රට සංවර්ධනයේ සැඟවුණ මුල, රුපියල ඩොලරයෙන් බේරා ගැනීම යි. රජය ඩොලර් ණය පසුපස යාම නොවේ. එයට සාඩම්බර ආර්ථික විශේෂඥයන් සොයමු.

ලිපියේ පසුබිම සහ අරමුණ 

මෙම ලිපියේ පළමු කොටස පසුගිය 17 දින නිකුත් කෙරිණ (එය මෙතනින් කියවන්න.). එමගින් දැක්වූ නිගමනයන් මෙසේය.

  • ශ්‍රී ලංකා ආර්ථිකය සහ ජීවන මට්ටම මුහුණ දෙන මූලික ව්‍යුහාත්මක උගුල වන්නේ, ආර්ථිකයේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සපයා ගත හැකි ස්වෛරිත්ව දේශීය මුදල් ක්‍රමයක් නොමැති වීම බව. 

  • ශ්‍රී ලංකාවේ නාමමාත්‍ර ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් නීතියෙන් පැවතුන ද, ඉන් රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සම්පත නිෂ්පාදනය කළ නොහැකි බව.

  • ඊට හේතුව, සංවර්ධන ආර්ථිකයට නොගැලපෙන ඩොලර්කරණය වූ මහ බැංකු සහ මුදල් මොඩලය බව.

මෙම දෙවන ලිපිය මගින් එම ඩොලර්කරණ ආර්ථික උගුලට හේතුව සහ එය නැති කළ හැකි මාර්ගය හෝ දැක්ම කෙටියෙන් හෙළි කෙරේ.

එහෙත්, කලක් තිස්සේ පිළිගත් මතවාදයන් සහ කර ගෙන ආ දේවල් එසේම අනුගමනය කරනවා මිස, පොදුජන ප්‍රශ්න විසඳීමට කිසිම ප්‍රතිපත්ති නවීකරණයකට රාජ්‍ය දේශපාලනික සහ නිලධාරී නායකත්වයට හැකියාවක් හෝ ඕනෑකමක් නොමැත. ඊට හේතුව, ඔවුන් සතු විවිධ සැඟවූ ස්වයං අභිලාෂයන් ය. එබැවින්, සැබෑවෙන් සිදු වන්නේ, දැවෙන පොදුජන ප්‍රශ්න විසඳිම නොව, රාජ්‍ය ආසනවල සිටින පුද්ගලයන් වෙනස්වීම පමණි. 

දැනට ඡන්ද පොරොන්දු දෙන කිසිම නායකයෙකු විසින් සංවර්ධනයට මුල ලෙස මෙසේ නිදන් ගත රෝග මූලයන් නිරාකරණය සඳහා ආර්ථික ව්‍යුහය ප්‍රතිසැකසීම පිළිබඳ ව කිසිවක් ප්‍රකාශ නොකෙරේ. ඔවුන් විසින් කරනු ලබන සියළු ප්‍රතිපත්ති ප්‍රකාශයන් යනු හුදෙක් රෝග ලක්ෂණයන්ට කෙරෙන තාවකාලික ප්‍රතිකාරයන් පමණි. සැවොම පවසන්නේ IMF මත පදනම් වූ එකම ප්‍රතිකාර ක්‍රමයකි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය ඩොලර් පිළිබඳ IMF සහතිකයක් නොමැතිකමින්, එය පවත්වා ගත හැකි ප්‍රතිකාර ක්‍රමයක් නොවේ. උදාහරණ ලෙස IMF ප්‍රතිකාරය ක්‍රමය තුළ දිගට හරහට බදු ඉහළ දැමූ රජය විසින් දැන් බදු පහළ දැමීමේ ඡන්ද පොරොන්දුවක් ඉදිරිපත් කෙරේ.

එබැවින්, මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන නිගමනයන් හෝ යෝජනාවන්ගෙන් වර්තමානයේ ප්‍රයෝජනයක් ගැනීමට කිසිම උත්සාහයක් අදාළ බලධාරීන් විසින් නොකෙරෙනු ඇත.

ව්‍යුහාත්මක ආර්ථික උගුලට හේතුව

එනම්, මුදල් ක්‍රමය ඩොලර්කරණය වීම යි. ආර්ථිකයන් කලින් කලට විදේශ මුදල් අර්බුදයන් තුළින් කඩා වැටීමට හේතුව මෙම ඩොලර්කරණය යි. එබැවින්, සෑම නායකයෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකුම කථා කරන්නේ,කෙසේ හෝ ඩොලර් සොයා ගැනීම ගැන යි. ඒ සඳහා ඔවුන්ට ඇති පහසුම මාර්ගය රජය හරහා විදේශ ණය ගැනීම යි. ඩොලර් සොයා නොගත හොත්, ආර්ථිකයේ මුදල් හිඟය හේතු කොට කිසිවක් කළ නොහැකිය. 

ශ්‍රී ලංකාව ඩොලර්කරණය වූ ආකාරය කෙටියෙන් පහත දැක්වෙයි.

  • 1950 දක්වා ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය 

1950 දී ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය අවලංගු කොට ස්වෛරිත්ව රුපියල් මුදල් ක්‍රමය පිහිටු වන ලදි. ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය යනු විදේශ මුදල් ඉපයීම මත දේශීය මුදල් මුද්‍රණය හෝ නිෂ්පාදනය කළ ක්‍රමවේදය යි. එනම්, ව්‍යවහාර මුදල් මණ්ඩලය විසින් විදේශ මුදල් මිල දී ගැනීම සඳහා පමණක් මුදල් මුද්‍රණය කිරීම යි. ආර්ථිකයට විදේශ මුදල් ලැබෙන්නේ, විදේශ වෙළෙඳ සහ ආයෝජන අතිරික්තයක් හරහා ය. එය ඩොලර්කරණ මුදල් ක්‍රමයකි. දැනට සිංගප්පුරුව, මාලදිවයින සහ හොංකොං වැනි කුඩා දුපත් ආර්ථිකයන්හි පවතින්නේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය යි. ශ්‍රී ලංකාව වැනි ආර්ථික සම්පත්වලින් පිරි රටකට එම මුදල් ක්‍රමය යෝග්‍ය නොවීය. 

ඊට හේතුව, ආර්ථිකයේ සම්පත් උපයෝජනය සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වලට අවශ්‍ය පරිදි මුදල් සපයා ගැනීමේ හැකියාව ඉන් සීමා වූ බැවිනි. එනම්, ආර්ථිකයෙහි මුදල් ප්‍රසාරණය හෝ සංකෝචනය හුදෙක් ගෙවුම් ශේෂය මත නිරායාසයෙන් රඳා පැවති බැවිනි. එබැවින්, එකල මුදල් ක්‍රමය විදේශ මුදල් සංචිත අනුපාත ක්‍රමයක් විය. එනම්, ආර්ථිකයට මුදල් සැපයීමේ මූලය වූයේ, විදේශ මුදල් සංචිතය හෝ ගෙවුම් ශේෂ අතිරික්තය යි. එවිට, රටේ අවශ්‍යතාවන් අනුව පාලනය කළ හැකි ස්වෛරිත්ව දේශීය මුදලක් රටට නොවීය.

  • 1950 දී ස්වෛරිත්ව රුපියල් මුදල් ක්‍රමය පිහිටුවීම 

එබැවින්, 1949 මුදල් නීති පනත මගින් රජයේ අභිමතය පරිදි රටේ දේශීය මුදල් සැපයුම සහ සංසරණය පාලනය කළ හැකි ස්වෛරිත්ව රුපියල් මුදල් ක්‍රමය පිහිටුවන ලදි. එය රුපියල් සංචිත අනුපාත මුදල් ක්‍රමයකි. එනම්, මහ බැංකුව විසින් මුද්‍රණය කෙරෙන රුපියල් ප්‍රමාණය සංචිතයක් ලෙස භාවිතා කිරීම තුළින් ආර්ථිකය තුළ මුදල් ගනුදෙනු කිරීම යි.

මුදල් නීති පනත මගින් ප්‍රධාන මූලයන් තුනක් මත මුදල් මුද්‍රණය කිරීමේ හුදු අභිමතය මහ බැංකුවට පවරන ලදි. එනම්, රජයට ණය දීම,  වාණිජ බැංකුවලට ණය දීම සහ විදේශ මුදල් මිල දී ගැනීම යි. එනම්, ආර්ථිකයට අවශ්‍ය සංචිත මුදල් නිෂ්පාදනය කිරීමේ බලය යි.

මෙහි දී, ආර්ථික අවශ්‍යතාවන්ට අනුව රටේ ස්වෛරිත්ව මුදල් සැපයුම මෙහෙයවීමට හැකියාව ලැබෙන පරිදි රාජ්‍ය ණය සුරැකුම්පත් මිල දී ගැනීම සහ බැංකුවලට ණය සැපයීම සඳහා පුළුල් අභිමතානුසාරී බලය මහ බැංකුවට දෙන ලදි. මෙහි දී, වාණිජ ණය, නිෂ්පාදන ණය, අත්තිකාරම් සහ හදිසි ණය වාණිජ බැංකුවලට සැපයීමේ බලය ඉතා ප්‍රයෝජනවත් විය. 

මහ බැංකුව හැර ආර්ථිකයට අවශ්‍ය මුදල් නිෂ්පාදනය කිරීමේ අනෙක් ප්‍රධාන පාර්ශවයන් දෙක වන්නේ, රජය සහ වාණිජ බැංකු ය. ඔවුන් විසින් මහජනතාවට මුදලේ කාර්යයන් ඉටු කිරීම සඳහා පිළි ගැනෙන මුදල් වත්කම් දෙවර්ගයක්  සැපයෙයි. 

  • පළමුව, රජය විසින් මහජනතාවගෙන් ණය ගැනීමේ දී නිකුත් කරන රාජ්‍ය සුරැකුම්පත්.

  • දෙවනුව, වාණිජ බැංකු විසින් ණය දීමේ දී ගිණුම්වල ජනිත කෙරෙන තැන්පතු. වාණිජ බැංකු විසින් දෙන ණයවල ප්‍රධාන කොටසක් වන්නේ, රජයට දෙන අත්තිකාරම් සහ සුරැකුම්පත් ණය යි. අනෙක් කොටස වන්නේ, පෞද්ගලික අංශයට දෙන ණය යි. 

එබැවින්, සමස්තයක් ලෙස ගත් විට ආර්ථිකයෙහි සංසරණය වන මුදල්වල ප්‍රධාන මූලයන් දෙක වන්නේ, රාජ්‍ය ණය සහ මහ බැංකු සංචිත මුදල් ය. තව ද, වාණිජ බැංකු නියාමනය සඳහා මහ බැංකුව වෙත ඇති බලය තුළින් ද ආර්ථිකයේ මුදල් අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස බැංකු ණය සහ තැන්පතු පාලනය කිරීමේ හැකියාව පවතී. එබැවින්, මුදල් ක්‍රමය කෙරෙහි රජයේ සහ මහ බැංකුවේ මැදිහත්වීම අධික මට්ටමක පවතී.

රාජ්‍ය ණය කළමනාකරණය සහ සංචිත මුදල් කළමනාකරණය යන කාර්යයන් දෙකම මුදල් නීති පනත යටතේ මහ බැංකුවේ වගකීම් විය. තව ද, විදේශ මුදල් සංචිතයක් පවත්වා ගැනීම හරහා ආර්ථිකයේ විදේශ මුදල් ස්ථායිකරණය ද මහ බැංකුවේ වගකීමක් විය. මෙහි දී, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ නිෂ්පාදන අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි විනිමය අනුපාතය පවත්වා ගැනීම සහ ගෙවුම් ශේෂ අසමතුලිතතාවයන් පියවීම අඩංගු විය.

  • විදේශ සංචිතය සහ විනිමය අනුපාතය මෙහෙයවීම සඳහා රාජ්‍ය ණය සහ මුදල් ප්‍රතිපත්තිය යොමු කිරීම

එහෙත්, මහ බැංකුව විසින් තම පුළුල් ආර්ථික වගකීම් අතර නිසි තුලනයක් පවත්වා ගැනීම අමතක කොට, හුදෙක් විදේශ සංචිතය මෙහෙයවීම සඳහා තම ප්‍රතිපත්ති මෙවලම් භාවිතා කරන ලදි. මෙය විශේෂයෙන් 1977 න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළින් බිහි වූ ආනයන ආර්ථිකය සහ ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කිරීමේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමවේදය විය. එබැවින්, ආර්ථිකයේ විදේශ වෙළෙඳාම තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කෙරෙන ලෙස මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවීය. ඒ සඳහා ඕනෑ තරම් ප්‍රතිපත්ති මෙවලම් මුදල් නීති පනතේ අඩංගු විය.

එබැවින්, මහ බැංකුව විසින් විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා අනුගමනය කරනු ලැබුවේ, රාජ්‍ය විදේශ ණය ප්‍රසාරණය යි. මේ සඳහා 2010 දශකයේ දී භාවිතා කළ ඉතාමත් ප්‍රචලිත විදේශ ණය සහ සංචිත කළමනාකරණ මෙවලම් දෙක වූයේ, දේශීය රාජ්‍ය සුරැකුම්පත් පුද්ගලික ලංසු ක්‍රමය මත විදේශීය ආයෝජකයන්ට අළෙවි කිරීම සහ විශාල වශයෙන් ජාත්‍යන්තර ඩොලර් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම යි. එමගින් ලැබෙන විදේශ මුදල් මහ බැංකුව විසින් මිල දී ගෙන රජයට රුපියල් මුදල් සපයන ලදි. එසේම, මහ බැංකුව විසින් විශාල වශයෙන් දේශීය සහ විදේශීය බැංකු සමඟ එකඟ වූ කෙටි කාලීන විදේශ මුදල් හුවමාරු ණය ගිවිසුම් හරහා ද සංචිතයට විදේශ මුදල් රැස් කරන ලදි. එබැවින්, මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය මෙන්ම රාජ්‍ය මූල්‍ය (හෝ අයවැය) ප්‍රතිපත්තිය ද, ඒ තුළින් සමස්ත ආර්ථිකය ද, ඩොලර්කරණය විය. 

එම ප්‍රතිපත්ති මෙවලම්වල විශේෂ අරමුණ වූයේ, එදිනෙදා පදනමක් මත විනිමය අනුපාතය ආරක්ෂා කරමින්, ආර්ථිකයේ ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා මහ බැංකු විදේශ සංචිතය කළමනාකරණය කිරීම යි. මෙහි දී, මහ බැංකුවේ නිරන්තර පෙළඹුම වූයේ, විනිමය අනුපාතය අධි අගයක තබා ගැනීම තුළින් ආර්ථිකයේ මිල මට්ටම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා විදේශ සංචිතය භාවිතා කිරීම යි. 

එය, විනිමය අනුපාත අධි අගය හරහා ආනයනවල රුපියල් පිරිවැය හෝ දේශීය මිල ගණන් පාලනය කිරීමෙන් සිදු කෙරින. 2001 ජනවාරි 21 දින මහ බැංකුව විසින් රුපියල පා කොට,  නිදහස් වෙළෙඳපොළ විනිමය අනුපාත ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්න ද, මහ බැංකුව විසින් කිසි දිනක විනිමය අනුපාතය එසේ තීරණය වීමට ඉඩ නොදෙන ලදි. එසේ විනිමය අනුපාතය පාලනයට හේතුව, දේශීය මිල ස්ථායිතාවය හෝ උද්ධමනය පාලනය කිරීම ද මහ බැංකුවේ මූලික ව්‍යවස්ථාපිත අරමුණක් වූ බැවිනි. ඒ සඳහා ක්‍රියාශීලී වාහකයක් වූයේ ආනයන යි. ඊට හේතුව, දේශීය ආර්ථිකයේ සමස්ත මිල මට්ටම බොහෝ සේ ආනයන පිරිවැය මත රඳා පවතින බැවිනි.

එබැවින්, විශේෂයෙන් 2000 දශකය මැද භාගයේ සිට මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය යොමු වූයේ, විදේශ සංචිතය සහ රාජ්‍ය විදේශ ණය කළමනාකරණය කිරීම තුළින් විනිමය අනුපාතය මෙහෙයවීම සඳහා යි. එනම්, මුදල් නීති පනතින් අපේක්ෂා කළ පරිදි ස්වෛරිත්ව මුදල් හරහා දේශීය මූර්ත සම්පත් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නොවේ. එසේ විනිමය අනුපාතය  සහ විදේශ සංචිතය ඉලක්ක කිරීම යනු හුදෙක් පැරණි ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය මිස, 1950 දී පිහිට වූ ස්වෛරිත්ව මුදල් ක්‍රමය නොවේ. එනම්, පැරණි විදේශ මුදල් සංචිත අනුපාතික මුදල් ක්‍රමය නැවත නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කිරීමකි.

  • ඩොලර්කරණ ආර්ථික උගුලේ  සැබෑ ප්‍රතිවිපාකය 

එබැවින්, ශ්‍රී ලංකාවෙහි ස්වෛරිත්ව මුදල් (රුපියල්) ක්‍රමයක් පැවතිය ද, එය විදේශ ණය හරහා ඩොලර්කරණය වූ රජයේ සෘජු පාලනයෙන් තොර වූ මුදල් ක්‍රමයක් විය. එනම්, ශ්‍රී ලංකා මුදල් ක්‍රමය ස්වාධීන මහ බැංකු සංචිත මුදල් මත පදනම් විය යුතු වුව ද, සැබෑ ලෙස සිදු වූයේ එය ඩොලර් සංචිතය මත පදනම් වීම යි. එය ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයට සමාන ක්‍රමයකි. එබැවින්, පොදුජන වර්ධන අවශ්‍යතාවන්ට අනුව ආර්ථිකයේ මූර්ත අංශයේ සංවර්ධනය සඳහා භාවිතා කළ හැකි ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් රජය සතු නොවීය.

මෙම මුදල් ක්‍රමය තුළ නිෂ්පාදනය වූ මුදල් බහුතරය සංකේන්ද්‍රණය වූයේ, ආර්ථිකයේ කේන්ද්‍රීය නිෂ්පාදනයන් මෙහෙයවූ සුළු පිරිසක් වෙත ය. එබැවින්, ආර්ථිකයේ විවිධ මට්ටමේ නිෂ්පාදන සහ ව්‍යාපාරික අවදානම් ගැනීම මත පදනම් වූ ණය සහ ආයෝජන හරහා ආර්ථිකය පුරා පුළුල් ලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම් අතර මුදල් ව්‍යාප්ත කෙරෙන ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පසුගිය දශක කිහිපය තුළ රජයන් අඛන්ඩව අසමත් වී ඇත. 

මෙහි දී, එසේ මුදල් ව්‍යාප්ත කිරීමට උපකාරී වන සංචිත මුදල් නිෂ්පාදනය මහ බැංකු මුදල් ප්‍රතිපත්තියේ ද, ආර්ථිකයේ පසුතල පහසුකම් ඇතුළු සම්පත් උපයෝජන අංශයන් වෙත මුදල් නිෂ්පාදනය කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ද වගකීම් වෙයි.

එහෙත්, රජය සහ මහ බැංකුව විසින් සමකාලීන ශ්‍රී ලංකාවට නොගැලපෙන ආර්ථික මතවාදයන් කෙරෙහි අන්ධ භක්තිය මත ඩොලර්කරණ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත්, 2022 දී විදේශ ණය සහ සංචිත කළමනාකරණය කඩා වැටීම තුළින් සමස්ත ආර්ථිකය සහ පොදුජන ජීවිතය කඩා වැටීමත් යනු සමස්ත රජය විසින් තම ආර්ථික සහ පොදුජන සංවර්ධන වගකීම් පැහැර හැරීමක් බව සනාථ වෙයි. ඒ සඳහා සාර්ව ආර්ථික පර්යේෂණ දත්ත අවශ්‍ය නොවේ. ලෝකයේ එසේ ඩොලර්කරණය වූ ආර්ථිකයන් කලින් කලට කඩා වැටීම පිළිබඳ පුරාවෘත්තයන් ඕනෑ තරම් ආර්ථික කළමනාකරුවන් සතුව පැවතින. එසේ ඩොලර්කරණය තුළින් 1996/97 ආසියානු මූල්‍ය අර්බුදයට හසු වූ නැගෙනහිර ආසියාතික රටවල් විසින් තම ආර්ථික කළමනාකරණ මොඩලය පසුව නවීකරණය කර ගෙන ඇත.

එබැවින්, 2022 ආර්ථික අර්බුදයේ සැබෑ ව්‍යුහාත්මක ආර්ථික මූලය වූයේ මෙම ඩොලර්කරණ උගුල යි (විස්තරය මෙතනින් කියවන්න) (විස්තරය මෙතනින් කියවන්න). අනාගත ආර්ථික සහ පොදුජන සංවර්ධනයට එරෙහිව අඛණ්ඩ පවතින උගුල ද මෙය යි. ඊට හේතුව, වත්මන් රජය විසින් ද මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව හරහා IMF ණය වැඩසටහන තුළින් මෙම උගුල වාත්තු කොට නැවත පණ ගැන්වීමට උත්සාහ කරන බැවිනි.

ඊට හේතුව, වත්මන් මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය මෙහෙයවන ඉහළ නිලධාරීන් යනු හුදෙක් දශක ගණනාවක් පුරා එම උගුල ක්‍රියාත්මක කිරීමේ යෙදී ඇති බැවින්, එය හැර විකල්ප සාර්ව ආර්ථික කළමනාකරණ දැනුමක් ඔවුන් සතු නොවීම යි. රටක අර්බුදයකට දායක වූ රාජ්‍ය නිලධාරීන්ම අර්බුදය නිරාකරණය සඳහා ද අඛණ්ඩව යොදා ගැනීමේ ප්‍රයෝගික ගැටළුව මෙය යි. බොහෝ රාජ්‍ය නිලධාරීන් යනු දැනට ලිපි ගොනුවල පවතින දේවල් කර ගෙන යන පිරිසක් මිස, නවීකරණයන් සඳහා හැකියාවක් හෝ අභිප්‍රේරණයක් ඇති පිරිසක් නොවන බව නොරහසකි.

අදාළ දේශපාලනික නායකයන්ට ද මේ පිළිබඳ ව කිසිම විෂය දැනුමක් නොමැති බව, ඔවුන් විසින් විටින් විට කරන වේදිකා ප්‍රකාශනයන්ගෙන් මනාව පැහැදිළි වෙයි. ඔවුන්ගේ හුදු අරමුණ වන්නේ, රාජ්‍ය බලයේ සිටීමට අවශ්‍ය ප්‍රචලිත ක්‍රියාවන්හි යෙදීම මිස, දිගු කාලීන ආර්ථික සහ මානව සංවර්ධනය නොවේ.

එබැවින්, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් සංවර්ධන ගැටළුව යනු, ඒ සඳහා කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි ස්වෛරිත්ව මුදල් බලයක් නොමැති වීම යි. දේශපාලනික නායකයින් විසින් තමන් බලයට පත් වූ විට රට සංවර්ධනය කරන බව පවසන්නේ, මෙම දැවෙන මුදල් පද්ධති ගැටළුව පිළිබඳ නිසි අවබෝධයක් හෝ දැනුමක් නොමැති බැවිනි.

ස්වෛරිත්ව මුදල් බලය තුළින් ආර්ථිකය සංවර්ධනයට යා යුතු මඟ

ඉහත දැක්වූ ඩොලර්කරණය වළක්වා, රජයට නැවත ස්වෛරිත්ව මුදල් බලය ලබා ගෙන, එය පොදුජන ආර්ථික සංවර්ධනය සඳහා නිදහසේ භාවිතා කිරීම අරමුණු කොට පහත දැක්වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය. 

මෙහි පදනම වන්නේ, නූතන මුදල් යනු හුදෙක් පොදු රාජ්‍ය සේවයක්ම නොව, රජය සහ පෞද්ගලික අංශයට තරගකාරීව නිෂ්පාදනය කළ හැකි, ආර්ථික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය තවත් නිෂ්පාදන සම්පතකි. ආර්ථිකයෙහි නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා අත්‍යාවශ්‍ය වන ඉතුරුම්, පරිභෝජන සහ ආයෝජන මාධ්‍යය මුදල් ය. 

එබැවින්, මහ බැංකුව විසින් පැරණි ආර්ථික මතවාදයන් මත ඩොලර්කරණය හරහා මුදල් නිෂ්පාදනයට බාධා කිරීමේ ප්‍රතිඵලය වන්නේ, ආර්ථිකයේ නිෂ්පාදන දාමයන් සහ ඵලදායිතාවය යටපත්වීම සහ අවහිරවීම පමණි. එබැවින්, මෙහි යෝජනා කෙරෙන නව ස්වෛරිත්ව මුදල් ක්‍රමයට උපකාරී වන නව ස්වෛරිත්ව මුදල් පද්ධති ආරක්ෂණ නියාමනයක් ක්‍රියාත්මක කළ යුතුය. 

  • විදේශ මුදල් සංචිතය, වෙළෙඳාම සහ විනිමය අනුපාත ප්‍රතිපත්ති බලතල මහ බැංකුවෙන් ඉවත් කිරීම.

  • විදේශ මුදල් වෙළෙඳාම යනු තවත් බැංකුවල මූල්‍ය සේවයක් ලෙස ඉඩ දීම. සෑම බැංකුවක විනිමය බැංකු ඒකකයක් ස්ථාපිත කිරීම යෝග්‍ය විය හැකිය. විදේශ මුදල් වෙළෙඳපොළ නියාමනය මහ බැංකුවෙන් ඉවත් කොට, විශේෂිත රාජ්‍ය නියාමන ආයතනයක් ඇති කළ යුතුය. එය, ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතය පාලනයට මැදිහත් නොවන අතර වෙළෙඳපොළ විනය ප්‍රවර්ධනය කෙරෙහි පමණක් අවධානය යොමු කරනු ඇත. කිසිම විදේශ සංචිත අරමුණක් රාජ්‍ය ප්‍රතිපත්තිවල නොතිබිය යුතුය. එය බැංකුවල ව්‍යාපාරික සංචිත අරමුණුවල කොටසක් වෙයි.

  • වත්මන් එක් දින අන්තර් බැංකු පොලී අනුපාත සහ අතාත්වික උද්ධමන ඉලක්කයන් මත පදනම් වූ සංචිත මුදල් ප්‍රතිපත්තිය අවලංගු කොට, ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය සහ මූර්ත සම්පත් උපයෝජන ඉලක්කයන් කෙරෙහි යොමු වූ පුළුල් ණය ව්‍යාප්තියකට දායක වන සංචිත මුදල් ව්‍යාප්තියක් ඇති කෙරෙන මුදල් ප්‍රතිපත්තියක් මහ බැංකුවට නියම කිරීම. ඊට හේතුව, වත්මන් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය යනු හුදෙක් බැංකුවල මුදල් වෙළෙඳාමට අවශ්‍ය එදිනෙදා සංචිත මුදල් කළමනාකරණයට උපකාරී වීම පමණක් බැවිනි. මෙය ආර්ථිකයෙහි ද්‍රවශීල කළමනාකරණය ලෙස සාවද්‍ය ලෙස හුවා දැක්වෙයි.

  • රජයේ අයවැය තුළ පුනරාවර්තන වියදම සහ ප්‍රාග්ධන වියදම යන පැරණි අර්ථ රහිත වර්ගීකරණය බැහැර කොට, සියළු රාජ්‍ය වියදම් සමාජ ආර්ථික ආයෝජන වියදම් ලෙස සලකා, අයවැය හිඟය හුදෙක් ප්‍රසිද්ධ වෙන්දේසි මත කෙරෙන ස්වෛරිත්ව මුදල් නිෂ්පාදනය පමණක් හරහා පියවිය යුතුය. රාජ්‍ය වියදම්වල දී  පැන නගින විදේශ මුදල් අවශ්‍යතාවන් විදේශ මුදල් වෙළෙඳපොළ හරහා සපයා ගත යුතුය. ඒ සඳහා තවමත් දශකයකට වඩා වැඩි කාලයක් පෙරුම් පුරන රාජ්‍ය ණය කාර්යාලය කඩිනමින් පිහිටුවා, රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ඉවත් කළ යුතුය. එවිට, රාජ්‍ය අයවැය හුදෙක් රටේ සමාජ ආර්ථික අවශ්‍යතාවන් සඳහා දේශීය මුදල් නිෂ්පාදනය සහ භාවිතා කිරීමේ පූර්ණ නිදහස රජයට ලැබේ. ස්වෛරිත්ව මුදලින් පමණක් ණය ගන්නා රජයන් රාජ්‍ය ණය පැහැර හැරීමේ අවදානමට මුහුණ නොදේ. 

  • රජය විසින් විනිමය අනුපාතය පාලනය අරමුණු කොට, විදේශ මුදල් සෙවීමේ කිසිම ප්‍රතිපත්තියක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ අනුගමනය නොකළ යුතුය. පෞද්ගලික නිෂ්පාදන වෙළෙඳපොළවල් සඳහා අවශ්‍ය විදේශ මුදල් ගනුදෙනු, නිල බැංකු විදේශ විනිමය වෙළෙඳපොළ හරහා සපයා ගත යුතුය. නිරන්තරයෙන් කාර්යක්ෂම බවට සැලකෙන පෞද්ගලික අංශයට එය කළ හැකි විය යුතුය. ඒ සඳහා රාජ්‍ය සහනාධාර හෝ බදු සහනයන් සැපයීම නොකළ යුතුය. එහි දී, බැංකුවල අවදානම් කළමනාකරණයේ කොටසක් වශයෙන් බැංකු විනිමය අවදානම් නියාමනය කෙරෙහි විදේශ මුදල් නියාමන ආයතනය සහ බැංකු අධීක්ෂණ අධිකාරියේ විශේෂ අවධානය යොමු විය යුතුය. දේශීය ආරක්ෂාව සඳහා රජය විසින් විදේශ සංචිතයක් පවත්වා ගත යුතුය යන පැරණි සංකල්පයෙන් සහ පුරුද්දෙන් මිදිය යුතුය. රජය යනු හුදෙක් තම ස්වෛරිත්ව මුදල් හරහා කළමනාකරණය කෙරෙන ආයතනයකි.

මෙය ආර්ථික කළමනාකරණයේ නූතන මුදල් සහ සැපයුම් අංශ ආර්ථික මූලධර්මයන් මත නව දැක්ම ලෙස කරුණු සහිතව මහජනයාට ඉදිරිපත් කළ යුතුය.

සංරෝධකයන් සහ අභියෝගයන් 

  • එහෙත්, IMF මතවාදය සහ දේශීය නියෝජිත ජාලය තුළ මෙම දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිම රජයක් ඉදිරිපත් නොවනු ඇත. ඊට හේතුව, දේශපාලන නායකයන්ට මෙවැනි දිගු කාලීන ආර්ථික සංවර්ධන දැක්මන් නොමැති වීම යි. ඒ සඳහා භාවිතා කළ හැකිව තිබූ දේශීය මුදල් ක්‍රමය ද වත්මන් රජය විසින් දැනට විනාශ කොට අවසානය. එබැවින්, වත්මන් මහ බැංකු සහ මුදල් නියාමන පද්ධතිය තුළ සංවර්ධනය යන වචනය පවා ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොවනු ඇත. ඊට හේතුව, සංවර්ධනය සඳහා භාවිතා කළ හැකි සංචිත සහ ණය මුදල් ව්‍යාප්ති ක්‍රමයකට කිසි ඉඩක් වත්මන් මහ බැංකුවෙන් නොලැබෙන බැවිනි.

  • එබැවින්, මහජන වේදිකාවල පැරණි ආර්ථික මතවාදයන් මත සිට පොරොන්දු දෙන කිසිම දේශපාලනික නායකයෙකුට හෝ පක්ෂයකට, දිගු කාලීන සංවර්ධනය කරා රට සහ පොදු ජනතාව මෙහෙයවීම කළ නොහැකිය. ඔවුන්ට කළ හැකි වන්නේ, රජයට තවත් විදේශ ණය ටිකක් ලබා ගැනීම හරහා ඩොලර්කරණ උගුල ටික කලකට නැවත වාත්තු කොට, ආනයනවලින් රට පුරවා, ආර්ථිකය නැවත ස්ථායිකරණය වූ බව ප්‍රකාශ කිරීම පමණි. ඒ අතර දුෂණයට ද දොස් තැබිය හැකිය. එබැවින්, දැනට දැඩි තීරණයන් ගන්නා බව ප්‍රකාශ කරමින් පනවන සියළු ප්‍රතිපත්ති මෙවලම් යනු හුදෙක් ඩොලර්කරණ ටින්කරින් කාලය සඳහා ගනු ලබන අන්තර් ක්‍රියාවන් පමණි. 

  • මෙහි ඇති ජාතික අවදානම වන්නේ, ඊළඟ පරම්පරාවට රටේ පවතින ආර්ථික සම්පත් තොගයට සරිලන හොඳ ජීවන මට්ටමක් විඳීමට හැකි ආර්ථිකයක් නොමැති වීම යි. ඉදිරි අවුරුදු 25 තුළ වත්මන් සියළු ප්‍රධාන නායකයන් ජීවතුන් අතර නොමැති බැවින් ඉදිරි පරම්පරාවට වගකිව යුතු කෙනෙක් ද නොමැත. එබැවින්, යෝජිත ස්වෛරිත්ව මුදල් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම්, 1949 දී අහෝසි කළ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය නැවත ස්ථාපිත කිරීම යෝග්‍ය වනු ඇත. 

  • එවිට, සියළු මහජනයා විසින් තම ආර්ථික ක්‍රියාකාරකම් ඩොලර් උපයා ගැනීම කෙරෙහි යොමු කරනු ඇත. ඒ අනුව, ඇමෙරිකානු රජයේ සහ මහ බැංකුවේ රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්තිවල ගෝලීය සම්ප්‍රේෂණය තුළින් තරගකාරීව ගෝලීය පදනමක් මත ආර්ථික වාසි ලබා ගැනීම සඳහා සියළු ශ්‍රී ලංකික ජනතාව ක්‍රියා කරනු ඇත. ඊට හේතුව, ඇමෙරිකානු මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ව තොරතුරු, පර්යේෂණ සහ ඉදිරි අපේක්ෂණයන්ගෙන් ලෝකය පිරී පවතින බැවිනි. ඇමෙරිකානු ඩොලරය ශ්‍රී ලංකා මුදල් ඒකකය ලෙස නීති ගත කිරීම ද යෝග්‍ය වනු ඇත. ඊට හේතුව, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වන රටවල නිල නොවන ලෙස වඩාත් ජනප්‍රිය මුදල වන්නේ ඩොලරය වන බැවිනි. එවිට, මිල ස්ථායිතා ගැටළුව තුරන් වනු ඇත. අධිඩොලර්කරණයෙන් 2001 වර්ෂයේ සිට විදේශ ණය පැහැර හරිමින් කඩා වැටි ඇති ආජන්ටිනාවේ වත්මන් ජනාධිපති විසින් පසුගිය මැතිවරණයේ දී දෙන ලද ඡන්ද පොරොන්දුවක් වන්නේ, මහ බැංකුව අහෝසි කොට ඇමෙරිකානු ඩොලරය එරට මුදල ලෙස නීති ගත කරන බව යි.

  • එහෙත්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදු වන්නේ, මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනකු පමණක් විසින් ඇමෙරිකානු රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්තිය තුළින් මෙරටට වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම යි. එය විශේෂඥ ආර්ථික කාර්යයක් බවට ද දේශපාලන නායකයන් රැවටීමක් සිදු කෙරේ. එහෙත්, එහි කිසිම විශේෂඥ ආර්ථික කාර්යයක් නොවූ බව, වත්මන් ආර්ථික අර්බුදයෙන් මනාව පැහැදිලි වෙයි. එබැවින්, ඩොලර්කරණය නැවත වාත්තු කිරීමට ක්‍රියා කිරීම යනු දැන දැනම කෙරෙන ආර්ථික අවකළමනාකරණ උත්සාහයකි.

  • දේශීය දේශපාලනික නායකයන් සහ ආර්ථික විද්‍යඥයන් නිරන්තරයෙන් සොයන විදේශ ආර්ථික උපදෙස් යනු බොහොමයක් සංවර්ධිත රටවල ආර්ථික විද්‍යාඥයන් විසින් නිර්මාණය කරන ලද මූල්‍ය උද්ධමන වාදය, දුගී බවේ විෂම චක්‍රය සහ මැදි අදායම් උගුල වැනි සංකල්පයන් වෙයි. ඒවා සාමාන්‍යයෙන් ඩොලර්කරණය හරහා භූ දේශපාලනික සහ ආයෝජන ව්‍යාපෘතීන් දියුණු වන රටවලට වෙළෙඳාම් කිරීමේ අරමුණින් සිදු කෙරේ. උදාහරණ ලෙස දුගී බවේ විෂම චක්‍රය (එනම්, අඩු ආදායම, අඩු ඉතුරුම්, අඩු ආයෝජන, අඩු ආදායම..) බිඳීමේ එකම මග ලෙස විදේශ ආයෝජන හෙවත් ඩොලර්කරණය නිර්දේශ කෙරේ. ඒ සඳහා ස්වෛරිත්ව මුදල භාවිතා කිරීමට නිර්දේශ නොකිරීමේ පදනම වනුයේ මූල්‍යවාදී උද්ධමන න්‍යාය යි. ඩොලර්කරණය වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු හුදෙක් භූ දේශපාලනික සංකල්පයක් බව මාධ්‍ය වාර්තාවලින් පැහැදිළි වෙයි. එබැවින්, රජයේ පාලනයට යටත් ස්වෛරිත්ව මුදලක් පවතී නම්, රට සංවර්ධනය කිරීම සඳහා විදේශීය ආර්ථික මතවාදයන්ගේ අවශ්‍යතාවය නැති වී යනු ඇත.

  • එවැනි ස්වෛරිත්ව මුදල් පදනම් වූ සංවර්ධන දැක්මක් ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන බාධකය වනුයේ ඩොලර්කරණයෙන් වාසි ලබා ගැනීම පිණිස සංවිධානය වී ඇති දේශපාලනික, ව්‍යාපාරික සහ විද්වත් ජාලය යි. එබැවින්, ඕනෑම නව දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන විට, ඊට එරෙහිව දුෂණ චෝදනා මත දේශපාලනික විරෝධතාවන් හරහා ඒවා වැලැක්වීම ස්වාභාවික ය. එබැවින්, ඩොලර්කරණ සංචිත මුදල් මත ක්‍රියාත්මක වන වත්මන් මහ බැංකුව සහ කේන්ද්‍රීය ව්‍යාපාරික ජාලය විසින් ස්වෛරිත්ව මුදල් මත පදනම් වූ ආර්ථික කළමනාකරණ දැක්ම බිඳ දමනු ඇත. මීට හොඳම උදාහරණය ප්‍රසිද්ධ වෙන්දේසි හරහා රාජ්‍ය ණය වෙළෙඳපොළ සහ විනය ප්‍රවර්ධනයට ගත් උත්සාහය ව්‍යවර්ථ කිරීම යි.

  • සාර්ව ආර්ථික කළමනාකරණය යනු හුදෙක් භූ දේශපාලනික ප්‍රතිපත්තිවල අංගයක් මිස, ආර්ථික විද්‍යා මූල ධර්මයක් නොවේ. ස්වෛරිත්ව මුදල්  හෝ ඩොලර්කරණ ද භූ දේශපාලනික කාරණයකි. ආර්ථික විද්‍යා මූල ධර්මයන් නිර්මාණය වී ඇත්තේ, මිනිස් උවමනාවන් ඉටු කිරීම සඳහා නිදහස් වෙළෙඳපොළ හැසිරීම පුරෝකතනය කිරීම පිණිස ය. 

    • එබැවින්, ස්වෛරිත්ව මුදල් පාලනය ඇතුළු ඕනෑම සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියක පැන නගින ආර්ථික විද්‍යා අංශය වන්නේ, එයට නිදහස් ආර්ථික හැසිරීම තුළින් දක්වන ප්‍රතිචාර ශ්‍රිතය අවබෝධ කර ගැනීම තුළින් නව ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත පොදු සමාජ සුභසාධනය උපරිම කිරීම යි. සෑම රාජ්‍ය පාලන ප්‍රතිපත්තියකම අරමුණ පොදු හෝ බහුතර සමාජ සුභසාධනය යි. ඒ සඳහා ගණිතමය සුත්‍රයන් නොමැත. 

    • එබැවින්, රාජ්‍ය නායකයන් විසින් ගත යුතු ප්‍රතිපත්ති තීරණය වන්නේ, වඩාත් පොදු සමාජ සුභසාධනයට හිතකර වන්නේ, යෝජිත ස්වෛරිත්ව මුදල් ක්‍රමය ද, එසේ නැත්නම්, දැනට ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මානව සංවර්ධනය වළක්වන ඩොලර්කරණය ද යන්න යි. එය රාජ්‍ය නිලධාරීන්ට කළ හැකි කාර්යයක් නොවේ. 

    • ඊට හේතුව, රාජ්‍ය ප්‍රතිපත්තිවල වගකීම භාරව ඇත්තේ, පත් කළ මහජන නියෝජිතයන් වෙත වීම යි. ඒ අනුව, රාජ්‍ය තීරණයන් ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරී ව්‍යුහයක් අවශ්‍ය වෙයි. එසේ නැතිව, රාජ්‍ය තීරණයන්ගෙන් ස්වාධීන වූ රාජ්‍ය නිලධාරී සහ ආයතන ව්‍යුහයක් තුළින් සිදු වන්නේ, ව්‍යවස්ථානුකූලව පත් වන රජයන් අක්‍රීය වී, පොදු මහජන අභිලාෂයන් හුදු පුද්ගල මතයන්ට පාවා දීම යි. ඒ සඳහා හොඳම මෑත උදාහරණය වනුයේ 2021 වර්ෂය අවසානයේ පත් වූ බ්‍රිතාන්‍ය රජය, ආර්ථික වර්ධන අතුරු අයවැය විෂය කෙරෙහි ස්වාධීන රාජ්‍ය ආයතන සංකල්පයන්ගේ ගැටීම (එනම්, මහ බැංකුව සහ ස්වාධීන අයවැය පුරෝකථන කාර්යාලය) හේතු කොට දින 45 කින් පමණ බිඳ වැටීම යි.

  • රටේ සංවර්ධනයට ව්‍යුහාත්මක බාධාවක් වී ඇති ආධාර මානසිකත්වයේ උල්පත ඩොලර්කරණය යි. රාජ්‍ය නායකයන් සහ ඉහළ නිලධාරීන් විසින් විදේශ ණය ලැබීම පවා හඳුන්වන්නේ විදේශ ණය ආධාර ලෙස යි. එබැවින්, විදේශ ණය වැඩි වැඩියෙන් ලැබීම හෝ ඩොලර්කරණය පොදුජන හිතකර දෙයක් ලෙස සමාජ ගත කොට ඇත. නව IMF ඩොලර්කරණ ණය වැඩසටහන මහජනතාවට අළෙවි කිරීම සඳහා සමාජ ආරක්ෂණ වචනයක් ද ඇතුල් කොට ඇත. එනම්, IMF ද අර්බුදයට පත් වී ඇති මහජනයාට ආධාරයක් බව හැඟවීම යි. වත්මන් මහ බැංකු අධිපති විසින් වත්මන් ඩොලර් අර්බුදය මැද රාජකාරී භාර ගත් විගස කරනු ලැබුවේ, මහජනයාට අත්‍යාවශ්‍ය ඉන්දන, ඖෂධ සහ ආහාර ආනයනය කිරීම සඳහා ලෝක වාසීන්ගෙන් මුදල් ආධාර අයදීම යි. එබැවින්, යෝජිත ස්වෛරිත්ව මුදල් ක්‍රමය තුළින් ව්‍යාපාරික අවදානම් ගැනීම සහ ඵලදායිතාවය මත පදනම් වූ ණය මුදල් ව්‍යාප්තියක් හරහා ආධාර මානසිකත්වයෙන් මහජනතාව මුදවා ගැනීමට ක්‍රියා කළ යුතුය.

  • රාජ්‍ය නායකයන්ට මෙවැනි දිගු කාලීන සංවර්ධන දැක්මක් නොමැති වීමෙන්, සියවස් ගණන් හෝ දසක ගණන් මහජනතාව ප්‍රාථමික ජීවන මට්ටමේ පසුවෙන රටවල් සහ ප්‍රාන්තයන් ලෝකයේ එමට පවතී. එහෙත්, දශකයකින් හෝ දෙකකින් පොදුජන ජීවන මට්ටම සංවර්ධනය කළ රාජ්‍ය නායකයන් ද ලෝකයේ දැකිය හැකිය. එය හුදෙක්, සංවර්ධන අවශ්‍යතාවන් සහ ඉලක්කයන්ට යෝග්‍ය ලෙස දේශීය මූල්‍ය ක්‍රමය මෙහෙයවීම මගින් සිදු කොට ඇත. දැනට කෙරෙන දෙයක් කර ගෙන යාමෙන් එය කළ නොහැකිය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)





Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?