අපේ මුදල් උද්ධමන සතුරාගෙන් රැක ගනිමු - මූල්‍ය සාක්‍ෂරතාවය (Financial Literacy) V කොටස
පසුගිය ලිපියෙන් මුදල්වලින් ඉටු කෙරෙන කාර්යයන් සහ ඒ සඳහා භාවිතා කළ හැකි විවිධ මුදල් වර්ගයන් හඳුන්වා දෙන ලදි. ගනුදෙනු සඳහා අතරමැදියෙකු, වත්කම්/ධනය රැස් කිරීම, ණය ගනුදෙනු කිරීම සහ ගිණුම් මාධ්‍යයක් යනාදිය එම කාර්යයන් ය. කාසි සහ නෝට්ටු මුදල්, විද්‍යුත් මුදල් සහ ඩිජිටල් මුදල් යනාදිය මුදල් වර්ගයන් වෙයි.
ඔබ කුමන මුදල් වර්ගයක් කුමන කාර්යයක් සඳහා භාවිතා කළ ද, ඉන් ඔබට නොයෙකුත් කරදර සහ අලාභයන් ඇති කිරීමේ හැකියාවන් පවතී. ඒවා ඔබ මුදල් ගනුදෙනු කිරීමේ දී මුහුණ දෙන අවදානම් ලෙස දැක්වෙයි.
එම අවදානම් අතර උද්ධමන අවදානම,
ණය අවදානම, ද්‍රවශීල අවදානම, වංචා අවදානම සහ පෞද්ගලික තොරතුරු විවෘත වීමේ අවදානම යනාදිය ප්‍රධාන ඒවා
වෙයි. එම අවදානම් පිළිබඳ අවබෝධයක් ඇති විට ඔබගේ මුදල් ආරක්ෂාකාරීව භාවිතා කිරීමට
ඔබට හැකියාව ලැබේ. එහෙත්, සමහර අවදානම් සහමුලින් වැලැක්වීමට
ඔබට නොහැකි අතර ඒවාට එරෙහිව යම් කළමනාකරණයක් පමණක් කළ හැකිය.
මෙම ලිපිය මගින් උද්ධමන අවදානම කෙටියෙන්
ඉදිරිපත් කෙරේ.
උද්ධමන අවදානම
මෙතෙක් පංති කාමරයේ ආර්ථික විද්‍යාව පාඩමක
දී න්‍යායාත්මකව ඉගෙන ගත් අපගේ මුදල් කෙරෙහි උද්ධමනයේ කුරිරු බලපෑම මේ දිනවල අප
සැවොම හොඳින්ම අත්දකින බව නොරහසකි.
ඔබ සතු මුදල්වලින් අනාගතයේ දී මිල දී ගැනීමට
හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ යාමේ අවදානම මින් අදහස් වෙයි. මුදල්වලින් මිල දී
ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය මුදල්වල ක්‍රය ශක්තිය ලෙස හැඳින් වෙයි. එය භාණ්ඩ
හා සේවා මිල ගණන් මත තීරණය වෙයි. ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල ගණන් පොදුවේ අඛණ්ඩව
ඉහළ යාම උද්ධමනය ලෙස හැඳින් වෙයි. මෙම උද්ධමන අවදානම ඔබ විසින් එදිනෙදා ගනුදෙනු
සඳහා අතේ තබා ගන්නා මුදල් කෙරෙහි මෙන්ම අනාගත ගනුදෙනු සඳහා භාවිතා කිරීම පිණිස
බැංකු තැන්පතු සහ සුරැකුම්පත් වැනි ආයෝජන ලෙස තබා ගන්නා මුදල් කෙරෙහි ද පවතී.
මෙහිදී, එදිනෙදා
වියදම් සඳහා තබා ගන්නා මුදල් ප්‍රමාණය කෙරෙහි සහ ආයෝජන වශයෙන් තබා ගන්නා මුදල් ප්‍රමාණය
කෙරෙහි උද්ධමනයේ බලපෑම අතර වෙනසක් පවතී. ඊට හේතුව, ආයෝජන
මුදල් සඳහා පොලී/ප්‍රතිලාභයක් ලැබෙන බැවින් එමගින් උද්ධමනයේ බලපෑම ආවරණය විය හැකි
බැවිනි. උදාහරණ ලෙස මාසික උද්ධමනය 1% ක් ද, ආයෝජනය සඳහා
ලැබෙන මාසික පොලී ආදායම 2% ක් ද බව සිතමු.
උද්ධමනය යනු ආයෝජන මුදලේ ක්‍රය ශක්තිය පහළ
යාමේ ප්‍රතිශතය යි. පොලී ප්‍රතිශතය යනු ආයෝජන මුදල් ප්‍රමාණය ඉහළ යාමේ ප්‍රතිශතය
යි. එබැවින්, ආයෝජන මුදල කෙරෙහි උද්ධමනයේ බලපෑම
පොලී ප්‍රතිශතයෙන් ආවරණය වනු ඇත. ඉහත උදාහරණය අනුව, උද්ධමනය
ආවරණය වී තවත් 1% ක ප්‍රතිලාභයක් ආයෝජනයට ලැබෙනු ඇත. එහෙත්, එදිනෙදා වියදම් (මාසික වියදම්) සඳහා අත තබා ගන්නා මුදල් ප්‍රමාණයේ ක්‍රය
ශක්තිය උද්ධමනයේ ප්‍රමාණයෙන් පහළ යනු ඇත. එය පාරිභෝගිකයාට දැඩි මූල්‍ය අවාසියකි.
එබැවින්, එදිනෙදා
හෝ මාසිකව ස්ථාවර ආදායමින් ජීවත් වන කුටුම්බයන් තම මුදල් ගනුදෙනුවල දී මුහුණ දෙන
මූලික අවදානම වනුයේ මෙම උද්ධමන අවදානම යි. එහෙත්, නිෂ්පාදන
සහ වෙළෙඳ ව්‍යාපාරවල නියුතු පුද්ගලයන්ගේ ආදායම ආර්ථිකයේ මිල ගණන් ඉහළ යාමට අනුරූපව
ඉහළ යන බැවින් ඔවුන්ගේ අතැති මුදල් කෙරෙහි උද්ධමනයේ ඍජු බලපෑමක් දැකිය නොහැකිය. ඊට
හේතුව, උද්ධමනය හේතු කොට ඔවුන්ගේ ආදායම ඉහළ යන බැවින් ක්‍රය
ශක්තිය ආරක්ෂා වන බැවිනි.
උද්ධමන අවදානම කළමනාකරණය
උද්ධමන අවදානම කළමනාකරණය කර ගැනීම සඳහා හැකි
පමණින් වරින් වර මුදල් ඉතිරියක් කොට, එමගින්
ස්ථාවර ආදායම් ලැබෙන ආයෝජනයක් පවත්වා ගැනීම බොහෝ සේ උපකාරී වනු ඇත. මෙහිදී,
ණය කාඩ්පත් භාවිතය තුළින් දෛනිකව තමා අත තබා ගන්නා මුදල් ප්‍රමාණය
අවම කොට එම මුදල් බැංකු ඉතුරුම් ගිණුමක තැන්පත් කිරීම හරහා යම් පොලී ආදායමක් ඉපයිය
හැකිය.
එසේම, තම
ආදායම බැංකු ඉතුරුම් ගිණුමේ තැන්පත් කොට ණය කාඩ්පතේ සීමාවට යටත්ව මාසය තුළ කෙරෙන
මිල දී ගැනීම් සිදු කළ හැකිය. පසුව, ණය කාඩ්පතේ මුදල
ගෙවීමට නියමිත දින එය තම බැංකු ඉතුරුම් ගිණුමේ මුදල් හරහා කළ හැකිය. මෙහිදී,
ණය කාඩ්පතේ සිමාව නොඉක්මවීමටත්, නියමිත
දින ණය මුදල ගෙවීමටත් හොඳ මූල්‍ය විනයක් ගොඩ නඟා ගත යුතුය. එසේ නැත්නම්, ණය කාඩ්පත අදාළ දණ්ඩන ගාස්තු සහ පොලී ගෙවීමට සිදු වීමෙන් දැඩි මූල්‍ය
අලාභයක් සිදු වනු ඇත.
එසේම, පුද්ගලයන්
සහ කුටුම්බයන් විසින් තම පරිභෝජන පැස වෙනස් කිරීම මගින් පවතින ආදායමින් තම පරිභෝජන
මට්ටම ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම දැකිය හැකිය. මෙහිදී, පරිභෝජනය
මිල ගණන් පහළ ආදේශක භාණ්ඩ හා සේවා වෙත විතැන් වීම සහ අරපිරිමැස්ම ප්‍රගුණ කිරීම ද
දැකිය හැකිය.
සමහර කුටුම්බ සාමාජිකයන් අතිරේක ආදායම් උපයා ගැනීම සඳහා අර්ධ කාලීන රැකියාවල නිරත වීම ද කුටුම්බයේ ක්‍රය ශක්තිය ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයකි. සමහර මැදි ආදායම් ලාභී කුටුම්බ සාමාජිකයන් විසින් තම සමාජ තත්ත්වය ද නොසලකා මෙසේ අමතර ආදායම් මාර්ගවල යෙදීම දැකිය හැකිය.
මෙහිදී, අප මතක
තබා ගත යුත්තේ පුද්ගලයන්ගේ පරිභෝජන පැස වෙනස් වන බැවින් උද්ධමන අවදානම් මට්ටම ද
පුද්ගලයන් අතර වෙනස් වන බව යි. එබැවින්, අප විසින් අවධානය
යොමු කළ යුත්තේ ආර්ථිකයේ සමස්ත මිල ගණන් කෙරෙහි නොව අපගේ පරිභෝජන බඩු පැසට අයත්
භාණ්ඩ හා සේවා මිල ගණන් වෙනස් වීම කෙරෙහි ය. ඒ අනුව, ආර්ථිකයේ
සාමාන්‍ය කුටුම්බවල ජීවන වියදම ගණනය කිරීම සඳහා රජය විසින් මාසිකව ප්‍රකාශයට පත්
කෙරෙන පාරිභෝගික මිල දර්ශකයන් සෑම පුද්ගලයෙකුටම/කුටුබයකට සමාන ලෙස අදාළ නොවේ.
එබැවින්, තම
පරිභෝජන පැසට අදාළ මිල ගණන් පමණක් නියෝජනය වන මිල දර්ශකයක් ගණනය කොට භාවිතා කිරීම
උද්ධමන අවදානම කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. මෙහිදී, එම මිල ගණන්වල සාමාන්‍ය අගය වුව ද භාවිතා කිරීමේ වරදක් නොමැත. ශ්‍රී
ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය හේතු කොට පසුගිය මාස කිහිපය තුළ පාරිභෝගික මිල
ගණන් ඉහළ යාමේ වේගය 300% ක් පමණ වී ඇත.
එහෙත්, රජය
විසින් නිවේදනය කෙරෙන පාරිභෝගික මිල දර්ශකය පසුගිය වර්ෂය පුරා ඉහළ යාමේ වේගය 17.5%
කි. එබැන්, එය අපගේ උද්ධමන අවදානම කළමනාකරණය කිරීම සඳහා
යෝග්‍ය නොවේ. එබැවින්, ඔබ විසින් මෙතැන් සිට ඔබගේ පරිභෝජන
බඩු පැසට අදාළ සාමාන්‍ය මිල සතිපතා ගණනය කිරීම ඔබට බොහෝ සේ උපකාරී වනු ඇත.
උද්ධමන අපේක්ෂණයන්
ආර්ථිකයේ මිල ගණන් ඉදිරි කාලයේ දී හෝ අනාගතයේ දී ඉහළ යාම පිළිබඳ ව විවිධ අපේක්ෂණයන් මත පදනම් වී ක්‍රියා කිරීම පුද්ගලයන් සහ ව්‍යාපාරික ආයතනවල සාමාන්‍ය හැසිරීම යි. මෙහිදී, අනාගත උද්ධමන මට්ටම කුමක් ද? යන්න ඉලක්කම් බොහෝ පුද්ගලයන් සතුව නොමැති අතර ඔවුන් හුදෙක් තම වැටහීම හෝ අවබෝධය මත ක්‍රියා කරනු ඇත. එහෙත්, බොහෝ ව්‍යාපාරික ආයතනයන් විසින් යම් යම් උද්ධමන අපේක්ෂණ ඇස්තමේන්තු මත පදනම් වී ව්‍යාපාරික තීරණයන් ගැනීම දැකිය හැකිය.
ආර්ථිකයක උද්ධමනය අඛණ්ඩව ඉහළ යාමේ උපණතියක් පවතින විට උද්ධමනය එසේ ඉදිරියටත් පවතින බවට අපේක්ෂණයන් හට ගැනීම සාමාන්‍ය ආර්ථික හැසිරීමකි. උද්ධමන අපේක්ෂණයන් පවතින විට පුද්ගලයන් විසින් තම මුදල්වල ක්‍රය ශක්තිය කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ගයන් ගැනීම දැකිය හැකිය.
උද්ධමන අපේක්ෂණයන් ඉහළ යන විට තම මුදල්වල අනාගත වටිනාකම හෝ ක්‍රය ශක්තිය පහළ යන බැවින් පුද්ගලයන් විසින් ඉඩම් වැනි මූර්ත වත්කම් මිල දී ගැනීමට පෙළඹෙනු ඇත. ඒවායේ මිල ගණන් අනාගතයේ වැඩි වේගයකින් ඉහළ යන බැවින් මූර්ත වත්කම් තුළින් මුදල්වල අගය ආරක්ෂා කිරීම මෙන්ම ආයෝජන ලාභයක් ද ලබා ගත හැකිය.
සමහර කුටුම්බයන් විසින් අනාගතයේ මිල දී ගැනීමට සැලසුම් කෙරෙන කල්පවතින භාණ්ඩයන් මිල ඉහළ යාමට පෙර වර්තමානයේ මිල දී ගැනීමට ක්‍රියා කරනු ඇත. ඒ සඳහා තම ඉතුරුම් සහ ණය ගැනීම භාවිතා කෙරෙනු ඇත.
අධි උද්ධමනකාරී තත්ත්වය
උද්ධමනය වර්ෂ ගණනාවක් පුරා අඛණ්ඩව විශාල ලෙස
ඉහළ යන්නේ නම් (අධි උද්ධමනකාරී තත්ත්වය), මුදල්
පිළිබඳ මහජන විශ්වාසය බිඳී ගොස් මුදල් ක්‍රමය ද කඩා වැටීමේ අවදානමක් පවතී. ඊට හේතුව මුදල්වල ක්‍රය ශක්තිය නැසී යාම යි. ඒ
බව 1940 ගණන්වල ජර්මනිය සහ වත්මන් සිම්බාබ්වේ, වෙනිසියුලාව,
ලෙබනනය සහ තුර්කිය වැනි රටවල අත්දැකීම් වලින් පැහැදිලි වෙයි.
එසේම, එවැනි වකවානුවල දේශපාලන සහ සිවිල් අරගල හට ගැනීම
හේතු කොට මහජන ජීවන මට්ටම දශක ගණනාවක් ආපස්සට ඇද දමනු ඇත.
වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික
අර්බුදය සහ මිල ගණන් ඉහළ යාම අඛණ්ඩව පැවතුන හොත්, ශ්‍රී ලංකාවේ ද එවැනි තත්ත්වයක් හට ගත හැකිය. එවැනි කාලවල මහජනතාව
විසින් දේශීය මුදල් ප්‍රතික්ෂේප කොට ගනුදෙනු සඳහා ඩොලර් වැනි ශක්තිමත් විදේශ
මුදලක් හෝ කිහිපයක් භාවිතා කිරීමටත්, රත්‍රන් වැනි වත්කම්
රැස් කිරීමටත් පෙළඹෙනු ඇත.
ආර්ථිකයක උද්ධමනය යනු පුද්ගලයන්ට පාලනය කළ හැකි දෙයක් නොවේ. බොහෝ රටවල උද්ධමනයක් හට නොගන්නා පරිදි ආර්ථිකයේ ස්ථායිතාවය පවත්වා ගැනීමේ අරමුණ මත මුදල් ගනුදෙනු ක්‍රමය පාලනය කිරීම මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීමකි. ඒ සඳහා මහ බැංකු වෙත මූල්‍ය ප්‍රතිපත්ති බලතල පවතී. මෙහිදී, ආර්ථිකයේ නිෂ්පාදන සම්පත් උපයෝජනය දිරි ගැන්වෙන පරිදි මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකයේ ණය ව්‍යාප්තියක් පවත්වා ගැනීම තුළින් ආර්ථිකයේ නිෂ්පාදනය සහ සමස්ත ඉල්ලුම (පරිභෝජනය සහ ආයෝජනය) අතර හැකි තරම් තුලනයක් පවත්වා ගැනීම හරහා සමස්ත මිල මට්ටම පාලනය කිරීම අදහස් වෙයි.
ඒ අනුව, උද්ධමනයක් ජනිත නොවන පරිදි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමානුකූලව පවත්වා ගැනීම අවශ්‍ය වෙයි. එසේම, උද්ධමනකාරී තත්ත්වයක් කාලයක් තුළ ජනිත වී පවතී නම්, එය වැලැක්වීම ඉතා අපහසු වන අතර අතර ඒ සඳහා වර්ෂ ගණනාවක් ගත වනු ඇත.
එහෙත්, මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිවල පවතින දැඩි දෝෂයන් හේතු කොට එසේ උද්ධමනය පාලනය කිරීමට බොහෝ මහ බැංකු අසමත් වන බව වත්මන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලින් දැක ගත හැකිය.
එබැවින්, අප හට
කළ හැකි දෙය වන්නේ උද්ධමනය හේතු කොට ජීවන තත්ත්වය කෙරෙහි ඇති කෙරෙන බලපෑම ඉහත
දැක්වූ පරිදි යම් දුරකට කළමනාකරණය කර ගැනීම පමණි.
එහි පදනම වන්නේ මහ බැංකුව විසින් තම ව්‍යවස්ථාපිත මහජන වගකීම් ඉටු නොකළ බැවින් මහජනයාට දැරිය නොහැකි උද්ධමනයක් හට ගැනීම තුළින් මහජන මුදල් සහ ජීවන තත්ත්වය සොරා ගැනීමකට ලක් වීම යි. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කොට ඇති මහජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ වීමකි.
(මුදල් මුහුණ දෙන අනෙකුත් අවදානම් ඊළඟ
ලිපියෙන් ඉදිරිපත් කෙරේ.)
පී
සමරසිරි
හිටපු
නියෝජ්‍ය අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව
Comments
Post a Comment