රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස


හජනයා විසින් තම ගනුදෙනු සඳහා කාසි සහ නෝට්ටු මුදල් භාවිතා කළ ද, එම මුදල් ආර්ථිකයට නිකුත් කිරීම හෙවත් මුදල් මුද්‍රණය කෙරෙන ආකාරය පිළිබඳ දැනුමක් බොහෝ මහජනයාට නොමැත. මේ දිනවල ලෝකය පුරා අධික මුදල් මුද්‍රණයක් පවතින බවත්, එමගින් අධි උද්ධමන පීඩනයක් හට ගෙන ඇති බවත්, ඒ හේතු කොට ස්ථාවර සහ අඩු ආදායම් ලාභීන්ගේ ජීවන මට්ටම කඩා වැටෙමින් පවතින බවත්, සමහර මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් රජයන් සහ මහ බැංකු වෙත දෝෂාරෝපණය කිරීම දැකිය හැකිය. බොහෝ රටවල විපක්ෂ දේශපාලනික නායකයන් විසින් රජයන් විවේචනය කිරීම සඳහා ද මෙය නිරන්තරයෙන් භාවිතා කෙරේ. එහෙත්, මේ පිළිබඳ ව විවිධ ආර්ථික විද්‍යා සංකල්පයන් මත පදනම් වී වාද විවාද කිරීම දැකිය හැකිය.

මෑත කාලයේ බොහෝ රටවල මුදල් මුද්‍රණයට හේතුව ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගෙන ඇති ආර්ථික අවපාතය මැඩලීමට අවශ්‍ය මූල්‍ය සම්පත් ණය ප්‍රසාරණය හරහා රජය සහ මහජනතාව වෙත සැපයීම සඳහා බව නොරහසකි. ආර්ථික පසුබැසීම් පවතින කාලවල මුදල් සැපයුම ප්‍රසාරණය කොට ළිහිල් මූල්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම හරහා ආර්ථිකයේ සමාහාර වියදම හෝ ඉල්ලුම ඉහළ නැංවීමේ මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව පංති කාමරයේ ඉගැන්වෙන ආර්ථික විද්‍යා පාඩමකි. එමගින්, ආර්ථිකයේ නිෂ්පාදනය සහ සමාහාර සැපයුම ධෛර්යමත් වී මහජනතාවගේ ආදායම සහ සේවා නියුක්තිය ඉහළ යන බවට විශ්වාස කෙරේ. මෙම අවස්ථාවේ ලෝකය පුරා රටවල සිදු කෙරෙන්නේ ද එය යි. ළිහිල් මූල්‍ය තත්වයක් යනු ආර්ථිකයේ පොලී අනුපාතයන් පහළ මට්ටමක සහ මුදල් සහ ණය ප්‍රසාරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීම යි. ඒ සඳහා අවශ්‍ය මූලික මෙවලමක් වන්නේ මුදල් මුද්‍රණය යි.

මුදල් මුද්‍රණය කෙරෙනේ කා විසින් ද?

මුදල් මුද්‍රණය ලෙස ආර්ථික විද්‍යාවේ අර්ථකතනය කෙරෙන්නේ මහ බැංකුව විසින් ආර්ථිකයට නිකුත් කෙරෙන මුදල් ප්‍රමාණය යි. එය ලෝකයේ බොහෝ රටවල රජයන් විසින් අදාළ අණපනත් මගින් මහ බැංකු වෙත පවරා ඇති අතර වෙනත් පුද්ගලයන් විසින් මුදල් මුද්‍රණය කිරීම තහනම් කොට ඇත. එබැවින්, මුදල් මුද්‍රණය යනු රජයන් විසින් මහ බැංකුවලට ලබා දී ඇති ඒකාධිකාරී බලපත්‍රයකි. එමගින්, මහ බැංකු විසින් ආර්ථිකය වෙත කොපමණ මුදල් ප්‍රමාණයක්, කුමන අවස්ථාවක, කෙසේ, කුමන හේතු මත නිකුත් කළ යුතු ද? යන්න බලතල පවරා ඇති අතර එම මුදල් රාජ්‍ය මුදල් වෙයි. එහෙත්, එසේ නිකුත් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය පිළිබඳ නීතිමය සීමාවක් නොමැත. එය ආර්ථිකයේ කාලීන මූල්‍ය අවශ්‍යතාවන් මත සිදු කිරීමට මහ බැංකුවලට බලතල ලැබී ඇත. එහෙත්, එය තීරණය කිරීමට කිසිම විද්‍යාත්මක හෝ ගණිතමය සුත්‍රයක් නොමැති අතර මහ බැංකුවල අභිමතය මත තීරණය කෙරේ.

මුළු මුද්‍රිත මුදල් ප්‍රමාණය කොපමණ ද? යන්න දැන ගන්නේ කෙසේ ද?

යම් දිනක මහ බැංකුව විසින් නිකුත් කොට ඇති මුදල් ප්‍රමාණය කුමක් ද? යන්න ප්‍රධාන වශයෙන් දෙයාකාරයකට හඳුනා ගැනේ. එනම්, මහ බැංකුවේ ශේෂ පත්‍රයේ මුළු වටිනාකම සහ පදනම් මුදල් ප්‍රමාණය සංකල්පය යනාදිය යි. මහ බැංකුවක් විසින් මුදල් නිකුත් කරන්නේ යම් යම් වත්කම් මිල දී ගැනීම හරහා ය. රජයක් හෝ පෞද්ගලික ආයතනයක් හෝ පුද්ගලයෙක් මෙන් නොව මුදල් මුද්‍රණය කොට ගෙවීම තුළින් වත්කම් අත්කර ගැනීමට මහ බැංකුවට මහජන බලතල ලබා දී ඇත. උදාහරණ ලෙස ඩොලර් හෝ රාජ්‍ය සුරැකුම්පත් හෝ ගොඩනැගිල්ලක් මිල දී ගැනීමට මහ බැංකුවට අවශ්‍ය නම්, ක්ෂණිකව මුදල් මුද්‍රණය කොට අදාළ විකුණුම්කරුට ගෙවීමෙන් එය සිදු කළ හැකිය. එබැවින්, යම් අවස්ථාවක මහ බැංකුව සතු වත්කම්වල මුළු වටිනාකම හෙවත් ශේෂ පත්‍රයේ මුළු වටිනාකම මුළු මුදල් මුද්‍රණය ලෙස සැලකේ.

පදනම් මුදල් යනු මහ බැංකු විසින් ගණනය කෙරෙන තාක්ෂණික සංඛ්‍යාවකි. සංචිත මුදල්, අධිබලැති මුදල් සහ මුදල් පදනම ලෙස ද සැලෙකන මෙය මගින් මහ බැංකුව විසින් නිකුත් කරන ලදුව වාණිජ බැංකු සහ මහජනතාව වෙත පවතින මුදල් ප්‍රමාණය ඇස්තමේන්තු කෙරේ. එය සරල වශයෙන් දැක්වුව හොත් වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කොට ඇති මුදල් ප්‍රමාණය සහ වාණිජ බැංකු සහ මහජනතාව වෙත ඇති කාසි සහ නෝට්ටු මුදල් ප්‍රමාණය යනාදියේ එකතුව යි. මෙහි අදහස මහ බැංකුව විසින් මුද්‍රණය/නිකුත් කොට ඇති මුදල් ප්‍රමාණයෙන් කොටසක් කාසි සහ නෝට්ටු ලෙස වාණිජ බැංකු සහ මහජනයා අත ද, ඉතිරිය මහ බැංකුවේ වාණිජ බැංකු තැන්පතු ලෙස ද පවතින බව යි.

මෙහිදී, රජය සතු කාසි සහ නෝට්ටු මුදල් ප්‍රමාණය සහ මහ බැංකුව වෙත ඇති රාජ්‍ය තැන්පතු මුදල් ප්‍රමාණය ඉවත් කෙරේ. ඊට හේතුව, මුදල් මුද්‍රණයේ දී රජය සහ මහ බැංකුව එකම ඒකකයක් ලෙස සැලකීම යි. මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කරන්නේ රජය වෙනුවෙන් බැවින් රජය අත ඇති මුදල් ප්‍රමාණය මුද්‍රිත මුදල් ප්‍රමාණයෙන් ඉවත් කෙරේ. එසේම, මහ බැංකුවේ සේප්පුවල ඇති කාසි සහ නෝට්ටු මුදල් ප්‍රමාණය ද මුදල් මුද්‍රණයට අයත් නොවේ. ඊට හේතුව, එම මුදල් හුදෙක් ඉදිරියේ දී අවශ්‍ය වූ විට නිකුත් කිරීම සඳහා පවතින මුදල් තොගය වන අතර එය මහ බැංකුවේ ශේෂ පත්‍රයට ගැනෙන වත්කමක් නොවන බැවිනි. ඕනෑම මහ බැංකුවක් විසින් ආර්ථිකයට අවශ්‍ය වූ විට හිඟයකින් තොරව නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාසි සහ නෝට්ටු තොගයක් කලින් මුද්‍රණය කොට තම සේප්පුවල තබා ගැනීම සිරිතක් වෙයි.

මුදල් මුද්‍රණය කිරීමට හේතු වන සාධක මොනවා ද?

මුලින් දැක්වූ පරිදි මහ බැංකුව විසින් වත්කම් අත්කර ගැනීමේ දී මුදල් මුද්‍රණය කෙරේ. ආර්ථිකයේ මුදල් සඳහා කෙරෙන ඉල්ලුම සැපිරීම පිණිස එසේ වත්කම් මිල දී/අත්කර ගැනීම සිදු කෙරේ. විදේශ විනිමය මිල දී ගැනීම, රජයට සහ වාණිජ බැංකුවලට ණය ලබා දීම සහ මූල්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම යනාදිය මහ බැංකු විසින් එසේ අත්කර ගන්නා ප්‍රධාන වත්කම් වෙයි. මෙම මූල්‍ය සුරැකුම්පත් ප්‍රධාන වශයෙන් රාජ්‍ය ණය වන රාජ්‍ය සුරැකුම්පත් වෙයි. මෙම වත්කම් ව්‍යුහය මහ බැංකු අතර ද වෙනස් වෙයි. උදාහරණ ලෙස දියුණු වන රටවල ප්‍රධාන මහ බැංකු වත්කම වන්නේ විදේශ විනිමය වත්කම් වන අතර සංවර්ධිත රටවල එය රාජ්‍ය සුරැකුම්පත් වෙයි.

ඒ අනුව, මහ බැංකු සතු විදේශ විනිමය, රාජ්‍ය ණය සහ වාණිජ බැංකු ණය යනාදී වත්කම් සමකාලීන ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය මත තීරණය වනු ඇත. උදාහරණ ලෙස කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජයන් විසින් අයවැය හිඟයන් හරහා අධික ලෙස වියදම් කිරීම හේතු කොට, ඊට අවශ්‍ය ණය මුදල් රජයන්ට සපයා ගැනීම සඳහා අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවලට සිදු විය. එය මහ බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හරහා සිදු කෙරින. එසේ නොකළා නම් රජයේ අධික ණය ඉල්ලුම හේතු කොට ආර්ථිකයේ පොලී අනුපාතයන් ඉහළ ගොස් මූල්‍ය ප්‍රශ්නයන් හට ගත හැකිව තිබිණ.

එසේම, ආර්ථිකයේ ගෙවුම් ශේෂ අතිරික්තයක් පවතින විට වාණිජ බැංකු වෙත විදේශ විනිමය සැපයුම ඉහළ යන අතර වාණිජ බැංකු විසින් තම අතිරික්ත විදේශ විනිමය මහ බැංකුව වෙත අළෙවි කිරීමෙන් මහ බැංකුවේ විදේශ විනිමය වත්කම් ඉහළ යනු ඇත. එම විදේශ විනිමය සඳහා ගෙවීම මුදල් මුද්‍රණය තුළින් සිදු කෙරේ. මහ බැංකුව විසින් එම අතිරික්ත විදේශ විනිමය මිල දී ගැනීම නොකෙරේ නම්, දේශීය මුදල ප්‍රතිප්‍රමාණය (විනිමය අනුපාතය පහළ යාම) වී ආනයන සහ අපනයන පරිමාව කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.

එසේම, ආර්ථිකයේ ණය මුදල් හිඟයක් හෝ මූල්‍ය අස්ථායිතාවයක් පවතින විට වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් ණය ලබා ගැනීම ඉහළ යනු ඇත. එවිට, මහ බැංකු විසින් වාණිජ බැංකු වෙත ණය සැපයීම සඳහා මුදල් මුද්‍රණය නොකළ හොත් ආර්ථිකය තුළ දැඩි මූල්‍ය අස්ථායිතාවයක්  හට ගනු ඇත. උදාහරණ ලෙස සංවර්ධිත රටවල මහ බැංකු විසින් කොරෝනා වසංගතයෙන් පිඩනයට පත් වූ ව්‍යාපාරයන්ට ණය සැපයීම සඳහා ප්‍රතිමූල්‍ය ණය ක්‍රමයන් රැසක් වාණිජ බැංකු වෙත ප්‍රදානය කරන ලදි. රටක ආර්ථික සහ මූල්‍ය අර්බුදයක් පවතින විට මහ බැංකුව විසින් බැංකු වෙත සැපයෙන ණය මුදල් හරහා මුදල් මුද්‍රණය ඉහළ දමන්නේ මේ නිසා ය.

එබැවින්, මහ බැංකු වෙත බලතල ලබා දී ඇත්තේ මෙසේ ආර්ථිකයේ සමකාලීන අවශ්‍යතාවන් අනුව අනුමත වත්කම් අත්කර ගැනීම තුළින් මුදල් මුද්‍රණය කිරීම සඳහා ය. එහෙත්, වාණිජ පදනමක් මත වත්කම් අත්කර ගැනීමට මහ බැංකුවලට බලතල නොමැත. උදාහරණ ලෙස ලාභ ඉපැයීමේ අරමුණින් ව්‍යාපාරික කොටස් හෝ සුරැකුම්පත් මිල දී ගැනීම සහ වෙළෙඳාම මහ බැංකුවලට තහනම් කොට ඇත. මහ බැංකුවේ එදිනෙදා මෙහෙයවුම් කටයුතු සඳහා අවශ්‍ය ස්ථාවර වත්කම් හැර වෙනත් වාණිජ පදනමක් මත ඉඩම් ගොඩනැගිලි වැනි ස්ථාවර වත්කම් රැස් කිරීම තහනම් වෙයි. ඊට හේතුව, මහ බැංකු පිහිටුවා ඇත්තේ රජය වෙනුවෙන් සමස්ත ආර්ථික කාර්යසාධනයට අවශ්‍ය මූල්‍ය තත්ත්වය රටෙහි පවත්වා ගෙන යාම සඳහා වන බැවිනි.

මහජනයාට තම ගනුදෙනු සඳහා පෞද්ගලික මුදල් වර්ගයන් භාවිතා කිරීමට නීතියෙන් අවසර නොමැති බැවින්, සමස්ත ආර්ථිකයට යෝග්‍ය පරිදි මූල්‍ය තත්ත්වය පවත්වා ගැනීම මහ බැංකුවල පොදුජන වගකීම යි. මෙහිදී, හුදෙක් සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය නොව, මුදලේ කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි මූල්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම අදහස් වෙයි. එහෙත්, ආර්ථිකයේ ගනුදෙනු පරිමාවට සාපේක්ෂව මූල්‍ය තත්ත්වය හිඟ මට්ටමක මෙන්ම අතිරික්ත මට්ටමක පවත්වා ගැනීම තුළින් විවිධ ආර්ථික අස්ථායිතාවන් හට ගන්නා බවට අත්දැකීම් රාශියක් ලෝකය පුරා පවතී.

එහෙත්, සිංගප්පුරුව සහ හොංහොං වැනි මුදල් මණ්ඩල ක්‍රමයන් පවතින රටවල මුදල් මුද්‍රණය කිරීම හුදෙක් මූල්‍ය අධිකාරිය විසින් විදේශ විනිමය මිලදී ගැනීම හරහා පමණක් සිදු කෙරේ. රාජ්‍ය සුරැකුම්පත් වැනි වත්කම් මිල දී ගැනීම මත මුදල් මුද්‍රණය කිරීමට අවසර නොමැත. එබැවින්, මෙවැනි ආර්ථිකයන් විදේශ විනිමය ඉපැයෙන වෙළෙඳ සහ ආයෝජන ව්‍යාපාරයන් සංවර්ධනය කිරීම කෙරෙහි යොමු වී ඇත. ශ්‍රී ලංකාවේ 1950 දී මහ බැංකුව පිහිටු වීමට පෙර පැවතියේ ද මෙවැනි මුදල් මණ්ඩල ක්‍රමයකි.

යම්කිසි කාලයක් තුළ මුද්‍රණය කෙරෙන මුදල් ප්‍රමාණය තීරණය වන්නේ කෙසේ ද?

මෙහිදී, ඕනෑම කාලයන් දෙකක් අතර පදනම් මුදල් ප්‍රමාණයේ හෝ මහ බැංකු ශේෂ පත්‍රයේ වටිනාකමේ සිදු වන වෙනස් වීම මුදල් මුද්‍රණයේ වෙනස්වීම ලෙස හඳුනා ගත හැකිය. එය ඉහත දැක්වූ මහ බැංකුවේ වත්කම්වල සිදු වූ ශුද්ධ වෙනස යි. උදාහරණ ලෙස මහ බැංකුවේ විදේශ වත්කම් පහළ යන අතර රජයට දෙන ලද මුළු ණය පරිමාව (අත්තිකාරම් සහ රාජ්‍ය සුරැකුම්පත්) ඉහළ යා හැකිය. ඒ අනුව, එම වත්කම් දෙක වෙනස්වීමේ ශුද්ධ වටිනාකම මුදල් මුද්‍රණයේ ඉහළ යාම වෙයි. එබැවින්, අදාළ කාලය තුළ මහ බැංකුවේ විවිධ වත්කම්වල සිදු වන වෙනස් වීමේ ශුද්ධ වටිනාකම එම කාලය තුළ සිදු වූ මුදල් මුද්‍රණයට සමාන වෙයි.

එය හුදෙක්, මුළු වත්කම් ප්‍රමාණයේ වෙනස්වීම ගණනය කිරීම මගින් සොයා ගත හැකිය. එබැවින්, හුදෙක් මහ බැංකුවක් විසින් සලකා බලන කාලය තුළ රජයට දෙන ලද නව ණය ප්‍රමාණය පමණක් හුවා දැක්වීම තුළින් මුදල් මුද්‍රණය කෙරෙන බව‍ට දෝෂාරෝපණය කිරීම සාවද්‍ය වෙයි. ඊට හේතුව, එම කාලය තුළ මහ බැංකුවේ විදේශ විනිමය වත්කම් පහළ ගොස් ඇත්නම්, එම ප්‍රමාණයෙන් මුද්‍රිත මුදල් ප්‍රමාණයක් ආර්ථිකයෙන් ඉවත් වී ගොස් ඇති බැවිනි.

ඒ අනුව, මහ බැංකුව විසින් වත්කම් මිල දී ගන්නා විට මුදල් මුද්‍රණය එම ප්‍රමාණයෙන් ඉහළ යන අතර, වත්කම් අඩු කරන විට (විදේශ විනිමය අළෙවි කිරීම සහ දෙන ලද ණය ආපසු ලැබීම) එම ප්‍රමාණයෙන් මුද්‍රිත මුදල් ප්‍රමාණය පහළ යයි. එබැවින්, යම්කිසි කාලයක් තුළ මුද්‍රිත මුදල් ප්‍රමාණය යනු එම කාලය තුළ මහ බැංකු වත්කම්වල සිදු වන ශුද්ධ වෙනස්වීම යි. එය මහ බැංකු වත්කම් සඳහා ආර්ථිකයේ පවතින ඉල්ලුම සහ සැපයුම මත රඳා පවතී. එය සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වය තුළින් තීරණය වෙයි. ඒ සඳහා විශේෂයෙන් බලපාන ලද වත්කම් මොනවා ද? යන්න මහ බැංකු වත්කම් ව්‍යුහය දෙස බැලීමෙන් හඳුනා ගත හැකිය. උදාහරණ ලෙස සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල 2020 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා මුදල් මුද්‍රණය ඓතිහාසික ලෙස ඉහළ යාමට හේතුව කොරෝනා මර්ධන රාජ්‍ය සහන පැකේජයන් සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම පිණිස රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම යි.

මුද්‍රණය කෙරෙන මුදල්වලට සිදු වන්නේ කුමක් ද?

වත්කම් අත්කර ගැනීම හරහා මහ බැංකුව විසින් මුද්‍රණය කෙරෙන මුදල් සියල්ල නැවත මහ බැංකුවේ වගකීම් බවට පත්වෙයි. එම මුදලින් කොටසක් කාසි හා නෝට්ටු මුදල් ලෙස ගනුදෙනු සඳහා ආර්ථිකයේ බැංකු, මහජනයා සහ රජය වෙත රැඳෙන අතර තවත් කොටසක් ඔවුන් විසින් මහ බැංකුවේ තැන්පතු ලෙස තබා ගැනේ. මෙම කාසි සහ නෝට්ටු මුදල් සහ තැන්පතු මුදල් ප්‍රමාණයන් බැංකු, මහජනයා සහ රජයේ ගනුදෙනු රටාව අනුව කලින් කලට වෙනස් වනු ඇත. උදාහරණ ලෙස ජාතික උත්සව කාලවල කාසි සහ නෝට්ටු මුදල් ඉල්ලුම ඉහළ ගොස්  තැන්පතු මුදල් ඉල්ලුම පහළ යනු ඇත.

එහෙත්, වෙනත් ව්‍යාපාරික ආයතනවල වගකීම් මෙන් නොව කිසියම් වත්කම් මගින් ආපසු ගෙවීමට බැඳීමක් මහ බැංකු වගකීම්වල නොමැත. මහ බැංකුව වෙත ඇති එකම වගකීම වන්නේ මහ බැංකුවේ ඇති තැන්පතු සඳහා කාසි සහ නෝට්ටු ඉල්ලා සිටිය හොත් එසේ කාසි සහ නෝට්ටු ලබා දීමත්, කාසි සහ නෝට්ටු වෙනත් වටිනාකම් සහිත කාසි සහ නෝට්ටුවලින් මාරුකර දීමත් ය. එබැවින්, මහ බැංකු වගකීම් යනු කිසිදාක ආපසු ගෙවීමේ අවදානමක් නොමැති වගකීම් වෙයි. එහෙත්, මහ බැංකු විසින් මුද්‍රණය කොට ඇති මුදල් පිළිබඳ ව විශාල වගකීමක් මහ බැංකු වෙත පවතී. එනම්, එම මුදල්වල මූර්ත වටිනාකම හෙවත් ක්‍රය ශක්තිය ආරක්ෂා කිරීම යි. මහ බැංකුවල එක් ව්‍යවස්ථාපිත අරමුණක් වන්නේ මෙය යි.

එසේම, ආර්ථිකයේ මූල්‍ය අස්ථායීතාවන් පවතින කාලවල මහජනයා විසින් කාසි සහ නෝට්ටු මුදල් ඉල්ලුම වැඩි කරන බැවින්, ඒ සඳහා මුදල් මුද්‍රණය ඉහළ දැමීමට ද මහ බැංකුවලට සිදු වනු ඇත. තවද, අන්තර් බැංකු වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉලක්ක මට්ටමේ ස්ථායීව පවත්වා ගෙන යාමේ අරමුණ මත මහ බැංකුව විසින් බැංකු හරහා ආර්ථිකයෙන් මුදල් උකහා ගැනීම ද සිදු කෙරේ. මෙම මුදල් උකහා ගැනීම මහ බැංකුව විසින් තමන් සතු රාජ්‍ය සුරැකුම්පත් ද්විතීය වෙළෙඳපොළේ ප්‍රති මිල දී ගැනීමේ ගිවිසුම් හරහා අළෙවි කිරීම තුළින් සිදු කෙරේ. මේවා ද මහ බැංකුවේ වගකීම් වෙයි. එබැවින්, මුදල් මුද්‍රණය මහ බැංකු වගකීම් සඳහා ආර්ථිකයේ ඇති ඉල්ලුම මත රඳා පවතින බව ද කිව හැකිය. ඊට සරිලන ලෙස වත්කම් අත්කර ගැනීම තුළින් මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවලට සිදු වෙයි.

ඇමෙරිකානු මහ බැංකුවේ වත්කම් සහ මුදල් මුද්‍රණ ව්‍යුහය

ලෝකයේ ඉතා ප්‍රචලිත ජාත්‍යන්තර සංචිත මුදල ලෙස ඇමෙරිකානු ඩොලරය සැලකේ. එබැවින්, අමෙර්කානු මහ බැංකුව විසින් ඩොලර් මුද්‍රණය කිරීම පිළිබඳ ව ගන්නා තීරණයන් ලෝක ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කෙරේ. එහෙත්, ඇමෙරිකානු මහ බැංකුව විසින් තම මුදල් මුද්‍රණ තීරණයන් ගනු ලබන්නේ ඇමෙරිකානු ආර්ථිකයේ අවශ්‍යතාවන් පදනම් කර ගෙන ය. උදාහරණ ලෙස කොරෝනා වසංගතයේ ආර්ථික අස්ථායීතාවය පාලනය කිරීම සඳහා 2020 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා (2021 නොවැම්බර් 3 දක්වා) ඩොලර් බිලියන 4,400 ක පමණ නව මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇත. එය ඇමෙරිකානු මහ බැංකුව 1912 දී පිහිටුවීමේ සිට මුද්‍රණය කොට 2019 වර්ෂය අවසානයේ දී පැවති මුළු මුද්‍රිත මුදල් ප්‍රමාණය වූ ඩොලර් බිලියන 4,173.6 මෙන් 105% ක ඉහළ යාමකි.

ඊට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ ඇමෙරිකානු රජයට දෙන ලද ණය වෙයි (පහත සංඛ්‍යා සටහන බලන්න). එය, ද්විතීය වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හරහා සිදු කොට ඇත. එබැවින්, ඇමෙරිකානු මහ බැංකු වත්කම් ව්‍යුහය තුළ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිශතය 64.5% දක්වා අධික ලෙස ඉහළ ගොස් ඇත. එසේම, පෞද්ගලික මූල්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හරහා මුද්‍රණය කරන ලද මුදල් ප්‍රමාණය මුළු මුදල් මුද්‍රණයෙන් 29.5% ක් වෙයි.

මෙම මුළු මුදල් මුද්‍රණයෙන් 25.2% ක් පමණ ආර්ථිකයේ කාසි සහ නෝට්ටු මුදල් ලෙස පැවති අතර 54.6% ක් බැකු සහ වෙනත් අනුමත ආයතන විසින් මහ බැංකුවේ තැන්පතු වගකීම් ලෙස පැවතින. මෙම බැංකු තැන්පතු සඳහා මහ බැංකුව විසින් දෛනික පදනමක් මත පොලී ගෙවනු ලැබේ. එසේම, 19.3% ක පමණ මුදලක් මහ බැංකුව විසින් තම ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව (වර්තමානයේ 0-0.25%) පවත්වා ගැනීමේ අරමුණින් විවෘත වෙළෙඳපොළ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිවිකුණුම් ගිවිසුම් වගකීම් හරහා නැවත මහ බැංකුව වෙත උකහා ගෙන ඇත. එබැවින්, එම ප්‍රමාණයෙන් මහ බැංකුවේ රාජ්‍ය සුරැකුම්පත් වත්කම් ප්‍රමාණය පහළ ගොස් ඇත.

2021 නොවැම්බර් 03 දිනට ඇමෙරිකානු මහ බැංකුවේ වත්කම් සහ වගකීම්

      වත්කම්

ඩොලර් බිලියන

%

රාජ්‍ය සුරැකුම්පත්

5,533.2

64.5

උගස් බැඳුම්කර සුරැකුම්පත්

2,527.8

29.5

ණය

93.6

1.1

විදේශ විනිමය වත්කම්

20.7

0.2

වෙනත් වත්කම්

399.6

4.7

    මුළු වත්කම් වටිනාකම

8,574.9

100.0

      වගකීම්

 

 

කාසි සහ නෝට්ටු

2,158.1

25.2

බැංකු තැන්පතු

4,149.8

48.4

ප්‍රතිවිකුණුම් ගිවිසුම්

1,657.0

19.3

වෙනත් තැන්පතු

534.2

6.2

ප්‍රාග්ධනය

39.9

0.5

වෙනත් වගකීම්

35.9

0.4

   මුළු වගකීම් වටිනාකම

8,574.9

100.0

මූලය: ඇමෙරිකානු නිව්යෝර්ක් මහ බැංකු වෙබ් අඩවිය

මුදල් මුද්‍රණයෙන් මහ බැංකුවට ලාභයක් ලැබේ ද?

මුදල් මුද්‍රණය තුළින් මහ බැංකුවට අවදානම් රහිත ලාභයක් ලැබේ. ඊට හේතුව, මහ බැංකු වත්කම් සඳහා පොලී සහ ප්‍රාග්ධන ලාභ ආදායමක් ලැබෙන අතර කාසි සහ නෝට්ටු සහ බොහෝ තැන්පතු වගකීම් සඳහා මහ බැංකුවට පොලී වියදමක් නොමැති වීම යි. මහ බැංකු වත්කම් බහුතරය රාජ්‍ය ණය සහ බැංකු ණය වන බැවින් වත්කම්වල අවදානම හෝ පාඩු ඉතාමත් සුළු වෙයි. මහ බැංකුවල විවට වෙළෙඳපොළ කටයුතු සඳහා වන පොලී අනුපාතයන් මහ බැංකුව විසින්ම තීරණය කෙරේ. එසේම, ආර්ථිකයේ පොලී අනුපාතයන් ද මහ බැංකුව විසින් තම වත්කම් සහ වගකීම් ගනුදෙනු හරහා මෙහෙය වනු ලැබේ. විදේශ විනිමය වත්කම් ද සංවර්ධිත රටවල රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කෙරෙන බැවින් ඒ සඳහා අවදානම් රහිත විදේශ පොලී ආදායමක් ලැබේ. 

එහෙත්, බැංකු සහ ව්‍යාපාරික ආයතනයන් මෙන් ලාභ අරමුණු කොට මහ බැංකුවල වත්කම් සහ වගකීම් කළමනාකරණය කිරීමක් සිදු නොවේ. ආර්ථිකයේ දේශීය පොලී  අනුපාතයන් සහ විනිමය අනුපාතයන් අත්තනෝමතික ලෙස වෙනස් කිරීම හෝ මෙහෙයවීම සහ ඒ මත වත්කම්-වගකීම් ව්‍යුහය වෙනස් කිරීම තුළින් ලාභ ජනිත කිරීමට මහ බැංකුවලට හැකියාව පවතී. එහෙත්, එවැනි ක්‍රියාවන් නීති විරෝධී බැවින් මහ බැංකු විසින් එවැනි ක්‍රියාවන්වල නිරත නොවේ. ඊට හේතුව, මහ බැංකුවේ ව්‍යවස්ථාපිත බලය වන්නේ මුදල් මුද්‍රණය ඇතුළු ප්‍රතිපත්ති තුළින් ආර්ථිකයේ අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි මූල්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම යි.

එහෙත්මහ බැංකු යනු නිරන්තරයෙන් ලාභ ලබන ආයතනයන් වෙයි. මුදල් මුද්‍රණය කොට තමන් විසින්ම මිල නියම කොට අවදානම් රහිත පිරිවැය අවම වගකීම් සහ අවදානම් රහිත ආදායම් උපයන වත්කම් අත්කර ගැනීම තුළින් ව්‍යාපාරික කටයුතු කළ හැකි කෙනෙකුට අලාභ සිදු විය නොහැකි බව තේරුම් ගැනීමට ව්‍යාපාරික දැනුමක් අවශ්‍ය නොවේ. මහ බැංකුවේ ලාභය මහ බැංකුවේ ප්‍රාග්ධනය අයිතිකරු වන රජයට සංක්‍රාම කෙරේ. එහෙත්, මහ බැංකු විසින් ද මූල්‍ය ව්‍යාපාරයක් කෙරෙන බවට විශ්වාස කෙරෙන නූතන ගණකාධිකාරිවරුන් විසින් වෙළෙඳපොළ මිල ගණන් මත පදනම් වූ ව්‍යාපාරික ගිණුම් ප්‍රමිතීන් මහ බැංකු ගනුදෙනු සඳහා ද අනුගමනය කිරීම තුළින් විශාල ගිණුම් අලාභයන් වාර්තා වන මහ බැංකු ද දැකිය හැකිය.

මහ බැංකුවේ වත්කම් සහ වගකීම් ව්‍යුහය සහ මුදල් මුද්‍රණය තීරණය කෙරෙන්නේ ඒ මත වන අතර එය සාංගමික සැලසුම් හෝ ආයතනික උපාය මාර්ගික සැලසුම් හරහා කළ නොහැකිය. ඊට හේතුව, ගතික ආර්ථිකයන්හි සහ ගෝලීය ආර්ථිකයේ නිරන්තරයෙන් හට ගන්නා ආතතීන්, කම්පනයන් සහ මූල්‍ය තත්ත්වයේ වෙනස්වීම් එවැනි සැලසුම් ක්‍රමවේදය තුළ පුරෝකතනය කළ නොහැකි බැවිනි. 

ඊට හොඳම උදාහරණය වනුයේ 2020 වර්ෂය ආරම්භයේ හට ගත් ගෝලීය කොරෝනා වසංගත කම්පනය සහ ඒ ආශ්‍රිත මෑත කාලීන/වත්මන් ගෝලීය ආර්ථික අස්ථායිතාවයන් ය. එසේමආර්ථිකයකට යෝග්‍ය මූල්‍ය/මුදල් තත්ත්වය තීරණය කිරීම  සඳහා පිළිගත් ගණිතමය හෝ ආර්ථික විද්‍යා සූත්‍රයක් නොමැති අතර විවිධ මහ බැංකු විසින් තම දැනුම අනුව ඒ ඒ රටවලට යෝග්‍ය ආකාරයට එම තීරණයන් ගනු ලැබේ.

එබැවින්, මහ බැංකුවල වත්කම්-වගකීම්/ශේෂ පත්‍රය කළමනාකරණය කිරීම සහ මුදල් මුද්‍රණය සඳහා මූල්‍ය සහ කළමනාකරණ විශාරදයන් අවශ්‍ය නොවන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ සමකාලීන සාර්ව ආර්ථික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මහ බැංකු වත්කම් සහ වගකීම් කළමනාකරණය කිරීමේ සාර්ව ආර්ථික දැනුම ඇති ආර්ථික වියතුන් ය. මහ බැංකු වත්කම් සහ වගකීම් කළමනාකරණය ඉතා සරල කාර්යයක් බව ඇමෙරිකානු මහ බැංකු අධ්පති විසින් මෑතදී මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කරන ලදි. එබැවින්, මහ බැංකුවල කාර්යක්ෂමතාවය ඇගයීම කෙරෙන්නේ මහ බැංකුවල මූල්‍ය වාර්තාවන් හෝ ලාභ ප්‍රමාණය අනුව නොව ආර්ථිකයේ මූල්‍ය තත්ත්වය කොතරම් දුරට ආර්ථිකයේ වර්ධනයට සහ ස්ථායීතාවයට උපකාරී වී ඇත් ද? යන්න මත ය. එනම්, මූල්‍ය ප්‍රතිපත්තියේ කාර්යසාධනය යි.

මුදල් මුද්‍රණය හේතු කොට උද්ධමනයක් හට ගනී ද?

මෙය හුදෙක් මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් බිහි කරන ලද සංකල්පයකි. මෙය බොහෝ ආර්ථික විද්‍යා ගුරුවරු සහ සිසුන් මෙන්ම සාර්ව ආර්ථික විද්‍යාව සහ මුදල් මුද්‍රණය පිළිබඳ ව කිසිවක් නොදන්නා සාමාන්‍ය ජනතාව අතර පවා මුදල් මුද්‍රණය යන වචනය ඇසෙන පමණින් උද්ධමනය ගැන බිය ප්‍රකාශ කෙරෙන තත්ත්වයට ප්‍රචලිත වී ඇත. 

මෙම සංකල්පයේ සරල අදහස වනුයේ ආර්ථිකයේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හා සේවා පරිමාවේ වර්ධනයට වඩා වැඩි වේගයකින් මුදල් මුද්‍රණය කෙරෙන විට ආර්ථිකයේ පොදු මිල මට්ටම ඉහළ යන බව යි. එය උද්ධමනය ලෙස දැක්වෙයි. ඊට හේතුව ලෙස ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සැපයුමට සාපේක්ෂව මුදල් ප්‍රමාණය/සැපයුම වැඩි වීම තුළින් මුදලේ වටිනාකම පහළ යාම හෙවත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම දැක්වෙයි. එනම්, ආර්ථිකයේ එක් භාණ්ඩ හා සේවා ඒකකයක් මිල දී ගැනීමට පවතින/ඉදිරිපත් කෙරෙන මුදල් ඒකක ගණන වැඩි වීම යි. 

එහෙත්, ආර්ථිකයේ උද්ධමනකාරී තත්ත්වයන් හට ගැනීම කෙරෙහි සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුමට සම්බන්ධ විවිධ සාධකයන් බලපාන අතර එය හුදෙක් මුදල් මුද්‍රණය හේතු කොට හට ගන්නා බවට තහවුරු කෙරෙන ආර්ථික පර්යේෂණයන් දක්නට නොලැබේ. ආර්ථිකයේ  සියළුම සාධකයන් ස්ථාවරව පවතින විට මුදල් මුද්‍රණය පමණක් ඉහළ යයි නම් මෙම සංකල්පය අනුව උද්ධමනය හට ගත හැකිය. එහෙත්, ආර්ථිකයක් යනු ඉතා ගතික හෝ ක්‍රියාශීලී වෙළෙඳපොළවල සමස්තයක් වන බැවින් ආර්ථිකයේ පොදු මිල මට්ටම තීරණය වීම කෙරෙහි විවිධ ආකාරයේ ඉල්ලුම් සහ සැපයුම් සාධකයන් බලපානු ඇති අතර ඒ පිළිබඳව එකඟතාවයක් නොමැති විවිධ මති මතාන්දර පවතී.

උදාහරණ ලෙස වර්තමානයේ වාර්තා වන ගෝලීය උද්ධමන පීඩනයට හේතුව කොරෝනා වසංගතය හේතු කොට හට ගෙන ඇති සැපයුම් ජාල අවහිරතාවන්/කඩා වැටීම් බවට පිළි ගැනේ. එහෙත්, මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස වනුයේ එය ගෝලීය මුදල් මුද්‍රණය ඉහළ යාම හේතු කොට සමාහාර ඉල්ලුම ඉහළ යාමෙන් සිදු වී ඇති බවත්, එය වැලැක්වීම සඳහා මුදල් මුද්‍රණය වහාම පහළ දැමිය යුතු බව යි. එබැවින්, මෙය හුදෙක් සංකල්පීය නිර්දේශයකි. ඊට  හේතුව, මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් නිරන්තරයෙන් මෙසේ මුදල් මුද්‍රණය සම්බන්ධ උද්ධමන භීතිකාවකින් පෙළෙන බැවිනි. 

එහෙත්, මෙම අවස්ථාවේ මුදල් මුද්‍රණය කපා හැර මූල්‍ය තත්ත්වය දැඩි කළ හොත්, දැනටමත් පවතින ගෝලීය භාණ්ඩ හා සේවා  හිඟයට අමතරව මුදල් හිඟයක් ද හට ගෙන, ආර්ථිකයන් තවත් අවපාතයට වැටෙන බැවින් සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල මහ බැංකු විසින් මෙම මූල්‍ය වාදී නිර්දේශය එලෙසම පිළිගැනීමට ඉදිරිපත් වී නොමැත. කොරෝනා වසංගතය පාලනය කිරීම තුළින් දැනට පවතින ආර්ථික අනියතතාවයන් පහව ගොස් ගෝලීය සැපයුම් ජාලයන් නැවත ප්‍රකෘත්තිමත් වන විට, මෙම උද්ධමන පීඩනය ක්‍රමයෙන් ලිහිල් වන බවට බොහෝ මහ බැංකු සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් විශ්වාස කෙරේ.

එබැවින්, මෙම ඍණාත්මක මූල්‍ය වාදී සංකල්පයට ප්‍රතිවිරුද්ධව, නුතන මුල්‍ය න්‍යාය නමින් නව ධනාත්මක ආර්ථික විද්‍යා සංකල්පයක් මෑතදී වර්ධනය වී ඇත. එහි අදහස වනුයේ ආර්ථිකයේ සම්පත් උපයෝජනය සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ දැමීමට හැකියාව පවතී නම්, උද්ධමනය ගැන බිය නොවී මුදල් මුද්‍රණය තුළින් ණය ගැනීම හරහා රාජ්‍ය වියදම් ඉහළ දැමීමෙන් ආර්ථික සංවර්ධනය සහ පොදු ජීවන මට්ටම ඉහළ දැමිය හැකි බව යි (නුතන මූල්‍ය න්‍යාය පිළිබඳ විශේෂ ලිපියක් මෙම වෙබ් අඩවියේ ඇත).


(වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශයන් වන මෙම කතුවරයාගේ මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව සහ “Innovating Central Banks” යන ග්‍රන්ථයන් පරිශීලනය කරන්න.)

 

පී සමරසිරි
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?