ප්‍රදානය සඳහා රජයට අවශ්‍ය ණය සැපයීම සඳහා නව ආයෝජනයන් සිදු කරන ලදි.

ආයෝජනය යනු කුමක් ද?

ආයෝජනය යනු ආදායමක් හෝ මූල්‍ය ප්‍රතිලාභයක් උපයා ගැනීම සඳහා මුදල් යෙදීම යි. මේ සඳහා ඔබගේ ඉතුරුම් මුදල් මෙන්ම වෙනත් මූලයන්ගෙන් රැස් කර ගත් මුදල් භාවිතා කළ හැකිය. ඉතුරුම් මුදල් යනු ඔබ සතු මුදල් ශේෂ සහ වෙනත් වත්කම් ය. උදාහරණ ලෙස ඔබ විසින් බැංකුවක තැන්පත් කොට ඇති මුදලක් හෝ ඉඩමක් වැනි වෙනත් වත්කමක් අළෙවි කොට ලබා ගන්නා මුදල් සැලකිය හැකිය. වෙනත් මූලයන් යනු ණය ගැනීම හෝ වෙනත් ක්‍රමයන් තුළින් බාහිර පාර්ශවයන්ගෙන් මුදල් රැස් කර ගැනීම යි.

මෙහිදී, ආයෝජනය ලෙස ආදායම් උපයා ගැනීම සඳහා මුදල් යොදන ඕනෑම ආර්ථික ක්‍රියාවක් සැලකිය හැකිය. ඒවා ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ ප්‍රසාරණය, දැනටම පවතින බාහිර ව්‍යාපාරයක මුදල් යෙදීම, බැංකුවක හෝ මූල්‍ය ආයතනයක තැන්පත් කිරීම, ණය දීම, වෙනත් මූල්‍ය වත්කම් සහ මූර්ත වත්කම් මිල දී ගැනීම යන ප්‍රධාන කොටස් කිහිපයකට වෙන් කොට හඳුනා ගත හැකිය.

ව්‍යාපාරයක මුදල් ආයෝජනය කිරීම හිමිකම් ප්‍රාග්ධනය හෙවත් කොටස් ආයෝජනය (Share Investment) ලෙස සැලකිය හැකිය. එය තමන්ගේ ව්‍යාපාරයක මෙන්ම බාහිර ව්‍යාපාරයක කළ හැකිය. සමහර ව්‍යාපාරයන්හි කොටස් සංවිධිත කොටස් හුවමාරුවල හෝ වෙළෙඳපොළවල ලියාපදිංචි කොට ඇත. උදාහරණ ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ දැක්විය හැකිය. එසේ නොමැති ව්‍යාපාරයන්හි කොටස්වල කෙරෙන ආයෝජනය පෞද්ගලික හිමිකම් ආයෝජනයන් වෙයි. කොටස් ආයෝජනය කිරීම අදාළ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභ අපේක්ෂාවෙන් සිදු කෙරේ.

මුදල් තැන්පත් කිරීම (Deposits) යනු එකඟ  වූ පොලී ආදායමක් ලබා ගැනීම සඳහා මුදල් ආයෝජනය කිරීම යි. ණය දීම (Debt) ද එකඟ වූ පොලී ආදායමක් ලබා ගැනීම සඳහා කෙරෙන ආයෝජනයන් ය. දැන හඳුනන පුද්ගලයන්ට, රජයට, ව්‍යාපාරික ආයතනවලට සහ බැංකු සහ මූල්‍ය ආයතනවලට ණය දීම කළ හැකිය.

මූර්ත වත්කම් යනු රත්රන්, ඉඩම් සහ ගොඩනැගිලි වැනි භෞතික වත්කම් මිල දී මිල දී ගැනීම සඳහා  මුදල් ආයෝජනය කිරීම යි. මේ මගින් අපේක්ෂිත ප්‍රධාන ආදායම වනුයේ යම් කාලයකට පසු ඒවායේ වටිනාකම ඉහළ යාමෙන් ලැබෙන ලාභය යි. එය ප්‍රාග්ධන ලාභ ලෙස හැඳින් වෙයි. තවද, ඉඩම් සහ ගොඩනැගිලි වැනි වත්කම් බදු දීමෙන් මාසික බදු ආදායමක් ලබා ගත හැකිය.

අනෙක් මූල්‍ය වත්කම් යනු ඩොලර් වැනි විදේශ මුදල් වර්ග (Foreign Currency), විවිධ මූල්‍ය ව්‍යුත්පන්න (Financial Derivatives) සහ ක්‍රිප්ටො මුදල් (Cryptocurrency)යනාදිය යි. මේවා වෙළෙඳාමෙන් සහ කාලයකට පසුව වටිනාකම ඉහළ යාමෙන් ප්‍රාග්ධන ලාභ ලබා ගත හැකිය.

ආයෝජනය අවදානම් රහිත ද?

නැත. ඔබ ලඟ ඇති මුදල් නෝට්ටුවල ද අවදානම් පවතී. උද්ධමන අවදානම සහ සොර සතුරු අවදානම ඉන් ප්‍රධාන වෙයි. ඔබ විසින් බාහිර පාර්ශවයක් සමඟ කෙරෙන ඕනෑම මුදල් ගනුදෙනුවක අවදානම් පවතීඕනෑම මුදල් ගනුදෙනුවක් පිටුපස වංචාවක් සිදු වීමේ අවදානම් පවතී. ඊට හේතුව, බොහෝ දෙනෙක් අනුන්ගේ මුදල් තම ආදායමට එක් කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන බැවිනි. ඔබ විසින් භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගැනීම පිණිස ලබා දෙන ලද මුදලක ද අවදානමක් ඇත. එනම්, ඔබ අපේක්ෂා කල පරිදි  භාණ්ඩය හෝ සේවය නොලැබීම යි. 

එබැවින්, සෑම ආයෝජනයකම විවිධ මට්ටමේ අවදානම් පවතී. අවදානම යනු ඔබේ ආයෝජන මුදල්වලට අනාගතයේ ඇති විය හැකි පාඩුව යි.

ඔබ ආයෝජනයක් කළ විට එහි අද වටිනාකම වන්නේ ඔබ ආයෝජනය කළ මුදල සහ ඉන් අපේක්ෂිත ආදායම යනාදියේ එකතුව යි. ඉදිරි කාලයේ දී, එනම් ආයෝජනය පවත්වා ගෙන යන කාලය තුළ, විවිධ අනපේක්ෂිත සාධකයන් හේතු කොට ඔබේ ආයෝජනයේ වටිනාකමට පාඩු හෝ අලාභ සිදු විය හැකිය. උදාහරණ ලෙස කොරෝනා වසංගතය හේතු කොට බොහෝ ආයෝජනයන්ට අලාභ සිදු විය. මෙහිදී, ඔබ විසින් අපේක්ෂා කෙරෙන ආදායමට මෙන්ම ආයෝජන මුදලට අලාභ සිදු විය හැකිය.

එසේ අලාභයන් ඇති කෙරෙන සාධක අවදානම් ලෙස හැඳින් වෙයි. එවැනි අවදානම් වර්ග කිහිපයකි. එනම්, ණය අවදානම, ද්‍රවශීලතා අවදානම, වෙළෙඳපොළ අවදානම සහ මෙහෙයවුම් අවදානම යනාදිය යි.

  • ණය අවදානම (Credit Risk) යනු ඔබගේ ආයෝජිත මුල් මුදල අහිමි වී යා හැකි වීම යි. උදාහරණ ලෙස ණය මුදලක් පැහැර හැරීම දැක්විය හැකිය. ව්‍යාපාරයක් බංකොලොත් වීම හේතු කොට කොටස් ප්‍රාග්ධනය අහිමි වීම ද ණය අවදානම යි.

  • ද්‍රවශීලතා අවදානම (Liquidity Risk) යනු ද්විතීය වෙළෙඳපොළක් සහිත කොටස් සහ ණය වැනි ආයෝජනයන්ගෙන් තමාට මුදල් අවශ්‍යතාවයක දී, නැවත තම මුදල් ලබා ගැනීමේ දී මුහුණ දෙන අපහසුකම් වෙයි. ඒ සඳහා කාලයක් ගත වන අතර එම ආයෝජනවල වෙළෙඳපොළ මිල පහළ ගොස් ඇත්නම් අලාභ සිදු වනු ඇත. උදාහරණ ලෙස කොටසක මිල රුපියල් 80 ක් මත කොටස් ආයෝජනය කොට ඇත්නම්, එම ආයෝජනයේ මුදල් ආපසු ලබා ගැනීම සඳහා එම කොටස් වෙළෙඳපොළේ විකුණන අවස්ථාවේ කොටසක මිල රුපියල් 60 දක්වා පහළ ගොස් ඇත්නම්, ආයෝජකයාට එක කොටසකට රුපියල් 20 ක අලාභයක් සිදු වනු ඇත.

  • වෙළෙඳපොළ අවදානම (Market Risk) යනු ආයෝජනවල වෙළෙඳපොළ මිල ගණන් සහ පොලී අනුපාතයන් වෙනස් වීම හේතු කොට හට ගන්නා අලාභයන් ය. ආයෝජනවල වෙළෙඳපොළ මිල ගණන් පහළ යන විට ප්‍රාග්ධන අලාභයන් ඇති වෙයි. උදාහරණ ලෙස මේ දිනවල පොලී අනුපාතයන් ඉහළ යාම හේතු කොට රාජ්‍ය ණය සුරැකුම්පත්වල වෙළෙඳපොළ මිල ගණන් පහළ ගොස් ඇති බැවින් රාජ්‍ය ණය සුරැකුම්පත්වල මුදල් ආයෝජනය කොට ඇති පුද්ගලයන්ට සහ ආයතනවලට විශාල අලාභයන් දැරීමට සිදු වී ඇත. එසේම, කොටස් මිල ගණන් පහළ ගොස් ඇති බැවින් කොටස් ආයෝජනවල වටිනාකම පහළ ගොස් ඇත. එසේම, සමහර ණය ආයෝජනයන්හි පොලී අනුපාතයන් පාවෙන හෝ විචල්‍ය පොලී අනුපාතයන් අනුව ගිවිස ගෙන ඇති අවස්ථාවල පොලී අනුපාතයන් පහළ යන විට ණය ආයෝජකයන්ට ලැබෙන පොලී ආදායම පහළ යනු ඇත.

  • මෙහෙයවුම් අවදානම (Operational Risk) යනු ආයෝජනය සඳහා ඔබේ මුදල් ලබා ගෙන ඇති බාහිර පාර්ශවයන් සමඟ හට ගන්නා නොයෙකුත් ගැටුම් සහ ආරවුල් හේතු කොට හට ගන්නා අලාභයන් ය. උදාහරණ ලෙස ඔබ විසින් බැංකුවක තැන්පත් කොට ඇති මුදලක් පිළිබඳ ලිපි ගොනු බැංකුවේ අතුරුදහන් වීම හෝ ඔබගේ ගිණුමෙන් මුදල් අතුරුදහන් වීම දැක්විය හැකිය.

සමහර ආයෝජනයන් ඔබ මුළාවට පත් කොට කරනු ලැබූ නීති විරෝධී ආයෝජනයන් වීම හේතු කොට ඔබට අලාභයන් සිදු වනු ඇත. උදාහරණ ලෙස අනවසර තැන්පතු ආයතන සහ පිරමීඩ ආයෝජන ව්‍යාපාරයන්  දැක්විය හැකිය. රාජ්‍ය ණය සුරැකුම්පත් සහ කොටස් වෙළෙඳපොළ අයෝජනවල දී ආයෝජන අතරමැදියන් විසින් ඔබගේ මුදල් සොරා ගැනීම හේතු කොට ඔබට අලාභයන් සිදු වනු ඇත.

එසේම, මෙම ආයෝජනවල දී ඔබගේ පෞද්ගලික තොරතුරු බාහිර පාර්ශවයන් අතට පත් වීමෙන් විවිධ අපහසුකම්වලට මුහුණ දීමට ඔබට සිදු වනු ඇත. සංවිධිත අංශයේ මුදල් ආයෝජනය කිරීමේ දී මුදල් විශුද්ධිකරණ නීති යටතේ ඔබගේ වත්කම් සහ ආදායම් තොරතුරු පිළිබඳ ප්‍රකාශනයක් කළ යුතු බැවින් ඔබගේ මූල්‍ය තොරතුරු නීති ක්‍රියාත්මක කරන්නන් අතට පත් වනු ඇත.

වැඩි ආයෝජන ප්‍රතිලාභය යනු වැඩි අවදානම යි

ආයෝජන සඳහා ලැබෙන හෝ අපේක්ෂිත ප්‍රතිලාභය ප්‍රතිශතයක් (Rate of Return) හෝ අනුපාතයක් ලෙස භාවිතා කෙරේ. එනම්, ඔබ ආයෝජනය කරන ලද මුදල් ප්‍රමාණය සඳහා වර්ෂයකට ලැබෙන ආදායම හෙවත් ප්‍රතිලාභය ආයෝජනය කරන ලද මුදලේ ප්‍රතිශතයක් වශයෙන් ගණනය කිරීම යි. උදාහරණ ලෙස මේ දිනවල සමහර බැංකු විසින් ස්ථාවර තැන්පතු සඳහා 14%-16% ක වාර්ෂික පොලී අනුපාතයන් ප්‍රදානය කෙරෙනු ලැබේ. මෙසේ ප්‍රතිලාභ අනුපාතයන් ගණනය කිරීමෙන් ආයෝජනයන්ගේ ලාභදායීතාවය හෝ ප්‍රතිලාභය සැසඳිය හැකිය.

එහෙත්, ඔබ නිතරම ඉහළ ප්‍රතිලාභය අනුපාතයක් ලැබෙන ආයෝජනයන් වෙත යොමු වීම නුවණට හුරු නොවේ. ඊට හේතුව, ප්‍රතිලාභ අනුපාතයෙන් ආයෝජනවල ආරක්ෂාකාරී බව හෝ අවදානම්කාරී තත්ත්වය පිළිබඳ යම් සංඥාවන් හෙළි දරවු කෙරෙන බැවිනි. එනම්, ඉහළ ප්‍රතිලාභය යනු ඉහළ අවදානම නිරූපනය කිරීමකි.

උදාහරණ ලෙස යම්කිසි ව්‍යාපාරිකයකු විසින් ඔබගෙන් ආයෝජන මුදලක් ලබා ගෙන, ඒ සඳහා ඔබට ප්‍රතිලාභයක් ගෙවන්නේ එම ආයෝජනය තම ව්‍යාපාරයේ යොදවා ලැබෙන ආදායමිනි. එම ව්‍යාපාරයේ ආදායම එහි බදු, වැටුප්, බදුකුලී, පොලී, අමුද්‍රව්‍ය වැනි වියදම් ආවරණය කොට ව්‍යාපාරිකයාට ලාභයක් ලැබීමට හැකි තරම් ඉහළ විය යුතුය.

එබැවින්, ඔබට ඉහළ ප්‍රතිලාභයක් ප්‍රදානය කිරීමට නම්, එම ව්‍යාපාරයේ ආදායම් මට්ටම ඔබගේ ආයෝජනයට ගෙවන ප්‍රතිලාභයට වඩා කිහිප ගුණයකින් ඉහළ විය යුතුය. මෙහිදී, අප විසින් මතක තබා ගත යුත්තේ ඉහළ ආදායම් ලැබෙන ව්‍යාපාරයන් යනු ඉහළ අවදානම් සහිත ව්‍යාපාරයන් බව යි.

එබැවින්, ඔබ විසින් ඉහළ පොලී අනුපාතයන් ගෙවන බැංකු සහ මූල්‍ය ආයතනවල මුදල් ආයෝජනය කරයි නම්, එම ආයතන විසින් ඔබගේ මුදල් ඉහළ අවදානම් සහිත ව්‍යාපාරයන් වෙත ඉහළ පොලී අනුපාතයන් මත ණය ප්‍රදානය සඳහා යොදා ගැනීම කෙරෙනු ඇත. ඔබට ඉහළ පොලී අනුපාතයක් ප්‍රදානය කෙරෙන්නේ එබැවිනි. උදාහරණ ලෙස මේ දිනවල 15% ක පොලී අනුපාතයකට ස්ථාවර තැන්පතු ලබා ගන්නා බැංකුවක් විසින් බැංකුවේ වියදම් සහ ලාභය ආවරණය කොට ඔබට 15% ක පොලියක් ගෙවීමට නම්, අඩුම වශයෙන් බැංකුව විසින් 25% ක පොලී අනුපාතයකට ණය ප්‍රදානය කල යුතුය.

එම ණය ගන්නා ව්‍යාපාරයකට 25% ක පොලී අනුපාතයකට ණය ලබා ගෙන ණය ආපසු ගෙවිය හැකි වන්නේ, ණය වාරිකය සහ 25% ක පොලී අනුපාතය මෙන්ම අනෙකුත් ව්‍යාපාරික වියදම් ආවරණය සඳහා ප්‍රමාණවත් ආදායම් අනුපාතයක් ලැබේ නම් පමණි. එබැවින්, ඔබගේ තැන්පතු සඳහා ඉහළ අවදානමක් මේ දිනවල පවතින අතර වඩාත් ඉහළ පොලී අනුපාතයන් ගෙවන බැකු තෝරා ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

ආයෝජන තෝරා ගැනීමේ දී පාදක කොට ගත හැකි අවදානම් අඩු ප්‍රතිලාභ අනුපාතයක් තිබේ ද?

ඔව්. සාමාන්‍යයෙන් රාජ්‍ය ණය පැහැර හැරීමක් නොකෙරෙන බවට මහජනයා තුළ ඇති විශ්වාසය හේතු කොට, අවදානම් ඉතා පහළ ආයෝජන ලෙස රාජ්‍ය ණය සැලකේ. මූලික වශයෙන් ආර්ථිකයේ මුදල් මුද්‍රණය කිරීම රාජ්‍ය ණය සැපයීම තුළින් සිදු වන බැවින් රාජ්‍ය ආදායමක් නොමැතිව වුව ද,  මුදල් මුද්‍රණය කොට රාජ්‍ය ණය ආපසු ගෙවීමේ හැකියාව පවතී.

රජය විසින් ණය වෙළෙඳපොළට භාණ්ඩාගාර බිල්පත් (Treasury bills) සහ භාණ්ඩාගාර බැඳුම්කර (Treasury bonds) යන ණය සුරැකුම්පත් නිකුත් කිරීම හෝ අළෙවි කිරීම හරහා ණය ලබා ගැනේ. භාණ්ඩාගාර බිල්පත් සතිපතා නිකුත් කෙරෙන අතර එම ණය දින 91, 182 සහ 364 යන කාලයන් සඳහා ලබා ගැනේ. භාණ්ඩාගාර බැඳුම්කර වර්ෂ 2 සිට 30 දක්වා කාලයන් සඳහා ණය ගැනීම පිණිස මාසයකට දෙවරක් නිකුත් කෙරේ (වැඩි විස්තර සඳහා මෙම වෙබ්අඩවියේ පළ කොට ඇති විශේෂ ලිපි දෙක බලන්න). මෙම ණය සඳහා ආයෝජකයන්ට ලැබෙන ප්‍රතිලාභය ඵලදා අනුපාතය ලෙස හැඳින් වෙයි. එම ඵලදා අනුපාතයන් මහ බැංකුවේ වෙබ් අඩවියේ සතිපතා පළ කෙරේ.

උදාහරණ ලෙස පසුගිය අප්‍රේල් 20 දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පිළි ගත් ලංසුවල සාමාන්‍ය ඵලදා අනුපාතයන් වූයේ දින 91 සඳහා 23.21% ක් ද, දින 182 සඳහා 24.77% ක් ද, දින 364 සඳහා 24.36% ක් යනාදිය යි. මෑතදී, භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් සිදු කොට නොමැති අතර ඊළඟ වෙන්දේසියේ දී එම ඵලදා අනුපාතයන් 25% ට වඩා ඉහළ යනු ඇත.

මෙසේ වර්තමාන පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ යාමට හේතුව පසුගිය 8 දින මහ බැංකුව විසින් බැංකු සමඟ කෙරෙන එක්දින ණය ගනුදෙනු සඳහා භාවිතා කෙරෙන තම පොලී අනුපාතයන් 7% කින් 13.5% සහ 14.5% දක්වා ඓතිහාසික ලෙස ඉහළ දැමීම යි. ඒ හේතු කොට ආර්ථිකයේ සියළු ආයෝජන අවදානම් ඉහළ යාමේ විශාල රැල්ලක් හට ගෙන ඇත. එසේම, රජය විසින් තම විදේශ ණය ගෙවීම පසුගිය 11 දින සිට අත්හිටුවීම සහ දැනටමත් රාජ්‍ය ණය අර්බුදයක් හට ගෙන ඇති බැවින් රාජ්‍ය ණය පිළිබඳ අවදානම ඉහළ යාම ද මෙසේ රාජ්‍ය ණය ඵලදා අනුපාතයන් ඉහළ යාමට හේතු වී ඇත. 

බැංකු තැන්පතු ද නීති සහ මහ බැංකු නියාමනය හරහා යම් ප්‍රමාණයකට රාජ්‍ය ආරක්ෂාවක් ලැබෙන බැවින් බැංකු තැන්පතු පොලී අනුපාතයන් ද අවදානම් පහළ ආයෝජන ප්‍රතිලාභ අනුපාතයන් ලෙස සැලකිය හැකිය. එහෙත්, බැංකු අතර පවතින අවදානම් මට්ටම් බොහෝ සේ වෙනස් වෙයි.

එබැවින්, ආයෝජන තීරණයන් ගැනීමේ දී අවදානම් අඩු පාදක ප්‍රතිලාභ අනුපාතයන් (Risk-free Rates of Return) ලෙස රාජ්‍ය ණය සුරැකුම්පත් ඵලදා අනුපාතයන් සහ  බැංකු තැන්පතු පොලී අනුපාතයන් සැලකිය හැකිය.

ඒ අනුවමෙම පාදක ප්‍රතිලාභ අනුපාතයන්ට වඩා ඉහළ ප්‍රතිලාභයන් ලැබෙන ව්‍යාපාරයන්හි ආයෝජන කිරීමේ දී, එම ආයෝජන ප්‍රතිලාභ අනුපාතය සහ පාදක ප්‍රතිලාභ අනුපාතය අතර වෙනස වන අතිරේක අවදානම් අනුපාතයට බලපෑ හේතූන් විමර්ශනය සහ ඇගයීම කිරීමෙන් පසු ඔබගේ ආයෝජන තීරණය ගැනීම වඩාත් නුවණට හුරු වෙයි. උදාහරණ ලෙස භාණ්ඩාගාර බිල්පත් වාර්ෂික ඵලදා අනුපාතය 24% ක් ද, පෞද්ගලික ආයතනයක ණය ආයෝජනයක් සඳහා ඔබට ලැබෙන පොලී අනුපාතය 30% ක් ද වෙයි නම්, මෙම අතිරේක 6% ප්‍රතිලාභ ප්‍රමාණය අතිරේක අවදානම වෙනුවෙන් ප්‍රදානය කෙරේ.

එහෙත්, වත්මන් ආර්ථික අර්බුදය දෙස බලන විට රාජ්‍ය ණය සහ බැංකු තැන්පතු යන අවදානම් අඩු යැයි සැලකෙන ආයෝජනයන්හි අවදානම් ද ඉහළ බවට එම පොලී අනුපාතයන් දෙස බැලීමේ දී පැහැදිලි වෙයි. එබැවින්, අවදානම් ඇගයීම සඳහා පාදක පොලී අනුපාතයන් ලෙස එම පොලී අනුපාතයන් සැලකීම ප්‍රයෝගික නොවනු ඇත. එබැවින්, මෙවැනි අසාමාන්‍ය කාලයන් තුළ මුදල් ආයෝජනය කිරීමේ දී සම්ප්‍රදායික ආයෝජන ඇගයුම් ක්‍රමවේදයන් යෝග්‍ය නොවිය හැකිය. 

එබැවින්, ඉහළ ප්‍රතිලාභ තෘෂ්ණාවෙන් මිදී පහළ ප්‍රතිලාභ අනුපාතයන් ප්‍රදානය කෙරෙන ස්ථායී මූර්ත ව්‍යාපාරික පැවැත්මක් සහිත නිෂ්පාදන ආයතනවල මුදල් ආයෝජනය කිරීම වඩාත් ප්‍රඥා ගෝචර වනු ඇත. එය මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ කෙරෙන සමාජීය ආයෝජනයක් වනු ඇත.

(එසේ ආයෝජන තීරණයන් ගැනීම සහ ආයෝජන අවදානම් කළමනාකරණය පිළිබඳ අත්වැලක් ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ)


පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපතිශ්‍රී ලංකා මහ බැංකුව

 (හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි