ජිවිතයට ආලෝකය ගෙනෙන, මූල්‍ය සාක්‍ෂරතාවය. නිපුණතාවයක් ද? ඉගෙනීමක් ද?

 

ලිපියේ අරමුණ

මෙම ලිපියේ අරමුණ වනුයේ, පුද්ගල මූල්‍ය සාක්‍ෂරතාවය දැනුවත් කිරීමේ ලිපි පෙළකට ආරම්භය ගැනීම යි. මීට පෙර, මූල්‍ය සාක්‍ෂරතාවය පිළිබඳ ලිපි කිහිපයක් මෙම බ්ලොග් අඩවියෙන් ඉදිරිපත් කළ ද, ඒවා විෂයට ඒකාබද්ධ නොවූ විසිරුණු ලිපි වෙයි. එබැවින්, මෙම නව ලිපි පෙළ මූල්‍ය සාක්‍ෂරතාවය පිළිබඳ අර්ථ නිරූපනයක් මත ඒකාබද්ධ කොට, ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. 

එහෙත්, නූතන මුදල් හෝ මූල්‍ය ගනුදෙනුවල දියුණුව සහ සංකීර්ණතාවය තුළ මූල්‍ය සාක්‍ෂරතාවය ලෙස ඕනෑ තරම් ලිපි පළ කළ හැකිය. එම ලිපි, බැංකු මුදල් ගනුදෙනුවල සිට රාජ්‍ය සුරැකුම්පත්, පෞද්ගලික සුරැකුම්පත්, කොටස්, මූල්‍ය ව්‍යුත්පන්න සහ ක්‍රිප්ටෝ මුදල් දක්වා විශාල පරාසයක මුදල් ගනුදෙනු ආශ්‍රිතව සැකසිය හැකිය. එහෙත්, සාමාන්‍ය කුටුම්බයක ක්‍රියා කරන පුද්ගලයන්ගේ මූල්‍ය සාක්‍ෂරතාවය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය දැනුම සැපයීමට, එවැනි පුළුල් පරාසයක මූල්‍ය විෂය කරුනු අවශ්‍ය නොවේ.

මූල්‍ය සාක්‍ෂරතාවයේ පසුබිම  

ජනගහනයේ භාෂා සාක්‍ෂරතාවය ලෙස ජන සංගණනවල දී ඇස්තමේන්තු කරනුයේ, පුවත්පතක හෝ මූලික භාෂා පෙළ පොතක කෙටි වැකියක් කියවීමට සහ ලිවීමට හැකි පුද්ගලයන්ගේ ප්‍රතිශතය යි. ඒ අයුරින්ම, ජනගහනයේ මූල්‍ය සාක්‍ෂරතාවය ලෙස තම ඉතුරුම් සඳහා නිල බැංකු ක්‍රමය භාවිතා කෙරෙන පුද්ගලයන්ගේ ප්‍රතිශතය ඇස්තමේන්තු කළ හැකිය. එහෙත්, නූතන මුදල් ආර්ථිකයන්හි මූල්‍ය සාක්‍ෂරතාවය යනු මුදල් ඉතුරුම් පවත්වා ගැනීම පිළිබඳ දැනුමට එහා ගිය මුදල් කළමනාකරණය කර ගැනීම ආශ්‍රිත නිපුණතාවයකි

එය, මුදල් ඉතුරුම් කිරීම පිළිබඳ දැනුමෙන් ඔබ්බට ගොස්, එම දැනුම ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමේ දක්ෂතාවයකි. මෙහි දී, ඵලදායී ප්‍රයෝජනය කුමක් ද? යන්න අර්ථකථනය මත මූල්‍ය සාක්‍ෂරතාවය හඳුනා ගත යුතුය. ඵලදායී ප්‍රයෝජනය කුමක් ද? යන්න මුදල් ගනුදෙනුවල සමස්ත අරමුණු සහ ඉලක්ක මත තීරණය වනු ඇත. එය, ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ රජයකට හෝ අදාළ වෙයි. 

පුද්ගලයන් සම්බන්ධව මෙම අරමුණු සහ ඉලක්ක හුදෙක් පුද්ගලයන්ගේ ජීවන රටාව ආශ්‍රිතව දැකිය හැකිය. ජිවන රටාව යනු ඉටු කර ගන්නා උවමනාවන් සහ එමගින් පවත්වා ගෙන යන ජීවන තත්ත්වය යි. එසේ ජීවන රටාව ගොඩ නගා ගැනීමේ අවිය මූල්‍ය සාක්‍ෂරතාවය යි. ඊට හේතුව, නූතන ආර්ථිකයන් සහ ජිවන ක්‍රියාකාරකම් මුදල් ගනුදෙනු හරහා සිදු වන බැවිනි. ඉහළ ජීවන රටාවකට පිවිසීම සඳහා ඉහළ මූල්‍ය සාක්‍ෂරතාවයක් අවශ්‍යය. මූල්‍ය සාක්‍ෂරතාවය නොමැති වීමේ ප්‍රතිඵලය බංකොලොත් භාවය යි. බංකොලොත්භාවය යනු ණය ගෙවීමට නොහැකි වී, අරමුණු හෝ ජීවන රටාව කඩා වැටෙන මූල්‍ය තත්ත්වයකට පත් වීම යි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මූල්‍ය සාක්ෂරතාවය ඉගැන්වීමේ රාජ්‍ය වැඩපිළිවෙලක් දියත් වී ඇත. එහි කොටසක් ලෙස, තහනම් පිරමිඩාකාර ආයෝජනවල හෝ අනවසර තැන්පතුවල හෝ ක්‍රිප්ටෝ මුදල්වල හෝ මුදල් ආයෝජනය නොකරන ලෙස ද උපදෙස් නිකුත් වී ඇත. ඒවා හුදෙක් මූල්‍ය සාක්‍ෂරතාවයෙහි අඩංගු ආයෝජන වර්ග තුනක් පමණි. ආයෝජනය යනු ආදායමක් ලැබීම සඳහා ඉතුරුම් උපයෝජනය කිරීම යි. එම ආයෝජනවල නිත්‍යානුකූල භාවය ද්විතීය කරුනකි.

ඕනෑම මුදල් ආයෝජන ගනුදෙනුවක දෙපාර්ශවයක් සිටී. ආයෝජන සැපයුම් කරුවන් සහ ආයෝජන ඉල්ලුම් කරුවන් ය. ඉහත දැක්වූ උපදෙස් බොහෝ විට සැපයෙන්නේ, ආයෝජන සැපයුම් කරුවන්ට ය. ඔවුන්ගෙන් මුදල් රැස් කර ගෙන, විවිධ ව්‍යාපාරයන්වල යෙදෙන්නේ ආයෝජන ඉල්ලුම් කරුවන් ය. මෙම දෙපිරිසම තම ආයෝජන මුදල්වලින් වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ ව්‍යාපාරික අරමුණින් ක්‍රියාත්මක වෙයි. 

මූල්‍ය සාක්‍ෂරතාවය ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත මත ක්‍රියාත්මක වීම 

ඕනෑම ආයෝජනයක ප්‍රතිලාභ යනු අවදානම් දැරීමේ ප්‍රතිඵලයකි. ප්‍රතිලාභ යනු මූල්‍ය ලාභය යි. අවදානම් යනු ආයෝජිත මුදල් අහිමි වීමට හෝ පාඩු වීමට ඇති  හැකියාව යි. මෙම සිද්ධීන් දෙකම අනාගතයේ දී සිදු විය හැකි ප්‍රතිඵලයන් ය. අවදානම් නොමැති කිසිම මුදල් ගනුදෙනුවක් නොමැත. ඉහළ අවදානම්වලට ඉහළ ප්‍රතිලාභ ලැබෙන බව පොදු අදහස යි. නිත්‍යානුකුල නොවන මුදල් ගනුදෙනුවල යෙදීම ද ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත ආශ්‍රිත කරුනකි. 

එබැවින්, ආයෝජන සැපයුම් කරුවන් සහ ඉල්ලුම් කරුවන් යන දෙපිරිසම තම තමන් අපේක්ෂා කරන ප්‍රතිලාභයට ගැලපෙන අවදානම් දැරීමට කැමති විය යුතුය. එය, තමන් ආයෝජනයෙන් අපේක්ෂා කෙරෙන ජීවන රටාව හෝ අරමුණු මත රඳා පවතිනු ඇත. ඒ මත, තම මුදල් කළමනාකරණය කරනු ඇත. එබැවින්, ජීවන රටාව සහ ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත යන විචල්‍යයන් දෙකම එකිනෙකට කළමනාකරණය කිරිම මූල්‍ය සාක්‍ෂරතාවයට අයත් කාර්යයකි.

මෙම ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත හුදු පුද්ගල බද්ධ හෝ අන්තර්ගත ගුණයකි. එබැවින්, එය පුද්ගලයන් අතර වෙනස් වනු ඇත. මූල්‍ය සාක්‍ෂරතාවය යනු මෙම ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත මත ක්‍රියාත්මක වන මුදල් කළමනාකරණ නිපුණතාවයකි. එය බාහිර පොත්පත්වලින් සහ දේශනවලින් ඉගැන්වීමට නොහැකිය. එසේ ඉගැන්විය හැක්කේ, මුදල් ගනුදෙනු මෙවලම්වල ස්වරූපය, ප්‍රතිලාභ, අවදානම් සහ ගනුදෙනු වන ආකාරය පිළිබඳ ව පමණි. එහෙත්, එම මෙවලම් හරහා මුදල් කළමනාකරණය කිරීමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හුදෙක් පුද්ගලයන්ගේ මූල්‍ය සාක්‍ෂරතාවය මත තීරණය වනු ඇත.

එබැවින්, සෑම පුද්ගලයෙකුට, ආයතනයකට සහ රජයකට මූල්‍ය සාක්‍ෂරතාවය හෝ මුදල් කළමනාකරණ නිපුණතාවය අත්‍යාවශ්‍ය ය. එහෙත්, මුදල් කළමනාකරණ පරිමාව සහ පරාසය මොවුන් අතර විශාල ලෙස වෙනස් වනු ඇත. උදාහරණ ලෙස, දිළිඳු පුද්ගලයෙකුගේ මූල්‍ය සාක්‍ෂරතාවය සහ රජයක මූල්‍ය සාක්‍ෂරතාවය අතර විශාල වෙනසක් පවතී. 

එහෙත්, දිළිඳු පුද්ගලයෙකු බංකොලොත් නොවී ජීවත් වෙයි නම්, ඔහු මූල්‍ය සාක්‍ෂරතාවය ඇති කෙනෙකි. එහෙත්, නූතන මූල්‍ය කළමනාකරණ දැනුම ඇති විශේෂඥයන්ගේ සේවය ලබා ගෙන මුදල් කළමනාකරණය කෙරෙන රජයක් බංකොලොත් වන්නේ, රජයේ මූල්‍ය සාක්‍ෂරතාවය දුප්පත් බැවිනි. 

එබැවින්, මූල්‍ය සාක්‍ෂරතාවය යනු පොදුවේ ඉගැන්විය හැකි හෝ උගත හැකි පෙළ පොත් විෂයක් නොවේ. එය, මුදල් ගනුදෙනු පිළිබඳ දැනුම සහ පලපුරුද්ද සහ ජීවන රටාව හෝ අරමුණු සඳහා ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත මත ගොඩ නගා ගත යුතු නිපුණතාවයකි. එබැවින්, එය ව්‍යවසයකත්වයට අනුබද්ධ නිපුණතාවයකි. මුදල්වල කිසිම අවදානමකට හෝ පාඩුවකට මුහුණ නොදී, ජීවන රටාව හෝ ඉලක්කයන් පවත්වා ගැනීමේ මුදල් කළමනාකරණයක් හෝ මූල්‍ය සාක්‍ෂරතාවයක් අර්ථ නිරූපනය කළ නොහැකිය.

මූල්‍ය සාක්‍ෂරතාවයේ සංයුතිය 

මුලින් දැක්වූ පරිදි පුද්ගලයෙකු සතු මූල්‍ය සාක්‍ෂරතාවය ඇගයිය යුත්තේ, ඔහු හෝ ඇයගේ ජිවන රටාව ආශ්‍රිත ඉලක්ක සඳහා ඔහු විසින් මුදල් කළමනාකරණය කරන ප්‍රතිලාභ-අවදානම් මට්ටම හෝ කැමැත්ත අනුව යි.

ඒ අනුව, පුද්ගලයෙකුගේ මූල්‍ය සාක්‍ෂරතාවය තුළ ඔහු හෝ ඇය විසින් තම එදිනෙදා ආදායම, වියදම, ඉතුරුම්, වගකීම්, වත්කම් සහ ශුද්ධ ධනය/වත්කම් ප්‍රමාණය යනා දී මූල්‍ය ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීමේ ක්‍රමෝපාය අඩංගු වෙයි. ශුද්ධ ධනය ලෙස සැලකෙන වත්කම් සහ වගකීම් අතර පරතරය අනාගත ජීවන රටාව කෙරෙහි ඉතා වැදගත් වනු ඇත. 

ශුද්ධ ධනය අතිරික්තයක් ලෙස ප්‍රසාරණය වීමේ දී, මූල්‍ය සාක්‍ෂරතාවයෙහි සාර්ථකත්වය විදහා දැක්වෙයි. ඊට ප්‍රතිවිරුද්ධව, ශුද්ධ ධන හිඟය මගින් බංකොලොත් භාවයේ සංඥාවන් පෙන්වන බැවින් එය දුර්වල මූල්‍ය සාක්‍ෂරතාවයක් විදහා දැක්වෙයි. එබැවින්, සමහරුන්ට අනුව මූල්‍ය සාක්‍ෂරතාවයේ අරමුණ හුදෙක් ශුද්ධ ධන අතිරික්ත ඉලක්කයන් වෙත ලඟා වීම යි. 

එසේම, මෙම මූල්‍ය ක්‍රියාකාරකම් අතර අන්තර් සබඳතාවයක් සහ විවිධ ප්‍රතිලාභ-අවදානම් මට්ටම් පවතී. ජීවන රටාවේ ඉලක්කයන් ද පුද්ගලයෙකුට ප්‍රතිලාභ-අවදානම් ඇති කරනු ඇත. උදාහරණ ලෙස පුද්ගලයෙකු තම ජීවන රටාවට මෝටර් රථයක් එක් කර ගැනීමට ඉලක්ක කෙරේ නම්, ඒ අනුව, මෙම මූල්‍ය ක්‍රියාකාරකම් ප්‍රතිනිර්මාණය කළ යුතුය. එහි දී, නව ප්‍රතිලාභ-අවදානම් මුහුණතක් හට ගනු ඇත.

එබැවින්, ප්‍රතිලාභ-අවදානම් මට්ටමක් නොමැති මූල්‍ය සාක්‍ෂරතාවයක් පිළිබඳ ව කථා කළ නොහැකිය. ප්‍රතිලාභ-අවදානම් මට්ටම පුද්ගලයන් අතර වෙනස් වන බැවින් මූල්‍ය සාක්‍ෂරතාවය යනු පුද්ගලයන් අතර වෙනස් වන නිපුණතාවයකි.

මෙහි දී, පුද්ගලයා ජීවත් වන කණ්ඩායම සහ සමාජීය පරිසරය ද, ඊට අවේනික වටිනාකම් හරහා පුද්ගලයාගේ ජීවන රටාව සහ ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත සහ මූල්‍ය සාක්‍ෂරතාවය කෙරෙහි බලපානු ඇත. සමහරු බංකොලොත් වන්නේ, මූල්‍ය සාක්‍ෂරතාවය කෙරෙහි එවැනි වටිනාකම්වල අහිතකර බලපෑමෙනි. උදාහරණ ලෙස තමන්ගේ ආදායම් සහ වත්කම් ව්‍යුහයට වඩා බොහෝ සේ ඉහළ ජීවන රටාවක් අධික ණය හරහා බුක්ති විඳීමට උත්සාහ කිරීමෙන් සිදු වන බංකොලොත්භාවය දැක්විය හැකිය. 

සංවර්ධිත වෙළෙඳපොළවල් සහ ඊට යොමු වූ අධ්‍යාපන ක්‍රමයන් පවතින රටවල, ද්විතීය අධ්‍යාපන මට්ටමේ සිට මූල්‍ය සාක්‍ෂරතා දැනුම සහ පුරුදු ප්‍රචලිත වෙයි. සිසුන් විසින් පෞද්ගලික ණය හරහා උසස් අධ්‍යාපනය ලැබීමේ පුරුද්ද සහ මූල්‍ය වෙළෙඳපොළ ව්‍යාප්තිය සහ ක්‍රියාශීලිත්වය හේතු කොට, ජීවන රටාව සහ ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත කෙරෙහි යොමු වූ මූල්‍ය සාක්‍ෂරතා නිපුණතාවයක් තරුණ වයසේ දී ම පුද්ගලයන්ට විවෘත වනු ඇත. එහෙත්, ශ්‍රී ලංකාව වැනි රටවල ජීවන සහ සමාජීය පරිසරය එවැන්නක් නොවේ.

එබැවින්, බොහෝ පුද්ගලයන් බංකොලොත් වන්නේ, තම ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත කෙරෙහි තැකීමක් හෝ අවබෝධයක් නොමැතිව, බාහිර පාර්ශවයන් විසින් උගන්වන මූල්‍ය සාක්‍ෂරතා උපදෙස් එලෙසම අනුගමනය කිරීමට යාමෙනි. එබැවින්, පුද්ගලයෙකු විසින් තම දැනුමට ගෝචර වූ මූල්‍ය සාක්‍ෂරතාවයක් භාවිතා කළ යුතුය. 

මෙහි දී, රජය සහ බැංකු වැනි පාර්ශවයන් අනුගමනය කරන මූල්‍ය සාක්‍ෂරතා ක්‍රමවේදයන් පුද්ගලයන්ට භාවිතා කළ නොහැකිය. ඊට හේතුව, රජය සහ බැංකු විසින් මුදල් මැවීම හරහා තම මෙහෙයවුම් ඉලක්කයන් සඳහා මුදල් කළමනාකරණය කරන බැවිනි. එහෙත්, පුද්ගලයන් විසින් ආදායම්, ණය, තෑගි ලැබීම් (සංක්‍රාම හෝ සහනාධාර) සහ වත්කම් මගින් තමාට අවශ්‍ය මුදල් බාහිර මූලයන්ගෙන් සපයා ගත යුතුය. නව මුදල් මැවීමට හැකියාවක් ඔවුන්ට නොමැත.

එහෙත්, රජය සහ බැංකු වැනි පාර්ශවයන් විසින් මුදල් කළමනාකරණය කරන ආකාරය පිළිබඳ දැනුමක් ලබා ගැනීම පුද්ගලයන් වැදගත් වනු ඇත. ඊට හේතුව, පුද්ගලයන්ට ද රජය සහ බැංකු සමඟ මුදල් ගනුදෙනු කිරීමට සිදු වන බැවින් එම ගනුදෙනු ආශ්‍රිත ප්‍රතිලාභ-අවදානම් තීරණය කර ගැනීමට එම දැනුම වැදගත් වන බැවිනි.

ලිපියේ සාරාංශය 

  • පුද්ගල මූල්‍ය සාක්‍ෂරතාවය යනු තම ජීවන රටාව සහ ඉලක්ක සඳහා ප්‍රතිලාභ-අවදානම් මට්ටමක් හෝ කැමැත්තක් මත මුදල් කළමනාකරණය කෙරෙන නිපුණතාවයකි. එබැවින්, ජීවන රටාව සහ ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත යන විචල්‍යයන් දෙකම එකිනෙකට කළමනාකරණය කිරීම මූල්‍ය සාක්‍ෂරතාවයට අයත් කාර්යයකි. ජීවන රටාව සහ ඉලක්ක තුළින් පුද්ගලයන් බංකොලොත් වන්නේ, මූල්‍ය සාක්‍ෂරතාවය දුර්වල බැවිනි.

  • ජීවන රටාව, ඉලක්ක සහ ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත පුද්ගලයන් අතර වෙනස් වන බැවින් මූල්‍ය සාක්‍ෂරතාවය ද පුද්ගලයන් අතර වෙනස් වනු ඇත. එබැවින්, එය විෂය ග්‍රන්ථ හෝ විද්වත් දේශනවලින් ඉගැන්විය නොහැකි විෂයකි. 

  • මූල්‍ය සාක්‍ෂරතාවය ප්‍රගුණ කිරීම සඳහා මූල්‍ය ගනුදෙනු මෙවලම් පිළිබඳ දැනුම වැදගත් වනු ඇත. ඊට හේතුව, මූල්‍ය කළමනාකරණය කිරීමේ දී මූල්‍ය ගනුදෙනු මෙවලම් භාවිතා කිරීමට සිදු වන බැවිනි. එහෙත්, එහි වැදගත්කම පුද්ගලයන් විසින් කළමනාකරණය කරන මුදල් පරිමාව සහ ප්‍රවාහය අනුව වෙනස් වනු ඇත.

  • මෙම ලිපි පෙළ මගින් ඊට දායක විය හැකි, සම්ප්‍රදායික නොවූ පසුබිම් දැනුමක් හෝ අත්වැලක් සැපයීමට අපේක්ෂා කෙරේ.

(මහජනයාගේ මූල්‍ය සාක්‍ෂරතාවය ප්‍රවර්ධනයට උපකාරී වීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙහි දැක්වෙන අදහස් සියල්ල හුදෙක් කතුවරයාගේ අදහස් ය )

(මීට පෙර පළ කළ ලිපි කිහිපයක් පහත දැක්වෙයි.)


පි සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
(හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව) 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)



Comments

Popular posts from this blog

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

ශ්‍රී ලංකාව සංවර්ධනය කළ නොහැකි ඇයි? ව්‍යුහාත්මක උගුල කුමක් ද?

නව රජය ද මං මුළා කෙරෙන, විනිමය අනුපාතය සහ මහ බැංකු මුදල් සුදුව.