මහ දවල් මහ බැංකුව බිඳින ඩොනල්ඩ් ට්‍රම්ප්. අනෙක් මහ බැංකුත් බංකොලොත් වෙයි ද?

ලිපියේ අරමුණ සහ පසුබිම 

මෙම ලිපියේ අරමුණ මේ දිනවල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ස්වාධීන මහ බැංකුව පුනරුත්ථාපනය කිරීමට ක්‍රියා කරන ආකාරය දැක්වීම යි. එය, ඔහු විසින් සමස්ත ෆෙඩරල් රජය රැඩිකල් ලෙස පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියෙහි එක් පියවරකි. 

එහි අරමුණ රාජ්‍ය පරිමාව, දුෂණය සහ නාස්තිය අඩු කොට, ආර්ථික සංවර්ධනය සඳහා වෙළෙඳපොළ ක්‍රමයට වඩාත් නිදහසක් සැපයීම යි. ඔහුගේ තීරුබදු යුද්ධය මගින් එයට හොඳ පදනමක් සපයා ඇත.

  • පසුගිය මාස කිහිපය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රජයේ වත්මන් තීරුබදු මත පදනම් වූ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියට අනුකූල වන ලෙස පොලී අනුපාතය පහළ හෙළන ලෙසට ඇමෙරිකානු මහ බැංකුවෙන් ඉල්ලා සිටින ලදි. ඒ සඳහා ඇමෙරිකානු මහ බැංකු සභාපති සමඟ නිල රැස්වීමක් ද පවත්වන ලදි. ඊට මහ බැංකුව දක්වන විරෝධය හේතු කොට, ට්‍රම්ප් විසින් මහ බැංකු සභාපති මාධ්‍යය හරහා නිර්දය ලෙස විවේචනය කිරීමත්, ඔහුට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බල කිරීමත්, එසේ නොවේ නම්, ඉන් ඉවත් කිරීමට ඇති නෛතික හැකියාව සෙවීමත් පිළිබඳ ව පුවත් මේ දිනවල මාධ්‍යය පිරී පවතී.

  • මහ බැංකුවේ අත්තනෝමතික නිලධාරී වාදය, ප්‍රතිපත්ති ක්‍රමවේදයන්හි විනිවිද භාවයක් නොමැතිවීම සහ රජයට අධීක්ෂණයක් නොමැතිවීම යන ප්‍රධාන කරුනු මත මහ බැංකුව පිළිබඳ ව පූර්ණ විමර්ශනයක් කොට, රාජ්‍ය අයවැය සහ සංවර්ධන ප්‍රතිපත්ති සමඟ මහ බැංකු ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදනයන් ගෙන ඒමේ අවධානය යොමු වී ඇත.

  • ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු මහ බැංකුවේ වත්මන් සංකල්පීය මුදල් ප්‍රතිපත්ති මොඩලය බිඳ දැමුව හොත්, ලෝකය පුරා මහ බැංකු ද බලවත් කම්පනයකට මුහුණ දෙනු ඇත. ඊට හේතුව, ඇමෙරිකානු මහ බැංකුවේ අධි ස්වාධීන මුදල් සංකල්පය සහ ගැඹුරු නිලධාරී ක්‍රමවේදයන් අනුව ලෝකයේ බොහෝ මහ බැංකු ද පසුගිය දශක දෙක තුළ රජයේ පාලනයෙන් මිදී විපරිණාමය වීම යි. 

  • එබැවින්, මහ බැංකු මුදල් ක්‍රමය රාජ්‍ය මුදල් මත ගොඩ නැගුව ද, එය රජයේ අධීක්ෂණයෙන් පිටත පුද්ගලයන් අතලොස්සකගේ ස්වාධීන පාලනයට යටත් පෞද්ගලික මුදල් රාජ්‍යයක් බවට පත් වී, රජයන් පෙරළා දැමීමේ හැකියාව ද මහ බැංකු සතු වී ඇත. එමගින්, බොහෝ රටවල මහ බැංකු පාලකයන් රටේ විරුද්ධ පක්ෂ සමඟ ක්‍රියා කරන රාජ්‍ය විරෝධී රාජ්‍ය ආයතනයක් බවට පත් වී ඇත. 

  • එය, IMF-ලෝක බැංකු ඩොලර් ආයෝජක ජාලයේ ව්‍යායාමයකි. එනම්, ඇමෙරිකානු මහ බැංකුවේ පොලී අනුපාතයන් අනුව ඩොලර් ආයෝජනයන් ගෝලීය ආර්ථිකය පුරා සංක්‍රමණය කිරීම තුළින් සමපේක්ෂණ ලාභ ලැබීම සඳහා මහ බැංකු හරහා ගෝලීය නිල ඩොලර් මුදල් වෙළෙඳපොළක් සකසා ගැනීම යි. දියුණු වන රටවල් මුහුණ දෙන විදේශ මුදල් ආතතීන් සහ ආර්ථික දඟරයන් එම මුදල් ප්‍රතිපත්තියේ සහ ගෝලීය ඩොලර් ආයෝජක ජාලයේ සෘජු ප්‍රතිඵලයකි. 
ඇමෙරිකානු මහ බැංකුවේ පසුබිම සහ අරමුණු

වත්මන් ඇමෙරිකානු මහ බැංකුව යනු 1913 දී රාජ්‍ය මුදල් ක්‍රමය ස්ථාපිත කිරීම යි. ඊට පෙර, බ්‍රිතාන්‍යයේ පෞද්ගලික මහ බැංකු ක්‍රමයට සමාන මහ බැංකු දෙවරක් ස්ථාපිත කළ ද, අසාර්ථක විය. ඊට හේතුව, පෞද්ගලික බැංකු මුදල් නෝට්ටු සංසරණය තුළින් නිරන්තරයෙන් හට ගත් මුදල් සහ බැංකු චකිතයන් ය.

එබැවින්, නව මහ බැංකුව රාජ්‍ය මහ බැංකුවක් ලෙස ස්ථාපිත කොට, පුද්ගලික බැංකු මුදල් නෝට්ටු නිකුතුව තහනම් කොට, රාජ්‍ය ඩොලර් මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයත්, ආර්ථිකයෙහි මුදල් සංසරණය සහ බැංකු නියාමනය කිරීමේ බලයත් මහ බැංකුවට පවරන ලදි.

1971 අගෝස්තු දක්වා මහ බැංකුවේ මුදල් මුද්‍රණය රන් සංචිතය මත පදනම් විය. එම කාලය තුළ ඩොලරය ගෝලීය සංචිත මුදලක් බවට පත් කිරීමට 1944 බ්‍රෙටන් වූඩ්ස් ගිවිසුම, IMF සහ ලෝක බැංකුව දායක විය. එමගින්, ඇමෙරිකාව ලෝක ආර්ථික බලවතා ලෙසත්, ඇමෙරිකානු මහ බැංකුව ලෝක මහ බැංකුව ලෙසත් විකාශය විය.

බ්‍රෙටන් වූඩ්ස් ගිවිසුම අනුව ඇමෙරිකානු මහ බැංකුව විසින් රන් හුවමාරුව මත ඩොලර් ගනුදෙනු කළ අතර (රන් අවුන්සයක් ඩොලර් 35 අනුපාතයට) අනෙක් රටවල මහ බැංකු විසින් ඩොලර් හුවමාරුව මත තම දේශීය මුදල් ගනුදෙනු කරන ලදි. ඒ අනුව, අනෙක් රටවල මුදල් ඩොලර් හරහා වක්‍ර ලෙස රන් මත පදනම් විය. අදාළ මුදල් හුවමාරු අනුපාතයන් ස්ථාවර විනිමය අනුපාතයන් විය. 

1971 අගෝස්තු මස ඇමෙරිකාව විසින් ඩොලරයෙහි රන් හුවමාරුව අත්හිටවූ බැවින් බ්‍රෙටන් වූඩ්ස් ගිවිසුම අහෝසි වී, රටවල මහ බැංකුවලට ජාතික ප්‍රතිපත්ති අනුව මුදල් නිකුත් කිරීමේ සහ විනිමය අනුපාතයන් අනුගමනය කිරීමේ අභිමතය හිමි විය. එහෙත්, ඒ වන විට ඩොලරය ප්‍රධාන ගෝලීය සංචිත මුදල වූ බැවින් ඩොලරයේ සහ ඇමෙරිකානු මහ බැංකුවේ ලෝක ආර්ථික බලය අද දක්වා අඛණ්ඩව පැවතී ඇත.

ආරම්භ අරමුණ 

එබැවින්, මහ බැංකුව පිහිටුවීමේ අරමුණ වූයේ, රාජ්‍ය නිල මුදල් ක්‍රමය ස්ථාපිත කොට, එම මුදල් හරහා ආර්ථිකය කළමනාකරණය කිරීමේ බලය රජයට ගැනීම යි. එබැවින්, මහ බැංකුවේ ආරම්භක අරමුණ වූයේ, ආර්ථිකයෙහි මූල්‍ය ඒකාබද්ධතාවය සහ ස්ථායිතාවය පවත්වා ගැනීම සහ රාජ්‍ය ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියට අනුකූල ලෙස මුදල් සහ බැංකු ක්‍රමය නියාමනය කිරීම යි. 

මෙහි දී, රාජ්‍ය අයවැයට අවශ්‍ය ණය සහ පියවුම් සේවය මුදල් මුද්‍රණය හරහා මහ බැංකුවෙන් සපයා ගන්නා ලදි. එනම්, මහ බැංකුව යනු රජයේ බැංකු කරුවා සහ රාජ්‍ය මූල්‍ය නියෝජිතයා වීම යි. ඇමෙරිකානු ආර්ථිකයේ සංවර්ධනයට මෙම මහ බැංකු මොඩලය බොහෝ දායක විය.

වත්මන් අරමුණු

පසුව, මහ බැංකුව විකාශය වීමේ දී, පැරණි මුදල් වාදී සංකල්පයන් මහ බැංකුව ආක්‍රමණය කල අතර ව්‍යවස්ථාපිත අරමුණක් සහ සාර්ව ආර්ථික ඉලක්කයන් තුනක් ලඟා කර ගැනීමට මහ බැංකුවේ මුදල් ක්‍රමය භාවිතා කිරීම සඳහා නීති සංශෝධනයන් කරන ලදි.

  • අරමුණ - ආර්ථිකයෙහි නිෂ්පාදන වර්ධනයට ඇති දිගු කාලින හැකියාවට ගැලපෙන ලෙස මුදල් සහ ණය ප්‍රමාණයන්හි දිගු කාලීන වර්ධනය පවත්වා ගැනීම. ඒ සඳහා ඉලක්කයන් තුනක් දක්වා ඇත.

  • ඉලක්කයන් - උපරිම සේවා නියුක්තිය, ස්ථායී මිල ගණන් සහ මධ්‍යස්ථ දිගු කාලීන පොලී අනුපාතයන් යනාදිය ප්‍රවර්ධනය කිරීම. 

ඊට අමතරව, ජාතික බලපත්‍රය ලද බැංකු නියාමනය සහ මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීමේ සම්ප්‍රදායික මහ බැංකු කාර්යය ද පැවරී ඇත.

මෙම වගකීම් ඉටු කිරීම සඳහා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය, බැංකු නියාමනය සහ අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය ක්‍රියත්මක කෙරේ. ඒ අනුව, ආර්ථික කළමනාකරණය තුළ අධිබලයක් මහ බැංකුවට පැවරින.

ආරම්භයේ දී මෙම ප්‍රතිපත්ති එක් පැකේජයක් ලෙස ක්‍රියාත්මක කළ අතර පසුව මුදල් වාදී න්‍යායන් මත ඒවා වෙන් කොට ක්‍රියාත්මක කිරීමට පුරුදු විය. ඒ අනුව, මුදල් ප්‍රතිපත්තිය හුදු පොලී අනුපාතය මත මිල ස්ථායිතා අරමුණ සඳහා ද, බැංකු නියාමනය මූල්‍ය පද්ධති ස්ථායිතා අරමුණ සඳහා ද, වෙනස් නිලධාරී අංශයන් විසින්  ක්‍රියාත්මක කෙරේ. මෙය නොයෙක් ආර්ථික අස්ථායිතාවයන් ඇති කිරීමට හේතු වී ඇත. මුදල් ප්‍රතිපත්තිය තුළින් වත්කම් මිල බුබුළු හට ගෙන, එය බැංකු අර්බුදයන් දක්වා ව්‍යාප්ත වීමත්, එය වැලැක්වීමට නියාමනයට නොහැකි වීමත් පොදු කරුනක් වී ඇත. 2007/09 මූල්‍ය අර්බුදය එහි ප්‍රතිඵලයකි.

මහ බැංකුව සහ රජය අතර ප්‍රතිපත්ති ගැටුම

ප්‍රතිපත්ති ගැටුමේ මූලය 

මහ බැංකුව විසින් පැරණි මුදල් වාදය පිළි ගැනීම මත මහ බැංකුවේ අරමුණ ලෙස මිල ස්ථායිතාවය පමණක් අර්ථකථනය කොට, ඒ සඳහා 2% ක වාර්ෂික උද්ධමන ඉලක්කයක පවත්වා ගැනීමට, මහ බැංකු පොලී අනුපාතය සහ මුදල් මුද්‍රණය භාවිතා කෙරෙන මුදල් ප්‍රතිපත්තියකට ඇබ්බැහි වී ඇත. මෙහි දී, උද්ධමනය ලෙස පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ප්‍රතිශතක වෙනස්වීම භාවිතා කෙරේ.

උද්ධමනයට හේතුව ලෙස රාජ්‍ය අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය සලකා, රාජ්‍ය අයවැයට එරෙහි පොලී අනුපාත හෝ මුදල් ප්‍රතිපත්තියක් මහ බැංකුව විසින් අනුගමනය කෙරේ. එහෙත්, උද්ධමනයේ හැසිරීම පිළිබඳ මෑත කාලීන උපණතිය මත අනාගත උද්ධමනය පිළිබඳ සංකල්පීය විවාදයන් තුළින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම දැකිය හැකිය. 

මෙහි දී, ආර්ථිකයෙහි සැබෑ උද්ධමනය, ආර්ථික වර්ධනය සහ සේවා වියුක්ති අනුපාතය අතර තුලනයක් පවත්වා ගැනීමේ සංකල්පීය අදහස් භාවිතා කෙරේ. එහෙත්, ආර්ථිකයෙහි සැපයුම අංශය කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකොට, මහ බැංකු පොලී අනුපාතය වෙනස් කිරීම තුළින් ආර්ථිකයෙහි ඉල්ලුම පාලනය හරහා උද්ධමනය පාලනය කිරීමට අදහස් කෙරේ.

එසේම, රජය සමඟ කිසිම ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡාවකට හෝ සම්බන්ධීකරණයකට මහ බැංකුව ඉදිරිපත් නොවන අතර සර්වබලධාරී ආර්ථික දෙවියෙකු ලෙස ස්වාධීනව ක්‍රියාත්මක වෙයි. එහෙත්, ආර්ථිකයෙහි උද්ධමන පාලනය, ආර්ථික වර්ධනය සහ සහ සේවා නියුක්තිය හුදෙක් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සහ වෙළෙඳපොළ පාලනයන්හි ප්‍රතිඵලයක් මිස, මහ බැංකු පොලී අනුපාතයෙන් ලඟා කර ගන්නා ආර්ථික ආශ්චර්යයක් නොවේ.

එබැවින්, රටේ සැබෑ ආර්ථික කළමණාකරු වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි බලපෑමක් මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය තුළින් ඇති කෙරේ. එය, හුදෙක් රාජ්‍ය ණය පොලී පිරිවැය ඉහළ යාම හරහා සිදු වෙයි. රජය සමඟ ප්‍රතිපත්ති ගැටුමේ මූලය මෙය යි.

ට්‍රම්ප් සමඟ නව ප්‍රතිපත්ති ගැටුම

2025 ජනවාරි 20 දින ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් වූ විගස, මාර්තු මස 19 දින සහ ජුනි මස 18 දින පැවති මහ බැංකු මුදල් ප්‍රතිපත්ති රැස්වීම්වල දී පොලී අනුපාතයන් පහළ හෙළන ලෙස ඔහු විසින් ඉල්ලා සිටින ලදි. එනම්, ට්‍රම්ප්ගේ නව තීරුබදු පදනම් වූ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියට සහයෝගය ඉල්ලීම යි. එහෙත්, මහ බැංකුව විසින් වත්මන් පොලී අනුපාතය 4.25%-4.50% වෙනස් නොකරන ලදි. 

ඊට හේතුව ලෙස දැක්වූයේ, තීරුබදු අස්ථායිතාවය තුළින් ඇතිවිය හැකි උද්ධමන බලපෑම තවමත් අපැහැදිළි බවත්, එම අවදානම නොමැති නම් පොලී අනුපාතය පහළ දැමිය හැකි බවත්, වත්මන් ආර්ථිකය ඉතා ශක්තිමත් බැවින් කඩිනමින් පොලී අනුපාතය පහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ය.

මින් උරණ වූ ට්‍රම්ප් විසින් මහ බැංකු අධිපති නිර්දය ලෙස විවේචනය කරමින්, ඔහු තනතුරින් ඉවත් කිරීමට සුදානම් වී ඇති අතර ඊට පෙර ඉල්ලා අස්වන ලෙස ඔහුට බල කෙරේ. දැනට මහ බැංකුවට එරෙහි ප්‍රධාන විවේචනයන් ඉදිරිපත් කෙරේ.

  • පළමුව, මහ බැංකුව තීරණයන් ගැනීමට ඉතා ප්‍රමාද බව.

  • දෙවනුව, වත්මන් පොලී අනුපාතය 3% කින් පමණ අධි අගයක පවතින ඉහළ අතර ඉන් සෑම 1% කින් රජයට ඩොලර් බිලියන 360 ක පමණ අතිරේක වාර්ෂික පොලී පිරිවැයක් හට ගන්නා බව සහ එමගින් ඉහළ යන ණය බරට මහ බැංකු අධිපති වගකිව යුතු බව.

  • තෙවනුව, 2024 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය පවතින විට, උද්ධමනය 2.5%-2.9% ක් වැනි ඉහළ මට්ටමක පැවතීම ද නොසලකා, පොලී අනුපාතය කඩිමුඩියේ තෙවරක් මුළු වශයෙන් 1% කින් පමණ පහළ දැමීම මගින් පසුගිය රජයට පක්ෂපාති වූ බව. මහ බැංකු පොලී අනුපාතය එසේ පහළ දැමීම, පසුගිය රජය විසින් මැතිවරණ ව්‍යාපාරයේ දී තම රජයේ යහපත් ආර්ථික ප්‍රගතියක් ලෙස හුවා දක්වන ලදි.

  • සිවුවනුව, තීරුබදු හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් නොමැති අතර දැනට 2% ඉලක්කය දෙසට පහළ යමින් පවතින බවත්, ඉහළ පොලී අනුපාතය හේතු කොට සේවා වියුක්තිය ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව, ඊළඟ ප්‍රතිපත්ති රැස්වීම පැවැත්වෙන මෙම මස 30 දින පොලී අනුපාතය අවම වශයෙන් 1% දක්වා 3% කින් පහළ දැමිය යුතු බව.

මීට අමතරව, මහ බැංකු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ වියදම ඩොලර් බිලියන 2.5 දක්වා මිලියන 700 කින් පමණ අයවැය අවසරය නොමැතිව ඉහළ යාම පිළිබඳ ව මහ බැංකු අධිපතිට විරුද්ධව මූල්‍ය අපහරණ චෝදනාවන් නගා, එය පරීක්ෂණය කිරීම ආරම්භ කොට ඇත. එය, මුදල් කළමනාකරණ චෝදනා මත මහ බැංකු අධිපති ඉවත් කිරීමේ අරමුණ මත සැකසී ඇත.

එසේම, ඉහළ පොලී අනුපාතයන් පවත්වා ගැනීම පිණිස බැංකු අතිරික්ත සංචිත සඳහා පොලී ගෙවීමෙන් පසුගිය වසර දෙක තුළ මහ බැංකුවට සිදු වී ඇති ඩොලර් බිලියන 192 ක පමණ සමස්ත අලාභය සහ ඉහළ පොලී අනුපාතය හේතු කොට රාජ්‍ය සුරැකුම්පත් මිල ගණන් පහළ යාම හරහා මහ බැංකු වත්කම්වල සිදු වී ඇති ඩොලර් ට්‍රිලියනයක පමණ වත්කම් ගිණුම් අලාභය පිළිබඳ ව ද මාධ්‍ය චෝදනාවන් ඉදිරිපත් වී ඇත.

ඒ අනුව, ට්‍රම්ප් විසින් මහ බැංකුව සම්පුර්ණ ප්‍රතිව්‍යුහගත කරණයකට යොමු වී ඇත. එය, මහ බැංකුවේ ස්වාධීන පොලි අනුපාත සහ මුදල් මුද්‍රණ බලය බිඳ දැමීම, රාජ්‍ය ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තිවලට මහ බැංකුව සම්බන්ධීකරණය කිරීම සහ මහජනයාට විනිවිද වූ රාජ්‍ය ආයතනයක් බවට මහ බැංකුව පත් කිරීම අරමුණු කොට දියත් වන බව නිල අදහස්වලින් පැහැදිළි වෙයි.

මුදල් ප්‍රතිපත්තිය මගින් උද්ධමනය පාලනය නොව, එදිනෙදා බැංකු සංචිත සැපයුම සහ ගෙවුම් පියවීම සිදු කිරීම

මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය හුදෙක් මිල ස්ථායිතාවය හෝ උද්ධමනය ඉලක්ක මට්ටමක පාලනය සඳහා යොමු වන බව පැවසුව, ආර්ථිකයෙහි මිල ගණන් එසේ පාලනයට මහ බැංකු මුදල් ප්‍රතිපත්තියට හැකියාවක් ඇති බවට කිසිම පර්යේෂණ සාක්ෂි නොමැත. එය හුදෙක් පැරණි මුදල් වාදී සංකල්පය අන්ධාණුකරණයෙන් ඇදහීමක් පමණි.

මහ බැංකුව විසින් එදිනෙදා සිදු කෙරෙනුයේ, බැංකු සහ මූල්‍ය වෙළෙඳ ආයතනයන්ට අවශ්‍ය සංචිත මුදල් සැපයීම යි. ඊට හේතුව, අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය මහ බැංකුව විසින් බැංකු සංචිත ගිණුම් තුලනය හරහා පවත්වා ගෙන යන බැවිනි. සංචිත හිඟ බැංකුවලට එසේ මහ බැංකුව විසින් සංචිත මුදල් ණය සැපයීම මගින් ගෙවුම් පද්ධතිය අවහිර වීමෙන් තොරව සුමට ලෙස පවත්වා ගැනේ. 

මෙම අන්තර් බැංකු ගෙවුම් ගනුදෙනුවලින් බහුතරය රාජ්‍ය බදු, ණය සහ සුරැකුම්පත් ගනුදෙනු ය. එබැවින්, මහ බැංකුව විසින් එදිනෙදා මුද්‍රණය කෙරෙන සංචිත මුදල් බහුතරය රාජ්‍ය අයවැය ගනුදෙනු පියවීම සඳහා සිදු වෙයි. එහෙත්, මහ බැංකුව සෘජුව රජයට ණය නොදෙන අතර එය වක්‍රව සිදු වෙයි. එනම්, රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත බැංකුවලට ණය දීම යි. එබැවින්, අයවැය හිඟය ඉහළ යන විට, මුදල් මුද්‍රණය ද වක්‍රව ඉහළ යනු ඇත. එසේ නොවේ නම්, මහ බැංකුවට ගෙවුම් පද්ධතිය සහ පොලී අනුපාතයන් පාලනය කිරීමට හැකි නොවේ.

එබැවින්, මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් මුද්‍රණය පිටුපස එදිනෙදා ක්‍රියාශීලී බැංකු සහ මූල්‍ය වෙළෙඳ ආයතන ජාලයක් පවතී. ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණ වනුයේ, එදිනෙදා සමපේක්ෂණ ලාභ ලබා ගැනීම සඳහා වෙළෙඳපොළ පොලී අනුපාතයන් සහ සංචිත මුදල් භාවිතා කිරීම යි. එබැවින්, මහ බැංකු ස්වාධීනත්වය යනු මොවුන් විසින් තමන්ට මුදල් වාසි ලබා ගැනීමට මහ බැංකුව මෙහෙය වීම සඳහා ගොතන ලද කථාන්දරයකි. ඊට හේතුව, මහ බැංකුව හරහා ආර්ථිකය මෙහෙය වීමේ බලය ඔවුන් ලබා ගැනීම යි. 

එබැවින්, මහ බැංකුව විසින් නිරන්තරයෙන් වෙළෙඳපොළ පොලී අනුපාතයන් පසුපස මහ බැංකු පොලී අනුපාතය මෙහෙය වීම දැකිය හැකිය. එනම්, මහ බැංකුව වක්‍රයට පහළින් සිටින බව යි. එබැවින්, මුදල් වෙළෙඳපොළ විශ්වාසය සඳහා මහ බැංකු ස්වාධීනත්වය අවශ්‍ය බව දැක්වීම මිථ්‍යා මතයකි. සත්‍යය වන්නේ, ස්වාධීනත්වය මගින් මහ බැංකුව සමඟ ජාලගත වීමේ පහසුව මුදල් වෙළෙඳපොළ ලැබීම යි.. 

එබැවින්, රජය මහ බැංකුවට ඇගිලි ගසන බව හෝ රාජ්‍ය අයවැය හිඟය ඉහළ යන බවට හෝ සංඥාවන් ඇති කොට, වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ දමා, රජයන් වින්දිත කිරීමේ හැකියාව මෙම මුදල් වෙළෙඳ ජාලය සතුව පවතී. එහි කොනක IMF ද ක්‍රියාශීලී වෙයි.

මීට හොඳම නිදසුන 2022 ඔක්තෝබර් මස, පත් වී සති 6 ක් යාමට පෙර, අතුරු අයවැයට එරෙහි වී මහ බැංකුව, IMF සහ මුදල් වෙළෙඳපොළ ජාලය විසින් ලිස් ට්‍රස් අගමැතිනියගේ බ්‍රිතාන්‍ය රජය පෙරලා දැමීම යි. බොහෝ දියුණු වන රටවල විදේශ මුදල් වෙළෙඳපොළ ආතතීන් හරහා රජයන් අස්ථායී කරනු ලබන්නේ ද, මෙම වෙළෙඳ ජාලය යි.

එබැවින්, සත්‍යය වන්නේ, මහ බැංකු විසින් මිල ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා නොව, බැංකුවල සංචිත ස්ථායිතාවය සහ ගෙවුම් පද්ධතිය පවත්වා ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය භාවිතා කරන බව යි. එබැවින්, උද්ධමන පාලන කථාන්දරය යනු හුදෙක් ගෝත්‍රීය මූල්‍ය විශ්වාසයක් පමණි. 

මහ බැංකු සහ පැරණි මුදල් වාදීන් පවසන පරිදි රාජ්‍ය ණය සහ මුදල් ප්‍රසාරණය තුළින් උද්ධමනය හට ගනී නම්, පසුගිය අඩසියවස තුළ රාජ්‍ය අයවැය හිඟය, ණය, මුදල් මුද්‍රණය සහ මුදල් සැපයුම අඛණ්ඩව ප්‍රසාරණය වී ඇති මට්ටම සහ වේගය දෙස බලන විට, මේ වන විට සංවර්ධිත ඇතුළු සියළු රටවල් උද්ධමනයෙන් විනාශ විය යුතුය. එහෙත්, රාජ්‍ය අයවැය සහ ණය හරහා සිදු වන සම්පත් රාශිකරණය, සැපයුම් අංශ සහ ජීවන තත්ත්ව වර්ධනය හේතු කොට, උද්ධමනයන් හුදෙක් කලින් කලට හට ගන්නා කෙටි කාලීන හෝ තාවකාලික වෙළෙඳපොළ අස්ථායිතාවයන් පමණක් බව කිව හැකිය.

එහෙත්, මහ බැංකුව සහ මුදල් වෙළෙඳ ජාලය විසින් විවිධාකාර උද්ධමන අපේක්ෂාවන් ගොඩ නැගීම හරහා වෙළෙඳපොළ පොලී අනුපාතයන් විචලනය කිරීම තුළින් සමපේක්ෂණ මුදල් ලාභ ලැබීමේ දෛනික ව්‍යාපාරයක යෙදී ඇත. එය, උද්ධමන පාලන හෝ මිල ස්ථායිතා මෙහෙයක් නොවේ.

එබැවින්, ට්‍රම්ප් විසින් මහ බැංකු මුදල් ප්‍රතිපත්තියට මැදිහත් වී, වත්මන් මහ බැංකු මොඩලය පුනරුත්ථාපනය කිරීමට ගන්නා උත්සාහය සහ අවදානම අගය කළ යුතුය. මෙතෙක්, වෙනත් රටවල මෙන් IMF විරෝධතාවයක් ඊට පළ වී නොමැත්තේ, IMF සහ ලෝක බැංකුවේ වත්මන් මොඩලය සහ කාර්යසාදනය ද ට්‍රම්ප් විසින් ප්‍රශ්න කොට, තවදුරටත් ඇමෙරිකානු සහාය ලැබීමට නම්, එම ආයතන දෙකම ප්‍රතිව්‍යුහගත කරන ලෙස තර්ජනය කොට ඇති බැවිනි.

මහ බැංකුවෙන් පිටත පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කිරීමේ ට්‍රම්ප් ප්‍රතිපත්තිය 

මුදල් වෙළෙඳපොළ නවීකරණය සහ විවිධාංගකරණය කිරීම සඳහා ට්‍රම්ප් විසින් නිල ඩොලර් මුදල් ක්‍රමයට පිටත මුදල් වශයෙන් ක්‍රියා කරන පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ඒකකයන් ප්‍රචලිත කිරීමේ නීති පසුගිය දා සම්මත කරන ලදි. එනම්, ජීනියස් පනත සහ ක්ලැරිටි පනත යි. එමගින්, ක්‍රිප්ටෝ මුදල් නියාමන පද්ධතියක් ද, ඩොලරයට බද්ධ වූ ස්ථායී කාසි (Stable Coins) මුදල් නිකුත් කිරීම සහ ගනුදෙනු කිරීම පිළිබඳ ව විශේෂිත නියාමනයක් පද්ධතියක් ද හඳුන්වා දී ඇත. 

මෙහි දී, ස්ථායී කාසි යනු එකට එක ඩොලරයේ ආරක්ෂාව සහ පරිවර්තීයතාවය ඇති අන්තර් ජාලය හරහා ගනුදෙනු කෙරෙන පෞද්ගලික විද්‍යුත් මුදල් ය. ඒවා නිකුත් කිරීමට සහ ගනුදෙනු කිරීමට බැංකු සහ වෙනත් ව්‍යාපාරික සමාගම්වලට අවසර දී ඇත. ඒ අනුව, ඩොලරයක තැන්පතු භාර ගැනීමෙන් ස්ථායී කාසි ඒකකයක් නිකුත් කළ හැකිය. එනම්, 100% ක ඩොලර් සංචිත මත පදනම් වූ කාසි ය. එබැවින්, කාසි හිමියෙකුට අවශ්‍ය වෙලාවට, එම ස්ථායී කාසි අදාළ නිකුතු සමාගමට භාර දී, 100% ක් ඩොලර් ආපසු ලබා ගත හැකිය. 

ඒ අනුව, මහ බැංකුවේ අවසරය සහ නියාමනය නොමැතිව ස්ථායී කාසි මුදල් ගනුදෙනු වනු ඇත. මෙය, ලෝකය පුරා නව ඩොලර් නිකුතුවක් හෝ මැවීමක් නොමැතිව ඩොලරය ප්‍රචලිත කිරීමේ පෞද්ගලික මුදල් මෙවලමක් ලෙස හඳුන්වා දෙන බවට නිල ප්‍රකාශනයන් සිදු කොට ඇත. එය ඩොලරයට සමාන බැවින් ගෝලීය පිළිගැනීමක් ලැබෙනු ඇත. එබැවින්, ඇමෙරිකාවේ මුදල් ප්‍රසාරණයක් නොමැතිව පවතින ඩොලර් මුදල් තොගය මත ස්ථායී කාසි ප්‍රසාරණය කළ හැකිය. 

එම කාසි ද ඩොලරයට අමතරව ආර්ථිකයෙහි සමස්ත ඉල්ලුම සහ වියදම ප්‍රසාරණයට භාවිතා වනු ඇත. එහෙත්, එම ඉල්ලුමට බලපෑමට මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය හැකියාවක් නොමැත. එම හැකියාව ලබා ගැනීමට නම්, මහ බැංකුවට ද ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු කිරීමට සිදු වනු ඇත. එබැවින්, මහ බැංකුවේ මුදල් නියාමන සහ ප්‍රතිපත්ති අධිකාරිය සීමා වී, ආර්ථික සංවර්ධන අවශ්‍යතාවන් අනුව නිදහස් වෙළෙඳපොළ හරහා මුදල් සැපයෙන පෞද්ගලික විද්‍යුත් මුදල් යුගයක් ඉදිරියේ දී විකාශය වනු ඇත. එය, මහ බැංකුව සහ රාජ්‍ය මුදල් ක්‍රමය තරඟකාරී සහ පටු කිරීමේ ප්‍රතිපත්තියකි.

සමාප්ත සටහන

  • ඇමෙරිකානු මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු සහ ඉලක්කයන් හුදු සාර්ව ආර්ථික සංකල්පයන් ය. එසේම, එම අරමුණු සහ සියළු ඉලක්කයන් ඉවත ලා, මහ බැංකුව විසින් තම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ඉලක්කය ලෙස මිල ස්ථායිතාවය හෝ 2% ක වාර්ෂික උද්ධමනයක් පවත්වා ගැනීම ලෙස අර්ථකථනය කොට ඇත.

  • එසේම, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් පූර්ණ ස්වාධීනත්වය ඇමෙරිකානු මහ බැංකුවට ලැබී ඇත. ඒ අනුව, වත්මන් මුදල් ප්‍රතිපත්ති මොඩලය මහ බැංකු පොලී අනුපාතය සහ මුදල් මුද්‍රණය යන මෙවලම්වලින් යුක්ත වෙයි.

  • එහෙත්, මුදල් ප්‍රතිපත්තිය මගින් මිල ස්ථායිතාවය හෝ උද්ධමනය 2% ඉලක්කය තුළ පවත්වා ගැනීමට හැකි බවට කිසිම පර්යේෂණ සාක්ෂි නොමැත. එබැවින්, මෙම මුදල් ප්‍රතිපත්තිය හුදු පැරණි මුදල් වාදී උද්ධමන සංකල්පය ක්‍රියාවට නැංවීමට උත්සාහයක් පමණි. එය පසුපස ගෝලීය ආර්ථික නියෝජිත ජාලයක් පවතී.

  • එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය තුළින් සැබෑ වශයෙන් සිදු කරනුයේ, බැංකු සහ මුදල් වෙළෙඳුන්ට අවශ්‍ය සංචිත මුදල් මුද්‍රණය සහ සැපයීම තුළින් තම බැංකු ගෙවුම් සහ පියවුම් පද්ධතිය පවත්වා ගෙන යාම යි. එමගින්, බැංකු සහ මුදල් ක්‍රමයෙහි ස්ථායිතාවය පවත්වා ගැනීම සිදු වෙයි.

  • වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හට ගෙන ඇති ප්‍රතිපත්ති ගැටුම වනුයේ, මහ බැංකු පොලී අනුපාතය 4.25%-4.50% වැනි ඉහළ මට්ටමක පවත්වා ගැනීම තුළින් රාජ්‍ය ණය පොලී පිරිවැය සහ ආර්ථිකයෙහි අරමුදල් පිරිවැය අධික වීම සහ එමගින් ඔහුගේ තීරුබදු පදනම් වූ නව දේශීය ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියට අනුකූල නොවීම යි.

  • එබැවින්, ට්‍රම්ප් විසින් වත්මන් මහ බැංකු අධිපති ඉවත් කිරීමේ සහ මහ බැංකුව ප්‍රතිසංවිධානය කිරීමේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කෙරේ. එමගින්, මහ බැංකු ස්වාධීනත්වය සීමා කිරීමේ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. ඊට හේතුව, මහ බැංකු නිලධාරීන් ස්වාධීනව සියළු දේ නිවැරදිව කරනු ලබන දිව්‍ය ආත්මයන් නොවන බැවිනි. එසේම, දේශපාලනික රාජ්‍යයක් තුළ රජයේ පාලනයෙන් පිට මහජනයාට වග නොකියන අතුරු ස්වාධීන මුදල් රාජ්‍යයන් පැවතිය නොහැක.

  • එසේම, ලෝකයේ අනෙක් බොහෝ මහ බැංකු ද ඇමෙරිකානු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මොඩලය අනුව සැකසී ඇති බැවින් ඉදිරියේ දී ඇමෙරිකානු මහ බැංකු මොඩලය වෙනස් වුවහොත් එම රටවල මහ බැංකු ද ප්‍රතිසංවිධානය කිරීමට සිදු වනු ඇත. එය පහසු කාර්යයක් නොවනු ඇත.

  • නූතන ගෝලීය සහ දේශීය ආර්ථික කම්පනයන් දෙස බලන විට, රටවල ආර්ථික ස්ථායිතාවය සඳහා අතීතයේ දී මෙන් රාජ්‍ය අයවැය, මුදල් ප්‍රතිපත්තිය සහ බැංකු නියාමනය මනා සම්බන්ධීකරණයකින් පවත්වා ගැනීමේ සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයක් අවශ්‍ය වෙයි. සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල මෑත කාලීන සංවර්ධනය අත්කර ගන්නා ලද්දේ, එම ප්‍රතිපත්ති සම්බන්ධීකරණ ක්‍රමවේදය හරහා ය.

  • එසේ නැතහොත්, මහ බැංකු සහ නිල මුදල් ක්‍රමයන් ඉදිරි දශකවල අභාවයට යනු ඇත. ඊට හේතුව, පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් ප්‍රචලිත වීමත්, මහ බැංකු නිලධාරී මුදල් වාදයට එම වෙළෙඳපොළ සමඟ තරඟ කිරීමට නොහැකි වීමත් ය. ඒ සඳහා වන මුල් ප්‍රතිපත්ති පියවර ට්‍රම්ප් ජනාධිපති විසින් පසුගිය දා ගත් අතර එය ලෝකය පුරා පැතිරී යාමට වැඩි කාලයක් ගත නොවනු ඇත. ලෝකයේ මුදල් ආරම්භ වූයේ පෞද්ගලික මුදල් ලෙස බැවින් අනාගතයේ දී පෞද්ගලික මුදල් බිහිවීම හරහා මුදල් නවීකරණය වීම පුදුමයක් නොවේ.

  • ට්‍රම්ප් - මහ බැංකු ප්‍රතිපත්ති ගැටුම තුළ එන සතියේ 30 දින නියමිත මුදල් ප්‍රතිපත්ති රැස්වීමේ දී මහ බැංකුව විසින් තම පොලී අනුපාතය සැලකිය යුතු ලෙස පහළ දැමීම නොකළ හොත්, ගැටුම තවත් උග්‍ර වනු ඇත. දැනටමත්, මුදල් මණ්ඩලය විශාල ලෙස බෙදී ඇති බවට වාර්තා වෙයි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

(හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව) 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)


Comments

Popular posts from this blog

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

ශ්‍රී ලංකාව සංවර්ධනය කළ නොහැකි ඇයි? ව්‍යුහාත්මක උගුල කුමක් ද?

නව රජය ද මං මුළා කෙරෙන, විනිමය අනුපාතය සහ මහ බැංකු මුදල් සුදුව.