බැංකු වංචා වැලැක්වීමේ වගකීම කා සතු ද? කළමනාකරණය ද? අධීක්ෂණය ද?

 

ලිපියේ පසුබිම සහ අරමුණ 

පසුගිය දින කිහිපයක සිට ශ්‍රී ලංකාවේ බැංකුවක සිදු වී ඇති මහා පරිමාණ මුදල් වංචාවක් හෝ සොරකමක් පිළිබඳ ව පුවත්වලින් මාධ්‍යය පිරී ගොස් ඇත. එහෙත්, එම පුවත් සහ විශ්ලේෂණයන්, ඒවා රචනා කරන අයගේ සතුට සඳහා මිස බැංකු සමඟ ගනුදෙනු කරන මහජනයාට කිසි ප්‍රයෝජනයක් නොමැත. ඊට හේතුව, එම පුවත්වල අඩංගු සංඛ්‍යාවන් සහ තාක්ෂණික වචනවල ඇති සංකීර්ණ භාවය යි.

  • එසේම, මෙවැනි බැංකු වංචාවන් පිළිබඳ ව සමාන පුවත් කලින් කලට පැතිරීම ගෝලීය බැංකු ඉතිහාසයේ සාමාන්‍ය සිද්ධියකි. කෙටි කලකින් ඒවා අමතක වනු ඇත. 

  • ඒ පිළිබඳව ඉතාම මෑතක වාර්තා වූ පුවත වන්නේ, 2023 මාර්තු මස 10 දින ඇමෙරිකාවේ 16 වැනි විශාලතම බැංකුව වූ සිලිකන් වැලී බැංකුව වංචාකාරී මුදල් සහ ව්‍යාපාරික කළමනාකරණය හේතු කොට, මහ බැංකුව සහ තැන්පතු රක්ෂණ ආයතනය ඇතුළු සියළු බැංකු නියාමකයන් නොදැනුවත්ව හදිසියේ බිඳ වැටීම යි.

  • මෙවැනි අර්බුදයක් වාර්තා වූ පසු, ඊට වගකිව යුතු බවට නොයෙක් පාර්ශවයන්ට චෝදනාවන් එල්ල වී, එය දේශපාලන වේදිකාවට ද පිවිසීම පොදු සිද්ධියකි. එසේම, සිදුවීම පිළිබඳ ව විවිධාකාරයේ පරීක්ෂණ, විමර්ශන සහ විගණන පුවත්වලින් ද මාධ්‍යය පිරී යනු ඇත.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ගෝලීය බැංකු විෂය තුළ බැංකු ව්‍යාපාර ගනුදෙනුවල දී වංචා සිදු වන ව්‍යාපාරික පරිසරය සහ බැංකු වංචා වැලැක්වීමේ වගකිව යුත්තන් පිළිබඳ ව මා සතු බැංකු දැනුම අනුව කෙටි සටහනක් තැබීම යි. එහෙත්, මෙම ලිපිය තුළ ඉහත දැක්වූ ශ්‍රී ලංකාවේ බැංකු වංචාව හෝ වෙනත් විශේෂිත බැංකු වංචාවන් හෝ පිළිබඳ ව කිසිම විශ්ලේෂණයක් හෝ අදහසක් අඩංගු නොවේ.

මෙහි දී, බැංකු වංචා ලෙස බාහිර පුද්ගලයන් හෝ බැංකු සේවකයන් විසින් බැංකුවේ මුදල් සොරා ගැනීම, අභ්‍යන්තර බැංකු ප්‍රතිපත්තිවලට පිටින් කෙරෙන ව්‍යාපාරික ගනුදෙනු සහ බැංකු නීතිවලට පිටින් කෙරෙන වංචාකාරී ව්‍යාපාරික ගනුදෙනු යනාදිය සැලකේ. බැංකු ව්‍යාපාරික වංචාවන් බොහෝ විට ව්‍යාපාර නවීකරණ මුවාවෙන් සිදු වන අතර ඊට උපකාරී වන ලෙස අභ්‍යන්තර මෙහෙයවුම් ප්‍රතිපත්ති මග හැරීම සඳහා කළමනාකරණ ආශීර්වාදය අප්‍රකටව ලැබීම ද දැකිය හැකිය. බොහෝ රාජ්‍ය ආයතනවලින් වාර්තා වන වංචාවන් ද එවැනි විවිධාකාර නවීකරණයන් ආශ්‍රිත සිදුවීම් ලෙස හුවා දැක්වෙයි.

බැංකුවල ජාතික ආර්ථික වැදගත්කම සහ බැංකු නියාමනය

රාජ්‍ය මුදල් ක්‍රමයන් ආරම්භයේ සිට බැංකු ව්‍යාපාරය රජයේ දැඩි නියාමනය සහ ආරක්ෂාව යටතේ විකාශය වී ඇත. ඊට හේතුව, ආර්ථිකයේ මුදල් නිෂ්පාදනය, බෙදා හැරීම සහ ගනුදෙනු කිරීම බැංකු ව්‍යාපාරය හරහා සිදු වීම යි. එබැවින්, ලෝකය පුරා රජයන්  විසින් විවිධාකාර නීති හරහා බැංකු ව්‍යාපාරික බලපත්‍ර නිකුත් කිරීම, ආර්ථික අවශ්‍යතාවලට යෝග්‍ය ලෙස අධීක්ෂණය සහ නියාමනය කිරීම සහ බැංකු ගනුදෙනු කරුවන් ආරක්ෂා කිරීමේ නියැලීම සිදු වෙයි. 

බැංකු කෙරෙහි මහජන විශ්වාසය ගොඩ නැගීමේ සහ පවත්වා ගැනීමේ එකම වාහකය මෙම රාජ්‍ය බැංකු ප්‍රතිපත්තිය යි. එබැවින්, මෙවැනි කලින් කලට වාර්තා වන බැංකු වංචාවන් පිළිබඳ ව මහජනයා කලබල නොවුව ද, බැංකු සහ මූල්‍ය පද්ධති අර්බුදයන් පතිත වීමේ අවස්ථාවන් හෝ අවදානම් ද පවතී. ගෝලීය බැංකු ඉතිහාසය දෙස බලන විට, එවැනි පද්ධති අර්බුදයන් නිරාකරණය ද රජයන් විසින් සිදු කොට, මහජන විශ්වාසය නැවත ගොඩ නැගීම සාමාන්‍ය සිද්ධියකි. ඊට හේතුව, රජයන් විසින් තම මුදල් ක්‍රමයන් පවත්වා ගැනීමේ වාහකය ලෙස බැංකු ආරක්ෂා කිරීම යි.

ශ්‍රී ලංකාවේ නිල බැංකු ක්‍රමය සහ අධීක්ෂණයේ ආරම්භය

ශ්‍රී ලංකා මුදල් ක්‍රමයේ කොටසක් ලෙස බැංකු නිල වශයෙන් පිළි ගැනීමත්, මුදල් ක්‍රමය සංවර්ධනය සහ ස්ථායිකරණය කිරීම සඳහා බැංකු අධීක්ෂණය සහ නියාමනයත්, ආරම්භ වූයේ 1949 මුදල් නීති පනත මගිනි. ඒ අනුව, ආර්ථිකයේ සංවර්ධනයට සහ ස්ථායිතාවයට අවශ්‍ය මුදල් සහ ණය ගනුදෙනු ආශ්‍රිත රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු භාවිතා කිරීමත්, ඊට උපකාරී ලෙස බැංකු අධීක්ෂණය සහ නියාමනය කිරීමත් සඳහා පුළුල් ප්‍රතිපාදනයන් මුදල් නීති පනතෙහි අඩංගු විය. විශේෂ බැංකු පනතක් 1988 දී සම්මත වුව ද, එම මුදල් නීති ප්‍රතිපාදනයන් 2023 සැප්තැම්බර් 14 දින මුදල් නීති පනත අහෝසි කරන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක විය.

මුදල් නීති පනතට බැංකු අධීක්ෂණය අඩංගු කිරීමේ පරමාර්ථය වූයේ, ආර්ථිකය, මුදල් සහ බැංකු ක්‍රමයේ යහපත තකා බැංකු වංචා වැලැක්වීම යි. ඒ සඳහා බලය ලත් ව්‍යවස්ථාපිත අධිකාරිය ලෙස ස්වාධීන බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක සහ දෙපාර්තමේන්තුව මුදල් නීති පනත මගින් ස්ථාපිත කරන ලදි. බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකගේ වාර්තා මත බැංකු නියාමනය කිරීමේ අති විශේෂ බලතල මුදල් මණ්ඩලයට ද පැවරින. මුදල් නීති පනත කෙටුම්පත් කල ජෝන් එක්ස්ටර්ගේ වාර්තාවෙහි බැංකු යනු රටෙහි ආර්ථික සංවර්ධනයට සහ පොදුජන සුබසාදනයට අසාමාන්‍ය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් බවත්, එබැවින්, බැංකු අධික්ෂණයේ කාර්යය ලෙස දුෂිත බැංකු කළමනාකරණය, බැංකු බිඳ වැටීම් සහ බැංකු ක්‍රමය කෙරෙහි විශ්වාසය පළිදුවීම වැලැක්වීම බවත් දක්වා ඇත.

"Supervision of banks by the central bank or some other supervisory authority has proved in the experience of many countries to be an important means of contributing to the soundness of the banking system. Banking is an economic activity which affects the public welfare to an unusual degree; it touches in one way or another almost every phase of a country's economic life. Sound banking is essential to healthy and vigorous economic development. Supervision of banks helps to protect the public against mismanagement, bank failures and loss of confidence in the banking system. It helps to protect depositors stock-holders against loss and frequently enables bank directors and officers to manage the affairs of their banks more wisely and intelligently."

බැංකු යනු ලාභය පතා මුදල් නිෂ්පාදනය සහ ගනුදෙනු කිරීමේ ව්‍යාපාරයක නිරත වන සමාගම් බැවින් සෑම බැංකු අර්බුදයක්ම දුෂිත මුදල් කළමනාකරණයේ ප්‍රතිඵලයකි. එබැවින්, බැංකු අධීක්ෂණය යනු හුදෙක් දුෂිත බැංකු කළමනාකරණය වැලැක්වීමේ එකම මෙවලම යි. එය බැංකු වෙන වෙනම ගෙන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියකි. 

2023 වසරේ දී IMF ආර්ථික ප්‍රතිසංස්කරණ කොන්දේසි මත මුදල් නීති පනත සහ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක තනතුර අහෝසි කොට, ලෝකයේ අසාර්ථක වී ඇති සාර්ව විචක්ෂණ හෝ බැංකු පද්ධති ස්ථායිතා මතවාදය නීතිගත කරන තෙක්, ශ්‍රී ලංකාවේ බැංකු අධීක්ෂණ සහ නියාමන ක්‍රමවේදය විකාශය වූයේ, ඉහත දැක්වූ මුදල් නීති පනතේ මූල ධර්මයන් මත ය. 

උදාහරණ ලෙස බැංකුවල විචක්ෂණ ව්‍යාපාරික කළමනාකරණය කෙරෙහි බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය නීතියෙන් වගකිව යුතු වන මූල ධර්මයන් සහ නියමයන් සහිත ව මහ බැංකුව විසින් 2007 දෙසැම්බර් 26 දින ප්‍රථම වරට නිකුත් කළ සහ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද අනුමත කළ බැංකු ආයතනික පාලන රෙගුලාසියෙහි (Directions-Corporate Governance for Licensed Commercial Banks in Sri Lanka), එහි පදනම ලෙස ඉහත දැක්වූ ජෝන් එක්ස්ටර්ගේ මතය ද සඳහන් කරන ලදි.

නූතන බැංකු ව්‍යාපාරික කළමනාකරණ ව්‍යුහය සහ මිථ්‍යා මතවාදය

බැංකු යනු තැන්පත් කරුවන්ගෙන් මුදල් රැස් කොට, එම මුදල් ණය සහ ආයෝජනවල යෙදීමෙන් ලාභ ලබන ව්‍යාපාරයන් බවත්, එබැවින්, තැන්පත් කරුවන්ගේ මුදල් ආරක්ෂා කෙරෙන පරිදි බැංකු කළමනාකරණය සිදු කළ යුතු බවත්, බැංකු අධික්ෂණයේ ඒකායන අරමුණ ද තැන්පතු කරුවන් ආරක්ෂා කිරීම බවත් දැක්වෙන මතවාදයක් හරහා බැංකු ව්‍යාපාරය ගොඩ නැගී ඇත. එහෙත්, මෙය මිථ්‍යා මතවාදයක් බව බැංකුවල ව්‍යාපාරික කටයුතු ව්‍යුහය දෙස බැලීමෙන් පැහැදිළි වෙයි.

බැංකු ක්‍රියාත්මක වන්නේ, නිල හෝ රාජ්‍ය මුදල් ක්‍රමය තුළ රාජ්‍ය මුදල් මත ය. එබැවින්, රාජ්‍ය මුදල්වලට ආදේශක වූ ඉලක්කම් මුදල් නිෂ්පාදනය හෝ මැවීමේ හැකියාව බැංකුවලට පවතී. ඒ සඳහා බැංකු මුහුණ දෙන රාජ්‍ය මුදල් හිඟයන් පියවීම රජයේ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය නියෝජිතයා වශයෙන් මහ බැංකුව විසින් සිදු කෙරේ. එබැවින්, කොටස් හිමියන් විසින් සපයන ප්‍රාග්ධනය මගින් බැංකුවක් ස්ථාපිත කොට, රාජ්‍ය ණය සුරැකුම්පත්වල මුදල් ආයෝජනයක් සිදු කළ පසු, කිසිම අතිරේක මුදලක් නොමැතිව පවතින මුදල් ක්‍රමය තුළ මුදල් මැවීමේ සහ ගනුදෙනු කිරීමේ හැකියාව බැංකු වෙත පවතී. 

ඊට හේතුව, බාහිරින් රැස් කර ගත් මුදල් නොමැතිව හුදු ගිණුම් සටහන් මගින් ණය දීම හරහා මුදල් ලෙස සැලකෙන් තැන්පතු මැවීමේ හැකියාව ලැබෙන මුදල් වෙළෙඳපොළ පද්ධතියක සහයෝගය බැංකුවලට ලැබීම යි. ඊට ප්‍රධාන වශයෙන් මහ බැංකුව, අන්තර් බැංකු ණය වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ ඇතුළු අයවැය ක්‍රියාකාරකම් ඇතුළත් වෙයි. එබැවින්, බැංකු තැන්පතු යනු බැංකු ණය සහ රාජ්‍ය වියදම් තුළින් ජනිත වන ද්විතීය මුදල් නිපැයුමකි. එසේ නැතිව, මහජනයා විසින් බාහිරව මුදල් නිෂ්පාදනය කොට බැංකුවල තැන්පත් කිරීමක් සිදු වී, එමගින් බැංකු විසින් ණය දීම සිදු නොවේ. එය ඉතා කෙටියෙන් පහත ලෙස පැහැදිළි කළ හැකිය.

  • පළමුව, බැංකුවක් ණයක් දීමේ දී එම මුදල් ප්‍රමාණය බැංකුවේ වත්කමක් ලෙසත්, ණයකරුගේ ගිණුමේ තැන්පතුවක් ලෙසත් සටහන් කෙරේ. මෙය ද්විත්ව සටහන් ගිණුම් ක්‍රමය යි. එබැවින්, ණය දීමේ දී බැංකුව සතුව මුදල් පැවතීම අවශ්‍ය නොවේ.

  • දෙවනුව, ණයකරු විසින් තම බැංකු ගිණුමේ ඇති මුදල් වෙනත් පාර්ශවයන්ට ගෙවීම සඳහා භාවිතා කෙරේ. නූතන බැංකු ක්‍රමය තුළ එම ගෙවීම් බැංකු ගිණුම් හරහා සිදු වෙයි. 

    • එම ගෙවිම්වලින් මෙම බැංකුවේ ගිණුම් හිමියන්ට මුදල් ලැබේ නම්, එය හුදෙක් ණය කරුගේ ගිණුමෙන් මුදල් අඩු කොට, මුදල් ලබන්නන්ගේ ගිණුම්වලට එකතු කිරීමකි. එනම්, බැංකුව තුළ ගිණුම් සටහන් මගින් මුදල් පියවීම යි. 

    • එහෙත්, එම ගෙවිම්වලින් වෙනත් බැංකුවල ගිණුම් හිමියන්ට ලැබෙන මුදල් පියවීම, මහ බැංකුවේ ඇති බැංකු සංචිත ගිණුම් ශේෂ හරහා සිදු වෙයි. එම ගෙවුම් සඳහා ප්‍රමාණවත් සංචිත මුදල් ශේෂයක් මහ බැංකු ගිණුමේ නැති විට, බැංකුවට අන්තර් බැංකු වෙළෙඳපොළෙන් හෝ රාජ්‍ය සුරැකුම්පත් ඇපයට තබා මහ බැංකුවෙන් හෝ ණයක් ගැනීමෙන් එය එය පියවිය හැකිය. අතිරික්ත සංචිත ඇති විට, කිසිම අවදානමක් නොමැතිව මහ බැංකුවේ තැන්පත් කොට දෛනික පොලියක් ලැබිය හැකිය.

  • තෙවනුව, මෙම බැංකුව විසින් ණය දීමේ දී, ඊට සමාන්තරව බැංකු පද්ධතිය තුළ නව තැන්පතු ප්‍රමාණයක් බිහි වී ඇත. මේවා හුදෙක් කාසි හා නෝට්ටු ලෙස නොව, ගිණුම් ඉලක්කම් මුදල් ලෙස ගනුදෙනු වෙයි. එබැවින්, බැංකු විසින් සිදු කරන තැන්පතු භාර ගැනීමේ ව්‍යාපාරය යනු හුදෙක් ණය ප්‍රදානය සඳහා මහජනයාගෙන් අරමුදල් රැස් කිරීමක් නොව, ඊට බාහිර වෙනත් මූල්‍ය සේවයකි. එසේම, බැංකු ණය ප්‍රදානයට රාජ්‍ය සුරැකුම්පත් වැනි ආයෝජනයන් ද ඇතුළත් වෙයි. මෙහි දී, තැන්පතු යනු බැංකු විසින් ලබා ගන්නා ණය මුදල්වල කොටසකි. ඊට හේතුව, තැන්පතු මුදල් ද ගිවිසුම් පරිදි ආපසු ගෙවිය යුතු බැවිනි. එබැවින්, තැන්පතු ලෙස විශේෂ මුදල් මෙවලමක් ගිණුම්වල සටහන් කිරීමේ විශේෂ වැදගත් කමක් නොමැත. 
ඒ අනුව, බැංකු පද්ධතියයේ වගකීම් වන තැන්පතු ඇතුළු ණය ගැනීම යනු බැංකු විසින් ණය දීමේ දී මවන ලද මුදල් ය. ඒවා මහජනයා විසින් මුදල් හෝ මුදල් වත්කම් ලෙස පිළි ගැනීමට හේතුව, එම මුදල් ඕනෑම අවස්ථාවක රාජ්‍ය මුදල් වන කාසි සහ නෝට්ටුවලට පරිවර්තනය කළ හැකි බවට ඇති විශ්වාසය යි. එය, නිල මුදල් ක්‍රමය මගින් ජනිත කොට ඇති විශ්වාසයක් මිස, ඒ ඒ බැංකුවල ව්‍යාපාරික කටයුතුවලින් ජනිත කොට ඇති විශ්වාසයක් නොවේ. බැංකු විසින් සපයන විවිධාකාර වෙළෙඳ, ගෙවුම් සහ ආයෝජන සේවාවන් යනු බැංකු විසින් ණය දීමේ සහ ණය ගැනීමේ සේවාවන් හේතුවෙන් ලැබී ඇති ව්‍යාපාරික අවස්ථාවන් ය.

එහෙත්, බැංකුවල ණය දීම මත පදනම් වූ මුදල් මැවීමේ සැබෑ ව්‍යාපාරික ක්‍රියාකාරකම් ව්‍යුහය නොතකා, ගණකාධිකරණ මූල ධර්මයන් සහ තොරතුරු තාක්ෂණය මත පදනම් වූ බැංකු ව්‍යාපාර කළමනාකරණ ක්‍රමවේදයක් මෑත දී විකාශය වී ඇත. එහි මූලික ලක්ෂණ කිහිපයකි.

  • පළමුව, බැංකු විසින් මෙම සියළු ව්‍යාපාරික කටයුතු වාර්තාකරණය සිදු කරන්නේ ගිණුම් ප්‍රමිතීන් හරහා ය. එම තොරතුරු බැංකු විසින් ප්‍රසිද්ධ කරන ශේෂ පත්‍රය, ආදායම් සහ වියදම් ප්‍රකාශනය (ලාභය), මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ කොටස් ප්‍රාග්ධනය වෙනස් වීමේ ප්‍රකාශනය වැනි මූල්‍ය ප්‍රකාශනයන්හි ඇතුළත් වෙයි. ඒ අනුව, බැංකු විසින් තම ව්‍යාපාරික කළමනාකරණයේ කාර්යසාදනය සහ දක්ෂතාවය, එම මූල්‍ය ප්‍රකාශනයන්හි ඇතුළත් ගණකාධිකරණ සංකල්පයන් මත පදනම් වූ විවිධාකාර ඉලක්කම් මගින් ප්‍රසිද්ධ කිරීම දැකිය හැකිය.

  • දෙවනුව, එම ඉලක්කම් අතර ප්‍රාග්ධන අනුපාතය, ද්‍රවශීලතාවය, ද්‍රවශීල වත්කම් අනුපාතය, කල් පසු වූ හෝ අක්‍රමවත් ණය ප්‍රතිශතය, ණය-තැන්පතු අනුපාතය, තැන්පතු සහ ණය පරිණත කාල අසමතාවය, පොලී ආන්තිකය, වත්කම් මත ලාභ අනුපාතය, කොටස් ප්‍රාග්ධනය මත ලාභ අනුපාතය, වත්කම් සහ තැන්පතු වර්ධන ප්‍රතිශතයන් වැනි විවිධාකාර ඉලක්කම් දැකිය හැකිය. මෙම ඉලක්කම් හුදෙක් බැංකු මුහුණ දෙන අවදානම් සහ ඒවා දරා ගැනීමට ඇති හැකියාව විදහා දැක්වීම සඳහා අර්ථ කථනය කෙරේ. එබැවින්, බැංකු ව්‍යාපාරික කළමනාකරණ ක්‍රමවේදයන් හුදෙක් එම ඉලක්කම් ආශ්‍රිත ඉලක්කයන් සපුරා ගැනීම මත ක්‍රියාත්මක කෙරේ.

  • තෙවනුව, බැංකු ගනුදෙනු කිරීම, තොරතුරු වාර්තා කිරීම සහ තොරතුරු ඇගයීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් සීග්‍රයෙන් විකාශය වී ඇති අතර මෙහි නව ප්‍රවණතාවය වනුයේ කෘතීම බුද්ධියට ප්‍රමුඛත්වය දීම යි. එමගින්, බැංකු ව්‍යාපාරය කළමනාකරණය තුළ මානව මැදිහත් වීම අවම වී ඇති අතර එසේ බැංකු ව්‍යාපාරික ගනුදෙනු යාන්ත්‍රීකරණය වීමේ නව අවදානම් රැසක් ජනිත වී ඇත.   

සමස්තයක් ලෙස මෙම බැංකු ගිණුම් සහ තොරතුරු තාක්ෂණ කළමනාකරණ ව්‍යුහය තුළ, වංචා වැලැක්වීමට වඩා, වංචාකාරීව හෝ ගනුදෙනු කිරීම හරහා කාර්යසාදන ඉලක්කම් සපුරා ගැනීමට බැංකු කළමනාකරුවන් ක්‍රියා කරන බව බොහෝ මෑත කාලීන බැංකු අර්බුදවලින් සනාථ වෙන සාමාන්‍ය කරුනකි.

එබැවින්, එම ගිණුම් සහ තොරතුරු තාක්ෂණ කළමනාකරණ ව්‍යුහය බැංකු කෙරෙහි මහජන විශ්වාසය ගොඩ නැගීම සඳහා එතරම් ප්‍රයෝජනවත් නොවේ. එහෙත්, ඕනෑම බැංකු ප්‍රශ්නකාරී අවස්ථාවල බැංකුවල තැන්පතු ආරක්ෂාකාරීව පවතින බව බැංකු සහ අධීක්ෂණ ආයතන විසින් ප්‍රකාශ කිරීම පොදු සිද්ධියකි. 

එහෙත්, බැංකු යනු සියළු තැන්පතු ආපසු ගෙවීම සඳහා කාසි සහ නෝට්ටු ලෙස බැංකුවේ සේප්පුවල මුදල් තබා ගන්නා ව්‍යාපාරයක් නොවේ. එසේම, බැංකුවලට ලැබෙන බොහෝ තැන්පතු යනු කාසි සහ නෝට්ටු ලෙස ලැබෙන මුදල් නොව ඉලක්කම් මුදල් ය. එම තැන්පතුවල කාර්යය වනුයේ, බැංකුවේ ණය වත්කම් වටිනාකමට ගැලපෙන හෝ පියවෙන වගකීම් වටිනාකමක් ගිණුම්ගත කිරීම යි. එබැවින්, බැංකු විසින් එදිනෙදා තම ගනුදෙනු සඳහා කාසි සහ නෝට්ටු (රාජ්‍ය මුදල්) ලෙස තබා ගන්නා මුදල් ප්‍රමාණය ඉතා සුළු ප්‍රතිශතයකි. එබැවින්, ඊට වඩා වැඩි තැන්පතු ආපසු ගෙවීම කළ හැකි වන්නේ, බැංකුව සතු වත්කම් විකිණීමෙනි. එය එතරම් පහසු කාර්යයක් නොවේ. 

එබැවින්, සියළු තැන්පතු හිමියන් විසින් තම මුදල් ඉල්ලා සිටිය හොත් තැන්පතු ආපසු ගෙවීමට බැංකුවලට හැකියාවක් නොමැත. එවැනි බැංකු අර්බුද අවස්ථාවන් බැංකු චකිත ලෙස හැඳින් වෙයි. තැන්පතු හිමියන්ගේ ආරක්ෂාව පිළිබඳ ව නිරන්තරයෙන් කථා කරන්නේ, මෙවැනි බැංකු චකිත අවස්ථාවන් වැලැක්වීමේ අරමුණ සඳහා මිස, තැන්පතු මුදල් මත බැංකු ව්‍යාපාරය පවත්වා ගැනීම නිසා නොවේ.

නූතන බැංකු අධීක්ෂණ ව්‍යුහය ආශ්‍රිත මිථ්‍යා මතවාදය

බැංකු ව්‍යාපාරික කළමනාකරණ ඉතිහාසය දෙස බලන විට, මුල් කාලීන බැංකු කළමනාකරුවන් මෙන්ම බැංකු අධික්ෂකයන් ද විසින් තම කාර්යයන් යොමු කරනු ලැබුවේ, බැංකු වංචාවන් වැලැක්වීම සඳහා ය. එබැවින්, සේවකයන් බඳවා ගැනීමේ සිට ව්‍යාපාරික කටයුතු කිරීම දක්වා ප්‍රමුඛත්වය දෙනු ලැබුවේ, අභ්‍යන්තර පාලන පද්ධතිය ගොඩ නැගීමත්, බැංකුවට හිතෛෂී ලෙස එය පිළි පැදීමත්, එමගින්, දිගු කාලීන ගනුදෙනුකාර විශ්වාසයක් සහ සම්බන්ධතාවයන් ගොඩ නැගීමත් සඳහා ය. මෙය හුදෙක් ඇඩම් ස්මිත්ගේ ශ්‍රම විභජන සංකල්පය සූක්ෂමව භාවිතා කිරීම යි. එනම්, හැකි තරම් බැංකු ගනුදෙනු කොටස් කොට සේවකයන් යෙදවීමත්, එම කොටස් අතර අන්තර් පාලනයන් පැනවීමත් ය. 

එහෙත්, ඉහත දැක්වූ මූල්‍ය වාර්තා, ගිණුම් අනුපාතයන් සහ තොරතුරු තාක්ෂණය මත පදනම් වූ බැංකු ව්‍යාපාරික අවදානම් කළමනාකරණ මොඩලයන් විකාශය වීමට සමගාමීව බැංකු අධීක්ෂණ සම්මතයන් සහ ක්‍රමවේදයන් ද, බැංකුවල අතීත ගිණුම් ඉලක්කම් සහ දත්ත මත බැංකු අවදානම් කළමනාකරණ කාර්යසාදනය පරීක්ෂා කිරීම සඳහා විකාශය විය. 

  • උදාහරණ ලෙස බාසල් සම්මතයන් අනුව බැංකුවල අවම ප්‍රාග්ධන ප්‍රතිශතයන් නියම කිරීමත්, බැංකු විසින් එය නිවැරදිව ගණනය කෙරේ ද? යන්න පරීක්ෂා කිරීමත්, බැංකු අධික්ෂණයේ කොඳු නාරටිය විය. එහි මතවාදය වූයේ, එම ප්‍රාග්ධන සම්මතය යනු බැංකුවල අවදානම් කළමනාකරණ ක්‍රමවේදය බවත්, එම ප්‍රාග්ධන මට්ටම තුළින් දිගු කාලීන බැංකු ස්ථායිතාවය පවත්වා ගැනීමට හැකි බවත් ය. ද්‍රවශීලතාවය ද එවැනි ගිණුම් ප්‍රමිති සංකල්පයකි. 

  • ඊට අමතරව, ව්‍යාපාරික කටයුතුවලට ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් පිළිබඳ ව කෙරෙන අත්තනෝමතික උපකලපනයන් මත බැංකු ආතති පරීක්ෂාවන් ද කිරීමේ පුරුද්දක් ඇති විය. එනම්, ආතති පරික්ෂාව සමත් නම්, එම බැංකුව ශක්තිමත් බැංකුවකි. එහෙත්, මේ සියළු අධීක්ෂණ සංරචකයන් හුදු ගණකාධිකරණ සංකල්පයන් මත පදනම් වූ සංඛ්‍යාන ආකෘතින් ය. 

  • එසේම, සියළු බැංකුවල ගිණුම් හෝ මූල්‍ය අනුපාතයන්හි  සමස්තය ගණනය කොට, එහි ප්‍රවණතාවය දෙස බලා, බැංකු පද්ධතියේ අතීත ස්ථායිතාවය ආකර්ශනීය ලෙස ඉදිරිපත් කෙරෙන මූල්‍ය ස්ථායිතා වාර්තාවන් සැකසීම තුළින් ආතතීන්ට ඔරොත්තු දීමේ හැකියාව බැංකු පද්ධතියට ඇති බවට අදහස් ඉදිරිපත් කිරීමේ සාර්ව විචක්ෂණ නම් වූ අධීක්ෂණ ක්‍රමවේදයක් ද බිහි වී ඇත. එහි දී, විවිධ බැංකු අතර පවතින සැලකිය යුතු වෙනස්කම් නොසලකා, සමස්ත බැංකු පද්ධතියක් පිළිබඳ වූ ඉලක්කම් මත සතුටු වෙයි.

  • තව ද, IMF නව ලිබරල් ආර්ථික මොඩලයන් තුළ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය සහ බැංකු අධීක්ෂණ ප්‍රතිපත්තිය වෙන් කිරීම හේතු කොට, මුදල් ක්‍රමයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන බැංකුවලට මුදල් ප්‍රතිපත්තිය තුළින් ඇති කෙරෙන විවිධ ව්‍යාපාරික අවදානම්වලට මුහුණ දීමට සිදු වී ඇත. ඊට හොඳම උදාහරණය ප්‍රතිපත්ති පොලී අනුපාත සහ මුදල් මුද්‍රණ චක්‍රයන් ය. එසේම, ද්‍රවශීල අර්බුද අවස්ථාවල දී බැංකු ආරක්ෂා කිරීම සඳහා මහ බැංකු මුදල් මුද්‍රණ මෙවලමක් වන අවසාන ණය දෙන්නාගේ සම්ප්‍රදායික මහ බැංකු කාර්යය ද, ශ්‍රී ලංකාව වැනි සමහර රටවල අත්හිටුවා ඇත.

එබැවින්, බැංකු අභ්‍යන්තර පාලන ක්‍රමයන් සහ ඒවායේ අනුගත භාවය අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදය අභාවයට ගොස් ඇත. ඒ වෙනුවට, විචක්ෂණ අනුපාතයන් ලෙස බැංකු ගිණුම් ප්‍රමිති අනුපාතයන් ආශ්‍රිත දත්ත රැස් කිරීම, ප්‍රස්තාරික පරීක්ෂණ සහ පුරෝකථන ආකෘතින් බිහි වී ඇත. එබැවින්, මෙම නව බැංකු අධීක්ෂණ ක්‍රමවේදය තුළ කාලයක් පුරා ගොඩ නැගෙන වංචා හේතුවෙන් බැංකු අර්බුදයට පත් වී, අදාළ බැංකු විසින් තොරතුරු වාර්තා කරන තෙක්, බැංකු පිළිබඳ ඉඟියක් හෝ අවබෝධයක් බැංකු අධීක්ෂකයන්ට නොමැත. 

එවැනි වංචාවන් හෙළි වීමෙන් පසුව ද, ස්වාධීන පොලිස් පරීක්ෂණ හරහා අධිකරණ ක්‍රියා මාර්ගයන් සිදු වන තෙක්, සාම්ප්‍රදායික ව්‍යාපාරික සීමාවන් පැනවීම හැර එම වංචාවල බලපෑම නිරාකරණය කිරීමේ කඩිනම් මෙවලම් ද බැංකු අධික්ෂකයන් සතු නොවේ. උදාහරණ ලෙස බැංකු ආයතනික පාලන නියෝගය අනුව වංචා වැලැක්වෙන පරිදි අභ්‍යන්තර පාලනයන් ක්‍රියාත්මක කිරීම බැංකු අධ්‍යක්ෂක මණ්ඩලවල ව්‍යවස්ථාපිත වගකීමක් නම්, බැංකුවකින් එවැනි මහා පරිමාණ වංචාවක් වාර්තා වූ විගස, අධ්‍යක්ෂක මණ්ඩලය ස්වයංක්‍රීයව අත්හිටුවීමට බැංකු අධීක්ෂණ අධිකාරියට හැකි විය යුතුය. 

බැංකු ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තරව ප්‍රසිද්ධ විද්වතෙකු වූ මහාචාර්ය චාල්ස් ගුඩ්හාට් විසින් 2003 පෙබරවාරි 23 දින මහ බැංකුවේ පැවැත්වූ මහජන දේශනයක දී බැංකු වංචා සහ අභ්‍යන්තර පාලනයන් පිළිබඳ ව දක්වන ලද අදහස් කිහිපයක් මෙහි උපුටා දක්වමි. මෙම අදහස්වල ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන, ඒවා මහ බැංකුව විසින් 2004 දෙසැම්බර් මස නිකුත් කරන ලද "A GUIDE TO FINANCIAL SERVICES IN SRI LANAKA" යන මූල්‍ය සාක්ෂරතා ප්‍රකාශනයෙහි සහ 2017 මැයි මස දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කළ එම ප්‍රකාශනයෙහි ඇතුළත් කරන ලදි (ඉන් කොටසක් මෙම ලිපියට පහළින් පිටපත් කොට ඇත).

  • වංචා නිරාවරණය ඉතාම අසීරු අතර බොහෝ වංචාවන් හදිසියේ හෙළි වෙයි.

  • වංචාවන් අඛණ්ඩව සිදු වෙයි. ඉඳ හිට වංචාවන් සිදුවීම වැලැක්විය නොහැකිය. එබැවින්, වංචාවන් වැලැක්වෙන පාලන ව්‍යුහයක් ගොඩ නැගීමත්, වංචාවන් සිදු වන විට ඊට ඉඩ දුන් කළමනාකාරිත්වය දඩුවම් විඳීමත් සහතික කළ යුතුය.

  • මහ බැංකුවේ කාර්යය ඉතා අපහසුය. මෙහි දී, දුර්වල බැංකු පාලන ක්‍රමයෙන් හට ගන්නා පිරිවැය සහ පාඩු විඳීමට එම දුර්වල කළමනාකාරිත්වයට නියම කළ යුතුය. එසේම, පූර්ණ මහ බැංකු වගකීමක් වන පද්ධති ස්ථායිතාවය මෙවැනි වංචාවලින් වෙන් කොට ආරක්ෂා කළ යුතු අතර වංචාවල පූර්ණ වගකීම ඊට ඉඩ දුන් බැංකුවලට පැවරිය යුතුය.

  • කලින් කලට සිදු වන වංචා වැලැක්වීමට නම්, අධික මහ බැංකු පාලනයක් අවශ්‍ය අතර එය අයෝග්‍ය වෙයි.
එහෙත්, සාමාන්‍ය අත්දැකීම වන්නේ, බැංකු ශක්තිමත් බවට නිරන්තරයෙන් සතුටු වූ මහ බැංකු මෙවැනි වංචාවන් හෙළි වූ විගස හදිසියේ නින්දෙන් අවදි වී, බැංකු කළමනාකරණයට දොස් පැවරීමත්, සිද්ධිය පිළිබඳ ව පරීක්ෂා කොට අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගන්නා බවත්, තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා වී පවතින බවත් දැක්වෙන පුවත් නිකුත් කිරීම යි. ඊට මාස කිහිපයකට පසු සිද්ධිය අමතක වනු ඇත.

සමාප්ත සටහන

  • නූතන බැංකු කළමනාකරණ සහ අධීක්ෂණ පද්ධති හුදෙක් සැබෑ බැංකු ව්‍යාපාරයට වඩා, ගණකාධිකරණ මූල ධර්මයන් සහ තොරතුරු තාක්ෂණ මෙවලම් කළමනාකරණය සඳහා යොමු වී ඇති බැවින් බැංකු වංචාවන් සැලකිය යුතු ලෙස ඉහළ යන බව වාර්තා වෙයි. ඊට හේතුව, බැංකු ව්‍යාපාරය මිනිස් මැදිහත් වීමෙන් පිටතට යාන්ත්‍රීකරණය වීම යි. එබැවින්, නූතන බැංකු කළමනාකරණ මොඩලයන් තුළ බැංකු වංචාවන් පැවතීම සහ හට ගැනීම වැලැක්විය නොහැකිය.

  • එහෙත්, රාජ්‍ය මුදල් ක්‍රමය තුළ ආර්ථිකයට අවශ්‍ය අතිරේක මුදල් මැවීම හෝ නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය හේතු කොට බැංකුවලට සැපයෙන රාජ්‍ය ආරක්ෂාව තුළින් බැංකු කෙරෙහි මහජන විශ්වාසය ගොඩ නැගී ඇත. එබැවින්, කලින් කලට වාර්තා වන බැංකු වංචාවන් හේතු කොට, රටේ ආර්ථික සහ මූල්‍ය පද්ධතිය කෙරෙහි බලපෑමක් ඇති නොවේ.

  • එහෙත්, කාලයක් පුරා රාජ්‍ය මුදල් ක්‍රමය භාවිතා කරමින් කෙරෙන වංචාකාරී බැංකු ව්‍යාපාරික මොඩලයන් හේතු කොට ආර්ථික හා මූල්‍ය අර්බුදයන් පතිත වීමේ පද්ධති අවදානම් ඉහළ යමින් පවතී. මීට හොඳම මෑත උදාහරණය වනුයේ, 2007/09 ඇමෙරිකාවේ සහ යුරෝපයේ හට ගත් මූල්‍ය අර්බුදය යි. එය ඊට පෙර දශක දෙකක පමණ කාලයක් පුරා බැංකු අධීක්ෂකයන්ගේ ආශීර්වාදය ද මත විකාශය වූ වංචාකාරී නව ව්‍යුහාත්මක මූල්‍ය නිෂ්පාදනයන් සහ වෙළෙඳාමේ ප්‍රතිඵලයකි. මේ දිනවල පෞද්ගලික ණය වෙළෙඳපොළ ප්‍රසාරණය ද එවැනි පද්ධති අවදානමක් ලෙසට විග්‍රහයන් ඉදිරිපත් වෙයි. එසේම, තෙවන පාර්ශවයන් විසින් පාලනය කෙරෙන නව තොරතුරු තාක්ෂණ පද්ධතිවල හදිසි වෛරසයකින් සමස්ත බැංකු පද්ධතියම මොහොතකින් අකර්මන්‍ය විය හැකිය.

  • එබැවින්, මහ බැංකුවල වගකීම වන්නේ, මූල්‍ය පද්ධති ස්ථායිතාවය රකින ගමන් බැංකු පාලන ක්‍රමයන් තුළ සිදු වන වංචාවන් හඳුනා ගැනීම සහ වැලැක්වීමට අවශ්‍ය අභ්‍යන්තර පාලනයන් ක්‍රියාත්මක කිරීමේ වගකිව යුත්තන්ට සහ එවැනි බැංකුවලට ක්ෂණික දඩුවම් දීමේ විනිවිද ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම යි. මෙහි දී, වංචාකාරී ව්‍යාපාරික මොඩලයන් ක්‍රියාත්මක කිරීම පද්ධති දුෂණයක් ලෙස දඩුවම් ලැබිය යුතුය. රාජ්‍ය මුදල් හරහා බැංකු හෝ කළමනාකරුවන් රැකීම සදාචාර උවදුර පෝෂණය කිරීමකි.

  • එබැවින්, නූතන විද්‍යුත් මුදල් විකාශය තුළ ආර්ථික සහ මූල්‍ය ස්ථායිතා අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි බැංකු ව්‍යාපාරය මෙහෙයවීමේ නව බැංකු කළමනාකරණ සහ අධීක්ෂණ එළඹුමක් ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එහි දී, ආර්ථිකයෙහි මුදල් නිෂ්පාදනය මෙන්ම පොදුජන ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට හිතකර ලෙස එම මුදල් සාධාරණ ලෙස බෙදා හැරීමේ ප්‍රතිපත්ති ද අවශ්‍ය වනු ඇත. එනම්, පාරිභෝගික ආරක්ෂණය, වෙළෙඳපොළ හැසිරීම සහ දිගු කාලීන පැවැත්ම ද ආවරණය වන එළඹුමකි. 

  • එහෙත්, වත්මන් රාජ්‍ය මුදල් සහ ආරක්ෂාව තුළ එතරම් අපහසුවක් නොමැතිව ප්‍රතිලාභ විඳින බැංකු කරුවන් සහ මහ බැංකු කරුවන්ගෙන් එවැනි භාර දූර කාර්යයක් බලපොරොත්තු විය නොහැකිය. එවැනි නව ක්‍රමවේදයන් IMF සහ ලෝක බැංකුව ගරු කරන වත්මන් ගෝලීය ව්‍යාපාරික බැංකු සම්මතයන්ට එරෙහි වීම ද ඊට හේතුවක් විය හැකිය. එබැවින්, බැංකු වංචාවන් කුමක් වුව ද, ඒවා පිළිබඳ පුවත් දින කිහිපයකට පසු මාධ්‍යය විසින්ම අවසන් කිරීමෙන් පසු බැංකු ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් වනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ පළමු මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

මහාචාර්ය චාල්ස් ගුඩ්හාර්ට් ගේ අදහස් 

"Barings bank (UK) failed in 1995 as a result of the fraudulent activities of a trader in Singapore. Now, one of the reasons why the Bank of England decided that Barings should be allowed to fail was that because that did not have any systemic implications for the rest of the banking system. Moreover, one of the reasons why the trader had been able to get away with his activities was that the internal control mechanism in Barings has been pretty badly run, and those who saved Barings might have given the wrong kind of signal that it does not matter what the internal control mechanisms are like, the Central Bank will always save you. The failure of Barings was probably the strongest wake-up call that banks in the UK had almost for a century and made them realize that it was their responsibility to maintain internal control mechanisms. That said, the fact that Barings has failed meant that there were possibly people who might have doubted whether a similar kind of effect could have impacted on other equivalent types of merchant banks in the UK at that time because if a second bank had been allowed to fail when there was no particular reason for doubting its solvency, that would, because of run on it, have let to a generalized run and that would have let to a systemic failure.

This is a very difficult job for a Central Bank. You have got to, in order to ensure that management does manage itself properly and effectively, allow bad management to bear the cost and losses arising from their own poor handling of the system. But at the same time, you have got to ensure that the system as a whole remains stable. So then indeed it is the ultimate requirement of the Central Bank to separate systemic stability for which it has total responsibility from crime and it has got to do that while at the same time ensuring that individual banks take the responsibility for their own actions."....

"Frauds occur. It is necessary to set the structure of the system so that frauds are unlikely to occur. It is necessary to ensure that when fraud does occur, the management that allowed fraud to occur certainly suffers. But, you cannot prevent fraud occasionally occurring at times. I took the example of Barings. That was fraud of a major kind occurring in one of the oldest and highest reputed banks in the UK and it occurred and that sort of thing will occur again, it is bound to occur, unless you have a totally excessive degree of controls by the Central Bank which will be inappropriate."


Comments

Popular posts from this blog

මුදල් මුද්‍රණය නොමැතිව දිට්වාවෙන් ගොඩ ඒම බැරි ඇයි? IMF පිටුදැක, රාජ්‍ය මුදල් බලය සුරැකිමු.

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

ඔබේ මුදල් ආයෝජන සොරුන්ගෙන් රැක ගන්නේ කෙසේ ද? - මූල්‍ය සාක්‍ෂරතාවය VI කොටස