මහ බැංකුව විසින් මාර්තු මස 7 වැනි දින රුපියල පා කිරීම පොදුජනයා වෙත කරන ලද ආර්ථික ප්‍රහාරයක් ද?


මාර්තු මස 7 දින ඩොලරය රුපියල් 200 සිට 230 දක්වා ඉහළ යා  හැකි බවට මහ බැංකුව විසින් මතයක් ප්‍රකාශ කිරීම

මහ බැංකුව තුළ සහ පිටත බොහෝ දෙනාගේ ඉල්ලීම පිට විදේශ විනිමය වෙළෙඳපොළේ රුපියලේ වටිනාකම (විනිමය අනුපාතය) පාවීමට හෝ නම්‍ය ලෙස තීරණය වීමට ඉඩ දුන් බව මහ බැංකුව විසින් ප්‍රකාශ කොට ඇත. එහෙත්, මහ බැංකුව විසින් නිල පුවත් දැන්වීමක් හරහා මාර්තු මස 7 වැනි දින ප්‍රකාශ කරනු ලැබුවේ මාර්තු මස 4 වැනි දින මහ බැංකුව විසින් ඉදිරිපත් කළ විස්තීර්ණ ආර්ථික ප්‍රතිපත්ති පැකේජය අනුව යමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳපොළේ විනිමය අනුපාතයේ වඩාත් නම්‍යශීලිත්වයකට අවසර දෙන බවත්, ඒ අනුව වෙළෙඳපොළේ විදේශ විනිමය ගනුදෙනු ඩොලරයක් රුපියල් 230 කට නොවැඩි මට්ටමක සිදු විය හැකි බව මහ බැංකුවේ මතය බවත් ය.

එම මතය අනුව යමින් මාර්තු මස 8 වැනි දින නිල/බැංකු විනිමය වෙළෙඳපොළේ විනිමය අනුපාතය ක්ෂණිකව රුපියල් 230 ට ඉහළ ගිය අතර වෙළෙඳපොළ ඊට පෙර මෙන් අක්‍රීයව පැවැති බවත්, කළුකඩය නමින් හැඳින් වෙන විවෘත වෙළෙඳපොළේ එවකට පැවති රුපියල් 250-260 ක් වූ විනිමය අනුපාතය තවත් ඉහළ යාමට පටන් ගත් බවත් මාධ්‍යයෙන් වාර්තා විය.

රුපියල පා වීමට ඉඩ දී ඇති බවට මහ බැංකුව විසින් පැහැදිලි කිරීම

එබැවින්, එම රුපියල් 230 අනුපාතය හුදෙක් මාර්ගෝපදේශයක් බවත්, විනිමය අනුපාතය වෙළෙඳපොළේ ඉල්ලුම් සහ සැපයුම් බලවේග අනුව පාවීමට හෝ නිදහසේ තීරණය විය හැකි බවත් මහ බැංකුව විසින් මාර්තු මස 8 වැනි දින නිල නොවන ලෙස නිල විනිමය වෙළෙඳපොළ වෙත දන්වා සිටි බව මාධ්‍යය විසින් වාර්තා කෙරින. එනම්, රුපියල් 230 මතය පදනම් විරහිත බව මහ බැංකුව විසින්ම පිළි ගැනීම යි.

ඒ අනුව, මාර්තු මස 11 දින බැංකු වෙළෙඳපොළේ ඩොලරයක සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 249.9603 ක් ද, සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 259.9999 ක් ද, වූ බව මහ බැංකුව විසින් වාර්තා කෙරින. එහෙත්, මාර්තු 11 දින අන්තර් බැංකු වෙළෙඳපොළේ ඩොලරය රුපියල් 260-280 මට්ටමේ ඇනවුම් කෙරුන බවත්, ගනුදෙනු සිදු වූ ඉහළම මිල රුපියල් 265 බවත් මාධ්‍යය විසින් වාර්තා කෙරින. ඒ අනුව, මාර්තු මස 8 දින සිට 11 දින වන විට රුපියලේ අවප්‍රමාණය 30% ක් පමණ බව වාර්තා විය.

භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ ක්ෂණික රැල්ලක් හට ගැනීම

ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල මහ බැංකුව විසින් පා කොට ඇති බව පොදු ජනයා අතර ප්‍රසිද්ධ වූ අතර ඊට සරිලන ලෙස ආර්ථිකයේ ආනයනිත භාණ්ඩ හා සේවාවන් ප්‍රමුඛ සියළු මිල ගණන් විවිධ අනුපාතයන්ගෙන් ඉහළ යාමේ රැල්ලක් ආරම්භ විය.

ඊට ප්‍රතිචාර ලෙස මහ බැංකුව විසින් ප්‍රකාශ කරනු ලැබුවේ රුපියලේ මෙම පාවීම හේතු කොට වෙළෙඳපොළවල් විවිධ ප්‍රතිචාරයන් දැක්විය හැකි බවත්,  ඒවා තාවකාලික බවත්, දිගු කාලයේ දී ආර්ථිකයේ ස්ථායීතාවයක් ඇති වන බවත් ය. එසේම, වෙළෙඳපොළ ප්‍රතිචාරයන් අනුව අතිරේක ප්‍රතිපත්ති මෙවලම් දියත් කිරීමට ද මහ බැංකුව සුදානම් බව ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව, මාර්තු මස 11 දින මහ බැංකුව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සියළුම භාණ්ඩ හා සේවා අපනයන කරුවන් විසින් තම අපනයන ලැබීම් දින 120 ක් ඇතුලත මෙරටට ගෙන්විය යුතු බවත්, ඉන් සති 5 ක් ඇතුලත එම ලැබීම්වල අනුමත ශේෂයන් බැංකු වෙත අළෙවි කොට රුපියල් ලබා ගත යුතු බවත්, අපනයන පිළිබඳ විස්තර අදාළ බැංකු වෙත සැපයිය යුතු බවත්,  බැංකු විසින් එම අපනයන පසුවිපරම් කළ යුතු බවත් නියම කරන ලදි.

මෙය ශ්‍රී ලංකා රුපියලේ ප්‍රථම පාවීම ද?

මහ බැංකු සහ වෙනත් මාධ්‍ය වාර්තාවලින් මහජනයා වෙත සංනිවේදනය වූයේ මෙසේ ඩොලරයේ වටිනාකම තීරණය කිරීමට වෙළෙඳපොළ තරගයට ඉඩ හැරීම ප්‍රථම වරට ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියක් බවකි. එබැවින්, සමහර උගතුන්  විසින් දැක්වූයේ මෙසේ රුපියල පාවීම ශ්‍රී ලංකාව වැනි රටවලට ඔරොත්තු නොදෙන බවත්, දියුණු රටවල පවා මහ බැංකු විසින් තම විනිමය අනුපාතය කොරිඩෝවක් තුළ පාලනය කෙරෙන බව ය. එය පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමය ලෙස හැඳින් වෙයි.

එහෙත්, මෙම අදහස් දෙකම සාවද්‍ය වෙයි. පළමුව, ශ්‍රී ලංකාව විසින් පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් අනුගමනය කරනු ලැබූවේ 1977-2000 කාලයේ ය. 2001 ජනවාරි සිට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නම්‍යශීලී/වෙළෙඳපොළ විනිමය අනුපාතය පිළිබඳ මනා පළ පුරුද්දක් ඇත. ඊට හේතුව, 2001 ජනවාරි 23 දින පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමය අහෝසි කොට පාවෙන විනිමය අනුපාත ක්‍රමය හඳුන්වා දීම යි.

දෙවනුව, සංවර්ධිත රටවල් කිසිවක මහ බැංකුව විසින් පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමය අනුගමනය කිරීම හෝ විනිමය වෙළෙඳපොළට මැදිහත් වීම සිදු නොකෙරේ. එම රටවල අනුගමනය කරනුයේ පූර්ණ පාවෙන විනිමය අනුපාත ක්‍රමය යි. ලෝකයේ පාවෙන විනිමය අනුපාත ක්‍රමය 1990 දශකය ආරම්භයේ සිට විකාශය වී ඇත. මෙහිදී, විනිමය අනුපාතය ද වෙනත් වෙළෙඳපොළවල මිල ගණන් මෙන් වෙළෙඳපොළ පද්ධතිය තුළ තීරණය වන මිලක් ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රුපිලය පා කිරීම හෙවත් පාවෙන විනිමය අනුපාත ක්‍රමය ආරම්භ කිරීම පිළිබඳ ඓතිහාසික අත්දැකීම

ශ්‍රී ලංකාව විසින් රුපියල ප්‍රථම වරට පා කිරීම 2001 ජනවාරි 23 දින කරන ලදි. ඊට මූලික හේතුව වූයේ එතෙක් පැවති පාලිත පාවෙන ක්‍රමය තුළ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ ව 2000 වර්ෂයේ දී හට ගත් අධික සමපේක්ෂණය යි. 2000 වර්ෂයේ මැද භාගයේ සිට වෙළෙඳපොළ විනිමය අනුපාතය මහ බැංකුවේ විකුණුම් අනුපාතය ඉක්මවා යාමට පටන් ගැනින. මෙය 1997/98 ආසියානු මූල්‍ය අර්බුදයේ ව්‍යාප්තියක් ලෙස හට ගැනින.

මෙම අවප්‍රමාණ පීඩනය යටපත් කිරීම සඳහා මහ බැංකුව විසින් වෙළෙඳපොළට ඩොලර් විකිණීමටත්, පියවරෙන් පියවර මහ බැංකු විකුණුම් විනිමය අනුපාතය ඉහළ දැමීමටත් කටයුතු කරන ලදි. එබැවින්, මාස කිහිපයක් තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය 2000 ජනවාරි මස ඩොලර් මිලියන 1,516 පමණ සිට 2001 ජනවාරි වන විට ඩොලර් මිලියන 890 පමණ දක්වා මිලියන 626 කින් පමණ පහළ යන ලදි. මෙය විදේශ විනිමය අර්බුදයක් බවට පත් වෙමින් පැවතින.

අධික සමපේක්ෂණය හේතු කොට ගෙන විදේශ සංචිත පහළ යාම වැලැක්වීමට අපහසු වූ බැවින්, 2001 ජනවාරි 23 දින සිට විනිමය අනුපාතය තීරණය කිරීම සඳහා වෙළෙඳපොළට ඉඩ හැරීම හෙවත් විනිමය අනුපාතය හෝ රුපියල පාවීමට ඉඩ හරින ලදි. එනම්, මහ බැංකුව විසින් විනිමය අනුපාතය පිළිබඳ ව කිසිම මාර්ගෝපදේශයක් නොදී, වාණිජ බැංකු සමඟ ඩොලර් මිල දී ගැනීම සහ විකිණීමෙන් වැළකීම යි. එනම්, මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගැනීමේ සහ විකිණීමේ විනිමය අනුපාතයන් වෙළෙඳපොළට දැන්වීම කිසිම පූර්ව දැන්වීමක් නොමැතිව හදිසියේම 2001 ජනවාරි 23 දින අත්හිටු වීම යි.

මෙය 1977 නොවැම්බර් මස සිට වර්ෂ 23 ක පමණ කාලයක් තුළ මහ බැංකුව විසින් සිදු කළ විනිමය වෙළෙඳපොළ මෙහෙයවීම හදිසියේ අත්හිටුවීම වූ බැවින් සුදුසු විනිමය අනුපාතය කුමක් ද? යන්න විනිමය වෙළෙඳපොළ අන්දමන්ද විය. එබැවින්, හුදෙක් රුපියල පා කොට වෙළෙඳපොළට රිසි ලෙස හැසිරීමට මහ බැංකුව ඉඩ ලබා දුන්නේ නැත. ඊට හේතුව, විනිමය අනුපාතය ක්ෂණික අධි සමපේක්ෂණයකට ලක් වීමේ අවදානම පැවතීම යි.

2001 ජනවාරි 23 දින රුපියල පා කිරීම සමඟ ක්‍රියාත්මක කළ හදිසි ආර්ථික/මූල්‍ය ප්‍රතිපත්ති පැකේජය

එබැවින්, මහ බැංකුව විසින් එම අධි සමපේක්ෂණය පාලනය කිරීම සඳහා රුපියල පා කිරීම සමඟ හදිසි ආර්ථික/මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කරන ලදි. එය අනිසි සමපේක්ෂණය පාලනය කොට වෙළෙඳපොළේ විදේශ විනිමය සැපයුම ඉහළ නැංවීම සහ විශ්වාසය ගොඩ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී, මීට සහයෝගී ලෙස රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ව රජයේ නිල මූල්‍ය උපදේශකයා ලෙස මහ බැංකුව විසින් කිසිම උපදෙසක් රජයට ලබා දුන්නේ නැත. එම හදිසි ප්‍රතිපත්ති පැකේජය පහත දැක්වෙයි.

  • පළමුව, බැංකු විසින් තබා ගත හැකි දෛනික විදේශ මුදල් ප්‍රමාණයේ (කාරක මුදල් ශේෂ) උපරිම සිමාවන් පැනවීම. එබැවින්, එම සීමාව ඉක්මවා ලැබෙන විදේශ මුදල් බැංකු විසින් අන්තර් බැංකු වෙළෙඳපොළේ අළෙවි කළ යුතු විය.

  • දෙවනුව, බැංකු විසින් අපනයන කරුවන්ට දෙනු ලබන ණය අපනයන නැවු ගත කළ දින සිට දින 90 ක් ඇතුලත ඔවුන්ගේ අපනයන සඳහා ලැබෙන විදේශ මුදල්වලින් අය කර ගැනීමට නියම කිරීම. එසේ ආපසු ගෙවීම ප්‍රමාද වන ණය වෙනුවෙන් පළමු මාසය සඳහා 10% ක දණ්ඩන පොලියක් සහ ඊට වැඩි වන සෑම මාසයක්ම සඳහා 2% ක අතිරේක දණ්ඩන පොලියක් ද නියම කරන ලදි. ඒ හැර අපනයන ආදායම් මෙරටට ගෙන එන ලෙස ඍජූ නියමයක් පැනවූයේ නැත.

  • තෙවනුව, නියමිත දිනයට කලින් ආනයන බිල්පත් ගෙවීම අත්හිටු වීම.

  • සිවුවනුව, බැංකුවල ඉදිරි විනිමය ගනුදෙනු සඳහා සිමාවන් පැනවීම. ඉදිරි විනිමය ගිවිසුම් විදේශ භාණ්ඩ හා සේවා සඳහා පමණක් දින 180 ක උපරිම කාලය දක්වා සිමා කළ අතර බැංකු ඉදිරි විනිමය විකුණුම් ගිවිසුම් සඳහා ගිවිසුමේ රුපියල් වටිනාකමින් 50% ක මුදල් තැන්පතුවක් ගනුදෙනු කරුගෙන් ලබා ගැනීමට නියම කරන ලදි.

  • පස්වනුව, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම. විනිමය අනුපාත අවප්‍රමාණ පීඩනය පාලනය කිරීමේ සම්මත ප්‍රතිපත්තිය වනුයේ පොලී අනුපාතයන් ඉහළ දැමීම මගින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම යි. එහි අරමුණ වනුයේ ආනයන අධෛර්යමත් කිරීමත්, විදේශ ආයෝජන මූල්‍ය වෙළෙඳපොළට ආකර්ෂණය කර ගැනීමත් තුළින් ගෙවුම් ශේෂ/විදේශ මුදල් තත්ත්වය යහපත් කර ගැනීම යි. ඒ අනුව, මහ බැංකු ණය දීමේ පොලී අනුපාතය 2000 මැයි මස 13% සිට 2001 ජනවාරි මස 23% දක්වා අවස්ථා 7 ක දී අඛණ්ඩව 10% කින් ඉහළ නංවන ලදි. පසුව, විනිමය වෙළෙඳපොළ ස්ථායී වීමත් සමඟ 2001 මාර්තු මස සිට පොලී අනුපාතය පහළ දමන ලදි.

  • සයවනුව, මීට සමගාමිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එස්.ඩී.ආර්. මිලියන 200 ක පමණ ණය වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම. එමගින්, මහ බැංකු විදේශ සංචිතය ආරක්ෂා කිරීමට සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම ප්‍රතිපත්ති පැකේජයේ ප්‍රතිඵලයක් ලෙස රුපියල පා කිරීමත් සමඟ ක්ෂණිකව දින දෙක තුනක දී අන්තර් බැංකු විනිමය වෙළෙඳපොළේ විනිමය අනුපාතය ඩොලරයක් රුපියල් 98 ට ආසන්නයට ඉහළ ගොස් සති දෙකක් පමණ ඇතුළත නැවත රුපියල් 85-86 ට පමණ පහළ බැස ස්ථායීකරණය විය. 2001 ජනවාරි 22 දින (රුපියල පා කිරීමට පෙර දින) මහ බැංකුව විසින් බැංකු සමඟ තම ගනුදෙනු සඳහා ප්‍රකාශ කළ ඩොලර් ගැනුම් මිල රුපියල් 77.40 සහ ‍ඩොලර් විකුණුම් මිල රුපියල් 85.13 (විනිමය අනුපාත කොරිඩෝව) අනුව සාමාන්‍ය විනිමය අනුපාතය වූ රුපියල් 81.27 හා සැසඳීමේ දී මෙම වෙළෙඳපොළ ප්‍රතිඵලය ඉතා යහපත් එකක් විය.

මෙම රුපියල පා කිරීම සහ ඊට අදාළ ප්‍රතිපත්ති පැකේජය එවක මහ බැංකු අධිපති ඒ එස් ජයවර්ධන මහතාගේ විචක්ෂණ ආර්ථික ඥාණයේ ප්‍රතිපලයක් බව මෙහිදී කෘතගුණයෙන් ස්මරණය කරන අතර ජාතික කර්තව්‍යයක් වූ එය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී කණ්ඩායාමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට මට හැකිවීම වාසනාවක් ලෙස සලකමි. 

මහ බැංකුව විසින් වරින්වර ස්ථාවර සහ පාලිත විනිමය අනුපාතයන් ක්‍රියාත්මක කිරීම තුළින් පාවීම කිලිටු කිරීම

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ විදේශ ගනුදෙනු ව්‍යුහය දෙස බලන විට රුපියල අවප්‍රමාණය වීමේ නැඹුරුව සැබෑ ආර්ථික සිද්ධියකි. එහෙත්, ඉහත දැක්වූ රුපියල පා කිරීමේ ප්‍රතිපත්තිය අමතක කොට මහ බැංකුව විසින් විටින් විට ප්‍රකාශිත කොරිඩෝවක් සහිතව හෝ නොමැතිව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත්වීම තුළින් රුපියලේ අවප්‍රමාණය පාලනය කිරීමට නිරන්තරයෙන් උත්සාහ ගෙන ඇත. 

උදාහරණ ලෙස 2008, 2011, 2015, 2018 සහ 2020-2021 දැක්විය හැකිය. එම කාලයන් තුළ විදේශ සංචිතයෙන් සැපයූ මුළු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 11.3 ක් පමණ විය. සමහර කාලයන්හි මහ බැංකුව විසින් විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය වන පමණට තම විදේශ සංචිතයෙන් වෙළෙඳපොළට විදේශ විනිමය අළෙවි කොට ඇත. උදාහරණ ලෙස 2008 සහ 2011 වර්ෂයන් දැක්විය හැකිය.

ඒ සඳහා රාජ්‍ය විදේශ ණය හරහා විදේශ සංචිතය රැස් කර ගැනීම තුළින් රාජ්‍ය ණය සහ විදේශ සංචිතය යන ආර්ථිකයේ ප්‍රධාන කුළුණු දෙකක් වර්තමානයේ කඩා වැටි ඇති බව නොරහසකි. එබැවින්, 2001 ජනවාරි මස රුපියල පා කළ ද, මහ බැංකුව විසින් එම ප්‍රතිපත්තියට ඉඩ නොදී සාර්ව ආර්ථික නොවන සාධක මත විවිධාකාරයෙන් වැඩි කාලයක් රුපියල වෙළෙඳපොළෙන් පිටත අත්තනෝමතික ලෙස කෘතීම අධි අගයක පාලනය කොට ඇති බව පැහැදිලිය. වත්මන් ආර්ථික අර්බුදයේ මූලය එය බව ආර්ථික දත්ත දෙස බැලීමේ දී ඉතා පැහැදිලිය.

2001 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තෙවරක් ණය වැඩ සටහන් ක්‍රියාත්මක කළ ද, ගෙවුම් ශේෂ තත්ත්වය ආර්ථික ස්ථායීතාවයට හිතකර ලෙස ප්‍රවර්ධනය වී නොමැත. එබැවින්, මූල්‍ය අරමුදල සමඟ කෙරෙන ණය වැඩ සටහන් හුදෙක් තාවකාලික විදේශ විනිමය සංචිත ස්ථායීකරන වැඩ සටහන් ලෙස ක්‍රියාත්මක කොට ඇත.

මෙවර රුපියල පා කිරීම පොදුජන ජීවිතයට කරන ලද මහ බැංකු ආර්ථික ප්‍රහාරයක් වන්නේ ඇයි?

ඊට හේතුව, දැනටමත් ආර්ථිකය මුහුණ දෙන උග්‍ර ඩොලර් හිඟය සහ එමගින් පොදුජන ජීවන තත්ත්වය කෙරෙහි භාණ්ඩ හිඟයක් සහ අධි උද්ධමන පීඩනයක්  පවතින අවස්ථාවක, විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථායීකරණය කිරීම අරමුණු කොට ගත් ප්‍රතිපත්ති පැකේජයක් නොමැතිව එක්වරම රුපියල පා කිරීම යි. එබැවින්, සමස්ත ආර්ථිකයම අස්ථායී වී පොදුජන ජීවිතය තවත් කඩා වැටීම ආරම්භ වී ඇත.

මේ වන විට සතියක් ඇතුලත නිල විනිමය වෙළෙඳපොළේ විනිමය අනුපාතය 30% කින් පමණ අවප්‍රමාණය වී ඇති බවට මාධ්‍ය වාර්තා පවතින අතර එහි ඍජු ප්‍රතිපලය ලෙස ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල ගණන් ක්ෂණික ලෙස ඉහළ ඉහළ යාමේ රැල්ලක් හට ගෙන ඇත. පොදුජනයාගේ රැකියා සහ ආදායම් ඉහළ නොයන අවස්ථාවක මෙය ඔවුන්ගේ ජීවිතයට දැරිය නොහැකි මරු පහරක් බවට විවාදයක් නොමැත.

ආර්ථිකය ස්ථායීකරණය කිරීම සඳහා ප්‍රතිපත්ති මෙවලම් මහ බැංකුව සතු බවත්, ඒවා අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවත් මහ බැංකුව විසින් ප්‍රකාශ කළ ද, මහ බැංකුවේ ක්‍රියාවන් තුළින් ආර්ථික අස්ථායීතාවය තවත් ඉහළ යන බව දැකිය හැකිය.

  • පළමුව, ආර්ථිකයේ කොදු නාරටිය වන අපනයන කරුවන් සහ විදේශ සේවා නියුක්ති ප්‍රේෂණයන් අස්ථායී වන ප්‍රතිපත්ති හඳුන්වා දී ඇත. විදේශ ප්‍රේෂණ සඳහා මහ බැංකුව විසින් දෙන ලද දිරි දීමනාව වූ ඩොලරයකට රුපියල් 8 ක මුදල රජය සමඟ නිසි සම්බන්ධීකරණයක් නොමැතිව අත්හිටුවා ඇත. එසේම, අපනයන ඉපැයුම් රටට ගෙන ඒම සහ ඒවා උපයෝජනය පිළිබඳ ව විනිමය පාලනයක් මාර්තු මස 11 දින පනවන ලදි. අපනයන කරුවන් දක්වන්නේ දැනටමත් පවතින එම පාලනයන්ගේ ආකර්ෂණීය නවතාවයක් නොමැති බව යි. තවද, මෙම පාලනය මුදල් නීති පනත යටතේ පනවන බවට සඳහන් වුව ද, එවැනි විනිමය පාලනයන් පැනවීමට මුදල් නීති පනත තුළ ප්‍රතිපාදන නොමැත.

  • දෙවනුව, මහ බැංකු විදේශ සංචිතය සහ විදේශ වෙළෙඳ/ආයෝජන විශ්වාසය ගොඩ නැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩ සටහනක් අවශ්‍ය වෙයි. මේ දක්වා 16 වරක් එවැනි ණය වැඩ සටහන් ක්‍රියාත්මක කොට ඇත. එවැනි වැඩ සටහනක් සඳහා රජය සුදානම් බව මාධ්‍යය වාර්තා කළ ද, ඊට ප්‍රතිචාර ලෙස මහ බැංකුව විසින් දක්වා ඇත්තේ එවැනි වැඩ පිළිවෙලක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අඩංගු නොවන බව යි. එහෙත්, රජය වෙනුවෙන් විදේශ සංචිත සහ රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් රාජ්‍ය විදේශ ණය ගෙවීමට මහ බැංකුවට හැකියාවක් නොමැති බැවින්, විදේශ ණය පැහැර හැරීම වැලැක්වීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

  • තෙවනුව, දැඩි මතධාරී මූල්‍ය ආර්ථික විද්‍යාඥයන් විසින් මෙම අවස්ථාවේ මහ බැංකු ණය පොලී අනුපාතය වත්මන් 7.50% සිට අඩු වශයෙන් 15% දක්වා ඉහළ දමන ලෙස නිර්දේශ කෙරේ. මූල්‍ය ප්‍රතිපත්තිය එසේ දැඩි කිරීම සාමාන්‍ය කාලවල අනුගමනය කෙරෙන සම්මතයකි. එහෙත්, වත්මන් දේශීය ආර්ථික අවපාත තත්ත්වය සහ ගෝලීය සැපයුම් ජාල අවහිරතාවන් සහ ආතතීන් දෙස බලන විට එවැනි මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමක් පොදුජන ජීවන තත්ත්වය කෙරෙහි මහ බැංකුව විසින් එල්ල කෙරෙන ද්විතීය ආර්ථික ප්‍රහාරයක් වනු නිසැකය.

2021 අගෝස්තු මස සිට මේ දක්වා මහ බැංකුව විසින් පොලී අනුපාතයන් තෙවරක දී 2% කින් ඉහළ දමා ඇති අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ඉහළ දමා රුපියල් බිලියන 120 ක් පමණ බැංකු පද්ධතියෙන් ඉවත් කොට මහ බැංකුව වෙත උකහා ගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බැංකු පද්ධතිය දැනටමත් ද්‍රවශීල අරමුදල් හිඟයකට මුහුණ දෙයි. එයට විදේශ සංචිතය දැඩි ලෙස පහළ යාම තුළින් ආර්ථිකයෙන් මුදල් ඉවත් වීම ද මූලික හේතුවක් වී ඇත. උදාහරණ වශයෙන් 2020-2021 කාලය තුළ ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා ඩොලර් මිලියන 6,289 ක් පමණ විදේශ සංචිතයෙන් සපයා ඇත. මාර්තු මස 11 දිනෙන් අවසන් සතියේ බැංකු පද්ධතියේ දෛනික අරමුදල් හිඟය රුපියල් බිලියන 603 ක් පමණ විය.

මෙහි ක්ෂණික බලපෑම ආර්ථිකය මෙහෙයවන රජය සහ ව්‍යාපාරික සමාගම් වෙත එල්ල වී ඇත. උදාහරණ ලෙස සතිපතා රජය විසින් ණය ගන්නා භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 5.3% සිට 10.5% දක්වා ද, ප්‍රමුඛ සමාගම් ණය පොලී අනුපාතය 5.74% සිට 9.13% දක්වා ද (5% කින් සහ 3.4% කින්) ඉහළ ගොස් ඇත. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ බර ද පිරිවැය/මිල ගණන් ඉහළ යාම හරහා පොදුජනයා වෙත පැටවෙනු ඇත.

රුපියල  පා කිරීම තුළින් වත්මන් ආර්ථික/විදේශ මුදල් අර්බුදය විසදෙයි ද?

රුපියල පා කිරීම තුළින් හට ගන්නා මුදල් අවප්‍රමාණය හරහා අධි ගෙවුම් ශේෂ/විදේශ සංචිත හිඟයට දිගු කාලයේ දී විසඳුමක් ලැබෙන බවට අපේක්ෂා කෙරේ.  එහෙත්, එය රුපියල පා කළ පමණින් සිදු නොවේ. ඒ සඳහා විදේශ මුදල් අතිරික්තයක් ඉපයෙන පරිදි ආර්ථිකය තුළ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිදු විය යුතුය. එහෙත්, රුපියල පා වීම තුළින් ඊට අවශ්‍ය පසුබිම සැපයීමට හැකි වෙළෙඳපොළ සහ භූදේශපාලනික ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ නැත. සමහර වියතුන් ප්‍රකාශ කරන ලද්දේ කරන්න වෙනත් දෙයක් නොමැති කමට මහ බැංකුව විසින් රුපියල පා කළ බවයි. 

එබැවින්, ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය තරගකාරිත්වය සහ සාපේක්ෂ වාසි ඉහළ නැංවීමට උපකාරී වන රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙයි. එහෙත්, එවැනි ප්‍රතිපත්ති පැකේජයක සේයාවක් වත් දැකීමට නොහැකිය. එබැවින්, එවැනි ප්‍රතිපත්ති පැකේජයක් රහිතව මෙසේ රුපියල පා කිරීම තුළින් වත්මන් ආර්ථික/විදේශ මුදල් අර්බුදයට කිසිම විසඳුමක් නොලැබෙන අතර එය පොදුජන ජීවිතයට මරු පහරක් වනු නියතය.

වත්මන් පොදුජන ආර්ථික අර්බුදයට වගකීම කා සතු ද?

ශ්‍රී ලංකාවේ මිල සහ ආර්ථික ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීම මුදල් නීති පනත යටතේ මහ බැංකුවේ නෛතික වගකීම යි. එසේම, විදේශ සංචිතය සහ විනිමය අනුපාත ස්ථායීකරණය පිළිබඳ විශේෂ ප්‍රතිපාදනයන් මුදල් නීති පනත යටතේ මහ බැංකුව වෙත පවරා ඇත. මහ බැංකුව යනු වර්ෂ 72 ක පමණ දිගු කාලයක් මුදල් නීති පනත යටතේ ආර්ථික සහ මූල්‍ය ස්ථායිකරණ ප්‍රතිපත්ති අත්දැකීම් බහුල පරිපාලන සම්පත්වලින් පිරි ආයතනයකි. එහි සියළු පරිපාලන වියදම් රජයේ මැදිහත් වීමක් නොමැතිව හුදු මුදල් මුද්‍රණය තුළින් පියවෙයි. එබැවින්, වත්මන් ආර්ථික අර්බුදය දෙස බලන විට මහ බැංකුවේ මෙම ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැර ඇති බවට විවාදයක් නොමැත.

දෙවනුව, මුදල් නීති පනත අනුව මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකයට වඩාත් යෝග්‍ය ලෙස මෙහෙයවීම සඳහා බැංකුව වෙත විධානයන් පැනවීමේ බලය මුදල් ඇමති වෙත පවතී. එබැවින්, වත්මන් ආර්ථික අර්බුදය වැලැක්වීම සඳහා මහ බැංකුව වෙත නිසි විධානයන් නොපැනවීම හේතු කොට මුදල් ඇමතිගේ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැර ඇත.

තෙවනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනසමාජයේ සුබසාධනය සඳහා නීති පැනවීම සහ ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ වගකීම යි. එබැවින්, මෙම අර්බුදය හමුවේ පාර්ලිමේන්තුව අක්‍රියව පැවතීම හේතු කොට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැර ඇත.

මෙම තත්ත්වය තුළ දේශපාලනික බලවේග හරහා රට තුළ සිවිල් අරගල හට ගැනීම තුළින් පොදුජන ජීවන මට්ටම දශක ගණනාවක් ආපස්සට ඇද වැටීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතී.

 

පි සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?