මහ බැංකුව වික්ෂිප්ත කළ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය සහ විදේශ මුදල් වෙළෙඳපොළ



ශ්‍රී ලංකාවේ උග්‍ර විදේශ විනිමය අර්බුදය හෙවත් ශ්‍රී ලංකා බැංකු පද්ධතිය මුහුණ දෙන උග්‍ර විදේශ විනිමය හිඟය සහ ඒ හේතු කොට පොදුජන ජීවිතයේ කඩා වැටීම සැවොම දන්නා ආර්ථික සිද්ධියකි. ඉතා සරල ආර්ථික විද්‍යාව අනුව යම් භාණ්ඩයක හෝ සේවයක හිඟයක් පවතින විට එහි මිල ඉහළ යාම සිදු වෙයි.

එහෙත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ විනිමය එන්න එන්නම හිඟ වුව ද, මහ බැංකු වාර්තාවන් අනුව එහි මිල වන විනිමය අනුපාතය බැංකු හෝ නිල විනිමය වෙළෙඳපොළ තුළ ස්ථාවරව හෝ ස්ථායී වී ඇත. එය පසුගිය පසුගිය සැප්තැම්බර් ආරම්භයේ සිට ඩොලරයක් රුපියල් 198-202 මට්ටමේ ස්ථාවරව පැවතී ඇත. එබැවින්, එය සරල ආර්ථික විද්‍යාවට හෝ සාමාන්‍ය ව්‍යාපාරික දැනුමට පිටත සිද්ධියකි. 

එහෙත්, කළුකඩය නමින් හැඳින් වෙන විවෘත වෙළෙඳපොළේ ඕනෑ තරම් ඩොලර් අළෙවි වන බවත්, එහි විනිමය අනුපාතය පසුගිය කාලය තුළ රුපියල් 225 සිට රුපියල් 250-260 මට්ටමට ඉහළ ගොස් ඇති බවත් නිල නොවන මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

ඊට හේතුව, විනිමය අනුපාතය ස්ථාවර හෝ පාලිත මට්ටමක පවත්වා ගැනීමේ සාමාන්‍ය ප්‍රතිපත්තිය වන මහ බැංකුව විසින් වෙළෙඳපොළට විනිමය සැපයීම සිදු නොවීම යි. ඊට හේතුව, මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිතය ඍණ මට්ටමක පැවතීම යි. මහ බැංකු වාර්තාවන් අනුව 2022 ජනවාරි මස අවසානයේ දළ නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 2.4 ක් පමණ ද (මාස 1.3 ක ආනයන සඳහා ප්‍රමාණවත්), 2022 ජනවාරි ආරම්භයේ මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිතය ඍණ ඩොලර් බිලියන 1.9 ක් ද විය. එබැවින්, රාජ්‍ය විදේශ ණය ගෙවීම සහ තෙල් සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ආනයනය සඳහා විදේශ විනිමය සැපයීම සිදු කෙරෙන්නේ රජය විසින් අසල්වැසි රජයන්ගෙන් ලබා ගන්නා විදේශ මුදල් අතමාරු හරහා ය.

එබැවින්, නිල වෙළෙඳපොළ විනිමය අනුපාතය රුපියල් 200 ක පහළ මට්ටමක තබා ගෙන ඇත්තේ මහ බැංකුවේ නියාමන බලතල හරහා බව පැහැදිළිය. එහෙත්, මෙය විවෘත වෙළෙදපොළ විනිමය අනුපාතය හා සැසඳීමේ දී ඉතා පහළ මට්ටමක් වූ බැවින් නිල වෙළෙඳපොළට ඉල්ලුමට සරිලන නිසි විනිමය සැපයුමක් නොමැතිව අක්‍රීය තත්ත්වයක පැවතින. එබැවින්, මෙම නිල විනිමය අනුපාතය ආර්ථික වශයෙන් අක්‍රිය සුභසාධන මිලක් පමණක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව විනිමය අනුපාත ප්‍රතිපත්ති මතය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්තු මස 7 වැනි දින හදිසි නිල පුවත්පත් නිවේදනයක් මගින් දක්වා ඇත්තේ, මාර්තු මස 4 වැනි දින මහ බැංකුව විසින් ඉදිරිපත් කළ විස්තීර්ණ ප්‍රතිපත්ති පැකේජය අනුව යමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳපොළේ විනිමය අනුපාතයේ වඩාත් නම්‍යශීලිත්වයකට අවසර දෙන බවත්, ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු ඩොලරයක් රුපියල් 230 කට නොවැඩි මට්ටමක සිදු විය හැකි බව මහ බැංකුවේ මතය බවත් ය. මෙය ඉතාමත් මහජන වගකීම් විරහිත මෙන්ම මහ බැංකු ප්‍රතිපත්ති අතර ගැටුම් නිරූපනය කෙරෙන ප්‍රකාශනයකි. ඊට හේතු කිහිපයකි.

  • පළමුව, ඊට පෙර කාර්යාල දිනය වූ මාර්තු 4 වැනි දින ප්‍රකාශයට පත් කළ විස්තීර්ණ ප්‍රතිපත්ති පැකේජයෙන් (මූල්‍ය ප්‍රතිපත්ති තීරණය) මෙය පහසුවෙන් කළ හැකිව තිබිණ. එබැවින්, මාර්තු 4 වැනි දින ඉදිරිපත් කොට ඇත්තේ මහ බැංකු විස්තීර්ණ ප්‍රතිපත්ති පැකේජයක් නොව සාමාන්‍ය මූල්‍ය ප්‍රතිපත්ති තීරණය ප්‍රකාශයට පත් කිරීමකි. එනම්, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 6.5% සහ 7.5% දක්වා 1% කින් ඉහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමක් පමණි.

  • දෙවනුව, විනිමය අනුපාතය රුපියල් 230 ක උපරිමය යනු මහ බැංකුවේ මතය වන අතර නිල වෙළෙඳපොළ විනිමය අනුපාතය එම මට්ටමේ පවත්වා ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළෙඳපොළට මහ බැංකුව විසින් සැපයෙන බවට ප්‍රකාශ නොවේ. එබැවින්, දැනටම විවෘත වෙළෙඳපොළේ විනිමය අනුපාතය රුපියල් 250-260 මට්ටමේ පවතින බැවින් නිල වෙළෙඳපොළේ විනිමය අනුපාතය රුපියල් 230 ක උපරිමයක පහළ මට්ටමක පවතින බවට දැක්වෙන මහ බැංකුවේ මතය සරල ආර්ථික විද්‍යාවට අනුව සාවද්‍ය වෙයි.

  • තෙවනුව, වෙළෙඳපොළ විනිමය අනුපාතය පිළිබඳ මහ බැංකුවේ මතය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා නීතිමය බලතල මහ බැංකුව වෙත පවතී. එහෙත්, මහ බැංකුවේ මතය ක්‍රියාත්මක කිරීමට වෙළෙඳපොළට බැඳීමක් නොමැත. වෙළෙඳපොළ සහභාගී කරුවන් විසින් තම ස්වාර්ථය පතා තරගකාරීව හැසිරීම තුළින් වෙළෙඳපොළ විනිමය අනුපාතය තීරණය වනු ඇත. එහි මට්ටම කුමක් ද? යන්න නිවැරදිව ප්‍රකාශ කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැත. එම මට්ටම මහ බැංකුවේ මතයට වඩා වෙනස් වෙයි නම්, මහ බැංකුව විසින් තම විදේශ සංචිතය හරහා වෙළෙඳපොළට මැදිහත් විය යුතුය. එය ඕනෑම මිල පාලනයක පදනම යි. එහෙත්, විදේශ සංචිතයක් නොමැති මහ බැංකුවට තම මතය ක්‍රියාත්මක කිරීමට මෙම අවස්ථාවේ හැකියාවක් නොමැති බැවින් මත ප්‍රකාශ කිරීමේ ප්‍රයෝජනයක් නොමැත.

  • සිව්වනුව, මාර්තු 4 වැනි දින විස්තීර්ණ ප්‍රතිපත්ති පැකේජය ඉදිරිපත් කිරීමේ දී මහ බැංකුව විසින් විනිමය අනුපාත ස්ථායීතාවයක් පැවති බව දක්වා ඇත. එබැවින්, ඊළඟ කාර්යාල දිනයේ දී විනිමය අනුපාතය රුපියල් 200 සිට රුපියල් 230 ක මට්ටමට 15% කින් අවප්‍රමාණය විය යුතු බවට මතයක් ප්‍රකාශ කිරීම තුළින් මාර්තු 4 වැනි දින මහ බැංකුව විසින් ඉදිරිපත් කළ විස්තීර්ණ ප්‍රතිපත්ති පැකේජය හෙවත් මූල්‍ය ප්‍රතිපත්ති තීරණ පදනම දෙදරී ඇත. එසේම, එක් දිනයක් තුළ විනිමය අනුපාතය 15% කින් අවප්‍රමාණය වීමට විශේෂ හේතුවක් මහ බැංකුව විසින් දැක්විය යුතුය. යුක්‍රේන-රුසියානු යුද්ධය මිට හේතුවක් නොවේ. ඊට හේතුව, එම යුද්ධයේ ගෝලීය ආර්ථික බලපෑම මාර්තු 4 වැනි දින ද වෙනසක් නොමැතිව පැවති බැවිනි.

  • පස්වනුව, රුපියල් 230 මට්ටමේ විනිමය අනුපාතය පවත්වා ගෙන යාම සඳහා මහ බැංකුව විසින් වෙළෙඳපොළට තම සංචිතයෙන් විදේශ විනිමය සැපයීමක් සිදු නොවේ නම්, විනිමය අනුපාතය එම මට්ටමේ නොපවතිනු ඇත. එබැවින්, නිල විනිමය වෙළෙඳපොළේ විනිමය අනුපාතය විවෘත වෙළෙඳපොළ විනිමය අනුපාතය සමඟ තරගකාරීව ඉහළ යා යුතුය. මෙහිදී, විවෘත වෙළෙඳපොළේ විනිමය අනුපාතය නම්‍යශිලී ලෙස හැසිරෙන බැවින් වත්මන් ශ්‍රී ලංකා ආර්ථික සහ භූදේශපාලනික සාධක අනුව එහි විනිමය අනුපාතය තවත් ඉහළ යනු ඇත. එබැවින්, ඊට තරගකාරී ලෙස නිල විනිමය අනුපාතය රුපියල් 230 ඉක්මවා ඉහළ යාමට විවිධ නියාමනයන් හරහා මහ බැංකුව ඉඩ නොදුන හොත්, නිල විනිමය වෙළෙඳපොළ තවදුරටත් අක්‍රීයව පවතිනු ඇත.

  • සයවනුව, ජනවාරි 12 දින පැවති රුපවාහිනී සාකච්ඡාවේ දී, මහ බැංකු ඉහළ නිලධාරීන් විසින් පැවසූයේ ඔවුන්ට ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා උපාධීන් හිමි බවත්, රාජ්‍ය විදේශ ණය ගෙවීමේ පිරිවැය සහ ජීවන වියදම පහළ මට්ටමක පාලනය කිරීමේ අරමුණ මත විනිමය අනුපාතය ස්ථාවරව තබා ගැනීම හෝ පාලනය කිරීම කෙරෙන බවත් ය. ඊට හේතුව, විනිමය අනුපාතය ඉහළ යන විට රාජ්‍ය විදේශ ණය ආපසු ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහළ යාම සහ ආනයනවල දේශීය මිල ගණන් ඉහළ යාම සිදු වන බැවිනි. එසේ නම්, මෙසේ විනිමය අනුපාතය එක් වරම අවප්‍රමාණය වීම/ඉහළ යාම හේතු කොට එම අරමුණ අත හැර දැමීමට මහ බැංකුවට සිදු වනු ඇත.

ආර්ථිකය කඩා වැටෙද් දී  නිල විනිමය අනුපාතය රුපියල් 200 මට්ටමේ ස්ථාවරව තැබූ වේ කවුරු විසින් ද?

මහ බැංකුවේ නව ප්‍රකාශනය දෙස බැලීමේ දී පෙනී යන්නේ නිල විනිමය අනුපාතය රුපියල් 200 ක් නොව රුපියල් 230 කට නොවැඩි මට්ටමකට ඉහළ යා යුතු බවට මහ බැංකුවේ මතයකි. එසේ නම් එය මෙතෙක් රුපියල් 200 මට්ටමේ ස්ථාවර මට්ටමක තබා ගත්තේ කවුරු විසින් ද? යන ප්‍රශ්නය මතු වෙයි. විනිමය අනුපාතය මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් යටත් වෙයි. ඒ අනුව, නිල විනිමය අනුපාතය නියම කිරීමට හෝ නොකිරීමට අධිකාරිය පවතින්නේ මුදල් ඇමති වෙත ය. එය මහ බැංකු මුදල් මණ්ඩලයේ නිර්දේශය මත සිදු විය යුතුය.

එහෙත්, රුපියල් 200 විනිමය අනුපාතය මුදල් ඇමතිගේ නියෝගයක් මත සිදු වූ බවට නිල දැන්වීමක් නොමැත. මහ බැංකුව වෙත පවතින අධිකාරිය වන්නේ බැංකු සමඟ සිදු කෙරෙන තම විනිමය වෙළෙඳ ගනුදෙනුවලට අදාළ විනිමය අනුපාතයන් තීරණය කිරීම පමණි. එබැවින්, ආර්ථිකයට මහත් ව්‍යසනයක් ඇති කරමින් රුපියල් 200 මට්ටමේ නිල විනිමය අනුපාතය පවත්වා ගත්තේ කවුරු විසින් ද? යන්න පරීක්ෂණයක් කළ යුතුය. ඊට හේතුව, එමගින් සිදු වී ඇති පොදුජන ආර්ථික ව්‍යසනය ඉහළ බැවිනි.

බැංකු විනිමය අනුපාතයට වඩා තවත් රුපියල් 10 ක් විදේශ නියුක්ති ප්‍රේෂණ සඳහා ගෙවන ලෙස මහ බැංකුව විසින් බැංකුවලට උපදෙස් දී පැවතින. එබැවින්, එහි පදනම කුමක් ද? යන්න මෙහිදී පරික්ෂා කළ යුතුය. ඊට හේතුව, මහ බැංකුවේ නව මතය අනුව විදේශ නියුක්ති ප්‍රේෂණ හිමියන්ට මෙන්ම අපනයන කරුවන්ට පහළ විනිමය අනුපාතයක් ලැබීමෙන් අධික අනපේක්ෂිත පාඩුවක් සිදු වී ඇති බැවිනි.

විදේශ ප්‍රේෂණ සඳහා බැංකු විනිමය අනුපාතයට වඩා තවත් රුපියල් 38 ක් සහ අපනයන කරුවන්ට රුපියල් 30 ක් ගෙවීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇති බව මාර්තු මස 8 වැනි දින සවස වාර්තා විය. එනම්, එම විනිමය අනුපාතයන් විවෘත වෙළෙඳපොළ විනිමය අනුපාතයට (රුපියල් 250-260) තරගකාරී මට්ටමකට පත් කිරීම යි. එසේ නම්, නිල විනිමය අනුපාතය රුපියල් 230 ක් ලෙස වන මහ බැංකුවේ මතය දැනටම රජය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව පෙනේ. එබැවින්, ඒකීය විනිමය අනුපාතයක් වෙනුවට බහුවිධ විනිමය අනුපාත ක්‍රමයක් අනුගමනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය බව පෙනේ.

එබැවින්, ඉහත දැක්වූ පරිදි රුපියල් 230 උපරිම විනිමය අනුපාතය වත්මන් විදේශ විනිමය සහ ආර්ථික අර්බුදය විසඳීමට කෙසේ වත් ප්‍රමාණවත් මට්ටමක් නොවන බව පැහැදිලිය. තවද, මහ බැංකු නිල පුවත්පත් නිවේදනයෙන් පසු දිනම, එනම් මාර්තු මස 8 වෙනි දින, බැංකු විනිමය අනුපාතයන් රුපියල් 200 මට්ටමේ සිට 230 දක්වා ක්ෂණිකව ඉහළ ගිය බව වාර්තා විය. එබැවින්, මහ බැංකු මතයේ යෝග්‍යතාවයක් නොමැත. එබැවින්, මහ බැංකු මතයේ නිවැරදිතාවය හෝ සාර්ව ආර්ථික පදනම ද පරික්ෂා කළ යුතුය.

විනිමය අනුපාතය මෙසේ පාලනය කරන ලෙස ආර්ථික විද්‍යා උපාධි පාඨමාලාවල ඉගැන්වීම කෙරේ ද?

ස්ථාවර විනිමය අනුපාතය යනු මිල පාලනයකි. 1944 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන ලද රන්-ඩොලර් හුවමාරුව මත පදනම් වූ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය අනුව එය 1971 දී අවලංගු කරන තෙක් ලෝකයේ පැවතියේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය යි. මෙහිදී, රජයන් විසින් ඩොලරය සඳහා තම මුදලේ විනිමය අනුපාතය තීරණය කළ අතර විනිමය පාලනයන් සහ විදේශ සංචිත හරහා එය කාලයක් පවත්වා ගන්නා ලදි. තවද, විනිමය අනුපාතය ආරක්ෂා කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ හිඟයන් පවතින රටවලට කෙටි කාලීන ණය ලබා දෙන ලදි.

1971 න් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තම ස්ථාවර විනිමය අනුපාත ප්‍රතිපත්තිය අත්හැර දැමූ අතර රටවල් විසින් විවිධාකාරයේ පාලිත සහ නම්‍ය විනිමය අනුපාත ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදි. ඒවායේ පදනම් වූයේ ආර්ථිකයේ විනිමය ඉල්ලුම සහ සැපයුම මත විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ දීම සහ එහි අධික විචලනයන් වැලැක්වීම සඳහා මහ බැංකු විසින් විනිමය මිල දී ගැනීම සහ විකිණීම හරහා අභිමතානුසාරී ලෙස වෙළෙඳපොළට මැදිහත් වීම යි. මේ සඳහා මහ බැංකු විසින් විදේශ විනිමය සංචිතයක් පවත්වා ගෙන යන ලදි.

එබැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය සහ කොන්දේසිය වූයේ විනිමය අනුපාතය නම්‍යශීලීව පවත්වා ගැනීම සහ තිරසාර විදේශ සංචිතයක් ගොඩ නැගීම සඳහා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ගැනීම යි. ඊට ආධාරකයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ගෙවුම් ශේෂ හිඟයන් පවතින රටවල් සඳහා ණය ක්‍රමයන් රාශියක් ක්‍රියාත්මක කෙරින. එමගින්, විදේශ සංචිතය වර්ධනය කර ගැනීම සහ විදේශ ආයෝජන ආකර්ෂණයට උපකාරී විය. එසේම, ඊට සමගාමීව අනෙකුත් මිල පාලනයන් ද ක්‍රමයෙන් ඉවත් කොට වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථිකයන් ප්‍රවර්ධනය ආරම්භ විය.

1990 ගණන් වන විට සංවර්ධිත රටවල් විසින් විනිමය අනුපාතය පූර්ණ නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩ හරින ලදි. යුරෝපීය හවුලේ රටවල් විසින් 1998 දී පොදු මහ බැංකුවක් (යුරෝපීය මහ බැංකුව) පිහිටුවා, 2002 දී තම මුදල් අවලංගු කොට එම පොදු මහ බැංකුව විසින් නිකුත් කෙරෙන යුරෝ නම් වූ  නව මුදලක් සංසරණයට හඳුන්වා දීම තුළින් කලාපය තුළ විනිමය අනුපාතයන් ඉවත් කොටඑක් මුදලක් භාවිතා කිරීම හරහා ආර්ථික ක්‍රියාකාරකම්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවන ලදි. යුරෝපීය මහ බැංකුව විසින් යුරෝ මුදලේ විනිමය අනුපාතය කිසි ලෙසකින් පාලනය  නොකෙරේ. ඇමෙරිකානු මහ බැංකුව ප්‍රකාශ කරන්නේ ඩොලරයේ විනිමය අනුපාතය තම වගකීමක් නොව රජයේ වගකීමක් බව යි.

ඒ සමඟ නම්‍ය විනිමය අනුපාත ප්‍රතිපත්තිය ආර්ථික විද්‍යා පාඨමාලාවල ජනප්‍රිය මාතෘකාවක් බවට පත් විය. ඒ අනුව, ස්ථාවර විනිමය අනුපාතය සහ නම්‍ය විනිමය අනුපාතය අතර වාසි සහ අවාසි න්‍යායාත්මක පදනමක් මත සැසඳීම දැකිය හැකිය. එහෙත්, ස්ථාවර විනිමය අනුපාතය සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස අඛණ්ඩව පවත්වා ගෙන යාමට නිර්දේශ කෙරෙන ආර්ථික විද්‍යා පාඨමාලාවන් නූතන විශ්ව විද්‍යාලවල දැකිය නොහැකිය.

ශ්‍රී ලංකා රජයේ තීරණයක් අනුව 1977 නොවැම්බර් මස දී ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ඉවත් කොට,  එතැන් සිට ක්‍රමයෙන් නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමයක්  ප්‍රවර්ධනය කරන ලදි. ඒ අනුව, 2001 ජනවාරි මස 23 දින මහ බැංකුව විසින් තම විනිමය අනුපාත කොරිඩෝව (පාලිත පාවෙන ක්‍රමය) අවලංගු කොට විනිමය අනුපාතය වෙළෙඳපොළේ නිදහසේ තීරණය වීමට හෙවත් පාවීමට ඉඩ හරින ලදි. එනම්, මුදල් ඇමති විසින් විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමෙන් වැලකී සිටීමේ ප්‍රතිපතිය යි. 

එතැන් සිට රජය සහ මහ බැංකුව විසින් විසින් විවිධාකාරයෙන් සහ විවිධ මට්ටමින් එම නම්‍යතාවය පාලනය කරන ලදි. ඒ සඳහා අවශ්‍ය විදේශ සංචිතය කෙටිකාලීන විදේශ ණය හරහා සපයා ගන්නා ලදි. විදේශ ණය හරහා වරින් වර විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය කළ අතර විනිමය වෙළෙඳපොළ සහ වෙනත් ප්‍රතිපත්ති තුළින් ආර්ථිකයේ ගෙවුම් ශේෂ ජංගම ගිණුම ශක්තිමත් කිරීම සඳහා එතරම් දායකත්වය සැපයීමක් සිදු වී නොමැත. එබැවින්, ආර්ථිකයේ විදේශ විනිමය තත්ත්වය ක්ෂණික ආතතීන්ට ගොදුරු වීමේ අවදානමක් අඛණ්ඩව පැවතින. 

මෙහි මහජනයාට ඉතාමත් පීඩාකාරී පාලනය වූයේ 2021 සිට විනිමය අනුපාතය නීති රාමුවෙන් පිට නිල නොවන ලෙස ස්ථාවර මට්ටමක තබා ගැනීමට උත්සාහ කිරීම යි. වත්මන් විදේශ ණය අර්බුදයේ සහ විදේශ විනිමය අර්බුදයේ බීජය වනුයේ මෙසේ ආර්ථිකයට අනුරූපව විනිමය අනුපාතය සහ විදේශ විනිමය වෙළෙඳපොළ ප්‍රවර්ධනයට මහ බැංකුව නොදීම යි. එය මාර්තු මස 7 වැනි දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රශ්නකාරී නිල පුවත්පත් නිවේදනයෙන් මනාව පැහැදිලි වෙයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විසින් මෑතදී ප්‍රකාශ කරනු ලැබුවේ මෙම අර්බුදයට හේතුව මහ බැංකුවේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය බවත්, ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

වත්මන් විදේශ මුදල් අර්බුදය විසඳීමේ යෝජනාවලිය

පසුගිය කාලය පුරා මෙම විදේශ මුදල් අර්බුදය වැලැක්වීම සඳහා මේ පිළිබඳව පදනම් දැනීම ඇති වියතුන් විසින් විවිධාකාරයේ යෝජනාවන් ඉදිරිපත් කොට ඇත. අතීතයේ දී මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් හදිසි ණය මුදලක් ලබා ගැනීම, විනිමය අනුපාතය වෙළෙඳපොළ මගින් නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩ දීම, ණය ආපසු ගෙවීමේ සහනයක් ලබා ගැනීම පිණිස රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ගෙවුම් ශේෂ ජංගම ගිණුම වාසිදායක වීමට උපකාරී වන ණය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම යනාදිය ඉන් ප්‍රධාන වෙයි. එබැවින්, මහ බැංකුව විසින් හුදෙක් නිල විනිමය අනුපාතයේ මට්ටම පිළිබඳ ව තම මතය ප්‍රකාශ කිරීමෙන් වත්මන් විදේශ මුදල් අර්බුදය නිම වී පොදුජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් වේ යැයි මහ බැංකුව බලාපොරොත්තු වෙයි නම්, එය හුදෙක් සිහිනයක් පමණි. 

මේ සඳහා තීරණ ගැනීමේ බලය පවතින්නේ මුදල් ඇමති සහ මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත ය. මුදල් මණ්ඩලයේ තීරණයන් අභිමවා යාමේ බලයක් මුදල් ඇමති වෙත පවතී. එම තීරණයන් මෙම අවස්ථාවේ ව්‍යුහාත්මක සහ දිගු කාලීන (අඩු වශයෙන් වසර 10 ක්) පදනමක් සහිත ප්‍රතිපත්ති තීරණයන් විය යුතු බවට විවාදයක් නොමැත. කෙටි කාලීන හෝ හදිසි ගැලපුම් ප්‍රතිපත්ති ගැනීමේ කාලය නිම වී බොහෝ කල් ය.

එහෙත්, එම අධිකාරීන් විසින් එවැනි යෝජනාවන් නිර්දය ලෙස බැහැර කොට, හුදු තම මතයන් ප්‍රකාශ කිරීමේ තීරණයන් ගැනීම වැනි සිල්ලර ක්‍රියාවන් සඳහා කාලය සහ සම්පත් නාස්ති කිරීමෙන් පොදුජන ජීවන මට්ටම කඩා වැටීමේ පරම්පරා ගත අලාභයට වගකිව යුත්තේ ද, එම අධිකාරීන් විසින් බව සරල දැනුමකි.මෙහිදී, පොදුජන යහපත සඳහා ව්‍යවස්ථාපිත බලතල හිමි ආයතන හෝ නිලධාරීන් විසින් ඒවා උල්ලංගනය කිරීමේ නීතිමය වගකීම කෙරෙහි ද අවධානයට යොමු විය යුතුය.

මෙම තත්වය තුළ විවිධ දේශපාලනික පිරිස් විසින් රටෙහි සිවිල් අරගලයක් දියත් කිරීමේ අවදානම සහ එමගින් පොදුජන ආර්ථිකය දශක ගණනාවකට ආපස්සට ඇද වැටීමේ අවදානම ඉතා ඉහළ බව කිව යුතුය.

(වැඩි දුර විස්තර සඳහා මෙම වෙබ් අඩවියේ අඩංගු මෙම කතුවරයාගේ ලිපි දෙකක් වන "ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ රුපියලේ (ඩොලරයේ) වටිනාකමට කුමක් වෙයි ද? එය ආරක්ෂා කිරීමට මහ බැංකුවට හැකියාව පවතී ද?" සහ "රටකට විදේශ මුදල් සංචිතයක් අවශ්‍ය ඇයි? විදේශ මුදල් සංචිතයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දායක වන්නේ කෙසේ ද?" බලන්න.)

පි සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?