රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති උත්තේජනයන් සංවර්ධනය වන රටවලට අහිමි ඇයි ? ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යා මූලධර්මයන් මෙම රටවලට අදාළ නොවේ ද?

 

(මෙම ලිපිය මෙම මාතෘකාව යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් මෙහි පළ කරන ලද ලිපියේ සිංහල අනුවාදයක් වන අතර එය බොහෝ පාඨකයන්ගේ ඉල්ලීම මත පළ කෙරේ.)

සංවර්ධනය වන රටවල රජයන් විසින් තම රටවල ආර්ථිකයන් සහ ජීවන තත්ත්වයන් ගෝලීය කොරෝනා වසංගතයෙන් ගොඩ ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය උත්තේජනයන් යොදා ගැනීම කෙරෙහි ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් දැඩි විරෝධය පළ කෙරේ. එම ආර්ථික විද්‍යාඥයන් විසින් දක්වන්නේ එය සංවර්ධිත රටවල රජයන්ට කළ හැකි වුව ද,  ඉන් හට ගත හැකි අධි උද්ධමන සහ විදේශ මූල්‍ය අර්බුද අවදානම් හේතු කොට ගෙන එම සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයන් සංවර්ධනය වන රටවලට යෝග්‍ය නොවන බව යි.

එබැවින්, ඔවුන්ගේ ඇඟවූ නිර්දේශය වන්නේ, රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති අවකාශය සිමා කොට දේශීය සම්පත් පදනමට ගැලපෙන මට්ටම්වල මෙම රටවල ජීවන තත්ත්වයන් පාලනය කරන ලෙස යි. මෙහිදී, කොරෝනා වසංගතය හේතු කොට ඉදිරි පරම්පරාවන් කෙරෙහි ද පැතිරෙන බලපෑම  සැලකිල්ලට නොගැනේ.

එබැවින්, මූලික භාණ්ඩ හා සේවාවන්හි දැඩි හිඟය සහ රැකියා අවස්ථා අහිමි වීම තුළින් සමහර සංවර්ධනය වන රටවල බහුතර මහජන ජීවන තත්ත්වය මිරිකී ගොස් ඇත. එහෙත්, සංවර්ධිත රටවල රජයන් විසින් අදාළ ආර්ථික විද්‍යා මූලධර්මයන් සහ මැසිවිලි නොතකා ආර්ථිකයන් සහ ජීවන මට්ටම් නැවත ගොඩ නැගීම සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති තමන්ට රිසි ලෙස ප්‍රසාරණය කෙරෙන බව දැකිය හැකිය.

ඇමෙරිකානු රජය උදාහරණයක් ලෙස දැක්වීම

  • රාජ්‍ය මූල්‍ය උත්තේජනය

ජනාධිපති ජෝ බයිඩන්ට හුදෙක් තම යෝජනාවක් අනුව ද්විපාර්ශික දේශපාලනික නායකයන්ගේ කැමැත්ත දිනා ගෙන ඩොලර් ට්‍රිලියන 1.2 ක පරම්පරාගත  යටිතල පහසුකම් වියදම් පනතක් 2021 නොවැම්බර් මස 15 දින නීතිගත කිරීමට හැකි විය. එසේම, එම සතියේම 19 වැනි දින තවත් ඩොලර් ට්‍රිලියන 1.75 ක සමාජ වියදම් පනතක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදි. මෙය කොරෝනා වසංගතය හේතු කොට ඇමෙරිකානු ආර්ථිකය, එනම් ව්‍යාපාරයන්, කුටුම්බයන් සහ ප්‍රාන්ත රජයන්, මුහුණ දෙන කම්කටොලු සහ අස්ථායීතාවයන්ට සහනය සැපයීම සඳහා 2020 මාර්තු මාසයේ සිට මෙතෙක් පාර්ලිමේන්තුව විසින් පනත් හතරක් හරහා අනුමත කොට ක්‍රියාත්මක කරන ලද ඩොලර් ට්‍රිලියන 5 ක් පමණ වූ රාජ්‍ය මූල්‍ය උත්තේජන වියදම්වලට අමතර වූ වියදම් දෙකකි.

මෙම සංදර්භය තුළ ඇමෙරිකානු රාජ්‍ය ණය තොගය 2019 වර්ෂය අවසානයේ පැවති ඩොලර් ට්‍රිලියන 27.6 සිට 2021 ඔක්තෝබර් මස වන විට ඩොලර් ට්‍රිලියන 28.4 දක්වා ඉහළ ගොස් ඇත. එය ඇමෙරිකානු ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස 2019 දී 107% සිට 2020 ජූලි වන විට 130% දක්වා ද, 2021 ඔක්තෝබර් මස වන විට 125% දක්වා ද, ඉහළ යාමකි. මෙය ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස 2019 දී 4.6% ක් ලෙස පැවති රාජ්‍ය අයවැය හිඟය 2020 දී 15% ක් ද, 2021 දී මෙතෙක් 12.4% ක් ද දක්වා ඉහළ යාමේ ප්‍රතිඵලයකි.

එබැවින්, මධ්‍යම රජයේ මුළු ණය ගැනීම ඒ සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත උපරිම සිමාව වූ ඩොලර් ට්‍රිලියන 28 ක ප්‍රමාණය ඉක්මවා යාම 2021 ඔක්තෝබර් මස මුල දී ආරම්භ විය. එබැවින්, 2011 වර්ෂයේ දී සිදු වූවාක් මෙන් ඇමෙරිකානු රජය අගුළු දැමීමකින් තොරව රාජ්‍ය වියදම් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා පාර්ලිමේන්තුව විසින් මෙම ණය සිමාව 2021දෙසැම්බර් අවසානය තෙක් අත්හිටුවන ලදි (2011 අප්‍රේල් මස මුල දී එවක පැවති ණය සීමාව වූ ඩොලර් ට්‍රිලියන 14.3 ඉක්මවා ණය ගැනීමට නොහැකි වීමෙන් ඇමෙරිකානු රජය දින 16 ක කාලයක් සඳහා අගුළු දැමීමට සිදු විය).

ඉහත දැක්වූ රාජ්‍ය මූල්‍ය ඉලක්කම් ඇමෙරිකාව වැනි රටක වුව ද ඓතිහාසික වශයෙන් විශාල ඒවා වෙයි. උදාහරණයක් ලෙස ඉහත දැක්වූ ඩොලර් ට්‍රිලියන 8 ක් පමණ වන මුළු රාජ්‍ය මූල්‍ය උත්තේජන පැකේජය ඇමෙරිකානු ජාතික ආදායම මෙන් 35% ක් පමණ වෙයි.

  • මූල්‍ය උත්තේජනය

මූල්‍ය ප්‍රතිපත්ති අංශය ගත් විට ඇමෙරිකානු මහ බැංකුව විසින් ඓතිහාසික මට්ටමක ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පවතී. එනම්, ශුන්‍යයට ආසන්න පොලී අනුපාතයන් සහ 2020 ආරම්භයේ සිට 2021 නොවැම්බර් මස ආරම්භ වන විට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 4.4 ක පමණ නව මුදල් මුද්‍රණය කිරීම යි. මෙම මුදල් මුද්‍රණය 1913 ඇමෙරිකානු මහ බැංකුව ආරම්භ කිරීමේ සිට 2019 වර්ෂය අවසානය දක්වා මුද්‍රණය කොට පැවති මුළු මුද්‍රිත මුදල් තොගය හා සැසඳීමේ දී 105% ක ඉහළ යාමකි. මෙම මුදල් මුද්‍රණ ප්‍රමාණය ද ඇමෙරිකාවේ ද.දේ.නි. මෙන් 19% ක පමණ වන අධික ප්‍රමාණයකි.

මෙම මූල්‍ය ප්‍රතිපත්තිය, පවතින රාජ්‍ය ණය තොගය සේවාකරණය සහ මහජන වියදම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අවශ්‍ය අරමුදල් අවශ්‍ය ප්‍රමාණයෙන් ඓතිහාසික පහළ පොලී අනුපාතයන් මත සපයා ගැනීමට මහඟු ලෙස උපකාරී වී ඇත. එබැවින්, මෙම මූල්‍ය ප්‍රතිපත්තිය MP3 ලෙස හැඳින් වෙන අතර එමගින් පහළ පොලී අනුපාතයන්, මුදල් මුද්‍රණය හෝ ප්‍රමාණාත්මක ලිහිල්කරණය සහ අයවැය හිඟ මූල්‍යකරණය යන උපාංග තුන විදහා දැක්වෙයි. එසේම, අර්බුදයට ලක්වූ සුළු හා මාධ්‍ය පරිමාණ සහ උගස් ණය වැනි ව්‍යාපාරික අංශයන් සඳහා විශේෂිත මහ බැංකු ණය ක්‍රමයන් රාශියක් ද ඉදිරිපත් කරන ලදි.

  • රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය උත්තේජනයන් පිළිබඳ විරුද්ධ මතධාරීන් සහ අන්තර් ප්‍රතිපත්ති ප්‍රතිඵලයන්

කොරෝනා වසංගතයට පෙර නූතන මූල්‍ය න්‍යාය වාදීන් විසින් ඩොලර් බිලියන 500 ක වැනි මුදලක් (වර්තමානයේ ඩොලර් ට්‍රිලියන ගණන් නව රාජ්‍ය වියදම් හ සැසඳීමේ දී ) නව මුදල් මැවීම/මුද්‍රණය හරහා අයවැය හිඟය පියවීම තුළින් පොදුජන ව්‍යාපෘති සඳහා වැය කරන ලෙස අදහස් දක්වන ලදි. එහි අරමුණ වූයේ පොදු යටිතල පහසුකම් සහ විරැකියා ප්‍රතිලාභ සැපයීම හරහා ආර්ථිකයේ නව ඉල්ලුමක් ජනිත කිරීම සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ දැමීම මගින් සේවා නියුක්තිය, ආදායම සහ පොදුජන ජීවන මට්ටම් ඉහළ දැමීම යි.

එම අවස්ථාවේ දී පවා මූල්‍ය වාදීන් ප්‍රමුඛ ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් එම නව ආර්ථික සංකල්පයට විරුද්ධව අවඥා සහගතව අදහස් ප්‍රකාශ කරන ලදි. එනම්, සමාහාර ඉල්ලුම-සැපයුම සමතුලිතය පිළිබඳ සම්මතවාදී සාර්ව ආර්ථික විද්‍යා මුලධර්මයේ පුරෝකථනයට අනුව නව රාජ්‍ය වියදම් හරහා සමාහාර ඉල්ලුම ඉහළ යාම තුළින් ආර්ථිකයේ අධි උද්ධමනයක් හට ගත හැකි බවට මැසිවිලි ඉදිරිපත් කිරීම යි. ඔවුන්ගේ පිළි ගැනීම වන්නේ උද්ධමනය යනු සැම තැනම සැම විටම මූල්‍ය සංසිද්ධියක් බව යි. එනම්, ආර්ථිකයකයේ මූර්ත ද.දේ.නි. යට වඩා වැඩි වේගයකින් සංසරණය වන මුදල් තොගය ඉහළ යාමේ ප්‍රතිඵලයක් බව යි.

පසුගිය මාස කිහිපය තුළ ඇමෙරිකාවේ පාරිභෝගික මිල දර්ශකය ඉහළ යාමේ වර්ධනය අනුව ගණනය කෙරෙන උද්ධමන පීඩනය, මූල්‍ය ප්‍රතිපත්තියේ ඉලක්ක උද්ධමනය වන 2% ක දිගු කාලීන සාමාන්‍ය අනුපාතය ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. එනම්, උද්ධමනය 2021 ජනවාරි මස 1.4% සිට ඔක්තෝබර් මස 6.2% දක්වා ඉහළ ගොස් ඇත. සමහර ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් දක්වන්නේ, ඇමෙරිකානු ආර්ථිකය නැවත 1970 ගණන්වල අත්දකින ලද උද්ධමනකාරී පසුබෑමේ තත්ත්වය වෙත ක්‍රමයෙන් තල්ලු වන බව යි.

එබැවින්, මෙම උද්ධමන පීඩනය එය ආරම්භයේ දී ම වළක්වාලීම සඳහා වත්මන් මූල්‍ය උත්තේජන පැකේජයන් වහාම ඉවත් කර ගන්නා ලෙස ඔවුන් විසින් තරයේ ඉල්ලා සිටී. ඊට හේතුව ලෙස, මිල-වැටුප් දගරය තුළින් වට කිහිපයක් හරහා අධි උද්ධමනකාරී තත්ත්වයක් හට ගැනීමේ දැඩි අවදානමක් පවතින බව දැක්වෙයි. මෙය මූල්‍ය වාදීන්ගේ සාමාන්‍ය ප්‍රතිචාරය යි. ඕනෑම ආර්ථික කම්පනයකින් මිල ගණන් ඉහළ යාමේ අවදානමක් හට ගන්නා විට ඔවුන්ගේ විශ්වාසය වන්නේ එය උද්ධමනකාරී පීඩනයක ආරම්භය බවත්, එය වැලැක්වීම සඳහා ආර්ථිකයේ සමාහාර ඉල්ලුම සංකෝචනය කිරීම පිණිස මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු (පොලී අනුපාතයන් ඉහළ දැමීම සහ ණය ප්‍රසාරණය සිමා කිරීම) බවත් ය.

එහෙත්, විවිධ විග්‍රහයන් සහ සංකල්පීය අදහස් හැර ගෝලීය ආර්ථිකයට සම්බන්ධිත වර්තමාන ආර්ථික ක්‍රියාශීලිත්වය තුළ උද්ධමන පීඩනය හෝ උද්ධමනකාරී ආර්ථික පසුබෑමක් ඇති වීමට බලපාන ලද සැබෑ හේතූන් පිළිබඳ ව කිසිම එකඟතාවයක් ඔවුන් අතර නොමැත. තවද, රාජ්‍ය මූල්‍ය හෝ මූල්‍ය ප්‍රසාරණයේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය හට ගන්නවා ද? සහ ආර්ථිකයකට යෝග්‍ය වන රාජ්‍ය මූල්‍ය හෝ මූල්‍ය පරිමාව කුමක් ද? යන්න තවම ආර්ථිකය පර්යේෂණ මගින් සනාථ කොට නොමැත.

  • රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිචාරය

එහෙත්, මීට ප්‍රතිවිරුද්ධව පසුගිය සතියේ දී ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ඩොලර් ට්‍රිලියන 2.95 ක පමණ තවත් වටයක ඉදිරි වර්ෂ කිහිපයක් සඳහා වූ රාජ්‍ය මූල්‍ය වියදම් පැකේජයක් නීතිගත කරන ලදි. එය වත්මන් අයවැය හිඟයට අමතරව 2020 වර්ෂය ආරම්භයේ සිට කිසිවෙකු නොදත් ඓතිහාසික ගෝලීය කොරෝනා වසංගතයේ බලපෑමෙන් හට ගෙන ඇති සමාජ ආර්ථික කඩා වැටීමට පිළියම් කිරීම සඳහා හුදෙක් රජයට ඇති වගකීම මත ගන්නා ප්‍රතිපත්තිමය කාර්යයකි.

එබැවින්, ඇමෙරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ප්‍රධාන ආර්ථික විද්‍යා ධාරා උද්ධමන සංකල්පයට වඩා ආර්ථිකය සහ සමාජය කොරෝනා වසංගතයෙන් ගොඩ ගැනීමේ හදිසි අවශ්‍යතාවය විශ්වාස කරන බව හෝ අධි උද්ධමන මතය විශ්වාස නොකරනු ලබන බව හෝ පෙනී යයි. තවද, මෙතරම් ඓතිහාසික ප්‍රමාණයකින් මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම සහ රජය විසින් රාජ්‍ය මූල්‍ය වියදම් සහ ණය ගැනීම හරහා වසංගතය සම්බන්ධ සමාජ ආර්ථික ගැටළු සහ අවදානම් සමනය කිරීම පිණිස ව්‍යාපාරයන්ට සහ කුටුම්බයන්ට උත්තේජන පහසුකම් ලබා දීම සිදු කළ ද, වසංගතයෙන් නැවත ගොඩ ඒමේ ක්‍රියාවලිය කල්ගත වීම ද එම නව වියදම් සඳහා හේතුවක් විය හැකිය. රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති හරහා ප්‍රමාණවත් ලෙස මූල්‍ය සම්පත් සැපයීමකින් තොරව ආර්ථිකයකට මෙවැනි බිහිසුණු වසංගතයකින් ගොඩ ගොඩ ඒමට නොහැකි බව සාමාන්‍ය දැනුම යි. ඊට හේතුව, ආර්ථිකයක මූල්‍ය සහ ණය ව්‍යාප්තිය රජයේ දැඩි පාලනයට යටත් බැවිනි.

එසේම, ඇමෙරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය උත්තේජනයන් කිසිම නූතන මූල්‍ය න්‍යායකට අදාළ නොකරන අතර ඔවුන් විසින් හුදෙක් ආර්ථිකය සහ සමාජය හැකි ඉක්මනින් වසංගතයෙන් ගොඩ ගෙන ස්ථායීකරණය කිරීම සඳහා ඔවුන් වෙත ඇති මහජන කාර්යභාරය සහ වගකීම අනුව ක්‍රියා කිරීම දැකිය හැකිය.

නූතන මූල්‍ය න්‍යාය සංකල්පය

  • නූතන මූල්‍ය න්‍යාය ප්‍රධාන කුළුණු කිහිපයක් මත ගොඩ නැගී ඇත.

පළමුව, කුටුම්බයන් සහ ව්‍යාපාරික ආයතන මෙන් නොව, රජයකට තම ක්‍රියාකාරකම් මූල්‍යකරණය සඳහා බදු අය කිරීමේ සහ මුදල් මුද්‍රණය හෝ ජනිත කිරීමේ බලය ලැබී ඇත. එබැවින්, තම වියදම් පියවීමට බදු ආදායම ප්‍රමාණවත් නොවන විට, එම අයවැය හිඟය පියවීම සඳහා මුදල් මුද්‍රණය යොමු කළ හැකිය. මෙහි අදහස වනුයේ දේශීය මුදල් නිකුත් කිරීම සහ වියදම කිරීම යි. ඊට හේතුව, රටේ ගනුදෙනු සඳහා නෛතික මුදල් නිකුත් කරන ඒකාධිකාරය රජය වන බැවිනි. එය මහ බැංකුව වෙත පවරා පැවතිය ද, මහ බැකුව රාජ්‍ය බැංකුවකි.

දෙවනුව, ආයෝජනය සඳහා පෞද්ගලික අංශයට ඇති ඉතාමත් ආරක්‍ෂිත මූල්‍ය වත්කම වනුයේ රාජ්‍ය ණය යි. මූල්‍ය ප්‍රතිපත්තිය හෝ මුදල් මුද්‍රණය ද ප්‍රධාන වශයෙන් රාජ්‍ය ණය ප්‍රදානය/මිල දී ගැනීම මත ක්‍රියාත්මක කෙරේ. එබැවින්,  අයවැය හිඟයන් හරහා කෙරෙන වියදම් මූල්‍යකරණය සඳහා හොඳ ණය වෙළෙඳපොළක් රජය වෙත පවතී. එසේම, පෞද්ගලික අංශයේ ඉතුරුම්වලින් කොටසක් ආරක්‍ෂිත වත්කම් කළඹක ආයෝජනය කිරීමට හැකි වන පරිදි ප්‍රමාණවත් රාජ්‍ය ණය තොගයක් ආර්ථිකයට සැපයීමට රජයකට සිදු වෙයි.

තෙවනුව, විදේශ විනිමය වෙළෙඳපොළෙහි දේශීය මුදලේ වටිනාකම හෙවත් විනිමය අනුපාතය නිදහසේ තීරණය විය යුතුය.  එනම්, නම්‍ය හෝ පාවෙන විනිමය අනුපාත ක්‍රමවේදය යි. එබැවින්, රජය විසින් වගකීම් විරහිත ලෙස වියදම් සහ මුදල් මුද්‍රණයක් කරන විට, ඊට එරෙහි ආරක්ෂකයකු ලෙස විනිමය අනුපාතය ක්‍රියා කරනු ඇත. එබැවින්, විනිමය අනුපාතයේ වෙනස්වීම් අනුව ආර්ථිකයේ අනෙක් වෙළෙඳපොළවල් ද වෙනස් වනු ඇත. ඇමෙරිකානු රජය හෝ මහ බැංකුව විසින් ඩොලරයේ විදේශ වටිනාකම කෙරෙහි මැදිහත් නොවන අතර අනෙක් වෙළෙඳපොළවල් ද බොහෝ නම්‍ය තත්ත්වයන් මත ක්‍රියා කෙරේ.

  • නූතන මූල්‍ය න්‍යායයෙන් කෙරෙන ප්‍රධාන නිර්දේශය

ඒ අනුව, ආර්ථිකයක නිෂ්පාදන ධාරිතාවය සහ සමාජ ස්ථායීතාවය ඉහළ නැංවීම කෙරෙහි රාජ්‍ය වියදම්වල ඇති ඉහළ කාර්යභාරය නූතන මූල්‍ය න්‍යාය වාදීන් විසින් පිළි ගැනේ. ආර්ථිකයක වර්ධනය සහ පොදුජන ජීවන තත්ත්වය එහි නිෂ්පාදන ධාරිතාවය සහ සමාජ ස්ථායීතාවය මත රඳා පවතී (නුතන මූල්‍ය න්‍යාය පිළිබඳ වූ විශේෂ ලිපියක් මෙම වෙබ් අඩවියෙහි පළ කොට ඇත).

එබැවින්, ඔවුන්ගේ නිර්දේශය වනුයේ ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවෙන බවට අපේක්ෂා කෙරේ නම්, රජයට අනාගත උද්ධමනය ගැන බිය නොවී මුදල් මුද්‍රණය හරහා මහා පරිමාණයේ යටිතල පහසුකම් සහ සමාජ ආරක්ෂණ (රැකියා තහවුරුව ඇතුළු) වියදම් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව යි. සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වන රටවල ද රාජ්‍ය වියදම් තුළින් ඇති කෙරෙන සමස්ත නිෂ්පාදන ධාරිතා වර්ධනය පිළිබඳ ව ඕනෑම කෙනෙකු දන්නා කරුණකි.

තවද, උද්ධමනය අහිතකර ලෙස ඉහළ යන විට බදු ඉහළ දැමීම තුළින් පෞද්ගලික අංශයේ වියදම පහළ හෙළා උද්ධමනය ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බවට ද නූතන මූල්‍ය න්‍යාය වාදීන් විසින් නිර්දේශ කෙරේ. එබැවින්, උද්ධමන පාලනය ද රාජ්‍ය මූල්‍ය ක්‍රියාවක් ලෙස පිළි ගැනේ.

එබැවින්, ඔවුන් ප්‍රකාශ කරන්නේ රජය විසින් තම බැකු ගිණුම්වල අරමුදල් පවතී ද? යන්න පිළිබඳ ව කණස්සළු නොවී, චෙක්පත් නිකුත් කිරීම මගින් වියදම් කළ යුතු බව යි.  ඊට හේතුව, රජය යනු ආරක්ෂිතම විශාලම බැංකු ගනුදෙනුකරු වන බැවින් බැංකු විසින් රාජ්‍ය ගිණුම්වල මුදල් නොමැති නම් රජයේ ගිණුමට ක්ෂණික ණය ප්‍රදානය මගින් එම චෙක්පත් සඳහා මුදල් ගෙවන බව යි. එය රාජ්‍ය බැංකුවල (මහ බැංකුව ඇතුළු) කාර්යභාරය යි. එමගින්, රාජ්‍ය දේශීය මුදල් ණය පැහැර හැරීමේ අවදානමක් රට තුළ හට නොගනී. මෙහි අදහස වනුයේ පළමුව වියදම් කිරීමටත්, දෙවනුව අරමුදල් සෙවීමටත්/රැස් කිරීමටත් හැකියාව රජයට පවතින බව යි.

නූතන ලෝකය පුරා රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් ඇත්ත වශයෙන් සිදු වන්නේ මෙලෙස ය. ඇමෙරිකානු රජය විසින් වර්ෂය අවසාන භාගයේ දී සාමාන්‍යයෙන් රාජ්‍ය ණය සිමාව දීර්ඝ කිරීම හෝ අත්හිටුවීම සිදු කිරීම සහ සංවර්ධනය වන රටවල් විසින් වර්ෂය මැද අතිරේක ප්‍රතිපාදන ගිණුම් නීතිගත කිරීම මගින් කෙරෙන්නේ ද එසේ රාජ්‍ය වියදම් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ය. ඒ හැර, රාජ්‍ය වියදම්වල සාර්ව ආර්ථික බලපෑම සාමාන්‍ය සාර්ව ආර්ථික මුලධර්මය වන නිෂ්පාදනය, ආදායම සහ සේවා නියුක්තිය පිළිබඳ ගුණක ක්‍රියාවලිය මත තීරණය වෙයි. එබැවින්, නූතන මූල්‍ය න්‍යාය යනු හුදෙක් න්‍යායයක් නොවන අතර රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් පිළිබඳ ව දැනටම පවතින ක්‍රමවේදය මත පදනම් වී කෙරෙන ප්‍රයෝගික යෝජනාවක් ලෙස හැඳින්විය හැකිය.

  • නූතන මූල්‍ය න්‍යායට විරුද්ධ වාදීන්

ඔවුන්ගේ හඩ නැගීම සම්භාව්‍ය සාර්ව ආර්ථික සංදර්භය තුළ කෙරෙන බව දැකිය හැකිය.

පළමුව, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය අහිමි වී යාම.

දෙවනුව, රාජ්‍ය මූල්‍ය වියදම් මූල්‍යකරණය ඉලක්කගත මුදල් මුද්‍රණය/ප්‍රසාරණය හේතු කොට නුදුරු කාලයේ දී උද්ධමනය හෝ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම. මෙය නිෂ්පාදනය ඉහළ යාමේ වේගයට වඩා වැඩි වේගයකින් සංසරණය වන මුදල් ප්‍රමණය ඉහළ යාම හේතු කොට සිදු වන බව දැක්වෙයි. මෙහි අදහස වන්නේ ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය ඉහළ යන විට භාණ්ඩ හා සේවා වටිනාකමට සාපේක්ෂව මුදල් ලාභ වන බව යි. එබැවින්, එකම භාණ්ඩ හා සේවා පැස මිල දී ගැනීම සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. මෙම තත්ත්වය උද්ධමනය ලෙස හැඳින් වෙන අතර මූල්‍ය වාදීන්ගේ පළමු සම්ප්‍රදායික ප්‍රතිචාරය මෙය වෙයි. ඔවුන් විසින් උද්ධමනකාරී පීඩනයේ ආදීනව දැක්වීම සඳහා අතීතයේ අධි උද්ධමනකාරී තත්වයන් වාර්තා වූ රටවල් උදාහරණ ලෙස ගෙන හැර දැක්වෙයි. එනම්, අතීත ජර්මනිය සහ සිම්බාබ්වේ සහ වර්තමාන වෙනිසියුලාව යි. එහෙත්, එම රටවල එවක පැවති අර්බුදකාරී පාලනයන් තුළින් එම ආර්ථිකයන්ගේ සැපයුම් අංශය කඩා වැටීම සහ එය අධි උද්ධමනයට හේතු වූ ආකාරය ඔවුන් විසින් ඉදිරිපත් නොකෙරේ.

තෙවනුව, උද්ධමනය ඉහළ ගිය ද, රාජ්‍ය මූල්‍ය සහ මුදල් මුද්‍රණ/ප්‍රසාරණ දගරයෙන් ඉවත් වීම දේශපාලනික වශයෙන් අපහසු වීම හේතු කොට ආර්ථිකය අධි උද්ධමනකාරී තත්ත්වයට තල්ලු වීම.

සංවර්ධනය වන රටවලට රාජ්‍ය මූල්‍ය උත්තේජනයන් අහිමි ඇයිඒ සඳහා කුමක් කළ යුතු ද?

නූතන මූල්‍ය න්‍යාය කෙරෙහි විරුද්ධ වාදීන්ගේ තර්කය වන්නේ සංවර්ධිත රටවල මුදල් ගෝලීය සංචිත මුදල් බැවින්  එම රටවල නූතන මූල්‍ය න්‍යාය මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය වියදම් ක්‍රියාත්මක කල හැකි බව යි. ඊට හේතුව, රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණය හේතු කොට ඉහළ යන ආනයන හෝ ගෙවුම් ශේෂ හිඟයන් පියවීම සඳහා එම දේශීය මුදල් මගින් විදේශයන්ට ගෙවීම් කළ හැකි බැවිනි. එහෙත්, සංවර්ධනය වන රටවලට මෙය කළ නොහැකිය. ඊට හේතුව, එසේ ඉහළ යන ආනයන හෝ ගෙවුම් ශේෂ හිඟයන් පියවීම කළ යුත්තේ දැනටම හිඟව පවතින විදේශ මුදල් සංචිත භාවිතා කිරීමෙන් බැවිනි. ඒ සඳහා දේශීය මුදල් භාවිතා කළ නොහැකි වන්නේ එම මුදල් විදේශිකයන් විසින් ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සඳහා පිළි නොගැනීම යි.

  • ගෙවුම් ශේෂ සහ විදේශ මුදල් හිඟ ප්‍රශ්නය

එබැවින්, ආර්ථිකයේ විදේශ මුදල් අංශය ස්ථායීකරණය සඳහා මෙම රටවල රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණය දැඩිව පාලනය කිරීමට සිදු වෙයි.  එසේම, ඉහළ යන වෙළෙඳ හිඟය සහ හීනවන විදේශ මුදල් සංචිතය විදේශ ණය ගැනීම හරහා මූල්‍යකරණය කෙරේ නම්, ඉහළ යන විදේශ ණය තොගය හේතු කොට විදේශ ණය සේවාකරණ ගැටළු හට ගන්නා අතර එමගින් ණය සේවාකරණ ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇතුළු සාර්ව ආර්ථික අවදානම් රැසක් ඇති කෙරේ. මෙය බොහෝ සංවර්ධනය වන රටවල් මුහුණ දෙන තත්ත්වය යි.

එහෙත්, එමගින් සාර්ව ආර්ථික මුලධර්මයන් සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වන රටවල් අතර වෙනස් වන බව අදහස් නොවේ. සංවර්ධිත හෝ සංවර්ධනය වන හෝ ඕනෑම රටක අධි රාජ්‍ය මූල්‍ය වියදම් සහ මුදල් මුද්‍රණයක්/ප්‍රසාරණයක් පවතී නම්, ඒ හේතු කොට හට ගන්නා ආනයන පරිමාවේ ඉහළ යාම තුළින් ගෙවුම් ශේෂය පිරිහී එම රටේ මුදල අවප්‍රමාණයට ලක් වෙයි. එය ආර්ථිකය කෙරෙහි තවත් බලපෑම් ජාලයක් ඇති කෙරේ. විනිමය අනුපාතය තීරණය වන ආකාරය සහ එමගින් ඇති කෙරෙන ආර්ථික බලපෑම පිළිබඳ ව ආර්ථික විද්‍යා මුලධර්මයන් පවතී. මෙහිදී, ස්ථාවර, නම්‍ය/පාවෙන සහ පාලිත පාවෙන ලෙස විදේශ මුදල් වෙළෙඳපොළ ක්‍රමය සහ භාණ්ඩ හා සේවා සහ සාධක වෙළෙඳපොළවල නම්‍යශීලීභාවය අනුව එම බලපෑම වෙනස් වෙයි.

එබැවින්, රටවල් අතර රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණ හැකියාවේ වෙනස හට ගන්නේ එම රටවල රජයන් විසින් වෙළෙඳපොළ පද්ධතිය පාලනය කිරීමේ මට්ටම්වල වෙනස මත ය. උදාහරණ ලෙස බොහෝ සංවර්ධනය වන රටවල විදේශ මුදල් සංචිතය සහ විනිමය පාලනයන් හරහා විනිමය අනුපාතය ඉතා අධි අගයක පාලනය කෙරෙන බැවින් රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණය හේතු කොට තවදුරටත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් හට ගැනීම සහ විදේශ මුදල් සංචිතය පිරිහී යාම සිදු වෙයි.

එබැවින්, විනිමය අනුපාත අධි අගය සහ විදේශ මුදල් සංචිතය පවත්වා ගැනීම පිණිස අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සඳහා විදේශ මුදල් ණය ගැනීමට රජයට සිදු වෙයි. එබැවින්, විනිමය අනුපාත අධි අගය පවත්වා ගැනේ නම්, රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණය, ගෙවුම් ශේෂය පිරිහීම, විදේශ මුදල් සංචිතය පිරිහීම සහ විදේශ ණය ප්‍රසාරණය එකට බැදි දගරයක් ලෙස පවතී. රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණ ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ දී බොහෝ සංවර්ධනය වන රටවල් විසින් මුහුණ දෙන ව්‍යුහාත්මක බාධකය වී ඇත්තේ මෙම ගෙවුම් ශේෂ/විදේශ මුදල් හිඟ ප්‍රශ්නය යි.

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම්

එබැවින්, බොහෝ සංවර්ධනය වන රටවල් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් පැකේජයන් නිරන්තරයෙන් භාවිතා කිරීම තුළින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් කළමනාකරණය කොට ආර්ථිකය ස්ථායී කර ගැනීම ගෝලීය ආර්ථික ලක්ෂණයක් වී ඇත. උදාහරණ ලෙස ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගෙන ඇති විදේශ මුදල්/ගෙවුම් ශේෂ අර්බුදයන් පාලනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2020 ආරම්භයේ සිට මේ දක්වා රටවල් 87 කට ඩොලර් බිලියන 118 ක පමණ මූල්‍ය පහසුකම් සපයා ඇත. එසේම, මෙම වර්ෂය මැද දී නව අරමුදල් සලාකයක් නිකුත් කිරීම තුළින් ඩොලර් බිලියන 650 ක පමණ ද්‍රවශීල අරමුදල් තොගයක් තම සාමාජික රටවලට බෙදා දී ඇත. එය ද, කොරෝනා ආර්ථික පසුබෑම නිරාකරණය කර ගැනීම සඳහා සංවර්ධනය වන රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අරමුදල් සපයා ගැනීමට  උපකාරී වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ දී ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් හට ගැනීමට මුල් වන ආර්ථික දුර්වලතාවන් ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ද කොන්දේසි වශයෙන් එම රටවලට නියම කෙරේ. ඒවා කාල නියමයන් සහිතව සාකච්ඡා හරහා එකඟ වනු ඇත. මෙම කොන්දේසි එම රටවල සාර්ව ආර්ථික කළමනාකරණ විනය ප්‍රවර්ධනයට මහත් ලෙස දායක වනු ඇත. උදාහරණ ලෙස මෑත දී පාකිස්ථානය ලබා ගත් ණය පහසුකම (ඩොලර් බිලියන 6 ක පමණ ) සඳහා පනවන ලද කොන්දේසියක් වූයේ මහ බැංකුවෙන් ණය ගැනීම සහ මහ බැංකුවේ ලාභය රජයට සංක්‍රාම කිරීම අත්හිටු වීම යි. ඊට හේතුව, මුදල් මුද්‍රණය හරහා අධික ලෙස රජය විසින් ණය ගැනීම උග්‍ර සාර්ව ආර්ථික ප්‍රශ්නයක් වී ඇති බැවිනි.

එසේ ණය ගැනීම ව්‍යවස්ථානුකූල බැවින් ජාතික ආදායමින් 2% ක් දක්වා මහ බැංකුවෙන් ණය ගැනීමට පාකිස්ථාන රජය අවසර පැතුව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊට විරුද්ධ විය. එබැවින්, පාකිස්ථාන රජය විසින් නීති සංශෝධනය හරහා එම කොන්දේසිය ඉටු කිරීමට එකඟ වී ඇත. රජය විසින් වෙළෙඳපොළ හරහා තිරසාර ණය කළමනාකරණයක් කිරීම පිළිබඳ ව ජාත්‍යන්තර අරමුදල විරුද්ධ නොවේ. එසේම, මහ බැංකුව විසින් ද්විතීය වෙළෙඳපොළ තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය අනුව රාජ්‍ය ණය සුරැකුම්පත් වෙළෙඳාම පිළිබඳ ව ද ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැත.

  • නම්‍යශීලී වෙළෙඳපොළ පද්ධතියක අවශ්‍යතාවය

එහෙත්, සංවර්ධිත රටවල මෙන් සංවර්ධනය වන රටවල ද විදේශ විනිමය වෙළෙඳපොළේ දේශීය මුදලේ අගය අවප්‍රමාණය වීමට හෝ නිදහසේ තීරණය වීමටත්, ශ්‍රම සහ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළවල් ඒ අනුව වෙනස් වීමටත් ඉඩකඩ ලබා දුන හොත්, මෙම රටවල ද මැදි හා දිගු කාලීන සාර්ව ආර්ථික අරමුණු අරඹයා නූතන මූල්‍ය න්‍යාය මාදිලියේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ බොහෝ අවකාශය ලැබෙනු ඇත. එහෙත්, එහි සාර්ව ආර්ථික ප්‍රතිඵලයන් නිවැරදි ලෙස පුරෝකතනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැත. උදාහරණ ලෙස දේශීය මුදල් අති විශාල ලෙස අවප්‍රමාණය වුව හොත්, දේශීය නිෂ්පාදනය සහ වියදම් ව්‍යුහය විවිධ මූලයන් හරහා දිගු කාලීන ආර්ථිකයට හිතකර ලෙස ප්‍රතිචාර දැක්විය හැකිය. මේ පිළිබඳ ව වෙළෙඳපොළ ආර්ථික මුලධර්මයන් ඉතා පැහැදිලි ය.

සංවර්ධිත රටවල මුදල් ගෝලීය සංචිත මුදල් වුව ද, අධි රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණයක් කෙරෙන අවස්ථාවල එම රටවල ද මෙය සිදු වෙයි. උදාහරණයක් ලෙස ඇමෙරිකාව ගත් විට, එහි අතිරික්ත ඩොලර් මුදල් සැපයුම කොටසක් ආනයන වියදම සහ විදේශ ආයෝජන හරහා සංවර්ධනය වන රටවලට ගලා යනු  ඇත. එම ඩොලර් මුදල් නැවත සංවර්ධනය වන රටවල් විසින් ඇමෙරිකානු භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා යෙදීමෙන් ඇමෙරිකානු ආර්ථිකයේ සමාහාර ඉල්ලුම සහ උද්ධමනය ඉහළ යාමට බලපානු ඇත. එසේම, ඩොලර් ලැබීම් හරහා සංවර්ධනය වන රටවල ඉහළ යන විදේශ මුදල් සංචිතයන් නැවත රාජ්‍ය සුරැකුම්පත් වැනි ආයෝජනයන් සඳහා ඇමෙරිකාවට ගලා යනු ඇත. එමගින්, ඇමෙරිකාවේ වත්කම් මිල උද්ධමනය ඉහළ ගොස් එය තවදුරටත් ඇමෙරිකාවේ සමාහාර ඉල්ලුම සහ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට හේතු වනු ඇත. එහෙත්, මෙවැනි වෙනස්වීම් තවත් ආර්ථික සාධක රාශියක් මත රඳා පවතිනු ඇත.

එබැවින්, උද්ධමනය යනු රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණයේ ක්ෂණික ප්‍රතිඵලයක් නම්, එය සංවර්ධිත රටවලට ද පොදු කාරණයකි. එහෙත්, පසුගිය දශක තුන තුළ සංවර්ධිත රටවල් එම රටවල සාමාන්‍ය හිතකර උද්ධමන ඉලක්කය ලෙස සැලකෙන 2% ට වඩා විශාල වශයෙන් අපගමනය වූ උද්ධමන පීඩනයකට මුහුණ දී නොමැත. විශේෂයෙන් 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පසුගිය දශකය තුළ මෙම රටවල් විසින් අධි රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණයක් කළ ද, උද්ධමනය 2% මට්ටමට ඉහළ ගියේ නැත. එසේම, ජපානයේ මහ බැංකුව විසින් උද්ධමනය 2% දක්වා ඉහළ දැමීම පිණිස අධි මුදල් මුද්‍රණයක් සිදු කළ ද,  ජපානය මේ දක්වා පසුගිය දශක තුන තුළ අවධමන පීඩනයකට මුහුණ දෙමින් පසු වෙයි.

  • සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමයක අවශ්‍යතාවය

ඉහත කෙටි ඉදිරිපත් කිරීම තුළින් රටවල උද්ධමනය හෝ වෙනත් සාර්ව ආර්ථික ප්‍රතිඵලයන් හෝ වෙනස්වීම් වෙළෙඳපොළ ක්‍රියාශීලිත්වය සහ රාජ්‍ය ප්‍රතිපත්ති මැදිහත් වීම්වල ප්‍රතිඵලයක් බව විදහා දැක්වෙයි. බොහෝ සංවර්ධනය වන රටවලට ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යා මූලධර්මයන් අදාළ නොවන බව පෙනෙන්නේ එම ආර්ථික විද්‍යා මූලධර්මයන් තුළ සංවර්ධනය වන රටවල් ආවරණය නොවීම නොව, එම රටවල වෙළෙඳපොළ පද්ධතිය පුරා පැතිරී පවතින බාධකයන් හේතුවෙනි. මෙම බාධකයන් විශේෂයෙන් අධික රාජ්‍ය ප්‍රතිපත්ති මැදිහත් වීම් හේතු කොට පවතී.

එබැවින්, මෙම රටවලට කඩිනමින් අවශ්‍ය වන්නේ දැනට පවතින අති නිලධාරි වාදී සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමය වෙනුවට මනා සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමයකි. මෙහෙයවුම් ක්‍රමයක් යනු ආර්ථිකය පුරා ව්‍යාප්ත වූ ඒකාබද්ධ පාලන පද්ධතියකි. එහි ආර්ථිකයේ සහ ජන සමාජයේ දිගු කාලීන දැක්ම සහ ඉලක්ක සමඟ බද්ධ වන ආයනත, සම්පත්, සාර්ව ආර්ථික සහ සමාජීය මුලධර්ම, විධාන/කොන්දේසි, කාර්යසාධනය සහ වගවීම වැනි ඒකාබද්ධ ක්‍රියාකාරී ක්‍රමවේදයක් අනතර් ගත වෙයි.

  • සාර්ව ආර්ථික කළමනාකරණ  ක්‍රමයන්ගේ අයෝග්‍යතාවය

හෙත්, සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමය යනු හප්පා පලා යන මෝටර් රථ රියදුරකු වැනිය. මෙහිදී, විවිධ රාජ්‍ය ආයතනයන් විසින් තම තමන්ගේ විශේෂිත අරමුණු සඳහා ආර්ථිකයේ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් හෝ වෙළෙඳපොළවල යම් යම් ලක්ෂ්‍යයන් තාවකාලික හෝ අවිධිමත් ලෙස නිසි සම්බන්ධීකරණයක් නොමැතිව පාලනය කිරීම හෝ පාලනයන් ඉවත් කිරීම දැකිය හැකිය. එය සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය සහ පොදුජන ජීවන මට්ටම පිළිබඳ පොදු යොමුවක් නොමැතිව කෙටි කාලීන පදනමක් මත සිදු වෙයි.

ඊට හොඳම උදාහරණය වන්නේ කොරෝනා වසංගතය තුළින් හට ගෙන ඇති ආර්ථික පසුබෑම, සැපයුම් අවහිරතාවන්, විදේශ මුදල් හිඟය සහ භාණ්ඩ හා සේවා හිඟයට පිළියම් ලෙස සමහර සංවර්ධනය වන රටවල ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ක්‍රියාත්මක කෙරෙන අක්‍රමවත් පාලනයන් සහ ඒ මගින් හට ගෙන ඇති දැඩි ආර්ථික සහ සමාජ අස්ථායීතාවයන් ය. එබැවින්, වත්මන් මාදිලියේ සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමයන් යනු මහජනතාව අතර දැඩි ආර්ථික විෂමතාවයන් ඇති කෙරෙන සාර්ව ආර්ථික අස්ථායීකරන හෝ විෂමාචාර ක්‍රමයන් ලෙස දැක්විය හැකිය.

ආර්ථික ප්‍රතිලාභයන් ව්‍යාපාරිකයන්ගේ සිට පහළට ව්‍යාප්ත වන බවට විශ්වාස කෙරෙන ආර්ථික සංකල්පය ඇමෙරිකාවට තවදුරටත් යෝග්‍ය නොවන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ නව පුරුද්දක් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙතින් දැකිය හැක්කේ එබැවිනි. ඒ අනුව, ඔහුගේ නව ආර්ථික ප්‍රතිපත්ති ධාවකය පහළ ආදායම් කාණ්ඩය ඉහළට එසවීමත්, මැදි ආදායම් කාණ්ඩය පුළුල් කිරීමත් කෙරෙහි යොමු වී ඇත. ආර්ථික ප්‍රතිලාභයන් ඉහළ සිට පහළට ව්‍යාප්ත වීමේ සංකල්පය යනු ධනවාදය ලෙස හැඳින්වෙන වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය යි.

පසුගිය සතියේ අනුමත කරන ලද ඩොලර් ට්‍රිලියන 2.95 ක්  වන රාජ්‍ය මූල්‍ය වියදම් පනත් දෙක මෙම අරමුණ සඳහා ජනාධිපති ජෝ බයිඩන් විසින් භාවිතා කෙරෙන ප්‍රධාන මෙවලම් දෙකකි. එය ඔහු විසින් බලයට පත් වීමෙන් පසු මෙම වර්ෂයේ පෙබරවාරි මස ක්‍රියාත්මක කරන ලද ඩොලර් ට්‍රිලියන 1.9 ක් වූ ඔහුගේ පළමු රාජ්‍ය මූල්‍ය උත්තේජන පනතට අමතර වෙයි.

  • සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමය තුළ ඇමෙරිකානු මහ බැංකු සභාපති සහ උප සභාපති පත් කිරීම

ජෝ බයිඩන් විසින් ඇමෙරිකානු මහ බැංකුවේ වත්මන් සභාපති ජෙරෝමි පවල් මහතා තවත් වසර 4 ක් වන දෙවැනි සේවා කාලයක් සඳහාත්, වත්මන් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ලේල් බ්රෙනාර්ඩ් මහත්මිය මූල්‍ය ප්‍රතිපත්තිය භාර උප සභාපති ලෙසත් පසුගිය 22 වැනි දින පත් කරනු ලැබුවේ, ආර්ථිකයේ වර්ධනය කෙරෙහි ඔවුන් විසින් දක්වන අවධානයත්, මේ දක්වා ඔවුන් විසින් ජාතික ආර්ථිකයට සපයා ඇති ඉහළ දායකත්වයත් සැලකිල්ලට ගෙන ය. උදාහරණ ලෙස කොරෝනා වසංගතය හට ගත් විගස 2020 මාර්තු සහ අප්‍රේල් මාස දෙක තුළ පමණක් මහ බැංකුව විසින් විශාල පරාසයක මූල්‍ය ලිහිල්කරණ ප්‍රතිපත්ති 30 ක් පමණ ක්‍රියාත්මක කරන ලද අතර ඉහත දැක්වූ පරිදි 2021 නොවැම්බර් මාසය ආරම්භ වන විට ආර්ථිකයේ ණය සහ අරමුදල් සැපයුම ඉහළ දැමීම සඳහා ඩොලර් ට්‍රිලියන 4.4 ක පමණ නව මුදල් ප්‍රමාණයක් නිකුත් කොට තිබිණ. එසේම, එම කාර්යසාධනය තවදුරටත් ජෝ බයිඩන්ගේ සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා ද අවශ්‍ය වනු ඇත. ඊට හේතුව, වත්මන් ආර්ථික පසුබෑම මැඩලා ඇමෙරිකානු ආර්ථිකය වේගයෙන් ගොඩ ගැනීම මෙන්ම ගෝලීය දේශගුණය වෙනස්වීමේ අවදානම් පාලනය සඳහා මහ බැංකුවේ මූල්‍ය පාලන සහ මූල්‍ය නියාමන ප්‍රතිපත්තිය තීරණාත්මක ආධාරකයක් වන බැවිනි.

ජෝ බයිඩන් විසින් නව රජයේ දේශපාලනික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මහ බැංකුව පාලනය කිරීම පිණිස තම දේශපාලනික කණ්ඩායමෙන් සාමාජිකයන් මහ බැංකුවට පත් කළේ නැත. ඔහුට අවශ්‍ය වී නම් මෑත දී වාර්තා වූ මහ බැංකු ඉහළ නිලධාරීන්ගේ මූල්‍ය වෙළෙඳපොළ ආයෝජනයන්වල පැවති ළබැඳියා ගැටුම වැලැක්වීමට නොහැකි වීම ගැන චෝදනා කොට ඔවුන් දෙදෙනාගේ සේවා කාලය දීර්ඝ නොකළ හැකිව තිබිණ. ජෝ බයිඩන්ගේ පක්ෂය නියෝජනය කෙරෙන සෙනෙට් සභිකයකු විසින් එවැනි උත්සාහයක් කරන ලදි. එනම්, ජෙරෝමි පවල් යනු බැංකු පද්ධතිය අධීක්ෂණය කිරීමට ඉතාමත් භයානක පුද්ගලයකු බැවින් ඔහු නැවත මහ බැංකු සභාපති ලෙස පත් කිරීම පිළිබඳ ව තමන් විරුද්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදි. එහෙත්, ඇමෙරිකානු රාජ්‍ය පාලන/මෙහෙයවුම් තන්ත්‍රය යනු දේශපාලනික අරමුණු පතා එහි ඉහළ නිලධාරින් විසින් රාජ්‍ය සේවයට දක්වා ඇති මහඟු දායකත්වය ද නොසලකා ඔවුන් විනාශ කිරීමට තරම් නරක පාලන තන්ත්‍රයක් නොවේ.

පවල් සහ බ්රෙනාර්ඩ් යන දෙදෙනාම ජාතික මහජන සේවයට කැප වූ කාර්යසාධනය තහවුරු කොට ඇති විෂය විද්වතුන් දෙදෙනෙකු වන අතර ඕනෑම රජයකට අවශ්‍ය වන්නේ එය යි. මොවුන් දෙදෙනා තෝරා පත් කිරීමෙන් පසු ජාතිය අමතා කළ කතාවේ දී ජෝ බයිඩන් විසින් ඔවුන් දෙදෙනාගේ මෙහෙයවීම යටතේ ඇමෙරිකානු මහ බැංකුවේ සිදු වී ඇති සැලකිය යුතු කාර්යසාධන ප්‍රගතිය දක්වා, ඔවුන් දෙදෙනා වෙත ප්‍රසංශා කරන ලදි. මීට ප්‍රතිචාර ලෙස වියතුන් දැක්වුයේ ජනාධිපති විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති ස්වාධීනත්වය සහ අඛණ්ඩතාවය සහතික කළ බවත්, එය මෙම වසංගත සමයේ විශේෂයෙන් අවශ්‍ය බවත් ය.

  • ඇමෙරිකානු මහ බැංකු සභාපති ජෙරෝමි පවල් ගේ විද්වත් පසුබිම

එසේම, ජෙරෝමි පවල් 2018 දී මහ බැංකු සභාපති ලෙස පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් වන අතර ජෙරෝමි පවල් ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ තරගකාරී රිපබ්ලිකන් පාක්ෂිකයකු වන බැවින් ඔහු විශ්‍රාම යැවීමට ඕනෑ තරම් දේශපාලනික සාධක පැවතින. තවද, උප සභාපති ලෙස පත් කරන ලද බ්රෙනාර්ඩ් මහත්මිය ඩිමොක්‍රටික් පාක්ෂිකාවක් වූ වන අතර ඇය මහ බැංකු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස පත් කරනු ලැබුවේ ජෝ බයිඩන් උප ජනාධිපති ලෙස ක්‍රියා කළ ඩිමොක්‍රටික් ජනාධිපති බැරක් ඔබාමා විසින් 2014 වර්ෂයේ දී ය. එබැවින්, බොහෝ දෙනා විසින් මත ප්‍රකාශ කරනු ලැබුවේ ජෝ බයිඩන් විසින් ජෙරෝමි පවල්ට සේවා දිගුවක් නොදී, මහ බැංකු සභාපති පදවියට බ්රෙනාර්ඩ් මහත්මිය පත් කරනු ඇති බව යි. එහෙත්, ඒ සඳහා අභ්‍යන්තර දේශපාලනික ශීතල යුද්ධයක් වාර්තා නොවීය.

තවද, ජෙරෝමි පවල් 2012 දී මහ බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද්දේ ද ජනාධිපති බැරක් ඔබාමා විසිනි. තවද, ජෙරෝමි පවල් 2018 දී මහ බැංකු සභාපති ලෙස පත් කරනු ලැබූවේ, එවක සභාපතිනිය ලෙස සේවය කළ ජැනට් යෙලන්ගේ සේවා කාලය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිගු නොකිරීමෙනි. ඇය නව ජනාධිපති ජෝ බයිඩන් රජයේ ඉහළම තනතුර වන භාණ්ඩාගාර ලේකම් පදවියට පත් වී ඇති අතර ජෙරෝමි පවල් නැවතත් සභාපති ලෙස පත් කිරීමට ඇයගේ නොමද සහයෝගය ලබා දුන් බව වාර්තා විය. එසේම, එම දෙදෙනා ඉතා සහයෝගයෙන් මෙම ඉහළම රාජ්‍ය නිල දෙකේ සේවය ආර්ථිකයට ලබා දෙන බව දැකිය හැකිය.

ජෙරෝමි පවල් ඉතාමත් සරල, නිරහංකාර, ප්‍රයෝගික සහ සත්‍යවාදී පුද්ගලයකු බව ඔහුගේ ක්‍රියාකලාපය සහ මාධ්‍ය සාකච්ඡාවල දී මනාව පැහැදිලි වෙයි. ඔහුගේ අදහස් දැක්වීම ඉතා සරල භාෂාවෙන් සත්‍ය වාදීව කරන බව දැකිය හැකිය. එසේම, ඇමෙරිකානු රජයේ ප්‍රතිපත්ති පිළිබඳ ව ඔහු විසින් කිසිම සඳහනක් නොකරන අතර පාර්ලිමේන්තුව විසින් මහ බැංකුව වෙත පවරා ඇති වගකීම් ඉටු කිරීම සඳහා ස්වාධීනව ක්‍රියා කරන බව පැහැදිලිය. 2007/09 මූල්‍ය අර්බුදයෙන් ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා 2007 සිට දශකයක කාලයක් අනුගමනය කළ ඓතිහාසික අති ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ඉදිරියේ ඇති විය හැකි උද්ධමන පීඩනය වැලැක්වීමේ අරමුණින් 2017 සහ 2018 වර්ෂවල පොලී අනුපාතය අඛණ්ඩව 8 වරක් තුළ 2% කින් (0.50% සිට 2.50% දක්වා) ඉහළ දැමීම තුළින් දැඩි කළ අතර, එමගින් ඇමෙරිකාවේ මෙන්ම ගෝලීය ආර්ථිකය කෙරෙහි අනපේක්ෂිත කම්පනයක් ඇති විය.

එයට උරණ වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරෝමි පවල් ප්‍රසිද්ධියේ නිර්දය ලෙස විවේචනය කොට ඔහු මහ බැංකු සභාපති තනතුරින් ඉවත් කිරීමට නීති අවකාශයන් පවතී ද? යන්න විමර්ශනය කරන ලදි. එම දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය එම වකවානුවේ යෝග්‍ය නොවූ බව පසුව පෙනී ගිය බැවින්, නැවත එය වේගයෙන් ලිහිල් කරන ලදි. එහෙත්, ගෝලීය කොරෝනා වසංගත රැල්ල ආරම්භයේ දී ම ජෙරෝමි පවල් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති පැකේජය පිළිබඳ ඉතා පැහැදුන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු වෙත බොහෝ ප්‍රසංශා පුද කරන ලදි.

එබැවින්, ඔහු විසින් ඉතා ස්වාධීනව සහ නිහතමානීව තම මහජන සේවය ඉටු කරන බව ප්‍රචලිතය. එසේම, ඉහත දැක්වූ පොලී අනුපාතය ඉහළ දැමීමේ ප්‍රතිපත්තිය අත්වැරැද්දක් බවත්, එම වැරැද්ද මෙවර සිදු වීමට ඉඩ නොතබන බවත් ජෙරෝමි පවල් විසින් මෑත දී ප්‍රකාශ කරන ලදි.

ජෙරෝමි පවල් නීති සහ පළපුරුදු ආයෝජන බැංකු වෘත්තිකයෙකි. එබැවින්, ඔහු සතු නෛතික, ආර්ථික සහ මූල්‍ය දැනුම මහ බැංකුව මෙහෙය වීමට ඉතා උපකාරී වී ඇත. එබැවින්, ඔහුට ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යා උපධියක් නොමැති වීමේ අඩුවක් දැකිය නොහැකිය.

  • සංවර්ධනය වන රටවල රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය අවකාශය කප්පාදු කිරීමේ ප්‍රවණතාවය සහ එහි ආදීනව

එහෙත්, බොහෝ සංවර්ධනය වන රටවල් විසින් ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස් අනුව තම රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය අවකාශය කප්පාදු කිරීමට පෙළඹී ඇති බව පෙනේ. ඊට හේතුව, ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යා මූලධර්මයන් මෙම රටවලට නොගැලපෙන බවට ඇති විශ්වාසය යි. එසේම, මෙම රටවල් තවමත් ගෝලීය කොරෝනා ආර්ථික පසුබෑම තුළ උග්‍ර ආර්ථික ප්‍රශ්නයන්ට මුහුණ දෙමින් පවතී. එබැවින්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආර්ථික විද්‍යාඥයන් යන දෙපිරිසම ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යා මූලධර්මයන්ගේ ස්වභාවය සහ ඒවා ගොඩ නගා ඇති උපකල්පනයන් මෙන්ම, එම මූලධර්මයන් සංවර්ධනය වන රටවල යොදා ගැනීම වැලැක්වෙන වත්මන් විෂමාචාර සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමයන් අවබෝධ කර ගැනීමට අසමත් වී ඇත. නූතන මූල්‍ය න්‍යාය වැනි නව ප්‍රයෝගික අදහස් ඉදිරිපත් කෙරෙන විට ඔවුන් විසින් සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වන රටවල් අතර වෙන් කිරීමක් කෙරෙන්නේ එබැවිනි.

එබැවින්, වත්මන් ගෝලීය කොරෝනා වසංගතය යනු සංවර්ධනය වන රටවල මහජන වගකීමක් සහිත ගෝලීය ආර්ථිකයට අනුගත වූ නව සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමයන් හඳුන්වා දීමට සියවසරකට පමණක් ලැබෙන මහඟු උත්ප්‍රේරකයක් ලෙස සැලකිය හැකිය. එය රාජ්‍ය මූල්‍ය සහ මුල්‍ය උත්තේජන පැකේජයන් හරහා වත්මන් කොරෝනා වසංගතයෙන් ඉක්මනින් ගොඩ ඒමට මෙන්ම පොදුජන ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා නව සංවර්ධන ධාවකයක් ක්‍රියාත්මක කිරීමට ද මහත් උපකාරයක් වනු ඇත. එසේ නොවුව හොත්, බොහෝ සංවර්ධනය වන රටවලට අඩුම වශයෙන් ඉදිරි දශකයක පමණ කාලයක් මෙම වසංගතය සමඟ පොරබදන්නට සිදු වනු ඇත. එමගින්, බොහෝ ජනයා සහ පවුල් නැවත නිරපේක්ෂ දරිද්‍රතාවයට ඇද දමනු ඇත.


පී සමරසිරි
හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි