ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙන ආර්ථික ප්‍රතිපත්ති ...- එහෙත්, පොදුජනයා මහ පාරට

 

ර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී සහ රාජ්‍ය පාලනයෙහි දී පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය විසින් ගුරුකොට ගත යුතු රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම 14 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදයෙහි දක්වා ඇත.

එහෙත්, වත්මන් ආර්ථික සහ සමාජීය අර්බුදයට මුහුණ දීමට පොදුජනයාට සිදු වීම තුළින් සමස්ත රාජ්‍ය තන්ත්‍රය කෙරෙහි මහජන විශ්වාසය බිඳී යාමට හේතු වී ඇති බව රට පුරා ව්‍යාප්ත වී ඇති මහජන උද්ඝෝෂණ රැල්ලෙන් මනාව පැහැදිලි වෙයි. ඊට හේතුව, ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂාව සැපයීමට රජය අපොහොසත් වීම යි.

මෙම උද්ඝෝෂණ රැල්ල සහ ඊට එරෙහිව හට ගත හැකි රාජ්‍ය මර්ධන ක්‍රියාකාරකම් තුළින් රටෙහි ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම සහ පරිපාලනය බිඳ වැටිය හැකි අතර එමගින් පොදුජන සමාජය ලෙබනනය, වෙනිසියුලාව සහ සිම්බාබ්වේ වැනි ලෝකයේ අර්බුදකාරී රටවල් අතරට පත්වීමේ දැඩි අවදානමක් පවතී. එම රටවල එම තත්ත්වය ඇති වූයේ දේශපාලනික සාධක තුළිනි. ඊට පෙර එම රටවල් ආර්ථික සංවර්ධනය සහ ජීවන තත්ත්වය අතින් ඉහළ මට්ටමක පැවතින.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම

මෙහි පළමු මූලධර්මය අනුව අරමුණු 8 ක් ඇතුළත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත. එම අරමුණු 8 අතර මහජනයාගේ ආර්ථික සුභසිද්ධියට දායක වන අරමුණු 4 ක් හඳුනා ගත හැකිය. එනම්,

  • ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුව ද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනය ද, විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප්‍රස්තා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සමාජිකයන්ට අත්කර දීම

  • රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය, රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහෙයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍යවන සැලසුම් සහ පාලනය නීතියෙන් නියම කිරීමෙන් සීග්‍ර ලෙස මුළු රට සංවර්ධනය කිරීම.

  • පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරීම.

  • නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම.

  • නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම  සර්ව සාධාරණ හා සමාන ඉඩප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම.

මහජනයාගේ ආර්ථික සුභ සිද්ධියට දායක වන තවත් මූලධර්ම 6 ක් VI පර්ච්ඡේදයේ හඳුනා ගත හැකිය. එනම්,

  • ආර්ථික සහ සාමාජික වරප්‍රසාද හා විෂමතා ද මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයොගී කර ගැන්ම ද රජය විසින් තුරන් කළ යුත්තේ ය.

  • ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර වන සේ ඒකරාශී නොවන බවට රජය වගබලා ගත යුත්තේ ය.

  • පවුල සමාජයේ මූලික ඒකකය වශයෙන් රජය විසින් පිළි ගෙන ආරක්ෂා කළ යුත්තේ ය.

  • ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන්, සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂාකර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ සුභ සිද්ධිය විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ යුත්තේ ය.

  • ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුත්තේ ය.

  • ජාත්‍යන්තර සාමය, සුරක්ෂිත භාවය හා සහයෝගිතාව වර්ධනය කිරීම ද, ජාතින් අතර කටයුතුවල දී ජාත්‍යන්තර නීතිය සහ ගිවිසගත් බැඳීම් කෙරෙහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම ද ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති කිරීමට උත්සාහ කිරීම ද රජය විසින් කළ යුත්තේ ය.

ව්‍යවස්ථාව අනුව රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවුම

ඒ අනුව, මහජනයාගේ ආර්ථික සුභ සිද්ධිය අරමුණු කොට පාර්ලිමේන්තුව විසින් නීති ගත කරන ලද ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ ඒ යටතේ බලය ලැබී ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙන පුළුල් රාජ්‍ය සේවයක්, එනම් රාජ්‍ය ආයතන සහ නිලධාරී පද්ධතියක්,  ශ්‍රී ලංකාවේ පවතී. එම ප්‍රතිපත්තිවල අරමුණු, මූලධර්ම, වගකීම් සහ බලතල ඒ ඒ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවල අඩංගු වෙයි. ඒ මගින් අදාළ ව්‍යවස්ථාපිත අරමුණු ඉටු කිරීම පිණිස මහජන ක්‍රියාකාරකම් කෙරෙහි මැදිහත් වීමට අවශ්‍ය මහජන බලතල අදාළ රාජ්‍ය ආයතනවලට සහ නිලධාරීන්ට ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ අමාත්‍යංශ සහ ඒ ඒ අමාත්‍යාංශය යටතට නම් කෙරෙන රාජ්‍ය ආයතන ලැයිස්තුව දෙස බලන විට එම ආයතන සියල්ල විවිධාකාරයේ රාජ්‍ය ප්‍රතිපත්ති බලතල ලැබී ඇති ආයතන ලෙස හඳුනා ගත හැකිය. එම ආයතනයන් වෙත ලැබී ඇති ප්‍රතිපත්ති බලතල මහජනතාවගේ ආර්ථික සුභ සිද්ධිය, සමාජීය සුභ සිද්ධිය සහ ජාතික ආරක්ෂක සුභ සිද්ධිය යන අංශයන් යටතේ වර්ග කළ හැකිය. එහෙත්, මෙම අංශයන් අතර අන්‍යෝන්‍ය සබඳතාවක් පවතින බව කිව යුතු නැත. සමස්ත රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව මිලියන 1.5 ක් පමණ වෙයි. එය මුළු සේවා නියුක්තියෙන් 19% ද, මුළු ජනගහනයෙන් 7% ක් ද පමණ වෙයි. එහි අදහස ජනගහනයෙන් සෑම 93 දෙනෙකු වෙත රාජ්‍ය ප්‍රතිපත්ති සේවය සැපයීම සඳහා රාජ්‍ය සේවකයන් 7 දෙනෙකු සිටින බව යි

මෙම රාජ්‍ය ආයතන සහ නිලධාරී පද්ධතිය රාජ්‍ය මුදල් පාලනය, විගණනය සහ කාරක සභාවන් යටතේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කෙරෙන මූලික අයිතිවාසිකම් මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය, පොදු දේපල සහ අල්ලස් සහ දුෂණ වැනි වෙනත් නීති යටතේ අධිකරණ විමර්ශන ක්‍රියාවලියට ද යටත් වෙයි.

රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවුම හඳුනා ගැනීම

සමස්ත ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවුම දෙස බලන විට එය ආර්ථික කළමනාකරණය කෙරෙහි බලපාන ආකාරය රාජ්‍ය මූල්‍ය හෙවත් අයවැය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් ලෙස කාණ්ඩ දෙකක් යටතේ වෙන් කොට හඳුනා ගත හැකිය.

  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම සහ රාජ්‍ය ණය ආශ්‍රිතව සිදු වෙයි. රටේ ක්‍රියාත්මක වන සියලු රාජ්‍ය අයතනවල ප්‍රතිපත්ති සහ කාර්යසාධනය අවසානයේ රාජ්‍ය අයවැයෙන් නිරූපනය වෙයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් මුදල් ඇමති සහ භාණ්ඩාගාර ලේකම් ප්‍රමුඛව සිදු වන අතර එය පාර්ලිමේන්තුවේ පාලනයට යටත් වෙයි. එබැවින්, මුදල් ඇමති විසින් වාර්ෂිකව පාර්ලිමේන්තුවට රාජ්‍ය අයවැය ඉදිරිපත් කෙරේ.

මෙම රාජ්‍ය අයවැය තුළින් මහජනයාගේ ආර්ථික සහ සමාජීය සුභ සිද්ධිය කෙරෙහි ඇති කෙරෙන දායකත්වය සහ බලපෑම පිළිබඳ ව මනා වැටහීමක් මේ දිනවල මහජනතාව වෙත පවතී. උදාහරණ ලෙස ඉන්ධන සහ ගෑස් මිල ඉහළ දැමීම, විදුලිය කප්පාදුව, බස් ගාස්තු ඉහළ දැමීම, ආනයන තහනම සහ රාජ්‍ය වියදම් සිමා කිරීම දැක්විය හැකිය. රජය විසින් රාජ්‍ය ව්‍යාපාරයන් කිරීම සහ වෙළෙඳපොළවල් නියාමනය කිරීම ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති යටතේ සිදු කෙරේ.

එසේම, ආර්ථිකය කළමනාකරණය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති යොදා ගන්නා ආකාරය විග්‍රහ කෙරෙන සහ නිර්දේශ කෙරෙන මූලධර්ම සහ සංකල්ප රාශියක් ආර්ථික විද්‍යා විෂය තුළ අන්තර් ගත වෙයි. උදාහරණයක් ලෙස ආර්ථික සංවර්ධනය සඳහා මුදල් මුද්‍රණය තුළින් මුදල් සපයා ගෙන රාජ්‍ය වියදම් ප්‍රසාරණය කළ යුතු බවට නිදේශ කෙරෙන නූතන මූල්‍ය න්‍යාය දැක්විය හැකිය. එසේම, ආර්ථිකය පසුබැසිමකට හෝ අවපාතයකට ලක් වී ඇති විට ණය ලබා ගැනීම හරහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය කළ යුතු බව නිරේදේශ කෙරෙන කේන්ස් වාදය 1930 ගණන්වල සිට ලෝකය පුරා ප්‍රචලිත වී ඇත.

  • මූල්‍ය ප්‍රතිපත්ති

නූතන ආර්ථිකයන්හි ගනුදෙනු මුදල් හරහා සිදු කෙරෙන බැවින් සහ ගනුදෙනු සඳහා වලංගු වන මුදල් මුද්‍රණය ඇතුළු මුදල් සංසරණය පාලනය රාජ්‍ය ඒකාධිකාරයක් වන බැවින් ආර්ථිකයක පොදුජන සුභ සිද්ධිය කෙරෙහි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම්වල අති මහත් වැදගත්කමක් පවතී. සරලව කිව හොත් ආර්ථිකයක ගනුදෙනු සහ ක්‍රියාකාරකම් ප්‍රසාරණය සඳහා මුදල් ප්‍රසාරණය අවශ්‍යය. එබැවින්, ආර්ථිකයේ සිදු වන ගනුදෙනු පරිමාවට යෝග්‍ය වන ලෙස මුදල් සංසරණය මෙහෙයවීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සිදු කෙරේ. මෙයට මුදල් මුද්‍රණය, බැංකු ණය සැපයුම, පොලී අනුපාතය, විදේශ මුදල් ගනුදෙනු සහ විනිමය අනුපාතය පිළිබඳ ප්‍රතිපත්ති අඩංගු වෙයි. 

මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයන් රටවල් අතර වෙනස් වෙයි. උදාහරණ ලෙස දියුණු රටවල මූල්‍ය ප්‍රතිපත්තිවල විදේශ මුදල් ගනුදෙනු සහ විනිමය අනුපාතය අඩංගු නොවේ. එහෙත්, එය දියුණුවන රටවල මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම්වල පදනම වෙයි. මුදල් පරිමාව සහ සංසරණය ආර්ථිකයේ ආයෝජන, පරිභෝජන සහ ඉතුරුම් හරහා මහජනයාගේ ආර්ථික සුභ සිද්ධියට, එනම් නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ ජීවන තත්ත්වයට, මහත් සේ දායක වනු ඇත.

ආර්ථිකයක කළමනාකරණය සඳහා මූල්‍ය ප්‍රතිපත්ති යොදා ගන්නා ආකාරය විග්‍රහ කෙරෙන සහ නිර්දේශ කෙරෙන මූලධර්ම සහ සංකල්ප රාශියක් ආර්ථික විද්‍යා විෂය තුළ අන්තර් ගත වෙයි. උදාහරණයක් ලෙස ආර්ථික පසුබැසීමක් හෝ අවපාතයක් පවතින විට මුදල් සංසරණය ඉහළ දැමීම තුළින් නිෂ්පාදනය සහ සේවා නියුක්තිය වර්ධනය කිරීමට දායක වන බව දැක්වෙයි. එවැනි අවස්ථාවල, මුදල් මුද්‍රණය ඉහළ දමා පොලී අනුපාතයන් පහළ හෙළීම සිදු කෙරේ.

එසේම, ආර්ථිකයේ පවතින නිෂ්පාදන පරිමාවට හෝ සැපයුමට වඩා වැඩි පරිමාවකින් මුදල් සංසරණය ඉහළ යන විට ආර්ථිකයේ පොදු මිල මට්ටමේ ඉහළ යාමක් හෙවත් උද්ධමනකාරී තත්ත්වයක් හට ගන්නා බව දැක්වෙන පැරණි සංකල්පය මුදල් ප්‍රමාණවාදය ලෙස ප්‍රචලිත වී ඇත. ආර්ථිකයේ උද්ධමනය ඉහළ යන විට පොලී අනුපාතයන් ඉහළ දමා මුදල් සංසරණය පහළ දැමීමට මූල්‍ය ප්‍රතිපත්ති ගන්නේ මෙම පැරණි ආර්ථික සංකල්පය පිළි ගැනීම මත ය. 

මෙතරම් දරුණු ආර්ථික පසුබෑමක් ශ්‍රී ලංකාවේ පැවතිය ද පසුගිය අප්‍රේල් මස 8 දින පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීම සිදු කරන ලද්දේ මෙම සංකල්පයේ එල්බ ගැනීම මතය. එම ප්‍රතිපත්තිය තුළින් ඇති කෙරෙන ආර්ථික කම්පනය ද අති මහත් වෙයි. ඒ අනුව, ඉහත දැක්වූ නූතන මූල්‍ය න්‍යාය සහ මෙම මුදල් ප්‍රමාණවාදය අතර දැඩි ආර්ථික මූලධර්ම සහ ප්‍රතිපත්ති ගැටුමක් පවතී.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති බලතල මුදල් නීති පනත යටතේ මුදල් ඇමති, මුදල් මණ්ඩලය සහ මහ බැංකු අධිපති වෙත පැවරී ඇත. මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු අරමුණු, මූලධර්ම සහ නියමයන් මුදල් නීති පනතේ පුළුල් ලෙස ආවරණය වන අතර ඒ සඳහා අනුගමනය කළ යුතු විශේෂිත ආර්ථික විද්‍යා මූලධර්ම සහ සංකල්පයන් එහි නිර්දේශ කොට නොමැත.

වත්මන් ආර්ථික අර්බුදයේ මහජන අසාධාරණත්වය

එහෙත්, පසුගිය දෙවසර තුළ ආර්ථිකය සහ පොදුජනයා මුහුණ දුන් කම්පනයන් පාලනයට රාජ්‍ය ප්‍රතිපත්ති සේවය අපොහොසත් වීම හේතු කොට රජය මෙන්ම සමස්ත ආර්ථිකයම බංකොලොත් භාවයට පත් කෙරෙන වත්මන් ඓතිහාසික ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදයකට පොදුජනයා මුහුණ දෙන බව නොරහසකි. 

එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවුම් මූලධර්මයන් මත පදනම් වූ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ රාජ්‍ය සේවා පද්ධතියක් පවතින විට මෙවැනි අර්බුදයකට පොදුජනතාවට මුහුණ දීමට සිදු වීම කණගාටු දායක මෙන්ම පුදුම සහගත වෙයි.

වත්මන් අර්බුදයට හේතුව ලෙස ව්‍යවස්ථාවේ පවතින අධි ජනාධිපති බලතල සහ පාර්ලිමේන්තු බලතල ප්‍රමාණවත් නොවීම ගෙන හැර  දක්වන දේශපාලනික නායකයන් සහ නීති වේදීන් විසින් මෙම අර්බුදය විසඳීම සඳහා ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට යෝජනා කෙරේ. එසේම, තවත් දේශපාලනික නායක පිරිසකට මෙම අවස්ථාවේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා විවිධාකාරයේ නව මාදිලියේ රජයන් පිහිටු වීම සඳහා ඔවුන්ගේ කාලය යෙදවී ඇත.

එහෙත්, මෙම ආර්ථික අර්බුදය දේශපාලනික සංසිද්ධියක් නොව පසුගිය වසර දෙක තුළ හට ගත් විවිධ කම්පනයන් මැඩලීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සේවය ක්‍රියාශීලී නොවීමේ සංසිද්ධියක් බව ඉහත දැක්වෙන ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති බලතල දෙස බලන විට පැහැදිලි ය. මෙම ආර්ථික අර්බුදයේ ප්‍රධාන මූලයක් වන රාජ්‍ය ණය අර්බුදය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම්වල දුර්වලතාවක් බවට විවාදයක් නොමැත. එසේම, මෙම ආර්ථික අර්බුදයේ අනෙක් ප්‍රධාන මූලය වන විදේශ මුදල් සහ විනිමය අනුපාත අර්බුදය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම්වල දුර්වලතාවක් බවට විවාදයක් නොමැත.

තවද, විදේශ මුදල් හිඟය සහ රාජ්‍ය ණය සේවාකරණ ගැටළුව දශක කිහිපයක් පුරා ව්‍යාප්ත වූ ආර්ථික ප්‍රතිපත්ති කළමනාකරණයේ දුර්වලතාවන් හේතු කොට හට ගෙන ඇත. එසේම, මෙම කම්පනයන් මැඩලීම සඳහා නව නීති අවශ්‍ය නම් ඒවා පැනවීමේ බලය දැනටමත් පාර්ලිමේන්තුව සතුව පවතී. එහෙත්, රාජ්‍ය සේවයේ සහ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායික නිද්‍රාශීලී භාවය හේතු කොට මහජනයා තව තවත් අර්බුදය තුළ ගිලෙන බව අප කවුරුත් දනී.

මෙහිදී දක්නට ලැබෙන ශෝචනීය සිද්ධිය වන්නේ අර්බුදය පාලනයට වගකිව යුතු බලතල ඇති අධිකාරීන් විසින් එකිනෙකාට චෝදනා කිරීමත්, අර්බුදයේ කටුක බලපෑම විඳීමට අහිංසක මහජනයාට පැවරීමත් ය. එබැවින්, දැනට පෙනෙන සාධක සහ රාජ්‍ය ප්‍රතිපත්ති නිද්‍රාශීලී භාවය දෙස බලන විට, මෙම අර්බුදය රජයේ පාලනය යටතට ගැනීම සඳහා අඩුම තරමින් දශකයක් ගත වනු ඇත.

නීති වේදීන් වෙත ඇති මහජන වගකීම

ඉහත දැක්වූ කෙටි ඉදිරිපත් කිරීම දෙස බලන විට වත්මන් ආර්ථික අර්බුදය මුළුමනින්ම ආර්ථික ප්‍රතිපත්ති අධිකාරීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙක් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් පොදුජන ආර්ථික සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතු කොට හට ගෙන ඇති බවට විවාදයක් නොමැත. රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත දැක්වූ කෙටි ඉදිරිපත් කිරීම දෙස බලන විට වත්මන් ආර්ථික අර්බුදය මුළුමනින්ම ආර්ථික ප්‍රතිපත්ති අධිකාරීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙක් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් පොදුජන ආර්ථික සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම් හේතු කොට හට ගෙන ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පර්ච්ඡේදයේ මූලධර්මයන් මත පදනම් වී සිදු කෙරෙන අතර ඒ යටතේ නීති ගත කොට ඇති ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් යටතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති සහ වෙනත් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පර්ච්ඡේදයේ දැක්වෙන මූලධර්මයන්හි ඇති නීතිමය බැඳීම සහ අනනුකූලතාවය අධිකරණය හරහා විමර්ශනය කර කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම මහජනයා වෙත අහිමි කළ ද, එම මූලධර්මයන් බලාත්මක කිරීමේ පදනම මත මෙහෙයවෙන ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති ප්‍රතිපාදනයන් තුළින් පොදුජන ආර්ථික සුභ සිද්ධිය කෙරෙහි සිදු කෙරෙන කාර්යසාධනය අධිකරණය හරහා විමර්ශනය කර ගැනීමේ අයිතිය මහජනයා වෙත පවතී. මෙවැනි අර්බුදකාරී සමයක එය සිදු කිරීම අත්‍යවශ්‍ය වන අතර එය අනාගත රාජ්‍ය ප්‍රතිපත්ති අධිකාරීන් වෙත ඉගැන්වෙන පාඩමක් වනු ඇත.

තවද, අධිකරණය හරහා කාර්යසාධනය විභාග කළ නොහැකි ප්‍රතිපාදනයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවතීම විහිළු සහගත බව කිව යුතු නැත. එබැවින්, යෝජිත ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයේ දී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පර්ච්ඡේදයේ අඩංගු මූලධර්මයන් පොදුජනයාගේ මූලික අයිතිවාසිකම් ලෙස සලකා අධිකරණ ක්‍රියාවලියට යටත් කිරීම කාලෝචිත වෙයි.

එබැවින්, මෙම මානුෂීය අර්බුදකාරී අවස්ථාවේ නීති වේදීන් විසින් මහජන උද්ඝෝෂණවල නිරත වන පුද්ගලයන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් රැකීම සඳහා ඉදිරිපත් වන පරිමාණයෙන්ම මහජනයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති අයිතිවාසිකම් රැකදීම සඳහා ද ඉදිරිපත් වීම කාලෝචිත වෙයි.

(මෙම අර්බුදයට හේතු වූ මූලික ආර්ථික ප්‍රතිපත්ති උල්ලංඝණය පිළිබඳ ව අදහස් ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.)

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?