මූල්‍ය සාක්‍ෂරතාවය (Financial Literacy) - මුදල් ගනුදෙනු ඥාණාන්විත ලෙස කළමනාකරණය කර ගැනීමේ දැනුම වඩවා ගනිමු

 



IV කොටස - 20.03.2022

ඩිජිටල් මුදල් හඳුනා ගනිමු.

පසුගිය මාර්තු මස 02 දින නිකුත් ලද ලිපියෙන් පුරාණයේ සිට මුදල් පරිණාමය වී ඇති ආකාරය පැහැදිලි කරන ලදි. ඒ අනුවවර්තමානයේ භාවිතා වන මුදල් රාජ්‍ය/මහ බැංකු නෝට්ටු මුදල් (කාසි ඇතුළු) (Currency Notes)විද්‍යුත් මුදල් (Electronic Money) සහ ඩිජිටල්/ක්‍රිප්ටො මුදල් (Digital Money/Cryptocurrency) ලෙස පුළුල් කාණ්ඩ තුනක් යටතේ හඳුනා ගත හැකිය.

කාසි සහ නෝට්ටු මුදල් ගනුදෙනු දෙනු කිරීම සඳහා අපි සියළු දෙනාට පුරුද්දක් පවතී. අන්ධ පුද්ගලයන්ට වුවත් භාවිතා කිරීමට හැකි වන ලෙස ඒවායේ සලකුණු පවතී. බැංකු සහ මුදල් ගනුදෙනු සඳහා බැංකු විසින් විද්‍යුත් පරිපථ/වේදිකාවන් භාවිතා කිරීම සමඟ විද්‍යුත් මුදල් බිහි විය. විද්‍යුත් මුදල් ද ඩිජිටල් හෙවත් ගිණුම් ගත ඉලක්කම් ස්වරූපයෙන් ගනුදෙනු කෙරෙන බැවින් ඩිගිටල් මුදල් කාණ්ඩය යටතේ හඳුනා ගත හැකිය.

එහෙත්විද්‍යුත් මුදල් ගනුදෙනු හුදෙක් රාජ්‍ය මුදල් ඒකකය පදනම් කර ගෙනඒවා නෝට්ටු මුදල්වලට 100% ක් පරිවර්තනය කළ හැකි බවට ඇති විශ්වාසය මත ක්‍රියාත්මක වන අතර එහි ගනුදෙනු පද්ධතිය ඩිජිටල් මුදල් පද්ධතියට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙයි. බැංකු තැන්පතුවිද්‍යුත් හැඹිලිවිද්‍යුත් ගෙවුම් සහ පියවුම් ක්‍රමවේදයන් සහ ණය කාඩ්පත් වැනි ණය ක්‍රමයන් විද්‍යුත් මුදල් ක්‍රමයන් ලෙස දැක්විය හැකිය. එසේමඒවා හරහා ගනුදෙනු කෙරෙන මුදල් වටිනාකම් ද විද්‍යුත් මුදල් ලෙස දැක්විය හැකිය.

විද්‍යුත් මුදල්

බැංකු විසින් විද්‍යුත් ලේජරයන් හරහා බැංකු ගනුදෙනු කිරීම හේතු කොට විද්‍යුත් මුදල් බිහි විය. ඊට පෙරබැංකු ගනුදෙනු සිදු කෙරුනේ කඩදාසි ලෙජර් පොත් හරහා ය. එබැවින්එම ලෙජර් සටහන් හරහා ජනිත වී ගනුදෙනු වූ මුදල් බැංකු ගිණුම් මුදල් ලෙස දැක්විය හැකිය. උදාහරණ ලෙස පුද්ගලයකු විසින් තම බැංකු ගිණුමේ මුදල් ප්‍රමාණයක් තැන්පත් කළ විටබැංකුව විසින් එම මුදල් බැංකු ලේජරයේ තැන්පතු හිමියාගේ නමින් බැංකුවේ වගකීමක් ලෙස සටහන් කෙරේ.

තැන්පතු හිමියාට එම මුදල් වියදම් කිරීමට අවශ්‍ය වූ විටඔහු විසින් බැංකුව වෙත ගොස් තම ගිණුමෙන් මුදල් රාජ්‍ය මුදල් නෝට්ටු ස්වරූපයෙන් ආපසු ලබා ගෙන තම වියදම් සඳහා යොදා ගැනේ. එහෙත්බැංකු විසින් තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් හරහා ක්‍රියාත්මක වන විද්‍යුත් ලෙජර් භාවිතය ආරම්භ වීමත් සමඟ මුදල් නෝට්ටු ලෙස ආපසු ගැනීමකින් තොරව බැංකු ගිණුම් හරහා ගනුදෙනු කිරීමට තැන්පතු හිමියන්ට හැකියාව ලැබිණ.

එබැවින්බැංකුවක බැංකු ශාඛාවන් සියල්ල එකට සම්බන්ධ වීමෙන් ඒකීය බැංකු හට ගැනීමත්බැංකු අතර මුදල් ගනුදෙනු කෙරෙන විද්‍යුත් ගෙවුම් සහ පියවුම් පද්ධති හඳුන්වා දීමත් සමඟ බැංකු පද්ධතියෙන් පිටතට නොගොස් මුදල් බැංකු අතර ප්‍රේෂණය හෝ සංසරණය වීමටත් හැකියාව ලැබිණ. එමගින්බැංකු ඒකාබද්ධතාවයක් හට ගැනින. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රඩෙබිට් කාඩ්ණය කාඩ් පත්අන්තර් ජාල බැංකු පහසුකම්ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය සහ තත්කාලීන පියවුම් පද්ධතිය වැනි විද්‍යුත් මුදල් ගනුදෙනු පද්ධති උපකාරී විය. එබැවින්බැංකු ගනුදෙනු කරුවෙකුට බැංකුව වෙත නොගොස් මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබී ඇත.

ණය ගැනීමේ දී වුව දබැංකුව විසින් අනුමත කෙරෙන ණය මුදල් ණය කරුගේ බැංකු ගිණුමට බැර කළ විටඔහුට එම මුදල් ඉහත දැක්වූ විද්‍යුත් ගෙවුම් පද්ධති හරහා ගෙවීම් සඳහා භාවිතා කළ හැකිය. ණය කාඩ්පත් ද එවැනි ණය ක්‍රමයකි. මෙහිදීබැංකුව විසින් ගනුදෙනු කරුට උපරිම ණය සීමාවකට යටත්ව ණය මුදලක් අනුමත කරන අතර ඊට අදාළ විද්‍යුත් ණය කාඩ්පත භාවිතා කිරීම හරහා එම ණය මුදල් උපයෝජනය කළ හැකිය. මාසිකව නියමිත දිනයේ උපයෝජනය කළ ණය ප්‍රමාණය බැංකුව වෙත ආපසු ගෙවීමෙන් ණය සීමාව අඛණ්ඩව ණය කාඩ්පත වලංගු කාලය පුරා භාවිතා කළ හැකිය.

ඒ අනුවබැංකු තැන්පතුණය කාඩ්පත් සිමාවන්විද්‍යුත් හැඹිලි වැනි ගිණුම්වල පවතින මුදල් සහ විද්‍යුත් ගෙවුම් පද්ධති හරහා ගනුදෙනු වන මුදල් විද්‍යුත් මුදල් ලෙස හැඳින් විය හැකිය. ගනුදෙනු කරුවන් විසින් මෙම මුදල් අවශ්‍ය ඕනෑ විටක 100% ක් නෝට්ටු මුදල් බවට පත් කළ හැකිය යන විශ්වාසය මත ගනුදෙනු කෙරේ.

විද්‍යුත් මුදල් හේතු කොට රාජ්‍ය නෝට්ටු මුදල් ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක මුදල් සංසරණයක් ආර්ථිකයෙහි හට ගනී. උදාහරණ ලෙස 2021 ජූනි මස අවසානයේ දී ශ්‍රී ලංකාවේ සංසරණය වූ කාසි හා නෝට්ටු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 950 ක් පමණ වූ අතර සංසරණයේ පැවති මුළු මුදල් ප්‍රමාණය (M2) රුපියල් බිලියන 9,136 ක් පමණ විය.

ක්‍රිප්ටො මුදල්

ක්‍රිප්ටො මුදල් (Cryptocurrency) යනු පරිගණක මෘදුකාංග හරහා ජනිත කොට වෙළෙඳාම් කෙරෙන පුද්ගලික විද්‍යුත් ආයෝජන වත්කම් කාණ්ඩයකි. ක්‍රිප්ටො මුදලක් යනු විද්‍යුත් ටෝකන් පතකි. රාජ්‍ය මුදල් නෝට්ටුවක් ද ටෝකන් පත්‍රයකි. එය රැස් කිරීම තුළින් වත්කම් රැස් කිරීමක් කෙරෙන අතර එය භාණ්ඩ හා සේවා වෙළෙඳාම සහ ණය ගනුදෙනු සඳහා භාවිතා කළ හැකිය. වෙළෙඳ ආයතන විසින් වට්ටම් සහ තෑගී සඳහා ලබා දෙන වවුචර් පත්‍රයන් ද මෙවැනි ටෝකන් පත්‍ර වෙයි. ඒවා ද මුදල් ලෙස භාවිතා කළ හැකිය.

විවිධ සමාගම් හෝ පුද්ගලයන් විසින් විවිධ නම්වලින් හඳුන්වා දී ඇති ක්‍රිප්ටො වත්කම්/මුදල් ඒකකයන් දැකිය හැකිය. දැනට එවැනි ක්‍රිප්ටො වත්කම් 18,000 ක් පමණ ලෝකයේ ගනුදෙනු වන බවත්එහි වෙළෙඳපොළ වටිනාමක ඩොලර් බිලියන 1,892 ක් පමණ වන බවත් වාර්තා වෙයි. මින් ඉතාමත් ප්‍රචලිත ක්‍රිප්ටො වත්කම වන්නේ බිට්කොයින් (Bitcoin) ය. එය 42% ක් පමණ වෙයි. එබැවින්ලෝකයේ භාවිතා වන රාජ්‍ය මුදල් සංසරණ ප්‍රමාණය සැලකීමේ දී ක්‍රිප්ටො මුදල් සංසරණය තවමත් ඉතා අල්ප වෙයි. උදාහරණ ලෙස ඇමෙරිකානු ඩොලර් මුදල් ප්‍රමාණය/සැපයුම පමණක් ඩොලර් බිලියන 21,840 ක් පමණ වෙයි.

එසේමක්‍රිප්ටො යනු මුදලේ සියළු කාර්යයන් ඉටු කිරීම සඳහා පිළි ගැනෙන මුදල් නොවවෙනත් ආයෝජන උපකරණයන් මෙන් වත්කම්/වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක් ලෙස සැලකේ. එසේමසමහර ක්‍රිප්ටො ඒකකයන් මූර්ත දේපල මිල දී ගැනීමේ දී ගෙවුම් මාධ්‍යයක් ලෙස පිළි ගැනේ. ආරම්භයේ බිට්කොයින් වැනි ක්‍රිප්ටො මුදල් ගෙවුම් හෝ විනිමය මාධ්‍යයක් ලෙස භාවිතා භාවිතා කිරීමට පෙළඹුමක්  ඇති වුව දඒ සඳහා පොදු පිළි ගැනීමක් තවමත් හට ගෙන නොමැති බැවින් ඒවා දැනට වටිනාකම රැස් කිරීමේ හෝ ආයෝජන මාධ්‍යයක් ලෙස ප්‍රචලිත වෙමින් පවතී.

ක්‍රිප්ටො මුදල් ප්‍රධාන කාණ්ඩයන් දෙකකට වෙන් කළ හැකිය. එනම්ස්ථායී කාසි (Stablecoins) සහ ක්‍රිප්ටො (Cryptos) ලෙසයි. ස්ථායී කාසි ගනුදෙනු සිදු වනුයේ එම කාසි නිෂ්පාදකයා විසින් ක්‍රියාත්මක කෙරෙන කේන්ද්‍රීය විද්‍යුත් ලේජර්යක් (Centralized Ledger) හරහා ය. එහෙත්ක්‍රිප්ටො ගනුදෙනු කිරීම සිදු වන්නේ පොදු හෝ ව්‍යාප්ත වූ විද්‍යුත් ලේජරයක් (Public/Distributed Ledger) හරහා ය. එම විද්‍යුත් වේදිකාව කණ්ඩායම් දාමය (Blockchain) ලෙස හැඳින් වෙයි.

කේන්ද්‍රීය විද්‍යුත් ලේජර්ය යනු බැංකුවක් වැනිය. බැංකුවේ ගනුදෙනු කරුවන් අතර මුදල් ගනුදෙනු සිදු වීම සිදු වන්නේ එම බැංකුවේ ඔවුන් සතු ගිණුම් හරහා ය. එහෙත්පොදු ලෙජරය යනු එම ලෙජරයට අදාළ ක්‍රිප්ටො මුදල් වර්ගය හිමියන්ට අවශ්‍ය පරිදි ඍජුව තත්කාලීනව එම මුදල් වෙළෙඳාම් කිරීමට හැකි විද්‍යුත් වේදිකාව යි. ඒ අනුවවෙළෙඳ ගනුදෙනුව එම අවස්ථාවේම අදාළ පාර්ශවයන් දෙකේ තත්කාලීන අනුමැතිය විද්‍යුත් වේදිකාව මත සිදු වෙයි. එහෙත්වර්තමාන විද්‍යුත් මුදල් ගනුදෙනු පද්ධතිය තුළ එවැනි පාර්ශව අනුමැතිය තත්කාලීනව සිදු නොවන අතර එය විවිධ මට්ටම්වල දී කාල පමාවක් සහිතව සිදු වෙයි.

  • ස්ථායී කාසි

ස්ථායී කාසියක් යනු යම් සුරැකුමක වටිනාකමට බද්ධ කොට නිකුත් කෙරෙන ක්‍රිප්ටො මුදලකි. එනම්ස්ථායී කාසි ඊට පදනම් වන වත්කමට පරිවර්තනය කළ හැකිය. එම වත්කම්වලට උදාහරණ ලෙස යම් රාජ්‍ය මුදල් නෝට්ටුසංවිධිත හුවමාරුවල අළෙවි වන භාණ්ඩ සහ වෙනත් ක්‍රිප්ටො මුදල් දැක්විය හැකිය. එහි අදහස වනුයේ ස්ථායී කාසි හිමියෙකුට අවශ්‍ය විට තම කාසි පවතින වෙළෙඳපොළ වටිනාකම මත පදනම් වත්කමට හුවමාරු කළ හැකි බව යි.

එබැවින්යම්කිසි ස්ථායී කාසි ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා ඊට අදාළ විද්‍යුත් වේදිකාවේ කාසි ගිණුමක් විවෘත කළ යුතුය. ඊට පසුව එම කාසියට අදාළ වත්කම හෝ පිළි ගත් රාජ්‍ය මුදලක් හරහා කාසිවලට අදාළ මිල හෝ වටිනාකම ගෙවීමෙන් අදාළ ස්ථායී කාසි ප්‍රමාණය එම ගිණුමට බැර කෙරේ. ස්ථායී කාසිවල වෙළෙඳපොළ මිල ගණන් ඊට අදාළ පදනම් වත්කමේ වෙළෙඳපොළ මිල අනුව වෙනස් වනු ඇත. එසේමස්ථායී කාසි හිමියන්ට කාසි මෙහෙයවුම් ආයතනය විසින් කාලීන පදනමක් මත පොලී ගෙවනු ලැබේ.

උදාහරණ ලෙස ඇමෙරිකාවේ ජේ පී මෝගන් චේස් බැංකුව විසින් නිකුත් කෙරෙන ජේ පී එම් කාසිය (JPM Coin) ඇමෙරිකන් ඩොලර් එකක් මත පදනම් වෙයි. එබැවින්ඕනෑම අයෝජකයෙකුට එම බැංකුවේ ජේ පී එම් කාසි ගිණුමක් විවෘත කොටඩොලර් මුදල් ගෙවීමෙන් ඊට සමාන ජේ පී එම් කාසි ප්‍රමාණයක් ගිණුමට ලබා ගත හැකිය. එම කාසි ගිණුම් හිමියන් අතර එම කාසි බැංකු ගිණුම් හරහා ගනුදෙනු කළ හැකිය. එසේමඑම කාසි අළෙවි කොට ඩොලර් වැනි රාජ්‍ය මුදලක් ලබා ගෙන එය ගෙවීම් සඳහා භාවිතා කළ හැකිය.

තවදගිණුමේ පවතින ජේ පී එම් කාසි ශේෂය සඳහා බැංකුව විසින් පොලී ගෙවනු ලැබේ. එම කාසි නිකුත් කිරීමෙන් බැංකුව විසින් රැස් කර ගන්නා ඩොලර් මුදල් ණය දීම වැනි වෙනත් ආදායම් ලැබෙන වත්කම් සඳහා යොදා ගැනීමෙන් බැංකුවට ලාභයක් ලැබේ. කාසි ගිණුම් සඳහා පොලී ගෙවීම එම ලාභ හරහා සිදු කෙරේ.

  • ක්‍රිප්ටො

මුලින් සඳහන් කළ පරිදි කණ්ඩායම් දාමය තාක්ෂණය හරහා පොදු විද්‍යුත් ලෙජරයක් තුළ ක්‍රිප්ටො ගනුදෙනු කෙරේ. වර්තමානයේඉතාම ප්‍රචලිත ක්‍රිප්ටො මුදල වන්නේ බිට්කොයින් ය. එතරියම් (Ethereum)ලයිට්කොයින් (Litecoin), බිට්කොයින් කෑෂ් (Bitcoin Cash), ස්ටේලර් (Stellar), ටෙදර් (Tether) සහ ඩොජ්කොයින් (Dogecoin) යනාදිය ජනප්‍රිය වෙමින් පවතින අනෙක් ක්‍රිප්ටො මුදල්වලින් කිහිපයක් වෙයි.

ස්ථායී කාසි මෙන් නිෂ්පාදකයාට හෝ සැපයුම් කරුට මනාප ලෙස ක්‍රිප්ටො නිකුත් නොකෙරේ. මෙහිදීක්‍රිප්ටො වේදිකාවේ මෘදුකාංගය තුළ තීරණය කෙරෙන ස්ථිර මුදල් එකක ප්‍රමාණයක් හෝ සැපයුමක් පවතී. එහෙත්ඉන් ගනුදෙනු සඳහා පොදු විද්‍යුත් ලෙජරයට ක්‍රිප්ටො ජනිත වන්නේ ආයෝජකයක් විසින් ඒවා කැණීම (Mining) හරහා ය. එම කැනීම අධි බලැති පරිගණක හරහා ගණිතමය විසඳුම් තුළින් සිදු වෙයි.

උදාහරණ ලෙස බිට්කොයින් ක්‍රිප්ටො වේදිකාව 2001 දී දියත් කෙරෙන විට නියම කරන ලද උපරිම කොයින් සැපයුම වන්නේ බිට්කොයින් ඒකක මිලියන 21 කි. ඉන් මේ දක්වා බිට්කොයින් ඒකක මිලියන 18.925 ක් පමණ කැනීම් කොට ඇති අතර ඒවා මෙම වේදිකාව හරහා වෙළෙඳාම් කෙරේ. එබැවින්ආයෝජකයන්ට කැණීමට අමතරව දැනට වේදිකාවේ බිට්කොයින් හිමියන්ගෙන් පවතින මිලට බිට්කොයින් මිල දී ගත හැකිය.

2001 දී බිට්කොයින් එකක් ඩොලර් එකක් ලෙස නියම කළ දබිට්කොයින් වේදිකාවේ එය පසුගිය නොවැම්බර් මස ඩොලර් 68,000 කට පමණ ඉහළ ගොස් වර්තමානයේ ඩොලර් 42,000 ක් පමණ දක්වා පහළ බැස ඇත. එනම්දැනට රුපියල් මිලියන 11.6 කට පමණ අළෙවි වන බව අන්තර් ජාලයේ දැක්වෙයි.

ක්‍රිප්ටො මුදල් ගනුදෙනු සඳහා ගෝලීය විද්‍යුත් ගෙවුම් සහ පියවුම් පද්ධතියක් ප්‍රවර්ධනය වෙමින් පවතී. එයට උදාහරණ ලෙස ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රබැංකුඅන්තර ජාල ගෙවුම් වේදිකාවන් සහ ක්‍රිප්ටො හුවමාරු සම්බන්ධ ජාලය දැක්විය හැකිය. ඒ අනුවඅන්තර් ජාලය හරහා තම බැංකු ගිණුමෙන් මුදල් ගෙවා තමන්ට කැමති ක්‍රිප්ටො මුදල් වර්ගවල ආයෝජනය කිරීමට සහ අළෙවියට හැකියාව ලැබී ඇත.

ස්ථායී කාසි මෙන් ක්‍රිප්ටො මුදල් ද වටිනාකම රැස් කිරීමේ හෝ ආයෝජන මෙවලමක් ලෙස ප්‍රචලිත වී ඇත. එසේමඉහල වටිනාකම් සහිත වත්කම් ගනුදෙනු සඳහා ගෙවුම් මාධ්‍යයක් ලෙස ද භාවිතා කෙරේ.

ක්‍රිප්ටො මුදල් නියාමනය

ක්‍රිප්ටො මුදල්වල නීතිමය තත්ත්වය සහ නියාමනය පිළිබඳ විවිධ වාර්තාවන් දැකිය හැකිය. එල් සැල්වදෝරය විසින් පසුගිය සැප්තැම්බර් මස ක්‍රිප්ටො මුදල් එහි නෛතික ගෙවුම් මාධ්‍යය ලෙස නීති ගත කර ඇත. ඒ අනුවරජය විසින් ක්‍රිප්ටො මුදල් ගනුදෙනු සඳහා වූ විද්‍යුත් හැඹිලියක් හඳුන්වා දී ඇති අතර ක්‍රිප්ටො ගනුදෙනු නගරයන් ප්‍රවර්ධනය කරමින් පවතී.

චීනය සහ ඉන්දියාව වැනි රටවල ක්‍රිප්ටො මුදල් භාවිතය තහනම් වෙයි. එහෙත්සියළු සංවර්ධිත රටවල ආයෝජන වත්කමක් ලෙස ක්‍රිප්ටො මුදල් නීතියෙන් පිළි ගැනේ. එබැවින්ක්‍රිප්ටො වත්කම් සඳහා බදු අය කිරීම ද සිදු කෙරේ. ඇමෙරිකාවේ හුවමාරුවල ක්‍රිප්ටො අනාගත ගිවිසුම් (ක්‍රිප්ටො ව්‍යුත්පන්න) ගනුදෙනු කෙරේ. එහෙත්ක්‍රිප්ටො මුදල් වෙළෙඳාම සිදු වන්නේ ඒ ඒ ක්‍රිප්ටො මුදලට අදාළ ක්‍රිප්ටො පොදු ලෙජරය හරහා ය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 අප්‍රේල් මස 21 දින නිකුත් කළ පුවත්පත් නිවේදනය තුළින් ක්‍රිප්ටො මුදල්/වත්කම් ගනුදෙනු සඳහා මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දී නොමැති අතර ක්‍රිප්ටො මුදල්/වත්කම් ගනුදෙනු පිළිබඳ නියාමන ආරක්ෂණයක් නොමැති බැවින් ක්‍රිප්ටො මුදල්/වත්කම් ආයෝජනයේ ඇති අධික අවදානම පිළිබඳ ව ප්‍රවේසම් කාරී වන ලෙස මහජනතාව වෙත අවවාද කොට ඇත.

එබැවින්ආයෝජනයක් වශයෙන් ක්‍රිප්ටො මුදල්/වත්කම් භාවිතය ශ්‍රී ලංකාවේ නීති විරෝධී බවක් වාර්තා නොවේ. එහෙත්පවතින නීති රාමුව අනුව මහ බැංකුවේ අවසරය නොමැතිව යම් මුදලක් හෝ ගෙවීම් සහ පියවුම් මාධ්‍යයක් ලෙස යම් උපකරණයක් හෝ ක්‍රමවේදයක් භාවිතා කිරීම නීති විරෝධී වෙයි.

ක්‍රිප්ටො මුදල් නීතිගත කිරීම පිළිබඳ නවතම උදාහරණය දැනට යුද්ධයකට මැදි වී සිටින යුක්රේනයෙන් සහ රුසියාවෙන් වාර්තා වෙයි. පසුගිය සතියේ යුද්ධයට සහ මානුෂ සහන කටයුතු සඳහා අරමුදල් රැස් කිරීමට උපකාරී වීම සඳහා යුක්රේන මහ බැංකුව විසින් ඉතාම විස්තීර්ණ ක්‍රිප්ටො මුදල් නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදි.

එසේමජාත්‍යන්තර ආර්ථික සම්බාධකයන් හේතු කොට රුසියාව ගෝලීය මූල්‍ය පද්ධතියෙන් කපා හැරීම හේතු කොට එහි දේශීය බැංකු සහ මූල්‍ය ගනුදෙනු කිරීමට පවා නොහැකි වී දැඩි ආර්ථික අර්බුදයක් හට ගෙන ඇත. ඩොලර් බිලියන 630 ක් පමණ වූ රුසියාවේ විදේශ සංචිත ප්‍රමාණයෙන් 50% ක් පමණ සම්බාධකවලට හසු වී අත්හිටු වීමත්, විදේශ ගෙවුම් පද්ධතියෙන් රුසියාව කපා හැරීමත් හේතු කොට රුසියාවේ සියළු අන්තර් ජාතික මූල්‍ය ගනුදෙනු නැවතී ඇති අතර විදේශ ණය සේවාකරණය ද වැලැක් වී ඇත.

එබැවින්රුසියාවේ ක්‍රිප්ටො මුදල් ගනුදෙනු බෙහෙවින් ජනප්‍රිය වීමට පටන් ගෙන ඇත. ඊට හේතුවක්‍රිප්ටො මුදල් ගනුදෙනු කෙරෙන පොදු විද්‍යුත් ලෙජර් වේදිකාවන් ගෝලීය නිල මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වන විද්‍යුත් ගනුදෙනු වේදිකාවන්ගෙන් සහ ජාත්‍යන්තර නියෝජන බැංකු ජාලයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන බැවිනි. එබැවින්ක්‍රිප්ටො මුදල් ගනුදෙනු කෙරෙහි රුසියාවට එරෙහිව සම්බාධකයන් පැනවීමට තවමත් නොහැකි වී ඇත.

එම තත්ත්වය තුළ රුසියානු මහ බැංකුව විසින් ද පසුගිය සතියේ බැංකුවලට ක්‍රිප්ටො මුදල් ගනුදෙනු බලපත්‍ර ලබා දීම ආරම්භ කොට ඇත. එසේමපවතින ගෝලීය ක්‍රිප්ටො මුදල් ගනුදෙනුවලට අමතරව නව ක්‍රිප්ටො මුදල් හඳුන්වා දීමට ද එමගින් අවසර දී ඇත. මීට මාසයකට පමණ පෙර රුසියානු ජනාධිපති විසින් මුදල් අමාත්‍යාංශය සමඟ එකතු වී ක්‍රිප්ටො මුදල් නියාමනයට ක්‍රියා කරන ලෙස දුන් උපදෙස්වලට මහ බැංකුව විරුද්ධ වුව දපවතින මූල්‍ය අර්බුදකාරී තත්ත්වය තුළ මහ බැංකු මුදල් නෝට්ටු ක්‍රමය කඩා වැටෙමින් පවතින බැවින් ක්‍රිප්ටො මුදල් ගනුදෙනු බලපත්‍ර ලබා දීම හැර වෙනත් විකල්පයක් රුසියානු මහ බැංකුවට නොවීය.

එබැවින්භූදේශපාලනික සහ ආර්ථික යුද්ධයන් රටවල් අතර ඉහළ යන විට එමගින් හට ගන්නා ගනුදෙනු දුෂ්කරතාවන්ට පිළියමක් වශයෙන් ක්‍රිප්ටො මුදල් භාවිතය ව්‍යාප්ත වීම දැකිය හැකිය. ක්‍රිප්ටො මුදල් භාවිතය පිළිබඳව රාජ්‍ය නියාමන අධිකාරීන් විසින් නිරන්තරයෙන් පළ කෙරෙන මැසිවිල්ල වනුයේ ඒවා නීති විරෝධී ව්‍යාපාරයන් සහ මුදල් විශුද්ධිකරණය සඳහා භාවිතා කෙරෙන බව යි.

උදාහරණ ලෙස පසුගිය වසරේ ඇමෙරිකාවේ ගෑස් බෙදා හැරීමේ නල පද්ධතිය ක්‍රියාත්මක වීම අවහිර කළ පරිගණක හැකර්වරුන් ඉල්ලා සිටි කප්පම ලබා දීම ක්‍රිප්ටො මුදලින් කිරීමට සිදු විය. ක්‍රිප්ටො මුදල් වේදිකාවන් බැංකු ගෙවුම් පද්ධතියට ද සම්බන්ධ වන බැවින් සහ ක්‍රිප්ටො මුදල් සහ විද්‍යුත් මුදල් අතර වෙළෙඳ ගනුදෙනු සිදු වන බැවින් ක්‍රිප්ටො මුදලින් කෙරෙන නීති විරෝධී ඉපයීම් නිල බැංකු මුදල් පද්ධතියට ඇතුළු කිරීමට (මුදල් විශුද්ධිකරණය) හැකියාව පවතී.`

එසේමක්‍රිප්ටො මුදල් වේදිකාවල සිදු වන ගනුදෙනු පරික්ෂා කිරීමට සමත් ක්‍රමවේදයන් රාජ්‍ය නියාමන අධිකාරීන් සතුව නොමැති බැවින් ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම අපහසු වි ඇත. ඇමෙරිකානු ජනාධිපති විසින් මෑත දී ක්‍රිප්ටො/ඩිජිටල් වත්කම් ආයෝජකයන්ගේ ආරක්ෂාව සඳහා අදාළ නියාමන අධිකාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශයන් ඇතුලත් විධායක නියෝගයක් නිකුත් කොට ඇත.

රාජ්‍ය ක්‍රිප්ටො මුදල්

දැනට ප්‍රචලිත වෙමින් පවතින ක්‍රිප්ටො මුදල් සියල්ල පෞද්ගලික සැපයුම් කරුවන් විසින් දියත් කරන ලද ක්‍රිප්ටො වර්ගයන් ය. ගෝලීය තොරතුරු තාක්ෂණයේ දියුණුව හේතු කොට විද්‍යුත් වාණිජ්‍යය ප්‍රචලිත වෙමින් පවතින අතර ඊට අවශ්‍ය මූල්‍ය ගනුදෙනු සඳහා රාජ්‍ය මුදල් පදනම් වූ විද්‍යුත් මුදල් පහහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ක්‍රිප්ටො මුදල් ඉදිරියට ප්‍රචලිත වන බවට සාධක පවතී.

එබැවින්ඊට තරගකාරී ලෙස රජයන් විසින් ද තම මුදල් ක්‍රිප්ටො හෝ ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කිරීමට සහ ගනුදෙනු කිරීමට අවශ්‍ය අත්හදා බැලීම් මෑතක සිට ආරම්භ කොට ඇත. ලෝකයේ මහ බැංකුවලින් 80% ක් පමණ ඒ සඳහා පර්යේෂණ කටයුතු ආරම්භ කොට ඇත. මෙම රාජ්‍ය ක්‍රිප්ටො මුදල් මහ බැංකු ඩිජිටල් මුදල් (Central Bank Digital Currency -CBDC) ලෙස හැඳින් වෙයි. මෙහිදීරාජ්‍ය /මහ බැංකු මුදල් ඒකකයන් විද්‍යුත් ඡායාවන් හෝ ටෝකන් ලෙස ඉදිරිපත් කෙරේ. දැනට චීනයස්වීඩනය සහ බහමාස් රාජ්‍යයන් විසින් නියමු පරීක්ෂණ මට්ටමින් රාජ්‍ය ඩිජිටල් මුදල් හඳුන්වා දී ඇත.

වෙනිසියුලා රජය විසින් 2018 දී පෙට්‍රෝ ක්‍රිප්ටො මුදල් දියත් කරන ලද අතර එය රටේ පෙට්‍රෝලියම්රන් සහ ඩයමන්ඩ් සංචිත සුරැකුම් පත පදනම් විය. එබැවින්එය ස්ථායී කාසි කාණ්ඩයට අයත් වෙයි. වෙනිසියුලාවේ අධි උද්ධමනය හේතු කොට එහි නිල මුදල වන බොලිවර් මුදලේ කඩා වැටීම හේතු කොට ඊට පිළියමක් ලෙස පෙට්‍රෝ ක්‍රිප්ටො මුදල් රාජ්‍ය ගෙවීම් සඳහා පළමුව හඳුන්වා දෙන ලදි. එහෙත්ආර්ථිකයේ පවතින බිඳ වැටීම හේතු කොට තවම පෙට්‍රෝ ක්‍රිප්ටො මුදල ජනප්‍රිය වී නොමැත. ඇමෙරිකාව විසින් පෙට්‍රෝ ක්‍රිප්ටො මුදල් ගනුදෙනු කිරීම ඇමෙරිකානු පුරවැසියන්ට තහනම් කොට ඇත.

මෙම රාජ්‍ය ක්‍රිප්ටො මුදල් පෞද්ගලික ක්‍රිප්ටො මුදල් තාක්ෂණයට වඩා වෙනස් ලෙස ගනුදෙනු කෙරේ. එනම්කණ්ඩායම් දාමය පදනම් වූ පොදු විද්‍යුත් ලෙජර් වේදිකාවේ නොවකේන්ද්‍රීය විද්‍යුත් ලෙජර් වේදිකාව හරහා ය. එසේමරාජ්‍ය ක්‍රිප්ටො මුදල් 100% ක් රාජ්‍ය මුදල් නෝට්ටු මත පදනම් වෙයි. එනම්රාජ්‍ය ක්‍රිප්ටො මුදල් ඒකකයක් රාජ්‍ය ඒකකයකට සමාන වෙයි. ඒබැවින්යෝජිත මහ බැංකු ඩිගිටල් මුදල් ස්ථායී කාසි කාණ්ඩයට අයත් බව දැක්විය හැකිය.

එහෙත්රාජ්‍ය ක්‍රිප්ටො මුදල් හඳුන්වා දීම හේතු කොට බැංකු සහ අතරමැදි මූල්‍යකරන ව්‍යාපාරය කෙරෙහි ඇති විය හැකි ව්‍යුහාත්මක ගැටළු පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. ඊට හේතුවබැංකු පද්ධතිය නොමැතිව මහ බැංකු විද්‍යුත් ලෙජරය හරහා මහජනතාවට රාජ්‍ය ක්‍රිප්ටො මුදල් ගනුදෙනු කළ හැකි බැවිනි.

එහෙත්රාජ්‍ය ක්‍රිප්ටො මුදල් කඩිනමින් හඳුන්වා දීමක් සිදු නොවේ නම්ඊළඟ මුදල් පරිණාමය ලෙස පෞද්ගලික ක්‍රිප්ටො මුදල් දිනෙන් දින ජනප්‍රිය වීම හේතු කොට ඉදිරි දශක කිහිපය තුළ රාජ්‍ය මුදල් සහ මහ බැංකු ක්‍රමය අභාවයට යාමේහෝ අක්‍රීය වීමේ අවදානමට මුහුණ දෙනු ඇත.

(ඊළඟ ලිපියෙන් මුදල් වර්ගයන් භාවිතා කිරීමේ දී මුහුණ දෙන අවදානම් විග්‍රහ කෙරේ.)


පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති - ශ්‍රී ලංකා මහ බැංකුව

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)





මූල්‍ය සාක්‍ෂරතාවය - III කොටස - 02.03.2022

මුදල් ගනුදෙනු ඥාණාන්විත ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා මුදල් වර්ග හඳුනා ගනිමු.

සුගිය පෙබරවාරි මස 27 දින නිකුත් ලද ලිපියෙන් මුදල් යනු කුමක් ද? යන්න මුදලේ ආර්ථික කාර්යයන් ඇසුරින් පැහැදිලි කරන ලදි. වර්තමානයේ මුදල් ලෙස බොහෝ දෙනා විසින් රජය/මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාසි හා නෝට්ටු භාවිතා කෙරේ. සමහරු විසින් තම බැංකු ගිණුම්වල ඇති තැන්පතු මුදල් ද මුදල් ලෙස සැලකෙයි.

තවත් පිරිසක් විසින් මුදල් ආයෝජන ගනුදෙනු සඳහා ක්‍රිප්ටො මුදල් නම් වූ විදේශීය පරිගණක මුදල් ද භාවිතා කරනු දැකිය හැකිය. බිට්කොයින් (Bitcoins) යනු දැනට ඉතාම ප්‍රචලිත ක්‍රිප්ටො මුදල් වර්ගය යි. දියුණු රටවල සමහර බැංකු විසින් ස්ථායී කාසි (Stable Coins) නම් වූ ඩිජිටල් මුදල් (Digital Currency) වර්ගයන් බැංකු පද්ධතිය හරහා ගනුදෙනු කිරීම සඳහා තම ගනුදෙනු කරුවන්ට හඳුන්වා දී ඇත. මේ දිනවල ලෝකය පුරා මහ බැංකු විසින් ද ක්‍රිප්ටො මුදල්වලට සමාන රාජ්‍ය ඩිජිටල් මුදල් නිකුත් කිරීමට පර්යේෂණ කරමින් පවතී. චීනය විසින් දැනටමත් අත්හදා බැලීමේ පියවර ලෙස ඩිජිටල් යුවාන් (e-CNY) සංසරණයට එක් කොට ඇත. මෙම සියල්ල පරිගණක හෙවත් ඩිජිටල් මුදල් කාණ්ඩයට අයත් වෙයි.

මුදල් පරිණාමය

මිනිසා ස්වයං යැපුම් ආර්ථිකයක සිට දැනීම වර්ධනය කරමින් තම ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වෙළෙඳපොළ හරහා තරගකාරීව ක්‍රියා කිරීමේ දී මුහුණ දුන් ගනුදෙනු දුෂ්කරතාවන් විසඳීමට කලින් කළට ගන්නා ලද උත්සාහයන්ගේ ප්‍රතිපලයක් ලෙස මුදල් පරිණාමය වී ඇත. නූතන මිනිස් ජීවිතය කෙරෙහි මුදල්වලින් සැපයෙන සේවය දෙස බලන විට මිනිසා විසින් කරන ලද නව සොයා ගැනීම්වලින් ඉතාමත් පුදුම සොයා ගැනීමක් වන්නේ මුදල් ය. එය වෙනත් විද්‍යාත්මක සොයා ගැනීම් මෙන් නොව මිනිස් ඉතිහාසය පුරා පරිණාමය තුළින් දියුණු වී ඇත. එසේම, එය ඉදිරියටත් තවත් පරිණාමය වනු ඇත.

මෙතෙක් හඳුනා ගත හැකි මුදල් පරිණාමය අවධීන් කිහිපයකින් සිදු වී ඇත. එම අවධීන් ලෙස භාණ්ඩ මුදල්, ලෝහ මුදල්, බැංකු නෝට්ටු මුදල්, රාජ්‍ය නෝට්ටු මුදල්, බැංකු ගිණුම් මුදල් සහ පරිගණක හෙවත් ඩිජිටල් මුදල් යනාදිය හඳුනා ගත හැකිය. ලෝකය සමස්තයක් ලෙස ගත් විට විවිධ රටවල සහ ප්‍රදේශවල විවිධ පරිමාණයෙන් මෙම මුදල් වර්ගයන් සියල්ල දැකිය හැකිය.

මෙහිදී, අප මතක තබා ගත යුත්තේ මීට පෙර ලිපියෙන් දැක්වූ පරිදි අපගේ එදිනෙදා ආර්ථික ජීවිතය ගෙන යාම සඳහා මුදල් කෙතරම් උපකාරී වුවත්, මුදල් නිසි අයුරින් භාවිතා නොකිරීම හේතු කොට හට ගන්නා අවදානම් තුළින් අපගේ ආර්ථිකයන් විනාශ විය හැකි බව යි. මේ දිනවල ලෝකය පුරා අති මූල්‍යවාදී ආර්ථික විද්‍යාඥයන් විසින් දක්වනු ලබන රජය විසින් අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමේ අධි උද්ධමන බිය ද ඉන් එක් අවදානමකි.

නූතන ලෝකයේ මුදලේ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා මෙසේ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික මුදල් වර්ගයන් භාවිතා කෙරෙන බැවින් තම ආර්ථික ගනුදෙනු හෝ මුදල් කළමනාකරණය සඳහා මුදල් වර්ගයන් තෝරා ගැනීමේ දී ඒ ඒ මුදල්වල ස්වභාවය, ගනුදෙනු ක්‍රමවේදය සහ අවදානම් සැලකිල්ලට ගත යුතුය.

ඒ සඳහා අත්වැලක් ලෙස මෙතෙක් මුදල් වර්ගයන් පරිණාමය වූ ආකාරය පිළිබඳ ව කෙටි ඉදිරිපත් කිරීමක් පහත දැක්වෙයි.

බාටා හෙවත් හුවමාරු ක්‍රමය

මිනිස් ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භයේ දී වෙළෙඳාම සිදු වී ඇත්තේ භාණ්ඩ හා සේවාවන් එකිනෙකට හුවමාරු කිරීමෙනි. මෙය බාටා හෙවත් හුවමාරු ආර්ථික ක්‍රමය ලෙස හැඳින් වෙයි. හුදු ස්වයං යැපුම් ආර්ථික පරිසරයක සිට මිනිසාගේ ආර්ථික ක්‍රියාකාරකම් සහ අවශ්‍යතාවන් ඉහළ යන විට භාණ්ඩ හුවමාරුව තුළින් වෙළෙඳ ගනුදෙනු කිරීම දුෂ්කර විය. ඊට හේතු ලෙස පුද්ගලයන්ගේ හුවමාරු අවශ්‍යතාවන් ගැලපිය යුතු වීම, සමහර භාණ්ඩ කොටස් කිරීමේ අපහසුව, භාණ්ඩ තොග පවත්වා ගෙන යාමේ අපහසුව, හුවමාරුව සොයමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අපහසුව සහ නිෂ්පාදන සහ වෙළෙඳ අකාර්යක්ෂමතාවය යනාදිය දැක්විය හැකිය.

භාණ්ඩ මුදල් ක්‍රමය

පසුව, වෙළෙඳාම පහසු කිරීම සඳහා සමහර භාණ්ඩයන් මුදල් ලෙස භාවිතා කිරීම ආරම්භ වී ඇත. එය භාණ්ඩ මුදල් ක්‍රමය ලෙස දැක්වෙයි. මෙහිදී, කල් පවතින සහ කුඩා කොටස්වලට බෙදිය හැකි ධාන්‍ය සහ කරවල වැනි භාණ්ඩ වර්ගයන් මුදල් ලෙස ප්‍රචලිත වී ඇත. මෙම මුදල්වල මූලික අරමුණ වූයේ විනිමය මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යි.

ලෝහ මුදල් ක්‍රමය

භාණ්ඩ මුදල් භාවිතා කිරීමේ දී මුහුණ දුන් දුෂ්කරතාවන් නිරාකරණය සඳහා පසු කාලයේ දුර්ලභ ලෝහ කැබලි ද මුදල් ලෙස භාවිතා කෙරින. ඒවා විශේෂයෙන් රජවරුන් විසින් නිෂ්පාදනය කොට තම සේවකයන්ට වැටුප් ගෙවීම සහ මහජනයාට තෑගි/ප්‍රේෂණ සැපයීම පිණිස භාවිතා කිරීම තුළින් රාජ්‍ය ලෝහ මුදල් බිහි වී ඇත. ශ්‍රී ලංකාවේ රජ කාලයේ පැවති කහවනු යනු එවැනි රාජ්‍ය මුදල් වර්ගයකි. ඒවා රාජ්‍ය ලාංඡනයක් සහිත ලෝහ කැබලි වූ අතර ඒවා රජයට බදු ගෙවීමේ දී භාවිතා වූ බැවින් මුදල් ලෙස ප්‍රචලිත විය. පසු කාලයේ රජවරුන් විසින් මුදල් ලෙස වටිනා ලෝහ කාසි නිකුත් කෙරින. ඒවා යකඩ, තඹ, රිදී සහ රන් ලෙස ව්‍යාප්ත විය. මෙම භාණ්ඩ මුදල්වල විශේෂත්වය වූයේ මුදල් ඒකක තුළ භෞතික වටිනාකමක් අඩංගු වීම යි. උදාහරණ ලෙස පවුම් 1 ක රන් කාසියක පවුම් 1 ක් වටිනා රන් ප්‍රමාණයක් අඩංගු විය.

කඩදාසි/නෝට්ටු මුදල් ක්‍රමය

මුදල්වල ඊළඟ පරිණාමය වූයේ කඩදාසි මුදල් බිහි වීම යි. මෙය අවධීන් තුනකින් සිදු විය.

  • පළමු අවධිය වූයේ 17 වැනි සියවසේ යුරෝපයේ රන් මත පදනම් වූ බැංකු මුදල් නෝට්ටු බිහි වීම යි. මෙය රන් කරුවන් තුළින් ආරම්භ විය. එනම්, පුද්ගලයන් විසින් ආරක්ෂාව පතා තම රන් කාසි රන් කරුවන් වෙත තැන්පත් කිරීමේ දී රන් කරුවන් විසින් නිකුත් කරන ලද රන් තැන්පතතු භාර ගැනීමේ කුවිතාන්සි එම රන් තැන්පතු හිමියන් විසින් ගනුදෙනු සඳහා මුදල් ලෙස භාවිතා කිරීම යි. එම කුවිතාන්සි අදාළ රන් කරුවන් වෙත ඉදිරිපත් කිරීමෙන් කුවිතාන්සියේ සඳහන් රන් ප්‍රමාණය ලබා ගත හැකි බවට ඇති විශ්වාසය මත එම රන් කුවිතාන්සි සඳහා පොදු පිළි ගැනීමක් ඇති විය.

  • දෙවැනි අවධිය වූයේ රන් කරුවන් විසින් ව්‍යාජ රන් කුවිතාන්සි නිකුත් කිරීම හරහා ණය දීම ආරම්භ කිරීම යි. මෙහිදී, ගනුදෙනු කරුවන් විසින් එම රන් කුවිතාන්සි ඉදිරිපත් කොට ඊට අදාළ රන් කාසි ඉල්ලා සිටින විට තමන් වෙත ගනුදෙනු කරුවන් විසින් තැන්පත් කොට ඇති රන් කාසි සංචිත භාවිතා කොට රන් කුවිතාන්සි සඳහා රන් ආපසු ගෙවීම කරන ලදි. එබැවින්, තමන් වෙත ඇති රන් සංචිතවල වටිනාකමට වඩා වැඩි රන් කුවිතාන්සි ප්‍රමාණයක් ගනුදෙනුකරුවන් වෙත නිකුත් කිරීමට රන් කරුවන්ට හැකි විය. එබැවින්, නූතන නෝට්ටු මුදල් සහ බැංකු ක්‍රමයේ ආරම්භය රන් කරුවන් ලෙස සැලකේ. පසු කාලීනව රන් මත පදනම් වූ බැංකු ව්‍යාපාරයක් ලෝකය පුරා ව්‍යාප්ත විය.

         ඒ අනුව, බැංකු විසින් රන් තැන්පතු භාර ගැනීමේ දී සහ ණය දීමේ දී තමන්ගේ නමින් මුදල් නෝට්ටු නිකුත් කළ අතර මෙම නෝට්ටු මුදල් ලෙස මහජනයා අතර භාවිතා විය. එබැවින්, විවිධ බැංකු මුදල් නෝට්ටු සංසරණය වූ අතර එම නෝට්ටු ද මිල ගණන් මත එකිනෙකට වෙළෙඳාම් විය. එය නූතන විදේශ මුදල් වෙළෙඳාමට සමාන වෙයි. ඉහළ ගනුදෙනු විශ්වාසයක් ඇති බැංකු විසින් නිකුත් කොට ඇති නෝට්ටු සඳහා ඉහළ මිලක් හෝ විනිමය අනුපාතයක් තීරණය විය. සමහර බැංකු බිඳ වැටීමේ දී එම බැංකු මුදල් නෝට්ටු හිමියන්ට අලාභ සිදු විය. ඊට හේතුව, එම නෝට්ටු සඳහා රන් නොලැබීමත්, ගනුදෙනු සඳහා මහජනතාව විසින් එම නෝට්ටු ප්‍රතික්ෂේප කිරීමත් ය. එබැවින්, බැංකු බිඳ වැටීමේ දී බැංකු සහ මූල්‍ය අර්බුදයන් කලින් කලට හට ගැනීම තුළින් ආර්ථික අර්බුදයන් ද හට ගැනින.

  • තෙවැනි වැනි අවධිය වූයේ රජයන් විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේ අධිකාරය එක් බැංකුවකට පමණක් පැවරීම යි. එසේම, සමහර රටවල රජයන් විසින් මහ බැංකු පිහිටුවා මුදල් නිකුත් කිරීමේ බලය මහ බැංකුවට පවරන ලදි. එසේම, මුදල් නිකුත් කිරීමේ බලය ලබා දී තිබූ පෞද්ගලික බැංකු රජයට පවරා ගෙන ගෙන රාජ්‍ය මහ බැංකු බවට පත් කරන ලදි. මෙය 19 සහ 20 වැනි සියවස්වල සිදු විය. ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය මුදල් නෝට්ටු ක්‍රමය සහ මහ බැංකුව ස්ථාපිත කරනු ලැබුවේ 1950 වර්ෂයේ දී ය.

මෙම මහ බැංකු විසින් ද ආරම්භයේ ප්‍රධාන වශයෙන් තමා වෙත ඇති රන් සංචිත පදනම් කර ගෙන මුදල් නෝට්ටු නිකුත් කළ ද, 1974 සිට රන් මත පදනම් වූ නෝට්ටු මුදල් ක්‍රමය අභාවයට යන ලදි. නූතන මහ බැංකු විසින් රන් සහ විදේශ විනිමය මිල දී ගැනීම සහ රජයට සහ බැංකුවලට ණය දීම තුළින් මුදල් නෝට්ටු නිකුත් කෙරේ (නූතන මුදල් මුද්‍රණය පිළිබඳ විශේෂ ලිපියක් මෙම වෙබ් අඩවියේ පහත ඇතුලත් වෙයි). ඒ අනුව, භාණ්ඩ මුදල්වල මෙන් නොව වර්තමාන මුදල් නෝට්ටුවල කිසිම භෞතික වටිනාකමක් අන්තර් ගත නොවේ. එනම්, මුදල් නෝට්ටුවල සඳහන් වටිනාකම වෙනත් සුරැකුමකින් හෝ වත්කමකින් ගෙවීමට රජය හෝ මහ බැංකුවලට බැඳීමක් නොමැත.

රාජ්‍ය නෝට්ටු මුදල් ක්‍රමයේ ඓතිහාසික සිද්ධියක් වනුයේ යුරෝපා සංගමය විසින් 1998 දී යුරෝපා මහ බැංකුව පිහිටුවා, 2002 වර්ෂයේ දී සාමාජික රටවල රාජ්‍ය මුදල් නෝට්ටු සංසරණයෙන් ඉවත් කොට, යුරෝපා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන යුරෝ (Euro) නම් වූ පොදු මුදල සාමාජික රටවල මුදල (දැනට සාමාජික රටවල් 19 ක) ලෙස පිළි ගැනීම යි. එය යුරෝපා කලාපයේ ආර්ථික සහ වෙළෙඳ ගනුදෙනු කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට පසුගිය දශක දෙක තුළ බොහෝ දායක වී ඇත.

නෝට්ටු මුදල් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ භාණ්ඩ මුදල් මෙන් නොව මුදලේ සියළු කාර්යයන් සඳහා නෝට්ටු මුදල් පිළි ගැනීමට මහජනයා ඉදිරිපත් විය.

බැංකු ගිණුම් මුදල් ක්‍රමය

රාජ්‍ය නෝට්ටු මුදල් අවධිය තුළ ද බැංකු විසින් නෝට්ටු මුදල් තැන්පතු භාර ගැනීම සහ එම මුදල්වලින් ණය සැපයීමේ අතරමැදි මූල්‍ය ව්‍යාපාරය අඛණ්ඩව සිදු කෙරින. එය මහ බැංකුවල ආරක්ෂාව සහ නියාමනය යටතේ වැඩි මහජන විශ්වාසයක් යටතේ සිදු වෙයි. මෙහි බැංකු විසින් තැන්පතු භාර ගැනීමේ ක්‍රියාව මූලික වශයෙන් මහජනතාව විසින් ද්‍රවශීල වත්කම් සන්නිධියක් ලෙස මුදල් පිළි ගැනීම තුළින්  හට ගැනින. මහජනතාව විසින් කල්පසු වූ ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදල් පිළි ගැනීම තුළින් බැංකු ණය දීමේ ව්‍යාපාරය ප්‍රචලිත විය.

එබැවින්, තැන්පතු හිමියන් විසින් එක් වර තම තැන්පතු මුදල් ඉල්ලා නොසිටින බැවින් තැන්පතු ලෙස ලැබෙන රාජ්‍ය නෝට්ටු මුදල්වලින් සුළු කොටසක් බැංකුවේ සංචිත ලෙස තබා ගෙන ඉතිරි මුදල් ණය ලෙස මහජනතාවට සැපයීමට බැංකුවලට හැකියාව ලැබී ඇත. එදිනෙදා තැන්පතු හිමියන් විසින් ආපසු ඉල්ලා සිටින තැන්පතු මුදල් ලබා දීම මෙම සංචිතය හරහා සිදු කිරීම තුළින් තැන්පතු විශ්වාසය ආරක්ෂා වෙයි.

එහෙත්, මෙම බැංකු ව්‍යාපාරය හේතු කොට ආර්ථිකයේ රාජ්‍ය නෝට්ටු මුදල් ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් ඉහළ මුදල් ප්‍රමාණයක් සංසරණය වීම සිදු වෙයි.  ඊට හේතුව, බැංකු වෙත ඇති තැන්පතු ද මහජනයා විසින් මුදල් ලෙස සලකන බැවිනි. එහෙත්, මෙම තැන්පතු යනු ඊට සමාන රාජ්‍ය නෝට්ටු මුදල් ප්‍රමාණයක් බැංකුව වෙත නොමැති හුදු බැංකු ගිණුම්වල සටහන් මුදල් ප්‍රමාණයක් පමණි. එබැවින්, මෙම තැන්පතු මුදල් යනු බැංකු විසින් තම ගිණුම් හරහා මවන ලද මුදල් ලෙස දැක්වෙයි.

උදාහරණ ලෙස 2020 වර්ෂය අවසානයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු පද්ධතිය වෙත පැවති මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 8,973 ක් වූ අතර මුදල් සංචිත ප්‍රමාණය (බැංකු අතැති සහ මහ බැංකුවේ තබා ගත් සංචිත ප්‍රමාණය) රුපියල් බිලියන 484 ක් විය. එබැවින්, බැංකු සංචිත ප්‍රමාණය මුළු බැකු තැන්පතු වගකීම් මෙන් 5.4% ක් පමණක් විය (වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයක් වන මෙම කතුවරයාගේ මූල්‍ය ආර්ථික විද්‍යාව ග්‍රන්ථය බලන්න).

මහජනයා විසින් බැංකුවල මුදල් තැන්පත් කිරීමේ දී මෙන්ම බැංකු විසින් ණය සැපයීමේ දී තම අන්තර් මුදල් අවශ්‍යතාවන් සඳහා රාජ්‍ය නෝට්ටු මුදල් ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගන්නා බැවින් ආර්ථිකයේ සංසරණය වන මුළු මුදල් ප්‍රමාණය (බැංකු තැන්පතු සහ නෝට්ටු මුදල්) මුළු රාජ්‍ය නෝට්ටු මුදල් ප්‍රමාණය මත තීරණය වෙයි. එබැවින්, රන් මත පදනම් වූ බැංකු මුදල් ක්‍රමයේ සංචිත මුදල් ලෙස රන් භාවිතා වීමට සමාන ලෙස නූතන රාජ්‍ය මුදල් ක්‍රමයේ සංචිත මුදල් ලෙස රාජ්‍ය නෝට්ටු මුදල් භාවිතා වෙයි.

එබැවින්, ආර්ථිකයේ සංසරණය රාජ්‍ය නෝට්ටු මුදල් ප්‍රමාණය සංසරණයේ පවතින මුළු මුදල් ප්‍රමාණයෙන් සුළු ප්‍රතිශතයක් වෙයි. උදාහරණ ලෙස 2020 වර්ෂය අවසානයේ ශ්‍රී ලංකාවේ මහජනයා අත සංසරණයේ පැවති මුළු මුදල් ප්‍රමාණය වූ රුපියල් බිලියන 8,496 (M2 මුදල් නිර්වචනය) හා සැසඳීමේ දී ආර්ථිකයේ පැවති මුළු රාජ්‍ය නෝට්ටු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 835 ක් විය. එනම්, මුළු මුදල් ප්‍රමාණය මෙන් 9.8% කි. 

එබැවින්, යම් අවස්ථාවක තැන්පතු හිමියන් බහුතරයක් විසින් තම තැන්පතු මුදල් සියල්ල එකවර ඉල්ලා සිටිය හොත්, එය ගෙවීමට හැකියාවක් නොමැති බැවින් බැංකු කඩා වැටී මුදල් ක්‍රමය ද කඩා කඩා වැටීමේ අවදානමක් පවතී. එබැවින්, නූතන රාජ්‍ය නෝට්ටු මත පදනම් වූ මුදල් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ රජයේ හැකියාව නිසා නොව බැංකු කෙරෙහි පවතින මහජන විශ්වාසය මත ය.

ඩිජිටල් මුදල් ක්‍රමය

මුදලේ කාර්යයන් පහසුවෙන් කිරීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම සමඟ මුදල් පරිණාමය වර්තමානයේ ඩිජිටල් මුදල් ක්‍රමය දෙසට නැඹුරු වෙමින් පවතී. මෙය පළමුව බැංකු ගනුදෙනු සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම හඳුන්වා දීම හේතු කොට රාජ්‍ය මුදල් මත පදනම් වූ විද්‍යුත් මුදල් ගනුදෙනු ක්‍රමයන්/පරිපථයන් බිහි වීමත්, ඊට පසුව, පරිගණක ඉංජිනේරුවන් විසින් රාජ්‍ය මුදල්වලින් පිටත හෝ තරගකාරීව මුදලේ කාර්යයන් ඉටු කිරීමට හැකියාව ඇති පෞද්ගලික පරිගණක මුදල් හඳුන්වා දීමත් දක්වා ව්‍යාප්ත වී ඇත. ඩිජිටල් මුදල් ලෙස හැඳින් වෙන්නේ මෙම පරිගණක මුදල් ය.

මෙහි නව ප්‍රවණතාවය වන්නේ රජයන්/මහ බැංකු විසින් ද නෝට්ටු මුදල්වලට අමතරව තම රාජ්‍ය මුදල් ඩිජිටල් මාධ්‍යය හරහා නිකුත් කිරීමේ සහ ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වීම යි. එබැවින්, මුදලේ ඉදිරි පරිණාමය වනුයේ ඩිජිටල් මුදල් ක්‍රමය යි.

(ඊළඟ ලිපියෙන් ඩිජිටල් මුදල් පිළිබඳ ව ඉදිරිපත් කෙරේ.)


මූල්‍ය සාක්‍ෂරතාවය  II කොටස - 27.02.2022

මුදල් ගනුදෙනු ඥාණාන්විත ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා මුදල් හඳුනා ගනිමු.

මුදල් සහ ආර්ථික ගනුදෙනු

නූතන මූල්‍ය ආර්ථික ක්‍රමවල ලැබීම්, ගෙවීම්, වත්කම් සහ වගකීම් පිළිබඳ ගනුදෙනු සිදු කෙරෙන්නේ මුදල් හරහා ය. මෙහිදී, ඕනෑම ගනුදෙනුවක් මුදලින් මිල කොට එම වටිනාකමට සමාන මුදල් ප්‍රමාණයක් හුවමාරු කිරීමෙන් ගනුදෙනුව සිදු වෙයි. උදාහරණ ලෙස පුද්ගලයකු විසින් සුදු කැකුළු සහල් කිලෝ 5 ක් මිල දී ගැනීම සඳහා වෙළෙඳ සැලකට යන බව සිතමු. එහි සුදු කැකුළු කිලෝ එක රුපියල් 160 ක් වෙයි නම්, එහි මුළු වටිනාකම මුදලින් රුපියල් 800 කි. ඊට පසු ඔහු විසින් වෙළෙඳ සැල් හිමියාට රුපියල් 800 ක් ලබා දී සුදු කැකුළු සහල් කිලෝ 5 ලබා ගනී. මෙම ගනුදෙනුවේ දී සහල් සහ රුපියල් මුදල් එකිනෙකට වෙළෙඳාම් වී ඇත. එබැවින්, ඕනෑම ආර්ථික ගනුදෙනුවක් යනු මුදල් සහ වෙනත් නිෂ්පාදනයක් (භාණ්ඩයක්, සේවයක් හෝ වත්කමක්/වගකීමක්) අතර සිදු වන වෙළෙඳාමක් ලෙස දැක්විය හැකිය. එබැවින්, මුදල් ද වෙළෙඳ භාණ්ඩයකි.

එහෙත්, ප්‍රේෂණ ගනුදෙනුවක් ආර්ථික හෝ වෙළෙඳ ගනුදෙනුවක් නොවේ. ප්‍රේෂණ ගනුදෙනුවක් යනු යම් පුද්ගලයකු විසින් මුදල් හෝ වෙනත් භාණ්ඩ හෝ සේවා හෝ වත්කම් ප්‍රමාණයක් තවත් පුද්ගලයෙකුට නොමිලේ ලබා දීම යි. එහි මුදල් වටිනාකමක් පවතින අතර එය ප්‍රේෂණ ලබන්නාට ආදායම් හෝ වත්කම් ලැබීමක් වෙයි. එබැවින්, එය හුදෙක් ප්‍රේෂණ සැපයුම් කරුගේ ආදායම් හෝ වත්කම් ප්‍රමාණයක් ප්‍රතිව්‍යප්ත කිරීමක් හෝ පිරිවැයක් වෙයි. එබැවින්, මූල්‍ය ගනුදෙනු කළමනාකරණයේ දී ප්‍රේෂණ ගනුදෙනු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ එම ගනුදෙනු ආර්ථික ගනුදෙනු නොවන එහෙත් පිරිවැයක් සහිත පරිත්‍යාග ගනුදෙනු වන බැවිනි.

ඊට හේතුව, ප්‍රේෂණ හේතු කොට ප්‍රේෂණ සැපයුම් කරුගේ මෙන්ම ප්‍රේෂණ ලැබුම් කරුගේ ද ආර්ථික/මූල්‍ය තත්ත්වය අනවශ්‍ය ලෙස දුර්වල විය හැකි වීම යි. මීට හොඳම නිදසුන වනුයේ රාජ්‍ය ප්‍රේෂණ හේතු කොට මහජනයා රාජ්‍ය ප්‍රේෂණවලට ඇබ්බැහි වීම සහ රාජ්‍ය අයවැය සහ ණය අර්බුදයන් හට ගැනීම යි. 

එබැවින්, දියුණු වෙළෙඳපොළ ආර්ථිකයන් පවතින සංවර්ධිත රටවල ධනවතුන් විසින් තමන් වයස් ගත වන කාලයේ මුදල් ගනුදෙනු කළමනාකරණයේ කොටසක් වශයෙන් තම ධනය පරිත්‍යාග හෝ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිවල යෙදීම සාමාන්‍ය ලක්ෂණයක් වී ඇත. ඔවුන් විසින් ඒ සඳහා තම මූල්‍ය කළමනාකරණයේ කොටසක් ලෙස සමාජ ආරක්ෂණ/පරිත්‍යාග අරමුදල් පිහිටුවා කළමනාකරණය කෙරේ. 

එම අරමුදල් පහළ ආදායම් ලාභී ජනයාගේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල මෙන්ම පොදු සමාජ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ව්‍යාපෘතිවල යෙදීම දැකිය හැකිය. සමහරු විසින් මෙය තරගකාරී ලාභ පදනම් කර ගත් ධනවාදය හෝ වෙළෙඳපොළ ආර්ථිකයන් තුළ හුදෙක් මුදල් ලාභ හෝ මිල පදනම් නොවන ආදායම් ප්‍රතිව්‍යප්ති අරමුණ මත කෙරෙන සමාජ ආරක්ෂණ කාර්යයන් ද පවතින බවට නිදසුනක් ලෙස අර්ථ දැක්වෙයි.

මුදල් විසින් ඉටු කෙරෙන ආර්ථික කාර්යයන්

මහජනතාව, මූල්‍ය ආයතන, ව්‍යාපාරික ආයතන සහ රජයන් විසින් තම ගනුදෙනු අවශ්‍යතාවන් සඳහා විවිධාකාරයට මුදල් භාවිතා කෙරේ.

  • පළමුව, මුදල් හරහා භාණ්ඩ හා සේවා වෙළෙඳාම් කිරීම අප සැවොම දන්නා මුදල් භාවිතය යි. ඊට උදාහරණ ලෙස ශ්‍රමිකයකු විසින් තම ශ්‍රමය අළෙවි කොට එහි වටිනාකමට මුදලින් වැටුප් ලබා ගැනීම සහ නිෂ්පාදකයකු විසින් තම නිෂ්පාදනය අළෙවි කොට එහි වටිනාකමට මුදල් ලබා ගැනීම දැක්විය හැකිය. ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ඕනෑම කෙනෙකු විසින් දිනය පුරා මෙවැනි වෙළෙඳ ගනුදෙනුවල නිරත වන බව දැකිය හැකිය. මෙසේ භාණ්ඩ හා සේවා වෙළෙදාම සඳහා මුදල් භාවිතා කිරීමේ ක්‍රියාව මුදල් විසින් ඉටු කෙරෙන හුවමාරු මාධ්‍යය (Medium of Exchange) කාර්යය ලෙස දැක්වෙයි.
  • දෙවනුව, සමහර මුදල් ඉතුරුම් හිමියන් විසින් වියදම් සඳහා ආදායම් ප්‍රමාණවත් නොවන පාර්ශවයන් වෙත තම ඉතුරුම් මුදල් ප්‍රමාණයක් යම් කිසි කාලයක් සඳහා ණයට ලබා දී පොලියක් සමඟ එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා ද මුදල් භාවිතා කිරීම දැකිය හැකිය. බැංකු සහ මූල්‍ය ආයතන විසින් මෙය ව්‍යාපාරයක් ලෙස කෙරේ. ඔවුන් විසින් ඉතුරුම් හිමියන්ගෙන් පොලී ගෙවීම මත මුදල් ණයට ගෙන, එම මුදල් පොලී අය කිරීම මත මුදල් හිඟයෙන් පෙළෙන අයට ණය  ලබා දීම සඳහා භාවිතා කෙරේ. මෙසේ මුදල් හරහා ණය ගනුදෙනු කිරීමේ ක්‍රියාව මුදල් විසින් ඉටු කෙරෙන කල්පසු වූ ගෙවුම් මාධ්‍යය (Medium of Deferred Payment) කාර්යය ලෙස දැක්වෙයි. මෙය මුදලේ ආයෝජන කාර්යය ලෙස ද දැක්විය හැකිය. ලෝකයේ බැංකු සහ මූල්‍ය ආයතන ව්‍යාපාරික පද්ධතිය පවතින්නේ මුදලේ මෙම ආයෝජන කාර්යය මත ය.

        මුදලේ මෙම ආයෝජන කාර්යය හේතු කොට පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරික ආයතනයකට            හෝ  රජයකට තමන් වෙත මුදල් ඉතුරුම් නොමැති වුව ද, මුදල් ණයට ගෙන ව්‍යාපාරික                    කටයුතු කිරීම මගින් රැකියා සහ මුදල් ආදායම් ජනිත කළ හැකිය. එසේම, නූතන ආර්ථික                ක්‍රමවල මුදල් ජනිත වීම ණය හරහා සිදු වීම දැකිය හැකිය. එබැවින්, නූතන වෙළෙඳ                        ආර්ථිකයන්හි මුදලේ මෙම කාර්යය ඉතා ප්‍රචලිත වී ඇත.

  • තෙවනුව, පුද්ගලයෙකුට තම ආදායමින් කොටසක් ඉතිරි කොට එය මුදලින් රැස් කර ගත හැකිය. එනම්, ධනය හෝ වත්කම් රැස් කිරීම සඳහා මුදල් භාවිතා කිරීම යි. මෙම ධනය යනු අනාගතයේ ඕනෑම විටක භාණ්ඩ හා සේවා මිල දී ගැනීම හෝ ආයෝජනය කිරීම හෝ වියදම් කිරීම සඳහා මුදල් තොගයක් පවත්වා ගැනීම යි. මෙසේ ධනය රැස් කිරීම සඳහා මුදල් භාවිතා කිරීමේ ක්‍රියාව මුදල් විසින් ඉටු කෙරෙන ද්‍රවශීල වත්කම් සන්නිධිය (Liquid Store of Wealth) කාර්යය ලෙස දැක්වෙයි. මෙය මූල්‍ය විශ්ලේෂණවල දැක්වෙන ප්‍රාග්ධනය හෝ සංචිත ලෙස සරලව දැක්විය හැකිය.

ඉහත දැක්වූ පළමු කාර්යයන් දෙකේ දී ඍජු මුදල් වෙළෙඳාමක් සිදු වන අතර තෙවැනි කාර්යයේ දී අනාගතයේ වෙළෙඳාම සඳහා මුදල් තොග රැස් කිරීමක් සිදු වෙයි.

මෙම සෑම වෙළෙඳ ගනුදෙනුවක දී ම ගනුදෙනුවේ වටිනාකම හෙවත් මිල මුදල් ඒකකය හරහා තීරණය කෙරේ. භාණ්ඩ හා සේවා මිල ගණන් සහ පොලී අනුපාතයන් යනු එම මිල ගණන් ය. වත්කම් සන්නිධිය කාර්යයේ දී පුද්ගලයකු මුහුණ දෙන මිල වන්නේ එම කාලය සඳහා එම මුදල් ණය දීමේ දී ලබා ගත හැකි පොලිය යි.

ඉහත දැක්වූ මුදල් වෙළෙඳාමට අමතරව දැකිය හැකි තවත් මුදල් වෙළෙඳාමක් වන්නේ විවිධ මුදල් වර්ග අතර සිදු වන වෙළෙඳාම යි. උදාහරණ ලෙස ඩොලර් සහ රුපියල් අතර වෙළෙඳාම දැක්විය හැකිය. මෙසේ මුදල් අතර වෙළෙඳාමක් සිදු වන්නේ රටක මුදලකින් ඉහත දැක්වූ මුදලේ කාර්යයන් විදේශ රටවල සිදු කිරීම සඳහා ය.

උදාහරණ ලෙස රුපියල් අළෙවි කොට ඩොලර් මිල දී ගන්නේ එමගින් විදේශ රටවලින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම, විදේශ රටවල ආයෝජනය කිරීම සහ විදේශ මුදල් වත්කම් සන්නිධියක් පවත්වා ගෙන යාම සඳහා ය. මෙහිදී, මුදල් අතර වෙළෙඳාම කෙරෙන මිල විනිමය අනුපාතය ලෙස හැඳින් වෙයි.

රටවල් ආර්ථික ගෝලීයකරනයට හසු වීම හේතු කොට ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජනය ව්‍යාප්ත වී ඇති බැවින් විදේශ මුදල් වෙළෙඳාම ඉතා ක්‍රියාශීලී වෙළෙඳාමක් වී ඇති අතර රටවල පොදුජන ජීවන තත්ත්වය ඒ මත දැඩි රැඳියාවක් දැකිය හැකිය. ඊට හොඳම උදාහරණය වනුයේ මෑතක සිට ඩොලර් හිඟය හේතු කොට ශ්‍රී ලංකා ආර්ථිකය සහ පොදු ජනයා මුහුණ දෙන උග්‍ර ජීවන ගැටළු ය.

ඉහත දැක්වූ මුදලේ කාර්යයන් කිරීම සඳහා පොදුවේ පිළි ගැනෙන ඕනෑම දෙයක් හෝ මාධ්‍යයක් මුදල් ලෙස අර්ථ දැක්වෙයි. සාමාන්‍යයෙන් විනිමය මාධ්‍යයක් ලෙස පිළි ගැනෙන මුදලක් මුදල්වල අනෙක් කාර්යයන් සඳහා ද පිළි ගැනෙන බව දැකිය හැකිය. එබැවින්, බොහෝ රටවල මුදල් වර්ග කිහිපයක් භාවිතා වන බව දැකිය හැකිය. 

උදාහරණ ලෙස සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත රටවල දේශීය වලංගු මුදලට අමතරව ඩොලර් වැනි ජාත්‍යන්තර සංචිත මුදල් ද මුදලේ කාර්යයන් ඉටු කිරීම සඳහා භාවිතා කෙරේ. සමහර රටවල දේශීය මුදල් පිළි ගැනීම දුර්වල වී විදේශ සංචිත මුදල් පිළි ගැනීමට පෙළඹීමක් දැකිය හැකිය. නීතියෙන් වලංගු මුදල් නොවන පෞද්ගලික පාර්ශවයන් විසින් නිකුත් කෙරෙන මුදල් ද පිළි ගැනෙන සමාජයන් ලෝකයේ දැකිය හැකිය. එබැවින්, මුදල් කළමනාකරණයේ දී පොදු පිළි ගැනීමක් ඇති ඉතා විශ්වාසී මුදල් තෝරා ගැනීම සඳහා දැනුමක් තිබීම ප්‍රයෝජනවත් වෙයි. 

මුදල් වෙළෙඳාම  සහ මුදල් කළමනාකරණය

එබැවින්, සෑම ආර්ථික ගනුදෙනුවක්ම මුදලේ කාර්යයන් පදනම් කර ගෙන මුදල් වෙළෙඳාම හරහා සිදු කෙරෙන බැවින් ඒ සඳහා මුදල් කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ දැනුම ඉතා වැදගත් වෙයි. එහෙත්, මුදල් කළමනාකරණය කිරීම සඳහා සකසන ලද පොදුවේ භාවිතා කළ හැකි ගණිතමය සුත්‍රයක් නොමැත. එබැවින්, රජයන් ඇතුළු බොහෝ පාර්ශවයන් බංකොලොත් භාවයට පත් වන්නේ මෙම මූල්‍ය කළමනාකරණය අසමත් වීමෙනි.

මුදල් කළමනාකරණය යනු ආර්ථික ඉලක්ක ඉටු කර ගැනීම සඳහා මුදලේ කාර්යයන් භාවිතා කිරීම පිණිස මුදල් වෙළෙඳාම පවත්වා ගන්නා ආකාරය බව සරලව දැක්විය හැකිය. උදාහරණ ලෙස තම ව්‍යාපාරය ප්‍රසාරණය කිරීම සඳහා මුදල්/වත්කම් සන්නිධියක් නොමැති පුද්ගලයකු විසින් ණය ගැනීම හරහා ව්‍යාපාරය ප්‍රසාරණය කොට වත්කම් සන්නිධියක් ජනිත කිරීමට සමත් විය හැකිය. මෙහිදී, ණය කළමනාකරණය හෙවත් මුදලේ කල් පසුවූ ගෙවුම් මාධ්‍යය කළමනාකරණය කිරීම වැදගත් වෙයි. එහෙත්, ණය කළමනාකරණය ඥාණාන්විත ලෙස සිදු නොවුව හොත් ඔහු ණය උගුලකට හසු වී බංකොලොත් විය හැකිය.

එබැවින්, සෑම කෙනෙකු විසින් එදිනෙදා නිරත වන්නේ තම ජීවිකාව කර ගෙන යාම සඳහා මුදල් භාවිතා කිරීම පිණිස විවිධාකාරයේ මුදල් වෙළෙඳාම් කිරීම යි. එහෙත්, මුදල් වෙළෙඳාම අවදානම් රාශියකින් යුක්ත වෙයි. එබැවින්, මෙම අවදානම් හඳුනා ගෙන තම මුදල් වෙළෙඳාම කළමනාකරණය කර ගැනීමට දැනුමක් තිබිය යුතුය. එසේ නොමැති වූ විට ආර්ථික බංකොලොත් භාවයට මුහුණ දෙනු ඇත. ඕනෑම කුටුම්බ හෝ ව්‍යාපාරික හෝ ආර්ථික බංකොලොත් භාවයක් පිටු පස මූල්‍ය කළමනාකරණ අකාර්යක්ෂමතාවය නිසැකවම දැකිය හැකිය. බංකොලොත් භාවය යනු ණය ගෙවීමට ප්‍රමාණවත් මුදල් වත්කම්/සංචිත තොගයක් හෙවත් ප්‍රාග්ධනයක් නොමැති වීම ලෙස සරලව දැක්විය හැකිය.

(ඊළඟ ලිපියෙන් නූතන මුදල් වර්ගයන් සහ ඒවා පිළිබඳ නීතිමය පසුබිම ඉදිරිපත් කෙරේ.)


මූල්‍ය සාක්‍ෂරතාවය  කොටස - 12.02.2022

මූල්‍ය ගනුදෙනු සහ මූල්‍ය සාක්‍ෂරතාවය හඳුනා ගැනීම 



මේ දිනවල පොදු ජනතාව දැඩි ජීවන හෝ ආර්ථික කම්කටොළුවලට මුහුණ දෙන බව නොරහසකි. ඊට මූලික හේතුව ලෙස රාජ්‍ය අයවැය, ණය සහ විදේශ මුදල් සංචිත කළමනාකරණය පිළිබඳ මූල්‍ය සාක්‍ෂරතාවය අදාළ රාජ්‍ය අධිකාරීන් වෙත නොමැති වීම දැක්විය හැකිය.

කුටුම්බයක අයවැය එයට දැරිය හැකි ලෙස ක්‍රමවත්ව කළමනාකරණය කිරීමේ දැනුම ගෘහ මූලිකයාට නොමැති විට කුටුම්බය ණය උගුලකට හසු වීමෙන් එහි සියළු සාමාජිකයන් අසරණ තත්ත්වයට පත් වන බව රහසක් නොවේ.

එසේම, අධික පොලී හෝ ලාභ ප්‍රමාණයක් බලපොරොත්තුවෙන් නිසි ඇගයීමක් හෝ වැටහීමක් නොමැතිව තම මුදල් ආයෝජනය කිරීමෙන් අසරණ වන කුටුම්බයන් පිළිබද ව ද විටින් විට අසන්නට ලැබේ. රාජ්‍ය අධිකාරීන් විසින් බලපත්‍රය ලබා දී අධීක්ෂණය කෙරෙන බැංකු සහ මූල්‍ය ව්‍යාපාරික ආයතනවල තැන්පත් සහ ආයෝජනය කෙරෙන මුදල් පවා අහිමි වීමෙන් දුකට පත් වන පවුල් පිළිබඳ ව ද වාර්තා පවතී. එසේ පවුල් අසරණ වන්නේ ඔවුන්ගේ මූල්‍ය සාක්‍ෂරතාවය දුර්වල තත්ත්වයක පැවතීම නිසා ය.

එසේම, ව්‍යාපාරික ආයතන, මූල්‍ය සමාගම් සහ බැංකු වැනි ආයතන ද බංකොලොත් වීමට හේතුව එම ආයතන කළමනාකරණය කිරීමට අවශ්‍ය මූල්‍ය සාක්‍ෂරතාවය අදාළ කළමනාකරුවන් වෙත ප්‍රමාණවත් මට්ටමකින් නොමැති වීම යි. බොහෝ ආයතනයන්හි මූල්‍ය වංචාවන් සිදු සිදු වී බංකොලොත් භාවයට පත් වන්නේ මූල්‍ය සාක්‍ෂරතාවය නොමැති වීමෙනි.

මූල්‍ය සාක්‍ෂරතාවය හඳුනා ගැනීම

බොහෝ විට මූල්‍ය සාක්‍ෂරතාවය යනු මුදල් ණයට දීම හෝ තැන්පත් කිරීම වැනි මුදල් ආයෝජනයන් අවදානම්වලින් ආරක්ෂාකාරීව පවත්වා ගෙන යාමට අවශ්‍ය දැනුම ලෙස අර්ථකථනය කිරීමට පෙළඹීමක් පවතී.

එය අවබෝධ කර ගැනීම සඳහා පහත දැක්වෙන මූල්‍ය ගනුදෙනු දෙස බලමු.

  • ග්‍රාමීය සමුපකාර බැංකු ශාඛාවක මුදල් තැන්පත් කිරීම
  • නගරයේ බැංකුවක මුදල් තැන්පත් කිරීම
  • නගරයේ මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කිරීම
  • බැංකුවක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරයක මුදල් ආයෝජනය කිරීම
  • කොටස් බ්‍රෝකර් කෙනෙකු හරහා කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක කොටස්වල මුදල් ආයෝජනය කිරීම
  • කළුකඩයෙන් ඩොලර් මුදල් මිල දී ගෙන රැස් කිරීම
  • ඉඩම් කැබැල්ලක් මිල දී ගැනීම
  • නිවසේ අල්මාරියේ හෝ ඇදේ මෙට්ටය යට හෝ කොට්ටය ඇතුලේ මුදල් ඉතිරි කිරීම

මේවා මුදල් ඉතිරි කිරීම සහ ආයෝජනය පිළිබඳ විකල්ප මාර්ගයන් කිහිපයක් වෙයි. එසේම, එම ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සාක්‍ෂරතාවය හෝ දැනුම විවිධ මට්ටම්වල පවතී. එයට මූලික වශයෙන් එම ගනුදෙනුවල ස්වරුපය, එම ගනුදෙනු කරන ආකාරය, ඉන් ලැබෙන ප්‍රතිලාභයන්, එහි ඇති අවදානම් සහ එම අවදානම් දැරීමට ඇති කැමැත්ත පිළිබඳ දැනුම අඩංගු වනු ඇත.

එම දැනුම කියවීම සහ අත්දැකීම් තුළින් කාලයක් පුරා රැස් කර ගත යුතු දැනුමකි. උදාහරණ ලෙස අල්මාරියේ මුදල් ඉතුරු කොට, පසුව එම මුදල් ග්‍රාමීය බැංකුවේ තැන්පත් කොට, ඊට පසුව කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම දක්වා විවිධ මූල්‍ය සාක්‍ෂරතා මට්ටම්වලට ලඟා වන පුද්ගලයන් දැකිය හැකිය.

පුද්ගලයෙකුගේ මූල්‍ය සාක්‍ෂරතාවය ආරම්භ වන්නේ ළමා වියේ දී ය. එහි පළමු පියවර වන්නේ මුදල් කාසි සහ නෝට්ටු හඳුනා ගැනීම සහ ඒවා භාණ්ඩ හා සේවාවන් මිල ගැනීමට භාවිතා කිරීමට පළපුරුද්ද ලබා ගැනීම යි. ඒ සඳහා සරල අංක ගණනය පිළිබඳ දැනුම උපකාරී වනු ඇත. එසේ කාසි හ නෝට්ටු පිළිබඳ ව පින්තූර හරහා ළමයින්ට දැනුම ලබා දීම පාසැල් පංති කාමරවල දී පවා සිදු කෙරේ. දෙවැනි පියවර වන්නේ  මුදල් වියදම් කිරීම සඳහා ළමයින් විසින් දෙමව්පියන්ට උදව් වීම යි.

උදාහරණ ලෙස ළමයකු විසින් අසල කඩයට ගොස් දෙමව්පියන් විසින් දෙන ලද උපදෙස් අනුව සුළු පරිභෝජන භාණ්ඩයන් කිහිපයක් මිල දී ගෙන ඉතිරි මුදල් නිවැරදි ලෙස ආපසු දෙමව්පියන් වෙත ලබා දීම යි. එහෙත්, ළමයා විසින් ඉතිරි මුදලින් තමාට අවශ්‍ය දෙයක් හදිසියේ මිල දී ගැනීම හෝ ඉතිරි මුදලින් කොටසක් තමා වෙත රඳවා ගැනීම හෝ කෙරේ නම්, එය දෙමව්පියන් විසින් එම අවස්ථාවේ ළමයාගෙන් අපේක්ෂා කළ මූල්‍ය සාක්‍ෂරතාවයට එහා ගිය මූල්‍ය ගනුදෙනුවකි. එම ක්‍රියාවේ ප්‍රතිලාභ මෙන්ම අවදානම් ද පවතී.

එහෙත්, මූල්‍ය සාක්‍ෂරතාවය යනු ඊට වඩා පුළුල් පරාසයක කෙරෙන මුදල් ගනුදෙනු පිළිබඳ දැනුමකි. එය තම මුදල් ගනුදෙනු පරිමාව සහ ප්‍රවාහය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ආයතනයෙන් ආයතනයට වෙනස් වනු ඇත.

මූල්‍ය සාක්‍ෂරතාවයට  ආවරණය වන මූල්‍ය ගනුදෙනු - මූල්‍ය ප්‍රවාහයන් සහ මූල්‍ය තොගයන්

මුදල් ගනුදෙනු යනු මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් පිළිබඳ ගනුදෙනු වෙයි. පුද්ගලයකු හෝ ආයතනයක් විසින් එදිනෙදා නිරතවන මුදල් ගනුදෙනු දෙස බලන විට ඒවා ප්‍රධාන කාණ්ඩයන් කිහිපයකට බෙදා අවබෝධ කර ගත හැකිය.

  • මුදල් ලැබීම් - ආදායම, ණය ගැනීම්, ප්‍රදානයන්

  • මුදල් ගෙවීම් - පරිභෝජන වියදම්, ණය ගෙවීම් (මුදල සහ පොලිය), ප්‍රදානයන්, ඉතිරි කිරීම/ආයෝජනය

  • මූල්‍ය තොගයන් - ණය තොගය හෝ මූල්‍ය වගකීම්, වත්කම් තොගය

මුදල් ලැබීම් සහ ගෙවීම් විවිධ කාල වෙලාවල දී සිදු වුව ද, ඒවා යම්කිසි කාල පරිච්ඡේද පදනමකින් සිදු වන මුදල් ප්‍රවාහයක් ලෙස විග්‍රහ කෙරේ, එනම් මුදල් ලැබීම් ප්‍රවාහය සහ මුදල් ගෙවීම් ප්‍රවාහය ලෙස ය. එය දෛනික, මාසික, කාර්තු සහ වාර්ෂික පදනමකින් විශ්ලේෂණය කළ හැකිය. මුදල් ප්‍රවාහයක් යනු කාලය පුරා වරින් වර ගලා යන වටිනාකමකි. උදාහරණ ලෙස පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ආදායම ලැබීම දෛනික හෝ මාසිකව අඛණ්ඩව සිදු වෙයි. එහෙත්, එහි වටිනාකම හෙවත් ප්‍රමාණය විචලනය විය හැකිය.

මූල්‍ය ගනුදෙනුවල දී හමුවන අනෙක් ගනුදෙනු ස්වරුපය වන්නේ මූල්‍ය තොගයන් ය. ණය සහ ආයෝජන වැනි වත්කම් සහ වගකීම් මූල්‍ය තොගයන් කාණ්ඩයට අයත් වෙයි. උදාහරණ ලෙස වරින් වර ණය ලබා ගැනීම තුළින් යම් කාලයක් තුළ මුදල් ලැබීම් ප්‍රවාහයක් හට ගත්ත ද, එම ණය එකතු වීම තුළින් කාලය අවසානයේ ගෙවීමට ඇති ණය තොගයක් ජනිත වෙයි. එම ණය තොගය ශුද්ධ ණය ගැනීම (එනම්, නව ණය ගැනීම සහ ණය ගෙවීම අතර වෙනස) හරහා වෙනස් වනු ඇත. එසේම, නියමිත පරිදි ණය ආපසු ගෙවීම සඳහා මූල්‍ය ගෙවීම් ප්‍රවාහයක් ද හට ගනු ඇත. 

මීට ප්‍රතිවිරුද්ධව, මුදල් ආයෝජනය කිරීමේ දී වත්කම් තොගයක් ජනිත වෙයි. එය කලින් කලට කෙරෙන ශුද්ධ ආයෝජන ප්‍රමාණය අනුව විචලනය වනු ඇත. එම වත්කම්වලින් ලැබෙන ආදායම් තුළින් මූල්‍ය ලැබීම් ප්‍රවාහයක් ජනිත වන අතර වත්කම්වලින් සිදු වන පාඩු හේතු කොට මූල්‍ය ගෙවීම් ප්‍රවාහයක් ජනිත වනු ඇත. 

එබැවින්, ඉහත දැක්වූ මූල්‍ය ප්‍රවාහයන් සහ මූල්‍ය තොගයන් අතර විවිධාකාරයේ අන්තර් සබඳතාවන් පවතී. ඒ අනුව, පුද්ගලයන්, කුටුම්බයන්, ආයතන සහ රජයන් විසින් කෙරෙන මූල්‍ය ගනුදෙනු මූල්‍ය ප්‍රවාහයන් සහ මූල්‍ය තොගයන් හරහා සක්‍රීය ලෙස සිදු වනු ඇත.

මූල්‍ය සාක්‍ෂරතාවය පිළිබඳ සරල අර්ථ දැක්වීම

පුද්ගලයකු හෝ ආයතනයක් විසින් ඉහත දැක්වූ කාණ්ඩයන් යටතේ කෙරෙන විවිධ මුදල් ලැබීම් සහ ගෙවීම් ප්‍රවාහයන් සහ මූල්‍ය තොගයන් පිළිබඳ ගනුදෙනු තමන්ට දැරිය නොහැකි මූල්‍ය ආතතියක් ඇති නොවන පරිදි ඥාණාන්විත ලෙස (විචක්ෂණ කාරී ලෙස) කළමනාකරණය කර ගැනීමේ දැනුම මූල්‍ය සාක්‍ෂරතාවය ලෙස සරලව දැක්විය හැකිය.

එවැනි දැනුමක් නොමැති විට ආදායමට වඩා වැඩි වේගයකින් වියදම ඉහළ යාම තුළින් පුද්ගලයකු හෝ ආයතනයක් තමාට දැරිය නොහැකි මූල්‍ය ගනුදෙනු ප්‍රවාහයකට මැදි වී ණය අර්බුදයකට මුහුණ දෙනු ඇත. ණය ගැනීමට සිදු වන්නේ ලැබීම්වලට වඩා ගෙවීම් ඉහළ යාම හේතු කොට ගෙන ය.

ණය ගැනීම යනු අයෝග්‍ය හෝ ප්‍රතික්‍ෂේප කළ යුතු මූල්‍ය ගනුදෙනුවක් නොවේ. ණය ලබා ගෙන එම අරමුදල් ඥාණාන්විත ලෙස ආයෝජනය සහ පරිහරණය කිරීම තුළින් ණය ආපසු ගෙවා ශුද්ධ ආදායම් ප්‍රවාහයක් ජනිත කෙරෙන පරිදි ණය කළමනාකරණය කිරීම නූතන මූල්‍ය ආර්ථික ලෝකයේ පිළි ගත් ආර්ථික හෝ ව්‍යාපාරික පරිචයක් වෙයි.

එහෙත්, ලැබීම් සහ ගෙවීම් හිඟය තමන්ට දැරිය හැකි මට්ටමකට පාලනය නොකළ හොත් තව තවත් ණය ගැනීමට සිදු වීම තුළින් ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට පත් වනු ඇත. එය ණය අර්බුදයක් හෝ උගුලක් ලෙස දැක්වෙයි. එසේ ණය පැහැර හැරීමේ තත්ත්වය මූල්‍ය බංකොලොත් භාවයට ලෙස දැක්විය හැකිය.

එසේම, ලැබීම් සහ ගෙවීම් අතිරික්තය ඥාණාන්විත ලෙස ආයෝජන වත්කම්හි කළමනාකරණය කළ යුතුය. අවදානම් අධික වත්කම්වල මුදල් ආයෝජනය කිරීම තුළින් විශාල අලාභයන් හට ගැනීම හරහා ද මූල්‍ය බංකොලොත් භාවයට පත් විය හැකිය.

ඒ අනුව, මූල්‍ය සාක්‍ෂරතාවය තුළින් පුද්ගලයෙකුට හෝ පවුලකට හෝ ආයතනයකට තම මූල්‍ය ප්‍රවාහයන් සහ තොගයන් විචක්ෂණ කාරී ලෙස කළමනාකරණය කිරීම තුළින් ගුණාත්මක බවින් යුතු තිරසාර ලාභ ප්‍රවාහයක් සහ ශුද්ධ ආයෝජන/වත්කම් තොගයක් ගොඩ නැගීමට සහ පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

මෙහිදී, මූල්‍ය ගනුදෙනු පිළිබඳ විස්තර වාර්තා පවත්වා ගැනීම ද මූල්‍ය සාක්‍ෂරතාවයේ කොටසක් වෙයි. එම මූල්‍ය වාර්තා කුටුම්බයක ගෘහ මූලිකයා විසින් මතකයේ පවත්වා ගැනීම සහ අභ්‍යාස පොතක එදිනෙදා පවත්වා ගෙන යන වාර්තාවල සිට විශාල ව්‍යාපාරික ආයතනයක් විසින් ගණකාධිකාරී වරුන් සහ විගණක වරුන්ගේ සේවය ලබා ගෙන ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිති අනුව පරිගණක ඇසුරින් පවත්වා ගෙන යන මූල්‍ය වාර්තා දක්වා වෙනස් වනු ඇත. ඊට හේතුව, අදාළ ව්‍යාපාරික කටයුතු සහ මූල්‍ය ප්‍රවාහයන්හි පවතින විවිධත්වය සහ සංකීර්ණත්වය යි.

මෙහිදී, අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ එම මූල්‍ය වාර්තා නිවැරදි ලෙස පවත්වා ගත යුතු බව යි. එසේ නොවේ නම් අදාළ මූල්‍ය ප්‍රවාහයන්හි සැබෑ තත්ත්වය ගණනය සහ ඇගයීම කිරීමට නොහැකි වීම තුළින් පුද්ගලයා හෝ කුටුම්බය හෝ ආයතනය නොදැනීම බංකොලොත් වනු ඇත. බොහෝ කුටුම්බයන්, ව්‍යාපාරික ආයතනයන් මෙන්ම රජයන් ද එසේ බංකොලොත් වන බවට ඕනෑ තරම් සැබෑ තොරතුරු පවතී.

සෑම මූල්‍ය ගනුදෙනුවක් සඳහා පුද්ගලයන් රාශියක් සහභාගී වන අතර ඔවුන් සියළු දෙනා විසින් තම ස්වාර්ථය පිණිස තෘෂ්ණාවෙන් ක්‍රියා කෙරේ. එබැවින්, සෑම ගනුදෙනුවක්ම ලාභ හෝ ප්‍රතිලාභ උපරිම කිරීමේ අරමුණ මත විවිධාකාරයේ අවදානම් ගැනීම මත පදනම් වී සිදු කෙරේ. එබැවින්, පුද්ගලයන්ගේ තෘෂ්ණාව, ඔවුන් විසින් ගනු ලබන අවදානම් සහ එමගින් අපේක්ෂිත ප්‍රතිලාභ තම හැකියාවන්ට යෝග්‍ය වන පරිදි තිරසාර මට්ටමක සංකලනයක් පවත්වා ගැනීම සඳහා කළමනාකරණය කළ යුතු අතර එම කළමනාකරණ කාර්යයට මූල්‍ය සාක්‍ෂරතාවය මහත් සේ උපකාරී වනු ඇත. 

මෙම කළමනාකරණය මූල්‍ය ගනුදෙනුවල අතීත කාර්යසාධනය සැලකිල්ලට ගෙන එහි අනාගත කාර්යසාධනය තිරසාර කර ගැනීමේ ඉලක්කයන් මත පදනම් වනු ඇත. එබැවින්, මූල්‍ය ගනුදෙනු කළමනාකරණය යනු මූල්‍ය සාක්‍ෂරතාවය මත පදනම් වන කාර්යයක් බව කිව හැකිය. මෙය ඕනෑම පරිමාණයක ව්‍යාපාරික ආයතනයන්ට සහ රජයන්ට ද පොදු වූ කාරණයකි.

(ඊළඟ කලාපවලින් මූල්‍ය සාක්‍ෂරතාවය වර්ධනය කර ගැනීමට උපකාරී වන තොරතුරු රැසක් ඉදිරිපත් කෙරේ.)

පි සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි