නූතන රාජ්‍ය මුදල් නොදැනුම සහ අවභාවිතය. රටවල ආර්ථික පසුබෑම සහ දිළිදුකමේ උල්පත ද?

 


ලිපියේ පසුබිම සහ අරමුණ 

ශ්‍රී ලංකා ආර්ථික විද්වතුන්ගේ සංගමය විසින් පසුගිය දිනක පැවති වාර්ෂික සමුළුවක දී, ශ්‍රී ලංකා රාජ්‍ය අයවැය හිඟය පිළිබඳ ව ත්, අයවැය හිඟය පියවීමට මුදල් අච්චු ගැසීම වැනි අහිතකර ක්‍රමවේදයන් භාවිතා කිරීමට මහ බැංකුවට අවස්ථාවක් නොමැති බවත්, සාකච්ඡා වූ බවට වාර්තා විය. (ප්‍රවෘත්තිය)

මින් ගම්‍ය වන්නේ, පුද්ගලයෙකු හෝ ව්‍යාපාරික සමාගමක් මෙන්, රජයන් ද අයවැය හිඟයන්ට මුහුණ දෙන බවත්, එම හිඟයන් බාහිර පාර්ශවයන්ගෙන් රැස් කර ගන්නා ණය මුදල්වලින් පියවන බවත්, මුදල් අච්චු ගැසීම හරහා මහ බැංකුවෙන් ද ණය ගන්නා බවත්, මහ බැංකු ණය අහිතකර ක්‍රමවේදයක් බවත් ය.

මෙම පුවතින් විදහා දැක්වෙන්නේ, මෙම ආර්ථික විද්වතුන්ට නූතන රාජ්‍ය මුදල් (ෆියට් මුදල්) මත ක්‍රියාත්මක වන මුදල් ක්‍රමයන් සහ රාජ්‍ය අයවැය පිළිබඳ නිසි දැනුමක් නොමැති බවත්, ඔවුන් අතීතයේ පැවති පෞද්ගලික බැංකු නෝට්ටු මුදල් ක්‍රමයන් තුළ රජයන් විසින් අයවැය හිඟය පියවූ ආකාරය දැනුවත් පැරණි ආර්ථික විද්වතුන් බවත් ය. එය නව ලිබරල් ආර්ථික මතවාදය යි.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් තුළ, 

  • රජයන් විසින් රාජ්‍ය මුදල් මුද්‍රණය මගින් තම වියදම් පියවන බවත්, 

  • එම මුදල්  පෞද්ගලික අංශයට ආදායම ලෙස ලැබෙන බවත්,

  • රජය විසින් පෞද්ගලික අංශයේ එම මුදල් ආදායමින් අය කරන ලද බදුවලට වඩා වැඩි වූ රාජ්‍ය වියදම් හෝ මුදල් අතිරික්තය අයවැය හිඟය ලෙස නම් කෙරෙන බවත්,

  • එම අයවැය හිඟය යනු හුදෙක් රාජ්‍ය අයවැය හරහා පෞද්ගලික අංශයට ජනිත කෙරෙන මුදල් අතිරික්තය බවත්,

  • එම මුදල් අතිරික්තය ආර්ථිකයෙහි මුදල් සංසරණයට එකතු වන බවත්,

  • රාජ්‍ය ණය යනු පෞද්ගලික අංශය විසින් එම මුදල් අතිරික්තය වියදම් කිරීම වැලැක්වීම සඳහා රජය විසින් ඔවුන් වෙත ප්‍රදානය කෙරෙන විකල්ප මුදල් වත්කමක් බවත්, 

  • වියදම්, බදු සහ රාජ්‍ය ණය යනු පුළුල් ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති මෙවලම් බවත්, පෙන්වා දීම යි

මෙම ලිපිය මීට පෙර මෙම වෙබ් අඩවියේ පළ කරන ලද ලිපි දෙකක අඩංගු වූ කරුනු මත පදනම් වෙයි.  (ලිපිය 1) (ලිපිය 2) එබැවින්, මෙම ලිපිය හුදෙක් විෂය කරුනු සාරාංශයක් ලෙස ඉදිරිපත් කෙරේ.

නූතන මුදල් ක්‍රමයන්හි පදනම

  • නිල මුදල් යනු රජය විසින් නිකුත් කරන කාසි සහ නෝට්ටු මත පදනම් වූ රාජ්‍ය ගෙවුම් පොරොන්දු වෙයි. මේවා ඉතා විශ්වාසී සහ ගනුදෙනු කළ හැකි පොරොන්දු පත්‍ර වෙයි. මේවා නීතියෙන් මුදල්වල කාර්යයන් ඉටු කිරීමට සහ රජයට බදු අය කිරීමේ මාධ්‍යය ලෙස නියම කොට ඇත. මෙම නිල මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරය රජය යි. එබැවින්, පෞද්ගලික මුදල් නිකුතුව සහ භාවිතය නීතියෙන් තහනම් වෙයි.

  • එබැවින්, පෞද්ගලික අංශයෙන් භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීම සඳහා රාජ්‍ය මුදල් නිකුත් කිරීම මගින් වියදම් කිරීමටත්,  ඉන් පෞද්ගලික අංශය විසින් ලබන රාජ්‍ය මුදල් ආදායමින් බදු අය කිරීමටත්, රජයට හැකියාව ලැබේ. 

  • මහ බැංකුව යනු මෙම රාජ්‍ය මුදල් ගනුදෙනු පියවීම සඳහා බලය ලැබී ඇති රාජ්‍ය මූල්‍ය නියෝජිතයා සහ රාජ්‍ය බැංකු ගිණුම් ලිපිකරු වෙයි. එම පියවුම් සේවය බැංකු සහ රජය විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ජංගම ගිණුම් (සංචිත ගිණුම්) හරහා සිදු වෙයි. මහ බැංකුව විසින් කාසි සහ නෝට්ටු නිකුත් කිරීම හුදෙක් රජය වෙනුවෙන් මෙම පියවුම් අවශ්‍යතාවන් සඳහා සිදු කෙරේ.

  • රජය විසින් බලපත්‍ර ලබා දී ඇති බැංකුවලට ද බැංකු ගෙවුම් පොරොන්දු නිකුත් කිරීම හරහා මුදල් මැවීමේ අධිකාරිය පවතී. එනම්, ද්විත්ව ගිණුම් සටහන් මගින් ණය දීම හරහා තැන්පතු මුදල් මැවීම යි. තැන්පතු යනු බැංකු ගෙවුම් පොරොන්දු වන අතර ඒවා රාජ්‍ය මුදල්වලට හුවමාරු කළ හැකි බවට මහජන විශ්වාසය පවතින බැවින් තැන්පතු ද යම් යම් අවදානම්වලට යටත්ව මුදල්වල කාර්යයන් ඉටු කිරීම සඳහා භාවිතා කෙරේ. ඒ සඳහා බැංකු විසින් මුහුණ දෙන රාජ්‍ය මුදල් හිඟයන් අන්තර් බැංකු වෙළෙඳපොළෙන් සහ මහ බැංකුවෙන් රාජ්‍ය මුදලින් ණය ලබා ගැනීම මගින් පියවා ගැනේ.

  • ඊට අමතරව, රාජ්‍ය නීති සහ නියාමනයට යටත්ව බැඳුම්කර සහ කොටස් වැනි ගෙවුම් පොරොන්දු පත්‍ර නිකුත් කිරීමේ හැකියාව ව්‍යාපාරික සමාගම්වලට පවතී. ඒවා මුදල් ලෙස ප්‍රචලිත නොවූව ද, යම් යම් අවදානම්වලට යටත්ව රාජ්‍ය මුදල් සහ බැංකු තැන්පතුවලට හුවමාරු කිරීමේ හැකියාව පවතින බැවින් ආයෝජන වෙළෙඳාම සඳහා එම පොරොන්දු පත්‍ර භාවිතා කෙරේ.

  • එබැවින්, මුදල් ගනුදෙනු ආශ්‍රිත වෙළෙඳපොළවල් යනු දැඩි රාජ්‍ය මුදල් බලය, නියාමනය සහ අනුග්‍රහයට යටත් වෙළෙඳපොළවල් වෙයි.

රාජ්‍ය වියදම්, අයවැය හිඟය සහ ණය පිළිබඳ නව ලිබරල් අසත්‍යය 

ඉහත දැක්වූ නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සැබෑ තොරතුරු IMF සහ නව ලිබරල් ආර්ථික විද්‍යාඥයන් විසින් වහන් කොට, රාජ්‍ය අයවැය හිඟය සහ ණය යනු පොදු ආර්ථිකයට සහ සමාජයට අහිතකර රාජ්‍ය මැදිහත්වීම් බවට ගෝලීය මතවාදයක් 1980 දශකය ආරම්භයේ සිට දියත් කොට ඇත. 

ඔවුන්ගේ අරමුණ වනුය්, ඇමෙරිකානු ඩොලරයට බද්ධ වූ ගෝලීය පෞද්ගලික අංශය සහ වෙළෙඳපොළ ප්‍රවර්ධනය හරහා දේශීය රාජ්‍ය මුදල් ආර්ථිකයන් සහ ස්වාධීනත්වය යටපත් කිරීම තුළින් ඩොලර් ණය මත පදනම් වූ ආනයන ආර්ථිකයන් බිහි කිරීම යි. ඒ පිටුපස ගෝලීය විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා උපාධි විෂය ධාරාවක් ද පවතී. 

එහෙත්, එම අයවැය මතවාදය අසත්‍ය ය. එම අසත්‍යය පිටුපස පවතින මූලික කරුනු කිහිපයකි.

  • රටක මුදල් නිකුතුව සහ පාලනය මහ බැංකුවේ ස්වාධීන කාර්යයක් බව, 

  • පෞද්ගලික අංශය මෙන් රජය විසින් ද තම අයවැය හිඟය පියවීම සඳහා ආර්ථිකයෙහි සංසරණය වන එම මුදල්වලින් මුදල් වෙළෙඳපොළ හරහා ණය ගත යුතු බව, 

  • එම ණය මහ බැංකුවෙන්, බැංකුවලින් සහ මහජනතාවගෙන් ලබා ගත හැකි බව, 

  • එම ණය සහ ණය පොළිය ගෙවීම මහජනතාවගෙන් අය කෙරෙන බදු මුදලින් කළ යුතු බව, 

  • එබැවින්, අයවැය හිඟය සහ ණය මහජනතාවට බරක් බව, 

ඒ අනුව, නව ලිබරල්වාදී ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලන නායකයන් විසින් මහජනතාව තුළ අයවැය සහ ණය බිල්ලෙකු මවා ඇත. 

එබැවින්, රාජ්‍ය වියදම් සීමා කිරීම පිණිස අයවැය හිඟය සහ ණය සඳහා විවිධ උපරිම සීමාවන් පැනවීමේ සමීකරණයන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇත. පසුගිය දා ශ්‍රී ලංකා ආර්ථික විද්වතුන් ගායනය කළේ ද එම ගීතයයි. එය පොදු මහජන වගකීම් අඩු කිරීම හෝ කප්පාදු කිරීම සඳහා දේශපාලනික නායකයන්ට කෙරෙන අත දීමකි.

නූතන රාජ්‍ය මුදල් සහ අයවැය පිළිබඳ සත්‍යය

රාජ්‍ය මුදල් සහ අයවැය යනු පොදුජන සංවර්ධන ඉලක්කයන් සඳහා ආර්ථිකය කළමනාකරණය කිරීම පිණිස රජය සතු ඉතාම බලගතු අවිය යි. ඒ සඳහා රජය සතු ස්වාභාවික සම්පත් තොගය සහ විවිධාකාර වෙළෙඳපොළ නියාමනයන් සහ මැදිහත්වීම් ද භාවිතා කෙරේ.

රාජ්‍ය මුදලින් අයවැය සිදු වන ආකාරය කෙටියෙන් පහත දැක්වෙයි.

  • රජය විසින් වියදම් කිරීමේ දී රාජ්‍ය මුදල් හෝ ගෙවුම් පොරොන්දු නිකුත් කෙරෙනු ඇත. ඒවා අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය හරහා මහ බැංකුව විසින් පියවනු ඇත.

  • එම ගෙවුම් පියවීමේ දී කාසි සහ නෝට්ටු, බැංකු සංචිත සහ රජයෙන් ලැබිය යුතු මුදල් (හෝ අයිරාවන්) යානා දී ලෙස පෞද්ගලික අංශයේ ගිණුම්වල රාජ්‍ය මුදල් ජනිත වනු ඇත. පෞද්ගලික අංශයට රාජ්‍ය මුදල් ලැබීමේ මූලය එය යි. එනම්, ඒ ඒ වර්ෂය තුළ කෙරෙන රාජ්‍ය වියදම් සඳහා නව මුදල් නිකුත් කෙරෙනු ඇත. එය අඛණ්ඩ මුදල් ප්‍රවාහයකි.

  • එම රාජ්‍ය මුදල් හරහා පෞද්ගලික අංශයට ලැබෙන ආදායමින් කොටසක් රජයට බදු ගෙවනු ඇත. එය ද රාජ්‍ය මුදල් ප්‍රවාහයකි. එබැවින්, බදු යනු රාජ්‍ය වියදම් හරහා පෞද්ගලික අංශය වෙත ලැබී ඇති රාජ්‍ය මුදල්වලින් කොටසක් වරින් වර රජය විසින්ම නිෂ්ක්‍රීය කිරීම යි. එසේ නැතිව, රජය විසින් ඉදිරියේ දී වියදම් කිරීම සඳහා රැස් කෙරෙන රාජ්‍ය මුදල් නොවේ. රජය යනු ඒකාධිකාරී රාජ්‍ය මුදල් නිකුතුකරු වීමත්, ගිණුම් සටහන් හරහා නව මුදල් නිකුත් කිරීම මගින් ඕනෑම වියදමක් කළ හැකි වීමත් හේතු කොට, රාජ්‍ය මුදල් තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් රජයට නොමැත. ඒ අනුව, බදු මුදල් ලෙස රාජ්‍ය මුදල් වත්කමක් හෝ තොගයක් කිසිම විටක රාජ්‍ය ගිණුම්වල නොමැත. බදු හරහා රාජ්‍ය මුදල් අවශෝෂණය කිරීම හේතු කොට, ආර්ථිකයට අවශ්‍ය අංශ වෙත නව මුදල් හරහා නව රාජ්‍ය වියදම් කිරීමට රජයට අවකාශය ලැබේ.

  • ඒ ඒ වියදම් අවස්ථාවේ දී බදුවලින් පසු ශුද්ධ වියදම යනු රජය විසින් ආර්ථිකයට නිකුත් කොට ඇති නව මුදල් ප්‍රමාණය යි. නව ලිබරල් වාදීන් විසින් අයවැය හිඟය ලෙස ඇස්තමේන්තු කෙරෙන්නේ, මෙම ශුද්ධ රාජ්‍ය වියදම හෙවත් නව මුදල් නිකුතුව යි. එබැවින්, එහි රජය විසින් පෞද්ගලික අංශයෙන් මුදල් ණයට ගෙන පියවීමට දෙයක් නොමැත. එබැවින්, නූතන රජයන්ට  පෞද්ගලික මුදල් ණයට ගැනීමක් අවශ්‍ය නොවේ. ඊට හේතුව, රාජ්‍ය මුදල් මුද්‍රණ බලය රජය සතු වීම යි

  • රජය විසින් විදේශ මුදල් ණය ලබා ගැනීම යනු රජය විසින් විදේශ මුදල් මිල දී ගැනීම සඳහා වියදම් කිරීමකි. ඒ සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය මුදල් නිකුත් කරනු ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් නිකුතුවෙහි ප්‍රධාන මූලය මෙම විදේශ මුදල් සඳහා කෙරෙන රාජ්‍ය වියදම යි. මෙම විදේශ මුදල් මහ බැංකු විදේශ සංචිතය හරහා සහන දායී විනිමය අනුපාතයන් මත ආනයන ආර්ථිකය මූල්‍යකරණයට භාවිතා කෙරෙනු ඇත. දියුණු වන රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයේ මූලය මෙය වෙයි.

  • මෙසේ නිකුත් කොට, ආර්ථිකයෙහි සංසරණය වන රාජ්‍ය මුදල් ප්‍රමාණයෙන් කොටසක්, රජය විසින් කලින් කලට රාජ්‍ය සුරැකුම්පත් වැනි රාජ්‍ය ණය වත්කමක් බවට පරිවර්තනය කරනු ඇත. එනම්, පෞද්ගලික අංශය වෙත ඇති රාජ්‍ය මුදල් වත්කම් කොටසක් නැවත ආදායම් ඉපැයෙන රාජ්‍ය මුදල් වත්කම් බවට පත් කිරීම යි. රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි යනු එම අවස්ථාවන් ය. එමගින්, පෞද්ගලික අංශය විසින් රාජ්‍ය මුදල් වියදම් කිරීම යම් කාලයකට කල් දැමීම සිදු කෙරේ. එබැවින්, රාජ්‍ය ණය යනු අයවැය හිඟය පියවීමට රජය විසින් බාහිරව ලබා ගෙන ඇති මුදල් නොව, රජය විසින් වියදම් සඳහා නිකුත් කොට ඇති රාජ්‍ය මුදල්වලම එක් කොටසකි. මෙම රාජ්‍ය ණය යනු අනාගතයේ දී ආපසු ගෙවීම සඳහා නිර්මාණය කොට ඇති මුදල් වර්ගයක් හෝ ගෙවුම් පොරොන්දු නොවේ. එබැවින්, රාජ්‍ය ණය තොගය අඩු කළ හැක්කේ, මහ බැංකුව විසින් ඒවා මිල දී ගැනීම, රජය විසින් වියදමට වඩා බදු අය කිරීම සහ රජය විසින් සංචිත මුදල් නිකුත් කොට රාජ්‍ය ණය ආපසු මිල දී ගැනීම මගිනි. එහෙත්, එමගින් ඉතා භයානක සාර්ව ආර්ථික සංකුලතාවයන් හට ගනු ඇත.

  • බදු සහ රාජ්‍ය ණය යනු රජය විසින් නිකුත් කොට ඇති රාජ්‍ය මුදල්වලින් කොටසක් අවශෝෂණය කිරීම තුළින් පෞද්ගලික අංශයේ වියදම් පාලනය කිරීමේ අයවැය ප්‍රතිපත්ති මෙවලම් දෙකකි. එය ආර්ථිකයෙහි සම්පත් රාශිකරණය, ව්‍යාප්තිය සහ උපයෝජනය තුළින් ආර්ථික වර්ධනය, උද්ධමනය සහ සේවා නියුක්තිය කළමනාකරණය සඳහා භාවිතා කෙරේ. ඒ සඳහා පිරිවැය හෝ මිල ගණන් ලෙස බදු අනුපාතයන් සහ පොලී අනුපාතයන් භාවිතා කරනු ඇත. ඒවා අභිමතානුසාරී රාජ්‍ය ප්‍රතිපත්ති විචල්‍යයන් ය.

  • රාජ්‍ය මුදල් ක්‍රමය තුළ මහ බැංකුවේ කාර්යය වනුයේ, රාජ්‍ය මුදල් ගනුදෙනු පියවීම සහ ගිණුම් පවත්වා ගැනීම යි. මහ බැංකු මුදල් ප්‍රතිපත්ති හෝ විවෘත වෙළෙඳ ක්‍රියාකාරකම් යනු අන්තර් බැංකු ණය වෙළෙඳපොළේ පොලී අනුපාතයන් ඉලක්ක කිරීම සඳහා බැංකු සංචිත සහ රාජ්‍ය සුරැකුම්පත් අතර සංයුතිය කළමනාකරණය කිරීම යි. බැංකු සංචිත ගිණුම් සහ රාජ්‍ය සුරැකුම්පත් ගිණුම් මහ බැංකුව විසින් පවත්වා ගෙන යන බැවින්, එම ගිණුම් සටහන් හරහා මහ බැංකු මුදල් ක්‍රියාකාරකම් සිදු කරනු ඇත. එමගින්, රාජ්‍ය මුදල් සැපයුමේ සංයුතියේ මිස ප්‍රමාණයේ වෙනසක් නොවේ. එබැවින්, මුදල් ප්‍රතිපත්තිය යනු රාජ්‍ය මුදල් සහ අයවැය ක්‍රියාකාරකම් කෙරෙහි ඇති කෙරෙන අනවශ්‍ය ශබ්දයකි. එමගින්, රටවල රජයන් සහ මහ බැංකු අතර දැඩි ප්‍රතිපත්ති ගැටුම් හට ගැනීම සිදු වෙයි. මීට හොඳම උදාහරණය ඇමෙරිකානු රජය සහ මහ බැංකුව අතර පවතින වත්මන් ප්‍රතිපත්ති ගැටුම යි.
එබැවින්, වියදම් කැපීම සහ බදු ඉහළ දැමීම මගින් අයවැය හිඟය සහ ණය සංකෝචනය කිරීමට කෙරෙන නිර්දේශයන් හුදෙක් පොදුජන ආර්ථික සංවර්ධනයට එරෙහි දේවේශ සහගත ආර්ථික නිර්දේශයන් ලෙස දැක්විය හැකිය.

සමාප්ත සටහන 

  • නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන්හි මුදල් ඒකාධිකාරය රජය යි. මෙය රජයට සමස්ත නිෂ්පාදන ක්‍රියාකාරකම්, ආර්ථිකය සහ වෙළෙඳපොළවල් පාලනය කිරීමේ අසහාය හැකියාව සැපයෙන රාජ්‍ය මුදල් බලය ලෙස දැක්වෙයි. එබැවින්, බාහිර හෝ පෞද්ගලික මුදල් ණයවලින් පියවෙන අයවැය හිඟයන්ට නූතන රජයන් මුහුණ නොදේ. එබැවින්, නව ලිබරල් වාදීන් හුවා දක්වන රාජ්‍ය අයවැය හිඟය සහ ණය යනු නූතන මුදල් බලය හිමි රජයන්ට අදාළ සංකල්පයන් නොවේ. ඒවා පෞද්ගලික සමාගම්වලට සහ පුද්ගලයන්ට අදාළ අයවැය සංකල්පයන් ය.

  • රාජ්‍ය මුදල් යනු රාජ්‍ය ගෙවුම් පොරොන්දු වෙයි. ඒවායේ වටිනාකම කිසිම බාහිර වත්කමකින් ආවරණය නොවන අතර හුදු විශ්වසය මත මුදල් ලෙස පිළි ගැනේ. ආර්ථිකයට රාජ්‍ය මුදල් සැපයෙන මූලය රාජ්‍ය වියදම් ය. එම මුදල්වලින් කොටසක් රජය විසින් බදු හරහා ආර්ථිකයෙන් ඉවත් කෙරේ. රජය විසින් එසේ සපයා සංසරණයේ පවතින රාජ්‍ය මුදල් තොගය හෝ සැපයුම යනු කාසි සහ නෝට්ටු, බැංකු සංචිත සහ රාජ්‍ය ණය යන තෙයාකාරයෙන් පවතින රාජ්‍ය මුදල් වර්ගවල එකතුව යි. ඊට, බැංකු විසින් පෞද්ගලික අංශයට ප්‍රදානය කොට ඇති ණය මුදල් එකතු කිරීමෙන්, ආර්ථිකයෙහි සංසරණය වන මුළු අනුමත මුදල් සැපයුම හෝ ප්‍රමාණය ගණනය කළ හැකිය.

  • රජයට ද ශේෂ පත්‍රයක් පවතී. නිකුත් කොට ඇති රාජ්‍ය මුදල් තොගය එහි වගකීම් වෙයි. එසේම, රජයට ද රාජ්‍ය වියදම් හරහා ජනිත කළ වත්කම් සහ ශුද්ධ වත්කම් තොගයක් පවතී. එහෙත්, කිසිම ආර්ථික විද්‍යාඥයකු විසින් ඒවා ඇස්තමේන්තු නොකොට, රාජ්‍ය අයවැය හිඟය සහ ණය තිරසාර භාවය පිළිබඳ ව පමණක් දොස් නැගේ. ආර්ථික පසුතල පහසුකම්, ජාතික සාමය සහ ආරක්ෂාව, සංරක්ෂිත පරිසරය මෙන්ම රටෙහි ශ්‍රම සම්පත ද රාජ්‍ය වියදම් සහ මුදල් හරහා ජනිත කොට ඇති ජාතික වත්කම් ය. ඒවායේ වෙළෙඳපොළ වටිනාකම සහ ශුද්ධ රාජ්‍ය ධනය පිළිබඳ කිසිම ඇස්තම්න්තුවක් නොමැත. එසේම, ආර්ථිකයෙහි උද්ධමනය සහ ගෙවුම් ශේෂ හිඟය ද කිසිම පදනමකින් තොරව රාජ්‍ය අයවැය හිඟය සහ ණය මත පැටවෙයි. එබැවින්, රාජ්‍ය වියදම් සහ මුදල්වල සැබෑ ආර්ථික මෙහෙය නොවිමසා, සියළු ආර්ථික අසනීපයන්ට පිළියම ලෙස රාජ්‍ය අයවැය හිඟය සහ ණය පිළිබඳ ව සීමා පැනවීම හරහා රාජ්‍ය වියදම් කැපීමත්, බදු ඉහළ දැමීමත් සඳහා රජයන් යොමු කෙරේ. මෙය රාජ්‍ය මූල්‍ය විනය ලෙස නම් කොට ඇත. IMF සහ ලෝක බැංකු ණය වැඩසටහන්වල එකම පදනම ද එය වෙයි

  • එහෙත්, නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් තුළ රාජ්‍ය වියදම් සීමා කිරීම සහ බදු ඉහළ දැමීම හේතු කොට හට ගන්නා රාජ්‍ය මුදල් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් සංකෝචනය තුළින් ජනිත වන ආර්ථික සහ සමාජීය පසුබෑම ඉහළ මට්ටමක පවතී. එය සමනය කිරීමට පෞද්ගලික මුදල් සහ වෙළෙඳපොළවලට හැකියාවක් නොමැති බව කිවයුතු නැත.

  • සමස්තයක් ලෙස, නූතන රජයන් විසින් වියදම් ඇස්තමේන්තු කොට, පසුව බදු සහ ණය රැස් කිරීම තුළින් එම වියදම් පියවීමේ අයවැය ක්‍රමවේදයක් නොමැත. ඒ වෙනුවට සැබෑ ලෙස සිදු කෙරෙන්නේ, නව රාජ්‍ය මුදල් හෝ ගෙවුම් පොරොන්දු පත්‍ර නිකුත් කිරීම මගින් රාජ්‍ය වියදම් පියවීම යි. එබැවින්, නව ලිබරල් වාදී රාජ්‍ය අයවැය හිඟය සහ ණය යනු සැබෑ සංකල්පයන් නොවේ. එබැවින්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජයේ ඒකාබද්ධ අරමුදල, ඊට අනුබද්ධ පාර්ලිමේන්තු අයවැය ක්‍රියාවලිය සහ රාජ්‍ය ණය කළමනාකරණය යනු හුදෙක් පදනම් විරහිත ක්‍රමවේදයන් ය.

  • එබැවින්, රජය විසින් ආර්ථික සහ ජීවන සංවර්ධන ඉලක්කයන්ට යෝග්‍ය පරිදි සම්පත් රාශිකරණය, බෙදා හැරීම සහ උපයෝජනයට අවශ්‍ය පරිදි රාජ්‍ය වියදම් සහ අයවැය මෙවලම් ක්‍රියාත්මක කළ යුතුය. රාජ්‍ය වියදම් යනු ආර්ථිකයෙහි ව්‍යාප්ති විෂමතාවය පහළ දැමිය හැකි එකම අවිය යි. එය නිසි ලෙස සිදු නොවන රටවල ආර්ථිකය සහ මහජනයා පසුගාමී තත්ත්වයන්හි පවතී. සියළු සංවර්ධිත රටවල් සහ වේගයෙන් සංවර්ධනය වන රටවල් එම තත්ත්වය ලබා ගෙන ඇත්තේ රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය හරහා ය. එහෙත්, ඒ සඳහා අවශ්‍ය විද්වත් රාජ්‍ය නිලධාරීන්, දත්ත සහ මෙහෙයවුම් ක්‍රමවේදයන් බොහෝ සංවර්ධනය වන රටවල රජයන් සතුව නොමැති බැවින් හුදෙක් නව ලිබරල් අයවැය මතවාදය අනුගමනය කිරීම හැර වෙනත් විකල්පයක් රාජ්‍ය පාලන අධිකාරීන්ට නොමැත. ඔවුන් නිරන්තරයෙන් IMF මත රැඳීම ද ඊට ප්‍රබල හේතුවකි.

  • ආර්ථිකයන් ස්ථායිකරණය කෙරෙන බවට නව ලිබරල් වාදීන් විසින් ඉහළින් වර්ණනා කෙරෙන මහ බැංකු මුදල් ප්‍රතිපත්ති යනු හුදෙක් රාජ්‍ය මුදල් ගනුදෙනු පියවීම සහ සංයුතිය පාලනය කෙරෙන රාජ්‍ය බැංකු ක්‍රියාකාරකමක් පමණක් වන අතර එමගින් ලඟා කෙරෙන ආර්ථික ස්ථායිකරණය යනු හුදෙක් සැබෑ ලොව සාක්ෂි නොමැති මතවාදයක් පමණි. රටවල සැබෑ මුදල් මෙහෙයවුම් යනු ඉහත දැක්වූ රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් ය. එබැවින්, මහ බැංකුව විසින් තම අභිමතය මත කෙරෙන සංචිත මුදල් මුද්‍රණය මත ආර්ථිකයෙහි මුදල් ගුණකය හරහා මුදල් සැපයුම තීරණය වන බවත්, එය පාලනය කිරීම හරහා ආර්ථිකයෙහි සංකල්පීය මිල මට්ටම (හෝ උද්ධමනය) සහ වර්ධනය ස්ථායිකරණයට මහ බැංකුවට හැකියාව ඇති බවත්, දැක්වෙන පැරණි මතවාදයේ ප්‍රයෝගික පදනමක් නොමැත. එබැවින්, ආර්ථිකයන් සංවර්ධනය සහ ස්ථායිකරණය කිරීමේ ක්‍රමවේදයන් හුදෙක් රාජ්‍ය මුදල් සහ අයවැය ක්‍රියාකාරකම් මත සැකසී ඇත.

  • සමස්තයක් ලෙස, ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති ආර්ථික කම්පනයන් සහ අර්බුදයන්, අධික ආදායම් සහ ධන විෂමතාවයන්, දිළිඳු ජනසමාජයන් සහ අනාගත ආර්ථික අවිනිශ්චිතතාවයන් සැලකීමේ දී, ආර්ථික විද්‍යාවෙන් ඇති පොදුජන යහපත කුමක් ද? යන්න ප්‍රශ්න කිරීමේ ගෝලීය ව්‍යාපාරයක් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට හේතුව, ඕනෑම රටක ආර්ථිකය කළමනාකරණය කිරීම සමකාලීන රජයන්ගේ භූදේශපාලනික ක්‍රියාදාමයක් වීම යි. එහි කිසිම ආර්ථික විද්‍යාවන් නොමැත. මීට හොඳම උදාහරණය වත්මන් ඇමෙරිකානු රජය විසින් අනුගමනය කරනු ලබන තීරුබදු සහ වෙළෙඳ බාධක මත පදනම් වූ දේශීය ආරක්ෂණ ආර්ථික ප්‍රතිපත්තිය සහ ඊට විදේශීය රාජ්‍යයන් දක්වන ප්‍රතික්‍රියාවන් ය.
එබැවින්, සමස්තයක් ලෙස ඕනෑම රටක ආර්ථික සහ පොදුජන සංවර්ධනයේ පසුබෑම සහ ව්‍යාප්ති විෂමතාවය යනු හුදෙක් රජයන් විසින් රාජ්‍ය මුදල් සහ අයවැය අවකළමනාකරණයේ සෘජු ප්‍රතිඵලයන් ලෙස පිළි ගත යුතුය.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ පළමු මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මුදල් මුද්‍රණය නොමැතිව දිට්වාවෙන් ගොඩ ඒම බැරි ඇයි? IMF පිටුදැක, රාජ්‍ය මුදල් බලය සුරැකිමු.

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

IMF දිව බොරු නොකීම. සැඟවුන සත්‍යය සොයමු.