මහ බැංකුවේ නීති විරෝධී විදේශ මුදල් සූදුව - ඊට වගකියන්නේ කවුද? දඩුවම් දෙන්නේ කවුද?

 


මෙම වෙබ්අඩවියේ පළ කළ ලිපි රාශියකින් මා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ වත්මන් ආර්ථික අර්බුදයට මූලික හේතුව මහ බැංකුව විසින් මුදල් නීති පනතේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් උල්ලංඝණය කරමින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බව යි.

මෙහිදී, මූල්‍ය ප්‍රතිපත්තියේ මූලික අංශයක් වන විදේශ මුදල් සංචිතය සහ විනිමය අනුපාතය පිළිබඳ මූල්‍ය නීති උල්ලංඝණය තුළින් හට ගත් උග්‍ර විදේශ මුදල් හිඟය සහ විනිමය අනුපාත අධි අවප්‍රමාණය තුළින් වත්මන් ආර්ථික අර්බුදය හට ගෙන ඇති බව අවබෝධ කර ගැනීමට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නොවේ. විදේශ මුදල් පිළිබඳ ව මහ බැංකුවේ ක්‍රියාකාරිත්වය හුදෙක් නීති විරෝධී සූදුවක ස්වරුපය ගෙන ඇත.

මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ මහ බැංකුව විසින් තව තවත් එසේ විදේශ මුදල් සූදුවේ යෙදෙන බවත්, එය ආර්ථිකයට තවත් අවදානම් ඇති කරන බවත් පහත දැක්වෙන ලිඛිත සාක්ෂි 6 මගින් ඉදිරිපත් කිරීම යි.

මහ බැංකුව විසින් මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට එරෙහිව මුදල් මුද්‍රණය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව ලිඛිත සාක්ෂි මීට පෙර ලිපි කිහිපයක ඉදිරිපත් කොට ඇත.

අන්තර් බැංකු විනිමය අනුපාත මාර්ගෝපදේශය

මහ බැංකුව විසින් මැයි මස 13 දින විධානයක් හරහා අන්තර් බැංකු ඩොලර් තැන් විනිමය ගනුදෙනු සඳහා මධ්‍ය විනිමය අනුපාතය රුපියල් 360 ක් ලෙස ගෙන, ඒ මත රුපියල් 2.60 ක පරාසයක බැංකු අතර තැන් විනිමය ගනුදෙනු කරන ලෙස නියම කොට ඇත. මෙය බැංකු සමඟ එකඟ වූ මාර්ගෝපදේශ විනිමය අනුපාතයක් බව පසුව මහ බැංකු අධිපති විසින් මාධ්‍යට දක්වා ඇත. එහෙත්, මෙය නීති විරෝධී විනිමය අනුපාතයකි. ඊට හේතුව, මාර්ගෝපදේශ විනිමය අනුපාතයන් හෝ අන්තර් බැංකු ගනුදෙනු විනිමය අනුපාතයන් හෝ නියම කිරීමට මුදල් නීති ප්‍රතිපාදන නොමැති වීම යි.

මුදල් නීති ප්‍රතිපාදන අනුව මුදල් මණ්ඩලයට සහ මහ බැංකු අධිපතිට බලය තිබෙන්නේ රුපියලේ නිල විනිමය අනුපාතයන් නියම කිරීම, බැංකු විසින් මහජනතාව සමඟ කෙරෙන තැන් විනිමය ගනුදෙනු සඳහා භාවිතා කළ යුතු අවම මිල දී ගැනීමේ අනුපාතය සහ උපරිම අළෙවි අනුපාතය නියම කිරීම, මහ බැංකුව විසින් වාණිජ බැංකු සමඟ කෙරෙන තැන් හෝ වෙනත් විනිමය ගනුදෙනුවල අවම මිල දී ගැනීමේ අනුපාතය සහ උපරිම අළෙවි අනුපාතය නියම කිරීම හෝ එසේ නියම කිරීමෙන් වැලකි සිටීම යි.

එසේ විනිමය අනුපාතයන් නියම කෙරෙන විට, එනම් විනිමය පාලන මිල ගණන් පැනවීම, එම විනිමය අනුපාතයන් පවත්වා ගැනීම මහ බැංකු විදේශ සංචිතය හරහා සිදු කෙරෙන බව අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා සිසුන් පවා දන්නා විෂය කරුණකි.

එනම්, බැංකු පද්ධතිය තුළ විදේශ මුදල් අතිරික්තයක් ඇති විට අවම විනිමය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් එම විදේශ මුදල් මිල දී ගැනීම සහ විදේශ මුදල්  හිඟයක් පවතින විට උපරිම විනිමය අනුපාතය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් තම සංචිතයෙන් විදේශ මුදල් බැංකු වෙත සැපයීම යි.

එබැවින්, වර්තමානයේ මහ බැංකුව සතුව ද්‍රවශීල විදේශ සංචිතයක් නොමැති බැවින් කිසිම ආකාරයක උපරිම විනිමය අනුපාතයක් බැංකු පද්ධතිය තුළ පවත්වා ගැනීමට හැකියාවක් නොමැත. රජය විසින් පැනවූ භාණ්ඩ මිල පාලනයන් ඉවත් කිරීමට සිදු වුයේ ද රජය සතුව එම භාණ්ඩ සංචිතයන් නොමැති නිසා බව ඕනෑම කෙනෙකු දන්නා සරල කරුණකි.

එබැවින්, මුදල් නීති පනතේ ප්‍රතිපාදන නොමැති වීම, මහ බැංකුව සතුව ද්‍රවශීල විදේශ සංචිතයක් නොමැති වීම සහ බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය සැපයුම හිඟ වීම හේතු කොට එවැනි මාර්ගෝපදේශ අනුපාතයන් හුදු රූකඩ විනිමය අනුපාතයන් වනු ඇත. තවද, වාණිජ බැංකු මුදල් වෙළෙඳුන් යනු මහ බැංකු මාර්ගෝපදේශයන් සොයන පාසැල් ළමුන් නොව, මහ බැංකුවට මාර්ගෝපදේශයන් ලබා දීමට තරම් ප්‍රයෝගික වෙළෙඳපොළ දැනුමක් සතු පිරිසකි.

එහෙත්මාර්ගෝපදේශය මත තීරණය වන බැංකු විනිමය අනුපාතයන් අත්‍යාවශ්‍ය ආනයන වැනි ගෙවුම් සඳහා සහනාධාර ලෙස ද, නිල මාර්ගයෙන් ලැබෙන ප්‍රේෂණ සඳහා දණ්ඩනයක් හෝ බද්දක් ලෙස ද ක්‍රියාත්මක වනු ඇත.

එසේම, බැංකු විසින් එම විනිමය අනුපාතය අනුව මහජන ගනුදෙනු සඳහා විනිමය අනුපාතයන් නියම කළ බැවින් මැයි මස 13 දින බැංකු සාමාන්‍ය විනිමය අනුපාතය රුපියල් 360 ක් ලෙස වාර්තා වීම හේතු කොට, මහ බැංකු අධිපතිගේ නව පියවර තුළින් 3% කින් රුපියල ශක්තිමත් වූ බවට දේශපාලනික වාසි ලබා ගැනීම පිණිස සමාජ මාධ්‍යය හරහා ප්‍රසංශා කෙරෙන ලදි. ඒ අනුව, විනිමය අනුපාතය ස්ථායිකරණය වී ඇති බව මහ බැංකු ආර්ථික වාර්තාවල ද දැක්වෙන අතර එය මහජනතාව මුලා කිරීමකි. ඊට හේතුව, එම විනිමය අනුපාතයන් යටතේ ක්‍රියාකාරී වෙළෙඳපොළක් නොමැති බැවිනි.

පසුගිය මැයි මස 25 දින මුදල් මණ්ඩල සාමාජිකයෙකු විසින් කෝප් සභාවට ප්‍රකශ කරනු ලැබුවේ රජයේ මතය අනුව මුදල් මණ්ඩලය විසින් පසුගිය කාලයේ විදේශ සංචිතය බිලියන 8 කින් පමණ කඩා වැටෙන තෙක් විනිමය අනුපාතය රුපියල් 203 ක ස්ථාවරව මට්ටමක පවත්වා ගෙන ගියේ රජයේ මතය අනුව බව යි. එයද, අමු අමුවේ මුදල් නීති පනත උල්ලංඝණය කිරීමකි.

ඊට හේතුව, රජයට අවශ්‍ය නම් මුදල් ඇමති හරහා රුපියලේ විනිමය අනුපාතය හෝ සම වටිනාකම මුදල් මණ්ඩලයේ ඒකමතික නිර්දේශය මත තීරණය කිරීමටත්, මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විධානයන් නිකුත් කිරීමටත් මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් ඇති බැවිනි.

බැංකුවලට ලැබෙන විදේශ විනිමයෙන් කොටසක් මහ බැංකුව වෙත අළෙවි කිරීමට කරන ලද විධානය

අපනයන සහ ප්‍රේෂණ හරහා බැංකු වෙත ලැබෙන විදේශ විනිමය භාවිතා කරන ආකාරය සහ ඉන් කොටසක් මහ බැංකුවට අළෙවි කළ යුතු බවට විධානය කිරීම සඳහා මහ බැංකුවට ව්‍යවස්ථාපිත බලතල නොමැත. මුදල් නීති පනත ය‍ටතේ ලැබී ඇති බලය වන්නේ බැංකු විසින් තම ගනුදෙනු සඳහා තබා ගත හැකි විදේශ මුදල් කාරක ශේෂයන් නියම කිරීම සහ එය ඉක්මවා ලැබෙන විදේශ මුදල් සියල්ල හෝ කොටසක් මහ බැංකුවට අළෙවි කරන ලෙස නියම කිරීම යි.

එබැවින්, වත්මන් විධානය මගින් මහ බැංකුව විසින් නීති විරෝධී ලෙස බැංකුවලින් විදේශ විනිමය උදුරා ගැනීමක් සිදු කෙරේ. එය බැංකු විසින් විදේශ විනිමය රැස් කිරීම අධෛර්යමත් කිරීමටත්, බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය හිඟයටත් හේතුවක් වී ඇත.

අත්‍යවශ්‍ය ආනයන සඳහා මහ බැංකුව විසින් සලාක පදනමක් මත විදේශ විනිමය බැංකු වෙත සැපයීම

මුදල් නීති පනත අනුව මහ බැංකුවට බලය පවතින්නේ තම ප්‍රකාශිත විනිමය අනුපාතයන් අනුව බැංකු සමඟ පොදුවේ විනිමය ගනුදෙනු කිරීම යි. එබැවින්, මෙසේ බැංකු ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාවන් තෝරා ගෙන, ඒ සඳහා අවශ්‍ය විනිමය සලාක පදනමක් ලෙස සැපයීමේ නෛතික ප්‍රතිපාදනයන් මහ බැංකුවට නොමැත. ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාවන් අනුව විදේශ විනිමය වෙළෙඳ ගනුදෙනු කිරීම විදේශ විනිමය පනත යටතේ බලපත්‍ර ලාභී බැංකුවල කාර්යය සහ වගකීම යි.

එබැවින්, බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය රැස් කිරීමේ සහ ගනුදෙනු කරුවන්ට අවශ්‍ය පරිදි විදේශ විනිමය සැපයීමේ ව්‍යවස්ථාපිත වගකීම පවතින්නේ බලපත්‍ර ලාභී බැංකු වෙත ය. එහෙත්, බැංකු පද්ධතිය වෙත පවතින උග්‍ර විදේශ මුදල් හිඟය සහ විවෘත වෙළෙඳපොළේ පවතින ගනුදෙනු මට්ටම දෙස බලන විට බැංකු විසින් ද ජාතික ආර්ථිකය වෙත තම ව්‍යවස්ථාපිත වගකීම ඉටු කිරීමට අසමත් වී ඇති බව පැහැදිලි ය.

මෙම තත්ත්වය යටතේ මහ බැංකුව වෙත විදේශ විනිමය ලැබෙන්නේ බැංකු විසින් ඉහත දැක්වූ විධානය යටතේ අළෙවි කෙරෙන විනිමය සහ රජය වෙත ලැබෙන විදේශීය ණය සහ ආධාර මුදල් හරහා ය. එබැවින්, මහ බැංකුව/මහ බැංකු අධිපති විසින් එම මුදල් තම අභිමතය පරිදි බැංකු ගනුදෙනු කරුවන් වෙත බෙදා දීම නීති විරෝධී මෙන්ම මහ බැංකුව විසින් අනිසි ලෙස තම බලය භාවිතා කිරීමකි. එබැවින්, සමහර ඇමති වරුන් සහ ව්‍යාපාරිකයන් මහ බැංකු අධිපති හමු වී විදේශ විනිමය වෙන් කර ගන්නා බවට මාධ්‍ය වාර්තාවන් කලින් කලට දැකිය හැකිය.

ඒ සඳහා භාවිතා කරනු ලබන විනිමය අනුපාතයන් මුදල් මණ්ඩලය හෝ මහ බැංකු අධිපති විසින් මුදල් නීති පනත ප්‍රකාරව තීරණය කරනු ලබන පොදු අනුපාතයන් ද? නැතහොත් වෙනත් අනුපාතයන් ද? යන්න ගැටළුවක් මෙහිදී හට ගනී. ඒවායේ විනිවිද භාවයක් නොමැති පෞද්ගලික ගනුදෙනු වන බැවින් මූල්‍ය අක්‍රමිකතාවන් සිදු වීමේ අවදානම ද ඉතා ඉහළ වෙයි.

මෙහිදී, රජය වෙත ලැබෙන විදේශ ආධාර මුදල් භාවිතය පිළිබඳ ව තීරණ ගැනීම රජය විසින් කළ යුතුය. එසේ නොමැතිව, එම මුදල් භාවිතය පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් තීරණ ගැනීම හරහා සිදු විය හැකි අක්‍රමිකතාවන් හේතු කොට රජයට ද දෝෂාරෝපනයන් එල්ල විය හැකිය.

එබැවින්, රජයට ලැබෙන විදේශ ආධාර මුදල් රාජ්‍ය බැංකුවක් වෙත ලබා ගෙන රාජ්‍ය ප්‍රමුඛතාවන් අනුව උපයෝජනය කිරීම වඩා යෝග්‍ය වෙයි. ඊට හේතුව, විදේශ මුදල් සංචිතයට අවශ්‍ය විදේශ විනිමය රැස් කර ගැනීම මුදල් නීති පනත අනුව මහ බැංකුවේ/මුදල් මණ්ඩලයේ වගකීම යි.

මහ බැංකු අධිපති විසින් විදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ හිත මිතුරන්ගෙන් විදේශ ආධාර මුදල් අයැදීම

මහ බැංකු අධිපති රාජකාරි භාර ගත් විගස ගන්නා ලදඑක් පියවරක් වන්නේ මහජනයාට අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ආනයන සඳහා විදේශ මුදල් ආධාර මහ බැංකුවට එවන ලෙස පෞද්ගලික ආයාචනයක් කිරීම යි. පසුගිය ජුනි 1 දින වන විට ඩොලර් 82,690 ක් පමණ වටිනා විදේශ මුදල් එමගින් ලැබී ඇත. මුදල් නීති පනත අනුව තෑගී ලබා ගැනීමේ හෝ තෑගී දීමේ ප්‍රතිපාදනයන් මහ බැංකුව හෝ මහ බැංකු අධිපති වෙත නොමැත.

එහි ඇතුළත් ප්‍රතිපාදන වන්නේ විදේශ ණය ලබා ගැනීම සහ බැංකුවලින් විදේශ විනිමය මිල දී ගැනීම තුළින් තම විදේශ සංචිතය පවත්වා ගැනීම යි. එබැවින්, මහ බැංකු අධිපති විසින් මහ බැංකුව හරහා පෞද්ගලික ආධාර මුදල් රැස් කිරීම සහ ඒ සඳහා මහ බැංකු කාර්යමණ්ඩලය යෙදවීම නීති විරෝධී වෙයි. එම මුදල් මහ බැංකු අධිපතිගේ හුදු අභිමතය මත භාවිතා කිරීමෙන් විවිධ අක්‍රමිකතාවන් ද සිදු විය හැකිය.

පෞද්ගලික විදේශ ප්‍රේෂණ නියෝජිත ආයතන නාමාවලියක් මහ බැංකු වෙබ් අඩවියේ පළ කිරීම

ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලාභී බැංකු සමඟ සම්බන්ධ වී රටවල් රාශියක සිට ශ්‍රී ලංකාවට ප්‍රේෂණයන් එවීමේ නිරත වන බව දැක්වෙන පෞද්ගලික ආයතන 423 ක පමණ නාමාවලියක් මහ බැංකු වෙබ් අඩවියේ පළ කොට ඇත. එම ආයතන විදේශ විනිමය පනත යටතේ අනුමත කොට ඇති ආයතන නොවන නොවේ. මහ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ මහජනයා සමඟ විවිධ මූල්‍ය ගනුදෙනු කිරීම සඳහා මහ බැංකුව විසින් අනුමත කොට ඇති ආයතවල නාමාවලිය මහජනයාගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීම යි. ඊට හේතුව, මහජනතාව වංචනික ආයතනවලින් සහ ගනුදෙනුවලින් ආරක්ෂාකාරී කිරීම යි.

එබැවින්, මහ බැංකුව විසින් කිසිම අධීක්ෂණයක් නොකෙරෙන හෝ වගකීමක් නොගන්නා විදේශීය ප්‍රේෂණ ආයතන නාමාවලියක් ප්‍රසිද්ධ කිරීම නීති විරෝධී ක්‍රියාවකි. මෙම ආයතනවල නීතිමය සහ මුදල් විශුද්ධිකරණ අනුකූලතා තත්ත්වය පිළිබඳ ව කිසිවක් මහ බැංකුව නොදන්නා අතර ආයතනවල ව්‍යාපාරික ලිපිනයන් සහ ඇමතුම් විස්තර ද මහ බැංකුව විසින් සපයා නොමැති බැවින් විදේශීය ප්‍රේෂකයන් මුළා විය හැකිය.

මෙම නාමාවලිය මහ බැංකුවේ අනුමත ආයතන ලෙස වක්‍රව අදහස් වන බැවින් විදේශ සේවා නියුක්තියයන් ඔවුන් වෙත ඇදී යාමෙන් එම ආයතන වෙත අනිසි ව්‍යාපාරික වාසි ලැබෙනු ඇත. එසේම, එම ආයතනවලින් ප්‍රේෂණ හිමියන්ගේ ආරක්ෂාව ගැන සෙවීමක් ද මහ බැංකුවෙන් සිදු නොවේ. එබැවින්, මහ බැංකුවේ මෙම ක්‍රියාව ප්‍රේෂණ නියෝජිත ජාලයකට නීති විරෝධී ව්‍යාපාරික අත හිත දීමක් ලෙස මෙන්ම මුදල් විශුද්ධිකරණ උත්සාහයන්ට අනුබල දීමක් ලෙස ද සැලකිය හැකිය.

එසේම, බලපත්‍ර ලාභී බැංකුවලට ව්‍යාපාරික කටයුතු සඳහා නියෝජිතයන් පත් කළ හැක්කේ බැංකු පනත යටතේ මුදල් මණ්ඩල සහ මුදල් ඇමතිනි අවසරය ලබා ගැනීමෙන් පසුවය. එබැවින්, මෙම අනවසර නාම ලේඛනය පළ කිරීම තුළින් මහ බැංකුව විසින් බැංකු නීති කැඩීමට බැංකුවලට ආධාර අනුබල දීමක් කෙරේ.

මහ බැංකු අධිපති විසින් ශ්‍රී ලංකාවේ බදු සහන බලාපොරොත්තු නොවී බැංකු හරහා තම නෑදෑයන් වෙත ප්‍රේෂණ එවන ලෙස විදේශ සේවා නියුක්තිකයන්ට දෝෂරෝපණය කොට, පසුව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආනයන මිල දී ගැනීමට උපකාරී  වන ලෙස නිල මූලයන් හරහා ප්‍රේෂණ එවන ලෙස විදේශ සේවා නියුක්තිකයන් වෙත විචිත්‍ර ආයාචනයක් ද කරන ලදි. 

මෙහිදී, ඉහත දැක්වූ නාම ලේඛනයේ දැක්වෙන ආයතනයන් නිල මූලයන්ට ඇතුළත් වන්නේ ද? යන්න තහවුරුවක් ද මහ බැංකුව වෙත නොමැති බව, එම ආයතනවල කිසිම ව්‍යාපාරික කටයුතු පිළිබඳ ව මහ බැංකුවේ වගකීමක් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වෙයි.

එබැවින්මෙය වත්මන් අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීම් පිණිස මූල්‍ය බුද්ධි ඒකකය පසෙක තබා මුදල් විශුද්ධිකරණය හරහා මහ බැංකු විදේශ සංචිතය ගොඩ නැගීමට කරනු ලබන උත්සාහයක් වන බවට ද සැකයක් මතු විය හැකිය.

පාර්ලිමේන්තුවේ අවසරය නොමැතිව රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිටුවීම

රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවේ නිසි අවසරයක් නොමැතිව අප්‍රේල් මස 11 දින රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිටු වීමට තීරණය කිරීම නීති විරෝධී වෙයි. ඊට හේතුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුදල් පාලනය පාර්ලිමේන්තුව යටතේ පවතින බැවිනි. එම මුදල් පාලනය රාජ්‍ය අයවැය යටතේ සිදු වන අතර 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය මත ක්‍රියාත්මක වන අයවැයට රාජ්‍ය ආදායම, වියදම, ණය ගැනීම සහ ණය සේවාකරණය අයත් වෙයි. එබැවින්, 2022 රාජ්‍ය ණය සේවාකරණය පාර්ලිමේන්තුවෙන් අනුමත වී ඇති විෂයකි.

එබැවින්, පාර්ලිමේන්තුවේ අයවැය සංශෝධනයක් නොමැතිව රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිටු වීම නීති විරෝධී වෙයි. මෙසේ ණය සේවාකරණය අත්හිටු වීම කරනු ලැබුවේ මහ බැංකුවේ විදේශ සංචිතය හින වී යාම හේතු කොට ඉදිරියේ දී මහ බැංකුව වෙත ලැබෙන විදේශ විනිමය ආරක්ෂා කර ගෙන වෙනත් අවශ්‍යතාවන් සඳහා භාවිතා කිරීම සඳහා වෙයි.

රජයට දෙන කාරුණික අවවාදයක්

රටක නීති රාමුව යනු පොදුජන් හිතසුව පිණිස පුද්ගලයන් සහ ආයතන සඳහා රජය විසින් පනවා ඇති විනය රාමුව යි. එයට අවනත නොවීම තුළින් විවිධ වාසි ලබා ගත හැකි අතර එය පොදුජනයා කෙරෙහි අසාධාරණයක් මෙන්ම විවිධ අවදානම් ද ඇති කෙරෙනු ඇත. මිනී මැරුම්, සොරකම්, මත්ද්‍රව්‍ය වෙළෙඳාම වැනි අපරාධයන් මෙන්ම රාජ්‍ය ආයතනයන් විසින් තමන්ට නියමිත නීතීන්ට අවනත නොවීම ද රටේ නීති රාමුව උල්ලංඝණය කිරීමකි.

විශේෂයෙන් මහ බැංකුව වැනි මුදල් මුද්‍රණය සහ සංසරණය භාර ඒකාධිකාරී ආයතනයක් විසින් තම මූල්‍ය නීති කැඩීම තුළින් පොදුජනයාට දැරීමට සිදු වන මූල්‍ය සහ ආර්ථික පාඩුව වත්මන් උග්‍ර විදේශ අරමුදල් හිඟය සහ එමගින් හට ගෙන ඇති ආර්ථික අර්බුදය දෙස බැලීමේ දී ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙයි.

එබැවින්, ඉහත දැක්වූ පරිදි මහ බැංකුව විසින් අඛණ්ඩව සිදු කෙරෙන විදේශ මුදල් නීති උල්ලංඝණයන් පිළිබඳ ව රජයේ සහ නීති ක්‍රියාකරුවන්ගේ කඩිනම් අවධානය යොමු යොමු කොට ඊට වගකිව යුතු අයට දඩුවම් දීමට කඩිනමින් ක්‍රියා කළ යුතුය. වත්මන් සමාජය ඉල්ලා සිටින පද්ධති වෙනසට එය ද අයත් වෙයි.

එබැවින්ඉහත දැක්වූ නීති විරෝධී ක්‍රියාවන් පදනම් කර ගෙන මුදල් නීති පනතේ 16 (ඇ) වගන්තිය යටතේ මුදල් ඇමතිගේ නිර්දේශය මත මහ බැංකු අධිපති හෝ මුදල් මණ්ඩල පත් කළ සාමාජිකයන් ඉවත් කිරීමේ බලය ද ජනාධිපති වෙත පවතී.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි