ලෝක බැංකු ඩො.මි. 200 - නව රජයේ කුළුඳුල් විදේශ ණය සතුට?


ලිපියේ අරමුණ සහ පසුබිම

මම කෙටි ලිපියේ අරමුණ නව රජය ද, පෙර රජයන් මෙන්  ණය උපයෝජනය ගැන තැකීමක් නොකොට, විදේශ ණය ගැනීමේ සතුට විඳීම හරහා වත්මන් විදේශ ණය අර්බුදය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ අවදානම පිළිබඳ දැනුවත් කිරීම යි.

  • නව රජයේ නියෝජිතයන් ද තම රජයට විදේශ ආධාර සහ ආයෝජන අඛණ්ඩව ලැබෙන බවට පුරසාරම් දෙඩීම ආරම්භ කොට ඇත. එනම්, ගෝලීය ඩොලර් ධනවාදයට ඇති දැඩි  කැමැත්ත යි. ඩොලර් හිඟයෙන් පෙළෙන රජයක් ඩොලර්වලට දක්වන ආශාව කිව යුතු නැත.

  • පසුගිය 7 දින ලෝක බැංකු පුවත් වාර්තාවකට අනුව ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අතර ඩොලර් මිලියන 200 ක සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයවුම් ගිවිසුමක් කඩිමුඩියේ අත්සන් කොට ඇත. (පුවත මෙතනින් කියවන්න.). එහි වටිනාකම රුපියල් බිලියන 60 ක් පමණ වෙයි. එය ලැබීමේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මුදල් ඇමති වන ජනාධිපති වරයා ද සහභාගි වීමේ මාධ්‍ය පින්තූරයක් ද පළ කොට ඇත. මෙය නව රජයට ලැබුණ කුළුඳුල් ඩොලර් මුදල යි. 

  • මෙම සංවර්ධන මෙහෙයවුමේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 500 ක මුදලක් 2023 ජුනි සහ දෙසැම්බර් මාසවල පසුගිය රජයට ලබා දී ඇත. එහි රුපියල් වටිනාකම රුපියල් බිලියන 155 ක් පමණ වෙයි. එම මුදල භාවිතා වූ ආකාරය පිළිබඳ තොරතුරක් නොමැත.

  • මෙම මුදල් හුදෙක් පිහිටාධාරයක් නොව, දිගු කාලීන ණය මුදලක් විය යුතුය. ඊට හේතුව, ලෝක බැංකුව යනු එසේ පිණට රටවලට ඩොලර් බෙදන ආයතනයක් නොව ගෝලීය සංවර්ධන බැංකුවක් වීම යි. ණය මුදලේ පොලී අනුපාතය වැනි කොන්දේසි පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කොට නොමැත.

විදේශ ණයවල ක්ෂණික සතුට

  • අදාළ ඩොලර් මුදල් ටික රජය විසින් මහ බැංකුවට අළෙවි කිරීමෙන් හෝ තැන්පත් කිරීමෙන්, මහ බැංකුවේ විදේශ සංචිතය නිකන්ම ඉහළ යනු ඇත. එම සංචිත මුදල් මහ බැංකුව විසින් නැවත ඇමෙරිකාවේ රාජ්‍ය සුරැකුම්පත්වල හෝ බැංකුවල ආයෝජනය කොට මහ බැංකුවට පොළී ආදායමක් ලබනු ඇත. එබැවින්, විදේශ සංචිතය ඉහළ ගිය බවට රජය සහ මහ බැංකුව පුරසාරම් දොඩනු ඇත.

  • ණය ගිවිසුමේ ප්‍රකාරව රජය විසින් මහ බැංකුවෙන් ඩොලර් සඳහා ලබා ගත් රුපියල් මුදල් ඒකාබද්ධ අරමුදල හරහා වියදම් කෙරෙනු ඇත.

  • විදේශ සංචිතයේ ඇති මුදල් මහ බැංකුව විසින් තම අභිමතය පරිදි විනිමය අනුපාතය පාලනය කිරීම සඳහා වරින් වර භාවිතා කරනු ඇත. එනම්, බැංකුවලට ඩොලර් අළෙවි කිරීම හරහා ය. ඒ අනුව, විනිමය අනුපාතය පහළ ගිය බවට රජය සහ මහ බැංකුව නැවතත් පුරසාරම් දොඩනු ඇත.

  • පසුගිය සියළු රජයන් විසින් කළේ ද එය යි. අවසානයේ විදේශ ණය ගෙවීමට නොහැකිව මහ බැංකුව විසින් ණය පැහැර හැර පොදුජනයා ආර්ථික අර්බුදයකට තල්ලු කරන ලදි.

  • විදේශ ණය උපයෝජනය කළ ආකාරය සහ එමගින් ආර්ථිකයට සහ රජයට අත් වූ වත්කම් සහ ආදායම් පිළිබඳ ව කිසි තොරතුරක් හෝ විගණනයක් නොමැත.

එබැවින්, මැතිවරණ වේදිකාවේ දී නව රජයේ නායකයන් පැවසූවේ, 2022 අප්‍රේල් 12 දින පැහැර හරින ලද විදේශ ණය, එනම්, විශේෂයෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර  පිළිබඳ ව විමර්ශනයක් කරන බව යි. එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර වහාම සිදු කරන බව ද ප්‍රකාශ කරන ලදි.

ලෝක බැංකු ඩොලර් මිලියන 200 උපයෝජන සැලසුම

ඉහත දැක්වූ විදේශ සංචිතය නොව, රජය විසින් ඩොලර් මිලියන 200 උපයෝජනය කරන ආකාරය පිළිබඳ ව ලෝක බැංකු පුවත් වාර්තාවේ දැක්වෙයි. එම අරමුණු පහත දැක්වෙයි.

  • වඩා හොඳ ණය තීරණයන් ගැනීම සඳහා නව රාජ්‍ය ණය කළමනාකරණ පනත නිතිගත කිරීම 

  • රාජ්‍ය ආදායම ප්‍රවර්ධනය සඳහා බදු පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 

  • මූල්‍ය අංශයේ අවදානම් නිරාකරණය සඳහා ඒක පුද්ගල බැංකු ණය සීමාව ශක්තිමත් කිරීම සහ බැංකු අක්‍රමවත් ණය නිරාකරණ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම

  • ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සහ පෞද්ගලික අංශ සංවර්ධනය සඳහා නව විදුලි පනත සහ විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම

  • අපනයන තරගකාරිත්වය වැඩි කිරීම සඳහා රෙගු බදු අඩු කිරීම සහ අතිරේක රෙගු බදු ඉවත් කිරීම වැනි ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීම 

නිගමනය 

  • එබැවින්, පැරණි රජයන් මෙන් නොව, නව රජය විසින් මෙම ණය මුදල ඉහත දැක්වූ අරමුණු සඳහා භාවිත කිරීමේ කාර්යසාදනය පසුවිපරම් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. 
  • එම අරමුණු  දෙස බැලූ බැල්මට පෙනී යන්නේ, මෙම මුදලින් කොටසක් විදේශ උපදේශකයන්ට වැය වන බව යි. මෙහි දී, පැන නගින ගැටළුව වන්නේ, බදු පරිපාලනය සහ බැංකු ණය නිරාකරණය වැනි කාර්යයන් සඳහා විදේශ විශේෂඥයන් අවශ්‍ය වන්නේ ඇයි ද? යන්න යි. අතීතයේ දී ගෙන ඇති මෙවැනි විදේශ ණය ප්‍රමාණය අති විශාලය. මහ බැංකුව නවීකරණය සඳහා ද ලෝක බැංකු ණය මුදලක් ලබා ගන්නා ලදි. එහෙත්, එසේ  නවීකරණය වූ මහ බැංකුවේ අසමත් භාවය හේතු කොට විදේශ සංචිතය කඩා වැටී, රජය සහ මහජනයා ආර්ථික අර්බුදයකට තල්ලු කරන ලදි.
  • විදේශ මුදල් පිරිවැය අවශ්‍යතාවය මත විදේශ ණය ගැනීමේ වරදක් නොමැත. වරද වන්නේ, එම ණය අවඋපයෝජනය සහ ණය ආපසු ගෙවීමට විදේශ මුදල් ඉපයීමේ ක්‍රමවේදයක් නොමැති වීම යි. වරද වන්නේ, එම ණය මගින් මහ බැංකු විදේශ සංචිතය ගොඩ නගා, සහන විනිමය අනුපාතයකට ආනයන පියවීම යි. වත්මන් විදේශ ණය අර්බුදයෙහි සැබෑ මූලය එය යි. එම විදේශ සංචිත උගුල බිඳ දැමීමට රජය ක්‍රියා කළ යුතුය.

  • මෙහි දී, කිව යුත්තේ, මෙසේ අඛණ්ඩව විදේශ ණය සතුට විඳීම යනු ඉදිරි පරම්පරාව විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය ද අඛණ්ඩව ඉහළ යන බව යි. එබැවින්, රජයන් වෙනස් වුව ද, මහජනයා මුහුණ දෙන වත්මන් විදේශ ණය අර්බුදයේ අවසනක සේයාවක්  දැකිය නොහැක.

  • එබැවින්, සමාජවාදී නව රජයට ද විදේශ ණය ලැබෙන බවට උදම් ඇනීමෙන් කෙරෙන්නේ, නව රජය ද පැරණි රජයන්ගේ විදේශ ණය උගුලෙහිම හිර කිරීම යි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස