විදේශ ණය ගෙවීමේ ගැටළුවක් තිබේ ද? බදු ගෙවන්නන්ට බරක් වෙයි ද?

 

ලිපියේ පසුබිම සහ අරමුණ 

මේ දිනවල දේශපාලනික සහ ආර්ථික විද්වත් වේදිකාවල පවතින ජනප්‍රියම මාතෘකාව වනුයේ, 2028 සිට විදේශ ණය ගෙවන ආකාරය යි. බොහෝ දෙනෙකුට අනුව ආර්ථිකය දැන් ස්ථායිකරණය වී ඇති බැවින් රටේ ආදායමින් විදේශ ණය ගෙවිය හැකි අතර, නැවත IMF වෙත යාමේ අවශ්‍යතාවයක් නොමැත. තවත් සමහරුන්ට අනුව, IMF කොන්දේසිවලට 100% ක් අඛණ්ඩව අනුගත නොවුණ හොත්, නැවතත් ආර්ථිකය අර්බුදයට ලක් වී, ණය පැහැර හැරීමේ අවදානම පවතී.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ,

  • වත්මන් ආර්ථික ස්ථායිකරණය යනු නැවත විදේශ ණය ගැනීම හරහා ආනයන ආර්ථිකය යාවත්කාලීන කිරීම බවත්,

  • රටේ ආදායමින් නොව, නව විදේශ ණය ගැනීම හරහා ණය ගෙවීම තුළින් විදේශ ණය යනු කිසිදා ගෙවා නිම නොකරන ණය බවත්,

  • එසේ නව විදේශ ණය ගැනීමේ අවහිරතාවයන් මතු වුව හොත්, නැවත තාවකාලිකව විදේශ ණය පැහැර හැරීම සාමාන්‍ය ආර්ථික අවදානමක් බවත්, 

  • වත්මන් IMF නව ලිබරල් ගෝලීය ඩොලර් දාමය තුළ රජයන් සිටින තෙක්, එවැනි ණය පැහැර හැරීමේ සිද්ධියක් ඇති නොවන බවත්,  හෙළි කිරීම යි. 
එබැවින්, මහ බැංකු විදේශ සංචිතය හුවා දක්වමින් ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවත්, 2028 සිට IMF වෙත නොගොස් රටේ ආදායමින් විදේශ ණය ගෙවීමේ හැකියාව ලැබී ඇති බවටත්, හතරවටින් දැක්වෙන අදහස්වල කිසිම ආර්ථික විද්‍යා පදනමක් නොමැත. ඊට හේතුව, විදේශ ණය ගැනීම, ආපසු ගෙවීම සහ පැහැර හැරීම යනු හුදෙක් දේශපාලනික ක්‍රියාකාරකමක් මිස, මහජනයාට අයත් කාර්යයක් නොවන බැවිනි.

මෙම ලිපියෙන් රාජ්‍ය ණය තිරසාර භාවය හෝ රාජ්‍ය විදේශ ණය මට්ටම හෝ ඵලදායිතාවය හෝ ආශ්‍රිත කිසිම අදහසක් ඉදිරිපත් නොකෙරේ.

රාජ්‍ය විදේශ ණය හරහා ආර්ථික ඩොලර්කරණය සහ කළමනාකරණය 

පසුගිය දශක කිහිපය පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ ආර්ථික කළමනාකරණ මොඩලය වූයේ, ආනයන ආර්ථිකයක් තුළින් ජීවන තත්ත්වය ඉහළ දැමීම යි. එහෙත්, ඉන් මූර්ත ආර්ථිකය තුළින් ගෙවුම් ශේෂ/විදේශ මුදල් අතිරික්තයක් ගොඩ නැගීමට නොහැකි විය. එබැවින්, ආර්ථිකයෙහි ගෙවුම් ශේෂ හිඟය පියවීම රාජ්‍ය විදේශ ණය ගැනීම හරහා සිදු විය. 2000 දශකය දෙවන භාගයේ සිට විදේශ වෙළෙඳපොළ සහ වාණිජ ණය කෙරෙහි සැලකිය යුතු ලෙස යොමු විය. මෙම විදේශ ණය මගින් ගෙවුම් ශේෂ හිඟය පියවීම හෝ ආනයන ආර්ථිකය මූල්‍යකරණය කිරීමේ ගිණුම් වාහකය වූයේ, මහ බැංකු විදේශ සංචිතය යි.

මෙසේ විදේශ සංචිතයක් මත ආර්ථිකයන් කළමනාකරණය කිරීමේ මහ බැංකු ක්‍රමවේදය දියුණු වන රටවලට හඳුන්වා දීම 1950 ගණන්වල සිට බ්‍රෙටන් වූඩ්ස් (1944) ගෝලීය ඩොලර්කරණ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකි. එහි නව ප්‍රභේදය වන්නේ, 1971 දී බ්‍රෙටන් වූඩ්ස් සම්මුතිය අවසන් වීම හේතු කොට, 1980 දශකය ආරම්භයේ සිට ලෝකය පුරා ප්‍රචලිත කළ වොෂින්ටන් සම්මුතිය හෙවත් නව ලිබරල් ආර්ථික මොඩලය යි. එය ද, දියුණු වන රටවලට ඩොලර් ණය හෝ ආයෝජන ව්‍යාප්ත කිරීමේ ආර්ථික ප්‍රතිපත්ති විනය මාලාවකි (වැඩි විස්තර සඳහා කියවන්න).

එබැවින්, රාජ්‍ය විදේශ ණය හරහා ආර්ථික වර්ධනය සහ ස්ථායිතාවය කළමනාකරණ කිරීමේ මූල්‍ය ගිණුම ලෙස විදේශ සංචිතය භාවිතා කළ අතර එමගින් මහ බැංකුව හරහා බහුවිධ ආර්ථික කළමනාකරණ කාර්යභාරයක් ඉටු කරන ලදි.

  • විදේශ ණයවල ඩොලර් මහ බැංකුව විසින් මිල දී ගෙන රජයට රුපියල් මුද්‍රණය කිරීම. ඊට උපකාරී වීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවේ කාර්යයක් ලෙස නියම විය. එබැවින්, රටේ මුදල් ක්‍රමය ඩොලර් මුදල් සංචිතය හෝ සැපයුම මත ක්‍රියාත්මක වූ අතර රටේ පොලී අනුපාතයන් සහ සංචිත මුදල් ද්‍රවශීලතාවය රාජ්‍ය විදේශ ණය ප්‍රසාරණ ඉලක්කයන් මත මෙහෙය වන ලදි.

  • විදේශ සංචිතය මගින් විනිමය අනුපාතය පාලනය කිරීම. එමගින්, පහළ විනිමය අනුපාතයක් තුළින් තෙයාකරයක ආර්ථික උත්තේජනයන් සපයන ලදි. එනම්, ආනයනවල දේශීය පිරිවැය පාලනය කිරීම තුළින් උද්ධමනය පාලනය, විදේශ ණය සේවාකරණයෙහි රුපියල් පිරිවැය පාලනය තුළින් අයවැය හිඟය පාලනය සහ ආනයන තුළින් ආර්ථික වර්ධනය යනාදිය යි. එබැවින්, විදේශ සංචිතයේ අරමුණු ලෙස, ගෙවුම් ශේෂ හිඟය පියවීම සහ විනිමය අනුපාත ස්ථායිතාවය දැක්වුව ද, සාර්ව ආර්ථික අරමුණු රැසක් ඉලක්ක කෙරෙන මූලික ප්‍රතිපත්ති මෙවලමක් ලෙස විදේශ සංචිතය විකාශය විය. එහෙත්, එහි න්‍යෂ්ටිය රාජ්‍ය විදේශ ණය බව ආර්ථික කළමනාකරුවන්ට අමතක විය.

  • එබැවින්, රාජ්‍ය විදේශ ණය සහ විදේශ සංචිතය යනු ආර්ථිකය කළමනාකරණය කෙරෙන ප්‍රධාන දෛනික මුදල් ප්‍රවාහයන් දෙක විය. එය IMF, ණය ශ්‍රේණි ආයතන සහ විදේශ ආයෝජන බැංකු ඇතුළු ගෝලීය නව ලිබරල් ඩොලර් දාමයක් තුළින් ක්‍රියාත්මක විය.

වත්මන් ආර්ථික ස්ථායිකරණ කථාන්දරයේ සැබෑව

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයෙහි ප්‍රධාන මූලය වූයේ, මෙම මූල්‍ය ගිණුමේ පැවති ව්‍යුහාත්මක ආර්ථික අවදානම් ය. එනම්, නව විදේශ ණය ප්‍රවාහය බිඳ වැටීම තුළින් විදේශ සංචිතය කඩා වැටීම සහ ණය පැහැර හැරීම යි. 2021 දී IMF හදිසි ණය නොලැබීම ද, ඊට දායක වූ මූලික සිද්ධියක් විය. එනම්, ගෝලීය ඩොලර් ණය දාමයෙන් ශ්‍රී ලංකාව ඉවතට දැමීම යි.

එබැවින්, වත්මන් ආර්ථික ස්ථායිකරණය යනු ඉහත දැක්වූ රාජ්‍ය විදේශ ණය සහ විදේශ සංචිත මූල්‍ය ගිණුම් දාමය IMF ණය වැඩසටහනක් හරහා නැවත යාවත්කාලීන කොට, බිඳී ගිය ආනයන ආර්ථිකයට පන දීම යි. දැනට වසර හතරකට වඩා කාලයක් පුරා හුවා දැක්වෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු ගෝලීය ඩොලර් ණය දාමය පවත්වා ගැනීමේ නව මෙවලමකි. මෙම ආර්ථික ස්ථායිකරණ කථාන්දරයේ නවතම සිද්ධිය වනුයේ, ඩොලර් බිලියන 1.5 ක් පමණ වැය කොට දේශීය මුදල් මැවීම හරහා රටට මහා පරිමාණයෙන් සුඛෝපභෝගී මෝටර් රථ තොගයක් ආනයනය කිරීම යි. 

එබැවින්, ආනයනිත ජීවන තත්ත්වය ප්‍රකෘතිමත් වීමෙන්, මහජනයා සතුටට පත් වී ඇති අතර ආර්ථිකය නැවත ස්ථායිකරණය කළ බවට රාජ්‍ය නායකයන් විසින් නිරන්තරයෙන් විදේශ සංචිත ඉලක්කම සහ විනිමය අනුපාතය හුවා දක්වමින් නිල ප්‍රකාශනයන් නිකුත් කිරීම දෛනික සිද්ධියක් වී ඇත.

එහෙත්, සත්‍යය වන්නේ, වර්ෂ හතරක පමණ කාලයක් බිඳ වැටී ගිය විදේශ ණය - විදේශ සංචිත මූල්‍ය ගිණුම නැවත යාවත්කාලීන කිරීම හරහා සුපුරුදු ආනයන සහ විදේශ ණය ආර්ථික උගුල තුළම සිට ගැනීම යි. IMF ණය වැඩසටහන යනු ඊට අවශ්‍ය ඔක්සිජන් සැපයීම යි. එහෙත්, එම සාර්ව ආර්ථික උගුලෙන් ගොඩ එන මාර්ගයක් හෝ ක්‍රමවේදයක් පිළිබඳ ව කිසිම තොරතුරක් ඉදිරිපත් වී නොමැත.

රාජ්‍ය ණය ගෙවන්නේ බදු ගෙවන්නන් ද? රටේ ආදායමින් ද?

පසුගිය සියවස් දෙකක පමණ කාලය තුළ ලෝකයේ රාජ්‍ය ණය ක්‍රමවේදය ගොඩ නගා ඇත්තේ, රටවල දේශීය මුදල් ක්‍රමවල පදනම ලෙස යි. එනම්, රාජ්‍ය ණය හරහා ආර්ථිකයට අවශ්‍ය මුදල් මුද්‍රණය සහ සැපයීම යි. එය, ආර්ථික සහ ජීවන තත්ත්ව ඉලක්කයන් සඳහා රාජ්‍ය අයවැය තුළින් ක්‍රියාත්මක කෙරේ. එබැවින්, රටවල මුදල් ක්‍රමයන් රාජ්‍ය ණය සහ අයවැය හරහා රජයේ පූර්ණ පාලනයට ගෙන ඇත. මහ බැංකුව යනු හුදෙක් රාජ්‍ය මුදල් නියෝජිතයා මිස, මුදල් පාලකයා නොවේ. ඊට පෙර පැවතියේ පෞද්ගලික බැංකු මුදල් මත ක්‍රියාත්මක වූ පෞද්ගලික මුදල් ක්‍රමයන් ය.

එබැවින්, රාජ්‍ය ණය යනු කිසි දිනක ආපසු ගෙවන ණය නොවේ. මෙහි දී, පොලිය සමඟ ණය ගෙවීම හුදෙක් නව රාජ්‍ය ණය නිකුත් කිරීම මගින් සිදු වෙයි. එනම්, ණය අඛණ්ඩව කල් දැමීම යි. එබැවින්, එය අයවැය කාර්යයක් නොවේ. ඊට හේතුව, රාජ්‍ය ණය කල් දැමීමක් නොමැතිව නියමිත දින ආපසු ගෙවීමට නම්, අයවැය අතිරික්තයක් පැවතිය යුතුය. කිසිම රටක එවැනි අයවැය අතිරික්තයන් දැකිය නොහැක. ඊට අමතරව, ආර්ථිකයට අවශ්‍ය නව මුදල් ප්‍රසාරණය ද අයවැය හිඟය හරහා නිකුත් කෙරෙන නව රාජ්‍ය ණය මගින් සිදු වෙයි. එබැවින්, රාජ්‍ය ණය යනු අඛණ්ඩව ණය පොලී අනුපාතය සහ අයවැය හිඟය හරහා ප්‍රසාරණය වන සාර්ව ආර්ථික විචල්‍යයකි.

එබැවින්, රාජ්‍ය ණය ආපසු ගෙවන මහජන කොටසක් හෝ බදු ගෙවනන් පිරිසක් නොමැත. රජයට ණය දීම සඳහා මුදල් මුද්‍රණය කළ ආයෝජකයන් විසින්ම ස්වකීය කැමැත්තෙන් එම ණය අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇත. ඊට හේතුව, රාජ්‍ය ණය යනු ඉතාමත් විශ්වාසී ඉහළ ගුණාත්මක ද්‍රවශීල වත්කමක් වන බැවිනි. රටවල මුදල් ක්‍රමයන් ගොඩ නගා ඇත්තේ, එම විශ්වාසය සහ ගුණය පැවරීම මත ය. 

එබැවින්, රාජ්‍ය ණය සේවාකරණය හෝ රාජ්‍ය ණය තිරාසාර භාවය යනු මහජනයා රවටන මිථ්‍යා දෘෂ්ටීන් ය. එසේ රාජ්‍ය ණය නොගෙවා කල් දැමීම හැර, අයවැය තුළින් රාජ්‍ය ණය ගෙවීම කළ යුතු නම්, කිසිම දේශපාලන නායකයකු විසින් කිසි දිනක රාජ්‍ය බලය ගැනීමට උත්සාහ නොකරනු ඇත. ඔවුන් විසින් රාජ්‍ය බලය ගැනීමට පොර කන්නේ, පවතින රාජ්‍ය ණය ගෙවීමට නොව, තවත් ණය ගැනීම හරහා රාජ්‍ය පාලනය කිරීමේ මූල්‍ය පද්ධතිය ගොඩ නැගී පවතින බැවිනි.

රාජ්‍ය විදේශ ණය ගෙවන්නේ කවුද? මුදල් කොහෙන් ද? 

රාජ්‍ය ණය ආපසු ගෙවීමේ ඉහත දැක්වූ ක්‍රමවේදයට විදේශ ණය ආපසු ගෙවීම ඇතුළත් වෙයි. එනම්, ශ්‍රී ලංකාවට ණය දෙන ලද ආයෝජකයන් විසින් නව ණය සැපයීම හරහා විදේශ ණය අඛණ්ඩව පවත්වා ගෙන යනු යන අතර ගෙවා නිම කිරීමක් සිදු නොවේ. එය ගෝලීය ඩොලර් දාමයෙහි කොටසකි. එම ණය මුදල් යනු යුරෝ ඩොලර් වෙළෙඳපොළෙහි මැවෙන ඉලක්කම් හෝ ඩිජිටල් මුදල් මිස, ඇමෙරිකානු මහ බැංකුව විසින් මුද්‍රණය කොට ඇති ඩොලර් මුදල් නොවේ. පසුගිය වසර කිහිපය තුළ සිදු කරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය ද ශ්‍රී ලංකා රජය විසින් 2022 අප්‍රේල් මස 12 දින පැහැර හරින ලද ණය, විදේශීය ණය හිමියන් විසින් තවදුරටත් ණය සැපයීම මගින් නැවත යාවත්කාලීන කිරීමේ සිද්ධියකි. එය, විදේශ ණය වෙළෙඳපොළවල අඛණ්ඩව පවතින ක්‍රමවේදයක් මිස, ශ්‍රී ලංකා රජය විසින් කරන ලද නව නිර්මාණයක් නොවේ.

එබැවින්, ශ්‍රී ලංකාව විසින් නැවත විදේශ ණය ගැනීම හරහා නියමිත දිනවල විදේශ ණය ආපසු ගෙවනු ඇත. ඒ සඳහා IMF කොන්දේසි අනුව රජය විසින් නව ණය හරහා මහ බැංකු විදේශ සංචිතය ප්‍රසාරණය කිරීම සිදු කෙරේ. IMF කොන්දේසි අනුව දැනට නව ණය හරහා රැස් කර ගෙන ඇති ඩොලර් බිලියන 6 ක් පමණ වන විදේශ සංචිතය, 2028 වන විට ඩොලර් බිලියන 16 පමණ දක්වා ප්‍රසාරණය කළ යුතුය. එය කල හැකි වන්නේ, නව විදේශ ණය ගැනීමෙනි. ඊට හේතුව, ශ්‍රී ලංකාවට එපමණ විදේශ වෙළෙඳ අතිරික්තයක් ජනිත කිරීමට නොහැකි බැවිනි. එවැනි කොන්දේසියක් IMF විසින් ද පනවා නොමැත.

එබැවින්, විදේශීය ආයෝජනයන් විසින් ශ්‍රී ලංකා රජයට අඛණ්ඩව ණය සැපයෙයි නම්, විදේශ ණය ගෙවීමේ කිසිම ගැටළුවක් නොවනු ඇත. රජය විසින් IMF ඩොලර් දාමය තුළ සිටින තෙක්, නව විදේශ ණය ලැබීමේ හෝ ආපසු ගෙවීමේ හෝ ගැටළුවක් පැන නොනගී. එබැවින්, ආනයන ආර්ථිකය ද අඛණ්ඩව පවතිනු ඇත. IMF ඩොලර් දාමයෙහි ඒකායන අරමුණ වනුයේ, දියුණු වන රටවල් එම ඩොලර් දාමය තුළ හිර කොට තබා ගැනීම යි. එය, හුදෙක් ගෝලීය ඩොලර් අධිපත්‍යය පවත්වා ගැනීමේ අරමුණින් සිදු කෙරේ.

එසේම, ඩොලර් සංචිතයෙහි මුදල්වලින් විදේශ ණය ගෙවීම හරහා ගෙවීමට ඇති විදේශ ණය තොගය පහළ දැමීම ද කළ නොහැකිය. ඊට හේතුව, රටේ පවතින රුපියල් මුදල් ක්‍රමය රාජ්‍ය විදේශ ණය හෝ ඩොලර් සංචිතය මත මුද්‍රණය කරන මුදල් මත රඳා පවතින බැවිනි. එසේ විදේශ ණය ආපසු ගෙවීමක් කළ හොත්, ඒ සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුවෙන් මිල දී ගැනීම සඳහා අයවැය අතිරික්තයක් ජනිත කල යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ සංචිත මුදල් ද්‍රවශීලතාවය සහ මුදල් සැපයුම සංකෝචනය වී, දැඩි ආර්ථික පසුබැසීමක් සහ බැංකු අර්බුදයක් හට ගනු ඇත. 

එවැනි බැංකු අර්බුදයක් නිරාකරණය සඳහා අවසාන ණය දීමේ බලය ද වත්මන් මහ බැංකුවට නොමැත. 2022/23 දී විදේශ සංචිතය ශුන්‍යයට කඩා වැටෙද්දී, සංචිත මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් නොමැතිව මුදල් සහ බැංකු ක්‍රමය පවත්වා ගැනීමට මහ බැංකුවට හැකි වූයේ, අති විශාල ලෙස රජයට ණය දීම සඳහා මුදල් මුද්‍රණය කිරීම මගිනි. එහෙත්, වත්මන් මහ බැංකුවට එසේ රජයට ණය දීමේ නෛතික ප්‍රතිපාදනයන් ද නොමැත. එබැවින්, 2028 සිට රටේ මුදල්වලින් විදේශ ණය ගෙවන බවට කෙරෙන රාජ්‍ය ප්‍රකාශනයන්වල කිසිම ආර්ථික පදනමක් නොමැත.

එබැවින්, ඉදිරි වසර හෝ දෙක තුළ නැවත ශ්‍රී ලංකා රජය පැරණි විදේශ ණය වෙළෙඳපොළට පිවිසෙනු ඇත. ඒ සඳහා මාර්ගය දැනට IMF ඩොලර් දාමය විසින් සකසා ඇත. එසේම, නුදුරේ දී ශ්‍රී ලංකාවට යුරෝ ක්‍රිප්ටෝ ණය වෙළෙඳපොළට ද ප්‍රවේශ විය හැකිය. ඊට හේතුව, ඩොලරය ව්‍යාප්ත කිරීමේ නව ඇමෙරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස, ඩොලරයට බද්ධ ක්‍රිප්ටෝ මුදල් ව්‍යාප්තිය ඉදිරිපත් කිරීම යි. ක්‍රිප්ටෝ මුදල් ආශ්‍රිත නීති රාමුව දැනටමත් හඳුන්වා දී ඇත. ඇමෙරිකානු මහ බැංකුව විසින් තම අන්තර් බැංකු ඩොලර් මුදල් පියවුම් පද්ධතිය ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු පියවීම සඳහා ද විවෘත කිරීමට ඉදිරිපත් වී ඇත.

සමාප්ත සටහන

  • රාජ්‍ය ණය යනු නැවත ගෙවා නිම කෙරෙන ණය නොවේ. මෙම ණය ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ ණය නොගෙවීම සඳහා ය. ඊට හේතුව, රටක මුදල් ක්‍රමය සහ මුදල් සැපයුම රාජ්‍ය ණය මත නිර්මාණය කොට ක්‍රියාත්මක වන බැවිනි. එබැවින්, රාජ්‍ය ණය යනු නව ණය ගැනීම හරහා සේවාකරණය කෙරෙන ණය මෙවලමකි. එබැවින්, රාජ්‍ය ණය අවකළමනාකරණය පිළිබඳ දුෂණ චෝදනාවන් ලෝකය පුරා රජයන්ට එරෙහිව දැකිය හැකිය.

  • එබැවින්, රාජ්‍ය විදේශ ණය ආපසු ගෙවීම ද හුදෙක් නව විදේශ ණය ගැනීම මගින් සිදු කෙරේ. ඊට විශේෂ හේතුව වන්නේ, මූර්ත ආර්ථිකය තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කොට, ඉන් ණය සේවාකරණය කිරීමේ ආර්ථික සංවර්ධන සැලසුමක් රජයට හෝ කිසිම දේශපාලනික පක්ෂයකට නොමැති බැවිනි.

  • ආනයන ආර්ථිකය මූල්‍යකරණය සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීම සඳහා අයවැය හිඟය සහ නව රාජ්‍ය විදේශ ණය අවශ්‍ය ය. එමගින් ලැබෙන ඩොලර් හරහා වෙළෙඳ හිඟය පියවීම සහ විනිමය අනුපාතය පාලනයට හැකියාව ලැබේ. එය පොදු මහජනයා ඉතා ප්‍රිය කරන සහ පුරුදු පුහුණු කොට ඇති ආර්ථික ප්‍රතිපත්තිය යි. අපනයන ආර්ථිකයන් ගැන එහෙන් මෙහෙන් කථා කළ ද, ප්‍රතිපත්ති මෙවලම් හෝ සැලසුම් ඉදිරිපත් වී නොමැත.

  • IMF කොන්දේසිවලට එකඟ වෙමින් අඛණ්ඩව IMF-නව ලිබරල් ඩොලර් දාමයේ සිටීම තුළින් ආනයන ආර්ථිකය මූල්‍යකරණයට සහ විදේශ ණය ගෙවීමට අවශ්‍ය නව විදේශ ණය ගැනීමේ ගැටළුවක් පැන නොනගී. එබැවින්, විදේශ ණය ගෙවීමේ මූල්‍ය බර පිළිබඳ ව බදු ගෙවන්නන් කලබල විය යුතු නැත. එහෙත්, IMF නව ලිබරල් මොඩලය පවත්වා ගැනීම සඳහා ඔවුන් විසින් නව බදු ගෙවිය යුතුය.

  • එහෙත්, රජය සහ මහජනතාව මුහුණ දෙන ව්‍යුහාත්මක අවදානම වනුයේ, විදේශ ණය/ඩොලර් සැපයුම ඕනෑම අවස්ථාවක අවහිර කිරීම තුළින් රජය පෙරලා දමා, විදේශ ණය සහ ආර්ථික අර්බුදයක් පතිත කිරීමේ හැකියාව යි. ශ්‍රී ලංකාව 2021/22 දී මුහුණ දුන්නේ එම අවස්ථාවට යි.

  • එබැවින්, නව ශ්‍රී ලංකා රජයන් විසින් තීරණය කළ යුත්තේ, IMF-නව ලිබරල් ඩොලර් දාමයේ විසීම හෝ ඊට විකල්පව රටේ සම්පත් මත ගෝලීය ආර්ථිකය තුළ තරඟකාරීව සංවර්ධනය සහ ස්ථායිකරණය වීමේ නව දේශීය ආර්ථික කළමනාකරණ මොඩලයක් ගවේෂණය යි. ඒ පිළිබඳ ව කිසිම දේශපාලනික හෝ විද්වත් කථිකාවතක් තවමත් හට ගෙන නැත. ඊට හේතුව, බහුතරය IMF නව ලිබරල් බැතුමතුන් වීම යි. ඒ බව, IMF කොන්දේසි සහ ඉලක්කම්වලින් පිරි ආර්ථික විද්වත් විග්‍රහයන්ගෙන් පැහැදිළි වෙයි.

  • එහෙත්, පසුගිය රජය විසින් ආර්ථික කළමනාකරණ කේන්ද්‍රීය ආයතන පද්ධතිය ද IMF-නව ලිබරල් මොඩලයට සුදුසු ලෙස නැවත ස්ථාපිත කොට ඇත. එබැවින්, නව දේශීය ආර්ථික මොඩලයක් ක්‍රියාත්මක කිරීමට හැකි ආර්ථික සහ ව්‍යාපාරික දැනුම සහ මහජන බලය ඇති දේශීය දේශපාලනික රජයක් පිළිබඳ ව කිසිම බලපොරොත්තුවක් තැබිය නොහැකිය. එය ජාතික පාලනයට යටත් ආර්ථිකයක් සහ රාජ්‍යයක් නොමැතිවී යාමේ උවදුරකි. ඊට හේතුව, IMF නව ලිබරල් ගෝලීය ඩොලර් දාමයේ නියෝජිතයන් කිහිප දෙනකුට රට සහ ආර්ථිකය පාලනය කිරීමේ දෘශ්‍යමාන හැකියාව යි.

  • නව IMF ලිබරල් ආර්ථික මොඩලයේ පවතින ව්‍යුහාත්මක ආර්ථික අවදානම වනුයේ, විදේශ සංචිතය සහ විනිමය අනුපාතය කළමනාකරණය කිරීම පිළිබඳ ව නව මහ බැංකු නෛතික ප්‍රතිපාදනයන්, 2023 සැප්තැම්බර් 14 දක්වා පැවති මුදල් නීති පනත යටතේ පැවති ප්‍රතිපාදනයන්ට වඩා හාත්පසින් වෙනස් වීම යි. නව පනත යටතේ විදේශ සංචිතය සහ විනිමය අනුපාතය පිළිබඳ ව  ගෙවුම් ශේෂය, විදේශ ණය සේවාකරණය, ආර්ථික ස්ථායිකරණය හෝ සංවර්ධනය ආශ්‍රිතව විශේෂිත නෛතික වගකීම් මහ බැංකුව වෙත පවරා නොමැත. ඒවා හුදෙක් මහ බැංකුවේ දෛනික බැංකු කාර්යයන් ය. එබැවින්, වත්මන් රජයෙන් ස්වාධීන වූ මහ බැංකුව විසින් ආර්ථික ස්ථායිතාවය, ස්ථායිකරණය සහ රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පැරණි නෛතික ප්‍රතිපාදනයන්වල මෙන් විදේශ සංචිතය සහ විනිමය අනුපාතය භාවිතා කරනු ඇතැයි බලපොරොත්තු නොවිය යුතුය. 

  • එබැවින්, IMF-නව ලිබරල් මොඩලයේ සිටීම හැර වෙනත් විකල්පයක් නව රජයන්ට නොමැත. එහෙත්, එම මොඩලයෙන් පොදුජන ආර්ථික සුබසාදනයට වැදෙන පහර හේතුවෙන්, ඊළඟ මැතිවරණයේ දී රාජ්‍ය නායකයන්ට ගෙදර යාමට සිදු වීම පුදුමයක් නොවේ. ඊට හොඳම උදාහරණය, වත්මන් IMF-නව ලිබරල් මොඩලය අකුරටම ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථායිකරණය කළ දේශපාලන නායකත්වයට පසුගිය මැතිවරණවලින් ගෙදර යාමට සිදු වීම යි.

  • එබැවින්, IMF නව ලිබරල් ආර්ථික මොඩලයෙන් රටට ඇති දිගු කාලීන සමාජ ආර්ථික සුබසාදනය කුමක් ද? යන්න පිළිබඳ ව සෑහීමකට පත් නොවී, හුදෙක් කෙටි කාලීන විදේශ මුදල් ගිණුම් වාසිය මගින් එදිනෙදා මහජනයා සතුටු කිරීමේ සමාජ ව්‍යුහාත්මක ආර්ථික අවදානම් බොහෝ වෙයි. බොහෝ රාජ්‍ය නායකයන් දැනට රාජ්‍ය ලිපි ගොනුවල තියෙන දේවල් කිරීමට හෙවත් සිස්ටම් එක ගෙන යාමට සමතුන් වන අතර කාර්යසාදන ඉලක්කයන් සහ දර්ශනයක් මත දිගු කාලීන නව ආර්ථික කළමනාකරණ මොඩලයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති නායකයන් බිහි වන්නේ කලාතුරකිනි. 

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)



Comments

Popular posts from this blog

මහ බැංකු නව දියුණු මුදල් මුද්‍රණය. මැලේසියාවෙන් ආනයනයක් ද?

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

පාර්ලිමේන්තුවේ දී මහ බැංකු උද්ධමන පාලන මිථ්‍යාව එළියට. ආර්ථිකය අවධමන උගුලක? විසඳුම රජය ද? මහ බැංකුව ද?