මහ බැංකු පොලිය රජය සක්විති කෙනෙක් කරයි ද? ඉන් ගැලවුමක් නැත් ද?

 


ක්විතිලා යනු අධික පොලියට ණය ගෙන එම මුදල් කාබාසීනියා කිරීම හේතු කොට ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් කඩා වැටෙන ව්‍යාපාරයන් බව මහජනයා හොඳින් දන්නා කරුණකි. මූල්‍ය විෂයෙහි පොන්සි යෝජනාක්‍රමයන් සහ සොම්බි සමාගම් ලෙස හඳුන් වන්නේ ද, මෙසේ ණය ගෙවීම සඳහා තව තවත් ණය ගැනීමෙන් යාවජීව වීමට උත්සාහ කෙරෙන, ඒ හේතු කොට බංකොලොත් සහතිකය ලියවී ඇති ව්‍යාපාරයන් ය.

පසුගිය අප්‍රේල් මස 8 දින මහ බැංකුව විසින් ආර්ථිකය කඩා වැටෙද් දී, අමනෝඥ ලෙස තම පොලී අනුපාතයන් 13.5% සහ 14.5% දක්වා එක්වර 7% කින් ඉහළ දැමීම තුළින් වැදුන මරු පහරින් රජය ද සක්විති කෙනෙක් හෝ කඩා වැටෙන පොන්සි යෝජනාක්‍රමයක් බවට පත් වී ඇති බව පසුගිය සති තුන තුළ රාජ්‍ය ණය පොලී අනුපාතයන් ඉහළ ගොස් ඇති ආකාරය දෙස බැලීමේ දී මනාව පැහැදිලි වෙයි

ඊට හේතුවවත්මන් අර්බුදය තුළ නිසි ආදායම් ප්‍රවාහයක් නොමැතිව වර්තන රාජ්‍ය වියදම් පියවීම සඳහා රජයට ඉහළ නගින පොලී අනුපාතයන් යටතේ අඛණ්ඩව බැංකු, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා ණය ගැනීමට සිදු වීම යි. මහ බැංකුව විසින් තම පොලී අනුපාතයන් ඉහළ දැමීම කළ විට, ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ණය වෙළෙඳපොළ පොලී අනුපාතයන් සති කිහිපයක් තුළ ඉහළ යාම සාමාන්‍යයෙන් දැකිය හැකිය. එය සක්විති සහ පොන්සි යෝජනාක්‍රමයන්ට මරණ සහතිකය ප්‍රදානය කිරීමකි.

මෙය සතියකට වරක් පැවැත් වෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිවල සහ මාසයකට දෙවරක් පැවැත් වෙන  භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දෙසිවල පොලී අනුපාතයන් ඉහළ යාම තුළින් පැහැදිලි වෙයි. බොහෝ වෙන්දේසි පවත් වන්නේ ණය ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වන බැවින්, එසේ ණය ගෙවීම යනු එම ණය ඉහළ පොලී අනුපාතයන් සහිත නව ණය බවට පෙරළිමකි. එමගින් සිදු වනුයේ රාජ්‍ය ණය බර තවත් ඉහළ යාමකි.

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් ඉහළ යාම

මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීමට පෙර දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ පොලී අනුපාතයන් වූයේ දින 91 සඳහා 14.12%, දින 182 සඳහා 15.36% සහ දින 364 සඳහා 15.69% යනාදිය යි. එහෙත්, මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 27 දින වෙන්දේසිය (තෙවන වෙන්දේසිය) වන විට පොලී අනුපාතයන් 23.53%, 23.96% සහ 24.09% දක්වා 9.41% කින්, 8.6% කින් සහ 8.4% කින් ඉහළ යන ලදි. වෙන්දේසි තුනේ පොලී අනුපාතයන්ගේ සාමාන්‍යය ගත් විට ඉහළ යාමේ සාමාන්‍යය 8.25% ක් වෙයි.

මෙම වෙන්දේසි තුනෙන් රැස් කර ගත් ණය මුදල රුපියල් මිලියන 217,564 ක් විය. ඒ අනුව, රජයට රුපියල්  මිලියන 17,950 ක පමණ අතිරේක පොලී වියදමක් දැරීමට සිදු විය. එසේම, පොලී අනුපාතයන් නැවත අප්‍රේල් 7 දින මට්ටමට පහළ යන තෙක්, ඉදිරියටත් අතිරේක පොලී වියදමක් දැරීමට රජයට සිදු වනු ඇත. එම මූල්‍ය පාඩුව අවසානයේ දී විඳින්නට සිදු වනුයේ පොදු ජනතාවට යි (පහත සංඛ්‍යා සටහන 01 සහ 02 බලන්න).

භාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාතයන් ඉහළ යාම

මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීමෙන් පසු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත් වූයේ අප්‍රේල් 28 දින ය. එහි දී, 17% ක කූපන් පොලී අනුපාතයක් සහිත වසර 3 ක පමණ බැඳුම්කරයක් ද, 18% ක කූපන් පොලී අනුපාතයක් සහිත වසර 5 ක පමණ බැඳුම්කරයක් ද, නිකුත් කරන ලදි. කූපන් පොලී අනුපාතය යනු බැඳුම්කර ආයෝජකයන්ට රජය විසින් සෑම මාස හයකට වරක් ගෙවන පොලී ප්‍රතිශතය යි. 

එම පොලී අනුපාතයන් මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීමට පෙර අප්‍රේල් මස 8 දින දහවල් පැවැත් වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී  වසර 3 ක පමණ බැඳුම්කරය සඳහා 10.25% ක කූපන් පොලී අනුපාතය සහ වර්ෂ 5 යි මාස 8 ක බැඳුම්කරය සඳහා 11.25% ක කූපන් පොලී අනුපාතය සමඟ සැසඳීමේ දී ප්‍රතිශතක ඒකක 6.75% ක ඉහළ යාමකි.

එහෙත්, මෙම කූපන් පොලී අනුපාතයන් භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතයන්ට වඩා බොහෝ අඩු බැවින්, මෙම බැඳුම්කර දෙක වට්ටමකට අළෙවි වී ඇති අතර, එබැවින්, ආයෝජකයන්ට ලැබෙන සැබෑ ඵලදා අනුපාතය 22% ක් පමණ වී ඇත. මෙය ද, භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතයන්ට වඩා අඩු වෙයි.

මෙම බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 28,000 ක පමණ ණය රැස් කොට ඇති අතර ඒ සඳහා ගෙවීමට සිදු වන වාර්ෂික අතිරේක කූපන් පොලී පිරිවැය රුපියල් මිලියන 1,890 ක් පමණ වෙයි. එසේම, මෙම වෙන්දේසියේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමේ දී මහ බැංකුව විසින් වර්ෂ 3 බැඳුම්කරය සඳහා ප්‍රාථමික වෙළෙඳුන් විසින් ඉදිරිපත් කරන ලද ලංසුවල ඵලදා අනුපාතයන් ද හෙළි කොට ඇත. 

ඒ අනුව, ලංසුවල ඵලදා අනුපාතයන් මහජන බැංකුවේ 21.83% සිට ලංකා බැංකුවේ 34.74% දක්වා ඉහළ පරාසයක පැවතින. එබැවින්, පිළිගත් ලංසුවල සාමාන්‍ය ඵලදා අනුපාතය 22% ක් වුව ද, වෙළෙඳපොළ අපේක්ෂිත ඵලදා අනුපාතය ඉතා ඉහළ මට්ටමක පැවතී ඇත. එබැවින්, මහ බංකුව විසින් නව මුද්‍රණයක් නොකළ හොත්, ඉදිරි බැඳුම්කර වෙන්දේසිවල දී ඵලදා අනුපාතයන් සහ වට්ටම් ප්‍රමාණයන් තවත් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

මෙහිදී, විශේෂයෙන් කිව යුත්තේ මහ බැංකුව විසින් වර්ෂ 3 බැඳුම්කරය පිළිබඳ ව ප්‍රාථමික වෙළෙඳුන්ගේ ලංසුවල ඵලදා අනුපාතයන් වෙන වෙනම ප්‍රසිද්ධ කිරීම මුදල් නීති පනත මගින් මහ බැංකු නිලධාරීන් වෙත නියම කොට ඇති තොරතුරු රහස්‍ය භාවය උල්ලංඝනය කිරීමක් බව ය. මහ බැංකුව විසින් මෙසේ නීති උල්ලංඝණය කරමින් වෙළෙඳ ගනුදෙනු පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සහ පහළ ඵලදා අනුපාතයන්ට ලංසු ඉදිරිපත් කරන ලෙස ප්‍රාථමික වෙළෙඳුන්ට වාචික උපදෙස් දීම නීති විරෝධී අභ්‍යන්තරික වෙළෙඳ අක්‍රමිකතාවන්හි (Insider Dealings) යෙදීමක් ලෙස අර්ථ දැක්විය හැකිය.

මහ බැංකු ප්‍රතිචාරය සහ වෙළෙඳපොළ යථාර්තය

අප්‍රේල් මස 29 දින පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ දී මහ බැංකු අධිපති විසින් පැවසූවේ රාජ්‍ය ණය පොලී අනුපාතයන්හි අධි ඉහළ යාමක් (Over-Shooting) සිදු වී ඇති බවත්, ණය වෙළෙඳපොළ පොලී අනුපාතයන් මහ බැංකු පොලී අනුපාතයන් සමඟ අනුරූපී විය යුතු බවත්, ඒ අනුව පොලී අනුපාතයන් ඉදිරියේ දී ස්ථායිකරණය විය යුතු බවත් ය. එහෙත්, එය ආර්ථික පර්යේෂණයක් මගින් තහවුරු නොවූ, හුදු පෞද්ගලික මතයක් වන අතර වෙළෙඳපොළ පොලී අනුපාතයන් මහ බැංකු පොලී අනුපාතයන් සමඟ අනුරූපී විය යුතු ආකාරය නිර්දේශ කිරීමට ආර්ථික විද්‍යා ක්‍රමවේදයක් නොමැත.

ඊට හේතුව, මහ බැංකු පොලී අනුපාතයන් යනු මහ බැංකුව සහ බැංකු අතර සිදු වන කිසිම අවදානමකට මුහුණ නොදෙන එක් දින ණය සඳහා අදාළ වන පොලී අනුපාතයන් වෙයි. එහෙත්, වෙළෙඳපොළ ණය ගනුදෙනු විවිධ පරිණත කාලයන් සහ විවිධ මට්ටමේ අවදානම් සහිත ණය ගනුදෙනු වන බැවින් ඊට අනුරූපව විවිධ පොලී අනුපාතයන් තීරණය වනු ඇත. 

උදාහරණ ලෙස  මහ බැංකු පොලී අනුපාතයන් 7% කින් ඉහළ  ගිය ද, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් මේ දක්වා 8%-9% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. එසේම, සමහර බැකු විසින් ස්ථිර තැන්පතු සඳහා ගෙවන පොලිය 8% පමණ සිට 15%-20% දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

තවද, ඉදිරියේ දී පොලී අනුපාතයන් තවත් ඉහළ යන බවට අපේක්ෂා කෙරෙන බැවින් පුද්ගලයන් විසින් ඉතා කෙටි කාලීන ණයවල මුදල් ආයෝජනය කිරීමට පෙළඹීම දැකිය හැකිය. උදාහරණ ලෙස වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින්නේ දින 91 භාණ්ඩාගාර බිල්පත් සඳහා වෙයි.  එබැවින්, පසුගිය වෙන්දේසි තුන තුළින් ලබා ගත් මුළු ණය ප්‍රමාණයෙන් 79% ක් පමණ ලබා ගෙන ඇත්තේ දින 91 භාණ්ඩාගාර බිල්පත් හරහා ය. එබැවින්, වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා 38% ක අතිරේක ලංසු ප්‍රමාණයක් දින 91 භාණ්ඩාගාර බිල්පත්වලින් පිළි ගෙන ඇත.

එසේම, මහ බැංකුව විසින් අප්‍රේල් මස 8 දින සිට 29 දින දක්වා කාලය තුළ පමණක් රාජ්‍ය ණය පොලී අනුපාතයන් තවදුරත් ඉහළ යාම පාලනය කිරීම සඳහා රුපියල් මිලියන 14,900 ක පමණ මුදලක් අළුතින් මුද්‍රණය කොට ඇත. එසේම, මෙම කාලය තුළ බැංකුවලට දෛනික පදනමක් මත ණය ප්‍රදානය සඳහා මුද්‍රණය කෙරෙන මුදල් ප්‍රමාණය ද, රුපියල් බිලියන 605 (මිලියන 644,670) සිට රුපියල් බිලියන 784 (මිලියන 784,272) දක්වා රුපියල් බිලියන 139 (මිලියන 139,602) කින් ඉහළ ගොස් ඇත. 

මෙසේ මුදල් මුද්‍රණය ඉහළ දැමීමක් නොකොට වෙළෙඳපොළ බලවේගයන්ට ඉඩ දුන්නේ නම්, මේ වන විට රාජ්‍ය ණය පොලී අනුපාතයන් 30%-35% ක මට්ටමට ඉහළ යා හැකිව තිබිණ. එබැවින්, එසේ මුදල් මුද්‍රණය කිරීම මහ බැංකුවේ උද්ධමනය පාලනය කිරීමේ නව මූල්‍ය ප්‍රතිපත්තියට විරෝධී වෙයි.

එබැවින්වත්මන් ආර්ථික තත්ත්වය තුළ වෙළෙඳපොළ පොලී අනුපාතයන් ස්ථායිකරණය කළ හැකි වන්නේ, මහ බැංකුව විසින් තම පොලී අනුපාතයන් පහළ හෙළා මුදල් මුද්‍රණය ඉහළ දැමීමෙන් පමණි. එසේ නොවුව හොත්, අධික රාජ්‍ය අරමුදල් හිඟය හේතු කොට පොලී අනුපාතයන් තවත් ඉහළ යාම තුළින් නුදුරු අනාගතයේ දී රාජ්‍ය දේශීය ණය පැහැර හැරීමට මුහුණ දීමේ අවදානමක් ද පවතී. එනම්, රජය සක්විතිලාගේ ඉරණමට පත්වීම යි. 

එබැවින්, මහජනයා විසින් මුදල් තෘෂ්ණාවෙන් ඉහළ පොලී අනුපාතයන් සොයමින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට පෙළඹීම ද මෙම අවස්ථාවේ අධි අවදානම්කාරී බව කිව යුතු නැත. වැඩි පොලී යනු වැඩි අවදානම් බව මූල්‍ය විෂයෙහි ඉගැන්වෙන මූලික මූලධර්මයකි. රජය විසින් දැනටමත් විදේශ ණය ගෙවීම පැහැර ඇත.

ඉහළ පොලී අනුපාතයන් හේතු කොට පෞද්ගලික අංශයේ ආර්ථික කටයුතුවල පිරිවැය ද ඉහළ ගොස් නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ ආර්ථික වර්ධනය පහළ ගොස් ආර්ථිකය සහ පොදුජන ජීවිතය තවත් ආර්ථික අවපාතයකට ඉදිරියේ දී ඇද වැටෙන බව අවබෝධ කර ගැනීමට ආර්ථිකය විද්‍යා දැනුම අවශ්‍ය නොවේ. එහෙත්, මෙය පැරණි මූල්‍ය වාදී උද්ධමන මානසික රෝගයෙන් පෙළෙන ආර්ථික විද්‍යාඥයන්ට අවබෝධ කර ගැනීමේ හැකියාව නොමැත.

එබැවින්, වැඩි දිනක් නොගොස් මහජන විරෝධය හේතු කොට මහ බැංකුවට තම පැරණි මූල්‍ය වාදී මානසික රෝගී සංකල්පයෙන් මිදී පොලී අනුපාතයන් නැවත පහළ දැමීමට සහ මුදල් මුද්‍රණය ඉහළ දැමීමට සිදු වනු ඇත. එසේ නොවුව හොත්, රජයට දොස් පවරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ මරණ සහතිකය ලිවීමට මහ බැංකුවට සිදු වනු ඇත. 

මූල්‍ය වාදී උද්ධමන මානසික රෝගයෙන් පෙළෙන ආර්ථික විද්‍යාඥ කණ්ඩායම විසින් යෝජනා කරන පරිදි මහ බැංකු පොලී අනුපාතය 25% දක්වා තවත් ඉහළ දැමුව හොත් එම මරණ සහතිකය තවත් ඉක්මන් වනු ඇත. එබැවින්, වත්මන් මහ බැංකු මූල්‍යා ප්‍රතිපත්ති ක්‍රමවේදයට පොදුජනයා මෙම ආර්ථික අර්බුදයෙන්  ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බව පැහැදිලිය.


(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
 
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි