නව රජය ද මං මුළා කෙරෙන, විනිමය අනුපාතය සහ මහ බැංකු මුදල් සුදුව.

 

ලිපියේ අරමුණ සහ පසුබිම  

මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, දැනට විනිමය අනුපාතය පහළ යන බවට පතුරුවන සමාජ මාධ්‍ය ප්‍රවෘත්තිවලින් පදනම් විරහිත ලෙස උදම් වීමෙන්, ඉදිරියේ දී නව රජය ද මං මුළා විය හැකි වීමේ අවදානම හැඟවීම යි. මෙය අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් ද හොඳින් දන්නා විෂයකි.

  • මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඩොලරයේ විනිමය අනුපාතය කඩි මුඩියේ පහළ යාම, වත්මන් ආර්ථිකයෙහි සුවිශේෂී ලක්ෂණයකි (පහත රූපසටහන බලන්න). එය, හුදෙක් ගිය රජයේ IMF ආර්ථික ස්ථායිකරණ ප්‍රතිපත්තිවල සාර්ථක භාවය හුවා දැක්වීම සඳහා කළ නිර්මාණයක් මිස, නව රජයේ විශේෂ ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් නොවේ. විනිමය අනුපාතය යනු නව රජය කෙරෙහි විශ්වාසය හේතුවෙන් හැසිරෙන ආර්ථික විචල්‍යයක් ද නොවේ.
  • එහෙත්, පසුගිය ජනාධිපති මැතිවරණ වේදිකාවේ දී ගිය රජය විසින් දැක්වූයේ, නව රජයේ විනිමය අනුපාතය රුපියල් 400 දක්වා ඉහළ යා හැකි බව යි. ඒ සඳහා ගත වන කාලයක් නොදැක්වීය. එබැවින්, එය හුදෙක් ඉදිරිපත් වූ මැතිවරණ පොරොන්දු මත සැකසුන, ආර්ථික පදනම් පුරෝකථනයකි. එහි, විනිමය අනුපාතයේ අතීත හැසිරීමේ උපනති අත්දැකීම් ද අඩංගු වෙයි.

  • එබැවින්, පත් වී මාසයක් තුළ විනිමය අනුපාතය කඩි මුඩියේ රුපියල් 11 කින් පමණ (එනම්, 3.6% කින්) පහළ යාමේ ප්‍රවෘත්තියෙන්, නිසි තොරතුරු නොදැන නව රජය උද්දාමයට පත්වීම දේශපාලනික සියදිවි නසා ගැනීමකි. ඊට හේතුව, රජයන්ගේ පැවැත්ම කෙරෙහි විනිමය අනුපාතයෙන් ඇති කෙරෙන අනපේක්ෂිත භාවය යි. 2019 දී පත් වූ ලක්ෂ 69 ක රජයේ අනපේක්ෂිත විගමනයෙහි මූලය වූයේ ද, විනිමය අනුපාතය යි. මෙහි දී, බොහෝ දෙනා නොදන්නා කරුන වන්නේ, විනිමය අනුපාතය මෙහෙයවීම මහ බැංකුවේ මුදල් සුදුවක් වන අතර රජය එහි වින්දිතයෙකු වීම යි.

වත්මන් විනිමය අනුපාතය පිළිබඳ රජයේ ස්ථාවරය

පසුගිය 22 දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, විෂය දැනුවත් මාධ්‍ය වේදියෙකු විසින් කළ විමසුම මෙසේ ය.
  • දැනට පහළ යන විනිමය අනුපාතය තුළින් ආනයන වියදම කෙරෙහි ඇති කෙරෙන යහපත් බලපෑම ක්ෂණික නොවේ. ඊට කාලයක් ගත වෙයි.

  • එහෙත්, අපනයන කරුවන්ගේ ආදායම පහළ යාම ක්ෂණිකව සිදු වෙයි.

  • එබැවින්, අපනයන ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා පවතින තේ දළු සඳහා වූ රුපියල් 10 ක බද්ද වැනි යම් බදු පහළ දැමීමෙන්, අපනයන කරුවන්ට ක්ෂණික සහනයක් ලබා දිය හැකි ද?
ඒ පිළිබඳ ව රජය දැක්වූ ස්ථාවරය මෙසේ ය.
  • ඩොලරය රුපියල් 400 ට නගින බවට බිය කළ ද, දැන් එය පහළ යන අතර එය රටට විශාල වාසියකි.

  • ඉන් අපනයන කරුවන්ට ක්ෂණිකව ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වුව ද, පොහොර වැනි ආනයන අමුද්‍රව්‍ය වියදම පහළ යාමෙන්, දිගු කාලයේ දී පිරිවැය පහළ යාමෙන්, ඩොලරය පහළ යාමේ වාසිය වක්‍රව අපනයන කරුවන්ට ද ලැබෙනු ඇත.

  • බදු සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්විය යුතුය.

රජයේ ස්ථාවරයේ සදොස් භාවයට හේතු

  • ඉහත දැක්වූ විනිමය අනුපාතය පහළ යාමේ ආර්ථික වාසියට ප්‍රධාන සාධක දෙකකි.
    • පළමුව, ආනයන බිල් ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමේ දී ගෙවිය යුතු රුපියල් වියදම පහළ යාම හරහා අනයනවල දේශීය මිල ගණන් සහ උද්ධමනය පහළ යාමේ අපේක්ෂාව. 

    • දෙවනුව, රාජ්‍ය විදේශ ණය සේවාකරණයට අවශ්‍ය ඩොලර් මහ බැංකුවෙන් මිල දී ගැනීමේ දී ගෙවිය යුතු රුපියල් වියදම පහළ යාම තුළින් රාජ්‍ය අයවැය සහ දේශීය ණය කෙරෙහි යහපත් බලපෑම.

  • එබැවින්, අතීතය පුරාම රජය සහ මහ බැංකුව විසින් විනිමය අනුපාතය පහළ අගයක (එනම්, රුපියල අධි වටිනාකමක) මෙහෙයවීම සහ පාලනය කරනු ලැබුවේ, ඉහත දැක්වූ වාසිය අපේක්ෂාවෙනි. එහෙත්, ඉන් රටට සහ මහජනයාට දිගු කාලීන ආර්ථික වාසියක් සිදු වූ බවට කිසිම ආර්ථික පර්යේෂණ තොරතුරු නොමැත. තවමත් විඳවන 2022 ආර්ථික බංකොලොත් භාවයට සහ අර්බුදයට හේතුව පසුගිය දශක කිහිපය තුළ විනිමය අනුපාතය එසේ අධි වටිනාකමක මෙහෙයවීමේ සමුච්චිත බලපෑම බවට විවාදයක් නොමැත.

  • එබැවින්, ශ්‍රී ලංකා ආර්ථිකයේ දැඩි ආනයන රැඳියාව සහ දිගු කාලීන ගෙවුම් ශේෂ හිඟය හේතු කොට, විනිමය අනුපාතය එසේ යටපත් කළ නොහැක. එබැවින්, විනිමය අනුපාතය පාලනය කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවේදය වූයේ, රජය විසින් විදේශ ණය ගෙන, එම විදේශ මුදල් මහ බැංකු සංචිතයට සැපයීම හරහා ගෙවුම් ශේෂ හිඟය පියවීමට අවශ්‍ය විදේශ මුදල් සහන විනිමය අනුපාතයකට බැංකු වෙත සැපයීම යි. වර්තමානයේ සිදු වන්නේ ද එය යි. සුනඛ වලිගය කෙලින් කළත්, එය නිවැරදි කළ නොහැකිය. එබැවින්, වත්මන් විනිමය අනුපාතය පහළ යාම හුදු ඇස් බැඳුමක් පමණි.

  • විනිමය අනුපාතය යනු ඉතා සංකීරණ ආර්ථික විද්‍යා විෂයකි. විනිමය අනුපාතය ඉහළ හෝ පහළ යාම තුළින් ආර්ථිකයට ඇති වාසි අවාසි විග්‍රහ කිරීම, මූලික වශයෙන් රටෙහි ආනයන සහ අපනයන නම්‍යතාවයන් පිළිබඳ පරීක්ෂණ දත්ත මත කළ යුතුය (උදාහරණ ලෙස මාර්ෂල් ලර්නර් කොන්දේසිය). එහෙත්, ඒ පිළිබඳ නිශ්චිත නිගමනයන් පැවසීම ආර්ථික විද්‍යාඥයන්ට පවා අසීරු කාර්යයකි. එබැවින්, විනිමය අනුපාත පිළිබඳ ව කලින් කලට කෙරෙන මෙවැනි ප්‍රගති වාර්තාවන් හුදෙක් කෙටි කාලීන කථාන්දරයන් ය. 

  • රජයේ ස්ථාවරයෙහි දැක්වෙන දිගු කාලය කුමක් ද? යන්න නිශ්චිත නොමැති අතර අපනයන කරුවන්ට ඇති දිගු කාලීන වාසිය පසුවිපරම් කිරීමට වසර ගණනක කාලයක් අවශ්‍ය වනු ඇත. එහෙත්, අතීතයේ දී මෙන්, වැඩි කලක් නොගොස් විනිමය අනුපාතය නැවත ඉහළ යාම ආරම්භ වුව හොත්, එය ආනයන පිරිවැය ඉහළ යාම හරහා අපනයන කරුවන්ට දිගු කාලීන අවාසියක් බවට පත් වනු ඇත.

  • සමහර රජයන් විසින් විනිමය අනුපාතය කලින් කලට ඉහළ යාමට ඉඩ දෙන්නේ ද, එවැනි වාචික තොරතුරු මත ය. ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව ද අතීතයේ දී විනිමය අනුපාතය කඩි මුඩියේ ඉහළ යන අවස්ථාවල පැවසූ ස්ථාවරය, වත්මන් රජයේ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ වෙයි. එනම්, විනිමය අනුපාතය ඉහළ යාම තුළින් ආර්ථිකයට දිගු කාලීන වාසියක් ලැබෙන බව යි. විදේශ වෙළෙඳ හිඟය මත ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණ දෙන ශ්‍රී ලංකාව වැනි රටවලට නිර්දේශ කෙරෙන්නේ, විනිමය අනුපාතය ක්‍රමයෙන් ඉහළ යාමට (දේශීය මුදල අවප්‍රමාණය හෝ අව අගයක පවත්වා ගැනීම) ඉඩ දීම යි. එය, විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල එක් මෙවලමකි. මෙය විශේෂයෙන් චීනය අනුගමනය කළ ප්‍රතිපත්තිය යි. එහි යහපත් බලපෑම වනුයේ, 
    • අපනයන දිරි ගැන්වීම සහ ආනයනය අධෛර්යමත් වීම හරහා ගෙවුම් ශේෂ හිඟය පහළ යාම.

    • විදේශ සංචිතය ආරක්ෂා වීම සහ ඉහළ යාම.

  • එහෙත්, විනිමය අනුපාතය ඉහළ යාමෙන් එවැනි වාසියක් පසුගිය 74 වසරක දී ශ්‍රී ලංකාව අත් දැක නොමැත. සැබෑ ලෙස සිදු වූයේ, අඛණ්ඩව විදේශ ණය ගෙන, එම මුදල්වලින් විනිමය අනුපාතය පාලනය කොට, ගෙවුම් ශේෂ හිඟයන් පියවීමත්, සමහර වර්ෂවල එම ණය මගින් ගෙවුම් ශේෂ අතිරික්තයක් නිර්මාණය කොට, එමගින්, වත්මන් රජයේ ස්ථාවරයට සමානව විනිමය අනුපාතය කෙටි කාලීනව පහළ දැමීමත් ය. එහි සමුච්චිත ප්‍රතිඵලය වූයේ, රජය සහ මහ බැංකුව විසින් 2022 අප්‍රේල් 12 දින විදේශ ණය පැහැර හැර, මහජනයා ආර්ථික අර්බුදයකට තල්ලු කිරීම යි (විශේෂ ලිපිය මෙතනින් කියවන්න.). එහි බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා විහිදෙනු ඇත.
  • එබැවින්, වත්මන් විනිමය අනුපාතය පහළ යාම යනු, රජය සහ මහ බැංකුවේ මැජික් බලයක් නොව, විදේශ ණය පැහැර හැරීමෙන් ඉතිරි වූ විදේශ මුදල් සහ IMF ණය මුදල් මගින් මහ බැංකු සංචිතය හරහා කෙරෙන මුදල් සුදුවකි. රජය නව වුව ද, එම මුදල් සුදුව පැරණි එකකි.
  • එබැවින්, වත්මන් ආනයන සහ ඩොලර්කරණ ආර්ථික ව්‍යුහයේ කිසිම වෙනසක් නොමැතිව, වත්මන් ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම් අනුව 2028 දී විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කළ විට, විනිමය අනුපාතයට සිදු වන දෙය පොදු රහසකි. ගිය රජය විසින් එළි දැක්වූ රුපියල් 400 ක පුරෝකථනයේ පදනම එය යි. එයට අතීතය සාක්ෂි දරනු ඇත (පහත රූපසටහන බලන්න). එය රුපියල් 400 න් නැවතුනොත් රටට වාසියකි. ඊට හේතුව, ඉතිරි IMF ණය වාරික ටික හැර, රටට විශේෂයෙන් ඩොලර් එන මූලයන් ගැන කිසි විශ්වාසයක් හෝ ඇස්තම්නේතුවක් නොමැති බැවිනි.
  • එබැවින්, මහ බැංකුවේ පැරණි මුදල් සූදුවට හසු වී, නිසි තොරතුරු පරීක්ෂා නොකොට, රජය විසින් මෙසේ වේදිකාවන් ඉදිරිපිට ක්ෂණික ආර්ථික ස්ථාවරයන් නිකුත් කිරීම යනු, "මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ බව ට" ප්‍රචලිත කියමන මතක් කිරීමකි.

නිගමනය සහ නිර්දේශය 

  • විනිමය අනුපාතය, ගෙවුම් ශේෂය සහ විදේශ සංචිතය යනු ස්වාධීන මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම් වෙයි. ඒවා හුදෙක් මහ බැංකු මුදල් ප්‍රතිපත්තියට අනුබද්ධ අංගයන් වෙයි. එබැවින්, රජයට එහි කිසිම කාර්යයක් නොමැත.  රජය විසින් වෙළෙඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඊට පරිබාහිර කාර්යයකි.

  • එබැවින්, ඒවායේ ප්‍රගතිය හෝ උපනතිය විග්‍රහ කිරීම හෝ ඒවාට අනුබල දීමෙන් රජය ඉවත් වීම යෝග්‍ය වෙයි. විශේෂයෙන් විනිමය අනුපාතය සහ විදේශ සංචිතය පාලනය සඳහා විදේශ ණය ගැනීමෙන් රජය ඉවත් විය යුතුය. එසේ නොවීම, මහ බැංකු ස්වාධීනත්වයට අත පෙවීමකි.

  • එසේම, මහ බැංකුව විසින් ඈත අතීතයේ සිට සිදු කෙරෙන විදේශ මුදල් ගනුදෙනු ආශ්‍රිත අභ්‍යන්තරික අරමුණු සහ උපක්‍රමයන් පිළිබඳ කිසිම දැනුමක් හෝ තොරතුරක් රජයට නොමැත. එය, මහ බැංකුව විසින් නිරන්තරයෙන් දක්වන ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන්ට වඩා හාත්පසින් වෙනස් ය. නිල විදේශ විනිමය වෙළෙඳපොළ මහ බැංකුව විසින් බලපත්‍ර දී ඇති බැංකු සහ මහ බැංකුව අතර සිදු වන බැවින් එය මහ බැංකු ඒකාධිකාරී වෙළෙඳපොළකි. එහි මිල වන විදේශ විනිමය අනුපාතය මහ බැංකු පාලන මිලක් වන අතර එය ආර්ථික සාධක මගින් තීරණය වන මිලක් නොවේ. 2021 දී විදේශ සංචිතය කඩා වැටෙද් දී, විනිමය අනුපාතය රුපියල් 200 ලෙස ද, විදේශ සංචිතයක් ද නොමැතිව 2022 මැයි මස සිට වර්ෂය පුරාම විනිමය අනුපාතය රුපියල් 360-365 ලෙස ද පවත්වා ගනු ලැබුවේ ඒ ආකාරයෙනි. සහල් මිල ද එවැනි පෞද්ගලික ඒකාධිකාරී මිලකි. ඩොලර් මිල සහ සහල් මිල යන මිල ගණන් දෙකම ආර්ථිකය සහ මහජන ජීවන තත්ත්වය කෙරෙහි අසීමිත බලපෑමක් කෙරෙන බැවින් මෙම මිල ගණන් දෙකම කෙරෙහි නිසි නෛතික අවේක්ෂණයක් අවශ්‍ය ය.

  • එබැවින්, මෙම විදේශ විනිමය වෙළෙඳපොළ පිළිබඳ රජය විසින් ස්ථාවරයන් දැරීමට ක්‍රියා කිරීම යනු සියළු මහ බැංකු දෝෂයන් රජය පිටින් යාමේ අවදානම දැරීමකි. එය රජයේ ඉදිරි පැවැත්මට බොහෝ හානි කර බව කිව යුතු නැත (විශේෂ ලිපිය මෙතනින් කියවන්න). 2022 විදේශ මුදල් සහ ණය අර්බුදයට මහ බැංකුව විසින් දොස් තැබුවේ එවක රජයට ය. එහෙත්, මහජන වගකීම පැහැර හැරියේ මහ බැංකුව යි.

  • එබැවින්, රජයේ කාර්යය විය යුත්තේ, හුදෙක් විනිමය අනුපාතය, ගෙවුම් ශේෂය සහ විදේශ සංචිතය පිළිබඳ මහ බැංකු කාර්යසාදනය පරික්ෂා කිරීම පමණි. 
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස