රජයට එරෙහි ගැඹුරු රාජ්‍ය ආයතනික ව්‍යුහය. වින්දිත වීම හැර විකල්පයක් රජයට නැත්තේ ඇයි ?
ලිපියේ අරමුණ සහ පසුබිම
පසුගිය දිනක රාජ්‍ය මුදල් කාරක සභාව විසින් වාහන ආනයනය කිරීමේ දී ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ව පැවති පරීක්ෂණයක වීඩියෝවක් මාධ්‍යයේ පළ විය. (එම වීඩියෝව මෙතනින් නරඹන්න) . එය, ආනයන සහ අපනයන පාලක විසින් 2013 දී නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් ආශ්‍රිත ගැටළුවක් විය. එය, රාජ්‍ය ආයතන විසින් මහජන සේවාවන් සැපයීමේ දී අනුගමනය කෙරෙන පදනම් විරහිත ප්‍රතිපත්ති පිළිබඳ එක් නිදසුනකි.
මේ දිනවල රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ මෙවැනි දුර්වල හෝ දුෂිත කාර්ය සාදනය පිළිබඳ ව දේශපාලනික රාජ්‍ය නියෝජිතයන් විසින් විවිධාකාර චෝදනාවන් ඉදිරිපත් කිරීම සුලබ දසුනක් වී ඇත.
එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, එම වීඩියෝවේ අඩංගු කරුනු පදනම් කර ගෙන, ශ්‍රී ලංකාවේ පවතින රාජ්‍ය ආයතන සහ නිලධාරී පද්ධතියෙහි ගැඹුරු ව්‍යුහයත්, නව ප්‍රතිපත්තිවලට ඉන් ඇති කෙරෙන බාධකයත් පිළිබඳ ව කෙටි සටහනක් තැබීම යි. එහෙත්, එහි හේතුඵල විග්‍රහයක් සඳහා ගැඹුරු පර්යේෂණයක් අවශ්‍ය වෙයි.
ගෝලීය රාජ්‍ය තත්ත්වය
මෙම ගැඹුරු රාජ්‍ය නිලධාරී සහ ආයතනික ව්‍යුහය ශ්‍රී ලංකාවේ පමණක් නොව, සංවර්ධිත ධනවාදී සහ නිදහස් වෙළෙඳපොළ රටවල් ඇතුළු සියළුම රටවලින් වාර්තා වන සිද්ධියකි.
- මේ දිනවල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ නව රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ගැලපෙන ලෙස රාජ්‍ය ආයතන සහ නිලධාරී ව්‍යුහය සැකසීම සඳහා රැඩිකල් ප්‍රතිසංස්කරණයන් කරන බව වාර්තා වෙයි. සමහර රාජ්‍ය ආයතන වසා දැමීම, සේවකයන්ගේ සේවා ගිවිසුම් අවසන් කිරීම සහ වියදම් කපා හැරීම ඒ අතර දැකිය හැකිය. එසේම, ඉතාම ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ඇමෙරිකානු මහ බැංකුවේ අධිපති ඉවත් කිරීමට ද ඔහු විසින් ප්‍රසිද්ධියේ කටයුතු කෙරේ. ඊට හේතුව, මහ බැංකුව විසින් කාලයක් තිස්සේ පවත්වා ගෙන යන ඉහළ පොලී අනුපාත ප්‍රතිපත්තිය තුළින් ආර්ථිකයට සහ රාජ්‍ය ණය සේවාකරණයට ඇති අහිතකර බලපෑම පිළිබඳ ව නැගෙන චෝදනාවකි. ජනාධිපති වරයාගේ නව ප්‍රතිපත්තිවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන් සිය ගණනක් ආරම්භ වී ඇති අතර රටටම බලපාන පරිදි වාරණයන් ද පැන වී ඇත. එහෙත්, ජනාධිපති වරයාගේ ප්‍රතිපත්තිවලට එරෙහිව පැමිණිලි කරුගේ අයිතිවාසිකම්වලින් ඔබ්බට ගොස් රටටම බලපාන ලෙස අධිකරණ වාරණයන් පැනවීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති වරයා බෙහෙවින් ක්‍රියාශීලී වී ඇත.
- 2022 වර්ෂයේ සැප්තැම්බර් මස පත් වූ ලිස් ට්‍රස් අගමැතිනියගේ බ්‍රිතාන්‍ය රජය දින 45 කින් බිඳ වැටීමට හේතු වූයේ, එම රජය විසින් තම ප්‍රතිපත්ති අනුව ඉදිරිපත් කළ අතුරු අයවැයට, ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් එරෙහි වීම තුළින් හට ගත් මූල්‍ය වෙළෙඳපොළ කම්පනය යි. රජය ඉල්ලා අස් වූ සැණින් මූල්‍ය වෙළෙඳපොළ නැවත ස්ථායිකරණය විය. පසුව, බ්‍රිතාන්‍යයේ මහ බැංකුව, අයවැය වගකීම් කාර්යාලය, පරිසර ආරක්ෂණ ආයතන වැනි ගැඹුරු ආයතන පද්ධතිය හේතු කොට කිසිම රජයකට බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවත සංවර්ධනය කිරීමට නොහැකි බවත්, සියළු රජයන් රාජ්‍ය බලය රහිත රජයන් ලෙස ආසනවල පසු වන බවත්, ලිස් ට්‍රස් මහත්මිය විසින් ප්‍රකාශ කොට, ග්‍රන්ථයක් ද පළ කරන ලදි.
- 2022 ජූලි මස ශ්‍රී ලංකා රජය බිඳ වැටීමට හේතුව ප්‍රධාන වශයෙන් මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරයේ පැවති ගැඹුරු මතවාදය යි. ගෝලීය කොරෝනා අර්බුදය නිරාකරණ ප්‍රතිපත්ති ආශ්‍රිතව මහ බැංකුව සහ රජය අතර පැවති ගැඹුරු ගැටුම 2020 ජුනි මස 16 දින ජනාධිපති වරයා විසින් ප්‍රසිද්ධියේ මහ බැංකු ඉහළ නිලධාරීන්ට නිර්දය ලෙස චෝදනා කිරීමෙන් පැහැදිළි ය.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සාකච්ඡා වූ පරිදි වාහන ආනයනය ණයවර ලිපි ගැටළුව කෙටියෙන් පහත දැක්වෙයි.
ණයවර ලිපි
ණයවර ලිපියක් යනු විදේශ වෙළෙඳාමේ ගෙවුම් කෙරෙන බැංකු මෙවලමකි. මෙහි දී, අනයනකරුගේ බැංකුව විසින් අපනයනකරුගේ බැංකුව වෙත ලිපිය නිකුත් කෙරෙන අතර එමගින් ආනයනකරු සහ අපනයනකරුගේ වෙළෙඳ ගිවිසුම ප්‍රකාරව අපනයනකරුගේ බැංකුවට අදාළ මුදල් ප්‍රේෂණය කරන බවට තහවුරු කෙරේ. එය හුදෙක් බැංකු සහ ගනුදෙනු කරුවන් අතර ගොඩ නැගී ඇති විශ්වාසය මත ක්‍රියා කෙරේ.
2022 අප්‍රේල් මස 12 දින ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය පැහැර හැරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි පිළි ගැනීම අපනයන කරුවන්ගේ විදේශ බැංකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, ශ්‍රී ලංකාව පිළිබඳ ගනුදෙනු විශ්වාසය බිඳී යාම හේතුවෙනි.
එසේම, ශ්‍රී ලංකාවේ බැංකු විසින් ද ණයවර ලිපි නිකුත් කරනු ලැබුවේ, අදාළ ආනයන ගනුදෙනුවේ මුළු ඩොලර් මුදල් ප්‍රමාණයම ආනයනකරු විසින් බැංකුවේ තැන්පත් කිරීමෙන් පසුව ය. එහෙත්, සාමාන්‍යයෙන් ණයවර ලිපි අනුව මුදල් පියවීම සිදු වන්නේ, අදාළ කොන්දේසි මත භාණ්ඩ හුවමාරුව සිදු වීමෙන් පසුව ය.
ශ්‍රී ලංකාවේ වාහන ආනයන ණයවර ලිපි නිකුතුව
එය, ශ්‍රී ලංකාවේ බැංකුවලින් හෝ විදේශ වෙළෙඳ මධ්‍යස්ථානවල ඇති විදේශ බැංකුවලින් හෝ සිදු කළ හැකිය. විදේශීය බැංකු මගින් ණයවර ලිපි නිකුත් කිරීම නව ප්‍රවණතාවය බව දැක්වෙයි.
වාහන ආනයන වරායෙන් මුදා ගැනීමේ දී ඇති වත්මන් ගැටළුව
මෙය ජපානයේ ලිය පදිංචි කොට, පාවිචිචි කිරීමන් පසු, ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන වාහන ආශ්‍රිත ගැටළුවකි. එනම්, 2013 දී ආනයන සහ අපනයන පාලක විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් රේගුව විසින් හදිසියේ 2025 මැයි 27 දින සිට ක්‍රියාත්මක කිරීම යි. එනම්, ආනයන ණයවර ලිපියට අදාළ වාහනවල ජපානයේ ලියා පදිංචිය අවලංගු කොට ඇති බව ඇතුළු අපනයන ලිපි ලේඛනවලට, ජපානයේ අපනයනකරුගේ බැංකුවේ තහවුරුව නොමැතිව ශ්‍රී ලංකා වරායෙන් වාහන නිදහස් නොකිරීම යි. මෙම ගැසට් පත්‍රය නව වාහන ආනයනයට අදාළ නොවන බැවින්, නව වාහන ආනයනය ගැටළුවක් නොමැතිව සිදු වෙයි.
එබැවින්, ජපානයේ පාවිච්චි කොට ඇති වාහන ආනයනය කොට, දැනට රේගුව විසින් තීරුබදු අය කිරීම නිම කළ ද, මේ වන විට එම වාහන වරායෙන් මුදා ගැනීමට නොහැකි වී, දඩ මුදල් ගෙවීමට ආනයන කරුවන්ට සිදු වී ඇත. ඊට හේතුව, ඉහත දැක්වූ 2013 ගැසට් පත්‍රය අනුව එම වාහනවල ආනයන/අපනයන ලිපි ලේඛණ සඳහා ජපානයේ බැංකු තහවුරුවක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම යි.
රෙගු නිලධාරීන්ගේ ප්‍රතිචාරය
රේගුවේ කනිෂ්ඨ නිලධාරීන්ගේ අත්වැරැද්දක් හේතු කොට, මෙම 2013 ගැසට් පත්‍රය මෙතෙක් ක්‍රියාත්මක නොවුව ද, ඒ පිළිබඳ ව ආනයන සහ අපනයන පාලක විසින් කරන ලද දැනුම් දීමක් අනුව, දැනට එය 2025 දී රේගුව විසින් ක්‍රියාත්මක කිරීමෙන් මෙම ගැටළුව මතු වී ඇත.
ආනයන සහ අපනයන පාලකගේ ප්‍රතිචාරය
ඉන් හෙළි වූ ප්‍රධාන කරුනු පහත දැක්වෙයි.
- මෙම ගැසට් පත්‍රය අපනයන රටේ බැංකු හරහා ලිපි ලේඛණ තහවුරු කිරීම තුළින් කෙරෙන ආනයන පමණක් ආවරණය වන බව.
- මෙම ගැසට් පත්‍රය අනුව විදේශ මධ්‍යස්ථාවල බැංකු විසින් නිකුත් කරන ලද ණයවර ලිපි අනුව වාහන ආනයනය ආවරණය වන ආකාරය පිළිබඳ ව රේගුවෙන් කළ විමසීමකට අනුව මෙම ගැසට් පත්‍රය පිළිබඳ ව අර්ථ නිරූපනයක් ආනයන සහ අපනයන පාලක විසින් නීතිපතිගෙන් ලබා ගත් බවත්, ඒ අනුව ජාත්‍යන්තර බැංකු ද ඇතුළත් වන පරිදි ගැසට් පත්‍රය නැවත නිකුත් කල යුතු බවට උපදේශයක් ලැබී ඇති බව.
- නව තත්ත්වය වී ඇත්තේ, ජපානයේ බැංකු විසින් වාහන වටිනාකම අවතක්සේරු වීමේ හැකියාව වැනි සාධක මත ආනයන ලිපි ලේඛණ භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, ශ්‍රී ලංකාවේ වාහන ආනයන ව්‍යාපාරය ප්‍රසාරණය වීම සහ ඉන් විදේශ මුදල් සංචිතයට ඇති අහිතකර බලපෑම වැනි ගැටළු මතු වී ඇති බව.
මෙහි දී, ආනයන සහ අපනයන පාලක විසින් තමන්ගේ විෂය පථයට පරිබාහිර කරුනු මත නීති පැනවීමට උත්සාහ කරන බව පැහැදිළි ය. එනම්,
- බැංකු ව්‍යාපාරයට අයත් නොවන කොන්දේසි නියම කිරීම. බැංකු විසින් සිදු කරන්නේ, වෙළෙඳ ගනුදෙනුවට අදාළ මුදල් ප්‍රේෂණය හෝ පියවීම සහ ඊට අදාළ අවදානම් දැරීම මිස, වෙළෙඳ ගනුදෙනුවලට අදාළ කොන්දේසි තහවුරු කිරීම හෝ ඉටු කිරීම නොවේ. එය, අපනයනකරු සහ අනයනකරු විසින් කරගත යුතුය. එබැවින්, ලියා පදිංචිය අවලංගු කිරීම හෝ අවතක්සේරු වැනි කරුනු ඊට අදාළ නියාමන ආයතන විසින් සිදු කළ යුතුය. විශේෂයෙන් ලියාපදිංචිය අවලංගු නොකරන ලද වාහනයක් අපනයනය කිරීම වැලැක්වීම ජපානයේ රේගුවේ හෝ වරායේ කාර්යයකි. ඒ පිළිබඳ ව තහවුරුවක් ජපානයේ අපනයන කරුගේ බැංකුවෙන් ඉල්ලා සිටීම ශ්‍රී ලංකා ආනයන සහ අපනයන පාලකගේ කාර්යයක් නොවේ.
- විදේශ සංචිතයේ ආරක්ෂාව පිළිබඳ ව ප්‍රතිපත්ති තීරණ ගැනීම මහ බැංකුවේ වගකීමකි. එබැවින්, එම මහ බැංකු වගකීම ඉටු කිරීමට ආනයන සහ අපනයන පාලක ක්‍රියා කිරීමට යාමෙන් වාහන ආනයනය අනවශ්‍ය බාධකයන්ට මුහුණ දෙනු ඇත.
- වාහන කර්මාන්තයේ ප්‍රසාරණය පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගැනීම කැබිනට් මණ්ඩලයේ කාර්යයකි. ඊට, IMF කොන්දේසි ද බලපානු ඇත. ආනයන සහ අපනයන පාලක විසින් ක්‍රියාත්මක කළ යුත්තේ, රජයේ ප්‍රතිපත්ති තීරණය යි.
- රාජ්‍ය ආයතනවලට තත්කාලීන වෙළෙඳපොළ සහ මහජන හැසිරීම සහ අවශ්‍යතාවන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති බැවින් ඔවුන් දන්නා දේවල් කිරීමට පමණක් පෙළඹීම. 2013 ගැසට් පත්‍රය මගින් වාහන ආනයනයට අදාළ ලිපි ලේඛණ අපනයන රටේ බැංකුවක් විසින් තහවුරු කළ යුතු බවට කොන්දේසියක් පැනවීම එහි ප්‍රතිඵලයකි.
- බොහෝ රාජ්‍ය ආයතන විසින් තම නෛතික සහ කාර්ය වපසරියෙන් පිටත ක්‍රියා කිරීමට යාමෙන් මහජනතාව පීඩනයට පත් වන බව පැහැදිළි ය. තව ද, තමන් විසින් කරන ලද කාර්යයක් පිළිබඳ ව ගැටළු පැන නගින විට, නීතිපතිගෙන් අර්ථ නිරූපනයන් විමසීමෙන්, තමන්ගේ කාර්යය සහ විෂය පථය කුමක් ද? යන්න තමන් නොදන්නා බව පැහැදිළි ය.
- ඇඟ බේරා ගැනීමේ ක්‍රමෝපායක් ලෙස නීතිපති භාවිතා කිරීම. රටේ පවතින සියළු රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරකම් අර්ථ නිරූපනය කොට, කළ යුතු සහ නොකළ යුතු දේ නිගමනය කිරීමේ දේව දැනුම නීතිපතිට නොමැත. එසේම, රාජ්‍ය ප්‍රතිපත්ති බහුතරය අදාළ නීතියෙන් බලය ලත් රාජ්‍ය නිලධාරීන්ගේ අභිමතය මත ගැනෙන අතර ඒ ඒ නිලධාරීන් ගත යුතු අභිමතය කුමක් ද? යන්න නිගමනය කිරීමේ බලයක් නීතිපතිට නොමැත. එසේ බලයක් පවතී නම්, සමස්ත රාජ්‍ය පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම නීතිපති සතු විය යුතුය. එබැවින්, රාජ්‍ය නිලධාරීන් විසින් නීතිපති මතය හෝ නිර්දේශය සෙවීම හුදෙක් තම වගකීම්වලින් බේරීමට උත්සාහ කිරීම සඳහා භාවිතා කෙරෙන යටි ක්‍රමවේදයකි.
රාජ්‍ය මුදල් කාරක සභාවේ ප්‍රතිචාරය
- නීතිය නොදත් බව නිදහසට කරුනක් නොවන බව. මෙහි අදහස වාහන ආනයන කරුවන් දැන් පැරණි නීතිය පිළි පැදිය යුතු බව යි. එහෙත්, නීතිය නොදැන සිටි රේගු නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳ ව කිසිවක් ප්‍රකාශ වූයේ නැත. මෙම ගැසට් පත්‍රය 2013 සිට ක්‍රියාත්මක වූවා නම්, වත්මන් ගැටළුව පැන නොගැනෙනු ඇත. අවම වශයෙන් ගැසට් පත්‍රය ලෝක වෙළෙඳාමට ගැලපෙන පරිදි සංශෝධනය වනු ඇත.
- එසේම, මෙම ගැටළුව නිරාකරණය කිරීමට කිසිම හැකියාවක් රාජ්‍ය මුදල් කාරක සභාවට නොමැත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කාරක සභාවල ස්වරූපය වන්නේ, නිලධාරීන්ට දෝෂාරෝපණය කිරීම මිස, රාජ්‍ය තන්ත්‍රය තුළින් මහජනතාව මුහුණ දෙන ගැටළු නිරාකරණය නොවේ.
- එසේම, මෙය නිරාකරණයට ක්‍රියා කළ යුතු රාජ්‍ය අධිකාරිය කුමක් ද? යන්න ද පැහැදිළි නොමැත. ඒ සඳහා ආනයන සහ අපනයන පාලක හෝ රේගුව ඉදිරිපත් නොවනු ඇත. ගැඹුරු රාජ්‍ය නිලධාරී සහ ආයතන ව්‍යුහයේ ස්වරූපය එය යි. පසුව මතුවිය හැකි චෝදනාවන් හේතු කොට, ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇත.
සමාප්ත සටහන
ඉහත දැක්වූ රාජ්‍ය මුදල් කාරක සභා පරීක්ෂණ තොරතුරු මගින් ශ්‍රී ලංකාවේ පවතින ගැඹුරු රාජ්‍ය නිලධාරී සහ ආයතන ව්‍යුහයෙහි දැකිය හැකි මුල්බැස ඇති දුර්වලතාවය විදහා දැක්වෙයි. එහි සම්පිණ්ඩනයක් පහත ලෙස දැක්විය හැකිය.
- එම දුර්වලතාවයන් අතර මූලික ඒවා ලෙස පැරණි ලිපි ගොනුවල වෙසීම, මහජන ගැටළු නිරාකරණයට යොමු නොවීම, නව මහජන අවශ්‍යතාවන් සැපයීමට හැකිවන ලෙස ආයතනික අභ්‍යන්තර ක්‍රියාවලිය කලින් කලට විමර්ශණය හෝ සංශෝධනය නොකිරීම, ලිපි ගොනුවලින් පිට තීරණයන් ගැනීමට ඊට අභිමත බලය ලත් නිලධාරීන් ක්‍රියා නොකිරීම, පැරණි ලිපි ගොනු ආශ්‍රිත ගැටළු පැන නගින විට නීතිපති සහ වෙනත් ආශ්‍රිත ආයතනවල නිරීක්ෂණයන් හෝ නිර්දේශයන් සොයමින් ගැටළු නිරාකරණය පමා කිරීම සහ තම විෂයට යටත් නව මහජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම යනාදිය හඳුනා ගත හැකිය. මේවා සෑම රටකම අඩු වැඩි වශයෙන් දැකිය හැකි රාජ්‍ය පාලන ප්‍රමිතීන් ලෙස සැලකෙයි.
- එබැවින්, නව දේශපාලනික රජයන් නව මහජන පොරොන්දු දෙමින් බලයට පත් වුව ද, එම පොරොන්දු ඉටු කිරීමේ හැකියාවක් රජයන්ට නොලැබේ. ඊට හේතුව, කිසිම රජයකට පවතින ගැඹුරු රාජ්‍ය නිලධාරී සහ ආයතන රාමුවෙන් පිටත ක්‍රියා කළ නොහැකි වීම යි. නව රාජ්‍ය ආයතනයන් ස්ථාපිත කළ ද, ඒවා ද පවතින සම්ප්‍රදාය අනුව හැඩ ගැසෙනු ඇත. එසේ නොවේ නම්, දේශපාලනික චෝදනාවන් හරහා එම ආයතන සහ රජයන් අර්බුදයට පත් වනු ඇත.
- එබැවින්, වත්මන් නව රජයේ නායකයන් විසින් වේදිකා සහ නිලධාරී රැස්වීම්වල සිට රටේ සංවර්ධනයට අවශ්‍ය නව සැලසුම් සහ ප්‍රතිසංස්කරණයන් වහාම ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට නියම කිරීමත්, වත්මන් ආයතනික ක්‍රමවේදයන් පිළිබඳ ව නිලධාරීන්ට චෝදනා කිරීමත් තුළින් ප්‍රතිඵලයක් නොමැත. නව නායකයන් සිතන මතන පරිදි නව සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු නම්, ඒවා නව රජයේ නායකයන් සහ ඔවුන් විසින් පත් කරන ලද නව ආයතනික ප්‍රධානීන් විසින් සිදු කළ යුතුය.
- ඊට හේතුව, පහළ ස්ථරවල සිටින බහුතර නිලධාරී රාමුව පවතිනේ, හුදෙක් පවතින ලිපි ගොනුවල තිබෙන දෙයක් කර ගෙන යාමට මිස, දේශපාලන නායකයන්ට ඕනෑ ඕනෑ වෙලාවට නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොවේ. රාජ්‍ය නිලධාරී පුහුණුව, පලපුරුද්ද සහ ප්‍රවීණතාවය යනු හුදෙක් කාලයක් පුරා පවතින ලිපි ගොනු වෙළුම්වල ඇති කරුනු පිළිබඳ දැනුම යි. එබැවින්, රාජ්‍ය ආයතනවලට පත් කෙරෙන නවක නිලධාරීන්ට පැවරෙන්නේ ද, ඒවා කඩිනමින් ඉගෙන ගෙන, පිළි පැදීම මිස, ඒවා ප්‍රශ්න කොට, නව දේවල් කිරීමට යාම නොවේ. එනම්, අනුකුලතාවය පවත්වා ගෙන යාම යි.
- එබැවින්, රජය සහ ආර්ථිකය මෙහෙය වන ප්‍රධාන ආයතන කිහිපය විසින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම්වලට මැදිහත් වීමේ දී රජය ඉතාමත් ප්‍රවේසම් විය යුතුය. ඊට හේතුව, එම ආයතනයන් තම ව්‍යවස්ථාපිත අධිකාරිය මත තමන්ට අවේනික වූ මතවාදයන් මත සුව සේ ක්‍රියාත්මක වන බැවිනි. බ්‍රිතාන්‍යයේ ලිස් ට්‍රස් අගමැතිනියගේ රජය 2022 ඔක්තෝබර් මස සති හයකින් ගෙදර යවන ලද්දේ එම ආයතන කිහිපය විසිනි. ඔවුන්ට IMF ගෝලීය වෙළෙඳ දාමයේ සහාය ද නොඅඩුව ලැබිණ.
- නව රාජ්‍ය ප්‍රතිපත්ති, වසර දහස් ගණනක් පුරා විකාශය වී ඇති සමාජ වටිනාකම් පද්ධතියට ද අනුකූල විය යුතු වීම ද දැඩි අභියෝගයකි. මෙම වටිනාකම් පද්ධතිය ජාති, කුල, ආගම්, ප්‍රදේශ සහ පංති අනුව බෙදී ඇති අතර මෙම බෙදීම් ද හුදෙක් දේශපාලනික බෙදිම්වල ප්‍රතිඵලයකි. එබැවින්, ඕනෑම රාජ්‍ය ප්‍රතිපත්තියකට එරෙහි වන සමාජ වටිනාකම් ප්‍රභේදයන් පවතිනු ඇත. ගැඹුරු රාජ්‍ය නිලධාරී සහ ආයතන පද්ධතිය ද මෙම සමාජ වටිනාකම් පද්ධතියේ කොටසක් ලෙස සැලකිය හැකිය. එබැවින්, ඕනෑම නව ප්‍රතිපත්තියක් අසමත් වීමේ සම්භාවිතාවය ඉතා ඉහළ වෙයි. ඊට, පුද්ගල මනෝභාවයට සහ විනයට දොස් කීමෙන් හෝ නායකයන් විශ්වාස කරන ආකාරයට ඒවා නිවැරදි කිරීමට උත්සාහ කිරීමෙන් හෝ ඵලක් නොමැත. ඊට හේතුව, එය ද සමාජ වටිනාකම් පද්ධතියෙහි කොටසක් වන බැවිනි. එබැවින්, නායකයන් විසින් වෙනත් රටවල සංචාරය කරමින් එම රටවල සංවර්ධන ප්‍රතිපත්ති මොඩලයන් එලෙසින්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම අසාර්ථක උත්සාහයකි. ඊට හේතුව, රටවල් අතර පවතින වටිනාකම් පද්ධති වෙනස යි.
- එබැවින්, නිසි දැනුම, පිරිස් බලය සහ මුදල් බලය නොමැතිව කඩි මුඩියේ නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම යනු කඩිනම් රාජ්‍ය අර්බුදයක මූලය වෙයි. රාජ්‍ය ප්‍රතිපත්තිවලින් අපේක්ෂිත මහජන සුබසිද්ධිය කුමක් ද? යන්න හඳුනා ගැනීමේ ගැටළුවත්, පවතින ප්‍රතිපත්තියක් වෙනස් කිරීමේ දී හෝ නව ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ දී මතුවන දුෂණ චෝදනාවනුත් ඊට දායක වනු ඇත. මීට ප්‍රධාන හේතුවක් වන්නේ, බොහෝ නව රජයන් විසින් නිශ්චිත පුළුල් සමාජ සුබසාදන ඉලක්කයන් මත නොව, යම් යම් සමාජ කොටස් සහ ව්‍යාපාරිකයන් කෙරෙහි හුදු වෛරය මත ප්‍රසිද්ධියේ නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම යි. එය ද මුල් බැස ගත් දේශපාලනික වටිනාකම් පද්ධතියෙහි කොටසකි.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment