දිත්වා සුළි කුණාටුවෙන් ඔබ්බට, ආර්ථික කුණාටුව. ආර්ථික කුණාටු කළමනාකරණට මෙවලම් සුදානම් කරමු.


පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිත වායු ගෝලයේ හට ගත් වායු කැළඹිලි ස්වභාවය පසුව අවපීඩනය, පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතය සහ සුළි කුණාටුවක් බවට පත් වී, දැනට ශ්‍රී ලංකා ජන ජීවිතයට ඇති කෙරෙන බලපෑම පිළිබඳ තොරතුරුවලින් ජන මාධ්‍යය පිරී පවතී. එසේම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉතා කාර්යක්ෂම කාලගුණ පුරෝකථනයන් සිදු කොට ඇති බව ද වාර්තා වෙයි. 

වායු අවපීඩන තත්ත්වය සහ හදිසි වැසි පිළිබඳ ප්‍රථම නිශ්චිත කාලගුණ පුරෝකථනය නිකුත් වූයේ පසුගිය 12 දින (නොවැම්බර්) ය. සුළි කුණාටු තත්ත්වය පතිත වූයේ 27 දින සවස ය. එහි රුදුරු බලපෑම 29 දින අවසානය තෙක් සිදු විය. එය, හෙට දින (30 දින) වන විට ශ්‍රී ලංකාවෙන් ඉවත් වී ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තිරයට ලඟා වන බවත්, ඊට පසුව දිවයිනේ වැසි කාලගුණයේ සැලකිය යුතු පහළ යාමක් 30 දින සිට බලපොරොත්තු වන බවටත්, කාලගුණ පුරෝකථනයක් දැනට නිකුත් වී ඇත.

එහෙත්, එම පුරෝකථනයන් මත ආපදා කළමනාකරණ පෙර සූදානමක් සිදු වී නොමැති බව සුළි කුණාටුව පැතිරී ගිය ආකාරයෙන් පැහැදිළි වෙයි. සුළි කුණාටුවේ පරිමාව සහ හානිය දෙස බලන විට, ඉදිරියේ දී පතිත වන ආර්ථික කුණාටුව තුළින් රජය ද දේශපාලනික කුණාටුවකට හසු වන බවට සැකයක් නොමැත.

එබැවින්, මෙම ලිපියේ අරමුණ මෙම සුළි කුණාටුව කළමනාකරණය කිරීමේ දී රජයට මුහුණ දීමට සිදු වන මූලික අවදානම් පිළිබඳ කෙටි සටහනක් තැබීම යි.

හදිසි ආපදා කළමනාකරණය 

මෙවැනි ස්වාභාවික ආපදා අවස්ථාවල වින්දිතයන් බේරා ගැනීම සහ අවතැන් වූවන් දින කිහිපයකට රැක බලා ගැනීමේ දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් වරුන් හරහා ක්‍රියාත්මක වන සුපුරුදු රාජ්‍ය ආපදා කළමනාකරණ ක්‍රමවේදය කුණාටුවෙන් පසුව ආරම්භ වී ඇති බව වාර්තා විය. වැසි සහ ගංවතුර ආශ්‍රිතව හට ගන්නා සෞඛ්‍ය කුණාටුවක් ද ඉදිරියේ දී හට ගැනීමේ අවදානමක් පවතින අතර එය ද හදිසි ආපදා කළමනාකරණය යටතේ නිරාකරණය කළ යුතුය. හදිසි ආපදා කළමනාකරණ වාර්තාවන් අතර පහත දැක්වෙන තොරතුරු ද වෙයි.

  • ආපදා සහන සේවා සඳහා දැනටම වෙන් කොට ඇති රුපියල් බිලියන 1.2 ක මුදල සහ හදිසි අවශ්‍යතාවන් සඳහා 2025 අයවැයෙන් වෙන් කොට ඇති රුපියල් බිලියන 30 ක මුදල භාවිතා කිරීම. 

  • හදිසි අවස්ථා සඳහා දැනට දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් වරුන් සතුව පවතින මුදල් ද භාවිතා කිරීම.

  • තවදුරටත් මුදල් අවශ්‍ය නම්, රජයෙන් එම මුදල් ඉල්ලා සිටින ලෙස දැන්වීම.

  • මුදල් වැය කිරීමේ චක්‍රලේඛ බාධාවන් මග හැරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීම.

  • අවතැන් කඳවුරු යුධ හමුදා පාලනයට භාර දීමට උපදෙස් දීම.

රාජ්‍ය මුදල් සුභාවිතය පිළිබඳ ව පවතින වත්මන් මැසිවිලි හේතු කොට, අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් ආපදා මුදල් කළමනාකරණය කෙරෙහි කුමන ක්‍රියාකලාපයක් අනුගමනය කෙරේ ද? යන්න පැහැදිළි නැත. ඊට හේතුව, මෙවැනි හදිසි ආපදා අවස්ථාවල වැය කෙරෙන රාජ්‍ය මුදල් පිළිබඳ ව දේශපාලනික පදනමකින් එල්ල වන මුදල් අවභාවිත හෝ දුෂණ චෝදනාවන් ය.

මෙම අවස්ථාවේ දී අවතැන් සහ විඳිත වූ පිරිස් වෙත කඩිනම් සහන සැලසීම සඳහා රාජ්‍ය මුදල් සහ රාජ්‍ය නිලධාරීන්ට වඩා අවශ්‍ය වන්නේ, දේශපාලන නායකත්වය හරහා ප්‍රාදේශීය වශයෙන් මහජන ආධාර සහ සහභාගිත්වය යි. ප්‍රාදේශීය මහජන/දේශපාලනික නායකයන් අවශ්‍ය වන්නේ ඒ සඳහා ය. ඊට හේතුව, මහජනයා නායකයන් වටා රැස් වන බැවිනි. එහෙත්, මීට පෙර මෙවැනි ආපදා අවස්ථාවල දුටුවා මෙන්, මෙම අවස්ථාවේ දී එවැනි දේශපාලන නායක ක්‍රියාශීලිත්වයක් නොමැති බවට දැනටමත් මහජන මැසිවිලි ගලා ඒම දැකිය හැකිය.

මෙම සුළි කුණාටු ආපදාව මුළු රටම කෙරෙහි බලපා ඇති බැවින් එය කළමනාකරණය කිරීමේ අඩුපාඩු පිළිබඳ ව රජයට එරෙහිව ඉදිරියේ දී දේශපාලනික චෝදනා කුණාටුවක් පතිත වීම වැලැක්විය නොහැකිය. වත්මන් රජයේ නායකයන්ට මෙවැනි රාජ්‍ය ආපදා කළමනාකරණ අත්දැකීම් නොමැතිවීම මෙම චෝදනාවලට බොහෝ පාදක වනු ඇත.

ආර්ථික කුණාටුව කළමනාකරණය 

මෙම සුළි කුණාටුව පසුපස එන ආර්ථික කුණාටුව වසර කිහිපයක් පුරා පැතිරී යා හැකි බව සුළි කුණාටුව හේතු කොට කඩා වැටී ඇති නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ විනාශ වී ඇති මූර්ත දේපළවල පරිමාණයෙන් පැහැදිළි ය. එහි කෙටි ලේඛනයක් පහත දැක්වෙයි. සුළි කුණාටුව පැතිරී ගිය බියකුරු ආකාරය දැක්වෙන මාධ්‍ය වීඩියෝවක් මෙහි ඇතුළත් කෙරේ. (වීඩියෝව)
  • වැසි, සුළඟ, ගංවතුර සහ නාය යාම් තුළින් භූමිය, කෘෂිකාර්මික ඉඩම් සහ ගංගා සහ කඳුකර ආශ්‍රිත ජනාවාස සහ පාරිසරක විනාශය.

  • අධිවේගී මාර්ග, මහා මාර්ග, ප්‍රාදේශීය මාර්ග, දුම්රිය මාර්ග සහ විදුලි සහ පාරිභෝගික ජල උත්පාදන මාර්ග විනාශ වීම.

  • ගංගා නිම්න, වාරි මාර්ග, වැවු අමුණු සහ ජලාශ විනාශ වීම.

  • ව්‍යාපාරික ස්ථාන සහ භාණ්ඩ තොග විනාශ වීම.

  • මෝටර් රථ, නිවාස, ව්‍යාපාරික ගොඩනැගිලි සහ සහ මූර්ත දේපළ විනාශ වීම.

  • වටිනා මිනිස් ජීවිත නැතිවීම.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී රැකියා අහිමි වීම, ණය පැහැර හැරීම, ආහාර නිෂ්පාදනය සහ සැපයුම් අංශය කඩා වැටීම තුළින් මිල ගණන් සහ උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ යාම, කෘෂි අපනයන අංශය සහ සංචාරක පැමිණීම කඩා වැටීම තුළින් හට ගන්නා විදේශ විනිමය හිඟය සහ විනිමය අනුපාතය ඉහළ යාම යනාදිය තුළින් සමස්ත ආර්ථික සංකෝචනයකට මහජනයා මුහුණ දෙනු ඇත. 

එය රජයට එරෙහි සිවිල් අරගලවලට මූලයක් වනු ඇත. එබැවින්, රජය විසින් වහාම ආර්ථික සම්පත් සහ නිෂ්පාදන පාඩුව ඇස්තමේන්තු කොට, එය නැවත කඩිනමින් ගොඩ නැගීමට අවශ්‍ය රාජ්‍ය පිරිවැය සහ ප්‍රතිපත්ති මෙවලම් පැකේජයක් හඳුනා ගෙන ක්‍රියාත්මක කළ යුතුය.

ඕනෑම රජයක් විසින් ඕනෑම අවස්ථාවක ආර්ථිකය කළමනාකරණයට හෝ ස්ථායිකරණයට භාවිතා කෙරෙන මෙවලම වන්නේ රාජ්‍ය මුදල් බලය යි. එනම්, වියදම්, බදු, ණය හරහා මුදල් මුද්‍රණය යි. 

ඒ සඳහා රජය සහ මහ බැංකුව විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුය. ඊට හේතුව, පැකේජයට අවශ්‍ය නව ණය සහ මුදල් ප්‍රසාරණය මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය හරහා සැපයිය යුතු බැවිනි. උදාහරණ ලෙස නව වියදම් සහ බදු සහන හරහා රාජ්‍ය මුදල් ප්‍රසාරණය සිදු වන විට, එමගින් හට ගන්නා අතිරේක උද්ධමනකාරී බලපෑම් වැලැක්වීම සඳහා මහ බැංකුව විසින් වත්මන් IMF ආර්ථික ප්‍රතිපත්ති මොඩලය තුළ දේශීය පොලී අනුපාතයන් ඉහළ දමා මුදල් මුද්‍රණය සීමා කිරීමට ක්‍රියා කළ හොත්, සමස්ත ආර්ථික ප්‍රතිසංස්කරණ පිරිවැය සහ කාලය ඉහළ යනු ඇත.

මහ බැංකු මුදල් ප්‍රතිපත්ති සහාය 

මීට පෙර මෙවැනි ස්වාභාවික ආපදා අවස්ථාවල මහ බැංකුව විසින් බැංකු සහ රාජ්‍ය ආයතන හරහා දත්ත රැස් කොට හානිය පිළිබඳ කඩිනම් ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලදි. එසේම, නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රතිසංස්කරණයට උපකාරී වීම සඳහා මහ බැංකු ප්‍රතිමූල්‍ය ණය ක්‍රමයන් ද ක්‍රියාත්මක කරන ලදි. එහෙත්, වත්මන් මහ බැංකුවට ආර්ථික වර්ධන, සංවර්ධන සහ ස්ථායිතා වගකීම් නොමැති බැවින් එවැනි හදිසි මුදල් සහ ණය ප්‍රතිපත්ති කිසිවක් මහ බැංකුවෙන් බලපොරොත්තු විය නොහැකිය. 

ඊට හේතුව, වත්මන් මහ බැංකුවේ මූලික වගකීම කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කාර්තුමය උද්ධමනය 3%-7% ක ඉලක්ක මට්ටමක පවත්වා ගැනීම සඳහා මුදල් මුද්‍රණය භාවිතා කිරීම යි. එබැවින්, පසුගිය වර්ෂ එක හමාර පමණ කාලයක් තුළ පැවති අවධමනකාරි කුණාටු තත්ත්වය මෙම සුළි කුණාටුව හරහා ඉදිරියේ දී ජනිත වන උද්ධමනයෙන් සමනය වීමේ හැකියාව පිළිබඳ ව මහ බැංකුව සතුටට පත්වනු ඇත. 

ජාතික ආපදා අවස්ථාවන්වල දී විදේශීය ආධාර සහ ප්‍රදාන ඉල්ලා සිටීම දේශපාලනික කාර්යයකි. එවැනි විදේශීය ආධාර ලැබීමේ දී මහ බැංකු විදේශ සංචිතය ඉහළ යාම හරහා විනිමය අනුපාත අවප්‍රමාණ පීඩනය වලක්වා ගැනීමටත්, IMF විදේශ සංචිත ඉලක්කයන් සපුරා ගැනීමටත් මහ බැංකුවට දේවාශීර්වාදයක් වනු ඇත. ඊට හොඳම නිදසුන 2004 දෙසැම්බර් සුනාමි ආපදා අවස්ථාවේ දී රටට ලද විදේශීය මුදල් ආධාර යි. 

ඊට අමතරව, මෙවැනි ආපදා අවස්ථාවල මහ බැංකුව විසින් බැංකු ණය නොගෙවීමේ සහන කාලයක් බැංකු ණය කරුවන්ට ලබා දීමට ක්‍රියා කිරීම සාමාන්‍ය කෝකටත් තෛල ලිපි ගොනු ප්‍රතිපත්තියකි. එහෙත්, හානියට පත් වී ඇති ආර්ථිකය නැවත පිළිසකර කිරීමට එමගින් ලැබෙන උපකාරය ඉතා සුළු වෙයි.

ඉදිරියේ දී, ආර්ථික සහ ජන ජීවිතය නැවත පිළිසකර කර ගැනීම සඳහා මහජනයාගේ මුදල් ඉල්ලුම සහ වියදම ඉහළ යනු ඇත. එනම්, බැංකු තැන්පතු ඉතුරුම් ආපසු ගැනීම සහ අයිරා ණය පහසුකම් භාවිතා කිරීම යි. ඊට අමතරව, බැංකු විසින් තම හොඳ ගනුදෙනු කරුවන්ට කාලීන ණය ද සපයනු ඇත. එසේම, තැන්පතු ආපසු ගැනීම මැද, බැංකු ණය පැහැර හැරීම ඉහළ යාම තුළින් බැංකු අරමුදල් මුදල් කළමනාකරණය ද කුණාටුවකට ලක්වනු ඇත. එබැවින්, බැංකු පද්ධතියෙහි ද්‍රවශීල හෝ සංචිත මුදල් (මහ බැංකු මුද්‍රිත මුදල්) හිඟයක් හට ගනු ඇත. රජය විසින් අතිරේක වියදම් ප්‍රසාරණයක් කළ හොත්, ඒ සඳහා ද නව සංචිත මුදල් ඉල්ලුමක් හට ගනු ඇත. 

ඒ සඳහා දැනට පවතින මුදල් ප්‍රතිපත්තිය යටතේ මහ බැංකු එක් දින ණය පහසුකම් බැංකුවලට ලබා ගත හැකිය. ඒ හැර, කෙටි කාලීන රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති විකුණුම් වෙන්දේසි හරහා ද සංචිත මුදල් බැංකුවලට නිකුත් කිරීමේ හැකියාව ද දැනට මහ බැංකුව සතුව පවතී. එහෙත්, උද්ධමනකාරී අධිපීඩන බලපෑමක් හට ගත හොත්, මහ බැංකුව විසින් එසේ සංචිත මුදල් ප්‍රසාරණය කිරීම සීමා කරනු ඇත. එය රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති පිරිවැය සහ පෞද්ගලික පිරිවැය ඉහළ යාමට හේතු වනු ඇත.

එබැවින්, පොලී අනුපාතයන් පහළ දැමීම සහ බැංකු ණය ව්‍යාප්තිය සඳහා කිසිම ප්‍රතිපත්ති සහායක් රජයට මහ බැංකුවෙන් ලබා ගත නොහැකිය. ඊට හේතුව, පවතින නව ආර්ථික කළමනාකරණ නීති පද්ධතිය සහ IMF ණය වැඩසටහන යි.

රාජ්‍ය මුදල් සහ වෙළෙඳපොළ නියාමන ප්‍රතිපත්ති

මහ බැංකුවේ විශේෂ මුදල් ප්‍රතිපත්ති සහායක් බලපොරොත්තු විය නොහැකි බැවින් ආර්ථික කුණාටුවෙන් ගොඩ ඒමේ සියලු බර රාජ්‍ය මුදල් හෝ අයවැය ප්‍රතිපත්තියට දැරීමට සිදු වනු ඇත. එබැවින්, දැනට ඉදිරිපත් වී ඇති 2026 අයවැය යෝග්‍ය නොවනු ඇත. ඊට හේතුව, සුළි කුණාටුවෙන් විනාශ වී ඇති රාජ්‍ය යටිතල පහසුකම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් ඇතුළු ආර්ථික සංකෝචනය එම අයවැයෙහි ආවරණය නොවන බැවිනි. එබැවින්, ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් නොකොට, යෝජිත අයවැය ක්‍රියාත්මක කිරීමේ පදනමක් නොමැත.

එබැවින්, රජය විසින් වියදම්, බදු සහන, අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය සහිත සුළි කුණාටු කළමනාකරණ අයවැයක් පළමුව සැලසුම් කොට ක්‍රියාත්මක කළ යුතුය. විදේශ ආධාර ලැබුන හොත්, එම මුදල් හරහා රාජ්‍ය ණය ප්‍රසාරණය අඩු කළ හැකි වනු ඇත. මෙම විශේෂ අයවැය හුදෙක් ප්‍රදේශීය සැපයුම් අංශය ගොඩ නැගීමට අවශ්‍ය රාජ්‍ය මුදල් ව්‍යාප්තිය සහ ප්‍රසාරණය පදනම් කර ගෙන සැකසිය යුතුය. ඊට හේතුව, රාජ්‍ය මුදල් ප්‍රසාරණයක් නොමැතිව මෙම අවස්ථාවේ දී මහජනයාට නැවත නැගී සිටීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට නොහැකි වීම යි. රටේ මුදල් අධිකාරිය මහ බැංකුව වුව ද, වත්මන් මහ බැංකුවට එවැනි මහජන වගකීමක් නොමැත.

ඉදිරියේ දී ඇති විය හැකි උද්ධමන අධි පීඩනය වැලැක්වීම සඳහා මිල පාලන ප්‍රතිපත්ති අවශ්‍ය වනු ඇත. එසේ නොකළ හොත්, මහ බැංකුව විසින් උද්ධමන පීඩනය හුවා දක්වමින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් සමස්ත ආර්ථික ප්‍රතිසංස්කරණ පිරිවැය ඉහළ යනු ඇත. පසුගිය කාලයේ ජපානය හැර ලෝකයේ බොහෝ රටවල මහ බැංකු විසින් ආර්ථික වර්ධනයට සහ සේවා නියුක්තියට උපකාරී වීම සඳහා පොලී අනුපාතයන් අඛණ්ඩව පහළ දැමුව ද, පසුගිය 25 දින සුළං කුණාටු ආපදා පුරෝකථනයන් සහ අවදානම් පෙනි පෙනී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ස්ථාවරව පවත්වා ගැනීමට තීරණය කිරීම හුදෙක් මෙම අනාගත උද්ධමන අවදානම සැලකිල්ලට ගැනීමේ ප්‍රතිඵලයකි.

මෙහි දී, ආහාර ආනයනය ප්‍රසාරණය කිරීම සඳහා තීරු බදු සහන සහ විදේශ සංචිත භාවිතය අවශ්‍ය වනු ඇත. විදේශීය මුදල් ආධාර ලැබුන හොත්, විනිමය අනුපාතය කෙරෙහි ඇතිවිය හැකි අවප්‍රමාණ පීඩනය වලකා, ආර්ථිකයෙහි සැපයුම් අංශය සහ ආනයන හරහා උද්ධමන පීඩනය සමනය කිරීමේ විශේෂ හැකියාව රජයට ලැබෙනු ඇත.

කුණාටු කළමනාකරණය සඳහා රජයට ඇති අභියෝගය 

මෙම අතිරේක හෝ විශේෂ රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ඇති අභියෝගය ප්‍රධාන වශයෙන් ආයතනික සහයෝගය සහ ක්‍රියාශීලිත්වය ප්‍රමාණවත් නොවීම යි. 

  • පළමුව, එවැනි පැකේජයක් සැකසීමේ දේශපාලනික සහ නිලධාරී දැනුම සහ ක්‍රියාශීලිත්වය දුර්වල තත්ත්වයක පවතී. 

  • දෙවනුව, දැනට ක්‍රියාත්මක වන IMF නව ලිබරල් ඉලක්කම් ආර්ථික මොඩලයට මෙවැනි හදිසි ආර්ථික ආපදා කළමනාකරණ ප්‍රතිපාදනයන් අඩංගු නොවේ. 

  • තෙවනුව, පසුගිය රජය විසින් IMF නව ලිබරල් ඉලක්කම් ආර්ථික මොඩලය අනුව ස්ථාපිත කරන ලද ආර්ථික නීති සහ ආයතනික පද්ධතිය මෙම පැකේජය ක්‍රියාත්මක කිරීමට බාධාවකි. ඊට හොඳම උදාහරණය ඉහත දැක්වූ පරිදි රජයට එරෙහි ස්වාධීන නව ලිබරල් මහ බැංකුව සහ මුදල් ප්‍රතිපත්තිය යි.

  • සිවුවනුව, විරුද්ධ දේශපාලන පක්ෂ විසින් රජයට එරෙහි ව්‍යාපාරයක නියුක්ත වීම. එය හුදෙක් රජය විසින් පසුගිය වසරක පමණ කාලය තුළ විරුද්ධ දේශපාලන නායකයන් දුෂණ චෝදනාවන් මත නිර්දය ලෙස මර්දනය කිරීමේ සහ අවමානයට පත් කිරීමේ ව්‍යාපාරයෙහි ප්‍රතිඵලයකි.
සමාප්ත සටහන 

  • සමස්තයක් ලෙස රාජ්‍ය මුදල් ප්‍රසාරණය හරහා කඩිනමින් ආර්ථික කුණාටුව නිරාකරණය නොකළ හොත්, රජයට එරෙහිව හට ගන්නා දේශපාලනික කුණාටුවෙන් බේරීම පහසු නොවනු ඇත. එය රාජ්‍ය නායකයන් විසින් තැනින් තැන කෙරෙන මාධ්‍ය සාකච්ඡාවලින් කළ හැකි කාර්යයක් නොවේ. මීට හොඳම නිදසුන 2020/21 කොරෝනා වසංගත ආර්ථික කුණාටුවෙන් 2019/20 දී 69 ලක්ෂයකින් ඉතා ජනප්‍රිය ලෙස පත් වූ නව රජය වසර දෙකකින් පෙරළී ගිය ආකාරය යි.

  • ඉහත දැක්වූයේ දිත්වා සුළි කුණාටුවෙන් ඔබ්බට පතිත විය හැකි ආර්ථික කුණාටුවත්, එය කළමනාකරණයට භාවිතා කළ හැකි රාජ්‍ය මුදල් මෙවලම් පිළිබඳ ව ත් සැකසූ කඩිනම් පුරෝකථනයකි. මෙවැනි සාර්ව ආර්ථික අවදානම් පිළිබඳ ව විවිධ මතවාදයන් පැවතිය හැකිය.

  • එහෙත්, යථාර්තය වන්නේ, නූතන මුදල් ආර්ථිකයන්හි හට ගන්නා ආර්ථික කුණාටු නිරාකරණය රාජ්‍ය මුදල් ප්‍රසාරණයක් නොමැතිව කළ නොහැකි බව යි. ඊට හේතුව, නූතන මුදල් ආර්ථිකයන් හුදෙක් රාජ්‍ය මුදල් මත ගොඩ නැගී ක්‍රියාත්මක වන බැවිනි.

  • මුදල් මුද්‍රණය හරහා වියදම් කිරීමේ රාජ්‍ය ආර්ථික බලය මෙම මානුෂීය කුණාටු අවස්ථාවේ භාවිතා නොකොට, රජය විසින් මහජනයාගෙන් ආධාර ඉල්ලීම යනු රජයකට යෝග්‍ය දෙයක් නොවේ. එබැවින්, මෙම කුණාටු අවස්ථාව දේශපාලනය කිරීමට උත්සාහ කිරීම අමානුෂික ක්‍රියාවකි.

  • එබැවින්, වත්මන් IMF නව ලිබරල් ඉලක්කම් ආර්ථික කළමනාකරණ මොඩලය සහ වත්මන් දේශපාලනික පරිසරය තුළ දිත්වා ආර්ථික කුණාටුව නිරාකරණයට වත්මන් රාජ්‍ය ප්‍රධානීන්ට සහ ඔවුන්ගේ නිලධාරීන්ට එතරම් හැකියාවක් තිබෙන බවක් නොපෙනේ. එය, වත්මන් රජයේ ඉදිරි දේශපාලනික පැවැත්මට දැඩි තර්ජනයක් විය හැකිය.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)





Comments

Popular posts from this blog

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

පාර්ලිමේන්තුවේ දී මහ බැංකු උද්ධමන පාලන මිථ්‍යාව එළියට. ආර්ථිකය අවධමන උගුලක? විසඳුම රජය ද? මහ බැංකුව ද?

IMF දිව බොරු නොකීම. සැඟවුන සත්‍යය සොයමු.