මහ බැංකු ස්වාධීනත්වය - කුමක්, කෙසේ, කා සඳහා ද? සත්‍යය සොයමු....

 


මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා (චීනයේ හැර) අධි උද්ධමන රැල්ල පාලනය කිරීම සඳහා මුදල් මුද්‍රණය පහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මහ බැංකුවලට ස්වාධීනත්වය දිය යුතු බවට මත වාදයක් පැතිරෙමින් පවතී. ඇමෙරිකානු ජනාධිපති විසින් ද මෑතක දී සඳහන් කළේ මහ බැංකුවේ ස්වාධීනත්වයට ගරු කරන බවත්, උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ කාර්යයක් බවත් ය. ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා සහ අගමැති වරයා ද දේශපාලනික ඇගිලි ගැසීම් වලක්වා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන බව ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය පුවත් මේ දිනවල පැතිරෙන බව දැකිය හැකිය.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු ස්වාධීනත්වය යනු ප්‍රයෝගික වැදගත් කමක් නොමැති දේශපාලන සහ ආර්ථික විද්‍යාඥයන් කණ්ඩායමක  මානසික සංකල්පයක් බවට පර්යේෂණාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම යි.

මහ බැංකු ස්වාධීනත්වයේ නව දුමාරය

ලෝකය පුරා මුදල් මුද්‍රණය, උද්ධමනය සහ මහ බැංකු ස්වාධීනත්වය ගැන සාමාන්‍යයෙන් කථා පවත්වන්නේ රජයට විරුද්ධ දේශපාලන නායකයන් සහ පැරණි මූල්‍යවාදී සංකල්පය පිළි ගන්නා ආර්ථික විද්‍යාඥයන් විසිනි. ඔවුන් කියන්නේ උද්ධමනය හට ගන්නේ රජයට ණය දීම සඳහා මුදල් මුද්‍රණය කිරීම නිසා බවත්, උද්ධමනය පාලනය කිරීම පිණිස මුදල් මුද්‍රණය කපා හැරීම සඳහා මහ බැංකුවට රජයෙන් ස්වාධීනත්වය ලැබිය යුතු බවත් ය.

මෙම වත්මන් කතිකාවතෙහි මූලික පදනම වන්නේ ගෝලීය කොරෝනා වසංගත පැවති පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මහජනයාට රාජ්‍ය මූල්‍ය උත්තේජනයන් සැපයීමට අවශ්‍ය ණය ප්‍රසාරණය සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අරමුණු කොට මහ බැංකු විසින් ඓතිහාසික මට්ටමින් මූල්‍ය ප්‍රතිපත්ති ළිහිල් කරමින් සිදු කළ මුදල් මුද්‍රණය තුළින් වත්මන් ගෝලීය උද්ධමන රැල්ල හට ගෙන ඇති බව යි.

එහෙත්, මෙම කිසිම ආර්ථික විද්‍යාඥයෙකු එම අවස්ථාවේ දී එසේ මුදල් මුද්‍රණයට විරුද්ධ නොවූ අතර ඔවුන් සියළු දෙනා කථා කරණු ලැබූවේ ආර්ථිකයන් නැවත විවෘත කොට නිෂ්පාදන ධාරිතාවය ප්‍රකෘතිමත් කිරීම තුළින් අඛණ්ඩ ආර්ථික අවපාතයක් වැලැක්වීම සඳහා ඉල්ලුම් ප්‍රසාරණ ප්‍රතිපත්ති තුළින් සමස්ත ඉල්ලුම පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව යි. 2021 මැද භාගයේ සිට උද්ධමන මට්ටම ඉහළ යන විට ඔවුන් ප්‍රකාශ කරණු ලැබුවේ, එය කොරෝනා වසංගතය තුළ හට ගත් සැපයුම් ජාල අවහිරතාවන්ගේ තාවකාලික ප්‍රතිඵලයක් බවත්, ආර්ථිකයන් නැවත විවෘත වන විට එම අවහිරතාවන්ගේ පහව ගොස් උද්ධමනය ඉලක්ක ගත සාමාන්‍ය මට්ටමට ලඟා වන බවත් ය.

එහෙත්, සංවර්ධිත රටවල උද්ධමන ගිනිසිළු 1970 ගණන්වල පැවති ඉහළ මට්ටමට පැතිරීම ආරම්භ වීමත් සමඟ 2021 අවසාන කාලයේ සිට ලෝකය පුරා මූල්‍ය ප්‍රතිපත්ති කඩිනමින් දැඩි කිරීමට මහ බැංකු විසින් ආරම්භ කොට ඇති අතර, එමගින් අපේක්ෂිත ආර්ථික අවපාතය තුළින් තවමත් කොරෝනා වසංගතයෙන් ගොඩ එමින් පවතින ආර්ථිකයන් සහ ජන ජීවිතය බිඳ වැටීමේ දැඩි අවදානමක් හට ගෙන ඇත. එහෙත්, එය නොතකා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සඳහා මහ බැංකුවලට ස්වාධීනත්වයක් පැවතිය යුතු බවට මෙම පැරණි මූල්‍යවාදී කණ්ඩායම විසින් යෝජනා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ද ඔහු විසින් පදවිය භාර ගත් දිනට පසු දින, එනම්, අප්‍රේල් මස 8 දින, පැවති මාධ්‍ය හමුවල දී ප්‍රකාශ කරණු ලැබූවේ, ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ යාමට හේතුව නූතන මූල්‍ය න්‍යාය පදනම් කර ගෙන මහ බැංකුව විසින් තම (එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස) උපදෙස් නොතකා මුදල් මුද්‍රණය කිරීම නිසා බවත්, ඔහු විසින් ස්වාධීනව ක්‍රියා කරමින් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් ආයෝජන කළඹ අඩු කොට මුදල් මුද්‍රණය පහළ දමා උද්ධමනය පාලනය කරන බවත් ය. එහි පළමු පියවර ලෙස මහ බැංකු පොලී අනුපාතයන් එක්වර 7% කින් 13.5% සහ 14.5% දක්වා ඓතිහාසික ලෙස ඉහළ දමන ලදි (මෙහි ක්ෂණික ආදීනව මෙම වෙබ් අඩවියේ ලිපි කිහිපයකින් ඉදිරිපත් කොට ඇත).

මහ බැංකු ස්වාධීනත්වය යනු කුමක් ද?

ආර්ථිකයට යෝග්‍ය ලෙස මුදල් මුද්‍රණය සහ ණය ව්‍යාප්තිය තම මතයට අනුව රජයේ පාලනයෙන් තොරව සිදු කිරීමට මහ බැංකුවට නිදහස තිබිය යුතු බව මින් දැක්වෙයි. සමහර ආර්ථික විද්‍යාඥයන්ට අනුව මහ බැංකු ස්වාධීනත්වය යනු ආර්ථිකයේ නිෂ්පාදනය සහ සේවා නියුක්තියට කුමක් වුව ද? ඒ ගැන තැකීමක් නොමැතිව උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතයන් ඇති තරම් ඉහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට ක්‍රියා කිරීමේ හැකියාව යි. මහ බැංකු පාලන ක්‍රමයන් දෙස බලන විට අධිපතිගේ අධිපත්‍යය ඉතා ඉහළ බැවින් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකු අධිපතිට කොතරම් ස්වාධීනත්වයක් පවතී ද? යන්න මෙහි දී අදහස් වෙයි.

එය කලින් කළට මහ බැංකුව පාලනය කෙරෙන පුද්ගලයන්ගේ පෞද්ගලික මනාපයන්ට නොව, අදාළ මුදල් නීති වපසරිය තුළ සිදු කළ යුතුය. එනම්, ආර්ථිකයේ නිෂ්පාදන සම්පත් උපයෝජනය සහ ප්‍රවර්ධනය තුලින් ආර්ථික වර්ධනය, සේවා නියුක්තිය, පොදු මිල මට්ටම සහ මූල්‍ය පද්ධතිය ස්ථායිකරණය කිරීමේ ව්‍යවස්ථාපිත අරමුණු සඳහා මුදල් නීති මගින් බලය පවරා ඇති ප්‍රතිපත්ති මෙවලම් අවස්ථාවට උචිත පරිදි ක්‍රියාත්මක කිරීම යි.

එබැවින්, ආර්ථිකයක් සුමට ලෙස ක්‍රියාත්මක වෙයි නම්, මහ බැංකු ස්වාධීනත්වය ගැන කථා කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. එහෙත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී, ජීවන වියදම පාලනයෙන් තොරව දිනෙන් දින ඉහළ යමින්, පොදුජනයා මහ පාරට ඇද වැටී, ඉදිරි කාලයේ දී සාගතයකට මුහුණ දීමට කේන්දරයක් ලියා ඇති මෙම අවස්ථාවේ මහ බැංකු ස්වාධීනත්වය ගැන කථා කිරීම හාස්‍ය ජනක වෙයි. ඊට හේතුව, තම සියළු ව්‍යවස්ථාපිත අරමුණු ඉටු කිරීමට මහ බැංකුව අසමත් වීම තුළින් වත්මන් පොදුජන ජීවන අර්බුදය හට ගෙන ඇති බැවිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයට හේතුව මහ බැංකු ස්වාධීනත්වය නොමැති වීම නිසා බැවින් මෙම අර්බුදය විසඳීමට මහ බැංකු ස්වාධීනත්වය අවශ්‍ය බව දක්වන ආර්ථික විද්‍යාඥයන් ද දැකිය හැකිය.

මහ බැංකුවකට ස්වාධීනව ක්‍රියා කළ හැකි ද?

මහ බැංකුවක් ක්‍රියාත්මක වන ආකාරය දෙස බලන විට මූල්‍ය ප්‍රතිපත්ති සහ මෙහෙයවුම් ක්‍රියාකාරකම් මූලික වශයෙන් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සහ එහි ප්‍රවණතාවන් මත රැඳෙන බැවින් මහ බැංකුවකට තමන්ට රිසි ලෙස ස්වාධීනව ක්‍රියා කිරීමට හැකියාවක් නොමැත. එය පහත දැක්වෙන පර්යේෂණාත්මක සාක්ෂිවලින් පැහැදිලි වෙයි.

  • රජය වෙනුවෙන් රජයේ විශ්වාසය මත මුදල් නිකුත් කිරීම

මූල්‍ය ප්‍රතිපත්තියේ පදනම ව්‍යවහාර මුදල් නිකුතුව වන අතර මහ බැංකුව විසින් ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ රජයේ නියෝජිතයා වශයෙනි. වර්තමානයේ බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද මුදල් සඳහා රත්රන් හෝ විදේශ මුදලක් සමඟ හුවමාරු වන නිල සම මිලක් නොමැති බැවින් මහජනයා විසින් රුපියල පිළි ගන්නේ මහ බැංකුව කෙරෙහි ඇති විශ්වාශය නිසා නොව රජය කෙරෙහි ඇති විශ්වාසය මත ය.

  • රාජ්‍ය ණය සහ සුරැකුම්පත් මත මුදල් නිකුත් කිරීම

මහ බැංකුව විසින් මුදල් නිකුත් කිරීම ප්‍රධාන වශයෙන් රජයට ණය දීම (රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම සහ තාවකාලික අත්තිකාරම්) සහ රජයට ලැබෙන විදේශ ණයවල විදේශ මුදල් මිල දී ගැනීම මත පදනම් වෙයි. බැංකු වෙත දෙන ණය ද රාජ්‍ය සුරැකුම්පත් ඇප මත පදනම් වන අතර එම ණය බොහෝ විට එක් දින ණය වෙයි. ඊට හේතුව, මහ බැංකුව අවදානම් ගැනීමට මැලි බැවිනි. ශ්‍රී ලංකා මහ බැංකුවට පෞද්ගලික ණය සුරැකුම්පත් මිල දී ගැනීමට අවසර නොමැති අතර ඊට අවසර ඇති ඇමෙරිකානු මහ බැංකුව වැනි මහ බැංකු පවා ඉහළ අවදානම් හේතු කොට එවැනි ණය කෙරෙහි යොමු වන්නේ ආර්ථික අර්බුද පවතින කාලවල පමණි. අර්බුද කාලවල පද්ධති වැදගත්කමක් ඇති ව්‍යාපාරික ආයතනවලට ණය දීමට ඇමෙරිකානු මහ බැංකුවට පැවති බලය ද මෑත දී ඉවත් කොට ඇත. එබැවින්, මහ බැංකුවට මුදල් නිකුත් කිරීමේ හැකියාව පවතින්නේ රාජ්‍ය අයවැය හිඟයක් අඛණ්ඩව පවතී නම් පමණකි. එබැවින්, මහ බැංකු නිර්මාණය කොට ඇත්තේ රාජ්‍ය මූල්‍ය නියෝජිතයෙකු ලෙස ය. එනම්, මූලික වශයෙන් මුදල් මුද්‍රණය රාජ්‍ය මූල්‍ය හරහා ආර්ථිකය වෙත ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදය යි.

  • මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය ණය හෝ සුරැකුම්පත් මත රැඳීම

මෙය දෙයාකාරයකට සිදු වෙයි. පළමුව, මහ බැංකු විසින් ආර්ථිකයේ ද්‍රවශීලතාවය කළමනාකරණය සඳහා කෙරෙන විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම හරහා සිදු වෙයි. දෙවනුව, මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්ති අවශ්‍යතාවන් අනුව ආර්ථිකයේ මැදි හා දිගු කාලීන පොලී අනුපාතයන් මෙහෙය වීම රාජ්‍ය සුරැකුම්පත්වල ඵලදා වක්‍රය පදනම් කර ගෙන සිදු කෙරේ. ඵලදා වක්‍රය යනු පරිණත කාලය අනුව රාජ්‍ය සුරැකුම්පත්වල ඵලදා අනුපාතයන්ගේ ප්‍රස්තාරය යි. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතයන් මේ සඳහා නිල නොවන ලෙස භාවිතා කෙරෙන අතර මුදල් මුද්‍රණ කොට මහ බැංකුව විසින් වෙන්දේසිවලින් පිටත භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම තුළින් එම ඵලදා අනුපාතයන් පාලනය කිරීම දැකිය හැකිය. එමගින්, ආර්ථිකයේ කෙටි කාලීන ණය පොලී අනුපාතයන් සඳහා පදනමක් සැපයෙයි. ඊට හේතුව, පුද්ගලික ණය අවදානම ඇගයීම සඳහා ණය අවදානම රහිත බවට සැලකෙන ඵලදා වක්‍රය භාවිතා කෙරෙන බැවිනි.

  • උද්ධමනය පාලනය රාජ්‍ය මූල්‍ය සහනයන් මත තීරණය වීම

ශ්‍රී ලංකාව වැනි බොහෝ සංවර්ධනය වන රටවල මහ බැංකු විසින් සංවර්ධිත රටවල මහ බැංකු අනුගමනය කරන වෙළෙඳපොළ මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයන් පිටපත් කරමින් උද්ධමන ඉලක්කයන් (ශ්‍රී ලංකාවේ 4%-6%) පදනම් කර ගෙන මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රීයව ක්‍රියාත්මක කිරීම දැකිය හැකිය. මෙහිදී, උද්ධමන ඉලක්කය ලෙස පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වර්ධන අනුපාතය භාවිතා කෙරේ. එහෙත්, පාරිභෝගික මිල දර්ශකය ගණනය කෙරෙන බඩු පැසේ අඩංගු භාණ්ඩ හා සේවා බහුතරය රාජ්‍ය මූල්‍ය සහනයන් මත පදනම් වන බැවින් උද්ධමනය හෝ ජීවන වියදම පාලනය හුදෙක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මත සිදු වන අතර එය පාලනයට මූල්‍ය ප්‍රතිපත්තියේ සක්‍රීය බලපෑමක් හඳුනා ගත නොහැකිය.

  • රාජ්‍ය විදේශ ණය හරහා විදේශ සංචිතය ගොඩ නැගීම

ගෙවුම් ශේෂ හිඟයන් පවතින සංවර්ධනය වන රටවල මහ බැංකු විසින් විදේශ මුදල් සංචිතය පවත්වා ගැනීමේ මූලය වනුයේ රාජ්‍ය විදේශ ණය ලබා ගැනීමෙන් ලැබෙන විදේශ මුදල් ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිතය කඩා වැටී ආර්ථිකය බංකොලොත් වීමට හේතුව වූයේ පසුගිය වර්ෂ දෙක තුළ විදේශ වෙළෙඳපොළ ණය ලබා ගැනීමට රජයට නොහැකි වීම යි. ඊට හේතුව, මහ බැංකුව විසින් විදේශ මුදල් සංචිතය ගොඩ නැගීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යොමු නොකොට, රාජ්‍ය ණය කළමනාකරණ නියෝජිත කාර්යය භාවිතා කිරීමේ පුරුද්ද යි. වර්තමානයේ ද ඒ සඳහා මහ බැංකුව විසින් රජයට ලැබෙන විදේශ ආධාර සහ මුදල් හුවමාරු මත රැඳී ඇති අතර රජයට ලැබෙන IMF ණය වැඩ සටහන කෙරෙහි දැඩි බලාපොරොත්තුවෙන් සිටීම දැකිය හැකිය.

  • මූල්‍ය අර්බුදයන් නිරාකරණයට රාජ්‍ය මූල්‍ය පැකේජයන් ලබා ගැනීම

සෑම රටකම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීම මහ බැංකුවේ මූලික අරමුණක් වුව ද, සංවර්ධිත රටවල පවා කලින් කලට මූල්‍ය අර්බුදයන් හට ගන්නා අතර ඉන් ගොඩ ඒම සඳහා අවසාන ණය දීම වැනි මෙවලම් හරහා මහ බැංකුවලට තනිව ක්‍රියා කළ නොහැකි බැවින් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය ඉල්ලීම දැකිය හැකිය. මෙහිදී, බැංකු තැන්පතු වගකීම් සඳහා රාජ්‍ය ඇප ලබා දීම, තැන්පතු ආපසු ගෙවීම, අක්‍රීය බැංකු ණය මූල්‍යකරණය සහ කළමනාකරණය, රජය විසින් බැංකුවල ප්‍රාග්ධන ආයෝජනය සහ අර්බුදයට පත් බැංකු රජය සතු කිරීම වැනි ඍජු රාජ්‍ය මූල්‍ය සහනයන් සැපයීම දැකිය හැකිය. එසේම, මූල්‍ය අර්බුදයට හසු වූ ව්‍යාපාරයන්ට සහ කුටුම්බයන්ට ඍජු මූල්‍ය උත්තේජනයන් සැපයීම ද රජයන් විසින් සිදු කෙරේ. 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය මීට හොඳම උදාහරණයකි. ශ්‍රී ලංකාවේ 2008/09 මූල්‍ය සමාගම් අර්බුදයෙන් බංකොලොත් වූ සමාගම් සහ තැන්පතු හිමියන් තවම සිටින්නේ ඒ සඳහා රජය විසින් මූල්‍ය පහසුකම් නොසැපයීම හේතු වෙනි. 2003 දී අත්හිටවූ ප්‍රමුඛ බැංකුව නිරාකරණය කරනු ලැබුවේ ද රාජ්‍ය බැංකුවක් පිහිටුවා එහි වත්කම් සහ වගකීම් එම රාජ්‍ය බැංකුවට පැවරීමෙනි.

  • ගෝලීය කොරෝනා වසංගතයේ ආර්ථික සහ මූල්‍ය අස්ථායීතාවය මර්ධනයට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති භාවිතා කිරීම

මේ සඳහා 2020 වර්ෂය ආරම්භයේ සිට අතිප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති භාවිතා කළ අතර ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්ති ළිහිල් කොට මුදල් මුද්‍රණය ඓතිහාසික මට්ටමින් ඉහළ දමන ලදි. එසේම, වසංගතය මර්ධනය කොට ආර්ථිකයන් විවෘත කිරීමේ දී හට ගෙන ඇති සංකූලතාවන් කළමනාකරණය සඳහා ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඉලක්කගත ලෙස භාවිතා කිරීම දැකිය හැකිය. ඊට උදාහරණ කිහිපයක් දැක්විය හැකිය.

  • පළමුව, සංවර්ධනය වන රටවල ණය අර්බුදය ඉන් එකකි. උදාහරණ ලෙස පසුගිය වර්ෂ 72 ක් පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරු මහ බැංකුව වුව ද, වර්තමානයේ රජය ණය අර්බුදයකට මුහුණ දෙන අතර විදේශ ණය පැහැර හැරීමට ලක් වී ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට සිදු වී ඇත.

  • දෙවනුව, සංවර්ධනය වන රටවල විදේශ සංචිතයන් කඩා වැටීම වැලැක්වීමට රජයන්ට සිදු වී ඇත. උදාහරණ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීමක් වන විදේශ සංචිත අර්බුදය තුළින් ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ණය සහ ආර්ථික අර්බුදය හට ගෙන ඇති අතර ඒ සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව අසමත් වී ඇති බැවින් දේශපාලන අර්බුදයක් හට ගෙන ඇති අතර ඊට විසඳුම ලෙස රජය විසින් IMF ණය සහ විදේශ ණය සහ ආධාර ලබා ගෙන නැවත ආර්ථිකය අපනයන වර්ධනය කෙරෙහි ප්‍රතිව්‍යුහගත කරන තෙක් මහ බැංකුව බලා සිටීම දැකිය හැකිය.

  • තෙවනුව, ලෝකය පුරා සංවර්ධිත රටවල් ඇතුළු සියළුම රටවල ඉහළ යන වත්මන් මාදිලියේ සැපයුම් අවහිරතාවන් මත ජනිත වී ඇති අධි උද්ධමන පීඩනය පහළ දැමීමට මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිවල හැකියාව හෝ කාර්යක්ෂමතාවය පිළිබඳ විශ්වාසයක් නොමැති බැවින් පොදුජනයාගේ ජීවන වියදම පහළ දැමීම සඳහා ඉලක්කගත රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් හඳුන්වා දීම දැකිය හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම සඳහා මෙතෙක් පොලී අනුපාතයන් 8% කින් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ඉහළ දැමීම තුළින් ආර්ථිකයේ දැඩි අරමුදල් හිඟයක් හට ගෙන රාජ්‍ය සුරැකුම්පත් ඇතුළු ණය පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ යාමෙන් ආර්ථිකය තවත් බංකොලොත් වීමේ අවදානමක් හට ගෙන ඇති අතර උද්ධමනය තවත් වේගයෙන් ඉහළ යාම දැකිය හැකිය. 

එබැවින්, රාජ්‍ය මූල්‍ය සහනයන්ගේ සහ මැදිහත් වීමේ අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති අතර උද්ධමනය පාලනය කිරීම සියළුම රටවල රජයන්ගේ ප්‍රමුඛ කාර්යය වී ඇත. උදාහරණ ලෙස ඇමෙරිකාවේ ජනාධිපති පවා විශාල ව්‍යාපාරික සමාගම්වල ප්‍රධානීන් කැඳවා සැපයුම් ජාල අවහිරතාවන් ළිහිල් කිරීමේ සම්බන්ධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කරන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය

කවුරු කෙසේ කීවත්, මුදල් නීති පනත යටතේ ආර්ථිකයට යෝග්‍ය පරිදි මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් ගැනීමේ ස්වාධීනත්වය සහ නිදහස මුදල් මණ්ඩලය සතුව පවතී.

  • ජෝන් එක්ස්ටර් මහතා දැක්වූ අදහස්

ශ්‍රී ලංකා මහ බැංකු නිර්මාතෘ ජෝන් එක්ස්ටර් මහතා දැක්වූයේ මහ බැංකුවේ විෂයන් සඳහා රාජ්‍ය නිලධාරීන්ගෙන් අපේක්ෂා කළ නොහැකි මට්ටමේ විශේෂඥතාවයක් සහ පළපුරුද්දක් අවශ්‍ය බවත්, එබැවින්, මහ බැංකු දේශපාලනික නොවන බොහෝ ස්වාධීනත්වයක් සහිත ආයතනයන් වීම වඩා හිතකර බවත් ය.

එහෙත්, බොහෝ මූල්‍ය ප්‍රතිපත්ති ගැටළු සහ විශේෂයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට සම්බන්ධ ගැටළු පිළිබඳ ව මහ බැංකුව රජය සමඟ ඉතා කිට්ටු සමගියකින් කටයුතු කළ යුතු බවත්, අවසානයේ අනෙක් සියළු රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා මෙන් මූල්‍ය ප්‍රතිපත්තියේ වගකීම ද රජය විසින් ගත යුතු බවත් දක්වා ඇත.

එබැවින්, මුදල් මණ්ඩලය සහ රජය හොඳ සහයෝගයෙන් සහ සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළ යුතු බවත්, එහි කාර්යක්ෂමතාවය හුදෙක් එහි ඉහළ තනතුරු දරන පුද්ගලයන් මත රඳන අතර එය කොතරම් හොඳ නීතියකින් වත් නියම කළ හැකි දෙයක් නොවන බවත් එක්ස්ටර් මහතා සඳහන් කොට ඇත. මුදල් අමාත්‍යංශයේ ලේකම් මුදල් මණ්ඩලයේ නිල සාමාජිකයෙකු ලෙස නියම කොට ඇත්තේ මුදල් ඇමති සහ මුදල් මණ්ඩලය අතර මෙම සහයෝගය සහ සම්බන්ධීකරණය පවත්වා ගැනීමේ ඍජු මෙවලමක් ලෙස ය.

එසේම, යුධ හෝ ජාතික අර්බුදකාරී කාලවල වඩා සාමාන්‍ය කාලවල දී වඩාත් ස්වාධීනව ක්‍රියා කිරීමට මහ බැංකුවට හැකි බව ද ඔහු දක්වා ඇත.

එසේම, මුදල් මණ්ඩලයේ ස්වාධීනත්වය සහ සේවා කාලය පාර්ලිමේන්තුව විසින් නීති මගින් වෙනස් කළ හැකි බවට සවිඥානික වන ලෙස ද මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩල සාමාජිකයන් වෙත සිහි ගන්වා ඇත.

  • මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන්

මහ බැංකුවේ ස්වාධීනත්වයට සහ රාජ්‍ය අධීක්ෂණයට උපකාරී වන ප්‍රතිපාදනයන් රාශියක් මුදල් නීති පනතේ අඩංගු වෙයි. ඒවා කිහිපයක් පහත දැක්වෙයි.

  • පළමුව, මුදල් මණ්ඩල සාමාජිකයන්ගේ පත් වීම වසර 6 ක සේවා කාලයකට යටත් අතර කිසිම මූල්‍ය ප්‍රතිපත්ති තීරණයක් සඳහා මුදල් ඇමතිගේ අවසරය අවශ්‍ය නොවේ.

  • දෙවනුව, මහ බැංකුවේ පරිපාලන වියදම් මුදල් මුද්‍රණය මගින් පියවිය හැකි අතර ඒ සඳහා රාජ්‍ය අනුමැතිය හෝ රජයට වාර්තා කිරීම අවශ්‍ය නොවේ.

  • තෙවනුව, රාජ්‍ය ණය කළමනාකරණය ඇතුළු සමහර රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් ද මුදල් මණ්ඩලයේ අධීක්ෂණයට යටත් වෙයි. ඊට හේතුව, ආර්ථිකයේ මුදල් සැපයුම කෙරෙහි රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම්වල බලපෑම මූල්‍ය ප්‍රතිපත්ති තුළ පාලනය කිරීම සඳහා ය.

  • සිවුවනුව, මහ බැංකුවේ සියළු ක්‍රියාකාරකම් රජයේ විගණකාධිපතිගේ විගණනයට සහ පරික්ෂණයට යටත් අතර මහ බැංකුවේ සියළු ගිණුම්, වාර්තාවන් සහ තොරතුරුවලට ප්‍රවේශය විගණකාධිපතිට හිමි ය. එසේම, මහ බැංකුවේ ඕනෑම කාර්යයක් පිළිබඳ ව විගණකාධිපති හරහා විශේෂ පරීක්ෂණයක් කොට වාර්තාවන්  ලබා ගැනීමට මුදල් ඇමති වරයාට බලය පවතී. එය මහ බැංකුවේ කාර්යසාධනය තහවුරු කර ගැනීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ කළමනාකරණ මෙවලමක් වෙයි.

  • පස්වනුව, රජයේ මතය අනුව මහජනතාවට වඩාත් යෝග්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කුමක් ද? යන්න මුදල් මණ්ඩලය වෙත විධානයන්  නිකුත් කිරීමේ බලය මුදල් ඇමති වෙත පවතින අතර එම මුල්‍ය ප්‍රතිපත්තිවල වගකීම රජය ගත යුතු වෙයි. එය එක්ස්ටර් මහතා විසින් දැක්වූ පරිදි මූල්‍ය ප්‍රතිපත්තියේ අවසාන වගකීම රජය වෙත භාර ගැනීමේ ප්‍රතිපාදනයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූල්‍ය ප්‍රතිපත්තිය ද පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පාලනය අයත් වෙයි. තුර්කි ජනාධිපති විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පිළිබඳ ව මහ බැංකුවට විධානය කරන්නේ මෙම මහජන වගකීම හුවා දක්වමිනි. ඒ අනුව, පසුගිය වසර 4 තුළ ඔහු විසින් මහ බැංකු අධිපති වරුන් තිදෙනෙකු සේවයෙන් ඉවත් කොට ඇත.

එහෙත්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ දැනුම සහ අත්දැකීම විගණකාධිපති සහ මුදල් ඇමති සතු නොවීම හේතු කොට එවැනි කාර්යක්ෂම අධික්ෂණයක් පසුගිය දශක කිහිපය තුළ සිදු වී නොමැත. ඊට හොඳම උදාහරණය වනුයේ මහ බැංකුව විසින් 2021 වර්ෂයේ ලාභයෙන් රුපියල් බිලියන 27 ක් පමණ මුදල් නීති පනතේ ප්‍රතිපාදන අනුව රජයට ප්‍රේෂණය නොකොට අතිරේක සංචිත ලෙස ගිණුම්වල සඟවා රඳවා ගැනීම යි. එසේම, මහ බැංකුව වර්තමානයේ ඉතා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතු කොට ආර්ථිකයේ ණය පොලී අනුපාතයන් 20%-25% මට්ටමට ඉහළ ගොස් ආර්ථිකය තවත් බංකොලොත් වීමේ අවදානමකට මුහුණ දෙන අතර ඒ පිළිබඳ ව පරික්ෂා කිරීමට විගණකාධිපතිට හෝ මුදල් ඇමතිට විශේෂඥ හැකියාවක් නොමැති බව පෙනේ.

  • වත්මන් මුදල් සහ ආර්ථික ස්ථායීකරණ ඇමති වන අගමැති වරයා දැක්වූ අදහසක්

පසුගිය දිනක කොළඹ පැවති සමුළුවක දී මහ බැංකුව විසින් ගත් යම් තීන්දු මෙරට සමහර ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල කොට ඇති බවත්, මේ තීරණාත්මක මොහොතේ මහ බැංකුව විසින් කළ යුත්තේ කුමක් ද? යන්න ඇසූ ප්‍රශ්නයකට අගමැති වරයා විසින් දුන් පිළිතුර මාධ්‍යය විසින් පහත දැක්වෙන ලෙස වාර්තා කොට ඇත.

  • මේ මොහොතේ මහ බැංකුව විසින් ගත් යම් යම් තීරණයන් ගැන මත භේද ඇති වෙලා තියෙනවා.

  • එත් මම හිතන්නේ අපි මෙතන වෙන දේවල් දිහා බලා ගෙන ඉන්න ඕන. ඊට අත පොවන්න මම කැමති නැහැ.

  • මූල්‍ය ප්‍රතිපත්ති මත පදනම්ව ස්වාධීන තීරණ ගැනීමට මහ බැංකුවට ඉඩ දීමෙන්, ඔවුන් තුළ විශ්වාසයක් ගොඩ නැගෙනවා.

  • ඉන් පසුවත්, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණොත් අපිට පුළුවන් මැදිහත් වෙන්න.

එබැවින්, අගමැති වරයා විසින් මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට ගරු කරන බව දැකිය හැකිය.

  • සමකාලින සමාජ මාධ්‍ය අදහස්

එහෙත්, මේ දිනවල සමාජ මාධ්‍යයන්හි පිරී පවතින්නේ මහ බැංකුව යනු ස්වාධීනත්වයක් නොමැති රජයට පක්ෂග්‍රාහී ආයතනයක් බව යි. එය විශේෂයෙන් පසුගිය කාලයේ දී රජයට ණය සැපයීම සඳහා මුදල් මුද්‍රණය ඉහළ යාම සහ දේශපාලනික නායකයන් සහ මහ බැංකු අධිපති විසින් විවිධ සභාවන්වල කරනු ලබන දේශපාලනික අදහස් අනුව පැහැදිලි වෙයි. ඒවා බොහොමයක් වත්මන් මහ බැංකු අධිපතිට ජුලි මස 1 දින සිට වසර 6 ක නව පත්වීමක් රජයෙන් ලබා ගැනීමේ අරමුණ මත ව්‍යාප්ත වන බව පැහැදිලි ය.

විශේෂයෙන් මහ බැංකු අධිපති විසින් පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්වල දී ඔහුට මෙම වෘත්තීය මට්ටමට පැමිණීම සඳහා අත හිත දී ඇති හිටපු මහ බැංකු අධිපති වරුන්ට සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට දෝෂාරෝපනයන් කිරීම (තමා ද එම ප්‍රතිපත්තිවලට වගකිව යුතු බව නොතකා) මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශනයකින් දැක්වෙන පරිදි ආරාධනාවක් නොමැතිව පසුගිය 28 දින මුදල් මණ්ඩල සාමාජිකයෙකු සමඟ ජනාධිපති වරයා හමු වී තම කාර්යසාධනය දැන්වීම තුළින් දේශපාලනික ප්‍රතිමුර්තියක් ගොඩ නැගීමට ක්‍රියා කරන ආකාරය දැකිය හැකිය. එසේම, විවිධ දේශපාලනික නායකයන් සහ වෘත්තීය සමිති විසින් වත්මන් මහ බැංකු අධිපති නැවතත් මහ බැංකු අධිපති ලෙස පත් කරන ලෙස යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ද ආරම්භ වී ඇත.

මෙහිදී, වත්මන් මුදල් ඇමති වන අගමැති වරයා විසින් වත්මන් මහ බැංකු අධිපති නැවතත් පත් නොකිරීමට උත්සාහ කරනු ලබන බවට විවිධාකාරයේ චෝදනාවන් ද ප්‍රචාරය කිරීම දැකිය හැකිය. ඊට හේතුව, මුදල් නීති පනත අනුව මහ බැංකු අධිපති පත් කිරීම ජනාධිපති විසින් මුදල් ඇමතිගේ නිර්දේශ මත කළ යුතු බැවිනි.

මින් පෙනේනේ වත්මන් මහ බැංකු අධිපතිවරයා මුදල් නීති පනතේ අරමුණුවලට එරෙහිව දේශපාලනීකරණය වී ඇති බවත්, එවැනි පුද්ගලයෙකු දේශපාලනික අතහිත මත වර්ෂ 6 ක සේවා කාලයක් සඳහා නැවතත් පත් වුව හොත් මහ බැංකු ස්වාධීනත්වයේ අවසානය සිදු විය හැකි බවත් ය.

එසේම, සමාජ මාධ්‍ය තොරතුරු දෙස බැලීමේ දී පැහැදිලි වන්නේ මුදල් මණ්ඩලය විසින් බොහෝ විට නිල කතිකාවතක් නොමැතිව තම තනතුරු ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය මතයන්ට අනුකූලව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව යි. ඒ බව පසුගිය 25 දින මුදල් මණ්ඩල සාමාජිකයන් විසින් කෝප් සභාව වෙත දැක්වූ අදහස්වලින් පැහැදිලි වෙයි. උදාහරණ ලෙස විදේශ මුදල් සංචිතය හීන කරමින් විනිමය අනුපාතය රුපියල් 203 මට්ටමේ පවත්වා ගැනීම රජයේ මතය සැලකිල්ලට ගෙන සිදු කළ බවත්, පසුගිය කාලයේ රජයේ මුදල් අර්බුදය දෙස බලන විට රජයට ණය දීම සඳහා මුදල් මුද්‍රණය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ය. 

එබැවින්, මෙවැනි ප්‍රතිපත්ති එක්ස්ටර් මහතා විසින් දැක්වූ පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ සහයෝගීව සහ සම්බන්ධීකරණයෙන් සිදු කළා ද? යන්න විමර්ශනය කිරීම අවශ්‍ය වෙයි. ඊට හේතුව, එම ප්‍රතිපත්තිවලින් ආර්ථිකයට ඇති වී ඇති දැඩි අහිතකර බලපෑම යි.

එබැවින්, මුදල් මණ්ඩලයට හෝ මහ බැංකු අධිපතිට හෝ ඉහළ නිලධාරීන්ට තම පෞද්ගලික සංකල්පයන්ට අනුව රාජ්‍ය /මහජන මුදල් මුද්‍රණය කිරීමට හෝ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ස්වාධීනත්වයක් නොමැති අතර එම සියළු ප්‍රතිපත්ති සඳහා ඔවුන් වෙත ඇති මහජන වගකීම තහවුරු කිරීමට ඔවුන්ට හැකියාව පැවතිය යුතුය. එබැවින්, රජයට හෝ හිටපු නිලධාරීන්ට දෝෂාරෝපනය කිරීමෙන් ඉන් මිදීමට ඔවුන්ට හැකියාව නොමැත.

මහ බැංකුවේ ආර්ථික කාර්යසාධනය සහ ස්වාධීනත්වය 

මහ බැංකුවේ මූලික කාර්යය වනුයේ ආර්ථිකයේ මූල්‍ය අංශය හෙවත් මුදල් සහ ණය ප්‍රවාහය සහ ව්‍යුහය ආර්ථික අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස නියාමනය කිරීම යි. ඊට හේතුව, නූතන ආර්ථිකයන් මුදල් මත ක්‍රියාත්මක වීමත්, මුදල් ජනිත වීම සහ ව්‍යාප්තිය ණය හරහා සිදු වීමත් හේතු කොට මුදල් යනු රාජ්‍ය නියාමනයට යටත් මහජන සේවයක් වන බැවිනි.

එබැවින්, මහ බැංකු පනත්වල මහ බැංකු අරමුණු ලෙස මිල ස්ථායිතාවය, ආර්ථික ස්ථායිතාවය, මූල්‍ය ස්ථායිතාවය, උපරිම සේවා නියුක්තිය, ඉහළ මූර්ත ආදායම වැනි විවිධාකාර අරමුණු නියම කළ ද, ඒවා මහ බැංකුවලට පමණක් ඉටු කළ හැකි ඒවා නොවේ. ඊට හේතුව, ඒ කෙරෙහි තීරණාත්මක බලපෑමක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තුළින් කෙරෙන බැවිනි. එබැවින්, ආර්ථිකය මෙහෙයවන එකම ආයතනය මහ බැංකුව නොවන අතර මහ බැංකුවලට කළ හැක්කේ ආර්ථිකයේ නිෂ්පාදන සම්පත් ප්‍රවර්ධනය සහ උපයෝජනය කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වලට යෝග්‍ය පරිදි මූල්‍ය ප්‍රතිපත්තිය හෝ ණය සැපයුම ක්‍රියාත්මක කිරීම යි. ජෝන් එක්ස්ටර් මහතා සඳහන් කළ පරිදි රජයන් සමඟ හොඳ සහයෝගයෙන් සහ සම්බන්ධීකරණයකින් මහ බැංකු ක්‍රියා කළ යුත්තේ එබැවිනි.

මෙම තත්ත්වය තුළ විවිධ මූල්‍ය වාදී සාර්ව ආර්ථික කළමනාකරණ  සංකල්පයන්හි එල්බ ගෙන පාරිභෝගික මිල දර්ශකයන් මත පදනම් වී මැදි හෝ දිගු කාලීන උද්ධමනය ඉලක්කයන් සඳහා ස්වාධීනව මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙය වීම හුදෙක් සංකල්පීය ක්‍රියාවක් වන අතර එවැනි මූල්‍ය ප්‍රතිපත්තිවල ශක්‍යතාවය ප්‍රායෝගික ආර්ථික දත්ත මගින් මෙතෙක් තහවුරු කොට නොමැත. ලෝකය පුරා ආර්ථිකයන් චක්‍රීයව අස්ථායී වීම මෙන්ම කලින් කලට ආර්ථික සහ මූල්‍ය අර්බුදයන් හට ගැනීම සෑම රටකම පොදු ලක්ෂණය වී ඇති අතර එය වැලැක්වීමට මහ බැංකුවලට හැකිවී නොමැත. 

එබැවින්, ආර්ථික ස්ථායිතාවය හෝ උද්ධමනය පාලනය සඳහා මහ බැංකු විසින් ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවට කෙරෙන යෝජනාව නූතන ආර්ථික ලෝකයට ගැලපෙන සංකල්පයක් නොවේ.

(ඊළඟ ලිපියෙන් වත්මන් මහ බැංකු අධිපතිගේ මාස දෙකක කාර්යසාධන පරීක්ෂණයක් ඉදිරිපත් කෙරේ.)

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි