වත්මන් ආර්ථික අර්බුදයට මහ බැංකු අධිපතිගේ අපනයන ආර්ථික මොඩලය සාර්ථක වෙයි ද? අර්බුදය බිහි කළ ආනයන ආර්ථික මොඩලයට ඔහු වග නොකියන්නේ ඇයි?

 


මෙම ලිපියේ අරමුණ වනුයේ පසුගිය දිනක මහ බැංකු අධිපති විසින් තරුණ ලංකික ව්‍යවසායක මණ්ඩල රැස්වීමේ දී දැක්වු අදහස් අතර වත්මන් ආර්ථික අර්බුදයට හේතුව ශ්‍රී ලංකාව විසින් පසුගිය වර්ෂ 60 -70 ක පමණ කාලයක් අනුගමනය කල ණය චක්‍රය මත පදනම් වූ ආනයන ආර්ථික මොඩලය බවත්, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එය වෙනස් කොට අපනයන ආර්ථිකයට මාරු විය යුතු බවටත් දැක්වූ අදහස පිළිබඳ ව ප්‍රයෝගික ආර්ථික විග්‍රහයක් ඉදිරිපත් කිරීම යි.

එසේම, අඛණ්ඩව දශක එකහමාරක පමණ කාලයක් ඉහළ මට්ටමින් මහ බැංකුවේ ක්‍රියා කළ වත්මන් අධිපති ද  එම ආනයන ආර්ථික මොඩලයට ඉහළ මට්ටමින් වගකිව යුතු බවට මෙම ලිපියෙන් සාක්ෂි තහවුරු කෙරේ.

මෙහි පළමු ලිපි දෙක මෙම වෙබ් අඩවියේ මීට පෙර ඉදිරිපත් කොට ඇත.

මහ බැංකු අධිපති විසින් තරුණ ලංකික ව්‍යවසායක මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත් කළ අදහස්

  • අප රටේ තියෙන්නෙ අර්බුදයක්. අර්බුදයක් කියන්නේ ආර්ථිකය අවපාත කාලයකි. සමස්ත ආර්ථිකයේ අවපාතයක් වන විට හැමෝගෙන්ම එම අවපාතය එන්න ඕන. මෙහිදී, කොටසකට විතරක් අවපාතය නොමැතිව සාමාන්‍ය ආකාරයෙන් කර ගෙන යාම වැරදි දෙයක්. එවිට ආර්ථිකයට ගොඩ එන්න බැහැ. 

  • අපි ගොඩක් කල් කර ගෙන ගියේ ආනයන මත රැඳුන ආර්ථිකයක්. මෙහිදී, බොහෝ වෙලාවට රටක් වශයෙන් විදේශ විනිමය උපයන ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් වියදම් කළා. මෙය අවුරුද්දක් දෙකක් කර ගෙන යන්න පුළුවන්.

  • ඊට වඩා කර ගෙන ගියොත් ගොඩ එන්න පුළුවන් වෙන්නේ ණය අරගෙන යි. දිගටම ණය ගත්තම ගෙවා ගන්න බැරි වෙනව. දැන් අපි ණය වැඩි වෙලා ඒ තත්ත්වෙට ඇවිල්ල ඉන්නෙ. එතකොට අපි ඒ මොඩලය වෙනස් කරන්න ඕන.

  • එනම්, ආනයන මත රැඳියාව අපනයන බවට හරවන්න ඕන. මෙම අර්බුදකාරී අවස්ථාවේ වුවත් එසේ අපනයන වෙත යොමු වී විදේශ විනිමය උපයන කර්මාන්තවලට පමණයි පහසුවෙන් කර ගෙන යන්න පුළුවන් වන්නෙ. ඔවුන්ට දිරි  ගැන්වීමක් වෙලා තියෙනවා.  අනිත් පැත්තේ සිටින අයට ඊට වඩා පහළ මට්ටමකයි යන්න වෙන්නෙ.

  • මෙහිදී රටක් විදියට අපි විදේශ විනිමය ආදායම් මාර්ග වැඩි කළ යුතුය. මෙහිදී, අපනයන වැඩි කිරීම, තොරතුරු තාක්ෂණ සේවා,  පිටරට රැකියාවලට ගොස් ප්‍රේෂණ ඉහළ දැමීම කළ හැකිය. ආනයන පාලනය කරන්න ඕන කියල මම කියන්නේ නැහැ. වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි ආදායමක් උපයා ගන්න රටට තමයි  දියුණු වෙන්න පුළුවන් වෙන්නේ.

  • ඉතිහාසය බැලුවොත් අපිත් එක්ක සිටි රටවල් අතර මුල් කාලයේ තායිලන්තය, ජපානය, කොරියාව, තායිවානය වැනි රටවල් අපනයන පැත්තට ගිහිල්ල දියුණු වෙලා තියෙනවා. ඊට පසුව, මැලේසියාව, සිංගපුරුව සහ මෑත කාලයේ වියට්නාමය සහ බංගලිදේශය වැනි රටවල මෙම පරිවර්තනය වෙලා තියෙනවා. ඒ රටවල ව්‍යාපාරිකයන් ආනයන රැඳියාවේ සිට අපනයන වෙත ගොස් රට සහ ජීවන තත්ත්වය ඉහළට ගොස් තියෙනවා. 

  • අපිට මේ වෙනසට යන්න වෙනවා. එහෙම නැතිව තාවකාලිකවIMF එකෙන් හෝ කාගෙන් හරි ණයක් අර ගෙන ඉදිරි මාස කිහිපය තුළ යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. එක කරන්න බැරි කමක් නැහැ. එහෙත්, අර ප්‍රශ්නෙ තිබුනොත් නැවතත් අපි එම චක්‍රයටම යි යන්නෙ.

  • හැම චක්‍රයකම අපි එහෙම තමයි ගිහිල්ල තියෙන්නෙ. එහෙම නැතුව අපි ස්ථාවර අපනයන කෙරෙහි යොමු වූ වර්ධනයකට හෝ ආර්ථිකයට ගොස් නැහැ.

  • අවුරුදු 60 ක් 70 ක් තිස්සේ අපි කරල තියෙන්නෙ එහෙමයි. ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති උනාම උදවු කරන්න ඉන්නෙ IMF එක. අපි  IMF ගිහිල්ල ණය ඉල්ලන්න ඕන. අපි එහෙම එහෙම 16 වරක් IMF එකට ගිහිල්ල තියෙනවා. පකිස්ථානය සහ අපි 16 වතාවක් IMF ගිහිල්ල තියෙනවා. අපි දෙගොල්ල එකම කාණ්ඩයෙ ඉන්නෙ. ඒවගේ ව්‍යාපාරික මොඩලයක් තමයි අප රටවල තිබිල තියෙන්නෙ.

  • එක කාලෙකට IMF ගිහිල්ල ණයක් අරන් ගොඩ එනවා. අයෙත් වරක් මුදල් ටිකක් ලැබිල පරණ විදියට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ආනයන ආර්ථිකයක් විදියට දිගටම යන කොට ආනයන ව්‍යාපාරය වර්ධනය වනවා. එහෙත්, එය නැවත යම්කිසි අවස්ථාවක කඩා වැටෙනවා. එතකොට මුදල අවප්‍රමාණය වෙලා කරගන්න බැරුව පොලී අනුපාතයන් ඉහළ දමනව. අපි බැලුවොත් හැම චක්‍රයකම අපි එහෙම තමයි කරල තියෙන්න. අපි අඛණ්ඩ අපනයන ප්‍රමුඛ වර්ධනයකට ගිහිල්ල නැහැ.

මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස් කෙරෙහි කතුවරයාගේ ප්‍රතිචාරය

මෙම ලිපිය මගින් අධිපති විසින් ඉහත දැක්වූ අදහස් පිළිබඳ ව සාර්ව පදනමක් මත විග්‍රහයක් පහත දැක්වෙන ශීර්ෂයන් යටතේ සිදු කෙරේ. 

වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය සඳහා අපනයන ආර්ථික මොඩල පැරණි කථාවක් වීම

මහ බැංකු අධිපති විසින් මෙම අවස්ථාවේ වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය සඳහා පැරණි චක්‍රය යටතේ කළ හැකි දෙයක් ඔහු යටතේ මහ බැංකුවට නොමැති බැවින් හුදෙක් දේශපාලනික අදහස් අනුව යමින් මෙම අදහස දැක්වූ බව අපනයන ආර්ථිකය පිළිබඳ ව ආර්ථික ඉතිහාසය සහ මෑත කාලින අදහස් දෙස බැලීමේ දී පෙනේ.

අපනයන ආර්ථික මොඩල කථාන්දරය මහ බැංකු අධිපතිට නව කථාවක් වුව ද, ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය ආර්ථිකට නව කථාවක් නොවේ. ඊට දින කිහිපයකට පෙර අගමැති වරයා විසින් ද මෙම කථාව අළුත් කරන ලදි. එහෙත්, එම අදහස 1980-1990 ගණන්වල විශේෂ රාජ්‍ය අනුග්‍රහය මත ප්‍රවර්ධනය කළ වත්මන් ආර්ථිකයේ කොඳු නාරටිය වන නව අපනයන කර්මාන්තයන් පිළිබඳ ව අගමැති වරයාගේ ප්‍රයෝගික අත්දැකීම් මත දැක්වූ ආර්ථික ප්‍රතිපත්ති යෝජනාවක් මිස, මහ බැංකු අධිපති විසින් දැක්වූ පරිදි හුදු වචන මාලාවක් නොවේ.

ආර්ථික විද්‍යාව අපොස සාමාන්‍ය සහ උසස් පෙළ විභාගයන්හි මෙන්ම උපාධි මුල් වසරවල විභාගයන්හි අනිවාර්යයෙන්ම අසන ප්‍රශ්නයක් වන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ආනයන ආදේශන සහ අපනයන ප්‍රවර්ධන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමවේදය ගැන යි. නිදහසින් පසු 1970 දශකය අවසානය පමණ වන තෙක් රජයන් අඛණ්ඩව අනුගමනය කළ ප්‍රතිපත්තිය ද මෙය යි.

විදේශ වෙළෙඳාම පිලිබඳ ව යටත් විජිත සමයේ 1500 -1800 පමණ කාලයේ ප්‍රචලිත වූ ආර්ථික දර්ශනය වන වාණිජ වාදයෙන් දැක්වූයේ ද රටක් ධනවත් වීම සඳහා තීරුබදු තුළින් ආනයන සිමා කොට අපනයන වර්ධනය කළ යුතු බව යි. ඊට පසුව, 1700 ගණන්වල විදේශ වෙළෙඳාම පිළිබඳ ව ප්‍රචලිත වූ නිරපේක්ෂ වාසි න්‍යාය සහ සාපේක්ෂ වාසි න්‍යාය තුළින් පිළි ගැනුනේ රටවල පවතින සම්පත් ව්‍යුහය සහ ශ්‍රම ඵලදායිතාවය මත තරගකාරී නිෂ්පාදනය සහ විදේශ වෙළෙඳාම තුළින් රටවල මෙන්ම ගෝලීය ආර්ථික සුභසාදනය ඉහළ යන බව යි.

ආර්ථික විද්‍යා උපාධි සහ පශ්චාත් උපාධිවල ආර්ථික සංවර්ධනය සහ වෙළෙඳාම පිළිබඳ ඉගැන්වීම් පදනම් වන්නේ මෙම සාපේක්ෂ වාසි සංකල්පය මත යි. නව අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරු අත්පොතේ ද මේ පිළිබඳ විස්තරාත්මක විෂය තොරතුරු ඇතුලත් අතර විභාග ප්‍රශ්නයන් ද නිරන්තරයෙන් දැකිය හැකිය.

පසුගිය දශක 4 ක පමණ කාලය තුළ ප්‍රචලිත වූ විවෘත ආර්ථික ක්‍රමය මෙම සාපේක්ෂ වාසි සංකල්පය මත පදනම් වූ අතර එමගින් රටවල මෙන්ම ගෝලීය නිෂ්පාදනය, වෙළෙඳාම සහ ආයෝජනය බොහෝ සේ වර්ධනය වූ බවට විවාදයක් නොමැත. නිදහස් තරගකාරී වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා රටවල් විසින් ලෝක වෙළෙඳ සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර IMF සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනයන් අනුගමනය කරනු ලබන මූලධර්මය වන්නේ ද නිදහස් වෙළෙඳාම යි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු රටවල් විසින් අනුගමනය කළ විදේශ විනිමය පාලනය සහ ප්‍රාග්ධන සිමාවන් ඉවත් කරමින් 1980 ගණන්වල සිට රටවල විදේශ ප්‍රාග්ධන/ආයෝජන ප්‍රවාහයන් ප්‍රවර්ධනය කෙරුනේ මෙසේ ගෝලීය වෙළෙඳාම මත නිෂ්පාදනය සහ පරිභෝජනය සහ ආයෝජනය ප්‍රවර්ධනය තුළින් ජන ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහා ය.

ඒ අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් විසින් නිදහස් වෙළෙඳ ප්‍රතිපත්ති අනුගමනය කරමින් විදේශ ආයෝජනය දිරිමත් කරනු ලැබුවේ එම රටවල දුගී බවේ චක්‍රයට හේතුව වූ ඌන ආයෝජන ප්‍රශ්නය විදේශ ඉතුරුම් හෝ ආයෝජන හරහා විසඳා ගෙන ගෝලීය ආර්ථිකය හෝ වෙළෙඳපොළ තුළින් ආර්ථික සංවර්ධනය ලඟා කර ගැනීමේ අරමුණ මත යි. නිදහසින් පසු ශ්‍රී ලංකාව ද 1980 ගණන්වල සිට එම මොඩලය හරහා ආර්ථිකය සහ ජන ජීවිතය ඉහළ නැංවූ බවට ද විවාදයක් නොමැත.

ඒ අනුව, හුදු අපනයන ආර්ථික මොඩලයක් නැවත ඉදිරිපත් කිරීමට කථා පැවැත්වීම යනු පැරණි වාණිජ වාදය අනුගමනය කරමින් හුදු ජාතික මමත්වයක් බිහි කිරීමට උත්සාහ කිරීම තුළින් දේශපාලනික වාසි ලබා ගැනීමේ ආර්ථික අදහසක් බව කිව හැකිය.

එමගින්, වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කළ හැකි බවට දක්වන අදහස් හුදු හාස්‍ය  ජනක වන්නේ, එමගින් අපනයනය හරහා ඩොලර් හෝ ගෝලීය සංචිත මුදල් සොයා ගන්නා තෙක් පොදුජනයාට නැවත 1980 ට පෙර ජීවන මට්ටමට ගොස් ළමා මන්දපෝෂණය ඉහළ නංවා ඉදිරි පරම්පරාව නැවත දුගී චක්‍රයට පිය නගන ලෙස පොදුජනයාට කෙරෙන දැන්වීමක් වන බැවිනි. ඊට සානුබලයක් ලෙස පැරණි ජාති මාමක ගීතයන් සමාජ මාධ්‍යයන් හරහා නැවත වාදනය වීම ද දැකිය හැකිය.

මෙහිදී, එවැනි නව්‍ය අදහස් දක්වන මහ බැංකු අධිපති වැනි ආර්ථික විශාරදයන් දේශීය ආදායම් හෝ විදේශ රටවල පුරවැසිකම් හිමි පුද්ගලයන් වන බැවින් එම මොඩලයේ ආදීනව ඔවුන්ට නොතේරෙන බව කිව යුතු නැත.

ඇමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු ආනයන අධෛර්යමත් කොට අපනයන දිරිගැන්වීම සඳහා තීරුබදු සටන සහ වෙළෙඳ ගිවිසුම් භාවිතා කිරීමට 2017-2018 කාලයේ දී කරනු ලැබූ උත්සාහයට එවක ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පැවසුවේ ඇමෙරිකානු ජනාධිපති විසින් පැරණි වාණිජ වාදී සංකල්පය අනුව වෙළෙඳ හිඟය මත පදනම් වී වෙළෙඳ සිමාවන් පැනවීම මෝඩ ආර්ථික ප්‍රතිපත්තියක් බව යි. ඔහුගේ නව ප්‍රතිපත්තිය සහ මහ බැංකුව විසින් අනුගමනය කළ අධිවේගී දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ඇමෙරිකානු ආර්ථිකය පමණක් නොව ගෝලීය ආර්ථිකය ද 2018-2019 දී පහළ යන ලදි.

විදේශ ණය මත පදනම් වූ ආනයන ආර්ථික මොඩලයට වග කිව යුත්තේ ද වත්මන් මහ බැංකු අධිපති බව

මහ බැංකු අධිපති විසින් දැක්වූ ආනයන ආර්ථික චක්‍රය කළමනාකරණය කරනු ලැබුවේ පසුගිය වසර 15 ක් පමණ පුරා ඔහුගේ අධීක්ෂණය සහ පාලනය (ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂක,  සහකාර අධිපති සහ නියෝජ්‍ය අධිපති) යටතේ පැවති මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ විනිමය අනුපාතය සහ විදේශ සංචිත කළමනාකරණය මගිනි.

වත්මන් ආනයන මොඩලයේ පදනම දැමුවේ 2006-2014 කාලයේ වන අතර එවක සිටි මහ බැංකු අධිපති වරයාට සාර්ව ආර්ථික විද්‍යා මූලධර්ම පිළිබඳ නිසි අවබෝධයක් නොවූ බැවින් ආර්ථික පර්යේෂණ භාරව සිටි වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ විශාරද ආර්ථික උපදෙස් සහ මෙහෙයවුම ඊට පදනම් වූ බව නොරහසකි. ඒ බව ඔහු ලැබූ වේගවත් උසස්වීම් සහ IMF විකල්ප විධායක අධ්‍යක්ෂක ඇතුළු ජාත්‍යන්තර අවස්ථාවන්ගෙන් පැහැදිලි වෙයි.

එවක අධිපතිගේ වෘත්තීය නිපුණතාවය වූයේ ව්‍යාපාරික ආයතන පදනමක් මත මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය වන බැවින් මුදල් නීති පනතේ ඇති ව්‍යවස්ථාපිත වගකීම අනුව විනිමය අනුපාතය පාලනය කිරීම සහ ආනයන ආර්ථිකය මූල්‍යකරණය සඳහා මූල්‍ය ප්‍රවාහ සංකල්පය යොදා ගැනීම පිණිස සර්ව ආර්ථික ආකෘතිය සැපයීම සහ මූල්‍ය ප්‍රවාහයන් කළමනාකරණය කිරීම කරනු ලැබුවේ වත්මන් අධිපති විසිනි.

එවක ඔහුගේ ආර්ථික සංකල්පය වූයේ ගෙවුම් ශේෂයෙහි ජංගම ගිණුමේ හිඟය (භාණ්ඩ, සේවා, සාධක ආදායම් සහ ප්‍රේෂණ ශේෂය) ද.දේ.නි. යෙන් 2% ට ආසන්නව හෝ පහළ මට්ටමක පවත්වා ගෙන යාමට හැකි වන ලෙස මූල්‍යකරණය සඳහා විදේශ ණය සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම තිරසාර සාර්ව ආර්ථික කළමනාකරණය වන බව යි. මෙහිදී, විදේශ ණය සහ ආයෝජනවල ගුණාත්මක භාවය හෝ තිරසාර භාවය පිළිබඳ ව කිසිම තැකීමක් නොකළේ, එය හුදෙක් සාර්ව ආර්ථික නොව මුදල් ප්‍රවාහ සංකල්පය මත පදනම් වූ බැවිනි. එහෙත්, 1980-90 දශකවල 5%-16% ක ජංගම ගිණුම් ශේෂයක් ද නිල ව්‍යාපෘති ණය සහ ඍජු විදේශ ආයෝජන හරහා මූල්‍යකරණය කොට ඇත.

එම මුදල් ප්‍රවාහය මහ බැංකුවේ විදේශ සංචිතය තර කර ගැනීමේ ඉලක්කයන් මත මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ සහ ෆිස්කල් නියෝජිත ව්‍යවස්ථාපිත වගකීම් කාර්යශූර ලෙස භාවිතා කිරීමෙන් කළමනාකරණය කෙරින. එක් අවස්ථාවක ඩොලර් බිලියන් 10 ක විදේශ සංචිතයක ඉලක්කයක් ද යෝජනා කෙරින. එම මුදල් ප්‍රවාහය පහත දැක්වෙන ප්‍රධාන මෙවලම් හයක් මත කළමනාකරණය කෙරින.

ඒ මත ශ්‍රී ලංකා ආර්ථිකය මැදි ආදායම් රටක් ලෙස ඉදිරිපත් කොට, ලෝක බැංකු සංකල්පයක් වූ මැදි ආදායම් උගුලෙන් ආර්ථිකය සහ පොදුජනයා ගොඩ ගැනීම සඳහා ද මහ බැංකුව තුළ ඔහුගේ අනුග්‍රහයෙන් විද්වත් මානසික රෝගී කථිකාවතක් ආරම්භ කෙරින.

  • ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුතුව

මෙම බැඳුම්කර 2007 සිට 2019 දක්වා කාලය තුළ 11 වරක් නිකුත් කොට ඩොලර් මිලියන 17,550 ක පමණ මුදල් ප්‍රමාණයක් ආයෝජන බැකු හරහා විදේශ මුදල් වෙළෙඳපොළවලින් ලබා ගෙන ඇත. එම සෑම නිකුතුවකම අළෙවිකරණ සහ තීරණ ගැනීමේ ඉදිරි පෙළ සිටියේ වත්මන් මහ බැංකු අධිපති බව නොරහසකි. වත්මන් අර්බුදයේ මූල සාධකය මෙම ණය බර යි. 2019 අවසානයේ දී ගෙවීමට පැවති මෙම බැඳුම්කර වටිනාකම ඩොලර් මිලියන 15,050 ක් වූ අතර එය මුළු රාජ්‍ය ණය මෙන් 21% ක් ද, මහ බැංකු විදේශ සංචිතය මෙන් 197% ක් ද විය. 2019 දී විදේශ සංචිතයෙන් 58% මෙම එම වර්ෂයේ නිකුත් කළ බැඳුම්කර ඩොලර් මිලියන 4,400 හරහා ගොඩ නැගිණ.

  • සංවර්ධන බැඳුම්කර නිකුතුව

2010-2019 දක්වා දශකය තුළ නිකුත් කළ මුළු සංවර්ධන බැඳුම්කර වටිනාකම ඩොලර් මිලියන 12,109 ක් පමණ විය. මේවා දේශීය විදේශ මුදල් ඉපැයුම් කරුවන්ගෙන් සහ දේශීය බැංකු හරහා විදේශිකයන්ගෙන් රජයට ඩොලර් ණය ලබා ගැනීම සඳහා ඉතා නම්‍යශීලී ලෙස නිකුත් කරන ලද අතර බොහෝ විට නිකුත් කරන ලද බැඳුම්කර ආපසු ගෙවීමක් නොමැතිව ඒවා නව නීකුතුන් හරහා පෙරලීමක් සිදු කෙරින.

මෑත දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් කෝප් එකට පැවසුවේ ඒ සතු ඩොලර් මිලියන 50 ක ද්‍රවශීල අරමුදල් සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කොට ඇති බවත්, එය ආපසු ලබා ගැනීමට නොහැකි වීමෙන් විදේශයන්ට ප්‍රතිරක්ෂණ ගාස්තු ගෙවීමට නොහැකි වී ඇති බවත් ය. 2019 වර්ෂය අවසානයේ දී ගෙවීමට පැවැති මුළු සංවර්ධන බැඳුම්කර වටිනාකම ඩොලර් මිලියන 3,079 ක් පමණ වූ අතර එය මුළු මහ බැංකු සංචිතයෙන් 40% ක් ද, මුළු රාජ්‍ය ණයවලින් 4.3% ක් ද විය.

  • රුපියල් රාජ්‍ය සුරැකුම්පත් විදේශිකයන්ට අළෙවිය

මෙය 2008 වර්ෂයේ සිට ක්‍රියාශීලී සහ නම්‍ය ලෙස අළෙවි කළ අතර වත්මන් මහ බැංකු අධිපතිගේ නායකත්වය යටතේ මහ බැංකු නිලධාරී කණ්ඩායමක් නිරන්තරයෙන් ආයෝජන බැංකු සමඟ විදේශ ආයෝජක සමාගම්වල නිලධාරීන් හමුවීම් සඳහා විදේශ සංචාරයන් කිරීම ප්‍රචලිත විය. මෙහිදී, විදේශ ආයෝජක සමාගම්වල මනාපයන්ට ගැලපෙන පරිදි පෞද්ගලික නිකුතු හරහා භාණ්ඩාගාර බැඳුම්කර අළෙවි කළ අතර ප්‍රසිද්ධ වෙන්දේසි දැකිය නොහැකි තරම් විය.

මේ හරහා 2013-14 වර්ෂ වන විට ඩොලර් බිලියන 2-3 ක පමණ විදේශ මුදල් මහ බැංකුවේ විදේශ සංචිතය පවත්වා ගැනීමට රැස් කරන ලදි. 2015 වර්ෂය ආරම්භයේ සිට වෙන්දේසි හරහා පමණක් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හේතු කොට වෙන්දේසිවලට ලංසු ඉදිරිපත් කිරීමට අකමැති වූ සමහර ආයෝජක සමාගම් විසින් තම ආයෝජන ආපසු ගැනීම සිදු විය. එසේම, 2017 සහ 2018 වර්ෂවල ඇමෙරිකානු මහ බැංකුව විසින් අධිවේගී ලෙස පොලී අනුපාතය ඉහළ දැමීම හේතු කොට ශ්‍රී ලංකාවේ පැවති විදේශ ආයෝජන තවත් ප්‍රමාණයක් ඉවත්ව යන ලදි.

  • මහ බැංකු විදේශ මුදල් හුවමාරු ගිවිසුම්

විදේශ මුදල් හුවමාරු යනු යම් විනිමය අනුපාතයකට බැංකුවකින් විදේශ මුදල් ප්‍රමාණයක් මිල දී ගෙන, නියම කර ගත් විනිමය අනුපාතයකට අනාගත දිනක දී එම විදේශ මුදල් ප්‍රමාණය එම බැංකුවට නැවත අළෙවි කිරීමේ ගිවිසුම යි. විදේශ සංචිතය පවත්වා ගැනීම සඳහා දෛනික පදනමක් මත බැංකු හරහා කෙටි කාලීන විදේශ මුදල් හුවමාරු තුළින් ඩොලර් රැස් කිරීම ඉතා ප්‍රචලිත මෙවලමක් විය.

විදේශ ආයෝජකයන් විසින් භාණ්ඩාගාර බැඳුම්කර පෞද්ගලික නිකුතු හරහා ආයෝජනය කිරීමට ගෙන එන විදේශ මුදල් ද බැංකු හරහා විදේශ මුදල් හුවමාරු තුළින් මහ බැංකු සංචිතයට ලබා ගැනීම සිදු වූ අතර පුද්ගලික බැඳුම්කර නිකුතු, මුදල් හුවමාරු ගිවිසුම් සහ විදේශ සංචිතය එකම චක්‍රයක් විය. ඊට අමතරව, බැකු විසින් ද විදේශ මුදල් ණය රැස් කර ගෙන මුදල් හුවමාරු ගිවිසුම් හරහා මහ බැංකුවට අළෙවි කරන ලදි.

මෙම ගිවිසුම්වල විනිමය අනුපාතයන් පුද්ගලික පදනමක් මත තීරණය කරන ලදි. සමහර ගිවිසුම් සඳහා එකම විනිමය අනුපාතයක් විදේශ මුදල් මිල දී ගැනීම සහ අනාගතයේ අළෙවි කිරීම සඳහා භාවිතා විය. 2021 වර්ෂයේ දී එවක රාජ්‍ය මුදල් ඇමතිගේ නිර්දේශය මත මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මෙන්ම කොටස් වෙළෙඳපොළ ආයෝජනයන් ද ආවරණය වන පරිදි ස්ථාවර විනිමය අනුපාතයක් මත විදේශ මුදල් හුවමාරු ගිවිසුම් ක්‍රමයක් ඉදිරිපත් කළ ද එය සාර්ථක නොවීය.

විදේශ මහ බැංකු සහ මූල්‍ය ආයතනවලින් මහ බැංකුව ලබා ගත කෙටි කාලීන ණය ද මුදල් හුවමාරු කාණ්ඩයට අයත් විය.

  • අර්බුදයට මාවත වූ විනිමය අනුපාතය අධි වටිනාකමක පාලනය කිරීම

විනිමය අනුපාත අධි වටිනාකම යනු අඛණ්ඩ ගෙවුම් ශේෂ හිගයන්ට හෙවත් විදේශ විනිමය අධි ඉල්ලුම අනුව විනිමය අනුපාතය අවප්‍රමාණය වීමට ඉඩ නොදී මහ බැංකුවේ සංචිත සහ විධානයන් හරහා පලනය කිරීම යි. මීට හේතුව, විනිමය අනුපාතය ඉහළ යාම හේතු කොට රාජ්‍ය විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය දේශීය අරමුදල් ප්‍රමාණයේ ඉහළ යාම පාලනය කිරීමත්, ආර්ථිකයේ ආනයන රැඳීයාව හේතු කොට ආනයන පිරිවැය ඉහළ යාම තුළින් හට ගන්නා උද්ධමනය ඉහළ යාම පාලනය (ආනයන උද්ධමනය) කිරීමත් යන සාර්ව ආර්ථික නොවන පාලනයන් හරහා ආර්ථිකය හොඳ බව ඉලක්කම්වලින් පෙන්වීම යි. මහ බැංකුව රාජ්‍ය ණය කලමනාකරු වීමත්, මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය පාර්භෝගික මිල උද්ධමනය පාලනය කිරීමට යොමු කිරීමත් හේතු කොට මෙය සිදු විය.

මෙසේ විනිමය අනුපාතය අනිසි ලෙස පාලනය කිරීමේ ශෝචනීය සිද්ධිය වනුයේ විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සහ 2021 මැයි මස සිට විනිමය අනුපාතය රුපියල් 200 මට්ටමේ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා 2020 මැයි සිට 2021 මාර්තු අවසානය දක්වා ඩොලර් මිලියන 8,268 ක් පමණ මහ බැංකුව විසින් වැය කිරීම යි. වත්මන් ආර්ථික අර්බුදයේ මූල සාධකය මෙය යි. මෙවැනි අත්දැකීම් 2001 ජනවාරි මස නම්‍ය විනිමය අනුපාත ක්‍රමය ආරම්භ කිරීමෙන් පසු විවිධ කාලවල දැකිය හැකිය. උදාහරණ ලෙස 2008 අගෝස්තු මස සිට 2009 මාර්තු මස දක්වා  ඩොලර් මිලියන 2,300 ක් පමණ ද,  2011-2012 කාලවල ඩොලර් මිලියන 4,000 ක් පමණ ද විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව විසින් බැංකු වෙත සපයන ලදි. 

2009, 2010 සහ 2011 වර්ෂවල තම සංචිතය අළෙවි කිරීම තුළින් විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය කිරීමට ද මහ බැංකුව ක්‍රියා කරන ලද අතර විදේශ තරගකාරිත්වය ආරක්ෂා කර ගැනීම සඳහා නිෂ්පාදන ඵලදායිතාවය ඉහළ දමන ලෙස අපනයන කරුවන්ට පණ්ඩිත උපදෙස් දීම ද සිදු විය.  2011 මහ බැංකු ප්‍රතිප්‍රමාණ ප්‍රතිපත්තිය සමඟ උරණ වූ එවක රජය විසින් තම අයවැය යෝජනා හරහා 2011 නොවැම්බර් 21 දින 3% කින් විනිමය අනුපාතය අවප්‍රමාණය කොට ඒ අනුව මූල්‍ය ප්‍රතිපත්තිය සකසා ගන්නා මෙන් මහ බැංකුවට උපදෙස් දෙන ලදි.

මෙසේ එදිනෙදා පදනමක් ලෙස අක්‍රමවත් ලෙස විනිමය අනුපාතය පාලනය කිරීම මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක් වී ඇති අතර එය ආර්ථිකයේ යටිදැරි ප්‍රවණතාවන් සඳහා යෝග්‍ය නොවූ අතර මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන්ට එරෙහි විය. එසේ දශක එක හමාරක් පමණ කාලයක විනිමය අනුපාතය අව කළමනාකරණය කිරීමේ ප්‍රධාන නියමුවා වූයේ වත්මන් මහ බැංකු අධිපති වෙයි. සමහර කාලවල විනිමය අනුපාත තීරණයන් ගැනීම ඔහු විසින් කරන ලදි.

මහ බැංකු අධිපති විසින් ඉහත රැස්වීමේ දැක්වූ ආනයන චක්‍රයට හේතුව සියළු ආර්ථික විද්‍යා මූලධර්මයන් උල්ලංඝණය කරමින් මෙසේ ඔහු යටතේ විනිමය අනුපාතය අවකළමනාකරණය යි. වත්මන් මාර්ගෝපදේශ විනිමය අනුපාතය ද එවැන්නකි. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් පසෙක තබා මහ බැංකුව විසින් ජාතික හැඟීම් ජනිත කොට ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රේෂණ ආයාචනය කිරීම දැකිය හැකිය. මීට පෙර මහ බැංකු අධිපති විසින් තම පත්වීම ලද විගස ලෝක වාසීන්ගෙන් විදේශ මුදල් ආධාර ආයාචනය කරන ලදි.

IMF ණය වැඩසටහන් හරහා අරමුදල් ලබා ගැනීම

1965 සිට 16 වතාවක් IMF වැඩසටහන් හරහා එස්.ඩී.ආර්. මිලියන 4,426 ක් පමණ ලබා ගත්ත ද, ඉන් 61.5% ක් හෙවත් එස්.ඩී.ආර්. මිලියන 2,724 ක් ලබා ගෙන ඇත්තේ 2009 සහ 2016 වැඩසටහන් දෙකිනි. මෙම වැඩසටහන් දෙකම ආනයන චක්‍රයට උපකාරී වීම පිණිස විනිමය අනුපාතය පවත්වා ගැනීමේ දී මුහුණ දුන් සංචිත හිඟය පියවා ගැනීම සඳහා භාවිතා වූ අතර වත්මන් මහ බැංකු අධිපති එම සාකච්ඡාවල තීරක පෙරමුණේ සිටි බව රහසක් නොවේ.

එහෙත්, 2020 වර්ෂයේ ගෝලීය කොවිඩ් වසංගතය සඳහා IMF විසින් රටවල් 90 කට පමණ ලබා දුන් සීග්‍ර මූල්‍යකරන මෙවලම යටතේ ණය ලබා ගැනීමට ඔහුට මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස නොහැකි IMF විසින් 2020 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය නොමැති බැවින් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස IMF විසින් ඉල්ලා සිටීම නිසා බව ඔහු විසින් පසුගිය මැයි 25 දින කෝප් වෙත සාක්ෂි දෙන ලදි.

එහෙත්, රාජ්‍ය ණය පිළිබඳ ජනාධිපති උපදේශක සභාවේ සාමාජිකයකු වන හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් පසුගිය 2 දින සමුළුවක දී පවසා ඇත්තේ 2020 දෙසැම්බර් මස IMF වැඩ සටහනක් ඉල්ලා සිටියා නම්, එකල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසියක් නොතිබුණ බැවින් පහසුවෙන් ණය ගත හැකිව තිබූ බව යි. එය මහ බැංකු අධිපති විසින් කෝප් සභාවට දෙන ලද සාක්ෂියට පරස්පර අදහසකි.

IMF වැඩසටහන්වල අරමුණ වූයේ තාවකාලිකව විදේශ සංචිතය වර්ධනය කොට විදේශ ආයෝජක විශ්වාසය සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය ආරක්ෂා කර ගැනීම ගැනීම හරහා ඉහත දැක්වූ පරිදි විදේශ වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීම යි. මහ බැංකු අධිපති විසින් ඉහත දැක්වූ මණ්ඩල හමුවේ දී  කලින් කලට IMF ණයක් ගෙන ආනයන චක්‍රය යාවත්කාලීන කරන බව දැක්වුයේ එබැවිනි. 2020 වර්ෂය ආරම්භයේ දී 2016 IMF ණය වැඩසටහන අවසන් වූ බැවින් ණය ශ්‍රේණිය පහළ ගොස් වෙළෙඳපොළ ණය ගැනීම අපහසු වීම ද වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන සාධකයක් වූ බවට විවාදයක් නොමැත.

එබැවින්, වත්මන් මහ බැංකු අධිපති විසින් තනතුර ඉල්ලා ගෙන පැමිණියේ IMF ණය වැඩසටහනක් කඩිනමින් ලබා ගෙන ආනයන චක්‍රය නැවත තමාට සුපුරුදු පරිදි යාවත්කාලින කොට දේශපාලනික අනුග්‍රහය ලබා ගැනීම බව නොරහසකි. එහෙත්, අපනයන ආර්ථික කථාන්දරය ඉදිරිපත් කෙරෙන්නේ එම සුපුරුදු ක්‍රමය මෙම අවස්ථාවේ හරි නොයන බව පෙනෙන බැවිනි.

මහ බැංකු විදේශ මූල්‍යකරණ ප්‍රතිපත්තිය තුළින් රාජ්‍ය මූල්‍ය අර්බුදය ජනිත වීම

අතීතයේ රාජ්‍ය ණය බහුතරය ලබා ගත්තේ දිගු කාලීන ව්‍යාපෘති සහ භාණ්ඩ ණය ලෙස නිල මූලයන් හරහා ය. එබැවින්, එම ණය උපයෝජනය සහ ණය සේවාකරණය පිළිබඳ ව දැවෙන ගැටළු වාර්තා නොවීය.  එහෙත්, 2007 න් පසු ඉහත දැක්වූ ලෙස කෙටි කාලීන විදේශ වෙළෙඳපොළ වාණිජ ණය කෙරෙහි සීග්‍රයෙන් යොමු වීම හේතු කොට වත්මන් රාජ්‍ය ණය අර්බුදය හට ගෙන ඇත. මහ බැංකුව විසින් තමාට රිසි ලෙස විදේශ ණය රැස් කොට එහි විදේශ මුදල් තම සංචිතයට එක් කොට ඊට අදාළ රුපියල් ප්‍රමාණය රජයට ප්‍රේෂණය කරන ලදි.

එබැවින්, ණය උපයෝජනය පිළිබඳ ව මුදල් නීති පනත ප්‍රකාරව පසුවිපරමක් සිදු නොවීය. ණය ගෙවීම ද නව විදේශ ණය ලබා ගෙන මහ බැංකුව විසින් සිදු කළ බැවින් රාජ්‍ය අරමුදල් විනය අතරමං විය. රාජ්‍ය ණය කාර්යාලයක් මහා භාණ්ඩාගාරයේ පිහිටු වීමට උත්සාහ කළ ද, මහ බැංකුවේ සහාය එයට නොලැබුණේ තම විදේශ සංචිත කළමනාකරණයට ඉන් බාධාවක් වන බැවිනි.

එබැවින්, වත්මන් ආර්ථික අර්බුදය මහ බැංකුවේ විදේශ සංචිත සහ රාජ්‍ය විදේශ ණය සේවාකරණ අර්බුදය තුළින් හට ගෙන ඇති බව නොරහසකි.

2010 දශකයේ දී මහ බැංකු ආනයන ආර්ථිකය මූල්‍යකරණ මොඩලයේ අසාර්ථකත්වය

2007-09 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇමෙරිකාව සහ යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල් විසින් අනුගමනය කළ අතිලිහිල් රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට ඇති වූ ගෝලීය මුදල් ප්‍රසාරණය තුළින් ඉහත දැක්වූ පරිදි විදේශ මුදල් ණය රැස් කිරීම පහසු විය. එහෙත්, 2017-18 කාලයේ ඇමෙරිකානු මහ බැංකුව විසින් අධිවේගී ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතු කොට ආයෝජන අරමුදල් සංවර්ධනය වන රටවල් සිට නැවත ඇමෙරිකානු මූල්‍ය වෙළෙඳපොළට ඇදී යාමට පටන් ගත් බැවින් එම මූල්‍යකරණ මොඩලය කඩා වැටීම ආරම්භ විය.

මෙම අවදානම වේලාසන හඳුනා ගත් මහ බැංකුවේ සංචිත කළමනාකරණ සේවයේ යෙදුන පහළ මාණ්ඩලික නිලධාරිනියක් විසින් 2013 වර්ෂයේ දී පැවති උපාය මාර්ගික සැලසුම් සමුළුවේ දී  එම අවදානම හුවා දක්වමින් මහ බැංකු සංචිතය කඩිනමින් තිරසාර කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ගැනීමේ කාලීන යෝග්‍යතාවය පෙන්වා දෙන ලදි. මෙම සමුළුවල දී ඕනෑම නිලධාරියෙකුට ඕනෑම අදහසක් නිදහසේ ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණ ද, එම නිලධාරිනියගේ අදහස පිළිබඳ ව අතිශයින් උරණ වූ එවක මහ බැංකු අධිපති විසින් එම නිලධාරිනියට දැඩි වචන මාලාවකින් පිළිතුරු දෙනු ලැබුවේ විදේශ සංචිතය රැස් කිරීම හොඳින් සිතා මතා සැලසුම් කොට කෙරෙන ක්‍රමවේදයක් බවත්, එහි කිසිම අවදානමක් නොමැති බවත් ය.

එහෙත්, 2020-21 කාලයේ කොරෝනා වසංගත පිඩනයට විසඳුමක් ලෙස ගෝලීය රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ඓතිහාසික ලෙස ළිහිල් වීම තුළින් නැවතත් මූල්‍ය වෙළෙඳපොළවල් අරමුදල්වලින් පිරී ගිය ද, ආනයන මොඩලය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව සුපුරුදු ලෙස ක්‍රියාත්මක නොවූ බව පැහැදිලි ය. උදාහරණ ලෙස ඇමෙරිකානු මහ බැංකුවේ මුදල් මුද්‍රණය 110% කින් ඉහළ ගිය අතර IMF ණය වැඩසටහන් ළිහිල් කොන්දේසි මත කඩිනමින් රටවල් 90 ක පමණ ක්‍රියාත්මක විය. එබැවින්, IMF ණය වැඩසටහනක් මත සුපුරුදු මූල්‍ය වෙළෙඳපොළ වෙත මහ බැංකු නිලධාරීන් නොගොස් මහ බැංකු විදේශ සංචිතය කෝකටත් තෛල මෙන් භාවිතා කිරීම හේතු කොට වත්මන් ආර්ථික අර්බුදය හට ගෙන ඇත.

එබැවින්, මහ බැංකු කළමනාකාරිත්වය විසින් හුදෙක්ම දෛනික දැක්මක් මත සංතුෂ්ඨියෙන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පුරුද්ද මෙම අර්බුදයට ඍජු මාර්ගයක් විය. මහ බැංකුවේ ක්‍රියාත්මක වන ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය ප්‍රතිපත්ති සභාවන්, මූල්‍ය ස්ථායීතා සභාවන්, මහ බැංකු අවදානම් කළමනාකරණ සභාව, මූල්‍ය මෙහෙයවුම් සභාව, විදේශ සංචිත කළමනාකරණ සභාව, සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව සහ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව වැනි අංශ විසින් ආර්ථිකයේ පද්ධති අවදානම් හඳුනා ගැනීම හරහා ක්‍රියාත්මක වීමත්, නිසි ප්‍රතිපත්ති මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමත් කළ යුතු ය.

එහෙත්, එම මහ බැංකු වගකීම් පැහැර හැරීම තුළින් මෙතරම් ඓතිහාසික ආර්ථික අර්බුදයකට පොදුජනයා ඇද දැමීමත්, එය නොතකා දහසක එක හමාරක පමණ කාලයක එහි වගකීම හිමි ඉහළ නිලධාරියා එම අර්බුදය නිරාකරණය කිරීම සඳහා වත්මන් අධිපති ලෙස පත් කිරීමත් ප්‍රශ්න කළ යුතුය.

එම තත්ත්වය තුළ කිසිම ස්වයං විවේචනයක් නොමැතිව මෙම අර්බුදයේ සියළු වරද හිටපු අධිපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් වෙත පවරමින් නව රජයේ සාක්ෂි කරුවකු බවට පත් වී ඇති අතර, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කළ යුතු බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම හුදෙක් දේශපාලනික නායකයන් සහ මහජනතාවගේ අවධානය ජාති මමත්වය වෙත යොමු කොට තම නව තනතුර ආරක්ෂා කර ගැනීමේ අරමුණ සඳහා බව පැහැදිලි ය.

අපනයන ආර්ථිකයක් බිහි කිරීම සඳහා මහ බැංකු ප්‍රතිපත්ති පැකේජයක් යෝජනා නොකිරීම

මහ බැංකු අධිපති විසින් සඳහන් කළ ආසියානු රටවල අපනයන ආර්ථිකයන් බිහි කරනු ලැබුවේ ඒ සඳහා ඉලක්ක ගත රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයන් හරහා ය. එහි අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස හට ගත් 1997/98 ආසියානු මූල්‍ය අර්බුදයට ලක් වූ රටවල් නැවත ගොඩ ගත්තේ ද එවැනි ප්‍රතිපත්ති පැකේජයන් හරහා ය.

පසුගිය දශක දෙක පුරා අවධමන පීඩනයකට මුහුණ දෙන ජපානය ඉන් මුදවා ගැනීම සඳහා අති ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කෙරේ. ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව විසින් 1980 සහ 1990 දශකවල නව අපනයන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ක්‍රියාත්මක කරන ලද එවැනි ප්‍රතිපත්ති පැකේජය ද රහසක් නොවේ.

එහෙත්,  මහ බැංකු අධිපති විසින් අපනයන ආර්ථිකයක් බිහි කිරීම සඳහා ඉලක්කගත මූල්‍ය ප්‍රතිපත්තියක් පිළිබඳ ව කිසිම අදහසක් දක්වා නොමැත. තරුණ ලංකික ව්‍යවසායක මණ්ඩලය ඉල්ලා සිටි ණය සහනය ද කිසිම අධ්‍යනයකින් තොරව එවලේම නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරන ලදි.  එවැනි ප්‍රතිපත්ති පැකේජයක් නොමැතිව, තරගකාරීව අපනයන කර්මාන්තයන් ආරම්භ කොට අපනයන ආර්ථිකයක් ඇති කරන ලෙස ව්‍යාපාරිකයන්ට ආර්ථික කථා පැවැත් වීමෙන් කිසිම ඵලයක් නොමැති බව අවබෝධ කර ගැනීමට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නොවේ.

එබැවින්, ඉදිරි මස තුළ එවැනි ප්‍රතිපත්ති පැකේජයක් දියත් කිරීමට ඔහුට හැකියාවක් පවතී. මුදල් නීති ප්‍රතිපාදනයන් අනුව ආර්ථික සහ මිල ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවය යාවත්කාලීන කිරීම සඳහා අපනයන ආර්ථික ප්‍රතිපත්ති පැකේජයක් ඉදිරිපත් කිරීම මෙම අවස්ථාවේ මහ බැංකු වගකීමකි.

එහෙත්, ඔහු විසින් පැරණි මූල්‍ය වාදී උද්ධමන සංකල්පය පිළි ගැනීම මත පසුගිය අප්‍රේල් මස 8 දින මහ බැංකු පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීම සහ අප්‍රේල් 11 දින රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිටු වීම (බොහොමයක් ණය ඔහුගේ අධීක්ෂණය මත ගත් ණය වෙයි) හේතු කොට ඉදිරි දශකයේ දී වත් අපනයන ආර්ථිකයක් සඳහා ප්‍රතිපත්ති දියත් කිරීමට නොහැකි වන ලෙස රජය සහ ආර්ථිකය බංකොලොත් වී ඇති බව කිව යුතුය.

එසේම, අධි උද්ධමනය පහත හෙළීම සඳහා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් කළඹ අඩු කොට මුදල් මුද්‍රණය පහළ දමන බවට ආරම්භයේ දී එඩිතර කථා පැවැත් වුව ද, ඔහුගේ පත් වීමෙන් පසු පසුගිය මාස දෙක තුළ නව භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 191.8 ක් පමණ මුද්‍රණය කොට ඇති අතර එය 2021 ආරම්භයේ සිට මේ දක්වා භාණ්ඩාගාර බිල්පත් හරහා මුද්‍රණය කරන ලද මුදල් ප්‍රමාණයෙන් 15.5% ක් පමණ වෙයි.

එසේම, සතිපතා වෙන්දේසිවලට අමතරව භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය දිනවල මුදල් නීති පනත උල්ලංඝණය කරමින් මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුත් කොට මුදල් මුද්‍රණය කිරීමේ නව ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත. එමගින්, අවස්ථා පහක දී රුපියල් බිලියන 76.4 ක් පමණ මුද්‍රණය කොට ඇත. එසේම, යෝජිත අතුරු අයවැයේ බදු සංශෝධනයන්ගෙන් අපේක්ෂිත රාජ්‍ය ආදායම නොලැබුනොත්, රාජ්‍ය වියදම් පියවීම සඳහා අඛණ්ඩව මුදල් මුද්‍රණය කිරීමට සිදු වනු ඇත.

ඔහුට ජූලි මස ආරම්භයේ සිට සේවා දිගුවක් ලබා ගැනීමේ අරමුණින් රජයේ උපදෙස් අනුගමනය කරමින් මෙසේ මුදල් මුද්‍රණය කෙරෙන බව නොරහසකි. එසේ උසස්වීම් ලබා ගැනීම පිළිබඳ ව ඔහුට මනා සේවා වාර්තාවක් පවතී.

ඊට උපකාරී වන ලෙස ඔහුට හිතවත් ආර්ථික විද්‍යා සමාජය විසින් දක්වන්නේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති එළඹුම ආර්ථිකයට යෝග්‍ය බවත්, එය ඉදිරියේ දී ආර්ථිකය ස්ථායීකරණයට හේතු වන බවත් ය. එසේ නම්, මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහ බැංකු අධිපති විසින් දක්වන අපනයන ආර්ථිකයක් අවශ්‍ය නොවනු ඇත.  ඵම සමාජයේ පෙරමුණේම සිටින්නේ මෑත කාලයේ  ඔහු සමග ආනයන මූල්‍ය මොඩලය ක්‍රියාත්මක කළ අය බව නොරහසකි.

සමස්තයක් වශයෙන් කිව යුත්තේ මහ බැංකු අධිපති විසින්ම පිළි ගන්නා පරිදි වත්මන් ආර්ථික අර්බුදයට හේතුව පසුගිය දශක කිහිපය තුළ අනුගමනය කළ ආනයන ආර්ථික චක්‍රය වන අතර ඉහත දැක්වූ පරිදි එයට වගකිව යුතු ඔහුට එය විසඳීමට පැවරීම ජාතික හිතෛෂී ක්‍රියාවක් නොවනු බව යි.

රජයට කෙරෙන අවවාදය

ඉහත දැක්වූ පර්යේෂණ සාක්ෂි අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පැරණි මාදිලියේ ආර්ථික මොඩලයන් වාත්තු කිරීමෙන් කළ නොහැකි අතර ඒ සඳහා පැරණි කාර්යාල ලිපි ගොනු ඉවත් කොට මානුෂික විසඳුම් සෙවීමේ නව ක්‍රමවේදයන් සඳහා නව ලිපි ගොනු තුළින් රජය සහ වෙළෙඳපොළ හරහා ක්‍රියාත්මක විය යුතුය.

මෙහිදී, එන්නත් සමාගම් කිහිපයක් සහ තොරතුරු තාක්ෂණ සමාගම් කිහිපයක් විසින් ගෝලීය කොරෝනා වසංගතය මර්දනය කරමින් ලෝකය ඉදිරියට ගෙන යාම සඳහා දැක්වූ නව්‍යතාවයන් ආදර්ශයට ගැනීම යෝග්‍ය වෙයි.

එහෙත්, මහජන බලය හිමි රාජ්‍ය ප්‍රතිපත්ති ආයතන කිහිපයක නිලධාරීන්ට මෙම ආර්ථික අර්බුදයෙන් පොදුජනයා මුදවා ගැනීමට තම විද්වත් දැනුම නව්‍ය ලෙස භාවිතා කිරීමට නොහැකි වීම යුගයේ හමුවන ශෝචනීය සිද්ධියකි. එහෙත්, අර්බුදයට හේතු සහ අර්බුදයෙන් පොදුජනයාට මුහුණ දීමට සිදු වී ඇති දුක සහ ඉදිරි අවදානම් පිළිබඳ ව සමාජ මාධ්‍යය හරහා චතුර කථා පැවැත්වීම එම සමහර අයගේ නව කාර්යයක් වී ඇති බව දැකිය හැකිය.

මෙහි අවදානම වන්නේ පද්ධති වෙනසක් ඉලක්ක කොට කෙරෙන වත්මන් සමාජ උද්ගෝෂණ ව්‍යාපාරයේ සුලමුල සහ ඉදිරි ආදීනව පුරෝකතනය කළ නොහැකි බැවිනි.


 (ආනයන මත රැඳී ශ්‍රී ලංකා ආර්ථිකය කළමනාකරණය සඳහා මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය නොව මුදල් ප්‍රවාහ සංකල්පය මත අනුගමනය කළ විදේශ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම්වල පැවති පද්ධති අවදානම් හේතු කොට වත්මන් ආර්ථික අර්බුදය හට ගත් බවට පර්යේෂණ සාක්ෂි මා විසින් මෙම වෙබ් අඩවියේ 2021 අගෝස්තු 18 දින " Sri Lankan Open Economy Model – The Risk, Shock and Policy Challenge in the Model Remix" ලිපියෙන් සහ 2021 දෙසැම්බර් 11 දින " ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ මුදල් වසංගතය ගැන ගොළු ආර්ථික ඉලක්කම් කථා කරයි. එය යථානුකූලව අවබෝධ කර ගෙන තීරණ ගැනීම ආර්ථික ප්‍රතිපත්ති බලධාරීන් සතු කාර්යයකි"යන ලිපියෙන් සහ 2021 දෙසැම්බර් 22 දින "economyforward" වෙබ් අඩවියේ පළ කරන ලද “Foreign Currency Pandemic in Sri Lanka – How the Non-compliance with Economic Principles and Laws by the Relevant Authorities led to the Pandemic and the Vaccines and Surgeries Immediately Required to take the Pandemic under Control” ලිපියෙන් ද ඉදිරිපත් කරන ලදි.)

 

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි