ඉදිරි IMF වැඩසටහන - අරමුණු IMF එකෙන්, විකල්ප මාර්ගයන් රජයෙන්. ගැටුම විසඳමු.

 


ලිපියේ පසුබිම

IMF කාර්ය මණ්ඩල දූත පිරිසක් ලහි ලහියේ අභිනව ජනාධිපති වරයාට ආචාර කිරීමට පැමිණ අද දින පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබඳ ව මේ දිනවල සමාජ මාධ්‍යය පිරී පවතී. ඉන් එක් ප්‍රවෘත්ති වීඩියෝවක් මෙහි දැක්වෙයි (වීඩියෝව) . එම ප්‍රවෘත්තිවල හරය මෙසේ ය.

  • IMF වැඩසටහන සහ අරමුණුවලට රජයේ පුළුල් ප්‍රතිපත්ති එකඟතාවය පළ කිරීම.

  • ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ IMF වැඩසටනේ අරමුණු වෙත ලඟා වීමේ වැදගත්කම ජනාධිපති වරයා විසින් අවධාරණය කිරීම.

  • ඉහළ වැට් සහ ආදායම් බදු හේතුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කිරීම.

  • වත්මන් වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ ජනාධිපති වරයාගේ කැපවීම IMF කණ්ඩායම විසින් අගය කළ බව.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, IMF වැඩසටහනේ අරමුණු/ඉලක්ක සහ යෝජිත විකල්ප මාර්ගයන් අතර ඇතිවිය හැකි ගැටුම පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කිරීම යි.

IMF වැඩසටහන්වල අරමුණු

  • IMF වැඩසටහන්වලින් සිදු කෙරෙන්නේ, රටවලට ආර්ථික කළමනාකරණ ප්‍රතිසංස්කරණ පැකේජයක් ඉදිරිපත් කිරීම යි. එය ක්‍රියාත්මක කිරීමට උත්ප්‍රේරකයක් ලෙස අනාදිමත් කාලයක සිට රටවල් මුහුණ දෙන විදේශ මුදල් අර්බුදයන් තාවකාලිකව සමනය කිරීම සඳහා ණය මුදලක් ලබා දෙනු ඇත. එය, කොටස් කිහිපයකට කඩා, ආර්ථික ප්‍රතිසංස්කරණ කොන්දේසි මත වසර 4 ක පමණක් කාලයක් තුළ කොන්දේසි ප්‍රගතිය ඇගයීම මත නිදහස් කෙරෙනු ඇත.

  • එම වැඩසටහන් අරමුණු යනු රාජ්‍ය අයවැය සහ රාජ්‍ය ව්‍යවසායක ක්‍රියාකාරකම් පහළ දමා, පෞද්ගලික අංශය/වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමත්, ඉලක්ක මට්ටමක උද්ධමනය පාලනය කිරීමේ මූලික අරමුණ සහිත පූර්ණ ස්වාධීන මහ බැංකුවක් පවත්වා ගැනීමත් ය.

  • ඒ අනුව, රාජ්‍ය අයවැය හිඟය, ණය සහ රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ ඉලක්කයන් සහ ඊට අදාළ විවිධාකාර කොන්දේසි පනවනු ඇත. එහි දී, මහජනයා වෙත ඇති කෙරෙන පීඩාවන් කෙරෙහි කිසිම අවධානයක් IMF විසින් යොමු නොකෙරේ. 

  • IMF මතවාදය වනුයේ, වැඩසටහන තුළ ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිසංස්කරණ හේතු කොට වෙළෙඳපොළ හරහා මැදි හා දිගු කාලයේ දී පොදුජනතාවට ආර්ථික සුබසාදනය කාන්දුවන බව යි. ඒ අනුව, IMF මතය වනුයේ, ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික ඉලක්කම්වලින් (විදේශ සංචිතය, විනිමය අනුපාතය, පහළ උද්ධමනය, ආර්ථික වර්ධනය වැනි) පෙන්වන ප්‍රගතිය හුදෙක් IMF ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵලය බව යි.

එහෙත්, IMF වැඩසටහන අකුරට ක්‍රියාත්මක කළ රනිල් වික්‍රමසිංහ රජය පසුගිය සැප්තැම්බර් 21 දින මහජනයා විසින් ගෙදර යැවීමෙන් පෙනෙන්නේ, 2021 සිට ආර්ථික අර්බුදයෙන් බැට කන බහුතර මහජනයාගේ කඩා වැටී තිබූ ජීවන මට්ටම ගොඩ දැමීමට IMF වැඩසටහනින් සාදනීය ඵලයක් වී නොමැති බව යි. ඒ වෙනුවට, IMF කොන්දේසිවලින් මහජනයාට තවත් පහර වැදී ඇත. ඒ පිළිබඳ ව කිසිම විවාදයක් නොමැත. ඒ බව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ ඡන්ද ප්‍රතිශතය 17.3% ක් පමණක් වීමෙන් පැහැදිළි ය.

IMF වැඩසටහන් අරමුණු සහ විකල්ප මාර්ග ගැටුම 

  • මහජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් වනුයේ, රැකියා සහ ආදායම් වර්ධනයටත්, වර්ධනය වන ආදායම වඩාත් සාධාරණ ලෙස බෙදී යාම හරහා සමාජයේ ආර්ථික විෂමතාවය පහළ දැමීමටත් හැකියාව ලැබෙන පරිදි ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ව්‍යුහය (නිෂ්පාදන, පරිභෝජන, ආයෝජන ආංශීය ප්‍රමුඛතා ව්‍යුහය) ප්‍රතිව්‍යුහගත කිරීම යි. 2022-23 අධිඋද්ධමන පීඩනය හේතු කොට බහුතර මහජනයාගේ ඉතුරුම් ධනවත් ව්‍යාපාරික පංතිය වෙත සංකේන්ද්‍රණය වීමෙන්, ආදායම් විෂමතාවය තවත් ඉහළ ගොස් ඇති බව රහසක් නොවේ. 

  • එහෙත්, එවැනි විකල්ප මාර්ගයන් IMF පිළි ගන්නා වෙළෙඳපොළ හරහා සිදු නොවන බව මාක්ස්වාදීන්ගේ මතවාදය යි. ඒ සඳහා රාජ්‍ය වියදම් සහ ණය ප්‍රසාරණය සහ වෙළෙඳපොළ පාලනය අවශ්‍ය වෙයි. මේ දිනවල ධනවාදී වෙළෙඳපොළ ඇමෙරිකාවේ ජනාධිපති අපේක්ෂකයන් පවා ආදායම් බෙදීයාමේ විෂමතාවය පහළ දැමීම සහ භාණ්ඩ හා සේවා මිල පහළ දැමීම සඳහා වෙළෙඳපොළ පද්ධතියට මැදිහත් වීමේ ඡන්ද පොරොන්දු දීම දැකිය හැකිය. 

  • තවද, වත්මන් ආර්ථික පීඩනය හේතු කොට පුද්ගලයන් ලක්ෂ ගණන් රැකියා සොයා විදේශ රටවලට සංක්‍රමණය වීමෙන් හට ගෙන ඇති සමාජ ආර්ථික කම්පනය ද රටට පීඩාකාරී වෙයි. 

  • එසේම, IMF උපදෙස් මත ක්‍රියාත්මක දැඩි මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය හේතු කොට 3%-7% උද්ධමන ඉලක්කයට එරෙහිව ආර්ථිකය අවධමනකාරී පීඩනයකට ගොදුරු වී ඇත. එවැනි පීඩනයක් පවතින බව මහ බැංකුව ද නිල වශයෙන් පිළි ගෙන ඇත. අවධමන පීඩනය හේතු කොට නිෂ්පාදන/ව්‍යාපාරික බංකොලොත් භාවය ඉහළ ගොස්, බැංකු ණය පැහැර හැරීම සහ රැකියා හිඟය ඉහළ යාමේ දැඩි අවදානම් පවතී. නව රජය යටතේ වෙළෙඳපොළ අක්‍රමිකතාවන් පහළ යාම හේතු කොට, පාරිභෝගික මිල ගණන් තවත් පහළ යාම හරහා අවධමන පීඩනය ඉදිරියේ දී තවත් ඉහළ යනු ඇත. එහෙත්, මහ බැංකුව විසින් අනාගත උද්ධමනයට බියෙන් අවධමනය මර්දනය සඳහා පොලී අනුපාතයන් පහළ දැමීමට කිසිම පෙළඹුමක් දක්වා නොමැත. එහෙත්, උද්ධමනකාරී පිඩනයට වඩා අහිතකර බලපෑමක්, අවධමනකාරී පීඩනය තුළින් ආර්ථිකය සහ මහජනයා කෙරෙහි ඇති කරනු ඇත..

  • එබැවින්, කඩිනම් නව නිෂ්පාදන සහ රැකියා ජනිත කිරීමට සහ ආදායම් විෂමතාවය පහළ දැමීමට උපකාරී වන මැදි කාලීන රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණ වැඩපිළිවෙලක් අවශ්‍ය ය. 

  • එබැවින්, IMF වැඩසටහන් අරමුණු සහ රජය විසින් යෝජනා කරන විකල්ප මාර්ගයන් ගැටෙනු ඇත. එය හුදෙක් එකිනෙකට වෙනස් ආර්ථික කළමනාකරණ මතවාදයන් දෙකකි.

  • රජයේ  විකල්ප මාර්ගයන් සාකච්ඡා කිරීමට IMF එකඟ වීම ජයග්‍රහණයකි. ඊට හේතුව, මෙම IMF වැඩසටහන දැන් අතරමග දමා යාමට IMF එකට හැකියාවක් නොමැති බැවිනි. එහෙත්, පසුගිය රජය සමයේ IMF සහ ඔවුන්ගේ නියෝජිතයන් ක්‍රියා කරනු ලැබූවේ ඒකාධිපතියන් ලෙස ය. IMF වචනයට පිටින් කිසිවක් නොහැකි විය.

නිර්දේශය

  • එබැවින්, විකල්ප මාර්ගයන් සෙවීම මත පදනම් වන ඉදිරි IMF සාකච්ඡාවන් හුදෙක් දැනට IMF නිර්වචනයන් අනුව සැකසෙන සාර්ව ආර්ථික ඉලක්කම් මත පදනම් වී කළ නොහැකිය.

  • එම සාකච්ඡාවන් කඩිනම් රැකියා සහ ආදායම් ප්‍රසාරණය සහ ව්‍යාප්ති විෂමතාවය පහළ දැමීමේ ඉලක්කයන්ට ගැලපෙන ලෙස නිෂ්පාදන/ආර්ථික ක්‍රියාකාරකම් ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ දත්ත සහ රාජ්‍ය අයවැය ප්‍රසාරණ ඉලක්කයන් මත මෙහෙයවිය යුතුය. ඒ මගින්, පසුගිය රජය යටතේ IMF ග්‍රහණයට ගෙන ඇති ආර්ථික කළමනාකරණ ස්වෛරිත්ව බලය නැවත රජය යටතට ගැනීම අත්‍යාවශ්‍ය ය.

  • ඒ සඳහා මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම්ගේ සහාය බලාපොරොත්තු විය නොහැකිය. ඊට හේතුව, ඔවුන් දැඩි IMF මතධාරීන් වන බැවිනි. ඒ සඳහා ඔවුන්ට කළ හැක්කේ, ලිපිකාර සේවයක් පමණි. ඔවුන් විසින් IMF හැර වෙනත් විකල්පයක් නොමැති බව පැවසීමෙන්, ඔවුන් දේශීය ආර්ථිකය සහ පොදුජනයාගේ ආර්ථික සෞඛ්‍යය පිළිබඳ කිසිම හැඟීමක් නොමැති ජාත්‍යන්තර IMF ආර්ථික විද්‍යාඥයන් බව පැහැදිළිය. එබැවින්, නව ජනාධිපති ආර්ථික උපදේශක මණ්ඩලය හමුවේ ඇති අභියෝගය සහ වගකීම වන්නේ, ඉහත දැක්වූ පදනම මත IMF සමඟ විකල්ප මාර්ගයන් එකඟවීම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම මාක්ස්වාදී රජය කෙරෙහි මහජනයා තැබූ විශ්වාසය ආරක්ෂා කිරීම යි.

  • මෙහි දී අවශ්‍ය වන්නේ, රියලිටි ශෝෂ්වල මෙන් දැනට තිබෙන ගීතයන් පුහුණුවීම හරහා එම තනුවටම අලංකාරයන් කිහිපයක් එකතු කොට ගී ගැයීමේ දක්ෂතාවය පෙන්වීම නොව, රසිකයන්ගේ මනාපය ලැබීම සඳහා නව ගීතයන් ගායනා කිරීම යි. එය හුදෙක් IMF ආර්ථික ගීතය පුහුණුවී ගැයීමෙන් කළ නොහැකිය. ඊට හේතුව, IMF ගීතයේ තනුව සහ පද අලංකාරයන්, බහුතර නිර්ධන පංතිය ගොඩ දැමීමට නිරන්තරයෙන් කැප වී සිටින මාක්ස්වාදී නායකයන්ට නොතේරෙන බැවිනි. එබැවින්, ඊට අසමත් වුව හොත්, ශ්‍රී ලංකාවේ ඩොලර්කරන ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට යමින්, රට ආර්ථික ගාසා තීරයක හිර වනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස