ආර්ථික ප්‍රතිපත්ති අවුල තුළින් වත්මන් ගෝලීය කොරෝනා ආර්ථික පසුබැස්ම මහා ගෝලීය ආර්ථික අර්බුදයකට තල්ලු කෙරේ ද?
2020 වර්ෂය ආරම්භයේ හට ගත් ගෝලීය කොරෝනා වෛරසය මැඩලීම සඳහා රජයන් විසින් අනුගමනය කරන ලද චීන මාදිලියේ පුද්ගල සහ සමාජ අගුළු දැමීමේ ප්රතිපත්ති හේතු කොට ආර්ථිකයන් ද නිරායාසයෙන් අගුළු වැටුන බවත්, ඒ හේතු කොට ගෝලීය සැපයුම් ජාලයන් බිඳී යාම තුළින් ගෝලීය ආර්ථිකයේ ක්ෂණිකව හට ගත් මහා පසුබැසීම සැවොම දන්නා කරුණකි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කඩා වැටීම තුළින් දැඩි සේවා වියුක්තියක් හට ගත් අතර එමගින් පොදුජන ජීවන තත්ත්වය පහළ යාම සහ දරිද්රතාවය ඉහළ යාම ගෝලීය වශයෙන් මෙන්ම රටවල ද පොදු ලක්ෂණය වී ඇත.
ලෝකයේ සියළුම රටවල් වෙළෙඳාම හරහා ගෝලීය ආර්ථිකයක් තුළ ක්රියාත්මක වන බැවින් ධනවත් රටවල හෝ කලාපවල හට ගන්නා කම්පනයන් විගසින් ගෝලීය ආර්ථිකය පුරා පැතිරෙන බවට අතීත අත්දැකීම් නොඅඩුව පවතී. බොහෝ ගෝලීය කම්පනයන් මූල්ය අර්බුදයන් හෝ ව්යාපාරික චක්රයන් හෝ භූදේශපාලනික ගැටුම් හරහා හට ගෙන ඇත. එමගින් ගෝලීය ආර්ථිකය අගුළු වැටීමක් සිදු නොවූ අතර එය නොයෙකුත් හැල හැප්පීම් මත ක්රියාත්මක විය.
එහෙත්, වත්මන් ගෝලීය ආර්ථික කම්පනය/මහා පසුබැසීම ලෝකයේ පවතින වෛද්ය විද්යාවේ දියුණුව අභිමවා යමින් හට ගත් නොදන්නා සෞඛ්ය වසංගතයක් වූ බැවින්, ගෝලීය ජන සමාජය සහ ආර්ථිකය රාජ්ය පාලනයන්ගෙන් ඉවත් වන තරම් අස්ථායීතාවන්ගෙන් පිරී යන ලදි. ප්රතිශක්ති එන්නත් සහ ඖෂධයන් නිෂ්පාදනය තුළින් කොරෝනා වෛරසය සහ ඊට සම්බන්ධ අස්ථායීතාවන් බොහෝ දුරට යටපත් කොට ගෝලීය ආර්ථිකය දැනට ක්රමයෙන් විවෘත කෙරෙමින් පවතී.
රජයන් හෝ ප්රතිපත්ති සම්පාදකයන් ආරම්භයේ දී බලාපොරොත්තු වුයේ ආර්ථිකයන් නැවත විවෘත කෙරන විට, ගෝලීය සැපයුම් ජාලයන් ක්රමයෙන් ප්රකෘතිමත් වී පොදුජන ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් වන බව යි. එහෙත්, අනපේක්ෂිත ගෝලීය ආර්ථික සංකූලතාවන් සහ අස්ථායීතාවන් රැසකට රටවල් සහ මහජනතාව මුහුණ දෙන බව දැකිය හැකිය. ඒවා දිනෙන් දින නව ස්වරුපයෙන් ව්යාප්ත වන බවත්, ඒ පිළිබඳව ප්රතිපත්ති සම්පාදකයන් විසින් විවිධ මතවාදයන් පළ කෙරෙන බවත් නොරහසකි.
ක්ෂණික කොරෝනා මර්දන ගෝලීය ආර්ථික ප්රතිපත්ති පැකේජය
ආර්ථික අවපාතයන් සහ පසුබැසීම්වලින් ගොඩ ඒම සඳහා ප්රධාන ආර්ථික විද්යා ධාරාවෙන් නිර්දේශ කෙරන්නේ රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්ති ලිහිල් කිරීම යි. එහි අරමුණ වනුයේ, ආර්ථිකයේ සමාහාර ඉල්ලුම (පරිභෝජනය සහ ආයෝජනය) ඉහළ නැංවීම හරහා ආර්ථිකයේ නිෂ්පාදනය සහ සමාහාර සැපයුම දිරිමත් කිරීම තුළින් ආර්ථික වර්ධනය, ආදායම සහ සේවා නියුක්තිය ඉහළ දැමීම යි, එනම්, ආර්ථිකය නැවත ඉහළ නැංවීම යි.
මෙහිදී කෙරෙන මූලික උපකල්පනය වන්නේ ආර්ථිකයේ සමාහාර සැපයුමට වඩා සමාහාර ඉල්ලුම පහළ යාම තුළින් ඇති වන අධි සැපයුම හේතු කොට ආර්ථික අවපාතයක් හෝ පසුබැසීමක් හට ගන්නා බව යි. ආර්ථිකයේ පොදු මිල මට්ටම පහළ යාමේ හෙවත් අවධමනකාරී ප්රවණතාවයක් මෙහිදී සාමාන්යයෙන් දැකිය හැකිය.
එබැවින්, අයවැය හිඟයන් හරහා රාජ්ය වියදම් ඉහළ දැමීම සහ ලිහිල් මූල්ය පාලනය හරහා ණය ප්රසාරණය කිරීම තුළින් කඩිනමින් සමාහාර ඉල්ලුම හෝ වියදම ඉහළ නංවා ආර්ථිකය නැවත ස්ථායීකරණය (සමාහාර ඉල්ලුම් සහ සැපයුම් තුලන තත්ත්වය) කළ හැකි බවට විශ්වාස කෙරේ. මෑත කාලීන මූල්ය අර්බුදයන් තුළින් හෝ ව්යාපාර චක්රයන් මත හට ගත් ආර්ථික අවපාතයන්/පසුබැසීම් මැඩලීම සඳහා අනුගමනය කළ ප්රතිපත්ති කට්ටලය වුයේ මෙය යි. සංවර්ධිත රටවල 2007/09 මූල්ය අර්බුදය තුළින් හට ගත් මහා ගෝලීය ආර්ථික පසුබෑමෙන් ගොඩ ඒම සඳහා දශකයක පමණ කාලයක් අනුගමනය කරනු ලැබුවේ මෙම ප්රතිපත්ති ක්රමවේදය යි.
එබැවින්, ගෝලීය කොරෝනා වසංගතයෙන් හට ගත් මහා ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒම සඳහා සංවර්ධිත රටවල් විසින් එම ප්රතිපත්ති කට්ටලයම වඩාත් වැඩි වේගයකින් සහ පරිමාවකින් ක්රියාත්මක කරන ලදි. මෙහිදී, රාජ්ය මූල්ය ප්රතිපත්තිය සහ මූල්ය ප්රතිපත්තිය අන්යෝන්ය සම්බන්ධීකරණයකින් ක්රියාත්මක වීම ඓතිහාසික සිද්ධියකි.
එබැවින්, ලෝකය පුරා රාජ්ය අයවැය හිඟය, රාජ්ය ණය තොගය සහ මුදල් මුද්රණය ඓතිහාසික ලෙස ඉහළ ගොස් ඇත. උදාහරණ ලෙස සංවර්ධිත රටවල ද.දේ.නි.යේ ප්රතිශතයක් ලෙස අයවැය හිඟය 2019 දී 2.9% සිට 2021 දී 10.4% දක්වා ද, රාජ්ය ණය තොගය 103.8% සිට 125.5% දක්වා ද අධික ලෙස ඉහළ ගොස් ඇත. එසේම, 2007/09 ගෝලීය මූල්ය අර්බුදය මැඩලීම සඳහා දශකයක් තුළ මුද්රණය කරන ලද ඩොලර් ට්රිලියන 14 ක් පමණ වන නව මුදල් ප්රමාණය හා සැසඳීමේ දී, 2020 ආරම්භයේ සිට පසුගිය මාස 18 ක පමණ කාලය තුළ ඩොලර් ට්රිලියන 9 ක පමණ නව මුදල් මුද්රණය කොට ඇත. මින් අඩක් පමණ ඇමෙරිකාවේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව ඩොලර් මුදල් වෙයි.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ මූලික වියදම් අංගයක් වූයේ කුටුම්බ සහ ව්‍යාපාරයන්ට කඩිමුඩියේ ලබා දුන් බදු සහනයන් සහ විශේෂ මූල්‍ය ප්‍රදානයන් ය. උදාහරණ ලෙස අමෙරිකාවේ ඩොලර් 75,000 ට වඩා අඩු වාර්ෂික දළ ආදායමක් ලබන පුද්ගලයන්ට ඩොලර් 1,200, ඩොලර් 600 සහ ඩොලර් 1,400 බැගින් මූල්‍ය ප්‍රදානයන් තෙවරක් ලබා දී ඇති අතර ඒවා ලෝප්‍රකට ආයෝජක ජෝර්ජ් සොරෝස් ඇතුළු බිලියන්වරු 18 දෙනෙකුට ද ලැබී තිබිණ.
එසේම, සංවර්ධිත රටවල මහ බැංකු විසින් සම්ප්රදායික මූල්ය පාලන ලිහිල්කරණයට අමතරව අස්ථායීතාවයට ලක්වූ මූල්ය වෙළෙඳපොළවල් සහ ව්යාපාරික සමාගම් ඉලක්ක කොට නව ණය ක්රමයන් ද ඉදිරිපත් කරන ලදි.
වත්මන් ගෝලීය කොරෝනා ආර්ථික සංකූලතාවයේ ස්වරුපය
කොරෝනා වෛරසයේ පසුබෑම සමඟ ජන සමාජයන් සහ රටවල් විවෘත කෙරෙන විට සැපයුම් ජාලයන් නැවත ප්රකෘත්තිමත් වී ආර්ථිකයන් නැවත යථා තත්ත්වයට පත් වන බවට ප්රතිපත්ති සම්පාදකයන් විශ්වාස කළ ද, එවැන්නක් සිදු නොවී විවිධ අනපේක්ෂිත ආර්ථික සංකූලතාවන් රැල්ලක් ලෝකය පුරා හට ගෙන ඇත. එය ප්රධාන වශයෙන් නිෂ්පාදන/සැපයුම් අංශයේ අවහිරතාවන් ලෙස දැකිය හැකිය. පළමුව, සැපයුම් ජාලයන් අවහිර වීමෙන් වෙළෙඳපොළවල දැඩි සැපයුම් හිඟයන් හට ගෙන ඇත. සැපයුම් ජාලයන් යනු නිෂ්පාදනයන් ඊට අවශ්ය අමුද්රව්ය සැපයුමේ සිට නිමි භාණ්ඩ හා සේවාවන් ඉල්ලුම් කරුවන් වෙත සැපයීම දක්වා වූ ක්රියාකාරකම් ජාලයන් ය. කොරෝනා වසංගතය ආශ්රිත විවිධ අස්ථායීතාවන් හේතු කොට සැපයුම් ජාලයන්ගේ ක්රියාකාරිත්වය අවහිර වී ඇත. මේ දිනවල අසන්නට ලැබෙන සෑම ආර්ථික තොරතුරක්ම සැපයුම් ජාල අවහිරතාවන් පිළිබඳ ව වෙයි.
ගෝලීය නිෂ්පාදන ධාරිතාවය පහළ යාම, ගබඩා පහසුකම් හිඟ වීම, කෘෂි නිෂ්පාදනයන් අපතේ යාම, සමහර ශ්රමිකයන් ශ්රම හමුදාවෙන් ඉවත් වීම, ශ්රම ඵලදායිතාවය පහළ යාම, සමහර නිෂ්පාදන ක්රියාකාරකම් සහ රැකියාවන් නැති වී යාම, ප්‍රවාහන අවහිරතාවන්, ණය අවදානම ඉහළ යාම සහ ව්යාපාරික ණය පහසුකම් හිඟය යනාදී විවිධ සාධකයන් මීට හේතු වී ඇත. මීට අමතරව, රජයන් විසින් විවිධ ප්රතිපත්ති හරහා වෙළෙඳපොළවල් කෙරෙහි කරන ලද මැදිහත්වීම් ද සැලකිය යුතු ලෙස හේතු වී ඇත. සමස්තයක් වශයෙන් මෙය සැපයුම් දුෂ්කරතාවන් හෝ බාධකයන් ලෙස හැඳින් වෙන අතර එමගින් ගෝලීය නිෂ්පාදන ඵලදායිතාවය ද පහළ යාමට හේතු වී ඇත. එබැවින්, ගෝලීය ආර්ථික වර්ධනය පහළ මට්ටමක පවතින අතර ආර්ථික පසුබෑමෙන් ගොඩ ඒම අනපේක්ෂිත ලෙස පමා වී ඇත.
දෙවනුව, මෙහි ඍජු ප්රතිඵලය ලෙස සාධක සහ සියළු භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ රැල්ලක් හෙවත් ගෝලීය උද්ධමන පීඩනයක් හට ගෙන ඇත. එය සැපයුම් ජාලයන් අවහිර වීම ඇතුළු සියළු සාධක හේතු කොට වෙළෙඳපොළ පද්ධතිය අස්ථායී වීමේ ප්රතිවිපාකය යි. මෙය විශේෂයෙන් බලශක්ති සහ ශ්රම මිල ගණන්වල දක්නට ලැබෙන අතර එමගින් ගෝලීය ආර්ථිකය පුරා පැතිරෙන උද්ධමන පීඩනයක් දැකිය හැකිය. එබැවින්, මෙම තත්ත්වය 1970 ගණන්වල ලෝකය මුහුණ දුන් උද්ධමනකාරී ආර්ථික පසුබෑමට සමාන බව සමහර ප්රධාන ධාරා ආර්ථික විද්යාඥයන්ගේ මතය යි. එහෙත්, මෙම කාලයන් දෙක අතර පවතින වෙනස්කම් පිළිබඳ ව ඔවුන්ගේ අවධානය යොමු නොකෙරේ.
අධි උද්ධමන පීඩන සංකූලතාවය සහ ආර්ථික විද්යා මතවාදී ගැටුම
වත්මන් ඉහළ නැගෙමින් පවතින ගෝලීය උද්ධමනකාරී පීඩනය පිළිබඳ ව ආර්ථික විද්යාඥයන්, මහ බැංකු, රජයන් සහ වෙළෙඳපොළ ක්රියාශීලීන් විසින් විවිධාකාරයේ අර්ථ නිරූපනයන් සහ හේතු දක්වනු ලැබේ.
· ආර්ථික විද්යාඥයන්ගේ මතය
ප්රධාන ධාරා ආර්ථික විද්යාඥයන් විසින් දක්වන්නේ මෙම උද්ධමන පීඩනය අධි සමාහාර ඉල්ලුම හෙවත් සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම අධික ලෙස ඉහළ යාමේ ඍජු ප්රතිඵලයක් බව යි. එනම්, සමාහාර ඉල්ලුම්-සැපයුම් අසමතුලිතතාවය යි. සැපයුම් ජාල අවහිරතාවන් සහ ආර්ථික අස්ථායීතාවන් හේතු කොට හට ගැනෙන වෙළෙඳපොළ ආතතීන් තුළින් ජනිත වන මිල ගණන් ඉහළ යාම පිළිබඳ ව මොවුන් අවධානය යොමු නොකරන්නේ ඔවුන් විසින් විශ්වාස කරනු ලබන ආර්ථික විෂය ධාරාව හේතුවෙනි.
මූල්ය වාදී ආර්ථික විද්යාඥයන් විසින් ප්රකාශ කෙරෙන්නේ අධි ඉල්ලුමටත්, එමගින් හට ගෙන ඇති උද්ධමනකාරී පිඩනයටත් හේතුව අතිප්රසාරණාත්මක රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්තිය බව යි. මෙහිදී, ඇමෙරිකාව, යුරෝපය සහ එංගලන්තය ඇතුළු සංවර්ධිත රටවල උද්ධමන අනුපාතය ඉලක්ක උද්ධමන අනුපාතය වන 2% ට සාපේක්ෂව 3%-6% මට්ටමට පසුගිය මාස කිහිපය තුළ ඉහළ යාමත්, එය පසුගිය දශක දෙක තුළ වාර්තා වූ ඉහළම මට්ටම බවත් ගෙන හැර දැක්වෙයි. එබැවින්, ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ කඩිනමින් මූල්ය ප්රතිපත්තිය දැඩි කිරීම සහ රාජ්ය අයවැය හිඟය සහ ණය පහළ දැමීම යි. එනම්, ආර්ථිකයේ සමාහාර සැපයුම් මට්ටමට ගැලපෙන ලෙස සමාහාර ඉල්ලුම සංකෝචනය කිරීමේ ප්රතිපත්තිය යි. මේ සඳහා ඔවුන් විසින් IS-LM යන ස්ථිතික සංකල්පීය ආර්ථික මාදිලිය විචිත්ර ලෙස භාවිත කෙරේ.
· මහ බැංකු මතය
එහෙත්, ආර්ථිකයන්හි මිල සහ ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා උද්ධමන පාලනය භාර රාජ්ය අධිකාරය වන මහ බැංකු විසින් ප්රකාශ කෙරෙන්නේ මෙම උද්ධමන පීඩනය සැපයුම් අවහිරතාවන් හේතු කොට හට ගෙන ඇති තාවකාලික හෝ අන්තර කාලීන හෝ කෙටි කාලීන තත්ත්වයක් බවත්, කොරෝනා වෛරසය මර්දනය කොට අස්ථායීතාවන් ඉවත් වී ගෝලීය සැපයුම් ජාලයන් නැවත යථා තත්ත්වයට පත් වන විට උද්ධමන පීඩනය ක්රමයෙන් පහව යන බවත් ය. එහෙත්, ඒ සඳහා කෙතරම් කාලයක් යයි ද? යන්න අදහසක් ඔවුන්ට නොමැති අතර, එය මුලදී කෙරුණ අපේක්ෂාවන්ට වඩා වැඩි කාලයක් ගත වන බවට දැන් ප්රකාශ කෙරේ.
මිට ප්රතිවිරුද්ධව, මූල්ය වාදීන්ගේ අදහස වන්නේ වත්මන් උද්ධමන පීඩනය දිගු කාලීන එකක් බවත්, එය රවුම් කිහිපයක් හරහා ආර්ථිකයන් පුරා පැතිරෙන බවත් ය. එනම්, භාණ්ඩ හා සේවා මිල ගණන් සහ වැටුප් දඟරයක් ලෙස ය. එබැවින්, ඔවුන්ගේ නිර්දේශය වන්නේ වහාම මහ බැංකු විසින් මූල්ය ප්රතිපත්තිය දැඩි කරන ලෙස ය. එහෙත්, මහ බැංකුවල උද්ධමන ඉලක්කය වන්නේ මැදි හෝ දිගු කාලීන සාමාන්ය උද්ධමනය වන බැවින් වර්ෂ කිහිපයක් තුළ හෝ උද්ධමනය ඉහළ යාම මහ බැංකුවල උද්ධමන ඉලක්කකරණ ප්රතිපත්තියට ප්රශ්නයක් ලෙස නොසැලකේ. එසේම, මෙම කිසිවෙකුට කෙටි හෝ මැදි හෝ දිගු කාලය පිළිබඳ නිශ්චිත කාල නිර්ණයන් නොමැත.
· රාජ්ය මතය
රජයන් ද මහ බැංකුවල මතයේ සිටින අතර පොදු මහජනයා තවත් පීඩනයට පත් වන බැවින් ආර්ථික විෂය ග්රන්ථවල එල්ලී සිටින ආර්ථික විද්යාඥයන්ගේ නිර්දේශයන් අනුව රාජ්ය වියදම් ප්රසාරණය කපා හැරීමට දේශපාලනික වශයෙන් බොහෝ රජයන් ඉදිරිපත් වීමක් දැකිය නොහැකිය. එබැවින්, රජයන් විසින් ප්රධාන ආර්ථික විද්යා ධාරාවට එරෙහි නුතන මූල්ය න්යාය නම් වූ නව සාර්ව ආර්ථික සංකල්පය මත මුදල් මුද්රණය හරහා රාජ්ය වියදම් ප්රසාරණය කිරීම දැකිය හැකිය. මහ බැංකු විසින් මූල්ය ප්රතිපත්තිය දැඩි කළ හොත් රාජ්ය ණය පිරිවැය ඉහළ යන බැවින් ළිහිල් මූල්ය ප්රතිපත්ති තව දුරටත් පවත්වා ගැනීම කෙරෙහි රාජ්ය මතය දැකිය හැකිය.
· වෙළෙඳපොළ ක්රියාශීලීන්ගේ මතය
වෙළෙඳපොළ ක්රියාශීලීන් විසින් නිරන්තරයෙන් ආර්ථිකයේ උද්ධමන උපණතිය සහ අපේක්ෂණයන් පදනම් කර ගෙන පොලී අනුපාතයන් සහ මූල්ය ප්රතිපත්තිය තුළින් ලාභ ඉපයීමේ මූල්ය සූදුවක නිරත වී ඇත. එබැවින්, ඔවුන්ගේ සාමාන්ය හැසිරීම වනුයේ උද්ධමනය අඛණ්ඩව ඉහල යාම අපේක්ෂා කෙරෙන විට මූල්ය වෙළෙඳපොළ පොලී අනුපාතයන් ද ඉහළ දැමීම යි. එහි අරමුණ තම ආයෝජනවල මූර්ත පොලී අනුපාතය ආරක්ෂා කර ගැනීම යි. මූර්ත පොලී අනුපාතය යනු වෙළෙඳපොළ ආයෝජන හෝ ණය පොලී අනුපාතයෙන් අපේක්ෂිත වාර්ෂික උද්ධමන අනුපාතය අඩු කිරීමෙන් ලැබෙන සංඛ්යාව යි. ඒ අනුව, උද්ධමන අපේක්ෂාවන් ඉහළ යන විට වෙළෙඳපොළ පොලී අනුපාතයන් ද සමකාලීනව ඉහළ යනු ඇත. සැපයුම් අවහිරතාවන් වැනි සාධක පිළිබඳ ව ඔවුන් විසින් අවධානය යොමු නොකරන අතර, ඔවුන්ගේ පරම හැසිරීම වනුයේ උද්ධමන උපණතිය මත අනාගත මූල්ය ප්රතිපත්ති වෙනස්කම් අපේක්ෂණය/ සමපේක්ෂණය හරහා ආයෝජන ලාභ ඉපයීම යි. ඒ සඳහා ඔවුන් භාවිතා කෙරෙන අවිය වනුයේ වෙළෙඳපොළ පොලී අනුපාතයන් හැසිරවීම යි.
මහ බැංකු මූල්ය ප්රතිපත්තිය යටතේ ඉලක්ක හෝ පාලනය කෙරන්නේ එක් දින වැනි ඉතා කෙටි කාලීන අන්තර් බැංකු වෙළෙඳපොළ පොලී අනුපාතයන් ය. එබැවින්, වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යාම තුළින් පවතින මහ බැංකු පොලී අනුපාතයන් සහ මූල්ය ප්රතිපත්තිය ආර්ථිකයට නොගැලපී යනු ඇත. එසේම, උද්ධමන පීඩනය ද ඉහළ යන බැවින් ප්රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් ඉක්මණින් මූල්ය ප්රතිපත්තිය දැඩි කිරීමට මහ බැංකුවලට සිදු වනු ඇත.
එබැවින්, එය බලපොරොත්තුවෙන් ආයෝජකයන් සහ මුදල් වෙළෙඳුන් විසින් අනාගතයේ ලාභ ලබන අපේක්ෂාවන් මත තම ආයෝජන කළඹයන් සකසා ගනු ඇත. මේ අනුව, ලෝකය පුරා වෙළෙඳපොළ ක්රියාශීලීන් විසින් මූල්ය වාදී අදහස් අනුගමනය කරමින් නුදුරු අනාගතයේ මූල්ය ප්රතිපත්තිය දැඩි කිරීමක් අපේක්ෂා කරමින් එම තත්ත්වයට මහ බැංකු තල්ලු කිරීමට ක්රියා කෙරෙමින් පවතී. සමහර මහ බැංකු විසින් එම අපේක්ෂාවන් තහවුරු කෙරෙන යම් යම් ප්රකාශනයන් නිකුත් කෙරෙන බව ද දැකිය හැකිය.
උද්ධමන පීඩනය පාලන ප්රතිපත්ති, ගෝලීය ආර්ථික අර්බුද අවදානම සහ නව විසඳුම් මාර්ගය
· වත්මන් උද්ධමන පාලන රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්තිවල අයෝග්යතාවය
ඉහත දැක්වූ පරිදි වත්මන් මහා කොරෝනා ආර්ථික පසුබැසීම සහ ඒ ආශ්රිතව පොදුජනයා මුහුණ දෙන ජීවන කම්කටොලු නොතකා, ඉහළ යන ගෝලීය උද්ධමන පීඩනය මර්දනය සඳහා සම්ප්රදායික ආර්ථික විද්යා සංකල්පයන් අනුව නුදුරු අනාගතයේ රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්ති දැඩි කිරීමේ පෙළඹීමක් ලෝකය පුරා දැකිය හැකිය. දියුණු වන රටවල මහ බැංකු සහ රජයන් කිහිපයක් එය දැනටම ආරම්භ කොට ඇත. සංවර්ධිත රටවල මහ බැංකු විසින් තම මුදල් මුද්රණ ප්රමාණයේ වේගය පහළ දැමීම ආරම්භ කොට ඇති අතර ඊට පසුව ප්රතිපත්ති පොලී අනුපාතයන් ක්රමයෙන් ඉහළ දැමීමේ අවශ්යතාවය පිළිබඳ ව ඉඟි පළ කොට ඇත.
ඒ අනුව, ඉදිරි වර්ෂ කිහිපය තුළ ප්රතිපත්ති දැඩි කිරීම පිළිබඳ අපේක්ෂණයන් හේතු කොට සැපයුම් ජාල අවහිරතාවන් තවත් ඉහළ යනු ඇත. ඊට හේතුව, නව මූල්ය/ණය සැපයුම් අවහිරතාවන් හට ගැනීම යි. කොරෝනා වසංගතය ආරම්භයේ සිට අනුගමනය කළ අති ලිහිල් රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්ති පැකේජයයන් හේතු කොට කොරෝනා ආර්ථික පසුබැසීම සමඟ මූල්ය අර්බුදයක් හට ගැනීමේ අවදානම වැලැක්වීමට හැකි විය. ඊට හේතුව, රජයට සහ මූල්ය වෙළෙඳපොළවලට කිසිම හිඟයකින් තොරව අරමුදල් හෝ ද්රවශීලතාවය සැපයීම තුළින් මූල්ය පද්ධතිය පිළිබඳ ව මහජන විශ්වාසය ආරක්ෂා කිරීම යි.
එසේ නැතිව, ආර්ථිකයේ අරමුදල් හිඟයක් ඇති වී නම්, මහජනයා විසින් තම ආයෝජනයන් සහ තැන්පතු ඉවත් කර ගැනීමට පෙළඹීමෙන් බැංකු අර්බුදයක් හෝ චකිතයක් හට ගත හැකිව තිබිණ. කොරෝනා වසංගතය හේතු කොට ව්යාපාර, රැකියා සහ ආදායම් මාර්ගයන් අහිමි වීම තුළින් බැංකු ණය ආපසු ගෙවීම අධික ලෙස පමා වීම හෝ පැහැර හැරීම තුළින් බැංකුවල මුදල් ප්රවාහය ද අවහිර වූ බැවින් බැංකු චකිතයක් හට ගැනීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක් පැවති අතර එම අවදානම තවමත් පවතී.
මහ බැංකු විසින් ක්ෂණිකව අධික ලෙස මුදල් ප්රසාරණයට පෙළඹීමේ මූලික අරමුණ වූයේ කොරෝනා වසංගතය තුළින් එවැනි මූල්ය අර්බුදයක් හෝ අස්ථායීතාවයක් හට ගැනීම වැලැක්වීම යි. එසේ මූල්ය අර්බුදයක් හට ගත්තේ නම්, මුර්ත සහ මූල්ය සැපයුම් ජාලයන් කඩා වැටී ලෝකය මේ වන විට ඉතා කුරිරු ආර්ථික අවපාතයකට මුහුණ දිය හැකිව තිබිණ. සංවර්ධිත රටවල් මුහුණ දුන් 2007/09 මූල්ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අති ප්රසාරණාත්මක ප්රතිපත්ති දශකයක පමණ කාලක් පුරා ක්රියාත්මක කරන ලදි.
මූල්ය වාදී ආර්ථික විද්යාඥයන් සහ වෙළෙඳපොළ ක්රියාශීලීන් විසින් එවැනි අවදානම් පුළුල් ආර්ථික සංදර්භයක් තුළ සලකා නොබලන අතර, ඔවුන් විසින් හුදෙක් රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්ති දැඩි කිරීම හරහා සමාහාර ඉල්ලුම පහළ දැමීම තුළින් උද්ධමන පීඩනය මර්දනය කිරීම සඳහා ප්රධාන ආර්ථික විද්යා ධාරාවේ දැක්වෙන සම්ප්රදායික න්යායාත්මක නිර්දේශය ඉදිරිපත් කෙරේ. එහෙත්, ආර්ථිකයකට ගැලපෙන අයවැය හිඟය හෝ රාජ්ය වියදම සහ මුදල් තොගය කුමක් ද? යන්න පිළිබඳ ව කිසිම පිළි ගත් ඇස්තමේන්තුවක් ඔවුන් සතුව නොමැත. එවැනි ආර්ථික පර්යේෂණයන් ද ඔවුන් විසින් සිදු නොකෙරේ.
එසේම, මෙම උද්ධමන පීඩනය ගණනය කෙරෙන්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස්වීම මගින් වන අතර එමගින් ආර්ථිකයේ සමාහාර ඉල්ලුම් සැපයුම් පරතරය තුළින් හට ගන්නා සමස්ත මිල මට්ටමේ වෙනස්වීම නියෝජනය නොකෙරේ.
එසේම, අයවැය හිඟය සහ මුදල් ප්රසාරණය හේතු කොට උද්ධමනය හට ගන්නා බව හෝ ඉහළ යන බවට කිසිම පිළි ගත් පර්යේෂණ සාක්ෂි ද ඔවුන් සතුව නොමැත.
මූල්‍ය ප්‍රතිපත්තියේ වෙනස්කම් පාරිභෝගික මිල දර්ශකයේ ඇතුලත් ප්‍රධාන භාණ්ඩ හා සේවාවන්හි ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරය තහවුරු කළ නොහැකි අතර දැනට පාරිභෝගික මිල දර්ශකයන් ඉහළ යාම (හෝ උද්ධමන පීඩනය) මූලික වශයෙන් කොරෝනා වසංගත අස්ථායීතාවයන් හේතු කොට පරිභෝජන සංයුතිය වෙනස්වීම තුළින් සිදු වී ඇත. එසේම, ප්‍රතිශතක වෙනස්වීම ගණනය කිරීමේ දී දක්නට ලැබෙන සංඛ්‍යාන දෝෂයක් වන පදනම් බලපෑම ද උද්ධමන අනුපාතය ඉහළ යාමට හේතුවක් ලෙස දැක්වෙයි. මූල්‍ය ප්රතිපත්ති වෙනස්කම් ඍජුව බලපාන්නේ පාරිභෝගික මිල ගණන් කෙරෙහි නොව වත්කම් මිල ගණන් කෙරෙහි බව නව මතය යි.
එසේම, උද්ධමන පීඩනය යනු ආර්ථික රෝග ලක්ෂණයක් මිස රෝග නිමිත්ත හෝ කාරකය හෝ නිධානය නොවේ. එබැවින්, උද්ධමන පීඩන වේදනාවක් පවතී නම්, එය සමනය කිරීම සඳහා රෝග නිධානය සමනය කළ යුතුය. මෙම අවස්ථාවේ පවතින ගෝලීය උද්ධමන පීඩනයේ රෝග නිධානය වනුයේ කොරෝනා වසංගත අස්ථායීතාවයන් සහ සැපයුම් ජාල අවහිරතාවයන් ය.
එබැවින්, මෙම ප්රතිපත්ති දැඩි කිරීමේ යෝජනාව ධර්මසේන හිමියන් විසින් සද්ධර්ම රත්නාවලියේ සඳහන් කොට ඇති "පය බරවා අයට පිටිකර බෙහෙත් බඳින්නා සේ ය" යන උපමාවෙන් ගෙන හැර දැක්වෙන චිත්ත රූපී ක්රියාවට සමාන වනු ඇත.
· ගෝලීය ආර්ථික අර්බුද අවදානම
රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්ති දැඩි කිරීම තුළින් එම රෝග නිධානයන් සමනය වීම නොව, ඒවා තවත් දරුණු වීම සිදු සිදු වනු ඇත. නූතන මූල්ය ආර්ථිකයන් ණය මුදල් ප්රවාහය/සංසරණය මත ක්රියාත්මක වන අතර රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්ති දැඩි කිරීම තුළින් ගෝලීය ආර්ථිකය පුරා ණය මුදල් හිඟයක් හට ගෙන, ණය පිරිවැය ඉහළ ගොස්, සැපයුම් ජාලයන් තවත් අවහිර වී, නව වෙළෙඳපොළ ආතතියක් හට ගෙන, උද්ධමන පීඩනය තවත් ඉහළ යනු ඇත. එසේම, ණය සහ මූල්ය වත්කම් වෙළෙඳපොළවල් පහළ ගොස් මූල්ය අර්බුදයක් ද හට ගැනීමේ අවදානමක් ඇත. සමහර දියුණු වන රටවල විදේශ විනිමය වෙළෙඳපොළ හරහා දැනටමත් දැඩි ආර්ථික සහ මුල්ය අර්බුද අවදානමක් පවතී. මෙම මූල්ය වාදී සංකල්පය මත ඇමෙරිකාවේ 2017 සහ 2018 වර්ෂවල මූල්ය ප්රතිපත්තිය දැඩි කිරීමට කරන ලද උත්සාහය තුළින් හට ගත් ගෝලීය ආර්ථික කම්පනය ද මීට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිය.
දැනට පවතින ගෝලීය අස්ථායීතාවයන් සහ සැපයුම් ජාල අවහිරතාවයන්ගේ පරිමාව සහ ව්යාප්තිය දෙස බලන විට, පවතින ලිහිල් ප්රතිපත්ති යටතේ වුව ද ඒවා සමනය කොට වත්මන් මහා ගෝලීය ආර්ථික පසුබැස්මෙන් ගොඩ ඒම සඳහා තවත් දශකයක් පමණ ගත වනු ඇත. පසුගිය දෙවසරකට ආසන්න කාලය තුළ අති ලිහිල් රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්ති හරහා ආර්ථිකයන්ට පොම්ප කරන ලද නව මුදල් ප්රමාණය තවමත් ඵලදායී ලෙස සමාජ ගත වී නොමැති අතර, එම මුදල්වලින් බහුතරය බැංකු තැන්පතු ආයෝජන සහ අතිරික්ත සංචිත ලෙස නැවත මහ බැංකු වෙත ගොඩ ගැසී ඇත.
ඊට හේතුව, කොරෝනා ආර්ථික පසුබෑම සහ අස්ථායීතාවන් හේතු කොට බැංකු ණය පැහැර හැරීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින් ව්යාපාරික සහ කුටුම්බ ණය ප්රසාරණය දැඩි ලෙස පහළ යාම යි. ප්රධාන වශයෙන් එම මුදල්වලින් තවම ලැබී ඇති සාර්ව ආර්ථික ප්රතිලාභය වනුයේ රාජ්ය මූල්ය සහන සැපයීම මූල්යකරණය යි. එසේම, වත්කම්/මූල්ය වෙළෙඳපොළවල් නැවත පණ ගැන්වීමට ද යම් දුරකට එය දායක වී ඇත. එබැවින්, කඩිමුඩියේ ඉදිරි වර්ෂ කිහිපය තුළ රාජ්ය මූල්ය සහ මූල්ය ප්රතිපත්ති දැඩි කිරීම සිදු කළ හොත්, මහා ගෝලීය ආර්ථික අර්බුදයක් හට ගැනීම සහ රාජ්ය විරෝධී සිවිල් අරගල රැල්ලක් ව්යාප්ත වීම වැලැක්විය නොහැකිය.
· නව ආර්ථික විෂය ධාරාවක අවශ්යතාවය
එබැවින්, වත්මන් ගෝලීය ආර්ථික පසුබැස්මෙන් ගොඩ ඒම සඳහා අවශ්ය සමාජ ආර්ථික ප්රතිපත්ති ක්රියාත්මක කිරීම පිණිස පද්ධති අවදානම් මත පදනම් වන නව ආර්ථික විෂය ධාරාවක් අවශ්ය වෙයි. මෙහිදී, ප්‍රයෝගිකව අත් දැකිය නොහැකි සාර්ව ආර්ථික සමතුලිත සංකල්පයෙන් ඉවත් වී, දැනට අවහිර වී ඇති ආර්ථික ක්රියාකාරකම් ගොඩ නැංවීම සහ ආර්ථික විෂමතාවය පහළ දැමීම ඉලක්ක කොට ගත් විමධ්යගත හෝ ක්ෂුද්ර පදනමක් මත ක්රියාත්මක කෙරෙන රාජ්ය මූල්ය සහ මූල්ය පහසුකම් ව්යාප්ත කිරීමේ නව ප්රතිපත්ති රාමුවක් අවශ්ය වෙයි. නූතන මූල්ය වාදී සංකල්පය ද මෙයට අත්වැලක් ලෙස දැකිය හැකිය.
ඊට හේතුව, ගෝලීය කොරෝනා ආර්ථික පසුබැසීම යනු ප්රධාන ආර්ථික විෂය ධාරාවේ මෙතෙක් අත් දැක නොමැති ආර්ථික අස්ථායීතාවයක් වන බැවිනි. කොරෝනා වෛරසය මර්දනයට නව ඖෂධ සොයන්නාක් මෙන් කොරෝනා ආර්ථික පසුබැස්ම මර්දනයට නව ආර්ථික විසඳුම් ක්රමවේදයන් සෙවීම අවශ්ය වනු ඇත. මෙහිදී, පරිසර ප්රවර්ධනය සහ ගෝලීය ශුද්ධ කාබන් විමෝචන ඉලක්කයන් ද ආවරණය විය යුතුය.
මෙහිදී, රාජ්ය ප්රතිපත්ති සම්පාදකයන් තම සැප පහසු කාර්යාලවලින් බැහැර වී, ක්ෂේත්රයේ සිට ආර්ථික අවදානම් නිරාකරණය කිරීම අවශ්ය වනු ඇත. ඊට හේතුව, රටවල රජයන් සහ රාජ්ය සේවා පද්ධතිය පවතින්නේ රටේ පවතින ප්රශ්නයන් මහජනයාට හුවා දැක්වීමට නොව, මහජන ජීවන තත්ත්වය ඉහළ දැමීම පිණිස එම ප්රශ්නයන් තම අධිකාරි බලය භාවිතා කොට විසඳිම සඳහා වන බැවිනි. මෙසේ නව ආර්ථික විසඳුම් ක්රමවේදයන් සෙවීම ගුවන් යානා විද්යාවක් හෝ සාර්ව ආර්ථික ඉලක්කම් කළමනාකරණයක් නොවන අතර එය හුදෙක් වැටුප් ලබන රාජ්ය සේවයකට වඩා මෙම සියවසේ මනුෂ්යත්වය කෙරෙහි කෙරෙන මහඟු සේවයක් වනු ඇත.
(යෝජිත නව ආර්ථික විද්යා විෂය ධාරාව සහ ප්රතිපත්ති ක්රමවේදය ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ)
පී සමරසිරි
හිටපු නියෝජ්ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
Comments
Post a Comment