වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ආර්ථික නීති පැහැර හැරීමේ ප්‍රතිඵලයක් ද?

 


පොදුජන ආරක්ෂණ නීති පද්ධතිය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කොට ගත් පුළුල් නීති පද්ධතියක් සහ එය ක්‍රියාත්මක කරනු ලබන රට පුරා ව්‍යාප්ත වූ රාජ්‍ය අධිකාරීන් පද්ධතියක් පවතින බව රහසක් නොවේ.

මෙම පද්ධතියෙන් කොටසක් රටේ පොදුජන ප්‍රජාතන්ත්‍රවාදය, ආරක්ෂාව සහ සාමය පවත්වා ගෙන යාම සඳහා වන අතර අනෙක් කොටස පොදු මහජනතාවගේ ආර්ථික සුභසාධනය ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සඳහා පවතී.

මෙම නීති පද්ධතිය මගින් පොදු යහපත අරමුණු කොට පුද්ගලයන්ගේ හැසිරීම කෙරෙහි විවිධාකාරයෙන් මැදිහත් වීමේ බලතල රාජ්‍ය අධිකාරීන් වෙත පැවරී ඇත. මෙම රාජ්‍ය නීති සහ අධිකාරින්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් ඇතුළු වගකීම් කාර්යසාධනය විගණනය කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පුළුල් බලතල සහිත රාජ්‍ය විගණකාධිපති වරයෙකු සිටී. එසේම, අදාළ නීති අපහරණය පිළිබඳ ව විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිණිස නීතිපති ප්‍රමුඛ නීති බල ගැන්වීමේ රාජ්‍ය යාන්ත්‍රණයක් පවතී.

වත්මන් ආර්ථික අර්බුදය සහ ආර්ථික නීති පැහැර හැරීම

ශ්‍රී ලංකාවේ පොදුජනයා මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදය සහ ඊට දායක වී ඇති හේතූන් පිළිබඳ විවිධ අර්ථකතනයන් පවතී. මෙම ආර්ථික අර්බුදය මූලික වශයෙන් රාජ්‍ය ණය, විදේශ සංචිතය, විනිමය අනුපාතය, විදේශ මුදල් සැපයුම, මුදල් මුද්‍රණය/මූල්‍ය ප්‍රතිපත්තිය, විදුලිය, ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ හා සේවා සැපයුම/බෙදා හැරීම යනාදී රාජ්‍ය අධිකාරින්ගේ දැඩි නියාමනයට යටත් ආර්ථික අංශයන්ගේ අර්බුදයක් බවට විවාදයක් නොමැත.

එසේම, තවදුරටත් විග්‍රහ කිරීමේ දී මෙම අර්බුදයේ මූලය වනුයේ මහ බැංකුවේ ඍජු නියාමනයට සහ පාලනයට යටත් රාජ්‍ය විදේශ ණය, විදේශ සංචිතය, විනිමය අනුපාතය සහ විදේශ මුදල් සැපයුම/වෙළෙඳපොළ යනාදිය බව ද රහසක් නොවේ.

එබැවින්, මෙම ආර්ථික අර්බුදය යනු එම නීති ක්‍රියාත්මක කිරීම අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් පැහැර හැරීමේ ප්‍රතිඵලයක් විය යුතුය. එම අධිකාරීන් නොසිටියේ නම්, මහජනතාව විසින් ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත් විසින් විග්‍රහ කොට ඇති පරිදි තරගකාරී වෙළෙඳපොළ පද්ධතිය හරහා එම ආර්ථික අවශ්‍යතාවන් ඉටු කර ගනු ඇත. උදාහරණ ලෙස දැනට විදේශ විනිමය වෙළෙඳපොළේ සිදු වන්නේ එය යි. එවැනි වෙළෙඳපොළ ක්‍රියාවලියක් පොදුජන යහපතට යෝග්‍ය නොවන බවට රජයේ පවතින විශ්වාසය හේතු කොට එසේ ආර්ථික නීති පද්ධතියක් රජය විසින් හඳුන්වා දී ඇත.

උදාහරණ ලෙස මහ බැංකුව විසින් විනිමය අනුපාතය සහ විදේශ සංචිතය පවත්වා ගැනීම පිළිබඳ මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන්, වගකීම් සහ බලතල අනුව ක්‍රියා කළේ නම්, මෙම අර්බුදය හට ගත නොහැකිය. මෙය එක රැයකින් සිදු වූ නීති කඩකිරීම් නොව කාලයක් තුළ සිදු වී ඇති කඩකිරීම්වල සමස්ත ප්‍රතිඵලයකි.

මෙහිදී, පොදුජන ආර්ථික යහපත සහ සුභසාදනය පිණිස අදාළ නීති ක්‍රියාත්මක කිරීම සඳහා අධිකාරී බලය ලත් මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් ජාලයක් පවතී. රාජ්‍ය නීති ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කළ යුතු මූලධර්මයන් ඉතා ප්‍රචලිත අතර සමහර ඒවා නීතිවලම දක්වා ඇත. එබැවින්, නීති ක්‍රියාත්මක නොකිරීම හෝ ක්‍රියාත්මක කරන ලද නීති අසාර්ථක වීම නිදහසට කරුණු නොවේ. එබැවින්, ඔවුන් විසින් එම නීති පැහැර හැරීම තුළින් වැරදි දෙකක් සිදු කොට ඇත.

  • පළමුව, ඔවුන් වෙත නීතිය මගින් පවරා ඇති මහජන විශ්වාසය කඩ කරීම තුළින් මහජන ආර්ථික ජීවිතය කඩා වැටීම හේතු කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කොට ඇති මහජන ආර්ථික සුභසාදනය සහ මූලික අයිතිවාසිකම් කඩකිරීමේ වරද සිදු කිරීම.

  • දෙවනුව, තම ව්‍යවස්ථාපිත මහජන වගකීම් ඉටු කිරීම සඳහා මහජන මුදලින් වැටුප් ලබා ඇති බැවින් එය මහජන මුදල්/පොදු දේපල අපහරණය කිරීමේ වරද සිදු කිරීම.

මෙය ආර්ථික නීති ක්‍රියාත්මක කිරීම භාර රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති අනුකූලතාවය අධීක්ෂණය භාර නීතිපති සහ විගණකාධිපති ට ද අයත් වෙයි.

මෙම ආර්ථික අර්බුදය දැනට සමාජ අර්බුදයක් බවට පත් වී ඇති අතර මෙම ආර්ථික නීති වසර ගණනාවක් භාරව සිටි සමහර ඉහළ රාජ්‍ය නිලධාරීන් පවතින රජයට වරද පටවමින් රජය අර්බුදයට පත් කරමින් හදිසියේ මහජන අපවාදයෙන් බේරීම සඳහා ඉල්ලා අස් වීමත්, එම ආර්ථික නීති වසර ගණනාවක් පැහැර හරින ලද තවත් නිලධාරීන් කොටසක් එම තනතුරුවලට නැවත පත් කිරීමත්, අදාළ අධිකාරීන් විසින් කරනු ලබන වරදක් වන අතර එය වත්මන් ආර්ථික සහ සමාජ අර්බුදයට කඩිනම් විසඳුමක් නොවනු ඇත. අර්බුදය හමුවේ සාර්ව ආර්ථික කළමනාකරණ නීති භාරව සිටි රාජ්‍ය නිලධාරීන් හදිසියේ ඉල්ලා අස්වීම සහ ඊට අවසර දීමත්, කාර්යසාධනය පිළිබඳ ව චෝදනා ලත් තවත් පුද්ගලයන් හදිසියේ එම නිලතලවලට පත් කිරීමත් මහජන විරෝධී ක්‍රියාවකි.

උදාහරණ ලෙස වර්ෂ 6 ක නිල කාලයක් සහිතව සාර්ව ආර්ථික කළමනාකරණ බලතල රැසක් හිමි මහ බැංකු අධිපති තනතුරට පසුගිය 5 වසර තුළ පුද්ගලයන් 4 දෙනකු පත් කිරීමට (මාස 7 ක් තුළ දෙදෙනෙකු) සිදු වීමෙන් (වර්ෂ 7 ක කාලය තුළ 5 දෙනෙකු) මහ බැංකුවේ සහ සාර්ව ආර්ථික කළමනාකරණයේ දුක්ඛිත තත්ත්වය වටහා ගත හැකිය. මෙවැනි වාතාවරණයක් තුළ මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට මහජනතාවට සිදු වීම පුදුමයක් නොවේ. එබැවින්, මහජන වගකීම් ඉටු කිරීමට නොව ඉහළ රාජ්‍ය තනතුරු සහ වරප්‍රසාදයන් බලා ගෙන එවැනි තනතුරු සඳහා පුද්ගලයන් ඉදිරිපත් වීමේ සම්ප්‍රදායට මහ බැංකු අධිපතිකම හොඳ උදාහරණයකි.

නීති පැහැර හැරීම විමර්ශනය සහ නිසි පියවර ගැනීම

මෙවැනි ආර්ථික සහ සමාජ අර්බුද අවස්ථාවල දී ඒ පිළිබඳ ව විද්වත් කමිටු පරික්ෂණයන් ලබා ගෙන එම අර්බුදයන් නැවත හට ගැනීම වැලැක්වීම සඳහා ක්‍රියා කිරීම මනා රාජ්‍ය පාලන පරිචයකි. ඒ මගින් මහජනතාව දැනුවත් වීම සහ මහජන විනය ප්‍රවර්ධනය ද සිදු වෙයි. මේ පිළිබඳ ව ශ්‍රී ලංකාවේ ජනාධිපති විමර්ශණ කොමිසන් සභාවන් ඉතා ප්‍රචලිත වෙයි. එබැවින්, වත්මන් පොදුජනයා මුහුණ දෙන ආර්ථික කම්කටොළු වෙන් කොට, ඒවා විමර්ශණය කිරීම සඳහා ජනාධිපති විමර්ශණ කොමිසන් සභාවන් කිහිපයක් පත් කිරීම ද කාලෝචිත වෙයි.

රාජ්‍ය ණය රැස් කිරීම සහ උපයෝජනය, බදු රැස් කිරීම, විනිමය අනුපාතය සහ විදේශ සංචිතය කළමනාකරණය, පොලී අනුපාත ප්‍රතිපත්තිය, අපනයන සහ විදේශ ආයෝජන ප්‍රවර්ධන සේවාවන් යනාදිය එසේ විමර්ශණය කළ යුතු රාජ්‍ය නීතිවලින් කිහිපයකි.

එසේම, පසුගිය සතියේ සමහර රාජ්‍ය අධිකාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් ඉල්ලුම් පත්‍රයන් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ බව වාර්තා විය. ආර්ථික නීති පැහැර හරින ලද රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ට එරෙහිව එවැනි ඉල්ලුම් පත්‍රයන් තව තවත් ඉදිරිපත් විය යුතු අතර එය රාජ්‍ය අධිකාරි පද්ධතිය පිළිබඳ ව මහජන විනය ප්‍රවර්ධනය කිරීමටත්, රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් සහ බලය සිමා වීමටත් හේතු වනු ඇත. එය රාජ්‍ය පාලන පද්ධතියේ පවතින බවට චෝදනා කෙරෙන දුෂණය පහළ දැමීමට ද උපකාරී වනු ඇත.

මෙහිදී, රාජ්‍ය අරමුදල්වලට සහ මහජනයාට සිදු වී ඇති පාඩුව එම නිලධාරීන්ගෙන් අය කර ගැනීමට ඇති හැකියාව ද විමර්ශනය කළ යුතුය. උදහරණ ලෙස 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය සමයේ තායිලන්ත මහ බැංකු අධිපති විසින් විනිමය අනුපාතය අවප්‍රමාණය නොවී කෘතීම ලෙස ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකු විදේශ සංචිතයෙන් ඩොලර් බිලියන 4.5 ක් පමණ යෙදවීම පිළිබඳ ව අධිකරණය විසින් මහ බැංකු අධිපති වැරදිකරු ලෙස තීරණය කොට එම විදේශ මුදල් ප්‍රමාණය ඔහුගේ පෞද්ගලික මුදලින් ප්‍රතිපූර්ණය කරන ලෙස නියම කරන ලදි. 

මෙහිදී නැගුන චෝදනාව වූයේ මහ බැංකු අධිපති විසින් අත්තනෝමතික ලෙස විනිමය අනුපාතය වෙනස් නොකොට තබා ගැනීමට උත්සාහ කොට පසුව පාවීමට ඉඩ හැරීම යි. අධිකරණය විසින් තීරණය කරනු ලැබුවේ එම වකවානුවේ විනිමය අනුපාතය එසේ පවත්වා ගැනීමට නොහැකි බව මහ බැංකු අධිපති වෙත පැවති ආර්ථික තොරතුරු පද්ධතිය අනුව ඉතා පැහැදිලි බව යි. එබැවින්, ඔහුගේ ක්‍රියාකලාපය අතිශයින් අත්තනෝමතික බව අධිකරණය විසින් තීරණය කරන ලදි.

එසේ නොවේ නම් මහජනයා මුහුණ දෙන මෙම ආර්ථික අර්බුදයට වග කිව යුතු රාජ්‍ය අධිකාරීන් රහසේම ඉල්ලා අස් වීම සහ විදේශ රටවලට ගොස් නිදහසේ ජීවත් වීම ඉඩ සැලසෙනු  ඇත. ඉහළ රාජ්‍ය තනතුරුවලට විදේශිකයන් සහ ද්විත්ව පුරවැසියන් පත් කිරීමේ දී මෙය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

එහෙත්, ශ්‍රී ලංකාවේ මහජනතාව අඩුම වශයෙන් ඉදිරි දශකය පුරා මෙම අර්බුදයේ ආදීනව විඳිනු ඇති අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය දශක 4 කට පමණ ආපස්සට ඇද දමනු ඇත. එය සමාජීය වශයෙන් ඉතාමත් අසාධාරණ දෙයකි. 

වත්මන් ඓතිහාසික දේශපාලන අර්බුදය සහ අස්ථායීතාවයට මූලික හේතුව රාජ්‍ය නිලධාරී පද්ධතිය විසින් අදාළ ආර්ථික නීති පැහැර හැරීම වන අතර මෙම දේශපාලන අර්බුදය තුළින් පොදුජන ජීවිතය තවත් කඩා වැටීමට පවතින අවදානම නොරහසකි.

රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යසාධනය සහ වගවීම තහවුරු කිරීමේ අවශ්‍යතාවය 

මහජනතාව විසින් පත් කෙරෙන රජයන් ක්‍රියාත්මක වන්නේ මහජනතාව විසින් පත් නොකරන ලද රාජ්‍ය නිලධාරීන් විසින් බැවින් රාජ්‍ය නිලධාරීන් විසින් නීති පැහැර හැරීම තුළින් රජයන් මෙන්ම මහජනතාව අර්බුදයට පත් වන බව වත්මන් ආර්ථික අර්බුදයෙන් මානව පැහැදිලි වෙයි. එබැවින්, රාජ්‍ය නිලධාරීන් පත් කිරීම සහ ඔවුන්ගේ කාර්යසාධනය ඇගයීම පිළිබඳ ව විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් අත්‍යාවශ්‍ය වෙයි.

බහුතර රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය පරිචය වනුයේ පවතින ලිපි ගොනු සහ ක්‍රමවේදයන් පවත්වා ගැනීම වන අතර වත්මන් අර්බුදය වැනි අවස්ථාවල තම නීති බලතල යොදා නව්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සම්ප්‍රදායික අලස කමක් පවතින බව රහසක් නොවේ. එසේම, එවැනි නව්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වන සුළු පිරිසක් වන නිලධාරීන් විවිධ දුෂණ චෝදනාවන්ට භාජනය කොට ඉවත් කිරීම ද මොවුන්ගේ කාර්යයක් වී ඇත.

තමන්ට ඕනෑ විදියට ක්‍රියා කිරීම සඳහා රජයෙන් ස්වාධීනත්වය ඉල්ලමින් රාජ්‍ය ප්‍රතිපත්ති කඩාකප්පල් කෙරෙන රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය/මහජන විරෝධී පිරිසක් වෙයි. ඊට හේතුව, ඔවුන් සතු මහජන බලය රාජ්‍ය නීති හරහා ලැබී ඇති අතර මහජන ප්‍රතිපත්ති මූලධර්ම මත තමන් වෙත පවතින නීති තුළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ වගකීම බැවිනි. එසේ නොහැකි නම් ඔවුන් විසින් ආරම්භයේ දීම රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වී, රාජ්‍ය බලතල නොමැති පෞද්ගලික රැකියාවල නිරත විය යුතුය.

මෙහිදී, රාජ්‍ය ප්‍රතිපත්තිවල ඒකාග්‍රතාවය සහ සම්බන්ධීකරණය රාජ්‍ය නිලධාරීන් අතර පවත්වා ගෙන යාම කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ වගකීම යි. එය නිසි ක්‍රියාත්මක නොවීමෙන් රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම් සහ කල්ලිවලට බෙදී ක්‍රියා කිරීමෙන් සාර්ව ආර්ථික කාර්යසාධනය සහ ස්ථායීතාවය අර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇති බව පැහැදිලිය. එය වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් බව රහසක් නොවේ. මේ දිනවල අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අර්ථ රහිත හැසිරීම දෙස බලන විට එය මැනවින් තහවුරු වෙයි. එබැවින්, ආර්ථික අර්බුදය සහ අස්ථායීතාවය සුපුරුදු ලෙස රටේ දේශපාලනික අර්බුදයක් බවට විකාශනය වී ඇත.

වත්මන් ආර්ථික අර්බුදය විසඳිම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ගත යුත්තේ ද ඒ සඳහා නීතිමය බලතල ඇති රාජ්‍ය නිලධාරින් ය. මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුවේ නිලධාරීන් ඒ අතර ප්‍රමුඛ වෙයි. එය පාර්ලිමේන්තුවේ දින ගණන් විවාද කිරීමෙන් ඵලයක් නොමැත. ඊට හේතුව, ඒ සඳහා විශේෂිත දැනුමක් මන්ත්‍රී වරුන් සතු නොවන බැවිනි. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ ඒ සඳහා නව නීති පැනවීමක් අවශ්‍ය වෙයි නම් පමණි. එහෙත්, අදාළ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ආර්ථික අර්බුදය විසඳිම ඉක්මන් කිරීම සඳහා අධික්ෂණය කිරීම පාර්ලිමේන්තුව සතු කාර්යයකි.

එහෙත්, මෙම නව නිලධාරීන් විසින් වත්මන් ආර්ථික සහ සමාජ අර්බුදය විසඳීමට අවශ්‍ය මූලික යෙදවුම වන ඩොලර් මුදල් ඔවුන්ගේ නිවසෙන් රැගෙන නොඑන අතර ඇලඩින්ගේ පුදුම පහන ද ඔවුන් සතුව නොමැත. අද දින (2022 අප්‍රේල් 6 දින) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ විමර්ශනය සඳහා පැමිණි මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ ඉහළ නිලධාරීන් විසින් වත්මන් ආර්ථික අර්බුදයේ වරද රජයට/විධායකයට පටවා බේරීමට තැත් කොට ඇති බව වාර්තා විය. එහෙත්, මහ බැංකුව සහ මුදල් මණ්ඩලය විධායකයෙන් බොහෝ ස්වාධින ආයතන වෙයි. වත්මන් ආර්ථික අර්බුදයේ මූල බීජය වන විනිමය අනුපාතය සහ විදේශ සංචිතය ඔවුන්ගේ ව්‍යවස්ථාපිත වගකීම් වන බැවින් ඔවුන් විසින් ඒවා පැහැර හැරීම මෙම සියළු අර්බුදයන්ට හේතුව බව ඉතා සරල කරුණකි. 

එබැවින්, නව නිලධාරීන් විසින් ද රාජ්‍ය වරප්‍රසාදයන් බුක්ති විඳීමෙන් පසුව රජයට දොස් පවරා නුදුරේ දීම ඉල්ලා අස්වීම සිදු වුව හොත් පුදුමයක් නොවේ. එබැවින්, පවතින ද්විත්ව අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම විකල්පය වනුයේ ජාතික කැක්කුම ඉදිරියට ඔසවමින් පොදුජන ජීවිතය/ජීවන මට්ටම දශක කිහිපයක් ආපස්සට යාමට සැලැස්වීම යි. එනම්, 1950-60 ගණන්වල පැවති සරල ජීවන මට්ටමට පොදුජනයා තල්ලු කළ හොත්, ඖෂධ, තෙල්, ගෑස්, විදුලිය සහ විදේශ විනිමය වැනි වත්මන් මූලික ප්‍රශ්නයන් සරලව විසඳෙනු ඇත. ඊට හේතුව, විදේශ රටවලට සංක්‍රමණය වීමට හැකියාවක් නොමැති පොදුජනයාට ඇති එකම විකල්පය වනුයේ කෙසේ හෝ මෙරට ජීවත් වීම වන බැවිනි.


(මෙම කෙටි ලිපිය පොදුජන අභිවෘද්ධිය පිණිස රාජ්‍ය අධිකාරීන් දැනුවත් කිරීමේ අරමුණින් ඉදිරිපත් කෙරේ.)

 

පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

 (හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 

 

 

 

 

 

 

 


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?