රුපියල ශක්තිමත් කිරීමට ඩොලර් බිලියනයක් - අගමැති වරයා පවස යි. ඩොලරයක්වත් නැතුව මාර්ගෝපදේශයෙන් රුපියල ශක්තිමත් කළා - මහ බැංකුව පවස යි. ඇත්ත සොයමු

 


මෙම ලිපියේ අරමුණ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිය පිළිබඳ ව අගමැති වරයාගේ මතය සහ මහ බැංකුවේ මතය අතර ඇති පරස්පර තාවය ඉදිරිපත් කිරීම යි.

අගමැති වරයාගේ මතය

අගමැති වරයා විසින් ජුනි මස 7 දින (ඊයේ) පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශයේ දී මහජනයාගේ දෛනික ජීවිතය අවුල් නොවී පවත්වා ගෙන යාම සඳහා ඉදිරි මාස 6 ඇතුළත ඩොලර් බිලියන 6 ක පමණ ද, ඉන් ඩොලර් බිලියනයක් පමණ මහජනයාගේ දෛනික අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස රුපියල ශක්තිමත් කිරීම සඳහා ද අවශ්‍ය බව දක්වන ලදි.

එසේ රුපියල ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියනයක් පමණ අවශ්‍ය බව අගමැති වරයා විසින් දැක්වූයේ වෙළෙඳපොළ විනිමය අනුපාතය තීරණය වීම පිළිබඳ ප්‍රයෝගික ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව යමිනි. එහි අදහස වන්නේ ඩොලරයක් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය හෙවත් ඩොලරයේ මිල පහළ දැමීමටත්, ඒ සඳහා ඩොලර් බිලියනයක් පමණ වෙළඳපොළට සැපයීමටත් අවශ්‍ය බව යි.  වෙළෙඳපොළ තුළ ඩොලරයේ පමණක් නොව ඕනෑම භාණ්ඩයක හෝ සේවයක මිල පහළ පහළ දැමීමට නම් එහි ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ දැමිය යුතුය. ශ්‍රී ලංකාව තුළ ඩොලර් මිල පහළ යාම යනු රුපියල ශක්තිමත් වීම යි.

උදාහරණ ලෙස මහ බැංකු දත්ත අනුව අද දින ඩොලරයක් රුපියල් 361 ක් පමණ වෙයි. මාර්තු මස 7 දින රුපියල පා කරන විට ඩොලරයක් රුපියල් 200 ක් පමණ විය. එබැවින්, රුපියල පා කිරීම හේතු කොට ඩොලරයට සාපේක්ෂව රුපියල 81% කින් පමණ අද දින වන විට පිරිහී ඇත. එනම්, ඩොලරයක් ලබා ගැනීමට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 81% කින් ඉහළ යාම යි. මෙය රුපියලේ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම ලෙස ද දැක්වෙයි (එහෙත්, තාක්ෂණික ආර්ථික විද්‍යා ගණනය කිරීම් අනුව රුපියලේ පිරිහීම 45% ක් ලෙස [එනම්, (200-361)/361 x 100] දැක්වෙන අතර එමගින් ආනයන පිරිවැය ඉහළ යාමේ වේගය හෝ ප්‍රතිශතය නියෝජනය නොවේ).

එබැවින්, ඩොලර් මිල ගණන් මත කෙරෙන ආනයන සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 81% කින් ඉහළ ගොස්, ආර්ථිකයේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම තුළින් ජන ජීවිතය කඩා වැටී ඇති බව නොරහසකි. මාර්තු මස සිට ශ්‍රී ලංකාවේ මෙසේ වේගවත් අධි උද්ධමනකාරී තත්ත්වයක් හට ගැනීමට හේතුව මහ බැංකුව විසින් කිසිම ප්‍රතිපත්ති ආරක්ෂණ පැකේජයක් නොමැතිව රුපියල හදිසියේ පා කිරීම නිසා රුපියල අධික ලෙස විදේශ විනිමය/ඩොලර් වෙළෙඳපොළේ පිරිහිම සහ දැඩි ආනයන හිඟය බවට විවාදයක් නොමැත.

ඩොලර් බිලියනයක් පමණ වැය කොට ඉදිරි මාස 6 තුළ රුපියල ශක්තිමත් කිරීමට අගමැති වරයා යෝජනා කොට ඇත්තේ එමගින් අත්‍යාවශ්‍ය ආනයන පිරිවැය පහළ දැමීම තුළින් ආර්ථිකයේ මිල ව්‍යුහය පහළට තල්ලු කොට පොදුජනයා මුහුණ දෙන ජීවන වියදමේ අධික ඉහළ යාම තාවකාලිකව පාලනය කිරීමේ අරමුණින් බව පැහැදිලි ය. ලෝකයේ සියළුම සංවර්ධනය වන රටවල මහ බැංකු විසින් විදේශ මුදල් සංචිතයක් රැස් කොට, ඉන් වරින් වරින් වර විනිමය වෙළෙඳපොළට ඩොලර් සැපයීම සිදු කෙරෙන්නේ ද එම අරමුණ මත ය. එබැවින්, අගමැති වරයාගේ මෙම යෝජනාව ආර්ථික මෙන්ම දේශපාලනික මූලධර්ම සහ ප්‍රතිපත්ති පදනමක් ඇති යෝජනාවක් වන අතර ඒ පිළිබඳ ව වෙනත් ආර්ථික ප්‍රතිපත්තිවල මෙන් විවිධ සංකල්පීය තර්ක විතරක පැවතිය හැකිය.

මෙවැනි යෝජනාවක් ගෙන ඒමට හේතුව, මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඉහළ දමා කාල නියමයක් නැති දිගු කාලයේ දී උද්ධමන පහළ හෙළා විදේශ සංචිත රැස් කර ගෙන ආර්ථිකය සහ ජන ජීවිතය ස්ථායී කරන තෙක් රජයට බලා සිටිය නොහැකි බව විය හැකිය.

මහ බැංකුවේ මතය

මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව විසින් ජුනි 6 දින, එනම් අගමැති වරයාගේ ප්‍රකාශයට පෙර දින, නිකුත් කරන ලද පුවත් පත් නිවේදනය අනුව මහ බැංකුව විසින් වෙළෙඳපොළ ක්‍රියාකරුවන්ගේ උපදේශනය මත මැයි 13 දින හඳුන්වා දෙනු ලැබූ අන්තර් බැංකු වෙළෙඳපොළ විනිමය අනුපාතය තීරණය කිරීමේ දෛනික මාර්ගෝපදේය සහ ඊට සමගාමී විනිමය පාලනයන් කිහිපයක් හේතු කොට නිල විනිමය වෙළෙඳපොළේ මෙන්ම අවිධිමත් වෙළෙඳපොළේ ද විනිමය අනුපාතය විශාල ලෙස ස්ථායී වී ඇති බව දැක්වෙ යි. එම මාර්ගෝපදේශය වූයේ ඩොලරයක් රුපියල් 360 ක මධ්‍ය අනුපාතයේ සිට රුපියල් 2.60 ක පරාසයක විනිමය අනුපාතයක් බැංකු අතර ගනුදෙනු සඳහා තීරණය කළ හැකි බව යි.

මහ බැංකුව විසින් නිකුත් කොට ඇති දත්ත දෙස බලන විට (පහත දැක්වෙන රූප සටහන බලන්න) එදින සිට අන්තර් බැංකු වෙළෙඳපොළේ සාමාන්‍ය විනිමය අනුපාතය රුපියල් 359.25 සහ 360.75 අතර රුපියලක පමණ කෙටි පරාසයක විචලනය වී ඇත. එසේම, විදුලි පණිවුඩ විනිමය වෙළෙඳ ගනුදෙනු සඳහා වූ බැංකු විනිමය අනුපාතය මැයි 12 දින රුපියල් 370.86 සිට ජුනි 6 දින වන විට රුපියල් 360.28 දක්වා 2.8% කින් ප්‍රතිප්‍රමාණය හෝ රුපියල ශක්තිමත් වී ඇති අතර එය දැනට රුපියල් 359-361 මට්ටමේ ස්ථායීකරණය වී ඇත. එයද, අන්තර් බැංකු මාර්ගෝපදේශය මත පදනම් වී ඇත.

ඒ බැවින්, සංනිවේදන දෙපාර්තමේන්තුවට අනුව බැංකු විනිමය අනුපාතය තීරණය කිරීමේ මහ බැංකු මාර්ගෝපදේශ ක්‍රමවේදය හේතු කොට රුපියල ශක්තිමත් වී ස්ථායී වී ඇත. දැනට මාස ගණනක් සිට මහ බැංකුවේ ද්‍රවශීල විදේශ සංචිතයක් නොමැති බැවින් ඒ සඳහා මහ බැංකුව විසින් ඩොලරයක්වත් වෙළෙඳපොළට සපයා නොමැත.

මහ බැංකු සංනිවේදන දෙපාර්තමේන්තුවට අනුව මෙම ක්‍රමවේදය හේතු කොට අවිධිමත් විනිමය වෙළෙඳපොළේ ක්‍රියාකාරකම් පහළ ගොස්, එමගින් නිල වෙළෙඳපොළ විනිමය අනුපාතය සහ අවිධිමත් විනිමය වෙළෙඳපොළ විනිමය අනුපාතය අතර පරතරය ද පහළ ගොස් ඇත. එසේම, වෙළෙඳපොළ බලවේගයන් සහ ආර්ථික පදනම් සාධකවලට වඩා සමපේක්ෂණය තුළින් විනිමය අනුපාතය අධික ලෙස විචලනයට ලක් වූ මීට පෙර පැවති විනිමය අනුපාත ක්‍රමවේදයට සාපේක්ෂව මෙම නව මාර්ගෝපදේශ ක්‍රමවේදය තුළින් විනිමය අනුපාතයේ පහළ විචලතාවක් සහ ඉහළ පුරෝකතනයක් සහිත වෙළෙඳපොළක් ඇති වී ඇති බවට වෙළෙඳපොළ පාර්ශව කරුවන් අතර පුළුල් එකඟතාවක්  පවතින බව ද ප්‍රකාශ කොට ඇත. තවද, 2022 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ සේවා නියුක්ති ප්‍රේෂණ ඉහළ ගොස් ආනයන පිරිවැය පහළ ගොස් ඇති බව ද දැක්වෙයි.

මෙහිදී, සමපේක්ෂණය ද වෙළෙඳපොළ බලවේගයන්ට අයත් බව සංනිවේදන දෙපාර්තමේන්තුවට නොදනී. නව විනිමය අනුපාත ක්‍රමවේදයකින් දින 15 ක් ඇතුලත විදේශ ප්‍රේෂණ ලැබීම් ඉහළ දැමීමටත් ආනයන පහළ දැමීමටත් හැකි වී ඇති බව ප්‍රකාශ කිරීම හුදෙක් පිළි ගත නොහැකි අතිශෝක්තියක් වන අතර ආර්ථික විද්‍යාවේ විනිමය අනුපාත විග්‍රහයට බාහිර වූ ප්‍රකාශයකි. එසේම, මෙවැනි නිගමනයන් කළ යුත්තේ සංඛ්‍යා දත්තයන් මත පදනම් වී බවට මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් දැනුවත් වුව ද, එවැනි සංඛ්‍යා දත්තයන් පුවත්පත් නිවේදනයේ දක්වා නොමැත. ඉදිරිපත් කොට ඇති එකම සංඛ්‍යා දත්තය වනුයේ මැයි මස 13 දින සිට අන්තර් බැංකු වෙළෙඳපොළ විනිමය අනුපාතයේ හැසිරීම පිළිබඳ පහත දැක්වෙන රූප සටහන (වචන අපැහැදිලි) යි.

මෙහිදී, මෙම නව ක්‍රමවේදය හුදෙක් මාර්ගෝපදේශයක් නොව මැයි මස 12 දින සහ 13 දින මහ බැංකු අධිපති අත්සනින් නිකුත් කොට ඇති මුදල් මණ්ඩල විධානයක් බව පුවත්පත් නිවේදනයෙහි සඟවා ඇත. එහෙත්, මෙවැනි විනිමය අනුපාත විධානයක් නිකුත් කිරීමට මුදල් නීති පනතේ මහ බැංකුවට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් නොමැත. එසේම, අන්තර් බැංකු විනිමය ගනුදෙනු මහ බැංකු විද්‍යුත් වෙළෙඳ පද්ධතිය තුළ සිදු වන අතර එම සෑම ගනුදෙනුවක්ම මහ බැංකුවේ මාර්ගගත අවේක්ෂණයට ලක් වන බව බැංකු විනිමය වෙළෙදුන් දන්නා බැවින් ප්‍රයෝගික වෙළෙඳපොළ සාධකයන් කුමක් වුව ද, මහ බැංකු විධානය තුළ ඔවුන් ගනුදෙනු කරනු ඇත. එබැවින්, මහ බැංකු විධානයට අවනත වී විනිමය අනුපාතයන් තීරණය වීම පුදුමයක් නොවේ.

වරෙක විදේශ ණය සේවාකරණ වියදම සහ ජීවන වියදම පාලනය කිරීම සඳහා මහ බැංකු විදේශ සංචිතයෙන් මුදල් භාවිතා කොට විනිමය අනුපාතයට මැදිහත් විය යුතු බවත්, තවත් වරෙක වෙළෙඳපොළ බලවේගයන් අනුව විනිමය අනුපාතය වඩාත් නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩ හැරිය යුතු බවත් ප්‍රකාශ කරන මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මෙම මාර්ගෝපදේශ විනිමය අනුපාත කළමනාකරණය පිළිබඳ ව නිහඬ බව මෙම පුවත් දැන්වීම සංනිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමෙන් පෙනේ.

මෙහිදී, අප සිහි කළ යුත්තේ මහ බැංකුව වෙත කිසිම ද්‍රවශීල විදේශ සංචිතයක් නොමැතිව උග්‍ර විදේශ මුදල් හිඟයක් සහිතව කිසිම ක්‍රියාශීලිත්වයක් නොමැති ශ්‍රී ලංකාවේ නිල බැංකු විනිමය වෙළෙඳපොළ තුළ රුපියල ශක්තිමත් වී විනිමය අනුපාතය ස්ථායී වූ බට කෙරෙන ප්‍රකාශය තෙල් පෝලිම්වල සිටින පාසැල් නොගිය පුද්ගලයකු පවා නොපිළි ගන්නා බව යි. තවද, ආර්ථිකයක ස්ථායීව පවතින සමතුලිත විනිමය අනුපාතය මාර්ගෝපදේශයක් හරහා විධානය කිරීමට හැකි මහ බැංකු අධිපතිවරු හෝ අධ්‍යක්ෂක මණ්ඩලයන් ලෝකයේ කිසිම මහ බැංකුවක සිටින බව වාර්තා නොවේ.

එබැවින්, මෙම පුවත්පත් නිවේදනය වචන සහ ආර්ථික විද්‍යා මූලධර්ම සහ පරිචය ගැන කිසිම අවබෝධයක් නොමැතිව තමන්ම සතුටු කර ගැනීමට ලියා ගන්න ලද නිවේදනයක් බව පැහැදිලි ය. එහෙත්, මෙය මහ බැංකු නිල පුවත්පත් නිවේදනයක් වන බැවින් එමගින් ආර්ථිකයට ඇති විය හැකි අවදානම් ආවරණයට ක්‍රියා කළ යුතුය.

රජයට සහ මහ බැංකුවට දෙන කාරුණික අවවාදය

ඉහත දැක්වූ සංනිවේදන වාර්තාව පිළිබඳ ව වහාම අගමැති වරයා දැනුවත් කළ යුතු වීම. ඊට හේතුව, අගමැති වරයා විසින් මුදල් සහ ආර්ථික ස්ථායීකරණ ඇමති වශයෙන් ඉහත දැක්වූ රුපියල ශක්තිමත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇත්තේ මහ බැංකුවේ ඉහත දැක්වූ නව ක්‍රමවේදය පිළිබඳ ව නිසි තොරතුරු ලැබීමට පෙර විය යුතුය. එසේ නැතහොත්, මහ බැංකුවේ මතයට විරුද්ධව රුපියල ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියනයක් වැය කිරීමට යෝජනා කිරීමෙන් විදේශ මුදල් අවභාවිතය පිළිබඳ ව අගමැති වරයාට එරෙහිව චෝදනාවක් ද මහ බැංකුව විසින් ඉදිරිපත් කිරීම හේතු කොට නැවතත් ටේ දේශපාලනික අස්ථායීතාවයක් හට ගෙන මහ බැංකු අධිපතිට ද නිලයෙන් ඉල්ලා අස්වීමට සිදු වීමට හැකියාව පවතී. එහෙත්, එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැලසුම් කොට මුදල් මණ්ඩලය වෙත විධානයක් නිකුත් කිරීමේ බලතල මුදල් ඇමති වෙත මුදල් නීති පනත යටතේ ලැබී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම මාර්ගෝපදේශ ක්‍රමවේදය ආර්ථික විද්‍යාවේ සියළුම විනිමය අනුපාත මූලධර්මයන් සහ අත්දැකීම් කුණු කුඩයට දමන නව මූලධර්මයක් සහ අත්දැකීමක් බවට පත් වී ඇත. එබැවින්, දැනට සංවර්ධනය වන රටවල් මුහුණ දෙන උග්‍ර විදේශ මුදල්/සංචිත හිඟය හේතු කොට මුදල් අධික ලෙස අවප්‍රමාණය වීමේ අර්බුදයට විසඳුම ලෙස එම රටවල ඩොලර් සංචිතය වැය නොකොට මෙම මාර්ගෝපදේශ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙසට IMF සහ ලෝක බැංකුවට බල කිරීම හෝ ඒත්තු ගැන්වීම කළ යුතුය. එමගින්, ශ්‍රී ලංකාවට දැනට හිර වී තිබෙන IMF ණය වැඩසටහන කඩිනමින් ලබා ගැනීමට ද හැකි වනු ඇත.

මහ බැංකු සංනිවේදන දෙපාර්තමේන්තුව විසින් දක්වා ඇති මීට පෙර අනුගමනය කළ මහ බැංකුවේ විනිමය අනුපාත කළමනාකරණ ක්‍රමවේදය අනුව 2001 ජනවාරි මස පාවෙන විනිමය අනුපාත ක්‍රමය හඳුන්වා දීමේ සිට මේ දක්වා සියළුම මහ බැංකු අධිපති විසින් රුපියල/විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් මහ බැංකු විදේශ සංචිතයෙන් බැංකුවලට සපයා ඇත. දැනට මහ බැංකු ද්‍රවශීල සංචිතය බින්දුවට වැටී ඇත්තේ 2020 අප්‍රේල් සිට 2022 මාර්තු දක්වා එසේ ඩොලර් බිලියන 8 ක් පමණ වැය කිරීම නිසා ය. වත්මන් මහ බැංකු අධිපති වරයා ද 2013 සිට 2020 අවසානය දක්වා නියෝජ්‍ය අධිපති/ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස එවක සිටි අධිපති වරුන්ට එසේ කිරීමට නිර්දේශයන් නිරන්තරයෙන් ඉදිරිපත් කොට ඇති අතර සමහර කාලවල/දිනවල එම තීරණයන් ගනු ලැබුවේ ද ඔහු විසිනි. සමහර කාලවල ආර්ථිකයේ දැඩි ගෙවුම් ශේෂ හිඟයක් පැවතිය ද, මහ බැංකුවේ විදේශ සංචිතය වැය කරමින් රුපියලේ අගය ඉහළ නංවා ඇත.

එබැවින්, තායිලන්තයේ 1997/98 මූල්‍ය අර්බුදයේ දී තායි මුදල ශක්තිමත් කිරීමට එවක මහ බැංකු අධිපති විසින් ඩොලර් බිලියන 4 ක් පමණ වැය කිරීමේ චෝදනාව මත ගන්නා ලද අධිකරණ ක්‍රියා මාර්ගයට සමානව වත්මන් මහ බැංකුව විසින් ද මේ දක්වා සියළුම අධිපතිවරුන්ට සහ අදාළ මහ බැංකු ඉහළ නිලධාරීන්ට එරෙහිව මහ බැංකු සාක්ෂි මත මූල්‍ය අපරාධ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම යෝග්‍ය වෙයි. ඊට අදාළ චෝදනාව වනුයේ ඉතා පහසු මාර්ගෝපදේශ විනිමය අනුපාත ක්‍රමවේදයක් අනුගමනය නොකොට, ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුගමනය කරමින් විනිමය වෙළෙඳපොළට මැදිහත් වීම සඳහා විදේශ සංචිතය බිලියන ගණනක් වැය කිරීම තුළින් පොදු දේපල අවභාවිතය යි. වත්මන් පොදුජනයා මුහුණ දෙන උග්‍ර විදේශ මුදල් හිඟය තුළින් හට ගෙන ඇති කෘර ආර්ථික අර්බුදය ද මහ බැංකුවේ ඉහත කී විදේශ සංචිත සහ විනිමය අනුපාත කළමනාකරණයේ ප්‍රතිඵලයක් බව නොරහසකි. මෙහිදී, වත්මන් මහ බැංකු අධිපති වරයා ද එම චෝදනාවට ලක් වන බැවින් එම පරීක්ෂණය ස්වාධීනව සිදු වීමට අවශ්‍ය ආයතනික පරිසරය රජය විසින් කඩිනමින් සැකසිය යුතුය. 

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි