සුළි කුණාටුවෙන් අවතැන් වූ රාජ්‍ය මුදල් බලය? මිථ්‍යා ආධාර මානසිකත්වය දුරලමු. රාජ්‍ය මුදල් බලය සහ රට එකට ගොඩ ගනිමු.
ලිපියේ අරමුණ සහ පසුබිම
පසුගිය නොවැම්බර් 27-30 කාලය තුළ පැවති සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් වෙත සහන සැලසීම සහ එම පිරිස් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නය, හුදෙක් බාහිර මුදල් ආධාර මත සිදු කිරීමට රජය සැලසුම් කරන බව පෙනේ. ඒ බව, ඊට පහසුකම් සැලසීම සඳහා දේශීය මුදලින් සහ විදේශීය මුදල්වලින් ආධාර මුදල් රැස් කිරීම පිණිස රජය විසින් පසුගිය නොවැම්බර් 29 දින බැංකු ගිණුම් 07 ක් ප්‍රසිද්ධ කරන ලද දැන්වීමෙන් ගම්‍ය වෙයි. ඊට සියළුම පුද්ගලයන්, සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාවන් දක්වන ත්‍යාගශීලිත්වයට සහ සහයෝගයට රජයේ අවංක ස්තුතිය ද පිරිනමන ලදි (එම නිවේදනය මෙතනින් කියවන්න) (නිවේදනය).
ඊට පෙර දින රජය විසින් දැනටමත් රුපියල් බිලියන 31.2 ක රාජ්‍ය මුදල් ප්‍රතිපාදනයක් ආපදා සහන සේවා සඳහා වෙන් කොට ඇති බව ප්‍රකාශ කරන ලදි. කුණාටුවෙන් සිදු වී ඇති ජාතික විනාශය පිළිබඳ ව ඇසට පෙනෙන තොරතුරු දෙස බලන විට, මෙම රුපියල් බිලියන 31.2 ක මුදල ඉතා සොච්චමකි. එබැවින්, රජය විසින් ප්‍රජාවන් නැවත නගා සිටුවීම සඳහා දේශීය සහ විදේශීය මුදල් ආධාර ඉල්ලා ඇති බව පෙනේ. දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ මුදල් ආධාර විශේෂයෙන් ඉල්ලා ඇත. එසේ කෙරෙන මුදල් ප්‍රදානයන් පිළිබඳ දේශපාලනික මාධ්‍ය පින්තූර ඉදිරියේ දී ප්‍රසිද්ධ වනු ඇත. ඉන් ගොඩ නගන අරමුදල හරහා සියළු පුනරුත්පාදන කටයුතු සිදු කෙරෙන බවට රජය ප්‍රකාශ කොට ඇත.
එහෙත්, මෙවැනි ජාතික ආර්ථික විනාශයකින් මහජනයා නැවත ගොඩ නැගීම මෙවැනි බාහිර මුදල් ආධාරවලින් කළ නොහැකි දෙයකි. ඒ සඳහා රජයට පමණක් හිමි මුදල් මුද්‍රණය මගින් වියදම් කිරීමේ ස්වෛරිත්ව මුදල් බලය භාවිතා කළ යුතුය. රජය සතුව දැනට පොත්වල තිබෙන රුපියල් බිලියන 31.2 ක ප්‍රතිපාදනයෙන් වියදම් කිරීම සඳහා ද නව මුදල් මුද්‍රණය කළ යුතුය. ජාතික ව්‍යසනකාරී හෝ අස්ථායී අවස්ථාවල පොදු මහජන ආරක්ෂාව සඳහා සංවර්ධිත ඇතුළු ඕනෑම රටක රජයන් විසින් එම මුදල් බලය භාවිතා කිරීම සාමාන්‍ය සිද්ධියකි.
එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, එවැනි කුණාටු අවස්ථාවල ස්වෛරිත්ව මුදල් බලය භාවිතා කෙරෙන ආකාරය පිළිබඳ ව සංකල්පීය සටහනක් තැබීම යි. කුණාටුවෙන් සිදු වී ඇති ජාතික විනාශය පිළිබඳ සංඛ්‍යා ඇස්තමේන්තු නොමැති බැවින් ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ ව කිසිම ඇස්තමේන්තු ඉදිරිපත් කළ නොහැකිය. මෙහි දී, රජයන් විසින් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරන ක්‍රමවේදය වන්නේ, හඳුනා ගත් රාජ්‍ය වියදම් ව්‍යාපෘති අනුව වට කිහිපයකින් රාජ්‍ය මුදල් මුද්‍රණය කිරීම යි. ඒ ඒ අවස්ථාවල හට ගන්නා අතුරු ඵලයන් නිරාකරණයට යෝග්‍ය ක්ෂුද්‍ර විසඳුම් ප්‍රතිපත්ති පසුව ක්‍රියාත්මක කරනු ඇත.
නූතන මුදල් ක්‍රමය ක්‍රියාත්මක වන ව්‍යාපාරික සහ ජාතික ආදායම් ගිණුම් ක්‍රමවේදය පිළිබඳ ව ක්‍රියාකාරී දැනුමක් නොමැති අයට මෙම ලිපියෙහි අන්තර්ගතය අවබෝධ නොවනු ඇත.
සුළි කුණාටුවේ ජාතික ආර්ථික කුණාටුව
සමාජ මාධ්‍ය වාර්තාවන් අනුව ජාතික ආර්ථිකයෙහි සැලකිය යුතු සංකෝචනයක් සිදු වී ඇත. එය, ආර්ථිකයෙහි නිෂ්පාදන ධාරිතාවය, නිෂ්පාදන ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ ආදායම් ප්‍රවාහය සංකෝචනයෙන් නිරූපනය වෙයි. ඊට, රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම නිෂ්පාදන සංකෝචනය අයත් වෙයි.
එමගින්, ආර්ථිකයෙහි වර්තන ආදායම් සහ මූර්ත සහ මූල්‍ය වත්කම් ප්‍රවාහය ද සංකෝචනය වී ඇත. එහි සාර්ව ආර්ථික ගුණාකාර සංකෝචනාත්මක බලපෑම ඉදිරි කාලයේ දී දැකිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ බදු ආදායම පහළ යන අතර ආර්ථිකයෙහි සංසරණය වන සැබෑ මුදල් වත්කම් ප්‍රමාණය (ගිණුම්වල සටහන් මුදල් ප්‍රමාණය නොවේ) පහළ යනු ඇත. එය, රටෙහි මූල්‍ය අර්බුදයක අවදානමක් ද පවතී.
එබැවින්, මෙවැනි ආර්ථික සංකෝචනයකින් ගොඩ ඒමට හැකියාව ලැබෙන්නේ, සැලකිය යුතු පරිමාවක රාජ්‍ය වියදම් හරහා මුදල් ප්‍රසාරණයකින් පමණි. ඊට හේතුව, නූතන මුදල් ආර්ථිකයන් රාජ්‍ය වියදම් හරහා සිදු කෙරෙන මුදල් මුද්‍රණය මත සැකසී ක්‍රියාත්මක වන බැවිනි. එබැවින්, පෞද්ගලික අංශ වියදම් හරහා කෙරෙන මුදල් මුද්‍රණය සීමිත වෙයි. තව ද, පෞද්ගලික අංශයේ වියදම් ද රාජ්‍ය වියදම් පරිමාව මත රඳා පවතී. එබැවින්, මෙම ආර්ථික සංකෝචනයෙන් ගොඩ ඒම සඳහා ඉදිරි වසර කිහිපය තුළ අවශ්‍ය නව රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය රුපියල් ට්‍රිලියන ගණනාවක් වනු ඇත.
එබැවින්, දේශීය පෞද්ගලික මුදල් ආධාර මගින් මෙම ආර්ථික සංකෝචනය ආපසු හැරවිය නොහැකිය. දේශපාලනික ව්‍යාපාරයක් මගින් ධනවතුන්ගෙන් සහ විදේශිකයන්ගෙන් යම් ආධාර මුදල් ප්‍රමාණයක් රැස් කළ ද, එය මෙවැනි ආර්ථික ප්‍රසාරණයකට කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත.
උදාහරණ ලෙස නවතම මහ බැංකු දත්ත අනුව පසුගිය සැප්තැම්බර් මස අවසානයේ දී මහජනයා අත තිබූ ව්‍යවහාර මුදල් (කාසි සහ නෝට්ටු හෝ මුද්‍රිත මුදල් ) ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7 ක් පමණ ද, බැංකු තැන්පතු මුදල් (ඩිජිටල් මුදල්) ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.7 ක් පමණ ද විය. මහජනයා විසින් රජයට අධාර දීමේ දී ව්‍යවහාර මුදල් භාවිතා කළ යුතුය.
එබැවින්, බැංකු තැන්පතු මුදල්වලින් ආධාර දිය හැක්කේ, මහ බැංකුව විසින් නව මුදල් මුද්‍රණය කිරීමෙනි. එසේම, මෙම මුදල් යනු පෞද්ගලික අංශයේ බදු ගෙවීම ඇතුළු වියදම් සඳහා ගනුදෙනු වන මුදල් ය. එබැවින්, රජයට මුදල් පරිත්‍යාග කිරීමට නම්, පෞද්ගලික වියදම් කැපිය යුතුය. එය හුදෙක් ස්වේච්ඡාවෙන් ගෙවන බදුවලට සමාන ය. මෙම ජාතික ආපදා අවස්ථාවේ දී එවැන්නක් මහජනයාගෙන් බලපොරොත්තු විය නොහැකිය. රජයට සම්බන්ධ ධනවතුන් විසින් කෙරෙන මුදල් ආධාර සමස්තය රුපියල් බිලියන කිහිපයක් විය හැකිය.
මෙහි දී, විදේශ මුදල් ආධාර ලැබුණ හොත් ආර්ථිකයට විශේෂ සහනයක් වනු ඇත. ඊට හේතුව, විනිමය අනුපාතයට සහ ගෙවුම් ශේෂයට ඇති වත්මන් පීඩනයට සහනයක් එම මුදල් මගින් ලැබෙන බැවිනි. එහෙත්, එම මුදල් ද දේශීය රාජ්‍ය මුදල් ප්‍රසාරණයට දායක වනු ඇත. ඊට හේතුව, රජය විසින් එම විදේශ මුදල් මහ බැංකුවට අළෙවි කොට, රුපියල් මුදල් මුද්‍රණය කොට, එම රුපියල් මුදල් රාජ්‍ය වියදම් සඳහා භාවිතා කිරීම යි. එහෙත්, විදේශ මුදල් අධාර හුදෙක් හදිසි ජීවන සහනාධාර ලෙස මිස, කුණාටුවෙන් ආර්ථිකය නැවත ගොඩ නැගීමේ දිගු කාලීන ආර්ථික ආධාර ලෙස බලපොරොත්තු විය නොහැකිය.
නූතන මුදල් ආර්ථිකයන් රාජ්‍ය මුදල් මත ක්‍රියාත්මක වන ආකාරය
ඉතුරුම් හෝ වත්කම් අහිමි එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නා පුද්ගලයන් හෝ කුටුම්බයන් හෝ ධනවතුන් පවා මෙවැනි විපතකට මුහුණ දුන් විට, ඉන් ගොඩ ඒමට බාහිර ආධාර ඉල්ලීම ස්වාභාවික ය. ඊට හේතුව, ඒ සඳහා අවශ්‍ය මුදල් මුද්‍රණය කිරීමේ හැකියාවක් ඔවුන් සතුව නොමැති බැවිනි. වත්මන් රජය විසින් ද එසේ බාහිර මුදල් ආධාර ඉල්ලා ඇත්තේ, රජය ද මුදල් අතින් එවැනි පුද්ගලයෙක් හෝ කුටුම්බයක තත්ත්වයට දැමීමෙනි. බොහෝ රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් විසින් නව ලිබරල් මතවාදය මත රාජ්‍ය අයවැය හිඟය සහ ණය සංකෝචනය කළ යුතු බව පිළි ගැනීමට ද මෙම ආකල්පය හේතු වී ඇත.
එනම්, අයවැය හිඟය පියවීමට රජය විසින් ණය ගැනීමේ දී මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට සිදු වන බවත්, එසේ මුදල් ප්‍රසාරණය වීම හේතු කොට උද්ධමනය ඉහළ යාම තුළින් ආර්ථිකයෙහි මිල ස්ථායිතාවය පවත්වා ගැනීමට මහ බැංකුවට නොහැකි වන බවටත් ප්‍රචලිත පැරණි මුදල් සංකල්පය යි. මෙහි දී, මුදල් යනු රජයෙන් බාහිර හෝ ස්වාධීන වූ මහ බැංකුවේ ඒකාධිකාරී බලය තුළින් නිකුත් කොට පාලනය වන භාණ්ඩයක් ලෙස සැලකෙයි.
එහෙත්, මුදල් ගනුදෙනු හෝ අයවැය ආශ්‍රිතව පුද්ගලයන්ට හෝ කුටුම්බයන්ට රජයන් ද සමාන කෙරෙන මෙම සංකල්පය හුදු මිථ්‍යාවකි. ඊට හේතුව, රටවල ස්වෛරී හෝ දේශීය මුදල් ක්‍රමයන් රාජ්‍ය මුදල් මත ගොඩ නැගීමත්, දේශීය මුදල් නිකුතුව සහ බෙදා හැරීම ප්‍රධාන වශයෙන් රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම හරහා සිදු වීමත් ය. මෙහි දී, මුදල් මුද්‍රණය සහ මැවීමට රජයට හවුල් වන මහ බැංකුව සහ බලපත්‍ර ලාභී බැංකු යනු රජයේ නියෝජිතයන් ය.
එබැවින්, ආදායම් මූලයන් නොසලකා නව මුදල් මුද්‍රණය හරහා වියදම් කිරීමේ අසහාය මුදල් බලය රජයට පමණක් නීතියෙන් හිමි බලයකි. එම බලය පුද්ගලයන් හෝ පෞද්ගලික අංශය වෙත නොමැති බැවින් ඔවුන් විසින් තම වියදම් සඳහා අවශ්‍ය මුදල් බාහිරව රාජ්‍ය මුදල් ක්‍රමය තුළින් උපයා ගත යුතුය. එබැවින්, රාජ්‍ය අයවැය සහ පෞද්ගලික අයවැය අතර සමානත්වයක් නොමැත. ඊට හේතුව, මෙම මුදල් නිකුතු බලය තුළින් ආදායමට සීමා නොවී, වියදම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයන්ට හැකියාව ලැබීම යි.
ලෝකය පුරා රජයන් විසින් අතීත රජ සමයේ සිට සමාජ ආර්ථිකයන් සංවර්ධනය කරනු ලැබුවේ, මෙම මුදල් සහ අයවැය බලය තුළිනි. IMF නවලිබරල් මතවාදය තුළින් රාජ්‍ය මුදල් විනය සංකල්පය ඉදිරිපත් කිරීමේ අරමුණ වනුයේ, මෙම රාජ්‍ය වියදම් සහ මුදල් නිකුතු බලය කප්පාදු කිරීම යි. එහි යටි අරමුණ වනුයේ, රටවල මුදල් ක්‍රමයන් සහ ආර්ථිකයන් විදේශ ණය සහ සංචිත හරහා ඩොලර්කරණය කිරීම තුළින් ඇමෙරිකාව ලෝක ආර්ථිකයේ බලවතා ලෙස පවත්වා ගැනීම යි.
නූතන මුදල් ආර්ථිකයන් රාජ්‍ය මුදල් මත සැකසී ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පහත දැක්වෙයි.
- රජය විසින් දේශීය මුදල් ඒකකය නියම කොට රජයේ වගකීම සහිත ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ එය පෞද්ගලික අංශයට තහනම් කිරීම. ඒ සඳහා රජයේ නියෝජිතයා රාජ්‍ය මහ බැංකුව යි. එහෙත්, 20 වැනි සියවසට පෙර ලෝකයේ පැවතියේ, පෞද්ගලික භාණ්ඩ මුදල් සහ පෞද්ගලික බැංකු නෝට්ටු මුදල් භාවිතා වූ බහු මුදල් ක්‍රමයන් ය.
- පෞද්ගලික අංශය විසින් රජයට බදු ගෙවීම ව්‍යවහාර මුදල්වලින් සිදු කළ යුතු බවට නියම කිරීම. එබැවින්, මහජනයා විසින් ව්‍යවහාර මුදලින් ආදායම් ලැබීමට ක්‍රියා කරන බැවින් ව්‍යවහාර මුදල් සඳහා ඉල්ලුම පවතී.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව රාජ්‍ය මුදල් පරිහරණය සහ ආරක්ෂාව සඳහා දණ්ඩ නීති සංග්‍රහය, පොදු දේපොළ පනත, අල්ලස් සහ දුෂණ විමර්ශන පනත සහ රාජ්‍ය මුදල් රෙගුලාසි ද ක්‍රියාත්මක වෙයි.
- රජය විසින් ප්‍රථමයෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කරනු ලැබුවේ, රාජ්‍ය වියදම් පියවීම සඳහා මහ බැංකුවෙන් ණය ලබා ගැනීමෙනි. එහි දී, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කොට රාජ්‍ය වියදම්/ගෙවීම් පියවන ලදි. එම මුදල් රාජ්‍ය වියදම් හරහා මහජනයා අතට ලැබී, ව්‍යවහාර මුදල් සංසරණය ආරම්භ විය.
- ඊට පසු, රජය විසින් අඛණ්ඩව බදු ආදායමට වඩා වියදම් කිරීම (අයවැය හිඟය) තුළින් නව මුදල් මුද්‍රණය සිදු වෙයි. එබැවින්, රාජ්‍ය ණය ප්‍රසාරණය මගින් මුදල් මුද්‍රණය ප්‍රසාරණය වෙයි. රාජ්‍ය ණය යනු සෘජු බැංකු ණය සහ සුරැකුම්පත් ණය යි.
- බදු ආදායම යනු එසේ මුද්‍රණය කරන ලද මුදල්වලින් කොටසක් රජය විසින් තාවකාලිකව මහජනයාගෙන් නැවත උකහා ගැනීම යි. එය හුදෙක් රජයට වියදම් පියවා ගැනීම සඳහා නොව, අතිරික්ත මුදල්වලින් හට ගත හැකි උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් සිදු වෙයි. මෙහි දී, ඒ ඒ අවස්ථාවල ශුද්ධ රාජ්‍ය ණය තොගය පහළ යනු ඇත. එසේම, රජයේ ගිණුමට බදු රැස් කිරීම ව්‍යවහාර මුදල්වලින් සිදු කළ යුතු බැවින් බදුවලට සමාන ව්‍යවහාර මුදල් සංචිතයන් බැංකු සතුව නොමැති විට, එය පියවීම සඳහා බැංකුවලට ණය දීම හරහා මුදල් මුද්‍රණය කිරීමට ද මහ බැංකුවට සිදු වනු ඇත. එබැවින්, මහ බැංකුවේ මුදල් මුද්‍රණය යනු රාජ්‍ය ගෙවුම් තුලනයට අවශ්‍ය ව්‍යවහාර මුදල් සැපයීම යි. එය මහ බැංකුවට මනාප ආකාරයට පාලනය කළ හැකි කාර්යයක් නොවේ.
- රජය විසින් අයවැය හිඟය පියවීමට අමතරව ණය සේවාකරණය සඳහා ද නව ණය ගැනීම සිදු කරන බැවින් රාජ්‍ය ණය තොගය සහ ව්‍යවහාර මුදල් තොගය අඛණ්ඩව ප්‍රසාරණය වනු ඇත. එබැවින්, රාජ්‍ය ණය සහ ව්‍යවහාර මුදල් යනු ආපසු ගෙවීම සඳහා නිර්මාණය කොට ඇති ආර්ථික විචල්‍යයන් නොවේ. එනම්, ව්‍යවහාර මුදල් තොගය පහළ දැමීමට නම්, අයවැය අතිරික්තයක් (වියදම ඉක්මවා බදු අය කිරීම) හරහා රාජ්‍ය ණය ආපසු ගෙවිය යුතුය. එවිට, ආර්ථිකයෙහි සංසරණය වන ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් අහෝසි වී, ජාතික ආදායම් ගනුදෙනු සඳහා මුදල් හිඟයක් හට ගෙන, සමස්ත ආර්ථිකය සංකෝචනය වනු ඇත.
- බදු අනුපාතය හේතු කොට රාජ්‍ය ණය සහ ව්‍යවහාර මුදල් තොගය සංකෝචනය වීමත්, රාජ්‍ය ණය පොලී අනුපාතය හේතු කොට ඒවා ප්‍රසාරණය වීමත් සිදු වනු ඇත. එහි ශුද්ධ අගය ආර්ථිකයෙහි පෞද්ගලික අංශයේ සමස්ත වියදම, නිෂ්පාදනය සහ සේවා නියුක්තිය කෙරෙහි බලපානු ඇත. රාජ්‍ය ණය සහ ව්‍යවහාර මුදල් යනු ආර්ථිකයෙහි මුදල් පදනම වන බැවින් ඒ සඳහා පොලී ගෙවීමේ ආර්ථික තර්කානුකූල භාවයක් නොමැති බව ද දැක්වෙයි. ඊට හේතුව, එම පොලිය මගින් රාජ්‍ය ණය සහ ව්‍යවහාර මුදල් තොගය වර්ධනය වීම යි.
- රාජ්‍ය ණය සහ ව්‍යවහාර මුදල් තොගය පෞද්ගලික අංශයේ ඉතා ගුණාත්මක මූල්‍ය වත්කමක් වන අතර රාජ්‍ය අයවැය හිඟය පෞද්ගලික අංශයේ මූල්‍ය අතිරික්තය වනු ඇත. එනම්, රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් යනු වත්මන් රාජ්‍ය ස්වෛරිත්ව මුදල් ක්‍රමය තුළ පෞද්ගලික අංශයේ සමාජ ආර්ථික එන්ජිම ලෙස සැලකිය හැකිය.
මෙම රාජ්‍ය අයවැය සහ මුදල් ආර්ථිකය විග්‍රහ කිරීම ද්විත්ව සටහන් බැංකු ගිණුම් පද්ධතිය මගින් සිදු වෙයි. ඒ අනුව, බැංකුවලට ලැබෙන මහජන තැන්පතු මගින් මහ බැංකු පාලනය මත ආර්ථිකයෙහි මුදල් මැවෙන බවට දැක්වෙන සම්භාව්‍ය විග්‍රහය හුදු මිථ්‍යා මතයකි. සැබෑ සිද්ධිය වන්නේ, රාජ්‍ය ණය ප්‍රමුක බැංකු ණය මගින් තැන්පතු ඇතුළු මුදල් මැවෙන බව යි. එනම්, තැන්පතු මුදල් යනු ණයවල ප්‍රතිඵලයක් මිස, ණය යනු තැන්පතුවල ප්‍රතිඵලයක් නොවේ.
සමාප්ත සටහන
- පසුගිය සුළි කුණාටුවේ ආර්ථික කුණාටුව ඉදිරියේ දී වේගයෙන් පැතිර යනු ඇත. එහි පදනම ආර්ථිකය මුහුණ දී ඇති දැඩි සංකෝචනය යි. එනම්, ආර්ථිකයෙහි සැපයුම් අංශයේ දැඩි කඩා වැටීම යි. ඉන් හට ගැනෙන උද්ධමනය ඇතුළු සාර්ව ආර්ථික කුණාටුව පුරෝකථනයට ආර්ථික සහ සංඛ්‍යා විද්‍යා න්‍යායන් අවශ්‍ය නොවේ. සාමාන්‍ය පුද්ගල ජීවන දැනුම ප්‍රමාණවත් ය.
- ගෝලීය ආර්ථික ඉතිහාසය අනුව පසුගිය කොරෝනා වසංගතය ඇතුළු රටවල කලින් කලට හට ගත් ආර්ථික අස්ථායිතාවයන් සහ කුණාටුවලින් මහජන ආරක්ෂාව සැපයීමේ එකම මාර්ගය ලෙස, රාජ්‍ය වියදම් සහ ණය ප්‍රසාරණය හරහා සිදු කෙරෙන මුදල් මුද්‍රණය තුළින් ආර්ථිකය උත්තේජනය කිරීම සැලකිය හැකිය. ඊට අනුග්‍රාහක ලෙස උත්තේජන පිරිවැය පහළ දැමීම සඳහා මහ බැංකු පොලී අනුපාතයන් පහළ දැමීම සිදු වෙයි. එබැවින්, එවැනි අවස්ථාවල රජයන් විසින් මහජන ආධාර පැතීම වෙනත් කථාන්දරයකි.
- රාජ්‍ය වියදම් ව්‍යුහය මගින් ප්‍රමුඛ ආර්ථික සහ මහජන අංශ වෙත මුදල් ව්‍යාප්තිය සිදු කෙරෙන අතර බදු මගින් දැනට පෞද්ගලික අංශය තුළ සංසරණයේ පවතින මුදල් තොගය නව උත්තේජනයට යෝග්‍ය ලෙස ප්‍රතිව්‍යප්තිය සිදු කෙරේ. එබැවින්, වියදම් ප්‍රසාරණ ප්‍රතිපත්තිය තුළ බදු අනුපාතයන් පහළ දැමීම ද අවශ්‍ය විය හැකිය. ඊට හේතුව, මෙතරම් සංකෝචනය වී ඇති ආර්ථිකයක පෙර පරිදි බදු ගෙවීමේ සහ බදු රැස් කිරීමේ දුෂ්කරතාවය යි.
- මෙම සුළි කුණාටුවේ දැනට වාර්තා වී ඇති හානිය සහ අපේක්ෂිත ආර්ථික කුණාටුවේ පරිමාව දෙස බලන විට, ඉන් ගොඩ ඒම සඳහා රජය විසින් යෝජිත බාහිර ආධාර පරිත්‍යාගයන් භාවිතා කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මිථ්‍යාවකි. එය හුදෙක් රාජ්‍ය මුදල් බලය සහ මහජන ආරක්ෂක වගකීම පිළිබඳ කිසිම දැනුමක් රාජ්‍ය අධිකාරීන්ට නොමැති බවට දැක්වෙන සාක්ෂියකි.
- ඉහත දැක්වූ පරිදි රාජ්‍ය මුදල් බලය භාවිතා නොකිරීමට හේතුව IMF සහ සම්භාව්‍ය ආර්ථික විද්‍යා මතය වන සංකල්පීය උද්ධමන භිතිකාව යි. එබැවින්, මෙම අවස්ථාවේ රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණයක් කළ හොත්, ශ්‍රී ලංකාව තවත් සිම්බාබ්වේ සහ වෙනිසියුලාවක් විය හැකි බවට දැක්වීම හාස්‍ය ජනකය. ඊට හේතුව, සිම්බාබ්වේ සහ වෙනිසියුලාවේ හට ගත් අධි ආර්ථික සංකෝචනයට සහ උද්ධමනයට හේතු වූ භූ දේශපාලනික සාධක ශ්‍රී ලංකාවේ දැකිය නොහැකි වීම යි.
- එසේ රාජ්‍ය මුදල් බලය භාවිතා කිරීමේ මෑත උදාහරණය ඇමෙරිකාව යි. කොරෝනා වසංගතයෙන් ආර්ථිකය සහ මහජනතාව ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකානු රජය විසින් 2020 සිට 2022 දක්වා කාලය තුළ කරන ලද වියදම් ප්‍රසාරණය හේතු කොට, රාජ්‍ය ණය තොගය ඩොලර් ට්‍රිලියන 23.2 සිට 31.4 දක්වා ට්‍රිලියන 8.2 කින් ඉහළ යන ලදි. ඊට අවශ්‍ය ව්‍යවහාර මුදල් සැපයීම සඳහා මහ බැංකුව විසින් පොලී අනුපාතය ශුන්‍යය දක්වා පහත හෙළා, මුදල් මුද්‍රණය ඩොලර් ට්‍රිලියන 4.8 කින් හෙවත් 114% කින් පමණ ප්‍රසාරණය කරන ලදි. එනම්, මහ බැංකුව 1913 සිට වසර 107 ක කාලයක් තුළ මුද්‍රණය කොට තිබූ සමස්ත මුදල් ප්‍රමාණය වූ ඩොලර් ට්‍රිලියන 4.2 ට ත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් එම වසර තුන තුළ මුද්‍රණය කරන ලදි. එම අවස්ථාවේ දී මහ බැංකු අධිපති විසින් දැක්වූයේ, අනාගත උද්ධමන සංකල්පය නොතකා එවක මුහුණ දුන් මානුෂීය අර්බුදය නිරාකරණයට ක්‍රියා කරන බවත්, උද්ධමනකාරී තත්ත්වයක් හට ගත හොත් එය නිරාකරණයට පසුව ක්‍රියා කරන බවත් ය. එහෙත්, එවක සැපයුම් අංශය කඩා වැටීම මත ඉහළ ගිය ගෝලීය උද්ධමනය තුළ ඇමෙරිකාවේ උද්ධමනය ද 2.3% සිට 9.1% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය ද, එය පාලනයක් නොමැතිව ඉහළ ගොස්, සිම්බාබ්වේවක් හෝ වෙනිසියුලාවක් හෝ ග්‍රීසියක් වූයේ නැත.
- එබැවින්, රජය විසින් තම රාජ්‍ය මුදල් බලය භාවිතා නොකොට, හදිසි නිතිය වැනි නීති යටතේ බාහිර ආධාර මානසිකත්වය පසු පස ගිය හොත්, 2021/22 ශ්‍රී ලංකාවේ කොරෝනා ආර්ථික අර්බුදය මෙන්, භූ දේශපාලනික අර්බුදයක් ද නැවත හට ගැනීමේ අවදානම් පවතී. ඊට හේතුව, ආධාර මුදල්වලින් ක්‍රියා කිරීමට රජයක් අවශ්‍ය නොවන බැවිනි.
- එය වැලැක්වීමට නම්, රජය විසින් මෙම ලිපියේ කෙටියෙන් ඉදිරිපත් කොට ඇති රාජ්‍ය මුදල් බලය කඩිනමින් භාවිතා කොට, ඉදිරි ආර්ථික කුණාටුවෙන් මහජනයා ආරක්ෂා කළ යුතුය. ඊට අවශ්‍ය අයවැය සැලසුම සහ ක්‍රියාත්මක කිරීම රාජ්‍ය අධිකාරින්ගේ විෂය දැනුම මත රඳා පවතී. පවතින තත්ත්වය තුළ දනට යෝජිත 2026 වාර්ෂික අයවැයේ කිසිම තේරුමක් නොමැත. එබැවින්, මෙවැනි සමාජ ආර්ථික කුණාටු අවස්ථාවල රජයේ ව්‍යවස්ථාපිත වගකීම වන්නේ, IMF සහ සම්භාව්‍ය මිථ්‍යා ආර්ථික සංකල්පයන්ට සහ ආර්ථික ඉල්කක්කම්වලට ගරු කිරීම නොව, මහජන හෝ ජාතික ආරක්ෂාව සඳහා තම මහජන බලය භාවිතා කිරීම යි. එය ඕනෑම රජයක මූලික ව්‍යවස්ථාපිත වගකීමක් වන අතර මහජනයාගේ මූලික ව්‍යවස්ථාපිත අයිතියකි.
- එබැවින්, කුමන හෝ හේතු මත මෙම ජාතික කුණාටු අවස්ථාවේ රජය විසින් තම ස්වෛරිත්ව මුදල් බලය උපරිම ලෙස භාවිතා නොකිරීම යනු "යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න ද?" යන පැරණි ජන වහර සිහි ගැන්වීමකි. එසේම, "අඬුව තිබෙද්දී අත පුච්ච ගන්නේ ඇයි ද?" යන ජන වහරක් ද පවතී.
(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව
Comments
Post a Comment