රාජ්‍ය මුදල් බලය පොදු මහජනතාවගෙන් පැහැර ගන්නා නව ලිබරල් වාදීන්. ඊට එරෙහි විප්ලවකාරී සංවර්ධන නායකයන් බිහි වෙයි ද?

 

ලිපියේ පසුබිම සහ අරමුණ 

1980 ගණන්වල ආරම්භයේ සිර වොෂින්ටන් සම්මුතිය හරහා ව්‍යාප්ත වූ නව ලිබරල් වාදය විසින් ලෝකය පුරා රටවල රාජ්‍ය අයවැය හිඟය සහ ණය මර්දනය කිරීමේ ගෝලීය ව්‍යාපාරයක් දියත් වී පවතී. එය හුදෙක් රජය යටපත් කොට, පෞද්ගලික අංශය ආර්ථිකයෙහි එන්ජිම බවට පත් කිරීමේ ව්‍යාපාරයකි. මෙය IMF සහ ලෝක බැංකු ණය කොන්දේසි හරහා දියුණු වන රටවලට ද දැඩි ලෙස පැතිරී ඇත.

එහෙත්, මෙම මතවාදය හුදෙක් පසුගිය සියවස ආරම්භයේ සිට නූතන ලෝකයේ රටවල රාජ්‍ය මුදල් මත ගොඩ නගා ඇති නූතන මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන සැබෑ ආකාරය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව ගොඩ නැගී ඇත. එබැවින්, මෙම මතවාදය මහ බැංකුව විසින් රජයට පරිබාහිර ලෙස නිකුත් කිරීම, නියාමනය සහ පාලනය කෙරෙන මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන බවට විශ්වාසය මත ගොඩ නැගී ඇත. එබැවින්, මහ බැංකු ද මෙම මතවාදයේ ප්‍රධාන පාර්ශවයකි.

නව ලිබරල් මතවාදය තුළින් රටවල මුදල් ක්‍රමයන් ඩොලර්කරණය කිරීමත්, එමගින්, දේශීය රාජ්‍ය  මුදල් ක්‍රමය මහා පරිමාණ ව්‍යාපාරික පංතියේ ප්‍රයෝජනය සඳහා සංකේන්ද්‍රණය කිරීමේ හෝ පැහැර ගැනීමේත් උත්සාහයක් දැකිය හැකිය. 

මෙහි ප්‍රතිඵලයන් වශයෙන් රාජ්‍ය වියදම් හරහා බහුතර මහජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආර්ථිකයන්  සංවර්ධනය කිරීමේ දේශපාලනික ප්‍රතිපත්ති යටපත් වී, දුප්පත්කම සහ ආදායම් විෂමතාවය ඉහළ ගොස්, රටවල සිවිල් අරගල රැල්ලක් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට පදනම ලෙස රාජ්‍ය මුදල් අවභාවිත හෝ දුෂණ චෝදනාවන් ද ඉදිරිපත් වී ඇත. 

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, නූතන මුදල් න්‍යාය වාදීන් දක්වන පරිදි නූතන රාජ්‍ය මුදල් ක්‍රමයේ මූලික සංරචකයන් සහ ඊට එරෙහි නව ලිබරල් මතවාදය කෙටියෙන් ඉදිරිපත් කිරීම තුළින් මූර්ත ආර්ථිකය සහ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම සඳහා නූතන රාජ්‍ය මුදල් භාවිතා කිරීමේ තීරණයන් ගැනීමට පදනම් වන මූලික දැනුමක් සැපයීම යි.

එහෙත්, මෙම ලිපියේ අඩංගු කරුනු අවබෝධ කර ගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාව, මුදල්, රාජ්‍ය අයවැය, මහ බැංකු සහ ද්විත්ව සටහන් ගිණුම්කරණය පිළිබඳ යම් අභ්‍යන්තරික දැනුමක් අවශ්‍ය වෙයි.

ආර්ථිකයක් කළමනාකරණය යනු ආර්ථික විද්‍යාවක් ක්‍රියාත්මක කිරීම නොව, හුදු භූදේශපාලනික ව්‍යායාමයක් බව මෙම ලිපියෙන් පැහැදිළි වනු ඇත.

නූතන රාජ්‍ය මුදල්වල ක්‍රියාකාරී පදනම සහ සංරචකයන්

මෙය නූතන මුදල් න්‍යාය ආශ්‍රිතව ඉදිරිපත් කෙරේ. නූතන මුදල් න්‍යාය මගින් මිල්ටන් ෆරීඩ්මන් සහ නව ලිබරල් ආර්ථික සංකල්පයන්ට දැඩි අභියෝගයක් එල්ල කොට ඇත. එනම්, රාජ්‍ය අයවැය හිඟය සහ ණය සීමා කළමනාකරණය සහ ස්වාධීන මහ බැංකු මුදල් මුද්‍රණය හරහා උද්ධමන පාලනය ආශ්‍රිත සම්ප්‍රදායික මූල ධර්මයන් සහ ප්‍රතිපත්ති මෙවලම්වල පදනම ප්‍රතික්ෂේප කිරීම යි. නූතන මුදල් න්‍යාය යනු නූතන මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන සැබෑ රාමුව සහ සංරචකයන් ද, එය ආර්ථිකය සහ ජීවන තත්ත්වය කෙරෙහි බලපාන ආකාරය ද දැක්වෙන කාචයකි. එහි සාරාංශයක් පහත දැක්වෙයි.

ස්වෛරීත්ව මුදල් 

  • ස්වෛරීත්ව මුදල් භාවිතා වන රටවල මුදල් යනු කිසිම වත්කමකින් ආවරණය නොවන රාජ්‍ය මුදල් ය. ගිණුම් ඒකකය සහ ගෙවුම් මාධ්‍යය ලෙස නීතිය මගින් රාජ්‍ය මුදල් නියම කොට ඇති බැවින් රාජ්‍ය මුදල් සැපයීමේ ඒකාධිකාරය රජය සතු වෙයි. එසේ රාජ්‍ය මුදල් සැපයීම රාජ්‍ය වියදම් හරහා සිදු වෙයි. එසේම, රාජ්‍ය මුදල්වල ආරක්ෂාව සහ සාධාරණ ව්‍යාප්තිය සඳහා ව්‍යවස්ථා ප්‍රතිපාදනයන් සහ විවිධ අපරාධ නීති පනවා ඇත. 20 වැනි සියවසෙහි රාජ්‍ය ඒකාධිකාරී මුදල් ආරම්භයට පෙර ලෝකයේ පැවතියේ පෞද්ගලික බැංකු නෝට්ටු මුදල් ය. යුරෝපීය හවුලේ රටවල රජයන්ට ස්වෛරීත්ව මුදල් නොමැත. ඊට හේතුව යුරෝ මුදල් මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම යුරෝපීය මහ බැංකුවේ ව්‍යවස්ථාපිත කාර්යයක් වන බැවිනි. එබැවින්, නූතන මුදල් න්‍යාය එම රටවල රජයන්ට අදාළ නොවේ.

  • මහ බැංකුව යනු රජයේ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය නියෝජිතයා වශයෙන් රාජ්‍ය වියදම් පියවීම පිණිස අවශ්‍ය රාජ්‍ය මුදල් මුද්‍රණය සහ නියාමන කිරීමේ රාජ්‍ය අධිකාරිය යි. එය මූලික වශයෙන් රජය සහ බැංකුවල මුදල් ගෙවුම් නිෂ්කාශනය කිරීමේ මහ බැංකු කාර්යය මගින් සිදු වෙයි. එම ගෙවුම් නිෂ්කාශනය මහ බැංකුවේ ඇති බැංකු සහ රජයේ සංචිත ගිණුම් අතර සිදු වෙයි. එනම්, ගිණුම්වලට මුදල් ලැබීම සහ ගිණුම්වලින් මුදල් ගෙවීම යි. එය ද්විත්ව සටහන් ගිණුම්කරණය හරහා සිදු වෙයි. ඊට අවශ්‍ය බලතල නීතිය මගින් මහ බැංකුවට ලබා දී ඇත.

  • රාජ්‍ය මුදල් මුද්‍රණය මගින් වියදම් පියවිය හැකි බැවින් රාජ්‍ය වියදම් පියවීම සඳහා බදු අය කිරීම සහ ණය ගැනීම අවශ්‍ය නොවේ. එනම්, රජයට අයවැය සංරෝධකයක් නොමැත. එබැවින්, පෞද්ගලික අයවැය මූල ධර්මයන් රාජ්‍ය අයවැය කෙරෙහි අදාළ නොවේ. එබැවින්, සමාජ ආර්ථික සංවර්ධන ඉලක්කයන්ට අනුව වියදම් කිරීමේ හැකියාව රජය සතු වෙයි. එය ක්‍රියාත්මක කිරීම හුදෙක් සමකාලීන දේශපාලනික තීරණයකි.

  • රාජ්‍ය මුදල්වලට පෞද්ගලික අංශයෙන් ඉල්ලුමක් ඇති කිරීම සඳහා රජයට බදු ගෙවීමේ මාධ්‍යය ලෙස රාජ්‍ය මුදල් නියම කෙරේ. එබැවින්, පෞද්ගලික අංශය විසින් රජයට භාණ්ඩ හා සේවාවන් සැපයීම හරහා රාජ්‍ය මුදල් ඉපැයීමටත්, ඉන් කොටසක් බදු ගෙවීමටත්, අනෙක් කොටස පරිභෝජන සහ ආයෝජන කටයුතු සඳහා භාවිතා කිරීමත් සිදු වෙයි. එබැවින්, පෞද්ගලික අංශයට වැඩිපුර ආදායම් ඉපැයිමටත්, වැඩිපුර බදු ගෙවීමටත්, වැඩිපුර වියදම් කිරීමටත් හැකි වන්නේ, රජය විසින් වැඩිපුර වියදම් කළ හොත් පමණි.
රාජ්‍ය වියදම් සහ රාජ්‍ය මුදල් මුද්‍රණය 

  • රජය විසින් පෞද්ගලික අංශයෙන් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී, ඒ සඳහා අදාළ පාර්ශවයන් වෙත රජය විසින් බැංකු ගෙවුම් ඇනවුම් නිකුත් කෙරේ. එම ගෙවුම් ඇනවුම් පියවීම මහ බැංකුවේ ඇති බැංකු සහ රජයේ සංචිත ගිණුම් අතර සිදු වෙයි. ඒ සඳහා ගෙවීමට ප්‍රමාණවත් සංචිත මුදල් රාජ්‍ය ගිණුමේ නොමැති නම්, මහ බැංකුව විසින් රජයට ණයක් ලෙස නව මුදල් රාජ්‍ය ගිණුමට එකතු කෙරේ. රාජ්‍ය සංචිත ගිණුම යනු රාජ්‍ය මුදල් රැස් කොට ඇති භාණ්ඩාගාරයක් නොව, රජය සහ පෞද්ගලික අංශය අතර මුදල් ගනුදෙනු පියවෙන හුදු බැංකු ගිණුම් ශේෂයකි.

  • එම රාජ්‍ය ගිණුමින් මුදල් අනෙක් බැංකුවල ගිණුම්වලට ගෙවන විට, ආර්ථිකයට ලැබෙන රාජ්‍ය මුදල් ප්‍රමාණය ඉහළ යනු ඇත. මෙය මුදල් මුද්‍රණය ලෙස හැඳින් වෙයි. පසුව, බැංකුවල ගෙවුම් අවශ්‍යතාවයන් අනුව තම සංචිත ගිණුම්වලින් කාසි සහ නෝට්ටු ලෙස මුදල් ආපසු ගත හැකිය. ඒ අනුව, මහ බැංකුව විසින් එසේ මුද්‍රණය කෙරෙන මුදල් කාසි සහ නෝට්ටු සහ මහ බැංකුවේ ඇති බැංකු සංචිත ලෙස ගනුදෙනු වනු ඇත. රජය විසින් නිකුත් කොට ඇති රාජ්‍ය මුදල් යනු මෙම මුදල් ය. මේවා සංචිත මුදල් ලෙස ද ප්‍රචලිත වෙයි. රාජ්‍ය සංචිත ගිණුමේ ශේෂය මීට අයත් නොවේ. ඊට හේතුව, රජය යනු මුදල් සැපයුම්කරු වන බැවිනි.

  • මහ බැංකුවේ ඇති රජයේ ගිණුමට බදු සහ ණයවලින් රාජ්‍ය මුදල් රැස් කෙරෙන විට, එම මුදල් ආර්ථිකයෙන් ඉවත් වෙයි. එනම්, මුදල් මුද්‍රණය පහළ යාම යි. මෙය සංචිත මුදල් ප්‍රමාණය පහළ යාම යි. එවිට, රජයට නව මුදල් මුද්‍රණය හරහා නව වියදම් කිරීමට අවකාශය ලැබේ.
බදු සහ රාජ්‍ය අයවැය හිඟය

  • බදු (සහ විවිධ ගාස්තු) යනු රාජ්‍ය වියදම් හරහා මුද්‍රණය කොට ඇති රාජ්‍ය මුදල් ප්‍රමාණයක් නැවත රජයට පවරා ගැනීම යි. එබැවින්, රජය විසින් පළමුව වියදම් කොට, පෞද්ගලික අංශය ඉන් ලබන රාජ්‍ය මුදල් ආදායමින් දෙවනුව බදු අය කළ යුතුය. එවිට, එම රාජ්‍ය මුදල් ප්‍රමාණය අහෝසි වෙයි. එබැවින්, බදු යනු රාජ්‍ය වියදම් පියවීම සඳහා පෞද්ගලික අංශයෙන් සපයා ගන්නා මුදල් නොවේ. එසේම, බදු ගෙවන්නන්ගේ මුදල් යනුවෙන් මුදල් රජය වෙත නොමැත. එබැවින්, රාජ්‍ය අයවැය හිඟය (එනම්, වියදම් සහ බදු ආදායම අතර පරතරය) යනු මිථ්‍යා සංකල්පයකි.

  • රජයට බදුවලින් ලැබෙන ප්‍රයෝජන දෙකකි. 

    • පළමුව, රාජ්‍ය වියදම් සඳහා මුද්‍රණය කොට පෞද්ගලික අංශයට ලැබී ඇති රාජ්‍ය මුදල්වලින් කොටසක් නැවත උකහා ගැනීම. එය පෞද්ගලික අංශයේ වියදම් සංකෝචනය කොට, උද්ධමනය පාලනය කිරීම සඳහා උපකාරී වෙයි. 

    • දෙවනුව, නව වියදම් කිරීමට මුදල් මුද්‍රණ අවකාශය රජයට ලැබීම. එවිට, ප්‍රමුඛ අංශ වෙත කෙරෙන නව වියදම් හරහා පෞද්ගලික අංශයේ ආදායම් ප්‍රතිව්‍යාප්තියක් කිරීමට උපකාරී වෙයි. එබැවින්, බදු මුදල් පහළ ආදායම් ලාභීන් සඳහා වියදම් කිරීම හරහා ආදායම් ප්‍රතිව්‍යාප්තියක් කෙරෙන බව දැක්වෙන නව ලිබරල් මතය මිථ්‍යා මතයකි.

  • අයවැය හිඟය (එනම්, රාජ්‍ය වියදම් සහ බදු අතර පරතරය) ලෙස ඇස්තමේන්තු කෙරෙන සංඛ්‍යාව යනු රාජ්‍ය වියදම් හරහා පෞද්ගලික අංශය වෙත ලැබෙන ශුද්ධ මූල්‍ය අතිරික්තය යි. එය පෞද්ගලික අංශයේ ප්‍රසාරණයට හිතකර දෙයකි. එබැවින්, අයවැය අතිරික්තයක් යනු රජය විසින් පෞද්ගලික අංශය වෙත මූල්‍ය හිඟයක් ඇති කිරීම යි. එය පෞද්ගලික අංශයේ ප්‍රසාරණයට අහිතකර දෙයකි.

  • බදු රැස් කිරීම හේතු කොට භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඇති බවට කෙරෙන ප්‍රකාශයන් ද සාවද්‍යය. ඊට හේතුව, බදු යනු රාජ්‍ය මුදල් අහෝසි වීමකි. එබැවින්, පැරණි රජ සමයේ බදු හරහා භාණ්ඩාගාරවල භාණ්ඩ මුදල් රැස් වූ ආකාරයට නූතන රාජ්‍ය මුදල් රැස්වීමක් සිදු නොවේ. රජය විසින් මුදල් මුද්‍රණය කොට, තොග රැස් කිරීමක් සිදු නොකෙරේ. යම් අවස්ථාවක රාජ්‍ය සංචිත ගිණුමෙහි ධන මුදල් ශේෂයක් පවතී නම්, එය රාජ්‍ය ණයවලින් අඩු කිරීමෙන් සැබෑ රාජ්‍ය මුදල් ප්‍රමාණය දැක්වෙයි.

රාජ්‍ය ණය 
  • රාජ්‍ය ණය හෙවත් රාජ්‍ය සුරැකුම්පත් යනු රාජ්‍ය වියදම් සඳහා මුද්‍රණය කොට, පෞද්ගලික අංශය වෙත ලැබී ඇති රාජ්‍ය මුදල් ආයෝජනය සඳහා රජය විසින් පෞද්ගලික අංශයට සැපයෙන ඉතුරුම් ගිණුම යි. එබැවින්, රජය විසින් කලින් කලට කෙරෙන රාජ්‍ය සුරැකුම්පත් අළෙවිය යනු පෞද්ගලික අංශය වෙත ඇති රාජ්‍ය මුදල්වලින් කොටසක් නැවත රජයට උකහා ගැනීම යි. එනම්, එය රාජ්‍ය වියදම් හෝ අයවැය හිඟය පියවීම සඳහා මුදල් සොයා ගැනීමේ මූලයක් නොවේ. ඊට හේතුව, නව මුදල් මුද්‍රණය හරහා රජයට වියදම් කළ හැකි වීමත්, රජයට මුදල් සැපයීම සඳහා බාහිරව මුදල් මුද්‍රණය කිරීමට හැකියාවක් පෞද්ගලික අංශය වෙත නොමැති වීමත් ය. නූතන මුදල් න්‍යාය තුළ රාජ්‍ය ණයවල මූලික ලක්ෂණ කිහිපයකි. 
    • පළමුව, රාජ්‍ය ණය හෝ සුරැකුම්පත් යනු රජය විසින් නැවත ආපසු ගෙවීම සඳහා සකසා ඇති ණය මුදල් නොවේ. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් පරිණත වන දිනවල දී රජය විසින් කෙරෙනුයේ, ඒවා නව පරිණත කාලයන් සඳහා යාවත්කාලීන කිරීම යි. එසේ නොමැතිව, යම් සුරැකුම්පතක් ගෙවා නිම කළ හොත්, එම ප්‍රමාණයෙන් නව රාජ්‍ය වියදමක් හරහා නව මුදල් මුද්‍රණයක් සිදු වී, ආර්ථිකයෙහි සංසරණය වන රාජ්‍ය මුදල් ප්‍රමාණය ඉහළ යනු ඇත. 

    • දෙවනුව, රාජ්‍ය ණය මගින් පෞද්ගලික අංශය වෙත ඇති රාජ්‍ය මුදල් ප්‍රමාණයක් උකහා ගැනීම තුළින් පෞද්ගලික වියදම් සීමා කිරීම හරහා උද්ධමනය පාලනය කිරීම සිදු වෙයි. 

    • තෙවනුව, රාජ්‍ය සුරැකුම්පත් මගින් සිදු වනුයේ, පෞද්ගලික අංශය වෙත ඇති රාජ්‍ය මුදල් හුදෙක් ආදායම් ඉපැයෙන මූල්‍ය ගිණුම් හෝ ඩිජිටල් වත්කමක් බවට පත් කිරීම යි. එම සුරැකුම්පත් ගිණුම් මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලැබේ. 

    • සිවුවනුව, එම සුරැකුම්පත් හිමියන්ට ඕනෑම අවස්ථාවක ඒවා ද්විතීය වෙළෙඳපොළ හරහා අළෙවි කොට, රාජ්‍ය මුදල් මුදල් බවට පත් කොට, වියදම් කළ හැකිය. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් යනු පෞද්ගලික අංශය වෙත ඇති රාජ්‍ය මුදල් සැපයුමේ කොටසකි. අනෙක් කොටස වනුයේ සංසරණයේ පවතින සංචිත මුදල් ය. 

    • එබැවින්, රාජ්‍ය ණය යනු අයවැය හිඟය පියවීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබා ගෙන අනාගතයේ දී පෞද්ගලික අංශයේ බදු මුදල්වලින් ආපසු ගෙවන ණය මුදල් නොවේ. එසේ ණය ආපසු ගෙවීම කළ යුත්තේ, රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීමේ නව වියදමක් ලෙස නව මුදල් මුද්‍රණය මගිනි. එවිට, සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමෙන් ආර්ථිකයෙහි උද්ධමනකාරී පීඩනයක් හට ගනු ඇත. රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීමේ දී සිදු වනුයේ එවැනි නව මුදල් මුද්‍රණයකි. එම ප්‍රමාණයෙන් රාජ්‍ය සුරැකුම්පත් තොගය ඉහළ යනු ඇත. එබැවින්, අයවැය අතිරික්තයක් හරහා රාජ්‍ය ණය ආපසු ගෙවීමේ යෝජනාව හුදු මිථ්‍යා මතයකි.

රාජ්‍ය මුදල් මුද්‍රණ පිරිවැය

  • රාජ්‍ය මුදල් මුද්‍රණය කිරීමේ පිරිවැය හෝ මිල කොටස් දෙකකි. එනම්, බදු අනුපාතය සහ රාජ්‍ය ණය පොලී අනුපාතය යි.

  • පෞද්ගලික අංශය විසින් රාජ්‍ය මුදල් ඉපැයීමේ දී අය කෙරෙන මිල යනු බදු අනුපාතය යි. බදු අනුපාතය මගින් සේවා වියුක්තිය සහ උද්ධමනය කෙරෙහි බලපායි. බදු අනුපාතය ඉහළ යන විට, ආර්ථිකයට සැපයෙන ශුද්ධ රාජ්‍ය මුදල් ප්‍රමාණය පහළ යනු ඇත. එමගින්, පෞද්ගලික අංශයේ වියදම පහළ යාම තුළින් සේවා වියුක්තිය ඉහළ යන අතර උද්ධමනය පහළ යනු ඇත. බදු අනුපාතය පහළ දැමීම තුළින් මීට ප්‍රතිවිරුද්ධ ආර්ථික ප්‍රතිඵල හට ගනු ඇත.

  • රාජ්‍ය ණය පොලී අනුපාතය යනු මුද්‍රණය කෙරෙන රාජ්‍ය මුදල් වියදම් නොකොට තබා ගැනීම සඳහා රජය විසින් පෞද්ගලික අංශයට ගෙවන මිල යි. රාජ්‍ය ණය පොලී ගෙවීම සඳහා නව වියදමක් ලෙස නව මුදල් මුද්‍රණය කළ යුතුය. රාජ්‍ය ණය පොලී අනුපාතය ඉහළ යන විට, රාජ්‍ය ණය හිමියන්ට ලැබෙන ආදායම සහ රාජ්‍ය මුදල් සැපයුම ඉහළ යාම තුළින් පෞද්ගලික අංශයේ වියදම ඉහළ යනු ඇත. එමගින්, සේවා වියුක්තිය පහළ යන අතර උද්ධමනය ඉහළ යනු ඇත. පොලී අනුපාතය පහළ යන විට ඊට ප්‍රතිවිරුද්ධ ආර්ථික ප්‍රතිඵල හට ගනු ඇත.  
    • රාජ්‍ය ණය ආපසු නොගෙවන බැවින් රාජ්‍ය ණය තොගය පොලී ප්‍රමාණයෙන් සහ වාර්ෂික ශුද්ධ රාජ්‍ය වියදම් (බදුවලින් පසු වියදම්) ප්‍රමාණයෙන් වර්ධනය වනු ඇත. රාජ්‍ය ණය ආපසු නොගෙවන අතර පොලිය පමණක් මුදල් මුද්‍රණය හරහා සිදු කෙරේ.

    • එබැවින්, රාජ්‍ය ණය ඉතා කෙටි කාලීන පදනමක් මත නාමික පොලී අනුපාතයක් මත පවත්වා ගත යුතුය. රජය යනු රාජ්‍ය මුදල් ඒකාධිකාරී සැපයුම්කරු වීමත්, රාජ්‍ය ණය යනු පෞද්ගලික අංශයේ ඉහළම ගුණාත්මක වත්කම් වීමත් හේතු කොට රජයට එය කළ හැකිය. 

    • එබැවින්, ඉහළ පොලී අනුපාතයන් මත මැදි හා දිගු කාලීන සුරැකුම්පත් නිකුත් කිරීමේ විශේෂ ආර්ථික වාසියක් රජයට නොමැත. එනම්, පරිණත කාලය සහ පොලී අනුපාතයන් මත සුරැකුම්පත් වෙළෙඳපොළක් තුළ රාජ්‍ය ණය කළමණාකරණය යනු අර්ථ විරහිත ක්‍රියාවකි. එහෙත්, ආර්ථිකයෙහි පෞද්ගලික ණය වෙළෙඳපොළවල මැදි හා දිගු කාලීන පොලී අනුපාතයන් පාලනය කිරීමට රජයට අවශ්‍ය අවස්ථාවල එවැනි රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම ප්‍රයෝජනවත් වෙයි

  • එබැවින්, රජයේ සමස්ත බදු අනුපාතය සහ සමස්ත පොලී අනුපාතය යනු රජය විසින් ආර්ථිකයෙහි සේවා වියුක්තිය සහ උද්ධමනය අතර තෝරා ගැනීම සඳහා නියම කරන මිල ගණන් දෙකකි. රජය විසින් කලින් කලට එම මිල ගණන් වෙනස් කෙරෙන විට, වෙළෙඳපොළ පද්ධතිය විසින් ආර්ථික සම්පත් බෙදා හැරීමේ තීරණයන්වල ප්‍රතිඵලය ලෙස උද්ධමනය සහ සේවා වියුක්තිය වෙනස් වනු ඇත. එම මිල ගණන් හුදෙක් දේශපාලනික තීරණයන් වන අතර ප්‍රශස්ත මට්ටමේ මිල ගණන් තීරණය කිරීමේ ආර්ථික විද්‍යාවක් නොමැත.

බැංකු විසින් මුදල් මැවීම 

  • බැංකු විසින් ද්විත්ව සටහන් ගිණුම් හරහා මුදල් මැවීම සිදු කෙරේ. එහි දී, බැංකු විසින් ගනුදෙනු කරුවන්ට ණය දීමේ දී, එම මුදල් ප්‍රමාණය බැංකුවේ වත්කමක් ලෙසත්, ණය කරුගේ ගිණුමට තැන්පතුවක් ලෙසත් ගිණුම් ගත කෙරේ. ණය කරු විසින් එම ණය මුදල් වියදම් කිරීමේ දී, තම තැන්පතු ගිණුමෙන් මුදල් වෙනත් පාර්ශවයන්ට ගෙවීම සිදු කෙරේ. එම මුදල් වෙනත් බැංකුවල ගිණුම් හිමියන්ට තැන්පතු ලෙස ලැබේ. එම ගනුදෙනු මහ බැංකුවේ අන්තර් බැංකු නිෂ්කාශනය හරහා පියවෙයි. ඒ සඳහා ණය කරුගේ බැංකුවෙහි සංචිත ගිණුමෙහි ප්‍රමාණවත් සංචිත නොමැති නම්, බැංකුව විසින් මහ බැංකුවෙන් සංචිත ණයක් ගෙන ගනුදෙනුව පියවෙයි. එබැවින්, බැංකු විසින් පළමුව ණය ප්‍රදානය කොට, ඊට අවශ්‍ය සංචිත මුදල් දෙවනුව සොයා ගැනීම සිදු කෙරේ.

  • ඒ අනුව, බැංකු විසින් ණය දීමේ දී මවන තැන්පතු බැංකු පද්ධතිය තුළ මුදල් ලෙස සංසරණය වනු ඇත. එබැවින්, බැංකු තැන්පතු යනු  මුදල් ලෙස සැලකෙයි. ඒවා රාජ්‍ය මුදල් නොවේ. එම තැන්පතු කෙරෙහි මහජන විශ්වාසය පැවතීමට හේතුව, එම තැන්පතු මුදල් අවශ්‍ය විටක රාජ්‍ය මුදල් බවට පත් කළ හැකි වීම යි. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය මුදල් (හෝ සංචිත මුදල්) හිඟයන් බැංකුවලට අන්තර් බැංකු වෙළෙඳපොළෙන් හෝ මහ බැංකුවෙන් සංචිත ණය (ද්‍රවශීලතාවය) ලබා ගැනීමෙන් පියවා ගත හැකිය. බැංකු චකිතයන් හෝ අර්බුදයන් හට ගැනීමට හේතුව බොහෝ බැංකු එකවර හදිසි සංචිත මුදල් හිඟයකට මුහුණ දීම යි. ඊට හේතුව, බොහෝ තැන්පතු හිමියන් විසින් එක් වර බැංකුවලින් තම මුදල් ඉල්ලා සිටීම යි. එවිට, බැංකු පද්ධතිය තුළ ඇති සංචිත මුදල් ප්‍රමාණවත් නොවීමෙන්, නව රාජ්‍ය මුදල් මුද්‍රණය කිරීමට රජයට සිදු වෙයි. එවැනි අවස්ථාවන්, බැංකු බේරා ගැනීම් ලෙස දැක්වෙයි.

  • එබැවින්, බැංකු විසින් මැවෙන තැන්පතු ප්‍රමාණය බොහෝ සේ බැංකු ණය ප්‍රතිපත්ති මත තීරණය වනු ඇත. ඒ සඳහා සංචිත මුදල් අවශ්‍ය වන්නේ, බැංකු ගනුදෙනු පියවීම සඳහා කුඩා ප්‍රතිශතයකි. එනම්, සංචිත මුදල් බැංකුවලට තැන්පතු ලෙස ලැබී, ඉන් ණය දීම තුළින් තැන්පතු මුදල් මැවෙන බවට දැක්වෙන මතය මිථ්‍යා මතයකි.

  • එබැවින්, තැන්පතු යනු රාජ්‍ය මුදල්වලට බාහිර වූ පෞද්ගලික මුදල් වෙයි. එහෙත්, තැන්පතු හිමියන් ඉල්ලා සිටින විට, එම මුදල් රාජ්‍ය මුදල්වලින් ආපසු ගෙවීමට බැංකු බැඳී සිටින බැවින්, එම මුදල් ඡායා රාජ්‍ය මුදල් ලෙස සැලකිය හැකිය. එබැවින්, තැන්පතු මුදල් ප්‍රසාරණය සඳහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය අවශ්‍යය.

නව ලිබරල් මතවාදයේ මූලික ලක්ෂණයන්

ස්වාධීන මහ බැංකුව සහ මුදල් සැපයුම

  • ආර්ථිකයට අවශ්‍ය මුදල් සැපයීම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අනුව සිදු වෙයි. එබැවින්, මුදල් යනු රජයෙන් බාහිර වූ දෙයකි. රජය ද අයවැය ක්‍රියාකාරම් සඳහා අවශ්‍ය මුදල් සපයා ගත යුත්තේ, එම බාහිර මුදල් සැපයුමෙනි. එය පෞද්ගලික අංශය සමඟ තරඟකාරීව මුදල් වෙළෙඳපොළ තුළ සපයා ගත යුතුය. මෙය 20 වැනි සියවසට පෙර පැවති පෞද්ගලික බැංකු මුදල් ආශ්‍රිත මතවාදයකි. ඊට හේතුව, එකල රජයන් ද තම අයවැය හිඟයන් පියවීම සඳහා බැංකුවලින් ණය ගත යුතු වීම යි.

  • ආර්ථිකයෙහි මුදල් සැපයුම මහ බැංකුව විසින් නිකුත් කරන සංචිත මුදල් ප්‍රමාණය සහ මුදල් ගුණකය මත තීරණය වෙයි. මුදල් ගුණකය යනු එක් සංචිත මුදල් ඒකකයකින් මහජනයා අතට පත් වන මුදල් ප්‍රමාණය යි. උදාහරණ ලෙස ගුණකය 8 නම්, සංචිත මුදල් රුපියලක් මහජනයා අත රුපියල් 8 ක් බවට පත් වෙයි. ඊට හේතුව, සංචිත මුදල් මත අතිරේක මුදල් මැවීමට බැංකු පද්ධතියට හැකි බැවිනි. එනම්, සංචිත මුදල් බැංකු පද්ධතියට තැන්පතු ලෙස ලැබී, ඉන් ණය දීම හරහා කාලයක් තුළ තැන්පතු මුදල් මැවීමේ හැකියාව යි. 

  • එබැවින්, මුදල් සැපයුම යනු මහජනයා වෙත ඇති සංචිත මුදල් සහ බැංකු තැන්පතුවල එකතුව ලෙස ඇස්තමේන්තු කෙරේ. ඊට එකතු කෙරෙන තැන්පතු වර්ගය අනුව පටු මුදල් සහ පුළුල් මුදල් ලෙස ඇස්තමේන්තු කිහිපයක් සැකසෙයි. 

  • එබැවින්, සංචිත මුදල් සහ මුදල් ගුණකය පාලනය හරහා ආර්ථිකයෙහි සංසරණය වන මුදල් සැපයුම පාලනය කිරීමේ හැකියාව මහ බැංකුව සතු වෙයි. එය මුදල් ප්‍රතිපත්තිය ලෙස දැක්වෙයි. මහ බැංකු පොලී අනුපාතය, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම සහ බැංකු අවම සංචිත නියමය යනාදිය ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති මෙවලම් වෙයි. 

  • මෙහි ඇති ප්‍රධාන ගැටළුව වන්නේ, මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම සහ පොලී අනුපාතයන් මත මුදල් ප්‍රතිපත්තිය මෙහෙය වන බැවින් ඉන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් සහ එමගින් රාජ්‍ය පොලී වියදම කෙරෙහි ඇති කෙරෙන බලපෑම යි. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් හෝ ණය වෙළෙඳපොළ ක්‍රියාකරුවන්ට  විවිධ සමපේක්ෂණයන් මත ආර්ථිකය අස්ථායී කිරීම හරහා රජයන් පෙරළා දැමීමට පවා හැකියාව ලැබී ඇත. 

  • මීට හොඳම නිදසුන 2022 වර්ෂය අවසානයේ දී මහා බ්‍රිතාන්‍යයේ ලිස් ට්‍රස් අගමැතිනියගේ රජය දින 45 කින් පෙරළි යාම යි. ඊට හේතුව, රාජ්‍ය සුබ සාදන වියදම් ඉහළ දමා, බදු අඩු කිරීමේ අන්තර් අයවැය යෝජනාව යි. මේ දිනවල ඇමෙරිකානු ජනාධිපති සහ මහ බැංකුව අතර හට ගෙන ඇති ගැටුමට ප්‍රධාන හේතුව මහ බැංකුව විසින් පසුගිය වර්ෂ තුනක පමණ කාලය තුළ මහ බැංකු පොලී අනුපාතය ඉහළ මට්ටමක පවත්වා ගැනීම හේතු කොට රජයේ පොලී වියදම අධික ලෙස ඉහළ යාම යි.

රාජ්‍ය අයවැය හිඟය, ණය, මුදල් සැපයුම සහ උද්ධමනය

  • රාජ්‍ය අයවැය හිඟය පියවීම සඳහා ණය ගැනීම හේතු කොට, මුදල් සැපයුම ප්‍රසාරණය වනු ඇත. ඒ සඳහා මහ බැංකුවෙන් ණය ගත් විට, සංචිත මුදල් ප්‍රසාරණය වී, මුදල් සැපයුම ගුණාකාරව ප්‍රසාරණය වනු ඇත.

  • රජය විසින් විශාල ප්‍රමාණයෙන් ණය ගැනීම හේතු කොට, මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යනු ඇත. එබැවින්, පෞද්ගලික අංශයේ ආයෝජන පහළ යනු ඇත.

  • රාජ්‍ය ණය හරහා මුදල් සැපයුම ප්‍රසාරණය හේතු කොට උද්ධමනය ඉහළ යනු ඇත. එසේම, එම මුදල් හරහා ආනයන ඉහළ යාමෙන් ගෙවුම් ශේෂ හිඟයක් හට ගෙන විදේශ සංචිතය පහළ ගොස්,  විනිමය අනුපාතය ඉහළ යාමෙන් උද්ධමනය තවත් ඉහළ යනු ඇත.

  • එබැවින්, ආර්ථිකයෙහි ප්‍රධාන අස්ථායිතාවයන්ට හේතුව රාජ්‍ය වියදම් ප්‍රසාරණය තුළින් හට ගන්නා අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය යි.

නව ලිබරල් ආර්ථික කළමනාකරණ නිර්දේශය

  • ආර්ථිකයෙහි ඉලක්කගත ඉලක්කමක උද්ධමනය පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව රජයෙන් ස්වාධීන කොට, රජයට මහ බැංකු ණය නොසැපයිය යුතුය. ඊට හේතුව, උද්ධමනය යනු සැම විටම මුදල් සංසිද්ධියක් බැවිනි. එනම්, මූර්ත නිෂ්පාදනයට වඩා වැඩි වේගයකින් මුදල් ප්‍රසාරණය වීමේ ප්‍රතිඵලය යි.

  • එබැවින්, මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීමට හැකි වන ලෙස රජය විසින්  අයවැය හිඟය සහ ණය සීමා කළ යුතුය. ඒ සඳහා රාජ්‍ය වියදම, බදු ආදායම, අයවැය හිඟය සහ ණය රටේ ජාතික ආදායමට සාපේක්ෂ ප්‍රතිශතයන්හි පාලනය කළ යුතුය. එය රාජ්‍ය ණය තිරසාරභාවය ආශ්‍රිත ඉලක්කම් විශ්ලේෂණයක් මත සිදු වෙයි. ඊට හේතුව, රාජ්‍ය ණය ප්‍රසාරණය හේතු කොට, උද්ධමනය සහ ගෙවුම් ශේෂ හිඟය තුළින් ආර්ථිකය අස්ථායි වන බැවින් රාජ්‍ය ණය ප්‍රසාරණය සීමා කිරීම යි. මෙය රාජ්‍ය මූල්‍ය අවකාශය ලෙස දැක්වෙයි. එනම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සීමා කිරීම යි.

  • මෙහි දී, කුඩා රජයක් තුළ ආර්ථිකයෙහි ඇන්ජිම ලෙස පෞද්ගලික ව්‍යවසාය සහ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. එවිට, නිදහස් වෙළෙඳපොළ පද්ධතිය හරහා රැකියා සහ ආදායම් නිෂ්පාදන සාධක හිමියන් වෙත කාන්දු වී, සමස්ත ජීවන තත්ත්වය ඉහළ යනු ඇත.

  • මෙහි දී, විශේෂයෙන් දියුණු වන රටවල රාජ්‍ය දේශීය මුදල් ණය සීමා කොට, රාජ්‍ය විදේශ ණය හරහා ආර්ථිකයට අවශ්‍ය මුදල් ප්‍රසාරණයට ඉඩ සැලසෙයි. ඊට හේතුව, එම විදේශ ණය හරහා මහ බැංකු විදේශ වත්කම් සංචිතය ඉහළ නැංවීම සහ විනිමය අනුපාත ස්ථායිතාවය තුළින් ආනයන නිදහස පවත්වා ගැනීම හරහා ආර්ථිකය ශක්තිමත් බව ජාත්‍යන්තර ආයෝජකයන්ට හුවා දැක්වීමත්, දේශීය මුදල් ක්‍රමය පෞද්ගලික අංශයේ ප්‍රයෝජනයට විවෘත කිරීමත් ය.

  • IMF විසින් දියුණු වන රටවලට ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම නව ලිබරල් මතවාදය මත සිදු කෙරේ. ඒ අනුව, මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සියළු කාලීන ඉලක්කයන් IMF විසින් ණය කොන්දේසි හරහා නියම කෙරේ. ඒ අනුව, මෙම රටවල රජයන්ට දේශපාලනික සහ ආර්ථික කළමනාකරණ ස්වෛරීත්වය අහිමි වී ඇත. එබැවින්, ආර්ථිකයෙහි කාර්යසාදනය සහ ස්ථායිතාවය විග්‍රහ කිරීම හුදෙක් ආර්ථිකයෙහි මූර්ත ධාරිතාවය, නිෂ්පාදනය සහ ආදායම් ව්‍යාප්තිය මත නොව, IMF විසින් නියම කෙරෙන රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ඉලක්කයන් සපුරා ගැනීම මත පදනම් වෙයි.

  • එබැවින්, නව ලිබරල් ආර්ථික නිර්දේශයන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ද ඇතුළත් කොට ඇත. එනම්, ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණ නීතිය යනු නව ලිබරල් වාදය යි.

සමාප්ත සටහන

  • නූතන මූල්‍ය න්‍යාය යනු නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන්හි සැබෑ ක්‍රියාකාරිත්වය පෙන්වන කාචයකි. එය, කිසිම සංකල්පීය සිතා ගැනීම් මත ගොඩ නගා ඇති ආර්ථික විද්‍යා න්‍යායක් නොවේ. මොවුන්ගේ ආර්ථික කළමනාකරණ නිර්දේශය වන්නේ, මූර්ත නිෂ්පාදන ධාරිතාවය සහ වර්ධනය තුළින් මානව සංවර්ධනය ඉහළ යන පරිදි උද්ධමනයට බිය මුදල් මුද්‍රණය හරහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය කිරීම යි. ඔවුන්ට අනුව උද්ධමනය යනු විවිධ භූදේශපාලනික සහ වෙළෙඳපොළ සාධකයන්හි ප්‍රතිඵලයක් වන අතර ශුද්ධ මුදල් සංසිද්ධියක් නොවේ. රජය විසින් වියදම් සඳහා මුද්‍රණය කොට ඇති රාජ්‍ය මුදල්වලින් කොටසක් බදු හරහා රජය විසින් අවශෝෂණය කෙරෙන අතර ඉතිරිය පෞද්ගලික අංශය සතු සංචිත මුදල් (කාසි සහ නෝට්ටු සහ මහ බැංකුවේ ඇති සංචිත ගිණුම් ශේෂ) සහ රාජ්‍ය ණය ලෙස පවතී. එබැවින්, බදු අනුපාත සහ රාජ්‍ය ණය පොලී අනුපාත හරහා පෞද්ගලික අංශය වෙත ඇති රාජ්‍ය මුදල් සැපයුම ද, එමගින්, උද්ධමනය ද පාලනය කිරීමේ හැකියාව රජයට පවතී.

  • එහෙත්, නව ලිබරල් වාදය යනු හුදෙක් සිතා ගැනීම් මත පදනම් වූ සංකල්පීය ආර්ථික කළමනාකරණ මොඩලයකි. උදාහරණ ලෙස එහි උද්ධමනය, රාජ්‍ය ණය තිරසාරභාවය, මුදල් සැපයුම සහ මුදල් ප්‍රතිපත්තිය විවිධාකාර සිතා ගැනීම් මත අර්ථකතනය කෙරෙන අතර දැඩි විවාදයන්ට පාත්‍ර වෙයි. එබැවින්, නව ලිබරල් වාදීන් විසින් නූතන මුදල් වාදීන් යනු විනාශකාරී උද්ධමන කරුවන් ලෙස නිර්දය අයුරින් හෙළා දැකීම සිදු වෙයි. එහෙත්, නූතන මුදල් වාදය යනු එවැන්නක් නොව, රටවල නූතන මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන සැබෑ රාමුව දැක්වෙන කාචයකි. ඒ අනුව, නව ලිබරල් මුදල් ක්‍රමය යනු මිථ්‍යා මතයකි. මුදල්වලින් උද්ධමනය හට ගන්නා බව හුදු සංකල්පීය විශ්වාසයක් මිස, කිසිම ආර්ථික පර්යේෂණාත්මක පිළි ගැනීමක් නොමැත.

  • තව ද, ප්‍රධාන ආර්ථික විද්‍යා ධාරාවේ මුදල් යනුවෙන් දෙයක් නොමැත. ඊට හේතුව, ආර්ථික විද්‍යාව ආරම්භයේ දී මුදල් යනු දැනටමත් නිෂ්පාදනයෙහි ඇතුළත් භාණ්ඩ මුදල් වූ බැවිනි. එබැවින්, පොදු මිල මට්ටමක් හෝ උද්ධමනයක් නිර්වචනය නොවන අතර සාපේක්ෂ මිල ගණන් පමණක් පවතී. එසේම, නව ලිබරල් මුදල් න්‍යායන්හි මුදල් යනු හුදෙක් මූර්ත ආර්ථිකය කෙරෙහි කිසි බලපෑමක් නොමැති මිල ගණන් කෙරෙහි පමණක් බලපාන හුවමාරු මාධ්‍යයක් පමණි. එහෙත්, නූතන මුදල් න්‍යාය තුළ මුදල් යනු නිෂ්පාදන සාධකයක් බැවින් මුදල් මුද්‍රණය හෝ සැපයුම මගින් ආර්ථිකයෙහි නිෂ්පාදන සහ සැපයුම් අංශය හරහා භාණ්ඩ හා සේවා මිල ගණන් සහ උද්ධමනය පාලනය කිරීමේ හැකියාව පවතී.

  • නූතන මානව සංවර්ධනය හුදෙක් 20 වැනි සියවස ආරම්භයේ සිට විකාශය වූ රාජ්‍ය මුදල් ක්‍රමයන් තුළ මුදල් මුද්‍රණය හරහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය තුළින් ලඟා කර ගෙන ඇති බවට විවාදයක් නොමැත. ඒ සඳහා රජයන් සහ මහ බැංකු ඒකාබද්ධව ක්‍රියා කොට ඇත. එහෙත්, 1980 ගණන්වල සිට නව ලිබරල් මතවාදය අනුගමනය කිරීම තුළින් රජයන් සහ මහ බැංකු අතර ප්‍රතිපත්ති ගැටුම් හට ගෙන, නූතන සමාජ ආර්ථිකයන්හි ඉදිරි සංවර්ධනය සීමා වී, ආදායම් ව්‍යාප්ති විෂමතාවය ඉහළ ගොස්, අර්බුදයන්ට මුහුණ දෙන අතර රජයන්, මුදල් ක්‍රමයන් සහ ආර්ථිකයන් මහා පරිමාණ ධනවතුන් සුළු පිරිසකගේ පාලනයට නතු වී ඇත. 

  • එහි නවතම ව්‍යාපාරික ඒකාධිකාරය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය යි. එමගින්, ඔවුන්ට ගෝලීය අභ්‍යාවකාශය පවා නිදහසේ උපයෝජනය කිරීම හරහා සමාජ ආර්ථිකයන් පාලනය කිරීමේ සහ ධනය ඉපැයීමේ හැකියාව ලැබී ඇත. මීට හොඳම නිදසුන වනුයේ, විද්‍යුත් සමාජ මාධ්‍ය ජාලය යි. එමගින්, ලෝකය පුරා පුද්ගල තොරතුරු රැස් කොට ධනය ඉපැයීම සඳහා භාවිතා කිරීමත්, භූදේශපාලනික අර්බුදයන් ඇති කොට රජයන් පෙරළා දැමීමටත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබී ඇත.

  • එහෙත්, ජාතික අර්බුදකාරී අවස්ථාවල සංවර්ධිත රටවල රජයන් විසින් නව ලිබරල් මතවාදය ඉවත ලා, මුදල් මුද්‍රණය තුළින් රාජ්‍ය වියදම් අධික ලෙස ප්‍රසාරණය කිරීම හරහා අර්බුද අවස්ථාවන් නිරාකරණය කොට, ජීවන මට්ටම නැවත ගොඩ නැගීමට ක්‍රියා කිරීම පොදු ලක්ෂණයකි. ඊට හොඳම උදාහරණය 2007/2009 ගෝලීය මූල්‍ය අර්බුදය සහ 2020/2021 ගෝලීය කොරෝනා වසංගත අර්බුදය යි. ඊට අමතරව, එම රටවල විරැකියා ප්‍රතිලාභ ක්‍රමයන් ද ක්‍රියාත්මක වෙයි.

  • එහෙත්, ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටවල එවැනි අර්බුදකාරී අවස්ථාවල නව ලිබරල් මතවාදය අනුව බදු ඉහළ දැමීම සහ වියදම් සීමා කිරීම මගින් රාජ්‍ය අයවැය සහ මුදල් මුද්‍රණ අවකාශය තවත් පහළ දමා, පොදු මහජනයා පීඩාවට පත් කිරීම දැකිය හැකිය. එසේම, රජයන් විසින් අත්තනෝමතික ලෙස රාජ්‍ය ණය පැහැර හැර, ආර්ථික අර්බුදයන් ද ජනිත කිරීම සිදු වෙයි. එසේම, දේශපාලනික ගැටුම් තුළ සමහර ආර්ථික ප්‍රතිපත්ති තීරණයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමත්, ආර්ථික අර්බුදයන් පවා ඇති කෙරෙන සමහර ප්‍රතිපත්ති තීරණයන් ජාති හිතෛෂී ආර්ථික ස්ථායිකරණ තීරණයන් ලෙස පිදුම් ලැබීමත් දැකිය හැකිය.

  • ආර්ථික ස්ථායිකරණය සහ වර්ධනය සඳහා ඇති එකම සමාකාලීන විකල්පය මෙම IMF-නව ලිබරල් ක්‍රමවේදය බව, සියළුම දේශපාලන නායකයන් විසින් මහජනතාවට දේශනා කිරීමේ දේශපාලනික සම්ප්‍රදායක් වර්තමානයේ ගොඩ නැගී ඇත. ඊට හේතුව, රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් ඉලක්කම් කිහිපයක් මත සීමා වීම තුළින් ඔවුන්ට පහසුවෙන් රජය පවත්වා ගත හැකි බැවිනි. එහෙත්, මෙම තත්ත්වය තුළ රැකියා අවස්ථාවන් සහ ජීවන තත්ත්වය පහළ යාම හේතු කොට, රජයට එරෙහි සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් ද ඉහළ යාම දැකිය හැකිය. එය ද මෙම රටවල ආර්ථික සංවර්ධනයට ඇති ව්‍යුහාත්මක බාධාවකි.

  • සමස්තයක් ලෙස නව ලිබරල් වාදීන් කලින් කලට දෙන ඉලක්කම්වල රාජ්‍ය වියදම කැපීම, බදු ඉහළ දැමීම, අයවැය හිඟය කැපීම සහ ණය පහළ දැමීම තුළින් රටක මූර්ත ආර්ථිකය සහ ජීවන තත්ත්වය ඉහළ යන බවට රාජ්‍ය නායකයන් තුළ ඇති විශ්වාසය හුදෙක් පුද්ගලයෙකු මරණින් පසු ස්වර්ගයට යන බවට ඇති විශ්වාසයට දෙවැනි නොවේ.

මෙම විෂය ආශ්‍රිතව පළ කරන ලද තවත් ලිපි දෙකක් මෙතනින් කියවන්න.
 ලිපිය 1 ලිපිය 2

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ පළමු මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)


Comments

Popular posts from this blog

මුදල් මුද්‍රණය නොමැතිව දිට්වාවෙන් ගොඩ ඒම බැරි ඇයි? IMF පිටුදැක, රාජ්‍ය මුදල් බලය සුරැකිමු.

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

IMF දිව බොරු නොකීම. සැඟවුන සත්‍යය සොයමු.