මහ බැංකු මූල්‍ය චින්තන ප්‍රහාරවලින් බැට කන පොදුජන ආර්ථිකය - ඓතිහාසික 7% කින් පොලී අනුපාතය ඉහළ දැමීම තවත් ඓතිහාසික ප්‍රහාරයක් ද?



හ බැංකුව විසින් පසුගිය 8 වැනි දින කලබලයේ තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් දෙක ඓතිහාසික ලෙස 7% කින් ඉහළ දැමු බව කෙටි නිවේදනයක් මගින් මහජනයා වෙත දන්වන ලදි. තවද, එදින රාත්‍රියේ පවත්වන ලද රුපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක දී මහ බැංකුව විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනා රැස් වී මෙසේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් ගැනීම ඉතාම පහසු කාර්යයක් බව යි.

මූල්‍ය වාදී මූල්‍ය ප්‍රතිපත්ති චින්තනය

මූල්‍ය ප්‍රතිපත්තිය යනු මුදල්, ණය, පොලී අනුපාතයන් සහ විනිමය අනුපාතයන් ආර්ථිකයේ නිෂ්පාදන හෝ ගනුදෙනු අවශ්‍යතාවන්ට යෝග්‍ය සහ උපකාරී වන ලෙස පවත්වා ගෙන යාම සඳහා ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ප්‍රතිපත්තිය යි. මේ සඳහා වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් මුදල් නීති පනතේ අඩංගු වෙයි. ඒ යටතේ විවිධ බලතල මුදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, මහ බැංකුව සහ මුදල් ඇමති වෙත පැවරී ඇත.

මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් ගැනීමේ දී මහ බැංකුව විසින් සාමාන්‍යයෙන් අදහන චින්තනය වනුයේ පැරණි මූල්‍ය වාදය යි. එයට අනුව, ආර්ථිකයේ උද්ධමනකාරී පීඩනයක් හෙවත් පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක් පවතී නම්, ඊට හේතුව වනුයේ ආර්ථිකයේ සමස්ත සැපයුමට වඩා ඉහළ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුමක් පවතින බවත්, එම අතිරික්ත ඉල්ලුමට හේතුව ආර්ථිකයේ නිෂ්පාදන/සැපයුම් පරිමාවට යෝග්‍ය ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණය වීම බවත් විශ්වාස කෙරේ. 

එබැවින්, මූල්‍ය වාදී සංකල්පයට අනුව උද්ධමනය යනු මූල්‍ය සංසිද්ධියකි. එබැවින්, උද්ධමනකාරී පීඩනය මර්ධනය කිරීම සඳහා මහ බැංකුවේ විශ්වාසය වනුයේ මුදල් සංසරණ ප්‍රමාණය පහළ දැමීමට යෝග්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව යි. එහෙත්,  මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එවැනි සංකල්පයක් මුදල් නීති පනතේ අඩංගු නොවේ.

ආර්ථිකයේ මුදල් සහ මුදල් සංසරණය හට ගන්නේ බැංකු ණය හරහා වන බැවින් උද්ධමනය පාලනය කිරීම සඳහා බැංකු ණය පාලනට හෝ ප්‍රසාරණය පහළ දැමීමට මූල්‍ය ප්‍රතිපත්තිය යොමු කෙරේ. එහිදී, මහ බැංකුව විසින් ණයවල මිල වන මූල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාතයන් ඉහළ දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීම මූල්‍ය ප්‍රතිපත්තියේ එක උපකරණයකි. එනම්, මිල ඉහළ යන විට ඉල්ලුම පහළ යන බව දැක්වෙන සරල වෙළෙඳපොළ ආර්ථික විද්‍යා න්‍යාය පිළි ගැනීමකි. පවතින මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය අනුව උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවට කළ හැකි වන්නේ තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීම බව මහ බැංකුව විසින් පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කරනු ලැබූවේ එය පදනම් කර ගෙන ය.

ඒ අනුව, මහ බැංකුව විසින් පසුගිය 8 වැනි දින තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් එක් වර 7% කින් ඉහළ දමන ලදි. එනම්, පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 93% කින් පමණ ඉහළ දැමීමකි.

එහෙත්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද මෑත කාලයේ නිරන්තරයෙන් යොදා ගෙන ඇති ප්‍රතිපත්ති උපකරණයකි. ව්‍යවස්ථාපිත සංචිත යනු විසින් තම රුපියල් තැන්පතු වගකීම්වලින්  බැංකුවේ තැන්පත් කළ යුතු ප්‍රතිශතය යි.  එය බැංකුවල ණය හැකියාව පාලනය සඳහා භාවිතා කෙරේ. එසේම, දිනය තුළ ආපසු ගෙවීම සඳහා රාජ්‍ය සුරැකුම්පත් ඇපයට තබා ගෙන පොලී අය කිරීමකින් තොරව ගෙවුම් නිෂ්කාශන අවශ්‍යතාවන් සඳහා මහ බැංකුව විසින් බැංකු වෙත සැපයෙන ණය ද වැදගත් මූල්‍ය උපකරණයකි.

මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් යනු කුමක් ද?

වර්තමානයේ මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් තුනක් පවතී. ඒවා නම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ බැංකු අනුපාතය යනාදිය යි. බැංකු අනුපාතය යනු 1950 වර්ෂයේ දී මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද වාණිජ බැංකු වෙත රාජ්‍ය සුරැකුම්පත් ඇපයට තබා ගෙන දෙන ලද ණය සඳහා අය කෙරෙන පොලී අනුපාතය යි. මෙම පොලී අනුපාතය මෑත දශක කිහිපය තුළ භාවිතා කිරීම පිළිබඳ ව තොරතුරු මහ බැංකු වාර්තාවේ නොමැති බැවින් මෙය හුදෙක් මළ පොලී අනුපාතයක් ලෙස සැලකිය හැකිය.

නිත්‍ය ණය පහසුකම් අනුපාතය යනු බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් ඇපයට තබා මහ බැංකුවෙන් එක් දිනක් සඳහා ලබා ගන්නා ණය සඳහා අය කෙරෙන වාර්ෂික පොලී අනුපාතය යි. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය යනු බැංකු සතු අතිරික්ත අරමුදල් මහ බැංකුව වෙත එක් දිනකට තැන්පත් කිරීමේ දී ලබා දෙන වාර්ෂික පොලී අනුපාතය යි. මෙම පොලී අනුපාතයන් දෙක අන්තර් බැංකු එක් දින ණය සඳහා අය කෙරෙන පොලී අනුපාතයන් සඳහා කොරිඩෝවක් ලෙස ක්‍රියාත්මක වෙයි. එබැවින්, අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතය මෙම කොරිඩෝවෙන් පිටත යා නොහැකිය.

මෙය මහ බැංකුවේ සම්ප්‍රදායික විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වෙයි. එහෙත්, පොලී ගෙවීම මත බැංකුවලින් තැන්පතු භාර ගැනීමේ කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන මුදල් නීති පනතේ නොමැත. විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා අදාළ ප්‍රතිපාදනය වනුයේ මහ බැංකුව විසින් බැංකු සමඟ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම යි.

ඒ අනුව, නව මූල්‍ය ප්‍රතිපත්ති තීරණය හේතු කොට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 13.5% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 14.5% දක්වාත් 7% කින් ක්ෂණිකව ඉහළ යන ලදි.

මහ බැංකුව විසින් 7% කින් පොලී අනුපාතයන් ඉහළ දැමීමේ ප්‍රතිපත්ති තීරණයේ අරමුණු දැක්වීම

මෙම ප්‍රතිපත්තිය මගින් ඉදිරි කාලයේ දී උද්ධමන පීඩනය පහළ දමා ආර්ථිකයේ ස්ථායිතාවය ඇති කොට පොදුජන ආර්ථික ජීවිතයට උපකාරී වන බව මහ බැංකුව විසින් දක්වා දක්වා ඇත. ඒ සඳහා නව ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ගේ කාර්යය ලෙස මහ බැංකු පුවත්පත් නිවේදනයේ ප්‍රධාන කරුණු හතරක් දක්වා ඇත.

එනම්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ ඉල්ලුම් පීඩනය තවදුරටත් ගොඩනැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂණයන් වර්ධනය වීම වැලැක්වීම, විනිමය අනුපාතය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීම සහ වෙළෙඳපොළ පොලී අනුපාත ව්‍යුහයේ පවතින විෂමතාවන් නිවැරදි කිරීම යනාදිය යි. එහෙත්, එම ආර්ථික අස්ථායීතාවන් සනාථ කිරීමට සහ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීම හේතු කොට එම අස්ථායීතාවන් නිරාකරණය වීමට ඇති ශක්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය දත්ත සහ අර්ථකතනයන් පුවත්පත් නිවේදනයේ දක්වා නැත.

එසේම, නව ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට අනුව බැංකු පොලී අනුපාතයන් ද ඉහළ යාම හේතු කොට මහජනයා විසින් බැංකුවල කෙරෙන තැන්පතු පරිමාව ඉහළ යාම හරහා ආර්ථිකයේ පවතින මුදල් සංසරණයෙන් කොටසක් බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීම තුළින් අතිරික්ත සමස්ත ඉල්ලුම පාලනය කිරීම ද ප්‍රතිපත්ති අරමුණක් ලෙස දක්වා ඇත.

එහෙත්, මෙය සංකල්පීය වශයෙන් සදොස් වෙයි. ඊට හේතුව, බැංකු ණය හරහා බැංකු තැන්පතු ජනිත වන බැවින් ණය සහ තැන්පතු යනු එකම කාසියක දෙපැත්ත වන බැවිනි. එබැවින්, බැංකු තැන්පතු යනු මුදල් සැපයුමේ/සංසරණයේ ප්‍රධාන කොටසක් වෙයි.  එබැවින්, මූල්‍ය ප්‍රතිපත්ති මගින් අපේක්ෂා කෙරෙන්නේ ආර්ථිකයේ ණය පරිමාව පාලනය කිරීම තුළින් සමස්ත ඉල්ලුම කෙරෙහි බලපෑම යි.

මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් බලපොරොත්තු වන්නේ ඊට අනුරූපව රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් සහ බැංකු පොලී අනුපාතයන් ඉහළ ගොස්, ණය පරිමාව හෝ ප්‍රසාරණය පහළ යාම තුළින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් ප්‍රසාරණය පහළ ගොස්, නුදුරු අනාගතයේ දී  උද්ධමනය පහළ යන බව යි. මෙය මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය ලෙස දැක්වෙයි. එහෙත්, එය සිදු වන කාලය සහ එසේ සිදු වනවා ද? යන්න ආර්ථික පරික්ෂණ දත්ත දක්නට නොමැත. එබැවින්, මෙය හුදෙක් උපකල්පනයන්ගෙන් පිරි සරල ආර්ථික සංකල්පයකි.

එබැවින්, එම කරුණු අපේක්ෂා කෙරෙන පරිදි ඉටුවේ ද? යන්න ඉදිරි කාලයේ දී දත්ත මගින් විමර්ශනය කළ යුතුය. එහෙත්, මෑත අතීතයේ දී ද වරින්වර මහ බැංකුව විසින් මෙවැනි හදිසි දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ අතර, ඒවායින් ද පැවසූ ආර්ථික ස්ථායීතාවය හට නොගත් අතර එමගින් ආර්ථිකයේ පොලී අනුපාතයන් දැඩි ලෙස ඉහළ යාම තුළින් පොදුජන ආර්ථිකයට විශාල මූල්‍ය පාඩුවක් හෝ හානියක් විය. එසේම, සමහර තීරණයන් තුළින් ආර්ථිකයට දැඩි කම්පනයන් ද ඇති කරන ලදි.

මෙහිදී, සාර්ව ආර්ථිකය සහ මූල්‍ය පද්ධතිය රඳා පවතින ප්‍රධානතම කුළුණ වන රාජ්‍ය ණයවල පොලී අනුපාතයන් ඉහළ යාමේ රාජ්‍ය මූල්‍ය පිරිවැය ද පොදුජනයාට දැරීමට සිදු වෙයි. ඊට හේතුව, පොලී අනුපාතයන් ඉහළ ගිය ද, රාජ්‍ය ණය ගැනීම පහළ නොයන බැවිනි. එබැවින්, මෑත කාලීන මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන විට මෙම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය පිළිබඳ ව මාධ්‍යය විසින් හුවා දැක්වූ පරිදි අධි සන්තුෂ්ටියට පත් වීමට සංකල්පීය කරුණු හැර ප්‍රයෝගික කරුණු කිසිවක් නොමැත.

මෑත කාලීන දැඩි මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් කිහිපයක ආර්ථික බලපෑම

2015 වර්ෂය ආරම්භයේ සිට පසුගිය 8 වැනි දින දක්වා ගන්නා ලද විශේෂ මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් කිහිපයක් සහ ඒ හේතු කොට එක් දින අන්තර් බැංකු පොලී අනුපාතය, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය සහ භාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාතය කෙරෙහි ඇති වූ කෙටි කාලීන බලපෑම පහත කෙටියෙන් දැක්වෙයි.

සාමාන්‍යයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ එම පොලී අනුපාතයන් හරහා වන අතර ඒ හරහා බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළේ අනෙක් පොලී අනුපාතයන් කෙරෙහි ද විවිධ මට්ටමේ බලපෑම් ඇති වනු ඇත. ණය ගනුදෙනුවල අවදානම් වෙනස් වන බැවින් එම බලපෑම් සමාන නොවේ. එහෙත්, ආර්ථිකයේ ණය පරිමාව සහ උද්ධමනය කෙරෙහි ඇති වූ ප්‍රතිඵලය ඇගයීම ඉතා අපහසු වෙයි.

1.     27/02/2015 දින හදිසි මූල්‍ය ප්‍රතිපත්ති තීරණය

ප්‍රතිපත්තිය

27/02/2015 දින දණ්ඩන නිත්‍ය තැන්පතු අනුපාතය වූ 5% ඉවත් කිරීම, එක් දින ප්‍රති මිල දී ගැනීම හරහා රුපියල් බිලියන 10 ක් ද, සත් දින ප්‍රති මිල දී ගැනීම හරහා රුපියල් බිලියන 40 ක් ද බැංකු පද්ධතියෙන් මහ බැංකුව විසින් උකහා ගැනීම.

ක්ෂණික බලපෑම

එක් දින අන්තර් බැංකු පොලී අනුපාතය 1% කින් ඉහළ යාම. එනම්, එය 26/02/2014 දින 6.01% සිට  02/03/2015 දින 7% දක්වා ඉහළ යාම.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතයන් 1.12%, 1.22%, 1.24% කින් ඉහළ යාම. එනම්, 25/02/2015  දින 5.98% (දින 91), 6.09% (දින 182) සහ  6.13% (දින 364) ක් වූ ඵලදා අනුපාතයන් 11/03/2015 දින වන විට 7.10%, 7.31% සහ 7.37% දක්වා ඉහළ යාම.

දස වාර්ෂික භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීය වෙළෙඳපොළ ඵලදා අනුපාතය 1% කින් ඉහළ යාම. එනම්,  25/02/2015 දින 8.07% සිට 11/03/2015 දින 9.14% දකවා ඉහළ යාම.

2.     30/12/2015 සහ 19/02/2016 දින හදිසි මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් 

ප්‍රතිපත්තිය

30/12/2015 දින ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% දක්වා 1.5% කින් ඉහළ දැමීම

19/02/2016 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 7% සහ 7.5% දක්වා 0.25% කින් ඉහළ දැමීම

තවද, 2016 මාර්තු මස බැංකු පද්ධතියේ පැවති අරමුදල් හිඟය පියවීම සඳහා මහ බැංකුව විසින් ප්‍රති විකුණුම් හරහා මුදල් සැපයීම අත්හිටුවන ලදි.

බලපෑම

එක් දින අන්තර් බැංකු පොලී අනුපාතය 1.69% කින් ඉහළ යාම. එනම්, එය 30/12/2015 දින 6.40% සිට  31/03/2016 දින 8.09% දක්වා ඉහළ යාම.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතයන් 2.45%, 2.93%, 3.3% කින් ඉහළ යාම. එනම්, 30/12/2015 දින 6.45%, 6.83%, 7.30% සිට 30/03/2016 දින 8.90%, 9.76%, 10.64% දක්වා ඉහළ යාම.

දස වාර්ෂික භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීය වෙළෙඳපොළ ඵලදා අනුපාතය 2.48% කින් ඉහළ යාම. එනම්,  30/12/2015 දින 10.40% සිට 06/04/2016 දින 9.14% දකවා ඉහළ යාම.

එසේම, මාර්තු 29 සහ 31 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දෙසිවල වර්ෂ 2-14 පරිණත කාලයන් සහිත බන්දුම්කරවල ඵලදා අනුපාතයන් 13.05%-15.81% මට්ටමට ඉහළ යන ලදි.

3.     18/08/2021, 19/02/2021 සහ 03/03/2022 දින හදිසි මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් 

ප්‍රතිපත්තිය

18/08/2021 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 5% සහ 6% දක්වා 0.50% කින් ඉහළ දැමීම.

19/02/2021 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 5.5% සහ 6.5% දක්වා 0.50% කින් ඉහළ දැමීම.

03/2022 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 6.5% සහ 7.5% දක්වා 1% කින් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% දක්වා 2% කින් ඉහළ දැමීම.

එසේම, 2021 සැප්තැම්බර් අවසානයේ සිට 2022 පෙබරවාරි මැද දක්වා එක් දින සහ කාලීන ප්‍රති මිල දී ගැනුම් හරහා මහ බැංකුව විසින් අන්තර් බැංකු ද්‍රවශීලතාවය ක්‍රියාකාරී ලෙස උකහා ගැනීම. ඒ අනුව, දෛනික සාමාන්‍ය උකහා ගැනීම රුපියල් බිලියන 40 ක් පමණ වූ අතර ඒ සඳහා බැංකු වෙත ගෙවූ පොලී අනුපාතය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට වඩා ඉහළ විය.

බලපෑම

  • එක් දින අන්තර් බැංකු පොලී අනුපාතය 2.39% කින් ඉහළ යාම. එනම්, එය 18/08/2021 දින 5.09% සිට  04/03/2022 දින 7.48% දක්වා ඉහළ යාම.

  • භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතයන් 4.06%, 4.61%, 4.63% කින් ඉහළ යාම. එනම්, 11/08/2021 දින 5.27%, 5.27%, 5.32% සිට 02/03/2022 දින 9.33%, 9.88%, 9.95% දක්වා ඉහළ යාම.

  • දස වාර්ෂික භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීය වෙළෙඳපොළ ඵලදා අනුපාතය 4.07% කින් ඉහළ යාම. එනම්,  18/08/2021 දින 8.66% සිට 02/03/2022 දින 12.73% දකවා ඉහළ යාම.

4.     07/03/2022 දින හදිසි මූල්‍ය ප්‍රතිපත්ති තීරණය

ප්‍රතිපත්තිය

විනිමය අනුපාතය පා කිරීම. එය 2021 මැයි මාසයේ සිට මාස 10 ක පමණ කාලය තුළ ඩොලරය රුපියල් 200 මට්ටමේ ස්ථාවරව පවත්වා ගෙන ගොස් ඇති අතර ඒ සඳහා විදේශ සංචිතයෙන් ඩොලර් බිලියන 3.5 ක පමණ පිරිවැයක් දරන ලදි. එසේම, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ අංගයක් ලෙස 2020 මැයි මස සිට විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය කොට පසුව සහ ස්ථාවර කිරීම සඳහා ඩොලර් බිලියන 6 ක් පමණ වැය විය. වර්තමාන විදේශ මුදල් අර්බුදයට හේතුව එය යි.

ක්ෂණික බලපෑම

  • විනිමය අනුපාතය 08/04/2022 දින වන විට රුපියල් 316.20 දක්වා 58% කින් හෝ රුපියල් 116 කින් ඓතිහාසික ලෙස අවප්‍රමාණය වී ඇති අතර ඉන් මිල ගණන් හෝ උද්ධමනය දිනෙන් දින අධික ලෙස ඉහළ යමින් පොදුජන ජීවිතය කඩා බිඳ දමමින් පවතී.

  • එක් දින අන්තර් බැංකු පොලී අනුපාතය 7.49% මට්ටමේ ස්ථාවරව පැවතීම. ඊට හේතුව, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වෙනස් නොකිරීම යි.

  • භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතයන් 4.79%, 5.48%, 5.74% කින් ඉහළ යාම. එනම්, 02/03/2022 දින 9.33%, 9.88%, 9.95% සිට 07/04/2022 දින 14.12%, 15.36%,15.69% දක්වා ඉහළ යාම.

  • දස වාර්ෂික භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීය වෙළෙඳපොළ ඵලදා අනුපාතය 2.7% කින් ඉහළ යාම. එනම්,  02/03/2022  දින 12.73% සිට 08/04/2022 දින 15.43% දක්වා ඉහළ යාම. එසේම, 08/04/2022 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී වසර 5 යි මාස 8 ක් වූ බැඳුම්කරය සඳහා ඵලදා අනුපාතය 20.21% ක් දක්වා ඉහළ යන ලදි.

පොදුජන ආර්ථික බලපෑම/මූල්‍ය පාඩුව 

ඉහත ප්‍රතිපත්ති හේතු කොට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය සහ භාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යාම තුළින් පොදුජනයාට සිදු වූ මූල්‍ය පාඩුව ඉමහත් වෙයි. උදාහරණ ලෙස 2021 අගෝස්තු මස මැද සිට 2022 අප්‍රේල් 8 දින දක්වා අනුගමණය කළ මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට ගෙන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් 8.85%, 10.09% සහ 10.37% කින් ඉහළ ගොස් ඇත.

මෙම කාලය තුළ රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර හරහා රුපියල් බිලියන 1,852 ක් පමණ රැස් කොට ඇති අතර ඒ සඳහා වූ විශාල අතිරේක පොලී පිරිවැයක් දරන්නට සිදු විය. එසේම, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් තවත් ඉහළ යාම වැලැක්වීම සඳහා මහ බැංකුව විසින් ඍජු ලෙස භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් අතර ඒ සඳහා රුපියල් බිලියන 675 ක පමණ මුදල් මුද්‍රණය කරන ලදි.

මහ බැංකුව විසින් මෙසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීම මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන්ට එරෙහි වෙයි. එම ප්‍රතිපාදනයන් මෙන්ම ජාත්‍යන්තර මහ බැංකු සම්මතයන් අනුව රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතයන් ස්ථායීකරණය සඳහා මහ බැංකුව විසින් කළ යුත්තේ විවට වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම යි. එහෙත්, දැනට කෙරෙන්නේ ප්‍රාථමික වෙන්දේසිවල ලංසු ප්‍රතික්ෂේප කොට එමගින් සිදු වන අරමුදල් හිඟය පියවීම සඳහා වෙන්දේසියෙන් පසු මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම යි.

එහෙත්, මුදල් නීති පනත මගින් අවසර දී ඇත්තේ මහ බැංකුව විසින් වෙන්දේසියට තරගකාරී ලංසු ඉදිරිපත් කිරීම සඳහා ය. ඊට ප්‍රධාන හේතුව, විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කෙටිකාලීන රාජ්‍ය සුරැකුම්පත් කලඹක් මහ බැංකුවේ පවත්වා ගෙන යාම යි.

2022 අප්‍රේල් මස 8 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීම - එය ඓතිහාසික තීරණයක් ද? එහි ඓතිහාසික බලපෑම කුමක් විය හැකි ද?

මෙය ඓතිහාසික නව ප්‍රතිපත්ති තීරණයක් ලෙස දැක්වුව ද, ඇත්ත වශයෙන් සිදු කොට ඇත්තේ 2018 අගෝස්තු මස මැද සිට මහ බැංකුව විසින් අනුගමනය කරන ලද විවිධ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් හේතු කොට ඉහළ යන ලද කෙටි කාලීන මූල්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයන්ට අනුකූල වන ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ගැලපුම් කිරීම යි.

උදාහරණ ලෙස මෙම කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් 9%-10% ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ ගොස් ඇත්තේ 2% කින් පමණි. ඒ අනුව,  ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 7%-8% කින් පමණ පහළ මට්මක පැවතින. එබැවින්, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීම යනු එම පොලී අනුපාත පරතරය පිය වීමකි. ඒ හැර ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මෙසේ තීරණය කිරීමේ විද්‍යාත්මක සුත්‍රයක් නොමැත.

සාමාන්‍යයෙන් මහ බැංකුව විසින් සිදු කරනු ලබන්නේ මුදල් මුද්‍රණය තුළින් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් පාලනය හරහා ආර්ථිකයේ කෙටි කාලීන පොලී අනුපාතයන් මෙහෙය වීම යි. පසුව, අඛණ්ඩ වෙළෙඳපොළ ප්‍රවණතාවක් පවතී නම්, ඊට සරිලන ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ගැලපුම් කිරීම සිදු කෙරේ. බොහෝ මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වන්නේ ආර්ථිකයේ මූල්‍ය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙසේ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් පාලනය කිරීම සහ ඒ පසුපස යාම තුළිනි. සමහර මහ බැංකු විසින් මෙය ඵලදා වක්‍ර පාලන මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස හැඳින් වෙයි. ඵලදා වක්‍රය යනු රාජ්‍ය සුරැකුම්පත්වල ද්වීතීය වෙළෙඳපොළ ඵලදා අනුපාතයන්ගේ ප්‍රස්තාරය යි.

එහෙත්, මෙම ගැලපුම් කිරීම හේතු කොට වෙළෙඳපොළ පොලී අනුපාතයන් නැවත වටයක් ඉහළ යාම සිදු වනු ඇත. එබැවින්, ඉහත දැක්වූ ප්‍රතිපත්ති බලපෑම් දෙස බලන විට මහ බැංකුව විසින් වෙනත් යටි පාලනයක් සිදු නොකෙරේ නම් අන්තර් බැංකු පොලී අනුපාතයන් සහ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් ලබන සතියේම අඩුම වශයෙන් 7% කින් ඉහළ යනු ඇත.

උදාහරණ වශයෙන් වෙළෙඳපොළ සාධක නිදහසේ ක්‍රියත්මක වෙයි නම්, අන්තර් බැංකු පොලී අනුපාතය 14.5% මට්ටමට ද, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් 21%-23% මට්ටමට ඉහළ යා හැකිය. පසුව, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් තවත් ඉහළ යනු ඇත. මෙහිදී, ඵලදා වක්‍රයේ කෙටි කාලීන කොටස අධික ලෙස ඉහළ යනු ඇත. ඊට හේතුව, ආර්ථිකයේ ඉහළ යන උද්ධමන අපේක්ෂාවන්ට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යාම යි. එය වැලැක්වීමට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත පදනම් වූ මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය යටතේ මහ බැංකුවට හැකියාවක් නොමැත.

එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය යනු මූල්‍ය වෙළෙඳපොළ ප්‍රවණතාවන් අනුව ගැලපුම් කෙරෙන ප්‍රතිපත්තියක් නොව ආර්ථිකයේ අවශ්‍යතාවන්ට අනුව මූල්‍ය වෙළෙඳපොළ පාලනය කිරීමේ ප්‍රතිපත්තියකි. මුදල්, බැංකු ණය, විනිමය අනුපාතයන්, පොලී අනුපාතයන් යනාදිය මහ බැංකුවේ පාලනයට සහ නියාමනයට යටත් වන අතර ඒ සඳහා අවශ්‍ය මූලධර්ම සහ ප්‍රතිපත්ති උපකරණ රැසක් මුදල් නීති පනතේ අඩංගු වෙයි. එබැවින්, හුදෙක් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හෝ නිදහස ලෙස හුවා දක්වමින් මහජනයා මුහුණ දෙන ආර්ථික අර්බුදය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමින් මහ බැංකුව නිෂ්ක්‍රීය ලෙස පසුවීම ව්‍යවස්ථාපිත වරදකි. ආර්ථිකයේ අවශ්‍යතාවන්ට අනුව මුදල්, බැංකු ණය සහ මූල්‍ය වෙළෙඳපොළ පාලනය කිරීම සහ මෙහෙයවීම මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම යි.

තවද, 2021 අගෝස්තු මස මැද සිට සිට අනුගමනය කරනු ලැබූ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් හේතු කොට බැංකු පද්ධතිය වෙත ඇති ද්‍රවශීලතාවය අධික ලෙස පහළ ගොස් බැංකු විසින් මහ බැංකුව වෙතින් දෛනිකව ලබා ගන්නා ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එනම්, නිත්‍ය ණය ගැනීම 2021 අගෝස්තු මැද කාලයේ රුපියල් බිලියන 100 පමණ සිට 2022 අප්‍රේල් 8 දින වන විට රුපියල් බිලියන 645 දක්වා ඉහළ ගොස් ඇත. 

මහ බැංකුව විසින් නව ප්‍රතිපත්ති පොලී අනුපාතයන් යටතේ තව දුරටත් ප්‍රති විකුණුම් ගනුදෙනු හරහා බැංකු පද්ධතියෙන් අරමුදල් උකහා ගැනීම කළ හොත්, බැංකු ද්‍රවශීල අරමුදල් හිඟය තවත් ඉහළ යන බැවින් එය පියවීමට බැංකු වෙත ණය සැපයීම සඳහා මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට සිදු වනු ඇත. එසේ නොකළ හොත් බැංකු පද්ධති හෝ ද්‍රවශීල අර්බුද අවදානමක් හට ගත හැකිය. 

එසේම, ආර්ථිකය මුහුණ දෙන දැඩි අවපාත සහ අස්ථායීතා තත්ත්වය දෙස බලන විට මෙවැනි දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් පොලී පිරිවැය ඉහළ යාම හේතු කොට ආර්ථිකයේ නිෂ්පාදනය සහ සේවා නියුක්තිය කෙරෙහි දැඩි පීඩනයක් ඇති කෙරනු ඇති අතර නිෂ්පාදන පිරිවැයේ ඉහළ යාම තුළින් මිල ගණන් සහ උද්ධමනය තවත් ඉහළ යනු ඇත. එසේම, මෙතරම් ඉහළ පොලී අනුපාතයන් හේතු කොට ඉතුරුම්, පරිභෝජනය, ආයෝජනය සහ නිෂ්පාදනය තවත් පහළ ගොස් ආර්ථිකය කඩා වැටෙන අවපාතයකට මුහුණ දෙනු ඇත. එය හුදෙක් සංකල්පයක් නොව ප්‍රයෝගික සත්‍යයකි. ඊට හේතුව, රජය ඇතුළු සමස්ත ආර්ථිකය ණය මත පවතින බැවිනි. එම අවපාතය නැවැත් වීම සඳහා තිරිංග දැමීමට හැකි වන්නේ මහ බැංකුවේ පොලී අනුපාත ප්‍රතිපත්තියට නොව ඉදිරි දශකයේ බිහි වන පරම්පරාවට ය.

මූල්‍ය ප්‍රතිපත්ති අසාර්ථක වන විට එම මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට ගෙන රජයට සහ පොදුජන ආර්ථිකයට සිදු වන පාඩුව පිළිබඳ ව වගකීම ගනු ලබන්නේ කවරහු ද? යන්න මෙම අවස්ථාවේ ව්‍යවස්ථා සම්පාදක පාර්ලිමේන්තුව විසින් සලකා බැලිය යුතුය. වත්මන් මහජනයා මුහුණ දෙන කටුක ජීවන් අර්බුදය දෙස බලන විට එය හුදෙක් චින්තනයන් හෝ සංකල්පයන්හි දෝෂයන් සහ බාහිර කම්පනයන්ට පැවරීමේ සාධාරණත්වයක් නොමැත.

තවද, පොලී අනුපාතයන් යනු ව්‍යාපාරික අවදානම පිළිඹිබු කෙරෙන ප්‍රධානතම මූල්‍ය දර්ශකයන් වෙයි. ඉහළ පොලී අනුපාතයන් සහිත රටවල් ආර්ථික වශයෙන් බංකොලොත් රටවල් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන පොළී අනුපාතයන් ඉහළ යාමේ වේගය (මෙම 7% බලපෑම් ද ඇතුළුව) දෙස බලන විට, ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් 30%-35% මට්ටමට හෝ ඊට ඉහළ මට්ටමට ඓතිහාසික ලෙස ඉහළ යාම තුළින් ශ්‍රී ලංකාව ද එවැනි රටක් ලෙස ගෝලීය ඉතිහාසයට එක් කිරීම රජය විසින් ජාතිය පාවා දීමකි. එහෙත්, මෙම වගතුග නොදත් මාධ්‍යය විසින් මෙම 7% කින් පොලී අනුපාතයන් ඉහළ දැමීමේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය හුවා දක්වන්නේ පොදුජනයා මෙම ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා දෙවියන් විසින් දෙන ලද තුටු පඬුරක් ලෙස ය.

එබැවින්, රටක ආර්ථික සහ සමාජ ස්ථායීතාවය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ පොලී අනුපාතයන් පහළ මට්ටමක ස්ථායීව දිගු කාලයක් පවත්වා ගැනීමට යෝග්‍ය වන පරිදි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම යි. ඇමෙරිකානු මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු වන්නේ උපරිම සේවා නියුක්තිය, ස්ථායී මිල ගණන් සහ මධ්‍යස්ත දිගු කාලීන පොලී අනුපාතයන් පවත්වා ගෙන යාම යි.  

එබැවින්, මූල්‍ය ප්‍රතිපත්ති තීරණයක් ගැනීම ඉතා පහසු බව මහ බැංකුව විසින් ප්‍රකාශ කළ ද, ආර්ථිකයේ වත්මන් ප්‍රශ්නයන් පිළිබඳ නිවැරදි ලෙස අවබෝධයක් සහ සියළු අංශයන් පිළිබඳ ඉදිරි දැක්මක් සහිතව විචක්ෂණකාරී තීරණයක් ගැනීම එතරම් පහසු සහ සරල කාර්යයක් නොවේ. ඊට හේතුව, ඒ සඳහා පිළි ගත් සංකල්පයන් මත පදනම් වූ ගණිත සුත්‍රයන් නොමැති බැවිනි.

වත්මන් ආර්ථික අර්බුදය නිරකරණය සඳහා නීතියට අනුකූල නව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක කඩිනම් අවශ්‍යතාවය 

හුදු පාරිභෝගික මිල දර්ශකය පදනම් කර ගෙන උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව වෙත ව්‍යවස්ථාපිත වගකීමක් නොමැති අතර මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු වන්නේ ආර්ථිකයේ නිෂ්පාදන සම්පත් උපයෝජනය දිරිගැන්වීමට උපකාරී වන පරිදි ආර්ථික සහ මිල ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගෙන යාම යි.

වර්තමානයේ එම සාර්ව ආර්ථික ස්ථායීතාවය මුළුමනින් බිදී ගොස් ඇති බවටත්, එය මහ බැංකුවේ මෑත කාලීන මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන්ගේ අයෝග්‍යතාවය හේතු කොට සිදු වී ඇති බවටත් විවාදයක් නොමැත. වත්මන් ආර්ථික අර්බුදය, දේශපාලනික අර්බුදය සහ සමාජ අර්බුදය එහි ඍජු ප්‍රතිඵලයකි.

ඒ අනුව, වත්මන් දේශපාලනික අර්බුදය සහ සමාජ අර්බුදය තුනී කළ හැකි වන්නේ, මහ බැංකුව විසින් රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය සමඟ සහයෝගයෙන් කඩිනමින් වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම මගින් පමණි. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ සහයෝගය නොමැතිව කිසිම ආර්ථික හෝ මූල්‍ය අර්බුදයක් විසඳිය නොහැකි බව තේරුම් ගැනීමට සංකීරණ ආර්ථික පර්යේෂණයන් අවශ්‍ය නොවේ.

එබැවින්, මහ බැංකුව විසින් කළ යුත්තේ දැනටමත් අසාර්ථක වී ඇති දශක දෙකක් පමණ පැරණි ලිපි ගොනුවලින් ඉවත් වී, ආර්ථිකය නැවත ගොඩ නැගීමට සමත් වන නව්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම යි. ඒ සඳහා ඕනෑ තරම් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මුදල් නීති පනතේ ඇතුලත් වෙයි. එම බලතල පාරිභෝගික කටයුතු අධිකාරිය හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ බලතල මෙන් නොව මුදල් මුද්‍රණය සහ පාලනය සහිත අති මහත් බලතල ගොන්නකි. මහ බැංකුවට පැවරී ඇති බැංකු පනත සහ විදේශ විනිමය පනත වැනි තවත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන රාශියකින් එය ශක්තිමත් වී ඇත. මෙම බලතල අභ්‍යන්තරිකව කුමන්ත්‍රණකාරී ලෙස යොදා ගැනීම තුළින් මහජනයා විසින් තෝරා ගන්නා රජයන් පවා බංකොලොත් කිරීමට මහ බැංකුවට හැකියාව පවතින බව මෑත කාලීන නිදසුන් රැසක් පවතී. එය ඉදිරියටත් සිදු වන බව නිසැකය.

එසේ නැතුව, වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය යටතේ මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 100% දක්වා ඉහළ දැමුව ද, මෙම ආර්ථික අර්බුදය විසඳිය නොහැකිය. ඉන් සිදු වනුයේ දේශීය මූල්‍ය ක්‍රමය බිඳ වැටි ආර්ථිකය මහ බැංකුවෙන් පිටත නිල නොවන ඩොලර් මූල්‍ය ක්‍රමයක් බවට ක්‍රමයෙන් පත් වීම යි. ඒ සඳහා උදාහරණ රැසක් ගෝලීය ආර්ථිකයෙන් දැක්විය හැකිය.

පොදුජන ආර්ථිකය සහ ජීවන මට්ටම නැවත ගොඩ නැගීම සඳහා කඩිනමින් අත්‍යවශ්‍ය මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීමක් වන විදේශ සංචිතය කඩිනමින් ගොඩ නැගීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයන් ක්‍රියාත්මක කිරීම මෙම අවස්ථාවේ මහ බැංකුවේ අංක එකේ ප්‍රමුඛ වගකීම යි. ඒ සඳහා මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ගෙන් කිසිම ඵලයක් නොමැත.

එබැවින්, මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වයක් ලබා ගත හැකි වන්නේ, වත්මන් ආර්ථික අර්බුදය විසඳීමේ සැබෑ කාර්යසාධනය පොදුජනයා වෙත තහවුරු කිරීමෙන් පමණි. එය පොදුජනයාගේ ජීවිතයට දැනෙන දෙයක් විය යුතු අතර විවාදයට භාජනය වන පෞද්ගලික ආර්ථික සංකල්පයන් සහ චින්තනයන් මහජනයාට පැහැදිලි කිරීමෙන් කළ නොහැකිය.

එබැවින්, මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් ගැනීම පිළිබඳ මුදල් මණ්ඩල සාකච්ඡාවන්ට අදාළ සටහන් මහජනයා වෙත ප්‍රසිද්ධ කෙරේ නම්, මුදල් මණ්ඩල සාමාජිකයන්ගේ ව්‍යවස්ථාපිත දායකත්වය සහ අදහස් මහජනයාට අවබෝධ කර ගත හැකිය. එය මහජන ආයතන යහ කළමනාකරණය පිළිබඳ මනා පරිචයකි. එවිට, මාධ්‍යය හරහා මුදල් මණ්ඩල සාමාජිකයන්ට ප්‍රතිපත්ති දෝෂයන් පැවරීම අවශ්‍ය නොවනු ඇත. 

එසේම, ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මානසික සංකල්පීය කල්ලි සහ අභ්‍යන්තරික ගනුදෙනුවලින් වැලකී සත්‍යවාදී ව පොදුජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන අතර එය තමන්ට කළ නොහැකි නම් මහජන වරප්‍රසාදයන් අවසන් මොහොත වන තෙක් බුක්ති විදින්නේ නැතුව ඉල්ලා අස් වීම යහවෘත්තීය මූලධර්මයකි.

එසේම, මෙම අවස්ථාවේ තම ජාත්‍යන්තර සුදුසුකම් හුවා දක්වමින් කථා පවත්වන පුද්ගලයන් පසුපස හඹා නොගොස්, ඔවුන්ගේ මෙරට අතීත කාර්යසාධනය නිසි ලෙස ඇගයීමකින් පසුව ඉහළ රාජ්‍ය තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමට රජය වග බලා ගැනීම අවශ්‍ය වනු ඇත. ඊට හේතුව, මෙම තනතුරු මහජන වරප්‍රසාද සූදුවට යොදා ගැනීම වැලැක්වීම සඳහා වෙයි. එවැනි පත් කිරීම්වලින් පොදුජන ආර්ථිකය මුහුණ දුන් කම්කටොළු රහසක් නොවේ. 

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි