අපි ඉගෙන ගන්නා බැංකු සහ මුදල් න්‍යායන් නිවැරදි ද? ඒවා ආර්ථික සහ මානව සංවර්ධනයට හිතකර ද?

ලිපියේ පසුබිම  

මුදල්වල පරිණාමය සහ සංකීර්ණත්වය පිළිබඳ ආර්ථික විද්‍යාවේ බොහෝ තොරතුරු පවතී. ඒවා බොහොමයක් මුදල් පිළිබඳ පැරණි හෙවත් සම්භාව්‍ය සාර්ව ආර්ථික මූලධර්මයන් මත පදනම් වී ඇත. එබැවින්, ශ්‍රී ලංකාව පමණක් නොව සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන්නේ එම මූලධර්මයන් තුළ ය. එහෙත්, නූතන ආර්ථිකයන් ක්‍රියාත්මක වන මුදල් සහ බැංකු පද්ධතිවල දක්නට ලැබෙන සැබෑ තොරතුරු දෙස බලන විට මුදල් පිළිබඳ එම සම්භාව්‍ය පිළිගැනීම් සියල්ලම ප්‍රයෝගික වශයෙන් සාවද්‍ය වෙයි.

ලෝකයේ වත්මන් මානව සංවර්ධනය යනු පැරණි මතවාදයන් ඉවත ලා, පර්යේෂණ තුළින් විද්‍යාවේ දියුණුව හරහා කරන ලද නව නිර්මාණයන්ගේ ප්‍රතිඵලයකි. ඒ බව, ගල් යුගයේ සිටි වනචාරී ගෝත්‍රයන්ගේ ජීවන තත්ත්වය සහ වත්මන් ගෝලීයකරණය තුළ ජීවත් වන සමාජයන්හි ජීවන තත්ත්වය සැසඳීමේ දී පැහැදිලි වෙයි. පැරණි ශිෂ්ටාචාරයන්හි මුදල් සොයා ගැනීම සහ මේ දක්වා මුදල් පරිණාමය ද වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා නූතන මානව සංවර්ධනයට පදනම් වූ සාධකයක් වෙයි.

එහෙත්, මුදල්වල ක්‍රියාකාරිත්වය සහ එහි මානව සංවර්ධන මෙහෙය පිළිබඳ ව නූතන පර්යේෂණාත්මක දැනුම සැලකිල්ලට නොගෙන, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සියවස් ගණනක් පැරණි මුදල් මතවාදයන් අනුගමනය කිරීමට පෙළඹීම හේතු කොට ඉදිරි මානව සංවර්ධන වේගය පසුබැස ඇත. ඊට හේතුව, පසුගිය සියවස තුළ ලෝකය පුරා මුදල් ක්‍රමයන් රාජ්‍ය පාලනය යටතට ගැනීම යි.

ඊට පෙර මුදල් බිහි වී පරිණාමය වූයේ පෞද්ගලික වෙළෙඳපොළ පද්ධතිය හරහා වූ අතර එය මානව සංවර්ධනයට හේතු වූ ආර්ථික ක්‍රියාකාරකම් අවශ්‍යතාවන්ට සහ අවදානම් දැරීමට උපකාරී වන ලෙස සිදු විය. එබැවින්, ලෝකය තුළ විශාල මානව සංවර්ධනයකට මුදල් දායක විය. එහෙත්, රජයන් විසින් මුදල් පාලනය හරහා ආර්ථිකයන්ට මැදිහත්වීම තුළින් මානව සංවර්ධනයේ වේගය සීමා වී ඇති බව කිව හැකිය. එය රාජ්‍ය නිලධාරීන් විසින් පැරණි මුදල් මතවාදයන්හි එල්බ ගැනීම හරහා සිදු වෙයි. ශ්‍රී ලංකාවේ එය 1950 සිට මුදල් නීති පනත සහ මහ බැංකුව ක්‍රියාත්මක කළ ආකාරයෙන් පැහැදිලි වෙයි. එහෙත්, එය හුදෙක් මුදල් නීති පනත සහ මහ බැංකුවේ ප්‍රතිපාදනයන්ගේ ප්‍රතිඵලයක් නොව, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් පැරණි මුදල් මතවාදයන් යොදා ගැනීමේ ප්‍රතිඵලයකි. ඊට හේතුව, ආර්ථික ප්‍රතිපත්ති තීරණයන් ගැනීමේ දී අදාළ නිලධාරීන්ගේ දැනුම, විශ්වාසයන් සහ අභිමතය නීතියෙන් වලංගු බැවිනි.

රටවල කලින් කලට ආර්ථික අර්බුදයන් හට ගෙන, දශක ගණනාවක් පුරා මානව සංවර්ධනය පසුබෑමට ද මූලික හේතුව මෙම මිත්‍යා මුදල් මතවාදයන් ය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ද එහි ප්‍රතිඵලයකි. එබැවින්, එම මතවාදයන් නිවැරදි  කෙරෙන නව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන තෙක් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ නොහැකිය. එහෙත්, අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් අනුගමනය කරන්නේ, IMF මාර්ගෝපදේශය සහ අධීක්ෂණය මත තවත් පැරණි මුදල් මතවාදයන් අනුගමනය කිරීම යි. IMF යනු ණය වැඩසටහන් හරහා පැරණි මුදල් මතවාදයන් සංවර්ධනය වන රටවල ව්‍යාප්ත කොට, IMF ප්‍රධාන හිමිකරුවන් වන සංවර්ධිත රටවලට හිතකර ලෙස ගෝලීය සැපයුම් දාමයන් මෙහෙය වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකි.

එබැවින්, පැරණි මුදල් මතවාදයන්, නූතන මුදල් ක්‍රමයන්ගේ සත්‍ය ක්‍රියාකාරිත්වය සහ ඒ අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් පොදුජනතාව ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය  ප්‍රතිපත්ති නවීකරණය විය යුතු ආකාරය පිළිබඳ ලිපි පෙළක් ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වෙමි. එහි පළමු ලිපිය වන මෙහි මිත්‍යා මුදල් මතවාදයන් 08 ක් පහත ඉදිරිපත් කෙරේ.

1. මුදල් යනු ආර්ථිකයේ මූර්ත ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑමක් නොමැති අතරමැදියෙක් පමණක් බව

මෙම මතයට අනුව මුදල් වර්ගය කුමක් වුවත්, මුදල් භාවිතයෙන් ගනුදෙනු සඳහා පහසුවක් පමණක් සැපයෙන අතර ආර්ථිකයේ මූර්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑමක් සිදු නොවේ. උදාහරණ ලෙස යම් භාණ්ඩයක් මුදල් ලෙස භාවිතා කෙරේ නම්, එම භාණ්ඩය දැනටමත් නිෂ්පාදනයේ කොටසක් වන අතර එම භාණ්ඩය මුදල් ලෙස භාවිතා කිරීම තුළින් නිෂ්පාදනයේ වෙනසක් සිදු නොවේ. මෙම මතය සාර්ව ආර්ථික සමතුලිතතාවය දැක්වෙන ගණිතමය මාදිලි හරහා ගොඩ නගා ඇත. ඊට ආධාරකයක් ලෙස පැරණි මුදල් ප්‍රමාණවාදී සංකල්පය ද භාවිතා කෙරේ. 

ඒ අනුව, මුදල් යනු සමස්ත නිෂ්පාදන පරිමාව කෙරෙහි බලපාන විචල්‍යයක් නොවේ. මුදල්වල කාර්යය වන්නේ මිල හෝ වටිනාකම මැනීම, රැස් කිරීම සහ හුවමාරු කිරීම යි. එබැවින්, මුදල් යනු ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම් පරිමාව හෙවත් මිල දී ගැනීමේ හැකියාව කෙරෙහි බලපාන විචල්‍යයකි. එබැවින්, සංසරණය වන මුදල් ප්‍රමාණය වෙනස්වීම හරහා සිදුවනුයේ ආර්ථිකයේ ඉල්ලුම වෙනස් වී, මිල ගණන් හෝ මිල මට්ටම හෝ උද්ධමනය කෙරෙහි බලපෑම යි. උද්ධමනය යනු සැමවිටම සැමතැනම මුදල්වල ප්‍රතිඵලයක් හෙවත් මූල්‍ය සිදුවීමක් ලෙස පිළි ගැනෙන්නේ මෙම මතවාදය හරහා ය. මිල මට්ටම යනු මූර්ත ආර්ථික විචල්‍යයක් නොවේ. 

එබැවින්, මුදල් යනු හුදෙක් නාමික විචල්‍යයක් පමණි. මහ බැංකුවල අරමුණ ලෙස මිල ස්ථායිතාවය පවත්වා ගැනීම දැක්වෙන්නේ, මෙම මතවාදය පිළි ගැනීමෙනි. මහ බැංකු විසින් එය කළ යුත්තේ ආර්ථිකයේ සංසරණය වන සමස්ත මුදල් ප්‍රමාණය පාලනය කිරීම හරහා සමස්ත ඉල්ලුම පාලනය කිරීමෙනි. මෙම මතවාදය අනුව, ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවා සැපයුම පාලනය කිරීමට මහ බැංකුවලට හැකියාවක් නොමැත.

2. බැංකු විසින් මහජනයාගෙන් තැන්පතු රැස් කොට ණය දීම හරහා මුදල් මවන බව

සියළුම ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථයන් හරහා විශ්ව විද්‍යාලය දක්වා පංති කාමරවල ඉගැන්වෙන්නේ මෙම මතවාදය යි. ඒ අනුව, බැංකු යනු අතරමැදි මූල්‍ය ව්‍යාපාරයන් ලෙස විග්‍රහ කෙරේ. එනම්, බැංකු විසින් තම මුදල් වගකීම් ලෙස මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගෙන, එම මුදල් තම මුදල් වත්කම් ලෙස මහජනයාට ණය (ආයෝජන ඇතුළුව) දීමේ ව්‍යාපාරයෙහි නිරත වෙයි. 

තැන්පතු සඳහා ගෙවන පොලියට වඩා ඉහළ පොලියක් ණය සඳහා අය කිරීමෙන් බැංකු ලාභ ලබා ගනී. එම ලාභය පොලී පරතරය හෝ අන්තිකය ලෙස හැඳින්වෙයි. එම පොලී අන්තිකය බැංකු විසින් මුහුණ දෙන අවදානම් සහ කළමනාකරණ වියදම පියවා ලාභයක් ලැබීමට ප්‍රමාණවත් මට්ටමක තබා ගැනේ.

3. ආර්ථිකයේ මුදල් මැවීමේ ප්‍රමාණය මුදල් ගුණකය සහ සංචිත මුදල් ප්‍රමාණය මත තීරණය වන බව

මෙහි සංචිත මුදල් යනු මහ බැංකුව විසින් නිකුත් කොට හෝ මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය වෙයි. එය, කාසි සහ නෝට්ටු සහ බැංකු විසින් මහ බැංකුවේ ගිණුම්වල පවත්වා ගෙන යන ගිණුම් ශේෂයන්වල එකතුව වෙයි. මුදල් ගුණකය යනු සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය/මුදල් සැපයුම සහ සංචිත මුදල් අතර අනුපාතය යි. මුදල් සැපයුම ලෙස දැක්වෙන්නේ, මහජනයා සතු කාසි සහ නෝට්ටු ප්‍රමාණය සහ බැංකු තැන්පතු ප්‍රමාණයේ එකතුව යි. 

උදාහරණ ලෙස 2022 වර්ෂය අවසානයේ මුදල් සැපයුම රුපියල් බිලියන 10,497 ක් ද, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,349 ක් ද විය. ඒ අනුව, මුදල් ගුණකය 7.78 ක් විය. එහි අදහස වනුයේ, මහ බැංකුව විසින් මුද්‍රණය කෙරෙන එක් රුපියලකින් අතිරේක රුපියල් 7.78 ක් මහජනයා අතට ලැබෙන බව යි. එය බැංකු පද්ධතිය හරහා මුදල් මැවීම තුළින් සිදුවෙයි..

4. බැංකු පද්ධතියේ මුදල් මැවීම හෝ සැපයුම පාලනය කිරීමට මහ බැංකුවට හැකි බව

මෙය ඉහත දැක්වූ මුදල් ගුණක මතවාදය මත රඳා පවතී. ඒ අනුව, මහ බැංකුවට මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මෙවලම් දෙකක් පවතී. 

  • පළමුව, සංචිත මුදල් ප්‍රමාණය වෙනස් කිරීම. ඊට හේතුව, සංචිත මුදල් ප්‍රමාණය මහ බැංකුවේ අභිමතය මත තීරණය වන බැවිනි. ඒ අනුව, මුදල් සැපයුම ඉහළ දැමීමට අවශ්‍ය විට, මහ බැංකුවට සංචිත මුදල් මුද්‍රණය ඉහළ දැමිය හැකිය. 

  • දෙවනුව, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු බැංකු විසින් තම තැන්පතු වගකීම්වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු ප්‍රතිශතය යි. එබැවින්, ව්‍යවස්ථාපිත සංචිතය හේතු කොට බැංකුවල ණය දීමේ හැකියාව හෙවත් ණය මැවීමේ හැකියාව පහළ යයි. එනම්,  මුදල් ගුණකයයේ අගය කෙරෙහි ව්‍යවස්ථාපිත සංචිතය අනුපාතය බලපානු ඇත. ඊට හේතුව, තැන්පතුවලින් කොටසක් ණය දීම සඳහා යොදා ගත නොහැකි බැවිනි. එබැවින්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම තුළින් මුදල් මැවීම පාලනය කිරීමට මහ බැංකුවට හැකියාව පවතී. උදාහරණ ලෙස මුදල් සැපයුම ඉහළ දැමීමට අවශ්‍ය විට මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමනු ඇත. 
එබැවින්, මෙම මතවාදය අනුව ආර්ථිකයෙහි මුදල් සැපයුම පාලනය කිරීමට මහ බැංකුවට විශාල බලයක් පවතී. මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස දැක්වෙන්නේ මෙසේ මුදල් සැපයුම පාලනය කිරීමේ මෙවලම් භාවිතා කිරීම යි.

5. ද්‍රවශීල වත්කම් අනුපාතය සහ ප්‍රාග්ධන අනුපාතයන් පැනවීම තුළින් බැංකු මුදල් මැවීම සිමා කළ හැකි බව

  • ද්‍රවශීල වත්කම් අනුපාතය යනු බැංකුවල වත්කම් වටිනාකමින් ද්‍රවශීල වත්කම්වල පවත්වා ගත යුතු අවම ප්‍රතිශතය යි. ද්‍රවශීල වත්කම් යනු ඉක්මනින් මුදල් බවට පත් කළ හැකි රාජ්‍ය සුරැකුම්පත් වැනි කෙටිකාලීන වත්කම් ය. එහි අවම අනුපාතය 20% ක් පමණ වෙයි. සමහර අවස්ථාවල ද්‍රවශීල වත්කම් අනුපාතය බැංකුවල තැන්පතු වගකීම්වලට සාපේක්ෂව නියම කරනු ලැබේ. ද්‍රවශීල වත්කම්වල අරමුණ වනුයේ හදිසි මුදල් ගෙවීම් සඳහා අරමුදල් පවත්වා ගෙන යාම යි. 

  • ප්‍රාග්ධන අනුපාතය යනු බැංකුවල අවදානම්කාරී වත්කම්වලට සාපේක්ෂව පවත්වා ගත යුතු අවම ප්‍රාග්ධන ප්‍රතිශතය යි. ප්‍රාග්ධනය යනු කොටස් ප්‍රාග්ධනය සහ සංචිත වැනි දිගු කාලීන අරමුදල් ය. මෙම ප්‍රාග්ධන අනුපාතය අවම වශයෙන් 12% ක් පමණ වෙයි. ප්‍රාග්ධන අනුපාතයේ අරමුණ වනුයේ බැංකු මුහුණ දෙන අලාභයන් පියවීමේ අරමුදල් පවත්වා ගැනීම යි.
මෙම අනුපාතයන් හේතු කොට ණය ප්‍රසාරණය සීමා කිරීමට බැංකුවලට සිදුවන බව ඉදිරිපත් කෙරේ. උදාහරණ ලෙස 12% ක් ප්‍රාග්ධන අනුපාතයක් ඇති බැංකුවකට ණය ප්‍රසාරණය කළ හැක්කේ, ප්‍රසාරණය කෙරෙන ණය ප්‍රමාණය මෙන් 12% ක නව ප්‍රාග්ධන අරමුදල් රැස් කෙරේ නම් පමණි. ඊට හේතුව, නව ණය හේතු කොට අවදානම් වත්කම් වටිනාකම ඉහළ යන බැවිනි.

මුදල් සැපයුම පාලනයට (මූල්‍ය ප්‍රතිපත්තිය) අමතරව බැංකු නියාමනය ද මහ බැංකුව විසින් සිදු කෙරෙන බැවින් මෙම අනුපාතයන් දෙක ද මුදල් මැවීම පාලනය සඳහා මහ බැංකුව සතු උපකරණ දෙකක් ලෙස දැක්වෙයි. ගෝලීය කොරෝනා වසංගත සමයේ බැංකු ණය සහ මුදල් ප්‍රසාරණය සඳහා ලෝකය පුරා මහ බැංකු විසින් මෙම අනුපාතයන් දෙක ලිහිල් කරන ලදි.

6. රාජ්‍ය අයවැය හිඟය හේතු කොට මුදල් සැපයුම ප්‍රසාරණය වී උද්ධමනකාරී තත්ත්වයක් හට ගන්නා බව

අයවැය හිඟය යනු රාජ්‍ය ආදායමට වඩා වියදම් කරන මුදල් ප්‍රමාණය යි. එය ණය ගැනීම හරහා පියවෙනු ඇත. ණය යනු මුදල් මැවීමේ ක්‍රියාවලියේ කොටසක් වන බැවින් (තැන්පතු රැස් කිරීම සහ ණය දීම) අයවැය හිඟය හේතුකොට මුදල් සැපයුම ප්‍රසාරණය වන බව දැක්වෙයි. අයවැය හිඟය පියවීම සඳහා මහ බැංකුවෙන් ණය ලබා ගන්නා විට සංචිත මුදල් ප්‍රමාණය ඉහළ ගොස් ගුණාකාර ලෙස මුදල් සැපයුම ඉහළ යනු ඇත. උද්ධමනය යනු මුදල් සැපයුමේ ප්‍රතිඵලයක් වන බැවින් අයවැය හිඟය හේතු කොට උද්ධමනය ඉහළ යනු ඇත.

IMF සහ මහ බැංකු විසින් ලෝකය පුරා අයවැය හිඟය (බදු ඉහළ දැමීම සහ වියදම් කැපීම හරහා) සහ රාජ්‍ය ණය පහළ දැමීමට නිර්දේශ කෙරෙන්නේ මෙම මතවාදය පිළි ගැනීම මත ය. ඔවුන්ගේ මතවාදය වනුයේ සමස්ත ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීම සඳහා අයවැය හිඟය පහළ දැමිය යුතු බව යි.

7. මහ බැංකු පොලී අනුපාතය වෙනස් කිරීම මගින් ණය මැවීම සහ මුදල් සැපයුම පාලනය කළ හැකි බව 

ලෝකය පුරා මූල්‍ය ප්‍රතිපත්තිවල මූලික මෙවලම ලෙස මහ බැංකු පොලී අනුපාතයන් භාවිතා කෙරේ. මහ බැංකු විසින් බැංකු සමඟ කෙරෙන දෛනික මුදල් ගනුදෙනු සඳහා භාවිතා කෙරෙන පොලී අනුපාතයන් මීට අයත් වෙයි. ශ්‍රී ලංකාවේ මෙම පොලී අනුපාතයන් වනුයේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය යනාදිය යි. 

අන්තර් බැංකු වෙළෙඳපොළේ ණය ගනුදෙනු සහ අරමුදල් ප්‍රමාණය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියට (මුදල් ප්‍රසාරණය හෝ සංකෝචනය) යෝග්‍ය ලෙස මෙහෙය වීමට හෝ වෙනස් කිරීමට මහ බැංකු පොලී අනුපාතයන්ගෙන් අපේක්ෂා කෙරේ. එමගින්, ආර්ථිකය පුරා තැන්පතු සහ ණය මැවීම වෙනස් වී ආර්ථිකයේ මිල ගණන් සහ උද්ධමනය කෙරෙහි බලපාන බව විශ්වාස කෙරේ. එය ද, මුදල් ගුණක මතවාදය තුළින් ඉදිරිපත් කෙරේ. එනම්, මහ බැංකු පොලී අනුපාතයන් වෙනස් කිරීම මගින් සංචිත මුදල් ප්‍රමාණය සහ මුදල් ගුණකය හරහා මුදල් සැපයුම කෙරෙහි බලපෑමේ චිත්තරූපී කථාන්දරය යි. මෙය මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ලෙස දැක්වෙයි.

යම් ප්‍රතිපත්ති මෙවලමක සම්ප්‍රේෂණ කාලය මාස 12-18 ක් පමණ බව ද, එබැවින්, ඉදිරි දැක්මක් සහ පුරෝකථනයන් මත මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ද මහ බැංකු විසින් නිරන්තරයෙන් ප්‍රකාශ කෙරේ. ඒ සඳහා මහ බැංකු විසින් ආර්ථිකයට යෝග්‍ය හෝ හිතකර උද්ධමන මට්ටමක් ඉලක්ක කොට පොලී අනුපාතයන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. එය ශ්‍රී ලංකාවේ 4%-6% ද, සංවර්ධිත රටවල 2% ද වෙයි. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය හෝ මහ බැංකු පොලී අනුපාතයන් තුළින් මහජනයාගේ ඉදිරි උද්ධමන අපේක්ෂාවන් උද්ධමන ඉලක්කය වටා නැංගුරම් දැමෙන බව දැක්වෙයි.

8. බැංකු යනු මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ආයතන පද්ධතිය වන අතර එය හුදෙක් ආර්ථිකය සංවර්ධනය සඳහා යොදා ගත හැකි ව්‍යාපාරයන් නොවන බව

බැංකු තැන්පතු සහ ණය හරහා ආර්ථිකයේ මුදල් සැපයුම තීරණය වීමත්, ඒ හරහා මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමත් හේතුකොට, මහ බැංකුව සහ මූල්‍ය ප්‍රතිපත්තියේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආයතන ව්‍යුහය වන්නේ බැංකු ය. ඒ සඳහා බැංකු පද්ධතියේ ස්ථායිතාවය අත්‍යවශ්‍ය බැවින් මහ බැංකු විසින් බැංකු පද්ධති ස්ථායිතාවය සඳහා නියාමන මෙවලම් සහ ක්‍රමවේදයන් රාශියක් ක්‍රියාත්මක කෙරේ. 

මුලින් දැක්වූ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, ද්‍රවශීල වත්කම් අනුපාතය සහ ප්‍රාග්ධන අනුපාතය ඉන් කිහිපයක් පමණි. එසේම, මහ බංකුව විසින් එදිනෙදා බැංකුවල තැන්පතු භාර ගැනීම, බැංකුවලට ණය දීම, බැංකු අතර ගෙවුම් සහ පියවුම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සහ බැංකු ව්‍යාපාරික අවදානම් කළමනාකරණය ප්‍රවර්ධනය කෙරෙහි යොමු වූ නියාමන සහ අධීක්ෂණ ක්‍රමයක් පවත්වා ගැනීම ද බැංකු ස්ථායිතාවය සඳහා ක්‍රියාත්මක කෙරෙන මෙවලම් ය. මෙහි දී, බැංකු තැන්පතු සහ ණය ගනුදෙනු කෙරෙහි යම් යම් සෘජු සීමාවන් පැනවීම ද දැකිය හැකිය. තැන්පතු රක්ෂණ ක්‍රමය සහ අවසාන ණය දෙන්නාගේ කාර්යය ද බැංකු අර්බුදයන් වැලැක්වීමේ අරමුණින් මහ බැංකු විසින් අනුගමනය කෙරෙන සම්ප්‍රදායික මෙවලම් දෙකකි. 

එහෙත්, මෙහි දී, ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පරිදි මූල්‍ය සේවාවන් සැපයීමේ ආයතන පද්ධතියක් ලෙස බැංකු නොසැලකේ. ඊට හේතුව, මුලින් දැක්වූ පරිදි බැංකු යනු අවදානම්කාරී අතරමැදි මූල්‍ය ව්‍යාපාරික ආයතනයන් ලෙස සැලකෙන බැවිනි. එබැවින්, බැංකු යනු ආර්ථිකයට වැදගත් වන ව්‍යාපාරයක් වුව ද, එය ආර්ථිකයේ සංවර්ධන ඉලක්කයන් සහ ප්‍රමුඛතාවන් සඳහා මෙහෙය විය හැකි ව්‍යාපාරයක් නොවේ. ඊට හේතුව, බැංකු මුහුණ දෙන ව්‍යාපාරික අවදානම් සහ මූල්‍ය පද්ධති අවදානම් ය. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සම්ප්‍රදායික මූල්‍ය ප්‍රතිපත්තියෙන් පිටත කිසිම බැංකු මෙවලම් මහ බැංකුව විසින් ක්‍රියාත්මක නොකරන්නේ එම ආකල්පය/මතවාදය හේතුවෙනි. මුදල් නීති පනතේ අඩංගු වූ එවැනි සෘජු මෙවලම් රාශියක් නව මහ බැංකු පනතින් ඉවත් කොට ඇත.

සමාප්ත සටහන

  • ඉහත දැක්වූයේ රජයන් විසින් සම්භාව්‍ය ආර්ථික මූලධර්මයන් අනුව කෙරෙන සාර්ව ආර්ථික කළමනාකරණයේ දී හිස මුදිනින් පිළි ගැනෙන ප්‍රධාන මුදල් මතවාදයන් ය. ඒවා සියල්ලම ඉතා පැරණි මතවාදයන් ය. පසුගිය අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු රාජ්‍ය මූල්‍ය අධිකාරීන් විසින් රජයේ වියදම් පාලනය කොට බදු ඉහළ දැමීම සඳහා හේතුව ලෙස දැක්වූයේ මහ බැංකුවේ නව නීතිය අනුව දැන් මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ගැනීම කළ නොහැකි වීම බව යි. එනම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී පැරණි මුදල් මතවාදයන් එලෙසම පිළි ගැනීමට නැඹුරු වීම යි.

  • මෙම සියළු මුදල් මතවාදයන් ආර්ථිකයක සමතුලිතතාවය පිළිබඳ විවිධාකාර උපකල්පනයන් සහ විශ්වාසයන් මත ගොඩ නැගී ඇති අතර ඒවා සැබෑ ලොව ආර්ථික දත්ත මගින් කිසිම සනාථ වීමක් දැකිය නොහැක. එබැවින්, මේවා අන්ධානුකරණයෙන් අනුගමනය කිරීම යනු නූතන විද්‍යාවට පිටුපා ගල්යුගයේ සිට පැවතෙන දේව, භූත, යක්‍ෂ, කර්ම වැනි මිනිස් ජීවිත කෙරෙහි බලපාන අත්භූත බලවේගයන් විශ්වාස කිරීමට සමාන මානුෂ හැසිරීමකි.

  • උදාහරණ ලෙස උද්ධමනය යනු මහ බැංකු ඔවුන්ට හිතවත් සම්භාව්‍ය ආර්ථික විද්‍යඥයන් විසින් ආර්ථිකයේ මිල ගණන් පහළ යන කාලවල පවා භීතියෙන් පසුවන භූතයෙක් වැනි ය. ඔවුන් උදේ සවස යාඥා කරන්නේ උද්ධමනය පාලනය කොට තබා ගැනීමේ අපේක්ෂාවන් සහ අභියෝගයන් පිළිබඳ ව යි. 
    • රජයන් ද දැන හෝ නොදැන එම මතවාදයේ එල්බ ගෙන පොදුජන ආර්ථික ප්‍රතිපත්ති කපා දැමීමට පෙළඹී ඇත. ජාතික ආර්ථික කළමනාකරණ ස්වෛරීත්වය අසම්භාව්‍ය ඩොලර් බිලියන 3 ක ණයකට IMF එකට පාවා දීම, උද්ධමනය පාලනය කිරීමට නව මහ බැංකුවක් පිහිටුවීම සහ ණය පැහැර හැරීම ඉන් කිහිපයකි.

    • මුදල් ගැන කිසිම ආර්ථික විද්‍යා දැනුමක් නොමැති මහජනයා පවා රජය විසින් අයවැය පියවීම සඳහා මුදල් මුද්‍රණය කිරීම හරහා ණය ගැනීම හේතු කොට උද්ධමනය හට ගන්නා බව විශ්වාස කෙරේ. 

    • උද්ධමනය යන වචනය ඇසූ පමණින් මුදල් මුද්‍රණය කරන භූතයකු ලෙස මැවී පෙන්නේ වත්මන් රජය ය. එය මැතිවරණ ව්‍යාපාරවල ශිර්ෂ පාඨය වී ඇත. ඊළඟ රජයට ආර්ථිකය කළමනාකරණය කිරීමට අපහසු වී ඇත්තේ ද, පසුගිය රජය විසින් මුදල් මුද්‍රණය කිරීම නිසා බව ඊළඟ මැතිවරණය තෙක් ප්‍රකාශ කෙරේ.

  • එහෙත්, මේ සියල්ල මිත්‍යා මුදල් මතවාදයන් බව සැබෑ ලොව මුදල්, බැංකු සහ මහ බැංකු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඇතුලාන්තය දෙස සිහියෙන් බලන විට පෙනේ. එය අවබෝධ කර ගැනීම සඳහා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය දැනගත යුතුය. එහෙත්, අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එම මතවාදයන් හුදෙක් මහජන වගකීම්වලින් බේරී තම සුවපහසු කලාපය කිසිම අභියෝගයක් නොමැතිව අඛණ්ඩව භුක්ති විඳීම සඳහා භාවිතා කෙරෙන බව නොරහසකි. එය යම්කිසි අර්බුදයක් හෝ ගැටළුවක් ඇති වූ විට දෙවියන්ගේ වැඩක් හෝ දඬුවමක් යයි පැවසීමෙන් ලැබෙන සහනයට සමාන ය.

  • මෙවැනි මිත්‍යා මුදල් මතවාදයන් ආර්ථික විද්‍යාව පළමුව ඉගෙන ගන්නා සිසුන්ට ඉගැන්වීමේ ලොකු වරදක් නොමැත. එහෙත්, මහජන තීරණයන් ගැනීමේ දී ඒවා එලෙසින්ම භාවිතා කිරීම ජාතික වරදකි. එබැවින්, මෙම මතවාදයන් ප්‍රශ්න කෙරෙන පුද්ගලයින් කපා දමා, පාලුගෙයි වලං බිඳින්නාක් මෙන් එකම මිත්‍යා මතවාදී කණ්ඩායමක් විසින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තවත් ජාතික උවදුරක සංඥාවක් වෙයි. උදාහරණ ලෙස මෙම මතවාදයන් මත මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය නවතා, රජය විසින් පොදු ආර්ථික වියදම් කපා හැර, ආර්ථික අර්බුදයෙන් පෙළෙන ජනයාගෙන් පිට පිට බදු අය කිරීම හරහා රාජ්‍ය ණය පහළ දැමීමට උත්සාහ කිරීම යනු "ලෙඩා මළත් බඩ ශුද්ධ" යි යන කියමනට සමාන ක්‍රියාවකි. ඉන් සිදු වන්නේ රටේ මානව සංවර්ධනය අඛණ්ඩව කඩා වැටීම යි. එහෙත්, ඒ හැර වෙනත් විකල්පයක් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පිළිඹිබු වන්නේ, ඉහළ මහජන තනතුරු දැරීම සඳහා ඔවුන්ගේ නුසුදුසු භාවය යි. ඊට උදාහරණ ලෙස ආදායම නොමැති නිසා වියදම් කළ නොහැකි බව භාණ්ඩාගාර ලේකම් විසින් ප්‍රකාශ කිරීමත්, උද්ධමනය හට ගන්නා බැවින් මුදල් මුද්‍රණය කළ නොහැකි බව මහ බැකු අධිපති විසින් ප්‍රකාශ කිරීමත්, එසේ ප්‍රකාශ කරමින් මහජන අසුන්වල කාලය ගත කිරීමත් දැක්විය හැකිය. ඔවුන්ගේ මහජන වගකීම වන්නේ එය නොවේ. ආර්ථික විශේෂඥයන් එම තනතුරුවලට පත් කෙරෙන්නේ එසේ නිකං සිටීමට නොව මහජන ප්‍රශ්නයන් නිරාකරණය කිරීමට ය. එබැවින්, මෙය නීතිය ඉදිරියේ මහජන විශ්වාසය කැඩීමේ වරදකි.

ඉහත දැක්වූ එක් එක් මුදල් මතවාදයන්ගේ මිත්‍යාව පිළිබඳ ව ඉදිරියේ දී ප්‍රයෝගික ලිපි පෙළක් ඉදිරිපත් කෙරේ. ඒ අනුව මෙම මිත්‍යාවන් ඉවත ලා පොදුජන ආර්ථික ප්‍රතිපත්ති නවීකරණය කිරීමට රජය ඉදිරිපත් නොවේ නම්, ශ්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවන්ට ගෝලීය ආර්ථික ගාසා තීරයක ප්‍රාණ ඇපකරුවන් ලෙස ජීවිත් වීමට සිදුවනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)



Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?