පිරමීඩ සක්විති මුදල් සොරුන්ගෙන් බේරෙමු. ඊට අත්වැලක් මෙන්න.


ලිපියේ පසුබිම් කථාව 

ශ්‍රී ලංකාවේ කලින් කලට ආයෝජකයන්ට මූල්‍ය වංචාවන් හේතු කොට තම මුදල් අහිමි වන බවට විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව රහසක් නොවේ. ඒවා බොහෝ විට අනවසර තැන්පතු සහ පිරමීඩ ආයෝජනයන් පිළිබඳ ව වාර්තා වෙයි. එහි නවතම වාර්තාව වන්නේ "ඔන්මැක්ස්  ඩීටී" (ONMAX DT) පිරමීඩ ජාවාරම තුළින් එහි සාමාජිකයන්ට රුපියල් කෝටි 3000 ක (රුපියල් බිලියන 30 ක්) පමණ මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව යි. පසුගිය ජුලි මාසයේ ද අනවසර මූල්‍ය ආයතනයක සිදු වූ රුපියල් කෝටි 900 ක (රුපියල් බිලියන 9 ක්) පමණ තැන්පතු වංචාවක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය.

පසුගිය දා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මියයාමේ ප්‍රවෘත්තිය සමඟ ගෝල්ඩන් කී සමාගම ඇතුළු අනවසර මෙන්ම අවසර ලද මූල්‍ය ආයතනවල 2008 දී සිදු වූ තැන්පතු වංචාවන් පිළිබඳ මතකය ද අලුත් වී ඇත. එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් මුදල් වංචා හේතු කොට බංකොලොත් වූ ETI සමාගම ද මෑත කාලීන මූල්‍ය සමාගමකි. තව ද, 2016 දී එන්ට්‍රස්ට් සිකියුරිටීස් නම් වූ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ සමාගමින් රුපියල් බිලියන 10 ක පමණ මූල්‍ය වංචාවක් වාර්තා විය. 1987/88 කාලයේ දී මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගම ඇතුළු මූල්‍ය සමාගම් රාශියක් එක රැල්ලට කඩා වැටිණ. ඊට දශක දෙකකට පසු 2008 දී, සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට මෙන්ම, වෙනත් සමූහ ව්‍යාපාරයන් කිහිපයකට අයත් මූල්‍ය ආයතනයන් රැසක් බංකොලොත් විය. 

2022 ඔක්තෝබර් මස අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලිගේ මුදල් වංචාව රටපුරා මාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබිණ. රුපියල් බිලියන 1.5 ක් පමණ වූ එම මුදල් වංචාව ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රභූන් රැසකගෙන් ලබා ගත් මුදල් මත පදනම් වූ බව වාර්තා විය. දඬුවම් මුදලාලි සහ සක්විති මුදල් වංචාවන් 2008 දී වාර්තා වූ එවැනි පෞද්ගලික මුදල් වංචාවන් ය. එබැවින්, ඕනෑම මුදල් වංචාවන් සක්විති නාමයෙන් හැඳින්වීමට වත්මන් මාධ්‍යය  පුරුදු වී ඇත.

මෙවැනි මූල්‍ය වංචාවන් කලින් කලට ලෝකයේ විවිධ රටවලින් ද වාර්තා වෙයි. චීනයේ මහල් නිවාස ඉඳිකිරීමේ සමාගම් කිහිපයක් පොරොන්දු වූ පරිදි මහල් නිවාස සැපයීම හෝ තැන්පතු මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති බව මෑත දී වාර්තා විය. 2022 වසරේ නොවැම්බර් මස ආයෝජක මුදල් තැන්පතු වංචාවක් හේතු කොට FTX නම් වූ ක්‍රිප්ටො මුදල් වෙළෙඳ හුවමාරු  සමාගම කඩා වැටුණ අතර එහි අයිතිකරු/ප්‍රධාන විධායක වූ 31 වියැති සෑම් බෑන්ක්මන්-ෆ්රෛඩ් (Sam Bankman-Fried) පසුගිය සතියේ දී ඇමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 9 ක් පමණ වූ මුදල් වංචාවකට අදාළ චෝදනා 7 කට වරදකරු කරනු ලැබීය. මෙම මුදල දැනට පැහැර හැර ඇති හිඟ ණය වරිකයන් ගෙවා, ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට ප්‍රමාණවත් තරම් මුදලකි. ඔහුට තම ඉදිරි ජීවිත කාලයම හිර ගෙදර ගත කිරීමට සිදු වනු ඇත. මීට පෙර ද ඇමෙරිකාවේ ක්‍රිප්ටො මුදල් වෙළෙඳ හුවමාරු සමාගම් කිහිපයක කඩා වැටීම් වාර්තා විය. 

ලෝකයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මූල්‍ය වංචාව වන්නේ, 2008 වර්ෂයේ නිව්යෝර්ක් නගරයේ ඩොලර් බිලියන 65 ක් පමණ වූ මැඩෝෆ් ආයෝජන වංචාව යි. එහි අයිතිකරු වූ එවක 70 වියැති බර්නි මැඩෝෆ් ට වසර 150 ක සිර දඩුවමක් නියම විය.

වරින් වර මෙවැනි වංචාවන් වාර්තා වීමෙන් පෙනෙන්නේ, වංචාකාරී මූල්‍ය ව්‍යාපාරයන් නිරන්තරයෙන් පවතින බව යි. එනම්, ඒවායේ අවදානම් දන්නා සහ නොදන්නා පුද්ගලයන් ඒවා සමඟ ආයෝජන ගනුදෙනු කරන බව යි. එම වංචා විමර්ශනවල දී නිරන්තරයෙන් හෙළිවන කරුණක් වන්නේ, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්, උගතුන්, වෘත්තීය වේදීන් සහ මූල්‍ය ආයතනයන් මෙන්ම, ඒවා පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයන් ද ඒවායේ මුදල් ආයෝජනය කොට ඇති බව යි. උදාහරණ ලෙස මැඩෝෆ් සමාගමෙහි මුදල් ආයෝජකයන් අතර ජාත්‍යන්තර බැංකු කිහිපයක් ද, එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ආයෝජකයන් අතර ශ්‍රී ලංකා මහ බැංකුව ද විය.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ මෙවැනි වංචාකාරී ආයෝජනයන් සහ ව්‍යාපාරයන් හඳුනා ගෙන, තම මුදල් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ව කෙටි මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීම යි. මේ පිළිබඳ ව මහජනයා දැනුවත් කිරීම පිණිස විවිධ මහ බැංකු නිල ප්‍රකාශනයන් නිකුත් කිරීමේ කාර්යයට මා සක්‍රීය ලෙස දායක වූ අතර 2004 දී නිකුත් කරන ලද " A Guide to Financial Services in Sri Lanka " ප්‍රකාශනය මහ බැංකු බැංකු වෙබ් අඩවියේ ඇත. 2017 වර්ෂයේ දී නිකුත් කරන ලද යාවත්කාලීන ප්‍රකාශනය (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි), "මුදල් ගනුදෙනු, බැංකු සහ ආර්ථිකය" සහ "A Survey of Financial System" යන ප්‍රකාශනයන් මහ බැංකු ප්‍රකාශන අළෙවි හළෙන් මිල දී ගත හැකිය.

එහෙත්, පසුගිය දා මහ බැංකුව විසින් සමාජ මාධ්‍යයට නිකුත් කරන ලද "ඔලුව වනමු දැනං  දැනං" නම් වූ කෙටි ටෙලි නාට්‍යයෙහි දක්වන ලද්දේ, මූල්‍ය සේවාවන් සඳහා අනවසර නොව අවසර ලත් ආයතනවලට ගිය විට සියල්ල හොඳට සිදුවන බව යි. එය, සාවද්‍යය. ඊට හේතුව, මහ බැංකුව විසින් අවසර දී ඇති බැංකු සහ මූල්‍ය ආයතනවල ද මූල්‍ය වංචාවන් සිදු වන බැවිනි. ශ්‍රී ලංකාවේ එවැනි ආයතන රැසක් අතීතයේ දී කඩා වැටී  ඇත. තව ද, එම නාට්‍යයෙහි අඩංගු බහුතර දර්ශනයන් (විවාහවීම වැනි) මූල්‍ය සාක්ෂරතා විෂයට සෘජු ලෙස අදාළ ඒවා නොවේ.

එබැවින්, මහජනයා විසින් ඕනෑම ආයෝජනයක් මුහුණ දිය හැකි වංචාවන් සහ අවදානම්වලින් තම මුදල් අරක්ෂා කර ගැනීමට නිසි අවධානයකින් ක්‍රියා කිරීම නුවණට හුරුය. ඊට හේතුව, එවැනි වංචාවලින් සිදුවන අලාභයන් පියවීමට මහ බැංකුවට හෝ නීති පද්ධතියට හෝ රජයට හෝ වගකීමක් නොමැති බැවිනි.

වංචනික මූල්‍ය ව්‍යාපාරයන් යනු මොනවා ද?

මුදල් ආයෝජනය කෙරෙන විවිධ මූල්‍ය මෙවලම් දැකිය හැකිය. රාජ්‍ය සුරැකුම්පත්, තැන්පතු, සමාගම් කොටස්, සමාගම් ණයකර, විදේශ මුදල්, ක්‍රිප්ටො මුදල්, මූල්‍ය ව්‍යුත්පන්න වැනි විවිධ ආයෝජන මෙවලම් යටතේ ආයෝජන මූලාශ්‍රයන් රාශියක් දැකිය හැකිය. එසේම, මේවාහි ආයෝජනය කෙරෙන මුදල් විවිධ මට්ටමේ අවදානම්වලට මුහුණ දෙනු ඇත.

මූල්‍ය අවදානම් යනු මුදල් ප්‍රමාණය හෝ අපේක්ෂිත ප්‍රතිලාභය අහිමි වීමේ මූලයන් ය. වංචාවලින් ද එය සිදුවන බැවින් වංචා ද මූල්‍ය අවදානම්වල එක් කාණ්ඩයකි. යම් මුදල් ආයෝජනයක අවදානම මැනීම සඳහා භාවිතා කෙරෙන ප්‍රධානම මිනුම වන්නේ එහි ප්‍රතිලාභ හෝ පොලී අනුපාතය යි. එනම්, අවදානම සහ ප්‍රතිලාභ අතර අනුලෝම සබඳතාවයක් පවතී. ඒ අනුව, ඉහළ අවදානමක් සහිත ආයෝජනයන්ට මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉහළ ප්‍රතිලාභයන් ප්‍රදානය කිරීම දැකිය හැකිය.

ආයෝජකයන්ගෙන් මුදල් ලබා ගන්නා සහ කළමනාකරණය කෙරෙන ආකාරය අනුව මුදල් වංචාවන් පුළුල් කාණ්ඩයන් දෙකකට බෙදිය හැකිය. එනම්, පිරමිඩාකාර යෝජනා ක්‍රමයන් සහ පොන්සි යෝජනා ක්‍රමයන් යන්න යි. ඉහත දැක්වූ ඔන්මැක්ස්  ඩීටී මූල්‍ය වංචාව පිරමිඩාකාර වංචාවක් බව වාර්තා වෙයි. අනෙක් ඒවා පොන්සි යෝජනා ක්‍රමයන් ය. මේ දෙවර්ගයේම සමාගම් විසින් මුදල් වංචාකාරී ලෙස අවභාවිතා කිරීම හේතුවෙන් ආයෝජකයන්ගේ මුදල් අහිමි වනු ඇත. එහෙත්, එම දෙවර්ගය අතර වෙනස වන්නේ ඔවුන් විසින් ආයෝජකයන්ගෙන් මුදල් රැස් කර ගන්නා ආකාරය යි.

මේ හැර, සියළුම වර්ගයේ බැංකු සහ මූල්‍ය ආයතනවල ආයෝජනයන්ගෙන් මුදල් වංචා කෙරෙන විවිධාකාර මෙවලම් හෝ ක්‍රමවේදයන් ද කලින් කලට වාර්තා වී ඇත. එහෙත්, ඒවා මෙම ලිපියෙහි ආවරණය නොවේ.

1. පොන්සි ව්‍යාපාරයන්

පොන්සි යෝජනා ක්‍රමයක දී සිදු වන්නේ ඉහළ පොලී හෝ ප්‍රතිලාභ සහිතව ඕනෑම අවස්ථාවක ආපසු ලබා දෙන බවට පොරොන්දුව මත තැන්පතු රැස් කිරීම යි. තැන්පතු යනු යම් පාර්ශවයක් විසින් තෙවන පාර්ශයන් වෙත ණය හෝ ආයෝජන සැපයීමේ අරමුණ මත වෙනත් පාර්ශවයන්ගෙන් රැස් කර ගන්නා මුදල් ය (පහත රූප සටහන බලන්න). ශ්‍රී ලංකාවේ නීතිය අනුව තැන්පතු රැස් කිරීම මහ බැංකුවෙන් හෝ වෙනත් අදාළ නීතියක් යටතේ ලබා ගත් අවසරය මත කළ යුතුය. එසේ නොමැතිව රැස් කෙරෙන මුදල්  අනවසර තැන්පතු වෙයි.

උදාහරණ ලෙස ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම විසින් ආරම්භයේ දී තැන්පතු ලබා ගන්නා ලද්දේ, එම සමාගම විසින් නිකුත් කෙරෙන ණය කාඩ්පත් සඳහා සුරැකුම් තැන්පතු නාමයෙනි. එය අතීතයේ සිසිල් බීම අළෙවි කිරීමේ දී බෝතලය ආපසු දෙන තෙක් සිල්ලර වෙළෙඳසැල විසින් තබා ගත් සුළු තැන්පතුවට සමාන බව දැක්විණ. පසුව, එය මහා පරිමාණයේ මුදල් තැන්පතු රැස් කිරීමක් ලෙස ප්‍රචලිත විය. ඊට හේතුව, ඉතා ඉහළ පොලියක් එම තැන්පතු ආයෝජකයන්ට ප්‍රදානය කිරීම යි. එහෙත්, මෙය නීතිය අනුව තැන්පතු රැස් කිරීමක් වන්නේ, එම මුදල් තෙවන පාර්ශවයන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමේ අරමුණ මත රැස් කළ බැවිණි. එසේ නැතිව, එම මුදල් ණය කාඩ්පත් වෙනුවෙන් සේප්පුවේ තබා ගත්තේ නම්, නීතිය අනුව තැන්පතු අර්ථකථනයට හසු නොවනු ඇත.

බොහෝ අනවසර මූල්‍ය ආයතනයන් විසින් තැන්පතු යන වචනය භාවිතා නොකොට ආයෝජන, පොරොන්දු පත්‍ර, සුරැකුම් වැනි වෙනත් නම්වලින් මුදල් රැස් කළ ද, ඒවා රැස් කිරීමේ අරමුණ අනුව එම මුදල් තැන්පතු වෙයි. උදාහරණ ලෙස එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම විසින් කරනු ලැබුවේ, රාජ්‍ය සුරැකුම්පත් "ප්‍රති මිල දී ගැනීම් ආයෝජනය" බව පවසමින් තැන්පතු රැස් කිරීම යි.  එහෙත්, සමාගම විසින් එම මුදල් සඳහා ආයෝජකයන් වෙත රාජ්‍ය සුරැකුම්පත් නිකුත් නොකරන ලද අතර, එම මුදල් විවිධ ණය, ආයෝජන සහ ප්‍රදානයන් සඳහා වංචනික ලෙස යොදා ගන්නා ලදි.  එබැවින්, අවසරයක් නොමැතිව එසේ තැන්පතු රැස් කිරීම දඩුවම් දිය හැකි වරදකි. බොහෝ අනවසර ආයතන විසින් සමාගම් ලියාපදිංචි සහතියකය පෙන්වන අතර සමාගම් පනත යටතේ ආයතනයක් ලියාපදිංචි කිරීම පමණක් මගින් තැන්පතු ව්‍යාපාරයේ යෙදිය නොහැක. 

එබැවින්, යම් පුද්ගලයකු හෝ ව්‍යාපාරික සමාගමක් විසින් තම මූල්‍ය නොවන නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් පොරොන්දු පත්‍ර නිකුත් කිරීම හරහා අරමුදල් රැස් කෙරේ නම්, එය තැන්පතු භාර ගැනීමේ ව්‍යාපාරයක් ලෙස නොසැලකිය යුතුය. එය හුදෙක් ව්‍යාපාරික ණය ගැනීමකි.

පොන්සි යෝජනා ක්‍රමයන් මූල්‍ය වංචාවන් වීමට හේතු කිහිපයකි.

  • පළමුව, මුදල් වෙළෙඳපොළේ දැකිය නොහැකි තරම් ඉහළ ප්‍රතිලාභයන් ගෙවීමට පොරොන්දු වීම.

  • දෙවනුව, රැස් කර ගන්නා තැන්පතු මුදල් ඉහළ අවදානම් ව්‍යාපාරවල යෙදවීම සහ සමාගමේ අයිතිකරුවන් සහ කළමනාකරුවන්ගේ සුඛවිහරණය සඳහා විශාල වශයෙන් අවභාවිතා කිරීම. ඒ අනුව, තැන්පතු මුදල්වලට සරිලන වත්කම් සමාගම සතු නොවීම.

  • තෙවනුව, නව තැන්පතු ලබා ගැනීම තුළින් කල්පිරෙන තැන්පතු ආපසු ගෙවීම. ඊට හේතුව, නිසි වත්කම් සහ ආදායම් ලැබීමක් සමාගම සතු නොවීම යි. 

  • සිවුවනුව, කල්පිරෙන තැන්පතු සඳහා තවත් ඉහළ පොලී ප්‍රදානය කොට ඒවා රඳවා ගැනීමට උත්සාහ කිරීම. 

  • පස්වනුව, සමහර ආරම්භක තැන්පතු හිමියන් කෙටි කලකින් ඉහළ ප්‍රතිලාභ හරහා තම මුල් මුදල තර කර ගැනීමෙන් පසු ඉවත්ව යන අතර බොහෝ විට අමාරුවේ වැටෙන්නේ පසුකාලීන තැන්පතු හිමියන් ය.

  • සයවනුව, සමහර තැන්පතු හිමියන්ට තම මුදල් ආපසු ලබා ගැනීම අපහසු වන අවස්ථාවල, එම ආරංචිය විගස අනෙක් තැන්පතු හිමියන් අතර පැතිරීම හේතු කොට තැන්පතු හිමියන් බහුතරය එකවර සමාගම ඉදිරිපිට රැස් වන බැවින් සමාගම කඩා වැටෙනු ඇත.

එබැවින්, මෙම සමාගම්වල තැන්පතු වගකීම් සහ වත්කම් අතර නිසි කළමනාකරණයක් නොමැති බැවින් කුමන මොහොතක හෝ ඒවා කඩා වැටීමේ අවදානමක් පවතී. අවසර ලත් සහ මහ බැංකු අධීක්ෂණයට යටත් බැංකු සහ මූල්‍ය ආයතන ද බංකොලොත් වන්නේ, මෙසේ පොන්සි යෝජනා ක්‍රමයන් මෙන් වංචාකාරී ලෙස කළමනාකරණය වීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ මෙන්ම සංවර්ධිත රටවල පවා එසේ බංකොලොත් වූ බැංකු සහ මූල්‍ය ආයතන රාශියක් දැකිය හැකිය. 

බංකොලොත්වීම යනු තැන්පතු ආපසු ගෙවීමට ප්‍රමාණවත් වත්කම් නොමැති වීම යි. එබැවින්, මහ බැංකුවෙන් බලපත්‍රය ලබා අධීක්ෂණය වූ පමණින් තැන්පතුවලට පූර්ණ ආරක්ෂාව ලැබෙන බව විශ්වාස නොකළ යුතුය.  බලපත්‍ර ලාභී බැංකු සහ මූල්‍ය සමාගම්වල තැන්පතු සඳහා මහ බැංකුව විසින්ම රක්ෂණ  ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මගින් තැන්පතුවල පවතින අවදානම පැහැදිලි ය.

2. වංචාකාරී පිරමීඩ ව්‍යාපාරයන්

පිරමීඩ යෝජනා ක්‍රමයක ප්‍රධාන ලක්‍ෂණ දෙකකි.

  • යම් මුදල් වටිනාකමක්/ප්‍රමාණයක් යෝජනා ක්‍රමයට/ප්‍රවර්ධකයන්ට ගෙවා සාමාජිකයෙකු වීම.

  • ඒ සඳහා සාමාජිකයන්ට ලැබෙන ප්‍රතිලාභය යෝජනා ක්‍රමයට බැඳෙන සාමාජිකයන් ප්‍රමාණය හෝ ඔවුන්ගේ මුදල් දායකත්වය මත තීරණය වීම.

පිරමීඩ යෝජනා ක්‍රමයකින් සාමාජිකයෙකුට ලැබෙන ප්‍රතිලාභය, ඔහු විසින් බඳවා ගන්නා සාමාජික සංඛ්‍යාව සහ එම සාමාජිකයන් විසින් විසින් බඳවා ගන්නා නව සාමාජික සංඛ්‍යාව යනා දී වශයෙන් සාමාජික සංඛ්‍යාව ගුණාකාර ලෙස ඉහළ යාම මත රඳා පවතී. ඒ අනුව, පිරමීඩ යෝජනා ක්‍රමයක පැවැත්ම සඳහා එහි සාමාජිකයන් පිරමිඩාකාර ලෙස ප්‍රසාරණය විය යුතුය. එබැවින්, පිරමිඩය තුළ ස්ථරයන් රාශියකට අදාළ උප පිරමීඩ රාශියක් පවතින අතර ප්‍රතිලාභ බෙදී යන්නේ ඒ ඒ උප පිරමීඩය තුළ ය. එය පහත දැක්වෙන රුප සටහනින් පැහැදිලි වෙයි. රුප සටහනේ දැක්වෙන්නේ දෙවන ස්ථරය ආශ්‍රිත උප පිරමීඩ 5 ක් පමණි. එහෙත්, තෙවන ස්ථරයේ සිටින සාමාජිකයන් පස් දෙනා විසින් නව සාමාජිකයන් බඳවා ගැනීමේ දී, ඒ ඒ උප පිරමීඩයන්ට පසු  තවත් ස්ථරයන්ගේ උප පිරමිඩයන් හට ගනු ඇත.

ඒ අනුව, සාමාජික ප්‍රතිලාභ බෙදී යන්නේ ඒ ඒ උප පිරමිඩය තුළ ය. එහෙත්, පිරමීඩයේ මුල්ම ස්ථරයේ සිටින්නේ ආරම්භක ප්‍රවර්ධකයන් වන බැවින් සියළු උප පිරමීඩයන් විසින් රැස් කෙරෙන මුදල්වලින් කොටසක් මුල් ස්ථරයේ සුළු පිරිස වෙත ලැබෙනු ඇත. එබැවින්, පිරමීඩයේ සමස්ත අරමුදල්වලින් බහුතරය එම ප්‍රවර්ධකයන් වෙත ලැබෙනු ඇත. පිරමීඩ යෝජනා ක්‍රමයන්හි සිදුවන මුදල් වංචාව වන්නේ එය යි. එසේම, යම් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලැබීමෙන් පසු එම මුදල් රැගෙන ප්‍රවර්ධකයන් අතුරුදහන් වනු ඇත. ඒ කෙසේ වෙතත්, නව සාමාජිකයන් හිඟවීම හේතු කොට, නව මුදල් නොලැබී යාමෙන් පිරමීඩ යෝජනා ක්‍රමයන් ඉක්මනින් බිඳ වැටෙනු ඇත. පිරමීඩ ආයෝජන ක්‍රමයන්ට අවේනික වූ කඩා වැටීමේ අවදානම එය යි.

සාමාජිකයන් ගෙවන මුදල් ප්‍රමාණය සාමාජික මුදලක් ලෙස නොව, වෙනත් මාදිලියෙන් අය කිරීම දැකිය හැකිය. ඒ නීතිය මග හැරීම සඳහා ය. උදාහරණ ලෙස යම්කිසි භාණ්ඩයක් හෝ සේවයක් මිල දී ගැනීම හෝ පුහුණු ගාස්තුවක් ගෙවීම දැක්විය හැකිය. 

එබැවින්, බොහෝ පිරමීඩ යෝජනා ක්‍රමයන් දාම අලෙවිකරණය (Network Marketing) ලෙස සංවිධානය කිරීමත්, සාමාජිකයන් විසින් තවත් සාමාජිකයන් බඳවා ගැනීම හරහා කෙරෙන අළෙවි කිරීම් වෙනුවෙන් ලබා දෙන වෙළෙඳ වට්ටම් ලෙස ප්‍රතිලාභ බෙදීමත් දැකිය හැකිය. මෙම භාණ්ඩ විවෘත වෙළෙඳපොළේ නොමැති ඉතා මිල අධික, එහෙත්, එතරම්  පාරිභෝගික වටිනාකමක් හෝ ද්විතීය වෙළෙඳපොළක් හෝ අළෙවියෙන් පසු සේවාවන් හෝ නොමැති ඒවා වෙයි. සමහර යෝජනා ක්‍රමයන් විදේශ රටවල සිට ක්‍රියාත්මක වෙයි.

එහෙත්, අළෙවි නියෝජිත ජාලයක් හරහා සිදු කෙරෙන දාම අලෙවිකරණය යනු ආර්ථිකයෙහි මූර්ත නිෂ්පාදනයන් අළෙවි කිරීම සඳහා සිදු කෙරෙන වෙළඳ ව්‍යාපාරයකි. එසේම, පුද්ගලයන් කණ්ඩායමක් විසින් කරනු ලබන මුදල් සීට්ටු ද පිරමීඩයක් නොවේ. ඊට හේතුව, සීට්ටුවේ මුදල් සියල්ල මාරුවෙන් මාරුවට සාමාජිකයන් අතර බෙදී යන ඉතිරිකිරීමේ ක්‍රමයක් වන බැවිනි. එබැවින්, පිරමිඩාකාර යෝජනා ක්‍රමයන්හි සාමාජිකයන්ගෙන් රැස් කෙරෙන අරමුදල් නැවත නිෂ්පාදන ව්‍යාපාරවල ආයෝජනය කිරීම පිළිබඳ කිසිම ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් නොමැති බැවින් ඒවා වංචාකාරී පිරමීඩ වෙයි. 

මීට ප්‍රතිවිරුද්ධව, ඒකක භාර හෝ ස්කන්ධ අරමුදල් හෝ දර්ශක අරමුදල් හෝ විශ්‍රාම අරමුදල් වැනි ආයෝජන අරමුදල් ද සාමාජිකයන්ගෙන් සැදුම්ලත් අතර එම අරමුදල් විසින් සාමාජිකයන්ගෙන් රැස් කර ගන්නා මුදල් මූල්‍ය/ප්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජනය කෙරෙන ආකාරයත්, එම ඉපයුම් මත සාමාජිකයන් වෙත ප්‍රතිලාභ බෙදා දෙන ආකාරයත් පිළිබඳ ව ප්‍රතිපත්ති විනිවිද භාවයකින් පවතී. තව ද, ඒවා අදාළ ප්‍රාග්ධන නියාමන අධිකාරීන්ගෙන් බලපත්‍ර සහ නියාමනය යටතේ ක්‍රියාත්මක කෙරේ. එබැවින්, ඒවා මෙම ලිපියට වස්තු බීජ පිරමිඩාකාර ආයෝජන ක්‍රමයන්ට අයත් නොවේ. එහෙත්, ඒවා තුළ ද වෙනත් ආකාරයේ මුදල් වංචාවන් සිදු වීමේ අවදානම් පවතී. උදාහරණ ලෙස මුලින් දැක්වූ ඇමෙරිකාවේ  FTX ක්‍රිප්ටො මුදල් හුවමාරුව කඩා වැටීමට හේතුව වූයේ, එහි ක්‍රිප්ටො මුදල් වෙළෙඳාම සඳහා ආයෝජකයන් විසින් තම ගිණුම්වල තැන්පත් කළ මුදල්, සෑම් බෑන්ක්මන්-ෆ්රෛඩ් විසින් වංචාකාරී ලෙස වෙනත් කාර්යයන් සඳහා අවභාවිතා කිරීම යි.

නව සාමාජිකයන් නොමැති අවස්ථාවේ පිරමිඩ යෝජනා ක්‍රමය බිඳ වැටෙනු ඇත. එම අවස්ථාව වන විට ප්‍රතිලාභ බහුතරය ආරම්භ සාමාජිකයන් කිහිප දෙනාට ලැබී ඇති අතර නව සාමාජිකයන්ට තම මුදල් අහිමි වනු ඇත. පිරමීඩ ප්‍රවර්ධකයන් යනු මෙම ආරම්භ සාමාජිකයන් ය. එබැවින්, ඔවුන් විසින් ඉක්මනින් සාමාජිකයන් ව්‍යාප්ත කොට, මුදල් රැගෙන පලා යනු ඇත.

මාධ්‍ය වාර්තාවන් අනුව ඉහත දැක්වූ ඔන්මැක්ස් ඩීටී සමාගම පිරමීඩ යෝජනා ක්‍රමයකි. එහෙත්, එහි ප්‍රවර්ධකයන් විසින් පුද්ගලයන්ගෙන් මුදල් රැස් කොට ඇත්තේ, එම මුදල් විවිධාකාරයේ දේශීය සහ විදේශීය ආයෝජනවල යොදා ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට වූ පොරොන්දු මත බව ද, 4,50,000 ක පමණ පිරිසක් එහි මුදල් ආයෝජනය කළ බව ද, මාධ්‍ය වාර්තාවල පළ විය. එබැවින්, මෙහි අනවසර තැන්පතු රැස් කිරීමේ ව්‍යපාරයක ලක්ෂණය ද පවතීඑය ආයෝජකයන්ගේ දැනුම මත සිදු වී ඇත්නම්, සමාගම් ක්‍රියාකරුවන්ට මුදල් වංචා චෝදනා මත දඬුවම් දීම පහසු නොවේ. ඊට හේතුව, දෙපිරිසම ස්වකැමැත්තෙන් ව්‍යාපාරික අවදානමක් දරා ඇති බැවිනි. 

වංචාකාරී මූල්‍ය ව්‍යාපාරයන් හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් 

අතීතයේ කඩා වැටී ඇති වංචාකාරී මූල්‍ය ව්‍යාපාරයන්වල තොරතුරු විමසීමේ දී, ඒවා ක්‍රියාත්මක වූ ස්වරූපය බොහෝ සමාන වෙයි. එබැවින්, ඔබ විසින් මුදල් ආයෝජනය කරන කුමන හෝ බැංකු හෝ මූල්‍ය ව්‍යාපාරයන්හි එම ස්වරූපය හෝ ලක්ෂණයන් තිබේ ද? යන්න විමසිලිමත් වීම වැදගත් වෙයි.

  • ව්‍යාපාරයේ හිමිකරු හෝ ප්‍රධානියා පොදුජන හිතකාමී නායකයකු ලෙස හැසිරීම. මෙහි දී, ආගමික සහ සමාජ  සේවා මෙන්ම දුප්පත් හෝ අඩු ආදායම් ලාභී ජනයාගේ ජීවන මට්ටම උසස් කිරීමට දායක වීමේ ව්‍යාපෘති සහ චින්තනයන්/දර්ශනයන් ප්‍රසිද්ධියට පත් කෙරේ.

  • දේශපාලන නායකයන් සහ කීර්තිමත් පුද්ගලයන් ව්‍යාපාරයට සම්භන්ධ කර ගැනීම සහ ඔවුන් වෙත විශේෂ ප්‍රදානයන් කිරීම.

  • අතික්‍රියාශීලී වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහනක් අනුගමනය කිරීම. එය විශේෂයෙන් තම ගනුදෙනු කරුවන්ට ලැබෙන ආකර්ෂණිය ප්‍රතිලාභ හුවා දැක්වීමට කෙරෙන අතර කීර්තිමත් පුද්ගලයන් ද ඒවාට සහභාගී කර ගැනේ.

  • මූල්‍ය ව්‍යාපාර සමාගම තවත් සමාගම් පිහිටුවීම සහ මිල දී ගැනීම හරහා සමාගම් සමුහයක් හෝ සංගතයක් ලෙස ව්‍යාප්ත වීම. එම සමාගම් විවිධ මූල්‍ය සහ නිෂ්පාදන ව්‍යාපාරයන්හි යෙදීම තුළින් සමාගම් සමූහය සඳහා ජාතික කිර්ති නාමයක් ගොඩ නැගීමට ක්‍රියා කෙරේ. මීට හොඳම උදාහරණය සෙලින්කෝ සමූහ ව්‍යාපාරය යි. මෙම සමූහ සංකල්පය ගනුදෙනුවන් කරුවන් සහ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අනුගමනය කෙරෙන උපායකි. එනම්, ව්‍යාපාරය ජාතික වශයෙන් වැදගත් විශාල ව්‍යාපාරයක් ලෙස හුවා දක්වමින් පොදුජන විශ්වාසය ඉහළ නැංවීම යි. එහෙත්, එහි දැඩි වංචා සහ ව්‍යාපාරික අවදානම් රාශියකි.

    • පළමුව, ආයෝජක අරමුදල් සමූහ ව්‍යාපාරයේ සමාගම් අතර ප්‍රේෂණය හෝ හුවමාරු කිරීම තුළින් සමූහ ව්‍යාපාරය සහ එහි මූල්‍ය ශක්තිය හුවා දැක්වීම. එමගින්, එකම අරමුදල් ප්‍රමාණයක් සමාගම් අතර හුවමාරු වීම බහුලව සිදුවෙයි. එබැවින්, යම්කිසි එක් සමාගමක දුර්වල කළමනාකරණය හේතු කොට සිදුවන බංකොලොත් වීමක් ක්ෂණිකව සමූහය පුරා ව්‍යාප්ත වනු ඇත. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ එය සිදු විය. තවත් උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ FTX සමාගම කඩා වැටීමට ප්‍රධාන හේතුව වූයේ, එහි ගනුදෙනු කරුවන්ගේ මුදල් තැන්පතු එම සමාගමේ හිමිකරුට අයත් අල්මේදා පර්යේෂණ නම් වූ මූල්‍ය ආයෝජක සමාගමේ ව්‍යාපාරික කටයුතු සඳහා නීති විරෝධී ලෙස ප්‍රේෂණය කිරීම යි. අල්මේදා පර්යේෂණ සමාගම විසින් එම මුදල් වංචාකාරී ලෙස යොදා ගත් බැවින් එය බංකොලොත් විය. එබැවින්, එම සමාගම බංකොලොත්වීම තුළින් FTX සමාගම ද බංකොලොත් විය. බොහෝ සමූහ ව්‍යාපාරයන් කඩා වැටෙන්නේ මෙසේ සමූහ සමාගම් අතර මුදල් අවභාවිතා කිරීමෙනි.

    • දෙවනුව, බොහෝ සමාගම් විසින් මවු සමාගමේ නාමය භාවිතා කරමින් නීති විරෝධී ව්‍යාපාරවල යෙදීම සාමාන්‍ය දසුනකි. උදාහරණ ලෙස සෙලින්කෝ සමූහ ව්‍යාපාරය සතුව බලපත්‍ර ලාභී බැංකුවක් සහ මූල්‍ය සමාගමක් පැවති බැවින් එහි බොහෝ සමාගම් අනවසර තැන්පතු භාර ගැනීමේ ව්‍යාපාරයේ නිරත විය. මුදල් විශුද්ධිකරණය ද බොහෝ සමූහ ව්‍යාපාරයන් හරහා සිදුවන බව වාර්තා වෙයි. මුදල් විශුද්ධිකරණය යනු නීති විරෝධී ලෙස කාසි සහ නෝට්ටුවලින් උපයා ගන්නා ලද ආදායම් (බදු පැහැර හැර ඇති මුදල් ද ඇතුළුව) විවිධ උපක්‍රමයන් හරහා නිල හෝ නියාමනයට යටත් මූල්‍ය පද්ධතියට ඇතුළත් කිරීම හරහා එම මුදල්වලට නෛතික තත්ත්වයක් ලබා ගැනීමට උත්සාහ කිරීම යි.

    • තෙවනුව, සමූහයේ සියළුම සමාගම් එහි ප්‍රධාන හිමිකරුගේ සභාපතිත්වයෙන් කළමනාකරණය කිරීමට උත්සාහ කිරීම හේතු කොට සමූහ කළමනාකරණය දුර්වල වීම. එබැවින්, එක් එක් සමාගම්වල මූල්‍ය වංචාවන් සිදුවීමේ අවදානම ඉතා ඉහළ යනු ඇත. උදාහරණ ලෙස සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ 250 කට අධික වූ සියළුම සමාගම්වල සභාපති වූයේ ලලිත් කොතලාව වූ අතර එම සියළු සමාගම් නිසි ලෙස කළමනාකරණය මෙහෙය වීම තනි පුද්ගලයෙකුට කළ නොහැකි බව සරල කරුණකි. එවැනි සභාපති වරුන් නොමග යාමේ අවස්ථාව ද ඉතා ඉහළ වෙයි. රැකියාව කරමින් පවුලක් කළමනාකරණය සඳහා ගෘහමූලිකයකු විඳින අපහසුව දෙස බලන විට, සිය දහස් ගණන් සේවකයන් සහිත විවිධ ව්‍යාපාරයන්හි නියත සිය ගණනක සමාගම් සමූහයක් තනි පුද්ගලකු විසින් පාලනය කළ හැක්කේ ඔහු දෙවියකු නම් පමණි. තව ද, මෙම සමූහ ව්‍යාපාරයන්හි සමූහ අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් නොමැති බැවින් එක් එක් සමාගම් ඒ ඒ නිලධාරීන්ගේ අයාල පාලනය තුළින් සමූහයම කඩා වැටීමේ අවදානම් ඉතා ඉහළ ය 

    • සිවුවනුව, මෙවැනි සමූහ ව්‍යාපාරයන් තුළ පවතින බැංකු සහ මූල්‍ය සමාගම් බොහෝ ව්‍යාපාරික අවදානම්වලට මුහුණ දෙනු ඇත. ඊට හේතුව, එම බැංකු සහ මූල්‍ය සමාගම් විසින් රැස් කෙරෙන තැන්පතු මුදල් අනෙක් සමාගම්වල අවදානම් ව්‍යාපාරයන් සඳහා අපරීක්ෂාකාරී ලෙස ප්‍රේෂණය කිරීම යි. එබැවින්, එම බැංකු සහ මූල්‍ය ආයතනයන් නිරන්තරයෙන් අවදානම්කාරී කළමනාකරණ තත්ත්වයක පසුවිය හැකිය. 2008 දී ගෝල්ඩන් කී සමාගමේ අර්බුදය විගසින් සෙලාන් බැංකුවට සහ අනෙක් මූල්‍ය සමාගම්වලට පැතිරී ගියේ එබැවිනි. 

  • සමාගමේ හිමිකරු විශේෂ හෝ උපන් ගෙයි දක්ෂයකු බවට හුවා දැක්වීම. ඒ සඳහා ඔහු සමාගමේ මුදලින් ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සහ විශේෂ ශාරීරික හැසිරීමක් දැක්වීම උපායශීලී ලෙස සිදු කෙරේ. එවැනි, පුද්ගලයෙකු පොදු සමාජ සංවර්ධනය සහ ධනපරිත්‍යාගයන් පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන විට, දේශපාලන නායකයන් සහ පොදුජනතාව ඔහු වටා රොක්වනු ඇත. එය ඔහුගේ ව්‍යාපාර අධිරාජ්‍යය ගොඩ නැගීමට මහඟු උපකාරයක් වනු ඇත. ඒ සඳහා මෑතම උදාහරණය ඇමෙරිකාවේ FTX සමාගම ගොඩ නගා පාලනය කළ සෑම් බෑන්ක්මන්-ෆ්රෛඩ් ය. එම සමාගම ප්‍රචලිත කිරීමේ අරමුණින් ඔහුගේ ඇඳුම්, කථා විලාශය, කොණ්ඩය, ජීවන මට්ටම, පරිත්‍යාගශීලී ආකල්ප, කීර්තිමත් පුද්ගලයන් ඇසුර සහ මාධ්‍යය භාවිතය යනාදිය උවමනාවෙන් සකසා ගත් බව නඩුවේ සාක්ෂිවලින් තහවුරු විය. ඔහු විසින් සමාගමේ මුදල් නීති විරෝධී ලෙස දේශපාලනික ව්‍යාපාරයන්ට සැපයීමේ චෝදනා පිළිබඳ නඩු විභාගයක් ද ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත ය.

  • කැපී පෙනෙන විශාල මන්දිර ඉඳි කිරීම. එමගින්, පෞද්ගලික මූල්‍ය රාජ්‍යයන් ගොඩ නැගීමට උත්සාහ කෙරේ. එම මන්දිර තුළින් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සහ ව්‍යාපාරික ශක්තිය ජාතික නායකයන්ට සහ මහජනයාට ව්‍යාජ ලෙස ප්‍රදර්ශණය කෙරේ. ඒ ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ය. එබැවින්, සෑම මූල්‍ය සමූහයකම සිහිනය වන්නේ විශාල මන්දිර ඉඳි කිරීම යි. ඒවා ඉඳි කිරීමේ වියදම පියවා ගන්නේ සමූහ සමාගම්වලට ලැබෙන තැන්පතු සහ ආයෝජන මුදල් මගිනි. මන්දිර කළමනාකරණයට ද තවත් සමාගම් රැසක් ස්ථාපිත කෙරේ. එහෙත්, එම මන්දිරයන් මගින් සමූහ සමාගම්වලට අඛණ්ඩ ආදායම් ප්‍රවාහයක් ජනිත නොවන බැවින් ඒවා සමූහයේ සියළු සමාගම්වලට බරකි. 

ඉහත දැක්වූ ලක්ෂණයන් වංචාකාරී සමාගම්වල පමණක් නොව, මහ බැංකු නියාමනය යටතේ පවතින සමහර බැංකු සහ මූල්‍ය සමාගම්වල පවා කලින් කලට දැකිය හැකිය. එබැවින්, එවැනි සමාගම්වල මුදල් ආයෝජනයේ දී ද ප්‍රවේසම් වීම නුවණට හුරු වෙයි.

මතකයේ තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක්

  • කුමන මෙවලමක හෝ මුදල් ආයෝජනයේ දී විවිධාකාර අවදානම් පවතී. ඉහළ ප්‍රතිලාභ අනුපාතයන් ප්‍රදානය කෙරෙන්නේ ඉහළ අවදානම් ඇති ආයෝජනයන් සඳහා ය.

  • මෙම අවදානම් අතර ව්‍යාපාරික අවදානම් මෙන්ම වංචාකාරී මුදල් පාලනයේ අවදානම් ද පවතී. මේවා එකක්වත් පාලනය කිරීමට මුදල් ආයෝජකයන්ට තනි තනිව කළ නොහැකිය. එබැවින්, ඉතාමත් නුවණට හුරු ක්‍රියාව වන්නේ ඉහත දැක්වූ පිරමිඩාකාර සහ පොන්සි ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනයෙන් සම්පුර්ණයෙන් වැලකීම යි. ගමේ සහ නගරයේ පෙනෙන තැන්වල මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන බැංකු සහ මූල්‍ය ආයතන පවතිද්දී, රහසේ ක්‍රියාත්මක වන පිරමිඩාකාර සහ පොන්සි ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනයට සමහර පහළ ආදායම් ලාභී පුද්ගලයන් පෙළඹීම සිතා ගත නොහැකිය. නීති විරෝධී ආදායම් හිමියන් විසින් මෙම ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කිරීම සාමාන්‍ය කරුණකි. ඊට හේතුව, විශාල පරිමාවක නෝට්ටු මුදල් නිවසේ තබා ගත නොහැකි වීමත්, මුදල් විශුද්ධිකරණයට උත්සාහ කිරීමත්, ඉහළ අවදානම් ගැනීම එතරම් ප්‍රශ්නයක් නොවීමත් ය.

  • මුදල් ආයෝජනයක් අවදානම්වලට මුහුණ දෙන්නේ, අදාළ සමාගම්වල ව්‍යාපාරික සහ මුදල් කළමනාකරණයේ පවතින දුර්වලතාවන් හේතු කොට ගෙන ය. මෙහි දී, බාහිර පාර්ශවයන්ගෙන් රැස් කර ගන්නා තැන්පතු, ණය සහ වෙනත් අරමුදල් භාවිතා කොට අත් කර ගන්නා වත්කම්වල ගුණාත්මක භාවයත්, අරමුදල් වගකීම් ව්‍යුහයට ගැලපෙන ලෙස වත්කම් කළඹ කළමනාකරණය කිරීමත් ඉතා වැදගත් වෙයි. එය විචක්ෂණකාරී ලෙස සිදු නොවන විට, ආයෝජකයන්ගේ මුදල් අහිමි වනු ඇත. එවිට, ආයෝජකයන්ගේ මුදල් හුදෙක් ගිණුම් සටහන්වල දැක්වෙන ඉලක්කම් පමණක් වෙයි. එම මුදල් ආපසු ගෙවීමට මහ බැංකුවට හෝ පොලිසියට හෝ අධිකරණයන්ට හැකියාවක් නොමැත. ඊට හේතුව, ඊට ප්‍රමාණවත් වත්කම් එම සමාගම්වල නොමැති වීම යි. මහ බැංකු තැන්පතු රක්ෂණ ක්‍රමයෙන් ආපසු ගෙවිය හැක්කේ මහ බැංකුවේ නියාමනයට යටත් බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පතුවලින් සුළු ප්‍රතිශතයක් පමණි.

  • මහ බැංකුවේ නියාමනයට යටත් වූ පමණින් බැංකු සහ මූල්‍ය ආයතනවල අවදානම් පහව යාමක් සිදු නොවේ. එහෙත්, නියාමනය තුළින් සමාගම් අනුගමනය කළ යුතු ව්‍යාපාරික කොන්දේසි පැනවීම සහ අවේක්ෂණය සිදු වන බැවින් මුදල් කළමනාකරණ විනයක් ගොඩ නැගීම හරහා අවදානම් පාලනයක් කෙරෙනු ඇත. එහෙත්, එවැනි සමහර සමාගම් බංකොලොත් වීමත්, මූල්‍ය වංචාවලට හසු වීමත් සිදුවන බව රහසක් නොවේ. ඊට හේතුව, නියාමනය කළ පමණින් සමාගම්වල සියළු අවදානම් හඳුනා ගැනීමට සහ වැලැක්වීමට හැකියාවක් මහ බැංකුවට නොමැති බැවිනි. සමහර සමාගම් කඩා වැටෙන තෙක් මහ බැංකුව නොදනී. උදාහරණ ලෙස පසුගිය මාර්තු මස ඇමෙරිකාවේ බැංකු කිහිපයක් බංකොලොත් වීමත්, ස්විට්සර්ලන්තයේ විශාලතම බැංකුව අර්බුදයට පත් වීමත් දැක්විය හැකිය. ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල හටගත් 2007/09 මූල්‍ය අර්බුදයට හේතුව වූයේ වංචාකාරී බැංකු ව්‍යාපාරික මොඩලයන් වූ අතර මහ බැංකු සහ අනෙක් මූල්‍ය නියාමන ආයතනයන් එය අවබෝධ කර ගනු ලැබුවේ, බැංකු සිය ගණනක් කඩා වැටී අර්බුදය පැතිරීමෙන් පසුව ය. එබැවින්, මහ බැංකු නියාමනය යනු හුදෙක් රටේ පවතින තවත් නිලධාරී ස්ථරයක් පමණි. 

  • එබැවින්, උද්ගෝෂණ පැවැත්වීමෙන් හෝ බංකොලොත් සමාගම්වල නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ කිසි ඵලයක් නොමැත. ඒවා හුදෙක් මාධ්‍ය සංදර්ශනයන් පමණි. අධිකරණ ක්‍රියාමාර්ගයන් තුළින් මුදල් වංචාවන් ඔප්පු කොට වැරදි කරුවන්ට දඩුවම් දීම පහසු කාර්යයක් නොවේ. ඊට හේතුව, සැකයෙන් තොරව වංචා චෝදනාවන් ඔප්පු කිරීමට නිසි තාක්ෂණික සාක්ෂි අධිකරණය වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් අපොහොසත් වීම යි. සමහර අවස්ථාවල චෝදනා ගොනු කරන්නේ වත්මන් සාක්ෂි මත නොව, ඉදිරියේ දී සාක්ෂි සොයා ගැනීමේ අපේක්ෂාව හෝ උපකල්පනය මත ය. එහි ප්‍රතිඵලය වන්නේ අධිකරණ ක්‍රියාමාර්ගය දශක ගණන් කල් යාම යි. එහෙත්, වංචා විමර්ශනය කෙරෙන බව දක්වා යම් යම් ඉලක්කගත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ඉතා පහසු කාර්යයකි.

  • මෙතෙක් වාර්තා වී ඇති මුදල් වංචාවන් සියල්ලම පාහේ තීන්දුවක් නොමැතිව දශක ගණන් අධිකරණ ක්‍රියාවලියේ පැවතීමෙන් එය මනාව පැහැදිලි වෙයි. එසේ දඩුවම් දීමට ප්‍රමාද වීම හේතු කොට මුදල් වංචාවන් සිදුවීම අධෛර්යමත් කිරීම ද අපහසු වනු ඇත. එහෙත්, ඇමෙරිකාව වැනි දියුණු රටවල එම ක්‍රියාවලිය ඉතාමත් කඩිනම් සහ වෘත්තීය නිපුණ වෙයි. උදාහරණ ලෙස මුලින් දැක්වූ  FTX සමාගමේ මුදල් වංචාව පිළිබඳ නඩුව වර්ෂයක් තුළ නිම කළ අතර නඩුව ඇසීම මාසයකින් නිම කොට, චෝදනා 7 ටම සෑම් බෑන්ක්මන්-ෆ්රෛඩ් වැරදිකරු බවට තීන්දු කරන ලදි. ඒ අනුව, දැනට 31 වියැති ඔහුගේ ඉදිරි ජීවිතය හිර ගෙදර ගත කිරීමට සිදු වනු ඇත. ඊට හේතුව, එක් එක් චෝදනාවට උපරිම වසර 20 බැගින් සිර දඩුවම් ලබා දිය හැකි බැවිනි. ඇමෙරිකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ආයෝජක මුදල් වංචාවන් හේතු කොට එසේ දීර්ඝ සිර දඩුවම්වලට ලක්වීම දැකිය හැකිය. එබැවින්, ශ්‍රී ලංකාවේ ද ඕනෑ තරම් වංචා විරෝධී නීති පැවතිය ද, ඒවා ස්වාධීනව ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාවය ලබා ගන්නා තෙක්, මුදල් වංචාවන් අධෛර්යමත් කිරීම පහසු නොවේ.
  • එබැවින්, මුදල් වංචාවන් සහ අවදානම්කාරී මුදල් කළමනාකරණය නිරන්තරයෙන් ව්‍යාපාරික සමාගම්වලින් බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. එය ව්‍යාපාරයන්හි පමණක් නොව රාජ්‍ය අංශයෙහි ද දැකිය හැකිය. වර්තමානයේ ණය පැහැර හැරීමට රජයට සිදු වී ඇත්තේ අදාළ නිලධාරීන් විසින් පොන්සි යෝජනා ක්‍රමයන්හි මෙන් රාජ්‍ය ණය රැස් කිරීම සහ කළමනාකරණය කළ බැවිනි. එය ද මූල්‍ය වංචාවකි. එසේ බංකොලොත් වූ විට ණය ප්‍රතිව්‍යුහගත කරන බව පවසා ණය පැහැර හැරීම ද තවත් සුදු කරපටි වංචාවකි. ඊට හේතුව, එමගින්, එතෙක් සිදු වී ඇති ණය කළමනාකරණ වංචාවන් වසා දමා, ණය විශුද්ධිකරණය කිරීම සිදු කෙරෙන බැවිනි. එබැවින්, සමාගම්වල ණය සහ ආයෝජන වංචාවල දී මෙන් රාජ්‍ය ණය කළමනාකරණ වංචාවන් පිළිබඳ ව ද මූල්‍ය වංචා නීති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය. ඊට හේතුව, එමගින් සමස්ත ආර්ථිකයම බංකොලොත් වී ඇති බැවිනි. එහෙත්, නීතිය ක්‍රියාත්මක කිරීමක් දැකිය නොහැකිය.
  • මෙවැනි ආර්ථික අර්බුදයන් පවතින කාලවල මුදල් වංචාවන් ඉහළ යාම සාමාන්‍ය සිද්ධියකි. පසුගිය වර්ෂ එකහමාරක පමණ කාලය තුළ මහ බැංකුව විසින් අහස උසට පොලී අනුපාතයන් පවත්වා ගැනීම තුළින් ද ව්‍යාපාරික අවදානම් අධික ලෙස ඉහළ ගොස් බංකොලොත් වීම් බහුල වී ඇත. ආර්ථිකය කඩා වැටෙන අවස්ථාවක මහ බැංකුව විසින් තැන්පතු සඳහා 20% ගණන්වලින් පොලී ගෙවන ලෙස බැංකුවලට බල කිරීම සහ රාජ්‍ය සුරැකුම්පත් පොලිය 30% ගණන්වලට ඉහළ දැමීම කෙරේ නම්, බැංකු, මූල්‍ය සමාගම් සහ රජය ද පොන්සි ක්‍රියාකරුවන් බවට පත් වනු ඇත. ඊට තරගකාරීව, අනවසර මූල්‍ය ව්‍යාපාරයන් ද ප්‍රතිලාභ ප්‍රදානය කෙරෙන බැවින් ඒවා කඩා වැටීම ඉදිරියේ දී ඉහළ යනු ඇත. එබැවින්, මහ බැංකුව සහ අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් මූල්‍ය වංචාවල පවතින පද්ධති සබඳතාවය ද අවබෝධ කර ගත යුතුය.
සමාප්ත සටහන 

ඉහත දැක්වූ කරුණු දෙස බැලීමේ දී, මහ බැංකුව විසින් "ඔලුව වනමු දැනං දැනං" යන ටෙලි නාට්‍යයෙන් දැනගෙන ක්‍රියා කරන ලෙස මහජනතාවට දෙන උපදෙස හාස්‍ය ජනකය. ඊට හේතුව, වංචාවන් දැන ගන්නේ කෙසේ ද? යන්න, එහි නොදැක්වෙන බැවිනි. මහජනයාට එසේ උපදෙස් දුන්න ද, එන්ට්‍රස්ට් සමාගමේ තැන්පතු වංචාවට මහ බැංකුවේ රුපියල් බිලියන 3 ක් පමණ ද හසු වූයේ, මහ බැංකුව ද නොදැන ඔලුව වැනූ නිසා ද, නැත්නම් සැබෑ තොරතුරු වසන් කිරීම නිසා ද, යන්න සෙවිය යුතුය. විවාහ වන සහ වෙනත් සමාජීය අවස්ථාවල ද "ඔලුව වනමු දැනං දැනං"  ලෙස උපදෙස් දීමට මහ බැංකුවට අධිකාරියක් හෝ විෂය දැනුමක් නොමැත.

එසේම, මහ බැංකු ටෙලි නාට්‍යයෙන් පෙන්වන පරිදි සමාගමක ගොඩනැගිලි, නාම පුවරු සහ මනා ලෙස හැඳ පැළඳ සිටින නිලධාරීන් දෙස බැලීමෙන් වංචාවන් සිදු වේ ද? යන්න දැන ගත නොහැකිය. සමාගම්වල මූල්‍ය ප්‍රකාශනයන් කියවා ඒවායේ වංචාවන් හෝ අවදානම් පවතින බව අවබෝධ කර ගැනීම හෝ විමර්ශනය කිරීම ද සාමාන්‍ය පුද්ගලයන්ට කළ නොහැකිය. එම මූල්‍ය ප්‍රකාශනයන්හි අඩංගු ඉලක්කම් සහ දත්තවල අර්ථයන් සහ ඒවායින් පෙන්වන අවදානම් මොනවා ද? යන්න, එම මූල්‍ය ප්‍රකාශනයන් සකස් කළ හෝ අනුමත කළ සමාගම් නිලධාරීන් පවා නොදනී. සමහර නිලධාරීන් ඒවා දැන ගත්ත ද, ඒ බව මහජනයාට හෙළි නොකෙරේ. ඊට හේතුව, සමහර මූල්‍ය ප්‍රකාශනයන් වංචාවන් සහ ව්‍යාපාරික අවදානම් සැඟවීම පිණිස සකස් කොට ඇති බැවිනි. උදාහරණ ලෙස ඇමෙරිකාවේ එන්රොන් ව්‍යාපාරික සමාගමේ එවැනි වංචාකාරී මූල්‍ය ප්‍රකාශනයන් සැකසීම පිළිබඳ ව වැරදි කරුවන්  වූ ප්‍රධාන විධායක සහ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට 2006 දී දීර්ඝ සිර දඩුවම් ලබා දෙන ලදි. 2001 දී එම සමාගම බංකොලොත් විය.

මහ බැංකුවේ නියාමනයට යටත් සමාගම්වල පවා වංචාවන් සිදු වී ඇති බව මහ බැංකුව දැන ගන්නේ ද සමාගමක් කඩා වැටීමෙන් පසුව ය. වංචාවන් වේලාසන දැන ගැනීමට හැකියාවක් මහ බැංකුවට පැවතියා නම්, බංකොලොත් වීමට පෙර එම සමාගම් බේරා ගත හැකිව තිබිණ. පිරමිඩාකාර ව්‍යාපාරයන් සහ පොන්සි ව්‍යාපාරයන් පිළිබඳ ව විමර්ශන සහ නීතිමය පියවර ගැනීමේ අධිකාරිය පවතින්නේ මහ බැංකුව සතුව යි. එහෙත්, රට පුරා පවතින එවැනි ව්‍යාපාරයන් කඩා වැටෙන තෙක් මහ බැංකුව නොදනී.

බොහෝ වංචාවන් හෙළි වන්නේ අහම්බෙන් හෝ හදිසියෙනි. එබැවින්, කිසිම හෙළි වීමක් නොමැතිව වංචාවන් අඛණ්ඩව පැවතීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ වංචා පැවතීමට ප්‍රධාන හේතුව මුදල් ගනුදෙනු පිළිබඳ ව නිසි අභ්‍යන්තරික පාලන ක්‍රමයන් සහ බාහිර විගණනයන් ක්‍රියාත්මක නොවීම යි. කුටුම්බයක මුදල් ගනුදෙනු ද නිසි පාලනයක් නොමැතිව එහි සාමාජිකයන් අතර අත්තනෝමතිකව සිදු වුව හොත් කුටුම්බය බංකොලොත් වනු ඇත. සමාගම් පමණක් නොව රජයන් ද බංකොලොත් වන්නේ එසේ ය. 

තැන්පතු සඳහා රාජ්‍ය ඇපය ඇති එකම බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව යි. මහ බැංකුවේ තැන්පතු රක්ෂණය ද රාජ්‍ය ඇපයක් නොවේ. තැන්පතු රක්ෂණයෙන් ආවරණය වන්නේ මහ බැංකු නියාමනයට යටත් කඩා වැටෙන බැංකු හෝ මූල්‍ය සමාගම්වල තැන්පතු පමණි. එය ද උපරිම ආවරණය එක් ආයතනයක එක් තැන්පතු හිමියෙකුට රුපියල්  මිලියන 1.1 කි. එසේ තැන්පතු ආපසු ගෙවිය හැක්කේ, තැන්පතු අරමුදලේ මුදල් ඇත්නම් පමණි. 2022 වසර අවසන් වන විට බංකොලොත් වූ මූල්‍ය සමාගම් 6 ක තැන්පතු හිමියන් 72,641 ක් වෙත රුපියල් මිලියන 30,499 ක වන්දි මුදල් ගෙවා ඇත. එබැවින්, 2022 දී තැන්පතු රක්ෂණ අරමුදල රුපියල් මිලියන 60,176 ක් දක්වා පහළ ගොස් ඇත.

නීති විරෝධී මූල්‍ය ව්‍යාපාරයන් බංකොලොත් වීමේ දී, එහි ආයෝජකයන්ට මුදල් ආපසු ගෙවීමේ කිසිම ක්‍රමවේදයක් නොමැත. ගෝල්ඩන් කී සමාගමේ තැන්පතුවලින් 41% ක් පමණ (රුපියල් බිලියන 8.5 ක් පමණ) රජය විසින් ගෙවනු ලැබුවේ 2015 ජනාධිපති ඡන්ද පොරොන්දුවක් හේතුවෙනි. එම ගෙවීම පියවර කිහිපයකින් කළ අතර ඒ සඳහා වර්ෂ 4 ක පමණ කාලයක් ගත වී ඇති බව වාර්තා වෙයි. එහෙත්, එවැනි ගෙවීම් කෙරෙන්නේ, දේශපාලන නායකයන්ගේ මුදල්වලින් නොව මහජන බදු මුදල්වලිනි. එබැවින්, රජයේ ආරක්ෂාව බලාපොරොත්තුවෙන් අවදානම්කාරී සමාගම්වල මුදල් ආයෝජනය කිරීම විශාල මෝඩකමකි. මෙම හැසිරීම සදාචාර උවදුර ගැටළුව ලෙස හැඳින්වෙයි. එනම්, රාජ්‍ය ආරක්ෂාව බලපොරොත්තුවෙන් තමන් සාමාන්‍යයෙන් නොගන්නා ඉහළ අවදානම් ගැනීමට පෙළඹීම යි.

එබැවින්, වංචාවන්ගෙන් සහ බංකොලොත් වීමේ අවදානම්වලින් තම මුදල් රැක ගැනීම සෑම කෙනෙකුගේම පුද්ගලික වගකීම යි. ඊට හොඳම මාර්ගය වන්නේ, අධික ප්‍රතිලාභ තෘෂ්ණාවෙන් මිදී, තම ඉතුරුම් තමන් දැනුවත් ආයෝජනවල පමණක් තබා ගැනීම යි. එම ආයෝජන මුදල්වල අවදානම ගත යුත්තේ ඔබ විසින් ය. මුදල් අහිමි වීමෙන් පසු දන්නා නොදන්නා පුද්ගලයන්ට දොස් පැවරීමෙන් මුදල් ආපසු නොලැබේ. එබැවින්, යම්කිසි සුළු හෝ සැකයක් හට ගත් විට, හැකි ඉක්මනින් තම මුදල් ඉවත්කර ගැනීම ඉතාමත් නුවණට හුරු වෙයි.

මුදල් සහ මුදල් ආයෝජන අතර විශාල වෙනසක් පවතී. ආයෝජන යනු අවදානම් දැරීම තුළින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අත්කර ගන්නා වත්කම් ය. එහෙත්, මුදල් යනු එදිනෙදා ගෙවුම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට තබා ගන්නා මුදල් ය. එබැවින්, ආයෝජනවලින් සිදුවන පාඩු මුදල්වලට සිදුවන පාඩු ලෙස අර්ථ දැක්වීම නිවැරදි නොවේ (මුදල් පිළිබඳ විශේෂ ලිපියක් ඉදිරියේ දී පළ කිරීමට අපේක්ෂා කෙරේ).

(මහජනයාගේ මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනයට උපකාරී වීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මීට පෙර නිකුත් කරන ලද මූල්‍ය සාක්ෂරතා ලිපි 6 ක් මෙම වෙබ් අඩවියේ ඇත. ඒවා පහත දැක්වෙයි.)


පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?