නව ලිබරල් සහතිකයෙන් පිදුම් ලද 2026 අයවැය. නව ලිබරල් මිථ්‍යාව පිටු දකිමු.
IMF ආර්ථික කළමනාකරණ මොඩලයේ සිටින වත්මන් රජයේ දෙවැනි අයවැය පසුගිය නොවැම්බර් 7 දින ඉදිරිපත් වූ විගස, ඉන් උද්දාමයට පත් වූ නව ලිබරල් ආර්ථික විද්‍යාඥයන් විසින් එයට නව ලිබරල් අයවැයක් ලෙස ගෞරවය පුදන ලදි. එය හුදෙක් බංකොලොත් ශ්‍රී ලංකාව පාලනය පිළිබඳ ව IMF සහ දේශීය IMF නියෝජිතයන්ට දෙන ලද තත්ත්ව සහතිකයකි. එසේම, එය නව සමාජවාදී රාජ්‍ය නායක පන්තිය, මෙතෙක් කල් රට පාලනය කොට පරාජයට පත් වී ඇති නව ලිබරල් පාලක පන්තියට උසස් කිරීමකි.
එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, එය මිථ්‍යා මතවාදී ගෞරව සහතිකයක් බව හෙළි කිරීම යි . ඊට හේතුව, නව ලිබරල් අයවැයවල සමාජ ආර්ථික සදාචාරයක් සහ තාර්කිකත්වයක් නොමැති වීමත්, නූතන රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම්වල සැබෑ ගිණුම්කරණ සහ සාර්ව ආර්ථික පදනම පිළිබඳ දැනුමක් ඔවුන් සතු නොවීමත් ය. ඒ බව, ඔවුන් විසින් රාජ්‍ය අයවැය කළමනාකරණය මහ බැංකු මුදල් මුද්‍රණයෙන් වෙන් කොට, ආර්ථික කළමනාකරණය සහ ස්ථායිකරණයෙහි ප්‍රමුඛත්වය මහ බැංකුවට ප්‍රදානය කිරීමට උත්සාහ කිරීමෙන් මනාව පැහැදිළි වෙයි.
2026 අයවැය පිළිබඳ ව කිසිම ඉලක්කම් හෝ ගුණ දොස් විග්‍රහයක් මෙම ලිපියෙහි ඇතුළත් නොවන අතර නව ලිබරල් මිථ්‍යාව හෙළි කිරීමට පමණක් ඉලක්ක කෙරේ.
වොෂින්ටන් සම්මුතියෙන් බිහි වූ නව ලිබරල් අයවැය
- නව ලිබරල් අයවැය යනු ඇමෙරිකානු රජයේ අනුග්‍රහයෙන් ඔවුන්ගේ ආර්ථික විද්‍යාඥයන් විසින් 1980 දශකය ආරම්භයේ දී ආර්ථික යහකළමනාකරණය පිළිබඳ ව හඳුන්වා දුන් වොෂින්ටන් සම්මුතියෙහි මූලික නිර්දේශයකි. මෙයට 1970 ගණන්වල තෙල් මිල ඉහළ යාම තුළින් හට ගත් ගෝලීය උද්ධමනය ද, මිල්ටන් ෆරීඩ්මන් ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයන් විසින් මුදල් ප්‍රසාරණයේ ප්‍රතිඵලයක් ලෙස අර්ථකථනය කිරීම ද දායක විය.
- නව ලිබරල් ආර්ථික මතවාදයේ න්‍යෂ්ටිය වන්නේ, රාජ්‍ය අයවැය හිඟය සහ ණය සීමා කොට රාජ්‍ය අංශය කුඩා කිරීම, පෞද්ගලික අංශය සහ වෙළෙඳපොළ ආර්ථිකයෙහි එන්ජිම බවට පත් කිරීම, මහ බැංකුව රජයෙන් ස්වාධීන කොට මිල ස්ථායිතාවය සහ මූල්‍ය ස්ථායිතාවයට යෝග්‍ය පරිදි මුදල් මුද්‍රණය කිරීමේ ස්වාධීනත්වය ලබා දීම යනාදිය යි.
- මෙය නව ලිබරල් ලෙස දේශපාලනික ලේබලයක් ලැබීමට හේතුව ඇඩම් ස්මිත්ගේ රජයෙන් පූර්ණ ලෙස නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට රජයේ මැදිහත්වීමට අවසර දීම යි.
- එබැවින්, වොෂින්ටන් සංහිඳියාවේ හෝ නව ලිබරල් දේශපාලනයේ පදනම වන්නේ, ස්වාධීන මහ බැංකුව විසින් මුදල් පාලනය හරහා උද්ධමනය පාලනය සහ මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීම, කුඩා අයවැයක් සහිත කුඩා රජය විසින් වෙළෙඳපොළ නියාමනය සහ තරඟකාරී පෞද්ගලික වෙළෙඳපොළ හරහා ආර්ථිකය ක්‍රියාත්මක කිරීම යි. රාජ්‍ය අයවැය හිඟය සහ ණය සීමා කිරීමේ මුඛ්‍ය අරමුණ වනුයේ, උද්ධමනය පාලනය හෝ මිල ස්ථායිතාවය සඳහා රාජ්‍ය ණය බලපෑමෙන් තොර දේව නිදහසක් සහ මහජන බලයක් මහ බැංකුවට සැපයීම යි.
IMF සහ ලෝක බැංකු කණ්ඩායම විසින් ඇමෙරිකානු නියෝජිතයා ලෙස මෙම ආර්ථික කළමනාකරණ මතවාදය ණය කොන්දේසි හරහා දියුණු වන රටවලට පටවන ලදි.
- 1971 දී බ්‍රෙටන් වූඩ්ස් සම්මුතිය බිඳ වැටීමෙන් පසු නව ගෝලීය ඩොලර්කරණ ක්‍රමෝපාය එය විය. එනම්, රටවල රාජ්‍ය අයවැය සහ ස්වෛරීත්ව මුදල් බලය සීමා කිරීම තුළින් එම රටවල ආර්ථික බලය ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල ඩොලර් ආයෝජක දාමය අතට ගැනීම යි.
- එබැවින්, සියළුම රටවල රජයන් විසින් විදේශ ආයෝජන නාමයෙන් මෙසේ ඩොලරය පසුපස යාමේ නව පුරුද්ද තුළින් මෙම රටවල් විදේශ ණය උගුලකට හිර වී ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම එහි නවතම මෙවලම යි. මෙම මොඩලය පවත්වා ගැනීම සඳහා නව ලිබරල් නායකයන් සහ ආර්ථික විද්‍යාඥයන් දාමයක් එම රටවල බිහි කොට ඇත. එබැවින්, සමාජවාදී මුහුණු වරකින් ශ්‍රී ලංකාවේ බලයට පැමිණි වත්මන් රජයට ද නව ලිබරල් සහතිකය පිරි නැමීම පුදුමයක් නොවේ.
එබැවින්, දියුණු මෙන්ම නොදියුණු රටවල නායකයන් සහ ඔවුන්ගේ ආධාර කරුවන් විසින් අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය පොදුජන සතුරෙකු ලෙස හුවා දැක්වීමට පුරුදු වී ඇත. ඊට අමතරව, බොහෝ දියුණු වන රවවල් විසින් IMF ණය කොන්දේසි අනුව නියම කොට ඇති ණය තිරසාර විශ්ලේෂණයන් සහ ඉලක්කයන් පිළි පැදීම සඳහා රාජ්‍ය වියදම් සංකෝචනය කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම ආරම්භ කොට ඇත.
රජයන් විසින් නව ලිබරල් විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කිරීම
සියළු රටවල රජයන් විසින් ඈත අතීතයේ සිට ආර්ථිකයන් කළමනාකරණය කිරීමේ සැබෑ ව්‍යුහය දෙස බලන විට, නව ලිබරල් වාදය යනු මහා මිථ්‍යාවක් මත ගොඩ නගා ඇති ප්‍රයෝගික වැදගත්කමක් නොමැති ආර්ථික කළමනාකරණ සංකල්පයකි. එබැවින්, රජයන් විසින් කලින් කලට නව ලිබරල් ලේබලය පෙන්වමින්, ඊට වෙනස් වූ දේශපාලනික ක්‍රමවේදයක් අනුගමනය කෙරේ.
එහි පදනම වනුයේ, දේශපාලනික ප්‍රතිපත්තිවලට අනුකූලව,
- අයවැය හිඟය, ණය සහ මුදල් ප්‍රසාරණය,
- පරිපාලන/අයවැය මෙවලම් හරහා උද්ධමන පාලනය සහ සහ මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීම,
- රාජ්‍ය සම්පත් හිමිකම, රාජ්‍ය ව්‍යවසාය, ව්‍යාපාරික බලපත්‍ර සහ වෙළෙඳපොළ නියාමනය හරහා නිෂ්පාදන ක්‍රියාකාරකම් මෙහෙයවීම යි.
මීට හොඳම මෑත උදාහරණය ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඇමෙරිකාවේ එලෝන් මසක් විසින් තම ධනය ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කොට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති තරඟයෙන් ජයග්‍රහණය කරවීම හරහා ඇමෙරිකානු රජය, අයවැය සහ ණය රැඩිකල් ලෙස සංකෝචනය කිරීමේ නව ලිබරල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වී, ආ වේගයෙන් පසුබැසීම යි.
- ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් මාස කිහිපයකට පසු රජයේ බදු ක්‍රමය සඳහා ඉදිරිපත් වූ නව පනත මගින් අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය වන බවට විරෝධය පාමින්, ඔහු රජයෙන් ඉවත් වී, විරුද්ධ වාදියකු බවට පත් වූ අතර ජනාධිපති වරයා විසින් ඔහුගේ පුරවැසි භාවය අවලංගු කිරීමට හෝ රටින් පිටුවහල් කිරීමට පවා අදහස් දක්වන ලදි.
- ඇමෙරිකානු ජනාධිපති වරයා විසින් ඇමෙරිකානු නව ලිබරල් වාදය නොතකා සියළුම රටවලට එරෙහිව තීරු බදු ඉහළ දැමීම හරහා ඇමෙරිකාවට හිතකර දේශීය ආරක්ෂණ ආර්ථික ප්‍රතිපත්තියක් දියත් කරන ලදි. ඉන් සියළුම රවවල ආර්ථිකයන් කම්පනයට පත් වී ඇත.
- එසේම, ලෝකයේ ස්වාධීනම මහ බැංකුව ලෙස රජය විසින් ආදර්ශමත්ව ගොඩ නැගූ ඇමෙරිකානු මහ බැංකු කළමනාකරණයට තර්ජනය කිරීම තුළින් ඉහළ උද්ධමනය පීඩනය ද නොතකා පොලී අනුපාතයන් පහළ දැමීමේ සහ මුදල් මුද්‍රණය ප්‍රසාරණය කිරීමේ නව මුදල් ප්‍රතිපත්තියක් දියත් කරවා ඇත.
- අසාමාන්‍ය තීරු බදු පැනවීම මගින් ලැබූ රාජ්‍ය ආදායම් අතිරික්තයෙන් කොටසක් පහළ සහ මාධ්‍ය ආදායම් ලාභීන්ට ඩොලර් 2,000 බැගින් ප්‍රදානය කිරීමටත්, රජයේ රන් සංචිතය නව වෙළෙඳපොළ මිල ගණන් මත අගය කොට එම මුදල් අතිරික්තයෙන් රාජ්‍ය ණය ගෙවීමටත් යෝජනා කොට ඇත.
රාජ්‍ය අයවැයේ ආර්ථික කළමනාකරණ භූමිකාව
ඈත අතීතයේ සිට රජයන් විසින් ආර්ථිකය කළමනාකරණය කිරීමේ කාර්යය විකාශය වී ඇත්තේ, රාජ්‍ය අයවැය මෙවලම් හරහා ආර්ථික සහ මානව සංවර්ධනය ඉහළ නැංවීමේ ඉලක්කයන් මත ය. නූතන මානව සංවර්ධනය එම අයවැයවල ප්‍රතිඵලයකි. ගෝලීය ජනගහනයෙන් තවමත් 6% ක් පමණ ගෝත්‍රීය හෝ ආදී වාසීන් වීම ද රාජ්‍ය අයවැයවල දුර්වලතාවයකි. මෙහි දී, මහ බැංකුව යනු රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම්වලට යෝග්‍ය ලෙස මුදල් මුද්‍රණය සහ බැංකු නියාමනය සැපයෙන රාජ්‍ය නියෝජිතයා ය.
- සම්පත් සංචලනය, නිෂ්පාදන ක්‍රියාකාරකම් වර්ධනය සහ සේවා නියුක්තිය මෙන්ම සම්පත් සහ ආදායම් සාධාරණ ව්‍යාප්තිය ද සඳහා රාජ්‍ය අයවැය කාර්යයන් සහ මෙවලම් විකාශය වී ඇත. රාජ්‍ය සම්පත් අයිතිය, රාජ්‍ය ව්‍යවසායන්, වෙළෙඳපොළ නියාමනය, බදු, වියදම්, අයවැය හිඟය, ණය සහ මුදල් මුද්‍රණය යනා දී සියළු රාජ්‍ය ක්‍රියාකාරකම් යනු රටේ ආර්ථික සහ මානව සංවර්ධන ඉලක්කයන් සඳහා මෙහෙය වන අයවැය ක්‍රියාකාරකම් ය. සංවර්ධනය වී ඇති සියළුම රටවල් එම තත්ත්වයට පත්වීම පිටුපස මානව සංවර්ධන ඉලක්කයන් මත දියත් වූ ක්‍රියාශීලී අයවැය ප්‍රසාරණය සහ මුදල් මුද්‍රණය දැකිය හැකිය.
- එබැවින්, නව ලිබරල් වාදීන් ඉදිරිපත් කරන දළ දේශීය නිෂ්පාදනයෙහි ප්‍රතිශතය ලෙස රාජ්‍ය වියදම් හෝ රාජ්‍ය ණය හෝ බදු ආදායම හෝ අයවැය හිඟය දෙස බලා රාජ්‍ය අයවැයෙහි පොදුජන සංවර්ධන මෙහෙය ඇගයිය නොහැකිය. එසේම, නව ලිබරල් අයවැය ප්‍රතිපත්තිය වන බදු ආදායම පදනම් කර ගෙන පවතින දේශපාලනික පද්ධතිය මූල්‍යකරණය කිරීමේ පටු රාජ්‍ය අයවැය සංකල්පය දියුණු වන රටවලට මෙන්ම දියුණු රටවලට ද ප්‍රයෝගික වැදගත්කමක් නොමැත.
- රටවල ආර්ථික සහ ජීවන තත්ත්වයේ නොදියුණුකම හෝ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් යනු හුදෙක් අයවැය අකාර්යක්ෂමතාවය යි. එබැවින්, භාණ්ඩාගාර ගිණුම් තැන්පතුවලින් අසාමාන්‍ය ලෙස පිරී ඉතිරී යාම තුළින් අයවැය හෝ රාජ්‍ය මුදල් විනය ඉහළ ගොස් ඇති බවට කෙරෙන ප්‍රකාශනයන් හුදෙක් රටවල සැබෑ රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් සහ ගිණුම්කරණය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව කෙරෙන ප්‍රකාශනයන් ය.
රාජ්‍ය අයවැයවල සැබෑ ක්‍රියාකාරිත්වය
නව ලිබරල් අයවැය සහ ආර්ථික කළමනාකරණ බැතිමතුන්ට, නූතන මුදල් ආර්ථිකයන් යනු රාජ්‍ය මුදල් සහ අයවැය ක්‍රියාකාරකම් මත ගොඩ නගා, අයවැය හිඟය සහ ණය හරහා ක්‍රියාත්මක වන ආර්ථිකයන් බවට කිසිම දැනුමක් නොමැති බව, ඔවුන් ඉදිරිපත් කෙරෙන සංකල්පීය අභිරූපණයන්ගෙන් පැහැදිළි ය.
ලෝකයේ මුදල් ලෙස රන් මිනුම මත විකාශය වූ පෞද්ගලික බැංකු මුදල් නෝට්ටු තහනම් කොට, 20 වැනි සියවස ආරම්භයේ දී මුදල් ලෙස රාජ්‍ය මුදල් නෝට්ටු නියම කිරීම සහ රජය වෙනුවෙන් එම නිල මුදල් නෝට්ටු නිකුත් කිරීම සඳහා රජයේ බැංකුව වශයෙන් මහ බැංකුවට පමණක් බලය පැවරීම සිදු විය.
මුල දී රාජ්‍ය මුදල් මුද්‍රණය රන් මත පදනම් වූ අතර 1971 න පසුව රන් නොමැති හුදු නාමික මුදල් බවට පත් විය. මෙම රාජ්‍ය මුදල් ක්‍රමය හරහා ආර්ථිකය පාලනය කිරීමේ පූර්ණ බලය රජයට ලැබින. එනම්, මුදල් නිකුත් කිරීම හරහා වියදම් කිරීමේත්, මුදල් සැපයුම පාලනය හරහා පෞද්ගලික වෙළෙඳපොළ පාලනය කිරීමේත් බලය රජයට ලැබීම යි. ඊට පෙර පැවති පෞද්ගලික මුදල් හරහා එම බලය රජයට නොවීය. ඒ හැර, උද්ධමනය පාලනය කිරීමේ මහ බැංකු සංකල්පයක් නොවීය. මහ බැංකුවේ කාර්යය වූයේ, අවශ්‍ය පරිදි මුදල් මුද්‍රණය හරහා බැංකු සහ මුදල් ක්‍රමයෙහි ස්ථායිතාවය පවත්වා ගැනීම යි.
මහ බැංකුව විසින් රජයට ණය දීම හරහා මුදල් නෝට්ටු නිකුත් කිරීම හෙවත් මුදල් මුද්‍රණය කිරීමඑබැවින්, රටේ සංසරණය වන මුදල් යනු රාජ්‍ය ණය හරහා මැවෙන කිසිම මූර්ත වත්කමකින් ආපසු ගෙවීමට ඇප නොවන නාමික මුදල් ය. මෙහි අදහස රටේ මුදල් ක්‍රමය රාජ්‍ය ණය මත ගොඩ නැගී, රජය කෙරෙහි පොදු මහජන විශ්වාසය මත ක්‍රියාත්මක වන බව යි. එබැවින්, රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රසාරණයට අවශ්‍ය නව මුදල් සැපයීමට හැකියාව ලැබෙන්නේ, රාජ්‍ය වියදම් සහ ණය ප්‍රසාරණය කිරීම තුළිනි.
රාජ්‍ය මුදල් ක්‍රමය හේතු කොට වියදම් කිරීම සඳහා රජයට බදු ආදායම අවශ්‍ය නොවීමරජය විසින් සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතාවන් සඳහා වියදම් තීරණය කොට ණය ගැනීම හෝ මුදල් මුද්‍රණය හරහා එම වියදම් පියවෙයි. එබැවින්, වියදම් පරිමාව තීරණය කිරීමට පෙර බදු ආදායම තීරණය කිරීම අවශ්‍ය නොවේ. මෙහි දී, බදු යනු රජය විසින් වියදම් සඳහා දැනටමත් මුද්‍රණය කරන ලද මුදල්වලින් කොටසක් නැවත රජයට උකහා ගැනීමේ මෙවලම යි. එය, රටේ උද්ධමනය පාලන මෙවලමකි. රජ සමයේ සිට රාජ්‍ය අයවැය ක්‍රියාත්මක වූයේ, මේ අයුරෙනි. එබැවින්, රුපියල් ට්‍රිලියන ගණනින් භාණ්ඩාගාරය හදිසියේ මුදල්වලින් පිරී ඇති බැවින් රාජ්‍ය මුදල් විනය ඉහළ ගොස් ඇති බවට කෙරෙන ප්‍රකාශයන් අර්ථ විරහිත ය.
රජය විසින් හුදෙක් එදිනෙදා වියදම් කිරීම හුදෙක් බැංකු වෙත ගෙවුම් ඇනවුම් නිකුත් කිරීම මගින් සිදු කිරීමරජය විසින් නිකුත් කරන ගෙවුම් ඇනවුම් සඳහා මුදල් ගෙවුම් කිරීමට අදාළ රාජ්‍ය බැංකු ගිණුම්වල ප්‍රමාණවත් තැන්පතු ශේෂ නොමැති නම්, බැංකු විසින් රජයට නව ණයක් ගිණුම් ගත කොට, එම ගෙවුම් ඇනවුම් සඳහා මුදල් ගෙවීම සිදු කෙරේ. ඊට හේතුව, බැංකුවල හොඳම ගනුදෙනුකරුවා රජය බැවින් රජයේ කිසිම දේශීය මුදල් ගෙවුම් ඇනවුමක් බැංකු විසින් පැහැර නොහැරීම යි. මෙහි දී, මුදල් ලැබිය යුතු පුද්ගලයන් හෝ ආයතනවල බැංකු ගිණුම්වලට එම මුදල් නව තැන්පතු ලෙස ගිණුම් ගත කෙරේ. එබැවින්, රාජ්‍ය වියදම් පියවීම හුදෙක් මුදල් මැවීම මගින් සිදු වෙයි.
රජයේ බැංකු ගිණුම්වලට බදු මුදල් රැස් වන විට, බැංකු විසින් එම මුදල්වලින් රාජ්‍ය ණය ආපසු අය කර ගැනීම සිදු කෙරේ. එනම්, රාජ්‍ය ණය හරහා බැංකු විසින් මවන ලද මුදල්වලින් කොටසක් අහෝසි වීම යි. රජය විසින් කලින් කලට රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම ද මෙසේ රාජ්‍ය වියදම් පියවීම සඳහා ණය ගැනීමේ හෝ මැවීමේ ක්‍රමවේදයකි. ඒවා බැංකු සහ බැංකු නොවන කුමන හෝ ආයෝජකයන් විසින් මිල දී ගත්ත ද, එය මුදල් මුද්‍රණයකි.
ඊට හේතුව, රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු මුදල් රාජ්‍ය මුදල්වලින් ගෙවිය යුතු බැවිනි. ඒ සඳහා ප්‍රමාණවත් රාජ්‍ය මුදල් (හෝ සංචිත මුදල්) (සංචිත මුදල් යනු රජය වෙනුවෙන් මහ බැංකුව විසින් මුද්‍රණය කෙරෙන මුදල් ය.) බැංකු ක්‍රමය තුළ නොමැති නම්, අදාළ මුදල් හිඟ බැංකුවලට ණය දීම හරහා මහ බැංකුව විසින් අවශ්‍ය මුදල් ප්‍රමාණය මුද්‍රණය කරනු ඇත. මේ සඳහා දිනය තුළ පොලී රහිතව ආපසු ගෙවීම සඳහා මහ බැංකුව විසින් බැංකුවලට සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳුන්ට ණය දෙන ක්‍රමයක් ද පවතී. එසේ නොවේ නම්, රටේ මුදල් සහ බැංකු ක්‍රමය බිඳ වැටෙනු ඇත.
රජයේ ආදායම්, වියදම් සහ ණය ඇතුළත් සියළු මුදල් ගනුදෙනු මුදල් මුද්‍රණය හරහා සිදු වීමඅයවැය හිඟය පියවීම සඳහා බැංකු ණය ගැනීම තුළින් මුදල් මුද්‍රණය වන බව පැවසුව ද, රජයේ සියළු මුදල් ගනුදෙනු සඳහා එදිදෙනා පදනමකින් මුදල් මුද්‍රණය කෙරේ. වියදම් කිරීමේ දී සහ ණය ගැනීමේ දී සිදු වන මුදල් මුද්‍රණය ඉහතින් දැක්වින. බදු රැස් කිරීමේ දී ද මුදල් මුද්‍රණය කෙරේ. ඊට හේතුව, රැස් කෙරෙන බදු මුදල් බැංකු විසින් රජයට ප්‍රේෂණය කිරීම රාජ්‍ය මුදල්වලින් කළ යුතු බැවිනි.
උදාහරණ ලෙස පුද්ගලයෙකු විසින් තම බැංකු තැන්පතු ගිණුමෙන් බදු මුදල ගෙවන විට, අන්තර් බැංකු ගෙවුම් සහ පියවුම් පද්ධතිය හරහා එය රජයට පියවීම සඳහා නිල රාජ්‍ය මුදල් (සංචිත මුදල්) අවශ්‍ය ය. බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් නිල මුදල් නොමැති නම්, අදාළ බැංකු විසින් මහ බැංකුවෙන් ණය ගෙන එය පියවනු ඇත. එය බදු රැස් කිරීම සඳහා කෙරෙන මුදල් මුද්‍රණයකි.
මහ බැංකු මුදල් මුද්‍රණය සම්පුර්ණයෙන්ම පාහේ රාජ්‍ය ණය මත සිදු කිරීමශ්‍රී ලංකාවේ එය මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම සහ රාජ්‍ය විදේශ ණය සඳහා රජයට ලැබෙන විදේශ මුදල් රජයෙන් මිල දී ගැනීම හරහා සිදු වෙයි. එබැවින්, රජය විසින් විදේශ ණය ගැනීම තුළින් රාජ්‍ය වියදම් පියවීම මගින් මුදල් මුද්‍රණය නොවන බව සමහරු විසින් හුවා දැක්වීම අසත්‍යයකි. ලෝකයේ වඩාත්ම ස්වාධීන මහ බැංකුව වන ඇමෙරිකානු මහ බැංකුවේ සමස්ත මුදල් මුද්‍රණය ද රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හෙවත් රාජ්‍ය ණය සැපයීම හරහා සිදු කෙරේ.
රටේ මුදල් මුද්‍රණයෙන් කොටසක් පෞද්ගලික බැංකු ණය තුළින් සිදු වෙයි. එහි සැබෑ මූලය ද රාජ්‍ය වියදම් වෙයි. ඊට හේතුව, පෞද්ගලික ව්‍යාපාරික ක්‍රියාකාරකම් බහුතරය රාජ්‍ය වියදම් ඇසුරින් ජනිත වීමත්, ඒ සඳහා පුද්ගලික අංශය විසින් බැංකු ණය ගැනීමත් ය. මෙය රාජ්‍ය වියදම් ගුණක ක්‍රියාවලිය ලෙස ආර්ථික විද්‍යාවේ ප්‍රචලිත ය. එබැවින්, මුදල් සහ බැංකු ක්‍රමය රාජ්‍ය වියදම් මත ක්‍රියාත්මක වෙයි.
නව ලිබරල් වාදීන් විසින් රාජ්‍ය ණය ගොඩ ගැසීම සහ ණය තිරසාර භාවය පිළිබඳ ව දේශපාලන නායකයන් සහ මහජනතාව බිය ගැන්නුව ද, රාජ්‍ය ණය සහ මුදල් ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ, රාජ්‍ය ණය කිසි දා නොගෙවන පදනම මත ය. එබැවින්, ලෝකයේ රාජ්‍ය ණය ගෙවා නිම කරන කිසිම රජයක් නොමැත. රාජ්‍ය ණය බර මිථ්‍යාව හෙළි කෙරෙන ප්‍රධාන කරුනු කිහිපයක් පහත දැක්වෙයි. මෙය අවබෝධ කර ගැනීම සඳහා අයවැය සහ මුදල් මුද්‍රණ ගිණුම්කරණය පිළිබඳ දැනුමක් අවශ්‍ය ය.
- රාජ්‍ය ණය මෙන්ම ණය පොලිය ද ගෙවීම රජය විසින් නව ණය ගැනීම මගින් සිදු කෙරේ. ණය ගෙවීමේ වියදම් ප්‍රතිපාදනයක් අයවැයෙහි ඇතුළත් නොවීමට හේතුව ණය ගෙවීමට නව ණය ගැනීමේ ක්‍රමවේදය යි. ණය පොලිය ගෙවීමට පෙර අයවැය ශේෂය ලෙස දැක්වෙන ප්‍රාථමික ගිණුම් ශේෂය අතිරික්තයක් කිරීමේ අර්ථයක් ද නොමැත. මෙය නව ලිබරල් වාදීන්ගේ නොදැනුවත් නිර්දේශයකි. ඊට හේතුව, පොලිය ගෙවීම ද නව ණය ගැනීම හරහා සිදු කරන බැවිනි. එබැවින්, රාජ්‍ය ණය තොගය වැල් පොලියෙන් ප්‍රසාරණය වනු ඇත. රාජ්‍ය ණය පොලී බර යනු රජයේ වරදක් නොව, උද්ධමනය පාලනය කිරීමේ මුවාවෙන් කෙරෙන මහ බැංකුවේ අත්තනෝමතික පොලී අනුපාත ප්‍රතිපත්තියේ වරදකි. මහ බැංකු පොලී අනුපාතයට සංවේදී වී වියදම් සහ ණය සංකෝචනය කරන රජයන් ලෝකයේ නොමැත.
- එබැවින්, බදු මගින් රාජ්‍ය ණය ගෙවීමට අනාගත පරපුරට සිදු වන බව පැවසීම අමූලික බොරුවකි. මේ දිනවල සමහරු විසින් ජෙන් සී සමාජය පාරට බැස්ස වීමට ද මෙම භීතිය භාවිතා කරන බව සමහර රටවලින් වාර්තා වෙයි. එහෙත්, රාජ්‍ය ණය යනු මහජනයාට අවදානම් රහිත ආදායම් වත්කමක් වන බැවින් එම වත්කම අනාගත පරපුරට දායාද කෙරෙනු ඇත. ඊට හේතුව, නව ණය හෝ මුදල් මුද්‍රණය මගින් එදිනෙදා ණය සහ පොලිය ගෙවන බැවින් රාජ්‍ය දේශීය මුදල් ණය පැහැර හැරීමක් සිදු නොවන බැවිනි. එබැවින්, අනාගතයේ රාජ්‍ය ණය පැහැර හැරීම හෝ බංකොලොත් භාවය පිළිබඳ ව කෙරෙන බිය ගැන්වීම් වංචාකාරී වෙයි.
- එහෙත්, අධික ලෙස ඩොලර්කරණය වී ඇති රටවල් විසින් විදේශ මුදලින් ගන්නා ලද ණය පැහැර හැරීමේ දේශපාලනික කුමන්ත්‍රණයන් රාජ්‍ය අයවැය බලයට අයත් දෙයක් නොවේ. විදේශ මුදල් ණය ගැනීම යනු රාජ්‍ය අයවැයට අවශ්‍ය දෙයක් නොව, මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය සහ විනිමය අනුපාත පාලනයට රාජ්‍ය අයවැය භාවිතා කිරීමකි. මෙය නව ලිබරල් වාදය උල්ලංඝණයකි. එසේම, විදේශ ණය ගෙවීම ද නව විදේශ ණය ගැනීම හරහා සිදු කෙරෙන බැවින් නව විදේශ ණය ලැබේ නම්, විදේශ ණය ආපසු ගෙවීමේ කිසිම අවදානමක් නොමැත. එබැවින්, රටේ ආදායමින් ණය හෝ විදේශ ණය ගෙවන බවට කෙරෙන නිල ප්‍රකාශයන් අර්ථ විරහිත ය.
- සමස්තයක් ලෙස අනාගතයේ දී රජයේ ආදායමින් ණය ගෙවන බවට කෙරෙන ප්‍රකාශනයන් ද අමූලික අසත්‍ය ය. එසේ කිරීමට නම්, අයවැය අතිරික්තයක් ජනිත කළ යුතුය. එවිට, නිෂ්පාදන ක්‍රියාකාරකම්, ආර්ථිකය සහ මුදල්/බැංකු පද්ධතිය සංකෝචනය වනු ඇත. එවිට, රටෙහි මුදල් හිඟ වීමෙන්, මූල්‍ය අර්බුදයන් හට ගනු ඇත. එය වැලැක්වීමට නම්, අවදානම්කාරී පෞද්ගලික බැංකු ණය ප්‍රසාරණය කළ යුතුය.
- ඊට හේතුව, රාජ්‍ය අයවැය අතිරික්තයන් හේතු කොට ආර්ථිකය සහ මුදල් සැපයුම සංකෝචනය වන බැවින් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයන් ප්‍රසාරණය නොවන බැවිනි. එසේම, පෞද්ගලික බැංකු ණය මත මුදල් ක්‍රමයක් ක්‍රියාත්මක වීම ඉතා අවදානම්කාරී වෙයි. ඊට හේතුව, නූතන මුදල් හෝ මූල්‍ය ස්ථායිතාවය රාජ්‍ය මුදල් මත ගොඩ නගා ඇති බැවිනි. අයවැය අතිරික්තයන් හරහා රාජ්‍ය ණය ආපසු ගෙවන විට, මුදල් මුද්‍රණය කිරීමට මගක් නොමැතිව මහ බැංකුව ද අක්‍රීය වනු ඇත. එබැවින්, නූතන මුදල් ක්‍රමයන් නිර්මාණය කොට ඇත්තේ, ආර්ථික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය මුදල් සැපයීම පිණිස රාජ්‍ය ණය නොගෙවීම හෝ අඛණ්ඩව ප්‍රසාරණය වීමේ ගණිත පදනම මත ය.
- එසේම, මෙසේ ණය ආපසු ගෙවීමට සිදු වෙයි නම්, කිසිම දේශපාලන පක්ෂයක් රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සාහ නොකරන අතර ණය නොගෙවන රජයන් මහජනතාව විසින් පලවා හරිනු ඇත. එහෙත්, එවැන්නක් සිදු නොවේ. එබැවින්, සෑම රජයක් විසින් ම ගෙවීමට ඇති ණය තොගය දිනපතා ප්‍රසාරණය කරනු ඇත. එය, නූතන ආර්ථික කළමණාකරනයේ ස්වරූපය යි.
- රටවල මුදල් ක්‍රමය, සම්පත් සහ මුදල් ව්‍යාප්තිය සහ ආර්ථික කළමනාකරණය හුදෙක් රාජ්‍ය මුදල් සහ අයවැය මත ගොඩ නැගී ඇත. ඒ බව, රටක මුදල් ගනුදෙනු කෙරෙන ගිණුම් පද්ධතිය සහ ඊට රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් සම්බන්ධ වන ආකාරය දෙස බැලීමෙන් පැහැදිළි ය. එය නව ලිබරල් වාදයට අනුකූල නොවේ.
- එබැවින්, පෞද්ගලික අයවැය සංකල්පය පදනම් කර ගෙන රාජ්‍ය අයවැය ක්‍රියාවලිය හෝ රාජ්‍ය මූල්‍ය විනය ඇගයීම මහා මිථ්‍යාවකි. එබැවින්, රාජ්‍ය ආදායම, අයවැය හිඟය සහ රාජ්‍ය ණය තිරසාර භාවය යනු රාජ්‍ය අයවැයට අදාළ සැබෑ මූල්‍ය සංකල්පයන් හෝ දර්ශකයන් නොවේ.
- රජය විසින් ආර්ථිකය කළමනාකරණයට රාජ්‍ය අයවැය පමණක් නොව, රාජ්‍ය ව්‍යවසායන් සහ පළාත් පාලන ආයතන පද්ධතිය ඇතුළත් වෙයි. එබැවින්, සමස්ත රාජ්‍ය අංශයේ ඒකාබද්ධ අයවැය සහ මහජන සේවාවන්හි සමාජ ආර්ථික කාර්යසාදනය ඇගයීමේ දර්ශකයන් භාවිතා කළ යුතුය. සමස්ත රජයේ භූමිකාව වනුයේ, පොදුජන ජීවන තත්ත්වය සංවර්ධනය යි. ඒ සඳහා යොදා ගැනෙන සියළු ප්‍රතිපත්ති මෙවලම් ඒකාබද්ධ අයවැය ක්‍රියාකාරකම් තුළ ඇතුළත් විය යුතුය.
- නව ලිබරල් ලිපි ගොනුවල පවතින හුදු දේශපාලනික පද්ධතිය පවත්වා ගැනීමේ අයවැය ක්‍රියාකාරකම් දියුණු වන රටවලට යෝග්‍ය නොවේ. එසේම, දියුණු රටවල පවා නව ලිබරල් අයවැය සංකල්පය අනුගමනය නොකෙරේ. ඊට හොඳම උදාහරණය ඉහත දැක්වූ වත්මන් ඇමෙරිකාව යි.
- නව ලිබරල් ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය තුළ මිල සහ ආර්ථික ස්ථායිතාවය සහ මූල්‍ය ස්ථායිතාවය ස්වාධීනව පවත්වා ගැනීම මහ බැංකුවට පැවරෙන පරිදි රජය සහ මහ බැංකුව එකිනෙකට වෙන් කළ ද, එම සියළු ස්ථායිතාවයන් රාජ්‍ය අයවැය හරහා සිදු වෙයි. උදාහරණ ලෙස උද්ධමනකාරී සහ මූල්‍ය අර්බුද අවස්ථාවන් නිරාකරණය කිරීම හුදෙක් රාජ්‍ය අයවැය මෙවලම් මගින් සිදු වෙයි. මහ බැංකුවේ සැබෑ කාර්යය වී ඇත්තේ, මූල්‍ය සමපේක්ෂකයන්ගේ ව්‍යාපාරයන්ට අවශ්‍ය රාජ්‍ය මුදල් දෛනික පදනමකින් මුද්‍රණය කිරීම පමණි. එය මූල්‍ය ස්ථායිතා නාමයෙන් සිදු කෙරේ.
- එබැවින්, ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටවල් විසින් මානව සංවර්ධනය ඉලක්ක කළ පුළුල් අයවැය ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. එය අවම වශයෙන් ඉදිරි වසර 5 ක කාලය තුළ සංවර්ධන සැලසුමක් මත, ඊට ඒකාබද්ධ වූ වාර්ෂික අයවැය සහ ණය ප්‍රසාරණය සිදු කළ යුතුය. එම සැලසුමට යටිතල පහසුකම්, නිෂ්පාදන ක්‍රියාකාරකම්, සම්පත් සහ ආදායම් ව්‍යාප්තිය සහ ජීවන තත්ත්වය ආශ්‍රිත ඉල්ලකයන් අවශ්‍ය ය. එම සැලසුම් සැකසීමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විද්වතුන් රජයට සිටිය යුතුය.
- එසේ නොමැතිව, මහ බැංකු විදේශ මුදල් සංචිත ඉලක්කයන් මත කෙටි කාලීනව ඩොලර් බිලියන කිහිපයක විදේශ ණය ගැනීම පිණිස නව ලිබරල් අයවැය සහ ආර්ථික කළමනාකරණය පසුපස යාමෙන්, මෙම රටවල පොදුජන සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි අතර ගෝලීය ආර්ථිකයෙහි වින්දිතයන් ලෙස අඛණ්ඩව පවතිනු ඇත. එහි ආදීනව කලින් කලට රාජ්‍ය නායකයන්ට ද විඳීමට සිදු වනු ඇත.
- ඊට හේතුව, මෙම අයවැයවල කාර්යය වනුයේ පොදු ජීවන තත්ත්වය ඉහළ දැමීම නොව, හුදෙක් සීමිත රාජ්‍ය වියදම සහ ණය ප්‍රසාරණය හරහා ආර්ථිකයෙහි ව්‍යාපාරික පංතියේ පැවැත්මට අවශ්‍ය මුදල් ව්‍යාප්තිය සිදු කිරීම බැවිනි. මීට හොඳම උදාහරණය මෙම වසරේ වාහන ආනයනයට අවසර දීම යි. මෙහි දී, ආනයන කරුවන් විසින් එම වාහන අනයනවල දේශීය මුදල් පිරිවැය බැංකු ණය මැවීම මගින් පියවීමත්, එසේ මැවූ මුදල්වලින් කොටසක් බදු ලෙස (තීරු බදු සහ වැට්) රජය උකහා ගැනීමත්, ආනයන සඳහා විදේශීය අපනයන කරුවන්ට ගෙවූ ඩොලර් බිලියන 1.5 ක් පමණ වූ විදේශ මුදල් පිරිවැය රටේ විදේශ සංචිතයට අහිමි වීමත් සිදු විය. මෙය මුදල් මැවීම තුළින් බදු රැස් කිරීමේ අභ්‍යන්තරික වෙළෙඳ ක්‍රියාවකි.
- නව ලිබරල් ආර්ථිකයන් විකාශය වීමට නම්, වත්මන් රාජ්‍ය මුදල් ක්‍රමයට සම්බන්ධ නොවන තරඟකාරී පෞද්ගලික මුදල් මුද්‍රණයට ඉඩ දිය යුතුය. එසේ නොමැතිව, රාජ්‍ය මුදල් ක්‍රමය තුළ පෞද්ගලික ආර්ථික එන්ජිමක් ක්‍රියාත්මක වීම රජයට අවදානමකි. ඊට හේතුව, පෞද්ගලික වෙළෙඳපොළ අර්බුදයන් බේරීම සඳහා මුදල් මුද්‍රණය කිරීමට රජයට සිදු වීම යි. 20 වැනි සියවසට පෙර පැවති පෞද්ගලික මුදල් ක්‍රමයන්හි සිදු වූයේ ද එය යි. නූතන මුදල් ආර්ථිකයන්හි මූල්‍ය අර්බුදයන් ද එසේ පෞද්ගලික බැංකු විසින් රාජ්‍ය බලපත්‍රය යටතේ මුදල් මුද්‍රණය කිරීමේ වංචාවල ප්‍රතිඵලයකි.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment