මහ බැංකුව විසින් රුපියල පා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිලාභ පොදුජන ආර්ථිකයට ලැබේ ද? එය තහවුරු කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද?

මේ දිනවල දේශපාලන විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ විවිධ උගතුන් විසින් ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතය හෙවත් ඩොලරයක රුපියල් වටිනාකම පිළිබඳ ව විවිධ කෝණයන්ගෙන් අදහස් දැක්වීම දැකිය හැකිය. මහ බැංකුව විසින් පසුගිය මාර්තු 7 දින රුපියල පා කිරීමේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙම කතා බහ පුළුල් වී ඇත.

උදාහරණ ලෙස මහ බැංකු වෙබ් අඩවියේ දත්ත අනුව මාර්තු මස 7 දින උදේ ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200 ක් වුව ද, රුපියල් පා කිරීමෙන් පසු එය මාර්තු මස 16 දින වන විට රුපියල් 270 දක්වා 35% කින් පමණ ඉහළ ගොස් ඇත. එනම්, රුපියලේ වටිනාකම 35% කින් පහළ යාමකි. අන්තර් බැංකු වෙළෙඳපොළේ ඩොලරය රුපියල් 280-295 ට ඇනවුම් කෙරෙන බවට ද මාධ්‍ය වාර්තා පවතී. 

මෙසේ විනිමය අනුපාතය ඉහළ යාම සමහර දේශපාලන ආර්ථික විද්‍යාඥයන් විසින් රුපියල බාල්දු වීම ලෙස දැක්වෙයි. එබැවින්, රුපියල පා කිරීමෙන් අපේක්ෂිත යහපත් ප්‍රතිපල ලබා ගැනීම සඳහා විනිමය අනුපාතය පිළිබඳ ව ඇති මෙවැනි සාවද්‍ය මතයන් දුරු කිරීම අවශ්‍යය.

රුපියල බාල්දු වී ඇති බවට දැක්වෙන සාවද්‍ය මතය

මොවුන් විසින් ඩොලරය 1950 දී රුපියල් 4 ක් වූ බවත්, එය අද වන විට මෙසේ ඉහළ යාම හෙවත් රුපියල් බාල්දු වීම වැලැක්වීමට සියළු රජයන් අසමත් වී ඇති බවත්, ජාතික ප්‍රශ්නයක් ලෙස ගෙන හැර දක්වයි. තවත් සමහරු විසින් යම් යම් රජයන් පැවති වකවානුවල විනිමය අනුපාතයන් ගෙන හැර දක්වමින් එම කාලවල රුපියලේ බාල්දු වීම ඉහළ බව දැක්වෙයි.

සමහරු විසින් මෙය 1977 සිට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ වරද ලෙස දක්වයි. ඊට හේතුව, 1950-1976 කාලය තුළ විනිමය අනුපාතය රුපියල් 4 සිට 8 දක්වා ඉහළ ගිය ද, 1977 නොවැම්බර් සිට එය අඛණ්ඩව සීග්‍රයෙන් ඉහළ යාම (වර්තමානයේ රුපියල් 270) යි. මොවුන් මෙසේ රුපියල බාල්දු වීම ගැන ප්‍රකාශ කරන්නේ ආර්ථික විද්‍යාව හෝ ව්‍යාපාර මූලධර්මයන් පිළිබඳ ව ඔවුන් සතු දැනුම අල්ප බැවිනි. ඊට හේතු කිහිපයක් දැක්විය හැකිය.

  • පළමුව, විනිමය අනුපාතය යනු වෙළෙඳපොළේ පවතින මිල ගණන් වලින් එක් මිලකි. මිල ගණන් සැමදා ස්ථාවරව පැවතිය යුතු යැයි ප්‍රකාශ කිරීම සඳහා ආර්ථික හෝ ව්‍යාපාර මූලධර්මයන් නොමැත.  

  • දෙවනුව, කිසිම රජයකට ආර්ථිකයේ මිල ගණන් අඛණ්ඩව පාලනය කොට තබා ගත නොහැකිය. යම් භාණ්ඩයක මිල රජය කැමති පහළ මට්ටමක (වෙළෙඳපොළ මිලට වඩා පහළ) පාලනය කළ හැක්කේ, එමගින් වෙළෙඳපොළේ හට ගන්නා අතිරික්ත ඉල්ලුම සැපිරීම සඳහා පාලිත මිල මත වෙළෙඳපොළට මුදා හැරීම පිණිස ප්‍රමාණවත් භාණ්ඩ තොග රජය සතු වෙයි නම් පමණි. විනිමය අනුපාතය එසේ පාලනය කිරීමට නම් රජය වෙත ඩොලර් තොග පැවතිය යුතුය.

පසුගිය කාලයේ සහල් ඇතුළු භාණ්ඩ රැසක පාලන මිල ගණන් රජය විසින් අත හැර දැමුවා මෙන්, මාර්තු මස 7 දින විනිමය අනුපාතය පාලනය අත හැර දැමුවේ (පා කිරීම) එසේ විදේශ මුදල් තොග පවත්වා ගැනීමට නොහැකි බැවිනි. ඊට හේතුව, රජයට රුපියල් මුදල් මුද්‍රණය කළ හැකි වුව ද, ඩොලර් මුදල් මුද්‍රණය කළ නොහැකි බැවින් ඩොලර් තොග සපයා ගත යුත්තේ ආර්ථිකයේ විදේශ වෙළෙඳ සහ ආයෝජන තරගකාරිත්වය තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කිරීම හරහා වන බැවිනි.

  • තෙවනුව, සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් මෙන් රජය විසින් විනිමය අනුපාතය කලින් කලට පාලනය කළ ද, එය ජාත්‍යන්තර සබැඳියාවක් සහිත පාලනයකි. විනිමය අනුපාතය පාලනයේ ස්වරුපය අනුව රටවල් අතර මුදල් සහ වෙළෙඳ යුද්ධයන් ඇති වෙයි. ඊට හේතුව, රටක විනිමය අනුපාතය එම රට සමඟ වෙළෙඳ සහ ආයෝජන තරගකාරී රටවල ආර්ථිකයන් කෙරෙහි බලපාන බැවිනි. උදාහරණ ලෙස චීනය විසින් තම අපනයන ප්‍රවර්ධනය සහ ආනයන පාලනය සඳහා විනිමය අනුපාතය ඉහළ අගයක පාලනය කිරීමට (චීන මුදල බාල්දු කොට තබා ගැනීම) එරෙහිව යුරෝපය සහ ඇමෙරිකාව විසින් විරෝධය පළ කරමින් චීනයට එරෙහිව වරින් වර වෙළෙඳ සම්බාධක පැනවීමට පෙළඹීම දැක්විය හැකිය. එබැවින්, අතීතයේ සිට යම් යම් කාලවල රටවල විනිමය අනුපාතය ජාත්‍යන්තර සම්මතයන් අනුව පවත්වා ගෙන ගොස් ඇත. 

උදාහරණ ලෙස 1950 සිට 1970 ගණන් දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි (බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය) අනුව සියළු රටවල් විසින් තම විනිමය අනුපාතයන් ස්ථාවරව (ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය) පවත්වා ගෙන යාමේ සම්මතය අනුගමනය කොට ඇත. ඒ සඳහා උපකාරී වූ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයක් එකළ පැවතින. 1977 දක්වා ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය බොහෝ සේ ස්ථාවරව පැවතියේ එබැවිනි. එසේ නැතිව, එවක අනුගමනය කළ රජයේ ආවෘත ආර්ථික ප්‍රතිපත්ති ශක්‍යතාවය නිසා නොවේ. එකල, ලෝකය පුරා පැවතියේ ආවෘත හෝ ආරක්ෂණ ආර්ථික ප්‍රතිපත්තීන් ය.

1971 දී බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය බිඳ වැටීමෙන් පසුව රටවල් විසින් සමකාලීන ආර්ථිකයන්ට ගැලපෙන ලෙස විනිමය අනුපාතය විවිධ රාජ්‍ය මාර්ගෝපදේශයන්ට සහ පාලනයන්ට යටත්ව වෙළෙඳපොළේ තීරණය වීමට ඉඩ දී ඇත. එහෙත්, 1990 දශකය ආරම්භයේ සිට සංවර්ධිත රටවල් විසින් විනිමය අනුපාත පාලනයෙන් ඉවත් වී වෙළෙඳපොළේ තීරණය වන නම්‍ය හෝ පාවෙන විනිමය අනුපාත ක්‍රමයකට ඉඩ ලබා දී ඇත.

ඒ අනුව, ඊට සරිලන ලෙස ආර්ථිකයේ බොහෝ මිල පාලනයන් ද ඉවත් කොට, ආර්ථිකයන් බොහෝ සේ වෙළෙඳපොළ පදනම් වූ ආර්ථිකයන් බවට පත් කිරීමේ ආර්ථික සම්මතයක් අනුගමනය කොට ඇත. ඊට හේතුව, විනිමය අනුපාතය වෙනස් වන විට ඊට අනුරූපව දේශීය ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල ගණන් (වැටුප් ඇතුළුව) වෙනස් වීමට ඉඩ නොදුන හොත් ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ප්‍රශ්න ඇතිවන බැවිනි. එබැවින්, නූතන ගෝලීය ආර්ථික සම්මතය වනුයේ නම්‍ය වෙළෙඳපොළ විනිමය අනුපාතයන් සහ මිල ගණන් ප්‍රවර්ධනය කිරීම යි. එය දැනට දියුණුවන රටවලට ද බොහෝ සේ ව්‍යාප්ත වී ඇත.

  • සිවුවනුව, රටක විනිමය අනුපාතය තීරණය වීම සාර්ව ආර්ථික සාධක සහ වෙළෙඳපොළ සාධක රාශියක ප්‍රතිපලය කි. එබැවින්, ඉන්දියාවේ හෝ පකිස්තානයේ හෝ බංගලිදේශයේ විනිමය අනුපාතයන් දෙස බලා, ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය ඉහළ බැවින් රුපියල බාල්දු වී ඇති බව කිව නොහැකිය. එසේම, ශ්‍රී ලංකාවට වඩා ඉහළ ආර්ථික සංවර්ධනයක් ඇති දකුණු කොරියාවේ සහ පිලිපීනයේ විනිමය අනුපාතයන් ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතයට වඩා බොහෝ ගුණයකින් ඉහළ බැවින් එම රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හෝ ශ්‍රී ලංකා ආර්ථිකය වඩා ශක්තිමත් බව ද කිව නොහැකිය.

  • පස්වනුව, රටවල මුදල් අතර විනිමය අනුපාතයන් තීරණය වීම සහ වෙනස් වීම විග්‍රහ කෙරෙන ආර්ථික විද්‍යා න්‍යායන් පවතින අතර සැබෑ ලොව විනිමය අනුපාතයන්ගේ හැසිරීම එම න්‍යායන් තුළින් පමණක් පැහැදිලි කිරීම ද අපහසු වෙයි. විනිමය අනුපාතය යනු මුදල් දෙකක් හුවමාරු වන මිල හෝ වෙළෙඳ අනුපාතය වන බැවින් විනිමය අනුපාතයේ වෙනස් වීම විග්‍රහ කිරීම සඳහා එම මුදල් දෙකේ වෙළෙඳපොළ තත්ත්වයන්ගේ වෙනස් වීම් සැලකිල්ලට ගැනීම ද බොහෝ ආර්ථික විද්‍යාඥයන් අතර දැකිය හැකිය.

රටක මුදල් සැපයුම හෝ මුදල් මුද්‍රණය ඉහළ යන විට එම රටේ මුදලේ වටිනාකම පහළ යන බව (විනිමය අනුපාතය ඉහළ යන බව) දැක්වෙන්නේ එවැනි විග්‍රහයන් මත ය. එබැවින්, විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා මුදල් මුද්‍රණය පහළ දැමිය යුතු බවට නිර්දේශ කෙරේ. එහෙත්, රටක මුදල් මුද්‍රණය සහ මුදල් සැපයුම ප්‍රසාරණය තුළ වෙනත් සාර්ව ආර්ථික අරමුණු රැසක් පවතී. එබැවින්, එවැනි න්‍යායාත්මක මතයන් මත සිට විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා මුදල් ප්‍රසාරණය සිමා කළ යුතු බවට කෙරෙන නිර්දේශයන් හුදෙක් පංති කාමරයේ ඉගැන්වෙන ආර්ථික විද්‍යාවට යෝග්‍ය වනු ඇත.

එසේම, මෙම න්‍යායාත්මක විග්‍රහයන් සහ විවාදයන් පොදුජනයාට අවබෝධ කර ගත හැකි විෂය කරුණු නොවේ. එහෙත්, වෙළෙඳපොළ මිල ගණන් වෙනස් වන විට, ඊට අනුරූපව මහජනයා විසින් තම ආර්ථික ක්‍රියාකාරකම් (නිෂ්පාදනය, පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම) ක්‍රමානුකුලව වෙනස් කර ගැනීම ස්වභාවික ආර්ථික හැසිරීම යි.

එබැවින්, දේශපාලන ආර්ථික විද්‍යාඥයන් විසින් මුදල් බාල්දු වීම වැනි කරුණු ජාතික හැඟීම් ඇති කිරීම සඳහා පොදුජනයා වෙත ඉදිරිපත් කිරීමෙන් සහ මිල පාලනයන් කිරීමට ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ ජාතික ආර්ථික ව්‍යසනයකි. වත්මන් ශ්‍රී ලංකාවේ පොදුජනයා මුහුණ දෙන ඓතිහාසික ආර්ථික අර්බුදයේ මූල හේතුව වනුයේ, එසේ විනිමය අනුපාතය ඇතුළු මිල ගණන් පාලනය කිරීමට භාවිතා කළ ක්‍රමවේදයන් ය. වත්මන් රාජ්‍ය විදේශ ණය සහ විදේශ සංචිත උගුල එහි ප්‍රතිඵලය යි (වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියේ ඇතුලත් ලිපි කිහිපය කියවන්න). ඊට හේතුව, රාජ්‍ය විදේශ ණය හරහා මහ බැංකු විදේශ සංචිතය රැස් කිරීම තුළින් ආනයන මත පදනම් වූ ආර්ථිකය මූල්‍යකරණය කිරීම යි. එබැවින්, පසුගිය වර්ෂ දෙක තුළ සුපුරුදු ලෙස විදේශ ණය ගැනීමට නොහැකි වීමෙන් විදේශ සංචිතය ගරා වැටීම තුළින් වත්මන් ආර්ථික අර්බුදය හට ගෙන ඇත.

නම්‍ය වෙළෙඳපොළ ප්‍රතිපත්ති සහ ගෝලීයකරණය

නම්‍ය වෙළෙඳපොළ ප්‍රතිපත්ති හේතු කොට ආර්ථික ගෝලීයකරණය ව්‍යාප්ත වී එහි ප්‍රතිපල ලෝකය පුරා ජනතාව වෙත ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. එනම්, දේශීය සම්පත්වලට සීමා නොවී තරගකාරී සාපේක්ෂ වාසි හරහා පොදුජනයාගේ ජීවන තත්ත්වය ගෝලීය සම්පත් උපයෝජනය මත ඉහළ යාම යි. මිනිස් වර්ගයාගේ සංවර්ධනය යනු විවිධ මූලයන් හරහා මෙසේ ගෝලීයකරණය වීම යි. 

ලෝකය පුරා රටවල මහජනතාව ගෝත්‍රීය ලෙස ප්‍රදේශයන්ට බෙදී ජීවත් වුයේ නම්, නූතන මානව සංවර්ධනය සිදු නොවනු ඇත. රටවල ඒකීය පාලනයන් හට ගැනීම මෙන්ම අධිරාජ්‍ය වාදී/යටත් විජිත පාලනයන් තුළින් සිදු වී ඇත්තේ ද ගෝලීයකරණය යි. නූතන චීනය, ඇමෙරිකාව, යුරෝපය වැනි ආර්ථික කලාපයන්ට දියුණුවන රටවල් සම්බන්ධ වීමෙන් සිදු වන්නේ ද එවැනි ආර්ථික ගෝලීයකරණයකි. 1977 සිට ශ්‍රී ලංකාවේ පොදුජන ජීවන තත්ත්වය ඉහළ යාම ද එම විවෘත හෝ ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිපලයකි. 

මෙහිදී, භාණ්ඩ හා සේවා මෙන්ම ප්‍රාග්ධනය වෙළෙඳාම හරහා රටවල් ගෝලීයකරණය වී ඇත. එබැවින්, දේශීය හෝ ජාතික දේශපාලන සංකල්ප මත විනිමය අනුපාතයන් සහ විදේශ ප්‍රාග්ධනය පාලනය කිරීම තුළින් විදේශ වෙළෙඳාම සීමා වී ආර්ථිකයන් අර්බුදයන් කරා ගෙන යනු ඇත. වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලය ද එය වෙයි.

එබැවින්, ඉදිරි ආර්ථික ගෝලීයකරණයේ නව මාවත වනුයේ යුරෝපීය හවුලේ රටවල් විසින් තම රටවල ජාතික මුදල් අවලංගු කොට 2002 වර්ෂයේ සිට යුරෝ නම් වූ එක් මුදලක් භාවිතා කිරීම මෙන්, ගෝලීය මුදල් භාවිතා කිරීම යි. උදාහරණ ලෙස ඩොලර් සහ යුරෝ යනු එවැනි ගෝලීය මුදල් දෙකක් වන අතර වර්තමානයේ ගෝලීය විද්‍යුත් මුදල් බිහි වෙමින් පවතී. 

එබැවින්, සමහරු විසින් රටවල විනිමය අනුපාතය ස්ථායී කිරීම සඳහා පාලනය කිරීමට යෝජනා කෙරෙන්නේ හෝ ශ්‍රී ලංකා රුපියල 1977 සිට බාල්දු වීම වැලැක්වීමට සියළු රජයන් අපොහොසත් වී ඇති බව දක්වන්නේ මූලික ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාරික මූලධර්ම පිළිබඳ ව ඔවුන් සතු දැනුම මද බැවිනි.

රුපියල පා කිරීමෙන් අපේක්ෂිත යහපත් ආර්ථික ප්‍රතිපල මොනවා ද?

රුපියල පා කිරීම යනු ශ්‍රී ලංකාව තුළ විදේශ විනිමය හෙවත් ඩොලර් වෙළෙඳපොළ තුළ විනිමය අනුපාතය කෙරෙහි මැදිහත් වීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගැනීම සහ විකිණීමෙන් වැලකී, හුදු වෙළෙඳපොළ ඉල්ලුම් සහ සැපයුම් බලවේග අනුව විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ හැරීම යි.

එහෙත්, මහ බැංකුව සහ රජය විසින් ඩොලර් ඉල්ලුම සහ සැපයුම කෙරෙහි වක්‍ර ලෙස බලපාන විනිමය සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දැකිය හැකිය. උදාහරණ ලෙස අපනයන විදේශ මුදල් ආදායම් රට තුළට ගෙනෙන ලෙස අපනයන කරුවන්ට නියම කිරීම, විදේශ ආයෝජකයන්ට සහන ලබා දීම, විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ සඳහා දිරි දීමආනයන සහ විදේශ ගෙවුම් සිමා කිරීම දැක්විය හැකිය. එසේම, මහ බැංකුව විසින් රජයට ලැබෙන විදේශ මුදල් මිල දී ගැනීමත්, අත්‍යවශ්‍ය ආනයන සහ රාජ්‍ය ණය ගෙවීම් සඳහා අවශ්‍ය විදේශ විනිමය සැපයීමත් සිදු කිරීම ද තවත් උදාහරණයකි. එබැවින්, මෙය නිදහස් වෙළෙඳපොළ පාවිමක් නොව කිලිටු පාවීමකි. ඊට හේතුව, නිදහස් වෙළෙඳපොළ බලවේගයන්ට පුර්ණ ඉඩ දීමක් සිදු නොවීම යි.

මෙම පා කිරීම තුළින් පසුගිය වර්ෂ දෙකක පමණ කාලයක් තුළ මහ බැංකුව විසින් විනිමය අනුපාතය අවප්‍රමාණයට ඉඩ නොදී, එය තම විදේශ සංචිතය හරහා අඛණ්ඩව පහළ මට්ටමක පාලනය කිරීම හේතුවෙන් හට ගෙන ඇති අහිතකර සාර්ව ආර්ථික ප්‍රතිපලයන් සමනය වීමක් අපේක්ෂා කෙරේ. එය මූලික වශයෙන් විදේශ ලැබීම් ඉහළ යාම සහ විදේශ ගෙවීම් පහළ යාම තුළින් මහ බැංකුවේ විදේශ සංචිතය ගොඩ නැගීම ලෙස දැක්වෙයි. එය විශේෂයෙන් රාජ්‍ය විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගැනීම සහ ආර්ථිකයට අත්‍යාවශ්‍ය තෙල්, ගෑස්, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ආනයන ගෙවීම් සඳහා අත්‍යාවශ්‍ය වෙයි. එතෙක්, පොදුජනයා මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදයට විසඳුමක් සැපයීම අසීරු වෙයි.

ඒ අනුව,  රුපියල පා කිරීම හේතු කොට විනිමය අනුපාතය ඉහළ යාම හෙවත් අවප්‍රමාණය වීම තුළින් විදේශ සංචිත ගොඩ නැගීමට උපකාරී වන බවට අපේක්ෂා කෙරේ. එසේම, ඉදිරි වර්ෂ කිහිපයක් වැනි යම් කාලයක් තුළ වෙළෙඳපොළ බලවේග තුළින් රුපියලේ අගය හෝ විනිමය අනුපාතය ස්ථායීකරණය වීමෙන් ආර්ථිකයේ විදේශ විනිමය තත්ත්වය යහපත් විය හැකි බවට ද අපේක්ෂා කෙරේ.

එහෙත්, මේවා සඳහා නිවැරදි කාල නියමයන් සහ ප්‍රමාණයන් දැක්විය නොහැකි අතර එම කාලය පොදුවේ ආර්ථික විද්‍යාවේ ප්‍රකට දින වකවානුවක් නොමැති දිගු කාලය ලෙස හැඳින් වෙයි. ඒ අනුව, අපේක්ෂා කළ පරිදි විනිමය අනුපාතය මාර්තු මස 7 දින සිට දින 7 ක් පමණක් තුළ 35% ක පමණ ඓතිහාසික මට්ටමකින් අවප්‍රමාණය වී ඇත. එහෙත්, එමගින් රුපියල පා කිරීමෙන් අපේක්ෂිත ආර්ථික ප්‍රතිපල නියතයෙන් හට ගන්නා බව කිව නොහැකිය.

විනිමය අනුපාත අවප්‍රමාණය ආර්ථිකයේ විදේශ මුදල් හිඟය පිය වීමට උපකාරී වන්නේ  ද?

එය ආර්ථිකයේ හට ගන්නා ප්‍රතික්‍රියාවන් රැසකගේ ප්‍රතිඵලයකි. එය සිදු වන්නේ ආර්ථිකය තුළ විදේශ මුදල් හෙවත් ගෙවුම් ශේෂ අතිරික්තයක් හට ගනී නම් පමණි. විනිමය අනුපාත අවප්‍රමාණය තුළින් යහපත් යැයි බලාපොරොත්තු වන මූලික ආර්ථික ප්‍රතික්‍රියාවන් කිහිපයක් ආර්ථික විද්‍යවට අනුව පහත ලෙස දැක්විය හැකිය.

  • පළමුව, දේශීය මූල්‍ය වෙළෙඳපොළට (රාජ්‍ය සුරැකුම්පත් සහ සමාගම් කොටස්) ලැබෙන විදේශ ආයෝජන ඉහළ යනු ඇත. ඊට හේතුව, අවප්‍රමාණය හේතු කොට ඩොලරයකට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ යන බැවින්, ඩොලර් මුදල් මගින් වැඩි දේශීය ආයෝජන ප්‍රමාණයක් කළ හැකි බැවිනි. විනිමය අනුපාතය කෘතීම ලෙස පහළ මට්ටමක පාලනය කෙරෙන විට විදේශ ආයෝජන ඉක්මනින් රටෙන් ඉවත්ව යනු ඇත. ඊට හේතුව, විනිමය අනුපාතය අඛණ්ඩව පාලනය කිරීමට අවශ්‍ය විදේශ සංචිත නොමැති බැවින්, ඉදිරියේ දී විනිමය අනුපාතය අවප්‍රමාණය වන බවට ආයෝජකයන් අපේක්ෂා කෙරෙන බැවිනි. එවිට, තම රුපියල් ආයෝජන අළෙවියෙන් ලබා ගත හැකි ඩොලර් මුදල් ප්‍රමාණය මුල් ඩොලර් ආයෝජන මුදලට වඩා පහළ යන බැවින්, ඊට පෙර තම ආයෝජනයන් ඉවත් කර ගැනීමට පෙළඹීම සාමාන්‍ය ආයෝජක හැසිරීම යි.

  • දෙවනුව, අවප්‍රමාණය හේතු කොට ආනයන භාණ්ඩ හා සේවාවල දේශීය මිල ගණන් ඉහළ යනු ඇත. ඊට හේතුව, ඒවායේ ආනයන මිල ගණන් ඩොලර්වලින් නියම වී ඇති බැවින් විනිමය අනුපාතය ඉහළ යන විට ආනයන සඳහා වැයවන දේශීය මුදල්/රුපියල් වියදම ඉහළ යන බැවිනි. උදාහරණ ලෙස මාර්තු මස 4 දින ඩොලර් 80 කට ඇනවුම් කරන ලද තෙල් බැරලයක් සඳහා රුපියල් 16,000 ක මුදලක් ගෙවූව (ඩොලරයක් රුපියල් 200 මත) ද, රුපියල පා කිරීමෙන් පසුව දැනට එම මිලේ තෙල් බැරලයක් සඳහා රුපියල් 21,600 ක් ගෙවීමට (ඩොලරයක් රුපියල් 270 මත) සිදු වෙයි. එබැවින්, ඊට අනුරූපව දේශීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනු ඇත. එසේ සියළු ආනයන මිල ගණන් ඉහළ යාම හේතු කොට මහජනතාව විසින් ආනයන ඉල්ලුම අඩු කිරීමට පෙළඹෙන අතර ආනයන ආදේශන භාණ්ඩ හා සේවා කෙරෙහි නැඹුරු වනු ඇත. එබැවින්, ඉදිරියේ දී ආනයන පරිමාව පහළ ගොස් විදේශ ගෙවුම් පහළ යාම හෝ පාලනය වීම අපේක්ෂා කෙරේ.

  • තෙවනුව, ඩොලර්වලින් මිල නියම කොට ඇති අපනයන සඳහා ලැබෙන ඩොලර් ආදායම මත ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ යාමෙන් අපනයන කර්මාන්ත දිරි ගැන්වෙනු ඇත. එසේම, අවප්‍රමාණය හේතු කොට රුපියල්වලින් මිල නියම කෙරෙන අපනයනවල විදේශ මුදලින් මිල ගණන් පහළ යනු ඇත. එබැවින්, අපනයන සඳහා විදේශ ඉල්ලුම ඉහළ යනු ඇත. එබැවින්, සමස්තයක් ලෙස අපනයන පරිමාව ඉහළ ගොස් විදේශ ලැබීම් ඉහළ යාම අපේක්ෂා කෙරේ.

  • සිවුවනුව, ඉහළ විනිමය අනුපාතයන් සොයමින් විදේශ ප්‍රේෂණ වැනි කළු කඩයට ගිය විදේශ ලැබීම් නැවත නිල විනිමය වෙළෙඳපොළට ලැබීමෙන් ගෙවුම් ශේෂයේ සහ බැංකු පද්ධතියේ විදේශ ලැබීම් ඉහළ යනු ඇත. පසුගිය කාලයේ විනිමය අනුපාතය ඉතා පහළ මට්ටමක පාලනය කිරීම හේතු කොට විදේශ ප්‍රේෂණ සෑහෙන ප්‍රමාණයකින් පහළ ගිය බව වාර්තා වී ඇත.

ඒ අනුව, සමස්තයක් ලෙස ආර්ථිකයේ ශුද්ධ විදේශ ලැබීම් ඉහළ යාම හෙවත් ගෙවුම් ශේෂ හිඟය පහළ යාමක් අපේක්ෂා කෙරේ. ඒ අනුව, සමස්තයක් ලෙස ආර්ථිකයේ ශුද්ධ විදේශ ලැබීම් ඉහළ යාමක් සහ එමගින් විදේශ සංචිත ඉහළ යාමක් අපේක්ෂා කෙරේ. 

මෙහිදී, අප මතක තබා ගත යුත්තේ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ යාම යනු මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම යි. එවිට, වෙළෙඳපොළ තුළ ඊට බාහිර ඉල්ලුමක් මහ බැංකුවෙන් ජනිත වන බැවින් විනිමය අනුපාතය පහළ යාමට හෝ ස්ථායී වීමට ඇති නැඹුරුව වැලැක් වෙනු ඇත. එය මහ බැංකුව විසින් වෙළෙඳපොළට මැදිහත් වීමක් ලෙස සැලකේ. 

ඒ අනුව, රුපියල පා කිරීමේ යහපත් ආර්ථික ප්‍රතිපල ලැබීම සඳහා විනිමය අනුපාතය වෙනස් වීම තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කිරීමට හැකි වන පරිදි සමස්ත ආර්ථික ව්‍යුහය වෙනස් වීමක් අපේක්ෂා කෙරේ.

රුපියල පා කිරීමෙන් අපේක්ෂිත යහපත් ආර්ථික ප්‍රතිපල එලෙසම ලැබෙන බවට තහවුරු කළ හැකි ද?

ඒ බව තහවුරු කළ නොහැකිය. ඊට හේතුව, ආර්ථික ව්‍යුහය ඊට ගැලපෙන ලෙස අනුවර්තනය වන බවට තහවුරු කළ නොහැකි බැවිනි. ඒ සදහා සාධක කිහිපයක් දැක්විය හැකිය.

  • පළමුව, විනිමය අනුපාතයට අනුරූපව ආර්ථිකයේ සියළු මිල ගණන් සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් වෙනස් වීමට ඉඩ තිබිය යුතුය. එහෙත්, රජය විසින් යම් යම් ආනයන භාණ්ඩ හා සේවා මිල ගණන් පාලනය කළ හොත්, ආනයන පරිමාව වාසි දායක ලෙස වෙනස් නොවනු ඇත. උදාහරණ ලෙස සහල් වැනි ආහාර වර්ගවල මිල ගණන් ඉහළ යන විට, පාරිභෝගික සුබසාධනය පිණිස එම ආහාර ද්‍රව්‍ය සතොස හරහා ආනයනය කොට බෙදා හැරීමට ක්‍රියා කළ හොත් රුපියල පා කිරීමේ ප්‍රධාන අරමුණ බිඳෙනු ඇත.

  • දෙවනුව, මුදල් අවප්‍රමාණය හේතු කොට ගෙවුම් ශේෂය යහපත් වීමට නම්, ආර්ථිකයේ සමස්ත ආනයන සහ අපනයන මිල ඉල්ලුම් නම්‍යතාවයන් ඉහළ අගයන් විය යුතුය. එනම්, මුදල් අවප්‍රමාණය හේතු කොට ආනයන දේශීය මිල ගණන් ඉහළ යන විට ආනයන පරිමාව වැඩි වේගයකින් පහළ යා යුතු අතර, අපනයන විදේශ මිල ගණන් පහළ යන විට අපනයන ඉල්ලුම වැඩි වේගයකින් ඉහළ යා යුතුය. එබැවින්, මුදල් අවප්‍රමාණය හේතු කොට ආර්ථිකයේ වෙළෙඳ/ගෙවුම් ශේෂ හිඟය පහළ යාම හෝ යහපත් වීම සිදු වන්නේ, ආනයන මිල නම්‍යතාවයේ සහ අපනයන මිල නම්‍යතාවයේ එකතුව එකට වඩා ඉහළ අගයක පවතින ආර්ථිකයන්හි බව ආර්ථික විද්‍යාවේ දැක්වෙයි. මෙය මාෂල්-ලර්නර් කොන්දේසිය ලෙස ප්‍රකටය. ශ්‍රී ලංකා ආර්ථිකයේ ආනයන සහ අපනයන මිල නම්‍යතාවයන් පිළිබඳ පර්යේෂණ දත්ත දැකිය නොහැකිය. සාමාන්‍යයෙන් මෙම මිල නම්‍යතාවයන් පහළ මට්ටමක පවතින බව හෙවත් විනිමය අනුපාතය කෙරෙහි ආනයන සහ අපනයන එතරම් සංවේදී නොමැති බව විශ්වාස කෙරේ. එහෙත්, සමහර ආර්ථික පර්යේෂණයන්ට අනුව මුදල් අවප්‍රමාණය හේතු කොට වෙළෙඳ/ගෙවුම් ශේෂ හිඟය පළමුව ඉහළ යන අතර විදේශ වෙළෙඳ ගනුදෙනුවල ප්‍රතිචාරය අනුව එය පසු කාලයේ දී පහළ යනු ඇත.

  • තෙවනුව, විදේශ ආයෝජන ගලා එම සඳහා ආර්ථිකය කෙරෙහි ඉහළ ණය සහ ව්‍යාපාරික විශ්වාසයක් පැවතිය යුතුය. එසේම, විනිමය අනුපාතයේ ස්ථායිතාවයක් (ස්ථාවර බවක් නොවේ) අවශ්‍ය වෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ ගෝලීය ණය ශ්‍රේණිය ඉතා පහළ මට්ටමක පවතින අතර වත්මන් ආර්ථික අර්බුදය නිමා වන තෙක් එය ඉහළ යාමක් සිදු නොවනු ඇත. එසේම, විනිමය අනුපාතය අඛණ්ඩව අවප්‍රමාණය වෙයි නම්, එය විදේශ ආයෝජකයන්ට දැරිය නොහැකි විනිමය අවදානමකි. ඊට හේතුව, ඉහත දැක්වූ ලෙස විනිමය අනුපාතය අවප්‍රමාණය වන විට විදේශීය ආයෝජනවල විදේශ මුදල් වටිනාකම පහළ යන බැවිනි. එහෙත්, රුපියලේ විනිමය අනුපාතය කුමන කාලයක් තුළ කුමන මට්ටමක ස්ථායී වේ ද? යන්න ප්‍රකාශ කිරීම අපහසුය. එය ශ්‍රී ලංකාව තුළ ඩොලර්/විදේශ විනිමය ඉල්ලුම් සහ සැපයුම් ප්‍රවාහය මත තීරණය වනු ඇත.

  • සිවුවනුව, දේශීය සහ ගෝලීය ආර්ථිකයේ අනපේක්ෂිත කම්පනයන් හට ගත් විට, වෙළෙඳපොළ සහ විදේශ මුදල් ප්‍රවාහයන් අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකිය. උදාහරණ ලෙස ඊයේ දින ඇමෙරිකානු මහ බැංකුව විසින් තම පොලී අනුපාතය 0.25% කින් ඉහළ දැමු අතර එය ඉදිරියේ දී තවත් ඉහළ දමා මුදල් මුද්‍රණය පහළ දැමීමේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන බවට සංඥාවන් නිකුත් කොට ඇත. ඒ හේතු කොට 2017-18 කාලයේ සිදු වුවා මෙන් ඉදිරි කාලයේ දී ගෝලීය ආයෝජන සහ ආර්ථික පසුබැසීමක් හෝ කැළඹීමක් හට ගැනීමේ අවදානම් පවතී.

එබැවින්, රුපියල පා කිරීමෙන් හට ගන්නා සීග්‍ර විනිමය අනුපාත අවප්‍රමාණය තුළින් ඇති විය හැකි වෙළෙඳ/ගෙවුම් ශේෂ හිඟයේ පහළ යාම පිළිබඳ ව සුභවාදී ඉලක්කම් පුරෝකතනය කොට, රුපියල පා කිරීම තුළින් කෝකටත් තෛලයක් මෙන් වත්මන් ඩොලර්/ආර්ථික අර්බුදය විසඳෙනු ඇතැයි යන්න ත‍රම් ධනාත්මක චින්තනයකින් පසුවීම යෝග්‍ය නොවේ. ආජන්ටිනාව, පකිස්තානය, ලෙබනනය සහ තුර්කිය වැනි රටවල විනිමය අනුපාතයන් එසේ අඛණ්ඩව අවප්‍රමාණය වුව ද, එම රටවල පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් නුදුරු අනාගතයේ දී විසඳෙන බවක් නොපෙනේ.

කඩිනම් ප්‍රතිපත්ති පැකේජයක අවශ්‍යතාවය 

එබැවින්, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආර්ථිකයේ විදේශ වෙළෙඳ සහ ආයෝජන තරගකාරිත්වය ඉහළ දැමීම සඳහා ඉලක්ක ගත රාජ්‍ය මූල්‍ය, මූල්‍ය සහ වෙළෙඳපොළ ප්‍රවර්ධන/නියාමන ප්‍රතිපත්ති පැකේජයක් අවශ්‍ය වෙයි. රුපියල් පා කිරීම ඉන් එකක් පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහන සහ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද එම පැකේජය තුළ අඩංගු විය යුතු ඉතා වැදගත් මෙවලම් දෙකක් බවට විවාදයක් නැත. එසේම, ද්විපාර්ශවීය ණය සහ ආයෝජන ප්‍රවාහය අඛණ්ඩව පවත්වා ගැනීම අවශ්‍ය වෙයි. ඊට හේතුව, නූතන මූල්‍ය ආර්ථික ක්‍රමයන් ණය සහ ආයෝජන ප්‍රවාහය මත ක්‍රියාත්මක වන බැවිනි. මෙම පැකේජය තුළින් ආර්ථික ස්ථායීකරණය පිළිබඳ ආයෝජන/ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීමට හැකි විය යුතුය.

එබැවින්, දේශපාලනික නායකත්වය විසින් එකිනෙකාට දොස් නගා ගැනීමෙන් සහ කොරෝනා වසංගතය සහ යුක්‍රේන යුද්ධය මත නිදහසට කරුණු දක්වමින් තව තවත් කාලය මැරීම නවතා මාසයක් හෝ දෙකක් ඇතුලත පුළුල් ආර්ථික පුනරුත්ථාපන පැකේජයක් ක්‍රියාත්මක කළ යුතුය. පොදුජනයා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන විට එය නිරාකරණය කිරීම රජයේ ප්‍රමුඛ වගකීම වෙයි. ඒ සඳහා නිසි ව්‍යවස්ථාපිත බලතල සහ වගකීම් ඇති ආයතන සහ නිලධාරීන් මෙහෙය වීමට රජයට හැකියාව පැවතිය යුතුය. වත්මන් ආර්ථික අර්බුදයේ ව්‍යවස්ථාපිත වගකීම පවතින ආයතන සහ නිලධාරීන් කවරහු ද? යන්න රහසක් නොවේ.  ඒ වෙනුවෙන් බහුතර පොදුජනතාව දුක් විඳීම සාධාරණිය කිරීම අපහසුය.

මෙහිදී, පොදු ආර්ථික ස්ථායීකරණ ඉලක්කය අමතක කොට, තමන්ගේ සංකල්පීය ඉලක්කයන් සඳහා රාජ්‍ය ආයතනයන් ක්‍රියා කිරීම වැලැක් වීම අවශ්‍ය වෙයි. උදාහරණ ලෙස විනිමය අනුපාතය අවප්‍රමාණය හේතු කොට ආර්ථිකය පුරා භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ රැල්ලක් හට ගැනීම දැනටමත් ආරම්භ වී ඇත. එය මුදල් අවප්‍රමාණ ප්‍රතිපත්තියේ කොටසකි. එහෙත්, එය මහ බැංකුව විසින් අධි උද්ධමනකාරී පීඩනයක් ලෙස හඳුනා ගෙන, පොලී අනුපාතයන් සීග්‍රයෙන් ඉහළ දමා මුදල් සහ ණය සැපයුම පහළ දැමීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ හොත්, එමගින් ආනයන ආදේශන සහ අපනයන කර්මාන්ත කෙරෙහි දැඩි පහරක් වැදෙනු ඇත.

එසේම, ආර්ථිකය පුරා පොලී අනුපාතයන් ඉහළ යාම තුළින් හට ගන්නා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතු කොට ආර්ථිකයේ මිල ගණන් තවත් ඉහළ යාම සිදු වනු ඇත. මෙම අවස්ථාවේ මූල්‍ය ප්‍රතිපත්තිය යොමු කළ යුත්තේ සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රියාශීලී කිරීම සඳහා ය. එහෙත්, සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් සම්ප්‍රදායික මූල්‍ය සංකල්පයන් මත පිහිටා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පොලී අනුපාතයන් වහාම තවත් 100% කින් පමණ ඉහළ දමන ලෙස නිර්දේශ කිරීම දැකිය හැකිය. එසේ පොලී අනුපාතයන් ඉහළ දැමීම එක් රැයකින් මහ බැංකුවට කළ හැකිය. එහෙත්, එමගින් ආර්ථිකය සහ පොදුජන ජීවිතය කෙරෙහි කෙරෙන අහිතකර බලපෑම වර්ෂ ගණනක් පුරා පැතිරෙනු ඇත.

2021 අගෝස්තු මස මැද සිට මූල්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩව දැඩි කිරීම හේතු කොට දැනටමත් ආර්ථිකය අරමුදල් හිඟයකට මුහුණ දෙමින් පවතී. උදාහරණ ලෙස බැංකු පද්ධතිය විසින් මහ බැංකුවෙන් ලබා ගන්නා ලද දෛනික ණය ප්‍රමාණය පසුගිය16 දින වන විට රුපියල් බිලියන 653 දක්වා ද, භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,644 දක්වා ද ඓතිහාසික ලෙස ඉහළ ගොස් ඇත. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කළ හොත්, මෙම අරමුදල් හිඟය තවත් ඉහළ යාම හේතු කොට ආර්ථිකය මූල්‍ය අර්බුදයකට ද මුහුණ දීමේ අවදානමක් ද පවතී. මෙවැනි, ආර්ථික අර්බුදයක දී මූල්‍ය පද්ධතිය ස්ථායී ලෙස ක්‍රියාත්මක වේ යැයි උපකල්පනය කළ නොහැකිය. ඊට හේතුව, මූල්‍ය පද්ධතිය සහ මූර්ත ආර්ථිකය අතර අන්‍යෝන්‍ය රැදියාවක් පවතින බැවිනි.

වර්තමාන මිල ගණන් ඉහළ යාමේ උපණතිය යනු බාහිර ආතතීන් හේතු කොට හට ගෙන ඇති අන්තර් කාලීන සිදු වීමක් මිස, ආර්ථික විද්‍යාවේ නිර්වචනය කෙරෙන උද්ධමනකාරී තත්ත්වයක් නොවේ. එබැවින්, එය මැඩලීම මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමෙන් කළ නොහැකිය. උද්ධමනකාරී තත්ත්වයක් ලෙස දැක්වෙන්නේ ආර්ථිකයේ විභව හෝ ශක්‍ය නිෂ්පාදන මටමට වඩා ඉහළ සමාහාර ඉල්ලුමක් පැවතීම හේතු කොට මිල ගණන් පොදුවේ අඛණ්ඩව ඉහළ යාම කි. එය මැඩලීම මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් කළ හැකි බවට පොදුවේ පිළි ගැනේ. එහෙත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් අර්බුදකාරී නිෂ්පාදන ක්‍රියාකාරිත්වය එහි විභව නිෂ්පාදන මට්ටමට වඩා බොහෝ පහළ මට්ටමක පවතින බැවින් මෙම අවස්ථාවේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ආර්ථිකයට තවත් මරු පහරක් වනු ඇත. එබැවින්, මෙම අවස්ථාවේ අවශ්‍ය වන්නේ විදේශ මුදල් අතිරික්තයක් ජනිත කිරීමට උපකාරී වන ප්‍රමුඛ අංශයන් වෙත ණය ප්‍රසාරණය ඉලක්ක කෙරෙන නව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයකි.

එසේ නොමැතිව, විසඳුම් යෝජනාවන් සොයා රහසේ කතා බස් කොට විසිරී යන කිසිම ව්‍යස්ථාපිත වගකීමක් රහිත ආර්ථික සභාවන් පසුපස යාමෙන් ආර්ථික අර්බුදය දිනෙන් දින වර්ධනය වනු ඇත. එම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට හෝ නිසි ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හෝ අදාළ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ඉදිරිපත් නොවේ නම්, අර්බුදය විසඳීමට වෙළෙඳපොළ ඇතුළු ස්වභාවික සාධකවලට ඉඩ දීමට සිදු වනු ඇත. 

මෙම තත්ත්වය තුළ රජයට විරුද්ධ දේශපාලන පිරිස් විසින් සංවිධානය වී පාලන බලය ලබා ගැනීමේ සිවිල් අරගලයක් රට තුළ දියත් කිරීමේ දැඩි අවදානමක් පවතින බව පැහැදිලිව දැකිය හැකිය. ආර්ථික අර්බුදකාරී අවස්ථාවල රටේ සෑම පාර්ශවයන් අතර නිරන්තරයෙන් ගැටුම් සහ වියවුල් හට ගන්නා බැවින් රට පුරා සිවිල් අරගල ව්‍යාප්ත වීමේ හැකියාව ඉතා ඉහළ වෙයි. එමගින්, පොදුජන ජීවන මට්ටම දශක කිහිපයකට ආපස්සට ඇද වැටීමේ අවදානමක් ද පවතී.

(රුපියල පා කිරීමෙන් අපේක්ෂිත යහපත් සාර්ව ආර්ථික ප්‍රතිපල අත් කර ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම පිණිස උපකාරී විය හැකි තාක්ෂණික කතිකාවක් ඇති කිරීමේ අරමුණින් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ. මෙම විෂය පිළිබඳ ප්‍රයෝගික ආර්ථික විග්‍රහයක් සරසවි ප්‍රකාශයක් වන මෙම කතුවරයාගේ "ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව" ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කෙරේ )

පී සමරසිරි
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?