පොදුජන ආර්ථිකය කබලෙන් ලිපට දැමූ මහ බැංකු මූල්‍ය වාදය ඉවත ලමු. නව ආර්ථික සැත්කම් පැකේජයක් අරඹමු.


මෙම ලිපියේ අරමුණ වනුයේ වත්මන් ආර්ථික අර්බුදයෙන් පොදුජනයා මුදා ගැනීම සඳහා පැරණි මූල්‍ය වාදය මත ගොඩ නැගී අනුගමනය කෙරෙන වත්මන් උද්ධමන පාලන මූල්‍ය ප්‍රතිපත්තිය පදනම් විරහිත බවත්, ඒ සඳහා නව ප්‍රතිපත්ති ක්‍රමවේදයක් දියත් කිරීමට අවශ්‍ය ආර්ථික දැක්ම යෝජනා කිරීමත් ය.

වත්මන් ගෝලීය උද්ධමන රැල්ල

2021 තෙවන කාර්තුවේ සිට පැතිරෙන ගෝලීය උද්ධමන රැල්ලේ වේගය පිළිබඳ ව මේ වන විට රජයන්, මහ බැංකු, ව්‍යාපාරික ප්‍රජාව සහ කුටුම්බ ප්‍රජාව වික්ෂිප්ත වී ඇති බව නොරහසකි. මෙය සංවර්ධිත රටවල් මුණ දෙන දශක හතරක ඉහළම උද්ධමනය ලෙස වාර්තා වෙයි. එහෙත්, මෙය ආර්ථික ඉතිහාසයෙහි ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආර්ථික විද්‍යාඥයන්ට පළපුරුදු ඉල්ලුමෙන් තල්ලු වූ උද්ධමනයක් නොවේ. මෙය කොරෝනා වසංගතයෙන් තල්ලු වූ සැපයුම් සංසිද්ධියක් බවට විවාදයක් නොමැත. එනම්, කොරෝනා වසංගතය මර්ධනය සඳහා සමාජයන් සහ රටවල් අගුළු දැමීම තුළින් ගෝලීය සැපයුම් ජාලයන් කඩා වැටීම සහ අවහිර වීම හේතු කොට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ සංසිද්ධියකි.

වසංගතයෙන් පසු ජන සමාජයන් සහ රටවල් විවෘත කෙරෙන විට ඉල්ලුම ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වීම තුළින් කොරෝනා ආර්ථික අවපාතයෙන් යටපත් වූ මිල ගණන් ඉහළ යාමේ රැල්ලක් හට ගැනීම මූලික ආර්ථික විද්‍යා මුලධර්ම අනුව පුදුමයක් නොවේ. මෙහිදී, නූතන ආර්ථිකයන් බලශක්තිය සහ ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩ මත රැඳීමත්, එම වෙළෙඳාම මූල්‍ය ව්‍යුත්පන්න වෙළෙඳපොළවල් මත රැඳීමත් හේතු කොට එම මිල ගණන් ඉහළ යාම ලෝකය පුරා ක්ෂණිකව පැතිරී ගොස් ගෝලීය උද්ධමනයක් ජනිත වී ඇත. ඉන් බේරීමට කිසිම රටකට හැකියාවක් ලැබී නොමැත.

එම තත්ත්වය තුළ වෙනත් ස්වභාවික හෝ භූදේශපාලනික ආතතීන් හෝ කම්පනයන් හට ගත් විට මෙම උද්ධමනකාරී පීඩනය තවත් ඉහළ යනු ඇත. පසුගිය පෙබරවාරි 24 දින රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ඇරඹීම සහ ඊට උරණ වූ ඇමෙරිකාව සහ යුරෝපය විසින් රුසියාවට එරෙහිව දියත් කරන ලද ආර්ථික සම්බාධක ව්‍යාපෘතිය හේතු කොට ගෝලීය සැපයුම් ජාලයන් තවත් කඩා වැටීම සහ අවහිර වීම තුළින් ගෝලීය උද්ධමන රැල්ල අනපේක්ෂිත ලෙස පසුගිය මාස තුන හමාර තුළ ගුණාකාර වෙමින් පවතී. එබැවින්, වත්මන් ගෝලීය උද්ධමන පීඩනය මූලික වශයෙන් සැපයුම් සංසිද්ධියකි.

ශ්‍රී ලංකාවේ වත්මන් අධි උද්ධමන රැල්ල

ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකය තුළ යැපෙන රටක් වන බැවින් වත්මන් ශ්‍රී ලංකා උද්ධමන රැල්ලේ කේන්ද්‍රය ඉහත දැක්වූ ගෝලීය සැපයුම් ජාල අවහිරතාවන් බවට විවාදයක් නොමැත. එහෙත්, ශ්‍රී ලංකාව ලෝකයේ අධි උද්ධමනකාරී රටක් ලෙස ඉදිරියට ඒමට මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති අසාර්ථකතත්වය හේතු විය. එය දේශීය සැපයුම් ජාල අතිරේක අවහිරතාවය ලෙස හඳුනා ගත හැකිය.

එහි මූලය වනුයේ අපි සියළු දෙනා දන්නා පරිදි මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය කඩා වැටීම යි. එය මූලික වශයෙන් මූලයන් දෙකක් හරහා ආර්ථිකයේ පොදු මිල මට්ටම වේගයෙන් ඉහළ දමන ලදි. 

  • පළමුව, ආර්ථිකය මුහුණ දුන් අධික ආනයන හිඟය. මෙහිදී, රජය විසින් ආනයන සිමා කිරීම මෙන්ම විදේශ විනිමය හිඟය හේතු කොට සියළුම කාණ්ඩයේ ආනයන පරිමාව පහළ යන ලදි. මෙම තත්ත්වය තුළ රජය විසින් පාලන මිල ගණන් ඉවත් කිරීම ද පාරිභෝගික මිල දර්ශකයේ පොදු මිල මට්ටම වේගයෙන් ඉහළ යාමට දායක වූ සාධකයක් විය.

  • දෙවනුව, රුපියල අධික ලෙස අවප්‍රමාණය වීම තුළින් ඉන්ධන සහ අනෙක් අත්‍යවශ්‍ය ආනයනවල දේශීය පිරිවැය ඉහළ යාම හේතු කොට දේශීය පොදු මිල මට්ටම තවත් වටයකින් ඉහළ යාම. එය බැංකු පද්ධතියේ උග්‍ර විදේශ විනිමය හිඟය හේතු කොට ඉන් පිටත මූලයන් හරහා ඉහළ විනිමය අනුපාතයන් යටතේ ආනයන මූල්‍යකරණය කිරීම මෙන්ම පසුගිය මාර්තු 8 දින මහ බැංකුව විසින් ආරක්ෂණ ප්‍රතිපත්ති පැකේජයක් නොමැතිව රුපියල පා කිරීමත් සමඟ විනිමය අනුපාතය ක්ෂණිකව 80% කින් පමණ ඉහළ යාම තුළින් සිදු විය.

එබැවින්, මෙසේ විදේශ මුදල් සංචිතය කඩා වැටීම යනු දේශීය මූල්‍ය සැපයුම් ජාලයේ කඩා වැටීම හෝ අවහිරතාවය ලෙස සැලකිය හැකිය. එමගින්, මුලින් දැක්වූ කොරෝනා වසංගත ගෝලීය සැපයුම් අවහිරතාවන්ට, විදේශ මුදල් සංචිතය හා බැඳි දේශීය ආනයන සැපයුම් අවහිරතාවන් එකතු වී ශ්‍රී ලංකාව අධි උද්ධමනකාරී ආර්ථිකයක් බවට පරිවර්තනය විය.

මෙහිදී, රට තුළ ගොඩ නැගී ඇති සමාජීය සහ දේශපාලනික අස්ථායීතාවය සහ රාජ්‍ය තන්ත්‍රය කෙරෙහි මහජන විශ්වාසය බිඳී යාම තුළින් ආර්ථිකයේ හට ගන්නා අවිනිශ්චිත තාවයන් ද උද්ධමන රැල්ල ඉහළට එසවීමට දායක වී ඇත. මෙය මහජනතාව තුල හට ගන්නා ආර්ථික චකිතය තුළින් ජනිත වන උද්ධමනය ලෙස දැක්විය හැකිය. එය බැංකු චකිතවලට සමාන වෙයි. දුර්වල රාජ්‍ය තන්ත්‍රයන් පවතින රටවල අධි උද්ධමනකාරී තත්ත්වයක් පැවතීම සාමාන්‍ය සිද්ධියක් බව ගෝලීය අත්දැකීම් දෙස බැලීමේ දී පෙනේ.

උද්ධමනය පිළිබඳ පැරණි මූල්‍ය වාදී සංකල්පය සහ මූල්‍ය ප්‍රතිපත්තිය

පැරණි මූල්‍ය වාදීන්ට අනුව උද්ධමනය යනු සැම තැනම, සැම විටම මූල්‍ය සංසිද්ධියකි. එනම්, පොදු මිල මට්ටමේ ඉහළ යාම හෙවත් උද්ධමනයට හේතුව ආර්ථිකයේ මුදල් සැපයුම ඉහළ යාම හේතු කොට එහි සමස්ත භාණ්ඩ හා සේවා සැපයුමට වඩා සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ යාම යි. එනම්, මුදල් සැපයුම හරහා ආර්ථිකයේ අතිරික්ත භාණ්ඩ හා සේවා ඉල්ලුමක් හට ගැනීම යි.

ඊට හේතුව, නූතන ආර්ථික ක්‍රමයන් මුදල් හරහා ක්‍රියාත්මක වන බැවින් මුදල් සැපයුමේ ඉහළ යාම යනු එමගින් අතිරේක භාණ්ඩ හා සේවා ඉල්ලුමක් හට ගැනීම යි. එබැවින්, නව ඉල්ලුමට සරිලන සැපයුමක් ආර්ථිකයේ නොමැති බැවින් එහි පවතින භාණ්ඩ හා සේවා සැපයුමේ පොදු මිල මට්ටම ඉහළ යනු ඇත. එනම්, උද්ධමනකාරී තත්ත්වයක් හට ගැනීම යි. මෙය සාර්ව ආර්ථික අසමතුලිත තත්ත්වයක්, එනම් සමස්ත සැපයුම සහ ඉල්ලුම අතර අසමතුලිත තාවයක් ලෙස දැක්වෙයි.

එබැවින්, මූල්‍ය වාදීන් විසින් ආර්ථිකයේ සැපයුම් අංශයේ හෝ විවිධ වෙළෙඳපොළවල සිදු වන සැපයුම් ආතතීන් හෝ කම්පනයන් හේතු කොට උද්ධමනය හට ගැනීම කෙරෙහි අවධානයක් යොමු නොකෙරේ. ඒ අනුවඋද්ධමන කාරකය කුමක් වුව ද උද්ධමනය පාලනය කිරීම සඳහා ඔවුන්ගේ යෝජනාව වනුයේ ආර්ථිකයේ පවතින සැපයුම් මට්ටමට ගැලපෙන ලෙස ඉල්ලුම පහළ දැමීම සඳහා මුදල් සැපයුම වහාම පහළ දැමීමට ක්‍රියා කිරීම යි. 

ඒ සඳහා ඔවුන්ගේ නිර්දේශ වනුයේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම යි. එනම්, පොලී අනුපාතයන් ඉහළ හෙළා මුදල් මුද්‍රණය සහ බැංකු පද්ධතියේ ණය සැපයුම පහළ දැමීමට ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීම යි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ආර්ථිකයේ මිල ගණන් හෝ සැපයුම කෙරෙහි ඍජුව මැදිහත් වී උද්ධමනය පාලනය කිරීමට මූල්‍ය ප්‍රතිපත්තියට හැකියාවක් නොමැති බව යි.

මීට ප්‍රතිවිරුද්ධව, සමස්ත සැපයුමට වඩා සමස්ත ඉල්ලුම පහළ ගොස් ආර්ථිකයේ පොදු මිල මට්ටම පහළ යාමක් සහ ආර්ථිකයේ අතිරික්ත සැපයුමක් හට ගැනීම තුළින් නිෂ්පාදනය සහ සේවා වියුක්තිය පහළ යන අවස්ථාවල මූල්‍ය වාදීන්ගේ නිර්දේශය වනුයේ මුදල් සැපයුම ඉහළ නංවා සමස්ත ඉල්ලුම ඉහළ නැංවීම යි. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කිරීමට යෝජනා කෙරේ.

එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය යනු සාර්ව ආර්ථික ස්ථායීකරණය සඳහා ඉල්ලුම් පාලන ප්‍රතිපත්තිය ලෙස දැක්වෙයි. සාර්ව ආර්ථික විද්‍යාව අනුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හෙවත් රාජ්‍ය අයවැය ද ඉල්ලුම් පාලන ප්‍රතිපත්තියක් ලෙස දැක්වෙන අතර මූල්‍ය වාදීන් විසින් යෝජනා කරන්නේ සාර්ව ආර්ථික ස්ථායිතාවය සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දිශානතියට අනුරූපව රජයන් විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ද මෙහෙය වන ලෙස ය.

ඒ අනුව, ලෝකය පුරා මහ බැංකු විසින් අදහන ආර්ථික දේව ධර්මය වන්නේ මෙම මූල්‍ය වාදය යි. එනම්, උද්ධමනයේ මැවුම්කරු මුදල් බැවින් උද්ධමනය පාලනය කිරීම සඳහා ආර්ථිකයේ මුදල් පරිමාව පාලනය කළ යුතු බව යි.

එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තියේ සාර්ව ආර්ථික හෝ උද්ධමන පාලන ශක්‍යතාවය පිළිබඳ ව තවමත් පිළි ගත් ආර්ථික පර්යේෂණ දත්ත නොමැති අතර දේව ධර්මය මෙන් මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කිරීම දැකිය හැකිය.

එසේම, මූල්‍ය ප්‍රතිපත්තියේ දී අවධානය යොමු කරන්නේ මෙවැනි කම්පනකාරී මිල මට්ටමේ විචලනයන් නොව ආර්ථිකයේ විභව හෝ ශක්‍ය නිෂ්පාදනය/සැපයුම සහ ඉල්ලුම අතර අසමතුලිත තාවය තුළින් හට ගන්නා මිල විචලනයේ උපණතිය යි. සැපයුම් අවහිරතාවන් හේතු කොට වත්මන් ගෝලීය සැපයුම එහි විභව සැපයුමට වඩා බොහෝ පහළ මට්ටමක පවතින බව කිව යුතුය. මෙහි දී, කොරෝනා වසංගතයෙන් පසු ආර්ථිකයන් නැවත පූර්ණ ක්‍රියාකාරිත්වය පත් නොවූ බව සැපයුම් අවහිරතාවන් තුළින් පෙනෙන අතර එය ආර්ථිකයන්හි පවතින අධි ධාරිතාවය නිරූපනය කරන්නකි.

එබැවින්, වත්මන් උද්ධමන රැල්ල හුදෙක් ජීවන වියදම අනපේක්ෂිත ඉහළ යාමේ ප්‍රශ්නයක් වන බැවින් ඊට විසඳුම් ලෙස ආර්ථිකයේ වෙළෙඳපොළ පද්ධතිය, සාපේක්ෂ මිල ගණන් සහ සම්පත් බෙදා හැරීම කෙරෙහි සාර්ව ආර්ථික බලපෑමක් කෙරෙන මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ තර්කානුකූල භාවය පිළිබඳ ව ප්‍රශ්න කළ හැකිය.

වත්මන් ගෝලීය මූල්‍ය ප්‍රතිපත්ති දිශානතිය

ඉහත දැක්වූ ආර්ථික දේව ධර්මය පසුගිය සියවස පුරා පිළිපදින සංවර්ධිත රටවල මහ බැංකු අනුගමනය කරමින් ලෝකය පුරා රටවල මහ බැංකු විසින් (දැනට මහ බැංකු 50 ක් පමණ) මෙම උද්ධමන රැල්ල පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති විවිධ පරිමාණයෙන් දැඩි කිරීම 2021 අවසාන කාර්තුවේ සිට ආරම්භ කොට ඇත. ඔවුන් විසින් උද්ධමන පිඩනයට හේතුවක් ලෙස ඉහත දැක්වූ සැපයුම් ජාල අවහිරතාවන් පිළි ගැනුන ද, ඔවුන්ගේ සුපුරුදු ආර්ථික ධර්මය අනුව ඉල්ලුම පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ සුපුරුදු රැල්ල ආරම්භ කොට ඇත.

ඒ පිළිබඳ ගෝලීය සමම්තය වනුයේ මහ බැංකු පොලී අනුපාතයන් ටිකෙන් ටික කාලයක් පුරා ඉහළ දැමීම මගින් ආර්ථිකයේ ණය සහ වියදම්/ඉල්ලුම් පරිමාව කෙරෙහි ක්‍රමික පසුබෑමක් ඇති කිරීම යි. මෙහිදී, පොලී අනුපාතයන් ඉහළ දැමීම සාමාන්‍යයෙන් වරකට 0.25%-0.50% මට්ටමක පවතී. ඒ අනුව, ඉදිරියේ දී ආර්ථිකයේ උද්ධමනය පහළ යාමට නැඹුරු වීමේ සංඥාවන් හඳුනා ගත් විගස, මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම නවතා ආර්ථික පසුවිපරමක නිරත වීම දැකිය හැකිය.

උද්ධමන අනුපාතය සහ පීඩනය පහළ යන විට නැවත මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කිරීම ද මෙම ප්‍රතිපත්ති ක්‍රීඩාවේ අංගයකි. එබැවින්, ආර්ථිකයන් නිතරම මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රයක මැදි වී සිටීම දැකිය හැකිය.

සංවර්ධිත රටවල 2007/09 මූල්‍ය අර්බුදය නිරාකරණය සඳහා නව මුදල් මුද්‍රණය සහ පොලී අනුපාතයන් පහළ දැමීම, 2020/21 කොරෝනා වසංගත මර්දන මූල්‍ය ප්‍රතිපත්තිවලට වඩා බොහෝ මට්ටමක ඉහළ වුව ද, 2010 දශකය තුළ පවා කිසිම උද්ධමන පීඩනයක් හට නොගත් බව ද මෙහි දී සඳහන් කළ යුතුය. එබැවින්, වත්මන් ගෝලීය උද්ධමන රැල්ල මූල්‍ය දේව වාදයෙන් පිටත නව සංසිද්ධියක් ලෙස සැලකිය යුතුය.

මෙම දැඩි මූල්‍ය ප්‍රතිපත්ති රැල්ල හේතු කොට ගෝලීය ආර්ථිකය නව කම්පනයන්ට මුහුණ දීම ආරම්භ වී ඇති අතර ඒ තුළින් දැඩි ආර්ථික පසුබෑම් ඉදිරියේ දී හට ගන්නා බවට පුරෝකතනය කෙරේ.

ශ්‍රී ලංකා මූල්‍ය ප්‍රතිපත්තියේ අධිපිම්ම

ශ්‍රී ලංකාව ද 2021 අගෝස්තු මැද සිට උද්ධමනය ඉහළ යාම ආරම්භ වීමටත් පෙර මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ආරම්භ කොට ඇති අතර මේ දක්වා මහ බැංකු පොලී අනුපාතයන් 9% කින් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ඉහළ දමා ඇත. මෙහි ආර්ථික ශෝකාලාපය වන්නේ උග්‍ර විදේශ මුදල් අර්බුදයෙන් මුදවා ආර්ථික ස්ථායිතාවය ඇති කිරීම සඳහා දියසේන කුමරකු ලෙස පසුගිය අප්‍රේල් 7 දින රාජකාරි භාර ගත් වත්මන් මහ බැංකු අධිපති විසින් ඊට පසුදින මහ බැංකු පොලී අනුපාතය 7% කින් ඓතිහාසික ලෙස ඉහළ දැමීම යි.

හිටපු මහ බැංකු අධිපතිවරුන් විසින් එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස තමාගේ විරුද්ධත්වය නොතකා නූතන මූල්‍ය න්‍යාය මත පදනම් වූ දේශීය ආර්ථික මොඩලයක් අනුව මුදල් මුද්‍රණය කිරීම හේතු කොට වත්මන් අධි උද්ධමනකාරී පීඩනය හට ගෙන ඇති බවත්, එම මුදල් මුද්‍රණය නවතා උද්ධමනය පාලනය කිරීම තුළින් ආර්ථික ස්ථායිකරණය සඳහා පොලී අනුපාතයන් ඉහළ දැමු බවත් ඔහු විසින් එදින පැවැත් වූ මාධ්‍ය හමුවල දී ජයග්‍රාහී විලාශයෙන් පවසන ලදි.

එබැවින්, මෙය මුලින් දැක්වූ ශ්‍රී ලංකාවේ අධි උද්ධමනයේ සැබෑ විෂ බීජය හඳුනා නොගෙන, හුදෙක් මීට පෙර දැක්වූ මූල්‍ය දේව වාදය හිස මුදුණින් වන්දනා කිරීමකි. එය දෙවැනි වන්නේ පසුගිය 3 දින යුක්‍රේන මහ බැංකුව විසින් රුසියානු ආක්‍රමණය හේතු කොට හට ගෙන ඇති සමස්ත ආර්ථික කඩා වැටීම ද (මෙම වසරේ 45% කින් පමණ ආර්ථිකය හැකිලීමට අපේක්ෂා කෙරේ) අමතක කොට දැනට 17% ක පමණ මට්ටමේ පවතින උද්ධමනය පාලනය කිරීමට බව පවසා පොලී අනුපාතය 25% දක්වා 15% කින් ඉහළ දැමීමට පමණි.

ශ්‍රී ලංකාවේ මෙසේ මහ බැංකු පොලී අනුපාතය ක්ෂණිකව 7% කින් ඉහළ යාම හේතු කොට ආර්ථිකය තවත් කඩා වැටීමට හෝ බංකොලොත් භාවයට පත් වීමේ දැඩි අවදානම පිළිබඳ ව මීට පෙර ලිපි කිහිපකින් සංඛ්‍යා දත්ත අනුව ඉදිරිපත් කොට ඇත. එසේම, නව අධිපති විසින් වත්මන් ආර්ථික අර්බුදයට සහ අධි උද්ධමනයට හේතුව වූ මහ බැංකුවේ උග්‍ර විදේශ සංචිත හිඟයට පිළියම් සඳහා මුදල් නීති පනතේ ප්‍රතිපාදන අනුව මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක නොකොට, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා රාජ්‍ය විදේශ ආධාර, විදේශිකයන්ගේ සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ අනුකම්පා සහගත ප්‍රදානයන් ඇයදීමේ සහ විනිමය පාලනයන් පැනවීමේ නිරත වී ඇත.

ඔහුට සුපුරුදු විදේශ සංචිත මූල්‍යකරණය සඳහා IMF ණය වැඩසටහනක් කඩිනමින් ලබා ගන්නා බවට පොරොන්දුව මත ජනාධිපති වරයාගේ තනි අභිමතය පරිදි අධිපති තනතුර ලබා ගෙන, ඊට පසු සතියේම වොෂින්ටනයට ගොස් සුපුරුදු IMF - ලෝක බැංකු වසන්ත රැස්වීමට සහභාගී වීමේ තම වාර්තාව අළුත් කර ගත්ත ද, IMF ණය වැඩසටහන තවමත් මිරිගුවක් බව දිනෙන් දින එන මාධ්‍ය වාර්තාවන් අනුව පෙනේ.

විදේශ මුදල් සංචිතය ගොඩ නැගීමේ එඩිතර පියවරක් ලෙස ඔහු විසින් අප්‍රේල් මස 12 දින රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිට වුව ද, අත්‍යවශ්‍ය ආනයනයක් වන තෙල් නැවකට මුදල් ගෙවීම සඳහා ඩොලර් නොමැතිව දින ගණනක් පසු වන බව වාර්තා වෙයි. ඒ අතර උද්ධමනය තව තවත් දෛනිකව ඉහළ යන අතර එය සමස්ත ආර්ථිකය පුරා සර්පිලාකාර ලෙස පැතිරී යමින් පවතී.

මෙම තත්ත්වය තුළ මෙම දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් වත්මන් අධි උද්ධමනය පාලනය කොට ආර්ථිකය නැවත ස්ථායිකරණය කෙරෙනු ඇතැයි මහ බැංකු අධිපති හැර මෙරට කිසිම පුද්ගලයෙකු විශ්වාස නොකරනු ඇත. පොලී අනුපාතයන් 500% දක්වා ඉහළ දැමුව ද, ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කළ හැකි බවට මූල්‍ය වාදී දේව ධර්මය හැර වෙනත් ආර්ථික සාක්ෂි ඉදිරිපත් කළ නොහැකිය.

මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය එතරම් දැඩි වුව හොත් අනිවාර්යයෙන් දේශීය ණය ද පැහැර හැරීමට ලක් වී රාජ්‍ය අංශය කඩා වැටෙන අතර වෙළෙඳපොළ පද්ධතිය විසින් රුපියල අතහැර දමා නව මුදල් ඒකකයක් සොයා ගනු ඇත. එය මහ බැංකුවේ ආයුෂ ඉක්මනින් අවසන් වීමට ද හේතු වනු ඇත. එතෙක්, මහ බැංකු අධිපතිට නිදහසේ මුදල් ටිකක් මුද්‍රණය කර ගෙන තම තනතුර සහ වරප්‍රසාද භුක්ති විඳිය හැකිය.

රජයට කෙරෙන කාරුණික උපදේශනය

වත්මන් ගෝලීය සහ දේශීය අධි උද්ධමන රැල්ල සාර්ව ආර්ථික විද්‍යාවට හුරු පුරුදු ඉල්ලුම් පාලන ප්‍රතිපත්තිවලින් මර්ධනය කළ නොහැකිය. ඊට හේතුව, මෙම උද්ධමන රැල්ල ආර්ථික විද්‍යාඥයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අත්දැකීමක් නොමැති කොරෝනා වසංගත කම්පනයේ සැපයුම් ජාල අවහිරතාවන්  සහ අස්ථායීතාවන් තුළින් හට ගෙන ඇති බැවිනි. එබැවින්, සුපුරුදු ඉල්ලුම් පාලනය වෙත යොමු වූ මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වත්මන් අධි උද්ධමන රැල්ල මර්ධනයට යෝග්‍ය නොවේ.

මුදල් යනු ආර්ථිකයක වෙළෙඳපොළ පද්ධතියේ කොටසක් වන බැවින් (එනම්, ප්‍රාග්ධන සහ මූල්‍ය වෙළඳපොළ) මෙම ප්‍රතිපත්ති දැඩි කිරීම තුළින් සැපයුම් අවහිරතාවන් තවත් ඉහළ යාම සිදු වෙයි. එනම්, කොරෝනා වසංගතයෙන් පසු යම් දුරකට ගොඩ ආ ආර්ථිකයන් නැවත දැඩි පසුබෑමේ හෝ අවපාතයකට මුහුණ දීම යි. එබැවින්, දැනට ආරම්භ කොට ඇති ගෝලීය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රය හේතු කොට 2024 වර්ෂයේ සිට සංවර්ධිත රටවල් එවැනි ආර්ථික පසුබැසීමකට මුහුණ දෙන බවට අපේක්ෂා කෙරේ. මෙය කොරෝනා වසංගතයට නොදෙවෙනි වූ මානුෂීය අර්බුදයක් වනු ඇත.

එහෙත්, ආර්ථික විද්‍යාඥයන් හෝ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තමන් දැනට දන්නා විෂය පථයෙන් පිටතට ගොස් නව මානුෂීය ආර්ථික ප්‍රශ්නයන්ට විසඳුම් සෙවීමට උත්සාහ නොගැනීම නූතන මානව සමාජය මුහුණ දෙන ශෝචනීය තත්ත්වයකි. එය නූතන විද්‍යාවේ සහ තාක්ෂණයේ දිශානතිය ද අවහිර කෙරෙන සාධකයකි. ඊට හේතුව, ආර්ථික පසුබෑම්/අවපාතයන් තුළ එහි එහි ප්‍රගමනය කඩා වැටෙන බැවිනි.

එබැවින්, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සම්පාදකයන් හෝ රජය විසින් සුපුරුදු IMF සහ ආවරණ මූල්‍ය අතමාරු ණය සහ විදේශ ප්‍රදානයන් දෙස බලා සිටිමින් සහ ආර්ථික ශෝකාලාප ප්‍රකාශනයන් නිකුත් කරමින් තව තවත් මහජනයා පාරට ඇද නොදමා, ඉදිරි වසර කිහිපයේ දී ඔවුන්ට නැගී සිටිමට උර දෙන නව මාදිලියේ දේශීය ප්‍රතිපත්ති පැකේජයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාවය වෙයි. ඊට හේතුව, ඉදිරි වසරවල අපේක්ෂිත දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික පසුබැසීම් තුළ ගෝලීය ආර්ථිකයේ අත් උදවුවෙන් නැගී සිටීමට ඇති අවස්ථාවන් දැනටමත් ණය පැහැර හැර බංකොලොත් වී ඇති ඇති ශ්‍රී ලංකාවට විරල බැවිනි.

විෂ කාරකයන් හඳුනා ගෙන අවස්ථානුකූලව නව්‍ය ප්‍රතිපත්ති කට්ටලයන් ක්‍රියාත්මක කිරීමට මිනිස් මනසට ඇති නිපුනතාවය විදහා දක්වන හොඳම උදාහරණය වනුයේ පසුගිය දිනක කරාපිටිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පෙනහැල්ලේ සිර වී ඇති වෙඩි උණ්ඩයක් සුපුරුදු සැත්කම් ක්‍රමවේදය භාවිතා නොකොට භෞතික චිකිත්සික ක්‍රමවේදය භාවිතා කොට ස්වාශනාලය හරහා මුඛය තුළින් ඉවත් කිරීමේ විස්මිත සැත්කම යි.

වත්මන් ආර්ථික අර්බුදයෙන් පොදුජනයා ගලවා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ද, පැරණි ආර්ථික දේව ධර්මයන් සහ යාතිකාවන් පසුපස නොගොස් ආර්ථිකයේ තැන් තැන්වල පවතින සැපයුම් අවහිරතාවන් නිසි ලෙස හඳුනා ගෙන ඒවා නව සැත්කම් තුළින් ඉවත් කිරීම යි. එය ඉල්ලුම් පාලන දේව ධර්මයෙන් කළ නොහැකිය.

ඉල්ලුම් පාලනය නිවැරදි නම් මෙම අවස්ථාවේ සාගතයක් සහ තවත් වසංගතයක් හට ගෙන මහජනයාගෙන් කොටසක් මිය යාමට ඉඩ දීමේ ප්‍රතිපත්තියක් තුළින් ද ආර්ථිකයේ ඉල්ලුම පහළ දමා අවපාතයක් ජනිත කොට උද්ධමනය පාලනය කිරීම ද එක් විකල්පයක් වනු ඇත. ඊට හේතුව, මහ බැංකුව මෙම අවස්ථාවේ දුකින් පසු වන්නේ පාරට වැටි සිටින පොදුජනයාගේ දුක්ඛිත ජීවන තත්ත්වය ගැන නොව, ආර්ථිකයේ පවතින අධි උද්ධමනය සහ එය මැදි හා දිගු කාලයේ දී පහළ දැමීම සඳහා ඉල්ලුම පාලනය කිරීම පිළිබඳ ව බැවිනි. එහෙත්, එවැනි ප්‍රතිපත්ති නූතන මානුෂික මූලධර්ම සහ පිළි ගැනීම්වලට අනුකූල නොවේ. කොරෝනා වසංගතය ද පැතිරීමට ඉඩ දීමෙන් ස්වභාවික පට්ටි ප්‍රතිශක්තිය ලැබීම තුළින් මර්ධනය වනු ඇති බවට සමහර වසංගත විද්‍යාඥයන් අදහස් දැක්වුව ද, රජයන් සහ එන්නත් වේදීන් විසින් වසංගත මර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් වසංගතයේ පීඩනය පාලනය කිරීමට ක්‍රියා කිරීම මානුෂිකත්වයට මුල් තැන දීමකි.

එබැවින්, පොදුජන ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ආර්ථිකයේ විවිධ වෙළෙඳපොළවල පවතින සැපයුම් අරහිරතාවන් ඉවත් කිරීම සඳහා ඉලක්කගත නව රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සැත්කම් මාලාවක් කඩිනමින් කළ යුතුය. පැරණි මාදිලියේ IMF ණය මිරිගුව පසුපස යමින් රාජ්‍ය වියදම් කපා හැරීම, බදු ඉහළ දැමීම සහ පොලී අනුපාතයන් ඉහළ දැමීම ඒ සඳහා යෝග්‍ය නොවන බව ඕනෑම කෙනෙකුට අවබෝධ වනු ඇත.

යෝජිත නව සැත්කම් මාලාව මූලික වශයෙන් සැපයුම් ජාලයන් ඉලක්ක කළ මූල්‍ය ප්‍රතිපත්තියක් මත පදනම් විය යුතුය. ඊට හේතුව, ආර්ථිකයේ අවහිර වී අසාධ්‍ය  වී ඇති අවයවයන් හෙවත් වෙළෙඳපොළවල් ප්‍රකෘතිමත් කිරීම සඳහා මූල්‍ය රුධිරය කඩිනමින් අඛණ්ඩව සැපයිය යුතු බැවිනි. එය ඉන්ධන හිඟයෙන් අසාධ්‍ය වී ඇති පොදුජනයාට නැවත ඉන්ධන සැපයීමට සමාන වෙයි. මේ සඳහා මහ බැංකු අධිපතිගේ ප්‍රයෝගික විෂය දැනුම, නව්‍යකරණ හැකියාව සහ වෘත්තීය විනය අත්‍යවශ්‍ය වෙයි.

එබැවින්, ජුලි මස 1 වෙනි දින සිට වසර 6 ක සේවා කාලයක් සඳහා පත් කෙරෙන අධිපති ලෙස සමාජ මාධ්‍ය තෝරා ගැනීමට යට නොවී මෙම ලිපියේ දක්වා ඇති නව මූල්‍ය ප්‍රතිපත්ති දැක්මක් සහ සැලසුමක් හිමි පුද්ගලයෙකු තෝරා ගැනීම මුදල් ඇමතිගේ සහ ජනාධිපතිගේ මහජන වගකීම වෙයි. මෙතරම් උගතුන් සිටින රටක මහ බැංකු අධිපති තනතුරට සමාජ මාධ්‍යය බුක්ති විඳින පැරණි මූල්‍ය දේව වාදීන් කිහිප දෙනකු පසුපස යාම හාස්‍ය ජනක බව ද කිව යුතුය. එවැනි විද්වත් සහ විශ්වාසනීය තෝරා ගැනීමක් සිදු නොවුව හොත්, ඉදිරියේ දී ආර්ථිකය පමණක් නොව රජය ද මහ පාරට වැටෙනු නියත ය.

 (ඊළඟ ලිපියෙන් වත්මන් මහ බැංකු අධිපතිගේ මාස දෙකක ප්‍රයෝගික කාර්යසාධන පරීක්ෂණයක් ඉදිරිපත් කෙරේ.)

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 

 

 

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි