ශ්‍රී ලංකාව සංවර්ධනය කළ නොහැකි ඇයි? ව්‍යුහාත්මක උගුල කුමක් ද?


 ලිපියේ පසුබිම සහ අරමුණ 

පසුගිය සියවස් හතරක පමණ කාලය තුළ රටවල සිදු වූ වේගවත් ආර්ථික සහ මානව සංවර්ධනයේ පදනම ලෙස මුදල් සහ බැංකු ක්‍රමයේ සංවර්ධනය සැලකිය හැකිය. ඊට හේතුව, එමගින් වෙළෙඳපොළ ප්‍රසාරණය හරහා නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වේගය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම යි. මුදල් සහ බැංකු සංවර්ධනයේ මෑත සිද්ධිය වූයේ, 20 වැනි සියවසේ දී රාජ්‍ය මහ බැංකු පිහිටුවා, එමගින්, පෞද්ගලික වෙළෙඳපොළ හරහා ක්‍රියාත්මක වූ මුදල් සහ බැංකු පද්ධතියේ පාලනය රජයන් යටතට ගැනීම යි. යුරෝපීය රටවල් එකතු වී පොදු මහ බැංකුවක් පිහිටු වීම ද එහි ඓතිහාසික සිද්ධියකි. 

මුදල්, රාජ්‍ය මූල්‍ය සහ බැංකු ප්‍රතිපත්ති හරහා බොහෝ රටවල වේගවත් සංවර්ධනයක් ලඟා කර ගැනීමට නව මූල්‍ය ක්‍රමයේ දායකත්වය පිළිබඳ ව විවාදයක් නොමැත. ඊට, මහ බැංකු කාර්යක්ෂමතාවය ද බෙහෙවින් දායක විය. ඊට සාක්ෂි ලෙස නූතන සංවර්ධිත රටවල මහ බැංකු දැක්විය හැකිය. 

බොහෝ දියුණු වෙමින් පවතින රටවල ද මහ බැංකු පැවතිය ද, එම රටවල මන්දගාමිත්වයට හේතුවක් වූයේ මහ බැංකු අකාර්යක්ෂමතාවය යි. රාජ්‍ය පාලන ක්‍රමයන්හි දුර්වලතාවය ද ඊට බලපාන ලදි.  මහ බැංකුවක් යනු රටක ඒකාධිකාරී රාජ්‍ය ආයතනයක් බැවින් එය එදිනෙදා නොයෙකුත් ක්‍රියාවල අතිශය කාර්ය බහුල ලෙස යෙදෙනු ඇත. එහෙත්, අප විසින් විමසිය යුත්තේ දශක කිහිපයකට පසු ආර්ථික සහ මානව සංවර්ධනයේ මට්ටම සහ ඊට මූල්‍ය ක්‍රමය දක්වා ඇති දායකත්වය කුමක් ද? යන්න යි. රටවල් වරින් වර මූල්‍ය අර්බුදයන්ට හසු වී, කඩා වැටී, පසුගාමී වෙයි නම්, එම රටවල කොතරම් උගතුන් විසින් මහ බැංකුව හෝ නවීන මූල්‍ය ක්‍රමයන් පාලනය කළ ද, ඉන් ඵලක් නොමැත. 
  • එංගලන්ත මහ බැංකුව සහ බ්‍රිතාන්‍ය ආර්ථිකය 

ලන්ඩන් නගරය ලෝකයේ දියුණුම ජාත්‍යන්තර මූල්‍ය සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වීම පිටුපස එංගලන්ත බැංකුව (දැනට එංගලන්ත මහ බැංකුව) සිටින බව පිළි ගැනේ. එය, 1694 දී රාජ්‍ය බලපත්‍රයක් මත පිහිටුවා, බැංකු කරුවන්ගේ බැංකුව බවට පත් වූ පෞද්ගලික වාණිජ බැංකුවකි. එනම්, නූතන මුදල්  සහ බැංකු ක්‍රමය ආරම්භක අවධිය යි. එය, රාජ්‍ය මහ බැංකුවක් බවට වූයේ 1946 දී ය. එනම්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මහ බැංකුව පිහිටුවීමට වසර 4 කට පෙර ය. 1694 සිට මේ දක්වා ඒ ඒ කාලවල බ්‍රිතාන්‍ය ආර්ථිකයට අවශ්‍ය පරිදි බැංකු සහ මූල්‍ය සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා එංගලන්ත බැංකුවේ දායකත්වය  බ්‍රිතාන්‍යයේ ආර්ථික නැගීමට විශේෂ සාධකයක් විය. 

බ්‍රිතාන්‍ය රජය විසින් අධිරාජ්‍යවාදය හරහා ආර්ථික සම්පත් සොයා ගත්ත ද, අධිරාජ්‍යයේ වර්ධනයට සහ පැවැත්මට දායක වූයේ, එංගලන්ත බැංකුවෙන් සැපයූ මූල්‍ය සේවා ව්‍යාප්තිය සහ ස්ථායිතාවය යි. අතීතයේ දී යුරෝපයේ වැදගත් ආර්ථික අංශයක් වූ වහල් වෙළෙඳාමට ද මූල්‍ය සේවාවන් සැපයු අතර අතර එංගලන්ත බැංකුව වහල් හිමියෙකු ද විය. මෑත දී, එංගලන්ත බැංකුව විසින් ඒ පිළිබඳ ව  සිය කණගාටුව ද පළ කරන ලදි. 

මීට වසර 200 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ වතු කර්මාන්තය සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙනෙන ලද ජනයා ද වහල් පිරිසකට නොදෙවෙනි වූ බව ඔවුන් විඳින ලද දුක් ගැහැට දෙස බලන විට පෙනේ. එවක ශ්‍රී ලංකාවේ බැංකු විසින් වතු කර්මාන්තයට මූල්‍ය පහසුකම් සපයන ලදි. අතීතයේ දී වූ සිදුවීම් වර්තමාන මානව කෝණයෙන් බලා හොඳ නරක ඇගයිය නොහැකිය. එහෙත්, අවශ්‍ය වන්නේ, ඒවාහි සමකාලීන මෙහෙවර තුළින් වර්තමාන ජීවන මට්ටමට දක්වා ඇති දායකත්වය යි.

එංගලන්ත මහ බැංකුව විසින් බ්‍රිතාන්‍යයේ ආර්ථික සංවර්ධන සඳහා අවශ්‍ය බැංකු ණය ව්‍යාප්තිය සහ මූල්‍ය ස්ථායිතාවය සඳහා පසුගිය සියවස් කිහිපය තුළ ඉටු කොට ඇති මෙහෙවර පුළුල් පරාසයක පවතී.

එහෙත්, රජය විසින් 1997 දී පැරණි උද්ධමන පාලන මතවාදය පිළි ගැනීම මත මහ බැංකු මොඩලයට කරන ලද රැඩිකල් වෙනස හේතු කොට එංගලන්ත මහ බැංකුවේ ආර්ථික කාර්යසාදනය පිළිබඳ ව මැසිවිලි නැගෙමින් පවතී. 2007/09 මූල්‍ය අර්බුදය එහි සෘජු ප්‍රතිඵලයකි. එබැවින්, 2013 දී නැවත බැංකු අධික්ෂණය  වගකීම මහ බැංකුවට පවරන ලදි. වත්මන් උද්ධමන පාලන මුදල් ප්‍රතිපත්ති වගකීම සංශෝධනය කිරීමට ද දැනට පාර්ලිමේන්තුවේ අදහස් පළ වී ඇත.

  • ඇමෙරිකානු මහ බැංකුව සහ ඇමෙරිකානු ආර්ථිකය 

ඇමෙරිකාවේ රාජ්‍ය මහ බැංකුව ලෙස 1913 දී පිහිටුවන ලද ෆෙඩරල් සංචිත බැංකුව සහ මුදල් ක්‍රමය යනු ඇමෙරිකානු ආර්ථිකයේ කොඳු නාරටිය යි. ෆෙඩරල් සංචිත බැංකුව විසින් නියාමනය කෙරෙන මූල්‍ය ස්ථායිතාවය මෙන්ම ආර්ථිකයේ පුළුල් බැංකු සහ ණය ප්‍රවාහය ඇමෙරිකානු ආර්ථිකයේ මූල සාධකය යි. 

කලින් කලට කුමන මූල්‍ය නියාමන මොඩලයක් අනුගමනය කළ ද, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම සහ සංචිත ණය හරහා මූල්‍ය වෙළෙඳපොළ සහ ආර්ථිකය ස්ථායිකරණය කිරීම ෆෙඩරල් සංචිත බැංකුවේ මූලික ක්‍රමවේදය වී ඇත. වර්තමානයේ පවා එහි වත්කම්වලින් 97 ක් රාජ්‍ය සුරැකුම්පත් වෙයි. එමගින්, සාමාන්‍ය කාලවල පවා ඇමෙරිකානු ආර්ථිකය මෙහෙයවන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට සැපයෙන දායකත්වය ද කැපී පෙනෙයි. 

ආර්ථික අර්බුදකාරී අවස්ථාවල රජය සහ ෆෙඩරල් සංචිත බැංකුවේ සම්බන්ධීකරණය විශේෂ වෙයි. උදාහරණ ලෙස 2007/09 මූල්‍ය අර්බුදය සහ 2020/21 කොරෝනා වසංගත අර්බුදය විසඳීමට ගන්නා ලද ප්‍රතිපත්ති දැක්විය හැකිය.

ඩොලරය ගෝලීය සංචිත මුදලක් ලෙස අඛණ්ඩව පැවතීම තුළින්ම ඇමෙරිකානු මහ බැංකුවේ කාර්යක්ෂමතාවය මනාව පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකා වැනි බොහෝ රටවල මහ බැංකුවලට තම මුදල්වල පැවැත්ම රට තුළ පවත්වා ගැනීමට ද නොහැකි වී ඇත.

  • ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා ආර්ථිකය 

ශ්‍රී ලංකාවේ වත්මන් බැංකු සහ මූල්‍ය ක්‍රමයේ ආරම්භය 1950 දී මහ බැංකුව පිහිට වූ මුදල් නීති පනත යි. එය ඇමෙරිකානු මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් එක්ස්ටර් මහතාගේ වාර්තාවක් අනුව පිහිටු වන ලද ඇමෙරිකානු මහ බැංකු මොඩලයට බොහෝ සමාන මහ බැංකුවක් සහ මුදල් ක්‍රමයකි. 

එහි පදනම් වූයේ ශ්‍රී ලංකාවේ සම්පත් උපයෝජනය තුළින් ආර්ථිකය සහ ජන ජීවිතය සංවර්ධනයට දායක වන ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම යි. එබැවින්, එවක විදේශ මුදල් මත ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මණ්ඩල මුදල් ක්‍රමය අහෝසි කරන ලදි. නව මුදල් ක්‍රමයේ අරමුණ වූයේ, දේශීය ආර්ථික සංවර්ධන අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි දේශීය මුදල් නිෂ්පාදනය සහ ව්‍යාප්ත කිරීමේ ස්වාධීනත්වය මහ බැංකුවට ලබා දීම යි. රටේ රාජ්‍ය ණය, විදේශ මුදල්, දේශීය මුදල් සහ බැංකු පද්ධති කළමනාකරණය භාරව සිටි එකම බලවත් ආයතනය මහ බැංකුව යි.

එහෙත්, වසර 72 කින් පසු ශ්‍රී ලංකාවට අත් වූ ආර්ථික ඉරණම වූයේ, රාජ්‍ය ණය, විදේශ මුදල් සහ දේශීය ණය අර්බුදයක් හට ගෙන, 2022 දී ආර්ථිකය කඩා වැටීම යි. මුදල් නීති පනත තුළ එවැනි අර්බුදයන් අපේක්ෂා කළ අතර ඒවා වැලැක්වීමට අවශ්‍ය බලතල ද මහ බැංකුව වෙත ලබා දී තිබුණි. 

2000 දශකය ආරම්භ වන තෙක් ආර්ථිකයේ සංවර්ධනය සඳහා පුළුල් මූල්‍ය අංශ දායකත්වයක් මහ බැංකුව විසින් සපයන ලදි. මෙය විශේෂයෙන් 1977 න් පසුව විවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළ දැකිය හැකිය. එය රජය සහ මහ බැංකුව අතර සහයෝගයේ ප්‍රතිඵලයකි. එහෙත්, ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩව ගැනීමට මහ බැංකුව අසමත් වීම හේතුවෙන් 2022 දී ආර්ථිකය කඩා වැටිණ.

එහෙත්, අර්බුදයට හේතුව මහ බැංකුව ස්වාධීන නොවීම බව පවසා, මුදල් නීති පනත අවලංගු කොට, නව මහ බැංකු පනතක් හරහා නව මහ බැංකුවක් ස්ථාපිත කරන ලදි. මෙහි ලොකුම හාස්‍යය වන්නේ, මුදල් නීති පනත යටතේ ගන්නා ලද සියළු මහ බැංකු තීරණයන් තව දුරටත් වලංගු කොට, නව මහ බැංකුව නව පනතේ ප්‍රතිපාදනයන් මත නොව පැරණි මුදල් නීති පනත යටතේ ගන්නා ලද තීරණයන්, ලිපි ගොනු සහ ක්‍රමවේදයන් යටතේම ක්‍රියාත්මක වීම යි. 

එබැවින්, දැනට සිදු වී ඇති එකම වෙනස වන්නේ, මණ්ඩල දෙකක් පත් කර ගැනීම සහ මහ බැංකු වාර්ෂික වාර්තාව කපා හැරීම පමණි. රජය සමඟ උද්ධමන ඉලක්ක ගිවිසුමක් ගසා ගෙන, පෙර පැවති ස්වාධීනත්වය ද අහිමි කර ගෙන ඇත. මෑත දී කරන ලද මහ සේවක වැටුප් ඉහළ දැමීම ද රජය විසින් වලක්වන ලදි. එහෙත්, ස්වාධීන යැයි කියන ලද මහ බැංකු විද්වත් මණ්ඩල දෙකම තම ආසනවල පසු වෙති.

  • ලිපියේ අරමුණ 

එබැවින්, මෙම ලිපිය මගින් ස්වෛරිත්ව මූල්‍ය ක්‍රමය සහ මහ බැංකුව පිහිටුවා වසර 72 කට පසු, දැනට කඩා වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට ඉන් නැවත ගොඩ ඒම වලක්වන මූල්‍ය පද්ධති ගැටළුව පිළිබඳ ව නිරීක්ෂණයන් කිහිපයක් ඉදිරිපත් කෙරේ. එය කොටස් දෙකකින් සිදු කෙරේ. මෙය එහි පළමු කොටස යි.

ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා කෙරෙන 
නව දේශපාලන පොරොන්දු

ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කොට දේශපාලන පක්ෂ රාශියක් විසින් නැවත ආර්ථිකය ගොඩ නගා, පොදු ජනයාට සතුට සහ සමෘද්ධිය ගෙනන බවට බොහෝ ප්‍රකාශනයන් නිකුත් කිරීම කාලයක සිට සිදු වෙයි.

  • ඒ සඳහා බොහෝ නායකයන්ට ඇති එකම විසඳුම සිවුවාර්ෂික IMF ණය වැඩසටහන යි. සමහරුන් විසින් එය සංශෝධනය කොට ක්‍රියාත්මක කරන බව දක්වති. මොවුන් අමතක කොට ඇති කාරණය වන්නේ, මෙය 17 වැනි IMF වැඩසටහන බවත්, රාජ්‍ය ආර්ථික කළමනාකරණ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් IMF වෙත පවරා ඇති බැවින් දේශීය ආර්ථික තීරණ ගැනීමේ කිසිම ස්වාධීනත්වයක් ඔවුන්ට නොමැති බවත් ය. 

  • ආර්ථික පුනරුත්තාපන හෝ සංවර්ධනය සඳහා මුදල් සොයා ගන්නා ආකාරය කිසිවෙකු විසින් නොදැක්වෙයි. ඔවුන් පවසන අදහස්වලින් පෙනෙන්නේ, IMF ණය වැඩසටහන හරහා නැවත විදේශ ණය සහ ආයෝජන ප්‍රවාහය යාවත් කාලීන කිරීම හරහා මුදල් සොයා ගන්නා බව යි. එනම්, දැනට කඩා වැටී ඇති ඩොලර්කරණ මූල්‍ය ක්‍රමය පණ ගැන්වීම යි.

  • සමහරුන්ට අනුව දුෂණය නවත්වා, එම මුදල් සංවර්ධනයට යෙදීම ප්‍රධාන මූල්‍ය මූලය යි.  එහෙත්, එසේ සපයා ගත හැකි මුදල් ප්‍රමාණය පිළිබඳ ව කිසිම ඇස්තමේන්තුවක් හෝ කොතරම් ඉක්මනින් ඒවා ලබා ගත හැකි ද? යන්න දැනීමක් නොමැත. දුෂණය යනු රාජ්‍ය පාලන තන්ත්‍රයේම කොටසක් වන බැවින් නව පාලන පන්තියකට දින කිහිපයකින් වත්මන් පාලන තන්ත්‍රය වෙනස් කළ නොහැකිය. දුෂිත බවට සැක කෙරෙන පිරිස් අල්ලා ගෙන, ඔවුන්ගේ වත්කම් බලයෙන් පවරා ගැනීමට ද නව දේශපාලන නායකයන්ට අවශ්‍ය ආකාරයට කළ නොහැකිය. එවිට, රට සහ ආර්ථිකය අරාජක වනු ඇත.

  • සමහරු විසින් සංවර්ධන බැංකු පිහිටුවන බවත්, පවතින බැංකු ක්‍රමය හරහා ණය භාවිතා කරන බවත් පවසති. එහෙත්, ඒ සඳහා උද්ධමනයට බිය ස්වාධීන මහ බැංකුව ඉඩ නොදෙන බව නියතය. එවිට රජයට කළ හැකි දෙයක් නොමැත. සංවර්ධන බැංකු යනු ශ්‍රී ලංකාවේ අසමත් වූ බැංකු ක්‍රමයකි. සංවර්ධන බැංකුවක් හෝ දෙකක් පිහිටු වීමට වසර කිහිපයක් ගත විය හැකි අතර දිගු කාලීන සංවර්ධන ණය සැපයීම සඳහා ඒවාට අරමුදල් සොයා ගන්නා ආකාරය සිතා ගත නොහැකිය.

  • සමහරුන් විසින් නිෂ්පාදන හෝ ව්‍යවසායක ආර්ථිකයක් ඇති කරන බවත්, ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය සැපයීමට ක්‍රියාකරන බවත් දැක්වෙයි. එහෙත්, ප්‍රාග්ධනය සැපයීමට අවශ්‍ය මුදල් සොයා ගන්නා ආකාරය නොදැක්වෙයි.

  • වත්මන් පාලක පන්තිය පවසන්නේ, 2022 තෙල් සහ ගෑස් පෝලිම් අවසන් කිරීමට තමන්ට හැකියාව ලැබුණ බැවින් ඒ ආකාරයෙන්ම රට සංවර්ධනය කිරීමට තමන්ට හැකි බව යි. එහෙත්, පෝලිම් ගැටළුව සහ රට සංවර්ධන ගැටළුව යනු සමාන කළ නොහැකි ගැටළු දෙකකි. සංවර්ධනයට අවශ්‍ය මුදල් සොයා ගැනීම යනු තෙල් සහ ගෑස් ආනයනයට මුදල් සොයා ගැනීම වැනි සරල කාර්යයක් නොවේ.

  • නව රජයන්ට වෙනත් රටවල මෙන් ආර්ථිකයට අවශ්‍ය මුදල් සෙවීම සඳහා මහ බැංකුව භාවිතා කළ නොහැකිය. ඊට හේතුව, නව මහ බැංකු පනත අනුව මහ බැංකුව ආර්ථිකයට අවශ්‍ය ණය සහ මුදල් ව්‍යාප්තිය නියාමනය භාර ආයතනයක් නොවන බැවින් වෙනත් රටවල මෙන් සංවර්ධන දායකත්වයක් මහ බැංකුවෙන් බලා පොරොත්තු විය නොහැකි වීම යි. මහ බැංකුවේ සෘජු දායකත්වය නොමැතිව කිසිම රටක කිසිම පොදු සංවර්ධන මූල්‍ය වැඩසටහනක් තිරසාර ලෙස ක්‍රියාත්මක කළ නොහැකිය. මහ බැංකුව පවසන්නේ, තමන් විසින් ආර්ථිකයේ මිල ස්ථායිතාවය පවත්වා ගැනීම තුළින් අනෙක් සියල්ල කිරීමට පහසු වන බව යි. එහෙත්, රටෙහි මිල ස්ථායිතාවයක් පවතින බව මහ බැංකු ආර්ථික විද්‍යාඥයන්ට හැර වෙනත් කිසිවෙකුට අවබෝධයක් හෝ දැනීමක් නොමැත. එහෙත්, මීට පෙර පැවති මුදල් නීති පනත යනු මිල ස්ථායිතාවය රකින ගමන් ප්‍රධාන වශයෙන් ආර්ථික අවශ්‍යතාවන්ට අනුව මුදල් ව්‍යාප්තිය සිදු කිරීම සඳහා සැකසුන නිල මුදල් සහ බැංකු නියාමන ක්‍රමවේදය විය. 
එබැවින්, වත්මන් දේශපාලන නායකයන්ගේ එකම පැහැදිලි දක්ෂතාවය වන්නේ, එකීනෙකාට චෝදනා කර ගැනීමත්, නැවත නැවත කණ්ඩායම් ගත වීමත් පමණි.

නව රජයන් හෝ නායකත්වය මුහුණ දෙන ව්‍යුහාත්මක ආර්ථික අවදානම

කුමන හෝ දේශපාලන කණ්ඩායම් එකතු වී රජයක් පත් කර ගත හැකිය. එය දේශපාලනික ඡන්ද ව්‍යාපාරයේ ප්‍රතිඵලයකි. එහෙත්, නිදහසින් පසු වසර 75 ක් පුරා ක්‍රමයෙන් ගොඩ නගා ගත් ආර්ථිකය සහ ජන ජීවිතය 2022 දී එකවර කඩා වැටීම සුළු කොට තැකිය හැකි සිද්ධියක් නොවේ. එය නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා තවත් දශක කිහිපයක් ගත වනු ඇත. එය හුදෙක් IMF වැනි විදේශීය ගිවිසුමකින් කාර්යාලවල සිට ඉලක්කම් කිහිපයක් දෙස බලමින් කළ හැකි කාර්යයක් නොවේ. 

IMF යනු සාමාජික රටවලට හදිසි විදේශ මුදල් ණය සපයන ආයතනයක් වන අතර එමගින් රටවල් සංවර්ධනය කළ නොහැකිය. IMF හරහා සංවර්ධනය කළ රටවල් නොමැති අතර විවිධ රටවල සංවර්ධන ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවීමට හැකි කාර්ය මණ්ඩලයක් ද එහි නොමැත. ඔවුන්ගේ ආර්ථික කළමනාකරණ මතවාදය වනුයේ කුඩා රජයක් සහ කුඩා අයවැය කි. එය IMF බහුතර අයිතිය හිමි සංවර්ධිත රටවල් පවා පිළි නොගන්නා බව, එම රටවල රජයන් සහ අයවැය ප්‍රතිපත්ති දෙස බැලීමෙන් මනාව පැහැදිළි වෙයි. රාජ්‍ය නායකයන්ට ඡන්දය දෙන බහුතර මහජනයාගේ අභිලාශය වන්නේ ශක්තිමත් සහ බලවත් රජයන් ය. එබැවින්, සුළු පිරිසකගේ මතය මත IMF ගිවිසුම් අනුව රජය සහ ආර්ථිකය පාලනය කිරීම ජනතා පරමාධිපත්වයට එරෙහි ක්‍රියාවකි.

එසේම, 2022 ආර්ථික අර්බුදය පතිත වූයේ, ඩොලර් මිලියන 952 ක 16 වැනි සිවුවාර්ෂික IMF ණය වැඩසටහන 2020 ජුනි මස අවසාන වීමෙන් කෙටි කලකට පසුව ය. ඉන් පැහැදිළි වන්නේ, IMF ණය වැඩසටහන් මගින් රටවල ආර්ථික සංවර්ධනය හෝ කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව හෝ ජනිත නොකරන බව යි. 2020 න් පසු IMF වැඩසටහන්වල දිව්‍ය ආර්ථික ප්‍රගතියක් ද ඇතුළත් වී නැත.

එබැවින්,  IMF තුළින් කළ හැකි එකම දෙය වන්නේ, වර්ෂයක් පමණ ඉලක්කම් සාකච්ඡා කොට නව විදේශ ණය ටිකක් රජයට ලබා ගෙන, ඉන් ආනයන සහ විදේශ සංචිතය පණ ගැන්වීම හරහා ආර්ථිකය නැවත ස්ථායීකරණය වූ බවත්, දැන් අර්බුදය අවසන් බවත් පවසා මහජනයා රැවටීම පමණි. ඊට හේතුව, ආර්ථිකයේ ස්වෛරිත්ව මුදල් ප්‍රශ්නය පැරණි ලෙසම පැවතීම යි. එබැවින්, ඊළඟ විදේශ මුදල් සහ ණය අර්බුදය වැඩි ඈතක් නොවේ. එසේ ස්ථායීකරණය වූ බව පැවසූ බොහෝ රටවල් තවමත් දශක ගණන් එම අර්බුදය තුළ මිරිකෙමින් පොදුජන ජීවිතය කඩා වැටී ඇත.

ස්වෛරිත්ව මුදල් ප්‍රශ්නය යනු ආර්ථිකය මුහුණ දෙන මූලික ව්‍යුහාත්මක ප්‍රශ්නය යි. ඊට හේතුව, නූතන ආර්ථිකයන් යනු මුදල් ගනුදෙනු මත ක්‍රියාත්මක වන වෙළෙඳපොළ පද්ධතීන් වන බැවිනි. එබැවින්, ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පරිදි මුදල් ව්‍යාප්තියක් සිදු නොවේ නම්, ආර්ථිකය පුරා සංවර්ධනයක් ඇති විය නොහැකිය. 

එහෙත්, වත්මන් මුදල් ක්‍රමය තුළ මහ බැංකුව සහ බැංකු හරහා මුදල් ලැබෙන සුළු ව්‍යාපාරික කොටස පමණක් නිරන්තරයෙන් සංවර්ධනය වනු ඇත. එය ආර්ථිකයේ සෙසු නිෂ්පාදන සහ ජන අංශයන් කරා පහළට ව්‍යාප්ත වීමට හැකි මූල්‍ය වෙළෙඳපොළ පද්ධතියක් ශ්‍රී ලංකාවේ නොමැත. එම මූල්‍ය ව්‍යාප්ති විෂමතාවය රාජ්‍යයක සංවර්ධනය සහ ස්ථායිතාවය සඳහා දැඩි අවදානමකි. 2022 ආර්ථික අර්බුදය ද බොහෝ දුරට එහි ප්‍රතිඵලයකි.

එබැවින්, ශ්‍රී ලංකා ආර්ථිකය සහ ජීවන මට්ටම මුහුණ දෙන මූලික ව්‍යුහාත්මක උගුල වන්නේ, ආර්ථිකයේ සංවර්ධන අවශ්‍යතාවන්ට මුදල් සපයා ගත හැකි ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් නොමැති වීමයි. එහෙත්, නාමමාත්‍ර ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් නීතියෙන් පවතී. ඉන් රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සම්පත නිෂ්පාදනය කළ නොහැකිය. ඊට හේතුව, ආර්ථිකයට නොගැලපෙන මහ බැංකු සහ මුදල් මොඩලය යි.

එබැවින්, මෙම මුදල් ප්‍රශ්නය විසඳීමට නොහැකි කිසිම රාජ්‍ය කණ්ඩායමකට මෙරට මුහුණ දෙන ආර්ථික සංවර්ධන ප්‍රශ්නය විසඳිය නොහැකිය. එහෙත්, ආර්ථික ඉලක්කම් සකසා ආර්ථිකය සංවර්ධනය වන බව ප්‍රකාශ කළ හැකිය. එම ඉලක්කම් යනු හුදෙක් රජය විසින්ම සකසන සංඛ්‍යා ලේඛන වන අතර ඒවා මගින් පොදුජන ජීවන මට්ටම නියෝජනය නොවන බව කිව යුතු නැත.

මෙම ලිපියේ ඊළඟ කොටස මගින් ආර්ථිකය මුහුණ දෙන ස්වෛරිත්ව මුදල් ගැටළුව සහ එය විසඳන ආකාරය ඉදිරිපත් කෙරේ.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස