ආර්ථික කළමනාකරණය. ආර්ථිකය ගොඩ ගැනීමක් නොමැතිව අර්බුදයේම කැලතීම. පොදු මහජනයා යනු ප්‍රභූ යහපතට යෙදෙන වින්දිතයන් පිරිසක් ද?

 



ලිපියේ අරමුණ සහ පසුබිම 

මේ දිනවල බොහෝ දෙනා විසින් අදහස් දක්වන්නේ, 2028 දී නැවත විදේශ ණය පැහැර හැරීමේ සහ එමගින් රජය අස්ථායී වීමේ අවදානම් පිළිබඳ ව ය. එම අදහස් හුදෙක් 2022 වර්ෂයේ ලද බියකරු ආර්ථික අර්බුද අත්දැකීම් මෙන්ම එවක පැවති ආර්ථික ව්‍යුහාත්මක අවදානම් නොවෙනස්ව පැවතීම මත ගොනු වී ඇත.

එහෙත්, අදාළ ආර්ථික කළමනාකරණ අධිකාරීන් විසින් එම අදහස් එක හෙළා ප්‍රතික්ෂේප කෙරේ. ඒ සඳහා උද්ධමනය 2% මට්ටමට පහළ යාම, මහ බැංකු විදේශ සංචිතය ඩොලර් බිලියන 6.5 ඉක්මවා යාම, මහා පරිමාණයෙන් මෝටර් රථ ගෙවීමට තරම් ආනයන ප්‍රවර්ධනය සහ 2023 දී නිර්දේශිත IMF ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පොතට අනුගමනය කිරීමේ සාදනීය ප්‍රතිඵල වැනි තත්කාලීන සාධක ගෙන හැර දැක්වෙයි. සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් 2027 දී නැවත IMF ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යාම ද යෝජනා කෙරේ. එහෙත්, 2022 වර්ෂයේ පැවති ආර්ථික ව්‍යුහාත්මක අවදානම් අඛණ්ඩව පැවතීම තුළ, එම සාදනීය ප්‍රතිඵල හුදෙක් දිට්වා සුළි සුළඟ මෙන් බලා සිටිය දී ගසා ගෙන යාමේ අවදානමක් පවතින බව කිව යුතු නැත.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, මූලික ආර්ථික ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගෙන, ඒවා නිරාකරණය කිරීම ඉලක්ක කොට, ආර්ථිකය කළමනාකරණය කිරීමට රජයන් අසමත් වන ආකාරය හුවා දැක්වීම යි.

ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය සහ ප්‍රධාන මෙවලම්

ආර්ථිකයක් කළමනාකරණය කිරීම යනු රජය විසින් රටේ නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් කෙරෙහි මැදිහත්වීමේ ක්‍රියාවලිය යි. එය හුදෙක් පොදුජන ජීවන තත්ත්වය සහ සුබසාදනය ආශ්‍රිත අභිමතානුසාරී ඉලක්කයන් මත සිදු කෙරේ. ආර්ථික කළමනාකරණය සඳහා භාවිතා කෙරෙන ප්‍රධාන මෙවලම් කාණ්ඩ හතරකි.

  • රජය සතු ස්වාභාවික සම්පත් උපයෝජනය
රට සතු භුමිය සහ පරිසරය ආශ්‍රිත සියළුම ස්වාභාවික සම්පත් රජය සතු වන අතර ආර්ථිකයෙහි නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පරිමාව, ව්‍යාප්තිය සහ වර්ධනය මෙම ස්වාභාවික සම්පත් උපයෝජනය සහ සංරක්ෂණය මත තීරණය වෙයි.
  • රාජ්‍ය මුදල් ඒකාධිකාරය
නූතන මුදල් ආර්ථිකයන් රාජ්‍ය ෆියට් මුදල් ඒකාධිකාරය මත ක්‍රියාත්මක වන අතර රාජ්‍ය වියදම් තුළින් රාජ්‍ය මුදල් සැපයුම තීරණය කෙරේ. නිල මුදල් යනු රාජ්‍ය ගෙවුම් පොරොන්දු ය. මහ බැංකුව සහ බැංකු යනු රාජ්‍ය මුදල් ගනුදෙනු පද්ධතිය යි. එබැවින්, ආර්ථිකයෙහි සම්පත් උපයෝජනය හරහා නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රසාරණය කිරීම සඳහා රාජ්‍ය මුදල් සැපයුම් බලයෙහි සීමාවක් නොමැත. 

බදු සහ ණය මෙවලම් හරහා රටෙහි රාජ්‍ය වියදම් තුළින් සංසරණය වන අතිරික්ත මුදල් සැපයුම අවශෝෂණය කෙරේ. ඒ සඳහා බදු අනුපාතය සහ පොලී අනුපාතය භාවිතා කෙරෙන අතර එහි මිශ්‍රණය මගින් ආර්ථිකයෙහි උද්ධමනය, වර්ධන අනුපාතය සහ සේවා නියුක්ති අනුපාතය තීරණය කළ හැකිය. ඒවා හුදෙක් දේශපාලනික තෝරා ගැනීම් ය. එබැවින්, රාජ්‍ය මුදල් මෙවලම් හරහා රටෙහි නිෂ්පාදන ක්‍රියාකාරකම් මෙහෙයවීමේ ඒකාධිකාරී බලය රජය සතු වෙයි.

  • රාජ්‍ය ව්‍යවසායන්
රාජ්‍ය ව්‍යවසායන් යනු රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙහි යෙදෙන ව්‍යාපාරික සමාගම් ය. ආර්ථිකයට සහ පොදුජන සුබසාදනයට අත්‍යාවශ්‍ය වන නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ වෙළෙඳපොළවල් සෘජුව පාලනය කිරීමේ හැකියාව රාජ්‍ය ව්‍යවසායන් සතු වෙයි. ඉට හේතුව, ඒවාට රජයෙන් සැපයෙන ආරක්ෂාව සහ මුදල් බලය යි. 
  • වෙළෙඳපොළ නියාමනයන්
වෙළෙඳපොළ නියාමනය තුළින් ඕනෑම නිෂ්පාදන ක්‍රියාකාරකමක් සහ ඒ ආශ්‍රිත වෙළෙඳපොළවල් පාලනය කිරීමේ හැකියාව රජය සතු වෙයි. ව්‍යාපාරික බලපත්‍ර, කොන්දේසි පැනවීම, පරික්ෂණයන් සහ දඬුවම් හරහා නියාමනය සිදු කෙරේ. විදේශ මුදල්, ආනයන සහ අපනයන වෙළෙඳපොළ නියාමනය ද මීට අයත් වෙයි. එබැවින්, නිදහස් වෙළෙඳපොළවල් නූතන ලෝකයේ දැකිය නොහැක.

මෙම රාජ්‍ය මෙවලම් කොතරම් මිශ්‍රණයකින් සහ පරිමාවකින් භාවිතා කෙරේ ද? යන්න හුදෙක් පවතින රජයේ දේශපාලනික තීරණයකි. සංවර්ධිත රටවල් එම තත්ත්වයට පත් වී ඇත්තේ එම දේශපාලනික තීරණවල ප්‍රතිඵලයක් ලෙස ය.

සමස්තයක් ලෙස රජයක ආර්ථික කළමනාකරණ කාර්යසාදනය සහ කාර්යක්ෂමතාවය හුදෙක් රජය විසින් භාවිතා කරන මෙවලම් නොව, ඉන් කොතරම් දුරට පොදුජන ඉලක්කයන් ඉටු කෙරේ ද? යන්න මත තීරණය වෙයි. එහෙත්, රාජ්‍ය බලය ලබා ගැනීම පිණිස දේශපාලනික නායකයන් විසින් මහජනයා වෙත ඉදිරිපත් කෙරෙන පොරොන්දුවල මහජනයා පොහොසත් කරන බව ප්‍රකාශ කළ ද, ඒ සඳහා ඉහත දැක්වූ රාජ්‍ය මෙවලම් මත පදනම් වූ කිසිම ඉලක්කගත වැඩසටහනක් ඉදිරිපත් නොකෙරේ. එබැවින්, සෑම රජයක්ම බලය ලබා ගත පසු දැනටත් පවතින ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයම තුළ රාජ්‍ය පාලන කාලය ගෙවන බව නොරහසකි.

ආර්ථික කළමනාකරණයට ආර්ථික විද්‍යාවක් තිබේ ද?

ඕනෑම රජයකට පක්ෂ සහ විපක්ෂ ආර්ථික විද්‍යාඥයන් සිටිය ද, ආර්ථික කළමනාකරණය සඳහා භාවිතා කළ හැකි ආර්ථික විද්‍යාවක් නොමැත. 

  • ආර්ථික විද්‍යාව යනු මූලික වශයෙන් රජයේ මැදිහත්වීමෙන් තොර නිදහස් වෙළෙඳපොළක නිෂ්පාදකයකු විසින් තම ලාභ උපරිමකරන මිලත්, පාරිභෝගිකයෙකු විසින් තම උපයෝගිතාවය උපරිමකරන මිලත් තීරණය වන ආකාරයත්, ඒ අනුව, යම් භාණ්ඩයක සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතය මගින් වෙළෙඳපොළ මිල තීරණය වන ආකාරයත්, විවිධ උපකල්පනයන් යටතේ පුරෝකථනය කෙරෙන විෂයකි. එනම්, සැපයුම් කරුවන්ගේ සහ ඉල්ලුම් කරුවන්ගේ උපකල්පිත තාර්කික හැසිරීම විග්‍රහ කෙරෙන මානව දර්ශනයකි. 

  • ඒ අනුව, රටේ සියළු සැපයුම් කරුවන් සහ ඉල්ලුම් කරුවන්ගෙන් යුක්ත සමස්ත වෙළෙඳපොළ හෝ ආර්ථිකයක හැසිරීම පිළිබඳ ව පුරෝකථනය කෙරෙන සාර්ව ආර්ථික විද්‍යාවක් ද පරිණාමය වී ඇත. එහෙත්, රජයේ මැදිහත්වීම තුළින් වෙළෙඳපොළවල ඉල්ලුම, සැපයුම සහ මිල ගණන් කෙරෙහි කෙරෙන බලපෑම හේතු කොට, සැබෑ ආර්ථික ප්‍රතිඵලයන් සාර්ව ආර්ථික විද්‍යා පුරෝකථනයන්ට වඩා හාත්පසින් වෙනස් වනු ඇත.

  • ආර්ථික විද්‍යා උපාධි ලබා ගැනීමේ දී කෙරෙන්නේ, එම මනඃකල්පිත පුරෝකථනයන් වනපොත් කිරීම සහ එවැනි නව මනඃකල්පිත පුරෝකථනයන් ගොඩ ගැනීම යි. පොදුජන ආර්ථික ගැටළු නිරාකරණයට ඒවායේ කිසිම වැදගත්කමක් නැත. එබැවින්, රජය විසින් කලින් කලට තීරණය කරන ලද පොදුජන ආර්ථික ඉලක්කයන් ලඟා කර ගැනීම සඳහා ආර්ථිකය කළමනාකරණය කළ යුතු ආකාරය නිර්දේශ කෙරෙන කිසිම ආර්ථික විද්‍යා විෂයක් නොමැත. 
එබැවින්, රජයන්ට පක්ෂ හෝ විපක්ෂ ආර්ථික විද්‍යාඥයන්ගේ එකම භූමිකාව වන්නේ, හුදෙක් රාජ්‍ය ආර්ථික කළමනාකරණ මෙවලම් පිළිබඳ ව උපකල්පනයන් මත පදනම් වූ පුරෝකථනයන් හෝ ස්වයං අදහස් ඉදිරිපත් කිරීම යි. මෙහි දී, බොහෝ ආර්ථික විද්‍යාඥයන් විසින් ආර්ථික ඉතිහාස සිද්ධීන් සහ අදාළ ඉලක්කම් ඉදිරිපත් කිරීමේ වාද විවාදවල යෙදෙන බව දැකිය හැකිය. එබැවින්, එක් ආර්ථික විද්‍යාඥයකු විසින් හොඳ යැයි දැක්වෙන ප්‍රතිපත්ති මෙවලමක් තවත් ආර්ථික විද්‍යාඥයකු විසින් නිර්දය ලෙස විවේචනය කිරීම අරුමයක් නොවේ.

එබැවින්, රාජ්‍ය ආර්ථික කළමනාකරුවන්ට හුදෙක් තමන්ට උපදෙස් දෙන ආර්ථික විද්‍යාඥයන්ට ඇගිල්ල දිගු කොට බේරීමේ කලාවක් අනුගමනය කළ නොහැකිය. ඊට හේතුව, මහජන බලය සහ වගකීම නීතියෙන්ම ඔවුන් වෙත පැවතීම යි.

ආර්ථිකය මුහුණ දෙන ප්‍රධාන ව්‍යුහාත්මක අවදානම්

ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ආර්ථිකය ස්ථායීකරණය හෝ වර්ධනය වන බවත්, ආතතීන්ට ඔරොත්තු දීමේ හැකියාව පවතින බවත්, විවිධ දත්ත උපයෝගී කර ගෙන ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත්, ආර්ථිකයෙහි නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ව්‍යුහය, ආර්ථික කළමනාකරණ ව්‍යුහය සහ කලින් කලට හට ගන්නා ආතතීන් දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථිකය ව්‍යුහාත්මක අවදානම් රැසකට මුහුණ දෙන බවත්, ඒවා පසුගිය දශකයන් කිහිපය පුරා වර්ධනය වී ඇති බවත් පැහැදිළි වෙයි. 

ඉන් රැසක් ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයෙහි ව්‍යුහාත්මක අවදානම් තුළින් ජනිත වී ඇති බව කිව හැකිය. ඉන් ඉතා ප්‍රධාන අවදානම් හයක් පමණක් පහත ලැයිස්තුගත කෙරේ.

1. රාජ්‍ය මුදල් හෝ අයවැය බලය ඉලක්කම් මත සීමා කිරීම

එනම්, ද.දේ.නි. වටිනාකමෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය වියදම, ආදායම, අයවැය හිඟය සහ ණය සඳහා සීමාවන් පැනවීම යි. 2023 වර්ෂයේ සිට IMF ආර්ථික ප්‍රතිසංස්කරණ කොන්දේසි මගින් මෙම සීමා කිරීම තවදුරටත් වැඩි කොට ඇත. නූතන මුදල් ආර්ථිකයන්හි නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය දේශීය මුදල් මුද්‍රණය සහ සැපයුමේ මූලය රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් ය. 

එබැවින්, බාහිර ඉලක්කම් මත අයවැය සීමා කිරීම යනු සමස්ත ආර්ථිකයෙහි නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සහ ගුණක ක්‍රියාවලිය සීමා කිරීම වෙයි. මෙය ආර්ථිකයෙහි නිෂ්පාදන ධාරිතාවය, සම්පත් උපයෝජනය, සේවා නියුක්තිය, ආදායම සහ ජීවන තත්ත්වය බාහිර ලෙස සීමා කිරීමකි.  එබැවින්, මෙම සීමාවන් ඉවත් කොට රාජ්‍ය මුදල් ස්වෛරීත්වය ලැබෙන තෙක්, අනාගතයේ දී සම්පත් උපයෝජනය, නිෂ්පාදන සහ ආදායම සහ ජීවන තත්ත්වයේ වර්ධනයක් බලපොරොත්තු විය නොහැකිය.

2. උද්ධමනය පාලනය සඳහා අතාත්වික ලෙස පටු කළ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය අයවැය සමඟ ගැටුම සහ ආර්ථිකය සඳහා ආංශීය ණය ව්‍යාප්ති ප්‍රතිපත්තියක් නොමැති වීම 

 මෙහි දී, මුදල් මුද්‍රණය සහ සැපයුම පාලනය මහ බැංකුවේ කාර්යයක් බවත්, මිල ගණන් ඉහල යාම හෝ උද්ධමනය යනු අතිරික්ත මුදල් සංසරණයේ ප්‍රතිඵලයක් බවට දැක්වෙන පැරණි සංකල්පයත් මත උද්ධමන පාලනය ඉලක්ක කොට මහ බැංකුව විසින් රජයෙන් ස්වාධීනව බැංකු පොලී අනුපාතයන් පාලනය කළ යුතු බවටත් මතයක් අනුගමනය කෙරේ. ඒ සඳහා 2023 දී මහ බැංකුවට පූර්ණ නෛතික ස්වාධීනත්වය ලබා දී ඇත. 

එහෙත්, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට හැකි බවට කිසිම රටකින් පර්යේෂණ සාක්ෂි නොමැත. රජයේ මිල පාලනයන් හරහා උද්ධමනය පාලනය කෙරෙන බව පොදු නිරීක්ෂණය යි. එබැවින්, මෙම මතවාදය තුළ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ජීවන තත්ත්වය කෙරෙහි අහිතකර බලපෑම් සහ අවිනිශ්චිත තාවයන් ඇති කෙරේ.

  • පළමුව, මහ බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තිය රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම සහ පොලී අනුපාත පදනම් කර ගෙන ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජ්‍ය ණය පිරිවැය පාලනයට රජය අසමත් වීම. එබැවින්, සාර්ව ආර්ථික අරමුණු සඳහා රාජ්‍ය වියදම් කළමනාකරණය අපහසුවීම හේතුවෙන් රාජ්‍ය මුදල් සහ මහ බැංකු මුදල් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙයි. 

  • දෙවනුව, නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය බැංකු ණය සහ මුදල් ආංශීය පදනමක් මත ව්‍යාප්ත කිරීමට මහ බැංකුව ක්‍රියා නොකිරීම තුළින් පෞද්ගලික අංශය පසුගාමී වීම. ඊට හේතුව, බැංකු ණය සැපයුම වෙළෙඳපොළ මත සිදු වීමට ඉඩ හැරීමෙන් ප්‍රමුඛ සහ ඉහළ ලාභදායි ව්‍යාපාරික අංශවලට පමණක් බැංකු පහසුකම් ලැබීම යි.

  • තෙවනුව, පොලී අනුපාතය යනු හුදෙක් මහ බැංකු අභිමතය පරිදි භාණ්ඩ හා සේවා මිල ගණන් සහ උද්ධමනය පාලනයට එදිනෙදා භාවිතා කිරීමට ඇති මෙවලමක් නොව, ආර්ථිකයෙහි සම්පත් වර්තමානය සහ අනාගතය අතර අවදානම් මත බෙදා හැරීම මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ජීවන තත්ත්වය දිගු කාලීන පදනමක් මත මෙහෙය වීමට භාවිතා කෙරෙන මෙවලමකි.

සමස්තයක් ලෙස ආර්ථිකයෙහි මුදල් මුද්‍රණය රාජ්‍ය වියදම් හරහා සිදු වන අතර ඒ මත ජනිත වන ණය සහ මුදල් සැපයුම ආර්ථිකයෙහි ප්‍රමුඛ නිෂ්පාදන අංශ අතර ව්‍යාප්ත කිරීම තුළින් ආර්ථිකය සංවර්ධනය කිරීමේ තිරසාර මුදල් ප්‍රතිපත්ති මහ බැංකුව විසින් අනුගමනය නොකිරීම සැලකිය යුතු ව්‍යුහාත්මක අවදානමකි. 

3. රාජ්‍ය විදේශ ණය මත මහ බැංකු විදේශ සංචිතය ගොඩ නැගීම සහ අතාත්වික ලෙස පාලිත සුබසාදන විනිමය අනුපාතයක් මත ආනයන මූල්‍යකරණය

ශ්‍රී ලංකාව විසින් වරින් වර මුහුණ දෙන විදේශ මුදල් සහ ණය අර්බුදයේ මූලය මෙය යි. එය ඉතා සරල මූල්‍ය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

  • පළමුව, රජය විසින් අඛණ්ඩව ලබා ගන්නා විදේශ ණයවල ඩොලර් මගින් මහ බැංකු විදේශ සංචිතය පවත්වා ගැනීමත්, එම ඩොලර් සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය අයවැය සඳහා අවශ්‍ය නව මුදල් මුද්‍රණය කිරීම.

  • දෙවනුව, මහ බැංකුව විසින් එම විදේශ සංචිතයෙන් ඩොලර් බැංකුවලට සැපයීම මගින් ඩොලර් විනිමය අනුපාතය පහළ මට්ටමක පාලනය කිරීම.

  • තෙවනුව, එසේ පහළ විනිමය අනුපාතයක් හරහා විදේශ ණය සේවාකරණ වියදම සහ ආනයන වියදම පාලනය කිරීම තුළින් ආර්ථිකයෙහි නිෂ්පාදන පිරිවැය සහ උද්ධමනය අතාත්වික ලෙස පාලනය කිරීම.

  • සිවුවනුව, කාල ව්‍යුහය, සංයුතිය, පිරිවැය සහ අවදානම් සැලකිල්ලට ගෙන ආර්ථිකයෙහි විදේශ මුදල් අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස මහ බැංකු මුදල් ප්‍රතිපත්ති හරහා විදේශ මුදල් සංචිතය ගොඩ නැගීමේ ප්‍රතිපත්ති ක්‍රමවේදයක් මහ බැංකුව සතු නොවීම. 

එබැවින්, රජයට විදේශ ණය සැපයුම අඛණ්ඩව පවතින තෙක්, ආර්ථික ස්ථායිකරණය පවතින අතර විදේශ ණය හිඟයක් හට ගත් විගස, විදේශ සංචිතය පහළ ගොස්, විනිමය අනුපාතය ඉහළ යාම තුළින් ආර්ථිකය අස්ථායී වනු ඇත. මෑත දී, දිට්වා විනාශයෙන් මහජනයා ගොඩ ගැනීම සඳහා වියදම් කිරීමට රජයට ඇති බාධකය ලෙස දැක්වූයේ, එම වියදම් හරහා ඉහළ යන ආනයන තුළින් විනිමය අනුපාතය ඉහළ යාමේ අවදානම යි. එබැවින්, එම වියදම් පියවීම සඳහා රජය විසින් විදේශ ණය සහ මුදල් ආධාර පසුපස යාමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කරන ලදි. 2022 අප්‍රේල් මස විදේශ ණය පැහැර හැරීම එසේ විදේශ ණය සැපයුමේ හිඟය හේතු කොට මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීමේ ප්‍රතිඵලය යි. එබැවින්, නැවත විදේශ ණය හිඟයක් හට ගත හොත්, එවැනි නව අර්බුදයක් හට ගනු ඇත. ඒ බව මෙවැනි ආර්ථික කළමනාකරණ මොඩලයන් පවතින වෙනත් රටවලින් පැහැදිළි ය. 

මෙහි නවතම ව්‍යුහාත්මක අවදානම වනුයේ, නව මහ බැංකුවට විදේශ සංචිතය සහ විනිමය අනුපාතය පිළිබඳ ව විශේෂිත ජාතික ආර්ථික අරමුණු සහ ඉලක්කයන් ආශ්‍රිත ව්‍යවස්ථාපිත වගකීම් නොමැතිවීම යි. නව මහ බැංකු පනත අනුව විදේශ මුදල් යනු ස්වාධීන මහ බැංකුවේ තවත් එදිනෙදා මුදල් වෙළෙඳ අංශයකි. රජයේ විදේශ මුදල් ගනුදෙනු පියවීමේ විශේෂ වගකීමක් ද නොමැත. එබැවින්, මහ බැංකුව විසින් යම් අවස්ථාවක රජයේ විදේශ ණය සේවාකරණයට අවශ්‍ය ඩොලර් සැපයීම ප්‍රතික්ෂේප කළ හොත්, විදේශ ණය නැවත පැහැර හැරීමට රජයට සිදු වනු ඇත. එනම්, නැවත විදේශ මුදල් මත පදනම් වූ ආර්ථික අර්බුදයක් රටෙහි හට ගැනීම යි. එය වැලැක්වීමට හැකි වන්නේ, රජය විසින් ස්වාධීන විදේශ මුදල් සංචිතයක් පවත්වා ගැනීම මගිනි.

4. මූර්ත ආර්ථිකය තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කෙරෙන සම්පත් උපයෝජන ප්‍රතිපත්තියක් නොවීම

නූතන විවෘත ආර්ථික කළමනාකරණ ක්‍රමය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ජීවන තත්ත්වය වර්ධනය කිරීම සඳහා ඩොලර් වැනි ගෝලීය විදේශ මුදල් අතිරික්තයක් අත්‍යවශ්‍ය ය. එය ආනයන සහ ප්‍රාග්ධන සේවාකරණය හිඟයන් පියවීමත්, ගෝලීයව පිළිගැනෙන මූල්‍ය ස්වාරක්ෂක තොගයක් ගොඩ නැගීමටත් අවශ්‍ය වෙයි. එවැනි විදේශ මුදල් සංචිතයක් තිරසාර වන්නේ, විදේශ මුදල් අතිරික්තයන් ජනිත වන පරිදි ආර්ථිකයෙහි මූර්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් ව්‍යුහය පවත්වා ගැනීමෙනි. එය ආර්ථික කළමනාකරණයේ මූලික වගකීමකි. 

එහෙත්, එවැනි මූර්ත ආර්ථික ව්‍යුහයක් ගොඩ නැගී නොමැති බැවින්, මෑත දශකයන් තුළ ආර්ථික කළමනාකරණයේ ප්‍රධාන කුළුණ වී ඇත්තේ, ඉහත දැක්වූ පරිදි රාජ්‍ය විදේශ ණය හරහා විදේශ මුදල් අතිරික්තයක් සහ සංචිතයක් පවත්වා ගැනීම යි. එනම්, විදේශ ණය ලැබෙන තරමට නායකයන් සහ මහජනතාව සතුටු වන විවෘත ආර්ථික ව්‍යුහයකි. එබැවින්, අඛණ්ඩව විදේශ මුදල් අතිරික්තයක් ජනිත කිරීමට හැකි මූර්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් ව්‍යුහයක් ගොඩ නොනැගීම සැලකිය යුතු ව්‍යුහාත්මක ආර්ථික අවදානමකි.

5. පොදුජන ජීවන මට්ටම ඉලක්ක කොට රාජ්‍ය සම්පත් භාවිතය සහ වෙළෙඳපොළ නියාමනය සිදු කෙරෙන ක්‍රමවේදයක් නොමැති වීම

බොහෝ රජයන් විසින් එදිනෙදා වෙළෙඳපොළවල් මුහුණ දෙන ආතතීන් නිරාකරණයත්, විනිමය අනුපාතය, විදේශ සංචිතය, උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය වැනි ආර්ථික ඉලක්කම් කිහිපයක් තාවකාලිකව සැකසීමත් සඳහා තම ප්‍රතිපත්ති මෙවලම් වරින් වර ක්‍රියාත්මක කිරීම පොදු ලක්ෂණයකි. ඒවා හුදෙක් දේශපාලනික ජනප්‍රියතාවය රැක ගැනීමේ අරමුණින් සිදු කෙරෙන බව වේදිකා ප්‍රකාශනයන්ගෙන් පැහැදිළි ය. 

එහෙත්, පොදුජන ජීවන මට්ටම යනු රාජ්‍ය සම්පත් සහ වෙළෙඳපොළ නියාමනය තුළින් මූර්ත ආර්ථික සංවර්ධනය හරහා නිශ්චිත ඉලක්කයන් සහ පසුවිපරම් මත දිගු කාලීනව සංවර්ධනය කළ යුතු සමස්ත ආර්ථික තත්ත්වයකි. මෙහි දී, මූර්ත නිෂ්පාදන වර්ධනය මෙන්ම සේවා නියුක්තිය, ආදායම සහ පරිභෝජනය හරහා එහි සාධාරණ ව්‍යාප්තිය ඇගයීම කෙරෙන විනිවිද ඉලක්කයන් සහ පසුවිපරම් අනුගමනය කළ යුතුය. 

එසේ නොවන විට, නව ලිබරල් වෙළෙඳපොළ මොඩලය තුළින් රාජ්‍ය සම්පත් රාජ්‍ය අනුග්‍රහය ලත් මහා පරිමාණ ව්‍යාපාරික සුළුතරයක් වෙත සංකේන්ද්‍රණය වීමත්, මූර්ත නිෂ්පාදන බහුතරය ඔවුන් වෙත ව්‍යාප්ත වීමත්, රාජ්‍ය ආර්ථික කළමනාකරණය ඔවුන් හරහා ක්‍රියාත්මක වීමත්, ඉහළ සිට පහළට බහුතර මහජනතාව වෙත සිදු වන ආර්ථික කාන්දුව සුළු වීමෙන් සමාජීය අසමතුලිතතාවයක් හට ගැනීමත් සිදු වෙයි. එය රටේ සංවර්ධනයට ඇති දැඩි ආර්ථික ව්‍යුහාත්මක අවදානමකි. එහෙත්, කිසිම දේශපාලනික නායකයන් විසින් මෙම ව්‍යුහාත්මක අවදානම නිරාකරණය සඳහා යොමු වූ ආර්ථික කළමනාකරණ මොඩලයන් යෝජනා නොකෙරේ. 

6. දේශීය ආර්ථික සංවර්ධන ඉලක්කයන් මත ගෝලීය භූදේශපාලනික සංයුතිය භාවිතා නොකිරීම

ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකය තුළ ක්‍රියාකාරී රටක් බැවින් රටෙහි ආර්ථික සහ ජීවන සංවර්ධනයට දේශීය දේශපාලනික ප්‍රතිපත්ති මෙන්ම ගෝලීය දේශපාලනික සංයුතිය ද වැදගත් වෙයි. මෙහි දී, රට විසින් ගෝලීය ආර්ථිකයෙහි සිදු කෙරෙන ක්‍රියාකාරකම් සඳහා විදේශ රටවල් සමඟ එකඟ වන වෙළෙඳ ගිවිසුම් වැදගත් වෙයි. එසේම, රටවල් අතර සිදු වන විවිධ ගැටුම් හේතු කොට මෙම වෙළෙඳ ගිවිසුම් කලින් කලට විවිධ ආතතීන්ට සහ පළි ගැනීම්වලට ගොදුරු වනු ඇත. 

එබැවින්, රාජ්‍ය නායකයන් විසින් වරින් වර හමුවන විදේශ නායකයන් සමඟ ගොඩ නගා ගන්නා හදිසි හිතවත්කම් මත වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම දැඩි ආර්ථික ව්‍යුහාත්මක අවදානමකි. රටෙහි සම්පත් ව්‍යුහය සහ ආර්ථික ඉලක්කයන් පදනම් කර ගෙන විදේශ රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් දැකිය නොහැකි අතර විදේශ ආධාර සෙවීමේ දුප්පත් මානසිකත්වය මත වෙළෙඳ ගිවිසුම් සොයා යාම ද දැඩි අවදානමකි. මෙහි දී, එවැනි ගිවිසුම් හරහා පොදු මහජන යහපත නොව රාජ්‍ය අනුග්‍රාහකයන්ට ආරක්‍ෂිත ව්‍යාපාරික අවස්ථාවන් සපයා දීමේ දේශපාලනික චෝදනාවන් ද බහුල ය.

සමාප්ත සටහන

  • ඉහත කෙටියෙන් දැක්වූ ආර්ථික ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගැනීමේ සහ ඒවා කාලීන පදනමක් මත නිරාකරණය කිරීමේ කිසිම දේශීය දේශපාලනික දර්ශනයන් ඉදිරිපත් වී නොමැත.

  • එබැවින්, පවතින ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය තුළ ඕනෑම අවස්ථාවක ආර්ථික අර්බුදයක් හට ගත හැකිය.

  • ආර්ථිකය රඳා පවතින අධික ඩොලර්කරණය තුළ අර්බුද නාභිය හුදෙක් රජයට ඩොලර් ණය සැපයුම වටා ගොඩ නැගී ඇත. එවැනි අර්බුදයක එකම සංඥා කරු  මහ බැංකු විදේශ මුදල් සංචිතය යි.

  • එබැවින්, දැනට පැහැර හැර ප්‍රතිව්‍යුහගත කොට ඇති විදේශ විදේශ ණය 2028 වර්ෂය ආරම්භයේ සිට නැවත ගෙවීම ආරම්භ කළ පසු, එම ණය ගෙවීම සඳහා නව විදේශ ණය සැපයුම් ප්‍රවාහයක් අවශ්‍ය වනු ඇත. 2027 වර්ෂයේ දී නැවත IMF ණය වැඩසටහනකට යාම යෝජනා වන්නේ ඒ සඳහා ය.

  • එබැවින්, කෙසේ හෝ රජයට ඩොලර් ණය සැපයුම තිබෙන තෙක්, වරින් වර ආර්ථික කම්පනයන් පැමිණිය ද, රජය කඩා වැටෙන පරිමාණයේ ආර්ථික අර්බුදයක් 2028 දී හෝ ඊට පෙර හෝ පසු හට ගැනීමේ විශේෂ අවදානමක් නොමැත. එබැවින්, ඕනෑම දෙයක් කැප කොට අර්බුද නාභිය ආරක්ෂා කිරීම ඕනෑම රජයක වගකීම යි.

  • සමස්තයක් ලෙස, IMF වැඩසටහන් සහ වත්මන් ආර්ථික කළමනාකරණ නීති රාමුව අත්හරින තෙක්, මෙම ලිපියෙන් ඉදිරිපත් කළ ආර්ථික ව්‍යුහාත්මක අවදානම් නිරාකරණයට තබා, ඒවා හඳුනා ගැනීමටවත් උවමනාවක් ඇති දේශපාලන නායකත්වයක් නුදුරැ අනාගතයේ දී මෙරට බිහි නොවනු ඇත. නූතන මුදල් ආර්ථිකයන් රාජ්‍ය වියදම් කපා, බදු වැඩි කොට, අයවැය හිඟය කපා, මුදල් මුද්‍රණය සහ සැපයුම කපා, ඩොලර් ණය සංචිතයක් හරහා සෑම දෙයක් ආනයනය කිරීම තුළින් පොදු මහජනයාට හිතකර ලෙස සංවර්ධනය හෝ ස්ථායිකරණය කළ නොහැකිය. එහෙත්, IMF ඉලක්කම් ටික සකසා ගත හැකිය.

  • එහෙත්, දැනට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැඩිකල් තීරු බදු පදනම් වූ දේශීය ආර්ථික ආරක්ෂණ ප්‍රතිපත්තිය හේතුකොට ජනිත වී ඇති ගෝලීය ආර්ථික ගැටුම් තුළ IMF ආයතනයේ සහ ගෝලීය ඩොලර් සැපයුමේ ඉරණම ද අවිනිශ්චිත ය. එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා ආර්ථිකය, ජන ජීවිතය සහ ආර්ථික කළමනාකරුවන් කොහේ ගසා ගෙන යයි ද? යන්න කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකිය.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ පළමු මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මුදල් මුද්‍රණය නොමැතිව දිට්වාවෙන් ගොඩ ඒම බැරි ඇයි? IMF පිටුදැක, රාජ්‍ය මුදල් බලය සුරැකිමු.

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

IMF දිව බොරු නොකීම. සැඟවුන සත්‍යය සොයමු.