IMF, භාණ්ඩාගාරය සහ මහ බැංකු සංකල්පයන්ට මැදි වී මිරිකෙන පොදුජන ආර්ථිකය

 


IMF ආර්ටිකල් IV උපදේශන වාර්තාව

මේ දිනවල ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් IMF විසින් මාර්තු මස 25 දින ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ව නිකුත් කරන ලද 2021 වර්ෂයේ ආර්ටිකල්  IV උපදේශන වාර්තාව (IMF Article IV Consultation Report) අළෙවි කරණයේ පෙරමුණ ගෙන ඇත. එසේමප්‍රධාන ධාරා සාර්ව ආර්ථික විද්‍යාවේ පෙළ පොත්වත් නොදන්නා දේශපාලනික නායකයන් පවා රජය විවේචනය කිරීමට කරුණු සොයමින් මෙම IMF වාර්තාව පසු පස දිවීම නව ප්‍රවණතාවයකි. මෙම IMF වාර්තාව පාර්ලිමේන්තු විවාදයන්ට ගෝචර වීම ද ඓතිහාසික සිද්ධියකි.

ශ්‍රී ලංකාව මේ දක්වා ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ ගැටළු විසඳීම පිණිස 1965 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා 16 වරක් IMF ණය වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත. එසේම, IMF විසින් ආර්ටිකල් IV උපදේශනය සාමාන්‍යයෙන් වාර්ෂිකව සිදු කෙරේ. එබැවින්අතීතයේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ව මෙවැනි IMF වාර්තාවන් රැසක් නිකුත් කොට ඇත. ඒවා මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුගේ විශාල රහස් ලිපි ගොනු අතරේ රැඳීම සාමාන්‍ය ලක්ෂණය යි. සමහර විට ඒවා "අවශ්‍ය පියවර සඳහා" යන්න උපදෙස් සමඟ පහළ නිලධාරීන්ට ද යොමු කළා විය හැකිය. 

එම වාර්තාවන් ඒවා සැකසූ IMF ආර්ථික විද්‍යාඥයන් පවා කිහිප දෙනෙක් පමණක් කියවන්නට ඇත. 1965 සිට IMF ණය වැඩසටහන් සහ උපදේශන වාර්තාවල කරුනු අනුව ආර්ථිකය කළමනාකරණය කළා නම්, අද ශ්‍රී ලංකාව සිංගප්පූරුවට වඩා ඉහළින් සිටින රටක් විය හැකිව තිබිණ.

ශ්‍රී ලංකාව වැනි බොහෝ සාමාජික රටවල් පිළිබඳ ව නිකුත් කෙරෙන එම වාර්තාවල ඉලක්කම් හැර අනෙක් බොහෝ කරනු එකම අච්චුවක ඉදිරිපත් කෙරෙන බව රහසක් නොවේ. ඊට හේතුව, IMF සාර්ව ආර්ථික එළඹුම අනුව මෙම රටවල් මුහුණ දෙන සාර්ව ආර්ථික අවදානම් සමාන බැවිනි. ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් ද ආර්ථිකයක් පිළිබඳ ඇගයීම සිදු කෙරෙන්නේ IMF සාර්ව ආර්ථික එළඹුම පදනම් කර ගෙන වන බැවින් ඔවුන් විසින් භාවිතා කරනු ලබන ආර්ථික විශ්ලේෂණ භාෂාවේ ද විශේෂ යෙදුම් දක්නට නොමැත.

1965 සිට IMF සියළු ණය වැඩසටහන් සහ උපදේශන වාර්තාවන් මත කළමනාකරණය කරන ලද ශ්‍රී ලංකා ආර්ථිකය ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ ගැටළුවලට අඛණ්ඩව මුහුණ දී ඇති අතර එය පෙර නොදුටු මානුෂීය අර්බුදයක් බවට වර්තමානයේ පත් වී ඇත. එහෙත්, මෙවර IMF උපදේශන වාර්තාව හුවා දක්වමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සහ ණය තිරසර භාවයක් නොමැති බවත්, මුදල් මුද්‍රණය හේතු කොට ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් හට ගෙන ඇති බැවින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවත් සම්මතවාදී ආර්ථික විද්‍යාඥයන් විසින් පුන පුනා දක්වමින් සමාජ මාධ්‍යය හරහා රජය විවේචනය කිරීම දැකිය හැකිය.

ඉන් ප්‍රධාන ආර්ථික විද්‍යාඥයන් රාජ්‍ය ණයමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය සහ සාර්ව ආර්ථික කළමනාකරණය තම බූදලයක් ලෙස සලකා පසුගිය දශක දෙකක පමණ කාලයක් ක්‍රියාත්මක කළ අය වෙයි. මොවුන්ට IMF ආයතනය තම නිවසට නොදෙවෙනි විය. එබැවින්වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය ණයවිදේශ සංචිත සහ මූල්‍ය කළමනාකරණ අර්බුදය ඔවුන් විසින් හඳුන්වා දී ඇති ක්‍රමවේදයන්ගේ ප්‍රතිඵලයක් බව ඔවුන් හොඳින් දන්නා බැවින් ඒවා විවේචනය කිරීම ඔවුන්ට ඉතා පහසු වෙයි.

කොරෝනා වසංගතය ආරම්භයේ දී ම මෙය ජාත්‍යන්තර මානුෂීය සහ ආර්ථික වසංගතයක් ලෙස සලකා එහි සාමාන්‍ය ණය ඇගයුම් ක්‍රියාවලියෙන් සහ කොන්දේසිවලින් පරිබාහිර ලෙස සාමාජික රටවල හදිසි ගෙවුම් ශේෂ ගැටළු නිරාකරණය සඳහා ණය ලබා දෙන බවත්, ඒ සඳහා ඩොලර් බිලියන 50 ක අරමුදල් වෙන් කළ බවත්, අවශ්‍ය වුව හොත් එහි ඩොලර් ට්‍රිලියනයක් වූ මුළු අරමුදල් ධාරිතාවයම භාවිතා කිරීමට සුදානම් බවත් IMF කළමනාකාර අධ්‍යක්ෂක තුමිය විසින් 2020 මාර්තු 17 වැනි දින ප්‍රකාශ කළ අතර එම පහසුකම සඳහා හැකි ඉක්මණින් අයදුම් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින ලදි. 

දැනට රජය විවේචනය කෙරෙන සමහර ආර්ථික විද්‍යාඥයන් එවක මහ බැංකු ඉහළ නිලතල බුක්ති වින්ද අතර මුදල් නීති පනතේ ප්‍රතිපාදන යටතේ රජය වෙනුවෙන් IMF නියෝජනය කෙරෙන සහ රජයේ නිල මූල්‍ය උපදේශ වන මහ බැංකුව විසින් තවමත් රජය විසින් IMF ණය පහසුකම් ලබා ගැනීම කෙරෙහි ගැටළුකාරී ප්‍රකාශනයන් නිකුත් කිරීම දැකිය හැකිය.

IMF සාර්ව ආර්ථික කළමනාකරණ විග්‍රහයේ පදනම

IMF ආර්ථික විද්‍යාඥයන් විසින් සාමාජික රටවල් සඳහා තම සාර්ව ආර්ථික විග්‍රහයන් සහ නිර්දේශයන් (කොන්දේසි ඇතුළුව) ඉදිරිපත් කිරීම සඳහා පදනම ලෙස යොදා ගන්නේ සම්මතවාදී ආර්ථික න්‍යාය යි. ඔවුන්ට අනුව ආර්ථිකයක සියළු පව් මූල්‍ය පද්ධතියට පැවරේ. එනම්රාජ්‍ය අයවැය හිඟයගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනකාරී තත්ත්වය මූල්‍ය සිද්ධියකි. මෙය පැරණි මුදල් ප්‍රමාණවාදයගෙවුම් ශේෂය පිළිබඳ මූල්‍ය න්‍යාය සහ ජාතික ආදායම් සමතුලිතය යන සංකල්පයන් තුන මත ගොඩ නැගී ඇත.

  • පළමුවමුදල් ප්‍රමාණවාදයට අනුව උද්ධමනය යනු ආර්ථිකයේ මුර්ත නිෂ්පාදන වර්ධනයට වඩා වැඩි වේගයකින් මුදල් සංසරණය ඉහළ යාමේ ප්‍රතිපලය යි. 
  • දෙවනුවගෙවුම් ශේෂය පිළිබඳ මූල්‍ය වාදී න්‍යායට අනුව ගෙවුම් ශේෂ හිඟය යනු ආර්ථිකයේ මුදල් මුද්‍රණයට වඩා වැඩි වේගයකින් දේශීය ණය පරිමාව ප්‍රසාරණය වීමේ ප්‍රතිඵලයකි.
  • තෙවනුවජාතික ආදායම් සමතුලිත සංකල්පය අනුව ගෙවුම් ශේෂ හිඟය යනු අයවැය හිඟය පියවීම සඳහා දේශීය පෞද්ගලික ඉතුරුම් අතිරික්තයක් නොමැති වීමේ ප්‍රතිපලයකි. මෙහිදීඅයවැය හිඟය යනු ආර්ථිකයේ සමස්ත සැපයුමට වඩා ඉල්ලුම ඉහළ නැංවෙන මුදල් මුද්‍රණය මගින් පියවෙන ඉල්ලුම් සංරචකය යි. 

මෙම සංකල්පයන් තුන සංයුක්ත කළ විට ආර්ථිකයේ ගෙවුම් ශේෂ හිඟය ඉහළ යාම තුළින් හට ගෙන ඇති විදේශ අරමුදල් හිඟයට සහ උද්ධමනයට හේතුව වනුයේ අයවැය හිඟය සහ මුදල් මුද්‍රණය ඉහළ යාම වෙයි.

එබැවින්සම්ප්‍රදායික IMF නිර්දේශය වනුයේ අයවැය හිඟය පහළ දැමීම සහ මුදල් සැපයුම පාලනය කිරීම යි. එනම්රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම යි. පාරිභාෂික වචන සහ විශේෂණ පදවල බර ඉවත් කළ විට ඕනෑම IMF උපදේශන වර්තාවක හරය එය වෙයි.

IMF ණය කොන්දේසි

එබැවින්පසුගිය 16 වතාවේ දී මෙන් නුදුරු අනාගතයේ දී රජයට එකඟ විය යුතු මැදි කාලීන IMF ණය වැඩ සටහනේ ප්‍රධාන කොන්දේසි තුනක් පිළි ගැනීමට රජයට සිදු වනු ඇත. ඊට හේතුවඑවැනි IMF ණය වැඩසටහනක් නොමැතිව වත්මන් උග්‍ර විදේශ මුදල් හිඟය තුළින් පැන නැගී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම දුෂ්කර වන බැවිනි.

  • පළමුවඅයවැය හිඟය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 4%-5% දක්වා පහළ දැමීම. ඒ සඳහා අයවැය ගැලපුම් යෝජනාවලියක් ඉදිරිපත් වනු ඇත. එමගින්රාජ්‍ය ණය වර්ධනය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 75% ක් වැනි මට්ටමක් දක්වා පහළ දැමීම සහ ඉදිරියේ දී ණය පැහැර හැරීම වැලැක්වීම සහ ණය තිරසරභාවය සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියා කිරීමට යෝජනා කෙරෙනු ඇත.
  • දෙවනුවවාර්ෂික උද්ධමන මට්ටම 4%-5% දක්වා පහළ දැමීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම. ඊට අතිරේකයක් ලෙස මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළ හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම අත්හිටුවාමුදල් මුද්‍රණය සඳහා කාර්තුමය සාමාන්‍ය ඉලක්ක ලබා දෙනු ඇත.
  • තෙවනුවරාජ්‍ය විදේශ ණය සහ මුදල් හුවමාරු නොවන මූර්ත ආර්ථික ගනුදෙනු හරහා විදේශ මුදල් සංචිතය වර්ධනය කිරීම. ඒ සඳහා කාර්තුමය සාමාන්‍ය ඉලක්ක ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා අධිකාරින්ගේ ජාතික වගකීම

IMF ආර්ථික විද්‍යාඥයන් විසින් මුලින් දැක්වූ සංකල්පයන් තුන මත පිහිටා සාර්ව ආර්ථික දර්ශක කිහිපයක අතීත ප්‍රවණතාවන් දෙස බලා ගෙනමෙම සාර්ව රෝග විනිශ්චය සහ නිවාරණ නිර්දේශයන් ඉදිරිපත් කෙරෙන අතර ඔවුන් කිසිවෙකුට බිම් මට්ටමින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් නියාමනය පිළිබඳ රාජ්‍ය සේවා අත්දැකීම් නොමැත. බොහෝ දෙනෙකු ඇමෙරිකාවේ ඉතා ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවලින් ආචාර්ය උපාධිය ලබා සැබෑ ලොව ආර්ථික විද්‍යාව ඉගෙනීම ආරම්භ කරන අය වෙයි.

එබැවින්ඔවුන් විසින් කරනු ලබන සාර්ව ආර්ථික කලමනාකරණ නිදේශයන් පිළිබඳ ක්‍ෂද්‍ර හෝ ආංශීය ආර්ථික ක්‍රියාකාරකම් පදනම්කර ගෙන තර්ක විතර්ක ඉදිරිපත් කිරීමෙන් ඵලයක් නොමැත. ඊට හේතුවශ්‍රී ලංකා ආර්ථිකය ඔවුන්ගේ සංකල්පයන්ගෙන් පිටත විශේෂ ආර්ථික ආකෘතියකට ඇතුල් කිරීමට ඔවුන් කැමති නොවන අතර ඒ සඳහා දැනුමක් ඔවුන් සතුව නොමැත. බොහෝ රටවල ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන් ඔවුන් ද දැනට තිබෙන කාර්යාල ලිපිගොනු තුළ හැසිරෙන පිරිසකි.

ශ්‍රී ලංකා රජය ගිලන් රථයකින් IMF වෙත ගමන් කෙරෙන බැවින් දැනට රජයට අවශ්‍ය හදිසි ප්‍රතිකාරය වනුයේ සැලකිය යුතු ප්‍රමාණයක මැදි කාලීන ණය මුදලකි. මීට පෙර IMF ණය වැඩසටහන් දෙකේ දී මෙවැනි ගෙවුම් ශේෂ සහ ආර්ථික අර්බුදයක් නොමැතිව වුව ද ලබා ගත් ණය ප්‍රමාණයන් 2009 දී එස්.ඩී.ආර් මිලියන 1,653 සහ 2016 දී එස්.ඩී.ආර් මිලියන 1,070 සමඟ සැසඳීමේ දී වත්මන් ගෝලීය ආර්ථික කම්පනය ද සැලකිල්ලට ගෙන ආර්ථික ස්ථායිතාවය සහ ජාත්‍යන්තර විශ්වාසය ප්‍රවර්ධනය කිරීම සඳහා අඩුම වශයෙන් එස්.ඩී.ආර් මිලියන 8,000 ක ණය මුදලක් සඳහා කේවල් කළ යුතුය.

ඒ සඳහා මෑත දී නිකුත් කරන ලද ඩොලර් බිලියන 650 ක් පමණ වූ නව එස්.ඩී.ආර්. සලාකය ඇතුළුව ඕනෑ තරම් අරමුදල් IMF වෙත පවතී. දැනට කොරෝනා වසංගතයෙන් රෝගී වූ ශ්‍රී ලංකාව වැනි රටවල් 90 කට එස්.ඩී.ආර් මිලියන 122,643 (ඩොලර් මිලියන 170,571 ක්) ක පමණ ණය සහ රටවල් 31 කට එස්.ඩී.ආර් මිලියන 690 (ඩොලර් මිලියන 965 ක්) ක පමණ ණය ආපසු ගෙවීමේ සහන IMF විසින් ප්‍රදානය කොට ඇත.

මෑත දී, IMF විසින් නිකුත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අනුව රටවල තිරසාර ආර්ථික සංවර්ධනය සහ ස්ථායිතාවය සඳහා මහජනයා අතර ආදායම් විෂමතාවය අඩු කිරීමත්ඒ සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යොමු කිරීමේ අවශ්‍යතාවයත් පිළි ගෙන ඇත. එය සම්ප්‍රදායික IMF ආර්ථික සංකල්පයන්ට අතිරේක දැක්මකි. එබැවින්, IMF වෙතින් පුළුල් ණය වැඩපිලිවෙලක් කේවල් කිරීම සඳහා ශ්‍රී ලංකා අධිකාරීන්ට මෙය හොඳ ප්‍රවේශයක් වනු ඇත.

රාජ්‍ය වියදම් කපා හරින ලෙස IMF විසින් කෙරෙන නිර්දේශයට සමහර දේශපාලනික සහ ආර්ථික වියතුන් විසින් ප්‍රසාදය පළ කිරීම දැකිය හැකිය. එහෙත්අතීතයේ රාජ්‍ය වියදම් තුළින් ආර්ථිකය සහ ජන ජීවිතය ඉහළ නැංවීමට උපකාරී වී ඇති ආකාරය ඔවුන්ගේ වර්තමාන ජීවන මට්ටම දෙස බැලීමේ දී වුව ද පැහැදිලි වෙයි. මෙහිදීවියදම් කැපීමක් නොව වියදම් ඵලදායීතාවය සහ බදු රැස් කිරීමේ හැකියාව පදනම් කර ගෙන වියදම් තාර්කිකව ප්‍රතිව්‍යුහගත කිරීම අදහස් වෙයි. ඊට හේතුවරාජ්‍ය ණය වර්ධනය පහළ දමා ණය වෙළෙඳපොළ පෞද්ගලික අංශයට විවෘත කිරීම යි.

IMF ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අවවාදයක් 

මේ සඳහා මහා භාණ්ඩාගාරය සතු ආර්ථික විශ්ලේෂණ හැකියාව ඉහළ නැංවීමත්මේ දක්වා වර්ෂ 72 ක කාලය තුළ සිදු වී ඇති රාජ්‍ය ණය දුෂ්කළමනාකරණය නවතා ආර්ථිකයට යෝග්‍ය පරිදි තිරසාර ණය කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ස්වාධින රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාංශයක් වහාම පිහිටු වීමත් අවශ්‍ය වනු ඇත. විනිවිදභාවයක් නොමැති පෞද්ගලික ගනුදෙනු හරහා රාජ්‍ය ණය කළමනාකරණය කිරීම තුළින් ආර්ථික පද්ධති අවදානම් ඇති කෙරෙන බව වත්මන් අර්බුදය මනා උදාහරණයකි. භාණ්ඩාගාර සහ ස්වෛරිත්ව ණය කළමනාකරණ වෘත්තිකයන් සොයා ගැනීම අපහසු කාර්යයක් නොවේ. එසේම, රාජ්‍ය අයවැය තුළ රාජ්‍ය විදේශ මුදල් අයවැයක් ස්වාධීනව කළමනාකරණය කිරීම ද මහ බැංකුවේ විදේශ සංචිතය ස්වාධීනව කළමනාකරණය කිරීමට උපකාරී වනු ඇත.

එසේමආදායම් විෂමතාවය පහළ දැමීම සඳහා ආර්ථිකයේ ප්‍රමුඛ අංශයන් වෙත ණය ව්‍යාප්ත කිරීමට යෝග්‍ය වන පරිදි මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය නවීකරණය කිරිම අත්‍යාවශ්‍ය වෙයි. ඊට හේතුවබැංකුවල ලාභ අරමුණු කොට ගත් එක් දින අන්තර් බැංකු අරමුදල් කළමනාකරණය පෝෂණය කෙරෙන වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය පොදුජන ආර්ථිකයට නොගැලපෙන බැවිනි. ආර්ථිකයේ පාරිභෝගික මිල ගණන් මත පදනම් වූ උද්ධමනය පාලනය කිරීමට ද මූල්‍ය ප්‍රතිපත්තියට නොහැකි බව සරල කරුනකි. තවද, මුදල් නීති පනත අනුව මහ බැංකුවේ අරමුණු වනුයේ එවැනි පාරිභෝගික මිල උද්ධමනයක් පාලනය කිරීම නොව ආර්ථිකයේ සමස්ත මිල සහ ආර්ථික ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය ආරක්ෂා කිරීම යි. 

එබැවින්මුලින් දැක්වූ IMF සංකල්පයන් තුළ වුව දවර්තමානයේ කඩා වැටී ඇති පොදුජන ජීවන මට්ටම සහ ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා IMF ණය වැඩසටහනක් යටතේ රජයට ඉමහත් හැකියාවක් පවතින බව කිව හැකිය. ඊට වෙනත් විකල්පයක්  මෙම අවස්ථාවේ නොමැත. එහෙත්ඒ සඳහා අවශ්‍ය ක්‍රියාශීලී නිලධාරී කණ්ඩායමක් රජය වෙත සිටින බවට තහවුරු කර ගත යුතුය. එසේමආර්ථික ඉලක්කම් කළමනාකරණය කෙරෙන පැරණි මාදිලියේ ගනුදෙනු තුළින් IMF උපදේශන හෝ සාර්ව ආර්ථික ඉලක්කයන් ඉටු කිරීමට උත්සාහ කිරීම ද අවදානම් වෙයි. 

එසේ නැති නම් දේශපාලනික රැල්ලන්ට හසු වී ක්‍රියාකාරී වී ඇති මුලින් දැක්‌වූ විශ්‍රාමික ආර්ථික විද්‍යාඥයන් විසින් IMF ණය වැඩසටහන කඩා කප්පල් කරනු නියතය. ඊට හේතුවමොවුන් සතු පුළුල් පුද්ගල ජාලය සහ අභ්‍යන්තර ප්‍රතිපත්ති තොරතුරු දැනුම යි.

(වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය නිරාකරණය සඳහා පංති කාමරයේ ඉගැන්වෙන ආර්ථික විද්‍යා න්‍යයයන්ගෙන් බැහැර වූ IMF ණය වැඩසටහන මත පදනම් වූ කාලීන විද්වත් කතිකාවක් ජනිත කිරීමේ අරමුණින් මෙම ලිපිය පළ කෙරේ. මෙම විෂය පිළිබඳ ප්‍රයෝගික ආර්ථික විග්‍රහයක් සරසවි ප්‍රකාශයක් වන මෙම කතුවරයාගේ "සාර්ව ආර්ථික විද්‍යාව" ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කෙරේ)

 

පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති - ශ්‍රී ලංකා මහ බැංකුව

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි