න්‍යායාත්මක ආර්ථික ප්‍රතිපත්ති ප්‍රහාරයන්ගෙන් වින්දිත වන ශ්‍රී ලංකා පොදුජන ආර්ථිකය

 


මේ දිනවල ශ්‍රී ලංකාවේ උද්ධමනය සීග්‍රයෙන් ඉහළ යන බවත්, එය පොදුජන ආර්ථිකයට දැඩි පහරක් බැවින් උද්ධමනය පහළට ගෙන ඒම සඳහා සරල ආර්ථික විද්‍යා න්‍යායන් අනුව ප්‍රතිපත්ති ගත යුතු බවත් ආර්ථික වියතුන් විසින් රජයට බල කර සිටීම නිරන්තරයෙන් දැකිය හැකිය.

අයවැය හිඟය සහ මුදල් මුද්‍රණය ප්‍රසාරණය

මොවුන්ගේ තර්කය මූලික වශයෙන් සම්ප්‍රදායික න්‍යායාත්මක හෝ සංකල්පීය පිළි ගැනීම් දෙකක් මත පදනම් වෙයි. පළමුව රාජ්‍ය අයවැය හිඟය අධික ලෙස ඉහළ යාම තුළින් ආර්ථිකයේ සමාහාර ඉල්ලුම ඉහළ ගොස් ඉල්ලුම් අතිරික්තයක් හට ගෙන උද්ධමනය ඉහළ යන බව. දෙවනුව, අයවැය හිඟය පියවීමට අවශ්‍ය ණය ලබා ගැනීම පිණිස මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කොට තබා ගැනීම හේතුවෙන් මුදල් සැපයුම ප්‍රසාරණය වීම තුළින් ආර්ථිකයේ සමාහාර ඉල්ලුම ඉහළ ගොස් ඉල්ලුම් අතිරික්තයක් හට ගෙන උද්ධමනය ඉහළ යන බව. මෙහිදී, රජය විසින් තම අයවැය පියවීම සඳහා බැංකු පද්ධතිය තුළින් ණය ගැනීම ඉහළ යාම ද මුදල් සැපයුම ප්‍රසාරණය සඳහා ප්‍රධාන හේතුවක් වන බව දැක්වෙයි.

එසේම, අයවැය ප්‍රසාරණය සහ ළිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ණය හරහා ආනයන ඉල්ලුම ඉහළ යාම තුළින් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යන අතර ඒ හේතු කොට විදේශ සම්පත් හීන වීමට සහ මුදල අවප්‍රමාණය වීමට ආර්ථිකය මුහුණ දෙන බවත්, එමගින් දෙවන උද්ධමන වටයක් (මුදල් අවප්‍රමාණය හේතු කොට) හට ගන්නා බවත් දැක්වෙයි.

එබැවින්, උද්ධමනය පහළ දැමීම පිණිස මෙම ආර්ථික වියතුන් විසින් කෙරෙන නිර්දේශය වන්නේ සැලකිය යුතු ලෙස රාජ්‍ය අයවැය හිඟය පහළ දැමීම සහ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම යි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එය අනුගමනය නොකෙරන විට පංති කාමරයේ ඉගැන්වෙන සරල ආර්ථික විද්‍යා න්‍යායන් ගැනවත් ඔවුන්ට දැනුමක් නොමැති බවට අවඥාවට ලක් කෙරේ.

පැරණි මුල්‍ය වාදී සංකල්පය පිළි ගැනීම

මොවුන්ගේ මෙම මෙම නිර්දේශයන් සරල ආර්ථික සංකල්පයක් වන ඉතා පැරණි මුල්‍ය වාදය මත පදනම් වෙයි. එනම්,

  • මුදල් සැපයුම x මුදල් සංසරණ ප්‍රවේගය = පොදු/සාමාන්‍ය මිල x මූර්ත ජාතික නිෂ්පාදන පරිමාව

මෙය ආර්ථිකයේ නිෂ්පාදන වටිනාකම දෙයාකාරයකින් දැක්වීමකි. ගණිතය ඇසුරින් මෙම සමීකරණය පහත ලෙස දැක්විය හැකිය.

  • මුදල් සැපයුම වෙනස් වීමේ ප්‍රතිශතය + මුදල් සංසරණ ප්‍රවේගය වෙනස් වීමේ ප්‍රතිශතය = පොදු මිල වෙනස් වීමේ ප්‍රතිශතය + මූර්ත ජාතික නිෂ්පාදන පරිමාව වෙනස් වීමේ ප්‍රතිශතය

මෙහි මුදල් සංසරණ ප්‍රවේගය යනු ආර්ථිකයේ මූර්ත ජාතික නිෂ්පාදන පරිමාව ජනිත කිරීම සඳහා සමස්තයක් වශයෙන් සංසරණයේ පවතින මුදල් තොගයෙන් එක් මුදල් ඒකකයක් හෙවත් රුපියලක් අතින් අතට හුවමාරු වන වාර ගණන යි. මූර්ත ජාතික නිෂ්පාදන පරිමාව යනු ආර්ථිකයේ නිපදවෙන මුළු භාණ්ඩ හා සේවා ප්‍රමාණය යි. මෙහිදී, එම විචල්‍යයන් වෙනස් නොවන බවට උපකල්පනය කෙරේ.

ඒ අනුව, මෙහි අදහස වනුයේ කෙටි කාලයේ දී ආර්ථිකයේ මුදල් සංසරණ ප්‍රවේගය සහ නිෂ්පාදන ප්‍රමාණය වෙනස් නොවන බැවින්, මුදල් සැපයුම වෙනස් වීමේ වේගයෙන් ආර්ථිකයේ පොදු මිල මට්ටම වෙනස් වන බව යි. උදාහරණ ලෙස මුදල් සැපයුම 5% කින් ඉහළ ගිය හොත් පොදුමිල මට්ටම් ද 5% කින් ඉහළ යාම හෙවත් උද්ධමනයක් ඇති වන බව යි.

එසේම, නිෂ්පාදන ප්‍රමාණය ද වෙනස් වෙයි නම්, මෙම සමීකරණය පහත ලෙස දැක්විය හැකිය. මෙහි පොදු මිල මට්ටම වෙනස් වීමේ ප්‍රතිශතය උද්ධමන අනුපාතය ලෙස ද, මූර්ත ජාතික නිෂ්පාදන පරිමාව වෙනස් වීමේ ප්‍රතිශතය ආර්ථික වර්ධන හෝ වෘද්ධි අනුපාතය ලෙස ද සැලකෙයි.

  • මුදල් සැපයුම වෙනස් වීමේ ප්‍රතිශතය  = උද්ධමන අනුපාතය + ආර්ථික වර්ධන හෝ වෘද්ධි අනුපාතය

මේ අනුව, ආර්ථිකයේ යම් කිසි කාලයක් තුළ මුදල් සැපයුම 15% කින් ඉහල යන විට ආර්ථික වර්ධනය 5% කින් ඉහළ යයි නම්, උද්ධමන අනුපාතය 10% විය යුතුය. ආර්ථික වර්ධනය පහළ මට්ටමක පවතින විට මුදල් සැපයුම ඉහළ යාමේ දී උද්ධමනය ඉහළ යන බවට හුවා දක්වන්නේ මෙම සරල ආර්ථික සංකල්පය අනුව යි. එනම්, යම්කිසි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පසුපස හඹා යන මුදල් ප්‍රමාණය ඉහළ යන විට උද්ධමනය හට ගන්නා බව යි.

මෙය වෙනත් අයුරකින් ප්‍රකාශ කළ හැකිය.  එනම්, ආර්ථිකයේ මුළු භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණය ඒකක 200 ක් ද, සංසරණයේ පවතින මුදල් තොගය රුපියල් 400 ක් ද වෙයි නම්, භාණ්ඩ හා සේවා ඒකකයක සාමාන්‍ය මිල ( මිල) රුපියල් 2 ක්  වනු ඇත. නිෂ්පාදනය ඒකක 250 ක් ද, මුදල් තොගය රුපියල් 600 දක්වා ද ඉහළ හොත් භාණ්ඩ හා සේවා ඒකකයක නව මිල රුපියල් 2.4 දක්වා ඉහළ යනු ඇත. එනම්, 20% කින් මිල ඉහළ යාමකි.

කොතරම් ඉහළ මට්ටමේ ආර්ථික විද්‍යාඥයන් සිටියත්, කිසිම ආර්ථික පර්යේෂණයකින් මෙම සංකල්පය තහවුරු නොවූවත්, ලෝකයේ සියළුම මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සිදු කෙරෙන්නේ මෙම පැරණි මූල්‍ය සංකල්පය මත ය.

සමකාලීන ආර්ථිකයට මූල්‍ය වාදී සංකල්පයේ නොගැලපීම

එහෙත්, මෙය හුදෙක් දැඩි උපකල්පනයන් මත පදනම් වී කෙරෙන සාර්ව ආර්ථික පුරෝකතනයක් වන අතර ආර්ථිකයක් යනු ඉතා ක්‍රියාශීලී වෙළෙඳපොළ පද්ධතියකි. එසේ නැතිව, සියළු ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවරව පවතී නම්, මූල්‍ය වාදී සංකල්පය අනුව උද්ධමනය වෙනස් විය විය හැකිය.

එහෙත්, රාජ්‍ය අයවැය හිඟය හෝ මුදල් සැපයුම ඉහළ යාම යම්කිසි කාලයක් තුළ සිදු වන අතර එයට ප්‍රතිචාර ලෙස වෙළෙඳපොළවල විවිධ වෙනස්කම් හට ගනු ඇත. එසේම, විවිධ දේශීය සහ ගෝලීය කම්පනයන් ද ආර්ථිකය කෙරෙහි කලින් කලට බලපානු ඇත. උදාහරණ ලෙස වත්මන් කොරෝනා වසංගතය, ගෝලීය සැපයුම ජාලයන් අවහිර වීම, රුසියානු-යුක්‍රේන යුද්ධය හේතු කොට ගෝලීය ආර්ථික අවහිරතාවයන් හට ගැනීම දැක්විය හැකිය.

සැබෑ ආර්ථිකයක මුදල් සැපයුම හේතු කොට පොදු මිල මට්ටම තීරණය වීම ඉහත දැක්වූ ලෙස ගණනය කිරීම කළ නොහැකිය. මිල මට්ටම තීරණය වන්නේ වෙළෙඳපොළ තුළ කාලයක් පුරා සිදු වන ක්‍රියාදාමයක් ය. එසේම, ආර්ථිකයේ සැබෑ පොදු මිල මට්ටම සහ නිෂ්පාදන පරිමාව පිළිබඳ නිවැරදි සංඛ්‍යාවන් නොමැත.

එබැවින්, ආර්ථිකයේ උද්ධමනය ඉහළ යාම හුදෙක් මුදල් සැපයුම හෝ රාජ්‍ය අයවැය හිඟය ඉහළ යාමකට ලඝු කොට, පංති කාමරයේ ඉගැන්වෙන පැරණි මුල්‍ය වාදී න්‍යාය හෝ සංකල්පය මත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය වහාම දැඩි කළ යුතු බවට කෙරෙන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවේ. ඊට හේතුව, වර්තමානයේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ජීවන වියදම ඉහළ යාමේ සහ විදේශ සංචිතය කඩා වැටීමේ අර්බුදයට හේතුව විවිධ දේශීය සහ ගෝලීය කම්පනයන් සහ ක්ෂුද්‍ර පදනමක් මත ක්‍රියාත්මක කෙරෙන සමහර රාජ්‍ය ප්‍රතිපත්ති වීම යි.

මෙම අර්බුදයෙන් පීඩනයට පත් වී සිටින්නේ පොදුජනයා ය. එසේම, ඉහත දැක්වූ මූල්‍ය වාදී සංකල්පය එල්බ ගෙන දිගු කාලයේ ආර්ථික ස්ථායිතාවය ඇති කෙරෙන බවට දක්වමින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් නැවතත් පිඩනයට පත් වන්නේ ද පොදුජනයා ය. මෙහිදී, නොදන්නා දිගු කාලයක් සහ ආර්ථික ස්ථායිතාවයක් හුවා දක්වමින් කෝකටත් සාර්ව ආර්ථික තෛලය මෙන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් පොදුජනයා මුහුණ දෙන ජීවන කම්කොටුළු තවත් ඉහළ යාමේ දැඩි අවදානම පවතී.

ඊට හේතුව, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් ආර්ථිකය පුරා ණය අරමුදල් හිඟයක් හට ගැනීම යි. නූතන ආර්ථිකයන් ක්‍රියාත්මක වන්නේ ණය මත කෙරෙන මුදල් සංසරණය මත වන අතර ප්‍රයෝගික වශයෙන් මුදල් මුද්‍රණය සහ පොදුජනයා අතර මුදල් ව්‍යාප්තිය සිදු වනුයේ රාජ්‍ය මූල්‍ය හරහා වෙයි. උදාහරණ ලෙස මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම මූලික වශයෙන් රජයට දෙන ණය සහ රජයට ලැබෙන විදේශ ණයවල විදේශ විනිමය මිල දී ගැනීම මත සිදු වෙයි. ඊට අමතරව බැංකු පද්ධතිය වෙතින් ලබා ගන්නා ණය හරහා ද රාජ්‍ය වියදම් පරිමාව පවත්වා ගැනේ. එබැවින්පොදුජන අභිවෘද්ධිය පිණිස  ආර්ථිකය පුරා මුදල් ව්‍යාප්ත කිරීමේ අධිවේගී මාර්ගය වනුයේ රාජ්‍ය වියදම් ය.

එබැවින්, මූල්‍ය වාදී සංකල්පය මත පදනම් වී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙන් බාහිර වූ ස්වාධින මූල්‍ය ප්‍රතිපත්තියක් හෝ මුදල් සැපයුමක් පවත්වා ගැනීමට උත්සාහ කිරීම පොදුජන ආර්ථිකය කෙරෙහි තවදුරටත් පීඩනය ගෙන දෙනු ඇත. ඊට උදාහරණ ලෙස මූල්‍ය ප්‍රතිපත්තියේ අයෝග්‍ය ක්‍රමවේදයන් හේතු කොට පසුගිය වසර දෙක තුළ ආර්ථිකය වත්මන් අර්බුදය කරා තල්ලු වූ ආකාරය කෙටියෙන් පහත ලෙස දැක්විය හැකිය.

වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් තුළින් හට ගෙන ඇති පොදුජන ආර්ථික පීඩනය

  • ආර්ථිකයට නොහොබිනා ලෙස විනිමය අනුපාතය ආරක්ෂා කිරීමට යාමෙන් විදේශ මුදල් සංචිතය විනාශ වීම

වත්මන් ආර්ථික අර්බුදයට මූලික හේතුව වනුයේ මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය විනාශ වීම තුළින් ආර්ථික මුහුණ දෙන උග්‍ර විදේශ මුදල් හිඟය බව නොරහසකි. ආර්ථිකයේ විනිමය අනුපාත ස්ථායිතාවය සහ විදේශ ගනුදෙනු පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි විදේශ මුදල් සංචිතයක් පවත්වා ගැනීමත්, ඒ සඳහා නිසි මූල්‍ය ප්‍රතිපත්ති ගැනීමත් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීමකි. එහෙත්, මහ බැංකුව විසින් 2020 අප්‍රේල් මස සිට විදේශ විනිමය වෙළෙඳපොළේ සාධක මත විනිමය අනුපාතය (ඩොලර් එකකට රුපියල් ගණන) ඉහළ යාමට ඉඩ නොදී එය පහළ මට්ටමක (එනම්, රුපියල අධි අගයක) පවත්වා ගැනීමට උත්සාහ කොට ඇත.

එසේ කළ හැකි වන්නේ පහළ විනිමය අනුපාතය හේතු කොට හට ගන්නා විදේශ මුදල් අධි ඉල්ලුම සැපිරීම සඳහා මහ බැංකුව විසින් තම විදේශ සංචිතයෙන් ඩොලර් වෙළෙඳපොළට සැපයීම තුළිනි. ඒ අනුව, 2020-2021 වර්ෂ දෙක තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 6,289 ක් පමණ විදේශ සංචිතයෙන් එසේ සපයා ඇත. එබැවින්, 2020 ආරම්භයේ ඩොලර් මිලියන 7,642 ක් වූ විදේශ සංචිතය 2021 අවසානයේ දී මිලියන 3,138 දක්වාත්, දැනට ඩොලර් බිලියක් දක්වාත් පහළ ගොස් ඇත.

මෙහිදී, 2021 මැයි මස සිට මාස 10 ක පමණ කාලය තුළ විනිමය අනුපාතය රුපියල් 200 මට්ටමේ ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ කොට ඇත. එබැවින්, විශාල විදේශ මුදල් කළු කඩයක් හට ගෙන විදේශ ප්‍රේෂණ වැනි විදේශ මුදල් ඉහළ විනිමය අනුපාතයකට කළු කඩයට යන ලදි. 2022 මාර්තු මස ආරම්භය වන විට කළු කඩ විනිමය අනුපාතය රුපියල් 250-260 මට්ටමට ඉහළ ගිය අතර නිල/බැංකු විනිමය වෙළෙඳපොළ අක්‍රීය තත්ත්වයේ පැවතින.

එබැවින්, පොදුජන ආර්ථිකයට අත්‍යාවශ්‍ය තෙල්, කිරිපිටි, ගෑස්, ඖෂධ වැනි ආනයන සඳහා විදේශ මුදල් නොමැති වීමෙන් ආර්ථිකයේ උග්‍ර බඩු හිඟයන් සහ දිගු පෝලිම් හට ගැනින. එබැවින්, ආර්ථිකය මුහුණ දෙන උග්‍ර විදේශ මුදල් හිඟයට හේතුව විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ කිරීමේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය යි.

  • 2022 මාර්තු මස 7 දින විනිමය අනුපාතය/රුපියල පා කිරීම සහ මිල ගණන් ඉහළ යාමේ රැල්ල

එදින මහ බැංකුව විසින් විනිමය අනුපාතය රුපියල් 230 දක්වා ඉහළ යා හැකි බව තම මතය බවත්, එය වෙළෙඳපොළ සාධක අනුව නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩ හරින බවත් ප්‍රකාශ කරන ලදි. එසේම, පසුදින ප්‍රකාශ කරන ලද්දේ මහ බැංකුව විසින් විනිමය අනුපාතය පා වීමට ඉඩ දී ඇති බව යි. ඒ අනුව, එම සතියේම තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දමන ලදි. එසේම, සියළු ආනයන භාණ්ඩ හා සේවාවල දේශීය මිල ගණන් ඉහළ යාමේ රැල්ලක් හට ගැනින. තෙල් සහ ගෑස් ඇතුළු ආනයනයන් දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය බැවින් ආර්ථිකයේ සියළුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාමේ දැඩි රැල්ලක් දැනට හට ගෙන ඇත.

මහ බැංකු වාර්තා අනුව බැංකු/නිල විනිමය අනුපාතය අද දින (මාර්තු මස 24 දින) වන විට රුපියල් 279.90-289.99 (සාමාන්‍යය රුපියල් 288) මට්ටමට ඉහළ ගොස් ඇත. එය විනිමය අනුපාතය පා කළ දින සිට 42% ක අවප්‍රමාණයකි. එයට ප්‍රතිචාර ලෙස කළු කඩයේ විනිමය අනුපාතය තරගකාරීව රුපියල් 310-320 දක්වා ඉහළ ගොස් ඇත. එබැවින්, විනිමය අනුපාතය අධිවේගී සමපේක්ෂණයකට ලක් වී ඇති අතර පවතින ආර්ථික අර්බුදකාරී පරිසරය තුළ එය රුපියල් 400 ට හෝ 500 ට හෝ ඊට ඉහළ ට හෝ ඉහළ යාමේ නැඹුරුවක් ද හට ගත හැකිය. 

ඊට හේතුව, 2001 ජනවාරි මස 23 දින විනිමය අනුපාතය පා කිරීමේ දී අනුගමනය කළා මෙන්, අධිවේගී සමපේක්ෂණය වලක්වා විනිමය වෙළෙඳපොළ ස්ථායිතාවය පිළිබඳ විශ්වාසය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති පැකේජයක් මහ බැංකුව විසින් තවමත් ඉදිරිපත් කොට නොතිබීම යි. IMF ණය පහසුමක් සඳහා ඉල්ලුම් පත්‍රයක් දැමීම පමණක් එයට ප්‍රමාණවත් නොවේ. එය අවසානයේ ගිලන් රියකින් IMF වෙත යාමක් බව පැහැදිලිය.

ඊට හේතුව, මහ බැංකුව විසින් මෙම අධි සමපේක්ෂණය පාලනය කොට නිල වෙළෙඳපොළට විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා කිසිම ප්‍රතිපත්ති පැකේජයක් ඉදිරිපත් නොකිරීම යි. එබැවින්, නිල විනිමය වෙළෙඳපොළ තවමත් අක්‍රියව පවතින අතර විනිමය අනුපාත සමපේක්ෂණය පදනම් කර ගෙන ආර්ථිකය පුරා දිනෙන් දින මිල ගණන් ඉහළ යාමත්, එමගින් පොදුජන ජීවන මට්ටම කඩා වැටීමත් සාමාන්‍ය සිද්ධියක් වී ඇත.

  • මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම - පොලී අනුපාතය 2% කින් ඉහළ දමා ආර්ථිකයෙන් මුදල් අවශෝෂණය කිරීම

පාරිභෝගික මිල දර්ශකයන් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති උද්ධමන ඉලක්කය වූ 4%-6% ඉක්මවා ඉහළ යාම හේතු කොට දිගු කාලයේ දී ආර්ථිකයේ මිල ස්ථායිතාවය තහවුරු කිරීමේ අරමුණ හුවා දක්වමින් මහ බැංකුව විසින් 2021 අගෝස්තු මස මැද සිට මේ දක්වා මහ බැංකු පොලී අනුපාතය 4.50%-5.50% සිට 6.50%-7.50% (අන්තර් බැංකු එක් දින පොලී අනුපාත කොරිඩෝව) දක්වා 2% කින් ඉහළ දමා ඇත.

එසේම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% දක්වා 2% කින් ඉහළ දැමීම තුළින් රුපියල් බිලියන 120 ක් පමණ බැංකු පද්ධතියෙන් මහ බැංකුව වෙත අවශෝෂණය කර ගෙන ඇත. ඒ හැර, රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති මිල දී ගැනුම් හරහා ක්‍රියාශීලී ලෙස දෛනික සහ කාලීන පදනමක් මත තවත් මුදල් බැංකු පද්ධතියෙන් මහ බැංකුව වෙත අවශෝෂණය කර ගැනීම තුළින් අන්තර් බැංකු පොලී අනුපාතය ඉහළ නැංවීමට පොළඹවා ඇත.

ඒ හේතු කොට, ආර්ථිකය තුළ අරමුදල් හිඟයක් හට ගෙන ණය පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ යාමට පටන් ගෙන ඇත. ඊට උදාහරණ කිහිපයක් දැක්විය හැකිය.

  • පළමුව, අන්තර් බැංකු එක් දින පොලී අනුපාතය 2021 අගෝස්තු මස 18 දින (මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ආරම්භ කිරීමට පෙර දින) 5.9% සිට 2022 මාර්තු 23 දින වන විට 7.5% දක්වා 2.4% කින් පමණ ඉහළ ගොස් ඇති අතර මහ බැංකුවෙන් ලබා ගන්නා දෛනික ණය ප්‍රමාණය රුපියල් බිලියන 114 සිට රුපියල් බිලියන 696 දක්වා 510% කින් ඉහළ ගොස් ඇත.

  • දෙවනුව, සතිපතා රජය විසින් වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් හරහා වර්ෂයක කාලයක් දක්වා ණය ගැනීමේ පොලී අනුපාතය 6.7% කින් පමණ ඉහළ ගොස් ඇත. එනම්, 5.3% මට්ටමේ සිට 12%  මට්ටම දක්වා ඉහළ යාම යි. මෙම කාලය තුළ රජය විසින් රුපියල් බිලියන 1,731 ක් පමණ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි හරහා ලබා ගෙන ඇත. එසේ පොලී අනුපාතයන් ඉහළ යාම පාලනය කිරීම සඳහා වෙන්දේසි සාමාන්‍ය පොලී අනුපාතය මත මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම තුළින් රජයට රුපියල් බිලියන 544 ක් පමණ ලබා දී ඇත. එසේම, රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබා ගන්නා දිගු කාලීන ණය පොලී අනුපාතයන් 6%-9% සිට 12%-16% දක්වා 6%-7% කින් ඉහළ ගොස් ඇත. එම ඉහළ පොලී අනුපාතයන් මත භාණ්ඩාගාර බැඳුම්කර හරහා මෙතෙක් රුපියල් බිලියන 640 ක් පමණ ණය ලබා ගෙන ඇත.

  • තෙවනුව, ආර්ථිකයේ විශාල ව්‍යාපාරික සමාගම් විසින් බැංකු ණය ලබා ගැනීමේ දී අය කෙරෙන ප්‍රමුඛ ණය පොලී අනුපාතය 5.74% සිට 9.46% දක්වා 3.72% කින් ඉහළ ගොස් ඇත.

එබැවින්, මෙම පොලී අනුපාතයන් හෙවත් පොලී පිරිවැය ඉහළ යාම ද භාණ්ඩ හා සේවා මිල ගණන්වලට විතැන් කෙරෙනු ඇත. ඊට හේතුව, මිල ගණන් තීරණය වීමේ මූලික සාධකයක් වන්නේ නිෂ්පාදන පිරිවැය වන බැවිනි. විනිමය අනුපාතය ඉහළ යාම මෙන්ම පොලී අනුපාතය ඉහළ යාම තුළින් සිදු වන්නේ පිරිවැය ඉහළ යාම යි. එසේම, රාජ්‍ය ණය සඳහා ඉහළ ගිය පොලිය සහ විනිමය අනුපාතය ඉහළ යාම තුළින් විදේශ ණයවල රුපියල් වටිනාකම ඉහළ යාම තුළින් විදේශ ණය සේවාකරණයේ දී හට ගන්නා අතිරේක රාජ්‍ය වියදම ද පොදුජන බදුවලින් පියවිය යුතුය. ඒ අනුව, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් ඉහළ යන මිල ගණන් සහ රාජ්‍ය වියදම ද පොදුජනයා විසින් දැරිය යුතුය.

  • සිවුවනුව, විනිමය අනුපාතය පා කිරීමට අමතරව ඊට උපකාරී වීම සඳහා මහ බැංකු පොලී අනුපාතය තවත් 7.5% කින් පමණ ඉහළ දැමිය යුතු බව මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් දැඩිව නිර්දේශ කෙරේ. ඊට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙන්නේ ඉහළ පොලී අනුපාතයන් තුළින් ආනයන ණය පිරිවැය ඉහළ යාම හරහා ආනයන අධෛර්යමත් කිරීම යි. එය, විදේශ මුදල්/ගෙවුම් ශේෂ තත්ත්වය යහපත් කිරීමට උපකාරී වන බව පැවසේ. මෙය ද, පංති කාමරයේ ඉගැන්වෙන ආර්ථික ප්‍රතිපත්තියකි. ඒ අනුව, මහ බැංකු පොලී අනුපාතයන් ඉදිරියේ දී තවත් ඉහළ දැමුව හොත් එහි පිරිවැය ඉහළ යාම ද පොදුජනයා පිටට තල්ලු වනු ඇත.

වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණයට උද්ධමන ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තියේ අයෝග්‍යතාවය

වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකය ගෝලීය ඉතිහාසයේ අසාමාන්‍ය කාලපරිච්ඡේදයකට මුහුණ දී ඇත. එනම්, ගෝලීය කොරෝනා වසංගතය සමඟ හට ගත් ගෝලීය සැපයුම් දාමයන් කඩා වැටීම හේතු කොට ඇති වූ සැපයුම් අවහිරතාවන් තුළින් ගෝලීය ආර්ථික කම්පනයක් හට ගැනීමත්, විවෘත ආර්ථිකයක් වන ශ්‍රී ලංකාව ද එයට හසු වීමත් ය. මෙය ලෝකය මිට පෙර අත් දැක ඇති කම්පනයක් නොවේ.

එබැවින්, මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් අධි උද්ධමන පීඩනය ලෙස හඳුන් වන ආර්ථික අස්ථායිතාවය ගෝලීය සැපයුම් සිද්ධියක් මිස මූල්‍ය සිද්ධියක් නොවේ. එබැවින්, මෙය සැපයුම් අවහිරතාවන් හේතු කොට හට ගෙන ඇති මිල ගණන් සහ ජීවන වියදම ඉහළ යාමේ අර්බුදයකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර විදේශ මුදල් හිඟය ද මූලික වශයෙන් මූල්‍ය සැපයුම් ජාලයේ අවහිරයකි.

එහෙත්, උද්ධමනය ලෙස අර්ථ නිරූපනය කෙරෙන්නේ මෙවැනි මිල ගණන් ඉහළ යාමක් නොව, ආර්ථිකයේ විභව හෝ ශක්‍ය නිෂ්පාදනය අභිමවා ඉල්ලුම ඉහළ යාමෙන් හට ගන්නා සමස්ත මිල මට්ටමේ ඉහළ යාම යි. එබැවින්, සැපයුම් අවහිරතාවන් හේතු කොට වත්මන් ආර්ථික ක්‍රියාකාරිත්වය විභව නිෂ්පාදන මට්ටමට වඩා පහළ බැවින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් සමස්ත ඉල්ලුම පහළ දැමීම යෝග්‍ය නොවේ. ඊට හේතුව, එමගින් දැනට පවතින ආර්ථික/නිෂ්පාදන අවපාතය තවත් වැඩි කරන බැවිනි.

එසේම, මුලින් දැක්වූ මූල්‍ය වාදය අනුව පොදු මිල මට්ටම යනු ආර්ථිකයේ ගනුදෙනු වන සියළු භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල යි. එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා උද්ධමනය ගණනය කිරීම පිණිස භාවිතා කෙරෙන්නේ පාරිභෝගික මිල දර්ශකය යි. එය ස්ථාවර කුටුම්බ පරිභෝජන බඩු පැසක් මත ගණනය කෙරේ. එහෙත්, පාරිභෝගික මිල ගණන් ඉහළ යන විට සමහර භාණ්ඩවල ඉල්ලුම අඩු කෙරෙන බැවින් සත්‍ය පරිභෝජන බඩු පැසේ වියදම හෙවත් මිල දර්ශකය ඉහළ යාමේ වේගය ස්ථාවර බඩු පැසේ මිල ගණන් ඉහළ යාමේ වේගයට වඩා අඩු වනු ඇත.

එබැවින්, පාරිභෝගික මිල දර්ශකය මූල්‍ය වාදයේ සාමාන්‍ය මිල මට්ටම සඳහා ආදේශකයක් නොවේ. උදාහරණ ලෙස පසුගිය වර්ෂය තුළ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම සාමාන්‍යයෙන් 100% කට වඩා ඉහළ වෙයි. IMF වාර්තාවට අනුව 2021 වර්ෂයේ මූර්ත නිෂ්පාදනය ඉහළ යාම 3.6% කට නොවැඩි වන අතර එය 2022 වර්ෂයේ 2.6% ක් දක්වා පහළ යන බවට ඇස්තමේන්තු කෙරේ.

එහෙත්, මුදල් සැපයුම වාර්ෂික වර්ධනය 2021 වසරේ 24% සිට 13% දක්වා පහළ ගොස් ඇත. ඒ අනුව, වාර්ෂික සාමාන්‍ය වර්ධනය 20% ක් පමණ විය. පාරිභෝගික මිල දර්ශකය 6% ඉක්මවා යාමට පටන් ගෙන ඇත්තේ 2021 ඔක්තෝබර් මස සිට ය. එය 2022 පෙබරවාරි මස වන විට 15% දක්වා ඉහල ගොස් ඇත. එබැවින්, වත්මන් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම මුදල් සැපයුම හෝ ඉල්ලුම ප්‍රසාරණය හේතු කොට හට ගත් ප්‍රතිපලයක් නොවේ.

තවද, මූල්‍ය වාදය අනුව ආර්ථිකයේ දැනට ඉතා ඉහළ මට්ටමක පවතින සාමාන්‍ය මිල මට්ටම නැවත පහළ හෙළීම සඳහා මුදල් සැපයුම 100% කින් පහළ දැමීමට අවශ්‍ය වෙයි. ඒ සඳහා පොලී අනුපාතයන් 100% හෝ 200% දක්වා ඉහළ දැමීමට සිදු වනු ඇත. එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය එසේ දැඩි කිරීම ආර්ථිකය ස්ථායිකරණ නොව ආර්ථිකය විනාශ කෙරෙන අතාත්වික ආර්ථික ප්‍රතිපත්තියකි.

එබැවින්, ආර්ථිකයේ මිල ගණන් ස්ථායිකරණය කිරීමට මූල්‍ය ප්‍රතිපත්තියට හැකියාවක් නොමැති අතර මූල්‍ය වාදය අනුව මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමෙන් සිදු වන ප්‍රතිපලය වනුයේ නිෂ්පාදනය, පරිභෝජනය, ආයෝජනය සහ සේවා නියුක්තිය පහළ ගොස් ආර්ථිකය තවත් අවපාතයට ලක් වීම යි. එහෙත්, මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු වනුයේ ආර්ථික සහ මිල ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය වන බැවින් සීමිත පාරිභෝගික මිල දර්ශකයක් පදනම් කර ගෙන මිල ස්ථායිතාවය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ඉහත දැක්වූ ආකාරයට ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථා විරෝධී වෙයි.

එබැවින්, මෙම අවස්ථාවේ අවශ්‍ය වන්නේ ආර්ථිකයේ දේශීය ක්‍රියාකාරිත්වය ඉහළ නංවා ගෙවුම් ශේෂය යහපත් කෙරෙන ආර්ථික අංශයන් සඳහා පහළ පොලී අනුපාතයන් මත ණය ව්‍යාප්ත ව්‍යාප්ත කිරීමේ මූල්‍ය ප්‍රතිපත්තියකි.

ඒ සඳහා මහ බැංකුව විසින් දැනට හිස මුදුනින් අනුගමනය කෙරෙන දෛනික බැංකු ද්‍රවශීලතාවය ඉලක්ක කිරීමේ මූල්‍ය ප්‍රතිපත්තියෙන් වහාම ඉවත් වීම අවශ්‍ය වෙයි. එසේම, ඒ ඒ ආර්ථික අංශයන්ට රාජ්‍ය මූල්‍ය උත්තේජකයන් සැපයීම ද අවශ්‍ය වනු ඇත. එය ආර්ථික තරගකාරිත්වය ඉහළ දැමීම සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. එසේ නැතුව, වාණිජ බැංකුවල ලාභ පරමාර්ථයන් අනුව ආර්ථිකය තුළ ණය ව්‍යාප්ත කිරීමට ඉඩ හැරීමේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය අඛණ්ඩව අනුගමනය කළ හොත්, මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉදිරි දශකයේ දී වත් නොහැකි වනු ඇත. එසේම රට තුළ සිවිල් අරගලයක් හට ගෙන දැඩි සමාජ ආර්ථික අර්බුදයක් ඉදිරියේ දී හට ගනු ඇත.

වත්මන් දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට බැංකු පද්ධතිය තුළ හට ගෙන ඇති දෛනික ද්‍රවශීල අරමුදල් හිඟය කොයි මොහොතක හෝ බැංකු චකිතයක් හට ගැනීමේ පෙර නිමිත්තකි. බැංකු චකිතයක් යනු තැන්පතු හිමියන් එක් වර හදිසියේ තම තැන්පතු ආපසු ඉල්ලා බැංකු අන්තර් ජාලය සහ බැංකු ශාඛා ඉදිරිපිට පෝලිම් ගැසීම යි. එය පසුගිය දිනවල හට ගත් ඉන්ධන පෝලිම් හට ගැනීමට සමාන වෙයි. විදේශ මුදල් අර්බුදයක් පවතින විට බැංකු ද්‍රවශීලතාවය බිඳ වැටී, බැංකු අර්බුදයක් හට ගැනීම සාමාන්‍ය ප්‍රවණතාවයක් බව ලෝකයේ අත් දැකීම් රාශියක් පවතී. එවැනි තත්ත්වයක් හට ගත හොත් ආර්ථිකය සහ පොදුජන ජීවිතය නැවත ගොඩ නැගීම සඳහා දශක ගණනාවක් ගත විය හැකි අතර පොදුජනතාව බැංකු අර්බුදයේ ද වින්දිතයන් බවට පත් වනු ඇත.

එබැවින්, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් තම පැරණි සංකල්පවලින් ඉවත් වී, මෙම අසාමාන්‍ය මිනිස් අර්බුදය විසඳීම සඳහා නව්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩිනමින් අවශ්‍ය වනු ඇත. ඒ සඳහා ව්‍යවස්ථාපිත බලතල ඇති රාජ්‍ය ආයතන සහ නිලධාරී ජාලයක් රට තුළ පවතී. එසේම, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පොදුජන අභිවෘද්ධිය සඳහා යෝග්‍ය නොවේ නම්, ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු මූල්‍ය ප්‍රතිපත්තිය කුමක් ද? යන්න රජය වෙනුවෙන් විධානයන් පැනවීමේ බලතල මුදල් ඇමති වෙත පවතී.

(වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය සහ එය නිරාකරණය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ ව පංති කාමරයේ ඉගැන්වෙන ආර්ථික විද්‍යා න්‍යයයන්ගෙන් බැහැර වූ කාලීන විද්වත් කතිකාවක් ජනිත කිරීමේ අරමුණින් මෙම ලිපිය පළ කෙරේ. මෙම විෂය පිළිබඳ ප්‍රයෝගික ආර්ථික විග්‍රහයක් සරසවි ප්‍රකාශයක් වන මෙම කතුවරයාගේ "මූල්‍ය ආර්ථික විද්‍යාව" ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කෙරේ)


පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති - ශ්‍රී ලංකා මහ බැංකුව

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?