විදේශ ණය පැහැර හැරීම - වැරදිකරු කවුද? දඩුවමක් තිබේ ද?

 


IMF විසින් මාර්තු මස 25 දින ශ්‍රී ලංකාව පිළිබඳ ව තම ආර්ටිකල් IV ඇගයුම් වාර්තාවෙන් නිර්දේශ කරනු ලැබුවේ ශ්‍රී ලංකා රාජ්‍ය ණය තත්ත්වය තිරාසාර හෝ යාවජීව නොවන බව යි. මෙය IMF ඇගයුම් වාර්තාවල නව නිර්දේශයක් නොවේ. රාජ්‍ය ණය තිරාසාර නොවීම යනු ණය සේවාකරණය හෙවත් පොලිය සහ ණය වාරික ගෙවීම දුෂ්කර තත්ත්වයක පැවතීම යි. එය වත්මන් රාජ්‍ය ආදායම් තත්ත්වය සහ නව ණය ගැනීමේ හැකියාව දුර්වල වීම හේතු කොට හට ගෙන ඇත. එය අද ඊයේ නොව පසුගිය දශක කිහිපය පුරා සිදු වූ දෙයකි. බැංකු සහ මූල්‍ය ව්‍යාපාරයන් කඩා වැටෙන්නේ ද ඔවුන්ගේ ණය තත්ත්වයේ තිරාසාර භාවය ක්‍රමයෙන් හීන වී යාමෙනි.

එහෙත්, මෙවර මෙම IMF නිර්දේශය රටේ පවතින දැඩි අස්ථායී තත්ත්වයෙන් වාසි ලබා ගැනීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණයට පසුගිය දශක දෙක තුළ ක්‍රියාකාරී ලෙස සහභාගී වූ සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් ද  ආර්ථික සටන් පාඨයක් ලෙස දේශපාලනික වේදිකාවට එක් කොටස් ඇති බව දැකිය හැකිය. 2015 පෙබරවාරි සිට 2017 අගෝස්තු මස තෙක් එයට යම් දායකත්වයක් දැක්වීමට මට ද විරල අවස්ථාවක් ලැබුණ අතර මෙම කෙටි ලිපිය එම අත්දැකිම් ස්වල්පයක් මත පදනම් වෙයි.

ජාත්‍යන්තර ණය උපදේශකයන් පත් කිරීම සහ විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවීම

පසුගිය 09 දින රජය විසින් විදේශ ණය තොගය වගකීම් කළමණාකරණය තුළින් තිරසාර කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශකයන් පත් කිරීමට ඉල්ලුම් පත්‍ර කැඳවා ඇත. වගකීම් කළමණාකරණය යනු වත්මන් ණය කළඹ ණය වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා ප්‍රතිව්‍යුහගත කිරීම යි. එහි අරමුණ වනුයේ රජයේ මූල්‍ය තත්ත්වයට ගැලපෙන ණය සේවාකරණ මට්ටමක් ලඟා කර ගත හැකි පරිදි විදේශ ණය කළඹ නැවත සැකසීම ප්‍රතිව්‍යුහගත කිරීම යි. ඒ සඳහා දෙවියන් විසින් දෙන වට්ටෝරුවක් නොමැති අතර එය ණය කළමනාකරණයට තවත් පිරිවැයක් සහිත අතරමැදි මූල්‍ය වෘත්තීයක් එකතු කිරීමකි.

එසේම, පසුගිය 11 දින මුදල් ලේකම් විසින් රජය සහ රාජ්‍ය ආයතනවල විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශ කරන ලදි. එම තොරතුර විනාඩි කිහිපයකින් ලෝකය පුරා මාධ්‍යය විසින් ප්‍රසිද්ධ කරන ලදි. එබැවින්, ඉදිරියේ දී ශ්‍රී ලංකා මහජනතාව කෙරෙහි අනුකම්පාවෙන් අසල්වැසි රටවලින් අතමාරු ණය ලැබීමක් හැර වෙනත් කිසිම විදේශ ණයක් නොලැබෙනු ඇත. විදේශ ණය සේවාකරණය මෙසේ හිටි හැටියේ අත්හිටු වීම නිත්‍යානුකූල ද? යන්න ගැටළුවක් හට ගන්නේ, රාජ්‍ය මූල්‍ය පාලන අධිකාරිය වන පාර්ලිමේන්තුවේ අවසරය ඒ සඳහා ලබා ගෙන ඇති බවට වාර්තා නොවීම යි.

මෙම තත්ත්වය තුළ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් වත්මන් අධි උද්ධමනය පාලනය කොට ආර්ථික ස්ථායිතාවය නැවත ගොඩ නැගීම සඳහා පසුගිය 7 වැනි දින රාජකාරි භාර ගත් මහ බැංකු නව අධිපති විසින් පසුගිය 13 දින දුකට පත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයනයන් සඳහා මුදල් සපයා ගැනීම පිණිස විදේශ මුදල් ආධාර එවන ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කරන ලදි. එම මුදල් උපයෝජනය පිළිබඳ වගකීම ඔහු විසින් දරන බව ද ප්‍රකාශ කෙරින. එබැවින්, රජය සහ මහජනතාව ජාත්‍යන්තර සම්මතයන් අනුව පමණක් නොව සාමාන්‍ය බුද්ධියට අනුව ද ලෝකයේ අසරණ ජාතියක් බවට පත් වී ඇති බව රහසක් නොවේ.

විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවීමේ දැන්වීමට ප්‍රතිචාර ලෙස පසුගිය 13 දින ෆිච් රේටින් ආයතනය විසින් ශ්‍රී ලංකාව විදේශ ණය පැහැර හැරීමට ආසන්න බව දැක්වෙන C ණය ශ්‍රේණියට පහළ හෙළන ලදි. ඊළඟ සහ අවසාන ණය ශ්‍රේණිය වනුයේ බංකොලොත්බව හෙවත් ණය පැහැර හැරීම පෙන්වන D ශ්‍රේණිය යි. 

එසේම, IMF විසින් දක්වා ඇත්තේ විදේශ ණය පමණක් ගැන නොව මුළු ණය තොගය (දේශීය ණය සහ විදේශීය ණය) පිළිබඳව යි. 2021 නොවැම්බර් මාසය අවසාන වන විට දේශීය ණය තොගය මුළු ණය තොගයෙන් 63% ක් පමණ විය. වර්තමානයේ දේශීය ණය සේවාකරණය කෙරෙන්නේ ද රාජ්‍ය ආදායමින් නොව අමාරුවෙන් නව ණය ගැනීමෙනි. මෙම සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි පොලී අනුපාතයන් 21%-24% දක්වා ඉහළ යන ලදි.

එබැවින්, IMF වාර්තාව අනුව දේශීය ණය තිරාසාරභාවය පිළිබඳ ව රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම ද අවශ්‍ය වෙයි. ඊට හේතුව, වත්මන් මහ බැංකු උද්ධමන පාලන මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ඉදිරියේ දී 30%-40% ක පොලී අනුපාතයන්ට නව ණය ලබා ගෙන දේශීය ණය සේවාකරණය කිරීමට සිදු විය හැකි බැවින් රජය පමණක් නොව අපනයන කර්මාන්ත ඇතුළු ව්‍යවසායක පංතිය ද බංකොලොත් විය හැකි බැවිනි.

රාජ්‍ය ණය සහ විදේශ සංචිත අර්බුදයේ සැබෑ හේතු යට ගැසීම

පොදුජනයා මුහුණ දෙන වත්මන් ඓතිහාසික ආර්ථික අර්බුදයට හේතුව මහ බැංකුවේ විදේශ සංචිත දිය වී යාම හේතු කොට ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමුඛ රාජ්‍ය විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ මුදල් නොමැති වීම යි. සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් යෝජනා කරනු ලැබුවේ මහ බැංකුව විසින් තම අතීත ණය වාර්තාව ආරක්ෂා කර ගැනීම සඳහා 2022 ජනවාරි මස පොලිය සමඟ ආපසු ගෙවන ලද ඩොලර් මිලියන 500 ක ස්වෛරිත්ව බැඳුම්කරය ද ආපසු ගෙවීම අත්හිටුවා එය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව යි.

මහ බැංකුවේ නව  කළමනාකාරිත්වය ඇතුළු දේශපාලන නායකයන් සහ ආර්ථික විද්‍යාඥයන් විසින් ණය සහ විදේශ මුදල් අර්බුදය හුවා දක්වමින් රජයන්ට දොස් පැවරුව ද,  ඔවුන් විසින් 1950 සිට රාජ්‍ය ණය සහ විදේශ මුදල්/සංචිත කළමනාකරණය කරනු ලැබුවේ කවරහු ද?, ඔවුන් අතින් වත්මන් අර්බුදකාරී තත්ත්වයට රාජ්‍ය ණය සහ විදේශ මුදල්/සංචිතය මෙසේ ඇද වැටුණේ ඇයි? සහ ඊට වගකිව නිලධාරීන්/පුද්ගලයන් කවරහු ද? යන්න පිළිබඳ ව කිසිම ප්‍රශ්නයක් අසනු දැකිය නොහැකිය.

එබැවින්, එම ප්‍රශ්නයන් සහ පිළිතුරු සඟවා ගෙන ඔවුන් විසින් ම ජාත්‍යන්තර උපදේශකයන්ගේ සේවය ලබා ගැනීමට යාමෙන් කිසිම ඵලයක් නොවන අතර ඒ සඳහා විදේශ මුදලින් ගෙවීමට සිදු වන ඩොලර් මිලියන ගණනක් විය හැකි සේවා ගාස්තුව දැනටමත් රාජ්‍ය ණය සහ විදේශ මුදල්/සංචිත කළමනාකරණයේ බර දරන පොදුජනයාට තවත් බරක් වනු ඇත. ඊට හේතුව, එම ජාත්‍යන්තර උපදේශකයන් දිව්‍ය ලෝකයෙන් එන දෙවිවරු පිරිසක් නොවන බැවිනි.

රාජ්‍ය ණය සහ විදේශ සංචිත කළමනාකරු කවුද?

මුදල් නීති පනත යටතේ 1950 සිට රාජ්‍ය ණය සහ විදේශ සංචිත කළමනාකරණය කරනු ලැබුවේ මහ බැංකුව විසිනි. ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණය සඳහා 1950 සිට මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවක් ද, විදේශ සංචිත කළමනාකරණය (විනිමය අනුපාතය ඇතුළුව) සඳහා ලෝක බැංකුවේ උපදෙස් මත 2001 දී පිහිටු වන ලද ජාත්‍යන්තර මෙහෙයවුම් දෙපාර්තමේන්තුවක් ද, ඊට අවශ්‍ය ආර්ථික පර්යේෂණ සේවය සඳහා 1950 සිට ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවක් ද, ඒ සඳහා නිරන්තර විදේශ පුහුණුව ලබන ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය විද්‍යාඥයන් පිරිසක් ද ක්‍රියාත්මක වී ඇත. තවද, විනිමය පාලන පනත (1953-2017 දක්වා) සහ විදේශ විනිමය පනත (2017 සිට) යටතේ විදේශ විනිමය ගනුදෙනු පාලනය සඳහා ද වෙනම දෙපාර්තමේන්තුවක් 1950 සිට පවතී. මෙම දෙපාර්තමේන්තුව විනිමය අනුපාතය සහ විදේශ සංචිත කළමනාකරණයට විශාල ඍජු සේවයක් සැපයෙන දෙපාර්තමේන්තුවකි.

එම සියල්ලම මුදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු, සහ සහකාර අධිපතිවරුගේ නිරන්තර අධීක්ෂණය සහ විධානයන් යටතේ සිදු වී ඇත. තවද, රජයේ නිල මූල්‍ය උපදේශක සහ රාජ්‍ය මූල්‍ය නියෝජිතයා මහ බැංකුව යි.

රටේ සිටින අධ්‍යාපන සුදුසුකම්වලින් සහ ජාත්‍යන්තර පුහුණුවෙන් ඉහළම වෘත්තීය මට්ටමේ නිලධාරීන්ගෙන් පිරි ආයතනය ලෙස මහ බැංකුව ප්‍රචලිතය. එසේ නම්, මෙසේ රජය සහ පොදුජනයා මහ පාරට ඇද දැමීමට තරම් රාජ්‍ය ණය සහ විදේශ සම්පත් (විනිමය අනුපාතය ඇතුළු) මෙතරම් දුෂ්කළමනාකරණයක් සිදු වූයේ කෙසේ ද? යන්න විමර්ශණය කිරීම මෙම අවස්ථාවේ ජාතික මෙහෙවරකි. ඒ සඳහා උපකාරී වන කරුණු කිහිපයක් පහත දක්වමි.

රාජ්‍ය ණය සහ විදේශ සංචිත කළමනාකරණයේ දුක්මුසු තැන් කිහිපයක්

රාජ්‍ය ණය, විනිමය අනුපාතය සහ විදේශ සංචිත කලමනාකරණය පිළිබඳ ව මහ බැංකුව විසින් අනුගමනය කළ යුතු ව්‍යවස්ථාපිත මූලධර්මයන් සහ විධානයන් රැසක් මුදල් නීති පනතෙහි අඩංගු වෙයි. එබැවින්, වත්මන් රාජ්‍ය ණය සහ විදේශ සංචිත අර්බුදය එම ව්‍යවස්ථාපිත මූලධර්මයන් සහ විධානයන් පැහැර හරිමින් කරන ලද කළමනාකරණයේ ප්‍රතිඵලයක් විය යුතුය. ඊට හේතුව, ඒවා විචක්ෂණශීලීව අනුගමනය කළා නම් මෙවැනි අර්බුදයක් හට ගත නොහැකි වීම යි.

  • අවදානම්කාරී ත්‍රිවිධ රත්නය - බැඳුම්කර, විදේශ මුදල් හුවමාරු සහ විදේශ සංචිත 

එහෙත්, මහ බැංකුව විසින් කරනු ලැබුවේ විදේශ සංචිත කලමනාකරණය සඳහා රාජ්‍ය ණය කලමනාකරණය භාවිතා කිරීම යි. උදාහරණ ලෙස දේශීය සහ විදේශීය ආයෝජන බැංකුවල සේවය ලබා ගනිමින් සංවර්ධන බැඳුම්කර සහ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමේ පුරුද්දක් විය. ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජකයන් විසින් තම නියෝජිත බැංකු වෙත ඉදිරිපත් කරනු ලැබූ ලංසු මිල ගණන් පවා මහ බැංකුව වෙත ඉදිරිපත් නොවීය. මෙම බැඳුම්කර මගින් ලැබෙන ඩොලර් මුදල් මහ බැංකුව විසින් මිල දී ගෙන විදේශ සංචිතය එකතු කළ අතර ඒ සඳහා රුපියල් මුද්‍රණය හරහා රජයට රුපියල් අරමුදල් ලබා දෙන ලදි. ඊට අමතරව, දේශීය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලින් 12% ක් පමණ දක්වා විදේශීය ආයෝජකයන්ට ප්‍රධාන වශයෙන් පෞද්ගලික නිකුතු ක්‍රමවේදය හරහා අළෙවි කිරීම සිදු කරන ලදි. එසේ ණය අළෙවි කිරීම සඳහා වර්ෂයේ වැඩි කාලයක් නිරන්තර විදේශ සංචාරවල යෙදෙන නිලධාරී කණ්ඩායම් ද මහ බැංකුවේ ප්‍රසිද්ධ විය.

ඒ සඳහා මෙරටට ගෙනෙන විදේශ මුදල් වාණිජ බැංකු හරහා මහ බැංකුව විසින් විදේශ මුදල් හුවමාරු ගිවිසුම් මත විදේශිකයන්ට වාසි වන මිල ගණන්වලට ලබා ගෙන රුපියල් අරමුදල් සපයන ලදි. මෙසේ කළ හැකි වුයේ රජයට ණය ගැනීම සඳහා රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ වගකීම ඇත්තේ මුදල් නීති පනත යටතේ මහ බැංකුව වෙත බැවිනි. එබැවින්, වෙන්දේසිවලින් පිටත රාජ්‍ය සුරැකුම්පත් විදේශීය සහ දේශීය ආයෝජකයන්ට නිකුත් කෙරෙන මහා පරිමාණ පෞද්ගලික නිකුතු ක්‍රමයක් ක්‍රියාත්මක විය. 2008-2014 කාලය තුළ නිකුත් කරන ලද මුළු භාණ්ඩාගාර බැඳුම්කරවලින් 91% ක් (රුපියල් ට්‍රිලියන 4.6 ක් පමණ) ක් පමණ එවැනි නිකුත් කිරීම් විය. සමහර බැඳුම්කර නිකුතූන් සඳහා කිසිම වෙන්දේසියක් පවත්වා නොමැත. ප්‍රසිද්ධ වෙන්දේසි නොමැතිව පෞද්ගලික ගිවිසුම් මත රාජ්‍ය ගනුදෙනු කිරීම දුෂණයට මුල බව නොරහසකි. 

ආයෝජකයන්ට අවශ්‍ය වෙලාවට පැමිණ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගත හැකි විය. එබැවින්, ණය අරමුදල් ලබා දිය යුතු දිනයටත් පෙර භාණ්ඩාගාරයට අරමුදල් ප්‍රේෂණය කිරීමේ පුරුද්දක් ඇති විය. එබැවින්, මහා භාණ්ඩාගාරය සිත් සේ කිසිම පසුවිපරමකින් තොරව මුදල් වියදම් කිරීමට පුරුදු විය. එසේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් අඥා පනතේ මූලික ප්‍රතිපාදනයන් ද උල්ලංගණය කිරීමකි. ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණය සහ විදේශ සංචිත කළමනාකරණය එකම කාසියක දෙපැත්ත විය.

එබැවින්, මහ බැංකුව විසින් විදේශ සංචිත කළමනාකරණය කරනු ලැබුවේ සාර්ව ආර්ථික එළඹුමක් මත නොව ගිණුම්කරණ එළඹුමක්  මත ය.

තවද, මහ බැංකුව විසින් ඍජු නිකුතු හරහා භාණ්ඩාගාර බිල්පත් තමන් වෙත නිකුත් කොට මුදල් මුද්‍රණය හරහා රජයට ණය ලබා දීමේ පුරුද්ද මුදල් නීති පනතේ ප්‍රතිපාදනය උල්ලංගණය කිරීමකි. එසේ දෙන ලද ණය ප්‍රමාණය පසුගිය 12 දින විට රුපියල් බිලියන 1,853 ක් පමණ විය.

  • රාජ්‍ය ණය පසුවිපරම සහ නිර්දේශයන් නොකිරීම

රජය සහ රාජ්‍ය ආයතන විසින් ලබා ගන්නා සෑම ණයක්ම සඳහා එමගින් ආර්ථිකයේ මුදල් සැපයුම් තත්ත්වය කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිළිබඳ ව මුදල් නීති පනත යටතේ මහ බැංකුවේ නිර්දේශය අවශ්‍ය ය. ඒ අනුව, රාජ්‍ය අයවැයේ වාර්ෂික ණය රැස්කිරීමේ වැඩසටහන සහ සියළු විදේශ ණය මහ බැංකුව විසින් අනුමත කිරීම සිදු විය. එම අනුමැතිය දීමේ දී අදාළ නිලධාරීන් විසින් මුදල මණ්ඩලය වෙත සාමාන්‍යයෙන් කෙරෙන නිර්දේශය වනුයේ එම ණය දැනටමත් මුදල් සැපයුම් වැඩපිළිවෙලට ඇතුලත් කොට ඇති බවත්, වෙනත් අතිරේක මූල්‍ය බලපෑම් ඇති වුව හොත් මහ බැංකු මූල්‍ය ක්‍රියාකාරකම් හරහා එය සමනය කළ හැකි බවත් ය. 

එහෙත්, 2020 මහ බැංකු වාර්තාවේ රාජ්‍ය ණය තොගය ද අවතක්සේරු කොට වාර්තා වී ඇත. ඊට හේතුව, ගෙවීමට ඇති ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළ මිල අනුව ගණනය කිරීම යි. ඒ අනුව, ගෙවීමට ඇති බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 14,050 ක් (මුහුණත මිල) වුව ද, මහ බැංකු වාර්තාවේ දක්වා ඇත්තේ ඩොලර් මිලියන 7,555 ක් (වෙළෙඳපොළ මිල) ලෙස ය. මෙය රාජ්‍ය ණය තොගය රුපියල් බිලියන 1,210 ක පමණ අවතක්සේරුවකි. ණය තොගය අවතක්සේරු කොට ණය තිරසාර භාවයක් පවත්වා ගැනීම අපහසු බව අවබෝධයට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නොවේ.

එසේම, රාජ්‍ය ආයතන විසින් තම ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති අනුව සම්බන්ධීකරණය විය යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශයන් මුදල් ඇමති හෝ එම ආයතනයන් වෙත කිරීමට මුදල් නීති පනත යටතේ මුදල් මණ්ඩලයට බලය ඇත. එසේම, එම නිර්දේශයන් මුදල් ඇමති වෙත කෙරෙන අවස්ථාවේ දී එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධානයන් අදාළ රාජ්‍ය ආයතනයන්ට නිකුත් කිරීමේ බලය මුදල් ඇමති වෙත පැවරී ඇත. එහෙත්, පවතින රාජ්‍ය ණය අර්බුදය දෙස බලන විට මෙම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය ක්‍රියාත්මක වී නොමැත.

  • ණය වෙළෙඳපොළ විනිවිද භාවය වැලැක්වීම 

එසේම, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම ඇතුළු රාජ්‍ය ණය කළමනාකරණය සහ ද්විතීය වෙළෙඳපොළ ප්‍රවර්ධනය සඳහා ඇමෙරිකානු මහා භාණ්ඩාගාරයෙන් වර්ෂ දෙකක නේවාසික උපදේශකයකු සමඟ තාක්ෂණික ආධාර වැඩසටහනක් 2016 දී ලැබුන අතර ජාත්‍යන්තර සම්මතයන්ට එකඟ  රාජ්‍ය සුරැකුම්පත් ද්විතීය වෙළෙඳපොළ විද්‍යුත් වේදිකාවක් (වත්මන් කොටස් වෙළෙඳපොළ මෙන්) ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවන ලදි. ඒ සඳහා අවශ්‍ය අරමුදල් මහ බැංකුවෙන් වෙන් කල අතර තාක්ෂණික උපදෙස් ඇමෙරිකානු භාණ්ඩාගාරයෙන් ලැබිණ. එහෙත්, එම වැඩසටහන අතරමැද දී අත්හැර දමා ඇති බව නොරහසකි. තවද, මහ බැංකුවේ රාජ්‍ය මුල්‍ය කාර්යයන් ඉටු කරනු ලබන නිලධාරීන් වරින් වර ලෝක බැංකුවේ ණය තිරසරභාවය පිළිබඳ පුහුණු වැඩසටහනට යටතේ පුහුණු වූ පිරිසක් වෙයි. එහෙත්, දැන් ණය සේවාකරණය අත්හිටු වීමෙන් පසුව රාජ්‍ය විදේශ ණය තිරසරභාවය කළමනාකරණය සඳහා සේවා ගාස්තු ගෙවීම මත ජාත්‍යන්තර උපදේශකයන් නැවත සෙවීම පටන් ගෙන ඇත.

ප්‍රාථමික වෙළෙඳුන්ගේ සුරැකුම්පත් වෙළෙඳ ගනුදෙනු බ්ලූම්බර්ග් විද්‍යුත් වෙළෙඳ වේදිකාව හරහා වාර්තා කිරීමත්, එය මහ බැංකුව විසින් දිනපතා මහජනයාට ප්‍රසිද්ධ කිරීමටත් නියම කළ ද, එසේ විනිවිද භාවයට ප්‍රාථමික වෙළෙඳුන්ගේ ඇති විරුද්ධත්වය හේතු කොට මහ බැංකුව විසින් එය ක්‍රියත්මක නොකරන බව පෙනේ. මෙසේ විනිවිද බවක් නොමැතිව කාර්යක්ෂම සහ ද්‍රවශීල සුරැකුම්පත් වෙළෙඳපොළක් ක්‍රියාත්මක නොවූ අතර එය වත්මන් රාජ්‍ය ණය අර්බුදයට මූලික හේතුවක් වෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා 2018 වර්ෂයේ දී සක්‍රීය වගකීම් කළමනාකරණ පනත සම්මත වුව ද, වාර්ෂික ණය සිමාව ඉක්මවා ණය ගැනීම සඳහා එහි ප්‍රතිපාදන භාවිතා කළ අතර ණය ප්‍රතිව්‍යුහගත කරණයක් කිරීමට උත්සාහ කළ බවට වාර්තා නොවේ.

  • විදේශ සංචිතය කළමනාකරණ මූලධර්ම සහ නීති උල්ලංගණය කිරීම  

විනිමය අනුපාතය සහ විදේශ සංචිතය කළමනාකරණය සඳහා මුදල් නීති පනතේ ඇති ප්‍රතිපාදන සම්පුර්ණයෙන් පැහැර හැර ඇති බව වර්තමානයේ කළමනාකරණය සඳහා විනිමය අනුපාතයක් සහ විදේශ සංචිතයක් නොමැති වී යාමෙන් මනාව පැහැදිලි වෙයි. එම කළමනාකරණය සඳහා දෛනික විදේශ ගනුදෙනු දත්ත පද්ධතියක් මහ බැංකුව සතු අතර විදේශ සංචිතය හීන වී යාම මහ බැංකුවට නොදැනී එක රැයකින් සිදු වන දෙයක් නොවේ. 2020 අප්‍රේල් සිට 2022 පෙබරවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 7.7 ක් පමණ ප්‍රධාන වශයෙන් රාජ්‍ය ණය සේවාකරණයට වාසි දායක වන පරිදි විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා වැය කොට ඇත. මින් ඩොලර් බිලියන 1.1 ක් පමණ දේශීය බැංකුවලට ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගැනීමට අවසර දීම හේතු කොට 2020 වර්ෂයේ රටින් ඉවත් වී ඇත.

  • රාජ්‍ය ණය කළමනාකරණය මූල්‍ය ප්‍රතිපත්තියට කැප කිරීම 

සමස්තයක් ලෙස ගත් විට මහ බැංකුව විසින් රාජ්‍ය ණය කළමනාකරණය භාවිතා කරනු ලැබුවේ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ආධාරකයක් ලෙස ය. විදේශ සංචිතය සඳහා රාජ්‍ය විදේශ ණය ප්‍රසාරණය කිරීම මෙන්ම, ආර්ථිකයේ පොලී අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්දේසි පොලී අනුපාතයන් භාවිතා කරන ලදි. ඒ අනුව, රාජ්‍ය ණය වෙළෙඳපොළ රාජ්‍ය මූල්‍ය විනය මෙන්ම මූල්‍ය ප්‍රතිපත්ති විනය ද ප්‍රවර්ධනයට දායකත්වයක් නොදැක්වීය. මහා පරිමාණයෙන් පෞද්ගලික ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආර්ථිකයේ පොලී අනුපාත ව්‍යුහය පාලනය කිරීමේ ශතිමත් උපකරණයක් ලෙස භාවිතා කිරීමක් බවට බැඳුම්කර විමර්ශනයේ දී කරුණු දැක්වීම තුළින් මුදල් නීති පනත නිර්දය ලෙස උල්ලංගණය කිරීම තහවුරු වෙයි.

එසේම, මහ බැංකුවේ විදේශ සංචිත කළමනාකරණ මණ්ඩලයක්,  අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් සහ ආර්ථික/මූල්‍ය අර්බුදයන් කලින් හඳුනා ගන්නා සාර්ව විචක්ෂණ අධීක්ෂණ/ආවේක්ෂන දෙපාර්තමේන්තුවක් ද පවතී.

එබැවින්, මහ බැංකු අධිපති විසින් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ආධාර ඉල්ලා සිටීම මුදල් නීති පනතේ අනුමත මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් නොවේ. මහජනතාවට උදවු කිරීම සඳහා විදේශ ආධාර පැතීම රජයේ හෝ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානවල කාර්යයකි.

  • ණය රැස්කිරීම, ණය උපයෝජනය සහ රාජ්‍ය ආදායම අතර සම්බන්ධීකරණයක් නොවීම 

රාජ්‍ය ණය උපයෝජනය හේතු කොට ආර්ථිකයේ නිෂ්පාදන පරිමාව, රැකියා සහ ආදායම් ජනනය සහ පොදුජන ජීවන තත්ත්වය දියුණු වූ බවට විවාදයක් නොමැත. එහෙත්, රාජ්‍ය ණය සේවාකරණය සඳහා ප්‍රමාණවත් ලෙස රාජ්‍ය ආදායම ඉහළ නොයාම හේතු කොට රාජ්‍ය ණය ණය උපයෝජනය සහ තිරසාර භාවය පිළිබඳ ගැටළුව හට ගෙන ඇත. 1977 න් පසු කොතරම් රාජ්‍ය මූල්‍ය සහනයන් ලබා දුන්න ද, ගෙවුම් ශේෂ අතිරික්තයක් ජනිත කිරීමට හැකි වන පරිදි අපනයන සහ විදේශ ආයෝජන ලැබීම ප්‍රවර්ධනය වී නොමැත. එබැවින්, රාජ්‍ය ආදායම් රැස් කිරීම සහ අපනයන සහ විදේශ ආයෝජන ප්‍රවර්ධන ආයතනයන් ද රාජ්‍ය ණය තිරසාර නොවීමේ ගැටළුවට වගකිව යුතුය.

සියළු රාජ්‍ය ආයතනවල මෙවැනි විෂම ක්‍රියාකාරකම් සිදු වී ඇති අතර වත්මන් ආර්ථික අර්බුදය එහි ප්‍රතිඵලයකි. ඊට කදිම නිදසුනක් වනුයේ ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ආනයන බිල්පත් මූල්‍යකරණය කිරීමේ අයෝග්‍ය ක්‍රමවේදය හේතු කොට, එම සංස්ථාව සහ පොදුජනයා උග්‍ර අලාභයකට සහ තෙල් අර්බුදයකට මුහුණ දීම යි.

  • රාජ්‍ය විගණන ධාරිතාවය දුබල වීම 

එහෙත්, රාජ්‍ය ආයතනවල එවැනි පද්ධති වටිනාකමක් සහිත ක්‍රියාකාරකම් විගණනය කිරීමට රජයේ විගණකාධිපතිගේ ධාරිතාවය සහ හැකියාව ප්‍රමාණවත් වී නොමැත. උදාහරණ ලෙස 2015 වර්ෂයට පෙර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ණය කළමනාකරණය පිළිබඳ ව කිසිම විගණනයක් සිදු කොට නැත. එහෙත්, මහා පරිමාණයෙන් අක්‍රමිකතාවන් සිදු වී ඇති පෞද්ගලික බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ වෙන්දේසිවලට වඩා රාජ්‍ය ණය පිරිවැය පහළ මට්ටමක පවත්වා ගෙන යාමට උපකාරී වූ මනා ක්‍රමවේදයක් බවට විගණකාධිපති වරයකු විසින් මතයක් ප්‍රකාශ කරන ලදි. තවද, බැඳුම්කර නිකුතු විගණනය කිරීම සඳහා දැනුවත් නිලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු නොවන බව ද පාර්ලිමේන්තුවට වාර්තා කරන ලදි.

විමර්ශන ක්‍රියාවලියක හදිසි අවශ්‍යතාවය

ඉහත දැක්වූ කරුණු සාර්ව ආර්ථික කලමනාකරණ දුර්වලතාවයකට වඩා පද්ධති අවදානමක් ඇති ක්ෂුද්‍ර ආර්ථික ගනුදෙනු අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ නිසි සම්බන්ධීකරණයක් නොමැතිව දුෂ්කළමනාකරණය වීම හේතු කොට හට ගෙන ඇති සාර්ව ආර්ථික කළමනාකරණ අර්බුදයකි. ඊට වගකිව යුතු සමහර ඉහළ නිලධාරීන් තම ඇග බේරා ගෙන ඉල්ලා අස් වන අතර දැනට විශ්‍රාම ගෙන ඇති සමහර නිලධාරීන් කිසිත් නොදන්නා නවකයන් ලෙස විධායක සහ උපදේශක තනතුරුවලට පත් වන බව දැකිය හැකිය.

එබැවින්, නව ජාත්‍යන්තර උපදේශකයන් පත් කිරීමෙන් වත්මන් රාජ්‍ය ණය සහ විදේශ සංචිත අර්බුදය විසඳිම කළ නොහැකිය. දේශීය ණය අර්බුදය දැනටම බිමට පාත් වී ඇති බව භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් 20% ඉක්මවා යාමෙන් පැහැදිලි ය.

එබැවින්, රාජ්‍ය ණය සහ විදේශ සංචිත අර්බුදය පිළිබඳ ව ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමෙන් අඩුම වශයෙන් ඊට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ ව මහජනතාවට දැනුවත් විය හැකිය. එමගින්, සත්‍ය වාර්තා සහ ලිපි ගොනු හරහා නිවැරදි තොරතුරු හෙළි දරවු වනු ඇත. වර්තමානයේ සමාජ මාධ්‍යය හරහා දැකිය හැක්කේ දේශපාලනික අරමුණු මත පැතිරෙන දුෂමාන තොරතුරු ය.

2017 භාණ්ඩාගාර බැඳුම්කර විමර්ශන කොමිසම විසින් මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර ඍජු/පෞද්ගලික නිකුතු ක්‍රමයේ සිදු වී ඇති අක්‍රමිකතාවන් පිළිබඳ ව වෝහාරික විගණයක් ද, විදේශ සංචිතයෙන් මුදල් ග්‍රීක් බැඳුම්කර වැනි ආයෝජනයන් කිරීමෙන් සහ මහ බැංකු මූල්‍ය ක්‍රියාකාරකම් යනාදියෙන් මහ බැංකුවට සිදු වී ඇති විශාල අලාභයන් හේතු කොට 2015 ට පෙර මහ බැංකු කළමනාකරණය පිළිබඳ ව පරීක්ෂණයක් කිරීමට නිර්දේශ කළ ද, තවමත් ඒ පිළිබඳ තොරතුරු මහජනයාට ලැබී නොමැත.

ඒ වෙනුවට, එම අක්‍රමිකතාවන්ට සහභාගී වූ පුද්ගලයන් අඛණ්ඩව මහ බැංකු කළමනාකරණයේ සිටිනු දැකිය හැකිය. වත්මන් ලෙබනනයේ විදේශ මුදල් අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස මහ බැංකුවේ වංචනික විදේශ මුදල් හුවමාරු බවට හඳුනා ගෙන රාජ්‍ය වෝහාරික විගණනයක් සහ අධිකරණ පරීක්ෂණයක් කෙරෙන අතර මෑත දී මහ බැංකු අධිපති අඩංගුවට ගත් බවට ද වාර්තා විය.

එබැවින්, වත්මන් ආර්ථික අර්බුදයට තුඩු දී ඇති රාජ්‍ය අංශයේ කාලයක් පුරා පැවති මහා පරිමාණයේ කළමනාකරණ අක්‍රමිකතාවන් පරික්ෂා/විමර්ශනය කොට ඒවා නිවැරදි කරන තෙක් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි වනු ඇත. මෙහිදී, මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණය අර්බුදකාරී ලෙස අසමත් වී ඇති බැවින් ණය කළමනාකරුගේ සේවය අත්හිටුවා, රාජ්‍ය ණය උපයෝජනය සහ තිරසාර බව තහවුරු කරමින් ණය රැස් කිරීමේ සහ වෙළෙඳපොළ කාර්යය නූතන කලමනාකරණ ක්‍රමවේදයන් හරහා කිරීම පිණිස රාජ්‍ය ණය කාර්යාංශයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය . අසමත් කළමනාකරුවකු ව්‍යාපාරික ආයතනයකවත් සේවයේ තබා ගන්නේ නැත. ඒ සඳහා ඉක්මනින් රාජ්‍ය ණය වෙළෙඳපොළ විනිවිදභාවය, ද්‍රවශීලතාවය සහ කාර්යක්ෂමතාවය ඇති කෙරෙන විද්‍යුත් වෙළෙඳපොළ වේදිකාවක් ස්ථාපිත කිරීම අවශ්‍යය. මෙහිදී, ණය වෙළෙඳපොළ හෝ ප්‍රාථමික වෙළෙඳ නියාමනය මහ බැංකුව වෙත පැවරිය හැකිය. ඒ අනුව, මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වයක් ලැබෙනු ඇත.

ආර්ථිකය, මුදල් මුද්‍රණය සහ මූල්‍ය පද්ධතිය රඳා පවතින වැදගත් කුළුණක් ලෙස රාජ්‍ය ණය සැලකිය හැකි බැවින් රාජ්‍ය ණය ප්‍රසාරණයක් නොමැතිව ආර්ථිකය ප්‍රසාරණය කිරීම දුෂ්කර වෙයි. එබැවින්, සියළු ආර්ථික පවු රජයන්ට සහ රාජ්‍ය ණයට පවරා සාප කිරීම වැරදි ක්‍රියාවකි. රාජ්‍ය ණය තිරසාර ගැටළුවට හේතුව ණය කළමනාකරණ (උපයෝජනය ඇතුළු) සහ රාජ්‍ය ආදායම් රැස් කිරීමේ ගැටළු මිස හුදෙක් ණයවල වැරද්දක් නොවේ.

රජයන් පෙරලා දමා අසල්වැසි රටවලින්, IMF සහ ලෝක බැංකුවෙන් තවත් ණය ගැනීමෙන් සිදු වනුයේ කෙටි කාලයකට මෙම අර්බුදය හුදෙක් එහෙන් මෙහෙන් ටින්කරින් හෝ වාත්තු කිරීමක් පමණක් වන අතර රාජ්‍ය ණය සහ විදේශ සංචිත තිරසාර බව ඇති කිරීමට එය දායක නොවනු ඇත. එබැවින්අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් පැරණි ලිපි ගොනු තුළ පැරණි අක්‍රමික ක්‍රමවේදයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. මෙහිදී, පුදුමය වන්නේ රාජ්‍ය ණය සහ විදේශ සංචිත කළමනාකරණ අක්‍රමිකතාවන්හි යෙදුන නිලධාරීන් මෙම අර්බුදය විසඳිම පිණිස නැවත පත් කිරීම යි. 

එබැවින්, මෙම ණය සහ විදේශ සංචිත අර්බුදය හේතු කොට ඉදිරි දශක කිහිපය පුරා දුක්ඛිත ජීවන අරගලයකට මුහුණ දීමට පොදුජනතාවට සිදු වනු නියතය.

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි