රටම කැළඹු මුදල් මුද්‍රණය. කළා ද? නැත් ද? එය, කවුරුන්, කෙසේ, කා සඳහා, කළා ද?

 

ලිපියේ අරමුණ සහ පසුබිම 

මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවේ මුදල් මුද්‍රණය සහ එය කෙරෙන ආකාරය පිළිබඳ කෙටි සටහනක් තැබීම යි.

  • මේ දිනවල සමාජ මාධ්‍යය තුළ පැළ කොට ඇති නවතම දේශපාලනික පුවත මුදල් මුද්‍රණය යි. මෙහි මහා පුදුමය නම්, මෙම සරල වචන දෙක මගින් මහජනයා පමණක් නොව, දේශපාලන විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ මහ බැංකු නිවේදකයන් කැළඹීමට පත් වී, තම තමන්ට රිසි පරිදි විවිධාකාරයේ අර්ථ නිරූපණයන්, ආර්ථික විද්‍යා න්‍යායන්, පැහැදිළි කිරීම් සහ විවේචනයන් තරගකාරීව ඉදිරිපත් කිරීම යි. එම බොහෝ කරුනු "යන්නෙ කොහේ ද? මල්ලෙ පොල් " පිළිතුරු ය. සමහරුන්ට මෙය "තැලෙන යකඩය දුටු විට ආචාරියා උඩ පැන පැන තලනවා" වැනි ය. තවත් සමහරුන්ට මෙය "සෝද සෝදා මඩේ එබීමේ" ක්‍රියාවක් වී ඇත. 

  • ඊට හේතුව, මුල් දී නැගුන ප්‍රශ්නය වූයේ, මහ බැංකුව විසින් රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළා ද? යන්න යි. මුදල් මුද්‍රණය යනු මහ බැංකුවේ ඉතා සරල ප්‍රයෝගික කාර්යයකි. එය, කම්කරුවෙකුට උදැල්ලක් දී, කාණුවක් කැපිය යුතු වපසරිය නියම කළ විට, ඔහු විසින් කාණුව කැපීමේ නිරත වීම වැනි, සරල, සෘජු, ප්‍රයෝගික කාර්යයකි. එබැවින්, යම් දිනක හෝ කාලයක මුද්‍රණය කරන ලද මුදල මහ බැංකුවට සැකහැර සත ගණන් ද සහිතව කිව හැකිය.

  • එහෙත්, එම කෙටි පැනයට නිසි සෘජු පිළිතුර නොදී, සියළු දෙනා තරගෙට ඇදගෙන නෑමට පටන් ගෙන, නැති ප්‍රශ්න ඇති කොට ඇත. මුලින් පවසන ලද බොරු වැසීමට තව තවත් බොරු කීමට සිදු වීමෙන්, පුවත් පැල පාත්තියක් බිහි වී ඇත. එය මහ මැතිවරණයට පසුවත් පවතිනු ඇත. ඊට හේතුව, මුදල් මුද්‍රණය යනු රාජ්‍ය ණය සහ උද්ධමනය සමඟ බැඳී, ලෝකයේ වඩාත්ම දේශපාලන කරණය වී ඇති ආර්ථික විෂයක් වන බැවිනි. 2019 දී පත් වූ 69 ලක්ෂයක රජය වසර දෙක හමාරකින් ගෙදර යැවීමේ දී ද, මෙම වචනය අධික ලෙස භාවිතා විය. 2022 අප්‍රේල් 7 දින වත්මන් මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් පත් වූ විගස  මාධ්‍යයට පැවසුයේ, එවක රජය රුපියල් බිලියන 200 ක මුදල් මුද්‍රණය කළ බැවින්, අධි උද්ධමනයක් හට ගෙන ආර්ථිකය කඩා වැටීම සිදු වූ බව යි.

  • මෙම ලිපියෙන් උගත හැකි පාඩම වනුයේ, නොදන්නා දේවල් ගැන දන්නවා වගේ කථා නොකර, කට වසා ගෙන සිටීම ශරීර සෞඛ්‍යයට බොහෝ හිතකර බව යි.

මුදල් මුද්‍රණය යනු කුමක් ද?

  • එනම්, රජය විසින් මහ බැංකුවට දී ඇති ඒකාධිකාරී බලපත්‍රය අනුව මහ බැංකුව විසින් තමා වෙත බලය ඇති මුදල් ආර්ථිකයට සැපයීමේ ක්‍රියාවලිය යි. එය, රටේ වලංගු මුදල් ඒකකය ලෙස රජය විසින් නියම කොට ඇති මුදලෙන් සිදු කෙරේ. එබැවින්, එය අප බොහෝ දෙනා දන්නා, මහ බැංකු කාසි සහ නෝට්ටු නිකුත් කිරීමේ හෝ මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියට හාත් පසින් වෙනස් ක්‍රියාවලියකි.

  • ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකය රුපියල් ය (එහෙත්, නව මහ බැංකු පනතෙහි නිල මුදල් ඒකකය නියම කොට නැත). නිල ගෙවුම් මාධ්‍යය වශයෙන් ක්‍රියා කරන මුදල් ලෙස රුපියල් කාසි හා නෝට්ටු නිකුත් කිරීමේ බලය, රජය විසින් පවරා ඇත්තේ, මහ බැංකුවට පමණි. එනම්, රජය සතු මුදල් බලයක් මහ බැංකුවට පැවරීම යි. එබැවින්, රජය විසින් කාසි සහ නෝට්ටු මුදල් නිකුත් නොකෙරේ.

  • කාසි සහ නෝට්ටු යනු මුදල්වල ආර්ථික කාර්යයන් ඉටු කිරීම සඳහා මහජනයා විසින් විශ්වාසයෙන් පිළි ගනු ලබන එක් මුදල් වර්ගයකි. ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියා කිරීමේ ප්‍රධාන කාර්යය හැරුණ විට, මුදලේ තවත් ආර්ථික කාර්යයන් 3 ක් පවතී. එනම්, ගෙවුම් මාධ්‍යයක්, වටිනාකම් සංනිධියක් සහ විලම්බීත ගෙවුම් මාධ්‍යක් (ණය ගනුදෙනු කිරීම) යනාදිය යි.

  • එබැවින්, මුදලේ කාර්යයන් ඉටු කිරීම සඳහා මහජනයා විසින් පිළි ගන්නා, විකල්ප මුදල් වර්ගයන් රැසක් පවතී. උදාහරණ ලෙස බැංකු තැන්පතු, රාජ්‍ය සුරැකුම්පත් සහ වෙනත් මුදල් වෙළෙඳපොළ සුරැකුම්පත් දැක්විය හැකිය. අතීතයේ දී, විවිධ භාණ්ඩ සහ රත්රන් ද එසේ මුදල් ලෙස භාවිතා විය. 

  • එබැවින්, මෙම විකල්ප මුදල් වර්ගයන් නිකුත් කිරීමට නීතියෙන් බලය ලැබී ඇති පාර්ශවයන්ට ද ආර්ථිකයට මුදල් සැපයීමේ හැකියාව පවතී. එනම්, තැන්පතු මුදල් සඳහා බැංකු ද, රාජ්‍ය සුරැකුම්පත් සඳහා රජය ද දැක්විය හැකිය. තැන්පතු මුදල් සැපයීමට මහ බැංකුවට ද බලය පවතී. මෙම සියළු මුදල් වර්ගයන් එකිනෙකා අතර මුහුණත වටිනාකමට හෝ මිලකට හුවමාරු වෙයි. එය, ඒ ඒ මුදල් පිළිබඳ ව පවතින විශ්වාසය මත රැඳෙයි.

  • එබැවින්, මුදල් මුද්‍රණය ලෙස ප්‍රචලිත වී ඇත්තේ, මහ බැංකුව විසින් තමා වෙත නිල බලය ඇති මුදල් සැපයීමේ ක්‍රියාවලිය යි. එය, නූතන මහ බැංකු ක්‍රියාවලිය තුළ, හුදෙක් තැන්පතු මුදල් සැපයීම හරහා සිදු වෙයි. මෙම මහ බැංකු තැන්පතු, සංචිත තැන්පතු හෝ සංචිත ලෙස ප්‍රචලිත ය. කාසි සහ නෝට්ටු යනු මහ බැංකු ද්විතීය මුදලකි. සංචිත තැන්පතු හිමියෙකුට, තම මනාපය අනුව, එම සංචිත මුදලින් මුහුණත වටිනාකමට කාසි සහ නෝට්ටු මහ බැංකුවෙන් ලබා ගත හැකිය. එනම්, සංචිත සහ කාසි සහ නෝට්ටු මුහුණත වටිනාකමට හුවමාරු වීම යි. එනම්, සංචිත රුපියල් 100 කින්, කාසි සහ නෝට්ටු රුපියල් 100 ක් ලබා ගත හැකි වීම යි. 

  • ඒ අනුව, මහ බැංකුව විසින් මුද්‍රණය කෙරෙන හෝ සැපයෙන මුදල් දෙයාකාරයකින් පවතී. එනම්, සංචිත තැන්පතු සහ කාසි සහ නෝට්ටු ය. එය, ආර්ථිකයෙහි මහ බැංකු මුදල් ඉල්ලුම් කරුවන්ගේ මනාපය අනුව තීරණය වෙයි. එය, පුද්ගලයෙකු විසින් තම මුදල්, කාසි සහ නෝට්ටු සහ බැංකු තැන්පතු ලෙස තබා ගැනීමට සමාන ක්‍රියාවකි.

  • එබැවින්, මුදල් මුද්‍රණය යනු මහ බැංකුව විසින් කාසි සහ නෝට්ටු නිකුත් කිරීම ලෙස හුවා දැක්වීම වැරදි ය. ඊට හේතුව, කාසි සහ නෝට්ටු යනු මුදල් මුද්‍රණයෙහි අතුරු නිපැයුමක් වන බැවිනි. එසේම, කාසි සහ නෝට්ටු මුද්‍රණය යනු හුදෙක් මහ බැංකුවේ පරිපාලන කාර්යයකි. එනම්, කාසි සහ නෝට්ටු නිෂ්පාදන සමාගමකට ඇනවුමක් දී, යම් කාසි සහ නෝට්ටු තොගයක් සපයා ගැනීම යි. එය, ඉහත දැක්වූ මුදල් මුද්‍රණ ක්‍රියාවලියෙහි අංගයක් නොවේ.
මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද?

  • මුදල් මුද්‍රණය යනු බැංකුවක් විසින් තම ගනුදෙනු කරුවන් වෙත තැන්පතු සැපයීමට සමාන ක්‍රියාවකි. එනම්, මහ බැංකුව විසින් ද තම ගනුදෙනු කරුවන්ට සංචිත තැන්පතු සැපයීම යි.

  • මහ බැංකුවේ ගනුදෙනු කරුවන් වන්නේ, රජය, වාණිජ බැංකු, රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළෙඳුන් සහ අනුමත රාජ්‍ය නියෝජිත ආයතන යනාදිය යි. මහ බැංකුවේ ජංගම ගිණුම් හෙවත් සංචිත ගිණුම් පවත්වා ගැනීමට අවසරය ඇත්තේ ඔවුන්ට පමණි. මේවා මහ බැංකුවේ ඇති විද්‍යුත්/පරිගණක ගිණුම් ය. වෙනත් පුද්ගලයන්ට හෝ ආයතනවලට මහ බැංකුවේ ජංගම ගිණුම් පවත්වා ගැනීමේ අවසරය දැනට නොමැත.

  • මෙම ගිණුම් පවත්වා ගැනීමේ අරමුණ වනුයේ, ඔවුන්ගේ මුදල් ගනුදෙනු මහ බැංකු ගෙවුම් සහ පියවුම් පද්ධතිය හරහා සිදු කිරීම යි. එය, පුද්ගලයන් සහ සමාගම් විසින් වාණිජ බැංකුවල ජංගම ගිණුම් පවත්වා ගැනීමට සමාන වෙයි. එබැවින්, මෙම සියළු මහ බැංකු ගනුදෙනු කරුවන් අතර කෙරෙන මුදල් ගනුදෙනු පියවීම, මෙම සංචිත ගිණුම්වල ශේෂයන් හරහා විද්‍යුත් ලෙස සිදු වෙයි. එබැවින්, සෑම දිනයක් තුළ එම ගිණුම්වලට වෙනත් සංචිත ගිණුම්වලින් මුදල් ලැබීම සහ වෙනත් සංචිත ගිණුම්වලට මුදල් ගෙවීම සිදු වෙයි. එනම්, සංචිත හුවමාරු වීම යි. එම සියළු ගිණුම්වල පවතින සංචිත ශේෂවල සමස්ත එකතුව ද්‍රවශීලතාවය ලෙස හැඳින් වෙයි. එය, සාමාන්‍යයෙන් බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ සංචිත ගිණුම් ශේෂවල සමස්ත එකතුව ලෙස භාවිතා කෙරේ. 

  • බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය ලෙස මහ බැකුව කථා කරන්නේ, මෙම ඉලක්කමේ උස්පහත් වීම පිළිබඳ ව ය. එහෙත්, මෙම ගනුදෙනුවලින් මුදල් මුද්‍රණය වන්නේ නැත. ඉන් සිදු වන්නේ, දැනටම මුද්‍රණය කොට සංසරණයෙහි පවතින මහ බැංකු මුදල්, එම ගිණුම් අතර හුවමාරු වීමක් පමණි. එම ගිණුම්වලට ලැබෙන සහ ගිණුම්වලින් පිට වෙන කාසි සහ නෝට්ටු ප්‍රමාණය අනුව සමස්ත සංචිත ශේෂය හෝ ද්‍රවශීලතාවය ඉහළ හෝ පහළ යා හැකිය. උදාහරණ ලෙස උත්සව කාලවල මහජනයාගේ කාසි සහ නෝට්ටු ඉල්ලුම ඉහළ යන යන බැවින්, සමහර බැංකු විසින් තම සංචිත ගිණුම්වලින් කාසි සහ නෝට්ටු ලෙස මුදල් ඉවත් කර ගනු ඇත. එවිට, ද්‍රවශීලතාවය පහළ යනු ඇත. නැවත, එම කාසි සහ නෝට්ටු මහජනයා විසින් බැංකු වෙත තැන්පත් කෙරෙන විට, බැංකු විසින් එම අතිරික්ත කාසි සහ නෝට්ටු තම සංචිත ගිණුම්වල තැන්පත් කෙරේ. එවිට, ද්‍රවශීලතාවය, නැවත ඉහළ යනු ඇත.

  • එබැවින්, මුදල් මුද්‍රණය සිදු වන්නේ, මහ බැංකුව විසින් තම මුදල් ගනුදෙනු හරහා යම් සංචිත ගිණුම්වලට, නව මුදල් එකතු කෙරෙන අවස්ථාවල ය. එවිට, පවතින සමස්ත සංචිත ශේෂය හෙවත් බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය ඉහළ යනු ඇත. ඊට හේතුව, මහ බැංකුව විසින් නව මුදල් මුද්‍රණයක් සිදු කොට ඇති බැවිනි. ඒ සඳහා මහ බැංකුවට කළ හැකි ගනුදෙනු සහ මෙවලම්, මහ බැංකු පනතින් නියම කොට ඇත. එය සරලව මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ලෙස ප්‍රචලිත ය.

  • එහෙත්, එසේ මුද්‍රණය කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය පිළිබඳ සීමාවන් නව මහ බැංකු පනතේ දක්වා නැත. එය හුදෙක් මහ බැංකුවේ අභිමතය වෙයි. එහෙත්, අවලංගු කළ මුදල් නීති පනත යටතේ මුදල් ප්‍රතිපත්ති හෝ මුදල් මුද්‍රණයට මැදිහත් වීමේ බලය මුදල් ඇමති වෙත පැවතින. ඒ, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය පොදුජනතාවගේ ආර්ථික සුබසාදනයට හිත කර නොවන බවට රජය විසින් තීරණය කරන අවස්ථාවල ය. එවිට, මුදල් ඇමති විසින් දෙන විධානය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ යුතුය.

මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කෙරෙන මූලයන් හෝ සාධකයන් මොනවා ද?

  • ඉහත දැක්වූ පරිදි, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීමට නම්, තමා වෙත ඇති සංචිත ගිණුම්වලට නව මුදල් ඉලක්කම් එකතු කළ යුතුය. ඒ සඳහා මහ බැංකුවට අවසර ඇති මුදල් ගනුදෙනු කාණ්ඩයන් කිහිපයකි. එනම්, 

    • රජයට ණය දීම, 

    • වාණිජ බැංකුවලට ණය දීම, 

    • ප්‍රාථමික වෙළෙඳුන්ට ණය දීම, 

    • විදේශ මුදල් මිල දී ගැනීම සහ 

    • මහ බැංකුවට ස්ථාවර වත්කම්, භාණ්ඩ හා සේවා මිල දී ගැනීම යි. 

  • ඒ සඳහා මහ බැංකුව විසින් මුදල් ගෙවන්නේ, තම සේප්පුවේ තිබෙන මුදල්වලින් නොව, හුදෙක් අදාළ ගනුදෙනු කරුවන්ගේ සංචිත ගිණුම්වලට නව මුදල් ඉලක්කම් එකතු කිරීමෙනි. ඒ සඳහා උදාහරණයන් පහත දැක්වෙයි 
    • රජයට ණය දෙන විට, එම මුදල් රජයේ සංචිත ගිණුමට එකතු කෙරේ. දැනට, රජයට ණය දීම නොකළ ද, අතීතයේ එසේ දෙන ලද, 2023 සැප්තැම්බර් මස දී ප්‍රතිව්‍යුහගත කරණය කරන ලද, රුපියල් බිලියන 2,493 ක් පමණ සඳහා මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කොට ඇත. රජය විසින් ඉදිරි 2029-2038 දක්වා කාලය තුළ එම මුදල් මහ බැංකුවට පොලිය සමඟ ආපසු ගෙවිය යුතුය. මෙම ණය මෙම කල්පයෙහි දී රජය විසින් ගෙවන ණය නොවන අතර එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු හුදෙක් තවත් දේශපාලනික සංදර්ශනයකි.

    • වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ට ණය දෙන විට, එම මුදල් ඔවුන්ගේ සංචිත ගිණුම්වලට එකතු කෙරේ.

    • මහ බැංකුව විසින් විදේශ මුදල් මිල දී ගන්නේ, රජයෙන් සහ වාණිජ බැංකුවලිනි. ඒ සඳහා අදාළ රුපියල් ප්‍රමාණය, අදාළ විකුණුම් කරුවන්ගේ සංචිත ගිණුම්වලට එකතු කෙරේ.

    • මහ බැංකුව විසින් ස්ථාවර වත්කම්, භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී ගෙවිය යුතු මුදල්, එම විකුණුම් කරුවන්ගේ බැංකු සංචිත ගිණුම්වලට එකතු කෙරේ. චෙක්පත්වලින් ගෙවුව ද සිදු වන්නේ, එම මුදල් එම බැංකු සංචිත ගිණුම්වලට නිෂ්කාෂණය හෝ රැස් වීම යි.

  • එබැවින්, ඉහත දැක්වූ ඕනෑම ගනුදෙනුවකින් නව මුදල් මුද්‍රණයක් සිදු වෙයි. ඒ සඳහා දායක වූ හේතු පැහැදිළි කිරීම වෙනත් කරුණකි. මීට ප්‍රතිවිරුද්ධ ගනුදෙනු හේතු කොට, දැනටමත් මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් අතුරුදහන් වනු ඇත. එනම්, මහ බැංකු පරිගණක ගිණුම් පද්ධතියෙන් එම මුදල් ඉලක්කම් ඉවත් කිරීම යි. එනම්, එම ප්‍රමාණයෙන් අදාළ සංචිත ගිණුම් ශේෂයන් පහළ යාම යි.

  • වාණිජ බැංකු විසින් තම සංචිත ගිණුම්වලට කාසි සහ නෝට්ටු ලෙස මුදල් තැන්පත් කිරීමේ දී, සංචිත ගිණුම් ශේෂයන් ඉහළ යයි. එවිට, එම කාසි හා නෝට්ටු සංසරණයෙන් ඉවත් වී, මහ බැංකුවේ සේප්පුවල ඇති  කාසි සහ නෝට්ටු තොගයට එක් කරනු ඇත. ඊට ප්‍රතිවිරුද්ධව, වාණිජ බැංකු විසින් තම සංචිත ගිණුම්වලින් කාසි සහ නෝට්ටු ලෙස මුදල් ආපසු ගැනීමේ දී, සංචිත ගිණුම් ශේෂයන් පහළ යයි. එවිට, එම කාසි හා නෝට්ටු ප්‍රමාණයෙන් මහ බැංකුවේ සේප්පුවල ඇති  කාසි සහ නෝට්ටු තොගය පහළ යනු ඇත. මහ බැංකුව විසින් එසේ කාසි සහ නෝට්ටු තොගයක් සේප්පුවල තබා ගැනීමට හේතුව, මෙසේ සංචිත ගිණුම් හරහා සිදු වන කාසි හා නෝට්ටු ගනුදෙනු සඳහා ය.

 මුද්‍රිත මුදල් ප්‍රමාණය සහ මූලයන් හඳුනා ගැනීම

  • ඒ සඳහා මහ බැංකුවේ ශේෂ පත්‍රය නිරීක්ෂණය කළ යුතුය. ශේෂ පත්‍රයක් යනු ආයතනයක යම් දිනයක දී පැවති වත්කම් සහ වගකීම් වටිනාකම් දැක්වෙන ගිණුම් ලේඛනයකි. සමස්ත වත්කම් සහ වටිනාකම් වටිනාකම් සමාන වෙයි.

  • මහ බැංකු ශේෂ පත්‍රයේ වත්කම් යනු ඉහත දැක්වූ, අයවීමට ඇති ණය (අත්තිකාරම් සහ සුරැකුම්පත්), මිල දී ගත් විදේශ මුදල් වත්කම් සහ මිල දී ගන්නා ලද අනෙක් වත්කම් ය.

  • මහ බැංකු වගකීම්  යනු එම වත්කම් මිල දී ගැනීම සඳහා මහ බැංකුව විසින් ගෙවන ලද හෝ මුද්‍රණය කරන ලද මුදල් ය. ඒවා, සංචිත තැන්පතු, සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු සහ වෙනත් වගකීම් ශේෂයන් ලෙස පවතිනු ඇත. මෙහි, කාසි සහ නෝට්ටු යනු සංචිත ගිණුම් හිමියන් විසින් වරින් වර කාසි සහ නෝට්ටු ලෙස තම ගිණුම්වලින් ඉවත් කර ගෙන ඇති මුළු මුදල් ප්‍රමාණය යි. එය  තම ගනුදෙනු කරුවන්ගේ කාසි සහ නෝට්ටු ඉල්ලුම සැපිරීම සඳහා සිදු කොට ඇත. එබැවින්, මහ බැංකු සේප්පුවල පවතින කාසි සහ නෝට්ටු තොගය මීට අයත් නොවේ. එම කාසි සහ නෝට්ටු තොගයහුදෙක් අනාගතයේ දී බැංකු විසින් ඉල්ලා සිටිය හොත්, කඩිනමින් සැපයීමේ අරමුණින් පවත්වා ගැනේ.

  • එබැවින්, මහ බැංකුව විසින් මහජනයා වෙත කාසි සහ නෝට්ටු නිකුත් කරන බව දැක්වීම වැරදි ය. එය හුදෙක් රජය, බැංකු සහ මහජනයා අතර සිදු වන ක්‍රියාවලියකි. ඒ සඳහා රජය සහ බැංකු වෙත ඇති වාහකය සංචිත ගිණුම් ය. එනම්, සංචිත ගිණුම්වලට මහ බැංකුවෙන් ලබා ගන්නා ණය හෝ මහ බැංකුවට අළෙවි කෙරෙන විදේශ මුදල් මගින් සංචිත ගිණුම්වලට සපයා ගන්නා මුදල් ශේෂ මගින් කාසි සහ නෝට්ටු ලබා ගනී.

  • මෙහි දී, මහ බැංකුව විසින් මුද්‍රණය කරන ලද මුදල් හෝ මහ බැංකු වගකීම් යනු කිසි දිනක යම් වත්කමකින් ගෙවිය යුතු වගකීමක් නොවේ. උදාහරණ ලෙස සංසරණයේ පවතින කාසි සහ නෝට්ටුවල මුහුණත වටිනාකම, මහ බැංකුව විසින් ආපසු ගෙවීමට බැඳී නැත. මහ බැංකුව සතු එකම බැඳීම වන්නේ, යම් කාසියක් හෝ නෝට්ටුවක්, එහි අයිතිකරු විසින් ඉල්ලා සිටිය හොත්, වෙනත් කාසි සහ නෝට්ටු එම වටිනාකමට මාරු කර දීම පමණි. ඒ සඳහා මහ බැංකුව විසින් මුදල් හුවමාරු කවුන්ටර් පවත්වා ගෙන යනු ලැබේ. එබැවින්, කිසිම මහ බැංකුවකට වාණිජ බැංකු මෙන් බැංකු චකිතයන්ට මුහුණ දීමේ අවදානමක් නැත.

  • ඒ අනුව, මහ බැංකු ශේෂ පත්‍රයේ මුළු වටිනාකම යනු මහ බැංකුව විසින් මුද්‍රණය කොට ඇති මුළු මුදල් ප්‍රමාණය යි. එහි වත්කම් ව්‍යුහය දෙස බැලීමෙන්, මුදල් මුද්‍රණයට හේතු වූ සාධකයන් ද, වගකීම් ව්‍යුහය දෙස බැලීමෙන්, මුද්‍රිත මුදල් භාවිතා වන  ප්‍රභේදයන් ද හඳුනා ගත හැකිය.

  • මීට විකල්ප ලෙස සමහර මහ බැංකු විසින් සංචිත මුදල් හෝ අධි බලැති මුදල් යන කිසිවෙකුට තේරුම් ගත නොහැකි අර්ථකථනයක් හරහා ද සමස්ත මුද්‍රිත මුදල් ප්‍රමාණය, එහි සංයුතිය සහ ඊට බලපෑ සාධකයන් හඳුනා ගැනීම සහ විග්‍රහ කිරීම සිදු කෙරේ.

  • වෙනත් බැංකුවල වත්කම් සහ වගකීම් ඉතා අවදනාම්කාරි වුව ද, මහ බැංකු වත්කම් සහ වගකීම්වල අවදානම් නැති තරම් ය. තව ද, මහ බැංකු වත්කම්වලින් ආදායම් ලැබෙන අතර වගකීම්වල පිරිවැය ඉතා අඩු ය. ප්‍රධාන වගකීම් වන කාසි සහ නෝට්ටු සහ සංචිත තැන්පතු සඳහා කිසිම පොලියක් නොගෙවයි. එබැවින්, ගිණුම්කරණ අක්‍රමිකතාවන් නොමැති නම්, මහ බැංකුවක් නිරන්තරයෙන් ලාභ දායි වන බැවින් වත්මන් මහ බැංකුවේ එක් දින මුදල් ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් අනුව මහ බැංකු වත්කම් - වගකීම් කළමනාකරණය ඉතා සරල කාර්යයකි. ඒ සඳහා මූල්‍ය සහ ආර්ථික විශේෂඥයන් අවශ්‍ය නොවේ. එහෙත්, දිගු කාලීන ආර්ථික සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය සහ මුදල් මුද්‍රණය ක්‍රියාත්මක කරන විට, මහ බැංකු වත්කම්-වගකීම් කළමනාකරණය තරමක් සංකීර්ණ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවලියක් වනු ඇත. එහෙත්, අවදානම්කාරී නොවේ.
රජය වෙනුවෙන් මුදල් මුද්‍රණය නොකළ බවට 
දැක්වෙන මතවාදයන්හි වැරැද්ද 

  • ඉහත දැක්වූ රුපියල් බිලියන 100 ක මුදල් මුද්‍රණය ආශ්‍රිතව කරුණු පැහැදිළි කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය, විවට වෙළෙඳපොළ කටයුතු, මුදල් වෙළෙඳපොළ පොලී අනුපාත ස්ථායිකරණය, මුදල් මැවීම, මුදල් ගුණකය, විදේශ සංචිත රැස් කිරීම, මිල ස්ථායිතාවය රැකීම වැනි විවිධාකාර කථාන්දරයන් ඉදිරිපත් කොට ඇත. ඒවා හුදෙක් මුදල් මුද්‍රණය ආශ්‍රිත පැරණි න්‍යායාත්මක කථාන්දරයන් ය. ඒවා සනාථ කිරීමට එම කථාන්දරයන් හැර ආර්ථික පර්යේෂණ දත්ත නොමැත. පසුගිය සතිය තුළ හෝ දින කිහිපය තුළ රුපියල් බිලියන 100 ක පමණ මුදලක් මුද්‍රණය කළ බවට පළ වූ සමාජ මාධ්‍ය පුවත ද ඉන් එකකි.

  • සමහර කථාන්දරයන්වල තේමාව වනුයේ, මහ බැංකුව මුදල් මුද්‍රණය කරන බවත්, එහෙත්, රජයට මුදල් මුද්‍රණය නොකළ බවත් ය. එනම්, මහ බැංකුව විසින් රජයට මුදල් මුද්‍රණය කිරීම අපරාධයක් වැනි ය.

  • එහෙත්, ඔවුන් නොදන්නා කාරණය වන්නේ, මහ බැංකුව විසින් කිහිප ආකාරයකට රජය වෙනුවෙන් මුදල් මුද්‍රණය කරන බව යි. එනම්,
    • පළමුව, රජයට ලැබෙන විදේශ ණයවල විදේශ මුදල් මිල දී ගෙන මුදල් මුද්‍රණය කිරීම. එය පුණ්‍ය කර්මයකි. ඊට හේතුව, රජය විසින් මහ බැංකුවේ විදේශ සංචිතය තර කරන බැවිනි.

    • දෙවනුව, මහ බැංකුව විසින් ද්විතීය වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම මගින් මුදල් මුද්‍රණය. එය ද මහත් පුණ්‍ය කර්මයකි. ඊට හේතුව, බැංකු ද්‍රවශීලතාවය සහ පොලී අනුපාත පාලනයට හැකියාව මහ බැංකුවට ලැබීම යි. එහෙත්, මෙය හුදෙක් රාජ්‍ය ණය වක්‍රව මිල දී ගැනීමකි. මහ බැංකු පනත අනුව රජයට සෘජුව හෝ වක්‍රව ණය දීම තහනම් වෙයි.

    • තෙවනුව, රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසිවල දී පිළිගත් ලංසු සඳහා රජයට මුදල් ප්‍රේෂණය කිරීමේ දී, බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් මුහුණ දෙන සංචිත හිඟයන් පියවීම සඳහා ඔවුන් වෙත මහ බැංකුව විසින් දිනය තුළ පොලි රහිත සහ කෙටි කාලීන අඩු පොලී ණය සැපයීම. මෙම ණය සැපයෙන්නේ, රාජ්‍ය සුරැකුම්පත් මත ය. මෑත IMF වර්තාවක මෙසේ ප්‍රාථමික වෙළෙඳුන්ට ණය දීම යනු රජය මූල්‍යකරණයට මහ බැංකුව වක්‍රව දායක වීම ලෙස සලකා, එය අත්හිටුවීමට යෝජනා කොට ඇති බව වාර්තා විය. මෙම ණය ද ලෞකික පුණ්‍ය කර්මයකි. ඊට හේතුව, එමගින් ගෙවුම් සහ පියවුම් පද්ධතිය කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට මහ බැංකුවට හැකියාව ලැබීම යි.

    • සිවුවනුව, සියළු මුදල් නෝට්ටු රජය වෙනුවෙන් නිකුත් කිරීම. එනම්, "ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය" යන බව මුදල් නෝට්ටුවල සටහන් වීම. එනම්, මුදල් ක්‍රමය බිඳ වැටෙන අවදානමක දී රජය වගකිව යුතුය. මහජනයා විසින් කාසි සහ නෝට්ටු කෙරෙහි විශ්වාසය තබන්නේ රජය මත ය. එසේ නැතිව, මුදල් මුද්‍රණ තීරණයන් ගනු ලබන මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මණ්ඩල සාමාජිකයන්ගේ විද්වත් භාවය හෝ ඔවුන්ගේ කීර්තිනාමයන් කෙරෙහි ඇති විශ්වාසය මත නොවේ. ඇමෙරිකානු මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කෙරෙන්නේ, "දෙවියන් කෙරෙහි විශ්වාසය මත" ය (IN GOD WE TRUST). එබැවින්, ඇමෙරිකානු මුදල් නෝට්ටුවලට මහ බැංකුව හෝ රජයේ වගකීමක් නැත. එහෙත්, මුදල් අර්බුදවල දී රජය සහ මහ බැංකුව කරට කර ක්‍රියා කරනු ඇත. එහෙත්, නව මහ බැංකු පනත අනුව ශ්‍රී ලංකාවේ බැංකු අර්බුදයක දී, මහ බැංකුව විසින් අවසාන ණය දෙන්නා ලෙස ද්‍රවශීලතාවය සැපයීමට රජයේ ඇපය අවශ්‍යය. එනම්, මුදල් සහ බැංකු ක්‍රමයේ ස්ථායිතාවය පවතින්නේ, රජය කෙරෙහි විශ්වාසය නිසා ය.

  • එබැවින්, මුදල් මුද්‍රණය පිළිබඳ සමාජ මාධ්‍ය කැළඹීම කෙරෙහි මහ බැංකුව විසින් දැක්වූ නිවේදනය සහ විවිධ විශේෂඥයන් විසින් මහ බැංකුව විසින් මුදල් මුද්‍රණයක් හෝ රජය වෙනුවෙන් මුදල් මුද්‍රණයක් නොකළ බව පැවසීම පදනම් විරහිත ය. ඊට හේතුව, සියළුම ආකාරයේ මුදල් මුද්‍රණයන් රාජ්‍ය සුරැකුම්පත් ආශ්‍රිතවත්, සියළු මුදල් නෝට්ටු රජය වෙනුවෙන් නිකුත් කිරීමත් ය. රාජ්‍ය සුරැකුම්පත් හරහා කෙරෙන වත්මන් සමස්ත විවට වෙළෙඳපොළ කටයුතු රාජ්‍ය ණය මුදල් ආශ්‍රිත නීති විරෝධී ගනුදෙනු වෙයි. නව මහ බැංකු පනත අනුව විවට වෙළෙඳපොළ කටයුතු කළ යුත්තේ, මහ බැංකු සුරැකුම්පත් සහ ව්‍යාපාර කොටස් වැනි පෞද්ගලික සුරැකුම්පත් වෙළෙඳාම හරහා ය. එහෙත්, නීතිය නැමීම සහ ඇඹරීම මහ බැංකුවට අපහසු නොවේ. ඊට හේතුව, මහ බැංකුව විසින් ඉටු කරනුයේ, දේව කාර්යයන් බවට මහජනයාට කෙරෙන විද්වත් දේශනාවන් ය. එසේම, විවට වෙළෙඳපොළ කටයුතුවල දී සිදු වන අක්‍රමිකතාවන් හේතුවෙන් රාජ්‍ය මුදල් කෙරෙහි ඇති කෙරෙන අලාභයන් ද විශාල වෙයි. ඒවා මෙම වෙබ් අඩවියෙහි නිකුත් කොට ඇති මහ බැංකු මුදල් ක්‍රියාකාරකම් පිළිබඳ ලිපිවලින් ද පැහැදිළි කොට ඇත.

  • එබැවින්, ස්වාධීන මහ බැංකු විශේෂඥයන්ගේ ඊළඟ වෑයම විය යුත්තේ, මුදල් මුද්‍රණය පිළිබඳ ව රජය ගෑවෙන සියළු මහ බැංකු ගනුදෙනු තහනම් කොට, රජයට එරෙහිව රජය පෙරළීමට ක්‍රියා කරන, පූර්ණ පෞද්ගලික මහ බැංකුවක් ස්ථාපිත කිරීමේ නීති සම්මත කිරීම යි.

  • නූතන සංචිත අනුපාතික මුදල් ආර්ථිකයන්හි මුදල් මුද්‍රණය යනු මහ බැංකුවලට හිතැඟි ලෙස පාලනය කළ හැකි ක්‍රියාවක් නොවේ. මහ බැංකුවකට කළ හැක්කේ, ආර්ථිකයෙහි මහ බැංකු වගකීම් සඳහා පවතින ඉල්ලුමට සරිලන ලෙස මුදල් මුද්‍රණය කිරීම යි. උදාහරණ ලෙස බැංකු අර්බුදයක් හට ගන්නා විට, සංචිත හෝ මුදල් නෝට්ටු සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ යන බැවින්, ඊට මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කළ යුතුය. එසේ නැතහොත්, මුදල් ක්‍රමය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී, මුදල් ක්‍රමය කඩා වැටෙනු ඇත. ආර්ථිකයෙහි බැංකු සහ රජය ඇතුළු තවත් විකල්ප මුදල් නිෂ්පාදකයන් රැසක් පවතී. ඔවුන් නිෂ්පාදනය කරන මුදල් ද සංචිත අනුපාතයක් මත ක්‍රියාත්මක වෙයි. එය දැනට ශ්‍රී ලංකාවේ 5% ක් පමණ වෙයි. එබැවින්, ආර්ථිකයෙහි ණය සහ මුදල් ඉල්ලුම අනුව සංචිත ඉල්ලුම වෙනස් වන විට, මුදල් මුද්‍රණය ද ස්වයංක්‍රීය නියමුවෙකි (Auto Pilot). උදාහරණ ලෙස මහ බැංකුව විසින් තම මුදල්වල මිල හෝ පොලී අනුපාතයන් නියම කොට ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන බැවින්, මුදල් මුද්‍රණය (එනම්, සැපයුම) පාලනය කළ නොහැකිය. එය ආර්ථිකයෙහි සංචිත ඉල්ලුම මගින් තීරණය වනු ඇත. කිසිම රාජ්‍ය වෙළෙඳපොළ පාලන අධිකාරියකට වෙළෙඳපොළ මිල සහ ප්‍රමාණය යන දෙකම තමන්ට රිසි ලෙස පාලනය කළ නොහැකි බව සරල ආර්ථික විද්‍යා කරුනකි 

  • රජය යනු ආර්ථිකයෙහි සිටින විශාලම තනි ණය කරුවා සහ මුදල් නිෂ්පදකයකයා වන බැවින් රජයේ මුදල් ගනුදෙනුවලට අදාළ ගෙවුම් සහ පියවුම් කිරීම ආශ්‍රිත මුදල් මුද්‍රණයෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකා මහ බැංකුවට තබා, ලෝකයේ වඩාත්ම ස්වාධීන මහ බැංකුව වන ඇමෙරිකානු මහ බැංකුවටත් හැකියාවක් නොමැත. ඇමෙරිකානු මහ බැංකුවේ ශේෂ පත්‍රයෙහි වත්කම්වලින් 95% පමණ සමන්විත වන්නේ, ද්විතීය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති රාජ්‍ය සුරැකුම්පත්වලිනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් විවට වෙළෙඳපොළ කටයුතුවල බහුතරය, රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු පියවීම සඳහා වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ට ප්‍රතිපත්ති ණය පොලී අනුපාතයට වඩා අඩු පොළියට සංචිත සැපයීම සඳහා යොමු වී ඇත. ඒ සඳහා මුදල් ප්‍රතිපත්ති න්‍යාය පිළිබඳ කථා කිරීම හැර, මහ බැංකුවට කළ හැකි විශේෂ දෙයක් නොමැත.
(මෙම ලිපිය කතුවරයාගේ නවතම කෘතිය වන " ආර්ථිකය හසුරුවන, සතුට ගෙනන මුදල් " යන සරසවි කෘතියේ ඇතුළත් නවීන මුදල් ක්‍රමයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කරුණු ඇසුරින් සැකසින."


මුදල් මුද්‍රණය පිළිබඳ 2021 දී මෙම වෙබ් අඩවියට නිකුත් කළ ලිපි දෙකක් මෙතනින් කියවන්න. (පළමු ලිපිය) (දෙවැනි ලිපිය)

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස