IMF ණය - දේශපාලනික ගැලවුම්කරු ද? මහජන ගැලවුම්කරු ද?

ලිපියේ අරමුණ සහ පසුබිම 

මෙම ලිපියේ අරමුණ වනුයේ, IMF ණය යනු ආර්ථික අර්බුදයෙන් පොදුජනතාව බේරා ගැනීමේ ණයක් නොව, අර්බුදයෙන් රාජ්‍ය දේශපාලනික පංතිය රැකීමේ ණයක් බවට කරුනු කිහිපයක් ඉදිරිපත් කිරීම යි. එහි පසුබිම මෙසේය.

  • මහජනයා විසින් පසුගිය සැප්තැම්බර් 21 දින ඡන්දයෙන් පෙරළා දැමූ, ගෝලීය ධනවාදී මූල ධර්මයන්ට ගරු කළ රජය විසින් නිරන්තරයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් සහ බංකොලොත් භාවයෙන් රට සහ ජනතාව බේරා ගැනීමේ එකම විකල්පය IMF බව යි.

  • එසේම, ගෝලීය මාක්ස්වාදී/සමාජවාදී මූල ධර්මයන්ට ගරු කරන නව රජය ද, ඉතිරි IMF ණය මුදල ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියා කරන බව පසුගිය දිනවල නිකුත් වූ රජයේ සහ IMF පුවත්වලින් වාර්තා විය. එසේම, මේ දිනවල IMF ඩොලර් ජාලයට අනුබද්ධ ගෝලීය ධනවාදී පාර්ශවයන් රැසක් ද නව රජයට සෙත් පැතීමේ විවිධ ක්‍රියා මාර්ගයන්හි නිරත බව වාර්තා වෙයි. එහි කොටසක් ලෙස ඊළඟ IMF ණය වාරිකය ද ඉක්මන් තෑග්ගක් ලෙස ලැබෙනු ඇත. එය විජ්ජාවක් මිස විද්‍යාවක් නොවේ.

  • අනපේක්ෂිත ලෙස විදේශ සංචිතය ඉහළ යාම, විනිමය අනුපාතය රුපියල් 300ට වඩා පහළ යාම, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් පහළ යාම මෙන්ම කොටස් වෙළෙඳපොළ හදිසියේ ඉහළ යාම පිළිබඳ ප්‍රශංසාවන් දැකිය හැකිය. ඒවා ඉදිරියේ දී කිසිම නව ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව වුව ද, දේව බැල්මෙන් මෙන් තවත් හොඳ වනු ඇත. එහෙත්, පසුගිය රජය විසින් ප්‍රකාශ කරනු ලැබූවේ, මේවා අනෙක් පැත්තට ගොස්, රට නැවතත් 2022 ආර්ථික අර්බුදයට ඇද දමන බව යි.

  • නව ප්‍රශංසාවලින් කියවෙන්නේ, නව රජය විසින් අඛණ්ඩව IMF සමඟ ඉදිරියට යාම තුළින් ආර්ථිකය අඛණ්ඩව අර්බුදයෙන් ගොඩ එන බව යි. එහෙත්, එය සාවද්‍ය වැටහීමකි.

IMF ණයක අරමුණ කුමක් ද?

  • IMF ණයක් යනු විදේශ සංචිත සහ ණය අපහසුකම්වලට මුහුණ දෙන රජයන්ට දෙන මැදි කාලීන ණයකි. එම ණය මුදලින් විදේශ සංචිතය නැවත ගොඩ නගා, විනිමය අනුපාත පීඩනය පහළ දැමීම සිදු වෙයි. නව ණයවලින් අයවැය පියවීමට උපකාරකයන් ද ලැබේ. ලෝක බැංකුව සහ විදේශ මූල්‍ය ආයෝජකයන් ද IMF විශ්වාසය මත ඩොලර් ආයෝජනයන් කිරීම ද ඊට ආධාරකයක් වනු ඇත.

  • IMF ණය කොන්දේසි සියල්ලම පාහේ රාජ්‍ය අයවැය හිඟය සහ ණය පහළ දැමීම හෙවත් අයවැය ප්‍රසාරණය කප්පාදු කිරීම සඳහා යොමු වී ඇත. එමගින්, රාජ්‍ය දේශපාලනික පාලන ක්‍රමයේ මුදල් අර්බුදය IMF ආර්ථික මතවාදයට අනුව තාවකාලිකව තුනී කිරීමක් සිදු කෙරේ. ඉන් ගොඩ එන්නේ රජය මිස, ආර්ථිකය සහ මහජනයා නොවේ. ඒ හැර වෙනත් සාර්ව ආර්ථික විද්‍යා න්‍යායක් නොමැත. 

  • IMF ණයවලින් ගොඩ ආ ආර්ථිකයන් ලෝකයේ නොමැත. ශ්‍රී ලංකාව ද 16 වැනි IMF ණය වැඩසටහන අවසන් වීමෙන් පසුව මාස ගණනකික් ආර්ථික අර්බුදයට හසු වූයේ, ව්‍යුහාත්මක ආර්ථික අවදානම් නිවැරදි කිරීමට IMF ණය වැඩසටහන්වලට නොහැකි බැවිනි. එහෙත්, නව ඩොලර් ණය ටිකක් ගෙන ආර්ථික ඩොලර්කරණයට නව මුක්කුවක් ගැසිය හැකිය.(මෙතනින් ලිපිය කියවන්න)

  • එය, හුදෙක් මුදල් හිඟයකට විසඳුම් ලෙස බැංකුවකින් ණයක් ලබා ගැනීමට යන ව්‍යාපාරික සමාගමක මූල්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය සඳහා බැංකුව විසින් පනවන ණය කොන්දේසිවලට සමගාමී ක්‍රියාවකි. ඉන් සමාගමේ සේවකයන්, අයිතිකරුවන්, පාරිභෝගිකයන් සහ වෙළඳපොළට ඇතිවන බලපෑම ගැන බැංකුවට කිසි කනස්සලක් නැත. බැංකුවේ හුදු අරමුණ වනුයේ, ණය දීම තුළින් බැංකුවේ ව්‍යාපාරික වාසිය තහවුරු කර ගැනීම යි.

IMF ණයක ආර්ථික සහ මහජන විපත කුමක් ද?

ගෝලීය ආර්ථික කළමනාකරණ මූල ධර්මයන්ට අනුව රාජ්‍ය අයවැය යනු ආර්ථිකය සහ මහජන ජීවන තත්ත්වය ඉහළ දැමීමට රජයේ මැදිහත් වීමේ එකම ප්‍රජාතාන්ත්‍රික වාහකය යි. බදු, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය, රාජ්‍ය ව්‍යවසායන් සහ වෙළෙඳපොළ නියාමනයන් යන ප්‍රතිපත්ති මෙවලම් සියල්ල අයවැය තුළ තීරණය වෙයි. ඒ අනුව, ආර්ථිකයේ මුදල් සංසරණය, නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ආදායම් ව්‍යාප්තිය රාජ්‍ය අයවැයේ සෘජු ප්‍රතිඵලයන් ය. එබැවින්, අයවැය කප්පාදු කොට, රජයේ මුදල් අවකාශය සීමා කළ විට, සමස්ත ආර්ථික සහ මහජන ජීවන තත්ත්වයට මරු පහරක් වදිනු ඇත.

  • උදාහරණ ලෙස ආර්ථිකයේ නිෂ්පාදන, රැකියා සහ පරිභෝජන ක්‍රියාකාරකම් අධික ලෙස රජයට භාණ්ඩ හා සේවා සැපයීමේ ක්‍රියාවලිය මත රඳා පවතී. එමගින්, ආර්ථිකයෙහි ගුණාකාර ආදායම් ප්‍රසාරණයක් නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙයි. එබැවින්, රජය විසින් බදු ඉහළ දමා, වියදම් කපා, ණය ගැනීම අඩු කළ හොත්, දැනටම ආර්ථික සංකෝචනයෙන් පෙළෙන නිෂ්පාදනය, රැකියා සහ ජීවන තත්ත්වය කඩා වැටෙනු ඇත. වර්තමානයේ ලක්ෂ ගණන් පුද්ගලයන් රැකියා සොයා විදේශ ගත වන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස ය. ඊට හේතුව, රජයට භාණ්ඩ හා සේවා සපයන බොහෝ ව්‍යාපාරයන් සංකෝචනය වී ඇති බැවිනි.

  • මේ දිනවල බ්‍රිතාන්‍යයේ නව කම්කරු රජය ද ආර්ථික ප්‍රසාරණයට අවශ්‍ය අයවැය අවකාශය ඉහළ දැමීම (ප්‍රධාන වශයෙන් වියදම් ප්‍රසාරණය සඳහා ණය සීමාව ඉහළ දැමීම) සඳහා රජයේ ස්වාධීන අයවැය වගකීම් කාර්යාලය සහ මහ බැංකුව වැනි ආයතන පද්ධතිය සමඟ සාකච්ඡා අරඹා ඇත. 2022 ඔක්තෝබර් මස පත් වූ බ්‍රිතාන්‍යයේ ලිස් ට්‍රස් රජය දින 45 කින් කඩා වැටුණේ, රජයේ තනි මතයට අයවැය ඉලක්කයන් සංශෝධනය කිරීමට යාම හේතුවෙනි. 

  • IMF එකත් නොසිතූ ලෙස IMF ණය කොන්දේසි ඉටු කොට, සංවර්ධිත රටකටත් වැඩි උසස් අයවැය ඉලක්කම් පෙන්නූ ශ්‍රී ලංකාවේ පසුගිය රජය ගෙදර යවන ලද්දේ, එම හොඳ අයවැය ඉලක්කම්වලින් ආර්ථිකයට සහ මහජනයාට පහර වැදුන බැවිනි.

එබැවින්, ආර්ථික ප්‍රතිසංස්කරණ බව පවසමින් IMF ණය හරහා රාජ්‍ය අයවැය සීමා කිරීම යනු ආර්ථිකය සහ මහජනයා තැලීම හරහා දේශපාලනික රාජ්‍ය සංගමය ආරක්ෂා කිරීමට කරන උත්සාහයකි. එහෙත්, එම අයවැය ඉලක්කම්වලින් ආර්ථිකය සහ මහජන ජීවන තත්ත්වයේ සෞඛ්‍යය නිරූපණය නොවේ.

නූතන ගෝලීය ආර්ථික කළමනාකරණ ව්‍යුහය තුළ මහජනයාට එවැනි රජයන්ගෙන් ප්‍රයෝජනයක් නොමැත. එවැනි රජයන් අනපේක්ෂිත ලෙස පෙරළි යන්නේ එබැවිනි. සමහර පාර්ශවයන් විසින් එවැනි අයවැය ප්‍රතිපත්ති පිටුපස සිටීම ද එසේ රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණවල කොටසකි.

නිගමනය 

  • එබැවින්, සුපුරුදු ඩොලර් සහ අයවැය ඉලක්කම්වල නව රජය ද එල්ලී යයි නම්, එය රජයේ ස්ථායිතාවය පිළිබඳ අසුබ ලකුණක් වනු ඇත.

  • වත්මන් ආර්ථික ව්‍යුහයේ අවදානම් හඳුනා ගෙන, ආංශීය නිෂ්පාදන ව්‍යුහයක් තුළ දිගු කාලීන වර්ධනය, රැකියා ජනනය, ආදායම් විෂමතාවය පහළ දැමීම සහ විදේශ මුදල් ආදායම් අතිරික්තයක් ජනනය අරමුණු කොට සිදු කෙරෙන පුළුල් ණය ව්‍යාප්තියක් නොමැතිව මහජනතාව වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත නොහැකිය. එවැනි ව්‍යුහාත්මක ආර්ථික කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලවල් IMF ආර්ථික මතවාදයේ නොමැත.

  • එබැවින්, IMF ණය සහ ආර්ථික ඉලක්කම් පසුපස යාමෙන් කෙරෙන්නේ, ආර්ථික අර්බුදය ටික කලකට කල් දමා, තාවකාලික සටන් විරාමයක සතුටක් ලැබීම පමණි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස