ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට මං පෙත් විවර කළ පොදුජන ආර්ථික නීති උල්ලංඝණය - ඔවුන්ට දෙන දඬුවම කුමක් ද?

 


ප්‍රේල් මස 7 දින ජනාධිපති විසින් නව මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් පත් කිරීම පිළිබඳ දේශපාලනික මාධ්‍යය විසින් කරනු ලැබූ  ප්‍රචාරණය අනුව පෙනුනේ, ඔවුන් දෙදෙනා පොදුජනයා මුහුණ දෙන වත්මන් රුදුරු ඓතිහාසික ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ හුදු අරමුණින් පැමිණි දේවතාවන් දෙදෙනකු ලෙස ය.

මාධ්‍යය මගින් හුවා දැක්වූ ඔවුන්ගේ වෘත්තීය චරිත සහතික පත්‍ර දෙස බලන විට, පොදු ජනතාව සිතුවේ ඔවුන් දෙදෙනා විසින් මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ වසර 70 ක පමණ සිට පැවතෙන ලිපි ගොනු සහ ප්‍රතිපත්ති කලම්බනය කොට, නොබෝ දිනයකින් ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන රාජ්‍ය ණය අර්බුදය සහ විදේශ මුදල් අර්බුදය තම ග්‍රහණයට නතු කොට, පොදු ජනයාට නැවත සුපුරුදු ලෙස තම ජීවිකාව ආරම්භ කිරීමට හැකි වන ලෙස ආර්ථිකය ඉක්මනින් නැවත ස්ථායී කිරීමේ කාර්යය  සිදු කරන බව යි.

නව රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සහ කාර්යසාධනය ආවේක්ෂණය සඳහා පාර්ලිමේන්තුවට යටත් නව ක්‍රමවේදයක කාලීන අවශ්‍යතාවය

  • ඇමෙරිකානු ක්‍රමවේදය

ඇමෙරිකාව වැනි රටවල එවැනි පත් කිරීම් (ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරුන් ඇතුළු) සිදු කෙරෙන්නේ, සෙනෙට් මණ්ඩලයට කැඳවා ඔවුන්ගේ චරිතය (FBI රහස්‍ය පරීක්ෂණ වාර්තාවන් ඇතුළුව), සුදුසුකම් සහ ඉදිරි ප්‍රතිපත්ති එළඹුම සහ මතයන් පිළිබඳ ව සියළු සෙනෙට් සභිකයන්  විසින් වෙන වෙනම සභාවේ ප්‍රශ්න කිරීමෙන් පසුව වන අතර එය මාධ්‍යය හරහා මාර්ගගත ලෙස ප්‍රචාරය කෙරේ. 

එබැවින්, ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති පිළිබඳ ව ඇගයීමක් සහ පසුවිපරම් කිරීමක් සිදු කිරීමට රජයට මෙන්ම මහජනතාවට හැකියාව ලැබේ. තවද, ඔවුන්ව තනිවම පාර්ලිමේන්තුවේ සහ සෙනෙට් සභාවේ අදාළ උප සභාවන් වෙත මාස 6 කට වරක් කැඳවා අදාළ ආයතනවල පාලනය සහ ප්‍රතිපත්ති කාර්යසාධනය ගැන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරේ. එම රටවල් දියුණු වන්නේ එවැනි අවේක්ෂණයක් සහිත රාජ්‍ය සේවයක් පවතින බැවිනි.

  • ශ්‍රී ලංකා ක්‍රමවේදය 

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ ප්‍රධානීන් පත් කිරීමට පෙර ඔවුන්ගේ දැනුම සහ ප්‍රතිපත්ති හැකියාව විමර්ශනය කිරීම සඳහා විනිවිද ඇගයුම් ක්‍රමවේදයක් නොමැති බැවින් එම පත් කිරීම් ජනාධිපති වරයා හෝ අදාළ ඇමතිවරයා විසින් හුදෙක් එම පුද්ගලයන් පිළිබඳ ව තමා දන්නා හෝ වෙනත් පාර්ශවයන් විසින් හඳුන්වා දෙන ලද  තොරතුරු මත පදනම් වී සිදු කෙරේ. එය බොහෝ විට ඔවුන් හොඳ පුද්ගලයෙක් බවට ලිය වෙන චරිත සහතිකය මත පදනම් වෙයි. එවැනි සමහර පත් කිරීම් සඳහා තෝරා ගන්නේ කිසිම වෘත්තිමය නිරත වීමක් නොමැතිව දේශපාලන කල්ලිවල නිරත පුද්ගලයන් ය.

එබැවින්එම නිලධාරීන් විසින් කොතරම් රාජ පාක්ෂිකව සහ කුමන ප්‍රතිපත්ති එළඹුමක්දිසාවක් සහ ප්‍රමුඛතාවන් මත තමන් විසින් පාලනය කෙරෙන ආයතන සහ ප්‍රතිපත්ති මෙහෙය වීම සිදු කෙරන්නේ දයන්න සූදුවක ස්වරුපය ගනී. සමහර නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීම කෙරෙහි ව්‍යවස්ථාපිත සිමාවන් පවතින බැවින් මෙම සූදුව තරමක් ත්‍රිවු වනු ඇත.

ශ්‍රී ලංකාවේ එසේ  පත් කිරීමට නියමිත පුද්ගලයෙකුගෙන් ඔහු විසින් කිරීමට අපේක්ෂා කෙරෙන ප්‍රතිපත්ති පිළිබඳ ව රොයිටර් මාධ්‍යය විසින් විමසන ලද අවස්ථාවේ ඔහු විසින් ප්‍රකාශ කොට ඇත්තේ "එන විදිය බලන බව" යි (Will see how it goes). රාජ්‍ය ඉහළ නිලධාරීන් පත් කිරීමේ ඇමෙරිකාවේ වැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් බොහෝ නිලධාරීන් විසින් තම පත් වීමට අදාළ මහජන වරප්‍රසාද ලබා ගත් විගසතම රාජකාරි ආරම්භ කරන්නේ රජයට සහ පෙර සිටි නිලධාරීන්ට දොස් පැවරීමෙන් පසු දේශපාලනික මුහුණුවරක් සහිතව ය. ඊට පසුවඔවුන් විසින් කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ ව මනා අත්දැකීම් පොදුජනතාව වෙත පවතී. සමහර ඉහළ නිලධාරීන් තමා වෙත ලැබී ඇති රාජ්‍ය පත්වීම තමාගේ පෞද්ගලික බූදලයක් ලෙස සලකා අත්තනෝමතිකව ක්‍රියා කිරීම පිළිබඳ ව මෑත කාලීන වාර්තාවන් ඒමට පවතී.

වත්මන් ආර්ථික අර්බුදයට වරදකරුවන් ලෙස වත්මන් රජයේ දේශපාලනික නායකයන්ට එරෙහිව දීප ව්‍යාප්ත මහජන උද්ඝෝෂණයන් පවතින අතර රාජ්‍ය ආයතන සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඉහළ රාජ්‍ය නිලධාරීන්  ඊට වඩාත්ම ව්‍යවස්ථාපිත ලෙස වගකිව යුතු බව ද අප අමතක නොකළ යුතුය. උදාහරණ ලෙස වත්මන් ආර්ථික අර්බුදයේ මූල සාධකය වනුයේ විනිමය අනුපාතය, විදේශ මුදල් සංචිතය සහ රාජ්‍ය ණය කළමනාකරණය කඩා වැටීම වන අතර ඒවා කළමනාකරණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම් පවතින්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, අධිපති සහ අදාළ මහ බැංකු නිලධාරීන් වෙත ය. මෙවැනි වගකීම් ආර්ථික කළමනාකරණයේ කාර්යයන් ලෙස ආර්ථික විද්‍යාවේ හඳුනා ගැනේ.

ඊට අමතරව, රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ ව මුදල් ඇමති සහ භාණ්ඩාගාර ලේකම් ප්‍රමුඛ මහා භාණ්ඩාගාරයේ අදාළ නිලධාරීන්ට ද ව්‍යවස්ථාපිත වගකීම් පවතී. මෙහිදී, රාජ්‍ය මුදල් පාලනය (මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළුව) පිළිබඳ වගකීම පාර්ලිමේන්තුව සතු වන බැවින් ණය සහ විදේශ මුදල් අර්බුදයට පාර්ලිමේන්තුව ද වගකිව යුතුය.

පොදුජනතාව අද මෙසේ ඉමහත් දුකට පත් වී ඇත්තේ, එම නිලධාරීන් විසින් තම මහජන වරප්‍රසාදයන් බුක්ති වින්ද ද, තම ව්‍යවස්ථාපිත ආර්ථික කළමනාකරණ වගකීම් ඉටු නොකිරීම හේතුවෙනි. මෙවැනි අර්බුදයක් අදාළ නිලධාරීන්ගේ දැනුමෙන් සහ පාලනයෙන් තොර හුදෙක් බාහිර සාධක හේතු කොට දිනකින් හෝ සතියකින් හෝ මාසයකින් එකවර හට නොගත් බව පැහැදිලිය.

  • නව ක්‍රමවේදයක කාලීන සහ කඩිනම් අවශ්‍යතාවය

එබැවින්පොදුජන අභිවෘද්ධිය අරමුණු කොට ආර්ථික සහ සමාජ ආරක්ෂාව භාර රාජ්‍ය ක්‍රියාකාරකම් සහ ආයතනයන් කාණ්ඩ කොටඒවායේ ප්‍රතිපත්ති සහ කාර්යසාධනය ආවේක්ෂණය හෝ අධීක්ෂණය කිරීම (පත් කිරීම ඇතුළුව) සඳහා වගකීම සහිත පාර්ලිමේන්තු සභාවන් ඉක්මනින් පිහිටු වීම වත්මන් මහජන උද්ගෝෂණයන් සමනය කිරීමට ද දායක වනු ඇත. එම අවේක්ෂණයන් හුදෙක් වර්තමානයේ කෝප් හෝ මුදල් කාරක සභා මෙන් විෂය දැනුම නොමැති විගණකාධිපති හරහා කිරීම යෝග්‍ය නොවේ. 

වර්තමානයේ එවැනි ක්‍රමවේදයක් නොමැති බැවින් ඉහළ රාජ්‍ය තනතුරු අපේක්ෂාවෙන් දේශපාලනික සහ මාධ්‍ය කල්ලිවලට බැඳීම සහ ඔවුන් සමඟ එකතු වී රාජ්‍ය ආයතන පාලනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ඉහළ රාජ්‍ය නිලධාරීන් අතර බහුලව දැකිය හැකිය. රාජ්‍ය දුෂණයන්ට මූල සාධකයක් වන්නේ මෙය බවට රහසක් නොවේ.

නව භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිගේ නව්‍ය ආර්ථික ගැලවුම් ප්‍රතිපත්ති දෙක

නව මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් විසින් ඔවුන්ගේ පත් වීමේ පළමු දින පහ තුළ ඓතිහාසික ආර්ථික වාර්තාවන් දෙකක් කඩිනමින් තබන ලදි.

  • පළමුව, අප්‍රේල් මස 8 දින, එනම් අධිපති තනතුරට පත් වීමෙන් පසු දින, මහ බැංකු පොලී අනුපාතයන් එකවර 13.5% සහ 14.5% දක්වා 7% කින් ඉහළ දමා ආර්ථිකය තවත් බංකොලොත් වීමට මාවතක් විවර කිරීම.  

එදින ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය කාලයේ මහ බැංකුව විසින් අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතු කොට හට ගෙන ඇති වත්මන් අධි උද්ධමනය පාලනය කිරීම සඳහා වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය යටතේ කළ හැකි වන්නේ මහ බැංකු පොලී අනුපාතය ඉහළ දැමීම බවත්, එවැනි තීරණයන් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනා රැස් වී ඉතා පහසුවෙන් ගත හැකි බවත් ය.

එහි ඍජු ප්‍රතිඵලය ලෙස පසුගිය 20 දින වන විට, එනම් දින 12 කට පසු, රජය විසින් ණය වෙළෙඳපොළ හරහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කොට ලබා ගන්නා ණයවල පොලිය මාස 3  සඳහා 14.12% සිට 23.21% දක්වා ද, වර්ෂයක් සඳහා 15.69% සිට 24.36% දක්වා ද, ඓතිහාසික 9% කින් පමණ ඉහළ ගොස් රාජ්‍ය ණය අර්බුදයට තවත් ඉන්ධන ප්‍රමාණයක් එකතු කරන ලදි. එවැනි ඉහළ පොලී  අනුපාතයන් හේතු කොට ඉදිරියේ දී රාජ්‍ය දේශීය ණය ආපසු ගෙවීමේ අර්බුදයක් ද හට ගත හැකිය. තවද, පෞද්ගලික අංශයේ ණය පොලිය රාජ්‍ය ණය පොලියට වඩා ඉහළ මට්ටමකට ඉහළ යන බවත්, ඉන් සමස්ත ආර්ථිකයම වත්මන් අර්බුදයේ තවත් අගාදයකට තල්ලු කෙරෙන බවත්, අවබෝධ කර ගැනීමට සාමාන්‍ය දැනුම ප්‍රමාණවත් වෙයි.

  • දෙවනුව,  භාණ්ඩාගාර ලේකම්/මුදල් ලේකම් විසින් පසුගිය 11 දින රාජ්‍ය විදේශ ණය ආපසු ගෙවීම දින නියමයක් නොමැතිව තාවකාලිකව අත්හිටුවීමේ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඓතිහාසික රාජ්‍ය ප්‍රතිපත්තියක් එළි දැක්වීම. 

මෙය ශ්‍රී ලංකාව විසින් විදේශ ණය පැහැර හැරීම ලෙස ගෝලීය මූල්‍ය සහ දේශපාලනික මාධ්‍යය විසින් හඳුන්වා දෙන ලදි. මෙම ප්‍රතිපත්තිය එළි දැක්වීම පිළිබඳ මාධ්‍ය රැස්වීමේ දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරනු ලැබූවේ, මෙය තද ණය පැහැර හැරීම (Hard Default) වැලැක්වීමක් බව යි. එනම් ණය පැහැර හැරීම මෘදු ලෙස සිදු කිරීමකි (Soft Default). රජයක් නොව පුද්ගලකු විසින් වුව ද තම ණය පැහැර හැරීමේ ආදිනව අවබෝධ කර ගැනීමට සාමාන්‍ය  දැනුම ප්‍රමාණවත් වෙයි. මෙහිදී, අතීත ණය ගෙවීමේ ඉතිහාස වාර්තාව හුවා දැක්වීමෙන් ඵලයක් නොමැත. එබැවින්, රජයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයට මින් පසු ණය විශ්වාසය මත ක්‍රියාත්මක වන ගෝලීය ආර්ථිකය සමඟ ගනුදෙනු කිරීම බොහෝ අපහසු වනු ඇත.

එබැවින්, මෙම නව ඓතිහාසික වාර්තාවන් දෙකම මෙම විශිෂ්ඨ පත්වීම්වලින් බලපොරොත්තු වූ ප්‍රතිඵලයන් නොවන අතර ඒවා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ලිපිකරුවන් දෙදෙනෙකුට වුව ද පහසුවෙන් කළ හැකිව තිබිණ. එසේම, මෙම ප්‍රතිපත්ති දෙකේ වෙළෙඳපොළ/ආර්ථික විද්‍යා මූලධර්මවලට මෙන්ම රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති මූලධර්මවලට ඇති අනුකූලතාවය හෝ පිළි පැදීම පිළිබඳ ව ගැටළු රැසක් මතු වී ඇත.

වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට හේතු පිළිබඳ ආර්ථික විද්වත් මතය

පොදුජනයා මුහුණ දෙන වත්මන් ඓතිහාසික ආර්ථික සහ ජීවන අර්බුදය පිළිබඳ ව පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණවල දී බොහෝ ආර්ථික විද්‍යඥයන් විසින් දක්වන්නේ සම්මත ආර්ථික විද්‍යා මූලධර්මවලට පටහැනිව රජය විසින් ආර්ථිකය කළමනාකරණය කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව බව යි.

ආර්ථික විද්‍යා මූලධර්ම හෝ න්‍යායන් ලෙස හැඳින් වෙන්නේ මහජනයා විසින් තම ආර්ථික අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා නිදහසේ තාර්කිකව හැසිරීමේ දී ක්‍රියාත්මක වන වෙළෙඳපොළ හැසිරීම් පිළිබඳ ව උපකල්පනයන් මත පදනම් වී කෙරෙන විවිධ පුරෝකථනයන් ය. වෙළෙඳපොළ යනු ඉල්ලුම සහ සැපයුමේ තරගකාරී හැසිරීම තුළින් මිල තීරණය වීමේ ක්‍රියාදාමය යි.

  •  ඉල්ලුම්  සහ සැපයුම් මූලධර්මයන් 

ඉල්ලුම් මූලධර්මය හෙවත් න්‍යායෙන් දැක්වෙන්නේ, යම්කිසි සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් විවිධ සාධකයන් ස්ථාවරව පවතින බවට උපකල්පනය කොට, එම භාණ්ඩයේ ඉල්ලුම එහි මිල ගණන් වෙනස් වීමට ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරෙන බව යි. එනම්, මිල ඉහළ යන විට ඉල්ලුම පහළ යාමත්, මිල පහළ යන විට ඉල්ලුම ඉහළ යාමත් ය. ආර්ථික විද්‍යාවේ ආරම්භක පාඩමක් වන ඉල්ලුම් න්‍යාය හෝ මූලධර්මය ලෙස හැඳින් වෙන්නේ මෙය යි. 

එහෙත්, පාරිභෝගික ආදායම සහ රුචිය වැනි ඉල්ලුම කෙරෙහි බලපාන වෙනත් සාධකයන් සමකාලීනව එකවර වෙනස් වුව හොත් ඉල්ලුමට කුමක් වේ ද? යන්න ප්‍රකාශ කිරීමට ආර්ථික විද්‍යා මූලධර්මයන් නොමැත. එසේම, මෙම ඉල්ලුම් න්‍යාය තවත් පාරිභෝගික හැසිරීම පිළිබඳ ආර්ථික විද්‍යා මූලධර්මයන් කිහිපයක් මත ගොඩ නැගී ඇත.

මීට ප්‍රතිවිරුද්ධව, සැපයුම් න්‍යායෙන් හෝ මූලධර්මයෙන් දැක්වෙන්නේ, භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන මිල හැර අනෙක් සියළුම සාධකයන් ස්ථාවරව පවතින බවට උපකල්පනය කොට, භාණ්ඩයේ සැපයුම එහි මිල ගණන් වෙනස් වීමට අනුගාමීව හැසිරෙන බව යි. එනම්, මිල ඉහළ යන විට සැපයුම ඉහළ යන බව ද, මිල පහළ යන විට සැපයුම පහළ යන බව ද යන්න යි. සැපයුම් න්‍යාය ද නිෂ්පාදකයන්ගේ හැසිරීම් පිළිබඳ තවත් ආර්ථික විද්‍යා මූලධර්මයන් කිහිපයක් මත ගොඩ නැගී ඇත.

  • වෙළෙඳපොළ 

භාණ්ඩයක වෙළෙඳපොළ යනු එහි ඉල්ලුමේ සහ සැපයුමේ තරගකාරී ක්‍රියාකාරිත්වය වන අතර ඉල්ලුම සහ සැපයුම යනු ඉහත දැක්වූ පරිදි එකිනෙකට ප්‍රතිවිරුද්ධ පුද්ගල හැසිරීම් දෙකකි. එබැවින්, ඉල්ලුමේ සහ සැපයුමේ අන්තර් බලපෑමෙන් වෙළෙඳපොළ මිල තීරණය වන අතර ඉල්ලුම සහ සැපයුමේ වෙනස්වීම අනුව වෙළෙඳපොළ මිල ද වෙනස් වනු ඇත. ආර්ථික විද්‍යාවේ වෙළෙඳපොළ මූලධර්මය යනු මෙය යි.

එසේම, ආර්ථික විද්‍යඥයන් විසින් යම් යම් රාජ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දීම හේතු කොට වෙළෙඳපොළ හැසිරීම සහ මිල කෙරෙහි ඇති වන බලපෑම විග්‍රහ කිරීම සඳහා තවත් උපකල්පනයන් මත පදනම් වූ ආර්ථික විද්‍යා මූලධර්මයන් ඉදිරිපත් කොට ඇත.

ආර්ථික කළමනාකරණය යන ආර්ථික විද්‍යා පාඩම ආර්ථික විද්‍යා මුලධර්මයන් සහ රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති යනාදියේ සංකලනයකි. එහි ද, විවිධ උපකල්පනයන් මත පදනම් වූ සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයන් රැසක් පවතී. උදාහරණ ලෙස ආර්ථික කළමනාකරණයේ දී ඉතා ප්‍රචලිත ලෙස භාවිතා කෙරෙන සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයක් වනුයේ ආර්ථිකයේ සමස්ත ඉල්ලුම සහ සමස්ත සැපයුම තුලනය ලෙස හැඳින් වෙන ආර්ථික ස්ථායිතා මූලධර්මය යි.

  • ආර්ථික විද්‍යා මූලධර්මයන් සැබෑ ලොවට අදාළ කිරීමේ දී ගැටළු පැන නැගීම 

එබැවින්, මෙවැනි උපකල්පිත ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව රජය විසින් ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේ කෙසේ ද? යන්න පොදුවේ පිළි ගත් ප්‍රයෝගික සැලැස්මක් හෝ ක්‍රමවේදයක් කිසිම ආර්ථික විද්‍යාඥයෙකුට ඉදිරිපත් කළ නොහැකිය. ඔවුන් සතුව එවැනි හැකියාවක් පවතී නම්, මෙම  ආර්ථික අර්බුදය හට ගැනීමට අවකාශයක් නොමැත. ඊට හේතුව, ලෝකයේ  ඉහළ සුදුසුකම් සහිත ආර්ථික විද්‍යාඥයන් රාජ්‍ය සේවයේ සිටින බැවිනි. 

එසේම, වත්මන් රජය ඉවත් වී, නම ගිය ආර්ථික විද්‍යඥයන් පිරිසකට රාජ්‍ය පාලනය භාර දීමෙන් මෙම ආර්ථික අර්බුදයෙන් පොදුජනතාව මුදවා ගැනීමට හැකියාවක් ඇති බවට ද විශ්වාසයක් තැබිය නොහැකිය. ඊට හේතුව, රාජ්‍ය පාලනය යනු ආර්ථික කළමනාකරණයෙන් ඔබ්බට ගිය සංකීර්ණ දේශපාලනික ක්‍රියාවලියක් වන බැවිනි. එබැවින්, සමහර රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් ආර්ථික අර්බුදය විසඳන ලෙස පොරොන්දු වී තම පත්වීම ලබා ගැනීමෙන් පසු, තමාට නව ප්‍රතිපත්ති තුළින් ආර්ථිකය නැවත ස්ථායිකරණය සඳහා රජය විසින් දේශපාලනික සහ සමාජ අර්බුදයන් විසඳා දෙන ලෙස කොන්දේසි ඉදිරිපත් කිරීම දැකිය හැකිය.

ඒ අනුව, සියළු ආර්ථික විද්‍යා මූලධර්මයන් සැබෑ ලොවට එලෙසම අදාළ වන ඒවා නොවේ. එහෙත්,  ඒවා මගින් මහජනයාගේ හෝ පුද්ගලයන්ගේ ආර්ථික හැසිරීම පිළිබඳ ව යම් පූර්ව සහ පශ්චාත් අවබෝධයක් ලබා ගත හැකි අතර ආර්ථික කළමනාකරණය සඳහා එම දැනුම ප්‍රයෝජනවත් වන බවට විවාදයක් නොමැත.

මෙම ආර්ථික විද්‍යා මූලධර්මයන් පරිණාමය වී ඇත්තේ මානව දර්ශන වාදීන් විසින් මිනිසාගේ ආර්ථික හැසිරීම් පිළිබඳ ව ප්‍රකාශ කරන ලද අදහස් ඔස්සේ ය. නූතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත් (1723-1790) විසින් රජයේ මැදිහත් වීමෙන් තොරව පුද්ගලයන් විසින් නිදහසේ හුදෙක් ස්වයං අභිවෘද්ධිය (ස්වාර්ථය) අරමුණ මත ආර්ථික ගනුදෙනුවල යෙදීමෙන් සමාජයට සැලසෙන වාසි පොදුජන අභිවෘද්ධිය පිණිස රජය විසින් වෙළෙඳපොළ/ආර්ථික ගනුදෙනු කෙරෙහි මැදිහත් වීමෙන් ලැබෙන වාසිවලට වඩා ඉහළ බවට දාර්ශනික අදහස් දක්වා ඇත. නූතන ආර්ථික විද්‍යා මූලධර්මයන් මෙම නිදහස් වෙළෙඳපොළ මූලධර්මයන් මත පදනම් වෙයි. 

මීට ප්‍රතිවිරුද්ධව, ආර්ථිකයට රජය මැදිහත් වීම හෙවත් රාජ්‍ය ආර්ථික කළමනාකරණය විවිධ සමාජ සුභසාධන දර්ශනයන්/චින්තනයන් මත පදනම් වී සිදු කෙරේ. ඒවා සමාජවාදය හෝ සමාජ වෙළෙඳපොළ ක්‍රමය හෝ සමාජවාදී වෙළෙඳපොළ ක්‍රමය හෝ ලෙස දේශපාලනික නායකයන් විසින් දෙන විවිධ ලේබල් මත ක්‍රියාත්මක කෙරේ.

මූලික ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුගමනය නොකළ බවට කෙරෙන විශේෂ චෝදනාවන්

ඊට නිදසුනක් ලෙස විදේශ විනිමය ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන් අනුව වෙළෙඳපොළ තුළ විනිමය අනුපාතය ක්‍රියාත්මක වීමට ඉඩ නොදී, මහ බැංකුව විසින් කෘතීම ලෙස එය පාලනය කිරීමට උත්සාහ කිරීම හේතු කොට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය පිරිහී යාම ඉදිරිපත් කෙරේ. වත්මන් ආර්ථික අර්බුදයේ මූල සාධකය මෙසේ මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය පිරිහී යාම බවට විවාදයක් නැත.

විනිමය අනුපාතය යනු ආර්ථික විද්‍යා මූලධර්මයන්ට යටත් විනිමය වෙළෙඳපොළ බලවේගයන් අනුව තීරණය විය යුතු ආර්ථික විචල්‍යයක් බව විනිමය කළු කඩය උදාහරණයක් ලෙස ගෙන ඔවුන් විසින් පෙන්වා දෙයි. ඒ අනුව, විනිමය අනුපාතය බොහෝ කාලයක් කෘතීම ලෙස වෙළෙඳපොළ බලවේගවලින් පිටත ස්ථාවර මට්ටමක පාලනය කොට, පසුව මහ බැංකුව විසින් පසුගිය මාර්තු 7 දින හදිසියේ එක්වර ඉන් ඉවත් වීම හෙවත් විනිමය අනුපාතය පා කිරීම හේතු කොට වත්මන් ආර්ථික අර්බුදයේ දෙවන රැල්ල හට ගෙන ඇති බවට ඔවුන් විසින් චෝදනා කෙරේ.

මෙම ආර්ථික අර්බුදය මෙන්ම ගෝලීය සාධක තුළ හට ගෙන ඇති වත්මන් අධි උද්ධමන පීඩනය මැඩලීම සඳහා නව මහ බැංකු අධිපති විසින් මහ බැංකු පොලී අනුපාතය ඓතිහාසික ලෙස එකවර 7% කින් ඉහළ දැමීම ද වෙළෙඳපොළ මත පදනම් වූ විචක්ෂණ ආර්ථික ප්‍රතිපත්තියක් බවට බොහෝ ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රසංශා කෙරෙන අතර මහ බැංකු අධිපති මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යා මහාචාර්ය වරයකු පැවසුවේ මෙසේ පොලී අනුපාතය ඉහළ දැමීම හැර වෙනත් ප්‍රධාන පියවරක් මහ බැංකුවට නොමැති බව යි. තවද, එම මහාචාර්ය වරයා පැවසුවේ මෙම ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා මහ බැංකුවට කළ හැක්කේ සීමිත කාර්යයක් බවත්, ඒ සඳහා බොහෝ වගකීම ඇත්තේ මහ බැංකුවෙන් පිටත බවත් ය. එහෙත්, විවිධ පනත් තුළින් මහ බැංකුව වෙත පැවරී ඇති ආර්ථික ප්‍රතිපත්ති බලතල දෙස බලන විට ඉහත දැක්වූ අදහස් දෙකම පිළි ගත නොහැකිය.

සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් දක්වන්නේ මහ බැංකු පොලී අනුපාතය තවදුරටත් 25% දක්වා ඉහළ දැමිය යුතු බව යි. උද්ධමන පීඩනය මැඩලීම සඳහා මෙසේ පොලී අනුපාතය ඉහළ දැමීම කෙරෙන්නේ, පැරණි මුදල් ප්‍රමාණ වාදී ආර්ථික මූලධර්මයක් හිස මුදුණින් පිළි ගැනීම මත ය. ඊට හේතුව, උද්ධමනය යනු මූල්‍ය සංසිද්ධියක් හෙවත් මුදල් සංසරණය ඉහළ යාමේ ප්‍රතිඵලයක් බව එම මූලධර්මයෙන් පිළි ගැනීම යි. එම පැරණි ආර්ථික විද්‍යා මූලධර්මය පිළි ගෙන මහ බැංකු පොලී අනුපාතය තවදුරටත් 25% දක්වා ඉහළ දැමුව හොත්, ආර්ථිකයට සහ පොදුජනයට සිදු වන ව්‍යසනය අවබෝධ කර ගැනීමට ආර්ථික විද්‍යා න්‍යායන් අවශ්‍ය නොවේ.

එසේම, රාජ්‍ය ණය අර්බුදය ද ණය සේවාකරණය පිණිස රාජ්‍ය ආදායම් ඉපයීමට හැකි වන ලෙස ණය රැස් කිරීම සහ උපයෝජනය කිරීම කළ යුතු බවට දැක්වෙන සාමාන්‍ය ආර්ථික මූලධර්මය අනුගමනය නොකිරීම හේතු කොට හට ගෙන ඇති බව දැක්වෙයි.

එසේම, රාජ්‍ය ව්‍යවසායන් අධික ලෙස අලාභ වීමත්, එමගින් රාජ්‍ය වියදම ඉහළ යාමටත් හේතුව ආර්ථික විද්‍යා මූලධර්මයන් මත, එනම් කාර්යක්ෂමතාවය සහ ලාභ අරමුණු කොට, ඒවායේ ව්‍යාපාරික කටයුතු සංවිධානය සහ මෙහෙය වීම සිදු නොවන නිසා බව දැක්වෙයි.

ආර්ථික කළමනාකරණයට අදාළ ව්‍යවස්ථාපිත ආර්ථික මූලධර්ම සහ නීති පද්ධතිය

ඉහත දැක්වූ චෝදනාවන් විග්‍රහ කිරීමේ දී අප විසින් විමසිය යුත්තේ, එසේ වෙළෙඳපොළ හෝ ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව ක්‍රියාත්මක වන ආර්ථිකයක් සහ ආර්ථික කළමනාකරණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ පවතී ද? යන්නය. එය එසේ නොවේ. ඊට ප්‍රධාන හේතු දෙකකි. පළමුව, වෙළෙඳපොළවල සැබෑ හැසිරීම ආර්ථික විද්‍යා මූලධර්මවලින් පුරෝකතනය කෙරෙන හැසිරීම්වලට වඩා වෙනස් වෙයි. 

දෙවනුව, ශ්‍රී ලංකාවේ මහජන ආර්ථික ක්‍රියාකාරකම් හෝ වෙළෙඳපොළ හැසිරීම් රාජ්‍ය නීති රාශියකින් පාලනය වන අතර වෙළෙඳපොළ බලවේගයන් වන ඉල්ලුම සහ සැපයුම එම නීති පද්ධතියෙන් සිමා කෙරේ. එම නීති ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාපිත බලතල ලබා ඇති රාජ්‍ය සේවා ආයතන සහ නිලධාරීන් පද්ධතියක් ක්‍රියාත්මක වන අතර එම ආර්ථික නීති, අදාළ සේවා ආයතන සහ නිලධාරීන් පිළිබඳ ව ලැයිස්තුවක් සැකසීම ද ඉතා අසීරු වෙයි.

මෙම නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තු පනත් මගින් සම්මත වී ඇත. එනම්, මහජනයා විසින් ඡන්දයෙන් පත් කොට පාර්ලිමේන්තුවට යවන ලද නියෝජිතයන් විසින් මහජන අභිවෘද්ධිය පිණිස ඒවා සම්මත කොට ඇත. ඒවා මගින් මහජනයාගේ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි රජය මැදිහත් වන ආකාරය හෙවත් ආර්ථිකය කළමනාකරණය කෙරෙන ආකාරය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ කාණ්ඩ කොට විග්‍රහ කළ හැකිය.

එබැවින්, වත්මන් ආර්ථික අර්බුදය හට ගැනීමට හේතු වූ සාධක හඳුනා ගැනීම කළ හැකි වන්නේ, රාජ්‍ය ආර්ථික කළමනාකරණයට අදාළ ආර්ථික නීති මොනවා ද? ඒවා නිසි ලෙස අදාළ බලය ලත් රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කොට තිබේ ද? යන්න විමර්ශනය කිරීමෙනි. ඊට හේතුව, එම නීති නිසි ලෙස ක්‍රියාත්මක වී ඇත්නම් මෙතරම් දරුණු ආර්ථික අර්බුදයක් හට ගැනීමට අවකාශයක් නොමැති වීම යි.

එම සෑම නීතියක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථානුකූලව පිළි ගත් ආර්ථික මූලධර්මයන්, ඊට අදාළ ආර්ථික නීති, එම තීරණයන් ගැනීමට බලය ලත් ආයතන සහ/හෝ නිලධාරීන් සහ ඔවුන්ට ලබා දී ඇති අභිමතයන් එම නීතිවලට අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවල අඩංගු වෙයි. එබැවින්. අදාළ ආයතන සහ නිලධාරීන් විසින් අදාළ ආර්ථික නීති ක්‍රියාත්මක කිරීම අදාළ ව්‍යවස්ථාපිත ආර්ථික මූලධර්මයන් සහ අභිමතයන්ට අනුකුළ පරිදි  සිදු කළ යුතුය. 

මෙහිදී, අභිමතයන් භාවිතා කිරීම තම චින්තනයන් හෝ සංකල්පයන් හෝ මුලධර්මයන් මත පදනම් වන අතර නීති බිඳ දමමින් අභිමතයන් භාවිතා කිරීමට බලතල රාජ්‍ය නිලධාරීන්ට නොමැත. එබැවින්, තම ප්‍රතිපත්ති තීරණයන් ක්‍රියාත්මක කිරීම තුළින් අදාළ නීතිවලින් අපේක්ෂා කෙරෙන පරිදි මහජනයා කෙරෙහි ඇති කෙරෙන සමස්ත සුභසාධනය පිළිබඳ නිරන්තර ඇගයීමක් නොමැතිව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ද අභිමතයන් නීති විරෝධී ලෙස භාවිතා කිරීමක් ලෙස සැලකිය හැකිය. මෙම ඇගයීම කෙරෙන ආකාරය පිළිබඳ ව මනා පරිචයන් ද රාජ්‍ය සේවයේ දැකිය හැකිය. 

උදාහරණ වශයෙන් මහ බැංකු විදේශ සංචිතය හීන වී ආර්ථික අර්බුදයක් හට ගන්නා තෙක් විනිමය අනුපාතය හෙවත් විදේශ විනිමය මිල ස්ථාවර මට්මක පාලනය කිරීමත්, එය හිටි හැටියේ පා කිරීමත්, එසේ පා කරන ලද විනිමය අනුපාතය තවත් ආර්ථික සහ උද්ධමන අර්බුදයක් ඇති කරද් දී නිකන් බලා සිටීමත්, ව්‍යවස්ථාපිත ලෙස තම අභිමතයන් භාවිතා කිරීම ලෙස සැලකිය නොහැකිය.

එසේමආර්ථික නීති ව්‍යවස්ථාපිත නීති වන බැවින් රාජ්‍ය නිලධාරීන් විසින් ඒවා කැඩීම හේතු කොට මහජනයාට මුහුණ දීමට සිදු වන ආර්ථික පාඩු සහ අවාසි පිළිබඳ ව අදාළ නිලධාරීන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් ද නීති පද්ධතිය තුළ තිබිය යුතුය. මේවා හුදෙක් මෑත කාලයේ සිදු වූවාක් මෙන් දේශපාලනික අරමුණු මත අදාළ දේශපාලනික නායකයන් නිදහස් කොට, තෝරා ගත් නිලධාරීන් කිහිප දෙනෙකු පමණක් වෙත අසාධාරණ අපරාධ චෝදනාවන් ගොනු කොට ඔවුන් පීඩාවට පත් කිරීම සඳහා නොව සාධාරණ නෛතික චෝදනාවන් මත සිදු කිරීම අවශ්‍ය වෙයි. 

උදාහරණ ලෙස හිටපු මහ බැංකු අධිපති විසින් පසුගිය ජනවාරි මස 18 දින ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරයක් ආපසු ගෙවීමේ දී සිදු වී ඇති නීති කැඩීමක් හෝ වංචාවක් පිළිබඳ ව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෞද්ගලික නඩුවක් පැවරීම පිළිබඳ ව මාධ්‍යය විසින් වාර්තා කොට ඇත.

ඒ අනුව විග්‍රහ කිරීමේ දී, නව මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් විසින් වත්මන් ආර්ථික අර්බුදයෙන් මහජනතාව ගොඩ ගැනීම සඳහා හදිසියේ ක්‍රියාත්මක කරන ලද ඉහත දැක්වූ ප්‍රතිපත්ති දෙක (7% කින් පොලී අනුපාතය ඉහළ දැමීම සහ රාජ්‍ය විදේශ ණය සේවාකරණය පැහැර හැරීම) ද, ව්‍යවස්ථාපිත ආර්ථික මූලධර්ම සහ නීතිවලට අනුකූල නොවූ බවත්, එමගින් පොදුජනයාට මූල්‍ය න්‍යායන් මගින් තක්සේරු කිරීමට අපහසු තරම් විශාල ආර්ථික අලාභයන් ඇති වූ බවටත් තාක්ෂණික කරුණු රැසක් ඉදිරිපත් කළ හැකිය. උදාහරණ ලෙස ඉහත දැක්වූ පරිදි රාජ්‍ය ණය පොලිය 9% කින් ඉහළ යාම හේතු කොට රජයට දැරීමට සිදු වන අතිරේක පොලී පිරිවැය අවසානයේ මහජනතාවට දැරීමට සිදු වෙයි.

[ව්‍යවස්ථාපිත ආර්ථික මූලධර්ම සහ නීති පිළිබඳ නෛතික පසුබිම සහ රාජ්‍ය ණය, විනිමය අනුපාතය, විදේශ සංචිතය සහ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ ව්‍යවස්ථාපිත ආර්ථික මූලධර්ම සහ නීති කැඩීම පිළිබඳ කෙටි විග්‍රහයක් ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.]

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි