IMF දිව බොරු නොකීම. සැඟවුන සත්‍යය සොයමු.


ලිපියේ අරමුණ

මෙම කෙටි ලිපියේ අරමුණ, ශ්‍රී ලංකාවට ඇති එකම විකල්පය IMF ණය ඩොලර් විකල්පය බවට දේශපාලන නායකයින් විසින් ඡන්දයන් ද පරාද වෙමින් කෙරෙන ප්‍රකාශනයන් පදනම් විරහිත බව, IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා විසින් ඇය සහ ජනාධිපති වරයා අතර ඊයේ පැවති  මර්ගගත සාකච්ඡාවේ දී දැක්වූ අදහස්වලින් පැහැදිළි වන බවට, මතයක් ඉදිරිපත් කිරීම යි. මාධ්‍යයේ පළ වූ එම වීඩියෝව මෙතනින් නරඹන්න(වීඩියෝව) .

IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාව විසින් දැක්වූ 
අදහස්වලින් තෝරාගත් ඒවා කිහිපයක්

IMF වැඩසටහනේ ප්‍රතිසංස්කරණය තුළින් දැනටමත් යහපත් ප්‍රතිඵල ලැබී ඇති බව සහ උද්ධමනය පහළ ගොස්, එය විශේෂයෙන් දුප්පත් ජනයාට හිතකර වී ඇති බව

  • උද්ධමනය යනු පොදු මිල මට්ටම ඉහළ යාමේ වේගය යි. එබැවින්, එය පහළ යාමෙන් දුප්පත් ජනයාට සහනයක් නොලැබේ. ඔවුන්ට සහනයක් වීමට නම්, මිල ගණන් උද්ධමනයට පෙර පැවති මට්ටමට පහළ යාම හරහා ජීවන වියදම පහළ යා යුතුය. 

  • එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ බලපොරොත්තු විය නොහැකිය. එසේ යහපත් ප්‍රතිඵල ලැබී නම්, උද්ධමනය ශුන්‍යයට පහළ දැමු පසු ගිය රජය, මහජනතාව විසින් ගෙදර නොයවනු ඇත.

සංවර්ධනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය දීමට IMF අඛණ්ඩව සුදානම් බව

  • එහෙත්, IMF වැඩසටහන් වල ඇති මතවාදය සහ සැලසුම් වන්නේ, රාජ්‍ය වියදම්, ණය සහ මුදල් ප්‍රසාරණය සීමා කොට, විදේශ සංචිතය වර්ධනය කිරීම සහ වෙළෙඳපොළ ප්‍රවර්ධනය හරහා ආර්ථිකයන් ස්ථායිකරණය කිරීම යි. එය හුදෙක් එක ආර්ථික මතවාදයක් මිස, නිසැක ප්‍රතිඵල දෙන ගුවන් යානා විද්‍යාවක් නොවේ. එබැවින්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ දරිද්‍රතාවය තුරන් කිරීමට සහයෝගය දීමට මෙවලම් IMF සතුව නොමැත. 

  • IMF විසින් පසුගිය මාර්තු 4 දින පවසන ලද්දේ, ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වලින් 10% ක් පමණ අහිමි වූ බවත්, එසේ අහිමි වූ ආදායමින් 40% ක් පමණ නැවත යථා තත්ත්වයට පත් කර ගෙන ඇති බවත්, ඉදිරියේ දී ආර්ථික අවස්ථාවන් නැවත ඇති වන විට, ආදායම් වර්ධනය සමඟ දරිද්‍රතාවය පහළ යන බවත්, ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයේ පසුවන බවත් ය. එනම්, ආර්ථික පරිහානියෙන් 60% ක් තවමත් පවතින බව යි. ( වීඩියෝව මෙතනින් නරඹන්න ).

  • එබැවින්, රටේ සංවර්ධනය පහළ බවත්, දරිද්‍රතාවය පවතින බවත්, මෙහි දී IMF විසින් පිළි ගෙන ඇත. එබැවින්, ඒ සඳහා රජය විසින් ගනු ලබන විශේෂ ප්‍රතිපත්ති එළි දැක්විය යුතුය.

IMF අඛණ්ඩව ශ්‍රී ලංකාව සමඟ සිට ඇති බව 

  • 2021/2022 දී ශ්‍රී ලංකාව විදේශ මුදල් අර්බුදයට හසු වන විට 16 වැනි IMF ණය වැඩසටහන අවසන් වූවා පමණි. එහෙත්, IMF විසින් අතීතය පුරා වැලැක්වීමට ක්‍රියා කළ විදේශ මුදල් අර්බුදයට ආර්ථිකය 2022 දී හසු විය. එහි අදහස, අඛණ්ඩව IMF ශ්‍රී ලංකාව සමඟ සිටීමේ සාර්ව ආර්ථික ඵලයක් නොමැති බව යි. 

  • එසේම, IMF විසින් 2020/21 ගෝලීය කොරෝනා වසංගතය අවස්ථාවේ දී, ඉන් පීඩනයට පත් වූ සෑම රටකටම සීග්‍ර මූල්‍ය මෙවලම (Rapid Financing Instrument) යටතේ කොන්දේසිවලින් තොරව හදිසි ණය මුදල් සැපයුව ද, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස කොන්දේසිය පනවා ශ්‍රී ලංකාවට පමණක් ණය දීම ප්‍රතික්ෂේප කරන ලදි.

අප (IMF) ජාත්‍යන්තර වශයෙන් පහසු ස්ථානයක නොසිටීම සහ ගෝලීය ආර්ථිකයට ඇති අස්ථායිතාවයන් හේතු කොට, ආර්ථිකය දේශීය වශයෙන් ශක්තිමක් කළ යුතු බව

  • මෙයට, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවලට එරෙහිව තරගකාරී ලෙස දේශීය ආර්ථික ආරක්ෂණ තීරු බදු පැනවීම, නව රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව හරහා ඇමෙරිකාවේ මධ්‍යම රජයේ නිලධාරී වාදය සහ දූෂිත වියදම් පාලනය සහ IMF-ලෝක බැංකුවේ පැවැත්මෙන් ඇමෙරිකානු බදු ගෙවන්නන්ට ඇති ඵලය කුමක් ද? යන්න ප්‍රශ්න කිරීමේ අවදානම් වැනි හදිසි  කම්පන තොරතුරු හේතු වූ බවට සැකයක් නැත. 

  • විදේශ රටවලට ඇමෙරිකානු රජයේ මූල්‍ය ආධාර සපයන ලද ලෝක ප්‍රසිද්ධ USAID මෙන්ම දේශීය මූල්‍ය ප්‍රදාන වැඩසටහන් රැසක් දැනටමත් අත්හිටුවා ඇත. වත්මන් IMF කළමනාකාර අධ්‍යක්ෂ වරිය විසින් මීට පෙර ලෝක බැංකු කළමනාකාර අධ්‍යක්ෂ වරිය ලෙස සේවය කළ කාලයේ දී චීනයට පක්ෂග්‍රාහී ලෙස වාර්තාවක් සැකසීමට මැදිහත්වීමක් පිළිබඳ ව චෝදනාවක් විමර්ෂණය වූ බව ද එකල වාර්තා විය.

  • ඇමෙරිකානු රාජ්‍ය ආයතන මෙන්, 17% ක් පමණ ඇමෙරිකානු රජයට හිමි IMF සහ ලෝක බැංකුව ද, විගණනයක් කරන ලෙස බොහෝ දෙනෙකු ඉල්ලා ඇත. එසේ වුවහොත්, ශ්‍රී ලංකාව වැනි රටවල නායකයන්ට IMF ඩොලර් ණය දාමය පසුපස යාමට නොහැකි වී අනාථ වනු ඇත. දේශීය ආර්ථිකයක් ගොඩ නගා ගන්නා ලෙස, IMF කළමනාකරණ අධ්‍යක්ෂ වරිය විසින් ජනාධිපති වරයට අවවාද කිරීමේ හේතුව එය විය හැකිය.

නව රජය විසින් IMF වැඩසටහනේ වැරදි පිළිබඳ ව ප්‍රශ්න නොකොට, වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණ මාර්ගයේම ඉදිරියට යාමේ තීරණය ගැනීම

  • එහෙත්, 2022 සිට IMF වැඩසටහනට බ්‍රෝකර් සේවය සැපයූ පසුගිය රජය අන්ත පරාජයකට පත් වූයේ, IMF වැඩසටහන තුළින් මහජනයාට විඳින්නට සිදු වූ ආර්ථික අපහසුකම් නිසා බවට විවාදයක් නොමැත. 

  • IMF වැඩසටහන කියන තරම් ආර්ථික සංවර්ධන වැඩසටහනක් නම්, එය හිස මුදුණින් ක්‍රියාත්මක කළ රජය මහජනතාව විසින් ගෙදර නොයවනු ඇත.

IMF එකෙන් අපේක්ෂා කෙරෙන ඕනෑම කාර්යයක් ඇත්නම් දන්වන ලෙස

  • එහෙත්, මෙම ණය වැඩසටහනට බාහිරව කිසිම මූල්‍ය සහයෝගයක් IMF එකෙන් ශ්‍රී ලංකාවට ලබා දිය නොහැකිය. 

  • එකම, සහයෝගය වන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳ ව IMF විශේෂ උපදේශක කණ්ඩායම් මගින් වාර්තාවන් ලබා දීම පමණි. එබැවින්, රජයට දේශීය ආර්ථික කළමනාකරණ විද්වතුන් නොසිටී නම් හෝ දැනට සිටින IMF නියෝජන ආර්ථික විද්‍යාඥයන් ප්‍රමාණවත් නොවේ නම් හෝ, තව තවත් IMF උපදේශකයන්ගේ සේවය ඉල්ලා සිටිය හැකිය.

සමාප්ත සටහන

  • IMF කළමනාකරණ අධ්‍යක්ෂ වරිය විසින් දැක්වූ අදහස්වලින් ගම්‍ය වන සත්‍යය සැලකිල්ලට ගෙන, නැවත රටේ දරිද්‍රතාවය තුරන් කොට, ජීවන තත්ත්වය ඉහළ දැමීමට හැකි, දේශීය ආර්ථික සංවර්ධන වැඩසටහනක් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට රජයේ කඩිනම් අවධානය යොමු විය යුතුය.

  •  ඊට හේතුව, IMF කියන පරිදි ආර්ථිකය සංවර්ධනය කොට, දරිද්‍රතාවය තුරන් කොට, ජීවන තත්ත්වය ඉහළ දැමිය හැකි පෞද්ගලික වෙළෙඳපොළ ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවිනි. ඒ පිළිබඳ ව, ජනාධිපති වරයා විසින් IMF කළමනාකරණ අධ්‍යක්ෂ වරිය වෙත දැක්වූ අදහස් මාධ්‍යයට නිකුත් වූ වීඩියෝවේ ඇතුළත් නොවන බැවින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ගැන කිසිවක් කිව නොහැකිය.

  • ඒ සඳහා, IMF ණය වැඩසටහන යෝග්‍ය නොවන බව, ඉහත දැක්වූ IMF අදහස්වලින් පමණක් නොව, IMF වැඩසටහන හිස් මුදුණින් ක්‍රියාත්මක කළ, පසුගිය රජය අන්ත පරාජයකට පත් වීමෙන් ද පැහැදිළි ය.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

ශ්‍රී ලංකාව සංවර්ධනය කළ නොහැකි ඇයි? ව්‍යුහාත්මක උගුල කුමක් ද?