ඩිජිටල් මුදල් ප්‍රවේශමෙන් - මූල්‍ය සාක්‍ෂරතාවය (Financial Literacy) IV කොටස

 



මූල්‍ය සාක්‍ෂරතාවය (Financial Literacy) IV කොටස - මුදල් ගනුදෙනු ඥාණාන්විත ලෙස කළමනාකරණය කර ගැනීමේ දැනුම වඩවා ගනිමු

පසුගිය මාර්තු මස 02 දින නිකුත් ලද ලිපියෙන් පුරාණයේ සිට මුදල් පරිණාමය වී ඇති ආකාරය පැහැදිලි කරන ලදි. ඒ අනුවවර්තමානයේ භාවිතා වන මුදල් රාජ්‍ය/මහ බැංකු නෝට්ටු මුදල් (කාසි ඇතුළු) (Currency Notes)විද්‍යුත් මුදල් (Electronic Money) සහ ඩිජිටල්/ක්‍රිප්ටො මුදල් (Digital Money/Cryptocurrency) ලෙස පුළුල් කාණ්ඩ තුනක් යටතේ හඳුනා ගත හැකිය.

කාසි සහ නෝට්ටු මුදල් ගනුදෙනු දෙනු කිරීම සඳහා අපි සියළු දෙනාට පුරුද්දක් පවතී. අන්ධ පුද්ගලයන්ට වුවත් භාවිතා කිරීමට හැකි වන ලෙස ඒවායේ සලකුණු පවතී. බැංකු සහ මුදල් ගනුදෙනු සඳහා බැංකු විසින් විද්‍යුත් පරිපථ/වේදිකාවන් භාවිතා කිරීම සමඟ විද්‍යුත් මුදල් බිහි විය. විද්‍යුත් මුදල් ද ඩිජිටල් හෙවත් ගිණුම් ගත ඉලක්කම් ස්වරූපයෙන් ගනුදෙනු කෙරෙන බැවින් ඩිගිටල් මුදල් කාණ්ඩය යටතේ හඳුනා ගත හැකිය.

එහෙත්විද්‍යුත් මුදල් ගනුදෙනු හුදෙක් රාජ්‍ය මුදල් ඒකකය පදනම් කර ගෙනඒවා නෝට්ටු මුදල්වලට 100% ක් පරිවර්තනය කළ හැකි බවට ඇති විශ්වාසය මත ක්‍රියාත්මක වන අතර එහි ගනුදෙනු පද්ධතිය ඩිජිටල් මුදල් පද්ධතියට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙයි. බැංකු තැන්පතුවිද්‍යුත් හැඹිලිවිද්‍යුත් ගෙවුම් සහ පියවුම් ක්‍රමවේදයන් සහ ණය කාඩ්පත් වැනි ණය ක්‍රමයන් විද්‍යුත් මුදල් ක්‍රමයන් ලෙස දැක්විය හැකිය. එසේමඒවා හරහා ගනුදෙනු කෙරෙන මුදල් වටිනාකම් ද විද්‍යුත් මුදල් ලෙස දැක්විය හැකිය.

විද්‍යුත් මුදල්

බැංකු විසින් විද්‍යුත් ලේජරයන් හරහා බැංකු ගනුදෙනු කිරීම හේතු කොට විද්‍යුත් මුදල් බිහි විය. ඊට පෙරබැංකු ගනුදෙනු සිදු කෙරුනේ කඩදාසි ලෙජර් පොත් හරහා ය. එබැවින්එම ලෙජර් සටහන් හරහා ජනිත වී ගනුදෙනු වූ මුදල් බැංකු ගිණුම් මුදල් ලෙස දැක්විය හැකිය. උදාහරණ ලෙස පුද්ගලයකු විසින් තම බැංකු ගිණුමේ මුදල් ප්‍රමාණයක් තැන්පත් කළ විටබැංකුව විසින් එම මුදල් බැංකු ලේජරයේ තැන්පතු හිමියාගේ නමින් බැංකුවේ වගකීමක් ලෙස සටහන් කෙරේ.

තැන්පතු හිමියාට එම මුදල් වියදම් කිරීමට අවශ්‍ය වූ විටඔහු විසින් බැංකුව වෙත ගොස් තම ගිණුමෙන් මුදල් රාජ්‍ය මුදල් නෝට්ටු ස්වරූපයෙන් ආපසු ලබා ගෙන තම වියදම් සඳහා යොදා ගැනේ. එහෙත්බැංකු විසින් තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් හරහා ක්‍රියාත්මක වන විද්‍යුත් ලෙජර් භාවිතය ආරම්භ වීමත් සමඟ මුදල් නෝට්ටු ලෙස ආපසු ගැනීමකින් තොරව බැංකු ගිණුම් හරහා ගනුදෙනු කිරීමට තැන්පතු හිමියන්ට හැකියාව ලැබිණ.

එබැවින්බැංකුවක බැංකු ශාඛාවන් සියල්ල එකට සම්බන්ධ වීමෙන් ඒකීය බැංකු හට ගැනීමත්බැංකු අතර මුදල් ගනුදෙනු කෙරෙන විද්‍යුත් ගෙවුම් සහ පියවුම් පද්ධති හඳුන්වා දීමත් සමඟ බැංකු පද්ධතියෙන් පිටතට නොගොස් මුදල් බැංකු අතර ප්‍රේෂණය හෝ සංසරණය වීමටත් හැකියාව ලැබිණ. එමගින්බැංකු ඒකාබද්ධතාවයක් හට ගැනින. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රඩෙබිට් කාඩ්ණය කාඩ් පත්අන්තර් ජාල බැංකු පහසුකම්ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය සහ තත්කාලීන පියවුම් පද්ධතිය වැනි විද්‍යුත් මුදල් ගනුදෙනු පද්ධති උපකාරී විය. එබැවින්බැංකු ගනුදෙනු කරුවෙකුට බැංකුව වෙත නොගොස් මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබී ඇත.

ණය ගැනීමේ දී වුව දබැංකුව විසින් අනුමත කෙරෙන ණය මුදල් ණය කරුගේ බැංකු ගිණුමට බැර කළ විටඔහුට එම මුදල් ඉහත දැක්වූ විද්‍යුත් ගෙවුම් පද්ධති හරහා ගෙවීම් සඳහා භාවිතා කළ හැකිය. ණය කාඩ්පත් ද එවැනි ණය ක්‍රමයකි. මෙහිදීබැංකුව විසින් ගනුදෙනු කරුට උපරිම ණය සීමාවකට යටත්ව ණය මුදලක් අනුමත කරන අතර ඊට අදාළ විද්‍යුත් ණය කාඩ්පත භාවිතා කිරීම හරහා එම ණය මුදල් උපයෝජනය කළ හැකිය. මාසිකව නියමිත දිනයේ උපයෝජනය කළ ණය ප්‍රමාණය බැංකුව වෙත ආපසු ගෙවීමෙන් ණය සීමාව අඛණ්ඩව ණය කාඩ්පත වලංගු කාලය පුරා භාවිතා කළ හැකිය.

ඒ අනුවබැංකු තැන්පතුණය කාඩ්පත් සිමාවන්විද්‍යුත් හැඹිලි වැනි ගිණුම්වල පවතින මුදල් සහ විද්‍යුත් ගෙවුම් පද්ධති හරහා ගනුදෙනු වන මුදල් විද්‍යුත් මුදල් ලෙස හැඳින් විය හැකිය. ගනුදෙනු කරුවන් විසින් මෙම මුදල් අවශ්‍ය ඕනෑ විටක 100% ක් නෝට්ටු මුදල් බවට පත් කළ හැකිය යන විශ්වාසය මත ගනුදෙනු කෙරේ.

විද්‍යුත් මුදල් හේතු කොට රාජ්‍ය නෝට්ටු මුදල් ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක මුදල් සංසරණයක් ආර්ථිකයෙහි හට ගනී. උදාහරණ ලෙස 2021 ජූනි මස අවසානයේ දී ශ්‍රී ලංකාවේ සංසරණය වූ කාසි හා නෝට්ටු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 950 ක් පමණ වූ අතර සංසරණයේ පැවති මුළු මුදල් ප්‍රමාණය (M2) රුපියල් බිලියන 9,136 ක් පමණ විය.

ක්‍රිප්ටො මුදල්

ක්‍රිප්ටො මුදල් (Cryptocurrency) යනු පරිගණක මෘදුකාංග හරහා ජනිත කොට වෙළෙඳාම් කෙරෙන පුද්ගලික විද්‍යුත් ආයෝජන වත්කම් කාණ්ඩයකි. ක්‍රිප්ටො මුදලක් යනු විද්‍යුත් ටෝකන් පතකි. රාජ්‍ය මුදල් නෝට්ටුවක් ද ටෝකන් පත්‍රයකි. එය රැස් කිරීම තුළින් වත්කම් රැස් කිරීමක් කෙරෙන අතර එය භාණ්ඩ හා සේවා වෙළෙඳාම සහ ණය ගනුදෙනු සඳහා භාවිතා කළ හැකිය. වෙළෙඳ ආයතන විසින් වට්ටම් සහ තෑගී සඳහා ලබා දෙන වවුචර් පත්‍රයන් ද මෙවැනි ටෝකන් පත්‍ර වෙයි. ඒවා ද මුදල් ලෙස භාවිතා කළ හැකිය.

විවිධ සමාගම් හෝ පුද්ගලයන් විසින් විවිධ නම්වලින් හඳුන්වා දී ඇති ක්‍රිප්ටො වත්කම්/මුදල් ඒකකයන් දැකිය හැකිය. දැනට එවැනි ක්‍රිප්ටො වත්කම් 18,000 ක් පමණ ලෝකයේ ගනුදෙනු වන බවත්එහි වෙළෙඳපොළ වටිනාමක ඩොලර් බිලියන 1,892 ක් පමණ වන බවත් වාර්තා වෙයි. මින් ඉතාමත් ප්‍රචලිත ක්‍රිප්ටො වත්කම වන්නේ බිට්කොයින් (Bitcoin) ය. එය 42% ක් පමණ වෙයි. එබැවින්ලෝකයේ භාවිතා වන රාජ්‍ය මුදල් සංසරණ ප්‍රමාණය සැලකීමේ දී ක්‍රිප්ටො මුදල් සංසරණය තවමත් ඉතා අල්ප වෙයි. උදාහරණ ලෙස ඇමෙරිකානු ඩොලර් මුදල් ප්‍රමාණය/සැපයුම පමණක් ඩොලර් බිලියන 21,840 ක් පමණ වෙයි.

එසේමක්‍රිප්ටො යනු මුදලේ සියළු කාර්යයන් ඉටු කිරීම සඳහා පිළි ගැනෙන මුදල් නොවවෙනත් ආයෝජන උපකරණයන් මෙන් වත්කම්/වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක් ලෙස සැලකේ. එසේමසමහර ක්‍රිප්ටො ඒකකයන් මූර්ත දේපල මිල දී ගැනීමේ දී ගෙවුම් මාධ්‍යයක් ලෙස පිළි ගැනේ. ආරම්භයේ බිට්කොයින් වැනි ක්‍රිප්ටො මුදල් ගෙවුම් හෝ විනිමය මාධ්‍යයක් ලෙස භාවිතා භාවිතා කිරීමට පෙළඹුමක්  ඇති වුව දඒ සඳහා පොදු පිළි ගැනීමක් තවමත් හට ගෙන නොමැති බැවින් ඒවා දැනට වටිනාකම රැස් කිරීමේ හෝ ආයෝජන මාධ්‍යයක් ලෙස ප්‍රචලිත වෙමින් පවතී.

ක්‍රිප්ටො මුදල් ප්‍රධාන කාණ්ඩයන් දෙකකට වෙන් කළ හැකිය. එනම්ස්ථායී කාසි (Stablecoins) සහ ක්‍රිප්ටො (Cryptos) ලෙසයි. ස්ථායී කාසි ගනුදෙනු සිදු වනුයේ එම කාසි නිෂ්පාදකයා විසින් ක්‍රියාත්මක කෙරෙන කේන්ද්‍රීය විද්‍යුත් ලේජර්යක් (Centralized Ledger) හරහා ය. එහෙත්ක්‍රිප්ටො ගනුදෙනු කිරීම සිදු වන්නේ පොදු හෝ ව්‍යාප්ත වූ විද්‍යුත් ලේජරයක් (Public/Distributed Ledger) හරහා ය. එම විද්‍යුත් වේදිකාව කණ්ඩායම් දාමය (Blockchain) ලෙස හැඳින් වෙයි.

කේන්ද්‍රීය විද්‍යුත් ලේජර්ය යනු බැංකුවක් වැනිය. බැංකුවේ ගනුදෙනු කරුවන් අතර මුදල් ගනුදෙනු සිදු වීම සිදු වන්නේ එම බැංකුවේ ඔවුන් සතු ගිණුම් හරහා ය. එහෙත්පොදු ලෙජරය යනු එම ලෙජරයට අදාළ ක්‍රිප්ටො මුදල් වර්ගය හිමියන්ට අවශ්‍ය පරිදි ඍජුව තත්කාලීනව එම මුදල් වෙළෙඳාම් කිරීමට හැකි විද්‍යුත් වේදිකාව යි. ඒ අනුවවෙළෙඳ ගනුදෙනුව එම අවස්ථාවේම අදාළ පාර්ශවයන් දෙකේ තත්කාලීන අනුමැතිය විද්‍යුත් වේදිකාව මත සිදු වෙයි. එහෙත්වර්තමාන විද්‍යුත් මුදල් ගනුදෙනු පද්ධතිය තුළ එවැනි පාර්ශව අනුමැතිය තත්කාලීනව සිදු නොවන අතර එය විවිධ මට්ටම්වල දී කාල පමාවක් සහිතව සිදු වෙයි.

  • ස්ථායී කාසි

ස්ථායී කාසියක් යනු යම් සුරැකුමක වටිනාකමට බද්ධ කොට නිකුත් කෙරෙන ක්‍රිප්ටො මුදලකි. එනම්ස්ථායී කාසි ඊට පදනම් වන වත්කමට පරිවර්තනය කළ හැකිය. එම වත්කම්වලට උදාහරණ ලෙස යම් රාජ්‍ය මුදල් නෝට්ටුසංවිධිත හුවමාරුවල අළෙවි වන භාණ්ඩ සහ වෙනත් ක්‍රිප්ටො මුදල් දැක්විය හැකිය. එහි අදහස වනුයේ ස්ථායී කාසි හිමියෙකුට අවශ්‍ය විට තම කාසි පවතින වෙළෙඳපොළ වටිනාකම මත පදනම් වත්කමට හුවමාරු කළ හැකි බව යි.

එබැවින්යම්කිසි ස්ථායී කාසි ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා ඊට අදාළ විද්‍යුත් වේදිකාවේ කාසි ගිණුමක් විවෘත කළ යුතුය. ඊට පසුව එම කාසියට අදාළ වත්කම හෝ පිළි ගත් රාජ්‍ය මුදලක් හරහා කාසිවලට අදාළ මිල හෝ වටිනාකම ගෙවීමෙන් අදාළ ස්ථායී කාසි ප්‍රමාණය එම ගිණුමට බැර කෙරේ. ස්ථායී කාසිවල වෙළෙඳපොළ මිල ගණන් ඊට අදාළ පදනම් වත්කමේ වෙළෙඳපොළ මිල අනුව වෙනස් වනු ඇත. එසේමස්ථායී කාසි හිමියන්ට කාසි මෙහෙයවුම් ආයතනය විසින් කාලීන පදනමක් මත පොලී ගෙවනු ලැබේ.

උදාහරණ ලෙස ඇමෙරිකාවේ ජේ පී මෝගන් චේස් බැංකුව විසින් නිකුත් කෙරෙන ජේ පී එම් කාසිය (JPM Coin) ඇමෙරිකන් ඩොලර් එකක් මත පදනම් වෙයි. එබැවින්ඕනෑම අයෝජකයෙකුට එම බැංකුවේ ජේ පී එම් කාසි ගිණුමක් විවෘත කොටඩොලර් මුදල් ගෙවීමෙන් ඊට සමාන ජේ පී එම් කාසි ප්‍රමාණයක් ගිණුමට ලබා ගත හැකිය. එම කාසි ගිණුම් හිමියන් අතර එම කාසි බැංකු ගිණුම් හරහා ගනුදෙනු කළ හැකිය. එසේමඑම කාසි අළෙවි කොට ඩොලර් වැනි රාජ්‍ය මුදලක් ලබා ගෙන එය ගෙවීම් සඳහා භාවිතා කළ හැකිය.

තවදගිණුමේ පවතින ජේ පී එම් කාසි ශේෂය සඳහා බැංකුව විසින් පොලී ගෙවනු ලැබේ. එම කාසි නිකුත් කිරීමෙන් බැංකුව විසින් රැස් කර ගන්නා ඩොලර් මුදල් ණය දීම වැනි වෙනත් ආදායම් ලැබෙන වත්කම් සඳහා යොදා ගැනීමෙන් බැංකුවට ලාභයක් ලැබේ. කාසි ගිණුම් සඳහා පොලී ගෙවීම එම ලාභ හරහා සිදු කෙරේ.

  • ක්‍රිප්ටො

මුලින් සඳහන් කළ පරිදි කණ්ඩායම් දාමය තාක්ෂණය හරහා පොදු විද්‍යුත් ලෙජරයක් තුළ ක්‍රිප්ටො ගනුදෙනු කෙරේ. වර්තමානයේඉතාම ප්‍රචලිත ක්‍රිප්ටො මුදල වන්නේ බිට්කොයින් ය. එතරියම් (Ethereum)ලයිට්කොයින් (Litecoin), බිට්කොයින් කෑෂ් (Bitcoin Cash), ස්ටේලර් (Stellar), ටෙදර් (Tether) සහ ඩොජ්කොයින් (Dogecoin) යනාදිය ජනප්‍රිය වෙමින් පවතින අනෙක් ක්‍රිප්ටො මුදල්වලින් කිහිපයක් වෙයි.

ස්ථායී කාසි මෙන් නිෂ්පාදකයාට හෝ සැපයුම් කරුට මනාප ලෙස ක්‍රිප්ටො නිකුත් නොකෙරේ. මෙහිදීක්‍රිප්ටො වේදිකාවේ මෘදුකාංගය තුළ තීරණය කෙරෙන ස්ථිර මුදල් එකක ප්‍රමාණයක් හෝ සැපයුමක් පවතී. එහෙත්ඉන් ගනුදෙනු සඳහා පොදු විද්‍යුත් ලෙජරයට ක්‍රිප්ටො ජනිත වන්නේ ආයෝජකයක් විසින් ඒවා කැණීම (Mining) හරහා ය. එම කැනීම අධි බලැති පරිගණක හරහා ගණිතමය විසඳුම් තුළින් සිදු වෙයි.

උදාහරණ ලෙස බිට්කොයින් ක්‍රිප්ටො වේදිකාව 2001 දී දියත් කෙරෙන විට නියම කරන ලද උපරිම කොයින් සැපයුම වන්නේ බිට්කොයින් ඒකක මිලියන 21 කි. ඉන් මේ දක්වා බිට්කොයින් ඒකක මිලියන 18.925 ක් පමණ කැනීම් කොට ඇති අතර ඒවා මෙම වේදිකාව හරහා වෙළෙඳාම් කෙරේ. එබැවින්ආයෝජකයන්ට කැණීමට අමතරව දැනට වේදිකාවේ බිට්කොයින් හිමියන්ගෙන් පවතින මිලට බිට්කොයින් මිල දී ගත හැකිය.

2001 දී බිට්කොයින් එකක් ඩොලර් එකක් ලෙස නියම කළ දබිට්කොයින් වේදිකාවේ එය පසුගිය නොවැම්බර් මස ඩොලර් 68,000 කට පමණ ඉහළ ගොස් වර්තමානයේ ඩොලර් 42,000 ක් පමණ දක්වා පහළ බැස ඇත. එනම්දැනට රුපියල් මිලියන 11.6 කට පමණ අළෙවි වන බව අන්තර් ජාලයේ දැක්වෙයි.

ක්‍රිප්ටො මුදල් ගනුදෙනු සඳහා ගෝලීය විද්‍යුත් ගෙවුම් සහ පියවුම් පද්ධතියක් ප්‍රවර්ධනය වෙමින් පවතී. එයට උදාහරණ ලෙස ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රබැංකුඅන්තර ජාල ගෙවුම් වේදිකාවන් සහ ක්‍රිප්ටො හුවමාරු සම්බන්ධ ජාලය දැක්විය හැකිය. ඒ අනුවඅන්තර් ජාලය හරහා තම බැංකු ගිණුමෙන් මුදල් ගෙවා තමන්ට කැමති ක්‍රිප්ටො මුදල් වර්ගවල ආයෝජනය කිරීමට සහ අළෙවියට හැකියාව ලැබී ඇත.

ස්ථායී කාසි මෙන් ක්‍රිප්ටො මුදල් ද වටිනාකම රැස් කිරීමේ හෝ ආයෝජන මෙවලමක් ලෙස ප්‍රචලිත වී ඇත. එසේමඉහල වටිනාකම් සහිත වත්කම් ගනුදෙනු සඳහා ගෙවුම් මාධ්‍යයක් ලෙස ද භාවිතා කෙරේ.

ක්‍රිප්ටො මුදල් නියාමනය

ක්‍රිප්ටො මුදල්වල නීතිමය තත්ත්වය සහ නියාමනය පිළිබඳ විවිධ වාර්තාවන් දැකිය හැකිය. එල් සැල්වදෝරය විසින් පසුගිය සැප්තැම්බර් මස ක්‍රිප්ටො මුදල් එහි නෛතික ගෙවුම් මාධ්‍යය ලෙස නීති ගත කර ඇත. ඒ අනුවරජය විසින් ක්‍රිප්ටො මුදල් ගනුදෙනු සඳහා වූ විද්‍යුත් හැඹිලියක් හඳුන්වා දී ඇති අතර ක්‍රිප්ටො ගනුදෙනු නගරයන් ප්‍රවර්ධනය කරමින් පවතී.

චීනය සහ ඉන්දියාව වැනි රටවල ක්‍රිප්ටො මුදල් භාවිතය තහනම් වෙයි. එහෙත්සියළු සංවර්ධිත රටවල ආයෝජන වත්කමක් ලෙස ක්‍රිප්ටො මුදල් නීතියෙන් පිළි ගැනේ. එබැවින්ක්‍රිප්ටො වත්කම් සඳහා බදු අය කිරීම ද සිදු කෙරේ. ඇමෙරිකාවේ හුවමාරුවල ක්‍රිප්ටො අනාගත ගිවිසුම් (ක්‍රිප්ටො ව්‍යුත්පන්න) ගනුදෙනු කෙරේ. එහෙත්ක්‍රිප්ටො මුදල් වෙළෙඳාම සිදු වන්නේ ඒ ඒ ක්‍රිප්ටො මුදලට අදාළ ක්‍රිප්ටො පොදු ලෙජරය හරහා ය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 අප්‍රේල් මස 21 දින නිකුත් කළ පුවත්පත් නිවේදනය තුළින් ක්‍රිප්ටො මුදල්/වත්කම් ගනුදෙනු සඳහා මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දී නොමැති අතර ක්‍රිප්ටො මුදල්/වත්කම් ගනුදෙනු පිළිබඳ නියාමන ආරක්ෂණයක් නොමැති බැවින් ක්‍රිප්ටො මුදල්/වත්කම් ආයෝජනයේ ඇති අධික අවදානම පිළිබඳ ව ප්‍රවේසම් කාරී වන ලෙස මහජනතාව වෙත අවවාද කොට ඇත.

එබැවින්ආයෝජනයක් වශයෙන් ක්‍රිප්ටො මුදල්/වත්කම් භාවිතය ශ්‍රී ලංකාවේ නීති විරෝධී බවක් වාර්තා නොවේ. එහෙත්පවතින නීති රාමුව අනුව මහ බැංකුවේ අවසරය නොමැතිව යම් මුදලක් හෝ ගෙවීම් සහ පියවුම් මාධ්‍යයක් ලෙස යම් උපකරණයක් හෝ ක්‍රමවේදයක් භාවිතා කිරීම නීති විරෝධී වෙයි.

ක්‍රිප්ටො මුදල් නීතිගත කිරීම පිළිබඳ නවතම උදාහරණය දැනට යුද්ධයකට මැදි වී සිටින යුක්රේනයෙන් සහ රුසියාවෙන් වාර්තා වෙයි. පසුගිය සතියේ යුද්ධයට සහ මානුෂ සහන කටයුතු සඳහා අරමුදල් රැස් කිරීමට උපකාරී වීම සඳහා යුක්රේන මහ බැංකුව විසින් ඉතාම විස්තීර්ණ ක්‍රිප්ටො මුදල් නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදි.

එසේමජාත්‍යන්තර ආර්ථික සම්බාධකයන් හේතු කොට රුසියාව ගෝලීය මූල්‍ය පද්ධතියෙන් කපා හැරීම හේතු කොට එහි දේශීය බැංකු සහ මූල්‍ය ගනුදෙනු කිරීමට පවා නොහැකි වී දැඩි ආර්ථික අර්බුදයක් හට ගෙන ඇත. ඩොලර් බිලියන 630 ක් පමණ වූ රුසියාවේ විදේශ සංචිත ප්‍රමාණයෙන් 50% ක් පමණ සම්බාධකවලට හසු වී අත්හිටු වීමත්, විදේශ ගෙවුම් පද්ධතියෙන් රුසියාව කපා හැරීමත් හේතු කොට රුසියාවේ සියළු අන්තර් ජාතික මූල්‍ය ගනුදෙනු නැවතී ඇති අතර විදේශ ණය සේවාකරණය ද වැලැක් වී ඇත.

එබැවින්රුසියාවේ ක්‍රිප්ටො මුදල් ගනුදෙනු බෙහෙවින් ජනප්‍රිය වීමට පටන් ගෙන ඇත. ඊට හේතුවක්‍රිප්ටො මුදල් ගනුදෙනු කෙරෙන පොදු විද්‍යුත් ලෙජර් වේදිකාවන් ගෝලීය නිල මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වන විද්‍යුත් ගනුදෙනු වේදිකාවන්ගෙන් සහ ජාත්‍යන්තර නියෝජන බැංකු ජාලයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන බැවිනි. එබැවින්ක්‍රිප්ටො මුදල් ගනුදෙනු කෙරෙහි රුසියාවට එරෙහිව සම්බාධකයන් පැනවීමට තවමත් නොහැකි වී ඇත.

එම තත්ත්වය තුළ රුසියානු මහ බැංකුව විසින් ද පසුගිය සතියේ බැංකුවලට ක්‍රිප්ටො මුදල් ගනුදෙනු බලපත්‍ර ලබා දීම ආරම්භ කොට ඇත. එසේමපවතින ගෝලීය ක්‍රිප්ටො මුදල් ගනුදෙනුවලට අමතරව නව ක්‍රිප්ටො මුදල් හඳුන්වා දීමට ද එමගින් අවසර දී ඇත. මීට මාසයකට පමණ පෙර රුසියානු ජනාධිපති විසින් මුදල් අමාත්‍යාංශය සමඟ එකතු වී ක්‍රිප්ටො මුදල් නියාමනයට ක්‍රියා කරන ලෙස දුන් උපදෙස්වලට මහ බැංකුව විරුද්ධ වුව දපවතින මූල්‍ය අර්බුදකාරී තත්ත්වය තුළ මහ බැංකු මුදල් නෝට්ටු ක්‍රමය කඩා වැටෙමින් පවතින බැවින් ක්‍රිප්ටො මුදල් ගනුදෙනු බලපත්‍ර ලබා දීම හැර වෙනත් විකල්පයක් රුසියානු මහ බැංකුවට නොවීය.

එබැවින්භූදේශපාලනික සහ ආර්ථික යුද්ධයන් රටවල් අතර ඉහළ යන විට එමගින් හට ගන්නා ගනුදෙනු දුෂ්කරතාවන්ට පිළියමක් වශයෙන් ක්‍රිප්ටො මුදල් භාවිතය ව්‍යාප්ත වීම දැකිය හැකිය. ක්‍රිප්ටො මුදල් භාවිතය පිළිබඳව රාජ්‍ය නියාමන අධිකාරීන් විසින් නිරන්තරයෙන් පළ කෙරෙන මැසිවිල්ල වනුයේ ඒවා නීති විරෝධී ව්‍යාපාරයන් සහ මුදල් විශුද්ධිකරණය සඳහා භාවිතා කෙරෙන බව යි.

උදාහරණ ලෙස පසුගිය වසරේ ඇමෙරිකාවේ ගෑස් බෙදා හැරීමේ නල පද්ධතිය ක්‍රියාත්මක වීම අවහිර කළ පරිගණක හැකර්වරුන් ඉල්ලා සිටි කප්පම ලබා දීම ක්‍රිප්ටො මුදලින් කිරීමට සිදු විය. ක්‍රිප්ටො මුදල් වේදිකාවන් බැංකු ගෙවුම් පද්ධතියට ද සම්බන්ධ වන බැවින් සහ ක්‍රිප්ටො මුදල් සහ විද්‍යුත් මුදල් අතර වෙළෙඳ ගනුදෙනු සිදු වන බැවින් ක්‍රිප්ටො මුදලින් කෙරෙන නීති විරෝධී ඉපයීම් නිල බැංකු මුදල් පද්ධතියට ඇතුළු කිරීමට (මුදල් විශුද්ධිකරණය) හැකියාව පවතී.`

එසේමක්‍රිප්ටො මුදල් වේදිකාවල සිදු වන ගනුදෙනු පරික්ෂා කිරීමට සමත් ක්‍රමවේදයන් රාජ්‍ය නියාමන අධිකාරීන් සතුව නොමැති බැවින් ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම අපහසු වි ඇත. ඇමෙරිකානු ජනාධිපති විසින් මෑත දී ක්‍රිප්ටො/ඩිජිටල් වත්කම් ආයෝජකයන්ගේ ආරක්ෂාව සඳහා අදාළ නියාමන අධිකාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශයන් ඇතුලත් විධායක නියෝගයක් නිකුත් කොට ඇත.

රාජ්‍ය ක්‍රිප්ටො මුදල්

දැනට ප්‍රචලිත වෙමින් පවතින ක්‍රිප්ටො මුදල් සියල්ල පෞද්ගලික සැපයුම් කරුවන් විසින් දියත් කරන ලද ක්‍රිප්ටො වර්ගයන් ය. ගෝලීය තොරතුරු තාක්ෂණයේ දියුණුව හේතු කොට විද්‍යුත් වාණිජ්‍යය ප්‍රචලිත වෙමින් පවතින අතර ඊට අවශ්‍ය මූල්‍ය ගනුදෙනු සඳහා රාජ්‍ය මුදල් පදනම් වූ විද්‍යුත් මුදල් පහහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ක්‍රිප්ටො මුදල් ඉදිරියට ප්‍රචලිත වන බවට සාධක පවතී.

එබැවින්ඊට තරගකාරී ලෙස රජයන් විසින් ද තම මුදල් ක්‍රිප්ටො හෝ ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කිරීමට සහ ගනුදෙනු කිරීමට අවශ්‍ය අත්හදා බැලීම් මෑතක සිට ආරම්භ කොට ඇත. ලෝකයේ මහ බැංකුවලින් 80% ක් පමණ ඒ සඳහා පර්යේෂණ කටයුතු ආරම්භ කොට ඇත. මෙම රාජ්‍ය ක්‍රිප්ටො මුදල් මහ බැංකු ඩිජිටල් මුදල් (Central Bank Digital Currency -CBDC) ලෙස හැඳින් වෙයි. මෙහිදීරාජ්‍ය /මහ බැංකු මුදල් ඒකකයන් විද්‍යුත් ඡායාවන් හෝ ටෝකන් ලෙස ඉදිරිපත් කෙරේ. දැනට චීනයස්වීඩනය සහ බහමාස් රාජ්‍යයන් විසින් නියමු පරීක්ෂණ මට්ටමින් රාජ්‍ය ඩිජිටල් මුදල් හඳුන්වා දී ඇත.

වෙනිසියුලා රජය විසින් 2018 දී පෙට්‍රෝ ක්‍රිප්ටො මුදල් දියත් කරන ලද අතර එය රටේ පෙට්‍රෝලියම්රන් සහ ඩයමන්ඩ් සංචිත සුරැකුම් පත පදනම් විය. එබැවින්එය ස්ථායී කාසි කාණ්ඩයට අයත් වෙයි. වෙනිසියුලාවේ අධි උද්ධමනය හේතු කොට එහි නිල මුදල වන බොලිවර් මුදලේ කඩා වැටීම හේතු කොට ඊට පිළියමක් ලෙස පෙට්‍රෝ ක්‍රිප්ටො මුදල් රාජ්‍ය ගෙවීම් සඳහා පළමුව හඳුන්වා දෙන ලදි. එහෙත්ආර්ථිකයේ පවතින බිඳ වැටීම හේතු කොට තවම පෙට්‍රෝ ක්‍රිප්ටො මුදල ජනප්‍රිය වී නොමැත. ඇමෙරිකාව විසින් පෙට්‍රෝ ක්‍රිප්ටො මුදල් ගනුදෙනු කිරීම ඇමෙරිකානු පුරවැසියන්ට තහනම් කොට ඇත.

මෙම රාජ්‍ය ක්‍රිප්ටො මුදල් පෞද්ගලික ක්‍රිප්ටො මුදල් තාක්ෂණයට වඩා වෙනස් ලෙස ගනුදෙනු කෙරේ. එනම්කණ්ඩායම් දාමය පදනම් වූ පොදු විද්‍යුත් ලෙජර් වේදිකාවේ නොවකේන්ද්‍රීය විද්‍යුත් ලෙජර් වේදිකාව හරහා ය. එසේමරාජ්‍ය ක්‍රිප්ටො මුදල් 100% ක් රාජ්‍ය මුදල් නෝට්ටු මත පදනම් වෙයි. එනම්රාජ්‍ය ක්‍රිප්ටො මුදල් ඒකකයක් රාජ්‍ය ඒකකයකට සමාන වෙයි. ඒබැවින්යෝජිත මහ බැංකු ඩිගිටල් මුදල් ස්ථායී කාසි කාණ්ඩයට අයත් බව දැක්විය හැකිය.

එහෙත්රාජ්‍ය ක්‍රිප්ටො මුදල් හඳුන්වා දීම හේතු කොට බැංකු සහ අතරමැදි මූල්‍යකරන ව්‍යාපාරය කෙරෙහි ඇති විය හැකි ව්‍යුහාත්මක ගැටළු පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. ඊට හේතුවබැංකු පද්ධතිය නොමැතිව මහ බැංකු විද්‍යුත් ලෙජරය හරහා මහජනතාවට රාජ්‍ය ක්‍රිප්ටො මුදල් ගනුදෙනු කළ හැකි බැවිනි.

එහෙත්රාජ්‍ය ක්‍රිප්ටො මුදල් කඩිනමින් හඳුන්වා දීමක් සිදු නොවේ නම්ඊළඟ මුදල් පරිණාමය ලෙස පෞද්ගලික ක්‍රිප්ටො මුදල් දිනෙන් දින ජනප්‍රිය වීම හේතු කොට ඉදිරි දශක කිහිපය තුළ රාජ්‍ය මුදල් සහ මහ බැංකු ක්‍රමය අභාවයට යාමේහෝ අක්‍රීය වීමේ අවදානමට මුහුණ දෙනු ඇත.

(ඊළඟ ලිපියෙන් මුදල් වර්ගයන් භාවිතා කිරීමේ දී මුහුණ දෙන අවදානම් විග්‍රහ කෙරේ.)


පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති - ශ්‍රී ලංකා මහ බැංකුව

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි