මහ බැංකු විදේශ සංචිතය ආර්ථික ඝාතකයෙක් ද? නව රජයත් ගෙදර යවයි ද?

 

ලිපියේ අරමුණ සහ පසුබිම

මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, ස්වාධීන මහ බැංකුවට තම විදේශ සංචිතය පිළිබඳ මහජන වගකීම ඉටු කිරිමට ඉඩ දී, රජය ඉන් ඉවත් වී සිටින ලෙස සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශයක් ඉදිරිපත් කිරීම යි. 

පසුගිය ජනාධිපති වරුන් දෙදෙනා සහ ඔවුන්ගේ රජයන් ගෙදර යාමට මූලික හේතුව වූයේ මෙම විදේශ සංචිතය බැවින් මෙම නිර්දේශය මගින් නව රජය ද එසේ ගෙදර යාමේ අවදානමින් වැලැක්වීමට උපකාරී වනු ඇත.

පසුගිය සැප්තැම්බර් 27 දින පැවති මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති පැවසූයේ, පසුගිය දා නව ජනාධිපති වරයා හමු වූ අවස්ථාවේ දී, විදේශ සංචිතයේ තත්ත්වය ගැන ද විමසූ බව යි. නව රජය විසින් විදේශ ප්‍රේෂණ හරහා විදේශ සංචිතය නැංවීමේ අදහස් ද වරින් වර ප්‍රකාශ කොට ඇත. 

එබැවින්, නව රජය විසින් ද රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස විදේශ සංචිතය ගොඩ නැගීමට හවුල් වීමේ නැඹුරුවක් ඇති බව පෙනේ. එනම්, ආර්ථිකයේ මූලික ව්‍යුහාත්මක අවදානමක් වන විදේශ සංචිතය ආශ්‍රිත ආර්ථික අස්ථායිතාවයන් පිළිබඳ චෝදනාවන් මහ බැංකුවට නොව, නව රජයට ද විතැන්වීමේ අවදානමකි. එනම්, බල්ලාගේ වැඩේ බූරුවා සිදු කිරීමේ කථාන්දරය සිහි ගැන්වීම යි.

විදේශ සංචිතය යනු පසුගිය මුදල් නීති පනත මෙන්ම නව මහ බැංකු පනත යටතේ මහ බැංකුවේ ස්වාධීන ව්‍යවස්ථාපිත වගකීමකි. එහෙත්, 2002 දී මහ බැංකුව බලා සිටිය දී විදේශ සංචිතය කඩා වැටීම හේතු කොට හට ගත් විදේශ ණය සහ ආර්ථික අර්බුදය තුළින් ගෝඨාභය රාජපක්ෂ රජයට වර්ෂ දෙක හමාරකින් පමණ ගෙදර යාමට සිදු විය. එසේම, විදේශ සංචිතය නැවත ගොඩ නැගීම සඳහා මහ බැංකුවේ ක්‍රියාකාරී උපදෙස් මත IMF ණය වැඩසටහනක් අකුරට ක්‍රියාත්මක කිරීමෙන් පිඩාවට පත් වූ මහජනයා විසින් රනිල් වික්‍රමසිංහ රජය ද වර්ෂ දෙක හමාරකින් පමණ ගෙදර යවන ලදි.

එබැවින්, අභිනව රජය ද මහ බැංකු විදේශ සංචිතයේ වගකීම කරට ගැනීමට ගිය හොත්, එය ද ගෙදර යාමේ කාලය වැඩි ඈතක් නොවිය හැකිය. ඊට හේතුව, වත්මන් බංකොලොත් ආර්ථිකයේ ව්‍යුහාත්මක අවදානම විදේශ සංචිතය වටා ගොඩ නැගී පවතින බැවිනි.

විදේශ සංචිතය පිළිබඳ මහ බැංකු වගකීම

පසුගිය මුදල් නීති පනත යටතේ නුදුරු අනාගතයේ හට ගත හැකි ගෙවුම් ශේෂ හිඟයන් පියවීමටත්, ආර්ථිකයේ ස්ථායිකරණ  අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි විනිමය අනුපාතය පවත්වා ගැනීමටත්, ප්‍රමාණවත් විදේශ සංචිතයක් මහ බැංකුව විසින් පවත්වා ගත යුතු ආකාරය සහ ඒ සඳහා වූ මුදල් ප්‍රතිපත්ති බලතල දීර්ඝ වශයෙන් දැක්වෙයි.

නව මහ බැංකු පනත යටතේ ද විදේශ සංචිතයක් පවත්වා ගැනීම සහ විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් මහ බැංකුව වෙත පවරා ඇත. ඊට අමතරව, විදේශ විනිමය පනත යටතේ ද තවත් බලතල රාශියක් පවතී.

ඒ අනුව, විදේශ සංචිතය යනු ආර්ථිකයේ ප්‍රතිඵලයක් හෝ සාර්ව ආර්ථික විචල්‍යයක් නොව, හුදෙක් ආර්ථික කළමනාකරණය සඳහා යොදා ගත යුතු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මෙවලමකි. එහෙත්, මහ බැංකුව විසින් විදේශ සංචිත දත්ත රජයට සහ මහජනතාවට ඉදිරිපත් කරන්නේ, සමස්ත ආර්ථික ප්‍රගතිය දක්වන ප්‍රධාන දත්තයක් ලෙස ය. මේ දිනවල මහ බැංකුව විසින් නිරන්තරයෙන් පවසන්නේ, විදේශ සංචිතය ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගොස් ඇති බව යි. 

2022 අප්‍රේල් මස එය ඩොලර් මිලියන 50 කට වඩා පහළට කඩා වැටුණ බව ද ප්‍රකාශ කෙරින. එබැවින්, වත්මන් මහ බැංකු අධිපති විසින් 2022 අප්‍රේල් 12 දින මහජනයාට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආනයන සපයා ගැනීම සඳහා විදේශ මුදල් ආධාර දෙන ලෙස ලෝක වාසීන්ගෙන් පෞද්ගලිකව අයදින ලදි. එබැවින්, මෙසේ විදේශ සංචිතය නැවත ඉහළ යාම ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා මහ බැංකුවේ දක්ෂතාවය ලෙස දක්වන සමාජ මාධ්‍ය වැඩසටහනක් ව්‍යාප්ත වී ඇත.

විදේශ සංචිතයේ ව්‍යවස්ථාපිත කාර්යය වන්නේ, රාජ්‍ය ණය ගෙවීමට අවශ්‍ය විදේශ මුදල් සැපයීමත්, ගෙවුම් ශේෂ හිඟයන් හේතු කොට බැංකු මුහුණ දෙන විදේශ මුදල් හිඟයන් පියවීමට අවශ්‍ය විදේශ මුදල් සැපයීම හරහා විනිමය අනුපාතය (ඩොලර් එකක රුපියල් මිල) මෙහෙයවීමත් ය. එසේම, රජයට ලැබෙන විදේශ ණය සහ ප්‍රේෂණවල විදේශ මුදල් සහ බැංකුවලට එදිනෙදා ලැබෙන අතිරික්ත විදේශ මුදල් මිල දී ගෙන විදේශ සංචිතයට එකතු කිරීම තුළින් ද මහ බැංකුව විසින් විනිමය අනුපාතය ආරක්ෂා කිරීමට ක්‍රියා කෙරේ. 

එබැවින්, 2022 අප්‍රේල් මස රුපියල් 201 සිට මැයි මස දී රුපියල් 380 කට පමණ ඉහළ නගින ලද ඩොලරය, පසුගිය ජනාධිපතිවරණයට පෙර දිනවල රුපියල් 300 ට වඩා පහළ ගිය බව මහ බැංකුව සහ රජය විසින් හුවා දක්වන ලදි. එසේ විනිමය අනුපාතය පහළ දැමීම සඳහා හුදෙක් IMF ණය වැඩසටහන හරහා රැස්කර ගත් ඩොලර් ණය සහ ප්‍රදාන තුළින් ගොඩ නැගූ විදේශ සංචිතය භාවිතා කරන ලදි. ඊට හේතුව, භාණ්ඩ හා සේවා විදේශ වෙළෙඳාම සහ පෞද්ගලික විදේශ ප්‍රේෂණ හරහා විදේශ මුදල් අතිරික්තයක් නොව, අඛණ්ඩ හිඟයක් පවතින බැවිනි. 

IMF ණය වැඩසටහනට යාමේ එකම හේතුව, විදේශ ණය මගින් විදේශ සංචිතය නැවත ගොඩ නගා, විනිමය අනුපාතය පහළ දැමීම තුළින් ආර්ථිකය ස්ථායිකරණය වූ බව පෙන්වීම යි. IMF විසින් එසේ ණය දීමේ දී පනවන කොන්දේසි යනු වෙනත් භූ දේශපාලනික මතවාදයකි.

විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා 
රජය විසින් මහ බැංකුවට  දුන් අත හිත

1950 සිට මේ දක්වා මහ බැංකුව විසින් විදේශ සංචිතය ගොඩ නැගීම සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරනු ලැබුවේ, රජයට විදේශ ණය ගැනීම තුළින් ලැබූ විදේශ මුදල් රජයෙන් මිල දී ගැනීම යි. ඒ සඳහා මහ බැංකුව විසින් රජයට රුපියල් සපයන ලදි. 

මුල් කාලයේ දී දිගු කාලීන නිල විදේශ ණය භාවිතා කළ ද, 2000 දශකයෙන් පසුව කෙටි කාලීන විදේශ මූල්‍ය වෙළෙඳපොළ ණය වැඩි වැඩියෙන් භාවිතා කිරීමට පෙළඹුණි. දැනට පැහැර හැර ඇති ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය උගුල එහි ප්‍රතිඵලයකි. ඊට අමතරව, විදේශ සංචිතය කෙරෙහි ආතතියක් හට ගන්නා කාලවල IMF වෙතින් ණය වැඩසටහනක් (මේ දක්වා 17 වතාවක්) ලබා ගෙන තාවකාලික විශ්වාසයක් සහ සතුටක් ගොඩ නගා ගන්නා ලදි. එබැවින්, වත්මන් IMF ණය වැඩසටහන ද නිදහසින් පසු ඔඩුදුවමින් ආර්ථිකය මුහුණ දෙන විදේශ සංචිත සහ ඩොලර් පිළිකාවට තාවකාලික ප්‍රතිකාරයක් පමණි.

මහ බැංකුව යනු රාජ්‍ය ණය කළමනාකරු, ෆිස්කල් නියෝජිතයා සහ රජයේ බැංකු කරු වූ බැවින් එය පහසුවෙන් කළ හැකි විය. එබැවින්, ආර්ථිකයෙහි විදේශ මුදල් අතිරික්තයක් ජනිත කොට, එමගින් විදේශ සංචිතය ගොඩ නැගීමේ තිරසාර මුදල් ප්‍රතිපත්ති මෙවලම් මහ බැංකුව විසින් භාවිතා නොකරන ලදි. ඊට හේතුව, රාජ්‍ය ණය මගින් විදේශ සංචිතය පහසුවෙන් ගොඩ නගා ගත හැකි වීම යි. 

ඒ අනුව, විදේශ ණය සේවාකරණය සහ ගෙවුම් ශේෂ හිඟය හේතු කොට විදේශ සංචිතය පහළ යන විට, නව විදේශ ණය ගෙන එය පුරවන ලදි. එසේම, උද්ධමනය පාලනය කිරීම සඳහා විනිමය අනුපාතයේ අවප්‍රමාණය වැලැක්වීමට ද විදේශ සංචිතය අත්තනෝමතික ලෙස භාවිතා කරන ලදි. එනම්, ආනයන පිරිවැය පාලනය කිරීම හරහා දේශීය මිල ගණන් පාලනය කිරීම යි. ඊට හේතුව, උද්ධමන පාලනය ද මහ බැංකු ව්‍යවස්ථාපිත අරමුණක් වූ බැවිනි. 2001 ජනවාරි 23 දින පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළ ද, පසුව මහ බැංකුව විසින් එය අත්හැර දමන ලදි. ඒ අනුව, රාජ්‍ය අයවැය ද මහ බැංකු විදේශ සංචිතයේ වින්දිතයෙක් බවට පත් විය.

එහි ප්‍රතිඵලය වූයේ, 2020-22 ගෝලීය කොරෝනා වසංගතය සහ අභ්‍යන්තර දේශපාලනික වසංගතය හේතු කොට රජයට නව විදේශ වෙළෙඳපොළ ණය ගැනීමට නොහැකි වීමෙන්, මහ බැංකු විදේශ සංචිතය දිය වී, මහ බැංකුව විසින් 2022 අප්‍රේල් 12 දින ව්‍යවස්ථා විරෝධීව විදේශ ණය පැහැර හැරීම හේතු කොට රජය සහ ආර්ථිකය බංකොලොත් වීම යි. මහජනතාව මුහුණ දෙන ආර්ථික අර්බුදය එය යි.

විදේශ සංචිතයේ වගකිව යුත්තා මහ බැංකුව වුව ද 
රජයන් ගෙදර යාම 

ඉහත දැක්වූ පරිදි ආර්ථිකයේ විදේශ මුදල් ස්ථායිකරණය මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීමකි. රජය සහ මහජනයා ආර්ථික බංකොලොත් භාවයට සහ අර්බුදයට මුහුණ දීමට සිදු වූයේ, එම වගකීම මහ බැංකුව විසින් ඉටු නොකිරීම නිසා ය. එහෙත්, රජය විසින් අනවශ්‍ය ලෙස මහ බැංකුවේ අතකොලුවක් වූ බැවින් එහි සමාජ වගකීම රජය පිටින් යන ලදි. එබැවින්, අනවශ්‍ය වගකීමක් ගෙන මහ බැංකු සංචිතය ගොඩ නැගීමට උත්සාහ කළ රජයන් දෙකක් දැන් ගෙදර ගොස් හමාරය. 

ඊට හේතුව, විදේශ සංචිත ප්‍රශ්නය රජයේ දුර්වලතාවක් බවට මහජනතාව අතර පවතින අවබෝධය යි. මහ බැංකුව යනු ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් සිටින වෘත්තිමය ආයතනයක් බවත්, විදේශ සංචිත ප්‍රශ්නය යනු රාජ්‍ය මුදල්වල දුෂිත කළමනාකරණය බවත් විශ්වාස කරන මහජනයා, මහ බැංකුවට කිසිම චෝදනාවක් එල්ල නොකර යි. රජය ද මහ බැංකුවේ අසමත් භාවය පිළිබඳ ව කිසිම පරීක්ෂණයක් නොකොට, මහ බැංකුවට තවත් ස්වාධීනත්වයක් ලබා දී ඇත. එහෙත්, වර්තමානයේ විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා ද මහ බැංකුව සහ රජය එකමුතුව භාවිතා කරන්නේ රාජ්‍ය විදේශ ණය යි.

එහෙත්, වත්මන් විදේශ සංචිත සහ ඩොලර්කරණ මුදල් ක්‍රමය තුළ, රාජ්‍ය ණය මත පදනම් වූ විදේශ සංචිත සහ විනිමය අනුපාත පාලන ගැටළුව නව රජයට ද විසඳිය නොහැකිය. එබැවින්, තව තවත් කෙසේ හෝ විදේශ ණය වර්ධනය කොට විදේශ සංචිතය ගොඩ නැගීමට සිදු වීමෙන්, වත්මන් රජය ද මහ බැංකු විදේශ සංචිත උගුලේ හිර වනු ඇත. 

ඩොලර්කරණ මුදල් ක්‍රමය කඩා දමා, ස්වෛරිත්ව දේශීය මුදල් සහ රාජ්‍ය අයවැය ව්‍යුහයක් ගොඩ නගන තෙක්, අපනයන සහ විදේශ වෙළෙඳ අතිරික්තයක් ජනිත කෙරෙන ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ගොඩ නැගිය නොහැකිය. එබැවින්, වත්මන් විදේශ සංචිත උගුල තුළ වත්මන් රජය ද කුමන හෝ මොහොතක අර්බුදයට පත් වනු ඇත. එය, වත්මන් IMF ණය වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදයේ කම්පනයන් හරහා සිදු විය හැකිය.

මෙහි දී පාඩමට ගත යුත්තේ, ගෝලීය කොරෝනා වසංගතය සහ දේශීය දේශපාලනික වසංගතයට අමතරව මහ ස්වභාවික වසංගතයකට ද මුහුණ දී බංකොලොත් වීමට ඔන්න මෙන්න තිබූ පකිස්ථානය IMF කොන්දේසියක් මත මිත්‍ර රටවල් කිහිපයකින් ඩොලර් බිලියන 5 ක පමණ තැන්පතු ලබා ගෙන එය වැලැක්වීම යි. එබැවින්, කිසිම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි නොමැතිව ඩොලර් බිලියන 7 ක පමණ නව IMF ණයක් ද අනුමත වී ඇත. එසේම, ණය තොගය පහළ දැමීම සඳහා අතීතයේ දී ඉහළ පොලියට ලබා ගෙන ඇති දේශීය ණය තරගකාරී වෙන්දේසි හරහා ආපසු මිල දී ගැනීමේ වැඩසටහනක් ද දැනට ආරම්භ කොට ඇත.

නිර්දේශය

  • විදේශ සංචිතය සහ විනිමය අනුපාතය මහ බැංකුවේ ස්වාධීන වගකීම් බවට ප්‍රකාශයට පත් කොට, රජය වහාම එම වගකීම්වලින් ඉවත් විය යුතුය. ඒ සඳහා නව නීති අවශ්‍ය නොවේ. නව මහ බැංකු පනතේ ප්‍රතිපාදනයන් ප්‍රමාණවත් ය. මෙහි දී, මහ බැංකුව විසින් සපයන විදේශ සංචිතය සහ විනිමය අනුපාත ඉලක්කම් තම ආර්ථික කළමනාකරණ ප්‍රගතිය පෙන්වීමට හුවා දැක්වීමෙන් රජය වැලකිය යුතුය.ඒවා මහ බැංකු පොලී අනුපාතය වැනි ප්‍රතිපත්ති මෙවලම් මිස සමස්ත ආර්ථික ප්‍රතිඵලයන් නොවේ. ඒවා රජයේ භාණ්ඩ හා සේවා මිල පාලන මෙවලම්වලට සමාන ය. 

  • රාජ්‍ය අයවැය දේශීය මුදල් මූලයන්ගෙන් පියවිය යුතුය. ඒ හේතුවෙන්, දේශීය පොලී අනුපාතයන් ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති විට, එය පාලනය කිරීම මහ බැංකු මුදල් ප්‍රතිපත්තියේ වගකීම යි. එබැවින්, මහ බැංකුවට පොලී අනුපාතයන් පාලනය කිරීමට උපකාරී වීම පිණිස රජය විසින් අයවැය සීමා කිරීමේ ආර්ථික විද්‍යා පදනමක් නොමැත. රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ, ආර්ථිකය සහ ජීවන මට්ටම ප්‍රසාරණය කිරීම සඳහා වන බැවින්, මහ බැංකුව විසින් ස්වාධීනව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සමාන්තරව, රජය විසින් ස්වාධීනව තම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුය.

  • අතීතයේ දී මහ බැංකු විදේශ සංචිත කළමනාකරණය කළ ආකාරය සහ එහි දුෂණයන් තහවුරු කර ගැනීම සඳහා වෝහාරික විගණනයක් කළ යුතුය. සංචිත කළමනාකරණ දුෂණයන් නොපැවතියේ නම්, විදේශ සංචිතය මෙසේ කඩා වැටිය නොහැකිය. ලෙබනනය ද ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ මූලය වූයේ, එරට මහ බැංකු විදේශ සංචිතය බැවින් ලෙබනන් රජය විසින් ද අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට වෝහාරික විගණනයක් නියම කරන ලදි. මෙහි දී, දශක ගණනක් විදේශ සංචිතය කළමනාකරණය කළ නිලධාරීන් දැනට මහ බැංකුව කළමනාකරණය කිරීම ගැටළුවක් විය හැකිය.

  • මහ බැංකු විදේශ සංචිත වටිනාකම, සංචිත පිරිවැය සහ සංචිත වෙළෙඳාමෙන් සහ ආයෝජනයෙන් ලද ලාභ/අලාභ යනාදිය මහ බැංකු මූල්‍ය වාර්තාවල ප්‍රධාන තැනක් ගනී. ව්‍යාපාරික ගිණුම්කරණ ප්‍රමිතීන් භාවිතය හේතු කොට මහා පරිමාණයේ විදේශ සංචිත අලාභයන් වාර්තා කොට, මහ බැංකු ලාභ රජයට ප්‍රේෂණය ද වැලැක්වීම දැකිය හැකිය. නව මහ බැංකු පනත අනුව වෙනත් රාජ්‍ය ආයතනයන් මෙන් නොව, මහ බැංකුව බුන්වත් වීමක දී රජය විසින් වහාම නව ප්‍රාග්ධනය මහජන මුදලින් සැපයිය යුතුය. මහ බැංකුව වසා දැමිය නොහැකිය. එය මහ බැංකු පාලක පක්ෂයට දැඩි සදාචාර උවදුර ගැටළුවක් ඇති කෙරේ. එබැවින්, මහ බැංකුවේ කාර්යයන්ට ගැලපෙන සම්මත ගිණුම්කරණයක් මහ බැංකුවට නියම කොට, මහ බැංකු මූල්‍ය වාර්තාවන් සහ රජයට ලාභ ප්‍රේෂණය අවේක්ෂණය කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය.

  • විදේශ සංචිත මුලයන්, ආයෝජනය සහ උපයෝජනය පිළිබඳ කාර්යසාදන ඉලක්කයන් කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකුව වෙත නියම කොට, මහ බැංකු පාලක මණ්ඩලයන් වගකීමට බැඳිය යුතුය. ඒ සඳහා මුදල් ඇමතිට සහ පාර්ලිමේන්තුවට කිසිවෙකුට නොතේරෙන ආර්ථික විද්‍යා වාර්තාවක් මහ බැංකුව විසින් ඉදිරිපත් කිරීමෙන් රටට වැඩක් නොවේ. ඒවා මෑතක රටම කැළඹු මහ බැංකු අධිවැටුප් වාර්තාවන් මෙන් අළු යට වැසී යනු ඇත. එසේ නැතිව, මහ බැංකු පාලක මණ්ඩලයන්ට කැමති ඕනෑම ආකාරයකට මහ බැංකු මුදල් පාලනය කිරීමට අවසර දීම සහ රාජ්‍ය ආරක්ෂාව සැපයීම රාජ්‍ය යහපාලනයට හිතකර නොවේ. ඊට හේතුව, මහ බැංකුවේ අකාර්යක්ෂමතාවයන්ට සහ වැරදිවලට ද ගෙදර යන්නේ රජයන් වන බැවිනි.

සමාප්ත සටහන 

  • මෙවැනි, විචක්ෂණකාරී ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ හොත්, නව රජය ද වැඩි කලක් නොගොස් ගෙදර යැවීමේ හැකියාව මහ බැංකු සංචිතය සතුව පවතී. එහෙත්, මහ බැංකු පාලක මණ්ඩලයන් රජයන්ගෙන් ස්වාධීනව අඛණ්ඩව තනතුරුවල වැජඹෙනු ඇත.

  • එහෙත්, නව රජයට ද මෙම විදේශ සංචිත සහ විනිමය අනුපාත පිළිකාවට ප්‍රතිකාර කිරීම සඳහා IMF ණය වැඩසටහන හැර විකල්ප ක්‍රමයක් පවතින බවක් නොපෙනේ. විදේශ ප්‍රේෂණවලින් විදේශ සංචිතය ගොඩ නැගිය නොහැකිය. ඉන් කළ හැක්කේ වාහන ඇතුළු සුපුරුදු ආනයන සඳහා ඩොලර් ටිකක් සොයා ගැනීම පමණි. ඉන් ආර්ථිකයට විදේශ මුදල් අතිරික්තයක් ජනිත කළ නොහැකි බැවින් විදේශ සංචිතයට ප්‍රතිකාරයක් නොවේ. 

  • ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ගනු ලැබුවේ, කාන්තාවන් හතර දෙනෙකු, එනම්, IMF කළමනාකරණ අධ්‍යක්ෂ වරිය, ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් වරිය, ඉන්දියානු මුදල් ඇමතිනිය සහ යූඑස් ඒඩ් පාලක සමන්තා පවර්, බව හිටපු ජනාධිපතිවරයා විසින් පවසන ලද්දේ, ආර්ථිකයට ඩොලර් සංචිත සැපයීමට ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය හේතුවෙනි. ශ්‍රී ලංකාව වැටී ඇති භූ දේශපාලනික සහ ආර්ථික දුක්ඛ දායක තත්ත්වය එම ප්‍රකාශනයෙන් මනාව නිරූපනය කෙරේ. ඉන් පැහැදිළි වන්නේ, පවතින ඩොලර් සිස්ටම් එක යටතේ ඒ සඳහා දේශීය දේශපාලන නායකයන්ට සහ ආර්ථික විද්‍යාඥයන්ට කළ හැකි කාර්යය ඉතා සීමිත බව යි.

  • IMF සමඟ ඉලක්කම් හරඹ කරමින් ණය වැඩසටහනේ සිටීම එතරම් අභියෝගාත්මක කාර්යයක් නොවේ. ඊට හේතුව, IMF කාර්යසාදනය රඳා පවතින්නේ ශ්‍රී ලංකාව වැනි විදේශ සංචිත අර්බුදයෙන් පෙළෙන රටවල් මත බැවින් ඔවුන් එම රටවල් පසුපස මොනවා හෝ කිරීමට එනු ඇත. එහෙත්, වඩා හොඳින් IMF සමඟ වැඩ කළ සහ වැඩ කළ හැකි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වරණයෙන් පරාජය වූයේ බහුතර මහජනයා IMF ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයට අකමැති වූ බැවිනි. එබැවින්, IMF සමඟ ඉදිරියට යාම සිස්ටම් චේන්ජ් එකක් නොවේ. 

මේ පිළිබඳ ව මීට පෙර ඉදිරිපත් කළ විශේෂ යෝජනා ලිපිය මෙතනින් කියවන්න (ලිපිය).

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස